Wednesday, October 30, 2024

තන බද්ද.





පියයුරු බද්ද

දහනවවන ශත වර්ෂයේ අග භාගය ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වූ සමය. කන්ද උඩරට රාජධානියේ ප්‍රධාන අගනගරයට මදක් දුරින් පිහිටි අම්පිටිය ගම්මානය. වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම සුන්දර ගම්මානයක්. පුංචි කදුගැට උඩින් උදේට හිරු නැගෙන හැටි බලාගෙන ඉන්න ආසා කරන දසුනක්. වර්ෂය පුරාම නොසිඳි ගලා හැලෙන පුංචි දොල පාරවල් ගමේ සෞභාග්‍ය වෙච්චි කුඹුරු යාය අස්වද්දන්න උදව් වෙනවා. ඒ විතරක්ද ගමට මායිම්ව තියෙන මලින් පලින් බරවුනු මහ වනය නොයෙකුත් වන සතුන්ගෙන් පිරිලා. මීමැස්සන්, සමනලයන් මලින් මලට පියාඹමින් පැණි හොයනවා. කුරුළු ගීත අහන්න කවුද අකමැති ඒවා අහගෙන ඉද්දි හැම දුකක්ම අමතක වෙනවා. හරියට භාවනාවක් වගේ. එනමුත් මේ සුන්දරත්වය ඇතුලෙත් සෝකාන්ත නොතිබුනාම නෙමේ. 


මේ කියන්න යන කතාව ඒ වගේ එකක්. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය වෙච්චි මේ ගමේ මැද හරියේ තිබුනා වලව්වක්. මේ වලව්වේ අයිතිකාරයට කවුරුත් කිව්වේ අම්පිටියේ රාළහාමි කියලා. පවුලේ කිහිප දෙනෙක් දන්න රහසක් තිබුනා. ඒ තමයි අම්පිටියේ රාළහාමි සිංහල රාජ පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක් බව. ඒ උනත් දැන්නම් සුදු අධිරාජ්‍යවාදි පාලකයන්ගේ අතකොලුවක් වෙලා ආරච්චිල පට්ටමකින් සෑහිමකට පත්වුනු කෙනෙක්. රජයේ බදු නිලධාරියාගේ කාර්‍යයත් පැවරිලා තිබුනෙත් මෙයාටම තමයි. 


ආරච්චිලගේ වලව්වේ හිටියේ බිරිඳයි, දියණියයි, නිවසේ වැඩට උදව් කරන බණ්ඩා කියලා මනුස්සයෙකුයි විතරයි. අවුරුදු දාසයක් විතරවුනු දියණිය රූප සෝබාවෙන් අගතැන්පත් වෙලයි තිබුනේ. කුඩා කාලයේම ඇයව බෞතිස්ම කරලා තිබුනු නිසා ඇයට නම යොදා තිබුනෙත් දෝන කැතරිනා කියලා. පාසල් අධ්‍යාපනයත් හොදින්ම හදාරලා තිබුනු ඇයට පියා විසින් දේශීය සටන් කලාවත් උගන්වලයි තිබුනේ. මේ කාලේ වෙද්දි රට පාලනය කරපු විදේශිකයෝ හැම පැත්තෙන්ම ජනතාව පීඩාවට ලක්කරලයි තිබුනේ. ඉඩම් බද්ද, කුඹුරු බද්ද, පුරන් බද්ද කියලා වගා කෙරුවත් නොකෙරුවත් මිනිස්සුන්ට බදු ගෙවන්න සිද්දවුනා. ඒ විතරක්ද ජීවත් වෙනකමට ඇඟ බද්දකුත් ගෙව්වා. ගෙදර සුරතලේට ඇති කරන බල්ලටත් බද්දක්. මොනවා කරන්නද හුගක් මිනිස්සු නිහඬවම මේ හැම බද්දක්ම ගෙවන්න පුරුදු වෙලා හිටියා. ඔය අතර කිහිප දෙනෙක් විතරක් මේකට විරුද්ධව අදහස් ප්‍රකාශ කලා විතරක් නෙමේ ආණ්ඩුවට විරුද්ධව කැරළි ගහන්නත් පටන් ගත්තා. 


ආරච්චිලට පැවරිලා තිබුනු තවත් රාජකාරියක් තමයි කැරලි ගහන අය ගැන තොරතුරු හොයලා ආණ්ඩුවට දැණුම් දෙන එක. මොනවා උනත් අම්පිටිය රාළහාමි ඇත්තම සිංහල රාජවංශයේ කෙනෙක් හින්දද කොහෙද තමන්ගෙම මිනිස්සුන්ව පාවලා දෙන වැඩේ කර ඇරියා. මේ ගැන ආණ්ඩුවත් රාළහාමි ගැන අවිශ්වාසයෙන් සැකයෙන් තමයි හිටියේ. දන්නවනේ සමහර මිනිස්සු ඉන්නවා අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්න. ඉතිං ආරච්චිල පට්ටමට ඇහැ ගහගෙන හිටපු මේ ගමේම ජීවත් වෙච්චි තවත් කෙනෙක් ආරච්චිල කැරලි කරුවන්ට සම්බන්ධයි කියලා පරදේශිකයින්ට ගතු කේළම් කියන්න පටන් ගත්තා. සැකයෙන්ම හිටපු ආණ්ඩුවත් මේක ඇත්ත කියලා හිතලා ඔහුව අත්අඩංගුවට ගන්න කටයුතු සැලසුම් කෙරුවා. ආරච්චිලට හිතවත් අයගෙන් මේ තොරතුර ඔහුගේ කණටත් ගලාගෙන ආවා. දැන් ඉතිං මොකක් කරන්නද? ආණ්ඩුවට විරුද්ධ අයට බොහෝ දුරට අත්වුනේ මරණය. දැන් තමන්ටත් වෙන්න යන්නේ ඒ වගේ ඉරණමක් නේද කියලා හිතුනත් රාළහාමිට හාංකවිසියකවත් දුකක් තිබුනේ නෑ. නමුත් තමන් නිසා තමන්ගේ බිරිඳටත්, දියණියටත් කරදරයක් වෙයි කියන බය තමයි තිබුනේ. 


වෙනදා වගේම එදත් උදේ ඉර ගල මුදුනෙන් එබිලා බැලුවා. ගම අඩනවද මන්දා වලව්ව පාළු වෙලා. උදේ රැයින්ම වලව්වෙන් දෙන්නෙක් පිටත් වෙලා ගිහින් තිබුනා. ඒ වෙන කවුරුවත් නෙමේ පුංචි මැණිකේ ඒ කියන්නේ දෝන කැතරිනයි සමග අත් උදව්වට හිටිය බංඩයි කියන දෙන්නා. ලොකු මැණිකෙටත් යන්න කිව්වට ඇය රාළහාමිත් එක්කම වලව්වේ නතරවුනා. 

දින ගණනාවක්ම රූස්ස කැලැ මැද්දෙන් බොහෝ දුරක් ගෙවාපු පුංචි මැණිකෙයි බංඩයි දෙන්නා මගතොටදි හම්බ වෙන අයට කිව්වේ තමන් තාත්තායි දුවයි කියලා.


අවසානෙදි මේ දෙන්නා ඇතුල්වුනේ රෙදි පිරිසිදු කරන රැකියාවන් කරන ගම්මානයකට. මේ බංඩා කුඩා කාලයේ හැදි වැඩුනු ගම් පියසය. සිංහල රජ කාලේ රාජ්‍ය සේවයක් හැටියට සලකපු මේ රැකියා කරන්නන් පසු කාලීනව ආපු පරදේශිකයින් විසින් කුල හීනයින් ලෙස හැදින්වීම නිසා සාමාන්‍ය ජන සමාජය තුලදීත් ඔවුන්ට සැලකුවේ අඩු සැලකිල්ලක්. කොහොමින් කොහොම හරි පුංචි මැණිකේ වලව්වෙන් පිටත් වෙද්දි ඇඳගෙන හිටපු ඇඳුම් මගදි ගලවලා රෙද්දකුයි හැට්ටයකිනුයි සැරසිලා හිටපු හින්දා රදල පෙනුම අයින් වෙලා තිබුනත් කලු පාටට ඉන්න බංඩා මේ තමන්ගේ දුව කියපුවාමනම් රූප සොබාවෙන් අගතැන්පත් මේ යුවතිය ඇත්තටම බංඩාගේ දුවෙක්මද කියලා හැමෝටම තිබුනේ ප්‍රශ්ණාර්ථයක්. ඇගේ අම්මා අසනීපයකින් හදිසියේම මිය පරලොව ගිය නිසා නැවත තමන් ගමට පැමිණි බව තමයි බංඩා මේ ගමට කියාපු බොරුව.


 දැන් බංඩයි පුංචි මැණිකෙයි රෙදි හෝදන රැකියාවම කරමින් මේ ගමේම පදිංචි වෙලා වසර කිහිපයක්ම ගෙවිලා ගිහින් තිබුනා. මේ අතරෙදි තමයි ආණ්ඩුව අළුත් බද්දක් පනවන්න තීරණය කෙරුවේ. ඒ තමයි ආණ්ඩුවේ තනතුරු දරණ රදල පවුල්වල හැර අනෙක් සියලු කාන්තාවන් උඩුකය පලදින්නේනම් ඒ සඳහා රජයට බද්දක් ගෙවිය යුතු අතර එසේ නොගෙවන්නේනම් උඩුකය නිර්වස්ත්‍රව සිටිය යුතු බවයි. නියම කර තිබු බදු මුදලත් ඉතා ඉහල අගයක් ගත් බැවින් දුප්පතුන්ට එය මරු පහරක්ම විය. මෙම බද්ද නම් කර තිබුනේ පියයුරු බද්ද යන නාමයෙනි.

මේ බද්ද පැනවීමත් සමග බොහෝ කාන්තාවන් නිවස තුලටම සීමාවිය. පාසැල් යමින් සිටි දැරියෝද ඉගෙනුමට තිත තැබුහ. දෙස් දෙවොල් තබනවා විනා මෙයට විරුද්ධව වචනයක්වත් කතා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවුයේ ආණ්ඩුවට විරුද්ධවීම බ්‍රිතාන්‍යය රැජිණියට විරුද්ධ වූවා සේ සලකා මරණිය දණ්ඩනයට යටත්වීමට සිදුවන බව හොදාකාරවම දැන සිටි නිසාවෙනි. බදු නිලධාරින් ලෙස පත්කර තිබුනේ සිංහල මිනිසුන් නිසා නීතිය හරියාකාරව සිදුවන්නේදැයි සොයා බැලීමට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් වරින් වර ගම්මාන වලට පැමිණ පරික්ෂා කරන්නට විය. ඒ නිසාම බදු නිලධාරින්ද සතියකට කිහිප වරක් බලප්‍රදේශය තුල පරික්ෂා කර නීතිය උල්ළංගණය කරන අය පිළිබද සොයා බැලීය.

 

මෙවන් එක් දිනයක දර කැඩීම සඳහා අසල වනයකට ගොස් පැමිණෙන පුංචි මැණිකා හා සම වයස් යුවතියන් පිරිසක් බදු නිලධාරියාගේ මුණටම මුලිච්චිවිය. උඩුකය ආවරණය කර සිටින මෙම යුවතියන් දුටු බදු නිලධාරියා ඔවුන් නවත්වා රටේ පනවා ඇති නීතිය ගැන ඔවුන්ට මතක් කර ඒ මොහොතේම උඩුකය නිරාවරණය කරන ලෙසත් එසේ නොමැතිනම් අදාල බදු මුදල ගෙවිය යුතු බවත් දන්වා සිටියේය. යුවතියන් බිම බලාගත්තා විනා කිසිවක්ම දෙඩුවේ නැත. බදු නිලධාරියා එවර සැර පරුෂ ආකාරයෙන් යුවතියන් ඇමතුවත් ඔවුන් නොවේ හිස එසවූයේ. ඒ නිසාම තමන් සමග සැමදාමත් තනි නොතනියට පැමිණෙන අතවැසියන් දෙදෙනාට ඇමතු බදු නිලධාරියා මේ ස්ත්‍රීන්ගේ උඩුකය වසා ඇති රෙදිකඩ ගලවා දමන ලෙස අණ කලේය.

යුවතියන්ගේ මුහුණු ලැජ්ජාවෙන් සලිත වූවාය. චණ්ඩීන් දෙපල යුවතියන් දෙසට ගමන් කරන්නට විය. පුංචි මැණිකා යුවතියන්ගේ ඉදිරිපිටට පැමිණියාය. එක් චණ්ඩියෙක් මේ යුවතියගේ පපුව දෙසට දෑත් දිගුකලා පමණි සිදුවූයේ කුමක්දැයි කිසිවෙකුටත් වටහා ගන්නටත් පෙර චණ්ඩීන් දෙපලම මහපොලොව බදාගෙන බිම වැතිර සිටියහ. මෙතෙක් බිම බලාගත්වනම සිටි අනෙකුත් යුවතියන් හිස ඔසවා බැලුකල සිදුවී ඇත්තේ කුමක්දැයි වටහා ගනු නොහැකිව උනුන් මුහුණු බලා ගත්හ. හැඩි දැඩි සිරුරෙන් යුක්ත බදු නිලධාරියා එවර පුංචි මැණිකා දෙසට පැන්නාය. එපමණකි බදු නිලධාරියාද බිම හොත්තේය. එවරනම් සිදුවුයේ කුමක්දැයි සියල්ලන්ටම පැහැදිලිය. ඒ හෙල සටන් කලාව ඉහළින්ම ප්‍රගුන කල පුංචි මැණිකා විසින් ක්ෂණික පහර දීමකින් තිදෙනාම දුර්වල කරන්නට සමත්වී ඇති බවය. ඉන්පසු යුවතියන් එම ස්ථානයෙන් පිටත්ව ගම දෙසට ඇවිද ගියහ. 


පසුදා පහන් වනවිට පරදේශික සොල්දාදුවන් ගම වටකර පුංචි මැණිකාව සොයා මෙහෙයුමක් දියත් කලහ. අත්අඩංගුවට ගත් පුංචි මැණිකාව කෙළින්ම රැගෙන ගියේ අධිකරණය වෙතයි. ඇයට විරුද්ධව තිබු චෝදනානම් රජයේ බදු පනත්වලට අවනත නොවීම, රාජකාරියට බාදා කිරීම, රාජ්‍ය නිලධාරින්ට පහරදීම, බ්‍රිතාන්‍ය රාජ්‍යයට හා රැජිණියට විරුද්ධවීම. මේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ තෝල්ක මුදලි විසින් සිංහලෙන්ම ඈ වෙත ප්‍රකාශ කල අතර නිදහසට කරුණු ඇත්දැයි විමසා සිටියේය. එයට පිලිතුරු දුන් ඇය සංස්කෘතියට අනුව හැදී වැඩුනු කාන්තාව ලැජ්ජාවට පත් කරන මෙවන් තීන්දූ තීරණ තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, තමන්ගේ සිරුර ගැන තීරණ ගැනීමේ අයිතිය සියළු මිනිසුන්ට එකසේ අයිති බව තමන් පිලිගන්නා එකම මිනිස් දහම බවත්, ගැමි සංස්කෘතික නීතින් හමුවේ තමන් නිවැරදි කාරිය බවත් ව්‍යක්ත ඉංග්‍රීසියෙන්ම කියා සිටියාය. ඇයගේ ප්‍රකාශය හමුවේ අධිකරණ භුමියේ සිටි සියළුම දෙනා පුදුමයට පත්වූයේ දුෂ්කර ගම්මානයක හැදී වැඩුනු ඇයගේ මනා ඉංග්‍රීසි දැණුම පිලිබදවයි.


මුලාසනයේ උන් පරදේශික නඩුකාර උත්තමයාටද මෙය පුදුමයට කාරණයක්ම විය. එබැවින් මද වේලාවකට උසාවී කටයුතු නවතා ඇයව තමන්ගේ නිල කාමරය වෙත රැගෙන එන ලෙස ආරක්ෂකයින්ට දැණුම් දුන් ඔහු මුලස්නෙන් බැස ගියේය. 

ටික වේලාවකින් ඇය සිටියේ නඩුකාර හාමුදුරුවන්ගේ නිල කාමරයේ මේස ය ඉදිරිපිටයි. ඇය කවුදැයි මුලින්ම ඔහු ඇයගෙන් විමසුවේය. ඊට පිලිතුරුදුන් ඈ තමන් රදල පරම්පරාවකට අයත් කෙනෙකු බවත් තමන්ගේ පියා කැරලි කරුවන්ට එකතුවූවායැයි බොරු චෝදනාවක් නිසා තමන්ගේ පවුලට කරදර විඳින්නට සිදුවූ ආකාරයත්  එතැන් පටන් සිදුවූ සියල්ලත් කියා සිටියාය. එපමණක්නොවේ තමන් නිවසෙන් පිටත්වන මොහොතේ පියා විසින් ලබාදුන් රාජ්‍ය ලාංචනය සහිත මුදුවද නඩුකාරයා වෙත ඉදිරිපත් කලාය.

පසුව නැවතත් නඩු කටයුතු ආරම්භ කල අතර නඩු තීන්දුව ප්‍රකාශ කරන මොහොත එළඹියෙන් මුළු අධිකරණ භූමියම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දවිය. සියළු චෝදනා වලින් ඇයව නිදොස්කර නිදහස් කරන බවත්, ඇය ජීවත්වන ගම්මානය පනවා ඇති පියයුරු බද්ධෙන් නිදහස් කරන්නටත්, මුළු රටේම බදු නිදහස සඳහා අවශ්‍ය අනුමැතිය ඉල්ලා බ්‍රිතාන්‍ය රජයට ලිඛිතව දන්වා යැවිය යුතු බවත්, එපමණක් නොව ඇය ජීවත් වෙන ගමේ නායකත්වයට ඇයව පත් කිරීම සඳහා බලධාරින්ගෙන් ඉල්ලීමක්ද කලේය.

මද කලකට පසු පියයුරු බද්ධ සම්පූර්ණයෙන්ම නිදහස්වුවද කුලහීන කාන්තාවන් දිගු කාලයක් යනතුරුම උඩුකය නිර්වස්ත්‍රව සිටීම පුරුද්දක් කරගත්හ. එබැවින් එය සමාජයේ සාමාන්‍යයක් බවටද පත්විය.

(නම් ගම් සමහර සිදුවිම් මනක්කල්පිතය.)


කුලරත්න ජයසේකර



A day in the life

Tuesday, October 29, 2024

වී ප්‍රභේද



සටහන - වී වගාකරුවන්ගේ සංගමය


නව වී ප්‍රභේද නාමකරණයේ දී එම ප්‍රභේද අභිජනනය කළ ස්ථාන හදූනා ගැනීම සදහා භාවිතා කරන සංකේත අක්ෂර පහත පරිදි වේ.

BG _ බතලගොඩ
BW _ බෝඹුවල
LD _ ලබුදුව
AT _ අම්බලන්තොට
ප්‍රභේදයේ අංකය අනුව වයස් කාණ්ඩය
අංකය ⬇️ වයස් කාණ්ඩය ⬇️
300 සිට 349 මාස 3
350 සිට 399 මාස 3 1/2
400 සිට 449 මාස 4
450 සිට ඉහළට මාස 4 1/2
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දෙශ කරන ලද වී ප්රභේදවල වැදගත් ගුණාංග
{වී ප්රභේදය} {අස්වැන්න} {විශේෂ කරුණු}
{බුසල්/අක්}
මාස 3 ප්‍රභේද
Bg 300 100 120 සුදු මධ්‍යස්ථ දිගින්
යුත් සහලකි.
At 306 100 120 සුදු දිගැටි සහලකි.
At 307 140 සුදු මධ්‍යස්ථ දිගැටි
සහලකි.
At 308 130 135 සුදු සම්බා ප්‍රභේදයකී
මාස 3 1/2 ප්‍රභේද
Ld 365 120 130 රතු සහල් සහිත
සම්බා ප්‍රභේදයකි.
Bg 357 160 සුදු මධ්‍යස්ථ දිගින්
යුත් සහලකි.
Bg 360 150 ගුණාත්මකභාවයේන්
ඉහළ සුදු සම්බා
සහලකි.(කිරි සම්බා)
Bg 364 140 160 රතු සහල් වර්ගයකි.
At 362 150 රතු සහලකි.
මාස 4 ප්‍රභේද
Ld 408 140 රතු පැහැ සහල්
ප්‍රභේදයකි.
Bg 407 H 300 ලංකාවේ පළමු
දෙමුහුන් ප්‍රභේදය වේ.
සුදු පැහැති සහලකි.
Bg 379_2 150 සුදු මධ්‍යස්ථ දිගින් යුත්
සහලකි.
Bg 403 150 සුදු සහලකි. වියළි
(මහසෙන්) කලාපයට වඩා සුදුසු යි.
At 405 120 බාස්මතී සහලේ
(ලංකා සමෘද්ධි) ගුණාංග සහිත
සහලකි.
මාස 4 1/2 ප්‍රභේද
Bg 400_1 140 150 සුදු සහලකි.
Bg 450 140 සුදු සම්බා සහලකි.
Bg 451 100 සුදු සම්බා සහලකි.
Bg 452 80 රතු සහලකි.
Bg 453 120 සුදු සහලකි.
මාස 5' 5 1/2 ප්රභේද
Bg 3_5 100 සුදු සහලකි.
Bg 407 120 සුදු සහලකි.
Bg 38 120 සුදු සම්බා සහලකි.
Bg 745 100 සුදු සම්බා සහලකි.
තවත් කෙනෙක්ට බලන්න share කරන්න

A day in the life

Monday, October 28, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා





Sheikh Irshad Sahabuddeen is with Amal Angunawala and 
24 others



ශ්‍රී ලංකාව ඉන්දියාවේ දකුණු තුඩුවට ඔබ්බෙන් පිහිටි පාරිසරික සාධක රැසකින් සහ අන්‍යන්ය වූ ජීව විවිධත්වය සහිත පාරාදීසයකි. ශ්‍රී ලංකාව ජනාවාස වීම ක්‍රිස්තු පූර්ව 300,000 සහ ක්‍රිස්තු පූර්ව 130,000 අතර කාලයේ ආරම්භ වී ඇති බව නවතම පුරාවිද්යා පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. මුල් ප්‍රාග් ඓතිහාසික යුගයේ අන්තර් හිම තත්ත්වයක් දිවයිනේ තිබී ඇති බව නවතම පුරා විද්‍යා පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. එම ශීත දේශගුණය නිසා අධික ලෙස වායුගෝලයට බලපා ඇති බව පෙනේ. මධ්‍යම කඳුකරයේ සුළං තත්ත්වය මත එම ප්‍රදේශයේ අධික වර්ෂාව ලබා ඇති අතර වියලි කලාපීය ප්‍රදේශ අධික ශුෂ්ක බවින් යුක්ත වෙයි. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පාරිසරික පද්ධතිය විවිධ වීම හේතුවෙන් ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වීමට උචිත පරිදි පරිසරය හැඩගැසී ඇත.
ක්‍රිස්තු පූර්ව 1800 - 1000 වන විට ජ්‍යාමිතික ශුද්‍ර ගල් මෙවලම් භාවිතා කළ ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් ව සිට ඇති බව නවතම පුරාවිද්‍යා පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. මධ්‍ය ශිලා යුගයේ දී සත්ත්ව පාලනය සහ වගා කටයුතු සිදු කළ බව පෙනේ. වැසි වනාන්තර හෙළි පෙහෙළි කිරීම සඳහා පූර්ව යකඩ යුගයේ දී තැනූ උපකරණ භාවිතා කර ඇති බව තහවුරු වී ඇත පූර්ව ශිලා යුගයේ දී ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ වී තිබුණි. මුහුදු මට්ටමේ අඩු වැඩි වීම නිසා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර වෙන්වීම සිදු වූයේ වසර 7000කට පමණ පෙර බව තහවුරු වී ඇත. පුරාවිද්‍යා හා පාරිසරික සාධක අනුව අපට පැහැදිලි වන්නේ අදින් වසර 250,000කට පෙර ලංකාවේ උතුරු සහ ගිණිකොනදිග ප්‍රදේශයේ මානව වාසස්ථාන තිබූ බවට සැකයක් මතු වීමයි. එමෙන්ම ක්රිස්තු පූර්ව 125,000 පමණ වන විට මෙම ප්‍රදේශය ජනාවාස වී ඇති බව නවතම පුරාවිද්‍ය පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. එම මානවයා මුල් කාලීන හෝමෝ සේපියන්ස් වර්ගයේ අය බව අනුමාන කර තිබේ. මධ්‍යම පලයිස්ටොසීන යුගය වන විට ඇතිවූ අන්තර් ජයිවීය වෙනස්‌කම් සහ අන්තර් වර්ෂාපතනය හේතුවෙන් ශාක හා සත්ත්ව සම්පත්වල විවිධත්වයක් නිර්මාණය වී මානව පරිණාමය සඳහා බෙහෙවින් ඉවහල් වූ බව පෙනේ. පුරාවිද්‍යා නිරීක්ෂණය අනුව ක්‍රිස්තු පූර්ව 125,000 පමණ ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල ජන ඝනත්වය වර්ග කිලෝමීටර් 1කට පුද්ගලයන් 1.5 සහ 0.8 ලෙස ඇස්තමේන්තු කර ඇත.
ක්‍රිස්තු පූර්ව 35,000කට මෙපිට අතීතයේ ජීවත් වූ මානවයා සහ එම පරිසර පද්ධතිය කාබන් කාල නිර්ණය අනුව සොයා ගෙන තිබේ. ඒවා පහත සඳහන් වේ.
1. පාහියන්ගල වසර 38,000
2. කුරුවිට බටදොඹලෙන වසර 28,000
3. කිතුල්ගල බෙලිලෙන වසර 15,000
4. බෙල්ලන්බැඳි පැලැස්ස වසර 12,000
5. අත්තනගොඩ අලුලෙන වසර 10,350
6. මානියම්ගල වසර 7900
7. සීගිරිය පොතාන වසර 5800
8. සීගිරිය අලිගල වසර 5500
9. උඩමළල වසර 5330
10. මාතොට වසර 3800
11. හෙනගහපුගල වසර 3370
මෙහි ජනාවාස ව්යාප්ත වී ඇති ආකාරය පහත සඳහන් ආකාරයට වර්ග කල හැක.
1. වෙරළාශිත එළිමහන් කඳවුරු - මිනිහාගල්කන්ද, බුන්දල, පතිරාජවෙල.
2. පහතරට තෙත් කලාපීය ලෙන් - පාහියන්ගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන.
3. පහතරට වියලි කලාපීය ලෙන් - පොතාන සහ අලිගල.
4. පහතරට වියලි කලාපීය එළිමහන් කඳවුරු - බෙල්ලන්බැඳිපැලැස්ස.
5. කඳුකර එළිමහන් දඩයම් ස්ථාන - බණ්ඩාරවෙල, හෝර්ටන් තැන්න.
කායව්‍යවජ්ජේද සොයා ගැනීම් අනුව පුරාන මානවයා පිළිබඳ සාක්ෂි ක්‍රිස්තු පූර්ව 38,000කට අයත් පාහියන්ගලෙන් ලැබී ඇත. කුරුවිට බටදොඹලෙන ක්‍රිස්තු පූර්ව 28,000, සහ කිතුල්ගල බෙලිලෙන ක්‍රිස්තු පූර්ව 15,000 ආදී වශයෙන් මේ කාල සීමාව තුළ එකී පරිසරය ආශ්‍රිතව මෙම මානවයා ජීවත්ව ඇති බව සොයාගෙන තිබේ. පොදුවේ මෙම මානවයා බලංගොඩ මානවයා ලෙස හැඳින්විය හැකිය. එසේ හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ පර්යේෂණ සිදු කර තොරතුරු අනාවරණය කල මහාචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා විසිනි. එතුමා විසින් ලියන ලද ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය යන කෘතිය The Pre History of Sri Lanka දෙස් විදෙස් සම්මානයද පාත්‍ර විය.
මෙම බලංගොඩ මානවයාගේ පුරුෂ පක්ෂයේ උස සෙන්ටිමීටර් 174 කි. ස්ත්‍රීන්ගේ උස සෙන්ටිමීටර් 166කි. අස්ථි ශක්තිමත් වන අතර හිස් කබල ඉතා ඝනය. මේ ආකාරයෙන් ඔවුන්ගේ ශාරීරික ලක්ෂණ දැකිය හැකිය. මේ මානව විශේෂය ලංකාවේ තෙත් බිම්වල සිට වියලි කලාපීය ප්‍රදේශ දක්වා අසමාන ලෙස පැතිර ගිය අතර ඉතාමත් පුළුල් ලෙස ආහාර දාම ද වෙනස් වී ඇත. ඔවුන් ජ්‍යාමිතික ශුද්‍ර ගල් මෙවලම් භාවිතා කර ඇති අතර මෙවැනි ගල් ආයුධ හා මෙවලම්(ක්‍රිස්තු පූර්ව 28,000-17,000) බුන්දල වෙරළබ හා බෙලිලෙන අසලින් සොයාගෙන ඇත. එමෙන්ම ක්‍රිස්තු පූර්ව 27,000 සිට මෙම මානවයා ලුනු භාවිතා කළ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඔවුන් ආහාරයට ගන්නා ලද බෙල්ලන්ගේ කටු වලින් මාලයක් ද නිර්මාණය කර ඇත.
විශේෂයෙන් ම වියලි කලාපයේ සොයා ගත් ගුහා සිතුවම් ද මෙම මානවයා ජීවත් වූ බවට සාක්ෂි දරයි. එමෙන්ම ක්‍රිස්තු පූර්ව 6500 වන විට මැටි බඳුන් භාවිතා කර ඇති බව දොරවකකන්ද ගල් ගුහාවේ කල කැනීම් වලින් තහවුරු වී ඇත. එසේම ලංකාවේ පාරිසරික සාධක විශේෂයෙන් ම සමක ඝන වැසි වනාන්තර සහ ඊට සරිලන පාංශු පද්ධතිය ද මෙම ජනාවාස සංවර්ධනය වීම කෙරෙහි බලපා ඇති බව පෙනේ. ලංකාවේ භාවිත වන ශාක විශේෂයෙන් ම කලු ගම්මිරිස් ආදිය මානවයන් පැමිණිමට හේතුවක් විය හැකිය. මෙම කාල වකවානුව සංසන්දනය කරන්නේ නම් එය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දෙවැනි නාගරීකරණය ක්‍රියාවලිය සමගය. ක්‍රිස්තු පූර්ව 900 වන විට අනුරාධපුරයේ යකඩ මෙවලම් ද පිත්තල, තඹ ආදිය භාවිතා කළ මානවයන් ජීවත්ව සිට ඇති බව නවතම පුරාවිද්‍යා පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. එසේම දකුණු ඉන්දියාව සමග දුරස්ථ වෙළෙඳාමක් ද පැවති බව සාක්ෂි සොයාගෙන ඇත.
පුරාතන ඓතිහාසික යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහිත වලං කැබලි සොයාගෙන ඇති අතර ඒවායේ අනුරාධ යැයි සටහන් කර ඇති මැටි බඳුන් ඉන්දියාවෙන් ගෙන්වන ලද බව මතයක් පවතී. එය එසේ වන්නේ නම් ක්‍රිස්තු පූර්ව 6වන සියවසේදී ලංකාවේ ජනාවාස පිහිටුවීම යන පුරාවෘත්තය බිඳ වැටෙයි. ලංකාව ජනාවාස වීම කාබන් කාල නිර්ණය සහ තාප සංදීප්තා කාල නිර්ණය අනූව තවත් වසර 28,000 කට ඈතට යයි. උතුරු ඉන්දියාවේ සොයා ගන්නා ලද ක්‍රිස්තු පූර්ව 600ට අයත් මැටි බඳුන් සහ රතු වීදුරු පබලු වලට සමාන ද්‍රව්‍ය අනුරාධපුරයේ කල කැනීම් වලින් හමුවී ඇත. අනුරාධපුරයේ හමුවූ පැරණි මැටි බඳුන් වල අක්ෂර කොටා ඇත්තේ පූර්ව ඉන්දියානු ප්‍රාකෘත අකුරු වලිනි. මීට සමාන අක්ෂර ඉන්දියාවේ අරියකමෙයිඩු සහ කොමඩුමනල් යන ස්ථානවල හමුවූ පැරණි මෙගලතික ශිලා ලේඛන වල දක්නට ලැබේ.
ජායාරූපය : සීගිරිය පොතාන ගල් ගුහාවේ කල කැනීම් වලින් හමුවූ මානවයාගේ අස්ථි කොටස්. මෙය ක්‍රිස්තු පූර්ව 5800ට අයත් වේ.
©
ජායාරූප අනුග්‍රහය - පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැළණිය විශ්ව විද්යාලය.
සටහන 📝
ඉර්ෂාඩ් සහබ්දීන්
BA (OUSL), PGD Archaeology (PGIAR) University of Kelaniya, Merit pass
MSc Archeology( PGIAR )University of Kelaniya
MA (INDIA MKU),
DIP. PUBLIC POLICY (CISS),
Member of Royal Asiatic Society Sri Lanka
ආශ්‍රිත ග්‍රන්ථ.
The Prehistory of Sri Lanka - An Ecological Perspective., Professor Shiran Deraniyagala, Memoirs Volume 8, Volume 1 & 2., Department of Archaeology Sri Lanka, Second Edition 1992.
ඉතිහාසය 10 ශ්‍රේණිය පෙළ පොත, අධ්‍යාපන ප්‍රකාශණ දෙපාර්තමේන්තුව. 2018.
ඉපැරැණි ලෝක ශිෂ්ටාචාර, රාජ් සෝමදේව, පත්මසිරි කන්නන්ගර, අනුත්තරාදේවි විද්යාලංකාර, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, පිටු 427, 2016.
The Evolution of Technological Innovations in Ancient Sri Lanka, Edited by M. Ashoka T. De Silva., 2011, Vijitha Yapa.
Ancient Anuradhapura., Professor Anuradha Seneviratne, second edition 2008, Sarasavi
A day in the life

Sunday, October 27, 2024

උපන් දිනයක ස්මරණයක්.






අද මට ආපහු හැරිලා හිතන්න හොද දවසක්. 

මාත් උපන්නේ 1948 . ලංකාවට නිදහස ලැබුන අවුරුද්දේ. 

අවුරුදු හැත්තෑ හයක්, තාමත් නූපන් දරුවන්ගේ සිහින මරාපු පරපුරක සාමාජික යෙක්.

එහෙමනේ කියන්නේ. 

මම ඉපදුනේ ගෙදරදී. “කත්තෝ අම්මා“ කියලා ආත්තම්මා කෙනෙක් ගමේ හිටියා. කාගෙත් තිඔීරි ගෙදර මව්වරුනට උපසස්ථාන කලේමම ගැන ලියන එකත් පුුංචි ලමයින්ගේ වැඩක්. 

එත් එතුමිය. අපේ අම්මටත් එතුමියගේ ඇප උපකාර ලැබුන බවයි අම්මා කිවුවේ . එවන් වැඩිහිටි කාන්තාවන් හැම ගමකම එකල ඉදල තියෙනවා.

දැන් සෞඛ්‍ය පහසුකම් ඊට වඩා දියුණුයි.

ඒත් වර්තමාන තරුණ පරපුර කියන්නේ අවුරුදු හැත්තෑහයක්  තිස්සේ ඒ පරපුරේ සිහින අපේ පරපුුර විසින් විනාශ කලා කියලා.

අපි ඉපදෙන කොට ලාම්පු තෙලින් දැල්වෙන කුප්පි ලාම්පු චිමිණි ලාම්පු තමයි හැම ගෙදරකම තිබුනේ. පස්සේ  කාලයක මැන්ටලයක් බැදපු ඇලඩින් ලාම්පු , පැට්‍රෝල් ලාම්පු භාවිතයට ආවා.

දැන් නම් හැම ගමකම හැම ගෙදරකම විදුලිය තියෙනවා. තෝමස් අල්වා එඩිසන්ටත් ලංකාව පාලනය කල විවිධ දේශපාලනඥයයන්ගේ කැපවීමත් නිසා.

ඒත් කියන්නේ ඔවුුන් අනාගත පරපුරේ සිහින විනාශ කරපු අධමයෝ කියලා.

කොළඹ – බදුල්ල පාරේ අයිනේ පිදුරු හෙවිල්ලපු පුංචි ගෙදරක මෙලොව එළිය දැක්ක මම කලක් යන කම් දැක්කේ මේ පාරේ යන බස් හතරක් විතරයි.ඒවා කොළඹ ගියේ පානදුරය හරහා. ලියෝ ප්‍රනාන්දු සමාගමේ තමයි මේ බස් හතර. බස් ජනසතුව දක්වා මේ තත්වයේ වෙනසක් තිබුනේ නැහැ. පැය දොළහක පමනකින් අපේ ගෙදර ගාවා ඉදන් කොළඹට යන්න පුළුවන්.බදුල්ලේ ඉදන් නම් පැය පහ‍ලොවක් විතර යනවා ඇති.පුංචි පාරේ වල ගොඩැලි මැදින් මේ යන ගමන හරි අපූරුවට තියෙන්න ඇති. මම නම් ඒ් කාලේ දුර ගමන් ගිහින් නෑ .

අර පුංචි ගෙදර දැන් නම් නැහැ. තාත්තා කාලෙට ගැලපෙන ගෙයක් එතන හදලා. කරත්ත පාර වගේ තිබුන පාර මංතීරු දෙකක කාෆට් කරපු පාරක් වෙලා. තොරතෝංචියක් නැතිව ඉහලට පහලට යන වාහන නිසා කන් දෙකට කිසිම නිදහසක් නැහැ. ගේ වටේ තියෙන තාප්පේ නිසා ඇස් දෙකට නම් විවේකයක් තියෙනවා. දැන් මෙතනින් කොළඹට , පානදුරේට පැය හතරකින් පොදු වාහනයකින් ( බස් එකකින්) යන්න පුළුවන්. මඩකලපුවට , අම්පාරෙට, මෛයියන්ගනේට, බදුල්ලට ,කුරුණෑගලට , ඇඹිලිපිටියට යන්න පොදු ප්‍රවාහණ සේවා තියෙනවා

අවුරුදු හැත්තෑහයක් තිස්සේ වෙලා තියෙන දේවල්……….

මම හෝඩියේ පන්තියට ගියේ ගමේ ඉස්කොලෙට. එක ගොඩනැගිල්ලයි. ලොකු ස්කෝලේ මහත්තයාගේ නවාතැන උනෙත් ඒ ගොඩනැගිල්ලේ  වෙන්‍කර තිබු කෙළවරක කාමර දෙකක්.ලොකු මහත්තයා ජයසේන , ලොකු නෝනා පෙරේරා. පුංචි අපිට හරි ආදරෙයි. මේ දෙපලට දරුවෝ නැහැ. මම පාසලට ඇතුල්වෙන කොටත් විශ්‍රාම යන වයස දකිමිනුයි හිටියේ .අවට ගම් හය හතකට තිබුුනේ මේ පාසල විතරයි. දැන් කිමි. දෙකක් ඈතින් සබරගමුව විශ්ව විද්‍යාලය තියෙනවා. මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල දා හතරක්ද කොහෙදත් ,ගානක් නැති පෞද්ගලික විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපන ආයතන තියෙනවා.

සිහින මරාපු අවුරුදු හැත්තෑ හයක් අනාගත සිහින දකින්න ඉතිරි කරලා මඩ නාගෙන ඉන්න පරපුරක සාමාජිකයෙක් වන මම අද සමරන්නේ හැත්තෑ හයවෙනි උපන් දිනය.

සැමට සෙත් වේවා !. යි ප්‍රාරථනා කරනවා.


උපන් දින සැමරුමක්...

මට නොපෙනන මාව පෙනුන හැටි.


සුභම සුභ උපන් දිනක් වේවා...ලයනල් අයියේ...
ළෙන්ගතු හිනාවෙන් පිරි ඔබෙ මුව මඩල
කාටත් එකවගේ බෙදනා සෙනේ ගඟ
අය්යණ්ඩියක් හඳුනාගෙන බෝ කලෙක
අක්කා නිසා නෑකම ළඟ විය දිනෙක
නුඹවන් අය වටී රටටම මහමෙර සේ
දැනුමැති කමයි ගුණ නුවණයි එක විලසේ
ලොකුකම් නොමැති මිනිසත්කම පිරි මනසේ
අයියේ මොහොතකින් පැතුමක් දෙනු කෙලෙසේ
සිතුම් පැතුම් තව තව ඉටුකර ගන්න
දවසින් දවස නිරෝගි සුව අත්වෙන්න
සුපුරුදු සිනාවම සැම දා දැක ගන්න
සම්බුදු සරණ ලැබ ආයුෂ වැඩි වෙන්න....
සුභ පැතුම් අයියේ......
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon