Tuesday, September 24, 2024

ජනප්‍රිය වාසගම්




ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම්

පෙරේරා
මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා). අර්ථය:- ​‘පෙයාර්ස් ගස’
සිල්වා
සිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු). ලතින් යෙදුම: Silva (සිල්වා). අර්ථය: ලන්ද, ලඳු කැලෑව, Silva යන්න විටෙක De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.
ද මෙල්
පෘතුගීසි යෙදුම – De Mello (දෙ මෙල්ලෝ). අර්ථය – ‘මී පැණි’. ඒ අනුව De Mello හෙවත් De Mel යනු ‘මීපැණිහි’/‘මීපැණියේ’ යනුයි.
කෲස්
පෘතුගීසි යෙදුම: Cruz (කෲස්). අර්ථය – ‘කුරුසිය’. 100% ක්ම පාහේ ක්‍රිස්තියානින් වන පෘතුගාලයේ මෙබඳු ආගමික සංකල්පයක් පෙළපත් නාමයක් සේ යොද‌ා ගැනීම පුදුමයට කරුණක් නොවේ.
පීරිස්
පෘතුගීසි යෙදුම – Pires (පීරෙස්) – අර්ථය – පීරිසිය. මේ අනුව ‘පීරිසිය’ යනු වචනය මෙන්ම ‘කෝප්පය’ යන වචනයද පෘතුගීසි ආභාසයෙන් සිංහලයට නැඟිණැයි කල්පනා කළ හැකිය. පෘතුගීසි බසින් කෝප්පය Copo (කෝපෝ) යනුය.
පාරිස්
පෘතුගීසි යෙදුම: Paris (පරීස්). අප කළ විමර්ශනයට අනුව පෘතුගීසි බසින් පරීස් යනු ප්‍රංශයේ අගනුවර වන පැරීසියයි. පැරීසියේ කලක් තිස්සේ සාම්ප්‍රද‌ායිකව පෘතුගීසි සම්භවයක් සහිත ජන කොටසක් ජීවත් වෙති. මේ ජනතාව පෘතුගීසින් විසින් හඳුන්වනු ලැබුවේ ‘පරීස්’ යනුවෙනි. මේ සිංහල භාවිතයේදී මේ වාසගම ලැබූ අය ‘පාරිස්’ ලෙස හඳුන්වනු ලබති.
ඩයස්
පෘතුගීසි යෙදුම – Dias (දියාස්) – අර්ථය : දිනයන්. පෘතුගීසි බසින් Dia (දියා) යනු ‘දිනය’ යි dias (දියාස්) යනු එහි බහුවචනමය ස්වරූපයයි. මාගේ පෙර කී මිතුරා පෙන්වා දුන් ආකාරයට ‘දිනය උදා කරන’ (දිනකර) යන අර්ථයෙන් මෙම Dias යන්න ‘සූර්යයා’ ලෙසද අර්ථකථනය කළ හැකිය.
මෙන්ඩිස්
පෘතුගීසි යෙදුම – Mandaz (මන්දෙස්) Menendez (මෙනෙන්දෙස්). අර්ථය – ‘මෙනෙන්දෝ ගේ පුත්‍රයා’. මෙනෙන්දෝ යනු යුරෝපයට බලපෑ කතෝලික ශුද්ධවන්තයෙකු සේම රාජ කුමාරයෙකි. ඉංග්‍රීසි බසින් St.Hermangild (සා.හර්මන්පිල්ඩ්) ලෙස හඳුන්වන්නේත් මෙතුමාය. ක්‍රි.ව 6 වැනි සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ රජකුමරෙකු වූ මෙතුමා කතෝලික විශ්වාසය උදෙසා දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගියෙකි. මේ පෙළපත් නාමයේ අර්ථය එම ‘මෙනෙන්දෝගේ පුත්‍රයා’ යනුය.
ප්‍රනාන්දු
යුරෝපයේ රටවල් රැසක පෙළපත් නාම හෝ පුද්ගල නාමයක් ද ලෙස ප්‍රනාන්දු යන්න ප්‍රකටය. පෘතුගීසි යෙදුම – Fernando (ෆර්නාන්දෝ). ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් (Ferdinand) යන්නෙහි පෘතුගීසි නාමය ලෙස ‘Fernando’ හැඳින්විය හැකිය. මෙම නාමයම Ferdinand ලෙස ජර්මන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මෙන්ම පෝලන්ත යන භාෂාවලින්ද Hernando (හෙර්නන්දෝ) ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන්ද නන්දෝර් ලෙස හංගේරියානු භාෂාවෙන්ද භාවිතවේ. ප්‍රනාන්දු යනු එහිම ලාංකේය ප්‍රකාශනයයි.
තවද තම ප්‍රනාන්දු යන පෙළපත් නාමය ‘ප්‍රනන්ද’ හෝ ‘පුරනන්ද’ යනුවෙන් වඩාත් දේශීයත්වයට නඟාගත් ස්වල්ප දෙනෙකු සේම තම නාමයේ මුල් පෙළපත් නාමය නමේ අගට ගෙන ප්‍රනාන්දු යන්න භාවිත නොකරන වර්ණකුලසූරිය, කුරුකුලසූරිය, මිහිඳුකුල සූරිය, වර්ණකුල, මිහිඳුකුල, කොඩිප්පිලි හෝ වීරක්කොඩි හෝ වැනි නම් දරන ප්‍රනාන්දුවරු ද සිටිති
නෝනිස්
ස්පාඤ්ඤ නාමය : ‘නූනෝ’/ පෘතුගීසි නාමය ‘නූනෙස්’. අර්ථය : ‘නුනෝගේ පුත්‍රයා’ මීට අමතරව මෙය පෘතුගීසි අරුතින් ‘නවවෙනි’ හෝ ‘සීයා’ යනුද වෙයි නූනෝ යනු 14 වැනි සියවසේ සිදු වූ කස්තීලියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදී පෘතුගාලය බේරාගත් වීරෝදාර රණවිරුවෙකි ‘නූනෙස්’ ඔහුගේ පුත්‍රයා ලෙස අර්ථකථනය කෙරෙන අතර සිංහලයේදී එය ‘නෝනිස්’ නම් වෙයි.
ගෝමස්/ගෝමිස්
මෙම පෙළපත් නාම දෙකම එකම ස්පාඤ්ඤ මූලාශ්‍රයකින් සම්භව වී යැයි සැලකිය හැකිය. ස්පාඤ්ඤ යෙදුම: විසිගොතික් සංකල්පයක් වූ ‘ගෝමා’ මෙහි මූල්‍ය ජර්මානු ‘ගුමා’ (Guma) යන්න අර්ථය:- ‘මිනිසා’. ඒ අනුව ‘​ගෝමෙස්’ යනු ‘මිනිස් පුත්‍රයා’ (මනුෂ්‍ය පුත්‍රයා) ලෙස ගත හැකිය.
ෆොන්සේකා
ලතින් මූලය : Fon+Sicca. අර්ථය : ​Fon (උල්පත) Sicca (වියළි බිම) වියළි බිමෙහි උල්පත තවද මෙය කාන්තාරයක ක්ෂේම භූමියකට ඉඟි කරයි.
කොස්තා
පෘතුගීසි යෙදුම: Costa (කොස්තා). පෘතුගීසි අර්ථය : ගං ඉවුර, බෑවුම, මුහුදු වෙරළ. ලතින් අර්ථය: පැත්ත, අයින, කෙළවර, අද්දර
වාස්
හංගේරියානු මූලය : Vass. අර්ථය – යකඩ. මෙමගින් කම්මල් රැකියාවේ නියුක්ත වූවන්, යපස් පතල්කරුවන් හෝ යකඩ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නන් අදහස් කෙරේ. එසේම මෙම පෙළපත් නාමය මගින් අති විශිෂ්ට චරිතයක්. ප්‍රබල විඳ දරා ගැනීමේ හැකියාවක්ද ප්‍රකාශ කෙරේ.
අල්විස්
ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි). පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්). අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත.
රුද්‍රිගු
ස්පාඤ්ඤ මූලය – රොද්‍රිගෝ දියාස් දෙ වීවාර් (පුද්ගල නාමයකි) එකො​ළොස් වෙනි සියවසේ විශිෂ්ට හා කැපී පෙනුණු ස්පාඤ්ඤ සේනාධිපතියෙකු වූ මොහුගේ නාමයට ගෞරව පිණිස රොද්‍රිගු යන මොහුගේ නාමය පෙළපත් නාමයක් සේ පසුකාලීනව භාවිතයට ගැනුණු බව පෙනී යයි.
පුරාණ ජර්මානු බසෙහි Hroderic ලෙස හඳුන්වනු ලැබූ මේ නාමය ස්පාඤ්ඤ, පෘතුගීසි හා ඉතාලි භාෂාවලින් Roderico (රොදෙරිතෝ) ලෙසද කතෝලාන බසෙහි Roderic (රොඩෙරික්) ලෙසද ඉංග්‍රීසියෙහි Rod හා Roddy ලෙසද ප්‍රංශ බසෙහි රොද්‍රිගු (Rodrigue) ලෙසද පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තවත් විටෙක Ruy,Rui හෝ Ruiz ලෙසද මේ නම භාවිත කෙරේ. සාමාන්‍ය සිංහල භාවිතයේදී රුද්‍රිගු නම් වන මේ පෙළපත් නාමය ඉංග්‍රීසිකරණ ලක්ව Rodrigo (රොඩ්රිගෝ) ලෙස වර්තමාන ‘පොෂ්’ ඉංග්‍රීසියෙහි (Posh English) භාවිත වේ.
සුවාරිස්
ජර්මානු මූලය :- Suero (සුඑ්රෝ). Su+heri ලෙස මේ වචනය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි නමුත් පෘතුගීසි විශේෂඥයන් පවා තවමත් ‘su’ යන්නෙහි අර්ථය කුමක්දැයි නිශ්චිත කරගෙන නැත. එහෙත් ‘heri’ හෙවත් ‘hari’ යනු ‘හමුදාව’ යි.
සොයිසා
පෘතුගීසි මූල්‍ය : Souza (සූසා). මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසය. මේ ගංගාවට Souza යන නම ලැබීමට ලතින් වචන දෙකක බලපෑමක් ඇතැයි සැලකේ. එනම් Salsus (ලවණමය) හෝ Saxa (ගල් සහිත) යන වචන දෙකම හෝ ඉන් එකක් හෝ ඊට බලපාන්නට ඇතැයි පිළිගැනේ. සොයිසා යැයි කී විට ලංකාවේ කාටත් සිහිවන නගරය මොරටුවයි.
අල්මේදා
අරාබි මූලය – ‘අල් මයිද‌ා’ (Al Maida). අර්ථය – කලක් ඉස්ලාමීය ආක්‍රමණයට යට වී සිටි ස්පාඤ්ඤයේ එක් නගරයක් අරාබින් විසින් හඳුන්වනු ලැබූයේ ‘අල් මයිදා’ යනුවෙනි. එහි අර්ථය ‘සානුව’ යනුය. ‘අල්මේයිදා’ ලෙස ස්පාඤ්ඤකරණයට ලක් වූ මේ පෙළපත් නාමයෙන් එම නගරයේ වැසියන් හඳුන්වනු ලැබීය. මෙම පෙළපත් නාමය ලංකාවේදී භාවිත වන්නේ ‘අල්මේදා’ වශයෙනි. ලංකාවට ගොඩබට ප්‍රථම පෘතුගීසි කප්පිත්තා වූයේ ලොරෙන්සෝද අල්මේදාය.
කබ්රාල්
ලතින් මූලය: Capralis (කප්‍රාලිස්). අර්ථය: එළුවන් ලගින තැන – මේ පෙළපත් නාමය එළුවන් බලාගන්නා පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ලංකාවේදී මෙය ‘කබ්රාල්’ ලෙස භාවිතවේ.
කොරයා Cora (කෝරා)
ලතින් මූලය – Cora (​කොරෙයා) අර්ථය – හදවත. ලතින් බසින් කොරියානු රාජ්‍යය හැඳින්වීමට යෙදෙන මේ යෙදුම හැරෙන්නට මෙම පෙළපත් නාමය සාධාරණීකරණය සඳහා සොයාගැනීමට අපට සොයාගත හැකි එකම සාධාරණ වචනය වන්නේ ‘හදවත’ යන අරුත දෙන ‘Cora’ (කෝරා) යන්නය. මේ අනුව ‘හෘදයාංගම’ වැනි අරුතකින් Cora (කෝරා) යන්න කොරයා’ ලෙස සකසාගත්තේදැයි කල්පනා කළ හැක.
පැස්කුවල්
පෘතුගීසි මූලය: Pascoa. අර්ථය – පාස්කුව (පාස්කු මංගල්‍යය). මෙම නාමය ‘පාස්කු මංගල්‍යය හා සබැඳි අරුතක් ගෙන එයි. ක්‍රිස්තියානින්ගේ ඉහළම තලයේ මංගල්‍යය නත්තල නොව පාස්කුවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරන පාස්කු මංගල්‍යය නත්තලට වඩා වැදගත් මංගල්‍යය වෙයි. පැස්කුවල් යන පෙළපත් නාමය Pascoa (පාස්කොආ) යන පෘතුගීසි යෙදුම හා බැඳෙන බව මෙසේ තහවුරු වේ.
පෘතුගීසි ආභාසයෙන් මෙරටට ලැබුණු පෙළපත් නාම පිළිබඳ මා කළ විමර්ශනය ඵලදායක වී යැයි කල්පනා කරමි. එසේම තම පෙළපත් නාමය පිළිබඳ සැබෑ තතු දැන ගැනීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවිය හැකියැයි හඟීමි. එහෙත් මේ පෙළපත් නාම පිළිබඳ තවත් වෙනස් අර්ථකථන ද තිබීමට ඉඩ ඇත. තවත් එබඳු අධ්‍යයනයන් වේ නම් ඒවාත් මේ මොහොතේ කරළියට පැමිණේවායි පතමි.
ජමික මනෝහර සුබසිංහ
මුලාශ්‍රය – ලංකාදීප පුවත්පත

---Zesty 


A day in the life

Monday, September 23, 2024

ලෝලු හෙවත් පතරාජ / Cordia dichotoma








ලෝලු පුරාණ හෙළ වෙදකමේදී දිව ගුණ සහිත ඔසුවකි. විටෙක පළතුරක් ලෙස පරිභෝජනය කරනා ලෝලු ගසේ පොතු , කොළ , මල් , ගෙඩි , ඇට ආදිය එකසේ හෙළ වෙදකමේදී භාවිතා කරයි.

පතරාජ , පතරංග ආදී සිංහල නම් වලින්ද ඉංග්රීසියෙන් Indian Cherrry ලෙසට හඳුන්වනු ලබන ලෝලු 10m ක් දක්වා උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාකයකි. ඉලිප්සාකර පත්ර ඒකාන්තරව පිහිටන අතර කලාතුරකින් සම්මුඛ විය හැකි ය. අංකුර දැඩි බූවක් සහිතය. අග්රස්ථ පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. එහි හට ගන්නා සුදු පැහැති මල් ද්වීලිංගික හෝ නිසරු පුෂ්ප සහිත විය හැකි ය. කහ සිට තැඹිලි දක්වා වර්ණයන්ගෙන් යුත් ඵලය අෂ්ඨිලයකි. ලංකාවේ ශුෂ්ක සහ අර්ධ ශුෂ්ක පළාත්වල ඉබේ වැවෙන ශාකයකි. ලෝලු Boraginaceae උද්භිද කුලයට අයත් ශාකයකි.

ලෝලු මල් සහ දළු රසවත් ව්යංජනයක් ලෙස සකසා ගත හැකි අතර ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ඵලාවර්ණයට අතුලතින් නානුමය මැලියම් විශේෂයක් පිහිටා ඇති අතර පෙර පරම්පරාවේ උදවිය ඒවා කඩදාසි වැනි දෑ ඇලවීම සඳහා භාවිතා කර ඇත. ඉදුණු ලෝලු ගෙඩිවල පැහැදිලිව දැකි හැකි විශේෂත්වයක් වන්නේ එහි මදය ඇලෙන සුලු ජෙලටීනමය ස්වරූපයක් ගැනීමය. ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව සහ මියන්මාරය වැනි රටවවල සාම්ප්රදායික ජනතාව තවමත් ලෝලු ගසේ මල් , කොළ , ගෙඩි , සහ පොතු ආහාර වශයෙන් සහ ඖෂධ වශයෙන් භාවිතයට ගනිති. ශ්රී ලංකාවේ ද ඇතැම් පළාත්වල ජනතාව කලාතුරකින් මෙම ගසේ දලු සහ මල් ව්යාංජනයක් හා ඉදුණු ගෙඩි පලතුරක් ලෙස ගන්නා අතර ඇතැම් පාරම්පරික සිංහල වෛද්යවරු මෙම ගස ඖෂධයක් ලෙස ප්රයෝජනයට ගනු ලබති. මධ්යම තායිලන්ත ප්රාන්තයක් වන ප්රානෙක්හොන්සි අයුත්තායා හි ප්රාන්ත ගස ලෙස සැලකෙන්නේ ලෝලු ගසය. මියන්මාරයේ පාවෝ ජාතිකයන් අතර මෙම ගසේ දලු ව්යාංජනය බෙහෙවින්ම ප්රචලිතය. මෙම ශාකය සතු ඖෂධීය සහ පෝෂණ ගුණ පිළිබඳ නූතන පර්යේෂණ වලින් තහවුරු ව ඇත.



ලෝලු වටිනා ශාක රසායනික වර්ග රාශියක් අඩංගු ඉතාම පෝෂණීය ආහාරයක් වෙයි. විශේෂයෙන් මෙහි ඇටවල ඉතාම දුර්ලභ සහ වටිනා මේද අම්ල සහ ඇමයිනෝ අම්ල (ප්රොටීන) කිහිපයක්ම අඩංගු වෙයි. මෙම පලතුර සහ පත්ර ඛනිජ ලවණවලින් පොහොසත්ය. විශේෂයෙන් දුර්ලභ ඛනිජ ලවණයක් වන ක්රෝමියම් අඩංගු වන බැවින් දියවැඩියා රෝගීන්ට බෙහෙවින්ම හිතකරය. කෙසේ වෙතත් ඉදුණු ලෝලු ගෙඩිවල ප්රතිපෝෂක අඩංගු වන බැවින් ප්රධාන ආහාර වේලකට පැයකට පෙර හා පසුව ලෝලු පලතුරක් ලෙස ගැනීම සුදුසුය.


ප්රභල ප්රතිජීවකයක් හා වේදනා නාශකයකි ලෝලු ශාකය. ලෝලු සාරය සතු තුවාල සුව කිරීමේ ගුණය මෙන්ම , එය සතු පුළුල් පරාසයක පැතිරුණු රෝග කාරක ක්ෂුද්ර ජීවීන් විනාශ කිරීමේ ගුණයත්, වේදනා නාශක ගුණයත් මීයන් ඇසුරින් සිදු කෙරී ඇති පර්යේෂණ වලින් සනාථව ඇත. ආහාර මාර්ග පද්ධතිය තුළ හට ගන්නා තුවාල සහ කල් ගිය වන සුව කිරීමේ හැකියාවක් සහ අල්සර් සහ කොලික් පේන් (Ulcers and Colic pain) තත්ත්වයන් නිසාවෙන් ගර්භාෂයේ , පිත්තාශයේ සහ උදරයේ හට ගන්නා දරුණු වේදනාවන් සමනය කරන්නටත් ලෝලු හොඳ ප්රතිකාරයක් බව තවත් පර්යේෂණයකින් හෙළි වී ඇත. මෙහි අන්තර්ගත වන ඇපිජෙනින් (Apigenin) වැනි ශාක රසායන සංඝටකවල බලපෑමෙන් මෙය සිදු වන බව විද්යාඥයින් ප්රකාශ කරයි.තරුණ බව රැක දෙයි. ලිංගික ශක්තිය වැඩි කරයි. ලෝලු පත්ර සහ ඇටවල සාරයෙහි අඩංගු වන ප්රබල ස්වාභාවික ප්රතිඔක්සිකාරක සතුව ඇති නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමේ හැකියාව නිසාවෙන් තරුණ බව දිර්ඝ කාලයක් පවත්වා ගැනීමටත් වියපත්භාවය හා සම්බන්ධ ඔස්ටියෝ , ආතරයිටිස් , ඇල්සයිමර්ස් , හෘදයාබාධ , දියවැඩියාව , පෙනීමේ ආබාධ , පිළිකා රෝගාබාධවලින් වැළකී සිටින්නටත් ඉමහත් පිටිවහලක් ලැබෙන බව සොයාගෙන ඇත. ලෝලු පත්රවල මෙම හැකියාව සාපේක්ෂව වැඩි බව ද හෙළි වී තිබේ. එමෙන්ම ලෝලුවල ලිංගික ආශාව වැඩි කරන වාජීකරණ ගුණයක් ද තිබෙන බව තහවුරුව තිබේ.

රත්පිත්, ඇදුම, ප්රමේහ රෝග, බඩවැල්වල ඇති වන වේදනා, රක්ත අර්ශස්, ගෙඩි, වණ, මුඛ රෝග, අළුහම්, බිබිලි, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදී රෝග අවස්ථාවන් සඳහා ප්රතිකාර කිරීමේදී ලෝලු ශාකයේ කොළ, දළු, ගෙඩි, ඇට, සුඹුලු ආදී කොටස් භාවිතා කරයි. ලොලු ශක්තිජනක, කෘමින් නසන, මුත්රකාරය, රුධිරය වර්ධනය කරන, අරුචිය, උගුර දැවිල්ල, මුත්ර දැවිල්ල ආදිය නසන, හෘදයට හිතකර ගුණ සහිතයි.


අම්ල පිත්තයට -
ගැස්ට්රයිටීස්‌ රෝගයට ලෝලු ගසේ පොත්ත ගලවා පිට සුඹුල හැර කෑලිවලට කපා වනේ දමා කොටා එහි යුෂ ලීටරයක් පමණ උදේ හවස අඬු කෝප්පයක් බැගින් පානය කිරීමයි.

හොරි දද කුෂ්ඨ වලට
සිරුරේ ඇති කල් ගිය ඔඩු දුවන ලද තුවාල , දද කුෂ්ට සුව කරන්නට හා ලේ වල විෂ නසන්නටත් සිරුරේ තැන්පත් මේදය දිය කර හරින්නටත් දියවැඩියා රෝගයටත් ලෝලු පොතු , කොළ , මල් , ගෙඩි මනා ගුණ දෙන බෙහෙතකි. එමෙන්ම ලෝලුවල වාජීකරණ ගුණයකුත් අන්තර්ගතය. ලෝලු ගසේ පොතු කැඩුම් බිඳුම් වෙදකමේ වෙලුම් පටි ලෙස කලකට ඉහත භාවිත කළේය.

මොළය රැක දෙයි...
දිර්ඝ කාලයක් තිස්සේ මොළයට සැපයෙන ඔක්සිජන් සහ පෝෂක කොටස් අඩු වීම නිසාවෙන් මොළයේ ඇති වන ආබාධ තත්ත්වයන් පාලනය කිරීමට ලෝලු සාරයට හැකියාවක් තිබෙන බව සොයාගෙන ඇත. ඉගෙනීමේ හැකියාව වැඩි කරන්නටත්, මොළයේ මනා ක්රියාකාරිත්වය සඳහාත් ලෝලු ආහාරයට ගැනීම ඉවහල් විය හැකි බව ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් පාර්මසූටිකල් රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් වෙබ් අඩවියේ පළ වූ පර්යේෂණ පත්රිකාවක සඳහන්ය.

අහිතකර කොලෙස්ටරෝල් සදහා
අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා දේහ බර වැඩි වේ. රුධිරයේ ට්රයිග්ලිසරයිඩ් සහ අඩු ඝණත්ව ලිපො ප්රෝටීන් (අහිතකර කොටලෙස්ටරෝල්) වැඩි වී, හිතකර කොලෙස්ටරෝල් අඩු වෙයි. දරුණු හදවත් රෝගවලට හේතු වන, හයිපර්ලිපිඩීමිය (Hyperlipidemia) යන නමින් හඳුන්වනු ලබන මෙම තත්ත්වය ඇතැම් උදවියට ජානමය හේතු නිසාවෙන් ද හට ගනී. ලෝලුවල සුලභව තිබෙන දල තන්තු පොලිනොලික සංඝටක , ටැනින් වර්ග සහ විශේෂයෙන් ඉදුණු ලෝලු ගෙඩි වල තිබෙන ඇලෙන සුලු පදාර්ථ නිසාවෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නටත් හිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්නටත් සුවිශේෂී හැකියාවක් ලැබී තිබෙන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත. තවද ලෝලු ආහාරයට ගත් මීයන්ගේ බර වැඩි වීම පාලනය වී තිබුණු බවද මෙම පර්යේෂණවලින් වැඩි දුරටත් හෙළි වී ඇත.

දරුණු අක්මා රෝගවලින් බේරෙන්නට...
ඇල්කොහොල් භාවිතය අක්මාව තුළ මේදය තැන්පත් වීම සහ දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගන්නා ඖෂධ සහ වස විස රසායනික ද්රව්යයන් නිසාවෙන් අක්මාවට හානි සිදු වීම නිසාවෙන් දරුණු අක්මා පිළිකා පවා ඇති විය හැකිය. හානි වූ අක්මාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ඖෂධයක් වන සිලිමරීන් ඖෂධයට සමාන අක්මාව රැක ගැනීමේ ලක්ෂණ ලෝලු සාරය සතුව ද තිබෙන බව සොයාගෙන ඇත.

ලෝලු ගෙඩි සහ පත්ර සාරය ලබා දීමෙන් ගැබ් ගැනීම වැළැක්විය හැකි බවට මීයන් ඇසුරෙන් කර ඇති පර්යේෂණ වලින් සනාථ වී ඇත. දැනට භාවිත කෙරෙන කෘත්රිම හෝර්මෝනමය උපත් පාලන ක්රම වල දී මෙන් නොව, ලෝලු පත්ර සාරය ලබාදීම අත්හිටුවීමෙන් පසු නැවත ස්වාභාවික ලෙස ගැබ් ගැනීම කිසිදු පමාවකින් තොරව සිදු වන බව බ්රසීලියන් ජර්නල් ඔෆ් පාර්මොකොග්නොසිස් වෙබ් අඩවියේ පළ කෙරී තිබෙන එකී පර්යේෂණ පත්රිකාවෙ සඳහන් ය. මෙකී කාරණාව නිසා ගර්භනී බව පතන ස්ත්රීන් සහ ගර්භනී සමයේ මුල් මාස තුනේ පසු වන ස්ත්රීන් ලෝලු අනුභවයෙන් වැළකී සිටීම මැනවි.

* ලොලු කොල චූර්ණය හෝ කෂාය ඇදුම රෝගයට ප්රතිකාරයකි.
* රක්ත අර්ශස් සඳහා ලෝලු කොළ, දළු පිරිසිදුව අඹරා වියළි පුවක් ගෙඩියක පමණ ප්රමාණයක් ගෙන ගිතෙල් සමඟ මුසු කොට දවසට දෙවරක් කෑමට නියම කර ඇත.
* මුඛයෙහි හට ගන්නා තුවාල සහ බිබිලිවලට ලොලු කොළ යුෂ ආලේප කරයි.
* ලොලු ගසේ පොත්තෙහි ඇති සුඹුලු කෂාය කර එයින් කට සේදීම මුඛ දුර්ගන්ධය ඇතුළු මුඛ රෝග සඳහා ප්රතිකාරයකි.
* ලොලු ඇට චූර්ණය තල තෙලින් අනා ආලේප කිරීමෙන් අළුහම්, බිබිලි ආදිය සුව වෙයි.

දියවැඩියා රෝගයට , කැස්ස , හතිය වැනි රෝග වලට දාහය සහ ඌෂ්ණ රෝගවලින් සහනයක් ලබන්නටත් ලෝලු උපකාර වන බව පැවසේ. සැඩ හිරු කිරණින් බේරෙන්නට ලෝලු මල් අඹරා මීකිරි සමග මිශ්ර කර සම මත දිනකට දෙවතාවක් ගැල්වීම ඉන්දියානුවන් අතර භාවිතයට ගැනෙන ප්රතිකාරයකි.

ලෝලු ව්‍යංජනය

ලෝලු දලු ඇඹුලට හදාගත් විට කදිම ව්යාංජනයකි. අලකොළ ව්යාංජනය පිළියෙළ කරන ආකාරයට සකසා ගත හැකිය. ලෝලු මල් ව්යාංජනයට සකසා ගත හැකිය. මුංඇට ව්යාංජනය සකසා ගන්නා ආකාරයට එය සකසා ගත හැකිය ....

පූජ්‍ය අතුරුවැල්ලේ ධම්මානන්ද හිමි ( පිළිකුත්තුව ඓතිහාසික රජමහා විහාරය ) විසින් සිළුමිණ පුවත්පතේ පලවූ ලිපියකින් හා අන්තර්ජාලයෙන් හා ඖෂධීය ශාක සංග්‍රහය ඇසුරින් සකසන ලදි ...

මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමටත් උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුමද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් හා පරිසරයේ ඇති ශාක ආරක්ෂා කරමින් යුතුකම ඉටුකරන්න අදිටන් ඇති මිනිසුන් වෙමු . පණ පොදේ අයිතිකරුවන් ගහ කොළ වැලයි සොබාදහමමයි


Sarana Himi

A day in the life

Sunday, September 22, 2024

මට ඕන හරිහමං මිනිහෙක්...




මට ඕන
හරිහමං
මිනිහෙක්...
කළුවො
මට ඕනෑම
උඹ වාගේ
හිත හයිය මිනිහෙක්...
අවජාතකයි කියා
ලෝකයෙන් එළවගත්
උඹ වාගේ
අතිජාත
මිනිහෙක්...
කිඩාරම් මලකටත්
පුදසුනක් වෙන්ට හැකි
පපුතුරක්
උරුම වූ
මිනිහෙක්...
පුංචි නොදරුවෙකුටත්
නැළවිල්ල
වෙන්ට හැකි
කතන්දරයක් වගේ
මිනිහෙක්...
වියළි මහ පොළොවකට
වැස්ස වී සිහිල දෙන
උඹ වාගෙ
අගේ ඇති
මිනිහෙක්....
වනන්තර
දෙපළු කොට
කුංචනාදය දෙවන
දහිරියෙන් ලොව නගන
මිනිහෙක්...
කේඩෑරි අත් වලින්
සෙමෙන් හිස පිරිමදින
දේවතාවෙක් වගේ
මිනිහෙක්...
පාලුවට තනිකමට
පෙළෙන
අසරණ කමට
සත් සරණ වෙන්ට හැකි
මිනිහෙක්....
උරතලේ වැතිරිලා
ඉකිගසා
වැළපෙද්දි
නෙත් පිහින
රත්තරං
මිනිහෙක්...
විසල් මහ
අහස සේ
රොන් සුනක
සුවඳ සේ
ආත්මය සුව කරන
මිනිහෙක්...
මල් පියල්ලක
මෙළෙක
හංගාන හිත් කොණක
උන්නාට
රහ දන්න
මිනිහෙක්...
කළුවො
මට ඕනෑම
උඹ වාගේ
හරිහමං මිනිහෙක්....
- විජිතමාලි ආනන්දකුමාර -
A day in the life

Saturday, September 21, 2024

මහබඹා කෝලම









මහබඹා කෝලම සමන් දේවාල පෙරහැරේ එන සුවිශේෂී ම අංගයකි. මිනිසුන් එය "මහබඹා, මහබබා, මහබඹා කෝලම, මහ පඹයා" යනුවෙන් ද හදුන්වයි.
මහබඹා කෝලමට මුහුණු දෙකකි. එක් පැත්තක පියකරු, පැහැපත් මුහුණකි. එය දෙවිකෙනෙක් බදු ය. අනෙක් පැත්ත බියකරු පෙනුමැති යක්ෂ මුහුණකි. එහි නයි පෙන ද ඇත. දකුණතින් අමෝරා ගත් කඩුවකි. වමතින් ඉණට තබාගත් මල් කළඹකි.
මහබඹා කෝලම අඩි අටක් පමණ උස ය. මේ රූපය පෙරහැරෙහි ගෙන යන්නේ උණ ලී සැකිල්ල ඇතුළට රිංගා ගන්නා පුද්ගලයෙක් විසිනි. හේ යක්ෂ මුහුණ සහ පියකරු මුහුණ සැමට ම පෙනෙනා සේ කැරකි කැරකී ගමන් කරයි.
1852 වර්ෂයේ පළකර ඇති Illustrated London News සගරාවේ පළ වූ චිත්‍රයක දැක්වෙන්නේ එකල සමන් දේවාලය පෙරහැරේ මහබඹාගේ මූර්තීන් දෙකක් රැගෙන ගොස් ඇති බවයි. එමෙන්ම රාජසිංහ රජ දවස ද පෙරහැරේ මහබඹුන් දෙදෙනෙකු ගමන් කළ බව සදහන් වේ.
සමන් දෙවොල ආශ්‍රිත කතාපුවත්වලට අනුව, මහබඹා කෝලම පෙරහැරට එක් වී ඇත්තේ පෙරහැර ආරම්භ වූ සීතාවක රාජසිංහ රජ සමයේදී ම ය. රජතුමා පෙරහැරට සහභාගි නොවන අවස්ථාවල රජු සංකේතවත් කිරීම සදහා මහබඹා කෝලම ගෙනගිය බව එක් මතයකින් කියැවේ.
එහෙත් රජතුමා නියෝජනය කරමින් පෙරහැරේ ගමන් කරන්නේ බස්නායක නිලමේ වරයා ය. මහබඹාගෙන් නිරූපණය වන්නේ සීතාවක රාජසිංහ රජුගේ පාලන තන්ත්‍රයේ ගති ස්වභාවය හෙවත් හොඳ නරක බව සහ රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය වර්ෂයක් පාසා මහජනයාට මතක් කරදීම බව ද ප්‍රකට මතයකි.
සමන් දේවාලයේ දිය කැපීමෙන් අනතුරුව පැවැත්වෙන දිවා පෙරහැරේ ද මහබඹා රුව පෙරහැරේ ඉදිරියෙන් ම ගෙනයයි. මෙසේ මහබඹා කෝලම ඉදිරියෙන් ම ගෙනයාම තුළින් පෙරහැරේ සිත් ඇදගන්නා නිර්මාණ, නර්තන කෙරෙහි ඇති විය හැකි වස්දොස් මග හැරීමට අදහස් කළා විය හැකිය.
මූලාශ්රය - සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල, එච්.එම්. ජයන්ත විජේරත්න
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon