Saturday, October 14, 2023

දුකට කියන කවි














ගොම්මන් පාළුවේ පිල්කඩ උඩින් හිඳ
සන්සුන් වෙන්න හැදුවත් කොච්චරක් අද
හොල්මන් කරන බියකරු සිතුවිළි නිබඳ
සැනසෙන්නට නො හැක හිමියනිනො දැක බිඳ
වැවේ මායිමේ තනියා දුටුවාද
රැලේ ගමන් යන නපුරන් හමුවීද
උදේ කාපු කුරහන් රොටි විතරමද
මගේ හිතට සැක සංකා නැතුවා ද .
රෑ බෝවන්ට පෙර එන බව කිව්වාට
වෑ කන්දේ කරුවල ඇවිදින් පිලට
කණාමැදිරි එළි දෙවැටේ නටන කොට
උල ලේනියක් අඬනව ඇහෙනව දුරට .
පොඩි පුතු කුසේ හිඳ දඟලා පහර ගසයි.
වැදුම් ගෙයට හෙට පුරහඳ ඒවි වගෙයි
අලිමංකඩේ තනියා ගැන හිතට බයයි
හිමි ඔබ තවම නැති හින්දා ම’සිත තැවෙයි .
සංහිඳ පාමුලේ දෙවියන් සිටින තුරා
රන්කඳ මගේ රැකදීපන් සමා වෙලා
තනියෝ මංකඩ දි මගෙ හිමි ඇහැ ගැහිලා
හදියක් නො කර පලයන් පුතු ගැන හිතලා .
රෝ.සි.

notes of imaginary

Friday, October 13, 2023

සිතන්නට යොමු කරමු.


එක දවසක් ගුරුවරියක් තමන්ගෙ පන්තියේ ශිෂ්යන්ට කිව්වා කොළයක් අරන් පන්තියේ ඉන්න අනිත් යාළුවන්ගෙ නම් ඒ කොළේ ලියන්න කියලා. ලියන හැම නමක් අතරෙම එක රූලක් ඉඩ තියන්න කියලා ඇය දිගටම එයාලට මතක් කරා. ඊටපස්සෙ ඇය කිව්වා ඒ එක එක නමට යටින්, ඒ කෙනාගෙ දැකලා තියෙන ලස්සනම ගතිගුණය ලියන්න කියලා. පීරියඩ් එකේ ඉතුරු වෙලාව ගත වුණා හැමෝටම ගතිගුණ ටික ලියන්න. පීරියඩ් එක අවසානයේ ඇය ඒ කොළ ටිකත් එකතු කරන් පන්තියෙන් පිටත්වෙලා ගියා.
ඒ සතියේ අග එළැඹුණු සෙනසුරාදාවේ මේ ගුරුතුමිය හැම ශිෂ්යයෙක්ගෙම නමින් එක කොළයක් බැගින් වෙන් කරලා, ඒ හැම කොළයකම, මුළු පන්තියෙම දරුවො ඒ කෙනා ගැන ලියලා තිබ්බ ලස්සන ගතිගුණ ලැයිස්තුව ලිව්වා. පන්තියේ හැම ළමයෙක්ගෙම නමින් කොළයක් නිර්මාණය වෙලා අවසන් වුණා සති අන්තය අවසන් වෙද්දි. සඳුදා පන්තියට ගිහින් ඇය එක එක දරුවට, එයාට අදාළ වුණු කොළේ අතට දුන්නා. වැඩි වෙලා යන්න කළින් මුළු පන්තියමෙ, හැම ළමයෙක්ගෙම මූණුවල හිනාවක් ඇඳෙන්න පටන් ගත්තා. ගුරුතුමීට ඇහුණා එක්කෙනෙක් මුමුණනවා,
"ඇහ්..ඇත්තටම? මම දැනන් හිටියෙ නැහැ මගෙන් කාටවත් වැඩක් තියෙනවා කියලා"
ආයෙත් ඇයට ඇහුණා තව කෙනෙක් කියනවා " මම හිතුවෙ මටනම් කවුරුත් කැමති නැහැ කියලයි"
පන්තිය පුරාම තිබ්බේ ඒ වගේ පොඩි පොඩි අදහස්. කෙඳිරීම්...
ඉන්පස්සෙ කිසිම දවසක්, කිසි කෙනෙක් ඒ කොළේ ගැන කවදාවත් කතා කරේ නැහැ. අඩුමගාණේ පන්තියෙන් පස්සෙ හෝ දෙමාපියො එක්ක හෝ කිසිම විශේෂ දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒත් ඒ කොළය විසින් කලයුතුව තිබූ කාර්යය සිද්ධ වෙලා තිබ්බා. හැම ශිෂ්යයෙක්ම තමන් එක්කත්, අන් අය ගැනත් සතුටට පත්වෙලයි හිටියෙ. ඒ ශිෂ්යයො කණ්ඩායම ඒ පන්තියෙන් ඉවත් වෙලා ඊළඟ පන්තියට ගියා. කිසිම අමුතු යමක් වුණේ නැහැ.
අවුරුදු කිහිපයකට පස්සෙ වියට්නාමයේදී ඒ ශිෂ්යන් අතරින් කෙනෙක්ව හිටපු, පසුකාලීනව සොල්දාදුවෙක් වුණු මාර්ක් මිය ගියා. මේ ගුරුතුමියත් ඒ අවමංගල්ය උත්සවයට සහභාගී වුණා. ඇය ඇගේ මේ විශාල ජීවිතයේ කිසිදාක එතරම් ලස්සන මෘත දේහයක් දැකලා තිබ්බෙ නැහැ. මාර්ක් ඉතාම කඩවසම්ව, පරිණත පෙනුමක් සහිතව ශාන්තව වැතිරිලා හිටියා. පල්ලිය පිරෙන්න මාර්ක්ගෙ මිතුරො පිරිලා හිටියා. හැම කෙනෙක්ම නිසල සිරුරු ළඟට ඇවිත් තමන්ගේ අවසන් ගෞරවයත්, ආශිර්වාදයත් ලබා දෙමින් හිටියා. අවසාන කෙනා වුණේ මේ ගුරුතුමිය. ඇය මාර්ක්ගෙ ළඟ හිටගෙන ඔහු දිහා බලාගෙන ඉද්දි, මාර්ක්ගේ අවමංගල්ය උත්සවයට සහභාගී වුණු හමුදා නිළධාරීන් අතර ප්රධානියා ඇයගෙ සමීපයට ඇවිත් "ඔයාද මාර්ක්ගෙ ගණිත ගුරුතුමිය?" කියලා ඇහුවා.
"ඔව්" ඇය උත්තර දුන්නා.
"ඕහ්! මාර්ක් ඔයා ගැන නිතරම කතා කරා" ඔහු ප්රශ්නයක් හෝ උත්තරයක් නොවන විදිහට කියලා යන්න ගියා.
පල්ලියේ චාරිත්රවලින් පස්සෙ හැමෝම කුඩා ආපනශාලාවකට එකතු වුණා මාර්ක්ගෙ දෙමාපියන් එක්කම. මාර්ක්ගෙ දෙමාපියන් බලාගෙන හිටියා ගුරුතුමිය එක්ක කතා කරන්න.
"අපිට ඔයාට යමක් පෙන්නන්න ඕනේ" තමන්ගෙ සාක්කුවෙන් පසුම්බියක් එළියට ගන්න ගමන් මාර්ක්ගෙ තාත්තා කිව්වා.
"මාර්ක් මියගියාට පස්සෙ එයාලා මාර්ක්ගෙ ළඟ තිබිලා මේක හොයාගත්තා. අපි හිතුවා ඔයා මේක අඳුරගනී කියලා"
ඔහු කිව්වෙ අතටම දියවුණු පෙණුමක් තියෙන කොළ දෙකක් පෙන්නමින්. ඒ කොළ දෙක ඉතා විශාල වාර ගණනක් නවපු සහ දිග ඇරපු බව පේන්න තිබුණා. ඒ කොළ දැකපු ගමන් ගුරුතුමිය දැනගත්තා ඒ තිබ්බේ මාර්ක් ගැන එයාගෙ පන්තියේ අනිත් අය කිව්ව සේරම හොඳ ඇතුළත් කරලා එයා ලිව්ව කොළ දෙක තමයි ඒ කියලා.
"ඔයා ඒක කරාට ගොඩාක් ස්තූතියි. මාර්ක් හුඟාක් අගය කරා ඒක. එයා හුඟාක් පරිස්සම් කරා මේ කොළ දෙක" මාර්ක්ගෙ අම්මා හෙමින් කිව්වා.
මාර්ක්ගෙ පන්තියේ හිටපු පරණ යාළුවෝ හැමෝම මේ වෙද්දි ගුරුතුමිය සහ මාර්ක්ගෙ දෙමාපියන් වටේ වටවෙන්න පටන් අරන් තිබුණා. ඒ අතරෙ චාර්ලි ලැජ්ජාවෙන් හිනාවෙවී කිව්වා
"මගේ ළඟත් මේ කොළේ තාම තියෙනවා. ඒක මගේ කබඩ් එකේ උඩ ලාච්චුවේ තියෙනවා" කියලා.
චක්ගෙ බිරිඳ කිව්වා " චක් මට කිව්වා එයාගෙ කොළේ අපේ වෙඩින් ඇල්බම් එකට දාමු කියලා. ඉතින් එයාගෙ කොළේ අපේ වෙඩින් ඇල්බම් එකේ තියෙන්නෙ" කියලා.
මැර්ලීන් අනිත් අය දිහා බලමින් කිව්වා "මගේ කොළෙත් තියෙනවා. ඒක මම මගේ ඩයරි එක ඇතුළෙ තියලා තියෙන්නෙ" කියලා.
ඒ පන්තියේම කෙනෙක් වෙච්ච විකී එයාගෙ සාක්කුවේ තිබ්බ පොඩි නෝට්බුක් එක අතට අරන් ඒකෙන් කුණු ගෑවුණු, ඉරුණු කොළයක් එළියට ගන්න ගමන් කිව්වා "මම යන ඕනෑම තැනක මම මේක අරන් යනවා" කියලා. ඒ කියලා ඇහිපිල්ලමක් ගහන්නවත් ප්රමාද නොවී ඇය කිව්වා "මං හිතන්නෙ අපි හැමෝම අපේ ලිස්ට් එක පරිස්සම් කරගත්තා" කියලා.
හරියටම අන්න ඒ මොහොතේ තමයි එයාලගෙ ගුරුතුමිය ඒ ළඟ තිබුණු පුටුවක ඉඳගෙන අඬන්න පටන් ගත්තෙ. ඇය මාර්ක් වෙනුවෙන් වගේම ආයේ කිසිම දවසක මාර්ක්ව දකින්න නොලැබෙන ඔහුගෙ යාළුවො වෙනුවෙන් ඇඬුවා.
-----
සමාජයක් විදිහට අපි කොච්චර ඝන කටු සහිත මිනිස්සු බවට පත්වෙලාද කියනවනම්, අපිට සමහර වෙලාවට අමතක වෙනවා අපේ ජීවිත යම් මොහොතක නැති වෙන්න පුළුවන් කියලා. අපි අඩුගාණේ ඒ දවස මොකක්ද කියලවත් දන්නෙ නැහැ.
ඒ නිසා මතක ඇතුව, ඔයා ආදරේ කරන අයට ඒ බව කියන්න. ඔයාට විශේෂ අයට ඒ ගැන කියන්න. ඔයාට වැදගත් අයට ඒ බව කියන්න. ඔයාට වැළඳගන්න පුළුවන් අයව වැළඳගන්න. සිපගන්න පුළුවන් අයව සිපගන්න. පරක්කු වැඩි වෙන්න කළින් ඒක කරන්න. කිසිම දාක, තව කෙනෙක්ගෙන් ආදරේ වචනයක් නොඅහපු, ප්රශංසාවක් නොලබපු, තමන් වැදගත්බව හෝ වටිනබව අහන්න නොලැබුණු ජීවිත දහස් ගාණක් අපි වටේ ඉන්නවා. ඇස් ඇරලා බලලා කියන්න.
එහෙම කිව්වට පස්සෙ ප්රාතිහාර්යක් වෙලා, එකපාරටම සියල්ල යහපත් වෙන එකක් නැහැ. ඒත්,
පසු වදන...
ඔව් ඒත්, අවුරුදු ගාණකට පස්සෙත් නෝට්බුක් එකක් ඇතුළෙන් මතුවෙන දියවුණු පොඩි කොළයක් වගේ බලාපොරොත්තුවක් විදිහට ඒක මතුවේවී!! මතුවිය හැකි යමක් නිර්මාණය කරන්න
අද දිනට යෙදෙන සියදිවි හානිකර ගැනිමේ දිනයට සමගාමි
දරුවන්ට සතුටින් සිටින්නට හිතන්නට
අපි වෙනස් වෙමු...වැඩ සටහනේ තේමාව
උපුටාගැනීම: බෙටී බයිරම්
අනුවාදය: ෂෙනූ පෙරේරා


notes of imaginary

Wednesday, October 11, 2023

එය තවම ඔහු ලග.



හිරු නිවෙන්නට දෙපැයකට පෙර
බිමට යොමුවූ දෑස් අතරින්
රාජගිරියට ඇදෙන පෙරහැර
දනිති යනවග නො එන ගමනක.
බාල ලී පෙට්ටියේ සැතපී
ගියත් මට නුඹලා කියෙව්වැකි
නොදැනේද මා දුන් සැහැල්ලුව
අවමඟුල් උත්සව කපාහැර.
මල් වඩම් හා බැනර් කැපුවෙමි
නෙස්කැෆේ පුටු ටෙන්ට් හැලුවෙමි.
එම්බාම් නැති දුගඳ මිනියක
සාද සාමීචියට ඉඩ නැති.
හුදෙකලා වී කුටියෙ සිරවී
පන්හිඳෙන් ජීවිතය අමුණා
හුස්ම රැල්ලක් ගැටගැසූ මට
සමුගැනීමේ කතා කුමටද?
විච්චේදනය කර ඉගෙන ගන්නට
වෙද නලා පලඳවා ගන්නට
මාවටා රොක් වේවි සිසු කැළ
පුදුම වන්නට කිමද කාරණ ...
මගේ මිනියෙහි හදවතක් නැති.!
නොවටිනා ගාණකට මිළ කර
උගස් කළ එය තවම ඔහු ළඟ .!!!
රෝ.සි.


notes of imaginary

Tuesday, October 10, 2023

විද්‍යඥ නිකොලා ටෙස්ලා.



ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්රේෂ්ඨ විද්යාඥයෙකු බව පිළිගන්නවාද ?
ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද?
පළමු ප්රශ්නයට පිළිතුර 'ඔව්' සහ දෙවැන්නට 'නැත' නම් මේ ලිපිය ඔබ සඳහායි.
උදේ තමයි, දැන් කියවන්න කම්මැලියිනම් පස්සේ කියවන්න Notepad හෝ Offline Save දාගන්න. හුඟක් වැදගත් වෙවි. මම පෞද්ගලික හුඟක් ගරැ කරන කෙනෙක්, ඒ වගේ ඔබ සැම සියළු දෙනා ගරැ කළ යුතු කෙනෙක් !
ඔබ දැන් Online පවා ඉන්නේ ඔහුගේ නිර්මාණ නිසාමයි !
නිකොලා ටෙස්ලා උපත ලැබුවේ ක්රොයේෂියාවේ සර්බියානු පවුලකයි. ඒ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්යම රාත්රියේයි. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුනා.
ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්රම දුටු කුඩා ටෙස්ලාට අවශ්ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි.
දිනක් ඔහුගේ සුරතල් බළලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිති විද්යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙනගත යුතු බව තීරණය කළා.
කළක් තම උපන්බිමේ දුම්රිය සමාගමක ට්රොලි සම්බන්ධව සේවය කළ ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්රමණය වීමටයි.
ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි. ඔහු සේවයට යන්නේ ඒ මහා "ශ්රේෂ්ඨ විද්යාඥයා" වූ තෝමස් අල්වා එඩිසන්ගේ විද්යාගාරයටයි.
එහිදී ටෙස්ලා කලක් පුරාවට බොහෝ පර්යේෂණ වල නියැලෙමින් බොහෝ නිර්මාණ කරනවා. එඩිසන් දැන සිටියේ සහ අලෙවි කලේ DC (සරළ ධාරා) විද්යුතයයි. එකළ එය ඉතාම මිළ අධික සේවාවක් වුණා.
සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්ය වීම,සම්ප්රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්ය වීම,ගිණිගැනීම් අධික වීම,ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්රතිසංස්කරණය කිරීමට අධික වියදමක් යාම
ආදී හේතූන් නිසා එඩිසන් මෙම ව්යාපාරයෙන් අධික ලාභ උපයන්නට සමත් වුණා.
ටෙස්ලා තමන්ට වඩා අතිදක්ෂයෙක් බව තේරුම්ගන්නා එඩිසන් අවසන් වරට ටෙස්ලාට භාරදෙන ව්යාපෘතිය වූයේ ඔහුගේ DC ජෙනරේටර් සහ මෝටර් වල දෝෂ නිරාකරණය කර දෙන ලෙසටයි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු වෙනවා. ටෙස්ලා දිවා රෑ නොබලා මෙම කාර්යය අවසන් කර එඩිසන්ට භාරදී පොරොන්දු වූ මුදල් ඉල්ලනවා.
එවිට එම මුදල් දීම ප්රතික්ෂේප කරමින් එඩිසන් ටෙස්ලාට මෙසේ පවසනවා
"Tesla, you don't understand our American humour"
"ටෙස්ලා, ඔබට ඇමරිකානු අපගේ කවටකම් තේරේන්නේ නෑ"
එඩිසන් සහ ටෙස්ලා බිඳීයාම මෙසේ ඇරඹෙනවා. නිකොලා ටෙස්ලා වෙනම විද්යාගාරයක් අරඹනවා. මේ සඳහා මූල්ය අනුග්රහය ලබාදීමට එකඟ වන්නේ J.P. Morgan සහ George Westinghouse සමාගම් දෙක පමණයි.
දැන් තමයි නිකොලා ටෙස්ලා නියමෙටම වැඩ පටන්ගන්නෙ. ඔහු AC (ප්රත්යාවර්ථ ධාරා) විදුලිය ලොවට ගෙනෙනවා. ඔහු ලොව ප්රථම ජල විදුලි බලාගාරය නයගරා දියඇල්ලේ ඉදිකරන්නේ ජලයෙන් විදුලිය නිපදවීම පිළිබඳව කිසිඳු අදහසක් ලෝකයට නොතිබූ යුගයකයි.
මුළු පළාතකටම එක් බළාගාරයක් හොඳටම ප්රමාණවත් වීම,සම්ප්රේෂණය හා බෙදාහැරීම සඳහා තුනී රැහැන් ප්රමාණවත් වීම,නිෂ්පාදන හා නඩත්තු ගාස්තු ඉතා අවම වීම
ආදී හේතු නිසා අප අදටත් පාවිච්චි කරන ටෙස්ලාගේ මෙම AC විදුලිය එදා අතිශයින් ජනප්රිය වන්නට පටන්ගන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ ව්යාපාර වලට මරු පහරක් එල්ල කරමිනි.
එඩිසන් නිකන් සිටියේ නැත. ඔහු පාසැල් ළමුන්ට මුදල් ලබාදී නිව්යෝක් නිවෙස් වලින් සුරතල් බල්ලන් සහ පූසන් සොරාගත්තේය. අවසානයේ අශ්වයන් සහ ඇතින්නක්ද සොයාගත්තේය. ටෙස්ලාගේ AC විදුලිය අනතුරුදායක බව පෙන්වීමට මේ "ශ්රේෂ්ඨ විද්යාඥයා" එම සියළු සතුන් ප්රසිද්ධියේම AC විදුලිය වද්දවා පණපිටින් පුළුස්සා මරා දැම්මේය.
අසමසම මොළයක් තිබූ ටෙස්ලා මීට කදිම උපායක් යෙදුවේය. Faraday Cage එකක් ආකාරයට සාදාගත් ඇඳුමක් ඇඳගත් නිකොලා ටෙස්ලා ප්රසිද්ධියේ තම සිරුර හරහා ඉතාමත් අධික විදුලියක් යවාගෙන පෙන්වමින් තම නිෂ්පාදනය ආරක්ෂිත බව පෙන්වුවා.
මේ සමග කුජීත වී යන එඩිසන්ගේ DC විදුලිය සැම අතින්ම ප්රතික්ෂේප වී දුප්පතාගේ හිතවතා වූ ටෙස්ලාගේ AC විදුලිය ලොව පුරා ජනප්රිය වෙනවා (අදටත් ඔබේ නිවසේ භාවිතා වන්නේ AC විදුලියයි).
ශ්රේෂ්ඨ විද්යාඥ තෝමස් අල්වා එඩිසන් පරාජය භාරගත්තා යැයි ඔබා සිතනවාද? ඔහු ටෙස්ලාගේ විද්යාගාරයට ගිණිතබා ටෙස්ලාගේ සටහන් විනාශ කරනවා...
නමුත් එඩිසන්ගේ මෙම උත්සාහයද ව්යර්ථ වන්නේ මානව ඉතිහාසයේ බිහිවූ අසමසම හා අසාමාන්ය මොළයක් හිමි නිකොලා ටෙස්ලා ඉදිරියේ තෝමස් අල්වා එඩිසන්ට තිබුණේ ළදරු මොළයක් බව ඔහුට අමතක වීම නිසාය.
නිකොලා ටෙස්ලාට භාෂා 8ක් කතා කළ හැකි විය.
Serbian, English, Czech, German, French, Hungarian, Italian සහ Latin ඒවාය.
ඔහුට එක්වරක් පමණක් කියවීමෙන් පසූ සම්පූර්ණ පොතක්ම නැවත ඒ අයුරින්ම ලිවිය හැකි මතකයක් විය.
ඉතාම සංකීර්ණ ත්රිමාණ සටහනක් මොළයෙන් නිර්මාණය කරගෙන කිසිඳු සටහනක් නොමැතිව 100%ක් අංගසම්පූර්ණව එය නිර්මාණය කළ හැකි විය.
මෙවැනි මොළයකට සටහන් ගිණිතැබීමෙන් සිදුවූ හානිය ඉතාම අවම විය.
එඩිසන්ගේ මූල්ය අනුග්රහය යටතේ අප කවුරුත් දන්නා ගුග්ලි එල්මෝ මාකෝනි රේඩියෝව සොයාගත්තේය. නමුත් ඔහු සැබැවින්ම කලේ ටෙස්ලාගේ සොයාගැනීම් හා පේටන්ට් 17ක් භාවිතා කරමින් ලොව ප්රථම ගුවන්විදුලි පණිවුඩය යැවීමයි (රේඩියෝවක් ගලවා එහි ඇති ටෙස්ලා කොයිල්, ට්රාන්සිස්ටර් ආදිය බලන්න). ටෙස්ලා මේ ගැන මාධ්ය වලට පිළිතුරු දුන්නේ
"Marconi is a good fellow. Let him continue. He is using seventeen of my Patents"
ලෙසයි. ඉතාම මෑතකදි දුන් නඩු තීන්දුවකින් නැවතත් ගුවන්විදුලිය සොයාගැනීමේ ගෞරවය ටෙස්ලාට ලැබුණු නමුත් අදටත් බහුතර ලෝකය එය දන්නේ නැත.
රේඩාර් සොයාගැනීමේ ගෞරවය ලැබෙන්නේ රොබට් වොට්සන් හටයි (1935දී). නමුත් 1917දී පළමු ලෝක යුද්ධයේදී ඇමරිකානු නාවික හමුදාව වෙනුවෙන් මුලින්ම රේඩාර් තාක්ෂණය සොයාගන්නේ නිකොලා ටෙස්ලාය. අවාසනාවට එවකට නාවික හමුදාවේ Research & development අංශයේ ප්රධානියා වූයේ එඩිසන්ය. ඉතිරිය ඔබම සිතාගන්න.
ටෙස්ලා තවත් ඇදහිය නොහැකි සොයාගැනීම් රැසක් සිදුකලේය.
ඔහු ට්රාන්සිස්ටරය සම්බන්ධ මූලික සොයාගැනීම් නොකරන්නට ඔබ අද අන්තර්ජාලයට එන්නේද නැත.
අදටත් පරීක්ෂණ මට්ටමේ ඇති Cryogenic Engineering පිළිබඳව වසර 100කට පෙර ඔහු පරීක්ෂණ කළේය.
අභ්යාවකාශයෙන් එන ගුවන්විදුලි තරංග රෙකෝඩ් කල ලොව පළමු විද්යාඥයාය.
භූමිකම්පා නිපදවිය හැකි යන්ත්රයේ නිර්මාණකරු. (මෙහි පරීක්ෂණ කරන විට මුළු නිව්යෝක් නගරයටම භූමිකම්පාව දැනී ඇත. මෙම තාක්ෂණයෙන් (HAARP) කාළගුණයද පාලනය කලහැකි අතර ලෝකයේ භයානකම ආයුධය ලෙස සැලකේ)
පෘථිවියේ අනුනාද සංඛ්යාතය සොයාගත් විද්යාඥයා (මෙම අගය නිවැරදි බව තහවුරු කරගැනීමට පමණක් ලෝකවාසී විද්යාඥයන්ට තවත් වසර 50ක් ගතවිය).
බෝල අකුණු ඇතිවන ආකාරය තවමත් විද්යාඥයන්ට නිශ්චිතව කිව නොහැක. නමුත් 1890 කාලයේදී ටෙස්ලා බෝල අකුණු නිර්මාණය කලේය.
දුරස්ථ පාලකය.රැහැන් රහිත සන්නිවේදනය.නියෝන් ලයිට්.ෆ්ලොරොසන්ට් ලයිට් (ටියුබ් ලයිට්).AC මෝටරය (බ්ලෙන්ඩරයේ ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්ර දක්වා ඇත්තේ AC මෝටර්ය).විද්යුත් චුම්බක ක්ෂේත්රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය රැහැන් රහිත විදුලි සම්ප්රේෂණය
ඔබ සිතන්නේ මේවා සොයාගත්තේ කවුරුන් කියාද?
ටෙස්ලා ලොවට අවසන් වරට දායාද කලේ මෑන්හැටන් දූපතේ ඉදිකල ටෙස්ලා කුළුණයි. එම තනි කුළුණ මගින් වායුගෝලයට ඉහලින් ඇති අයනගෝලය භාවිතාකර "මුළු ලෝකයටම රැහැන් රහිතව" නොමිලේ විදුලිය ලබාදීමට හැකිවිය.
මෙලෙස බැලූ කල නිකොලා ටෙස්ලා කෝටිපතියෙකු විය යුතුය.
නැත. ඔහු සැමවිටම මිනිසුන්ට අඩු මිලට විදුලිය ලබාදීමට හා ජල, සූර්ය, සුළං ඇතුළු පුර්ජනනීය බලශක්තිය හඳුන්වාදීමට කටයුතු කල කෙනෙකි. තව වසර 50000කට ප්රමාණවත් තෙල් පොළොවේ ඇතැයි සිතූ එම කාලයේ එඩිසන් සිතුවේ අනාගතය තෙල් මත රැඳෙනු ඇතැයි කියාය. නමුත් අසාමාන්ය ටෙස්ලා යුග ගණනක් අනාගතය දැක්කේය.
නොමිලේ මිනිසුන්ට විදුලිය දෙනවිට ඉන් ලාභ උපයන්නේ කෙසේද? මේ නිසාම ආයෝජකයන් සියල්ල ටෙස්ලා අත්හැරියහ. ටෙස්ලා ණය වෙමින් ලොවට සෙත සැදුවේය. විශේෂයෙන් කුරුල්ලන්ට හා අනෙක් සියළු සතුන්ට ඉමහත් ආදරයක් දැක්වූ මේ අවිවාහකයා 86 හැවිරිදි වියේදී සිය හෝටල් කාමරය තුලදී දුප්පතෙකු ලෙස දිවියෙන් සමුගත්තේය. වංචනික ව්යාපාරික එඩිසන් ගැන සැවොම දන්නා නමුත් ලොවක් තැනූ ටෙස්ලා ගැන පාසැල් පෙළපොතක වත් උගන්වන්නේ නැත. නමුත් අපගේ දරු මුණුබුරන්ද ඔහුට ණයගැතිය.
ඉතින් සියවසේ විද්යාඥයා වීමට වඩා සුදුසු බොහෝදුරට සෛද්ධාන්තික විද්යාඥයෙකු පමණක් වූ ඇල්බට් අයින්ස්ටයින්ද නැතහොත් වසර සිය ගණනක පෘථිවියේ අනාගතය තනිව තම දෑතින් ගොඩනැගූ නිකොලා ටෙස්ලාද යන්න සිතා බැලීම ඔබ සතුය.
#copied උපුටා ගැනීමකි
notes of imaginary

Monday, October 09, 2023

ඊයෙ රෑ හඳ පලුවක එල්ලුන හැටි


කවියකට
නවතින්න පුලුවන් කවියෙක් ඇතුළෙ විතරමද
මං දැක්කා කවියක්
ඊයෙ රෑ හඳ පලුවක එල්ලුන හැටි
කරගැට පිරි අත්ලක් මැද
උණුහුම් වී හිනැහෙන හැටි
අහම්භයක් වෙන්නට ඇති
ප්රේමය ලිස්සල වැටුණම
නැගිටින්නට අත දීගෙන
කවියක් හිනැහෙනු දුටුවෙමි
ඒ කවියම
තනපුඩුවක එල්ලීගෙන
හිනා මවන බිළිඳුන් ළඟ
ඉන්ද්රචාප මවනු දුටිමි
අරගලයක සටන් පාඨ
කලබලයෙන් ඇහැරෙන විට
තුවක්කුවක සිදුරක් ළඟ
කවියක් ලතැවෙනු දුටුවෙමි
ඒ කවියම
හරස් පාරකින් ඇවිදින්
ඉසියුම් තැන් ඇහැරවමින්
ප්රේමය තැවරුව කොපුලත
මතකය මඟහරිනු පිණිස
රිදවුම් පිරිමදින රහස
ලතෙත් අකුරු වල පටලා
කවියක් මුමුණනු දුටුවෙමි
ඒ කවියම
ඊළඟ මොහොතේ සුවඳැති
මල් පෙත්තක මම දුටුවෙමි
කවියෙක් උපදින්නට නම්
කවියක් ආ යුතු පපුවට
සෝමලතා හේරත් මැණිකේ

notes of imaginary

Sunday, October 08, 2023

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාරයක්

Shanaka Madhushan Liyanagama ගේ සටහනකි.



ඊශ්රායලය හා පලස්තීනය අතර ගැටුම අළුත් වටයකින් ආරම්භ වී තිබෙනවා. පලස්තීන හමාස් සටන්කාමීන් අද (07) ඊශ්රායලයට අනපේක්ෂිත හදිසි ප්රහාරයක් එල්ල කළා. ඊශ්රායලය වෙත රොකට් ප්රහාර හත්දහසක් පමණ එල්ල කර ඇති අතර හමාස් කණ්ඩායම් ගොඩබිමින් , මුහුදෙන් පමණක් නොව පැරෂුට් ආධාරයෙන් ගුවනින් ද ඊශ්රායල භූමියට ඇතුළු වී තිබෙනවා. මේ අනුව මැදපෙරදිග කලාපයේ නැවතත් මගා පරිමාණ යුද්ධයක් ඇති වන ලකුණු පහල වී තිබෙනවා.
ලිපිය ලියන මොහොත වන විට ඊශ්රායලයේ අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් 800කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීන් පවසනවා.
මේ අතර ඊශ්රායලය ද ගාසා තීරය වෙත ප්රතිප්රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. අවම වශයෙන් පලස්තීනුවන් 198 දෙනෙකු මියගොස් ඇති අතර 1,610 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන සෞඛ්ය අමාත්යාංශය පවසනවා. ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතනියාහු සපථ කර පවසන්නේ සතුරාට අතිවිශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවයි.
ඊශ්රායල ආරක්ෂක හමුදාව පැවසුවේ තම හමුදා අවම වශයෙන් ස්ථාන 6ක පමණ සටන් කරන බවයි. ඊශ්රායලයේ ඇතැම් පදිංචිකරුවන් පැවසුවේ හමාස් සටන්කාමීන් තම නිවෙස්වලට කඩා වැදීමට උත්සාහ කරන බවයි. දේශසීමා ආසන්නයේදී ඊශ්රායල සොල්දාදුවන් කිහිප දෙනෙකු අල්ලා ගත් බව හමාස් ප්රකාශ කර තිබෙනවා. මේ අතර ඉහළ පෙළේ ඊශ්රායල් හමුදා නිලධාරියෙකුත් සිටින බවට වාර්තා වෙනවා.
ප්රහාරය එල්ල වන්නේ යුදෙව් දින දර්ශනයේ ශුද්ධ වූ යොම් කිප්පූර් දිනයේදී වීම විශේෂත්වයක්. 1973 දී අරාබි රාජ්යයන් හා ඊශ්රායලය අතර ඇති වූ යොම් කිප්පූර් නොහොත් රාමදාන් යුද්ධයේ 50 වැනි සංවත්සරය ද මෙදිනට යෙදී තිබුණා. යොම් කිප්පූර් යුද්ධයෙන් ඊශ්රායලය ජය ගත්තා.
වර්ෂ 1948 දී ඊශ්රායලය බිහිවූ දා පටන්ම මේ කලාපය තිබෙන්නේ ගිණිමැලයක් අසළ තිබෙන පැට්රෝල් ටැංකියක් වගේ. පලස්තීනුවන් හා ඊශ්රායල ජාතිකයන් අතර ඇති වන බහින් බස් වීමක් පවා ලෝක යුද්ධයක් දක්වා දිග්ගැස්සෙන්න පුළුවන් තරමට මේ කලාපය උණුසුම්. නමුත් පලස්තීනය හා ඊශ්රායලය අතර අර්බුදය විග්රහ කිරීම ආවාට ගියාට කරන්න බැහැ.
ඊශ්රායල-පලස්තීන අර්බුදය වර්තමානයට ලඝුකර දක්වන්න පුළුවන් ප්රශ්ණයක් නෙවෙයි. අපේ දේශපාලන දෘෂ්ඨිකෝණයට අනුව හෝ ආගමික කෝවකට දමා කිරා මැන බලන්න පුළුවන් අර්බුදයකුත් නෙවෙයි.
දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් දිනුවානම් දැන් ඊශ්රායලය කියා රටක් නැහැ. ඒ වගේම යුදෙව් යනුවෙන් ජාතියකුත් නැහැ. හිට්ලර්ගේ උවමනාව තිබුණේ යුදෙව්වන් සමූලඝාතනය කරන්න. Holocaust යනුවෙන් හැඳින්වූ මේ ක්රියාන්විතයේදී යුරෝපයේ ජීවත් වූ යුදෙව්වන් මිලියන 6ක් ඝාතනය කෙරුණා. නමුත් මෑත කාලීන විශ්ලේෂකකයන්ට අනුව ඝාතනය කළ යුදෙව්වන්ගේ ප්රමාණය ඊට බොහෝ සෙයින් වැඩි බවයි පැවසෙන්නේ.
මධ්යධරණී මුහුදට මායිම්ව තිබෙන සීනායි අර්ධද්වීපය යනු අප්රිකානු මහාද්වීපයත් ආසියානු මහාද්වීපයත් මායිම් වන භූගෝලීය වශයෙන් ඉතා වැදගත් භූමියක්. එක් පසෙකින් ඊජිත්තුවට අයත් සීනායි අර්ධද්වීපයට මායිම්ව හා අනෙක් පසින් ජෝර්දානය, සිරියාව හා ලෙබනනය යන අරාබි රටවල් වලට මායිම්ව තමයි ඊශ්රායලය බිහිවන්නේ.
වර්තමාන ඊශ්රායලය බිහිවෙන්න කළින් ඒ ප්රදේශයේ වාසය කළේ පලස්තීන අරාබි වරුන්. දෙවන ලෝක යුද්ධයේ අතුරු ප්රතිඵලයක් විදියට බලහත් කාරයෙන් මතු වූ රාජ්යයක් වුවත් යුදෙව්වන්ට ඒ කලාපයේ ඓතිහාසික උරුමයක් තිබෙනවා. ඒ කතාව ක්රි.පූ. 1800 පමණ දක්වා දිවයනවා. යුදෙව් ධර්මය අනුව ඔවුන් අනුගමනය කරන්නේ බයිබලයේ පැරණි තෙස්තමේන්තුව. ඔවුන් ජේසුස් වහන්සේගේ ආගමනය පිළිගන්නේ නැහැ. යුදෙව් ආගමට අනුව ගැලවුම්කාරයා තවම පැමිණ නැහැ. ඒ කෙසේ වෙතත් විශේෂත්වය තමයි යුදෙව්වන් බොහෝ විට අනෙකුත් ආගම් වලටත් ගරු කිරීම.
මේ ගැන ලියන විට ප්රවේසම් වෙන්න ඕන කාරණයක් තිබෙනවා. මේ ජනවර්ග දෙකම එකම මූලයකින් පැවත එන කණ්ඩායම් දෙකක් බව කියන්න පුළුවන්. ඉතිහාසයට උඩින් අතුරා ඇති දේවකතා නම් අයිසින් තට්ටුව ඉවත්කළාම ඒ බව පෙනීයනවා. ඒබ්රහම් නම් ඉඩම් හිමියෙකුගේ පුතුන් දෙදෙනක්ගෙන් තමයි මේ යුදෙව් හා පලස්තීන ජනවර්ග දෙක බෙදී යන්නේ. දරුවන් දෙදනා මව් වරුන් දෙදෙනෙකුගේ නිසා දේපල බෙදා ගැනීමේදී ඇතිවූ විරසකය මෙසේ ජන කොටස් දෙකක් ලෙස වෙන්ව යෑමට හේතු වී තිබෙනවා. අපි නොදන්නවා වුණාට දැනටත් සංහිදියාවෙන් ජීවත් වෙන ඊශ්රායල් හා පලස්තීන මිනිසුන් ඉන්නවා. ඔවුන් අතර නයි-මුගටි වෛරයක් නැහැ. ඒක හරියට යුද්ධ කාලේ අපේ සිංහල-දෙමළ ජාතීන් අතර තිබුණූ සම්බන්ධතාව වැනි එකක්. මේ ගාල ගෝට්ටිය අතරෙත් ඊශ්රායලයට රැකියාවට ගොස් හවසට තමන්ගේ නිවසට පැමිණෙන පලස්තීනුවන් ඕනෑ තරම් ඉන්නවා.
ඊශ්රායලය බිහිවීමට කළින් ඔවුන් සැම විටම වෙනස් ජන කොටසක් ලෙස තමයි ඒ ඒ රටවල් වල ජීවත් වුණේ. ඒ නිසා ඔවුන් සැම විටම වෙනස් හා විකල්ප මතධාරීන් වුණා. යුදෙව්වන්ට ඕනෑ වුනේම ඉතා බුද්ධිමත් ජන කණ්ඩායමක් ලෙස ජීවත් වෙන්න. ඔවුන් උත්සාහ කළේ ඇඟපත ලොකු කරගන්නවාට වඩා මොළය හදා ගන්න. කාල් මාක්ස්, ලියොන් ට්රොස්කි, ඇල්බට් අයින්ස්ටයින් හෝ සිග්මන් ප්රොයිඩ් වැනි මහා යුදෙව් ජාතික ප්රාඥ්ඥයන් හා දාර්ශනිකයන් ඔබ අසා තිබුණාට ලෝක ප්රසිද්ධ යුදෙව් ජාතික ක්රීඩකයන් ගැන අසන්නට නොලැබෙන්නේ ඒ නිසයි.
රටක් අහිමි යුදෙව්වන්ට තමන්ගේම රාජ්යයක් නිර්මාණය කිරීම සඳහා ඇතිවූ සංකල්පයට තමයි සයන්වාදය කියන්නේ. සයන්වාදී ඉගැන්වීම් වලට අනුව ක්රි.පූ.500 දී පමණ රෝමන් වරුන් පලස්තීනය ආක්රමණය කිරීමත් සමඟ එතෙක් ඒ ප්රදේශයේ ජීවත් වූ යුදෙව්වන් පළවා හැරුණ බවත් කියවෙනවා. නමුත් ඇත්තටම ක්රිස්තු වර්ෂ 500න් පසු ඉස්ලාම් ආගම ඒ ප්රදේශයේ පැතිරීමත් සමග යුදෙව්වන්ට පලස්තීනයෙන් පලා යෑමට සිදු වූ බව තමයි වර්තමාන යුදෙව් ජාතිකයන්ගේ මතය.
ඊශ්රායලය බිහිවීමේ මෑත කාලීන ඉතිහාසය ගත්තොත් 1917 දී සකස් කරන ලද බැල්ෆෝර් ප්රකාශනය මඟින් ඊට ප්රවේශයක් ලබා ගන්න පුළුවන්. ඒ අනුව එවකට බ්රිතාන්ය අගමැති ආතර් බැල්ෆෝර්ගේ පලස්තීනය තුළ යුදෙව් රාජ්යයක් නිර්මාණය කිරීමට සහාය වීමේ යෝජනාව බ්රිතාන්ය පාර්ලිමේන්තුව විසින් සම්මත කළා.
පළමු ලෝක යුද්ධයේ අවසාන කාලයේදී තමයි බැල්ෆෝර් ප්රකාශනය සම්මත වෙන්නේ. ඒ යුගය වෙන විට පලස්තීනය ඇතුලත් මැදපෙරදිග කලාපයේ තිබුණූ ඔටෝමාන් පාලනය පරාජයට පත්වෙමින් තිබුණා. පලස්තීන කලාපයේ පාලනය බ්රිතාන්යය අධිරාජ්යය විසින් අත්පත් කරගෙන තිබුණා.
මේ ප්රදේශයේ ඒ වන විට අරාබි බහුතරයක් හා යුදෙව් සුළුතරයක් වාසය කළා. ජෙරුසෙලම ඇතුළත් පලස්තීනය සමඟ මුස්ලිම්, යුදෙව් මෙන්ම ක්රිස්තියානි ආගමිකයන්ටත් තිබුණේ අත්හළ නොහැකි බැඳීමක්. ඒ සියළු ආගමිකයන්ට ජෙරුසෙලම ශුද්ධ භූමියක්.
ජාත්යන්තර ප්රජාව යුදෙව්වන් සඳහා ජාතික රාජ්යයක් නිර්මාණය කිරීමේ කාර්යය ඒ වෙන විට එහි පාලකයා වූ බ්රිතාන්යයට පැවරුවා. ඒත් එක්කම අරාබි ජාතිකයන් හා යුදෙව් ජාතිකයන් අතර ආතතිය වර්ධනය වුණා. මේ ජනවර්ග දෙකම පලස්තීන නිජභූමියට අයිතිවාසිකම් කියා පෑවා. පළමු ලෝක යුද්ධයත් දෙවන ලෝක යුද්ධයත් අතර දශක 3 ක පමණ කාලයේ එහි පැමිණි යුදෙව්වන්ගේ සංඛ්යාව කෙමෙන් කෙමෙන් වැඩි වුණා. ලෝකය පුරා විසිරී සිටි සයන්වාදී ඩයස්පෝරාව මේ වෙනුවෙන් මතවාදීමය අනුග්රහය ලබා දුන්නා. පසුව දෙවන ලෝක යුද්ධයේදී අත්විඳින්නට සිදු වූ හිංසා පීඩාවලින් ආරක්ෂා වීමට යුරෝපයේ ජීවත් වූ යුදෙව්වන් මහා පරිමාණයෙන් පලස්තීනයට පලා ආවා. මේ ජනගහන සංයුතියේ වෙනසත් සමඟම යුදෙව්වන් සහ අරාබිවරුන් අතර ප්රචණ්ඩත්වය වැඩිවුණා.
සිදුවීම් මෙසේ පෙළගැසෙද්දී දෙවන ලෝක යුද්ධයත් නිමාවට පත්වුණා. යුද්ධයේ ප්රධානම වින්දිතයා බවට පත් ව සිටි යුදෙව් ජාතිය ගැන විශේෂ අනුකම්පාවක් ජාත්යන්තර ප්රජාව අතර පැතිරුණා. 1947 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස් වී පලස්තීනය වෙන වෙනම යුදෙව් සහ අරාබි රාජ්යයන් ලෙස දෙකට බෙදීමට ඡන්දය දුන්නා. ජෙරුසලමේ ඇති ඓතිහාසික තත්ත්වය සළකා එය කිසිවෙකුට අයිති නැති ජාත්යන්තර නගරයක් බවට පත්කළා. මේ සැළසුම යුදෙව් නායකයන් විසින් පිළිගත්තත් අරාබි නායකයන් ඊට අනුගත වුණේ නැහැ. කොහොම නමුත් ඊශ්රායලය නම් කුඩා දුබල රාජ්ය්යක් අරාබි යෝධයන් මැද බිහිවුණා.
1948 දී පලස්තීන ගැටලුව විසඳීමට නොහැකි වූ බ්රිතාන්ය පාලකයින් ඉන් ඉවත්ව ගියා. යුදෙව් නායකයින් ඊශ්රායල රාජ්යය ප්රකාශයට පත් කළා. ඔවුන්ට දීර්ඝකාලීන සැළසුම් තිබුණා. ඒ අනුව මුලින් ඊශ්රායලය බිහිවුණේ වර්ග කිලෝ මීටර් 15 ක පමණ කුඩා ප්රදේශයක් තුළ. එය අපේ ශ්රී ජයවර්ධන පුර-කෝට්ටේ නගරය තරම්වත් විශාල නැහැ. බහුතරය වූ පලස්තීනුවන් කිසිසේත්ම ඊට එකඟ වුණේ නැහැ. ජනවර්ග දෙක අතර යුද්ධයක් ඇතිවුණා. ඊජිප්තුව හා ජෝර්දානය වැනි අසල්වැසි අරාබි රටවල හමුදා පලස්තීන අරාබිවරුන් වෙනුවෙන් සටනට පැමිණියා. නමුත් යුදෙව් නිජභූමි ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමට ඊශ්රායලය අනුගමනය කළේ දැඩි අමානුෂික ක්රියාන්විතයක්. ඒකත් හරියට යුරෝපයේදී නාසි හමුදා යුදෙව්වන් වෙත මුදා හැරි Holocaust බලහත්කාරය වගේ. අල් නක්බා එහෙමත් නැත්නම් The Catastrophe (මහා නස්පැත්තිය) යනුවෙන් හැඳින්වෙන මෙම ක්රියාවලිය තුළින් ලක්ෂ සංඛ්යාත පලස්තීනුවන් තම ගම් බිම් වලින් පළවා හැරියා. සමහර ගම් වල ඉවත් වීම ප්රතික්ෂේප කළ පලස්තීන තරුණයන් එක පෙළට තබා වෙඩි තබා මරා දැමුණා. සයන්වාදී අන්තවාදී කණ්ඩායම් මේ ප්රචණ්ඩ ක්රියාවල මූලිකත්වය ගත්තා. ඔවුන්ට රජයේ නායකයන්ගේ අනුග්රහය නොඅඩුව ලැබුණා.
මුලින් ලොව බොහෝ රටවල් ඊශ්රායලය ස්ථාවර රාජ්යයක් ලෙස පිළිගත්තේ නැහැ. එය තාවකාලික රජයක් ලෙස තමයි පිළිගත්තේ. ඊශ්රායල රාජ්යය සඳහා ලබා දී තිබූ එක්සත් ජාතීන්ගේ නිර්දේශ අමු අමුවේ උල්ලංඝණය වුණා. මැදිහත්කරුවකු ලෙස පලස්තීනයට යැවූ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වූ බෙල්ජියම් ජාතික ෆොල්ක් බර්නඩොට් කුමාරයා පවා සයන්වාදීන් අතින් ඝාතනය වුණා. නමුත් ඇමෙරිකාව හා බ්රිතාන්යය යුදෙව් නායකයන්ගේ නාහෙට නාහන වැඩ ගැන නෑසූ කන්ව සිටියේ මැද පෙරදිග කලාපයේ තමන්ගේ නියෝජිතයා ලෙස ළදරු ඊශ්රායලය ඒ වන විටත් තෝරාගෙන තිබුණු නිසා. අරාබි රටවල නිල නොලත් නායකයා ලෙස ඒ වන විට කටයුතු කළ ඊජිප්තුව මතවාදීව සෝවියට් දේශය සමඟ හිටපු නිසා ඒ ආසන්නයේ බිහිවන යුදකාමී යුදෙව් රාජ්යයක අවශ්යතාවය බටහිර බලවතුන්ගේ මූලෝපායික උපක්රමයක් වුණා.
කොහොම නමුත් අල් නක්බා ක්රියාන්විතය තුළින් අල්ලා ගත් ගම්බිම් වල යුදෙව්වන් පදිංචි කිරීමට ආණ්ඩුව කටයුතු කළා. පලස්තීනුවන්ගෙන් අත්පත් කරගත් ව්යාපාර යුදෙව්වන්ට ලබා දුන්නා. සයන්වාදී ඩයස්පෝරාව ඊශ්රායලය තුල සිදුවන ගැටුම හඳුන්වා තිබුණේ විමුක්ති අරගලයක් විදියට. නමුත් කිසිසේත්ම පීඩාවට පත් වූවන්ට විමුක්තිය උදාවූ සටනක් ඊශ්රායලයේ සිදුවුණේ නැහැ. එහි පුරවැසියන්ට තමන්ගේම නිජභූමි තුළ විදේශිකයන් ලෙස ජීවත් වීමට සිදුවුණා. ඊශ්රායලය යුදෙව්වන්ගේ රාජ්යයක් බවට ආණ්ඩුක්රම ව්යවස්ථාවට වගන්තියක් පවා ඇතුළුවුණා.
යුදෙව්වන් පරාජය කළ නොහැකි ජාතියක් ලෙස ලෝකය පුරා නමක් ඇති කර ගත්තේත් මේ යුද්ධයෙන් පසුවයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ විඳින්නට සිදු වූ නොසළකා හැරීම් නිසා යුදෙව්වන් උපක්රමශීලී ජාතියක් ලෙස නැගී සිටි බව ඇත්ත. මේ සදහා බුද්ධිමය මැදිහත් වීම කරන්නේ මොසාට් සංවිධානය. දෙවන ලෝක යුද්ධයේදී යුදෙව්වන් තලාපෙළා දැමූ ඉතිරි වී සිටි නාසි නායකයන් පසුපස පවා ඔවුන් හඹා ගියා. Holocaust සංහාරයට වගකිව යුතු ඇඩොල්ෆ් අයික්මාන් ඈත ආජන්ටිනාවේ වෙනත් පුද්ගලයකු ලෙස ජීවත් වුණා. ඔහුව සොයා ගොස් කාටත් හොරා ජීවග්රහයෙන් අල්ලා ගෙන ඊශ්රායලයට ගෙන ඒමටත් ඔහුට මරණ දඩුවම් ලබා දීමටත් මොසාට් සංවිධානයට හැකි වුණා.
එක්සත් ජාතීන් මැදිහත් වී ඇති කර ගන්නා සටන් විරාමයක ප්රථිපලයක් ලෙස මුල්ම සයන්වාදී යුද්ධය වසරකින් නිමා වුණා. නමුත් ඒ වන විට ඊජිත්තුවට අයත් ගාසා තීරයත් ජෝරදානයට අයත් බටහිර ඉවුරත් ඊශ්රායලය විසින් අත්පත් කරගෙන තිබුණා.
ඊශ්රායලයේ නැඟී ඒම පිළිබඳව මුළු අරාබිකරයම නොසන්සුන් වී තිබුණා. යුද්ධයෙන් ලැබූ පරාජය අරාබියේ බලවත් රාජ්යයන්ට මහා අවමානයක් ගෙන දුන්නත් ඔවුන්ට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇමෙරිකාවේ අනුග්රහය යටතේ ඊශ්රායලය බලවත් රාජ්යයක් ලෙස ඉදිරියට එමින් තිබුණා. ඇත්තටම ඊශ්රායලයට තව තවත් යුද්ධ ඕනෑ වුණා. අවට පිහිටි බලවත් අරාබි රටවල් යුද්ධයට ඈඳාගෙන ඔවුන්ගේ භූමි අත්පත් කර ගැනීම ඔවුන්ගේ සැළසුම වුණා.
1967 දී ඇති වූ සය දින යුද්ධය කියන්නේ අරාබි රටවල් ඊශ්රායලයේ ගැටයට අහුවුණු අවස්ථාව. එයින් අරාබි රටවල් ඉල්ලාගෙන කෑවා කිව්වොත් නිවැරදියි.
"යුද්ධයට ගතවුණේ දින හයක් වුණත් දශකයක් තිස්සේ අපි සැළසුම් හැදුවා. කිසිම පියවරක් දශමයකින්වත් වරද්දන්න අපට ඕනෑ වුණේ නැහැ. අපි කෑවෙ බීවෙ නිදා ගත්තේ මේ සැළසුමත් එක්ක."
සයදින යුද්ධයේ මහා මොළකරු වූ එවකට ඊශ්රායල ආරක්ෂක ඇමති මොෂේ දයාන් පසුව පැවසුවේ එහෙමයි.
සය දින යුද්ධය ගැන කෙටියෙන්ම කිවුවොත් ඒ වන විට සිරියාවට අයිති ගෝලාන් කඳුකරය තිබුණේ යුද මුක්ත කලාපයක් ලෙස. උපක්රමයක් ලෙස ඒ ප්රදේශයට ඊශ්රායල හමුදාව යැවුණා. ඊශ්රායල රජය පැවසුවේ නිසරු බිම්වල වගා කිරීමට ඔවුන් යැවූ බව. සිරියාව සමඟ ආරක්ෂක සන්ධානයකට එළඹ තිබූ ඊජිප්තුව මෙයින් කළබල වුණා. ඒ වන විට අරාබිකරයේ මහේසාක්ය නායකයා විදියට වැජඹීඹට ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දූල් නසාර්ට තිබුණේ දැඩි උනන්දුවක්. ඒ නිසා අනෙකුත් අරාබි රටවල දුක්ගන්නාරාළ ලෙස කටයුතු කළේ නසාර් ජනාධිපතිවරයායි. මුලින් රතු මුහුද ඔස්සේ ඊශ්රායල නැව් වලට යාත්රාකිරීම තහනම් කළ නසාර් කලාපයේ ස්ථාපිත කර තිබුණු සාම හමුදාඛණ්ඩ කිහිපයක් ඉවත් කර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දුන්නා. ඒත් එවකට එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඌ තාන් කිව්වේ එසේ කෑල්ලෙන් කෑල්ලට තම හමුදා ඉවත් කරගැනීමට තමන් සූදානම් නැති බවත් අවශ්ය නැත්නම් ඊජිත්තු- ඊශ්රායල දේශසීමාවේ රඳවා ඇති සියළුම සාම හමුදා භටයන් ඉවත් කර ගන්නා බව. කොහොම නමුත් අන්තිමට එක්සත් ජාතීන්ගේ හමුදාව එසේ ඉවත් කරගන්නා ලෙස පැවසීමට නසාර්ට සිදුවුණා.
එක්සත් ජාතීන්ගේ හමුදාවල ඉවත් වීමත් සමඟ නසාර් සීනායි අර්ධද්වීපයට තමන්ගේ හමුදා යැව්වා. ඊශ්රායලය මෙය තමන්ගේ රට සමඟ යුද ප්රකාශ කිරීමක් ලෙස අර්ථකතනය කළා. ඇත්තටම ඔවුන්ට උවමනාව වී තිබුණේත් ඒකමයි. අරාබි රටවල් තුෂ්ණීම්භූත කරමින් එදින රාත්රියේ අහසට නැඟුණු ඊශ්රායල යුද ගුවන් යානා ඊජිප්තුව සතු ප්රහාරක යානා 340න් 300ක්ම විනාශ කර දැම්මා. කොහොම නමුත් දින හයේ යුද්ධය නිමා වන විට ඊශ්රායලය නැගෙනහිර ජෙරුසලම , සිරියානු ගෝලාන් කඳුකරය මෙන්ම ඊජිප්තුවට අයත් දැවැන්ත සීනයි අර්ධද්වීපය ද අත්පත් කරගෙන තිබුණා.
ඉන්පසුව සාම ගිවිසුම් යටතේ තමන් අත්පත් කරගත් සමහර ප්රදේශ ඒ රටවල්වලට ආපසු ලබාදෙන්න ඊශ්රායලය කටයුතු කළා. ඔවුන්ට ඕනෑ වුණෙත් බලය පෙන්වා සාම ගිවිසුම්වලට එළැඹෙන්න. පලස්තීනුවන් බහුතරය වෙසෙන ගාසා තීරයත් බටහිර ඉවුරත් එක්කර පලස්තීනය නම් රාජ්යය නිර්මාණය කර ගැනීමට පසු කාලයක හැකිවුණා. ඒ සඳහා යසර් අර්ෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය නොහොත් ෆටා සංවිධානය බොහෝ කලක් තිස්සේ සටන් කළා. 1993 දී හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ මූලිකත්වයෙන් කලාපයේ යම් සාමකාමී වාතාවරණයක් උදාවුණා. නව පලස්තීනයේ මුල්ම නායකයා ලෙස කටයුතු කළේත් යසර් අර්ෆත්. මේ වන විට පලස්තීන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ මොහමඩ් අබ්බාස්.
නමුත් පලස්තීනයට අයත් බටහිර ඉවුර හා ගාසා තීරය තිබෙන්නේ වෙන වෙනම. ඒ දෙක අතර ප්රවේශ මාර්ගයක් නැහැ. පලස්තීනුවන්ට තමන්ගේම රටේ කොටසකට ගමන් කිරීමටත් වෙනත් රටවල් හරහා යැමට සිදුව තිබෙනවා.
දැන් ගැටුම් ඇති වී තිබෙන්නේ මධ්යධරණී මුහුදට මායිම්ව ඇති ගාසා තීරයේ. මේ කොටස පාලනය කරන්නේ පලස්තීන නිල ආණ්ඩුවෙන් නෙවෙයි. සන්නද්ධ අන්තවාදී සංවිධානයක් වන හමාස් සංවිධානය විසින්. ෆටා සංවිධානයේ නිල පාලනය බටහිර ඉවුරට සීමා වි තිබෙනවා. බටහිර ඉවුරේ පලස්තීන රජයක් පැවතියත් ඊශ්රායලය එය තමන් විසින් අල්ලා ගත් ඕනෑම මොහොතක තමන්ගේ බලයට යටත් විය යුතු කලාපයක් ලෙස තමයි සළකන්නේ. බටහිර ඉවුරේ පලස්තීන ආණ්ඩුව මෙන් හමාස් සංවිධානය මධ්යස්ථව කටයුතු කරන්නේ නැහැ. ඔවුන් 1993 සිට ඇතිකරගත් ඊශ්රායල් -පලස්තීන සාම ගිවිසුම් කිසිවක් පිළිගන්නේ නැහැ. හමාස් වරුන්ගේ අරමුණ පලස්තීයෙන් කවදා හෝ යුදෙව්වන් පළවා හැරීමයි. හමාස් යනු සුන්නි මුස්ලිම් සංවිධානයක් වුණත් ෂියා මුස්ලිම් ලෝකයේ නායකත්වය උසුලන ඉරානය විසින් ඊට ආධාර, උපකාර කරන බව නොරහසක්.
ඊශ්රායලයේ අගනුවර ටෙල් අවිව්හි පිහිටියත් ඔවුන් මූලෝපායික අගනුවර විදියට ස්ථාපිත කරන්න උත්සාහ කරන්නේ ජෙරුසෙලම. පලස්තීනුවනුත් නැගෙනහිර ජෙරුසෙලම තමන්ගේ අනාගත රාජ්යයේ අගනුවර ලෙස පවසනවා.
ඊශ්රායල-පලස්තීන අර්බුදය ගැන පුළුවන් තරම් කෙටි සටහනක් තමයි මේ ලිව්වේ. අපේ ලාංකියන්ට මේ වන විට විශාල වැටුපකට ඊශ්රායලයේ රැකියා වරම් හිමිවෙලා තිබෙනවා. දැනටමත් විශාල පිරිසක් එහි සේවය කරනවා. අනිත් අතට පලස්තීනය මෑත කාලයේදී අපේ රට වෙනුවෙන් බොහෝ දුරට පෙනී සිට තිබෙනවා. ඊශ්රායලයට තම භූමියේ රාජ්යය පවත්වා ගැනීමට ඇති ඓතිහාසික අයිතිය බැහැර කළ නොහැකියි. මෙවැනි ගැටුම්වලදී කැනඩා-ඉන්දියා අර්බුදයේදී මෙන් එක් එක් පාර්ශව වෙනුවෙන් ප්රකාශ නිකුත් කරනවාට වඩා මධ්යස්ථ රාජ්යතාන්ත්රික ප්රවේශයකින් කටයුතු කිරීම ඇඟට ගුණයි.
පසුගිය කාලයේ ඊශ්රායලයේ තිබූ දේශපාලන හැලහැප්පීම් නිසා ඔවුන්ගේ බුද්ධි අංශ දුර්වල වූ බව පැහැදිලියි. කොහොම නමුත් හමාස් සංවිධානයට වඩා මේ ප්රහාරයෙන් දේශපාලන වාසිය ලබා ගන්නේ ඊශ්රායලය. ගාසා තීරය ඉක්මනින්ම ඊශ්රායලයේ කොටසක් බව පත්වේවි. පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින්නට මෙවර සෞදි අරාබියවත්, රුසියාවවත් එන්නෙ නැහැ. ඒ වගේම ලෝක තෙල් මිලත් සීග්රයෙන් ඉහළ යාවි.

notes of imaginary