| ඩෙල්ෆ් දූපතේ පාසලක් |
එකමත් එක කාලෙක මේ
රටේ හිටපු පුංචි එවුවො
සුදු සපත්තු ,මේස් දාල
ජැන්ඩි පහට සුදු ඇඳගෙන
පොත් බෑග් එකත් අරගෙන
ගියාලු ඉස්කෝලේ ..
යාළු මාළු එකතු කරන්
ස්කූල් බස් එකේ නැගල
හිනා කවට උතුර උතුර
සීත සුළං ඇඟ දවටන්
ගියාලු ඉස්කෝලේ ...
අරලිය ගස් සුවඳ දිදී
මල් පාත්ති හිනාවෙවී
සුදු වැලි උඩ සිත්තම් ඇඳ
බුදු ගෙට වැඳලා හෙමිහිට
ගියාලු ඉස්කෝලේ .
එසෙම්බ්ලියෙ දි කවි කියන්න
කතා කියල ,රඟපාන්න
තාලෙට බෙර; උඩ පැන පැන
හනුමා වන්නම නටන්න
පන්තියෙ හොඳ ළමය වෙලා
අප්පුඩි මැද තෑගී ගන්න
ගියාලු ඉස්කෝලේ .
මල් ,මල් සාරිය පටලා
මුතු දෙපොටක් කරේ දමා
සාරිපොටෙන් දරුවො ඔතපු
ගුරු අම්මල ලඟ ඉඳගෙන
වටවී කවි ගී අහන්න...
අඩුකරන්න;බෙදාගන්න ...
ගුණ දහමින් ලොවදිනන්න
කොට තාප්පයෙන් පැනලා
ග්‍රවුන්ඩ් එකේ බැට් ගහන්න ,,,
හයේ පාරවල් දීලා
ලැබ් එකෙ වීදුරු බිඳින්න
ගියාලු ඉස්කෝලේ .
වෙරළු ,පේර ,ජම්බු පොකුරු
අතින් අතට මාරුකරන් ...
ඉටි ගෝනුස්සන් දවටා
ගෑණු ළමයි මැදට දාල ...
ටීචර් ගෙන් තැළුම් කන්න
ගියාලු ඉස්කෝලේ.
අන්තිම සීනුව ආවම
පුංචි උපාසකයො වගේ
“යෝ වද ,තං පව රො” ...කියල
කවට මූණු ඉඟි බිඟි මැද
“ආයුබොවන් ටීචර්” කියල
ආදරයෙන් ,ඉගෙනගන්න
ගියාලු ඉස්කෝලේ .
ඉස්සර එහෙමයි කියලා
අප්පච්චී මට කිව්වට
මවා ගන්නෙ කොහොමද මං
ගියෙ නෑනේ ....ඉස්කෝලේ !.
- රෝහිණි සිසිප්‍රිය ගේ මුණු පොතේ පලවු ගී පදවැල මීදුම සිත් ගත්තා.
මටත් හිතුනා මෙහෙම අදහසක්.
- අද අපි තනිවෙමින් ඉන්නවා.ඉස්කෝලේ අවුරුදු තුනකටත් වැඩි කාලයක් වහලා.දරුවන්ට ඉස්කෝලේ මතක නැතිවෙමින් යනවා. අපිව තාක්‍ෂණය විසින් දවසින් දවස සමාජයේ තනි කරමින් ඉදිරියට යනවා.අපේ දරුවන්ටත් ඒ ආනිශංශ වඩාත් වේගයෙන් ලැබෙමින් පවතිනවා. පුංචි පරපුර තාක්‍ෂණය වහාම ග්‍රහණය කර ගන්නවා.
- සෞන්දර්යාත්මක ඇසකින් ඈ දුටුවේ ඒ අභාග්‍යසම්පන්න අනාගතයි.
- මේ සීග්‍රයෙන් වෙනස් වෙන කාලයේ ඉස්කෝලය පෞරාණික ගොඩනැගිල්ලක් බවට පත්වේවි.
- "" ඉස්සර එහෙමයි කියලා
- අප්පච්චී මට කිව්වට
- මවා ගන්නෙ කොහොමද මං
- ගියෙ නෑනේ ....ඉස්කෝලේ !."

















