Sunday, February 14, 2010

ජනතා සේවය පිණිසයි ! .


පලාත් සභා ඡන්දේ තිබුනා. යාන්තම් යුද්ධෙට පිහිට වෙන්න ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයත් විකුණලා ගොඩ ගියා. ජනාධිපතිවරණය ආවා. ජනතා විනිශ්චයට පත් වුනේ ජනාධිපතිතුමා යි. එතුමා නිසි ජනතා ඇගයීමක් ලැබුවා.

දැන් විනිශ්චයට පත් වන්නේ හිටපු පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තු ගොල්ලන්ට නම් ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය මේ පාර විකුණ ගන්න බැරි වෙයි.

අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ 1970න් පස්සෙ වරින් වර මේ දක්වා ඒ ඒ දේශපාලන පක්ෂ වලින්  එකතු වුන මුහුණු රැසක්. මේ මුහුණු දැන් බොහොම පරණ වෙලා. ඒ වගේ ම ජනතා සේවයෙන් විශ්‍රාම යවන්න තරම් සුදුසු තරමට ජනතාව රවටලා  මුලා කරලා දූෂිත වෙලා. අප්‍රසාදයට පත් වෙලා . ඒ මදිවට වයසටත් පත් වෙලා.

2010 කියන්නේ 1970 ඉඳන් අවුරුදු තිහක්. වයස අවුරුදු 30 දී දේශපාලනයට එකතු වුන කෙනෙක් ගේ දැන් වයස අවුරුදු 60ක් . අවිවාදයෙන් ම මේ අය විශ්‍රාම යවන්න ඕන වයස ඇවිල්ලා. කාර්යක්‍සමතාවයක් නැති මේ අය තියා ගත්තොත් අපට සුබ අනාගතයක් ඇතිවෙන්නේ ඉබි ගමනින්ම තමයි. මේ ගොල්ලත් එක්ක අපි ගත කල පහුගිය අවුරුදු 30 ගෙවුණේ කොහොමද කියලා දන්නවා නේ !.

මේ ඉන්න කට්ටිය ජේ. ආර් ගේ ව‍්‍යවස්ථාවෙන් බිහි වුන මනාප සෙල්ලමෙන් දිනලා පාර්ලිමේන්තු ආ උදවිය. චන්දයකදී වියදම් කරන මුදල් ප්‍රමානය මත තමයි මේ ගොල්ලන්ගේ ජයග්‍රහණය රැඳිලා තියෙන්නේ. චන්දෙකදී මේ ඉන්න අය වියදම් කරන තාලේට වියදම් කරන්න උගතෙකුට වියතෙකුට කවදාවත් ප්‍රමානවත් මුදලක් ජීවිත කාලයක් රැස් කලත් ඉතිරි කර ගන්න බැහැ.  තමන් කරන වෘත්තීන්ගෙන්. අනිත් අතට වයාපාරයක් කරලා සල්ලි ගොඩවල් ගහ ගන්න කීයෙන් කී දෙනෙක් උගතෙක් වියතෙක් වෙන වද ?. මේ න්‍යාය ආදේශ කරපු වහම රට කරවන අණ පණත් හදන උත්තරීතර තැන ඉන්න මැටි ගොඩවල් ගැන හිතා ගන්න පුළුවන් නේ ?.

පසුගිය පාර්ලිමේන්තු ඡන්දයෙදි රුපියල් ලක් ෂ හැත්තෑවක් වියදම් කරලා මනාප 70,000කට ආසන්න ගානක් අර ගෙන දිස්ත්‍රික් ලැයිස්තුවේ පලවෙනියාට එන්න උත්සහා ගත්ත කෙනෙක් මේ මැතිවරණ මුව විට දී මීදුමට මුණ ගැහුණා. එතුමාගේ එක් මනාපයක එදා වටිනාකම රුපියල් 1000/= යි. පසුගිය පාර්ලිමේන්තු ඡන්දෙට සති දෙකක් විතර ඉස්සර හමුවෙ ලා උදව් ඉල්ලපු මේ උත්තමයා ආයේ හමුවන්නේ ඊයේ පෙරේදා දවසක. මේ ඡන්දයටත් උදව් කරන්න ලෙන්ගතු ආරාධනයක් එතුමගේ ඇමති කම රැක ගන්න.
ඇමති කාලේ මීදුම එතුමා හමු වෙන්න ගියා ම ජනතා පෝලිමේ පේලියට ඉදලා එතුමගේ අවධානය ලබා ගන්න “සර් “ කියන්නත් එකත් පස්ව ඉන්නත් සිදු වෙලත් එතුමාට ඔළුව උස්සලා මීදුම දිහා බලන්නවත් විවේකයක් තිබුනේ නෑ. දැන් මීදුම ගේ පිටට තට්ටුවක් දාලා දුක සැප අහන්න තරම් එතුමා නිහතමානි වෙලා.

අනුකම්පාවට මනාපය ලකුණු කරන්න එපා ය එතුමාගේ රැකියාව බේර ගන්න. මීදුමට අනුකම්පාත් හිතුනා මාසෙට රුපියල් ලක්ෂේ ගානේ ඉතිරි කලත් මාස හැටට ලක්ෂග 60 නේ හම් බු වෙලා තියෙන්නේ ! අපරාදේ පසු ගිය පාර්ලිමේන්තු කාලේ ඉතිරි ලක්ෂ 10 පාඩුවට ඉදලා තියෙන්නේ කියලා.

මේ ඡන්දයටත් වියදමට ලක්ෂ 100 ක් විතර වෙන් කරයී. අපට වගේ එතුමාලාට උද්ධමනය නැති නිසා.

මේ උත්තමයෝ පාඩුවට නේ ජනතා සේවය කරන්නේ !.

Thursday, February 11, 2010

තල වපුරා මුං නෙලා ගත හැකිද ?

දේශපාලනය යනු අපුර්ව වෘත්තියකි. දැළි පිහියෙන් කිරි කෑ හැකි වුවත් - අතුරේ අනතුරකින් තොරව යා හැකි වුවත් , වෘත්තීමය දේශපාලනය ඊටත් වඩා අනතුරු දායක කාර්ය භාරයකි. දැන කලයුත්තේ වෙළදාම පමනක්ම නොවේ දේශපාලනය ද දැන කලයුත්තකි.


සරත් පොන්සේකා මහතා ඉත්තෙකු කර ගත් ශූර දේශපාලකයින් අද ඒ මහතාට යන එන මන් අවහිර කර තිබේ. එතුමා දේශපාලකයෙකු වූවා නම් කිසි විටෙක තවකෙකුගේ නූල් සුත්තරයට නැටවෙන්නත් , කට අරින්නත් දෙවරක් නොව දහස් වරක් සිතනු ඇත. එහෙත් සීනු හඩට කට අරින්නත් නටන්නත් ගොස් වැඩ වරද්දා ගත්තා දැයි සිතිවිල්ලක් මීදුමට පහල විය.


එතුමාගේ හමුදා පන්නයේ පන්නරය ලැබු ජවිපෙ පන්නයේ කතාව ජනාධිපතිවරණය අවසන් වු පසු නතර කර ජාතියට අභියෝග නොකලා නම් කොයි තරම් යහපත්ද යන්න සිතිය යුතුව ඇත.වෛරය ද්වේෂය සහ ක්‍රෝධය මහින්ද ගෝඨාභය ඉලක්ක කර ගෙන වැපිරී මෙන් ජාතියට හාණියක් වන බව එතුමා දුටුවේ නැත. මුං වැපුරු සමයේ අස්වැන්න ලෙස මුං නෙලා ගත්තත් තල වපුරා මුං නෙලා ගැණිම කල නොහැකිවිය.


ජනාධිපතිවරණ ප්‍රතිපල අභියෝගයට ලක් කිරීම විහිළුවක් ලෙස මීදුම දකින්නකි.වැඩි ජන්දයෙන් පත්වු පුද්ගලයාට රට කරවන්නට ඉඩ කඩ සැලසීම රටට ආදරේ ඇති අයගේ යුතුකම විය යුතුය. ඔහු මහින්ද ද රනිල් ද නැත්නම් සරත්ද යන්න වැදගත් සාධකයක් ලෙස සැලකිය යුතු නැත.ඒ පුද්ගලයාද හිතකර අන්දමින් ජනතාව පැවරු කාර්ය භාරය රටට නිසි ලෙස ඉටු කල යුතුය.


ජනාධිපතිවරණ ප්‍රතිපලයෙන් පසුව සරත් ෆොන්සේකා ඇතුළු හවුල අපට ඉදිරිපත් කලේ ඔවුන්ගේ සිහින රාජ්‍යය බිද වැටීමෙන් ඇතුවු වේදනාවේ විලාපය මිස අන් කවරක්ද ?. වැඩි ඡන්ද 18 ලක්ෂයක් දුෂිත චන්ද ලෙස භාවිතා කල හැකි නොවන්නේය. බහුතරයක් මහින්දට විශ්වාශ පල කර ඇත්නම් අපි සියල්ලෝගේම නායකත්වය ඔහුට පවරා ඇති බවට අප පිළිගත යුතුව ඇත. සරත් පොන්සේකාට විකල්ප ජනාධිපතිවරයා ලෙස සිටීමට ව්‍යවස්තාව පුතිපාදන සලස්වා නැති බව ඔහු තේරුම් නොගත් බවක් පසුගිය දින කිහිපයේ අප ලත් පුවත් තහවුරු කලේය.


පාලක පක්ෂ යද මෙය තාවකාලිකව හෝ පාලනය කලයුතුය. අද ඇති වී ඇත්තේ ඒ තත්වය ද?.

Friday, January 29, 2010

ජනාධිපතිවරණය පෙන්වන දිශාව.

මීදුම ජනාධිපතිවරණය ප්‍රතිපල තුලින් දකින සත්‍ය පිලිබදව සටහනක් කරන්නට අදහස් කරයි. මෙය මීදුම මතවාදයන් හා ගැළපුනත් විවිධ වෙනත් මතවාදයන් ඇතිවිය හැකි බැවින් ඒ සදහා “සිතුවිලි “ ඉඩක් කර ගන්නා මෙන් සහෘදයනට මීදුම ආරධනය කරයි.

ජනාධිපතිවරණය ආරම්භ වන්නේ මහින්දගේ නිලකාලය අවුරුදු දෙකක් ඉදිරියට තිබිය දී ඔහුගේ බලය තහවුරු කර ගැණුමේ ව්‍යාපෘතියක් ලෙසටයි. රනිල්‍ වික්‍රමසිංහ මහතා ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස සලකා මහින්දට අභියෝගයක් නො තිබිණි. මේ අතර කතා බහට පැමිණි “ නිර්පාක්ෂ අපේක්ෂකයා “ අප දුටුවේ සැබැවින්ම නිර්පාක්ෂියකයෙක් ලෙස තරග බිමට විත් ඕනෑ කෙනෙක් මට චන්දය දී මා ජනාධිපති කරවන්න කියා පවසන්නෙකි. ඔහු හදවතින්ම නිර්පාක්ෂිතකයෙක් යයි සිහිනයක් අපට ඇතිවිනි. නමුත් සිදු වුයේ එජාපයේ ,ජවිපෙ සහ මනෝ ගනේෂන් , හකීම් , දුවිඩ සංධාණයේ සහ මංගල සමරවීර නියෝජිතයෙකු ජනාධිපති තරගයට පිවිසීමයි.

මහින්ද සිංහල ජන සමාජය හදුනා ගන්නේ දේශීය චින්තනයක් සහිත වු දේශ හිතෛෂී නායකයෙකු වශයෙනි. ඔහු ඒ බව තහවුරු කරනා ක්‍රියා දාමයන් රැසක් පසුගිය පාලන සමයේ ඉටු කරන ලදී. ඔහු ජනාධිපතිවරණ වේදිකාව තුලද දිග හැර දැම්මේ එම සිතුවිලි මිස ආර්ථිකය වැනි අනාගත අවශ්‍යතාවයන් නොවේ. ජයග්‍රහණයේ එක් සාධකයක් ලෙස ජනතාව අද පලමුව රට - දෙවනුව බඩ යන චින්තනයට පත්ව ඇත්දැයි විමසීම මේ ජනාධිපතිවරණ ප්‍රතිපල අපට ඉගිකරයි.

නිර්පාක්ෂිමක අපේකකයා වු සරත් ෆොන්සේකා මහතා කීර්තිමත් සෙනවියෙකි. ඒ කීර්තිය අත දරා පැමිණි ඔහු දේශපාලකයෙකු වීමේදී ලබා ගත යුතු පන්නරය නොමැතිව තම ජයග්‍රහණය උදෙසා උපාය මාර්ග සකස් කර ගත්තේ යුද බිමක අත් දැකීම් තුලින් යයි මීදුම සිතයි. මැතිවරණ වේදිකාව ද්වේෂයෙන් සහ වෛරයෙන් උද්යෝගයෙන් නැගුණ හඩ ඔහු ජනතාවගෙන් දිනෙන් දින ඈතට රැගෙන යන ලදී. රුපියල් දසදහසක පඩි වැඩි වීම වැනි රනිල්ගේ “ චුවිංගම් “ පන්නයේ පොරොන්දු ජනතාව සිනහවට ගත් අතර රාජ්‍ය සේවකයෝ චන්දය දීමේ දී ඒ බවක් ගනන් ගත් බවක් වත් පල නොවේ.

යුද්ධ ජයග්‍රහණයේ අයිතිය දේශපාලනඥයාගේ උරුමයක් බව ජනතාව තේරුම් ගත් බවක් 2005ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ජන්ද හා සසදන විට ත් පරාජයට පත්වු නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල දී මහින්ද ලබාගත් චන්ද ප්‍රමාණය වැඩි කර ගැණීමෙනුත් නිවේදනය වෙන්නේ යයි මීදුමට සිතේ. බහුතරයක් වු සිංහල ජන පදනමට ආමන්ත්‍රණය කරන්නට තිබු ඉඩ මනෝ ගනේෂන් , හකීම් , දුවිඩ සංධාණය හා බැදීමෙන් අහිමි කර ගත් සරත් ෆොන්සේකා මහතා මඩකලපුව , වන්නි, යාපනය සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වැනි මැතිවරණ ආසන ජයග්‍රහණය කිරීමෙන් සුළු ජාතින්ගේ උවමනා වන් ඉටු කර දීමට ගිවිසුම් ගතවු බව තහවුරු කරන ලදී. මේ සැකය නිසාම බොහෝ දෙනා එතුමා හැර මහින්දට නැඹුරු වු බව සටහන් කල යුතුවේ.

ජාතිවාදය සහ මව් බිමේ උරුමය යන්න දෙකකි. සියලු ජාතීන්ගේ මව් බිම මේ මහ පොලොව ලෙස තවමත් බදා ගන්නා අය විරල වේ. අප එසේ සිතන්නට වඩා නැඹුරු වුවත් බහුතර ද්‍රවිඩ ජාතිකයන් තවමත් එසේ සිතන්නට පටන් ගෙන නැති බව මීදුම අදහස් කරයි. මේ අදහස් දරන කණ්ඩායමට අතීතයේ චන්ද ලබා ගැණිමේ අරමුණින් ඉල්ලන දෙයක් දී ඡන්දය පමනක් ලබා ගැණීමට කටයුතු කිරීම නිසා ප්‍රභාකරන් බලවත්වු බව රහසක් නොවේ. ඒ අත්දැකීම නිසා දකුනේ බහුතරය , ද්‍රවිඩ සංධාණය සමග ගිවිසුම් ගැසීමේ භයානකත්වය හඳුනා ගෙන කටයුතු කල බව දකුනේ ප්‍රතිපල පෙන්වා දෙයි.

මහින්ද ජයග්‍රහණය කරන්නේ නාගරික ජනගහනයෙන් බැහැර ග්‍රාමීය ජන පදනම තුලිනි. සරත් ෆොන්සේකා වටා සිටි එජාපයේ මුල් වඩා පිහිටන්නේ නාගරික සමාජය තුලයි. ඒ බව මහනුවර , ගාල්ල සහ කොළඹ මැතිවරණ කොට්ඨාස සරත් ෆොන්සේකා ජයග්‍රහණය කිරීමෙන් අපට පෙන්වයි. කාර්මික සහ කාර්යාලිය ආදායමෙන් යැපෙන සහ සුපර් මාකට් වලින් පරිභොජන දුව්‍ය මිලට ගන්නා පැලැන්තිය ජීවන බර වැඩීවිම තදින්ම ගනන් ගත් බවකි. ඉන් අමතරව සුපර් මාකට් වලින් පරිභොජන දුව්‍ය මිලට ගන්නා පැලැන්තිය ට වියදම් කිරීමට ප්‍රමානවත් ධනය උපයා ගැණීමේ ඉඩකඩ වඩා නිර්මාණය වන්නේ එජාපය තුලින් බව මුල් බැස ගත් මතවාදයක් ඔවුන් තුල අතීතයේ සිට පැවත එන්නෙකි.

හම්බන්තොට වරාය සහ ජාත්යසන්තර ගුවන් තොටුපල ඉදිවීම කොළඹ සුපිරි වෙළද පන්තිය ආදරයෙන් පිළිගන්නා සංවර්ධන කටයුතු නොවේ. සදාකාලික වම කොළඹ වාණිජ මධස්ථානය බවට පත්ව තිබිය යුතු බවට සිතනා අයද අපට හමුවේ.

මේ සියල්ල පසෙක තබා අද ජනාධිපතිවරණයක දී නියෝජනය කරන දේශපාලන පක්ෂය වැදගත්ම සාධකය නොවී තනතුර සදහා ඉදිරිපත් වන පුද්ගලයා දෙස නෙත් හැර බැලීමට තරම් ඡන්දදායකයා බුද්ධිමත් ව සිටින බව මහින්ද ට ලැබු චන්ද 60,15,934 සනාථ කරයි.

මව් බිමට සුබ අනාගතයක් උදා වේවා යි මිදුම ප්‍රාර්ථනය කරයි.

Thursday, January 28, 2010

ප්‍රජාතන්ත්‍රවාදයට ලංසුවක්‌!



………..
මේ පලවන්නේ  දිවයින ජාතික පුවත් පත මැතිවරණයට කලින් පල කල කතුවැකියකි. මේ කතාන්දර සියල්ල අමතක ව යලිත් ඒවා සිහියට ගන්නේ ඊළඟ මැතිවරණය ලංවු විටය. මෙවැනි ක්‍රියාදාමයන් නිහඩ වීමට නම් අදාළ වු නීති ශක්තිමත් විය යුතු බව මීදුම සිතයි. එහෙත් කිසි දා එම සිතිවිල්ල ක්‍රියාත්මක තලයට නො පැමිණෙන්නෙකි. යහ සමාජයක් නිර්මාණය වන්නට මුලින් ම උපුටා දැමිය යුත්තේ වරප්‍රසාද ලත් පන්තියේ මැර අවීනීතකම්ය. මේ මැතිවරණ ප්‍රතිපල  මහින්දට පෙන්නා දෙන්නේ ද වරප්‍රසාද ලත් පන්තියේ අභිප්‍රාය සහ වරප්‍රසාද නො ලත් පන්තියේ අභිප්‍රාය බව මීදුම අවධාරණය කරයි.
“..................හැම දෙයකට ම තිබෙන්නේ මිලක්‌ හෙවත් වෙළෙඳ වටිනාකමක්‌ බව ධනවාදී පාරිභෝගික සමාජයක එන මූලික සිද්ධාන්තයකි. ඒ අනුව නිශ්චල හා චංචල දේපොළ පමණක්‌ නොව සාහිත්‍ය කලාව, සාරධර්ම හා පුද්ගලයෝද විකිණෙති. සාහිත්‍ය කලාව, සාරධර්ම යනාදිය විකිණීම යනු ඒ සමාජය කුණු වී ඕජස්‌ ගලන වණයක්‌ බවට පත්වීමක්‌ සේ සමහරු හඳුන්වති. එහෙත් එය වැළැක්‌විය හැකි ද?

ඡේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ විවෘත ආර්ථික සොරොව්ව ඔස්‌සේ මේ රටට ගලා ආ සංස්‌කෘතික හා සදාචාර පරිහානිය තුළින් අප තවමත් පාඩම් ඉගෙන ගෙන ඇති බවක්‌ ද කිව නොහැක. මේ උතුමාණන්ගේ දේශපාලන භාවිතයේ බරපතල මෙන්ම දුෂ්ටතම ප්‍රතිඵලයක්‌ වූයේ ප්‍රජාතන්ත්‍රවාදයටත් මිලක්‌ නියම වීමය. ඒ අනුව දේශපාලනඥයාටද අගයක්‌ නියම වීමය.

1948
දී අප ලද නාමික නිදහස යටතේ වුවද අපේ දේශපාලනය ගරු ගාම්භීර ජනතා සේවයක්‌ ලෙස ඇරැඹී ගලා ආ බව අප පිළිගත යුතුය. තට්‌ටුමාරු ක්‍රමය යටතේ ප්‍රධාන පක්‍ෂ ලෙස එජාපයත් ශ්‍රී. ල. නිපයත් ප්‍රමුඛ පක්‌ෂද ඒවා සමඟ සන්ධානගත වූ පක්‌ෂද මේ රට පාලනය කළහ.

1977
න් ඇරඹුණු නව දේශපාලනය විසින් රටට අත්පත් කර දුන් යහපතට වඩා අයහපත වැඩි බව විවිධ ක්‍ෂේත්‍රයන්හි විද්වතුන්ගේ නිගමනය වී තිබේ. අප කතා කරන්නේ එහි එක්‌ අංශයක්‌ වන දේශපාලනය ගැන පමණි. එතෙක්‌ ගරු සේවයක්‌ ලෙස තිබුණු මන්ත්‍රීකම විශ්‍රාම වැටුප් සහිත රැකියාවක්‌ බවට පත්වීම ඇරඹීමත් සමඟ මේ රටට සිදු වූ සන්තෑසිය කවුරුත් දනිති. එහි බරපතලම විපාකය වූයේ බුද්ධිමත් හා උගත් බහුශ්‍රැතයන් විසින් නියෝජනය කරන ලද දේශපාලනයේ දොරටු පාතාල මැරයන්ට දූෂිතයන්ට හා නූගත් කළු සල්ලිකාරයන්ටද විවෘත වීමය.

අද කාටත් එපා වී තිබෙන විධායක ජනාධිපති ක්‍රමය සමඟ හඳුන්වා දුන් ජාතික ලැයිස්‌තුවද වැඩිපුරම ඉඩ සලසා ඇත්තේ නන්නත්තාර දේශපාලනයකට බව අපගේ විශ්වාසයයි. විධායක ජනාධිපති ලෙස මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්‌වීමේ ලියුම් ලබාගෙන සාක්‌කුවේ දමාගෙන සිටි ඡේ. ආර්. ට හෝ ව්‍යවස්‌ථාව බහුබූත එකක්‌ යෑයි හඬ තැලූ චන්ද්‍රිකා කුමාරතුංගට හෝ එම ක්‍රමයෙන් රටට වැඩක්‌ කළ නොහැකි විය.

මේ දෙදෙනාම විධායක ක්‍රමය නමැති කුණ්‌ඩලාභරණය පැළඳ ගාම්භීරව සිට නිකම්ම විශ්‍රාම ගියෝය. එහෙත් එය ආභරණයක්‌ නොව රටට වැඩක්‌ කළ හැකි බලයක්‌ බව වටහාගත් මහින්ද රාජපක්‍ෂ එය උපයෝගී කර ගනිමින් තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදී ශාපය අවසන් කිරීමට සමත් විය. අද බොහෝ දෙනකුට අමතක වුවද එය විශිෂ්ට ඓතිහාසික වාර්තාවකි.

කෙසේ හෝ අද එම දේශපාලනය විසින් නිර්මාණය කරන ලද මන්ත්‍රීකම, නැතහොත් ගරු මන්ත්‍රීකමට සිදුවී තිබෙන අභාග්‍යය අපට පමණක්‌ නොව රටටම මහා විනාශයක්‌ බව කනගාටුවෙන් වුවද කීමට සිදු වී තිබේ. ඒ එකී ගරු මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වෙන්දේසි වීමය.

අද ගරු මන්ත්‍රීවරයකුගේ මිල රුපියල් කෝටි ගණන්වලින් තීරණය වන්නකි. ජනතාවගේ මනාපයෙන් තේරී පත් වී දේශපාලන මණ්‌ඩුකයන් හෙවත් මැඬියන් බවට ස්‌ව කැමැත්තෙන්ම පත්වන්නෝද සිටිති. ඔවුන්ට ගෙවන ලදැයි කියන කෝටි ගණන් මුදල් ගැන අදත් ඇසෙයි. පක්‍ෂයත් ප්‍රතිපත්තිත් මුදලට පාවා දෙන්නන් ලෙස අවමානයට ලක්‌ වුවද ඔවුහු වගේ වගක්‌ නොමැතිව සිටිති.

අද මන්ත්‍රීවරයකුගේ අගය කෝටි ගණනින් මනිනු ලබන්නක්‌ වුවද කලකට පෙර පනස්‌දහසක්‌ වැනි මිලකට ආණ්‌ඩු පෙරලන්නට හවුල් වූ ගරු මන්ත්‍රීවරුන් ගැන ද දේශපාලන ඉතිහාසයේ එයි. එහෙත් මේ කිසිවක්‌ තහවුරු වී නැති වාර්තා බව ද අප කිව යුතුය. තහවුරු නොවූ නිසාම ඒවා කටකතා ලෙස බැහැර කළ හැකි ද? ඒ කුමක්‌ වුවත් දැන් යළිත් එම වර්ගයේ තුච්ඡ දේශපාලන ගනුදෙනුවක්‌ පිළිබඳ බරපතල චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් වී තිබේ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයකු වන එම්. මුසම්මිල් මහතාට ලක්‍ෂ 300 ක අල්ලසක්‌ ලබා දීමට තැත් කළ බවට දැන් ජ. නි. පෙ. සභාපති විමල් වීරවංශ මන්ත්‍රීවරයා එකී බරපතල චෝදනාව නගා තිබේ. හේ ඒ පිළිබඳ සාක්‍ෂි ඇතුළු වෙනත් හඬපටවල් පවා මාධ්‍යවලට ලබා දී ඇත.

මෙම සිදුවීම පිළිබඳ අල්ලස්‌ කොමිසමට පැමිණිලි කර එහි සියලු තතු රටට හෙළි කරන බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි. ජ. වි. පෙ. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එයට අභියෝගයක්‌ද කර තිබුණි. ඉතිරි හරිය අපට පසුව බලාගත හැකිය. එහෙත් අපට තිබෙන වේදනාව ගරු මන්ත්‍රීකම මේ ලෙස මුදලට විකිණෙන මෙවලමක්‌ බවට පත්ව තිබීමය.

මන්ත්‍රීවරුන් මිලට ගැනීම මෙන්ම විකිණීමද ඉතා පහත් හා බාල ක්‍රියාවක්‌ බව අපි ඉඳුරා කියමු. ආණ්‌ඩු පෙරළා දැමීමට මෙන්ම බලය ලබා ගැනීම සඳහා කෙරෙන මේ වර්ගයේ තුච්ඡ ගනුදෙනුවලට සම්බන්ධ අය නීතියේ රැහැනට හසු කර දීමද අවශ්‍යම දෙයකි. මේ වර්ගයේ මෙහෙයුම් පසුපස විවිධ දූෂිත චරිත මෙන්ම මේ රට වනසන දුෂ්ට බලවේගද තිබෙන බව අප තේරුම් ගත යුතුය.

මෙම සර්ප මෙහෙයුමේ සැලසුම්කරුවා හෝ සැලැසුම්කරුවන් රටට අනාවරණය කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය පවිත්‍ර කිරීමක්‌ ද වේ. ප්‍රජාතන්ත්‍රවාදයට ලංසුවක්‌ තබන අමනයන්ගෙන් රටකට සිදුවිය හැකි යහපත කුමක්‌ද?
 ප්‍රජාතන්ත්‍රවාදය බාල්දු කරන මේ වර්ගයේ තක්‌කඩි දේශපාලුවන්ගෙන් රට බේරා ගැනීමේ වගකීම ජනතාවට බාරය.......................“


මහින්දගෙන් ජනතාව බලාපොරොත්තුවන්නේ බඩ නොව රටයග රට හදාගෙන බඩ පුරවා ගැණීමයග
 

මීදුම Published @ 2014 by Ipietoon