Tuesday, August 05, 2025

ඇහැලේපොළ මහ නිලමේ .



ඇහැලේපොළ නිලමේ කියන්නේ මහනුවර රාජධානියේ අවසන් කාලයේ සිටි විවාදාපන්න චරිතයක්. සමහර ඉතිහාසඥයන් ඔහුට චෝදනා කරන්නේ ලංකාව ඉංග්‍රීසින්ට පාවාදීමට ඔහු මුල් වූ බව යි. ඇහැලේපොළ චරිතයේ නොදන්නා පැතිකඩ කිහිපයක් විමසා බැලීමට ගත් උත්සාහයක් තමයි මේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ‘ඇහැලේපොළ ගමේ උපන් ඇහැලේපොළ මහ නිලමේගේ පියා වූයේ පඩිකාර නිලමේ යි. මව කොස්සින්නේ කුමාරිහාමි වුණා. ඇහැලේපොළ අදිකාරම ක්‍රිස්තු වර්ෂ 1773 දී උපන් බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ඔහු විවාහ වුණේ පසුකාලීනව හට ගත් 1818 ඌවේ කැරැල්ලේ නායකත්වය ගත් කැප්පෙටිපොළගේ දිසාවගේ නැගෙණිය වූ මොනරවිල කුමාරිහාමි සමඟ යි.
පිළිමතලව්වේ අදිකාරම ඔහුගේ මාමා වුණා. මේ නිසා උඩරට රදළයන් අතර ඔහුට ඉහළ තැනක් හිමි වුණා. මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් හෙබි ඇහැලේපොළ සාමාන්‍ය උසින් යුත් පුද්ගලයෙක් බව ඉංග්‍රීසි වාර්තාවලින් පේනවා . එකල සිරිත අනුව ඔහු කොණ්ඩය පස්සට පීරා බැඳ තිබුණා. මුහුණ වසා සිටි තද පැහැ රැවුළ මනා සේ කොට කර කපා තිබුණා. ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් නමින් තමයි ඔහුගේ සම්පූර්ණ නම තිබුණේ.
ක්‍රිස්තු වර්ෂ 1806 දී මීගස්තැන්නේ අදිකාරම් මිය යාමෙන් පසුව උඩගම්පහ දිසාවේ හැටියට රජු පත් කළේ ඇහැලේපොළ නිලමේ යි. ඇහැලේපොළ දෙවැනි වුණේ මහ අදිකාරම තනතුර දැරූ පිළිමතලාවේ නිලමේට පමණ යි. පිළිමතලව්වේ රාජද්‍රෝහී විම නිසා මරණයට පත් කිරීමෙන් පසු ශ්‍රි වික්‍රම රාජසිංහ රජු මහා අදිකාරම් ධුරයට පත් කළේ ඇහැලේපොළ යි. ඒ ක්‍රිස්තු වර්ෂ 1812 දී යි. එම පදවිය ලැබීමෙන් පසු ඔහුගේ නමට දීර්ඝ අභිධානයක් එක්වුණා. එම අභිධානය ඇහැළේපොළ සන්නසේ මෙසේ සඳහන්ව තිබෙනවා:
පුවර දනකර තෙජතෙජහිරාම උතුම් ශ්‍රී වික්‍රම රාජසිංහ අප දෙව්රාජෝත්තමයාණන් වහන්සේ සකල නාගරාග සම්පූර්ණ ​සෙංඛඬ ශෛලාභිධාන ශ්‍රී වර්ධන පුරයෙහි නවරත්න වර වීර රාජකීය වදාරණ සමයෙහි ශ්‍රී ලංකාධිපති එම දෙවි මහා රාජෝත්තමයාණන් වහන්සේ අග්‍රාමාත්‍ය පද ප්‍රාප්ත වූ හෙවත් රන් ආවුද මංඩපේ ලේකම් ගිලීමලේ බඹරබොටුව සාරාමරුනින්ද විද‌න විහාර දේවාල ගබඩාගම් හා සබරගමු දිශාව ඇතුළුව මහනුවර අධිකාරම් නිළය කරවන විසුඬ වරවංශාභිජාත ඇහැලේපොළ විජසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් පණ්ඩිත මුදියන්සේ …
මෙම වර්ණනාත්මක හේතු පාඨයෙන් පැහැදිලි වන්නේ ඇහැලේපොළ නිලමේ මහා අදිකාරම් ධුරයට පත් කරන්නට තරම් දැඩි විශ්වාසයක් රජු තුළ පැවැති බව යි. නැතහොත් සියලු විශ්වාසවන්තයන් රජුගෙන් ඉවත් වෙද්දී ඇහැලේපොළට ප්‍රධාන තනතුර බාර දී ඔහුගේ හිතවත්කම වැඩි කර ගැනීමට රජු සිතුවා වන්නටත් පුළුවන්. උඩරට සිංහාසනය නායක්කාර් රජවරුන් සතු ව පැවැතීම ගැන රදළවරුන් කලක් සිට පසුවුණේ නොකැමැත්තෙන්. ඇහැලේපොළ අදිකාරම්ගේ අදිටන වුණේ ද යළිත් උඩරට සිහසුන සිංහලයන් අතට පමුණුවා ගැනීමයි.
ඇහැලේපොළ අදිකාරම්ගේ දෙවෙනි අදිකාරම ලෙස පත්න සිටියේ උනම්බුව දිසාව යි. ක්‍රිස්තු වර්ෂ 1812 දී උනම්බුව මිය යෑමෙන් පසුව ඒ තනතුරට පත් කළේ අහැලේපොළගේ පරම හතුරකු වූ සත් කෝරළේ දිසාපති ධුරය හෙබ වූ මොල්ලිගොඩ යි. එය ඇහැලේපොළ අසතුටු කළ සිද්ධියක් බව නිසැක යි.
රජු, ඇහැලේපොළ අදිකාරම් සබරගමු දිසාව පාලනයට පාලනයටඉන් පසු පිටත් කළා. සබරගමුව ඊට පෙර පැවතියේ හිටපු මහඅදිකාරම් පිළිමතලව්වේ යටතේ යි. ඇහැලේපොළ සබරගමුවට පත්කර එවීමට හේතු වූ විවිධ කරුණු පැවසුණත් ජනප්‍රවාදයක එන්නේ ඇහැලේපොළ කුමාරිහාමිට හිත ගිය රජු ඇහැලේපොළ සබරගමුවට පිටත් කර යැවූ බව යි. කුමාරිහාමි අනියම් ඇසුරට රජු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් කියවෙනවා.
සබරගමුවට පැමිණි ඇහැලේපොළ දිසාව පළාතේ කෘෂිකාර්මික කටයුතු දියුණු කරමින් සාමාන්‍ය ජනතාවගේ ශුභ සිද්ධිය උදෙසා කටයුතු රාශියක් කළා. ඔහු තාවකාලික ව පදිංචි ව සිටියේ රත්නපුර බටුගෙදර මුත්තෙට්ටුවෙගම යි. එය තල්අතු හෙවිල්ලූ තාවකාලික නවාතැනක් වුණා. ඒ නවාතැන අසල කොඩිතුවක්කු හතක් පිහිටුවා තිබුණු බවත් නිතිපතා මිනිසුන් 350ක් එහි ගැවසුණු බවත් ජෝන් ඩොයිලි සිය දිනපොතේ සඳහන් කරනවා. මේ අතර එම නවාතැන පිහිටි වත්තේ කම්හල් තනන ලෙසත් ඇහැලේපොළ උපදෙස් ලබාදී තිබෙනවා. ඉංග්‍රීසින් සිතා ඇත්තේ මේ කම්හල් තනන්නේ ආයුධ රැස්කිරීමට බව යි.
ඓතිහාසික ලේඛන අනුව, බටුගෙදරගම සබරගමුවේ දිසාපතිට අතිරේක ආදායමක් ලබා ගැනීම සඳහා නිල බලයෙන් ම අයත් නින්දගමක් වුණා. බටුගෙදර ග්‍රාමයේ අංගම්මන පිහිටි මිහිටිය කන්දේ පහත්බිමේ සිට අඩි 800 ක් ඉහළින් වැවක් තනා තිබෙනවා. එම වැවේ සිට ඇළකින් ජලය ගෙනවිත් ප්‍රදේශයේ අක්කර සිය දහස් ගණනක් වගා කරවූ බවත් පැවසෙනවා.
එම වැව් ජලය අදත් රත්නපුර ජනතාව ප්‍රයෝජනයට ලබාගන්නවා. තිරිවානාකැටිය බටුගෙදර ඔස්සේ ගලායන වේල්ල අදත් හඳුන්වන්නේ ”ඇහැලේපොළ වේල්ල’’ කියලයි. බටුගෙදර ගම්මානයේ සිටින අතර ඔහු අංගම්මන රජමහා විහාරයේ ගොඩනැඟිලි ඉදිකරවා එයට ඉඩම් ද පූජා කර තිබෙනවා.
වර්තමානයේ රත්නපුර පුරාවිද්‍යා කාර්යාලය පවත්වාගෙන යන දෙමහල් ගොඩනැඟිල්ල (ෆර්ගසන් විදුහලට යාබදව ඇති) ඇහැලේපොළ තම හිතගිය කාන්තාවන් ඇසුරු කිරීමට අන්තඃපුරයක් ලෙස භාවිත කළ බව පැවසෙනවා. ඉතා අලංකාර මේ ගොඩනැඟිල්ලේ ඉහළ මාලය දැව සොල්දරයකින් යුක්ත යි. සිංහල වාස්තු විද්‍යාව මෙන් ම ඉංග්‍රීසි වාස්තු විද්‍යා ලක්ෂණත් මෙහි දැකග හැකි යි.
මෙම ගොඩනැඟිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසත් ප්‍රකාශ කර තිබෙනවා. සතුරු උවදුරු අවස්ථාවක දී පලා යාමට මේ වලව්වේ සිට කළුගඟට ආරක්ෂිත උමඟක් ඉදිකර තිබූ බවත් පැවසෙනවා. පසුගිය කාලයේ දී ඒඅසල ගොඩනැඟිලිවලට ගෙපල් කැපූ අවස්ථාවලදී උමං මාර්ගයක සලකුණු හමුව තිබීමෙන් එහි යම්කිසි සත්‍යතාවක් ඇති බව පේනවා.
රත්නපුර ජාතික කෞතුකාගාරය පිහිටුවා ඇති ඓතිහාසික ‘‘ඇහැලේපොළ වලව්ව’’ ඇහැලේපොළ අදිකාරම් බටුගෙදර නවාතැන් ගෙන සිටි කාලයේ තැනවූ බව ජනප්‍රවාදයේ පැවසෙනවා. ඊට පෙර සබරගමුව පාලනය කළ පිළිමතලව්වේ මහා අදිකාරම් එම ගොඩනැගිල්ල නිල කටයුතුවලට තැනවූ බවටත් විශ්වාසයක් පවතිනවා.
සබරගමුවේ සිටින අතර ඇහැලේපොළ දිසාව කන්ද උඩරට රාජ්‍යය නායක්කර් වංශිකයන්ගෙන් බේරා ගැනීමට ඉංග්‍රීසින් සමඟ සම්බන්ධතා ගොඩ නගමින් සාකච්ඡා කිරීම ආරම්භ කළා. ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලි ඒ අතරින් ප්‍රධාන යි.
ඩොයිලිගේ ඔත්තුකරුවකු වන වත්තල අප්පු ඇහැලේපොළ වර්ෂ 1811 දී ‍ හමු වෙනවා. ඉන් පසු ඩොයිලි සහ ඇහැලේපොළ අතර හිතවත්කමක් ගොඩ නැඟෙනවා. ඇහැලේපොළ සබරගමුවේ රන්කරුවන් ලවා ඔටුන්නක් සහ රන් කඩුවක් තැනවීමට පටන් ගත් අතර ඔහු පැවසුවේ ඒවා හදන්නේ රජුට තෑගි කිරීමට බව යි. නමුත් රජුට එය ආරංචි වී තිබුණේ රජවීම සඳහා ඇහැලේපොළ කකුධ භාණ්ඩ තනවන බවයි. සතුරන්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට කේලාම් කියමින් ඇහැලේපොළ අමාරුවේ දමා ඒ තනතුර ලබා ගැනීමට උත්සාහ කළ අතර මොල්ලිගොඩ නිලමේ ඒ අතර මුල් තැනක සිටි රදළයෙක්.
1813 හා 1814 අවුරුදු ගෙවී ගියේ ඇහැලේපොළ හා රජු අතර අසමගිය තවත් වර්ධනය කරමින්. උඩරට රදලයන් රාශියක් ද රජුගෙන් ඒ වන විට ඈත්වෙමින් සිටියා. සබරගමුවේ ඇත්ගාල් පැවැත්වීමේ නියෝගය කඩ කිරීම, ඇලපාත නිලමේගේ දේපල ආරාවුල, ඉංග්‍රීසින් සමඟ රහසේ සම්බන්ධතා පැවැත්වීම වැනි කරුණු රාශියක් නිසා උරණ වූ රජු ඇහැලේපොළ අදිකාරම්ට රජ වාසලට එන ලෙස හසුන් පතක් එව්වා. ඒ වනවිට බදු බර නිසා සබරගමුවේ ජනතාව අතර නොසන්සුන් බවක් හටගෙන තිබුණා. තමා සුදානම් කළ තුටු පඬුරු නිමවා නොතිබු නිසාත් ඇහැලේපොළ දිසාව රජුට තල්පතක් යවමින් රජු හමුවීමට කල් ඉල්ලා සිටියා.
මේ තල්පත රැගෙන යන පණිවිඩකරු ගම්පොළ දී මොල්ලිගොඩ දිසාවට හමුවුණා. ඔහු කළේ එම හසුන්පත වෙනස් කර රජු කෝපවන පරිදි නැවත ලියා පණිවිඩකරු අත යැවීම යි. එය කියවූ රජුගේ කෝපය ඉහළ ගියා. මේ අතර සබරගමුමේ දිසාව තනතුරින් ඇහැලේපොළ ඉවත් කර මොල්ලිගොඩ දිසාව පත් කළ බව ඇහැලේපොළට ආරංචි වුණා.
එක්නැලිගොඩ නිලමේ ඇහැලේපොළගේ හසුන්පතක් රැගෙන ඩොයිලි 1814 දී හමුවුණා. රජුගේ අකටයුතුකම් නිසා වැසියන් විඳින පීඩාව ගැන යි එහි සඳහන් වුණේ. ඇහැලේපොළ තීරණය කර තිබුණේ රජු යළිත් තමන් කැඳවුවහොත් මහනුවරට නොයාමට යි. ඉංග්‍රිසින්ගේ උදව්වෙන් උඩරට රජු වීමේ අදහස මේ වනවිට ඔහු තුළ මතුවෙමින් පැවතුණා. ඇහැලේපොළ කටයුතු සංවිධානය කරමින් සිටියේ 1814 සිංහල අවුරුද්ද පසු වූ විගස ම රජු පන්නා දැමීමේ කැරැල්ල සබරගමුවෙන් ආරම්භ කර උඩරටට ව්‍යාප්ත කිරීමට යි.
එම කැරැල්ල සබරගමුවෙන් ආරම්භ කළ අතර ඒ සඳහා ඇහැලේපොළට පක්ෂපාතී සිය ගණනක් එක්වුණත් කැරැල්ල උඩරටට ව්‍යාප්ත කිරීමට තරම් ප්‍රමාණවත් මිනිසුන් සහ තුවක්කු තිබුණේ නැහැ. බලාපොරොත්තු වූ සහාය ඉංග්‍රීසින්ගෙන් ලැබුණෙත් නැහැ. මේ නිසා රජුගේ නියෝග මත සබරගමුවට පැමිණි මොල්ලිගොඩ පහසුවෙන් කැරැල්ල මර්දනය කළා. සටනේ දී අල්ලා ගත් සබරගමුවේ වැසියන් 47 දෙනෙක් මහනුවරට රැගෙන ගොස් උල හිඳුවා මරණයට පත් කර තිබෙනවා.
මොල්ලිගොඩගේ ප්‍රධාන අරමුණ වුණේ ඇහැලේපොළ අත්අඩංගුවට ගැනීම යි.
නමුත් එය සාර්ථක වුණේ නැහැ. වෙස්වලා ගත් ඇහැලේපොළ අදිකාරම රත්නපුර සිට අඟුලක නැගී කළුගඟ ඔස්සේ යාත්‍රා කොට රයිගම් කෝරළයේ ගල්පාත තොටුපළෙන් ගොඩබැස බේරී පලා ගොස් තිබෙනවා. ඉංග්‍රීසි පාලන පෙදෙසට ගිය ඔහුට ඉංග්‍රීසින්ගේ රැකවරණය ලැබෙනවා. පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාර බ්‍රවුන්රිග් ඔහු හමු වී රැකරවණය ලබාදීමට පොරොන්දු වුණා.

කෝපයට පත් රජු කළේ ඇහැලේපොළ කුමාරිහාමි සහ දරු තිදෙනා ම්ලේච්ඡ ලෙස මරණ දණ්ඩනයට පත් කිරීමට යි. නුවර කලාවියේ දිසාවේ තනතුර දැරූ පුස්සැල්ලේ නිලමේ ද ඇහැලේපොළ සමඟ ලිපි ගනුදෙනු කළ බවට චෝදනා කරමින් පවුල ද දරුවන් ද සමඟ මරා දැමුණා.

ඉංග්‍රීසින් 1815 දී උඩරට යටත්කර ගත් පසුවත් රජවීමේ සිහිනයක සිටි ඇහැලේපොළ පසුව ඉංග්‍රීසින්ගේ සැකයට භාජනය වීම නිසා මුරුසි දිවයිනට පිටුවහල් කළා. ඔහු මියගියේ 1829 දි යි.

 

-කුසුම්සිරි විජයවර්ධන මහතා roar media වෙබ් අඩවියට ලියූ ලිපියක් ඇසුරින්. 
A day in the life

Monday, August 04, 2025

මම එන්නේ නෑ දාමහන යන්න


අගෝස්තු හතරවෙනිදා.

"ලෙඩ,රෝග යනු වැරදි ලෙස ජීවත් වෙනවාට පරිසරයෙන් ලැබෙන දඩුවමකි "

යැයි කියමනක් සහෝදර කමල් පී අලහකොන් පසුගිය දිනක ලියා තිබිනි.

මා තරම් වියපත් නුවද  ඔහුටත් හැට පැන ඇත.

ලෙඩ දුකට පත්වු පසු තරුන වියේ ඔරොත්තු දෙන තරමින් දැන් ඔරොත්තු දෙන්නේ නැත.

අස්ථියක් බිදුන හොත් පැටි වියේදී සතියක දෙකදී යා වුනත් දැන් මාස හතරක් පහක් බලා ගෙන සිටිය යුතුය.

සෙම්ප්‍රතිශ්‍යාවක් වුනත් බෙහෙතක් එහෙතක් කලත් සැනකින් සුවපත් වෙන්නේ නැත.

කොත්තමල්ලි ඉගුරු ටිකක් එක් කර  තම්බා පෙරා දුන් එක් කෝප්පයක් පානය කර සුවපත්වු කාලය ඉක්මවා ගොසින් දැන් නතර වෙන්නේ වෛද්‍යවරයෙකුගේ පෙති ගොඩක් ගිල දැමු පසුය.

කාලය එතරම් දුරට ගලා ගොස් ඇත.

මේ රඹුටන් වාරයයි.

වෙන අවුරුදු වලට වඩා පලදාව සරුසාරය.

ගස් රතුපාටින් , කහපාටින් වෛවරණ වෙලා විසිතුරුය.

වැඩි දියුණු කල වර්ග පැණි බේරෙන ලොද ගැලවෙන ප්‍රනීත රස කන්න කන්න තවත් කන්න හිතෙන සුළුය.

ටික දිනක සිට හිසේ කැක්කුම , හිසේ බරගතිය ,පෙනීම අවුල් සහගතවීමෙන් පටන් ගත් විප්ලවය ......

සිරුර සමබර නොවීම , අධික නිදිමත  නිසා වෛද්‍යවරයෙක් කර යොමු වීම දක්වා විජයාග්‍රාහී ගමනකට මග පෙන්වීය.

දියවැඩියාව පාලනය කරගත්තේ පෙති ගිල දැමීමෙනි.සීනි මට්ටම සාමාන්‍ය ලෙස පාලනය කරමින් සිටියෙමි.

දැන් ප්‍රමානය ඉක්මවා දර්ශකය රජ ගමනක් ගොසින්ය.

ඖෂධ මාත්‍රාව වැඩි කරමින් සීනී මට්ටම පාලනයට යටත් කර ගත්විට......

නැවතත් ශරීර කූඩුව බිම්ගතවිය.

රඹුටන් ගස් සිනාවෙන විට මට උරු ජුවල්ය.

මට ආයෙත් කමල් ගේ කතාව මතක් වෙන්නේ ටිකක් වෙනස්වය.

“තමන්ගේ තරම දැනගෙන කන්න බොන්න ඕනෑය.“

පුංචි මුණුපුරා ---පුංචියි කීවත් තුන වසරේ.

උගේ කතා ව්‍යාංගයෙන්ය.

“ඔන්න නොකිවුවයි කියන්න එපා“

“මම එන්නේ නෑ දාමහන යන්න “

“සීයට තනියෙන් තමයි යන්න වෙන්නේනේ.“

මේ තරවටුව කරන්නේ අපිට  කිට්ටුම ආදාහනාගාරය තිබෙන්නේ දාමහන බැවින්ය.

කමල් කීවේ ....

"තමාගේ තරම දැන ගැනීමට නම් ලෙඩ වෙන්නට ඕනෑ" ය කියා කියාය.

ඒකත් හැබෑව ය.

"මා නැතුව ලෝකය නොකැරකේ " යැයි අප සිතා සිටින්නෙමු.

නැත.

"අප නැතිවද ලෝකය කැරකේ".


A day in the life

Sunday, August 03, 2025

වතුර දාන්න මලක් පිපෙන තරමට



"ළමයෙක් කියන්නේ කුඩා වැඩිහිටියෙක් නොවේ. ඒ නිසා ඔහුට සෙමින්- ටිකෙන් ටික -සහ හොඳින් උගන්වන්න."
– Jean-Jacques Rousseau

ඉස්කෝලෙක ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ උඩම තැනක රූසෝ ගෙ මේ වාක්‍යය ගහල තියෙනව දැක්කා. ඒකත් එක්ක ආපු ගොඩාක් කමෙන්ට් දිහා බලද්දි මේක ලියන්නම ඕනේ කියලා හිතුනා. 
ඒකයි මේ සටහන.

Saturday, August 02, 2025

පළමුව තමන් විමසමු .





විවාහ වී ඉතා සතුටින් කාලය ගතකල යුවලක් සිය විසිපස්වැනි සංවත්සරය සැමරූවා.
ඉන් දින කිහිපයකට පසුව සැමියා විසින් එක කරුණක් වටහාගත්තා.
එනම් සිය බිරිඳගේ කන් ඇසීම දින කිහිපයක සිට ඉතාමත් දුර්වල මට්ටමකට පත්ව ඇති බව.
"සමහරවිට ඇයට ශ්‍රවනාධාරකයක් අරන් දෙන්න වේවි"
ඔහු සිතුවා.
නමුත් මේ පුද්ගලයාට සිතාගන්නට බැරිඋනා ඇයගෙන් ඒ පිලිබඳව ඇසිය යුත්තේ කොහොමද කියල.
"ඇය මාව වරදවා වටහා ගත්තොත්"
ඔහු තමාටම කියාගත්තා.

Friday, August 01, 2025

එන්.එම් ට එරෙහිව ෆීලික්ස්.


දේශපාලනයේ කලක් එකට සිටි එහෙත් මතවාදීව ප්‍රබල ලෙස ගැටුණු දේශපාලනඥයන් දෙදෙනෙක්..
ඔවුන් දෙදෙනාම මුදල් ඇමතිවරු ලෙස කටයුතු කර තිබෙනවා..
ඒ අතරින් ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිවරයෙක් වශයෙන් විශිෂ්ටයි..
මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශිෂ්ටතම කාර්යභාරයක් කළ මුදල් ඇමතිවරයා ලෙස 1970/1975 කාලය තුළ න් ඔහු මුදල් අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුගේ කාර්යභාරය හඳුන්වන්න පුළුවන්..

Thursday, July 31, 2025

පේර කොළ


පේර කෑමට පමණක් නෙවෙයි, එහි කොළද අපේ පරණ වෛද්‍ය සම්ප්‍රදායන්හි විශේෂ ස්ථානයක් හිමිකරගෙන තිබුණා.
පේර කොළට ඇති දියවැඩියාව පාලනය කිරීමේ, කනස්සල්ල සහ උණ අවම කිරීමේ වටිනා ඖෂධ ගුණ විශාලව පිළිගන්නා ලදී. ගෙදර බඩු තේරීමේදී හැමෝම අතහැර දමන මේ කොළ, අද වෙනකොට බෙහෙවින් සෙවූ සෞඛ්‍ය විකල්පයකි. තේ එකක් හදලා බොනවා නම් පේර කොළ එක්කත් උසස් ප්‍රතිඵල ලැබේ. කෑමට පේර කාලා කොළ දමන එක නවත්තන්න ඒවෙන් සත්‍ය ඖෂධයක් හදන්න පුළුවන්!

Wednesday, July 30, 2025

අධ්‍යාපන ප්‍රතිසංස්කරන 5


අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 සිට:

නව විෂය නිර්දේශය සහ GPA ක්‍රමය - සවිස්තරාත්මක මාර්ගෝපදේශය

2026 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නව විෂය නිර්දේශය සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ GPA (Grade Point Average) ක්‍රමය පිළිබඳව ඔබ දැනුවත් කිරීම සඳහා මෙම සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරමු. මෙම වෙනස්කම් සිසුන්ගේ අධ්‍යාපන බර අඩු කර, ඔවුන්ට වඩාත් ගැඹුරින් අධ්‍යයන කටයුතු කිරීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට අවස්ථාව ලබා දෙනු ඇත.

නව විෂය නිර්දේශය: විෂයයන් 7ක්

නව ක්‍රමය යටතේ සිසුන්ට විෂයයන් 10ක් වෙනුවට විෂයයන් 7ක් හැදෑරීමට සිදු වේ. මෙය සිසුන්ගේ විෂය බර අඩු කර, ඔවුන්ට වඩාත් ගැඹුරින් අධ්‍යයන කටයුතු කිරීමට අවස්ථාව සලසා දීම අරමුණු කරයි.

අනිවාර්ය විෂයයන් 5ක්:

මෙම විෂයයන් සියලුම සිසුන් විසින් හැදෑරිය යුතුය.

* මව්බස: සිංහල, දෙමළ හෝ වෙනත් පිළිගත් මව්බසක්. (Credits: 3)

* ඉංග්‍රීසි: සන්නිවේදන කුසලතා, කියවීම, ලිවීම සහ කථනය. (Credits: 3)

* ගණිතය: ගණිතමය සංකල්ප, ගැටලු විසඳීම සහ තර්කනය. (Credits: 3)

* විද්‍යාව: භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පොදු විද්‍යාව. (Credits: 3)

* ආගම: බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම හෝ කිතුනු ආගම. (Credits: 2)

මුළු අනිවාර්ය විෂයයන් සඳහා Credits: 14

තෝරාගත හැකි විෂයයන් 2ක්:

මෙම විෂයයන් දෙක සිසුන්ට ඔවුන්ගේ රුචිකත්වය සහ අනාගත අරමුණු අනුව පහත කාණ්ඩවලින් තෝරාගත හැක. සෑම තෝරාගත් විෂයයකටම Credits 2ක් හිමිවේ.

* දෙවන ජාතික භාෂාව (Second National Language)

* තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technology)

* ඉතිහාසය (History)

* පුරවැසි අධ්‍යාපනය (Civic Education)

* සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (Health and Physical Education)

* තාක්ෂණය (Technology): (මෙය පුළුල් ක්ෂේත්‍රයකි)

* සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණ තාක්ෂණය (Tourism and Hospitality Management Technology)

* නිර්මාණ හා ඉංජිනේරු තාක්ෂණය (Design and Engineering Technology)

* පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය (Livestock Product Technology)

* කලාත්මක නිෂ්පාදන තාක්ෂණය (Artistic Product Technology)

* ව්‍යවසායකත්වය හා ඊ-වාණිජ්‍ය තාක්ෂණය (Entrepreneurship and E-commerce Technology)

* භූගෝල විද්‍යාව (Geography)

* සෞන්දර්යය අධ්‍යාපනය (Aesthetics Education):

* පෙරදිග සංගීතය (Oriental Music)

* බටහිර සංගීතය (Western Music)

* කර්ණාටක සංගීතය (Carnatic Music)

* පෙරදිග නැටුම් (Oriental Dance)

* භරත නැටුම් (Bharatha Dance)

* බටහිර නැටුම් (Western Dance)

* නාට්‍ය හා රංග කලාව (Drama and Theatre)

* චිත්‍ර (Art)

* ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව (Entrepreneurship and Financial Literacy)

මෙම විෂයයන් 7ක් තෝරාගැනීමෙන්, සිසුන්ට විෂයයන් ගණනාවකට විසිරී නොගොස් තමන්ට වැදගත් වන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි වේ.

GPA (Grade Point Average) ක්‍රමය

නව ක්‍රමය යටතේ විභාග ප්‍රතිඵල A, B, C, S, F යන අකුරු ශ්‍රේණි වෙනුවට GPA ක්‍රමය මගින් නිකුත් කෙරේ. GPA යනු සිසුවෙකු විෂයයන් ගණනාවක ලබාගත් සාමාන්‍ය ලකුණු මට්ටම සංඛ්‍යාත්මකව දැක්වීමේ ක්‍රමයකි. මෙය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමයක් වන අතර, සිසුන්ගේ සමස්ත අධ්‍යයන කාර්ය සාධනය වඩාත් නිවැරදිව පිළිබිඹු කරයි.

GPA ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය (අපේක්ෂිත පරිදි):

* ලකුණු ශ්‍රේණිගත කිරීම: සෑම විෂයයකටම ලබාගන්නා ලකුණු ප්‍රතිශතයක් හෝ ලකුණු පරාසයක් මත පදනම්ව, ඊට අදාළ ලක්ෂ්‍ය අගයක් (Grade Point) ලබා දෙනු ඇත. (මෙම ලක්ෂ්‍ය අගයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු වෙනස් විය හැක. පහත දැක්වෙන්නේ උදාහරණයක් පමණි):

* 90-100% = 4.0

* 80-89% = 3.7

* 70-79% = 3.3

* 60-69% = 3.0

* 50-59% = 2.7

* 40-49% = 2.0 (සමත්)

* 39%ට අඩු = 0.0 (අසමත්)

* සෑම විෂයයකටම ලක්ෂ්‍ය අගයන්: ශිෂ්‍යයෙකු විෂයයන් 7 සඳහා ලබාගන්නා ලකුණු අනුව, එම එක් එක් විෂයයට අදාළ ලක්ෂ්‍ය අගය (Grade Point) ලබා දෙනු ඇත.

* GPA ගණනය කිරීම: අවසාන GPA අගය ගණනය කරනු ලබන්නේ සියලුම විෂයයන් සඳහා ලැබුණු ලක්ෂ්‍ය අගයන්ගේ සාමාන්‍යය ගැනීමෙනි.

උදාහරණයක්:

යම් සිසුවෙකු විෂයයන් 7 සඳහා පහත ලක්ෂ්‍ය අගයන් ලබා ගත්තා යැයි සිතමු:

* ගණිතය: 3.7

* ඉංග්‍රීසි: 3.3

* මව්බස: 4.0

* ආගම: 3.7

* විද්‍යාව: 3.0

* තෝරාගත් විෂය 1: 3.5

* තෝරාගත් විෂය 2: 3.2

මුළු ලක්ෂ්‍ය අගයන් එකතුව = 3.7 + 3.3 + 4.0 + 3.7 + 3.0 + 3.5 + 3.2 = 24.4

GPA = මුළු ලක්ෂ්‍ය අගයන් එකතුව / විෂයයන් ගණන

GPA = 24.4 / 7 = 3.48 (ආසන්න වශයෙන්)

මේ අනුව, එම සිසුවාගේ අවසාන GPA අගය 3.48 ක් වනු ඇත.

GPA ක්‍රමයේ වාසි:

* වඩාත් නිවැරදි ඇගයීමක්: GPA ක්‍රමය මගින් සිසුවෙකුගේ සමස්ත කාර්ය සාධනය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක හා නිවැරදි චිත්‍රයක් ලබා දේ.

* අධ්‍යයන පීඩනය අඩු කිරීම: තනි විෂයයක අසමත් වීමක් හෝ අඩු ලකුණක් සමස්ත ප්‍රතිඵලයට දැඩි ලෙස බලපානවාට වඩා, GPA ක්‍රමය යටතේ සමස්ත සාමාන්‍යය සැලකිල්ලට ගැනීමෙන් සිසුන්ට ඇති පීඩනය අඩු විය හැක.

* ජාත්‍යන්තර ප්‍රමිතීන්: බොහෝ ජාත්‍යන්තර අධ්‍යාපන පද්ධතිවල GPA ක්‍රමය භාවිතා වන බැවින්, උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන සිසුන්ට මෙය වාසියක් වනු ඇත.

* උසස් පෙළට මග පෙන්වීම: සිසුන්ගේ සමස්ත හැකියාව සහ රුචිකත්වයන් වඩා හොඳින් පිළිබිඹු කරන බැවින්, උසස් පෙළට විෂය ධාරාවක් තෝරා ගැනීමට මෙය වඩාත් ඵලදායී මග පෙන්වීමක් ලබා දිය හැක.

* සාපේක්ෂ ඇගයීම: මෙම ක්‍රමය තුළ සිසුන්ගේ සාපේක්ෂ කාර්යසාධනය වඩා හොඳින් තක්සේරු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

අභියෝග සහ සැලකිලිමත් විය යුතු කරුණු:

* අවබෝධය: GPA ක්‍රමය පිළිබඳව සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් නිසි ලෙස දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.

* සමත් වීමේ මට්ටම්: GPA ක්‍රමය තුළ සමත් වීමට අවශ්‍ය අවම GPA අගය සහ එක් එක් විෂය සඳහා සමත් වීමේ නිර්ණායක පැහැදිලිව අර්ථ දැක්විය යුතුය.

* ගණනය කිරීමේ විනිවිදභාවය: GPA ගණනය කරන ආකාරය සහ ලකුණු සඳහා ලක්ෂ්‍ය අගයන් ලබා දෙන ආකාරය පිළිබඳව විනිවිදභාවයක් තිබිය යුතුය.

මෙම නව ක්‍රමය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ නිසි සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම සහ අදාළ පාර්ශ්වයන්ගේ සහයෝගය මතයි. මෙම වෙනස්කම් සිසුන්ට වඩාත් අර්ථවත් හා ප්‍රතිඵලදායී අධ්‍යාපන අත්දැකීමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.

උපුටා ගැනීමකි.A day in the life

Tuesday, July 29, 2025

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 4. ඉතිහාසය .


ධ්‍යාපනවේදය ගැන දැනුමක් නැති කෙනෙක් විදියට ඉතිහාසය සාකච්ඡාවට මගෙන් (කවුරුත් ඉල්ලපු නැති) සත දෙක...

(Disclaimer: ඉතිහාසය පාසල් විශය මාලාවෙන් අයින් කරල නෑ කියල මම දන්නව. ඒත් මේ වෙලාවෙ යන කථිකාව මේ ගැන අපිට විවිධ අදහස් කතා කරන්න අවස්ථාවක්. මේ අදහස් දැනටම ඇක්ඩමියාවෙ කතා වෙන දේවල් නම් මගේ ඉග්නොරන්ස් එකට කමා කරන්න.)

 

මීදුම Published @ 2014 by Ipietoon