Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Tuesday, April 15, 2014

විමල්ගේ ලෝකය.


  

මගේ අතින් පසුගිය මාසයක් හමාරක්  කාලේ වැදගත් යමක්  ලියවුනේ නැහැ. මම  සටහන් තබාගෙන ලියන්නේ නැහැ. හිතේ එකතු වෙලා delete වෙන්නේ නැතිව පල් වෙන ඒවා word  පිටුවක් තෝරා ගෙන දිය කරන එකයි සාමාන්‍ය පිලිවෙත. තොරතුරු හොයාගෙන ලියාපු ලිපි තියෙනවා නම් ඒ තොරතුරු මාස ගානක්  තිස්සේ desktop එකේ දුක් විදමින් සිට  පරිපුර්න වුවාට පසු පල කරපු ලිපි. එවැන්නක් කාලෙකින් කරන්න බැරිවුනා.

හේතුව මේ පිටුවේ පහලින්ම පලකරලා තියනවා. මම “සීයෝ” වුන හැටි කියලා.

පසු ගිය මාස එකහමාරක් මානස විල කැලබිලා. සියළු සිතිවිලි භයංකාර ලෙස කැරකෙන්න පටන් අරන් තිබුනා දිය සුළියක් වගේ.  පුංචි වේදනාවකට එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයකදී මොන වගේ අත්දැකීමක් ලැබෙයිද කියලා මට හිතුනා. මට පෙනුනා සුදු කොඩිවැල් ඇදපු සුදු වැලි අතුරපු පාළු පාරක් දිගේ හෙමි හෙමීට ඇදී යන පෙරහැරක මා පෙරටුව ගෙන යනවා. ඒත් එහෙම වුනේ නෑ.

 මට මේ අතරේ මතක්වුනේ මගේ මිත්‍රයා විමල්. තාත්තා සුරියබණ්ඩාර වුන නිසා නම අගට විමල් සුරියබණ්ඩාර කියලා සම්පුර්න නමින් තමයි විමල් තමුන්ව හදුන්වා දුන්නේ. විමල් තාත්තට කතා කලේ “ ලොකු ස්කෝලේ මහත්තයා”  කියලා. අම්මා “ ස්කෝලේ හාමිනේ ” වුනා. මේ දෙන්නා කළුතර දිස්ත්‍රික්කයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට  ගුරු පත්වීම් ලැබ 1950 ගනන් වල ඇවිත් බදුල්ල දිස්ත්‍රික්කයේ පැලපදියම් වුන ඇත්තෝ.ලොකු ස්කෝලේ මහත්තයාට  “ ස්කෝලේ හාමිනේ ” හමුවුනේ පලමු පත්වීම ලැබ ලොකු ස්කෝලේ මහත්තයාගේ පාසලට ආවට පස්සේ. දෙන්නම එකම දිස්ත්‍රික්කයේ වුනාට  ගම් පලාත් දෙකක.ඒ කාලේ ගමේ ප්‍රභුන් වුන මේ දෙන්නා දරුමල්ලන් තුන්දෙනෙක් හදා ගෙන ලොකු මහත්කරන ගමන්ම ප්‍රදේශයේ නමක් කියන ධනවතුන් බවටද පත්වෙලා තිබුනා .

විමල් මට හමුවුනේ  අසුවේ දශකයේ මුල් භාගයේ. ඒ  වන විට මේ උරුමයේ පාලක කොටස් කරු විමල්. මට අවුරුදු තිස්දෙකක් විතරවු  ඒ සන්දියේ විමල්ට අවුරුදු විසි හයක් විතර ඇති.  විමල් පවුලේ බඩපිස්සා. උසස් පෙල ලියලා HOLT තියලා ලොකු ස්කෝලේ මහත්තයාගේ ප්‍රවාහන ව්‍යාපාරයටයි, ගල් කොරියටයි යටවුන විමල් වැඩිමහල් සහෝදරි විවාහ වෙලා වැඩිමහල් සහෝදරයා පවුලෙන් වෙන් වෙන කොට කාරකාරෙට ගන්න මාමගේ දුවට පුංචි කා‍ලේ ඉදන්ම පෙම් බැන්දා. මාමට හිටියේ එකම දරුවයි. ඒ තමයි මාමගේ දුව.

මාමා “ කුණු ලෝභයා”.අපේ “ ස්කෝලේ හාමිනේ ”ගේ දේපලත් කොල්ල කාගෙන “ ඌ ලොකු මිනිහෙක් වුන වාඩුව පිරිමහන්න  මාමාගේ දුව බැදගෙන ඌට හොද පාඩමක් උගන්නනවා” කියලයි විමල් අපට කියන්නේ. අපි යාළුවෝ දෙන්න තුන්දෙනා මේ අදහස අනුමත කලේ හොද අදහසක් හැටියට.මේ කියන්නේ  බොරුවට. විමල් නෑනට පණට වගේ ආදරෙයි. 

ඒත්  ලොකු ස්කෝලේ මහත්තයායි  ස්කෝලේ හාමිනේ යි වගේම මාමයි නැන්දයි ජෝඩු දෙකම මේ මගුලට ඒ තරම් කැමති නැහැ. වැඩිමහල්ලෝ අතීරනේ නිසා  - දුව කැමතිත් නැහැ අකමැතිත් නැහැ. වැට උඩ. මේ හින්දා විමල් කියන්නේ “ඒකිට ගම්පලාතෙන් අළුතින් කොල්ලෙක් සෙට් වෙලා ”ඇති කියලා. 

මම විමල්ගේ ගෙදර ඉස්සෙල්ලම දවසේ ගියේ මේ අලකලංචි වලින් පුංචි පුංචි සුලි කුණාටු ගෙදරත් විමල්ගේ ඔළුවෙත් කැරකෙන කාලෙක. විමලුයි මායි  ගෙට ගොඩවුනා. විමල් මම සාලේ වාඩිකලා. “ ලොකු ස්කෝලේ මහත්තයා................”  විමල් කෑ ගහන්න පටන් ගත්තා. මට දෙයියෝ සිහිවුනා. මේ යකා තාත්තටනේ කතා කරන්නේ කියලා. “නැද්ද ?. ලොකු ස්කෝලේ මහත්තයාගේ සාක්කුවේ ගෙනාපු මොනවත් - මගේ යාළුවෙක් එක්කරගෙන ආවා ?. මට දෙවි දේවතාවුන් වහන්සේලා අසූ හාරදාහක පිහිට ඕන වුනා.

 ලොකු ස්කෝලේ මහත්තයා හිනාවේවී එලියට ආවා “ මේ ගල් මූසලයාගේ හැටි ඔහොම තමයි දරුවා!. ”  මගේ හිත යන්තම් නිවුනා.  ස්කෝලේ හාමිනේ..............  “ කුස්සිය පැත්තට එබිකම් කරලා “මේ දරුවට තේ එකක් හදන්කෝ ”කියලා ඇදලා පැදලා කිවුවා. මම හරි බරි ගැහිලා හොදට පුටුවේ වාඩිවුනා.

කාලය ඔහොම ගෙවිලා ගියා. පවුල් දෙක මේ අත්හරින්නේ නැති ප්‍රේමයට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න තීරණය කලා. මේ අතරේ ආයෙත් විමල් ඔළුව අවුල් කරගෙන එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. නැන්දම්මයි මාමයි වගේම  ලොකු ස්කෝලේ මහත්තයායි  ස්කෝලේ හාමිනේ යි වචනයක් දෙන්නේ නැතිව නිසංසල ප්‍රතිතිපත්තියකට පත් වෙලා නෑනා වෙනද පරිදිම හීතල ප්‍රතිපදාව අනුගමනය කරනවා.  

එක දවසක විමල් නෑනගේ කේන්ද්‍රයයි විමල්ගේ කේන්ද්‍රයයි උස්සගෙන අපේ ගෙදර ආවා. විමල් කේන්ද්‍ර දෙක අරගෙන යන යන තැන කියනවළු ස්ත්‍රී කේන්ද්‍රයට විවාහ දෙකක් පෙන්නුම් කරනවා කියලා. එහෙම නම් විමල්  දික්කසාද වෙන්න ඕනී නැත්නම් විමල් අකාලේ මැරෙන්න ඕණි.අපි හිතුවා.

අපි කොයිකටත් කියලා ප්‍රදේශයේ ජ්‍යොතිෂ්‍ය කටයුතු පිළිබද ප්‍රසිද්ධ හිමි නමක් සොයා ගෙන ගියා. එතුමා කොළයක් අරගෙන එහාට මෙහාට ඉරි ඇදලා මොන මොනවදෝ ලියාගෙන ගිහින් කෙස් බාපු ඔළුව අතගගා පැය ගානක් ගැටළු විසදලා පුස්කොල කේන්‍ද්‍ර පිටපත් දෙක හකුලලා ආපහු දෙන ගමන් කිව්වා “ මහත්තයෝ අපි පැවිද්දෝ නේ ? . මේවා ගැන මොනවත් අනාවැකි කියන්න හොද නැහැනේ කියලා. ” 
අපි දෙන්නත් අකුලා ගෙන ගෙදර ආවා.ඒ යකා දන්න මගුලක් නෑ ...ලොකු බෝර්ඩ් එකක් එල්ලා ගෙන හිටියට . හාමුදුරුවන්ගේ කතාවට අපි තිරනයක් දුන්නා.

අපි යාළුවො තුන් හතර දෙනා විමල්ට කිව්වා “හැමෝම කියන නිසා ඕක හිතෙන් අස්කරගනින් රටේ වෙන කෙල්ලෝ ඉන්නවානේ” කියලා.  එක යාළුවෙක් කිවුවා. “විමල් , ඔය මගුලට කරනවා නම් උඹලා දෙන්නට හනිමූන් එකට මගේ බංග්ලෝ එක නම් දෙන්නනේ නෑ” කියලා ඌ නොබැදපු එවුවෝ බදින කොට උගේ බංගලාව හයර් කරපු Planter කෙනෙක්.  කන්ඩායමේ තව එකෙක්  “ අපි වෙන උපක්‍රමයක් යොදමු “කියලා යෝජනාවක්  කලා.  මේ යාළුවා අපි කණ්ඩායම ඇතුලේ විමල්ම හැදුන්වුනේ “ තෝ මිත්‍යදෘෂ්ඨිකයා. දෙමළා - තෝ අදහන්නේ කාටවත් එපාවුන දෙයියෙක්” කියලා. අවුරුද්දක් දෙකක් කාලය හෙමින් ගෙවී ගියා කාගෙත් විරෝධතාවය නිශ්සබ්දයකට පෙරළුනා.

කවුරුත් අනුමත නොකලත් විමල් දෙමළ මිත්‍රයාගේ “වෙන උපක්‍රමය යොදලා විවාහ වුනා.” Planterගේ බංගලාවේ හනිමුන් එක ගත කලා. අපේ පවුල් අතරට තවත් හොද ගුණ යහපත් යෙහෙලියක් එකතු වුනා. කාලයක් ගිහින් ලොකු පුතාත් ලැබුනට පස්සේ දික්කසාදේ ඉල්ලලා දෙන්නා වෙන්වුනා. ආයෙත් විමලුත් සුනේත්‍රත්  විවාහ වුනා.  තව දුවෙකුත් පුතෙකුත් පවුලට එකතු වුනා. පුංචි පුංචි අලකලංචි තිබුනත් දෙන්නා දෙමහල්ලෝ සතුටින් සාමදානයෙන් සහ  සුපුරුදු ලෙස විමල්ටම උරුමවු චර්යා රටාවෙන්  විනෝදයෙන් කාලය ගත කලා.

මට අවුරුදු හැටක්වු 2008 දී විමල්ට වයස අවුරුදු 54යි. විමල් ඒ වන  දූ දරුවනගේ අධ්‍යාපන කටයුතු පහසුවන්න සුනේත්‍රලාගේ මහ ගෙදරට පදිංචිය මාරු කරලා හිටියේ. දැන් ලොකු දරුවෝ දෙන්නා පිටරට රැකියාවලට නිවසින් බැහැර වෙලා . ගෙදර ඉදන් පුංචි කෙල්ල උසස් පෙල හදාරනවා.

2008 අවුරුද්දේ එක් අදුරු දවසක.,  බියකරු ලෙස අකුණු ගහ ගහා මහ හයියෙන් වැස්සා . විමල් වම් අත ටිකක් රිදෙනවා කියලා කෑ ගහන්න පටන් ගත්තා. විමල්ගේ විහිළුවක් කියලා  සුනේත්‍රා ගනන් ගත්තේ නෑ. විමල්ගේ වේදනාව හදුනා ගත්තේ ඩිංගක් පමා වෙලා. සුනේත්‍රා   විමල්ගේ වේදනාව තාවකාලිකව වලක්වන්න හිතාගෙන අතේ ඇගිලි ගාවා ඉදන් උර හිස ගාවට Declopanac jell එකක්  ඇතුල්ලුළුවා. සුවයක් නැති තැන රෝහලට එක්කරගෙන යන්න සූදානම්වුනා.වේදනාව අතර සුනේත්‍රාට කෑගහන විමල් “කෙල්ලේ ....අර මගේ මගුල් සූට් ගනින් .ඒක මට හෙට අදින්න ඕනී. නැත්නම්  මගේ ලෝභ කුණු මාමන්ඩියා උඹේ අළුත් මිනිහට මගුල්දාට ඒක අන්දයි. වගේ විහිළු කතා කියන්න පටන් ගත්තා . විමල්ගේ හැටි දන්න සුනේත්‍රා ඒවා විහිළු හැටියටම හිතට  ගත්තා.

රෝහලට යන අතර මගදී විමල් සුනේත්‍රාගේ උර හිස මත  සිට අපිත් , සුනේත්‍රාත් දු දරුවෝත් අතහැර .,............අපි අතරින් වෙන්ව යන්න ගියා. විමල්ගේ සදාකාලිකවු සැහැල්ලුව හිනාව එදා පරිද්දෙන්ම අදත් අපි අතර ඉතිරිවුනා.

එදා විමල්ගේ  මිත්‍යදෘෂ්ඨික මිතුරාගේ උපක්‍රමික උපදේශය පල දැරුවේත් නෑ .2014 අප්රේල් වන විටත්  කේන්ද්‍රයේ තිබු දෙවන විවාහය සුනේත්‍රා සොයාගෙන ආවෙත් නැහැ. සුනේත්‍රා මුණුපුරු මිණිපිරියන් අතර ආත්තම්මා වුනා.


Dr බෙහෙත් වට්ටෝරු ලියන හැම දවසෙත් , ඊලග දවසේ ගේන්න කියන රිපෝට් ගානත් දකින හැම දවසෙමත් මට හිතෙනවා විමල් කෙනෙක් වෙන්න. ඒත් හැම කෙනාටම විමල් කෙනෙක් වෙන්න පුළුවන්ද ?. මට විමල් කෙනෙක් වෙන්න වාසනාව තිබුනොත් මාත් පින් කල කෙනෙක් කියලා මට හිතනවා. 


notes of imaginary

මගේ අවුරුද්ද .

සිංහල හින්දු අළුත් අවුරුදු උත්සව සමය තාමත් ගෙවී ගොස් නැත. එරමුදු ගස් නැති මහ පොලොවේ ගෙඋයන් වල අපහසුවෙන් වවා ගන්නා පයින් විලෝ වැනි ගස් මත කොහා හඩලමින් බක් මහ අපේ රටට උත්සව සමයක් බව කියනා බැව්  මට සිතිවිල්ලක සටහන් විය. මේ අවුරුද්දේ උත්සව සමය ගෙවී යලිත් 21 වෙනිදා වන විට ජන ජීවිතයේ  ජීවන සටනට මිනිසුන් අවතීර්න වනවා ඇත. මේ ගෙවී යන්නේ ජීවිත සටන නැතිනම් අරගලය තාවකාලිකව අමතක කර බොල් සිහින දකින  සතියේ  අවසාන දින දෙක තුනය.
වැස්ස නැතිව දිය පොදකට සුසුම් ලෑ උදවියට වැස්ස ලැබී ඇත. එහෙත් එය පසුගිය අවුරුද්දේ මේ බිම තෙමු බක් මහ වැස්සට සමීප කරවන්න ඒ වැස්සට බැරිවු බවක් මගේ හිතට  දැනෙන වෙනසක්වීය. මහ නියගයක පෙර නිමිත්තක්ද ?.

හතර දිග් බාගේ   අවුරුද්දට සුබ පතන මට අද නම් යාන්තම් වැස්සා අපේ ලිං හොදටම හිදිලා තිබුනේ යන කතාව සුලබව අසන්නට ලැබුන අදහසක් බවට පත්විය. අවුරුද්ද පුරාවට තුන් පැත්තකින් වතුරෙන් ඉතිරෙන බිම්කඩක නිවෙස් කර සිටින මට වතුර අඩුපාඩුවක් නැත. මේ බිම් කඩ ද්වීපයක්ද අර්ධ ද්වීපයක්ද නොවන බව අපේ නිවසට එක්වෙන පුංචි එවුන් විවිධ අන්දමින්  තර්ක ගොඩ නගනු අසන මම ඉන් ආශ්වාදයක් ලබන බව නොරහසක් වී ඇත.

අපේ තාත්තා අපෙන් වෙන්වී සුවදායක නින්දකට පිවිසියේ 1998 අප්රේල් මාසේ 13 වෙනිදා දිනයෙදීය. ඉතින් මේ ගෙවී යන්නේ අපට අවුරුදු උත්සවය අහිමිවු දහ හත්වෙනි අවුරුද්දය. තාත්තා සිටින විට අවුරුදු දා දූ දරුවන්ගෙන් සහ මුණුපුරු මිණිපිරියන්ගෙන් අපේ මහ ගෙදර පිරී ගියත් මේ වන විට මහ ගෙදර පිරී යන්නේ අපේ අම්මා විසින් ලක ලෑස්ති කර පිරිනමන දානමය පුණ්‍යකර්මය සරසන්නටය.  හරියටම අප්රේල් මස 13 වෙනිදාට දනට වඩින ස්වාමීන් වහන්සේලා ගිවිස ගැණිමට නොහැකි හෙයින් මේ අවුරුද්දේ 05 වෙනිදා එතෙර මෙතෙර සිටින අපේ තාත්තාගේ දූ දරුවෝ මහ ගෙදරට කේන්ද්‍ර කොට ගත්තේය.

අපේ අම්මාද මේ මාර්තු මසේ විසි හත්වෙනිදා වන විට අවුරුදු අනූවක් ජීවිතයේ මං සලකනු තැබු වේය. ඈ අපේ දූරුවන්ගේ ආදරණිය ආතම්මාය. මුණුපුරු මිණිපිරියනට ආදරණිය ලොකු අම්මාය. අපිට “කලා වැවේ දියවර අපේ අම්මා” ය. කලාවැවේ දියවර රජරටම රැක බලාගන්නාසේ අපේ අම්මා තාමත් අප රැක බලා ගන්නීය. අප ගැන සොයා විමසන්නීය.   අප වෛද්‍ය වරුන් ලග “ෆුල් ඔප්සන්” වී වැටෙන විට ඈ  තවමත් නිරෝගීය .  සෞඛ්‍යමත්ය ,කඩිසරය. https://www.youtube.com/watch?v=TZmjfIj1Plo ඈ හට   අපේ ආයුෂත් රැගෙන අපි නැතිවත් අපේ දු දරුවන්ට සෙනෙහස පාන්නට පින් ඇත.
අපේ තාත්තාටත් අම්මාටත් මේ මිහිමතට බරක් නොවනා පරිද්දෙන් දරවන් නවදෙනෙකු බිහිකර හදා වඩා ගන්නට පින්මහිමය තිබුනේය. ඒත් ආත්තම්මා හිමිකම් කියන්නේ මුණුපුරු මිණිපිරියන් පහලොස් දෙනෙකුට පමනය. ලොකු අත්තාම්මා වී මී මුණුපුරු මිණිපිරියන් පස්දෙනෙකු ඈ සුරතල් කරන්නේය.

කාලයත් ජීවිතයත්  වෙනස්ව ඇත මේ මිහි මඩලට ඔසවා ගන්නට නොතරම් බරක් මිහිමඩල ඔසවා සිටින බව අප අද දකින්නේය. කාලයක සිට අමුත්තක් නැතිව මගේ අවුරුද්ද පටන් ගන්නේ  මෙවැනි සිතිවිලි සිහිපත් කරගෙන වුවද මා නැතිකලක මම තාත්තා වී - සීයාවී සැමරුම් ලබන්නට තරම් කාලය නිසංසල විය නොහැක.

අප පුංචිකාලයේ දවසට වාහන දහයක් දොලහක් එහාට මෙහාට ගිය ඒ 4 මාවත අද කනට නිවනක් නොදෙන තරම් වාහන එහා මෙහා වෙන හඩින් පිරී ඇත. ඇස් දිෂ්ඨියක් මානයේ නිල්ල පිරුන වනය කොන්ක්‍රීටි පිරුණ කාන්තාරයක් බවට පත්ව ඇත. අවුරුද්ද පුරාම අඩුවක් නැතිව මිණිකැටයක් වන් පිරිසිදු ජලය වළවේ ගගට එක්කල බෙලිහුල්ඔය අද වැස්ස නතර වන විටම සිදී යන්නේය. නිහඩව නිසලව ගලා ගිය අපේ ජීවිත‍ය අද වන විට මහත් සංකීර්න අවුල් ජාලාවක් බවට පත්ව ඇත.දෑස පියා ගෙන මේ විදින  මහා ජීවන ව්‍යාසනය ජය ගන්නට වෙර දරන අපේ පසු පරම්පරාවට අපව සිහිපත් කිරීමට කාලය ඉතිරි කර ගත  හැකිද?.

අපේ තාත්තා සහ අම්මා තරම්  අපි පින් කර නැතියයි යලි යලි සිතන්නට මම ඔවුන් මෙන්    දීර්ඝායු විදිමින්  ජීවත්විය යුතු නැත. අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් ලබන හැම අවුරුදු දාකම  මම මෙසේ සිතුවත් ඊලග අවුරුදු දා ත් එසේ සිතන්නට සිදුවන නිසා මා තවමත් මගේ පව් ගෙවා නැති බව සිතමින් සුසුමකින් සැහැල්ලු කර ගන්නේය.


notes of imaginary

Wednesday, April 09, 2014

තන්හාවක තරම ?.




notes of imaginary

Thursday, April 03, 2014

මහින්ද අදූරදර්ශී නායකයකු විය යුතු ද ?.


ශ්‍රී ලංකාවේ වගවීම හා ප‍්‍රතිසන්ධානයට අදාළව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී තිබෙන යෝජනාව ආශ‍්‍රයෙන් කරළියට එන වැඩසටහන සමග ශ‍්‍රී ලංකාව සහයෝගයෙන් ක‍්‍රියා නොකොට ඊට එරෙහිව ක‍්‍රියාකරන තැනකට ගියහොත් රටක් වශයෙන් අපට සිදුවිය හැකි විනාශය අතිවිශාලය. නූතන ලෝකයේ අභ්‍යන්තර හෝ බාහිර යුද්ධයක් අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවීම ඉතාමත් ස්වාභාවිකය.
යුද්ධය අවසන් කිරීමෙන් පසු මතුවූ ප‍්‍රශ්න කිරීම් ඉදිරියේ ප‍්‍රඥාවන්ත ලෙස ක‍්‍රියාකරන්නට රට සමත් වී නම් ලොකු වන්දි ගෙවීමකින් තොරව එම ප‍්‍රශ්න නිරාකරණය කරගනිමින් වඩා ශක්තිමත් ලෙස ඉදිරියට යෑමේ හැකියාව රටට හිමිවන්නට ඉඩ තිබුණි. එහෙත් ආණ්ඩුව මුල සිටම එම ප‍්‍රශ්න කිරීම් ඉදිරියේ ක‍්‍රියා කළ ආකාරය ඉතාමත් අදූරදර්ශී විය. දැන් මෙම යෝජනාව සම්මතවීමත් සමග රට ඇද වැටී සිටින්නේ මහා විනාශයක මුවවිටය. එහිදී අප තෝරාගන්නට යන්නේ ඊට එරෙහිව සටන් කරන මාවතක් නම් ආණ්ඩුව පමණක් නොව රටද මහා ප‍්‍රපාතයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.
දේශප්‍රේමය
මහජනයා අතර දේශපේ‍්‍රමී හැඟීම් උද්දීපනය කිරීම අමාරු නැත. එහෙත් ඒ සඳහා ක‍්‍රියාවට නගන වැඩසටහන් මහජනයා කෙරෙහි විශාල පීඩාවක් ඇතිකරන්නේ නම් එම දේශපේ‍්‍රමී වැඩසටහන්වලට එරෙහිව නැගී සිටින්නන් බවට පත්වන්නේද මුලදී දේශපේ‍්‍රමී ආවේගයන් මත ක‍්‍රියා කළ දේශපේ‍්‍රමී ජනතාවමය. 1977ට පෙර ශ‍්‍රී ලංකාවේ ජනතාව විවෘත ආර්ථික ක‍්‍රමයක රස බලා නොතිබුණි. ඔවුන් ජීවත්වූයේ වර්තමානයට වඩා සරල හා අල්පේච්ඡ සමාජ වටාපිටාවකය. නිදහස ලැබීමෙන් පසු 1970-77 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව දක්වාම බලයට පත් හැම ආණ්ඩුවක්ම කතා කළේ ආහාරවලින් ස්වයංපෝෂිත රටක් ගැනය. එය සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේද ප‍්‍රධාන සටන් පාඨය විය.
එම ආණ්ඩු කාලයේදී ලෝක මට්ටමෙන් ඇතිවී ලංකාව කෙරෙහි විනාශකාරී ලෙස බලපාමින් තිබූ ආර්ථික අර්බුදයකට මුහුණදීම පිණිස රට වගා සංග‍්‍රාමයකට යොමුකරනවාට අතිරේකව රටේ ආර්ථික ආරක්ෂාව සඳහා මහජනයා කෙරෙහිද පීඩාකාරී ලෙස බලපාන ආකාරයේ සම්බාධක පනවන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නට එම ආණ්ඩුවට සිදුවිය. ආණ්ඩුව එසේ කළේ මහජනයා අතර දේශපේ‍්‍රමී හැඟීම් පුබුදු කරමිනි. මුලදී දේශපේ‍්‍රමී හැඟීමෙන් කුල්මත් වූ මහජනයාද ආණ්ඩුව ක‍්‍රියාවට නගන ලද පියවරයන්ට සහයෝගය පළකරමින්, ‘සීනි නැතිව තේ බොන්නම්, හාල් නැතිව බත් කන්නම්කියමින් පෙළපාළි ගියේය. එහෙත් ආර්ථික වශයෙන් පැවති පීඩාකාරී තත්ත්වය ඉවසිය නොහැකි තත්ත්වයකට පත්වූ විට එම ආණ්ඩුව අතිවිශාල පරාජයකට ලක්කරනු ලැබුවේද මුලදී දේශපේ‍්‍රමී හැඟීමෙන් ක‍්‍රියා කළ එම ජනතාවමය.
වර්තමාන ජනතාව එදා සිටි ජනතාවටත් වඩා වෙනස්ය. ඔවුහු අල්පේච්ඡ ජීවිතයකට හුරු පුරුදු වූ ජනතාවක් නොව සුවපහසු විවෘත ආර්ථිකයකට හුරුපුරුදු ජනතාවකි. ඔවුන් මේ මොහොතේ දේශපේ‍්‍රමී හැඟීමෙන් කුල්මත් වී ක‍්‍රියාකරන තත්ත්වයක සිටිය හැකි වුවත් සම්බාධක පනවන තත්ත්වයක් ඔවුන්ගේ හුරුපුරුදු ජීවිත වෙනස් කොට ඔවුන් කෙරෙහි පීඩාකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතුවේ නම් ආණ්ඩුවට එරෙහිව කෝපයෙන් හැඟීම්බරව ක‍්‍රියාකරන තත්ත්වයට යොමුවනු ඇත්තේද මුලදී දේශපේ‍්‍රමී හැඟීමෙන් කුල්මත් වී ක‍්‍රියාකළ එම මහජනතාවමය.
සම්බාධක
අප හිතුවක්කාරීව ක‍්‍රියාකරන තැනකට ගියහොත් ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම ආරම්භ වනු ඇත්තේද පුංචියටය. ඒවා ලොකු මහත් වූ දේවල් බවට පත්වනු ඇත්තේ ක‍්‍රම ක‍්‍රමයෙනි. දකුණු අපි‍්‍රකාවට මෙන් සමහරවිට අපේ කි‍්‍රකට්වලට පවා තහංචි පනවන තත්ත්වයක් ඇතිවිය හැකිය. සම්බාධක පැනවීම්වලට ලක්වූ වඩා බලවත් රටවල් පවා විනාශ මුඛයට පත්වූවා මිස එවැනි තත්ත්වයකට මුහුණ දී විශාල හානියක් ඇතිකර ගැනීමකින් තොරව නැගී සිටි කිසිම රටක් ගැන අසන්නට ලැබෙන්නේ නැත. ආරාවුල දුරදිග යන තත්ත්වයක් ඇති වුවහොත් කොළඹ වරායද නැව් නොඑන වරායක් බවට පත්විය හැකිය. කටුනායක ගුවන්තොටුපොළද ගුවන්යානා නොඑන ගුවන්තොටුපළක් බවට පත්විය හැකිය. අපේ අපනයන වෙළෙඳාම නැත්තටම නැතිවිය හැකිය. ඒ සමග අපේ ආනයන වෙළෙඳාමද මහා අර්බුදයකට ලක්වනු ඇත. තේ වතුවලින් තේ ඉවත් කොට ඒවාහි අල, බතල සිටුවන්නට සිදුවන තත්ත්වයක් ඇතිවිය හැකිය. අවසානයේ කාපට් කරන ලද මහා මාර්ගවල මෝටර් රථ වෙනුවට ගමන් කරනු ඇත්තේ ගොන් කරත්තය.
වැරදි තක්සේරුව
ආණ්ඩුවට නූතන ලෝක රටාව ගැන හෝ සම්බාධක හා ඒ නිසා ඇතිවිය හැකි ප‍්‍රතිඵල ගැන හෝ නිසි අවබෝධයක් හෝ තක්සේරුවක් ඇති බව පෙනෙන්නට නැත. තාවකාලික තහනමකින් පසුව නැවත ලබාගත හැකි තත්ත්වයක තිබූ යුරෝපා සංගමයේ ජීඇස්පී ප්ලස් සහනය ගැනද කීවේ එය නැතිව ඉදිරියට යෑමේ හැකියාව ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට තිබෙන බවය. අවසානයේ එය අහිමිකර ගැනීමෙන් අපනයන කර්මාන්ත අංශයට සිදුවූ හානිය අතිවිශාලය. කර්මාන්ත විශාල සංඛ්‍යාවක් වැසී ගියේය.
කම්කරුවන් විශාල සංඛ්‍යාවකට රක්ෂා අහිමි විය. ආර්ථිකයේ 33%ක තත්ත්වයක තිබූ අපනයන කර්මාන්තය 17% දක්වා පහත වැටුණේය. එවැනි පුංචි සම්බාධකයකින් විය හැකි හානිය එතරම් විශාල නම් හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකරන තැනකට ගියහොත් පනවන සම්බාධකවලින් රටට විය හැකි හානියේ තරම තේරුම් ගැනීමට අපහසු නැත.
අවසානයේ දේවල් සිදුවන්නට යන්නේ රටේ විනාශයට හේතුවන ආකාරයට නම් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නාමය ඉතිහාසයට එකතුවනු ඇත්තේද ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයෙන් රට ගලවා ගත් ඉන්පසු බෙදී සිටි ජාතිය එක්සත් කිරීමට හා එම ජාතියේ නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන නව රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට අසමත්වීම නිසා හා ආත්මාර්ථකාමී වීම නිසා ශ්‍රේෂ්ඨ ජන නායකයකු වීමට තිබුණු හැකියාව අහිමි කරගනිමින් රට මහා කාලකණ්ණි තත්ත්වයකට ඇද දැමූ අදූරදර්ශී නායකයකු වශයෙනි.
මාතෟකාව පමනක් මගෙනි.


රාවය - වික්ටර් අයිවන්.



notes of imaginary

Sunday, March 30, 2014

දිණුම් කනුව පහුවුනා!.


notes of imaginary

Monday, March 24, 2014

දිනුම් කනුව !




notes of imaginary

Sunday, March 23, 2014

බෙලි ඖෂධයක්.




පෙරදාක නතරවු වියමනේ ඉතිරි කොටස අද ලියන්නේ බෙලි අපට ප්‍රයෝජනවත් වෙන අන්දමත් ප්‍රයෝජනයට ගන්නා අන්දමත් පිලිබදව පුංචි චිචරනයක් කරන්න. මේ වැඩේට මට උදව් වුනේ අපේ නිවස ලගම ඉන්න ආයුර්වේද වෛද්‍යාචාර්ය තුමන් . කතා බහ සමාලෝචනය කරපුවම බෙලි අමාශය ආශ්‍රිත රෝග සදහා කදිම ඔසුවක් කියලා මට හිතුනා. බෙලි ගහේ මුල්
,පොතු , කොල,  මල් සහ පල කියන සියළු අංග අපිට ප්‍රයෝජනවත් වන අන්දම එතුමාගේ අදහස් වලින් පැහැදිලිවේවි.

කොයිතරම් බඩගින්න දැනුණත් කෑම කන්න අප්‍රියයි.දැක්කම එපා වෙනවා. ඒ බව ප්‍රකාශ කලොත් මුළුතැන්ගේ පැත්තෙන් ගෝරනාඩු. ගෝරනාඩුවට බියේ අමාරුවෙන් හරි ගිලදැම්මොත් වමනයට ඔක්කාරෙට එනවා.  එවන් අපහසුකමක් ඇතිවුනොත් වලං පිගන් ඇගට එන්න ඉස්සෙල්ලා ඉදුණු බෙලි මද ග්‍රැම් 60, සීනි ග්‍රැම් 20ක්, ලුණු ස්වල්පයක් වතුර මි.ලී. 240 මිශ්‍ර කරලා පෙරළා දින 5ක් පමණ උදෑසන හිස් බඩට බොන්න. සිරුරේ ඇති බර ගතිය නිදහස් වෙලා කෑම අරුචිය නැති වෙලා යනවා. අනෙක් අපල උපද්‍රව වලිනිනුත් ආරක්‍ෂා වෙනවා.
ඉදුණු බෙලි මද ටිකක් අරගෙන පොල් කිරි සමඟ මිශ්‍ර කර ගන්න. සීනි සහ ලුණු පදමට එන පරිදි දමා දිවුල් කිරි වගේම හොඳින් ඒ ද්‍රාවණය මිශ්‍ර කරගන්න. ආහාර හොඳින් දිරවීමටත්, අර්ශස් වගේ රුධිරය පිටවන රෝග නැතිකර පහසුවෙන් බහිස්‍රාවීය කටයුතු සිදුවීමටත් මේ පානය ඉතාමත්ම ප්‍රයෝජනවත් . ආමාශ තුවාල, අධික අම්ල පිත්ත, ගැස්ට්‍රයිටීස් වගේ ආසාදනවලට බෙලි කිරි හොඳයි.
අතුරුපසක් විදියටත් අගේ ඇති බීමක්. 

අපේ බඩ නොයෙක් විදියේ පෙරලි කරනවා. බුරුල් වෙනවා වගේම තද වෙනවා.ඉදුනු බෙලි මද බඩ බුරුල් කරලා පහසුකරනවා වගේම ඕනවට වගේ බුරුල් වෙලා එක දිගට දුවන්න උනොත් ( අතීසාරය වැනි රෝගවලදී) බෙලි ගැට මද වලින් පුළුවන්  මල වියළී යාමට සලස්වන්න.  බෙලි ගැට මද කොටස් තුනක් උක් හකුරු කොටස් දෙකක් සමඟ මිශ්‍ර කරලා වරකට ග්‍රැම් අටක් වගේ දිනකට දෙවරක් ආහාරයට ගන්න. අතීසාරය ගතිය දුරුවී සාමාන්‍ය තත්වයට හැරෙනවා.  
මොකක්ද වදේ මේ කාලා අත හොදා ගන්නේ දොර ඇරගෙන ?. අහල තියෙනවද මේ ප්‍රශ්නය.  ඒකටත් උත්තරය බෙලි ගැට වල තියෙනවා. ඒ වගේ අයට බෙලි ගැට මද හොඳින් අව්වේ වියළා අරගෙන ඒ වියළි බෙලි ගැට මද ප්‍රමාණයට සමානව වියළි ඉඟුරු මිශ්‍රකර හොඳින් කුඩු කර මෝරු සමඟ දිනකට වරක් වෙන්න වගේ පානය කරන්න. ප්‍රශ්නය සමනය වනවා.
ඇතැම් විට අතුල් පතුල් දැවිල්ල ඇත්නම් බෙලි ගැට මද තල තෙල්වල සතියක් දාලා තියලා පෙරළා අරගෙන ඒ දැවිල්ල වේදනාව ඇති තැන්වල ආලේප කරන්න. අතුල් පතුල් දැවිල්ල සුවපත් වෙනවා.
අපි  දැකලා තියෙනවා කිතුල් හකුරු සමග බෙලිමල් බොමු කියලා දැන්වීම් පුවරු අගේ ඇති බීමක්. 
උෂ්ණ කාලවලදී බෙලි මල් තම්බලා කිතුල් හකුරු හා සීනි සමඟ බොන්න ගන්නව නම් ඇඟට සිසිල් ගුණයත් ලැබෙනවා. පුළුවන් නම් තේ වලින් බෙලි මල් තම්බලා බොන්න නොමිලයේ රෝග රැසක් වලක්වා ගන්න පුළුවන්.

බෙලි මුල් ආයුර්වේදයේ සඳහන් වන දශ මුල්වලින් එකක්. වාත රෝගවලට, ඉදිමුම්, හන්දිපත් වේදනාවලට වගේම සිරුරේ අභ්‍යන්තරව සහ බාහිරව ඇති විවිධ වේදනාවලට බෙලි මුල් සහ සුදුලූනු තම්බලා බොන්න. වේදනා නාශක ඔෟෂධීය ගුණය ඇති පානයක්.

පුංචි ළමයින්ගේ  අජීර්ණය නිසා වමනය අතීසාරයට බෙලි මුල් පොතු 60 ග්‍රැම් ක් වතුර 960 මිලිලිටර් දමා ඒකට වී පොරි කුඩු සහ සූකිරි ස්වල්පයක් මිශ්‍ර කරලා 240 මිලිටර් එකකට සිඳුවා උදේ කෝප්ප භාගයයි සවස කෝප්ප භාගයයි බොන්න දින තුනක්, හතරක් දෙන්න පුළුවන් නම් රෝගී තත්වය බැහැර වෙනවා. 

අමු බෙලි කොළ කොටලා යුෂ අරගෙන ඒ යුෂ සමඟ ගම්මිරිස් කුඩු ටිකක් මිශ්‍ර කරලා දිනපතා උදෑසන බොන්න. ශරීරයේ සීනී පාලනය වී දියවැඩියාවට ප්‍රතිකර්මයක් වෙනවා.  ඉදිමුම් වේදනා ඇති වන අවස්ථා වලදී බෙලි කොළ කොටලා රෝගී ස්ථානයේ ආලේප කිරීමෙන් සුවය අත්වෙනවා.

රූපලාවන්‍ය කටයුතු සඳහාද බෙලි යොදා ගත හැකියි. කාන්තාවන්ගේ  මුහුණේ ලප කැළැල් සහ කුරුලෑ දුරලීමට බෙලි ඉතාමත්ම සුදුසුයි.
සිරුරේ  ඇතිවන දහදිය බිබිළි , සිරුරෙන් අසාමාන්‍ය ලෙස දහදිය ගඳ හමනවා නම් . බෙලි කොළ අඹරලා සිරුරේ ආලේප කරගෙන පැයකට පමණ පසුව නාන්න. දහදිය ගඳ යෑමටත් බිබිළි නැති වෙලා යන්නත් ඒක හොඳ ප්‍රතිකර්මයක්.
ඉදුණු බෙලි, කහ, දෙහි එකට මිශ්‍ර කරලා ලප කැළැල්, කුරුළෑ සහිත මුහුණේ ආලේප කරලා පැය දෙකකට පමණ පසුව මුහුණු සෝදන්න. සති දෙකක පමණ කාලයක් මෙම ප්‍රතිකර්මය කිරීමෙන් සම පැහැපත් වෙනවා. මුහුනේ හම පැළෙනවා නම් හැකිළෙනවා නම් . ඉදුණු බෙලි, වට්ටක්කා මද සමඟ හොඳින් මිශ්‍ර කරලා එළකිරි සමඟ කලවම් කරලා ගාන්න. හමේ තෙතමනය රදා පවතින්න හොද  ප්‍රතිකාරයක්. 

බෙලි මුල්

අධික රුධිර පීඩනය ඇති අයට බෙලි මුල්, බැබිල මුල්, අමු ඉඟුරු, සමව අරගෙන හොඳින් තම්බලා ඒ තැම්බුම් යුෂ සීනි ස්වල්පය බැගින් මිශ්‍ර කර වරින් වර බොන්න. අධික රුධිර පීඩනයට එය ගුණදායකයි.




notes of imaginary

Saturday, March 22, 2014

බෙලි .


බෙලි ගැන කතා කිරීමත් බෙල්ල ගහලා යන වැඩක්. බෙලි කැපීම අපේ රටේ සුලභව අහන්න ලැබෙන කතාන්දරයක් .බෙල්ල කපලා ගියත් කමක් නැහැ කියන උදවියත් අපි අතර ඉන්නවා. ඒ කවුරු උනත් බෙලි බේර ගෙන තමයි කවුරුත් වැඩට බහින්නේ. මේ දවස් වල බස්නාහිරත් දකුනෙත් පලාත් සභා මැතිවරණ ඉතින් බෙලි පරිස්සම් කරගෙන තමයි ලියන්නත් කියවන්නත් වෙන්නේ.
කාලෙකට පස්සේ කරන මේ වියමන් වෙන් වෙන්නේ බෙලි ගැන. අද වියමන එසේ මෙසේ බෙලි ගැන නෙමෙයි. Aeqie marmelos විද්‍යාත්මක නාමයෙන් හදුන්වන බෙලි ගැනයි. මේ “බෙලි”  - තමුන්ගේ බෙල්ල  විතරක් නෙමෙයි මුළු ශරීරයම ආරක්‍ෂා කරන නිසා කලබලයක් නැතිව කියවන එක ඇගට නම් ‍හුගක් ගුණයි.
කොයි දේටත් ඉතිහාසයක් තියෙනවානේ. ඒ වගේම හදාපු කයි කතන්දරත් ( ජනප්‍රවාද ) තියෙනවා නේ . අපි ඒවත් ටිකක් අහලා බලමුකෝ.
බෙලි කැපිල්ල නම් 'වහ්නි පුරාණය' යේ සදහන් වන්නේ ප්‍රදේශයටම තුන්බිය ගෙන්වන විනාශයක් විදියටයි. මොකද බෙලි ගස් වලට අරක් ගත්ත දෙවි දේවතාවුන් රැසක් ඉන්නා බවයි 'වහ්නි පුරාණය' සදහන් කරන්නේ . ඔවුන්  කෝපවී ප්‍රදේශයම විනාශ කරනවා කියන මතය 'වහ්නි පුරාණය' පල කරන්නේ බෙලි ගස් ආරක්‍ෂා කරගන්න වෙන්න ඕනී. බෙලි වල තියෙන ඖෂධීය ගුණ තැන හිතන කොට ඇත්තෙන්ම බෙලි ගස් විනාශ කිරීම තුන් බිය ඇතිවීමට එක් හේතුවක්.
දැන් කාලේ ඉන්න local දෙවිවරුන්ට නම් ගහක් ගලක් පෙන්නන්න බැහැ. ඒත් එයාලට ඇති තුන්බියකුක් නැහැ.
අපේ සංස්කෘතියේ අපට  උරුම කරලා දුන්න ජනප්‍රවාද තියෙනවා නේ. එක් ජනප්‍රවාදයක් තමයි බෙලිගල රජමහා විහාරයේ පැවැති දැවැන්ත බෙලි ගසක ඵලයක්  මහා හඬක් නඟමින් දෙකඩ වී පුපුරා “හෙණකඳ බිසෝ බණ්ඩාර දේවි”  උපත සිදුවූ බව.
බෙලි ශාකය ආයුර්වේදයේ  සෞභාග්‍යයේ සංකේතයක් කියන අදහසින් “ශ්‍රී ඵල “ කියලත් සශ්‍රීකවත් ශාකයක් යන අදහසින් “ සදා ඵල “ කියලත් ලක්ෂ්මි දේවිය අරක්ගත් ශාකයක් යන අදහසින් “ශ්‍රීයා ඵල”  කියලත් හඳුන්වනවා. එපමණක් නොවෙයි බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන දෙවියන් තුන්දෙනා සංකේතවත් වන ආකාරයට පත්‍ර තුනක් වන පරිදි බෙලි ශාකයේ පත්‍ර පිහිටා තිබෙනවා කියන අදහසකුත් තියෙනවා.

බෙලි හොද පලතුරක් .
ඉදුනාම  ස්වභාවික තත්වයෙනුත් , හොදට පැහුණ බෙලි තම්බලා පානයක් වගේත් කන්නත් පිලිවෙල කරගන්න පුළුවන්. බෙලි මල් රසවත් පානයක්. මදය කෑමට ගත් පසු බෙලි කට්ට වියලා තම්බා පානයක් ලෙස පිලිවෙල කර ගන්නත් පුළුවන්.
බෙලි දේශීය ආයුර්වේදයේ රෝග රාශියකට ගුණය ලබාදීම සඳහා යොදා ගන්නා අගනා විස්මිත ඖෂධයක්. අර්ශස් රෝගය , අන්තරය ආශ්‍රිත රෝග , ශරිර සෞඛ්‍ය වර්ධණය කරගැණිමට සුදුසු ගුණාත්මක බවක් බෙලි වල තියෙනවා. බෙලි පොදුවේ ගත්තොත් අන්ත්‍රයේ රෝගවලට ඉතාමත්ම ගුණයි. ඒ වගේම බෙලි කියන්නේ වා, පිත්, සෙම් තුනටම හොඳ අගනා ඖෂධයක්.  වගේම හෘදය ආශ්‍රිත දුබලතාවලට, ඉදිමුම් වේදනාවලට, විවිධ අතීසාර රෝගවලට, කෑම අරුචියට ආදී රෝග රැසකට හොඳ ඖෂධයක්.
බෙලි මදවල කාබෝහයිඩ්‍රෙට්, ප්‍රෝටීන්, සීනි, කැල්සියම්, පොස්පරස්, යකඩ,  ගුණයන් සහ  බෙලි මදය මත තියෙන වාෂ්පශීලී තෙල් ගතිය සහ ගම් වැනි අලේපය සිරුරේ මාංස පේශි වර්ධනයට උපකාරී වෙනවා. ආයුර්වේදියේදී බෙලි කොල ,මල් පොතු, ගෙඩි මුල් ප්‍රතිකාර සදහා යොදා ගන්නවා.
බෙලි  ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, බුරුමය, තායිලන්තය යනාදී රටවල වැවෙනවා.

 බෙලි ගැන තව කතාවක් ආයෙත් වියමන් කරන්නම්. 


notes of imaginary

Thursday, March 20, 2014

මමයි මහ ඇමති !.




notes of imaginary

Thursday, March 13, 2014

දෙවියන්ගේ පිහිටයි !



notes of imaginary