පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-05-02

මැයි දිනට අරුතක් - පොන්සිනාහාමි.



පොන්සිනා හාමි.

1929 ට්‍රෑම්කාර් වර්ජනය පෙරට යමින් තිබියදී වර්ජක කම්කරුවන්ට සහයෝගය දුන් තරුණ කාන්තාවක් රථ වාහනයට අවහිර කරමින් ට්‍රෑම් පීලි හරහා වැතිර සිටි පුවතක් ශ්‍රී ලංකාවේ කම්කරු සටන් ඉතිහාසයේ ලියැවී ඇත.
ඇය එදිරිවීර ආරච්චිගේ පොන්සිනාහාමි යයි නමින් සඳහන් වෙයි. කම්කරුවන් විසින් ඇය හඳුන්වනු ලැබ තිබෙන්නේ "වීර පොන්සිනාහාමි" යනුවෙනි.

කොළඹ, සුදුවැල්ල සහ මරියකඩේ ප්‍රදේශවල හැදී වැඩුන පොන්සිනාහාමි කම්කරු රැකියාවක් කළ දිළිඳු කාන්තාවක් වූ අතර, ඇය සිය ජීවිතකාලය තුළ විඳින ලද පීඩාව නිසාම ඉතාම පහසුවෙන් වෘත්තීය අරගල මාවතට ආකර්ෂණය වූ චරිතයකි.
පොන්සිනාහාමිගේ කම්කරු සටන් කතාන්දරය ආරම්භවන්නේ 1929 ට්‍රෑම්කාර් වර්ජනයෙන් නොව ඊට වසර හයකට පෙර 1923 මහා වැඩ වර්ජනයත් සමඟය.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ දේශපාලන ඉතිහාසය විමසන විට වෘත්තීය අරගලවලට හවුල්වෙමින් සිය නම කම්කරු පන්ති සටන් ඉතිහාසයේ සටහන් කරන ලද පොන්සිනාහාමි වැනි කාන්තාවන් රැසක් හමුවෙති.
විශේෂයෙන්ම යටත්විජිත පාලන සමයෙහි සටන්කාමී කාන්තාවන් විසින් පාලකයන්ට එරෙහිව එල්ල කරන ලද අභියෝගය පුරුෂ පාර්ශ්වයේ නැඟීසිටීම්වලට දෙවෙනි නොවන බවක් එම ඉතිහාසය මගින් පෙන්නුම් කෙරෙයි.
දේශපාලන වේදිකාව කාන්තාවන්ට අකැප ද ? .
වැවිලි කර්මාන්තය සහ පසුකාලයෙහි ඊට සමගාමීව සිදු වූ කාර්මික වර්ධනයත් සමඟ බිහිවූ අලුත් කම්කරු ප්‍රජාව පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාව තුළ වෘත්තීය සමිති ගොඩ නැගීම සහ එමගින් නායකත්වය දෙනලද සටන්කාමී වෘත්තීය අරගල පිළිබඳ ඉතිහාසය දහනව වෙනි ශතවර්ෂයේ අන්තිම භාගය තෙක් දිවයන අතර, එම අවධියේ දියත් කරන ලද මුද්‍රණ සේවකයන්ගේ වැඩ වර්ජනය (1893)සහ රෙදි අපුල්ලන්නන්ගේ වර්ජනය(Laundry Strike - 1896)යටත්විජිත පාලකයන් පවා දුෂ්කර තත්වයකට පත් කරන ලද කම්කරු නැගී සිටීම්වලට නිදසුන් වෙති.

මුද්‍රණ සේවකයන්ගේ වැඩ වර්ජනය මගින් පාලකයන් පත්කරන ලද දුෂ්කර තත්වයෙන් වසර තුනකට පසුව, සති තුනක් දිග්ගැසුන රෙදි අපුල්ලන්නන්ගේ වර්ජනයේ (Laundry Strike)විශේෂත්වයක් වන්නේ කාන්තාවන් රැසක් ද සටන්කාමීව එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීමය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ වාර්තා වූ 1906 කරත්තකරුවන්ගේ වර්ජනය(Bullock carts strike)1923 මහා වැඩ වර්ජනය සහ 1929 'ට්‍රෑම්කාර්' වැඩ වර්ජනය(Tram cars strike) පාලකයන් දුෂ්කර තත්වයකට පත් කරමින් මුල් යුගයේ ඉතිහාසයට එක්වූ කම්කරු අරගල කීපය අතර වඩාත් අවධානය යොමු වූ අවස්ථා වෙති.

භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රධාන මාධ්‍යය වූ කරත්තකරුවන් වැඩ වැරීමෙන් කොළඹ නගරය අකර්මන්‍ය විය

කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය ආරම්භ වුණේ කරත්තයක් දක්කන තැනැත්තා ගමනේ යෙදෙන කිසිම අවස්ථාවක කරත්තයේ "ඒරියා කඳ" හෝ එහි වෙනත් කිසිදු ස්ථානයක වාඩිනොවිය යුතුයයි නිර්දේශ කරමින් කොළඹ නගර සභාව විසින් පනවන ලද රෙගුලාසියකට එරෙහිවය.

දහස් ගණනක් කරත්තකරුවන් එම රෙගුලාසියට එරෙහිව වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර එමගින් කොළඹ නගරයේ භාණ්ඩ ප්‍රවාහනය සහමුලින්ම මෙන් අඩපන වී ඇත.
එසේම එය යටත් විජිත ලංකාවේ කම්කරු සටන් වඩාත් සංවිධානගත පසුතලයකට ගෙන ඒමට පවා හේතු විනැයි වාර්තා වෙයි.

මෙහි මුලින් සඳහන් කරන ලද "පොන්සිනාහාමි" 1920 දශකයේ පටන් දියත් වෙමින් පැවති එවැනි වැඩ වර්ජනවලට හවුල්වෙමින් සෙසු සටන්කාමී කාන්තාවන්ටත් නායකත්වය දුන් වෘත්තීය සමිති සහ දේශපාලන ක්‍රියාධාරිනියක් ලෙස ඉතිහාසයට එක්ව සිටින්නීය.

කොළඹ, සුදුවැල්ල සහ මරියකඩේ ප්‍රදේශවල හැදී වැඩුන පොන්සිනාහාමි කම්කරු රැකියාවක් කළ දිළිඳු කාන්තාවක් වූ අතර ඇය සිය ජීවිතකාලය තුළ විඳින ලද පීඩාව නිසාම ඉතාම පහසුවෙන් වෘත්තීය අරගල මාවතට ආකර්ෂණය වූ කාන්තාවකි.
පොන්සිනාහාමිගේ කම්කරු සටන් කතාන්දරය ආරම්භවන්නේ 1929 ට්‍රෑම්කාර් වර්ජනයෙන් නොව 1923 මහා වැඩ වර්ජනයත් සමඟය.
1920 දශකයේ පටන් ශ්‍රී ලංකාවේ කම්කරු සහ පහළ මධ්‍යම පන්තික ජනතාව මුහුණදුන් ජීවන අරගලය පොන්සිනාහාමි මැදිහත් වූ කම්කරු අරගල මගින් පෙන්නුම් කෙරෙයි.

පොන්සිනාහාමිගේ සටන්කාමී කම්කරු භූමිකාවේ තවත් සන්ධිස්ථානයක් වන්නේ 1946 වසරේ 'බ්‍රවුන්' සමාගමේ වැඩ වර්ජනයකි.
එවකට ඇය 'හේලීස්‌' සමාගමේ සේවය කළ කම්කරු කාන්තාවක් වූවාය.
"දරුවන් සහ රටේ අනාගතය වෙනුවෙන් මේ රට ඉතුරු කරන්න"
බ්‍රවුන් සමාගමේ වැඩවර්ජනය කඩාකප්පල් කිරීම සඳහා එම සමාගමේ පාලකයන් සහ එවකට යටත්විජිත ආණ්ඩුවේ නිලධාරීන් ද ක්‍රියාකරමින් සිටි අතර ඔවුන්ගේ ප්‍රයත්නය වුණේ වැඩ වර්ජනයට හවුල් නොවූ සේවකයන් සහ පිටස්තර පුද්ගලයන් සේවයට ගනිමින් සිය නිෂ්පාදන කටයුතු දිගටම පවත්වා ගැනීම විය.
එහෙත් බ්‍රවුන් සමාගමේ පමණක් නොව වෙනත් කර්මාන්ත ශාලාවන්හි වෘත්තීය සමිති පාලකයන්ගේ ප්‍රයත්නය පරාජය කරමින් "බ්‍රවුන් කම්කරු සහෝදරයන්ට"සහයෝගය දෙමින් ඔවුන්ගේ වැඩ වැරුම ආරක්ෂා කර දීමට ඉදිරිපත් වූ "සහෝදරියන්"අතර සිටි පොන්සිනාහාමි හැසිරුණ සටන්කාමී විලාශය බ්‍රවුන් සමාගමේ බලධාරීන්ගේ දැඩි කෝපයට හේතු විය.

වැඩවර්ජනය අතරවාරයේ අලුත් සේවකයන් සමාගම් භූමිය තුළට ගැනීම සඳහා බලධාරීන් ගත් උත්හාසයට කම්කරුවන් බාධා කරමින් සිටියදී පොන්සිනාහාමි සමඟ ගැටුමක් ඇතිකර ගත් පාලකයන් විසින් පොලිසිය කැඳවන ලද අතර පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුණි.
ඇයට එරෙහි චෝදනාව වුණේ, බ්‍රවුන් සමාගමේ ලිපිකරුවකුට කම්මුල් පහරක් එල්ල කිරීමය.
එම චෝදනා යටතේ නඩු පවරන ලදුව අධිකරණය විසින් පොන්සිනාහාමිට එරෙහිව මාසයක සිර දඬුවමක් නියම කරණු ලැබුණි.

එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පොන්සිනාහාමි නියෝජනය කළ වෘත්තීය සමිතිය ඇයගේ සටන්කාමිත්වය අගය කිරීම සඳහා රැස්වීමක් ද කැඳවන ලදී.
කොළඹ නගර ශාලාවේ පැවැත්වුන එම රැස්වීමේ දී පොන්සිනාහාමි, ඇගේ සැමියා සහ දරුවන් වේදිකාවේ අසුන්ගෙන සිටි බව එකල වෘත්තීය සමිති වාර්තා මගින් පැවසෙයි.
"මට මාසයකට සිරගෙට යන්න සිදුවෙලා. මට කමක් නැහැ. මම එය සතුටෙන් භාර ගන්නවා. මෙහෙම දඬුවම් කරලා අපේ සටන නවත්වන්න බැහැ," එම රැස්වීමේදී සිය කම්කරු සගයන් ඉදිරියේ අදහස් දැක්වූ පොන්සිනාහාමි කියා සිටියාය.
දවසෙ පඩිය රුපියලයි

"මම රුපියලක පඩියට කුලී වැඩ කරන කම්කරු ස්ත්‍රියක්. මට දරුවන් අට දෙනෙක් ඉන්නවා. මට බරපතල පවුලක් ආරක්ෂා කරන්න තියෙනවා. මගේ දරුවන් දෙන්නෙක් ඇරුනාම අනිත් හය දෙනාම කුඩා දරුවන්. මගේ පවුල ආරක්ෂා කරන්න කටුක දුක් විඳින ගමන්මයි - මට හිරගෙට යන්න සිද්ධ වුණේ. මෙය ධනපති ක්‍රමයේ ප්‍රතිවිපාක බව මට අවබෝධ වී තිබෙනවා. හිරගෙයි වුනත් මෙතරම් දුකක් විඳින්නට වේයැයි මම හිතන්නේ නැහැ," ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

පොන්සිනාහාමි රැකියාව කළ 'හේලීස්‌' සමාගමේ පමණක් නොව 'බ්‍රවුන්' සමාගම ඇතුළු එවකට වූ බොහෝ ආයතනයන්හි කම්කරු ප්‍රජාව ඇයට උපහාරය දැක්වීම සඳහා නව නගර ශාලාවට එක්වූ බව වාර්තා වී ඇත.

එම රැස්වීමේදී අදහස් දැක්වූ හැරිසන් ක්‍රොස්ෆීල්ඩ් සමාගමේ සේවිකාවක වූ රොස්ලින් නෝනා නම් කම්කරු කාන්තාවක් මෙසේ ප්‍රකාශ කළාය.

"අපේ පන්තියේ ආරක්ෂාව වෙනුවෙන් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටනක් කොට අද හිරගෙට යන්නේ පොන්සිනාහාමි පමණයි. නමුත් ඒ සහෝදරිය මෙන්ම පන්තිය වෙනුවෙන් හිරගෙට යෑමට සහෝදරියන් සිය ගණනක් සූදානමින් සිටින බව ඒ සහෝදරියටත් වෙනත් යටත් මම සහතික කරනවා."

කෙසේවුවද,අභියාචනයේ ප්‍රතිඵලය වූයේ පොන්සිනාහාමිගේ මාසයක සිර දඬුවම මාස තුනක් බවට පත් කරනු ලැබීමය.

"මෙහෙම දඬුවම් කරලා අපේ සටන නවත්වන්න අධිරාජ්‍ය ආණ්ඩුවටවත් ධනපතියන්ටවත් කවදාවත් පුළුවන් වන්නේ නැති බව දැනගත යුතුයි."

ඇය දඬුවම ඉදිරියේ නොපැකිල කියා සිටියාය.

"ඉතින් මම ගිහින් එන්නම්" පොන්සිනාහාමි සිරගෙට යෑමට පෙර සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ වැඩ කරන කාන්තාවන්ට සම අයිතීන් තිබේද?

ඇය බන්ධනාගාරය තුළදීත් සිය සටන්කාමිත්වය ආරක්ෂා කරගත් බව තැනට දැනගැනීමට ලැබුණ බව ඇය නියෝජනය කළ එක්සත් කම්කරු සම්මේලනයේ ප්‍රකාශනයන්හි දැක්වෙයි.

මාස තුනක සිර දඬුවම ගෙවා ඉන් නිදහස ලද පොන්සිනාහාමි යළිත් වෘත්තීය අරගලයන්හි සහ සිය

දේශපාලන කටයුතුවල නොකඩවාම නිරත වූවාය.
ගාලුමුවදොර වාමාංශික රැළියක්

1947 මැයි-ජූනි වැඩ වර්ජනයේ දී එම වර්ජනය කඩාකප්පල් කිරීමට තැත්කළ පුද්ගලයන්ට එරෙහිව සටන් වැදුන පොන්සිනාහාමි දින දෙකක් ඇතුළත දෙවතාවක්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

1947 වසරේ 'ලිප්ටන්' සමාගම ඉදිරිපිට සංවිධානය කෙරුණ පිකටින් ව්‍යාපාරයක දී අත්අඩංගුවට ගනු ලැබුණ පොන්සිනාහාමි යළිත් තුන්මාසයක සිරදඬුවමකට යටත් කොට බධනාගාරගත ගත කරන ලදි.

පොන්සිනාහාමි එවර නිදහස ලබා ඇත්තේ 1948 නිදහස් දිනය වෙනුවෙන් ඇය ඇතුළු තවත් රැසකට ලැබුණ පොදු සමාවක් යටතේය.

ඇය ඇතුළු සිරගත කරන ලද කම්කරුවන් තිස් දෙදෙනෙක් පිළිගැනීම සඳහා ගාලුමුවදොර පිටියේ පැවැත්වුන රැස්වීමක් ගැනත් පොන්සිනාහාමි පිළිබඳව ලියැවී ඇති ලේඛනවල සඳහන් වෙයි.

මෙයින් සියවසකට ආසන්න අවධියකට පෙර කාන්තා සමාජ ක්‍රියාකාරිත්වය ආගන්තුක වූ පරිසරයක මතු වූ දුර්ලභ දේශපාලන චරිතයක් වන පොන්සිනාහාමි, 1967 ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මොස්කව් නගරයේ පැවැත්වුන රැලියකට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් තමා 'සුදුවැල්ලෙන්' ආරම්භ කළ කම්කරු අරගලය වෙනුවෙන් ජාත්‍යන්තර උපහාරය දිනාගත්තාය.

ඇය කිසිදාක විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලද කාන්තාවක් ද වූවාය.
එවැනි කාන්තා චරිත කීපයක් විසිවෙනි සියවසේ මුල්භාගයේ ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය හදාරන විට හමුවෙයි.

මෙය එවැනි චරිතයක් යළි කියැවීමකි.


ප්‍රියන්ත පෙරේරා මුණු පොතට 
උපාලි ගජනායක ලියපු ලියවිල්ලක්
උපුටාගැනීමකි.
A day in the life

2025-04-30

ගොබෙල්ස් න්‍යාය




දේශපාලන වේදිකාවල, ගුවන්විදුළියේ, රූපවාහිනියේ විතරක් නෙමෙයි සමාජමාධ්‍යවලත් නිතර ඇසෙන වචනයක් තමයි මේ "ගොබෙල්ස් න්‍යාය" කියලා කියන්නේ. නිතර ඇහුනත් කිහිප දෙනෙක් ඇරෙන්න ගොඩක් අය නොදන්න දෙයක් තමයි මේ කියන ගොබෙල්ස් න්‍යාය. ඉතින්, දේශපාලකයන්ගේ කතා වලට නිතර නිතර රැවටෙන එක නතරකරගන්න අවශ්‍යම මේ ගොබෙල්ස් න්‍යාය කියන්නේ මොකක්ද? 
ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? විතරක් නෙමෙයි කවුද මේ කියන ගොබෙල්ස්? කියන එකත් පිළිබදව යම් අදහසක් මගේ ලිපි කියවන පාඨකයන්ට ලබාදෙන්න ඕනේ කියලා හිතුවා. 
අපි මුලින්ම බලමු කවුද මේ ගොබෙල්ස් කියන්නේ කියලා. 
පෝල් ජෝසප් ගොබෙල්ස් 1897 වසරේ ඔක්තෝම්බර් මස 29 ජර්මනියේදී උපත ලබනවා. ෆෙඩ්රික් ගොබෙල්ස් සහ කතිරිනා මරියාට දාව දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනි දරුවා වශයෙන් තමයි ජෝසප් ගොබෙල්ස් උපත ලබන්නේ. හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබන ජෝසප් ගොබෙල්ස් සාහිත්‍ය, නාට්‍ය සහ පුවත්පත් කලාව පිළිබඳ ව ශාස්ත්‍රීය දැණුමකින් පිරුණු පුද්ගලයෙක්. විශ්වවිද්‍යාල සමය තුළ දී ක්‍රියාකාරී දේශපාලන අදහස්වලින් සමන්විත වූ පුද්ගලයෙක් වශයෙන් ගොබෙල්ස්ව හදුනාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රබල සන්නිවේදන කුසලතාව නිසා ගොබෙල්ස් සමකාලීනයක් අතර කැපී පෙනුනා. දක්ෂ කථිකයෙක් මෙන් ම සඟරා කර්තෘවරයෙක් වශයෙන් සිය මාධ්‍ය භාවිතාවේ නියැළීමට ගොබෙල්ස් සමත් වුනා. ඇඩෝල්ෆ් හිට්ලර් විසින් ජර්මනියේ පාලන බලය ලබාගැනීමත් එක්කම ප්‍රචාරණ යාන්ත්‍රණය හැසිරවීම ගොබෙල්ස් විසින් සිදු කළා. ගොබෙල්ස් විසින් හිට්ලර්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට ගැලපෙන ආකාරයෙන් ජර්මනිය තුළ පුවත්පත, සිනමාව, සාහිත්‍ය, සංගීතය සහ ලලිත කලාවන් හැසිරෙව්වා. ගොබෙල්ස් ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලන සමය තුල ප්‍රචාරණ අමතිවරයා ලෙස කටයුතු කළා. 
හිට්ලර් විසින් තම මැතිවරණ ව්‍යාපාර ඇතුළු රජයේ සියලු ප්‍රචාරාත්මක කටයුතු දැඩි විශ්වාසයකින් යුතුව ආචාර්ය ගොබෙල්ස්ට  පැවරුවා වගේ ම ගොබෙල්ස් ඒවා අකුරටම ඉෂ්ඨ කළා. 1932 අප්‍රේල් මාසයේ පැවැත් වූ ජනාධිපතිවරණයේදී ගොබෙල්ස්ගේ න්‍යායාත්මක ප්‍රචාරණය නොතිබ්බා නම් ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර්ට අන්ත පරාජයක් ලැබීමට ඉඩ තිබුණු බව කියවෙනවා. එහෙම වුණා නම් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් ප්‍රමාණයක් තවමත් ජීවතුන් අතර. ඊශ්‍රායලය කියලා රටකුත් නැතිවෙන්න තිබුණා. ගොබෙල්ස් තම නායකයාට ජීවිත පරිත්‍යාගයෙන් අවංකව, සෘජුව සිටි එකම මිතුරා කියලත් කියනවා. ගොබෙල්ස්ගේ ආකර්ෂණීය සංවිධානාත්මක ශක්තිය, විශ්මයජනක කූඨ බුද්ධිය හා ආවේගශීලී චතුර කථිකත්වයට කොයිතරම් හිට්ලර් ආකර්ෂණීය වුණා ද කිව්වොත් හිට්ලර් ආචාර්ය ගොබෙල්ස්ට දැක්වූයේ දැඩි ගෞරවයක්. 
දෙවෙනි ලෝක යුද්ධයේ අවසානය ළං වෙද්දී ම ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ පෙම්වතිය ඊවා බ්‍රෝන් සියදිවි නසා ගන්නවානේ. ඊටපස්සෙ හිට්ලර්ගේ සහ ඊවා බ්‍රෝන්ගේ මළ සිරුරු රුසියන් ෂෙල් වෙඩිවලින් හෑරුණු වළක තැන්පත් කරලා පෙට්‍රල් දාලා පුළුස්සලා තියෙන්නෙත් ගොබෙල්ස් විසින්ම තමයි. 
1945 මැයි 01 දා ඔහුගේ දරුපැටවුන්ට විෂ එන්නත් කරලා බිරිඳටත් වෙඩි තියලා ගොබෙල්ස් තමන් ම වෙඩි තියාගන්නවා, තවදුරටත් නායකයාට සිය සේවය ලබාදීමට නොහැකි වන නිසා සතුරන්ට සේවය කරනවාට වඩා සිය බිරිය සමග දරු පැටව් හය දෙනාත් එක්ක සිය නායකයාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර අබියසම මියැදීම වඩාත් සුවදායකයි කියලා හිතලා. ඉතින් හිතාගන්න පුළුවන්නේ ඔහු නායකයා වෙත දැක්වූ පකෂපාතීත්වය. 
මේ කතාව කිව්වේ ගොබෙල්ස් න්‍යාය කිව්වට ඒ නම ලැබුනේ කොහොමද කියන එකට පොඩි පැහැදිළිකිරීමක් කරන්න. 
අපි බලමු මොකද්ද මේ ගොබෙල්ස් න්‍යාය කියන්නේ කියලා. 
ගොබෙල්ස් න්‍යායන් කිහිපයක් තියනවා. නමුත් ලෝකය පුරා ප්‍රසිද්ධව ඇති ගොබෙල්ස් න්‍යයේ සිද්ධාන්තය වනුයේ "ඕනෑම බොරුවක් දිගින් දිගටම ඇසීමට සැලැස්වීම තුලින් අසන්නාට එය සත්‍යයක් ලෙස හැඟී යාමට ඉඩ ප්‍රස්ථාව සැලසීමයි." 
සාමාන්‍යයෙන් මේ ක්‍රමයේදී එකම බොරුව නිතර නිතර විවිධ පුද්ගලයන් විසින් විශේෂයෙන්ම දේශපාලකයන් සමාජයේ පිළිගත් පුද්ගලයන් මෙන්ම පූජ්‍ය පක්ෂය ආදී විවිධ පාර්ශව ලවා කියවීම සිදුකරනවා. වර්ථමානය වෙනකොට මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය විතරක් නෙමෙයි සමාජමාධ්‍ය හරහාත් මේ ආකාරයෙන් බොරු සමාජගත කිරීම සිදුවෙනවා. මෙහිදී සාමාන්‍ය ජනතාව මුල් අවස්ථාවේ නැතත් දෙවන තෙවන අවස්ථාවන්වල නැතත් කිහිප අවස්ථාවක් එකම කාරනාව ඇසීමෙන් පස්සේ ඒ කාරනාව විශ්වාස කරන්න පෙළඹෙනවා. පස්සේ කාලයක සත්‍ය හෙළි උනත් බොරුව ඔවුන්ගේ මනසෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ නෑ. 
එහෙම වෙන්න නම් සත්‍ය වෙනුවෙනුත් ඒ ආකාරයෙන්ම ප්‍රචාරණයක් ලබාදිය යුතුයි. ඒක ප්‍රායෝගික නැති නිසා බොහෝ වෙලාවට සාමාන්‍ය ජනතාව බොරුව සත්‍යක් බවට හිතාගෙන ජීවත් වෙනවා. ඔහු සමහර වෙලාවට ජීවිත කාලය තුලම සත්‍ය දකින්නේවත් පිළිගන්නේවත් නෑ. 
එක් අවස්ථාවක මාධ්‍ය භාවිතය තුලින්, ජර්මනිය යනු ලොව ජීවත් වීමට සුදුසුම රට ලෙස ලොව පුරා ප්‍රචාරයක් ව්‍යාප්ත කිරීමට ගොබෙල්ස් සමත් උනා. ඒ බොරුව කෙතෙක් දුරට ලෝකයා ගිලගත්තද කියනවනම්, ඇමරිකාවේ ටයිම්ස් සඟරාව විසින් 1938 දී ලොව හොඳම මිනිසාට හිමි සම්මානයත් හිට්ලර් ට ලබාදුන්නා. 
ඉතින් හිතාගන්න පුළුවන්නේ ගොබෙල්ස් න්‍යායේ ප්‍රභලත්වය?
ඉහත පැහැදිළි කරපු න්‍යායට අමතරව "බොරුව හිතන්නවත් බැරි තරමටම විශාල වූ විට එය සත්‍යය යයි ඔප්පු කිරීම පහසුය. ඊට හේතුව විශාල බොරුවක් ප්‍රචාරය කිරීමට කවුරුත් උත්සහ නොකරන නිසා එය ඇත්ත විය යුතුයි කියලා මිනිස්සු විශ්වාස කිරීමට පෙළඹීමයි." කියලා ගොබෙල්ස්ගේ තවත් උප න්‍යායක් තිබෙනවා.
මේකේදී බොරුව නිතර නිතර කියනවා වගේම එහෙම කියන්නේ පොඩි බොරු නෙමෙයි. ඒ බොරුව ප්‍රමාණයෙනුත් සංකීර්ණත්වයෙනුත් මූල්‍ය වටිනාකමෙනුත් අති විශාලයි. එහි පාර්ශවයනුත් සමාජයේ පොඩි පුද්ගලයන් නෙමෙයි. කුමන හෝ ආකාරයකින් සමාජයේ යම් පිළිගැනීමක් ඇති පුද්ගලයන් ඒ බොරුවට ඈදාගන්නවා. කළාකරුවෙක්, දේශපාලකයෙක්, ක්‍රීඩකයෙක්, ව්‍යාපාරිකයෙක්, පූජ්‍ය පක්ෂය වගේම රාජ්‍ය නිලධාරියෙකු වගේ විවිධ ක්ශේත්‍රවල අය වෙන්න පුළුවන්. මෙසේ කියන බොරු මිනිසෙකුට කිසි සේත්ම විශ්වාස කළ නොහැකි ආකාරයේ ඒවා. වගේම සාමාන්‍ය මනුස්සයෙකුට හිතාගන්න බැරි ලොකු මූල්‍ය අගයන්. පට්ට ලොකු බොරු. 
ඉතින් මේ වගේ කාලයක් කියද්දී මිනිසුන් ඉබේම මේවා පිළිගන්න පෙළඹෙනවා කියලා ගොබෙල්ස් හොයාගත්තා. වගේම ඒක ප්‍රායෝගිකව සාර්ථක උනා. ශ්‍රී ලංකාවෙත් ඔය කියන ගොබෙල්ස් න්‍යාය දේශපාලනයේදී වැඩි වශයෙන් භාවිතා වෙනවා.
ඒ ආකාරයෙන් අපිට පහුගිය කාලයේ අහන්න ලැබුනු බොරු, බොරු කියලා ඔප්පුවෙලා තිබුනත් බොරු කියපු අයම ඒක පිළිඅරගෙන තිබුනත් සමාජය පිළිගන්නේ නෑ.
මේක කාවවත් සුද්ද කරන්න කියපු කතාවක් නෙමෙයි. නමුත් මේ බොරු වැපිරීම නිසා සාමාන්‍ය සමාජයට අද බොරුව ඇත්ත වෙන්කරලා හදුනගන්න බැරිවෙලා. 
මේ ගොබෙල්ස් න්‍යාය ප්‍රධාන වශයෙන් දේශපාලනයේදී මෙන්ම විවිධ කටයුතු වලට වර්ථමානයේත් යොදාගන්නවා. ඒ කවුද? වැඩියෙන්ම ගොබෙල්ස් න්‍යාය භාවිතා කරන්නේ කියන එක තේරුම්ගන්න ඔබට බාරයි. දේශපාලකයෝ බොරු කියන එක අපිට නතර කරන්න බෑ. හැබැයි රැවටෙන එක අපිට නතර කරන්න පුළුවන්. ඒ මේවගේ කාරණා පිළිබදව දැණුවත් වීමෙන් වගේම සෑම දෙයක් පිළිබදව තර්කානුකූලව සිතීමෙන්. 
තාරුක ෆොන්සේකා.
A day in the life