Wednesday, August 16, 2017

කාලය මැවු අරුමය

දිය උගුල.



කාලය බොහෝ අරුමයන් මවනවා .අපේ දැනුම සහ අවබෝධයේ තරමත් කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර පනස් පහක් පමණ කාලයක්  ආපසු ගමන් කල විට මා එදා අවුරුදු  පහලොවක පමණ ගැටයෙක්. එකලත් අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලටත් පත්වෙලා.
අද පුංචි දරුවෙකුට ඇති අවබෝධය සහ  තාර්කික බුද්ධිය එදා අපිට තිබිලා නැහැ කියලා මට දැන් හිතෙනවා. අපි එදා  ගතානුගතිකව හිතලද ?.

එක් එක් අයගේ ජීවන රටා වෙනස් . එකල ගොවියාගේ පුතු ගොවිපලට රැගෙන යනවා හෝ මවුපිය සහයට ගොවිපලට යන්නේ පෙළඹවීමකින් තොරවයි. මගේ පියා සාමාන්‍ය වෙලෙන්දෙක්. මමත් ඔහු පවත්වාගෙන ගිය වෙළද සැලට උදව්වට යාම පුංචිකාලේ සිටම සිදුවු දෙයක්. වයසේ තරමට සුළු සුළු අත් උදව් දීමෙන් ඇරඹී මේ කටයුතු පසුකාලය වන විට පියාගේ අනුප්‍රාප්තිකයා බවට පත්කීරිම දක්වා පුහුණුවක් වුනා.

මේ මුලපිරීම බරපතල සාකච්ජාවක් සදහා වගේ පෙනුනත් වියමන වෙන්වෙන්නේ සරල සිදුවීමකින් තැතිගත් මනස මට කල හදියක් කීමට සහ අපේ පැරන්නන් ස්වභාව ධර්මය උපයෝගී කරමින් කල නිෂ්පාදනයක් හදුන්වා දිමටයි. ඒ අතර තවත් අතුරු කතා තියෙනවා.මේ කතා -   මම පලවන වසරේ සිටිනා මගේ මුණුපුරා තරම්වත්  බුද්ධිය භාවිතා කරලා නැහැ කියන සිද්ධාන්ත තහවුරු කරගන්නා කතාන්දර.

කතාවට ප්‍රවේශවුනේ තාත්තාගේ වෙළද සැලේ අත් උදව්වට ගිය බව කියමින්නේ. අපි ජීවත්වු සහ තාත්තාගේ ගණුදෙණු කරුවන් වාසය කල වපසරිය විශාල ප්‍රදේශයක්.එකල අක්කර දහසකටත් අධික ප්‍රදේශයක් පුරා පැතුරන තේ වතුයායක් මේ විශාල ප්‍රදේශයට අයත් වුනා. ( අද මෙ වතුයාය අක්කර සීයයකට පමන සීමා වෙලා අනෙක් නව සීයයම වල් බිහිවෙලා. අපට සමෘධිමත් ආර්ථිකයක් පැවතිය හැකිද ? )   සේවය කල වතු කම්කරුවන් හට ආහාර පාන වගේම ඇදුම් පැළදුම් වැනි අවශ්‍යතා මාසික ණය පදනම මත මිලදී ගත්තේ පියාගේ වෙළද සැලෙන්. සෑම මසකම දහවෙනිදා හෝ ඊට ආසන්න දිනක කම්කරු වැටුප් ගෙවන විට මටත් මගේ වසසේ සිටි මගේ නැන්දාගේ පුතාගේත් රාජකාරිය වුනේ කුඩා පොතක සටහන් කරගත් ඒ ඒ ගණුදෙණු කරුවන්ගේ ණය මුදල් එකරැස්කරගෙන ඒම සදහා ඔවුන් විසු නිවෙස් වලට යාමයි. දින දෙකක් ගතවු මේ ගමන අපි දෙදෙනාට විනෝදමත් චාරිකාවක්. සෑම වාරයකම අපි දෙදෙනාට ආපසු නිවෙස් වලට ඒමට සිදුවන්නේ  දෙගොඩ හරියේ රාත්‍රී දොලහට එකට.

1976 දක්වා අවුරුදු විස්සකට අධික කාලයක් කරන ලද මෙම කාරිය අවසන් වුනේ සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමෙන් වතු කම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමත් සමගයි. එදා පැවති අක්කර දහසක් පමණවු වතුයාය අක්කර සීයයකට පමණ සීමා වීම ඇරඹුනෙත් මේ හේතුව නිසයි.

ඉතින් ..... එක් දවසක අපි දෙන්නා ඒ කිව්වේ මස්සිනාලා දෙන්නා මහ රෑ ඝණ අන්දකාරය මැදින්  ගෙදර එනවා. 
පෙරදා ගෙන ගිය විදුලි පන්දම් දෙකේ  බැටරි කලා මැදිරි එළි වගෙයි. බැටරි බැහලා. අතුරු පාරවල් ( ෂෝර්ට් කට් ) හරහා අපි ගමන ඉක්මන් කරනවා. තේ වතු යාය අවසන් වෙන්නේ වෙල් යායක් මැදින් වැටී ඇති අතුරු මගකින්. අපි දෙන්නට ඇහෙනවා අමුතු සද්දයක්  “ ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.අපිට මතක් වෙනවා අපි ගමන් කරන බිම් කඩ පිළිබදව. ගම්මුන් බලි තොවිල් කර මල් තට්ටු ගෙනවිත් දමන තැන, යකුන් ප්‍රේතයන් අල්ලා ගෙන විත් ඇණ ගසන සුවිසල් ඇට’ඹ ගස.
අපි නිශ්සබ්දයි. ගල් ගැහිලා. තීරණයක් නැතිව හිටිවන ඉන්නවා . “ ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. 

“අයියේ ...මස්සිනා මට කියනවා. මොකද කරන්නේ ?  අපි ආපහු යමු ” මම කියනවා . අපි ආපසු හැරී ප්‍රධාන මාර්ගය තෝරා ගෙන  සැතපුම් භාගයක් විතර ආපසු  ගොස් ප්‍රධාන මාර්ග ඔස්සේ යලිත් එනවා. ගමන සැතපුම් එකයි භාගයක් විතර දික්වෙනවා. මේ එන අතර වතු කම්කරුවන්ගේ සොහොන් කොත් කිහිපයක් පහුකරන්න ඕන. මේ සොහොන් කොත් අතර එක් සොහොනක් ගම් වැසියන් අතර සුප්‍රසිද්ධ සෙහොනක් තියෙනවා. හදුන්වන්නේ “කනක්කයාගේ සොහොන ”කියලා.මේ කනක්කයාගේ සොහොන පහු කරන අපි දෙන්නාට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. පසු පසට තල්ලු කරනවා විශාල මාර ගස් විලාප දෙනවා. අපිට බුදු හාමුදුරුවෝ සිහිවෙනවා. ඉතිපිසෝ ගාථාව අපි මහ හයියෙන් ගායනා කරනවා.වෑයමෙන් ඉස්සරහට තල්ලු වන අපි ඒ බාධකයත් ජය ගෙන යාන්තම් ගෙදරට එනවා.

පහුවදා දෙන්නටම සහලෝල උණ.තොවිලයක් නොකර බේරුනත් ... තෙල් සාත්තුවකින් යාන්තම් බේරුනා.

සතියකට විතර පස්සේ අපි දෙන්නට ලැබුන විවේකයකින් මේ  “ටකස් - ටොකස් ” ජංජාලේ සුලමුල හොයන්න ගියා කියමු. මහ දවලුත්  ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. ඇහෙන්නේ වෙල් යායෙන්. හඩ ඔස්සේ ගිහින් බලපුවම දිය පාරකට සවි කර තිබු “දිය උගුල” තමන් ගේ රාජකාරිය ඉටු කරනවා.

( බලන්න  https://www.facebook.com/1871586953129950/videos/1884404061848239/ තවමත් රාජකාරියේ )

අපි පිටුපසට තල්ලු කල බල වේගය සොයාගන්න නම් සෑහෙන්න කාලයක් ගතවුනා. ජුනි - සැප්තැම්බර් කාල පරාසය මේ ප්‍රදේශයට තද හුලං හමන කාලයක්.මේ කියන බිම් කොටස හරහා හමන තද සුළග වාහන වලට පවා ප්‍රතිරෝධ දක්වනවා. ‘කනක්කයගේ සෙහොන’  පිහිටුවා තියෙන්නේ මේ සුළං කලාපයේ . කනක්කයගේ සෙහොන අදත් තියෙනවා. තද හුලං තියෙන දවස් වලට අදත් මේ හරියෙන් යන්න අපහසුයි. අපි දෙන්නට එදා  ‘කනක්කයගේ සෙහොනේ’ අභිරහස නිරාකරනය කරගන්න බැරිවුනා.

වියමන දික්වෙනවා. 

අපේ පුංචි එකා - මුනුපුරාට පොඩි අසනීපයක් හැදෙනවා. මම යෝජනා කරනවා පැටියෝ අහවල් සීයට කියලා වතුර ටිකක් මතුර ගෙන එන්නද කියලා. “සීයේ එයාට පියාඹන්න පුළුන් වෙන්න මතුරන්න පුළුවන් ද ?. ” පුංචි එකා මගෙන් අහනවා.


එහෙමයි. කාලය මැවු අරුමය.






notes of imaginary

Monday, August 14, 2017

නුවර එළිය දකින්න ගියෙමි.


හක්ගල උද්‍යානය 

හක්ගල උද්‍යානය -

හක්ගල උද්‍යානය -

නුවරඑළිය නගරය අනෙක් නගර වලට වඩා විශේෂිතයි. ප්‍රදේශවාසීන්ට වඩා නගරයේ තාවකාලිකව එන යන සංචාරකයන්ගේ නවාතැන්පලක්.
හක්ගල උද්‍යානය ,හෝර්ටන්තැන්න,අඹේවෙල සත්‍ව ගොවිපල,ඇවිද ගොස් නවාතැන් සදහා නුවරඑළිය තෝරා ගන්න බොහෝ සංචාරකයන් ගේ පුරුද්දක්. අප්රේල් නිවාඩු කාලය  නුවරඑළියට වසන්ත සමය උදාවෙනවා. නගරය දේශිය සංචාරකයන්ගෙන් පිරී ඉතිරෙන මේ වකවානුව නවාතැන් ආහාර පහසුකම් සපයන අයගේ සහ අතමිට සරුවෙන කාලයක්. සීතල නුවරඑළිය මේ දිනවල  - ඔවුන්ගේ වහර අනුව “ වේලෙනවා” .

හෝර්ටන් තැන්න පාමුල නිවසි මට උදෙන්ම නුවර එළියට ගොස් අවට කරක් ගසා හවස්වෙන කොට නිවසට ආපසු පහසුවෙන් එන්න පුළුවන් . බලන්ගොඩ, බෙරගල,හපුතලේ, බොරලන්ද, කැප්පෙට්ටිපොල, හරහා නුවරඑළිය ගමන්මග මාර්ග පද්ධතිය දියුණු කරපු නිසා පැය දෙකක ගමනක්.අපේ පැරන්නෝ හොර්ටන්තැන්න හරහා පයින් නුවරඑළියට පැමිනිලා තියෙනවා. ඒ වගේම විදේශික වැවිලිකරුවන් අශ්වයින් පිට කොළඹ ගිය යුගයේ නුවරඑළියේ සිට බෙලිහුල්ඔයදී බදුල්ල -කොළඹ මාර්ගයට අවතීර්න වෙලා තියෙනවා. ඒ යුගයේ බෙලිහුල්ඔය තානායම ඔවුන්ගේ නවාතැන්පල වෙලා තිබුනා.


හක්ගල උද්‍යානය නඩත්තු වෙනවා දකින මට වික්ටෝරියා උද්‍යානය වල් බිහිවෙන නිමිති පහල වෙලා කියලා මම දකිනවා. මේ දැක්ම ආයතන දෙකක ක්‍රියාශිලිත්‍වය පෙන්නුම් කරනවා. මෙයට හේතුව පලාත් පාලන ආයතන අක්‍රීයවිමේ විපතක් කියලයි මම හිතන්නේ.ගෙග්‍රරි වැව ආශ්‍රිත විල්ලුවත් විනෝද පහසුකම් සපයන අය හැරෙන්න නඩත්තු කටයුතු ඇනහිටලා වගෙයි මම දැක්කේ. නුවරඑළිය වසන්තය එනකොට නිදා ඉන්න නගර සභාව අවදි වේවි.හැමදාමත් අවදියෙන් ඉන්න ඕන කියලා කවුරුත් කියලා නැතිව ඇති.
























notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon