Saturday, November 30, 2024

ජීවිතය……..







ජීවිතය……..

මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.

එහෙම හිතුවත් තාත්තා වෙන්න මට බැහැ.

ගම්පෙරලියේ ජිනදාස මලය රටට යනවා.ඒ කියන්නේ වියලි කලාපයට.

ජිනදාස අසාර්ථක වෙනවා.

පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.

ගම්පෙරලිය සිදුවන කාලේ  දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.

දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා. 

අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.

දිවයිනේ හැම ගම්පියසකම මාතර  වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා.

මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.

මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා.

වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.

අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා

මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.

අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා.

දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.

තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.

ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .

හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්..පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.

එතන තමයි තාත්තගේ ඇරඹුම.

අපේ උපත.

තාත්තාට අම්මා මුණ ගැහුනා.

ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා

අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.

අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.

අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා.

සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..

තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ.

තාත්තා විශිෂ්ඨයෙක්.

A day in the life

Friday, November 29, 2024

දානයක් සංඝික කිරීමට කොපමණ භික්ෂූන් වහන්සේලා සිටිය යුතු ද?








'දානයක් සංඝික කිරීමට යටත් පිරිසෙයින් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා සතර නමක් සිටිය යුතුය’ යන හැඟීමක් ඇතැමුන්ට ඇත්තේ ය. එය සංඝික කිරීමය යන්නෙහි තේරුම නො දැනීම නිසා ඇති කරගෙන තිබෙන වැරදි හැඟීමෙකි.
සංඝික කිරීම භික්ෂූන්ට අයිති වැඩක් නො වේ. දායකයකු ගේ දානයක් සංඝික කිරීම දායකයා ගේ වැඩකි. ආහාරපානාදි යම්කිසි වස්තුවක් සංඝික කළ හැක්කේ ඒ වස්තුවේ අයිතිකරු විසින් පමණෙකි. අනිකකුට එය නො කළ හැකි ය.
දාන සංඝික කිරීමේ දී “ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දෙම” යන වගන්තිය භික්ෂුවක් විසින් කියවන්නේ සංඝික කිරීමේ දී කියයුතු ඒ වැකිය දායකයන් කියන්නට නො දන්නා නිසා ය. සංඝික වන්නේ භික්ෂුව විසින් ඒ වගන්තිය කියවන නිසා නොව දායකයා විසින් ඒ වස්තුව සංඝයාහට පූජා කරන නිසා ය.
"සංඝික” යන වචනයේ තේරුම, සංඝයා අයත් දෙයය යනුයි. “සංඝයාට අයිති දෙය සංඝිකය” යි කියනු ලැබේ. යම් කිසිවකු විසින් තමාට අයිති වස්තුවක් ඒ වස්තුවෙහි තමාට ඇති අයිතිය අතහැර එහි අයිතිය සංඝයාට පිරිනමනවා නම් එයට සංඝික කිරීමය යි කියනු ලැබේ. සංඝික කරන තැනැත්තා විසින් සංඝයා හැඳින එය කළ යුතු ය. විනය කර්ම කිරීමේ දී සතර නමක් වූ හෝ සතර නමකට වැඩි උපසම්පන්න භික්ෂු පිරිසක් සංඝයා වශයෙන් සලකනු ලැබේ. වස්තුවක් සංඝික කිරීමේ දී සැලකිය යුත්තේ සංඝ රත්නය ය.
සංඝරත්නය යි කියනුයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන් වහන්සේ සමග වැඩහුන් සැරියුත් මුගලන් ආදි මහ රහතන් වහන්සේලා ගේ පටන් අද දක්වා යම් පමණ කුල පුත්යන් මේ ශාසනයෙහි පැවිද්ද ලැබුවා නම් ඒ සැම දෙනා වහන්සේ ය. සාමණේරයෝ ද සංඝරත්නයට ඇතුළත් ය. සංඝික වස්තුවක් බෙදීමේ දී සාමණේරයන්ටත් කොටස දිය යුතු බව විනයෙහි නියම කර ඇත්තේ ඒ නිසා ය. සාමණේරයන් සංඝරත්නයට ඇතුළු නො වන්නේ නම් තථාගතයන් වහන්සේ ඔවුනටත් කොටස දීමට නියම නො කරන්නාහ.
යම්කිසි වස්තුවක් සංඝික කිරීමේ දී ඒ වස්තුව රැස්ව ඉන්නා සංඝයාට දෙමිය කියා හෝ අසවල් විහාරයේ සංඝයාට දෙමිය කියා හෝ අසවල් ගමේ අසවල් පළාතේ සංඝයාට දෙමිය කියා හෝ සංඝයා පරිච්ඡේද කොට ද සංඝික කළ හැකි ය. උසස් සංඝිකය වන්නේ එසේ පිරිසිඳීමක් නො කොට, ලෝකයෙහි ඇතිතාක් සංඝයා හට හිමිවන ලෙස දෙන අපරිච්ඡින්නක සංඝිකය ය. බොහෝ අනුසස් ඇති බව කියන්නේ අපරිච්ඡින්නක මහා සංඝ රත්නයට දීමෙන් ය. අපරිච්ඡින්නක මහා සංඝ රත්නයට දෙන දානය සැරියුත් මුගලන් ආදි ආර්ය්ය සංඝයා සහිත ලෝකයෙහි ඇතිතාක් සංඝයාට පැමිණෙන බැවින් එය මහත් කුශලයක් වන්නේ ය.
සංඝික කිරීමය, සංඝ රත්නයට පූජා කිරීමය යන මේ දෙක ම එක බව විශේෂයෙන් සලකා ගත යුතු ය. මෙයත් සමහරුන් අවුල් කර ගන්නා කරුණෙකි. දාන වස්තුවක් සංඝික කිරීම ඒ වස්තුවෙහි අයිතිකරුට එක් භික්ෂුවක්වත් නැති තැනක දී වුව ද කළ හැකි ය. එක් භික්ෂුවක් ඉදිරිපට දී ද කළ හැකි ය. භික්ෂූන් දෙනමක් තුන් නමක් ඉදිරියේ දී ද කළ හැකි ය. බොහෝ භික්ෂූන් ඉදිරියේ දී ද කළ හැකි ය.
යම්කිසි වස්තුවක් සංඝාරාමයකට ගෙන ගොස් “මේ වස්තුව සංඝරත්නයට පුදමි. සංඝරත්නයට වේවාය” කියා එහි තැබුවහොත් එහි එක භික්ෂුවකුදු ඒ වේලාවෙහි නො සිටියත් එතැන් පටන් ඒ වස්තුව සංඝික වස්තුවක් වේ. සංඝික වීමට ඇති එක ම කාරණය අයිතිකරු විසින් ඔහුගේ අයිතිය සංඝයාට පිරිනැමීම ම ය.
“තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එකො වස්සං වසි. තත්ථ මනුස්සා සංඝස්ස දෙමාති චීවරානි අදංසු - පෙ - තෙන ඛො පන සමයෙන තයො භික්ෂු රාජගහෙ වස්සං වසන්ති. තත්ථ මනුස්සා සංඝස්ස දෙමාති චීවරානි දෙන්ති”
මහාවග්ගපාලියේ චීවරක්ඛන්ධකයෙහි එක් භික්ෂුවක් විසූ තැනත් භික්ෂූන් තුන් නමක් විසූ තැනත් සංඝයාහට සංඝික වශයෙන් සිවුරු දුන් බව දක්වා තිබේ. තථාගතයන් වහන්සේ ඒවා සංඝික නො වේය යි නො වදාළ සේක. උන් වහන්සේ ඒ එක් භික්ෂුවක් ඉදිරිපිට දී ද භික්ෂූන් තුන් නමක් ඉදිරිපිට දී ද සඟ සතුකොට දුන් සිවුරු ගැන ඒ භික්ෂූන් විසින් පිළිපැදිය යුතු ආකාරය පමණක් වදාළ සේක. එක භික්ෂුවක් දෙනමක් තුන් නමක් ඇති තැන්වල දී සංඝික කළ සිවුරු සංඝික වන්නාක් මෙන් ආහාරපානාදි කිනම් දෙයක් වුවත් සංඝික කළහොත් සංඝික වන බව කිය යුතු ය. එහි සැක කළ යුත්තක් නැත.
දානයක් හෝ අන්කිසි වස්තුවක් හෝ දායකයකු විසින් අසවල් විහාරයේ සංඝයාට ය, අසවල් පළාතේ සංඝයාට ය, අසවල් නිකායේ සංඝයාට ය යනාදීන් සංඝ පරිච්ඡේදයක් කොට දෙන්නට යෙදුනහොත් ඒ දෙය දායකයා ගේ අදහස පරිදි ඒ සංඝයාට පමණක් අයිති ය. එය අන්ය භික්ෂූන්ට අයිති නැත. දානයක් හෝ අන් දෙයක් හෝ සංඝ පරිච්ඡේදයක් නො කොට “සංඝස්ස දෙම” කියා දුනහොත් ඒ දෙය ලෝකයේ වාසය කරන සියලු ම භික්ෂූන්ට වෙනසක් නැතිව අයිති ය.
ධර්ම විනිශ්චය
පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ
උපුටා ගැනිමකි
A day in the life

Thursday, November 28, 2024

කැප්පෙට්ටිපොල මහ දිසාව.







..කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන දෙදෙන ඔවුන්ගේම ඉල්ලීම පරිදි (වර්ෂ 1818) නොවැම්බර් මස 25 වනදා අලුයම් වේලෙහි දළදා මාලිගාවට කැඳවාගෙන යන ලද්දෝ ය. කැප්පෙටිපොළගේ ඉල්ලීම සහ ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් උතුමාණන්ගේ අවසරය පරිදි සෝවර්ස් මහතා දළදා මාලිගාවේදී ඔහුට මුණගැසිණි.
භික්ෂූන් වහන්සේ අභිමුඛයෙහි, වැඩහිඳින මාලිගාවේ එළිපත්ත මත දණගසා ගත් නිලමේ තමා භික්ෂූන්ට කළ සේවය, විහාරවලට කළ පුදපූජා වැනි තම ජීවිත කාලය තුළ සිදු කරන ලද පරධාන පින්කම් ද, අනෙක් ධාර්මික කටයුතුද ද විස්තර කළේ ය.
ඊළඟට ඔහු ප්‍රාර්ථනා කළේ එනම් "ඊළඟ ආත්මභාවයේදී හිමාලය පර්වතයෙහි උපදිම්වා, කෙළවර අමා මහ නිවන් දකිම්වා" යන්නයි.
මෙයින් පසු භික්ෂූන් වහන්සේ ඔහු ඇමතූහ. උන්වහන්සේ ආවේග බහුල ස්වරයකින් හා ලීලාවකින් කැප්පෙටිපොළගේ පුණ්ය කිරයා මහත්ඵල මහානිශංසදායක යයි පවසා ආශංසනයකින් සිය දේශනය අවසන් කළහ.
එහි අවසාන වචන මෙසේ ය; "අහසට දැමූ ගල් කැටයක් නැවත පොළොවට පෙරළා එන්නේ යම් සේ ද, එසේම ඔබතුමා කළ පින් මහිමයෙන් ඔබතුමා මීළඟ බුද්ධෝත්පාද කාලයෙහි ඉපිද ඉෂ්ට විපාක ලැබීම ඒකාන්ත ය". නිලමේ සහ භික්ෂූන් වහන්සේ අතර පැවැත්ම සානුකම්පිත හා උදාර විය.
මෙතෙක් දණ ඔබා සිටි නිලමේ නැඟිට සෝවර්ස් මහතා දෙසට හැරී "මගේ අවසන් පින්කමෙන් ලත් පිනෙන් කොටසක් ඔබට අනුමෝදන් කරවමි"යි කියා ඉණේ ඔතා සිටි තුප්පොට්ටිය ගලවා මාලිගාවට පූජා කොට, එය අපිරිසිදු වැරහැල්ලක් නමුත් "මා සන්තක එකම වස්තුව මෙය නිසා එය පිදීමෙන් ලත් පින අඩු නොවේ"යයි සරදම් සහගතව පැවසීය.
ඉනික්බිතිව ඔහු වධකස්ථානයට තමා හා කැටුව එන ලෙස සෝවර්ස් මහතාගෙන් ඉල්ලා සිටි නමුත් ඒ ඉල්ලීම කාරුණික හා විනීත ලෙස පරතික්ෂේප කරන ලදී.... ඉන්පසු කැප්පෙටිපොළ ස්ථීර හා තැන්පත් ලෙස සෝවර්ස් මහතාට අතට අතදී සමුගත්තේ ය.
සිරකරුවෝ දළදා මාලිගාවට සැතපුමක් පමණ ඈතින් බෝගම්බර වැව අසල පිහිටි වධකස්ථානයට කැඳවාගෙන යන ලදී. මෙහිදී වතුර සපයන ලෙස සිරකරුවන් ඉල්ලා සිටින ලදුව එසේ කැරිණි. ආගමික වතාවත් සඳහා සුළු වේලාවක් ඉඩදෙන ලෙස කැප්පෙටිපොළ ආයාචනය කළෙන් එයට අවස්ථාව සලසන ලදී. සිරකරුවෝ මුහුණ හා අත් දෝවනය කළහ.
මෙයනික්බිති කැප්පෙටිපොළ තම හිසකෙස් හිස් මුදුනේ කොණ්ඩයක් කොට බැඳ, කුඩා පඳුරක් ළඟ වාඩිවෙමින් පා ඇඟිලිවලින් අල්ලාගත්තේ ය. ඔහු ඉණේ රෙදිපට අතරින් කුඩා බණපොතක් ගෙන ගාථා කිහිපයක් කියවා එය එහි සිටි ස්වදේශික නිලධාරියකුට දෙමින් බදුල්ලේ සේවය කළ කාලයේදී තමන්ට දැක්වූ මිතරත්වය සහ කාරුණික බව පිළිබඳ කෘතඥ පූර්වක ලකුණක් වශයෙන් එය සෝවර්ස් මහතාට දෙන ලෙස කීය.
කැප්පෙටිපොළ නිලමේ පාලි ගාථා සජ්ඣායනය කරමින් සිටියදී වධකයා තියුණු කඩු පහරක් බෙල්ල පිටිපසට ගැසීය. ඒ මොහොතේදී "අරහං" යන වචනය ඔහුගේ මුවින් පිටවිය. දෙවැනි පහරින් පරාණය නිරුද්ධව මෘත කලේබරය වැටුණේ ය.
ඔහුගේ හිස කඳින් වෙන්කොට උඩරට සිරිතට අනුව ළය මත තබන ලදී....
ඉංග්රීසි පාලනයට එරෙහිව පැනනැඟුණු 'උඩරට මහ කැරැල්ල' සඳහා නායකත්වය ලබාදී, කැරැල්ල බිඳවැටීමෙන් පසුව අත්අඩංගුවට පත්ව යුද්ධාධිකරණය මගින් රාජද්රෝහී වීමේ වරදට මරණ දණ්ඩයට නියම කළ කැප්පෙටිපොළ මහදිසාවේගේ අවසන් දිනය පිළිබඳ මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ මෙම සිදුවීම ඇසින් දුටු වෛද්ය හෙන්රි මාර්ෂල් විසිනි.
බ්රිතාන්ය යුද හමුදාවේ ශල්ය වෛද්යවරයකු ලෙස වර්ෂ 1809 සිට 1821 දක්වා ලංකාවේ සේවය කළ වෛද්ය හෙන්රි මාර්ෂල් රචනා කළ Ceylon: A General Description of the Island and Its Inhabitants කෘතිය පසුව ඇල්ලෙපොළ එච්.ඇම්. සෝමරත්න මහතා විසින් 'සිංහලේ' නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී. ඉහත කොටස එම කෘතියෙන් උපුටාගෙන තිබේ.
මව්බිමේ නිදහස වෙනුවෙන් මොනරවිල රාජපක්ෂ වික්රමසේකර බණ්ඩාරනායක මුදියන්සේ රාලහාමි හෙවත් මොනරවිල කැප්පෙටිපොළ මහදිසාවේ දිවි පුදා වසර 206ක් ගෙවෙන දිනයේ එකී කැපකිරීම පිළිබඳ ගෞරවයෙන් සිහිපත් කරමු.
ඡායාරූපය : වෛද්ය හෙන්රි මාර්ෂල් විසින් ස්කොට්ලන්තයට රැගෙන ගිය කැප්පෙටිපොළ මහදිසාවේගේ හිස් කබල වර්ෂ 1948 නැවත වරක් ලංකාවට රැගෙන ආ අවස්ථාවේ එය ප්රදර්ශනයට තබා තිබූ ආකාරය මෙම ඡායාරූපයෙන් දිස් වේ.
වම්පස ඉදිරියෙන් සිටින්නේ කැප්පෙටිපොළ පවුලේ සිවුවැනි පරම්පරාවට අයත් උපාලි මොනරවිල කැප්පෙටිපොළ මහතා ය.
කැප්පෙටිපොල මහදිසාවේගේ හිස්කබල ඇති මංජුසාවට ඉහළින් තබා තිබෙන හතරැස් මුළු තොප්පිය එතුමා විසින් පැළඳි තොප්පියයි. එතුමාගේ සම්පූර්ණ ඇඳුම් කට්ටලයක් මහනුවර ජාතික කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබේ.
එසේම හිස්කබල සහිත මංජුසාවට පසුබිමෙන් අඩක් පෙනෙන ධජය නම් කැප්පෙටිපොල පවුලේ ධජයයි. මෙම ධජය ද මහනුවර ජාතික කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබේ.

Hasitha Chamikara Gunasinghe

A day in the life

Tuesday, November 26, 2024

කැළණි රජ මහා විහාරය









කැළණි රජ මහා විහාරය නිතර කතා බහට ලක් වෙන්නේ දේශපාලන වේදිකාවේ හාස්‍යමත් සිද්ධියක් සිහිපත් කිරීමටය. හදිසියේ මතුවු නාගයෙක් පෑ ප්‍රාතිහාර්ය අවුරුදු ගණණාවක් ගෙවී ගියත් අදත් ජනතාවට මතකය.
නාගයෝ මනුෂ්‍ය ගෝත්‍රයක් බව අමතකය.
කැළණියේ රජකල මණිඅක්ඛිත නා රජුගේ ආරධණයෙන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමග ගෞතම බුදුන් වහන්සේ කැළණියට වැඩම කලේය. මණිඅක්ඛිත නා රජුට සහ පිරිසට ධර්ම දේශණා කලේය.
බුදුන්වහන්සේ වැඩ සිටි ආසනය නිදන් කොට මණි අක්ඛිත නා රජු කුඩා චෛත්‍යයක් ඉදිකර  සිහිවටනයක් පුජණිය ස්ථානයක් බවට කැළණි පුද බිම පත් කලේය.
ක්‍රි. පූර්ව තුන්වන සියවසේදී කැළණියේ රාජ්‍යත්වයට පත් යඨාලතිස්ස කුමාරයා විසින් මෙම චෛත්‍යය සැට රියනක් උස් කොට ප්‍රතිනිර්මාණය කලේය.
ක්‍රි.ව 1187 සිට 1196 දක්වා පොලොන්නරුවේ රජ කල නිශ්ශංකමල්ල රජු කැළනි විහාරය ප්‍රතිසංස්කරණය කළ බව පොලොන්නරුව ගල් පොත සෙල් ලිපියේ සදහන්ය.
ක්‍රි.ව 1213 දී ලංකාව ආක්‍රමණය කල කාලිංග මාඝ විසින් විහාරය , චෛත්‍යය කඩා විනාශ කර කොල්ල කෑවේය.
කාලිංඝ මාඝ ආක්‍රමණයෙන් රට මුදවා ගත් තුන්වන විජය බා රජු ක්‍රි.ව 1232 දී කැළණි වෙහෙර ප්‍රතිසංස්කරණය කර රන් කොතක් පැලදු බව වංශ කතාවල සදහන්ය.
ක්‍රි.ව 1505 දී පෘතුගීසීන් ක්‍රි.ව 1882 දී ලන්දේසීන් විසින්ද වරන් වර කැළණි විහාරය විනාශ කලද එම වකවානුතුල රජ කල සිංහල නරපතීන් කැළණි විහාරය ප්‍රතිසංස්කරණය කර ඇත.
කෝට්ටේ රාජ්‍යත්වයට පත් රජවරුන්ගේ භක්තියාදරයට පත් කැළණි විහාරයෙහි 1509 වසරේදී ධර්ම පරාක්‍රමබාහු රජු විසින් පිරිටුවන ලද සෙල් ලිපිය පෘතුගීසීන් විසින් කැබලි අටකට කඩා දැමු අතර නැවත ප්‍රතිසංස්කරණය කර විහාර භූමියේ තැන්පත් කර ඇත.විදේශීය ආක්‍රමණ නිසා නිහඩ භූමයක් බවට පත්වු කැළණි පුද බිම උඩරට රාජධාණියේ රාජ්‍යත්වයට පත්වු ( ක්‍රි.ව 1747 - 1782 ) කිර්තී ශ්‍රී රාජසිංහ සමයේ නැවතත් නවෝදයක් උදාවන්නේය.
වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ මාර්ගොපදේශයන් යටතේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් කැළණි රජ මහා විහාරය වැඩි දියුණු කල බව ක්‍රි.ව.1779 දී පිහිටුවන් ලද කැළණි විහාර සෙල් ලිපියේ සදහන්ය.
කැළණි රජ මහා විහාරයේ වර්තමාන පුනරුදය ඇරඹෙන්නේ ක්‍රි.ව 1888 වර්ෂයේදීය.
1888 වර්ෂයේ හෙලේනා විජයවර්ධණ ළමාතැනිය විසින් බුදු මැදුරු බිමෙහි ගල් ඇතිරීමෙන් සහ 1927 දී බව බුදු මැදුර සදහා මුල් ගල් තැබීමෙන් ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වර්තමානයේ දකින කැළනි විහාරයේ සිත් පහන් කරන පරිසරයට දායක වී ඇත.


A day in the life

Sunday, November 24, 2024

නිදහස් වෙළද පල.









නිදහස් වෙළඳපල වෙනුවෙන් කතා කරන නව ලිබරල්වාදීන් කියන දෙයක් තමයි, රජය ආර්ථික කටයුතු වලට නැතිනම් වෙළඳපලට මැදිහත් නොවිය යුතුයි කියන කාරනාව වගේම වෙළඳපලට රිසිසේ ක්රියාත්මක වීමට ඉඩ දිය යුතුයි කියන කාරණය. අපි ගත්තොත් Advocata වගේ think tanks, ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ශ්රී ලංකාවේ ක්රියාත්මක කිරීමට උත්සහ කරන්නේ මේ කියන ආර්ථික ප්රතිපත්තිය. බැලූ බැල්මට කෙනෙක්ට පෙනෙන්න පුළුවන් මේක නිරවද්ය තර්කයක් විදිහට. නමුත් නිදහස් වෙළදාම කියල දෙයක් පවතින ලෝකයේ හෝ අතීතයේ පැවතියේ නැහැ කියන කාරණය, "හා ජූන් චැන්ග්" කියන ආර්ථික විද්යාඥයා හොදින් පැහැදිළි කරනවා. ඔහු කියන විදිහට ඊනියා නිදහස් වෙළඳපොළකට යටින් පවතින නීති රෙගුලාසි මොනවද කියන දේ දකින්න අපි අපොහොසත් වෙනවා නැතිනම් හිතා මතාම අපි ඒක නොසලකා හරිනවා.
1819දී එංගලන්තයේදී නීතියක් සම්මත කරනවා. මේ නීතිය තමයි, එකල පැවති කපු කර්මාන්තශාලාවල අවුරුදු නවයට අඩු දරුවන්ට වැඩ කිරීම තහනම් කිරීමත් වයස අවුරුදු දහයත් දහසයත් අතර දරුවන්ගේ වැඩ කාලය පැය දොළහකට සීමා කිරීම. නමුත් ඒ කාලයේ හිටපු ලිබරල්වාදීන් දැඩි ලෙස මේ නීතියට විරුද්ධ වෙනවා, මොකද මේ නීතිය නිදහස් වෙළඳපල කියන සංකල්පයට විරුද්ධව යාමක් කියලා. ඔවුන් නගපු තර්කය තමයි, යම් පාර්ශවයකට ශ්රමය විකිණීමට අවශ්යතාවයක් පවතිනවානම් (කුඩා දරුවන්ට) සහ අනිත් පාර්ශවයට ශ්රමය ලබාගැනීමට අවශ්යතාවයක් පවතිනවානම් (කපු කර්මාන්තශාලා හිමියන්ට), එයට රජය මැදිහත් නොවිය යුතුයි කියන කාරනය. නමුත් අද වෙනකොට අන්ත දක්ෂිණාංශික නව ලිබරල්දිවායෙක් වත් නොකියන දෙයක් තමයි ළමා ශ්රමය පැවතිය යුතුයි කියන එක. ඒ කියන්නේ නිදහස් වෙළඳපලේ මේ කියන තහනම දකින්න අද ඉන්න නව ලිබරල්වාදීන් අපොහොසත් වෙනවා, නැතිනම් හිතාමතාම නොසලකා හරිනවා. මේකෙන් අදහස් වෙන්නේ free market නැත්තන් නිදහස් වෙළඳපල යන්න subjective කියන එක. ඒ කියන්නේ නිදහස් වෙළඳපල interpretation එක අනුව වෙනස් වෙනවා කියන කාරණය.
මේක තවදුරටත් විස්තර කළොත්,රජය පරිසර දුෂණය අවම කිරීම සඳහා වෙළඳපොලේ පවතින රථ වාහන වලට නීති රෙගුලාසි පැනවීමට වසර කිහිපයකට පෙර මැදිහත් වෙනවා. මේ මැදිහත්වීමට ඒ කාලයේ නවලිබරල් වාදීන් නැගු තර්කයක් තමයි, පරිසරය දුෂණය වුවත් යමෙකුට ඒ කියන වාහනය පාවිච්චි කිරීමට අවශ්යනම් සහ රථවාහන කර්මාන්තශාලාවට ඒ හරහා ලාභයක් ලැබෙනවානම්, රජය එයට මැදිහත් නොවිය යුතු බවත් ඒක නිදහස් වෙළඳපොල කියන සංකල්පයට පටහැනියි කියන කාරණය. නමුත් වසර කිහිපයක් ගතවෙනකොට අද සිටින නවලිබරල්වාදීන් මේ කියන නීති රෙගුලාසි දැකීමට අපොහොසත් වුවත් ඊනියා නිදහස් වෙළඳපොලේ මේ කියන රජය විසින් පැනවූ රෙගුලාසි පවතිනවා.
කුඩා කාලයේදී චීන කුන්ග්ෆු කතාවල සිටින බොහෝ සටන්කාමින්ගේ කතා බැලීමට අපි බොහෝ සෙයින් කැමතියි. නමුත් කාලයක් ගතවෙත්ම ඒවායේ සටන් ජවනිකා රගපෑම් බව අප ඉගෙනගන්නවා. නිදහස් වෙළදපොලත් එවැනිම වූ කාරණයකි. නිදහස් වෙළඳපොළක් තුළ දේවල් වෙළඳාම් කිරීමට කිසිදු තහංචියක් නැතැයි සිතුනත් බොහෝ තහංචි ඇති බව අපට දැනගැනීමට පුලුවන්. උදාහරණයක් විදිහට සර්වජන ජන්ද බලය, රජයේ රැකියා, නීතිමය තීරණ, බොහෝ රටවල අවි ආයුධ වෙළඳාම් කිරීමට නොහැකිය. ඒ වගේම වෛද්යවරුන්ට, ඉංජිනේරුවන්ට බලපත්ර තිබීමත් අනිවාර්යය කරුණක් වගේම බොහෝ රටවල් බැංකු ස්ථාපනය කිරීම සඳහා යම් ප්රමාණයක ප්රාග්ධනයක් තිබීමත් අනිවාර්යය රෙගුලාසියක්. නමුත් මෙවැනි නීතිමය රෙගුලාසි අපි හිතාමතාම නොසලකා හරිනවා. නියාමනය නොමැතිකම හේතුවෙන් 2008 ගෝලීය අවපාතයට හේතු වූ කොටස් වෙළඳපොලේ පවා වෙළඳාම් කළ හැක්කේ කාටද යන්න පිළිබඳ නීති තියෙනවා. සමාගම් තම කොටස් වෙළඳාම සඳහා ඉදිරිපත් කිරීමට පෙර නිශ්චිත කාලයක් සඳහා දැඩි විගණන ප්රමිතීන් සපුරාලිය යුතුයි. ඒ වගේම කොටස් වෙළඳාම් කිරීමට අවසර ඇත්තේ බලපත්රලාභී තැරැව්කරුවන් සහ වෙළඳුන්ට පමණයි. මේ සියලු නීති රෙගුලාසි නිදහස් වෙළඳපොළක් කියන සංකල්පයට පටහැනි කාරණා.
ධනවත් රටවල මිනිසුන්ට ගෙවන මුදල ප්රධාන වශයෙන් තීරණය වෙන්නේ අවම වැටුප් කියන නීති මත නොව ආගමන පාලනය මගින්. ඒක තවදුරටත් පැහැදිලි කලොත් රටකට ඇතුළු වීමට අවසර දී ඇති උපරිම සංක්රමණිකයන් සංඛ්යාව තීරණය කරන්නේ නිදහස් වෙළඳපොල විසින් නොවෙයි, එහි ප්රතිඵලයක් ලෙස ස්වදේශික කම්කරුවන් වෙනුවට ලාභදායී, වඩා ඵලදායී සංක්රමණිකයන් විසින් ප්රතිස්ථාපනය වෙනවා. ඒ වෙනුවට ආගමනය බොහෝ දුරට තීරණය වන්නේ දේශපාලනය මගිනි. මෙයින් අදහස් කරන්නේ රජය නිදහස් වෙළඳපොල ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරන අතර අපගේ සියලුම වැටුප් අවසානයේ දේශපාලන තීරණ මත තීරණය වන බවයි.
2008 මූල්ය අර්බුදයෙන් පසු, නොකඩවා පොලී අනුපාත අඩු කිරීම හේතුවෙන් බොහෝ රටවල ණය මිල විය. මෙය සිදු වූයේ මිනිසුන්ට හදිසියේ ණය අවශ්ය වූ නිසා නොව, පොලී අනුපාත අඩු කිරීමෙන් ඉල්ලුම ඉහළ නැංවීමට ගත් දේශපාලන තීරණ නිසායි. සාමාන්ය කාලවලදී පවා, බොහෝ රටවල මහ බැංකුව විසින් පොලී අනුපාත නියම කරනු ලබනවා, එයින් අදහස් කරන්නේ දේශපාලනය විශාල කාර්යභාරයක් ඉටු කරන බවයි. ඉතින් පොලී අනුපාත තීරණය වෙන්නෙත් දේශපාලනය විසින්.
සමහර අවස්ථාවලදී රෙගුලාසි නරක දෙයක් ලෙස පෙනෙන්නේ අප ඒවායේ වටිනාකම් සමඟ එකඟ නොවන විටය. නිදසුනක් වශයෙන්, අතීතයේ දී, එක්සත් ජනපද රජය ඉහළ තීරුබදු සමඟ නිදහස් වෙළඳාමට සීමා පැනවූ අතර, මෙය වහල් හිමියන් කෝපයට පත් කළේ මිනිසුන් වෙනත් ඕනෑම දෙයක් මෙන් වෙළඳාම් කළ හැකි යැයි ඔවුන් සිතූ බැවිනි. වහල් වෙළඳාම තහනම් කිරීම ගැටලුවක් ලෙස ඔවුන් දුටුවේ මිනිසුන් අයිති කර ගැනීම වැරදි යැයි ඔවුන් විශ්වාස නොකළ බැවිනි.
ආර්ථික විද්යාඥයන් යම් යම් රෙගුලාසිවලට එරෙහිව තර්ක කරන විට එය වෙළඳපලක "නිදහස" සීමා කරනු ඇතැයි විශ්වාස කරන නිසා, ඔවුන් ඇත්තටම කරන්නේ ඔවුන්ගේ දේශපාලන මතය ප්රකාශ කිරීම පමණි. ඔවුන්ගේ මතය objective ආර්ථික සත්යයක් මත පදනම් වූවක් බව ඔවුන් මවාපාමින් සිටින නමුත් එය සැබවින්ම ඔවුන්ගේම දේශපාලන මතයක් පමණි. ධනවාදය සත්ය වශයෙන්ම තේරුම් ගැනීමට නම් වාස්තවික වෙළඳපොළක් නොමැති බවත් එය හැඩගැස්වීමේදී දේශපාලනය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවත් අප හඳුනා ගත යුතුයි.
2008 දී එක්සත් ජනපද රජය Fannie Mae සහ Freddie Mac ඇතුළු මුල්ය සමාගම් වලට ඩොලර් බිලියන 200 ක් ලබා දුන් අතර මූල්ය පද්ධතිය අර්බුදකාරී වූ නිසා ඔවුන් පාලනය කර ගත්තේය. ජිම් බන්නින් නම් රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු මෙම ක්රියාව විවේචනය කළ අතර එය ප්රංශය වැනි සමාජවාදී ප්රතිපත්ති ඇති රටක පමණක් සිදුවන දෙයක් බව පැවසීය. 2008 සැප්තැම්බර් 19 වන දින, ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් TARP නම් සැලැස්මක් ප්රකාශයට පත් කරන ලද අතර, එක්සත් ජනපද මූල්ය පද්ධතියේ ගැටළු ඇති කරන "toxic assets" මිලදී ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ මුදල් අවම වශයෙන් ඩොලර් බිලියන 700ක් භාවිතා කර ඇත. මූල්ය ක්රමය අවුල් සහගත තත්ත්වයක පැවති අතර විශාල ආර්ථික අර්බුදයක අවදානමක් පවතින බැවින් මෙම ක්රියාමාර්ගය ගෙන ඇත. බදු ගෙවන්නන්ගේ මුදලින් troubled assets මිලට ගැනීමේ ආන්ඩුවේ සැලැස්ම සමාජවාදී නොව ඒ වෙනුවට වෙලඳපොලට මැදිහත්වීම අත්යවශ්ය බව ජනාධිපති බුෂ් විශ්වාස කලේය. ඇමරිකානු නිදහස් ව්යවසාය ක්රමය විශ්වාස කරන්නේ රජය මැදිහත් විය යුත්තේ අවශ්ය අවස්ථාවලදී පමණක් බවත් ඔහුගේ අදහසට අනුව මෙම තත්ත්වය තුළ මූල්ය අංශයෙන් විශාල කොටසක් ජනසතු කිරීම අවශ්ය වූ බවත් ඔහු තර්ක කළේය. එය ඇත්ත වශයෙන්ම පෙන්නුම් කරන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙළඳපොල පිළිබඳ අදහස යථාර්ථවාදී නොවන බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් රජයේ කාර්යභාරය විද්යාත්මක කරුණකට වඩා දේශපාලන මතයක් බවත් ය.
නිදහස් වෙළඳපල බලකොටුවක් සේ සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේද ආර්ථිකයට රජය ඉහතකී ලෙස මැදිහත්වන අතර, ශ්රී ලංකාවේ වෙසෙන නවලිබරල්වාදී ඔස්තාර්ලා මේ කිසි දෙයක් නොදන්නා අතර ඔවුන් නිදහස් වෙළඳපල පිළිබඳව ගුණ ගායනා කරයි. ඒ නිසා Advocata වැනි think tanks වගේම, රනිල් වික්රමසිංහ සිදු කරන්නේ දේශපාලනයක් මිස ආර්ථික සත්යයක් යැයි සිතීමෙන් අප වැළකිය යුතු යි.
මහාචාර්ය හා ජූන් චෑන්ග් ගේ "23 things they don't tell you about Capitalism" කෘතිය ඇසුරෙනි.
- මිගාර රත්නායක


A day in the life

Saturday, November 23, 2024

කුලියට හැඬූ මීගමු කාන්තාවන් .









“කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ
කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ
මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ
ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ”

මෙම ජන කවිය බොහෝ දෙනෙකු අසා ඇති බවට සැක නැත. මෙය මතු පිටින් එක්තරා ආකාරයකට පරිසර වර්ණනාවක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. පාසල් පෙළපොත්වල ද මේ කවිය පරිසර වර්ණනාවක් ලෙස දක්නට ලැබේ. ගම්පහ දිස්ත්රික්කයේ සියනෑ කෝරළයේ උපත ලද මෙම ජන කවිය අපේ රටේ සිවිල් සේවා නිලධාරියෙකු ව සිටි, විශිෂ්ට ජනශ්රැති පර්යේෂකයකු ද වූ නි.බ.මා. සෙනෙවිරත්නයන් 1964 වර්ෂයේදී සම්පාදනය කරන ලද “සිංහල කාව්ය සංග්රහය – මාතර යුගය” කෘතියෙහි ද ඇතුළත් කර තිබේ.

මේ කවියෙහි මතුපිටින් ධ්වනිත වන අර්ථයට වඩා බෙහෙවින්ම වෙනස් අරුතක් මෙහි අභ්යන්තරයෙහි පවතින බව වර්තමානයෙහි ප්රකට ජනශ්රැති පර්යේෂකයෙකු වන මාධ්යවේදී තිලක් සේනාසිංහ මහතා සියනෑ කෝරලයෙහි ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ කරන ලද ගවේෂණයක් මගින් අනාවරණය කරගෙන තිබේ. කුවේණිගේ සනුහරේ ගැන කතා කරන මා ඒ පිළිබඳ කතාව පසෙක තබා මේ ලෙස ජන කවියක් විවරණය කරන්නට යන්නේ ඇයිද? යන්න මෙය කියවන ඔබට ගැටලුවක් විය හැකිය. නමුත් මීට වඩා හොඳ ආරම්භයක්, ඊට තිබිය හැකි යැයි මට නම් නොසිතේ. එනිසා අපි යළිත් ඒ ජන කවියේ කතාවට යමු. සේනාසිංහ මහතාගේ ගවේෂණයෙහි මෙවැනි සඳහනක් වෙයි.

කුලියට හැඬූ මීගමු කාන්තාවන් ගේ කතාව
“දහ අට වන සියවසේ අග භාගයත්, දහ නව වන සියවසේ මුල් භාගයත් අතර අපේ රටේ සියනෑ කෝරළයෙහි විසූ මහා ධන කුවේරයකු ගේ ලිංගික ජීවිතය මෙම ජන කවියෙහි ඇතුළතින් ගම්ය වන අර්ථයයි. මේ තැනැත්තා සුවිසල් පොල් ඉඩම් ඇතුළු විශාල දේපළකට උරුමකම් කියූවෙකි. අපේ රටේ බොහෝ ප්රභූ සහ රදළ පැලැන්තියේ අතීතයේ බහුලව දක්නට ලැබුණු තත්ත්වයක් නම් තමන්ගේ ඉඩකඩම් ආදියෙහි වැඩ කටයුතුවල යෙදෙමින් ජීවනෝපාය සලසා ගන්නා එම ගම් ප්රදේශවලම වාසය කරන සේවක කාරකාදීන්ගේ රූමත් බිරියන් සහ තරුණ දියණියන් තම ලිංගික අවශ්යතා සඳහා යොදා ගැනීම ය. මෙහිදී එම භාර්යාවන්ගේ ස්වාමිපුරුෂයන් හට මීට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අවසර දෙන්නට සිදුවේ. “කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ” යනු ඒ තැනැත්තාගේ එම ලිංගික චර්යාවයි.

“කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ” යනු එම දෙදෙනා අතර සිදුවන ලිංගික කාර්යය බව දැක්වේ. එසේම මෙම ධන කුවේරයා සමග අනියම් ඇසුරක් පැවැත්වීම පවා එම කාන්තාවන් සලකන්නේ තමන්ට ලැබෙන ගරු නම්බුවක් ලෙස ය. එනිසා ඔවුන් තම සැමියාට සේම ගම්මුන්ට පවා මහත් උඩඟු බවක් පෙන්වූ බවද ප්රකට කරුණකි. මෙම දෙවන පද පේළියෙන් එම අරුත ද ගම්ය වන බව පැවසේ.

“මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ” යන්නෙන් එම කාන්තාවන්ගේ සැමියන් පිළිබඳව අදහස් කෙරේ. එම ප්රභූවරයාගේ දාසයන් වන තමන්ට සිදුවන මෙවැනි ප්රබල අසාධාරණයකදී පවා හිස වනා එය පිළිගැනීම මිස ඊට එරෙහිව යෑමට ඔවුන්ට හයියක් තිබුණේ නැත. එනිසා මෙම ස්වාමිපුරුෂයන්ව මී හරකාට උපමා කෙරිණි.

“ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ” මෙහි සිව්වන පේළියයි. ඇටිකිත්තන් යනු කුඩා ගෙඹි විශේෂයකි. මීට ජානෝ හෙවත් ජනතාව යන පදය එකතු කිරීමෙන් කවියා අදහස් කරන්නට ඇත්තේ අවශේෂ ජනතාව ය.

“ජෙග ජෙග” ගෑම යනු ඔවුනොවුන් රහසේ කතිකා කිරීමයි. ගමේ ප්රභූවරයකුගේ කුමන ක්රියාවකට වුවද එළිපිට විරෝධය දැක්වීමට අතීතයේ සාමාන්ය ජනතාව බිය වූහ. එනිසා ඔවුන් මෙවැනි දෙයක් කතා කරන්නේ රහසේ ය. මෙහි “ජෙග ජෙග” යන්නට තවත් විවරණයක් ද සේනාසිංහ මහතා සිය ලිපියෙහි දක්වයි. අරාබි බසින් ලිංගික ක්රියාව දක්වන පහත් ඕලාරික වදනක් වන්නේ “ජිගි ජිගි” යන්න ය. මෙහි ජිගි යන වදන having sex යන අරුත ගෙනෙන, නමුත් පහත් වදනක් ලෙස ඉංග්රීසි ශබ්ද කෝෂවල දැක්වේ.

අපේ රටේ අතීතයේ ජීවත් වූ බොහෝ ප්රභූවරුන්ගේ සහ රදළ පැලැන්තියේ ක්රියාකාරකම් ඉහත සඳහන් කළෙමු. මෙයින් අදහස් කරන්නේ වර්තමානයේ මෙවැනි දේවල් නැති බවක් නොවේ. සිදු වී තිබෙන්නේ ඒවායේ මුහුණුවර වෙනස් වීම පමණි. ඒ කෙසේ වුව ද එම කුලවතුන්ගේ සහ ප්රභූවරුන්ගේත්, ධන කුවේරයන්ගේත් භාර්යාවන් වන කුමාරිහාමිලා, මැණිකේලා, ළමාතැනීලා තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මේ කෙරුවාවල් නොදැන හිඳින්නේ නොවේ. එම ගම් ප්රදේශවල තම ස්වාමිපුරුෂයාගේ මුහුණුවර ඇති දරුවන් ද ඔවුන්ට සාමාන්ය දෙයකි. මේවා එම පැලැන්තිවල අංගයක් වීම ඔවුන්ට සුපුරුදු ය. ඊට අකැමැති වුවත් මොන හේතුවකටවත් දික්කසාද වීම ඔවුන් සිහිනෙකින්වත් නොසිතූ බවක් පෙනේ. එය එම කාන්තාවට සේම ඇගේ හත්මුතු පරම්පරාවට පවා සිදු කරගන්නා විශාල කැළලක් ලෙස අතීතයේ සැලකිණි. එසේම දික්කසාද නිසා ඔවුනොවුනට අහිමි වන ධනය සහ දේපළ කන්දරාව ගැන ද සුළු කොට සැලකිය නොහැකිය. මේ සියලු දේ තුළ අතීතයේ ප්රභූ කාන්තාවන්ට තමන්ගේ සැමියාගේ අනාචාරයන් දරාගෙන සිටීමේ හැකියාව පරම්පරාවෙන්ම උරුම වන්නට ඇති බවට සැකයක් නැත.

මෙවැනි ජීවිතයක් ගත කළ සැමියකු මියගිය පසු එම කුමාරිහාමිට, මැණිකේට නැතහොත් ළමාතැනීට එය ඒ හැටි දුකක් වන්නට කාරණාවක් නොවේ. වර්තමානයේ අවමඟුල් ගෙවල්වල ශෝක කරන්නන් මිස කෑ ගසා ළතෝනි දෙමින් හඬන අය අඩු ය. නමුත් අතීතයේ එලෙස විලාප දෙමින් කෑගසා නොහැඬුවොත් එය මියගිය පුද්ගලයාට කරන මදි පුංචිකමකි. අනෙක් අතට මියගියේ සැමියා නම් ඔහුගේ බිරිඳ එලෙස විලාප නඟා නොහැඬුවොත් “ඒකිට හොර මිනිහෙක් ඉන්නව ඇති” කියන්නට තරම් අපේ සමාජය සැහැසි වූහ. හඬන්නේ කවුදැයි බලන්නටම මළ ගෙවල්වලට ගොඩ වූ අයත් නොසිටියා නොවේ. මෙය පිරිමින්ට අදාළ නොවන්නේ පිරිමින් සාමාන්යයෙන් හඬන්නේ නැතැයි හෝ හැඬිය යුතු නැතැයි නිගමනයක් සමාජය විසින්ම ගෙන තිබූ නිසා ය.

මෙබඳු වාතාවරණයක් තුළ හැඬීම සඳහා ගැහැනුන් ව කුලියට හෝ ගැනීමට මියගිය පුද්ගලයාගේ නීත්යනුකූල බිරිඳ ඇතුළු පවුලේ අය පෙළඹීම පුදුමයට කරුණක් නොවේ. කුලියට හඬන ගැහැනුන් පිළිබඳ කතන්දරය කරළියට එන්නේ මෙලෙස ය.

කුවේණිගේ සනුහරේ කාන්තාවන් ලෙස සැලකිය හැකි මෙම කාන්තාවන් එකල ජීවත් වුණේ පුත්තලම සිට කොළඹ දක්වා වෙරළබඩ තීරයේ බවත්, ඉනුත් මීගමු ප්රදේශය විශේෂිත බවත් පෙර ලිපියෙහි සඳහන් කළෙමු. කුලියට හඬන කාන්තාවන් මීගමුවේ සිටි බව ප්රචලිත ය. එක්දහස් අටසිය ගණන්වලටත් පෙර සිටම මෙය ආදායම් මාර්ගයක් ලෙස ඔවුන් විසින් කරගෙන ආ බව කරුණු සොයා බැලීමේදී පැහැදිලි වෙයි. එක්කෙනෙක් දෙන්නෙක් නොව කාන්තාවන් පිරිසක් විසින් මෙය සාමූහිකව කරගෙන ආ ක්රියාදාමයකි.

මොවුන්ගෙන් සේවය ලබා ගත්තේ ඉහත විස්තර කළ පරිදි අපේ රටේ ධනවතුන්ගේ නිවෙස්වල ය. අවමඟුල් නිවසේ සෙනඟ වැඩි අවස්ථාවට මේ කාන්තාවෝ පැමිණ හඬන්නට පටන් ගනිති. මියගිය පුද්ගලයාගේ බිරිඳට සිය සැමියා වෙනුවෙන් කෑ ගසා වැළපීමට තරම් හේතුවක් නොමැති වීම පමණක් නොව, ඔහුගේ හොර අඹුවන් ඔහුට දාව උපන් දරුවන් ද සමග පැමිණ යම් හෙයකින් ඒ දරුවන් “අනේ අප්පච්චි” නැතහොත් “අනේ තාත්තේ” යනුවෙන් කෑ ගසා හඬන්නට වුවහොත් එවැනි තත්ත්වයකදී ඇති විය හැකි ලජ්ජාව මකා ගන්නට ද මෙසේ කුලියට හඬන කාන්තාවන්ගෙන් විශාල සේවයක් ඔවුහු ලබා ගත්හ. සමූහයක් මැද මෙලෙස විලාප නගමින් කාන්තාවන් හඬන ආකාරය රැස්ව සිටින අනෙක් අයගේ ද දෑස්වලට කඳුළු උනන්නට සමත් වෙයි. එහි දී ඔව්හු මෙම මිය ගිය ප්රභූන්ගේ නැති ගුණ පවා වර්ණනා කරමින් හඬා වැළපෙති. අප රටේ අවමඟුල්වල දී මෙවැනි ගුණ වැයුම් විලාපයක් දෙවන රාජසිංහ රජ සමයේ (ක්රි.ව 1635-1687) ද පැවැති බව ඉංග්රීසි ජාතික රොබට් නොක්ස් කියයි. මෙහිදී තවත් දෙයක් සඳහන් කළ යුතුය. මෙලෙස කුලියට හඬන කාන්තාවන්ගේ සේවය ලබාගන්නේ ඉහත කී ආකාරයට ධන කුවේරයන්ගේ නිවෙස්වල එම ගෘහ මූලිකයා මියගිය අවස්ථාවල පමණක්ම නොවේ. අවශ්ය ආකාරයට පවුලේ වෙනත් අය මියගිය අවස්ථාවල වුවද එම මරණය හඬා දොඩා වැළපෙන්නට තරම් කාරණයක් නොවේ නම් තම ජාමෙ බේරා ගැනීම සඳහා කුලියට හඬන කාන්තාවන්ගේ සේවාව ලබා ගැනේ.

සමහරුන්ගේ මතය වන්නේ මෙම කාන්තාවන් මත්පැන් පානය කර මෙම කාර්යයට එන බවයි. මීගමු කාන්තාවන් බහුතරයක් අතර, විශේෂයෙන් වෙරළබඩ කාන්තාවන් අතර මත්පැන් ප්රචලිත බව මුසාවක් නොවේ. නමුත් මෙය එම කාන්තාවන්ගේ රාජකාරියක් මිස, මෙය ඔවුන් මත්පැන් බී වෙරි වී මළගෙදර නාඩගමක් නටන්නට එන ගමනක් නොවේ.

මෙම හඬා වැළපීම් අතීතයේ හැඳින්වූයේ “ළතෝනි” ලෙසිනි. සිංහලයෙහි ළතෝනි යන්න ළ තැවුම යන්නෙන් බිඳී ආ එකක් බව පෙනෙයි. ක්රිස්තියානි ආගමිකයන් යේසුස් වහන්සේ කුරුසියට තබා ඇණ ගැසීම සිහිකරමින් කරනු ලබන දුක්ප්රාප්ති ගායනා ද ළතෝනි ලෙසින් අතීතයේ හැඳින්විණි. දුක්ප්රාප්ති ගායනාවලින් සංකේතවත් වන්නේ යේසුස් වහන්සේගේ මෑණියන් වන මරියතුමියගේ වැළපිල්ලයි.

ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ ළතෝනි යනු litany (ලිටනි) යන ඉංග්රීසි වදනින් බිඳී සිංහලයට නැගුණු වදනක් ලෙස ය. litany යන්නෙහි අරුත් දෙකක් දක්වයි. එකක් නම් යාඥාව ය. අනෙක වෙහෙසකර වූ එක දිගට කියාගෙන යෑම ය. ළතෝනි යනු වෙහෙසකර කියාගෙන යෑමක් ලෙස දක්වන්නට පුළුවන. litany යන ඉංග්රීසි වදන ග්රීක භාෂාවෙන් litaneia ( ලිටානියා) වෙයි. ලිටනි, ලිටානියා යන වචන දෙකම ළතෝනි යනුවෙන් සිංහලයට වර නගන්නට නොහැකිකමක් නොමැත.

මුලින්ම මෙම දුක්ප්රාප්ති ගායනා හඳුන්වා දුන්නේ ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ රජු දවස සිටි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ය. සංගීත ශිල්පය හොඳින් හදාරා තිබූ මෙම පියතුමා වයලීන වාදනයෙහි අතිදක්ෂයකු ලෙස සැලකේ. සිංහල භාෂාවෙන් ළතෝනි ලියා ගොන්සාල්වෙස් පියතුමා ඊට තනු යොදා තිබුණේ බෞද්ධයන් මළගෙවල්වල අතීතයේ සිට ගායනා කළ වෙස්සන්තර ජාතක කතාව ඇසුරින් නිර්මාණය වූ වෙස්සන්තර වැළපිල්ලෙහි තනුව ඇසුරු කරගෙන ය. මෙම කිතුණු ශෝකාකූල නාද රටාවන් ළතෝනි, දුක්ප්රාප්ති ගායනා මෙන්ම පසම් ලෙසින් ද හඳුන්වයි. පසම් යනු පෘතුගීසි පයිසම් යන වදනින් බිඳී ආවකි. පයිසම් යන්නෙහි අරුත ද දුක්ප්රාප්ති යන්නයි. සාමාන්යයෙන් මේවා ගායනා කරන විට වාද්ය භාණ්ඩ යොදා ගන්නේ නැත.

මෙම දුක්ප්රාප්ති ගායනා විලාසය මීගමු කාන්තාවන්ගේ පාරම්පරික උරුමයක් බඳු ය. ඔවුන් කිතුනු බැතිමතුන් බැවින් ජන්මයෙන්ම ඔවුන්ට මෙය ලැබී ඇති දෙයකි. එනිසා අවමඟුල් නිවෙස්වල වැළපීම ද ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ අසන්නන්ගේ සිරුරු ලොමුදැහැගැන්වෙන ආකාරයට මහත් කම්පනයක් ඇති කරවන අයුරිනි. අවමඟුලට පැමිණෙන කිසිවකුටවත් මේ පිළිබඳව සැකයක් ඇති නොවෙන අයුරින් අගේට මේ කටයුත්ත කරන ආකාරය ඔවුහු දනිති. ඇත්තටම හඬන්නේ කවුද, බොරුවට හඬන්නේ කවුද මේ කිසිවක් අමුත්තන්ට වෙන් කර සොයා ගැනීමට කෙසේවත් හැකියාවක් නොලැබේ.

අද වන විට කුලියට හඬන මීගමු කාන්තාවන් යනු ජන වහරට සීමාවූවක් පමණි. ඉතිහාසඥයන් සහ මානව විද්යාඥයන් මේවා ගවේෂණය කර අනාගත පරපුර වෙනුවෙන් ලියා තැබීම සුදුසු යැයි සිතමු.


ඉන්දු පෙරේරා
-Sunday Divaina'


මේ ඉන්දු පෙරේරා ගේ ලිපියට ලැබුන ප්‍රතිචාරයක්. ( සමාවෙන්න ප්‍රතිචාරය පල කල කියවන්නා පල නොකිරීම සම්බන්ධව.)

පොඩි අවුලක් තියෙනවා අපිට පහ වසරේ සිංහල පොතේ නම් තිබුණු කවිය මීට වඩා වෙනස්
කැලණි ගඟානෝ නිතරම වතුර ගලානෝ
කෙටෙල පටානෝ උඩ යට කෙටෙල පටානෝ
ඇටිකිති ජානෝ නිතරම ජෙක ජෙක ගානෝ
අඩු දිග ජානෝ දිය පිට පැන පැන යානෝ

දන්නේ නැති නිසයි අහන්නේ එතකොට මේ කවිය මොකක්ද?

 

මීදුම Published @ 2014 by Ipietoon