Sunday, November 19, 2023

ඛෙදවාචකයක්.











පාපියුම්..මග හැරුණේ ඇයි ....??


 

ලතා මඬුලු තුරු සෙවණැළි අතරින්
සන්සුන් ගමනින් හිමි වඩිනා සඳ
මාවත රලු තැන් මොළොක් වුණාවද
සිරි පතුලට වෙහෙසක් දැනුණාවද ?
පා ගමනින් වඩිනා සඳ හිමියනි
නො දුටුවේ ද දුක දෝත දරා ආ
සැඩොල් කුලේ ඉපදී සිටි මා රුව
හිස ඔසොවන්නට අවසර නැති වූ...
මාගන්දිය බමුණා දුටු අරුමැසි
පතුල් සටහනක් දුටුවා නම් මම
ගැබක් තුළ ට රිංගන්නේ නෑ යළි
හිමි පා පියුමේ සුවය ලබනු මිස.
සල්මල් සුවඳින් පරසතු කුසුමින්
සිරි පා පියුමේ රොන් සුණු තැවරී
මහ කරුණාවෙන් හිමි නෙත වැසුණේ
හිමියනි ඔබ ....මා නොදුටු නිසයි.
රෝ.සි

notes of imaginary

Saturday, November 18, 2023

නානත්ථ සංඥා








 

දහසක් දෙන නිති යන එන
මාවත අයිනෙහි වැජඹුන
වනස්පතියකිය දුටු දන
පිනවන විශ්මය දනවන
සිප් හල වෙත යනෙන අතර
සිසුවන් පැතු පලෙහි මිහිර
කුහක අයෙකු මුවින් මැතිර
පලැති රුකකි ගසමි මුගුර
වඩුවෙක් ගස ළඟ නැවතී
වට අඩි මනසින් මනිතී
දොර උලුවහු ජනෙල් ඇතී
නිවෙස් හත අටක් හැදෙතී
පරිසරවේදියෙක් මෙදැක
සිතුවේ මෙය හරි පුදුමෙක
විදුලි කියත් නොදුටුව එක
දිවි හිමියෙන් ගමි ගස රැක
මෝලේ හිමිකරු දෑහේ
රුපියල් මල් වැහි වෑහේ
හැම අතු අඟලක් පාහේ
ලොරි දෙක තුනකට සෑහේ
තම විමනින් බැස වඩිනා
රුක් දෙවියකු ඇස ගැටුනා
කදිමයි විසුමට මෙතැනා
සිතුවිල්ලකි පැන නැඟෙනා
තරුණ ලියක් මල් වයසේ
පසුකර ගියෙමුත් බොහොසේ
හැගුමක් නොදැනුනි වෙසෙසේ
සිතිවිලි විය දුර අහසේ
පී. ජී. ආරියපාල

notes of imaginary

Friday, November 17, 2023

මම උණුහුම්ම ප්‍රේමයෙනි


ගොරබිරුම් සද්ද මා වටකර
වියළි කර්කෂ සුළඟ හා සතුරුව
ඉරිතැලුන දිය සිඳුන පොළොවක
මියෙන්නට මට ඇවැසි නැත
තවම මම හරිත පැහැයෙනි
ඉතින්
එක ප්රේමණීයම වැළදගැනීමක් මට ඇවැසිය
අවනීතිය එතෙනවිට ගෙලෙහි රුවිතෙට
සිහිනය මේ රඟන්නේ ගිලිහෙනු පිණිසය
රහසින්වත් කළ නොහැකි විට රමණය
ප්රේමය රැගෙනවිත් අර අතන මරණය
මියෙන්නට මට ඇවැසි නැත
තවම මම උණුහුම්ම ප්රේමයෙනි
ඉතින්
එක ප්රේමණීයම වැළදගැනීමක් මට ඇවැසිය
වනන විට නගුට බොහොම වෙිගෙට
නැමෙනවිට කොන්ද බිමට ගෑවෙන තරමට
රඟන හැටි බලන් මොනරකොළ ඕසෙට
බිඳෙනවලු සැණින් රජමැදුරු දොරගුල
නැමෙන්නැති පිටකොන්ද
වනන්නට නගුට කොහිවෙද
මහත්හොරුනි
තුවක්කුවේ ඔය සිදුර කුමකට
විසල් පපුවකට උණ්ඩයක් වුව මිතුරුය
මියෙන්නට මට ඇවැසි නැත
මේ හුස්ම වුව තවම උණුහුම්ය
ඉතින් ප්රේමණීයම වැළදගැනීමක් මට ඇවැසිය
......මම හරිිත පැහැයෙනි .....


notes of imaginary

Thursday, November 16, 2023

එකෙක් වත් කුඩයක් දුන්නේ නෑ .



කමල් මහත්තයා දකින දේවල්  ලියන කොට බලන්න  ආසයි. මේ කතාව ඉවර වෙන කොට සැදැහැත්බවේ සීමාවත්, තැනට සුදුසු නුවනත්  ඇදිලා තිබුනා.

මුණු පොතට කමල් පී අලහකෝන් මහත්තයා එක් කරලා තිබුන මේ වියමන කියවමුකෝ.

අපෙ සාලියගුණවර්ධන මහත්තයා ගෙ පාට පාට කුඩේ නැති වී ඇත.
එතුමා එය ප්රකාශ කළ ආකාරයයි මෙි.
කවියෙකු ලෙස සතතාභ්යාසයේ යෙදීමේ පලය විසින්
මෙම පුවතද උත්ප්රාසය දනවන අයුරින් ඉදිරිපත් කර ඇති ආකාරය මරු ය.
"මට කළ මෙහෙය ඔහුටද කරනු ඇත" අදහසෙහිදී
"ඔහු අතිනුත් කුඩය නැති වේවා!" යන්නද තිබේ.!
"වැහි,කාලයට කුඩ නැති වීම සාමාන්යය ය.
අපේ,වාඩියේ,කුඩයක්,ඇත.
එය කාගේදැයි තවමත් නොදන්නෙමු.
මේ අපේ තවත් මිතුයෙක්ගේ,අත්දැකීමකි.
එදා උදේ බිරිඳ කුඩේ දුන්නේ,
"මතක ඇතිව මේකවත්,ආපහු අරං එනවා!" කියමිනි.
නමුත් කුඩේ,අමතක විය.
බස්සෙකෙන්,බැස ගෙදරට යත්දී වැස්සා වූ වැස්ස නිසා
උදේ බිරිඳ ගේ අනතුරු,ඇගවීම මතක් විය.
දැන් ඉතින්,ගෝරනාඩුව අනිවාර්ය ය.
මිත්රයා කළේ මේක ය.
ඇය හොඳ ආගම්,භක්තිය ඇත්තියකි.
ගෙට ගොඩ වෙන ගමන් හේ,
"හරි අපූරු බෞද්ධයෝ තමයි. මෙහෙ ඉන්නෙ........!"
විස්සෝපයෙන් යුතුව කීවේ ය.
"ඇයි මොකද වෙලා තියෙන්නෙ?" බිරිඳ ඇසුවා ය.
"නෑ හාමුදුරු නමක් පට්ට වැස්සෙ තෙමි තෙමි වඩිනවා!"
"ඉතිං ?"
"ඉතිං....එකෙක්වත් කුඩයක් දුන්නෑ නෙ ?"
"ඉතිං?"
"මම ඔයාගෙ කුඩේ උන්නාන්සෙට පූජා කළා!"

notes of imaginary

Wednesday, November 15, 2023

ගොඩ එන්න පුළුවන්..


දවසක් ගොවිපළක හිටපු බූරුවෙක් ගොවිපළේම තිබුණු තරමක් ගැඹුරු ළිඳකට වැටෙනවා... මේ සතා ගොඩට එන්න බැරුව පැය ගණනක් තිස්සේ හයියෙන් කෑගහනවා... මේක ඇහුණු ගොවිපළ අයිතිකාරයා දුවගෙන එනවා... පැය ගාණක් ඔහුත් මේ සතාව ගොඩට ගන්න දන්න හැම උත්සාහයක්ම ගන්නවා... ඒත් වැඩක් වෙන්නේ නෑ...

අන්තිමේදී ගොවියා තීරණයකට එනවා...
දැන් බූරුවාත් වයසට ගිහිල්ලයි ඉන්නේ... ඌගෙන් හරියට වැඩක් ගන්නවත් බෑ... ඒ වගේම තමයි මේ ළිඳත්... මේකෙත් දැන් වතුර හිඳිලා, වියළීලා ගිහිල්ලයි තියෙන්නේ... කරන්න දෙයක් නෑ... බූරුවා ඇතුළේ ඉද්දිම පස් දාලා මම මේ ළිඳ වහලා දානවා... ඇත්තටම බූරුවා ළිඳෙන් එළියට ඇදලා ගන්න වියදම් කරන එකෙයි, ඒකට මහන්සි වෙන එකෙයි තේරුමක් නෑ...
ඔහු ගමේ මිතුරන් කීප දෙනෙකුට විස්තරේ කියලා ළිද ගොඩ කරන්න ඔවුන්ගෙන් උදව් ඉල්ලනවා... ඔවුන් පැමිණ සවල් වළින් වටේ තිබෙන කුණුරොඩු, පස් අරගෙන ළිඳට දාලා ළිඳ ගොඩ කරන්න පටන් ගන්නවා...
දැන් ළිඳ ඇතුලේ ඉන්න බූරුවාට මේ සිද්ධවෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඇතුලේ ඉඳන් මහ හයියෙන් දරුණු විදියට කෑගහන්න පටන් ගන්නවා... කට්ටිය දුකෙන් උනත් වෙන කරන්න දෙයක් නැති නිසා, බූරුවාගේ සද්දෙත් ඉවසගෙන දිගටම ළිඳ කුණු සහ පස්වලින් පුරවන්න පටන් ගන්නවා... ටික වෙලාවකින් හැමෝම පුදුමයට පත් කරමින් මේ කෑගහපු බූරුවා නිහඬ වෙනවා... බුරුවා යටවෙලා මැරෙන්න ඇති කියලා හිතන මේ කට්ටිය ළිඳ දිහා බලන්නෙවත් නැතුව, ඒ ගැන තැකීමක් නොකර දිගටම ළිඳ වහන්න පටන් ගන්නවා...
දැන් මෙහෙම සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ළිඳ සෑහෙන ප්රමාණයක් ගොඩවෙලා තිබෙන බව ගොවියාට තේරෙනවා...
ඔහු ළිඳ අසළට ගිහින් බලනවා... කට ළඟටම පිරුණු ළිඳ ඇතුලේ දුටු දෙයින් ගොවියා පුදුමයට පත්වෙනවා...
මෙතරම් කාලයක් නිෂ්ශබ්දතාවයකින් හිටපු බූරුවා පිරුණු කුණු සහ පස් මතින් ළිඳේ කට ළඟටම ළඟාවෙලා හිටපු විදිය දැකපු සියළුම දෙනා පුදුමයට පත්වෙනවා...
මොලේ නැති බුරුවා කියලා කවුරු කිව්වත්, අවශ්යම වෙලාවේදී තමන්ගේ ජීවිතේ බේරගන්න මේ සතා මොලේ පාවිච්චි කරපු විදිය හරි අපූරුයි නේද..? මානසිකව වැටිලා ඉන්නකොට අපි හිතන්න ඕනී, ජීවිතය කියන්නේ හැම වෙලාවේම විවිධ වර්ගවල අපිරිසිදු කුණු එකතුවෙන තැනක්... කුණු නිසා එකතුවෙන අපේ හැම ප්රශ්ණයකින්ම අපි එක පියවරක් හරි උඩට එන්න ඕනි... එහෙම කරන ගමන් අපි අපේ ජීවිතය අත් නොහැර උඩටම ආවොත් අපිට අපි සිටින ගැඹුරුම තැනින් කොහොමහරි ගොඩ එන්න පුළුවන්...
- ධම්මික සමරතුංග -

notes of imaginary

Tuesday, November 14, 2023

රාජාලි න්‍යාය.



අයවැය කතා ඉදිරිපත් වෙයි. මේවා  සුරංගනා කතාවන්  ද ? යැයි සිතන තරමට සුන්දරවේ. කල හැකිදේ වලින් සහ  නොකල හැකිදේ වලින්ද  මේ කතා පිරී තිබේ. පාර්ලිමේන්තුවේ නොයෙක් මාදිලියේ කතා කියවමින් කාලය නාස්ති කර අන්තිමේදී වැඩි පිරිසක් පක‍‍්ෂවද ඊට වා අඩු පිරිසක්  විපක්‍ෂවද ඡන්දය භාවිතයෙන් සම්මතවේ.

මෙය පාර්ලිමේන්තුව ඇතිවු දා සිට සිදුවන්නකි. 

මේ කතාව රාජාලියා සහ කපුටා ගැනය. රාජාලියා හා සටන් කිරීමට කපුටා  බිය නොවේ. 225ත් රාජාලියන් වගේයයි මීදුමට සිතේ . වෘත්තීය සමිති විකල්ප සංවිධාන  කපුටන් ගනයට පත්ව තිබේ.

 රාජාලියාට සුවිසල්  පියාපත් තිබේ. තියුණු දෙනෙතකි. හොටය මුවහත්ය. සිරුර ශක්තිමත්ය. ඌ ඉහල අහසේ නිදහසේ පියාසර කරයි.  මේ තේජාන්විත කුරුල්ලාට සටනක් දීමට  , කපුටා ඔහු තමා ගැන තබා ගෙන ඇති අධිතක්සේරු මානසිකත්‍වය නිසාවෙන් ඉදිරිපත්වේ.

කපුටා රාජාලියාගේ  පිට මතට පියාසර කර ලැගුම් ගනී. පිට මත ඉඳගෙන බෙල්ලට කොටමින් ප්‍රහාර එල්ල කරයි.

රාජාලියා ප්‍රතිචාර නොදක්වයි. ඔහු නිදහසේ අහසේ ඉහලට පියාසර කරයි. ඔහුගේ ඉලක්කය අහසේ ඉහලට පියාසර කිරීමයි. ඔහු කපුටා සමඟ සටන් නොකරයි, ඒ සදහා කාලය හෝ ශ්‍රමය නාස්ති නොකරයි. අහසේ තව තවත් ඉහලට පියාසර කරයි.

කපුටාද සටන අත්නොහැර පියාපත් මත ඉදගෙන රාජාලියාට හිරිහැර කරයි. අහසේ ඉහලට යන්න යන්න ඔක්සිජන් හිගවේ. කපුටාට හුස්ම ගන්න අපහසුවේ.  ඔක්සිජන් නොමැතිකම නිසා කපුටා අඩපනවේ. ඉහල අහසේ තමන් පාලන කර ගත නොහැකිව රාජාලියා හා කරන සටන නවතී කපුටා රාජාලියාගේ පිටමතින්  ඇද වැටේ.


notes of imaginary

Monday, November 13, 2023

අපි අමුතු මිනිස්සු

මුතු ඇටයක ඉපදීලා
සාගරයෙන් වටවීලා
ඒරොප්පෙන් , සැමන් ගේන
පුදුම මිනිස්සු..
පුදුමයි වාගේ පෙනුනට, අමුතු මිනිස්සු..☹️
ඔසරිය මැද පෙනෙන බඩම
ඩෙනිම මැදින් පෙන්නනකොට
සදාචාරෙ ඔලුවට ගෙන
බනින මිනිස්සු..
වෙලාවකට පුදුමයි, අපි අමුතු මිනිස්සු ☹️
තමන්ගෙ රෙදි ගැලවෙද්දිත්
හෙළුව අතින් වහගෙන හරි
අනුන්ගෙ රෙද්දේ ඇද කුද
හොයන මිනිස්සු..
වෙලාවකට හිනා යනවා, මෙහෙම මිනිස්සු ☹️
ටයි පොල්ලෙන් බෙන්ස් එකෙන්,
ටැටූ එකෙන් කලර් එකෙන්
මිනිස්සුන්ට සහතික දෙන
අමුතු මිනිස්සු..
නිධානයක නිදන් ඉන්න , අරුම මිනිස්සු ☹️
රයිස් කොත්තු උඩ නැගගෙන
කෝක්‌ බෝතලෙන් සැනහෙන
බෙහෙත් පෙත්තෙ,Side effect
හොයන මිනිස්සු..
දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු☹️
හොඳම කඩෙන් රෙදි ඇඳගෙන
හොඳම quality බඩු අරගෙන
හොඳම හොරුන් දියවන්නා
යවපු මිනිස්සු..
ඊට පස්සේ රට ඉවරයි , කියන මිනිස්සු ☹️
අනේ මන්දා අපි නම් මහ පුදුම මිනිස්සු..
මුතු ඇටයේ ඉපදුන , අපි අමුතු මිනිස්සු 😔
අයුුලි නුගාරා - FB


notes of imaginary

Sunday, November 12, 2023

සමාවෙනවද චන්දරේ...

පන්තියේ හැමදාම පළවෙනි
පුටුව මං වෙන් කරගෙන...
දිනෙන් දින හැඩ වෙච්ච රූපෙන්
ඔලුව ඉදිමුනෙ නොදැනිම...
පාරෙ යද්දිත් ගියේ අඩියක්
දෙකක් උඩිනුයි නිතරම...
පොළවෙ උන් අය දැක්කේ නෑ
ඇස් වැහිල තිබු හින්දා මම..
මග තොටේදී ආපු ඇරයුම්
නිමක් නෑ හැඩ හින්දම...
අඳුර ගන්නට එදා බැරිවුන
ලෙංගතුම වූ සෙනෙහස...
කාර් එකටයි සල්ලි වලටයි
ආදරේ කල හින්දම...
සැතපෙන්න උනෙ කඳුළු අතුරා
සයනයේ හැම රෑකම...
දරාගන්නට බැරුව ගුටිබැට
කොට්ටෙ පෙඟුනා කරුවලේ...
නිතර ඉදිමුනු ඇස් වලින් රුව
ගිලිහුනා නොදැනිම වගේ...
තෙල් ගාන්නත් බැරිම තරමට
තැලුම් ඇති හින්දා ඇඟේ...
බරකලා මං ඇඟෙ බර ඒ
බාල්කේ ලනුවේ කොනේ...
පෝස් මෝඩම් අරව මේවා
කපල කොටලා හැමතැනින්...
දුන්න ගෙල සිරවෙලා කියලා
තීන්දුවකුත් තේජසින්...
මල් සැලේ මගෙ මිනිය අතගා
වැටුන උණු කඳුලක බරින්...
අතීතයෙ එක් දිනක් මතකෙට
ආව වෙඩි සැරයක් ලෙසින්...
තාම මතකයි පන්තියේ අග
පේලියේ උන් චන්දරේ...
ආදරෙයි මට කිව්ව රහසින්
කවුරුවත් නැති වෙලාවේ...
රවා එදවස කනට ගැහුවේ
බකල හින්දා චන්දරේ...
කරපු වරදට සමා වෙනවද
අවසාන මොහොතෙදි මගේ...
දැනුන හදතුල තිබ්බ සෙනෙහස
නලල සිපගත් තත්පරේ..
රූපයෙන් මං අන්ධ වුණ මට
සමාවෙනවද චන්දරේ...
දැනුනනම් ඔය ආදරේ බර
දාල යන්නෑ ජීවිතේ...
සසරෙ දවසක් ආයි ලැබුනොත්
ඉඹිනවද නලලත මගේ ?
2023.11.11

notes of imaginary

Saturday, November 11, 2023

සබද ඔහු කන්දකි.





පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ මහත්තයා සහභාගි වුණු සංගීත ප්රසංගයක් පැවැත්වුණා.
ප්රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ එතැනට ගියා.
“මොකද්ද ප්රශ්නෙ..?“ කපුගේ අහනවා.
“නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් වලටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“
ප්රසංගය සංවිධානය කළ පුද්ගලයා හෙමිහිට කපුගේට කියනවා.
“හරි දැන් ඔය තියෙන සල්ලි වලින් ඒ ගණුදෙනුව පියවන්න පුළුවන් ද..?“ කපුගේ අහනවා.
“ඔව් සර්. ඒත් එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා.“ සංවිධායක ආයෙත් කිව්වා.
“ඒකට කමක් නෑ. වාදක මණ්ඩලයටයි සවුන්ඩ්ස්වලටයි ගෙවලා, ඒක දැන් ඉවරයක් කරන්න.“ කපුගේ කියනවා.
“එහෙමනම් සර් මට හෙට දවස දෙන්න. දවල් දොළහට කලින් මම රජරට සේවයට ඇවිත් සර්ගෙ සල්ලි බේරන්නම්“
සංවිධායකතුමා බොහොම යටහත්ව කියනවා.
කපුගේ නිශ්ශබ්දව එතැනින් නික්මුනා. පසුව ඔහුට ඇරෙන්න අනෙක් අයගේ ගණුදෙනු බේරනවා. කපුගේ රාත්රියේම වාහනයෙන් අනුරාධපුරයට එනවා.
පහුවෙනිදා උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරේ ස්වර ප්රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් දොළහට විතර දෙන්නෙක් ඔහුව හමුවන්න කාර්යාලයට ඇවිත් කපුගේ ඉන්න කාමරයට ආවා.
කපුගේ ලියමින් සිටි ස්වර ප්රස්ථාර කොලයෙන් දෑස් මෑත්කොට හිස එසෙව්වා.
“එන්න ඇතුළට“ කපුගේ පුටුවෙ හරිබරි ගැහුණා.
ප්රසංග සංවිධානය කළ අමරසිංහයි තවත් කෙනෙකුයි ඇවිත්.
“සර් පරක්කු වුණාට සමාවෙන්න. සර්ගෙ සල්ලි දීලායන්න ආවේ.“ සංවිධායකතුමා බොහොම හිමිහිට කියනවා.
කපුගේ කිසිවක් නොකියා හිනාවුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ඔහු දෝතින්ම කපුගේට දෙනවා.
කපුගේ එම මුදල් මේසය මත තියෙනවා. ඔහුගේ නෙත් යොමුවී තිබුණේ මුදල් නෝට්ටු දෙස නොවේ. සවිධායක අමරසිංහ මුදල් සාක්කුවෙන් එළියට අදින විට ඒ සමඟ එළියට ආ කඩදාසිය වෙතයි. එම කඩදාසිය කඩිනමින් ආපසු සාක්කුවටම දාගන්න අයුරුත් කපුගේ දැක්කා.
“කොහෙන්ද හදිසියේ අද උදේම සල්ලි හොයා ගත්තේ..?“
කපුගේ අහනවා.
අමරසිංහ කිසිවක් නොකියා තම මිතුරා දෙස බලනවා. මිතුරා බිම බලා ගත්තා.!
“කොහොමද සල්ලි හොයා ගත්තේ..?“ කපුගේ නැවත අහනවා.
අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා.
“නෑ සර්. අපි උදේම බැංකුවට ඇවිත් පොඩි බඩුවක් උකස් තියලා සල්ලි ගත්තා. ප්රශ්නයක් නෑ සර්.“ මිතුරා සෙමින් උත්තර දෙනවා.
“කෝ ඔය සාක්කුවෙ දාගත්ත රිසිට් එක මෙහාට දෙන්න.“
කපුගේ අත දිගු කරනවා.
අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා.
ඒත් ඊට කලින් කපුගේ ආපහු කතා කරනවා.
“ඕක මෙහාට දෙන්න“ කපුගේ අත දිගුකර ගත්ත ගමන්.
අකමැත්තෙන් වුණත් අමරසිංහ රසිට්පත කපුගේගෙ අතේ තබනවා. ඔහු එය දිගහැර බලනවා.
“වළල්ලක්නෙ තියලා තියෙන්නෙ. කාගෙද වළල්ල..?“ කපුගේ අහනවා.
“ලොකු දුවගෙ වළල්ල සර්. ප්රශ්නයක් නෑ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේරගන්න පුළුවන්. රත්තරන් බඩු තියෙන්නෙ මේ වගේ හදිසියකට බැංකුවට තියන්නනෙ සර්.“ අමරසිංහ කියනවා.
“වළලු තියෙන්නෙ බැංකුවල තියෙන්න නොවෙයි මනුස්සයො, අතේ දාන්න. “ මේසෙ උඩ තියෙන මේ මුදල් ටිකයි බැංකු රිසිට් පතයි අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා.
“නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.“ අමරසිංහ නැවත කියනවා.
“දැන්ම ආපහු ගිහින් මේ සල්ලි බැංකුවට බැඳලා වළල්ල අරන් ගිහින් දුවගෙ අතේ දානවා. ගොයම් කැපුවාම මට සල්ලි ගෙනත් දෙන්න.“. එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්රස්ථාර කොළ අතට අරන් මොනව දෝ ලියනවා.
“සර්...“ අමරසිංහ නැවත මොනව දෝ කියන්න උත්සාහ කරනවා.
“හරි හරි දැන් ගිහින් මම කිව්ව දේ කරන්න. මට වැඩ තියෙනවා. දැන්ම යන්න බැංකුව වහන්න කලින්.“ කපුගේ ප්රස්ථාර කොළ දිහා බලාගෙන එහෙම කියනවා.
මුදල් නෝට්ටු කිහිපයත් බැංකු උකස් රිසිට් පතත් අතේ ගුලි කර ගත්ත අමරසිංහ මිතුරාත් එක්ක කාමරයෙන් පිට වෙනවා.
“මේ වගේ මිනිස්සු රටේ ඉන්නවද..?“ මිතුරා අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නෙ නෑ..!
ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා.
ඒ බර, මේ සටහන කියවන ඔබටත් දැනෙයි. ඒක පුදුමයක් නෙවෙයි. 😐
" සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන - සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන..."
Credits Due to the Original Writer.


notes of imaginary

Friday, November 10, 2023

කාලගෝලගෙන් දික්තලාට .....














දික්තලා මේ සසර මහ ඕඝයක්
නංගියේ නෑ මගේ කිසි කහටක්
කැලේ මැද සෙනසුනේ සිටි හිමිනමක්
මතක නොවැ කියපු බණ කතාවක්.
උඹෙ නුරා ගිනි නිවනු බෑ තවත්
දික්පිටිය මගේ හොඳ ගෝලයෙක්
අරං පලයන් මහගෙදර මේ ඔප්පුවත්
දෑවැද්ද කියල වෙන නෑ දෙයක්.
නඩු කියන්නේ මොටද කැමති නම්
අඩුපාඩුවක් වෙතොත් ඉවසපන්
අතාරින්නට සසර බැඳි යදම්
අවසරයි මට යන්න දැන් ඉතින්.!
රෝ.සි.


notes of imaginary