Tuesday, February 11, 2025

මානුෂිකයි නේද ?.




මම මේ කියන්න යන්නෙ පෘතුගාලයේ තියන එක්තරා ප්‍රධාන පෙලේ සුපිරි වෙළෙඳසලකට ගිය වෙලාවේ දකින්න ලැබුන ලස්සන වගේම හරිම මානුෂිය සිදුවීමක් ගැන.
මම මේ සුපිරි වෙළෙඳසලට උදෙන්ම ගියා ගෙදරට අවශ්‍ය බඩු ටිකක් ගන්න, ඒ ගිය වෙලාවේ ලොකු සෙනගක් හිටියෙත් නෑ. මම ඉතිං මට අවශ්‍ය බඩු ටික අරගෙන කැෂියර් එකට ගියා බිල ගෙවන්න, ඒ ගිය වෙලාවේ මට කලින් කෙනෙක් සහ මට පිටුපසින් තව කෙනෙක් විතරයි පෝලිමේ හිටියේ. මට කලින් කෙනා එයාගේ බඩු වලට බිල ගෙවද්දී, ඒ කවුන්ටරය ලඟ ගෑනු ළමයි දෙන්නෙක් වැඩ, එක ගෑනු ළමයෙන් සාමාන්‍ය විදියට, බඩු වල බාර් කෝඩ්, කෝඩ් රීඩර් එකට අල්ල අල්ල බිල දානවා, කවුන්ටරේ කිට්ටුව ඉන්න අනිත් ගෑනු ළමයා හරිම හිමීට, මට කලින් ඉන්න කෙනා ගත්තු කිරන බඩු ටික තරාදියේ තියලා බලනවා. ඊට පස්සේ අපේ දිහා බලන් ඉන්නවා, ඊට පස්සෙ ආයෙත් තරාදිය පොඩ්ඩක් පිහිදනවා. මම ටික වෙලාවක් බලාගෙන ඉද්දි මට තේරුනේ ඒ කවුන්ටරය ලඟ උදව්වට ඉන්න ගෑනු ළමයා බුද්ධිය වර්ධනය අතින් අඩු මට්ටමක ඉන්න ළමයෙක් කියලා. ( differently able ) ඇත්තටම කියනවනම් පෘතුගාලයේ තියන ලොකුම සුපිරි වෙළෙඳසල් ජාලයක ඒ වගේ තත්වයක ඉන්න කෙනෙක්ට වැඩකරන්න දෙනවා කියන එක මම ඒ වෙලාවේ මැජික් එකක් විදියට දැක්කේ . ඒකට හේතුව මම මීට කලින් එහෙම දෙයක් මගේ ජිවිත කාලයට දැකලා නොතිබුන නිසා ( සමහර විට වෙනත් රැකියා ස්ථාන වල මේ වගේ අවස්ථාවන් ලබා දෙනවා ඇති ).
හැබැයි මට මේ දේ හරියටම තහවුරු කරගන්න ඕන නිසා මම හිතුවා කැෂියර් එකේ ඉන්න ගෑනු ළමයාගෙන් අහන්න අනිත් ගෑනු ළමයා එතන වැඩ කරන කෙනෙක්මද කියලා. ඒක නිසා පෝලිමේ මට පිටිපස්සේ හිටපු කෙනාට මම, මට කලින් යන්න දීලා මම ඒ මොහොතේ පෝලිමේ අන්තිමය උනා. එතකොට මට හරියටම කලබලයක් නැතුව විස්තරය අහගන්න පුළුවන් නිසා. සාමාන්‍යයෙන් මට ඔහොම දෙයක් හරියටම තහවුරු කරගන්න ඕන කියලා හිතුනොත් මම කොහොම හරි ඒ දේ තහවුරු කරගන්න තමයි බලන්නෙ.
ඉතිං මම අන්තිමය විදියට බිල දාන්න ගිය වෙලාවේ, මට හිතේ තිබුන ප්‍රශ්නය නිරාකරණය කරගන්න ප්‍රශ්නය අහන්න ලෑස්තිවෙන කොටම, කැෂියර් එකේ හිටපු ගෑනු ළමයා අනිත් උදව්වට ඉන්න ගෑනු ළමයාගෙන් හැරිලා ඇහුවා "Como estás, minha querida, está cansado? Diga-me se está cansado" ( "කොහොමද මගේ මැණික? ඔයාට මහන්සිද, මහන්සිනම් මට කියන්න හොඳේ" ). මට ඒක ඇහුන ගමන් හිතට හරිම සතුටක් දැනුනා.
ඒ එක්කම ඒ උදව්වට හිටපු ගෑනු ළමයා, පොඩි බබෙක් වගේ හරිම ආදරෙන් පිළිතුරු දුන්නා, " නෑ මට මහන්සි නෑ, ස්තුතියි ඇහුවට කියලා". ඊට පස්සෙ ඒ ගෑනු ළමයා හිමින් හිමින් ගිහින් බඩු ගත්තු අය දාල ගියපු කූඩ ටික එකතුකරන්න ගත්තා. දැන් තමයි මට හොඳම වෙලාව කියලා, මම කැෂියර් එකේ හිටපු ගෑනු ළමයට කිව්වා. " සමා වෙන්න මම මේ අහන දේ වැරදියට හිතන්න එපා, අර ගෑනු ළමයා ඔයාලා එක්ක වැඩ කරන කෙනෙක්ද නැත්නම්, ඔයාගේ කව්රු හරිද" කියලා. ඊට පස්සෙ මට කිව්වා "නෑ එයා මෙතන වැඩ කරන කෙනෙක් තමයි. දැන් දවස් තුනක් තිස්සේ එයා මෙතන වැඩ " කියලා.
එහෙම කියපු ගමන් මට හරියටම මගේ හිතේ තිබුන කුතුහලය නැතිකරගන්න පුළුවන් උනා. මට මේ සිද්දියෙන් හිතට වැදුන සුන්දරම දේ තමයි, ඒ ගෑනු ළමයට කැෂියර් එකේ ඉන්න ගෑනු ළමයා වෙනසක් නොකර, හිමින් වැඩ කරන එකට පොඩ්ඩක් වත් තරහක් නොගෙන ආදරෙන් කතාබහ කරලා ඉන්න එක. ඒ වගේම වැදගත්ම දේ තමයි, පෘතුගාලයේ තියන ලොකුම සුපිරි වෙළඳ සල් ජාලයක මේ වගේ differently able ළමයෙකුට රැකියාවක් දුන්න ඒ ආයතන ප්‍රධානින්ගේ තියන සුන්දර මනුස්සකම. මට මේ දේ මහලොකු දෙයක් විදියට පේනවා ඇත්තෙ සමහර විට මම මෙහෙම දෙයක් දැකපු පලවෙනි අවස්ථාව නිසා වෙන්න ඇති. ඒත් මට මේ දේ ලියන්න හිතුනේ. මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ අසරණ කම් දැනගෙන, හැම කෙනාටම උදව් කරගෙන, සතුටින් සහයෝගයෙන් ඉන්නවනම් මේ ලෝකේ කොච්චර ලස්සන්න වෙයිද. අපි අපේ වටේ ඉන්න හැම කෙනාටම එක විදියට හොදින් සලකන්න පුරුදු වෙමු. මේ වගේ සේවා ආයතන වලින් අපිට ඒකට උදාහරණයක්ම දීලා තියනවා.එහෙම උනාම හැමෝටම මේ ලෝකේ පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි.
A day in the life

0 comments:

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon