Tuesday, December 19, 2023

බළන්ගොඩ



කොළඹ නගරයේ සිට කිලෝමීටර් 147ක් පසුකර ගමන්කළ විට හමුවෙන කොළඹ බදුල්ල මාර්ගයේ පිහිටි බළන්ගොඩ නෙතට රසඳුනක් මෙන්ම ගතට සිසිලසක් ගෙන දෙන රමණීය ගම් ප්රදේශයකි.
සොබා සොඳුරු බවේ අපූරු චමත්කාරය සමග විශාල කඳු පන්ති රැසකින් වට වී ඇති බළන්ගොඩ මානව ශිෂ්ටාචාරයේ දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඥාණ කෝෂ්ඨාගාරයකි. බ්රිතාන්ය පාලන සමයේ සිට තේ වගාව සමග කොකෝවා ගම්මිරිස් වැනි වැවිලි භෝගවලට හුරු වුවද අතීතයේ සිට වී ගොවිතැන ප්රධාන වූ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ ජනතාවක් මේ ප්රදේශයේ වාසයකොට ඇත.
බළන්ගොඩ මානවයාගෙන් පටන්ගත් ජනමූලගත සමාජයේ මහවලතැන්නේ මහ අදිකාරම්, බාන්ස් රත්වත්තේ, රටේ මහත්තයා මෙන්ම ශ්රී ලංකාවේ ප්රථම කතානායක ෆ්රැන්සිස් මොලමුරේ දක්වා ආ ගමන් මග වෙනස් කළ සුවිශේෂ චරිත දෙකක් බළන්ගොඩින් බිහිවී ඇත. ඒ චරිත දෙක අතරින් මුළු ලොවටම බළන්ගොඩ කියන ගමේ කීර්තිය රැගෙන ගිය සම්බුදු සසුනට සුවිශේෂ මෙහෙවරක් කළ ශ්රේෂ්ඨ යුග පුරුෂයාණන් වූ අභිධජ මහරටඨගුරු අතිපූජනීය බළන්​ෙගාඩ ආනන්ද මෛත්රී මහානාහිමියන් මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත. එසේම ලෝකයේ ප්රථම අගමැතිනිය වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය උපත ලබා ඇත්තේද බළන්ගොඩ වීම නිසා ශ්රේෂ්ඨ චරිත දෙකකින් බළංගොඩට ගෞරවයක් හා අභිමානයක් ගෙනදී ඇති බව සිහිපත් කළ යුතුව ඇත.
බළන්ගොඩ ගමට නම සෑදී ඇති අන්දම මුලින්ම සොයා බැලුවෙමි. ඒ අනුව බළන්ගොඩට ග්රාම නාමය සෑදී ඇති අන්දම ගැන මත කීපයක් ප්රකාශ වී ඇත. පළමුවෙන්ම අභිධජ මහා රටඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්රිය මාහිමියන් පවසා ඇත්තේ ඈත අතීතයේ සිට වළං සෑදීමට මේ ප්රදේශය ප්රසිද්ධියක් ඉසිලූ නිසා වළංගොඩ බළන්ගොඩ වූ බවයි.
ප්රාග් ඓතිහාසික යුගයේ සිටම පැරණි ගල්ලෙන් ආශ්රිතව වලං කටු හමුවෙන බැවින් හා බළන්ගොඩ ප්රදේශය ඈත අතීතයේ සිට වළං කර්මාන්තය පැවැති බවට තොරතුරු ඇති බැවින් මේ මතය පිළිගැනීමට හැකි බව බොහෝ දෙනා පිළිගනිති. දෙවැනි මතය ඉදිරිපත් කොට ඇත්තේ ශාස්ත්රපති බළන්ගොඩ නන්ද නාහිමියන්ය. උන්වහන්සේ පවසන පරිදි සටන් සඳහා අප්රසිද්ධව සේනාව රැස්කරමින් සිටි පළමුවැනි රාජසිංහ රජුගේ විශාල සේනාව දුටු එක් ගම්වැසියෙක් ‘සෙබළුන් ගොඩක්’ යනුවෙන් පැවසූ බවද පසුව එම වචනයේ ‘සෙ’කාරය ලොප් වී ‘ඒ’ යන්නෙහි ’උ’ හට ‘අ’ ආදේශ වී බලන්ගොඩ වූ බව පවසති. සකු බසින් ‘බටස්ථල’ යනුවෙන් වැහැරෙයි. ඇතමෙක් වළගම්බා රජු දවස කඳවුරු බැඳ සිටි බැවින් මෙම නාමය සෑදුණු බවත් පවසති. ප්රවීණ ගත්කරු දයානන්ද බිනරගම මහතා පවසන්නේ වලවේ ගඟ මුල්කරගෙන මේ ප්රදේශයේ නාමය සෑදී ඇති බවය. ඒ අනුව වලව+ගොඩ යන නිරුක්තියෙන් පසුකාලීනව බළන්ගොඩ සෑදුණු බව ඒ මහතා පවසයි.
මුලින්ම බළන්ගොඩ පුරාණය ගැන තොරතුරු විමසුවේ බළන්ගොඩ කිරිඳිගල ශෛලතලාරාමාධිපති පණ්ඩිත කඳන්ගොඩ සද්ධානන්ද නාහිමියන්ගෙනි. උන්වහන්සේ අදහස් දැක්වූයේ මේ අයුරිනි.
“බලංගොඩ කියලා කියන්නේ ඓතිහාසික කරුණුවලින් පිරුණු පුරාවිද්යාත්මක කෝස්ඨාගාරයක් යැයි කිවහොත් එය නිවැරැදියි. ඒ තරම් ඓතිහාසිකව මතු නොවුන කරුණු බොහෝමයක් තවදුරටත් ඉතිරිවෙලා සැඟවිලා තිබෙන ප්රදේශයක් තමයි බළන්ගොඩ.
බළන්ගොඩ මානවයාගෙන් පටන්ගත්තාම රාම රාවණා, යුද්ධය දක්වා දිවෙන අතීත කථාවස්තුන් රැසක් මේ ප්රදේශය හා බැඳී පවතිනවා.
ප්රදේශවල නම් ගතහොත් රාස්සගල කියන්නේ රාජ්ය රහස් කතාකළ ගල පසුව රාස්සගල වුණා. ඊළඟට සීතාගල කියන්නේ සීතාදේවිය සඟවා තිබූ ප්රදේශය තමයි. රාම රාවණා යුද්ධයෙන් රාවණාගේ ඔළුව වැටුණු ප්රදේශය ඕළුගංතොට යනුවෙන් ජනවහරේ අදත් තිබෙනවා.
ඊළඟට දේව විශ්වාස කෙරෙහිද නැඹුරු වූ ජනතාවක් ඒ කාලේ ඉඳලා වාසය කරලා තිබෙනවා. පත්තිනි දේවිය වෙනුවෙන් හැදූ දේවාල කීපයක් ගැන පුරාණ පත්තිනි හෑල්ලේ සඳහන් වෙනවා.
බළන්ගොඩ ප්රදේශයේ පිහිටි පත්තිනි දේවාල ගැන මේ ආකාරයෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ.
කුඹල් මුල්ල බොල්කුඹ දේවාලේ
අලුත් නුවර ගලගම දේවාලේ
කිරිඳිගල ද මොරහැළ දේවාලේ
සිද්දපතිනි අණ ඇත හැමවේලේ
බුදු දහමත් සමග දේව විශ්වාස කෙරෙහිද බළන්ගොඩ වැසියෝ දැඩි නැඹුරුවක් ඒ කාලේ ඉඳලම තිබිලා තියෙනවා. බළන්ගොඩ ​සොබා සෞන්දර්ය ගැන කතා කළොත් ඉතාම දැකුම්කලු දිය ඇලි පමණක් 8ක් මේ ප්රදේශය හරහා ගලා බසිනවා. ඉහළ ගලගම පිහිටා තිබෙන බේකර් ඇල්ල උසින් අඩි 655ක් හා පළලින් අඩි 6ක් පමණ වෙනවා. ඊළඟට බළන්ගොඩ කල්තොට මාර්ගයේ තිබෙන දූවිලි ඇල්ල උසින් අඩි 80ක් පමණ වෙනවා. ඊළඟට උසින් අඩි 200ක් පමණ මෙන්ම අඩි 7කින් පමණ පළලින් යුත් සුරතලී ඇල්ල මහවැලි කඳුවැටියේ ‘බුම්ටන්’ රාජ්ය වතුයායේ ඉස්මත්තෙන් ආරම්භවෙන මේ දිය ඇල්ලට සුරතලී යන නම හැදුණේ ‘සුරතලී’ යන චිත්රපටය රූගත කිරීම් කරලා තියෙන්නේ මේ ස්ථානයේ නිසාවෙනි. දඟකාර විලාශයකින් දිය කඳ පහළට වැටෙන නිසා මුලින් සුරතල් ඇල්ල වශයෙන් හැඳින්වූ මේ ඇල්ල පසුව චිත්රපටය රූගත කළ නිසා ‘සුරතලී’ ඇල්ල වෙලා තියෙනවා. ගැරඬියා ඇල්ල බළංගොඩ පින්නවල හරහා මාරතැන්න මාර්ගයේ හිටුවලට ගොස් එතැනින් ‘පුදුකාටුව’ නම් ස්ථානයේ ඉතා රමණීය ගැරඬියා ඇල්ල නරඹන්න පුළුවන්. උස අඩි 87ක් පමණ වන අතර පළල අඩි 7ක් වෙනවා. රන්මුදු ඇල්ල හමුවන්නේ බළංගොඩ මාරතැන්න මාර්ගයේ පඹගොල්ලෙන් හැරී පහළට බසින විට. දියමිනි ඇල්ල බලංගොඩ සිට වැලිගෙපොළ සමනල යෝජනා ක්රමයේ දියමිනි ඇල්ල පිහිටා තිබෙනවා. උස අඩි 60කින් හා පළල අඩි 40කින් යුතු ඇල්ලේපොළ ඇල්ල රත්නපුර බළංගොඩ මාර්ගයේ ඇල්ලේපොල ගම්මානයේ පිහිටා තිබෙනවා. බළංගොඩ රාස්සගල මාර්ගයේදී හමුවෙන මැද්දකන්ද දිය ඇල්ල උසින් අඩි 60කි. පළලින් අඩි 5ක් පමණ වෙනවා.
මේ අයුරින් සුන්දර දිය ඇලි 8ක් බළංගොඩ ආශ්රිතව පවතිනවා. බළංගොඩ ගමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන දුන්නේ විශාල ගෞරවයක්. සිරිමාවෝ මැතිනිය කුමන රටකට ගියත් බළංගොඩ ගැමි කාන්තාවක් තුළ තිබුණ ගති පැවතුම් ඇයගෙන් වෙනස් වුණේ නැහැ. පුළුවන් සෑම මොහොතකම සිය උපන් ගමට ඇවිත් යෑමට එතුමිය අමතක කළේ නැහැ. බළන්ගොඩ ගමේ හදන ගැටපොළොස් වෑංජනයට බණ්ඩාරනායක මැතිනිය හරිම කැමැතියි. බළන්ගොඩ ආවොත් නොවරදවාම ගැට පොළොස් අරගෙන යෑමට ඇය අමතක කරන්නේ නැහැ.
ඊළඟට බළන්ගොඩ අත්යන්ත්ර පේෂ කර්මාන්තවලින් නිෂ්පාදනය කළ දේශීය සාරියට එතුමිය ප්රිය කළා. චාම් සරලබව බණ්ඩාරනායක මැතිනිය තුළ වඩා හොඳින් තිබූ ආදර්ශවත් ජනනායිකාවක් පමණක් නොව බළන්ගොඩ ගැමි කාන්තාවක් වීම බළන්ගොඩට විශාල අභිමානයක්” බව අවසන් වශයෙන් සද්ධානන්ද නාහිමියෝ පැවසූහ.
මීළඟට හමුවූයේ බළන්ගොඩ අතීත ශ්රී විභූතිය පමණක් නොව භූගෝලීය පිහිටීමේ සිට මානව ශිෂ්ටාචාරය දක්වා අධ්යයනයක නිරත වී තොරතුරු සොයාගත් ආචාර්ය දයානන්ද බිනරගම මහතාය. ඒ මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිනි.
‘‘ප්රාග් ඓතිහාසික මානවයා දක්වා ඈත අතීතයකට දිවයන මානව ඉතිහාසයක් ඇති ප්රදේශයක් වශයෙන් බළන්ගොඩ හඳුන්වා දෙන්න පුළුවන්.
සෞම්ය දේශගුණය නිසා බළන්ගොඩ ප්රදේශයේ ජනගහනය අධික වීමෙන් වර්තමානය වෙන විට භූමියේ ඇති වටිනාකම දෙගුණ තෙගුණ වෙලා තිබෙනවා.
ප්රාග් මානව යුගයේ මීටර් 50ක් ඉක්මවූ භූමියක කලාතුරකින් නෂ්ටික පවුල් එකකට හෝ දෙකකට වැඩි සංඛ්යාවක් ජීවත් වී නොමැති බව ආචාර්ය ශිරාන් දැරණියගල සූරීන් පෙන්වා දෙනවා. නමුත් අද වෙනවිට න්යෂ්ටික පවුලකට පර්චස් 10 ක් වෙන්කර ගැනීමට පවා නගර සීමාව තුළ ඇත්තේ බලවත් තරගයක් වන අතර භූමිය හිඟවීම නිසා සමාජ ආර්ථික ගැටලු රැසක් ඇතිවී තිබෙනවා.
බස්නාහිර දිසාවෙන් පෙට්ටිගල කඳුවැටියත් නැගෙනහිර දිසාවෙන් වූ දක්ෂණි ප්රාකාරය හෙවත් ‘දක්ෂිණ මොහොර’ යනුවෙන් හැඳින්වෙන දෙනගල හපුතලේ කඳුවැටියෙන් ද නැගෙනහිර දිසාවෙන් වූ මහවලතැන්න සානුවට දළ බෑවුම්ව ඕපනායක - පැල්මඩුල්ල රත්නපුර නගරය දක්වා ක්රමික බෑවුමකින් යුක්ත වූ මධ්යගත උස් භූමියක පිහිටි තැනිතලා භුමියක් ලෙස බළන්ගොඩ හඳුන්වා දෙන්න පුළුවනි. නිරිත ඊසාන දිසානු ගතවම බෑවුමක් ඇති මේ ප්රදේශය ‘බළන්ගොඩ සානුව’ යනුවෙන්ද හඳුන්වනු ලබනවා. බළන්ගොඩට ලැබෙන වැස්සෙන් කොටසක් වලවේ ගඟට ගලායන අතර තවත් කොටසක් කළු ගඟට එක්වීම බළන්ගොඩින් සිදුවන අපූරු ක්රියාවලියක්.
මේ ප්රදේශයෙන් ගලා බසින වලවේ ගඟ ප්රධාන කොටගත් එහි අතු ගංගාවන් වන දොරවෙල් ඔය, දෙනගං ඔය, බෙලිහුල්ඔය, පියන්ගිරි ඔය හා මේවාට එක්වෙන අැළ දොළ මෙන්ම ලොකු කුඩා දිය ඇලි ප්රදේශයේ සුන්දරත්වය වැඩි කරනවා. ගංගා නිම්නවල හා ගං පත්ලේ නිධිගතව ඇති මැණික් ඉල්ලම සහ සුළු වශයෙන් හමුවෙන රත්තරන්, ඛණිජ, ප්රදේශයේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා. ජනතාවගේ ජල අවශ්යතා මෙන්ම කෘෂිකර්මයේ ජීවය රදා පවතින්නේ මේ ප්රධාන ගංගාවේ හා අතු ගංගාවල ආධාරයෙන්.
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්රික්කයට අයත් මේ ප්රදේශය බළන්ගොඩ ප්රාදේශීය මහලේකම් කොට්ඨාසයට ප්රධාන වශයෙන් අයත් වෙන අතර ඉඹුල්පේ හා වැලිගෙපොළ ප්රාදේශීය මහලේකම් කොට්ඨාසවලට අයත් බලප්රදේශ තුළද බළන්ගොඩ ප්රදේශය විසිරී ඇත. මේ බලප්රදේශ තුනම බළන්ගොඩ ප්රදේශයට අයත් වෙන අතර ඊට පරිබාහිරව සීමා රහිතව ප්රදේශයේ සංස්කෘතික හා භෞතික පරිසරය ව්යාප්තව ඇත.
පැරණි සබරගමු දිසාවට අයත් කඩවත මැද කෝරළයේ ප්රධාන නගරය වන්නේ බළන්ගොඩයි. ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්යාලය බළන්ගොඩ නගරයට නුදුරින් පිහිටා ඇති ප්රධාන උසස් අධ්යාපන ආයතනය වන අතර මෑත යුගයේ සබරගමුවට ලැබුණු නැණ පහන් දැල්වීමේ ප්රධාන මිණි කැටය එයයි. දඹදෙණි යුගයේ පළාබත්ගල වන සෙනසුන් මහා විහාර භික්ෂු අධ්යාපන විශ්වවිද්යාලය හැරුණු විට සබරගමුවේ බිහි වූ දෙවැනි විශ්වවිද්යාලය මෙයයි.
මුහුදු මට්ටමේ සිට අඩි 2096ක් උසින් පිහිටා ඇති බළන්ගොඩ නගරය තෙත් කලාපයට අයත්වෙන අතර නගරයේ ව්යාප්ති ප්රදේශය තුළ ඇති වෘක්ෂලතා පහතරට නිවර්තන තෙත් සදාහරිත වනාන්තරවල වැවෙන පලු, වීර, බුරුත, නැදුන්. තේක්ක, ගම්මාළු, කැටකාල වැනි තද අරටුව සහිත ශාක දැකිය හැකි අතර නගරයට ආසන්න කඳුකර කලාපයේ කඳුරට සද‌ාහරිත හා සෞම්ය වනාන්තරවල වැවෙන ඇටඹ, ගොඩපර, වල් දෙල්. කැකුණ, ඇහැටු, නුග ආදී පත්ර පළල් ශාක දකින්න පුළුවන්. මහ හැඩයා, කුඩා හැඩයා, බේදුරු පනම් පෙති, මීවන වර්ගයේ පැළැටි මෙන්ම ඖෂධීය ශාක බහුලව මේ කඳුකර වනාන්තරවල දැකීමට පුළුවනි. මේ ප්රදේශයට නිරිතදිග මෝසම් වැස්සෙන් වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර සාමාන්ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 75-100 දක්වා වැඩිවේ. බළන්ගොඩ නගරයේ වාර්ෂික උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 70 සිට 80 අතර ප්රමාණයක් ගනී. එක් එක් මාසවලදී උෂ්ණත්වය වෙනස් වන අතර මාර්තු අප්රේල් මාසවලදී දැඩි හිරු රශ්මියක් පවතියි. සංවහන ක්රියාවලිය නිසා දවසේ සවස් භාගයේදී බක්මහ අකුණු සහ වැසි දර්ශනයකි. මැයි මාසය ආරම්භවත්ම පැයට කිලෝමීටර් 50-75 අතර වේගවත් සුළඟක් සමහර අවුරුදුවල දැකගැනීමට පුළුවන. මැයි, ජුනි, ජූලි මාස හැරුණු විට අනෙක් මාසවල දී පරිසරයේ දැඩි නිසල බවක් පවතියි. සමනල වැව ජලාශය ඉදිකිරීමෙන් පසු පරිසර පද්ධතියෙත් වර්ෂාපතනයේ හා උෂ්ණත්වයේත් ස්වරූපය යම් ප්රමාණයකට වෙනසකට භාජනය වී ඇත.
අප ප්රදේශයේ බොහෝ දෙනාගේ ජීවනෝපාය වෙන්නේ ගොවිතැනයි. මතුපිට භූමියේ ස්වභාවය සහ පාංශු කලාපවල භෞතික හා රසායනික ස්වරුපයට අනුව බෝග වගාවේ වෙනස්කම් පවතියි. වලවේ ගඟ හා ඒ ආශ්රිත අතු ගංගා නිම්න ප්රදේශවල මෙන්ම පිටාර තැනි බිම්වල ව්යාපාරික වශයෙන් හා පරිභෝජනය සඳහා වී වගාව සිදුකරයි.
කඳු බිම්වල හෙල්වැටි තුළ හෙල්මළු වී වගාව සිදුකරන්නේ ග්රාමීය වැසියන්ගේ පරිභෝජනය සඳහාය. කඳුකර ලැටරයිට් පාංශු කලාපයේ ව්යාපාරික වශයෙන් හා සුළු පරිමාණයෙන් තේ වගාව සිදුකරයි. ඊට අමතරව පොල්, ගම්මිරිස්, කෝපි, කුරුඳු, කරාඹු නැටි ආදී අතිරේක සුළු අපනයන ආහාර බෝග හා ගෙවතු වගා ලෙස කොස්, දෙල්. පුවක්, පලතුරු ආදිය ද වගාකරයි.
හේන් ගොවිතැන යටතේ කව්පි, ඉරිඟු, මුං, මෑ. තල, මෙනේරි, කුරක්කන් සහ කටුසර හේන් එළවළු වගාව යටතේ වට්ටක්කා, කැකිරි, බටු, මිරිස් සහ මඤ්ඤා​ක්කා, බතල, ඉන්නල ඇතුළු අල වර්ග වගා කරයි. ව්යාපාරික වශයෙන් මහාපරිමාණ ලෙස බෝංචි වගාව හේන් බිම්වල හා කනතු කුඹුරුවල වගා කිරීම මීට දශක තුනක පමණ කාලයක සිට මේ ප්රදේශයේ දක්නට ලැබෙන විශේෂ වගාවක් ලෙස සඳහන් කරන්න පුළුවන්.
බළන්ගොඩ ඈත අතීතයේ සිට විවිධ ජන වර්ගවලට අයත් ජනයා එකට වාසය කරන ප්රදේශයකි. සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ජාතීන් මිශ්රව ඉතා සමගියෙන් සුහදව එකම පවුලක පුරවැසියන් වශයෙන් ජීවත්වීම බළන්ගොඩ ප්රදේශයේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයකි. නාගරික බොහෝ ද්රවිඩ ජනයා ආහාර ද්රව්ය සිල්ලර හා තොග වෙළෙද‌ාම සිදු කරයි. කඳුකරයේ ජීවත්වෙන වතු දෙමළ ජනයා තේ වගාවේ නිරතව සිටිනවා. මුස්ලිම් ජනයා බොහෝ දෙනා මැණික් වෙළෙද‌ාමේ සහ රෙදි සුවඳ විලවුන්, පාවහන් වෙළෙඳාමේ නිරතව ඉන්නවා. ඔවුන් කිසිවිටෙකත් ගොවිතැන් කටයුතු කරන්නේ නැහැ. ප්රදේශයේ බෞද්ධ ජනතාව වැඩිදෙනා ගොවිතැනේ නිරතවෙනවා. එළවළු පලතුරු ආහාර ද්රව්ය, රෙදි පිළි, මනි බඩු සහ සුළු අපනයන බෝග වෙළෙඳාමෙහි නාගරික සිංහල ජනතාව නිරතව ඉන්නවා. ගොවිතැනට අමතරව මැණික් ගැරීම සිංහල ජනයාගේ ප්රධාන ආද‌ායම් මාර්ගය වෙනවා. කම්කරු, පෙදරේරු, අනිකුත් සුළු කර්මාන්තවල නිරතවී ඇති බොහෝ දෙනා සිංහල බෞද්ධයෝ වෙනවා.
වැඩි වටිනාකමකින් යුත් රතු, නිල්, පසිංගල්. වෛරෝඩී. ආරනුල්, පුෂ්පරාග, පද්මරාග, නිල්, ඔට්ටු, ගෙවුඩ ආදී මැණික්වල සිට අඩු වටිනාකමක් ඇති පදියන්, ජාගුන්, කිරින්චි, රබස්, පළිඟු, දියතරිප්පු දක්වා ඛණිජ පාෂණ මේ ප්රදේශයේ භූගර්භය තුළ දැක ගැනීමට පුළුවන්.
ඉතා සුළු වශයෙන් හමුවන රත්රන් කැබලි එකතු කිරීම වලවේ ගඟ ආශ්රිත ඇඳුම් පතල් කරුවන්ගේ සිරිතක් වෙලා තිබෙනවා. ප්රදේශයේ කාන්තාවන් වැල්ල නෑඹිලිවල දමා ගැරීමෙන් රත්රන් කැබලි හා කුඩු එකතු කිරීම වෘත්තියක් වෙලා තිබෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ වලවේ ගංනිම්න පතුලේ රත්රන් නිධිගතව ඇති බවයි.
ඈත අතීතයේ සිට වළං කර්මාන්තය කළ බවට පුරාවිද්යාත්මක සාධක නෙළුවයාය, කුඹල්ගම, හඳගිරිය, වලව මිටියාවත ආදී ස්ථානවලින් තොරතුරු සොයා ගෙන ඇති අතර රත්මලවින්න, කොටුපළතැන්න, වේලිඔය ආදී ස්ථානවල දියුණු ගඩොල් කර්මාන්තයක් කළ බවට තොරතුරු අනාවරණය වී ඇත.
දේශීය පමණක් නොව විදේශීය අවශ්යතා පවා සපුරාලීමට සමත් යකඩ සහ වානේ කර්මාන්තයක් මධ්ය අනුරාධපුර යුගයේ දී බළන්ගොඩ ප්රදේශය ආශ්රිත පැරණි ගම්මාන වූ හටන්පොළ, යටිමලකඩුව, පියන්ගිරිය, හතරබාගේ. මාමල්ගහ, මුත්තෙට්ටුවේගම, බෙලිහුල්ඔය, දෙනගංඔය ආදී ප්රදේශ ඇතුළු යකඩ උණු කළ ස්ථාන 264ක් පිල් ජුලිෆ් පුරාවිද්යාඥවරිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ කාලේ ස්වභාවික සුළං බලයෙන් යකඩ උණුකළ එකම රට වෙලා තිබෙන්නේ ශ්රී ලංකාවයි. වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් විසින් ලියූ ‘සත්ව සම්භවය’ ග්රන්ථයෙන් චාල්ස් ලයල්ගේ ‘මිනිසාගේ පෞරාණිකත්වය’ නමැති ග්රන්ථය එළිදැක්වීමෙන් පසු ලෝක මානව විද්යාඥයින්ගේ අවධානය භූ විද්යා අධ්යානයන් කෙරෙහි යොමුවන්නට වුණා. මත්ස්ය, උරග, උභය ජීවි පක්ෂි හා ක්ෂිරපායී ආදී සතුන් අතරින් ඍජුව කොඳු නාරටියක් සහිත මිනිසා නමැති අපූර්ව සත්වයා ලොව බිහිවීම ලෝක මානව ඉතිහාසයට සුවිශේෂ සිදුවීමක් වුණා.
මීට අවුරුදු හය ලක්ෂයකට පෙර අප්රිකාවේ ඔල්දුවා නිම්නයෙන් පළමුවරට සොයාගත් වානර මානවයාගේ සිට පීකිං, ජාවා, නියැන්ඩතාල්, ක්රොමැනියන් ආදී මානවයන් සමග ‘බළන්ගොඩ මානවයා’ පිළිබඳ තොරතුරු ලොවට හෙළි කළේ බළන්ගොඩ, දියවින්න හා හඳගිරියට නුදුරු බෙල්ලන් බැඳි පැලැස්ස නම් ස්ථානයෙන් සොයාගත් මානව අවශේෂවල ප්රතිඵලයක් වශයෙනි. මේ පිළිබඳ ලොවට තොරතුරු හෙළි කළේ මහාචාර්ය පී.ඊ.පී. දැරණියගල සූරින් බවත් මේ මොහොතේ සිහිපත් කළ යුතු වෙනවා.
බළන්ගොඩ අවට ලෙන් ආශ්රිතව ජීවත් වූ බළන්ගොඩ මිනිසා (Balangoda Man) මහාචාර්ය පී.ඊ.පී දැරණියගලයන් විසින් හඳුන්වා ඇත්තේ ‘හොමෝ ඉරෙක්ටස් බළන්ගොඩයන්සිස්’ මානවයා යන අර්ථාන්විත නාමයෙනි.
බළන්ගොඩ මානවයා යනු කවරෙක්දැයි? ප්රශ්නයට දිය හැකි කෙටිම පිළිතුර වෙන්​ෙන්​ බෙල්ලන්බැඳි පැලැස්සෙන් සොයාගත් පාෂාණ යෞගික මානවයන්ගේ ඇට සැකිළි හැදින්වීම සඳහා දී ඇති නාමයන් යන්න හැඳින්වීමට පුළුවන්. මෙසේ සොයාගත් මානව ඇටසැකිලි 12න් 10කම නැවුණු ඉරියව්වලින් යුක්තව වක්වී තිබීම විශේෂත්වයක් වශයෙන් දකී. පසුකාලීනව කරන ලද පර්​ෙය්ෂණවලින් හෙළි වී ඇත්තේ මළ පුද්ගලයා විශාල වළංවල බහා භූමිද‌ානය කර ඇති බවයි.
එකල වළදක බහා භූමිදානය කරන සිරිතක් පැවති බව පැහැදිලිය. මානව ශිෂ්ටාචාරයේ උපත සනිටුහන් කළ බළන්ගොඩ මානවයා තුළින් මානව ශිෂ්ටාචාරයේ ආරම්භය ගැන සෙවීමට ඇති ඥාන කෝෂ්ඨාගාරය බළන්ගොඩ බව අවසන් වශයෙන් දයානන්ද බිනරගම මහතා ප්රකාශ කළේය.
තොරතුරු අඅන්තර්ජාලය ඇසුරිනි.
බලංගොඩ වේළිඔය මාර්ගය සංවර්ධන කිරීමට බලකරන්නන්ගේ එකමුතුව.
වළං ගොඩින් සෑදුණු බළංගොඩ
ඔබේ අදහස් එවන්න.
මේ ගලගම බුද්ධ
හැබැයි පාලි බසින් බළන්ගොඩ යන්න හඳුන් වන්නේ භටත්ථල නගරං යනුවෙනුයි ඉන් අදහස් වන්නේභට පිරිස් රැස්ව සිටි නගරය යනුවෙනි.???? මට දැනෙන ලෙසට ඒ අදහස තමයි හරි සිංහලයේ "ව" වෙනුවට" බ" ආදේශ වෙච්ච තැන් ගැන මට මතකයක් නැහැ. පාලියේ නම් "ව" වෙනුවට බොහෝ විට "බ" ආදේශ වීස බහුලයි
notes of imaginary

Monday, December 18, 2023

සෙනෙහස





ඔබේ තනියට සෙවණැල්ල වෙමි
සයුරු තෙර වෙරළ ක් වෙමී
ඔබ රැගෙන එන තැවුල් රඳවා
සිනා පෙණ පිඬු විසිරමී.
වළා රොද සේ පාව යනවිට
කඳු මුදුන වී රැක ගමී
විඩාබර සිත නිවා සනසන
සිසිල් මුදු පවනක් වෙමී.
විස ඇනී ළය රිදුම් දෙනවිට
සඳුන් සිසිලස තවරමී
අවලාද , දුක් ගැහැට පිසදා
තුන් සුතුර මතුරා යමී.
අඳුරු රැයකට පුරහඳක් වී
සඳ රැසින් ඔබ නහවමී
සුසුමකට දුර තබා ඈතින්
බලා කඳුලක සැඟවෙමී.
රෝ.සි..



notes of imaginary

Saturday, December 16, 2023

GSF ගේ කාටුන්


එවකට අග්‍රාමත්‍ය ව සිටි සර් ජෝන් පොල්ගොල්ලේ පිහිටි කෘෂිකර්ම දෙපාර්මේන්තුවට අයත් සත්ව ගොවිපලක් බැලීමට ගිය අවස්ථාවක එහි සේවය කරන සේවිකාවන්ගෙන් සාත්තු සප්පායාම් ලබමින් සිටින ගවයන් කිහිපදෙනෙක් දැක්කේය. සර් ජෝන්ගේ මදාවි සිතට එක්වරම සිහිවුයේ මමත් මේ වාගේ ගොනෙක් වුවානම් කොයිතරම් ජොලිද යන්න විය යුතුය.
සිතිවිල්ල වහා වචනයෙන් එළියට පැන්න විට මාධ්‍ය කරුවෝ එය අහුලා ගෙන පසුදා තම ප්‍රවෘත්ති පත්‍රවල ඕපදුප තීර ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති කළේය. සර් ජෝන්ගේ සුන්දර අදහස පසුදා ලංකාදීපය මැද පිටුවේ පළවු G.S.F සන්නම සහිත ගම්වාසී සෙනරත් ප්‍රනාන්දු‍ ගේ කාටුනයෙන් සර් ජෝන්ගේ මුහුණ තඩි ගොනෙකුගේ සිරුරට සවි කර එම ගොනා නාවන තරුනියන් පිරිසක් සිත්තම් කලේය.

සර් ජෝන් පසුදාම G.S.F ට ප්‍රතිචාර දැක්වූයේ හෙලිකොප්ටරයකින් මොරටු මුහුදේ දියඹට අතහැර සිරුර වැල්ලට එවීමෙන් නොව සර් ජෝන්ගේ කදවල වත්තේ නිවහනට කැදවා බිත්තර ආප්ප වලින් උදෑසන තේ වේලෙන් සංග්‍රහ කිරීමෙන් සහ G.S.F සර් ජෝන් පිළිබදව අදින කාටුන් වල මුල් පිටපත ඔහුට ලැබෙන්න සැලැස්විය යුතුය යැයි ගිවිසුමකට පත් කිරීමෙන්ය.

G.S.F ප්‍රථම කාටුනය ඇද ඇත්තේ “ස්වදේශ මිත්‍රයා” පත්‍රයට 1931 ඩොනමෝර් කොමිසමේ වාර්තාව විවේචනය කරමිනි. 1934 දී වානිජ චිත්‍ර ශිල්පියෙකු ලෙස ටෛම්ස් ආයාතනයට එක්වු G.S.F 1947 වර්ෂයේ සිට ඩී.බී.ධනපාලයන්ගේ ඇරයුමෙන් කාටුන් චිත්‍ර ශිල්පියෙකු බවට පත්විය.ඔහු එදා සිට ලංකාදීප පත්‍රයට දශක පහක් පමණ කාලයක් කාටුන් ඇන්දේය.
ඔහුගේ “අප්පුහාමි” චරිතය විසින් ජනතාව නියෝජනය කලේය



notes of imaginary

Friday, December 15, 2023

නිදාන කතාව


මං එවකට කිඹුල්වත්පුර ඉඳන්
සැවැත් නුවරට යන පාරේ
හැටනව වැනි පටුමගේ හිටියේ.
අපේ තාත්තගේ යාළුවෙක් තමයි කොසොල් රජතුමා. ආදරේට කිව්වෙ කෝසලයා කියල.

ඉතින් අපේ හිතවත් කම්"මත
කිඹුල්වත්පුර පොලේ අපි
තිස්සමහාරාමෙ මීකිරි වික්කා.

මං තාත්තට හොරෙන්
මී කිරි අස්සෙ ගුලි බිස්නස් එකක් කරා
ඒක ජාති ජාතිත් පාපයක් කියලා
දැන ගත්තෙ ආත්ම ගානකට පස්සෙ.

කොහොම නමුත්
කිරිබත්ගොඩ හාමුදුරුවෝ යාළුවො එක්ක
කිරි කන්න එනවා අපේ කඩේට
එයා අවංක කෙනෙක් ඒකාලේ ඉඳන්ම

ඒකාලේ මට මතක හැටියට
කිරි හට්ටි හත අටක් කාලා
පන්සලෙන් ගෙනාපු කැකුළු බතුත් දාලා
හට්ටි උලන් කන පුරුද්දක් එයාට තිබ්බා

මං එයාට ගුලි වික්කෙ නෑ.
කොටින්ම කිසිම හාමුදුරුවෝ කෙනෙක්ට
වික්කෙ නෑ
මේක අමූලික ඇත්තක්
නමුත් දවසක්
මගේ අතින් හට්ටියක් මාරුවෙලා

ඒකෙ තිබ්බෙ ගුලි ටිකක් උඩින් මීකිරි දාලා
ඒක මං දෙන්න හිටියේ කොසඹෑ නුවර
තුසිත කියලා මගේ යාලුවෙක්ට

ඉතින් කිරිබත්ගොඩ සාදු ඒ මෝදක කවලන් වුනු
කිරි එක කාලා
වේලුවානාරාමෙට ගිහින්
ලොකු පිස්සුවක් කෙලලා
සෝවාන් ලිස්ට් එකෙන් නම කපාගත්තා

ඒ පාපයට
කොසොල් රජතුමා මාව
ගුලි පැක් එකයි ජොයින්ට් කෑල්ලකටයි නවුවක් දම්මල
අපායට මාරුකරලා යැව්වා.

මං තාමත් අපායේ මී කිරි විකුණනවා
කිරිබත්ගොඩ හාමුදුරුවෝ පන්සලට වෙලා
පැණි කනවා. 

notes of imaginary

Thursday, December 14, 2023

ඉන්දියාවෙන් බුදු දහම තුරන් වූයේ කෙසේද?




බ්රාහ්මනිකයන්ගේ සහ පසුව පැමිනි මුසල්මානු ආක්රමණ හමුවේ ඉන්දියාව අසරණ වූයේ ‘මයුර්ය’ සහ ‘ගුප්ත’ රාජ වංශ වලින් යුතුවූ මහා මඝද රාජධානිය කාලයාගේ ඇවෑමෙන් අප්රකට වීමෙන් පසුවය. ඉන්දියාවේ උපන් බුදුන් වහන්සේගේ අනුගාමිකයන් වූ, බිම්බිසාර, චන්ද්රගුප්ත I , සමුද්රගුප්ත , චන්ද්රගුප්ත II, අශෝක අධිරාජයා වැනි මහා රජවරුන් නැතිවූ කල, ඉන්දියාව කොටස් වලට කැඩී, බල බිඳී තිබුන අවදියක, බුදු දහමේ පරිහානියද ආරම්භ විය.
‘සංකාරාචාර්ය’ වැනි හින්දු නායකයන්ද, බොහෝ හින්දු රජවරුන්ද, ස්ථූප සහ බුදු කුටි සහ පිළිම විනාශ කිරීමෙන් අපමණ ආශ්වාදයක් ලද බැව් පොත පතේ සඳහන් වේ. හින්දු පාලකයෙකු වන ‘පුෂ්ය මිත්ර’ විසින්, අශොක මහ රජතුමා විසින් තනවන ලද 84,000 ක් බෞද්ධ ස්ථුප සහ ගනන් කල නොහැකි තරම් විහාර සහ බෞද්ධ ලියවිළිද විනාශ කරන ලදී.
(මූලාශ්ර: Romila Thaper, Ashoka and Decline of Mouryas, London, 1961, p 200).
‘ජලාලුක රජු’ විසින් බෞද්ධ විහාර සහ පන්සල් විනාශ කලේ, බෞද්ධ ගාථා සජ්ජායනයෙන් වරක් ඔහුගේ නින්දට බාධා වීම හේතුවක් කරගෙනය. මේ අතර කාශ්මීරයේ සිටි කින්නාර රජු විසින් බෞද්ධ පන්සල් විනාශ කලේ, බ්රාහ්මණයන්ගේ සතුට සඳහාය.
මේ විනාශ කල බෞද්ධ සිද්ධස්ථාන, හින්දු කෝවිල් වලට පරිවතනය කල අතර,හින්දු චාරිත්ර අනුව, කිසිම අඩු කුලයේ යයි සම්මත පුද්ගලයෙකුට හෝ බෞද්ධයෙකුට, එම කෝවිල තුලට ඇතුල් වීමට ඉඩ නොදෙන ලදී. දහස් ගනන් මෙම ස්ථානවලින් ප්රසිද්ධවූ ස්ථාන කිහිපයක් නම්, තිරුපති, උන්ඩවල්ලි, එල්ලෝරා, පූරි, බද්රනාත්, මතුරා, අයෝධ්යා, නාලන්දා, නාගර්ජුන කොන්ඩා, සහ කේරලයේ අති ප්රසිද්ධ සබ්රිමාලා කෝවිල වේ.
අතුරු කතාවක් :- එදා සහ අද දේශපාලනඥයන් පූ* උඩ දමාගෙන වඳින හින්දු කෝවිල් සියල්ල, බෞද්ධ සිද්ධස්ථාන වේ ..
‘ආදි සංකර’ නම් හින්දු නායකයා, ‘නාගර්ජුන කොන්ඩාහී’ යක්ෂයෙක් මෙන් කටයුතු කර, බෞද්ධ සිද්ධස්ථාන අති විශාල සංඛ්යාවක් විනාශ කර ඇති බව ‘ලෝන්ගස්ට්’ නම් යුරෝපීය විද්වතා විසින් ඔහුගේ කැනීම් වලින් සොයාගන්නා ලදී. {මූලාශ්ර: Memoirs of the Archaelogical Survey of India No: 54, The Budhist Antiquties of Nagarjunakonda (Delhi, 1938, p.6.).}
බ්රාහ්මණ ආගමට නොහැරෙන බෞද්ධයන්, ප්රසිද්ධියේම පන පිටින් පුච්චා දැමීමට මෙම ‘ආදි සංකර’ නම් හින්දු නායකයා කටයුතු කලේය. බෞද්ධයන් යයි අසුවූ සෑම පවුලකම අත දරුවන්, ඔවුන්ගේ මවුන් ඉදිරියේ කිඹුලන්ට විසි කල අතර, ගැහැනුන් දියේ ගිල්වා මරා දැමූහ. කේරළයේ ‘සුද්ධවනන්’ රජුගේ මස්සිනා කෙනෙකු වන ‘උජ්ජේන්’ බෞද්ධ බික්ෂූන්ගේ නාස් විද ගොනුන් ලෙස කරත්තවලට බැඳ වැඩගත් බව ප්රසිද්ධය. දහස් ගනන් නොව මිලියන ගනනක බෞද්ධයන් කේරළ ගං ඉවුරවල් වලදී දසවධ දී මරා දමන ලදී. මෙම අප්රකට අවධිය යුරෝපයේ කුරුස යුද්ධ වලට සමාන වූ අතර, ප්රසිද්ධියේම බෞද්ධයන්ට වධ දුන් ඝාතන ස්ථානය වන්නේ කේරලයේ ‘අලවි’ නම් ස්ථානයයි. ‘අලවි’ යන්නේ තේරුම විනාශයට අධිපති යයි සලකන,ශිව දෙවියන් දරන ත්රිශුලයයි.මේ ආකාරයටම, ටැමිල්නාඩුවේද ‘වයිග’ ගං ඉවුරේ, දහස් ගනන් බෞද්ධයන් මරා දමන්නට හින්දු ජාතික දරුණු මූලධර්මවාදියකු වන ‘සම්බන්තර්’ ක්රියා කලේය. {(මූලාශ්ර: The Tamil book Thevaram and complete works of Swami
Vivekananda, Vol.VII. p. 118, Calcutta, 1997).}
පසු කලක විකෘත කරන ලද බුද්ධ ප්රතිමා, බොහෝමයක් බ්රිතාන්ය පාලන සමයේදී කේරලයේදී හමුවිය. මූලධර්මවාදී බ්රාහ්මණනයන් විසින් මේ සියළු පොළොව නුහුලන අපරාධ කලේ, බුදු දහම ඉන්දියාවෙන් පමනක් නොව මුළු ලොවෙන්ම තුරන් කරන්නටය. එහෙත් ඔවුනට සියළු සාක්කි විනාශ කිරීමට නොහැකි විය. නොදැනුවත්වම, කෝවිල් වලට සහ ගම්මානවලට තිබූ ‘පල්ලි’ යන නම මකා දමන්නට ඔවුනට අමතක විය. පල්ලි යන නමේ තේරුම, ‘බෞද්ධ විහාරය’ යන්නයි. කේරලයේ බොහෝ ස්ථානවල මේ පල්ලි යන නාමය හමුවේ. උදාහරණ වශයෙන්, කුරුන්ගපල්ලි, කාර්තික පල්ලි, මෙහි සඳහන් කරමි.
අද ඉන්දියාවේ බුදු දහම පවතින්නේ, ටිබෙටයට මායිම් වූ කොටස්වලත්, අඩු කුලයේ යයි සම්මත ඩැලිට් ජාතිකයන් අතරේත් පමනි. බුදු දහම ඉන්දියාවෙන් සම්පූරණයෙන් පාහේ නැතිවී යන්නට තවත් හේතුවක් වුනේ ‘තුර්කි’ සහ ‘අරාබි’ ආක්රමණ හේතුවෙනි.
මුසල්මානුවන් කරන ලද ‘නාලන්දා සන්හාරය’ ඉතා ප්රකටය. වැඩිවෙන බ්රාහ්මණික ආගමික බලය හමුයේ, සාමකාමී බෞද්ධයන් මරනීය තර්ජන අතරේ සැඟව ගියහ. බ්රාහ්මණිකයන් බුදු දහම ලෝකයෙන් තුරන් කරන්නට කල තවත් උප්පරවැට්ටියක් නම්, බුදුන් වහන්සේ, හින්දු ආගමේ දශ අවතාර අතරෙන් තවත් අවතාරයක්, එනම් ‘බුද්ධි අවතාරය’ ලෙස සඳහන් කර, අඩු දැනුම ඇති බෞද්ධයන් හා, බෞද්ධාගමට කැමැත්තක් දැක්වූ හින්දූන් බ්රාහ්මණිකයන්ගේ ග්රහණයට නතු කර ගැනීමය.
මෙහිදී හින්දු ආගමේ ග්රන්ථවලද, බෞද්ධයන්ට විරුද්ධව නොයෙකුත් නීති කෙටුම්පත් විය. හින්දු ගුරුවරයකු වන ‘අපර්ණක’ මෙසේ කියයි. ‘බෞද්ධයෙක් බ්රාහ්මණික සිරුරක ගෑවුනහොත්, වහා ඔෂධ ස්නානයක් කර සුද්ධ පවිත්ර විය යුතුය.’ ඉතා ප්රසිද්ධ පොතක්වූ ‘අර්ථ ශ්රාස්ත්ර’ ලියු ‘චානක්ය’, මෙසේ කියයි. ‘දෙවියන්ට පුජා කරන ලද රාත්රී ආහාර පූජා උළෙලකට බෞද්ධයෙක්, ආජීවකයෙක්, ශුද්රයෙක් පැමුනුණහොත්, ඔහු පනා 100 ක දඩයකට යටත්ය’
ක්රිස්තු පූර්ව 505 දී, බෙන්ගාලයේ රජු වූ ‘සසන්ක’, බෝධි ගයාව ආක්රමණය කර, බුදුන් වහන්සේ පිට දුන් බෝධිය සම්පූර්නයෙන්ම විනාශ කලේය. එතනින් නැවතුනේ නැති ඔහු, බෝධි වෘක්ශය පාමුල තිබූ, බුදුන් වහන්සේගේ සිටිවන පිළිමය විනාශ කර, ශිව දෙවියන්ගේ පිළිරුවක් තැන්පත් කලේය. තවද එම ප්රදේශයේම සිටි සියළුම බෞද්ධ භික්ෂූන් ඝාතනය කිරීමට අන දුන්නේත් මොහුමය. ශිව වාදියෙකු වූ තවත් රජ කෙනෙකු වූ ‘මිහිඳුකුල’ විසින් බෞද්ධ සිද්ධස්ථාන 1500ක් සහමුලින්ම විනාශ කර, ඒවායෙහි සිටි සියලුම භික්ෂූන් ඝාතනය කරන ලදී. අයෝධ්යාවේ අද තිබෙන සියළුම හින්දු කෝවිල් පෙර කල බෞද්ධ පන්සල් වශයෙන් තිබිණ. උදහරණ කීපයක් නම්, සබ්රිමාලා, තිරුපති, බද්රිනාත් සහ පූරි වේ.
අතුරු කතාවක් :- …ලංකාවේ සිටින බෞද්ධ යයි කියන පාලකයන්…එක්කෝ ඕනා නැහැ…
මෙවන් ශෝචනීය තත්වයක් තුල, ඉන්දියාවේ බුදු දහම පැවතුනාදැයි තහවුරු කිරීමට හැකි වූ ප්රධානම හේතුව නම්,ඉන්දියාවේ ඇති විශාලත්වයම වේ. බුදුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු, ඉන්දියාවේ බෞද්ධයන්ට අත්වූ ඉරණමෙන් බිඳක් වත්, සිරිළක බෞද්ධයන් පසුගිය අවුරුදු 2500 තුල අත් විඳ නොමැත. අශෝක ස්තම්භය නොවන්නට, නවීන විද්යා උපක්රම නොවන්නට, බුදු දහම තියා බුදුන් වහන්සේගේ නමත් ඉන්දියානු ඉතිහාසයෙන් අතුගා දමන්නට බ්රාහ්මණිකයන් සමත් වන්නට ඉඩ තිබුනි.
උපුටා ගැනිමකි.

SL Knowledge 


notes of imaginary

Tuesday, December 12, 2023

ගජමන් නෝනා



උපත ක්රි.ව 1746 - විපත ක්රි.ව 1815)
ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙල් පෙරුමාල් කොර්නේලියා උපත ලබන්නේ 1746 වසරේ කොල්ලුපිටියේය. කිවිඳියක ලෙස සහජ දක්ෂතාවයක් පෙන්වූ ඇය කාව්යය නිර්මාණයෙහිලා භාෂා භාවිතයේදී මනා නිපුණතාවයක් දැක්වූවාය.
දොන් ෆ්රැන්සිස්කු සේනාරත්න කුමාර පෙරුමාල් වන ඇගේ පියා ලිපිකරුවකු ලෙස සේවය කළ අතර, ඇගේ මව වන ප්රැන්සිනා ග්රේරු හෙවත් නෝනා බබා හාමිනේ මිලාගිරිය පාසලේ ගුරුවරියක්‌ ලෙස සේවය කළා. මේ දෙපලට ලැබුණු පළමු දරුවා වන දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා උපන්නේ 1746 මාර්තු 10 වැනිදායි. ඇයට බාල සහෝදරියක් සහ සහෝදරයෙක් සිටි අතර පසු කාලයේදී කොර්නේලියා, පියාගේ නමෙන් ගජමන් යන කොටසත් මවගේ නමෙන් නෝනා යන කොටසත් එක්වී ගජමන් නෝනා ලෙස ප්රසිද්ධ වුණා.
මොවුන් කොල්ලුපිටියේ පදිංචිව සිටි අතර කොර්නේලියාට වයස අවුරුදු 13දී පමණ එහි සිට මාතරට පැමිණ ඇත්තේ ඇගේ පියාට මාතර තෝම්බුව භාර නිලධාරී තනතුර ලැබීමෙන් පසුවයි. ඔවුන්ගේ මාතර වේරගම්පිට තුප්පහි වත්තේ නිවසට ආසන්නව පිහිටා ඇති වේරගම්පිට රජමහා විහාරයේ එවකට වැඩ සිටියේ කරතොට ධම්මාරාම ස්වාමීන් වහන්සේයි.
වේරගම්පිට පන්සලේ කරතොට ධර්මාරාම හිමියන්ගෙන් අධ්යාපනය ලැබූ ඇය එකල භික්ෂුවක වූ (ඇලපාත ධම්මරතන) ඇලපාත මුදලි සමග හුවමාරු කරගත් කවි සංවාද ඉතා රසවත් මෙන්ම ප්රචලිතය.

ලමා කාලය ...

කොර්නේලියා කුඩා කාලයේ පටන්ම අකුරු ලිවීමටත්, කවි නිර්මාණයත් ආශා කළා. ඇගේ හැකියාවන් හඳුනාගත් කොර්නේලියාගේ මාමා වන පත්තායමේ ලේකම් පිරිමි දරුවෙකු ලෙස ඇයව වෙස් ගන්වාගෙන කරතොට ධර්මාරාම පණ්ඩිත නාහිමි වෙත රැගෙන යන්නේ ඇගේ කවීත්වය දියුණු කිරීමටයි. ඇය පිරිමි දරුවෙකු මෙන් කොණ්ඩය පැත්තට පීරා සරමක් සහ බැනියමක් ඇඳ වේරගම විහාරයේ නැවතී අධ්යාපනය ලැබුවා.
“පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කළේ”
මෙය වයස අවුරුදු 8දී පමණ ඇය කියූ කවියක් බව සඳහන් වෙනවා.
අධ්යාපන කටයුතු නිම වීමෙන් කාලයක් ගත වූ පසු ඇය දිනක් කරතොට හිමියන් හමුවීමට ගොස් තම අනන්යතාවය හෙළි කර සිටියා. එවන් දෙයක් කිරීමෙන් ඇය මහත් පාපයක් අත් කරගත් බව කරතොට හිමියන් පැවසූ විට තමන් එසේ කළේ කාව්ය නිර්මාණයට තිබූ කැමැත්ත නිසාම බව ගජමන් නෝනා පැහැදිලි කර කරතොට හිමියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
මෙම සිද්ධිය දැනගත් පසු බොහෝ දෙනා කෝපයට පත් වී කරතොට හිමියන් සහ කොරනේලියා සම්බන්ධ කර විවිධ කටකතා ගොතා තිබෙනවා. ඒ අවස්ථාවේදී නොසැලී සිටි කොර්නේලියා කවියක් ලියා සියල්ලටම බෙදා හැරීමෙන් පසු එම කටකතා ක්රමයෙන් තුරන් වූ බව සඳහන් වෙනවා.

හැඩකාර කොර්නේලියා ...

බොස්තරුක්ක හැට්ටය සහ ගවුම් සායකින් සැරසී, ඇට මාලයක් පැළඳ සිටි කොර්නේලියාව අවට වැසියන් ඇමතුවේ නෝනා ලෙසයි. ඇය ඉතාමත් සුන්දර රූපයකට හිමිකම් කියූ බවත් සඳහන් වෙනවා. වයස අවුරුදු 22දී ගාල්ලේ පරකට කවියෙකු වූ තල්පේ මෙරෙංචිගෙයි ගාර්දියෙස් ආරච්චි සමඟ විවාහ වී ඇය ගාල්ලේ තල්පේ ප්රදේශයේ පදිංචියට ගියා. විවාහයෙන් පසු උපන් දරුවාට ඔවුන් ජුවානිස් අල්විස් යන නම තැබුවා. කිසිදු අඩු ලුහුඬුකමකින් තොරව ගලා ගිය ජීවිතයට තිත තබමින් විවාහයෙන් දෙවසරකට පසු කොර්නේලියාගේ සැමියා මිය යනවා. ඉන්පසු පියාගේ ඉල්ලීම මත ඇය නැවතත් මාතර නිවසට පදිංචියට ගියා.

දෙවන විවාහය ...

තම දරුවාද රැක බලාගෙන ජීවත් වූ තරුණ කොර්නේලියා දෙමව්පියන්ගේ පෙරැත්තය නිසා නැවතත් විවාහ වීමට තීරණය කළා. ඇගේ දෙවැනි විවාහය සිදු වුණේ මාතර උයන්වත්තේ පදිංචි දොන් ග්රේබ්රියල් හෙන්ද්රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමඟයි. මෙම විවාහයෙන් ඔවුන් දොන් ගිරිගෝරිස්, දොන් දාවිත් සහ දොන් දියස් නම් දරුවන් තිදෙනෙකු ලබනවා. නමුත් විවාහයෙන් වසර 8කට පසු ඇගේ දෙවන සැමියාත් මිය යන්නේ ගජමන් නෝනා දරුවන් සිව් දෙනෙකු සමඟ මෙලොව තනිකර දමමිනුයි.
මෙම අවාසනාවන්ත සිදුවීම් වලින් හෙම්බත්ව සිටි ගජමන් නෝනාට පිහිටට සිටියේ ඇගේ පියා පමණයි. නමුත් ජනප්රවාද වල සඳහන් පරිදි කසාගල් විහාරයට ගොස් එන අතරමඟදී ගජමන් ආරච්චි වල් අලියෙකුගේ පහර දීමකින් 1801දී පමණ මිය ගොස් තිබෙනවා. ඉන්පසු දැඩි ආර්ථික අඟහිඟකම් වලට මුහුණ දුන් ඇය තම දරුවන් පෝෂණය කළේ උසස් පවුල් වල ගැහැණු ළමුන්ට අධ්යාපනය ලබා දීමෙන් උපයා ගත් මුදලින්. කලකට පසු ඇගේ දරුවන්ගෙන් දෙදෙනෙක් උණ රෝගයකින් පීඩා විඳ මිය ගිය අතර එය සිදුවී ටික කලකින් ඇගේ මවත් මියැදුණා. ඇගේ එක් දරුවෙක් සසුන්ගතව සිටි බවත් ඒ සාමණේරයන් වහන්සේත් අකාලයේ අපවත්ව ඇති බවත් පැවසෙනවා. මෙලෙස ටිකෙන් ටික සිදු වන සමීපතමයන්ගේ වියෝව ඇයට දරාගත නොහැකි තරම් බලවත් වුණා. ඇයට තම දුක නිවා ගන්නට තිබූ මාර්ගයත් කවිය පමණයි.
“සිතට කයට සැපදෙන මව්පියොත් නැත
නිවට කලට සලකන නෑසියොත් නැත
ගැහැට ලෙඩට වෙද පිළියම් කිසිත් නැත
දුකට අපට පිහිටවන්නට කාත් නැත”

නිර්මාණ ...

මාතර යුගයේ කවි කිවිඳියන් අතරින් උගත් කමෙන් සහ කවීත්වයෙන් ඉහළම තැනක සිටි ගජමන් නෝනාට මුහුණ පාන්නට සිදුවූ හැල හැප්පීම් නිසා ඒ හැකියාවන් ඔප් නංවා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇය පසු කාලීනව කවි ලියා ඇත්තේ ඇගේ දරුවන් ජීවත් කරවීමටයි. ඇගේ කවි සමකාලීන නිර්මාණ වලට සාපේක්ෂව උසස් නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කළා. දෙනිපිටියේ නුග රුක වැනුම, පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය, දැඩිතර ශෝක මාලය, මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යැවූ පෙත්සම, සෙව් විකරම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි, තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සන්දේශය, තිලකරත්න දිසානායක ළමාතැනීට කළ පින්කම් වැණුම, ඇලපාත මුදලි සමඟ සිදුවූ කවි සංවාද සහ සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වරුණ ඇයගේ නිර්මාණ කිහිපයක්.

ඇලපාත මුදලි ..

වැන්දඹුවක් ලෙස ජීවත් වූ කාලයේදීත් ගජමන් නෝනා සමඟ පෙම් සබඳතා ඇති කර ගැනීමට ප්රභූවරුන් රැසක් උත්සාහ ගත් අතර ඔවුන් අතරින් ඇලපාත මුදලි සුවිශේෂීයි. කරතොට භික්ෂූන් වහන්සේගේ ශිෂ්ය භික්ෂුවක්ව සිටි ඔහු පසුව උපැවිදිව ක්රිස්තියානි ආගම වැළඳගත්තා. ඔහු ගජමන් නෝනාට තම සිතැඟි කවියෙන් පැවසූ අතර ඇයත් කවියෙන්ම ඒවාට පිළිතුරු දුන්නා. ඔවුන් දෙදෙනාගේ කවි සංවාද මාතර යුගයේ කවිය ඉතාමත් රසවත් කිරීමට දායක වුණා.

නෝනාගම..

ඇය පියාගේ මරණයෙන් පසු ආර්ථික පරිහානියට පත්ව සිටි කාලයේ මාතර අධිකරණ භාර නිලධාරියා ලෙස කටයුතු කළේ ජෝන් ඩොයිලි විසින්.ඔහු ඇගේ කවි ඉතා ප්රිය කළ පුද්ගලයන්ගෙන් කෙනෙක්. තමන් මුහුණ පා ඇති අසීරු තත්ත්වය කවියෙන් පැහැදිලි කළ ගජමන් නෝනා, තමන්ට පිහිටක් වන ලෙස ඩොයිලිගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ඇගේ කවීත්වයට ගරු කිරීමක් ලෙස ඩොයිලි අම්බලන්තොටින් ඇයට ගම්වරයක්‌ ලබා දුන් අතර එම ගම්මානය “නෝනාගම” ලෙස අදටත් ප්රසිද්ධයි. නෝනාගම හන්දියේ ඇගේ පිළිරුවක්ද ඉදිකර තිබෙනවා.
තවද ජෝන් ඩොයිලි දිසාපතිතුමාට ඇයගේ දුක ලියා යවන ලද පෙත්සම, පියාගේ මරණය අරබයා ලියූ කවි පන්තිය, "දෙනිපිටියේ නුග රුක වැනුම", ඇයගේ නිර්මාණ අතරින් කීපයකි.

මරණය...

ගජමන් නෝනා 1815 දෙසැම්බර් මස 15 වැනිදා මියගිය බව සඳහන් වෙනවා. ඇය මිය ගියේ දුක් පීඩා දරාගත නොහැකිව ගෙල කපාගෙන යැයිද ඇතැමුන් පවසනවා. එය සත්යයක් නොවන බව තවත් කෙනෙකුගේ පිළිගැනීමයි.
“සකවසිනෙක් දහස් සත්සිය සතිස් වස
වකලද තෙළෙස් උඳුවප් අවගුරු දවස
නෙක ගුණ දෝන ඉසබෙල් පෙරුමල් දිගැස
සකපුර පැමිණ දිවසිරි සැප විඳින ලෙස”
මෙය ඇය මිය යන්නට පෙර මරණය හඟවමින් ලියූ කවියකි.
සිංහල සාහිත්යයට කවියෙන් අනූපම දායකත්වයක් දැක්වූ ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා නම් කිවිවරිය 1814. 12. 15 දා දිවියෙන් සමුගත්තාය.

දෙනිපිටියේ නුගරුක වැනුම

පිනවන දුටු දන සෑම - ගඟ ළඟ පිහිටි කදිම
තුරු පෙල අවට සැදීම - යුත් සෙවනැල්
ගණ මේ කුලෙව් දිලීම - විහඟුන් මත රැව් දීම
සුළඟින් පත් ලෙල දීම - ඇති හැම කල්
යන එන අය සැප සේම - එහි හිඳ ගිම් සැනසීම
දස අත අතු විහිදීම - ගිමෙන විසල්
දෙනිපිටියටම ඉතාම - වටිනා මහ නුග දුම
බල එක් එහි සිතු සේම - නිලඹර දුල්
සැම වර දන මන නන්ද - පලබර පුලුපු උයන් ද
නෙක වතු කුඹුරුවලින් ද - සැදි දෙපසේ
පෙම කරවන නිතියෙන් ද - සල්පිල් සහ
ගෙවලින් ද
එහි සරණා මැති සෙන්ද - සැණකෙළි සේ
කවියන් වඩු සිතියන් ද - දැනගත් සිපි ඇදුරන් ද
සැදි දෙණිපිටිය නමින් ද - යුත් පියසේ
නුගතුර තුනු රුසිරෙන් ද - පළ කර සකි දේවින්ද
පරසතු රුක විලසින් ද - නිබඳ දිසේ
සගා
(පොත්පත් ඇසුරෙනි)
උපුටා ගැනීම​

notes of imaginary