Thursday, December 11, 2008

ඔහොම යමු .... ඔහොම යමු .....

ටිල්වින් සහෝදරයාට ජොලි. ( මම නම් සහෝදරයා කියන්න අකමැතියි රට වෙනුවෙන් කතා කලාට වැඩක් කරන්න දෙන්නේ නැති ප්‍රතිපත්තියක නේ ඉන්නේ.) කරු ආණ්ඩුවෙන් ගියාට පස්සේ කියලා තියෙනවා ඔන්න ආණ්ඩුව වැටෙන්න පටන් ගත්තා කියලා. (11 දා දිවයින) .
මේ ආණ්ඩුව හදන්න මග පෙන්නුවේ කවුද ?.
කරුලාද - ටිල්වින්ලාද ?.
මහින්දයන් ජනාධිපති කරන්න කඩේ ගියේ ශ්‍රීලනිපෙට වඩා ටිල්වින්ලා.
හදාපු එක ආරක්ෂා කරගෙන හරි පාරේ අරගෙන ( හරි පාර ටිල්වින්ලා යන පාර නෙමෙයි.) තමන් වෙනුවෙන් පාප්ප නාන නංගිලා මල්ලිලාටත් උදව්වක් කරගෙන දුෂණ වංචා අවම කරගෙන රට ගොඩ ගන්න හදාපු එවුවෝ ශක්තියක් වෙන්නේ නැත්නම් මහින්දට වල කපාපු රනිල්ට කඩේ ගිය එවුවෝ උල හිටියත් එකයි පිල හිටියත් එකයි කියලා මම හිතන්නේ.
ඡන්දයක් කියන්නේ ජාතික ධනයෙන් මිලියන කොයිතරමක්ද ?. රජයේ මුදල් වගේම ඊට වඩා හතර පස් ගුණයක් පෞද්ගලික මුදල් ඡන්දයකදී නාස්ති කරනවා. සියළු නාස්ති අන්තිමට බැර වන්නෙ රටේ ජාතික මූල්‍ය සම්පතට. එකතු කරලා බැළුවොත්ප්‍ පරාක්‍රම සමුද්‍රය වගේ වැවක් හදන්න පුළුවන් වේවි.
අපේ පුංචි රටේ ඡන්ද කීයක් තියෙනවද ?.

පලාත් පාලන, පලාත් සභා, පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ හතරක් සදහා කොයිතරම් ජාතික මුදල් වැය කරනවද කියලා මේ හරක් හිතන්නේ නෑ.අන්තිමට ඒ පිරිවැයත් දරන්නේ අපි.සමහර කාලෙට., නියමිත කාලෙටත් කලින් ඡන්දේ තියනවා . සමහරක් වෙලාවට නියමිත කාලෙට පෙර ඡන්දේ තියන්න කියලා බලකරනවා.


මේ මිනිස්සු රටට නෙමෙයි ආදරේ . වේදිකාවට. කතා කර කර ඉන්න පුළුවන්නේ.
බලයට ආපුවහම කොයි අප්පුහාමිලාටත් අම්මා තාත්තත් මතක නෑ.කාට හෙන ගැහුවත් හිතු එක කරනවා.හරි පාරට ගන්න , සාධාරණ විවේචනයක් කරන්න ඔළුව තියෙන විපක්ෂයක් තියෙනවද? . නෑ එගොල්ලත් බලා ඉන්නේ මොකක් හෝ අංචියක් ඇදලා බලේට එන්න පාර හදාගන්න.
එකෙකුවත් හිතනවද “ රට හදමු’’ කියලා. “ඔක්කොම හිතන්නේ අපි හැදෙමු” කියලා
කිව්වම අහන්නේ නැත්නම් “හෙජින්” එකට කලා වගේ අනිත් ඒවටත් කරන්න පුළුවන්නේ .
වැරදි පාරේ යන කොට හරි පාරේ තියලා නියම කාලෙදී වැඩක් දෙමු.

Wednesday, December 10, 2008

නැත්නම් කරුත් “බළු” ....................

කරු ගැන අදහසක් කිව යුතුය. “කරු ආවොත් පායයි හිරු” කිවු අපි කරුගේ “ මරු වැඩ” වැඩ ගැනද අසා ඇත්තෙමු.සත් භාවයෙන් කරන වැඩ ගැන පද හදන එක අපේ රාජකාරියක් බැවින් ඒවා හිතට ගත යුතු නැත.
මම කරු ගේ කල්ලිය ආණ්ඩුවට සහයෝගය දුන් පරමාර්ථයට බොහෝ සතුටුවුනෙමි. ජවිපෙය රෙද්ද උස්සා ගනන් පෙන්නනවිට ආණ්ඩුවට ශක්තියක්වුයේ කරුය. මානුෂික මෙහෙයුම නම්වු දේශය මුදාගැණීමේ අරගලයේදී කකුලෙන් අදින කල්ලි යම්තරමකින් මෙල්ල වූයේ කරුගේ ශක්තිය නිසා බව සටහන්විය යුතුය.කරු ආණ්ඩුවට ජැක් එක දුන්නේ ජාතික ප`ශ්නයට තිත තබන්න තමන් ජාති හිතෛෂිවිය යුතු බව පවසමිනි.
ජාතික පශ්නය ඊයේ නිමාවුනිද ?.
තස්තවාදියා බෙලහීනව සිටියත් ඌ ඔක්සිජන් ඉල්ලන හෝරාවක කරුට තම පරමාර්ථය අමතකවූයේ රටට වඩා ලොකු දෙයක් දැක විය යුතුය. නැත්නම් රනිල්ගේ දේශ සීමා පෙන්වා ජාතික පශ්නය විසදීමේ වඩාත් සුදුසුයැයි සිතුනේද ? .
කෙසේ වෙතත් මෙහෙයුමේ නිරත අපේ කොල්ලෝ ගමේ ආ විට අපිට කියන්නේ මේ පාර නම් වසංගතය එවර කරගන්න පුළුවන් බවයි. ඒ කොල්ලන්ගේ අධිෂ්ඨානයට පයින් ගහන එකනම් සුබ කටයුත්තක් නෙමෙයි.
සල්ලි වලින් නෙමෙයි වටිනාකම මනින්නේ අහිමිවන ජීවිත, අබාධිතවන ජීවිත වලින්.
මේ අනර්ථකාරී කටයුත්ත එවරවුන දාක උතුරේ දරුවනුත් දකුනේ දරුවනුත් නිවි සැනසිල්ලේ හුස්ම ගනීවි. උතුරෙත් දකුනෙත් ජීවිත අහිමිවන එකක් නැහැ. ආබාධිත වන එකක් නැහැ.
ඒකට අකමැතිම කට්ටිය පැහැදිලිවම පෙනෙන කාලයක් මේක.
කරු එජාපයට ගියත් ඒ ස්ථාවරයේම හිටියොත් “ මරු”. නැත්නම්
කරුත් “බළු” ....................

Tuesday, December 09, 2008

බ්ලෝග් බ්ලොක් නොවි ඉදිරියට.

මම බ්ලෝග් මාධ්‍ය දෙස බැළුවේ සංවාදයකට සුදුසු තෝතැන්නක් ලෙස.
අපිට ලැබෙන නව අත්දැකීම් , නව දැනුම බෙදාගන්න හැකි තැනක් . ඒ ව‍ගේම අපි දකින අපි අත්විදින සමහර සිද්ධීන් වලදී අපිටම පෞද්ගලිකවු විවේචන බෙදා හදාගෙන සාධාරණ විනිශ්චයක් ලබාගන්න පුළුවන් තැනක් මේ අඩවියෙන් නිර්මානය වනවා දකින කැමැත්තක් මට තියෙනවා.
අපේ සටහන්වල අඩුපාඩු තව එක්කෙනෙකුට ඌණ පුරණය කරලා සම්පුර්න කරන්න පුළුවන්. එතකොට දැනුම පරිපුර්ණ කරගන්න අවස්ථාවක් නිර්මාණය වනවා.
දවසක අපේ සහෘදයෙකු බ්ලෝග් ගැන පුංචි පහේ වර්ගීකරණයක් කරලා තිබුනා. මම කොයි ගනයට වර්ග වෙනවාද දන්නේ නෑ. තොප්පිය හරිනම් දාගන්න කියලත් තිබුනා.මට හරියන තොප්පියක් තිබුනද මම බැළුවේනම් නෑ.
2009 අළුත් අවුරුද්දේ කවුරු කවුරුත් අළුත් අත්හදා බැලීම් කරාවි කියලා මම හිතනවා.
මාසේ අන්තිමට එන බිල පලදායි ලෙස ප්‍රයෝජනයට ගනිමු.

Monday, December 08, 2008

අයේෂා ජයසේකරගේ සැරිසරත් සමග යලිත් බෙලිහුල්ඔයට.

අයේෂා ජයසේකරගේ සැරිසර බෙලිහුල්ඔයට ඇවිත් තිබුනා.ඒ ගමනට මටත් එකතුවෙලා මමත් හොයා ගත්ත කරුණු ටිකක් මීදුමට එක්කහු කලාට අයේෂා ජයසේකර විරසක වෙන එකක් නැහැ කියලා මම හිතනවා. කලින් කීවානම් මමත් උදව්වට එයාත් එක්ක බෙලිහුල්ඔයට යනවා.
සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රිරික්කයේ කඩවත මැද කෝරලේ තලාපිටගම්පත්තුවේ බෙලිහුල්ඔය ආරච්චි වසම පරිපාලන පහසුවට ග්‍රාම සේවා වසම් හතර පහක් ඇතිකරලා. විවිධ නම් වෙලා තිබුනත් තවමත් වහරේ මේ සියල්ල ගැමියෝ හදුන්වන්නේ “බෙලිහුල්ඔය” කියලයි. A 4 මාර්ගයේ කොළඹ සිට බදුල්ලට යන විට කි.මි 157 -159 අතර දුර බෙලිහුල්ඔය නම්වු සුන්දර ග්‍රාමීය ප්‍රදේශය පසුකර යන්න ඕනි. බෙලිහුල්ඔයට තම අනන්‍යයවු නාමය ලැබෙන්නේ මේ ආරච්චි වසම මැදින් ගලායන සුන්දරවු “ඔය” නිසාවෙන්. වලවේ ගගේ ප්‍රධානම අතු ගංගාවත් “බෙලිහුල්ඔය” බව සටහන් වුනේ නැත්නම් අඩුවක්.
බෙලිහුල්ඔය පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්. වර්තමානයේ අවසන්වන්නේ සමනලවැවජලාශයෙන්.
සමනලවැව ජලාශයේ උතුරු ඉවුර මායිම් වන්නේ බෙලිහුල්ඔයට. බෙලිහුල්ඔයත් වලවේ ගගත් එක්වු ස්ථානය ත් පිහිටා තියෙන්නේ මේ උතුරු ඉවුරේ. බෙලිහුල්ඔයට අයත් සුන්දරවු දිය ඇලි දෙකක් තියෙනවා. එකක් හෝර්ටන් තැන්නේ බේකර්ස් ඇල්ල. අනෙක බෙලිහුල්ඔය මායිමේ පිහිටා තියෙන ගලගම ඇල්ල . මේ ඇල්ලට “කන්දැත්තේ ඇල්ල ” කියලත් කියනවා. සුවබර සුන්දර පරිසරයට බලහාත්කාරම් කරමින් ඔය ආශ්‍රිතව කුඩා විදුලිබලාගාර දෙකක් ඉදිකරලා...............
බෙලිහුල්ඔය ඓතිහාසික සටහන් වලගම්බා,මායාදුන්න රාජ්‍ය කාලයන් සහ මහනුවර රාජ්‍ය කාලය සහ ඉංග්‍රීසින්ගේ තේ වගා ආරම්භකල කාල පරාසවල යම් යම් මතක ඉතිරිව තිබෙනවා. වලගම්බා,මායාදුන්න රජවරුන් ඉදිකලා යයි සැලකෙන විහාරස්ථාන. මහනුවර රාජ්‍ය කාලයයේ අස්වැද්දු කෙත්වතු සම්බන්ධ පුරාවෘත්ත තියෙනවා. ඉංග්‍රීසින්ගේ සමයේ ඉදිවු තානායම තමයි අද “බෙලිහුල්ඔය තානායම ලෙස ප්‍රසිද්ධියට පත්ව තියෙන්නේ . බෙලිහුල්ඔය තානායම ලගින් ඇරඹෙන අතුරු මාර්ගය ඉංග්‍රීසින්ගේ සමයේ හෝර්ටන් තැන්න හරහා නුවරඑළිය දක්වා වැටී තිබූ අශ්වයින්ට යා හැකිසේ සකස්වු මාර්ගයක්.මේ මාර්ගය ඔස්සේ කි.මි.15 ක පමන සුන්දර සහ දුෂ්කර පා ගමනකින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න පුළුවන්.
බෙලිහුල්ඔය සංචාරකයනට නේවාසික පහසුකම් ඇති ස්ථානයක්. හෝටල් කාමර 45 ක් පමණ ආයතන 06 කින් පහසුකම් ලබා ගන්න පුළුවන්.

Sunday, November 30, 2008

අපි ඇමරිකාවේ කොලනියක්.

මංගල සමරවීරයන් ගේ පෙරලිය මට හිතාගන්නත් බැහැ. එතුමන් ජාතික නායකයෙක් කියලා හිතනවා ඇති. මොන පිස්සුද?
කාවෙනුවෙන්ද මේ ඇත්තා කතා කරන්නේ. රට වෙනුවෙන් නම් නෙමෙයි. වෛරයෙන් අග මුල හිතන්නේ නැතිව ඔහේ කටට ආවක් එලියට දානවා. ලොකු ඇමති කමක් තියෙන කොටයි දැනුයි ඇගට වෙනසක් නම් දැනෙනවා ඇති.
2008 නොවැම්බර් මස 29 වැනිදා සෙනසුරාදා දිවයින ඇතුල් පිටුවක තිබුනා මේ උත්තමයට මරණ තර්ජන තියෙනවාය ඒ නිසා ඇමරිකාවට කියලා ඇරියාය කියලා.................... අනේ අපොයි අපිට නම් කියන්න තියෙන්නේ ලගම පොලිසියට.
හැබැටම මේ රටේ අයිතිකාරයා ඇමරිකාවද.....?.

Monday, November 17, 2008

එහෙත් එහෙමයි.මෙහෙත් එහෙමයි

........... බිම් අගලකට හිමිකම් නොකියන, හිසට වහලක් නැති විරු දරුවෝ කම්බි ගසලා වෙන් කර ගන්න තිබුන මේ පුංචි රටේ සීමා මායිම් වැට කඩොළු බිද ගෙන උතුර දකුණ ‍යා කරන මෙහෙයුම නිමා කරන්න සුදානම් වනවා. මේ විරුවන් මව් බිම මත හෙලන දහඩිය බිංදු ලේ බිංදු වල වටිනාකමක් නොදකින දේශපාලකයන්ගේ කතා අහන විට උන්ට හෙන ගහන්නේ නැත්තේ ඇයි කියලා හිතෙනවා.
1948 නිදහස ලැබුන දා ඉදන් මේ දක්වා රට පාලනය කලේ විදේශිකයෝ නෙමෙයි. දේශිකයෝ.
පාලක‍යන්ට හැර අපට පියදාසලාගෙත් චෙල්ලයියාලාගෙත් මරික්කාර්ලාගෙත් වෙනසක් තිබුනේ නෑ. කාලෙන් කාලෙට අපිව විරසක කරන්න පාර කැපුවේ දේශපාලන ඇත්තෝ උන්ගේ වාසියට.
අපිව වෙන් කරලා හිත්වලට ද්වේෂය වෛරය ටිකින් ටික කාන්දු කරලා අපිව වෛරක්කාරයෝ කරලා මඩිය තර කරගත්තා මිස උන් රට ගැන හිතුවේ නැහැ.
ඒ මදිවට පාට පාටටත් අපිව බෙදලා නිල් කොළ රතු ගොඩවල් හදලා තවත් වෛරක්කාර සමාජයක් බිහිකරගෙන හිරු නැගෙන වෙලාවේ සිට බැස යන තෙක් වෛරය වපුරනවා.
උන්ගේ බඩ තර කරගන්න.
උගුර ලේ රහ වෙනකම් දුප්පතා ගැන කෑ ගහන , කිඹුල් කදුළු හෙලන ඇත්තොත් අන්තිමට ගාල් වෙන්නේ අලි ගාවා . හේත්තුවෙන්නේ බුලත් කොටුවලට. ඉතිහාසයේ ඉදන්ම උනේ ඒක.
අන්තිමට මිරිකෙන්නේ අපේ දුප්පත් අම්මලා තාත්තලගේ දරුවෝ.
ප්‍රභාකරන් ගාවත් එහෙමයි.
මෙහෙත් එහෙමයි.

Sunday, November 16, 2008

Keeping the mind as a fortified city

තානායමේ උත්සව ශාලාවේ කෙලවරේ වාඩිවුනා. අසබඩින් ගලා යන ගගට මුහුනලාගෙන. කොතෙක් කාලයක සිට මම මෙතන වරින් වර වාඩිවෙලා විවාහ උත්සව සදහා සහභාගීවන්න ඇද්ද කියලා මටම මතක නැති තරම්.
මිතුරන්ගේ ඤාතීන්ගේ පසු කාලයේ ඔවුන්ගේ දූ දරුවන්ගේ.....

මට මගේ කල්පනාවන් මෑතක සහභාගීවුන විවාහ උත්සවයක මතක අවධි කරන්න සමත් වුනා . විශාල ඤාති හිතවතුන් පිරිසක් මැද ගෙවුන සම්භාවනීය දවස ගෙවී ගොස් තවම මාස තිහක්වත්නැහැ.
තරුන යුවලගේ විවාහය අද වනවිට විශාල අර්බූදයක් බවට පත්වෙලා .. වසර හය හතක ආදර කතාවක් විවාහයෙන් පසුව මාස තිහක් ගතවෙන විට අර්බූදයක් වීම අරුමයක් . පුංවි පුතාට මාස අටයි.
දරුවාගේ ආගමනයෙන් පසු අම්මා තාත්තට ඉස්සර වගේ ආදරේ නැහැ. තාත්තා කියන්නේ එහෙමයි.
අම්මා අඩා හැලෙනවා . එයා මටත් දරුවටත් ආදරේ නැහැ කියලා. දැන් දෙන්නා දෙපලේ. දරුවා අම්මා ලග. තාත්තා බෝඩිමක.ගෙදර එන්නේ නෑ. දෙන්නාම එකතු කර ගත්ත සල්ලිවලින් හදන්න හදපු ගේ වහල දක්වා ගොඩනගලා අතරමග නතරවෙලා.
ආදරය කොයි වගේ ද මට හිතාගන්න බැහැ.භෞතික වස්තුවක්ද රසායනිකයක්ද විදුලියක් වගේද ? ෆුඩ් සිටියෙන් සුපර් මාකට් එකෙන් මිළට ගන්න හැකි දෙයක්ද ?.
අපේ පුංචි කාලේ අපිට මතක් වෙනවා. දඩබ්බරයෙක් හැර හිතුවක්කාරෙට පෙලවහක් කරගන්නවා අහන්න ලැබෙන්නේ කලාතුරකින්. වැඩිහිටියන් මැදිහත් වෙලා කේන්දර බලලා ,නෑදෑයෝ බලලා, ගෙවල් දොරවල් බලන්න ගිහින් විවාහයක් තීන්දු කරගන්නා තෙක් කොයිතරම් සම්ප්‍රදායික වැඩ කොටසක් කරනවාද.
අද මේ සියල්ල වෙනස් වෙලා .දෙමව්පියන්ට අහන්න වෙන්නේ තීන්දුව විතරයි. විවාහ උත්සවයට සූදානම් වෙනවා හැරෙන්නට විකල්ප යක් එයාලට ඉතිරි කරන්නේ නැහැ.
සරල ආර්ථික රටාවක් තිබූ අපේ අම්මලා තාත්තලා අවුරුදු ගානක් “උඹ නොදකින් “ කියන්න පවුල් රැක්කා . තාත්තා උපයා ගෙන ආවා .අම්මා වියපැහැදම් කලා .කෙනෙක් සද්දයක් දාගෙන ආවොත් අනෙක් කෙනා නිශ්සබ්ද වුනා.වැඩ කටයුතු බෙදා ගත්තා . දුක් කරදර වගේම සතුටත් ඉවසුවා අපිට කවදාවත් දෙන්නා දෙමහල්ලෝ “ උඹ මට ආදරෙයිද බන් “ කියලා අහනවා අහන්න ලැබිලා තියෙනවාද ? . ඒ වුනත් ඒ ගොල්ලෝ ආදරෙන් ඉන්නා බව අපට දැනුනා.
වර්තමානය සංකීර්ණයි . ආර්ථිකය සන්තෘප්ත වන්න උපයන්න ඕනී . සැමියාත් බිරිදත් උදේ පිටත්වෙලා හවස එන්නේ වෙහෙසින් මහන්සියෙන්. දරුවා බලාගන්නා සේවිකාව බිරිද එනතුරු බලාගෙන ඉන්නවා ඇගේ නිවසට යන්න. බිරිදගේ උදේ පටන් ගන්නා ඒකාකාරි වෘත්තීය ජිවිතය නිමාවන්නේ තවත් වෘත්තියක ආරම්භයත් සමග.නිවසේ වැඩ කටයුතුත් දරුවාත් සමග කරන යුද්දෙත් අවසන් කරන විට .......
පාසල් යන කාලේ , විශ්ව විද්යා.ලයේ ඉන්න කාලේ වගේ සැහැල්ලුවෙන්න ඉඩ ඉතිරි වෙන්නේ නෑ.මේ පුංචි දේ තේරුම් ගන්න බැරිව සුරංගනා ලෝක මවන තාත්තලා අම්මලා ජීවිතය තේරුම් ගන්නේ නෑ. අර්බූද හිතේ මවාගන්නවා.දෙන්නාත් එක්ක විසදගන්න පුළුවන් ප්‍රශ්නයකට උත්තර සොයන්න උපදේශන වැඩක් නැහැ. තමන්ගේ මතය තහවුරු කරන්නම කරුණු ඉදිරිපත් වෙන විට විසදුමක් නැහැ.

මට ධම්ම පදය සිහියට එනවා “ කය මැටි බදුනක් යැයි සිතා - සිත නුවරක් කරගන්න” එක් ගාථාවක සදහන්වනවා. අපේ සිත් නුවරක් කරගමු.

Tuesday, October 21, 2008

යලිත් ගුරුතුමන් හමුවිය.

වෛද්‍යවරුන් වෙත තම අබල දුබල වු ශාරීරික යන්ත්‍ර දක්වා අළුත්වැඩියා කරගැනීමට පැමිනියවුන්ගෙන් චැනල් මධ්‍යස්ථානය කාර්ය බහුල ගරාජයක් බවට පත්ව තිබේ. මමද විටින් විට වේදනා දෙන මගේ දනහිස යථා තත්වයට පත්කරගැනීමේ අරමුනින් කායික වෛද්‍යවරයෙකු වෙත යාමට ගාස්තු ගෙවා කුවිතාන්සිය ගුලි කරගෙන ඔහුගේ කාමරය සොයමින් ලෙඩුන්ද කාමරද පසුකරමින් ඇවිද යමින් සිටියෙමි. ලෙඩුන්ගේ කන්කෙදිරිලි හඹා යමින් තැනින් තැන රදවා ඇති රූපවාහිණී යන්ත්‍ර වල විසුක දර්ශනත් මධ්‍යස්ථානයේ සවිකර ඇති ශබ්ද විකාශන වලින් රෝගීන් හසුරවමින් වෛද්‍යවරුන් වෙත යොමු කරවන හඩත් කන් කරච්චලයක් වුවාට , කාගේ කාගේත් ශාරිරික වේදනා ඉක්ම යාමට ඒවා සමත් නැතැයි මට සිතේ.
මේ හවු අස්සේ රෝද පුටුවක් බොහෝ අබලන්වූ පුරුදු මුහුනක් ඇති සිරුරක් දරා ගෙන ජීවිතය පිලිබදවු දෙගිඩියාවෙන් පීඩිතව සිටින අයුරින් අසරනව වෛද්‍යවරයකුගේ කාමරයේ දොර දෙස බලා සිටින රෝගියෙක් දැක මගේ අබලන් දෙදනහිස් මා ඔහු ලග නතර කරවිනි. අධික රුධිර පීඩනය විසින් , සිරුරේ වම් කොටස අප්‍රානික කරවා තිබු ඔහුට හැගීම් ප්‍රකාශ කිරිමට දෛවය විසින් දෙනෙතට සහ මුහුනට පවරා තිබිනි.මම සෙනහසින් ඔහුගේ රෝගි සිරුර බදා ගතිමි. ඔහුගේ දෙනෙතින් වට කදුලක් මා දෙඅත තෙත් කර තිබිනි.

ඒ කදුලේ ලියවී තිබුනේ කුමක්ද යන්න මා තවමත් සොයමි.

වර්තමානයේ සිට මා මගේ පාසල් කාලයට ....., දශක තුනක් හතරක් ඈතට...: අපි දෙදෙනා රැගෙන ගියාය.මම ඔහුගේ සුචච කීකරු ගෝලයා වීමි. ඔහු මගේ ගුරුතුමා විය.
කාලය විසින් විදුහල්පතිවරයෙකු මාණ්ඩලික අධ්‍යාපන නිලධාරියෙකු පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු දක්වා ඔහු දුර වෘත්තීය ගමනක යෙදී සිටියාය. මම ඔහු පසු පස වයසත් වගකීමත් සමග ඉදිරියට ගමන් කරමින් සිටියෙමි.මාද ඔහුද මේ අතර වාරයේ වරින් වර හමුවුයේ මා අවන්හලක වෘත්තිකයෙකු වූ නිසාවෙනි.
ගුරුවරියකවු මගේ පියබද වෘත්තීය අසාධාරනයකට ලක්වන්නේ ඔහු පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ලෙස අප පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේය. මට මගේ ගුරුවරයා අහිමිවන්නේද අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාතුල ජීවත් වු පල් හොරෙකු හමුවන්නේද මේ වකවානුවේය.

විධිමත් විභාගයකින් සමත්වන මගේ පියබද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පැවත්වු සම්මුඛ පරීක්ෂණයකට පෙනීසිට අසමත්විය. එහෙත් ඇයට වඩා අඩු සේවා කාලයක් , අඩු වෘත්තීය සුදුසුකම් තිබු ගුරුමහත්මියක උසස්වීමට හිමි කම් ලැබුවාය. මේ සිද්ධිය නිවස තුල මහත් ටොරොන්ටෝවක් බවට පත්ව මාද කලම්බා උඩ හැරීමට පියබද පීඩනයක් ඇති කල බැවින් ඇගේ ලිපිගොණුවද කිහිලි ගන්නාගෙන මම මගේ ගුරුවරයා හමුවන්න ගියෙමි.

අවන්හලක වෘත්තිකයෙකු වූ නිසාවෙන්ද , බොහෝ පාසල් මිතුරන් රාජ්‍ය සේවයේ සිටි නිසාද මට බොහෝ තැන් අමුත්තක් නැතිව යා හැකිවිය. පලාත් අධ්‍ය‍ෙපන අධ්‍යක්‍ෂවරයා මගේ ගුරුතුමාවු බැවින් සහ ඔහු අවන්හලේදී හමුවු සැම දිනකම ඔහුගේ බිල්පත් ගෙවීම මගේ භාරය විය. මම සිංහයෙකු සෙයින් නිවසින් ගියද, පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගේ වායු සමිකරණය කරන ලද නිල කාමරයේදී බලු විය.

වාඩිවීමට ඉදිරි අසුනද නොපෙන්වා මා දුන් ලිපිගොණුව අත රදාගෙන “ තමුන් හිතනවාද හැඩට රුවට සම්මුඛ පරීන්‍ෂණ වලින් සමත් කරනවා කියලා ?.” මට ප්‍රශ්නයකින් දමා ගැසීය. මම ඉදිරි අසුන් දෙක දක්වා වාඩිවෙන්නද මෙතනින් අසාගෙන අසුනක් ඇදගෙන වාඩිවනවාත් සමගම “මේක තමුන්ට අයත් ප්‍රශ්නයක් නෙමෙයි අදාල පුද්ගලයාට එන්න කියනවා” ලිපිගොණුව මා අතපත් කලේය.

ලිපිගොණුව දුටු පමනින්ම මෙතුමන් කලබලයට පත්වුයේ මන්ද අසුනට කඩා වැටෙන්නට පෙරම සංඥාවක් මගේ මොළය නිකුත් කලේය. නොයෙක් ආවේග සංඥා ගලා ආවත් ඒවා මා තුලම බිද හෙලන්නට සලස්වමින් සිටි මම හැකි තරම් වායු සමීකරණයේ සිසිලට අනුගත වීමට උත්සහා දරමින් වට පිට බැළුවෙමි.
කාර්යාල කාර්ය සහකාරවරයාට “ ඊළග” කියන්නට නොහැකිවත් පෞද්ගලික සහකාර නිලධාරිණිය හට පිට්ටු හිරවුන සෙයකින් මා දෙස බලා සිටින බවක් මට හැගිනි. මට සිහිවුයේ ගෙදරය . ලිහා නොගෙන ගෙදර ගියහොත් ඒ ලනුවේ එල්ලෙන්න සිදුවන්නේ මටය.

අධ්‍යාපන අධ්‍යක්‍ෂසවරයා මා සිටින බවක්ද නොදන්නා සේ ලිපිගොණුවක බරපතල ගැටළුවක හිරවෙලාය. මේ අතරවාරය මම ඔහු මගේ ගුරු තනතුරෙන් ඉවත් කරදමන්නටත් මේ උද්දච්ච මිනිහාගේ පෙරලිය ගැන පරීක්‍ෂණයක් කිරිමට බුද්ධි අංශ මෙහෛවිය යුතු අන්දම ගැනත් මෙනෙහි කරමින් සිටියෙමි.ඔහු මට ඇහුම්කන් දෙන ස්වරූපයක් ඇත්තේම නැත.
මම හැකි තරම් සන්සුන් වන්නට මගේ ආවේගයන්ට අණ කර “ එහෙනම් විසදුමක් නෑ “ උත්තරයක් බලාපොරොත්තුව කාමරයේ සිසිල ගැන සිතන්නට විය.ඔහු ලිපි ගොණුවේ මිස මට උත්තරයක් දෙන උත්සාහයක් නැත.
ගෙවෙන කාලය හොරකමක ඡායා මගේ හිතට ඇතුල්කරමින් ඉවසීමේ දේශ සීමා කරා මම ලංවෙමින් සිටින බවක් දැනෙන්න විය.මගේ ගුරාවු අධ්‍යක්‍ෂවරයා හැර දමා මම ම විසදුම සොයා යා යුතු බව කියන්නට විය. “මිස්ටර් සද්ධාරත්න විසදුමත් සොයා ගෙන මම එනවා එදාට තමුන්නාන්සේගේ බෙල්ල අන්න අතන තියේවි” කියාගෙන කුණු කූඩය පෙන්වමින් නැගිට ඔහුගේ කාමරයෙන් පිටවිය.
සියල්ල තුෂ්නිම්භූතය. අධ්‍යක්‍ෂවරයාද මගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන්න ඇත.මගේ ශබ්දයද කාර්යාලය පුරා පැතිර ගොස් ඇත.සැම මා කවුදැයි විපරම් කරන දෑස් ඇතුව මා දෙස බලා සිටින බවද නොතකා දිගු පඩිපෙල බැස කිසිවක් නොවු සෙයකින් ආ වාහනයට නැග ඒමට මට හැකිවිය.
ආපසු එන අතර මා කල යුත්ත මගේ සිත සැලසුම් කරමින් විවිධ යෝජනා ඉදිරිපත් කරන්නට පටන් ගත්තේය. මේ සදහා මැති ඇමති වරුන් ප්‍රාදේශීය දේශපාලකයන් අධ්‍යාපන බලධාරීන් කී නොකී අය උදව්වට ගත යුතුය. මගේ සිත අවසානයේ උදව්වට තෝරා ගත්තේ කාර්යාල කාර්ය සහකාරවරු ‍දෙදෙනෙක්ය.

සම්මුඛ පරීක්ෂඇණයට අදාල ලකුනූ නිර්නායක, ලකුණු ලබා දී ඇති අන්දම ,උසස්වීම්ලාභිණියගේ අධ්යාගපන සුදුසුකම් ,වෘත්තීය සුදුසුකම් ආදිය තහවුරු කරගත හැකි ලෙස තිබිය යුතුය.
අධ්‍යක්‍ෂවරයා භාරයේ තිබු සම්මුඛ පරීක්ෂ,ණයට අදාල ලකුනූ නිර්නායක, ලකුණු ලබා දී ඇති අන්දම ත් උසස්වීම්ලාභිණියගේ අධ්‍යාපන සුදුසුකම් ,වෘත්තීය සුදුසුකම් ආදිය තහවුරු කරගත හැකි සහතිකවල ඡායා පිටපත්ද මා සොයා ආවේ ය.
මේ සියල්ල ගලපා බලනවිට විභාග සහතික මතම වංචනිකව ලකුනු 15 ක් ලබා දි ඇ හට අදාල පත්වීම කර ඇති බව තහවුරු කිරිමේ ලේඛණ දිනා ගත් මම නිවසට පැමිණියේ රටක් රාජ්‍යයක් දිනාගත් පරිද්දෙනි.නොඑසේනම් මට නිවසට තබා එලිපත්තටවත් ගොඩවන්නට වරම් ලැබෙන්නේ නැත.
අධ්‍යක්‍ෂතවරයා එවකට රාජ්‍ය නායිකාව සමග සෘජු සම්බන්ධකම් ඇත්තෙක්වී ඉහල ගිය නිසාවෙන් සර්ව බලධාරී චින්තනයක් මවා ගෙන රාජකාරි කලේවිය.ඔහු විදුහල්පතිවරයෙකු සමයේ නවාතැන් ගත් නිවසක දැරිවියකට උදව් කිරිමට කරගත් නිර්මානය මට විසක්ව ඇති බව බුද්ධි අංශ පැහැදිලි කලාය.

ඔහු මට එරෙහිව පොලිස් පොතේ ලියමින් මා ඔහුගේ කාර්යාලයට පැමින රාජකාරි කටයුතු වලට බාදා කල බවත් බෙල්ල කපා දමන බවට තර්ජනය කල බවත් සටහන් කලේය. පොලිසිය මා සොයා ආවේය. විභාගයකට දින නියමවිනි . පිරිවර නිලධාරින් සමග ඔහු මට නැවත අපරාධ අංශයේදී මුණ ගැසෙන්නට සිදුවිය. චෝදනා ඉතාමත් බලවත්ය. බී වාර්තාවක් මත මහේස්ත්‍රාවරයෙකුට ඉදිරිපත් කර අඩු තරමින් සති දෙකකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කල හැක. මටත් ඇහුම් කන්දෙන්නට පොලිස් පරීක්ෂවකවරයාට සිදුවිය. ඔහුද අවන්හලේ මිත්‍රයෙකු වීම අධ්‍යක්‍ෂවරයාගේ දේශපාලන හයිය යම්තරමකින් සමනයකර ගැනීමට උදව් විය.
මම එක් රැස් කරගත් ලිපි ලේඛණ වලින් සන්නද්ධව ඔහු කර ඇති වංචාව පැහැදිලි කලේය. කිසිවක් නෑහුනු එතුමාට ඇහෙන්න පටන් ගත්තේය.නිලධාරීන් අවට උෂ්නත්වයට අනුගතවීමට ටයි පටි ලිහිල් කරගෙන මට බෙල්ල පාන්නවිය. බෙල්ල කපන්නේ මේවායින් මිස ආයුධයකින් යන්නක් මා අදහස් නොකල බව ඔවුන්ට පැහැදිලිවෙමින් සිටින බව එකිනෙකාගේ මුහුනු මට කියන්න විය.මා අධිකරනයට දක්කනවාද ? අධ්‍යක්‍ෂතුමා කුණු කූඩයට යනවාද ? . තෝරා ගැනීමට ඉඩ ඉතිරිවිය.
නිරුත්තරව ඔහුත් මාත් විසිර ගිය අතර ඊලග සතිය වන විට නිවරදි මාවතට පැමින මට සාමයේ අත දික්වි සියල්ල අමතක කර දමන්නට හැකිවිය.
ඉන් වසර දෙකකට පමන පසු විශ්‍රාම ගිය ඔහු මට යලිත් හමුවුනේ අද චැනල් මධ්‍යස්ථානයේදීය. මට අධ්‍යක්‍ෂ පල් හොරා මගේ මනසින් පලවා හැර මගේ ගුරුතුමන් සෙනෙහසින් බදා ගන්නට හැකිවිය .

Thursday, October 16, 2008

විශ්ව ශක්තිය - පසු විපරමක්

“විශ්ව ශක්තිය” යන මැයෙන් 02.08.2008 දින මා පල කල තොරතුරු අවසන් කලේ නිගමනයකින් තොරව.
I. අප යොදා ගත් රෝගීන් දස දෙනෙක්ගෙන් එක් අයෙකු තමන්ට සුවය ලැබූ බව පැවසුවා. ඈ විශ්‍රාමික විදුහල්පතිනියක්. ඇගේ රෝග ස්වභාවය හන්දි පත් වේදනාව,මස් පිඩුවල වේදනාව . අධික රුධිර පීඩනයට බටහිර ප්‍රතිකාර නොකඩවා තවමත් ලබාගන්නවා. ඈ පවසන්නේ සිරුරේ පැවති වේදනා තුරන් වූ බවයි. අධික රුධිර පීඩනය පාලනයවී ඇති බවයි.
II. දෙවැන්නා හත වසර පාසල් සිසුවෙක්. ඔහු දගකාරයි. දෙමව්පියන්ට ඇහුම්කන් දෙන්නේ නෑ.නිතරම පාසල් ගමන අත්හිටවනවා.වැඩිටියන්හට කිසිදු ගරුත්වයක් නැහැ. පරුෂ වචන භාවිතා කරනවා. මේ සිසුවාගේ දෙමව්පියන් රජයේ ඉහල රැකියා කරන අය. නිවසේ මෙහෙකරුවන් නැහැ. දෙමව්පිය සෙනෙහස ඕනෑවටත් වඩා ලැබෙනවා. ඔහුටද ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වුනේ නැහැ.
III. තුන්වැන්නා ආතරයිටිස් රෝගියෙක්. අධ්‍යායපන මාණ්ඩලික නිලධාරිණියක්. ඈ හටත් ප්‍රතිකාර වලින් පලක් වී නැහැ.
IV. සිව්වැන්නා. විශ්‍රාමික අධ්‍යාපන මාණ්ඩලික නිලධාරි ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ රුධිර සීනි අඩුවීම හා මෑතකදී ඒ සදහා යොදා ගත් බටහිර ඹෟෂධ වර්ගයක් අසාත්මික වීමෙන් චර්ම රෝගයක් වැලදී පීඩා විදිනවා.ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් උන්වහන්සේටද නැහැ.ඒත් උන්වහන්සේ පැවසුවේ යම් යම් අවස්ථාවලදී බෝධි පූජා ආදියෙන් අපට මානසික සහනයක් ලැබෙන්නාක් මෙන් මෙවැනි ප්‍රතිකාරවලින් රෝග සුවවන අවස්ථාද ඇතිවිය හැකි බවයි.
V. පස්වැන්නා අවුරුදු විස්සක් පමන කාලයක සිට මානසික ආබාධයකින් පෙලෙන්නෙක්. ආබාධිතවුයේ අධ්‍යාපනය ලබමින් සිටියදී. දැනට බටහිර ප්‍රතිකාර ලබමින් සිටින්නෙක්. ඔහුටද ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වුනේ නැහැ.
VI. හයවැන්නා ගුරුතුමියක්. ඇගේ දෙනෙත හිරු එලියට ආවරනය වූ විට හිසේ රුදාව සහ වමනය ඇතිවනවා බටහිර ප්‍රතිකාර ලබමින් අදුරු කල උපැස් භාවිතා කරන්නියක්. ඇයටද ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වුනේ නැහැ.
VII. අනෙක් හතර දෙනා මේ ප්‍රතිකාර පලදායි නොවන බව සහ විශ්වාසයක් නොමැති බව පලකලා.
VIII. රෝගීන්ගේ ජීව දත්තයන් දැක්වූයේ විශ්ව ශක්තියෙන් පල ලබන්නන් බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් විචාරාත්මකව නොසිතන අය බව මට සිතෙන නිසයි.
IX. බොහෝ පිලිකා වැනි අසාධ්‍ය රෝගීන් ආසන්න දිසා රෝහල මගින් මෙම සායනයට යොමුවු බව මට දැනගන්න ලැබුනා. ඔවුන් සුවපත්වු බවත් නැවත සායනයට යොමු නොවු බවත් පැවසුනා. මම හිතන්නේ ඔවුන්ට නැවත ප්‍රතිකාර සදහා දෛවය ඉඩ නොදුන් බවයි.

මම මෙවැනි ප්‍රතිකාර මගින්ම ලෙඩ රෝග සුව කල හැකියි යන්න විස්වාස කරන්නේ නෑ. ඹෟෂධත් අත්‍යාවශ්‍යමයි. කායික හෝ මානසික රෝගවූ ඕනෑම රෝගයක් රෝගියා තුල රෝගය සුවවන බවට විස්වාස කරවීමට පොලඔවා ගැනීමට හැකිවනවානම් හරි අඩක් ඖෂධ නොමැතිව ්‍රතිකාර සාර්ථක වනවා යන්න මා හිතනවා. වෛද්‍යවරුන් අතරින් සමහරුන් ගෙන් ‘ඇල්වතුර බීවත්’ රෝග සුවවෙන්නේ ඹෟෂධ සමගම එම වෛද්‍යවරුන් කෙරෙහි විස්වාසයත් ඇති නිසයි.
තමන් කෙරේ විස්වාස ඇතිකරවා ගැණීම මෙම මනෝ ප්‍රතිකාර කරන අයගේ මුලිකම කටයුත්ත ලෙසයි මා දකින්නේ. ඉන් ඹෟෂධ නොමැතිව සුව කල හැකි කායිකව බැදී ඇති මානසික රෝග සුව වනවා.

Monday, October 13, 2008

වෝටර් ඒජ් -වතුරේ ගියා

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් විශිෂ්ඨ ගනයේ නඩු තීන්දු දෙකකටත් නියෝග කිහිපයකටත් පසු ගිය සතියේ අප අවධාණයට යොමු විනි. එකක් මහ භාණ්ඩගාරයේ ආචාර්ය පී.බි.ජයසුන්දර මහතාටත් අනෙක ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මියටත් වීම අවධාණය යොමුවීමට ප්‍රධාන හේතුව විය.මෙම නඩු තීන්දු දෙකම තම බලය ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන් වරදක් සිදුව ඇතැයි පදනම මත ප්‍රකාශයට පත් වූ නඩු තීන්දුය.

මට මහින්දයන් ජනාධිපති තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රථම කතාව සිහිපත් වේ. ‘‘මම මේ රටේ භාරකරුවා මිස අයිතිකරුවා නොවෙමි. මම පවතින නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ හරිමි’’. යන්නයි ඒ. එතුමා මිහිදු හිමියන් සහ මැකියාවෙලි දෙදෙනාම උපුටා දක්වන ලදී. අනාගතයේදීත් මෙරට පහල වන රාජ්‍ය නායකයින්ද මෙම ආදර්ශයම ගන්නේ නම් වර්ථමානයේ සිටින්නාවූ දේශපාලකයෝද යම් තරමකට අපේ දුප්පත් මවු බිම සූරාකෑමෙන් වලකිනු ඇත. මහින්දයන් ද තම ප්‍රකාශයේ පිහිටා සිටියාද නැද්ද යන්න අනාගතය විසින් තීරණ‍ කරනු ඇත.

ධාර්මිෂ්ඨ සමාජයකට අප රැගෙන ගිය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන උතුමාණ මැති ඇමති වරුන් වංචනිකයන් වීම වැලක්වීමේ අරමුනින් නෛතික වරප්‍රසාද ඉහළ මට්ටමකට නැන්වූවා මතකය.එහෙත් පෘතග්ජන මිනිසුන් වන මේ සත්ව වර්ගයාද කොතෙක් ලැබූවත් සෑහීමකට පත්නොවන්නේමය. මේ මිනිස්සු ඡන්දදායකයාගේ දහඩිය සුවද අදුරන්නේත් ඉවසන්නේත් මැතිවරනය අවසන් වන පස්වරු හතරවන පැය දක්වා පමනකි.කොයිතරම් ප්‍රසන්න මුහුණක් පෙන්නුවත් ඉන්පසු නම් ඡන්දදායකයා මහත් කරදරයක් ලෙස මේ මිනිසුන් සලකන බව පැය ගනනක් පෝලිම සිට මුණගැසෙන විට අපට සිතෙනු ඇත.

පාර්ලිමේන්තුවේ කෙරෙන විවාදයකදී මේ උත්තමයින් දෙසා බාන්නේ මොනවාද කියා විමසා බලන්න. බාල දුවිඩ චිත්‍රපටියකත් පාර්ලිමේන්තුවේ කරන කතාවකත් වෙනසක් තිබේනම් ඒ භාෂාවේ පමනය. ධාර්මිෂ්ඨ සමාජය ඇරඹීමට පෙර පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තා සහ වර්තමාන හැන්සාර්ඩ් වාර්තාත් කියවා බලනවිට මේ අහසත් පොලවත් අපට හමුවනවා ඇත.

වර්තමානයේ මුදල් නොමැති නම් මැතිවරනයකට තරග කල නොහැක.උසස් අධ්‍යාපනයට යොමුවු අය වෙත ඒ සදහා යොදවන්න තරම් මුදලක් උපයාගන්නට විශ්‍රාම යන තුරුවත් නොහැක. වර්තමානයේ දේශපාලනට එක්ව ඇති බොහෝ දෙනා ව්‍යපාරිකයෝය. මුදල් සමග තමන්ට නොමැති සමාජ පිලිගැනීම ලබා ගැනීමට දේශපාලනට පිවිසෙන මොවුන්ට ඇත්තේ ව්‍යාපාරික ඥාණය පමනකි. එයත් අධ්යාගපනයත් සමග ලැබෙන ව්‍යෘපාරික ඥාණයක් නොව වාසනාවට පහලවන ව්‍යාපාරික ඥාණයකි. මොවුන් පාර්ලිමේන්තුව තුල මෙන්ම පලාත් සභාව තුලද පාවිච්චි වන්නේ සිග්නල් කනු වශයෙන්ය.
මේ සිග්නල් කනු සියල්ලටම අත උස්සමින් කටයුතු කරන්නේ නොදැනුවත් කමත්, තම පැවත්මත් උදෙසා මිස රට ජාතිය ගැන හිතමින් නොවන බව පැහැදිලි ය. මෙවැනි රැළක් නිර්මානය කරගන්නා නායකයින් රට ජාතිය තම සාක්කුව තර කරගන්නා පිනිස විකුනා ගනිමින් සිග්නල් කනුවලටද ගරා ගැනීමට පුංචි ඉඩ කඩක් ලබාදීම මේ දේශපාලනයේ සංස්කෘතිය බවට පත්ව ඇත.

Wednesday, October 08, 2008

මේජර් ජෙනරාල් ජානක පෙරේරා විරුවානන්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා විරුවානන් ජාතියට අහිමි කරනු ලැබීනි. එතුමන් යුද බිමේ නිරූප්‍රදිතව තම ජාතික මෙහෙවර යුතුකමක් ලෙස සලකමින් මව් බිම අපේය යන උත්තරීතර හැගීමෙන් අනාගත දූ දරුවන්ට ඒකීය ශ්‍රී ලංකාවක් පුද කිරිමේ අරමුනින් දිවි පරදුවට තබා සටන් මෙහෙයවීය. විශ්‍රාම ගැණිමෙන් පසු යුද වීරයෙකු ලෙස ජීවත් වීමට ඉඩ නොහල ජරා දේශපාලනය එතුමා තම සතුරන්ට බිලි ගැණීමට නිරාවරනය කලේය. දැන් වැරැද්දේ දබර ඇගිල්ල හතර වටේ දික්කරමින් තමන් දෙසට ඉතිරි ඇගිලි දික්වී නැතැයි සිතා ගනිමින් පස් පඩංගුවේ බැණ අඩ ගසමින් සිටිති.
මෙම බෝම්බ සිද්ධිය වාර්තා වූ දිනම අප සහෘද බ්ලොග් ලියන්නෙක් අනාවැකි පල කරමින් හතර වටේ බැණ අඩ ගහන උදවිය ගැනත් සදහන් කරමින් තම සංවේගය සටහන් කර තිබිනි.
ඇත්තෙන්ම ජානක පෙරේරා විරුවානන් පලාත් සභා දේශපාලනයට යොදා ගැණීමට තරම් බාල ප්‍රභූවරයෙක් නොවේ.ජරාවෙන් පිරුන භාජනයකට පයින් ගසා බිද දමන විට සිදුවන්නේ තමන්ටද එම ජරාව ඇගපතේ නාවා ගන්නය. එසේ නම් ඒ සදහා සුදුස්සෙක් එතනට යෙදිය යුතුය.එජාප නායකත්වදය උතුරු මැද සහ සබරගමුව ජයග්‍රහණය කරමින් දිග ගමනක් යන්නට පෙරුම් පුරමින් යෙදු බළල් අතක් වූ ජානක පෙරේරා විරුවානන් මරා ගත්තේ රජයද?.

07 වෙනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහයන් ජානක පෙරේරා විරුවානන් අගය කර ප්‍රකාශයක් කරමින් රජය ආරක්‍ෂාව ලබානොදීම, එතුමාගේ පෞද්ගලික ආරක්‍ෂක විධි අඩපන කිරීම, නිසා මෙම අවාසානාවන්ත සිදුවීම ට අවස්ථාව ඇති කල බවට වෝදනා කලා.එතුමන් වර්තමාන ආරක්‍ෂක ලේකම් වරයා අනියමින් හෑල්ලුවටත් දෝෂ දර්ශනයට ලක් කරමින් තිබුනා.ත්‍රස්තවාදයට එරෙහි සටනට නියම සුදුස්සා ජානක පෙරේරා විරුවානන් බවත් ඔහුට ඒ සදහා අවස්තාව ලබා නොදුන් බවත් පල කර සිටියා.ඔහු ආරක්‍ෂක ලේකම් වරයා ලෙස පත් නොකරගත් බවත් සදහන් කලා.
මහින්දයන් රනිල් වික්‍රමසිංහයන් නම් කරන පුද්ගලයෙකු අතිශය විස්වාසිවන්ත විය යුතු තනතුරකට පත්කරාවියැයි සිතන අයෙක් සිටියා නම් ඔහු යෝජිතයා පමනක් විය යුතුයි.
එජාප මහ ලේකම් තුමා නොනවත්වා කියවා ගෙන කියවා ගෙන යන අග මුල නැති තර්ක විතර්ක දකිමින් රජයට චෝදනා කරනවා. ආරක්ෂාතව සම්බන්ධයෙන් මේ සියල්ලටම ගැලපෙන උපදේශයක් අතිගරු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා අපට ඉතිරි කර ගොස් තිබෙනවා රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති තනතුරට පත්ව සිටියා නම් තමුන්නාන්සේලාගේ ආරක්ෂාවව තමුන්නාන්සේලා සලකා ගන්න ඕනී ඒක මට කොරන්න බෑ කියලා, එතුමත් අපට කියාව
මේ විකාර වලින් විශිෂ්ඨ ගනයේ වරිතයක් තව තවත් හෑල්ලුවට ලක් කරනවා විතරයි කෙරෙන්නේ.
කල යුත්තේ කුමක්ද? යන්න තෝරා බේරා ගන්න ජරා දේශපාලනයට පේන්නේ නෑ.
මැතිවරනයකින් පසු වැඩි ජනමතයකින් රාජ්‍ය නායකයෙකු පත් වූ විට ඔහු පිස්සු නටන්නේ නැතිව රට කරයි නම් , ඒ කටයුත්තට සහයෝගය නොදී වල කපනවා නම් ඒ වලේ වැවෙන්නේ රට බව මේ උත්තමයෝ කවදා තේරුම් ගනිද?. රාජ්‍ය නායකයෙකු තමන් අතින් සිදුවන වැරද්දක් පෙන්නා දුන් විට වැරද්ද නිවරදි කර ගැනිමට තරම් නිහතමානි වන්නේනම් නිවරදිවන්නේ රට බව කවදා තේරුම් ගනිද?.
මම මේ සටහන අවයන් කරන්නේ රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රකාශයේ අවසාන කොටසින්.
සැමදා උදැසන හිරු නැගෙනවිටදීත් , හිරු බැස යනවිටදීත් ජෙනරාල් ජානක පෙරේරා රණ විරුවානන් අපට සිහිවේවි. එතුමන්ට ආරක්‍ෂාව ලබා නොදීමේ තීරණයට සම්බන්ධවු හැම දෙනාටම හිරු නැගෙනවිටදීත්, හිරු බැස යනවිටදීත් තම තමන්ගේ හෘද සාක්ෂිකයේ චෝදනාවට හසු වී සදා කල් චේදනා විදිවි.
මේ ඡෙදයේ ජෙනරාල් ජානක පෙරේරා රණ විරුවානන් යන්නත් එතුමන්ට යන්නත් ඉවත් කර එතැන්වලට අපේ මවු බිම සහ මවු බිමට යන වචන දෙක ආදේශ කර රනිල් වික්‍රමසිංහයන්ට යලි කියවන ලෙස යෝජනා කරමි.එවිට එතුමන්ටත් සිදුවන්නේ තමන්ගේ හෘද සාක්‍ෂියේ චෝදනාවට හසු වී සදා කල් චේදනා විදින්නටය.

රටත් වැදු මවත් එක්වන්ය. රට රැකුම මවු රැක්කා වැනිය. ඒකිය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තම දේශපාලන පක්‍ෂයේ මත වාදයනට ඔබ්බෙන් පෙනී සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා විරුවානන්හට නිවන් සුව අත්වේවා !.

Tuesday, October 07, 2008

කතා දෙකක්.
පසු ගිය දිනක රූපවාහිණී නාලිකාවක ලමා වැඩ සටහනකට සහභාගී වු ඌව පලාතේ පාර්ලිමේන්තු ඇමතිනියක වෙත ඉදිරිපත්වූ දැණුම මිණුම පුංචි ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට නොහැකිවිය. රාත්‍රී කාලයේ අහාර සොයා යන පක්ෂිෙයෙක්, මීටරයට සෙන්ටි මීටර් ගණන නොදන්නා ඈ මංත්‍රීනියක ඇමතිනියක වීමට පෙර ගුරුවරියකලු. ගුරුවරියක නොවි සිට ඈ දේශපාලන වෘත්තියට පිවිසීම අපේ පිනට සිදුවුවකි.
මොණරාගල , බිබිල , පසුකර යන විට හමුවන පදියතලාව ග්‍රාමීය නගරයකි. පදියතලාවට අවට ගොවි ගම් වලින් දෛනික අවශ්‍යතා සදහා ගම් වැසියෝ පැමිනෙති . දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරන වෛද්‍යචාර්යතුමෙකු වෙත දිනක ප්‍රතිකාර සදහා පැමිනි තරුන මවක් සහ ඇගේ තවමත් පාසල් නොයන වයසේ දරුවන් දෙදෙනාටත් මව තිදෙනාටම බෙහෙත් ලබා ගන්නා ලදී.
වෛද්‍යචාර්යතුමා පිලිවෙලින් මි.ලි.750,375,200 බෝතල් වලට බෙහෙත් පුරවා මව වෙත දෙමින් , මම මාරුවෙනවට ඔන්න වයසේ හැටියට බෝතල් වලට බෙහෙත් දැම්මා කියමින් බෙහෙත් පාවිච්චි කරන අන්දම විස්තර කලාය. මේ සියල්ල අසා ගෙන සිටි වයස අවුරුදු තුනක පමන බාලම දරුවා අම්මාගෙන් ප්‍රශ්නයක් අසනු වෛද්‍යචාර්යතුමා අසාගෙනය.
‘’ අම්මේ තාත්තා ආවානම් බෙහෙත් දාලා දෙන්න උනොත් වෙද මහත්තයා බෙහෙත් දාන්නේ මොකේද ? . තාත්තාට බෙහෙත් දෙන්න ලොකූ බූලියක් ඕනෑ විය යුතුයැයි දරුවා උපකල්පනය කලා විය හැක.
පුදුමයක මහත මේ දරුවාත් ඇමතිනියත් එකම ප්‍රදේශයේවීමය.

Sunday, October 05, 2008

දෙවිවරුත් සටන්බිමේ

අපේ කාලේ ගුරු අභ්‍යාස විද්‍යාල හරහා පැමිණි ගුරුතුමන්ලාද රුපියල් සියයේ වැටුපට ගුරු සේවයට එක්ව රුපියල් අනූ නවයයි ශත අනූවක් අතට ගත් ගුරුතුමන්ලාද අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නොයෙක් තනතුරු දරා අධ්‍යාපනයට විශාල මෙහෙවරක්කර විශ්‍රාම ගොස් හමාරය.
ඉන්පසු විශ්ව විද්‍යාල විද්‍යා පීඨ යුගය පටන් ගත් අතර ඉන් පැමිණි පළමු , දෙවන කාණ්ඩායම් දැන් විශ්‍රාම යමින් සිටී.මේ ගුරුතුමන්ලාගේ යුගය අතර මගදී ගුරුසේවය අවසන්ව ගුරු වෘත්තිය ආරම්භවෙයි. එහි ආරම්භය සටහන් වන්නේ 25,000 ක් ජනසවිලාභීත්ව ය සුදුසු කමක්වු මහත්ම මහත්මීන්ද තවත් අතුරු මාර්ග ඔස්සේ මංත්‍රී චිට් එකෙන්ද එක්වෙන මහත්ම මහත්මීන්ගෙනි. මේ ගුරු කන්ඩායමට එක්වන උපාධිධාරීන් සහ විද්‍යා පීඨ ගුරුවරුන්ද වෘත්තිකයන් බවට පත්වෙති. වෘත්තිකයෝ සේවය අත හැර වැටුපට සහ මුදලට වැඩ කරන්නට පටන් ගනී.
අවාසනාවන්ත ගුරු ගෝල සම්බන්ධතා සහිත ගුරුවරයාට නොසලකන යුගයක් නිර්මාණය වෙමින් ගන්ධබ්බ අවස්ථාවේ සිටින්නාවු ගුරුවරුන් මා පියන් දරුවන්ට දෝෂාරෝපනය කරන යුගයකට දැන් අප අවතීර්ණ වෙමින් සිටිමු.අනෙක් අය මෙම සංසිද්ධින් සාමාන්‍ය දෙයක් ලෙස සලකති.
පනහේ හැටේ දශකවල ගුරුවරයා දෙවිවරයෙකි. ගමේ ඉස්කෝලේට දුර බැහරින් පත්ව එන මේ ප්‍රභූවරයා ගමේම ඉහලින් වැජඹෙන පුද සත්කාර ලබන්නෙකි. වර්තමානයේ මෙන් අධ්‍යාපන මනෝ විද්‍යාව,ඉගැන්වීමේ ක්‍රම පොතෙන් නොව ප්‍රයෝගිකව දත් මෙතුමන්ලා වරද දුටු තැනම නිසි පිළියම කර නිවරදි කිරීමට දක්ෂායෝ වූහ.ගුරු ඇබැසි විදුහලේදී විවිධ විෂයයන් සදහා පන්නරය ලබා ඇති මෙතුමන්ලා ඕනෑම විෂය නිර්දේශක් පංතියේ පොත පෙරලන්නේ නැතිව ඉගැන්වීය. පාසල්වත්තද දැකුම්කළු තැනක් බවට පත්කර එළවළු පළතුරු මල් ආදියෙන් සුන්දර තැනක් බවට පත් කරමින් පල ප්‍රයෝජන දරුවන් අතරද බෙදා දෙමින් “අපි වවමු රට හදමු” වන් වර්තමාන දිරි ගැන්වීම් ආයාසයකින් තොරව දරුවන් ගේ මනස තුල පැල පදියම් කරවීමට සමත්විය.අද පාසල් වත්තද දරුවන්ගේ මනස මෙන් පාළු කාන්තාරයක් බවට ලත් වී ඇත.
වැඩි වන ජනගහණය , පීඩාකාරී ආර්ථිකය ,ජරා දේශපාලනය ආදී වර්තමාන සමාජ සාධක විසින් අතීතය උඩු යටිකුරු කර දෙවිවරයෙක්වූ ගුරුවරයා අද වැටුපට පවා ණය ගැති යෙකු බවට පත්කර ඇත. ඔහු වර්තමානය වන විට පෙලපාලි යන්නටත් සිසු දරුවන්ගේ අනාගතය ඇපයට තබා ගෙන වර්ජනය කර අයිතිවාසිකම් දිනා ගන්නට තරම් සාහසික වී සිටිති. අධයාපන පින් බිම මේ තත්වයට පත්කිරීමට එක් පසකින් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ තලයේ නිළධාරීන් සහ රිචර්ඩ් පතිරණ ඇමතිවරයාගෙන් පසුව වරින් වර පත්වූ අකාර්යක්‍ෂමතම අධ්‍යාපන ඇමතිවරු සියල්ල වග කිවයුතුය.
මේ දේශපාලන හෝරාව ලියවි ඇත්තේ මහින්ද රාජපක්ෂයන් නමිනි. එතුමාගේ පාලන රටාව නීතී ගරුක ස්වභාවයක් දක්වන බැවින්දෝ අවසානයට ගත යුතු ආයුධය මුලින්ම ගන්නටත් මුලින්ම ගත යුතු ආයුධ බැහැර කරන්නටත් වෘත්තිය සමිති ක්‍රියා කරන බවක්ද පෙනේ.
නිවසක ‍රෝගියෙක් නැත්නම් සුවිශේස අවස්ථාවක් ඇතිවිටෙක අනෙක් ඕනෑ එපාකම් වලට වඩා ඒ සදහා ප්‍රමුඛතාවය දෙන සිරිතක් තිබේ. රටද අසාධ්‍යව සිට ප්‍රතිකර්ම කරන බැවින් ඒ සදහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු සිදුවේ. ජනතාවද ඉතාමත් ඉවසිල්ලෙන් බලාසිටී.
මේ අල්ල පනල්ලේ ගුරුන්ද යුද්ධ ප්‍රකාශ කිරීම බලවත් වරදක් ලෙස අපි දකිමු.එහෙත් රථ පෙරහැරකින් ඩීසල් පෙට්‍රල් නාස්තිකරගෙන එකා යා යුතු තැනට විසිපහක් තිහක් කැදවා ගෙන යන දේශපාළුවන් මුලින්ම නාස්තිය පිටු දැකිය යුතුය. එහෙත් නාස්තිය ගණනකටවත් නොගන්නා දේශපාළුවන් හට මේ කිසිවක් නොදැනෙන විට සියළු පීඩාවන්ට ගොදුරුවී අපහසුතාවයන්ගෙන් පීඩීත කොටසකින් බලාපොරොත්තු විය හැකි සංහිදියාවක් නැත.

Sunday, September 28, 2008

සක්විති සුවය

සක්විති රණසිංහ නම්වූ චෞරයා විශාල මූලH වංචාවක් කර රටින්ද බැහැරට ගොස් ඇත. මේ සා විශාල මුදලක් දේශීය නීතී රීති යටතේ බැහැර නොකළ හැකි බැවින් නැති නාස්ති නොකළ ඉතිරියක් මෙරට‍ අප්‍රකාශිතව තිබිය යුතුය.
සක්විත්තා ඇතුළු කප්පිත්තෝ සති අන්ත ප්‍රවෟත්ති පත්‍රවල මාගල් ප්‍රමාණයේ දැන්වීම් පල කරනවිට අවධානය යොමු නොකර ශ්‍රි ලංකා මහ බැංකුව නිදි වැද්දාද ? . වැඩි පොලී අනුපාත ගෙවමින් තැන්පතු අර්ථය දෙන වෙනත් වචන යොදමින් මුදල් තැන්පත් කරවා ගැණීමට පල කරන දැන්වීමක් කෙරෙහි අවධානය යොමු කරවා ගැණීමට මහජන පැමිණිලි නොතිබුනායි කීම නිදහසට කරුණක් නම් නොවේ.මෙවැනි මහ පරිමාණ ජාවාරම් කරුවෝ මෙන්ම ආභාෂය ලත් තවත් ජාවාරම් කරුවෝ ප්‍රාදේශීය වශයෙන්ද සිටිති.
සමහරු සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ණය දෙන සමූපාකාර ලෙස ලියා පදිංචිවී නීත්‍යානූකූල සළු පොරවා ගනී. නිසි ඇගයීමක් නොමැතිව මේවා ලියා පදිංවි කරගන්නා බැවින් ජනතාව මුලාවේ.උදාහරණයක් ලෙස 2007 වසරේ මෙවැනි මූල්‍ය වංචාවක් බණ්ඩාරවෙල ගුරුවරයෙකු විසින් ආශ්‍රීත නගර කිහිපයක පවත්වාගෙන ගොස් හෙලිදරව් විනි.තවමත් මෙවැනි ආයතන ඉතාමත් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යනු ලැබේ.
ව්‍යාපාර නාම ලියා පදිංචි කිරීමේ පනත යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වයාපාරයක් ලෙස ලියා පදිංචිවි මූල්‍ය පහසුකම් සපයන ආයතනද තිබේ. මේවා එක් දින පොළි අයකරගන්නා පදනම මත මුදල් පොලියට දෙති. ඔවුන්ද ආයෝජන තැන්පතු වශයෙන් ලබා ගනී. සමහරවිට ව්‍යාපාර නාම ලේඛන ලියාපදිංචි කිරීමේදි ව්‍යාපාර ස්වභාවය යටතේ දක්වා ඇත්තේ ‘‘මූල්‍ය උපදේශණ සැපයීම සහ ආධාර කිරීම’’ වැනි පාඨයක් විය හැක. මේවාද බැංකු ස්වරූපයෙන් කටයුතු කරයි.
1948 ට ඔබින නීති 2008 නොගැලපෙන බැවින් නීති පද්ධතියද වෙනස් විය යුතු අතර අපද පනින්නට පෙර සිතා බැලිය යුතුය.

Saturday, September 27, 2008

පෞද්ගලික විශ්ව විද්‍යාල

උසස් පෙලින් සමත්වන 14% ක් විශ්ව විද්යාුල ප්‍රවේශයට තේරෙයි. දළ ජාතික ආදායමෙන්0.5% ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරයි. විශ්ව විද්යා‍ල 15 ක් මෙරට ක්‍රියාත්මකවේ. විශ්ව විද්යා‍ල ශිෂ්‍යයෙකු වෙනුවෙන් එක් එක් උපාධියක් වෙනුවෙන් රජය මහජන බදු මුදලින් වැය කරන මුදල පහත වගුව පෙන්වයි.

නීතීඋපාධිය රුපි.02,02,558 .00
ව්‍යාපාර අධ්‍යයනඋපාධිය රුපි.02,88,361 00
කලා /සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර උපාධිය රුපි.04,07,676 00
ගෟහ නිර්මාන උපාධිය රුපි.04,35,382 00
තොරතුරු තාක්‍ෂණ උපාධිය රුපි.05,01,649 00
ජන සන්නිවේදනය සෞන්දර්ය උපාධිය රුපි.05,31,926 00
මිණුම් විද්‍යා උපාධිය රුපි.06,35,043 00
ඉංජිනේරු උපාධිය රුපි.06,58,532 00
විද්‍යා උපාධිය රුපි.06,66,229 00
සත්ව පාලනය ධිවර සහ පෝෂණයවේදී උපාධිය රුපි.09,95,956 00
කෟෂි කර්ම උපාධිය රුපි.11,34,950 00
වෛද්‍ය උපාධිය රුපි.13,26,550 00
පශු වෛද්‍ය උපාධිය රුපි.16,93,242 00
දන්ත වෛද්‍ය උපාධිය රුපි.21,42,110 00

මූලාශ්‍රය 2008.09.21.දින ලංකාදීපය.
අධ්‍යාපනයත් රටේ සංවර්ධණයේම කොටසකි. එහෙයින් මෙම ආයෝජනය පිළිබද විවාදයක් ඇතිවිය යුතු නැත. උසස් පෙලින් සමත්වන 86% ක්වු සිසුන් හට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් නැතිවුවත් ඔවුන්ද උපාධිය සදහා සූදානම් වීමට සුදුසු කම් ලැබූවෝ වෙති. මොවුන් ගෙන් ඉතා සුළු ප්‍රමාණයක් බාහිරව අධ්‍යාපනය ලබමින් උපාධිය ලබා ගනිති. එහෙත් බාහිර උපාධි විභාග පවත්වන විශ්ව විදයාල වලින් පවා විධිමත් පහසුකම් මේ දරුවන්ට නොලැබෙති.තවත් සුළු ප්‍රමානයක් දරුවෝ යම් යම් ඩිප්ලෝමා පාඨමාලා සදහා යොමුවුවත් ක්‍රමවත් අධ්‍යාපනයක් ඒවායින් නොලබති. උසස් අධ්‍යාපනය සදහා දරුවන් යොමු කිරීමේ නිසි වැඩ පිළිවෙලක් ජාතික අධ්‍යාපනය ප්‍රතිපත්ති තුල නැති බව මින් පැහැදිලිවේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා නොතේරෙන මිළ මුදල් ඇති දෙමව්පියන්ගේ දරුවන් විදේශීය අධ්‍යාපනය කරා යොමුවන අතර අනෙක් දරුවන් අතරමං වෙති. මෙම දරුවන්ට අධ්‍යාපනය ලබා ගැණීමේ පහසුකම් රජයට සලස්වනු නොහැකිවන්නේ ඒ සදහා ප්‍රතිපාදනයන් වෙන් කිරීමේ නෙහැකියාවයි. එසේනම් නිසි ප්‍රමිතියක් සහිතව පවත්වාගෙන යන පෞද්ගලික විශ්ව විද්යානල බිහි කිරීමේ වරදක් ඇතැයි තර්ක කිරිම 14% ක්වු උසස් අධ්‍යාපනය වරප්‍රසාදය 86%ක්වු අනෙක් දරුවනුත් ලබා ගැනිමෙන් 14% කට ඇතිවන යම් සමාජ තත්වයක් අහිමිවීම පිලිබද උපදින මානසික කුහක කමකි.
පෞද්ගලික විශ්ව විද්යාකල ඇති කිරීමට එරෙහිව වීදි බහින්නේ දෙමව්පියෝ නොවෙති. විශ්ව විද්යාකල ශිෂ්‍යයෝමය. ඹවුන් එරෙහිවන්නේ තම සහෝදරයින්ට බව තේරුම් නොගනී. උද්ඝෝශනයක්, පිකටින් එකක් වර්ජනයක් නොමැති නම් පැවත්මක් නැති දේශපාලන ව්‍යාපාරිකයන්ගේ බඩ වඩා ගන්නට මේ දරුවෝ බිල්ලට ගනී. ඉන් පසු අපි නිදහස් අධ්‍යාපනය රැක ගත්තායයි බිරුසන් දෙයි. විශ්ව විද්‍යාලයට පිවිසිමේ තරගයෙන් ජය නොගන්නා දරුවන්ගේ අධ්‍යාපනය විනාස කරන මේ නරුමයෝ උදම් අනමින් සිටිති.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවෝ බිලි ගන්නා මේ දේශපාලන ව්‍යාපාරිකයන් දරැවන්ගේ අනාගත අභිවෟද්ධිය වෙනුවෙන් ඔවුන් මෙහෙයවත්ද ?.පාඨමාලා කාලයෙන් අඩක්ම උද්ඝෝශන, පිකටින් ,වර්ජන යන්ය. හරියට ඒවාත් පාඨමාලා නිර්දේශවලට ඇතුලත් වන කරුණු තරමට සිසුන්ට වැදගත්ය. මේ දරුවන් ඉහත වගුවේ ඇති පරිදි මුදල් තමන් වෙනුවෙන් වියදම් කරන්නේ තමන්ගේ දෙමව්පියන් දියලුනු කැටේට පවා උපයන මුදලින් ගෙවන බදු මුදලින් බව තේරුම් නොගනී. දරුවන්ගේ අධ්‍යාපනය විනාශකරන දේශපාලන වයාපාරිකයන් හට වැදගත් වන්නේ තමන්ගේ බඩ මිස රටේ දරුවන්ගෙ බඩ නොවන බව පැහැදිලිය.

Thursday, September 25, 2008

අනතුරුදායකයි - ප්‍රවේසමෙන් පරිහරණය කරන්න.

SMS එවන. පොඩ්ඩ බැරිවෙනකොට ටෙලිෆෝනය හරහා පැය ගාණක් එල්ලී එල්ලී ඉන්න කාලයක මට හුරු පුරුදු අකුරු වලින් ලියුමක් ඇවිල්ලා. තෑපෑලෙන් එන්නේ ටෙලිෆෝන් බිල් , බැංකු වාර්තා, ෆිනෑන්ස් සමාගම්වල අනතුරු හැගවීම් වගේ දේවල් අතර මේ ලියුමත් ඒ නොසැලකිල්ලට පත්වෙලා. මම කියවන්න පටන්ගත්තේ නිවී සැනසිල්ලේ හවස් යාමේ. ලියුම පුරාම තියෙන්නේ දුක් ගැනවිල්ලක් මගේ මිත්‍රයාගේ කැණිමඩලට හෙණ ගහලා. පිළිතුරක් දෙන්න ගියත් බිල ගැන මතක් වෙලා මමත් ලියුමක්ම ලියන්න හිතුවා.
ආදරය සුන්දරයි.මිත්‍රයාගේ ආදරයට දෙමව්පියෝ හරස්වෙලා. රැවුලේ ගාගන්නේ නැතිව මිත්‍රයාට කිරි කන්න ඕනි. එයාගේ ලිපියේ අදෝනාව ඒකයි.සම්ප්‍රදායික කොටස අත හැරලා මගේ ලිපියට පිලිතුර මෙතැන් ඉදලා කියවන්න.
..............මට පටන්ගන්න වෙන්නේ ඔබේ වැරැද්ද ගැන කියාගෙන. අවුරුදු පහ හයක් කියන්නේ ලොකු කාලයක්. පහුගිය කාලය ටිකින් ටික අම්මට තාත්තට තොරතුරු කාන්දුවෙන්න අරින්න තිබුනා. ඔයා කලේ සියල්ල වසංගන්නා එක. අන්තිමට ඉලක්කේ බලලා ‍බෝම්බේ ගහපුවම ඔය ටික වෙනවා. ඔයාට පැනලා යන්න බැහැ .දැන් අර ළමයාට උනත් වෙන විකල්පයක් නැහැ දෙන්න කසාද බදිනවා හැර. ඒ ළමයා ඥාණාන්විතයි . යම්තරමක තොරතුරු තමන්ගේ දෙමව්පියන්ට කියලා තිබුන නිසා.
ඒත් ඔයාට මේ අවුල ලිහාගෙන මිසක් ව්‍යාපෟතිය පටන් ගන්න බැහැ.
කොයි දෙමව්පියෝත් සමප්‍රදායිකයි . ආදර සම්බන්ධයක් ගැන අහපු ගමන් කළබල වෙනවා. යුද්ධ ප්‍රකාශ කරනවා හොද නරක හොයලා බලන්නෙ නෑ.දරුවන්ගේ විවාහයේදී පූර්න මැදිහත්වීම ඔවුන් අත්පත් කරගන්නවා . ඒකට අයිතියකුත් තියෙනවා. කවලා පොවලා , හදලා වඩලා , අධ්‍යාහපනය ලබලා දීලා ආර්ථිකයත් සුරක්‍ෂිත කරලා දුන්නම ඔය කටයුත්තේදි පූර්න අයිතියත් ඔවුන්ට තියෙනවා කියලා හිතන්න වෙනවා. ඹවුන්ට තියෙන්නේ සමප්‍රාදායික නිර්ණායක ටිකක්. කේන්දරය,ආගම, කුළය, වත්පොහොසත් කම සමග බැදුන දැවැද්ද, වගේ දේවල් . මගුල් කපුවෝ ඥාති හිතෛෂීන් මේවට තව තවත් පෝර දමනවා.
කේන්දරය,ආගම, කුළය, දැවැද්ද, යල් පැනගිය නිර්නායක. දෙන්නට සරිලන ආර්ථිකයක් තියෙනවා නම් දැවැද්ද මොනවටද? . අවුරුදු පහ හයක් දැන අදුනාගෙන තියෙන ඔය දෙන්නට කේන්දරය මොනවටද?. මම හිතන්නේ එහෙමයි. වැඩිහිටියෝ බලාපොරොත්තුවන නිර්නායක අතර ඔය දෙන්නා සපුරා ගෙන නැත්තේ කේන්දරය නොබැලීම විතරක් නම් තියෙන්නේ විරුද්ධ වෙන්න ඕනවට විරුද්ධවීමක්.
දෙමව්පියෝ තරහ කරගන්න එක හොද මදි. දැන් ප්‍රශ්නය ගිණියම් වෙලා තියෙන වෙලාව. ඔබට තියෙන්නේ සාර්ථකව පසුබසින්න. මම අහල තියෙනවා දෙවන ලෝක යුද්ධයේදී ඉංග්‍රිසින් යුද්ධය උච්චම අවස්ථාවලදී පසුබැහලා උපක්‍රමිකව කටයුතු කිරීමෙන් ජයග්‍රහණය කලා කියලා.කැත්තට පොල්ල වගේ නැතිව හෙමින් සීරුවේ අදහස් ගෙන එන්න. පහසුවෙන්ම අදහස් දක්වන්න පුළුවන් කෙනාට සමීප වන්න. මම දකින්නේ ඔයාලගේ ගෙදර නම් සුදුසු ම කෙනා අම්මා කියලා. කාලය ගන්නා එක ප්‍රශ්නය විසදා ගන්න තියෙන හොදම විසදුමයි.පලමුව තමුන් කීකරුවන්න. එවිට අන් අය තමුන්ට කීකරුවනවා නිතැතින්ම.
ඉක්මන් නොවී සාමදාණයෙන් කටයුතු කරන්න. අර ළමයාත් දැන උගත් සමාජ අත්දැකීම් ඇති කෙනෙක්.දෙන්නාටම තියෙන්නේ එකම අරමුණක්.ඔබේ අදහස නිශ්ඵල වෙන්නේ නැහැ ඒක සහතිකයි........................ .

Wednesday, September 17, 2008

කදුළක්

කදුළක්
දවස පටන් ගත්තේ නෙතට කදුළක් ඇති කළ දුරකතන ආරංචියකින්. උදේ හතට පමන තේ එකක් බොමින් සිටියදීම ක්ලාන්තගතියයි කියු ‘දැත්තා ‘රෝහලට වත් ගෙන යාමට ඉඩ නොතබා ඊ ලග මොහොතේ මියගොස් . ආරංචිය මට කිවේ ලෑල්ලා විසිනි.
මම වායු අවපාතයකට වැටනු යානාවක් මෙන් අසුනකට කඩා වැටිණි.
අපිට පාසල් සමයේ ගජ මිතුරු කන්ඩායම් සිටියෝය. පාසලත් මගේ නිවසත් අතර දුර කි.මි 140 ක් පමනවු බැවින් මම නේවාසිකයෙක්විමි. නාගරිකයන් අතර මම ගමයෙකුවුවද සියළු කන්ඩායම් අතර අන්තර් සම්බන්ධසතා පවත්වා ගෙන යාමට සුප්‍රසිද්ධ නමක් - හිමිව තිබු මගේ ගම මට උපකාරීවිය. මගේ ගමට පෙම් බැන්දෝ මටද පෙම් කළහ. පසුගිය දශක තුන හතර තුළ අප සියළු දෙනාටම පොදුවූ ජීවිතයේ අභියෝග අතර ඇතිවූ හැලහැප්පලි මැද දුරින්ම සිටි ගමයා ටිකින් ටික අමතකවිය. ජිවන මාර්ගය සදහාද රැකියාවක් කළයුතුයැයි චින්තනයක් නොතිබූ ගමයා ගත් මග සරළ නොවීය.මිත්‍රයෝ නගරයේද ලෝකයේ විවිධ රටවල විසිර යද්දී ගමයා ගමේම පැල විය.
එක් එක් අයට වෙන් වෙන්ව අන්වර්ථ නම් පට බැදී තිබූ අතර දැත්තා ගේ දත් ‍කිහිපයක් ඉදිරියට නෙරා තිබූ බැවින් ඔහු දැත්තා නම් විය.නාගරිකයෙකු නොවු මම ගමයා විය.
දැත්තා ගුවන් හමුදාවේ සේවයට බැදී කාර්මිකයෙකු ලෙසත් පසුකාලයක සිවිල් ගුවන් සේවාවලත් සේවය කර අරාබි කරයේ ගුවන් සේවාවක රැකියාවක් ලැබ විදේශ ගතවී ඇත.දශක දෙකකට පමන කාලය ඉකුත්වූ එක් දිනක පෙර පුරුදු නමින් අමතන්නෙක් කෑ ගසමින් ගමයාගේ නිවස ඉදිරිපිට ගමයා සොයමින් සිටියේය. ආ ගිය කතා මැද දැත්තා විවාහ වූයේ ලගදී බවත් විදේශ රැකියාවෙන් උපයා ගත් මුදල් අවසන්වූ බවත් පැවසුවේ ‘මචං මම ඔළුව සෞදියේ තියලා ආවනේ ‘ යන සැහැල්ලුවෙනි. ඉන් ටික කලකට පසු දැත්තා නැවත විදේශ ගතවිය.
ඒ හමුවීමත් නැවත ලංකාවට පැමිනිමත් අතර ඔහුගේ ඉතුරුම් සහ බිරිදගේද සහයෙන් නගරයේ තමන්ගේම තෙමහල් ගොඩනැගිල්ලකුත් සාර්ථක ව්‍යාපාරකත් හිමි කරුවෙක් බවට පත්ව සිටියේය. ඔහු ලංකාවට පැමිනිමත් සමග දවසක මට දුරකතනයෙන් කතාකර කීවේ ‘මචං ගෑණී ඔළුව සෞදියන් ගෙන්නා ගත්තා.’ යනුවෙනි.
කාලය ගෙවී යද්දි දැත්තා නගරයේ සිටි ආදීන් හා නිතර නිතර මිත්‍ර සමාගම් පිලියම් කර ගනිද්දී දුරකතනයෙන් ගමයා මුණගස්වා දීම විනෝදාස්වාදයක් කරගත්තේය. කාලයත් සමග පසුගිය දශක තුන හතර දුරස්ව සිටි ගමයා ට ආදීන්ද, ආදීන්ට ගමයාද දැත්තා විසින් සමිප කරවීය. වසරකට වරක්වත් මේ ගෙම්බෝ ලාහකට එකතු කරන්න දැත්තාට බලවත් උවමනාවක් විය. ඔහු එයද මහත් ආයාසයෙන් ඉටු කලේ පාඩු ලබා ගනිමින් කාලය වියදම් කරමිනි.අවන්හලක හෝ ඉඩකඩ ඇති නිවසක අල්ලාප සල්ලාපයෙන් ආහාර පානයෙන් පැරණි පංති කාමරය මැවීමෙන් දැත්තා අපට අපූරු දවසක් නිර්මාණය කර සතුටු විය.
එහෙව් දැත්තා අපට අහිමි විය.

Monday, September 15, 2008

බේසමේ කිඹුල්ලු.

1971 තරුණයන්ගේ අවධිවීම ගැන ඇත්තේ මට මතකයක් විතරයි.1989 ජවිපෙ සක්‍රීයවිම නිහඩ රටවැසියෙක් ලෙස මට වේදනාවක් වුනා. වරෙක එජාපයට හිතවත් ඤාතීන්ට හිතවතුන්ට අනතුරු සිදුවුනා.මරණයට පත්කලා. තවත් වරෙක ජවිපෙ යයි කියා ඤාතීන් හිතවතුන් ආරක්ෂික අංශ භාරයට පත්වුනා. අතුරුදහන් වුනා.
මට මේ කාලය තුළ සිදුවුන සමහර විනාශකාරී සිදුවීම් සහ පසුව එම විනාශයන් යලිත් ප්‍රතිශංස්කරණය වු අයුරුත් ගලපනවිට මැවෙන්නේ වෙනස් චිත්‍රයක්.මෙම වකවානුවේ විවෟත ආර්ථීක ප්‍රතිපත්තිය තුළ බොහෝ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය වුනා. නැත්නම් පෞද්ගලික අංශයට විකුනා දැම්මා.මෙම කාල වකවානුව වන විට වැවිලි අංශය,ගමනාගමනය (ලංගම), රාජ්‍ය ගොවිජන සේවාවන් කෟෂි රසායන.පොහොර බෙදා හැරීම වැනි අංශ පෞද්ගලිකකරණය කිරීම කෙරෙහි ජනතාව දැඩි ප්‍රතිරෝධයක් දැක්වුවා. පැවතුන රජයට මෙම අංශ ඇතුළු තවත් අංශ කිහිපයක් විකුණා දමන්නට අවශ්‍ය වූවත් එය කළ නොහැකිව සිටියා.
ජවිපෙ භීෂණ සමයේ වැවිළි අංශය අඩපන කරන ලෙස තේ රබර් කර්මාන්ත ශාලා ගිණිතබා විනාශ කලා.ලංගම බස් ඩිපෝ පිටින්ම ගිණිතබා විනාශ කලා. ග්‍රාමීයව ස්ථානගතවු ගොවිජන සේවා මධ්‍යස්ථාන ගිණිතබා විනාශ කලා. තවත් රාජ්‍ය දේපළ, ආයාතන විනාශ කරමින් ආර්ථිකය අඩපන කලා.
මේ සියළු විනාශයන් බැරවුයේ ජවිපෙ ගිණුමට.
ඉන් පසු රජය මෙම අංශ කාර්යක්‍ෂමව පවත්වාගෙන යාමට නොහැකිබව දක්වමින් පෞද්ගලිකකරණය කලා. කළ හැකි දෙයක් නැති ජනතාව නිහඩව බලා සිටියා. සද්ද කරන අයට උරුමයක් මේ දවස්වල නිර්මාණය කර තිබුනා.අපි පෝර කෟෂී රසායන පෞද්ගලික වෙලෙන්දන් ගෙන් අධීක මීළට ගන්නත් කෟෂී උපදේශණය වෙළද නියෝජිත ගිරවුන්ගෙන් ගන්නත්, කොල්ලන්ගේ රැවුම් ගෙරවුම් මැද අධීක ගාස්තු දරමින් පෞද්ගලික බස්වල තෙරපි තෙරපි කොට කොටා යන්නත් පුරුදුවුනා. තේ රබර් කර්මාන්තය පෞද්ගලික අංශය හිමි කර ගත්තා. මේ උදාහරණ ටිකක් පමනයි.අනෙක් විනාශයන් හා පුනරුත්ථාපනයන් ගලපා බලන්න. අවසාන ජයග්‍රහණය අත්කරගෙන ඇත්තේ විවෟත ආර්ථීකය කියන ප්‍රතිපත්තිය බව වැටහේවි.
ජවිපෙ කාගේ කොන්ත්‍රාතුවක් කලාද? නැත්නම් රජය බොර දියේ මාළු බෑවාද? යන්න අපිට හිතා බලන්න ඉතිරි වෙනවා.
දේශ හිතෛෂි මනසකින් යුත් ජවිපෙය ද්වේශ සහගතව කටයුතු කලා යැයි හිතා ගන්නත් බැහැ.
උතුරේ යුද්ධයත් මම දකින්නේ මේ වගේම කොන්ත්‍රාතුවක් සමග බැදුන විකෟතියක් ලෙසයි.
ලංකාවේ සිතියමේ මුහුදු තීරයෙන් 3/2 ක්ම අයිතිය ප්‍රභාකරන් මහත්තයාටය. ( මේ යක්ෂ යාට කාලෙන් කාලෙට අපේ බූරුවෝ එක එක විධියට ආමන්ත්‍රණය කරනවා. මහත්මා ගති ඇත්තෝ මහත්වරුන් වුනාට ‘මහත්තයා’ ට ඒ වගේ තේරුමක් නෑ.)
ස්වභාවික වරාය, ඛනිජ සම්පත් මත්‍ය සම්පත් මේ තීරුවේ තියෙනවා. නෝර්වේ වගෙ රටවල් මේවට කෙළ හලන්නේ නෑ කියලා විශ්වාස කරන්න බැහැ.
ඉන්දියාව අපේ අසල් වැසියා. JR මහත්තයා ගේ කාලේ අමරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් ඔහුට තිබුනේ. ත්‍රිකුණාමළයේ තෙල් ටැංකි ටික අමරිකානු සමාගමකට බදු දෙන රාවයක් එකල තිබුනා. පිලිපීනයේ තිබුන අමරිකානු යුද කදවුරු හකුලාගෙන යන කතාවකුත් ඹවුන් ලංකාව දෙස බලාගෙන ඉන්නා බවත් අහන්න ලැබුනා. මේවට ඉන්දියාව කැමැති නොවු නිසා ප්‍රාභෘකරන් බිහිවුනා. ඉන්දියාව කවලා පොවල හදලා වඩලා අපිට ප්‍රතිවිරෝධයක් නිර්මාණය කලා. අන්තිමේ පරිප්පු දීලා JR මහත්තයා මෙල්ල කරගත්තා. ප්‍රාභෘකරන් ඉතිරි කලා. විකෟතිය ඇරඹෙන්නේ එතැන් සිට. රජිව් ගාන්ධි මියයන්නෙ තම සුරතලා අතින්.
ඉන්දියාවෙන් ගිලිහෙන ප්‍රාභෘකරන් මිළදී ගන්නේ නෝර්වීජීයානුවන්. ප්‍රාභෘකරන් විතරක් නෙමෙයි චන්ද්‍රිකා රනිල්ලත් මිළදී ගන්නවා. මංගල ලා වගේ අයත් නොයෙක් රාජ්‍ය නොවන සංවිධානත් කවලා පොවලා හදා වඩා ගන්නවා. මේ ඹක්කොම යොදාගෙන උතුර සහ නැගණහිර වෙන් කරගන්න ව්‍යාපෟතියක් ඇති කරනවා. ප්‍රාභෘකරන්ට කිසිදා ගහන්න අපේ හමුදාවට බැහැ කියන මානසිකත්වකයක් මහින්දාගමනය තෙක් රටට මේ අය අනියමින් ඒත්තු ගන්වමින් හිටියා . ගහන්න පුළුවන්වු කොබ්බෑකඩුව වගේ අය විනාශ කලේ රටට ප්‍රශ්නාර්ථයක් ඇති කරමින්.
කවුරුත් සිහිපත් නොකරන ඩී.බී.විජේතුංග ජනාධිපති තුමාට විතරයි මේ අතරින් අවංකවූ චින්තනයක් තිබුනේ. නමුත් ඔහු ක්‍රියාශීලී පාලකයෙක් නෙමෙයි. වර්ථමානය සහ අතීතයේ සිදුවිම් ගලපන විට හැම සිදුවීමක් තුලම වෙනත් අතුරු බලවේගයන් ක්‍රියාත්මක වන බවයි මම හිතන්නේ.
මේ මට හිතෙන හැටි මිසක් විශාරද මතයක් නෙමෙයි.

Sunday, September 07, 2008

සුන්දර ‍ ගින්දර

යොවුන් විය චමත්කාරයි. ජීවිතයේ අඩිතාලම සකස් කර ගත යුතු මේ කාලය නිසි පරිද්දෙන් කළමනාකරගන්නා අය අනාගත ජීවිතය ජයගන්නවා.අනෙක් අය පසු කාලයේ පසු තැවෙනවා.බොහෝ දෙනා තමන් යන මග නිවරදි කියන ස්ථාවරයේ ඉදගෙනයි බොහෝ කටයුතු කරන්නේ. තමතමන්ගේ චර්යා රටා සකස් කරගෙන තියෙන්නේ. පිටතින් ඉදගෙන බලන අයට නොයෙක් විවේචන තියනවා කියලා හිතන්නෙ නෑ. නැත්නම් ඒවා ගැන නොසලකා හරිනවා.
ආදරය විවිධාකාරයි. මව්පියන් දරුවන්ට දරුවෝ මව්පියන්ට ආදියෙන් පටන්ගෙන සතුන්ට පවා අපි ආදරය කරනවා . සමහරු බීමත් කම වගේම නොසන්ඩාල කමටත් ආදරේ කරනවා .
යොවුන් ආදරය ජනප්රිකය ලෙස සාකච්ඡා කල පලමු නවකතාව ගොළු හදවත කියලයි මම හිතන්නේ. ගොළු හදවතේ පලවු හැත්තෑවේ දසකයේ තිබු විනීත සංවර බව යොවුන් ආදරයේ වර්තමානයේ නැහැ. පසුකාලීනව අසම්මත ආදර කතා වියත් ලේඛකයන් අතින්ද ලියවී එම ආදර්ශයන් සමාජයටත් කාන්දු වුනා. වර්තමානය වනවිට විද්යූවත් මාධ්යව වල පෙන්වන ටෙලි නාට්යනවල සාකචඡා වන යොවුන් ආදරය දු දරුවන්ට යහපත් ආදර්ශයක් ලබා දෙන්නේ නැහැ.
කාලයෙන් කාලයට යොවුන් වියඇවතුම් පැවතුම් දකින්නට ලැබෙන්නේ එක එක ආකාරයට. සමහර ප්රේ මවන්තියන් ප්රේෙමවන්තයන් දිනපතා ප්රදවෟත්ති පත්රල සති, වාර සගරාවල පලවන වෛද්ය ගැටළු තීරවලින් අහන ගැටළු කියවන කොට මේ අයගේ හැසිරීම් රටා ගැන අදහසක් ඇතිකරගන්න පුළුවනි.පසුගිය අවුරුදු කිහිපයක වරින් වර මම දිසා අධිකරණයක නඩු විභාගයක් සදහා පෙනී සිටින්නට සිදුවුනා . මම මෙම කාලය තුළ නිරීක්ෂරණය කළ එක් දෙයක්වූයේ දික්කසාද අයදුම් කළ පිරිසෙන් වැඩි දෙනෙක් තරුණ ජෝඩුවීමයි. විවාහයෙන් අවුරුදු දෙක තුනකින් වෙන්විමට සුදානම්වන මේ අයගෙන් වැඩි දෙනෙක් දෙමව්පිය මැදිහත්වීමකින් තොරව විවාහවුවන්.මේ අය විවාහයකට පත්වීමත් සමග ඇතිවන තමතමන් ගේ වගකිම් අවබෝධ නොකරගැනීම නිසා මේ තත්වයට පත්ව තිබෙන බවයි මගේ අදහස.
අපොසප සා.පෙල හැලෙන කොටසක් පලමුවෙන් ටියුෂන් පංතිවලටත් අපොසප උ.පෙල හැලෙන කොටස දෙවෙනුව ටියුෂන් පංතිවලට නිදහස්වනවා. පාසලේ නොතිබු අසීමිත නිදහසක් මේ දරුවන්ට ලැබෙනවා. මේ දරුවන් කීදෙනෙක් පංති යන බව අගවා වෙනත් ගමන් බිමන් යනවාද?. කොළඹ ගමනාන්තයවූ නගාරාන්තර බස් ‍රිය නිරික්ෂ ණය කලොත් කොළඹට ගොස් ආපසු අනෙක් බස්රථයක එන දරුවන් අපට දක්නට ලැබේවි.බොහෝ නගරවල ඉතාමත් අඩු ගාස්තු යටතේ නවාතැන් ගත හැකි නවාතැන් බිහිවි තිබෙනවා. දිවා කාලයේ මේවායේ නවාතැන් ගෙන පංති අවසන්වන වෙලාවට නිවසට යන දරුවන් සිටිනවා.නගරයේ මෙන් උද්යානන නැති ග්රානමීය නගරවල පාළු ස්ථානවල මෙවැනි ලාබාල ජෝඩු බහුලයි. උසස් අධ්යාිපනයට යොමූවු නිවසින් බැහැරව නවාතැන් ගෙන සිටින දරුවන් මීටත් වඩා නිදහස්ව කටයුතු කරනවා.
යොවුන් විය ආදරය විවාහයෙන් කෙළවර යුතුයැයි මම විස්වාස කරන්නේ නෑ.අපි එම ඉමට පැමිනෙන්න සපුරා ගතයුතු තවත් කෙතරම් දේ තියෙනවද ?. ස්වාධීන ආර්ථිකයක් නොමැතිව කිසිවක් කරන්න බැහැ. ආර්ථිකය අවසාන දත්තය කර ගෙන ආපස්සට හිතනවානම්. අපිට අපි අනාගතයට බරක් කැළලක් නොවන හැටියට යොවුන් විය ආදරය සුන්දර ලෙස ආවර්ජණය කල හැකිවන පරිද්දෙන් හැසිරෙන්න සීමා ඇතිකරගන්න හැකිවේවි.

Thursday, September 04, 2008

පලාත් සභා ඡන්දය ඉවරයි.

මේ දවස්වල එක එක්කෙනා නොයෙක් මත ප්‍රකාශ කරනවා. හරියට අන්ධයෙක් අලියෙකුගේ හැඩරුව කිවුවා වගේ.
මගේ වපසරිය වන්නේ රත්නපුර දිස්ත්‍රික්කය.අපිට තියෙන්නේ වැවිලි ආර්ථිකයක් වී වගාව ලාභ ලබන වගාවක් වන්නේ කොලොන්න සහ බලන්ගොඩ මැතිවරණ කොට්ඨාස වලින් කොටසකදි පමනයි. අනෙක් ප්‍රදේශවලදී බතට සරිලන වගාවක්.
බලන්ගොඩ,පැල්මඩුල්ල, රක්වාන,රත්නපුර,නිවිතිගල, ඇහළියගොඩ, සහ කළවාන කුඩා තේ වගාවන් නිසා ආදායම් ලබනවා. පැල්මඩුල්ල රත්නපුර,නිවිතිගල ඇහළියගොඩ,සහ කළවාන මිට අමතරව රබර් සහ මැණික් කර්මාන්තයත් රක්වාන සහ කොලොන්න මැතිවරණ කොට්ඨාස පහත රට එළවළු වගාවත් කෙසෙල් වගාවත් ආදායම් මාර්ගයි. වගා ඉඩම් හිමියන් නොවන ජනතාව මේ ආශ්‍රිතව ඇතිවන දෛනික රැකියා රික්තයේ කුළි කරුවන් ලෙස ආදායම් ලබනවා.
සිංහල බෞද්ධ බහුතරයකුත් තේ සහ රබර් වතු ආශ්‍රිතව කොලොන්න හැර අනෙක් මැතිවරණ කොට්ඨාසවල ද්‍රවිඩ ජනතාව සුළුතරයකුත් ඡන්දදායකයෝවනවා.
බඩුමිළ ඉහළ යන විට සමාගම් වතුවල සේවකයෝ හැර අනෙක් විවිධ ශ්‍රමික ශ්‍රේණින්ගේ වැටුපද ඉහළ යනවා. සැමගේම ආදායම වියදම යම් තරමිකින් තුළනයවනවා. මේ නිසා බොහෝ ජනතාවගේ ආර්ථික මැසිවිලි අහන්න ලැබෙන්නෙ නැහැ. රජයේ සහ පෞද්ගලික අංශයේ සේවානියුක්තියන්ද වැවිලි ක්‍ෂෙත්‍රයේ යම් තරමකින් අතිරේක ආදායම් ලබන්නෝ.වතුකරයේද එළවළු වගාව වැනි අතිරේක ආදායම් ලබන පිරිස් සිටිනවා . මෙයින් 100% සමෟද්ධිමත් බව සදහන් කරනවා නොවෙයි. දැඩි ආර්ථික පීඩනයකට පත්වු ජනතාවක් රත්නපුර දිස්ත්රි‍ක්කය තුළ ජීවත් නොවනබව පැහැදිලිවනවා
මේ ජනතාවගේ විඥාණය දැඩි කම්පණයකින් මිස උඩුගංබලා රැගෙන යා නොහැකි බවයි මගේ අදහස. ඡන්ද කාලය තුලම ජනතාව තුළ පැවතියේ නිහැඩියාවක්. කුළප්පුව පැවතුනේ අපේක්ෂේකයින්ටත් ඔවුන්ගේ කුඩා ප්‍රචාරක කන්ඩායම්වලට පමනයි. මේ නිහැඩියාව අවසාන දවසවන විට අපේක්ෂිකයින්ට තේරුම් ගැනිමට නොහැකිව නන්තාරව සිටි බව දක්නට ලැබුනා.
ප්‍රධාන පක්ෂ දෙකෙන් රජය පමනක් තම ඡන්ද ප්‍රමානය වැඩි කරගැනිමේ සහ සුරකීමේ වැඩ පිළිවෙලක සිටියා.ඔවුන් අනුගමනය කළ සමෟද්ධි , කෟෂිකර්ම සංවර්ධණ සහකාරවරුන් සහ ග්‍රාමසේවා නිලධාරීන් යොදවා ගනිමින් ග්‍රාමීය මට්ටමේ රැස්වීම් සංවිධාණය කර ජනතාව අමතමින් රජයට ඡන්දයදීමේ වැදගත්කම පෙන්වා දීමේ උප්‍රකමික වැඩ සටහන පාවෙමින් තිබු ජණවිඥාණය ආපසු කැදවා ගත්තා.එක්සත් ජාතික පත්‍ෂයට එවැනි වැඩසටහනක් තිබුනේම නැහැ.පොදුවේ සියළුම අපේක්ෂණකයෙක්ම තම මනාප ගොඩ වැඩිකර ගැනීමේ පරමාර්ථයෙන් මිස තම පක්ෂ ජයග්‍රහණය කිරීමේ අදහසක සිටියේ නැහැ.ජවිපෙ අපේක්‍ෂකයනට සන්ධානගතව සිටියදි ශ්‍රීලනිප චන්ද බැංකුවෙන් මනාප ලැබුනා. මෙවර ලැබුනේ ඔවුන්ගේ පක්ෂ්යේම චන්ද පමනයි. ජවිපෙ බෙදීම නිසා ඔවුන්ගේ චන්ද බොහෝම විට කාටවත් ලැබුනේ නැහැ.
ඡන්දදායකයා තම මැතිවරණ බලප්‍රදේශයෙන් පිටත අපේක්ෂනකයනට ඡන්දයදීමට ප්‍රතිරෝධයක් දැක්වුවා. එයින් මිදි මනාප ගත් අපේක්ෂණකයෙක් වෙත් නම් ඔහු අසීමිතව මුදල් වියදම් කර තිබුනා. දිනකට වාහන 50 ක් පමන යොදමින් 200 කට පමන ආහාර පාන සපයමින් මැතිවරණ ව්‍යපාරයේ රත්නපුර දිස්ත්‍රික්කය පුරාම මැතිවරන කොට්ඨාස අටේම ප්‍රචාරක කටයුතුවල(ව්‍යාපාරයක මිස සමාජ සේවයක් සදහා මෙතරම් මුදල් යොදවන අයව හදුන්වන්නේ කෙලෙසද මම නොදනිමි.) යෙදුණ අපේක්ෂිකයෙක් වෙත්නම් ඔහුට අසමාන මනාප ප්‍රමානයක් ලැබුනා.
පලාත් සභාවක මන්ත්‍රිවරයෙකුට ඇමතිවරයෙකුට ලැබෙන දීමනා සහ පහසුකම් සලකා බලන කොට මේ වියදම තම ජීවිතකාලෙදීවත් පියවාගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි දියළුනු කැටේට පවා බදු ගෙවනවා . අවසානේ ඒකත් හොරකම් නොකරයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද ?
ඡන්දදායකයාගේ අදහස ප්‍රකාශවුනේ ඉතාමත් නිහඩව. නිහඩවම ඒ අදහස ආපසු කැදවන්නත් ඔහුට කාගෙවත් මග පෙන්වීමක් අවශය නැහැ කිසලා මට හිතෙනවා.

Monday, August 18, 2008

ඊට පස්සේ හාමතේ.

සේවානියුක්තියන්ට වැටුප් දිනය මාසයේ වැදගත්ම දිනයි.රජයේ පාසල්වල බොහෝ විට මාසයේ 20 වනදාට වැටුප් ලබාදේ.
ගුරුවරියන් දෙදෙනෙකු 19දා කල කතාබහක් මෙසේ සටහන් කරමි.
සුබ දවසක් කොහොමද ?
අද නම් කරගන්න කොච්චර වැඩ තියෙනවද කියලා හිතෙනවා
හෙට පඩි දවසනේ ?.
මොනවද අනේ අද හිතේ - හෙට අතේ - අනිද්දා හිතුමතේ - ඊට පස්සේ හාමතේ.
ගුරුවරියන් දෙදෙනා ආර්ථිකය කැටි කර දක්වමින් සිටින විට උදේ රැස්වීම හගටන සීණුව හඩවෙන්න ටිය. .


2008 අ‌ගෝස්තු මස 18 වැනිදා

Saturday, August 16, 2008

සීතාම්බර සළු

සබරගමුවට ඡන්ද උණ සෑදි ඇති රෝගී කන්ඩායම් අපමනය. ඔවුන්ගේ උණ දැන් දැන් අසාධ්ය අතට හැරෙමින් පවති. රෝගී කන්ඩායම් වලින් දෙගොල්ලක් අවිනිශ්චිත තත්වයෙන් නන්දොඩවන අතර එක් ගොල්ලක් දැඩි සත්කාරයේ ඡන්දදායකයින් විසින් මක්සිජන් සම්බන්ධ්තා ඉවත් කරන තුරු පණ අදිමින් සිටී.අනෙක් කාන්ඩායම් නම් දැනටමත් මෝචරියේ ය.
මේ දින වල සේල්ස්මන්ලා මෙන් නොයෙක් උද්ධෘත යොදමින් තම අපේක්ෂිකතාවය මාකට් කරති. ‘තාරුන්යරයේ ලෙන් ගතු ශක්තිය” , ’රුවන්පුර ළෙන්ගතු ශක්තිය “ , ‘අපි හැමෝටමයි’ මේ වචනවල එකිනෙකට ගැලපෙන අරුතක් වත් ඇත්ද? . ‘සර්පයා’ ද ‘වන්ෂොට්’ ද තමන්ම සර්පයා’ බවත් ‘වන්ෂොට්’ බවත් හදුන්වාදෙයි.
ඡන්දදායකයන්ගේ අයිතිය එක් කතිරයකින් පැහැර ගන්නා මෙතුමන්ලා ඉන් පසු අපට මුණ ගැසෙන්නේය ආයෙත් ඡන්දයකිදීය.
මට දේශපාලනඥයින්ගෙන් උත්සව සමයේ සුබ පැතුම් පත් තැපෑලෙන් ලැබේ. ඡන්ද සමයේ ජනාධිපති අපේක්ෂඡකයන්ගේ සිට පලාත් සභා අපේක්ෂනකයන් දක්වා තැපෑලෙන් උදව් ඉල්ලා ලිපි ලැබේ. මා මුරුංගා අත්තේ තබා ‘ මට කඩේ යන්නැ’යි ඉල්ලා සිටි. දුරතකනයෙන් කතාකරයි. බොහෝවිට පටිගත කළ කට හඩවල් අසන්නට සලස්වයි.මේ එක්කෙනෙක්වත් මා ඇසුරු කරන්නන් නොවේ. දැක ඇත්තෝද නොවේ. මොවුන් එකම දේශපාලන පිලකට අයත් අයද නොවේ.
කොහෙන්දෝ මූලාශ්ර.යකින් තොරතුරු ලබාගත්තෝ වෙති.
සාධාරණය මගේ තේමාව බැවින් මට බොහෝවිට වරදියි.
මම වෘත්තීයමය උසස්විමක් අපේක්ෂි තව විභාග දෙපාර්තමේන්තුව මගින් පැවත්වූ විභාගයකට පෙනි සිට සමත්විනි.මා හා සම්මුඛ පරීක්ෂ ණයට පෙනි සිටි උසස්වීම් ලාභීන් අතරින් මම ලකුණු 15 ක් ඉදිරියෙන් අධ්යිපන හා වෟත්තීය සුදුසුකම් මත පමනක් සිටින ලදී.
උසස්වීම මට නො ලැබිනි.
පසු විපරමේදි මා සොයා ගත්තේ තවමත් මට සුබ පැතුම් එවන ‘ මට කඩේ යන්නැ’යි ඉල්ලා සිටින ප්රසබල දේශපාලනඥයින් දෙදෙනෙක් මට එරෙහිව සිටි බවයි. මට මානව හිමිකම් පිහිට කරගෙන වැරද්ද නිවරදි කර ගැනිමට වසර දෙකක් පමන කාලයක් ගතවිනි.
එතුමන්ලා තවමත් උත්සව සමයේ සුබ පැතුම් පත් එවයි. ඡන්ද සමයේ මා මුරුංගා අත්තේ තබා ‘ කඩේ යන්නැ’යි ඉල්ලා සිටියි.
අප දෙගොල්ලන්ගෙන් ඇදුම් ලා ගෙන සිටින ඇත්තෝ කවුද ?.

මම ප්‍රදීපාගාරයක්.

.

නිව්ටන් දැඩි ගතිගුණ ඇති නාවික කපිතාන්වරයෙකි. යුරෝපීයෙකි. සිරිසෝම ද නාවිකයෙකි. ඔහු සහය නිලධරයෙකි. මේ දෙදෙනා සේවය කරන ලද්දේ නෞකා දෙකකය.

එක් ඝන මීදුම සහිත රාත්‍රීයක දෙදෙනා තම නෞකා දෙක මහ සයුරේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙසට යාත්‍රා කරමින් සිටියේය.

නිව්ටන් තමන් දෙසට යාත්‍රා කරන නෞකාවක විදුලි ආලෝකය ඝන මීදුම මැදින් දැක සිදුවිය හැකි අනතුර මග හරවා ගැණීමට වහා ඔබ ගමන් ගන්නා මාර්ගය අංශක 10 කින් දකුණට වෙනස් කරගන්න සංඥාවක් නිකුත් කලේය.දෙවෙනි නෞකාවෙන් ඔබ ගමන් ගන්නා මාර්ගය අංශක 10 කින් උතුරට වෙනස් කරගන්න යැයි පිලිතුරු සංඥාවක් ඔහුට ලැබිනි.

කපිතාන් නිව්ටන්ට යකා ආවේශ වී මම කපිතාන්වරයෙක් - මගේ අණ පිළිපැදිය යුතුයියැයි නැවත සංඥාවක් නිකුත් කලේය.

දෙවෙනි නෞකාවේ සේවය කරමින් සිටි සිරිසෝම මම ප්‍රදීපාගාරයක් - ඔබේ කැමැත්තක් පිලිතුරු සංඥාවක් නිකුත් කර නැව් ජැටියට විත් මීදුම මැදින් මහා සාගරය විමසන්නට විනි.

2008 අ‌ගෝස්තු මස 16 වැනිදා

Saturday, August 09, 2008

BEWARE OF THE DOCTORS

ශබ්දකෝෂ වල DOCTOR ලා කිහිපදෙනෙකු හමුවෙති. වෛද්‍යවරයා එක්කෙනෙකි. අනෙකා උසස් උපාධිධරයා., ආචාර්යවරයාය. තවත් විශිෂ්ඨ ගනයේ ‘DOCTOR’ ක්‍රියාපදයක් තිබේ. ලියකියවිලි ආදිය වංචාවෙන් වෙනස් කිරීමට ද DOCTOR නමින් ඇති ක්‍රියාපදයක් ඇත.
DOCTORATE එකක් ඇති මිත්‍රයෙක් අපට සිටී. මෙතුමා මේ මොන කණ්ඩායමේදැයි අප නොදනී.
අපේ මිත්‍රයා මොනවා කලත් DOCTORATE එකත් එක්ක ලැබුන තොප්පිය ඔළුවට වැටේ. කබාය ZORRO ගේ මෙන් උරහිසින් රැදී හුළගේ පාවී ලෙලදෙයි. සමාජයේ DOCTORATE එක ගැන විග්‍රහ ඇති කරගනී. මේ මිත්‍රයා ප්‍රථමික පාසලකටවත් ගොස් ඇත්දැයි සැක සංකා අපටත් ඇති කරයි.
මෙතුමා මාධ්‍යකරුවන් හා නිතර ගැටුම් ඇති කරගනී. මාධ්‍යකරුවන්ද මෙතුමා බයිට් එකට ගැනීමට නොපසුබට වෙති. දෙගොල්ලෝම අති පණ්ඩිතයෝ බව මහජනතාව තේරුම් ගෙන ඇති බව මේ මෝඩයෝ නොදනී.කාටූන් ශිල්පීන්ට කලක් අතිත රණවිරු රජතුමෙකු වී සිටියත් මේ දිනවල දම්වැලත් සමග සිටින ගෘහස්ථිත සිවුපාවෙකි.රජවුවත් නැතත් කඩුව නම් අතේ තිබේ.
අපේ කතාබහට ලක්වු ජනාධිපති වරයෙකුගේ අමාත්‍ය මණ්ඩලයක මෙවන් අමාත්‍යවරයෙකු සිටි බව සිහිපත්වේ.දෙදෙනාම රණසිංහ වුවත් අමාත්‍ය රණසිංහ මාධ්‍යකරුවන් සහ කාටූන් ශිල්පීන් බයිට් එකට ගැනීම නිසා නැත්තටම නැතිවී ගිය බව නොරහසකි.
නිල් බාල්දියක් හලා ගත් නරියෙක් රජ වී හද පායන විට හූ කිවූ කතාවක් අපි අසා ඇත්තෙමු. නරියාට රජ වුවත් ජාන වල රැදී ඇති පාරම්පරික ගති ලක්ෂ ණ අභිභවනය කිරීමට නොහැකි වූ බව රජ නරියා සනාථ කර තිබේ.


2008 අ‌ගෝස්තු මස 9 වැනිදා

Saturday, August 02, 2008

විශ්ව ශක්තිය

මෑත දවසක අධි මානසික බලයෙන් ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන අන්දම දකින්ට මට ලැබුනා.ඔහු උපාධිධරයෙක්.කලක් රැකියාවක නියුක්ත වෙලා ඉදලා දැන් ස්වාධීනව කෘෂිකාර්මික ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරනවා.මිල මුදල් අපේක්ෂාසවෙන් නෙමෙයි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ.මේ පූර්නිකාව කලේ පසුබිම ගැන අවබෝධයක් ලබාගන්න. භාවනා කිරීමත් ඹහුගේ දිනචර්යාවේ කොටසක්.
පවසන අන්දමට භාවනා වැඩීමෙන් එක් අවය්ථාවකදී මේ බලය ඔහුට උරුමවී තිබෙනවා. රෝගීන්ගේ, රෝගය ආරම්භවූ අවස්ථාව දක්වා රෝගී මනස අතීතයට රැගෙන ගොස් එම අවස්ථාවේදී රෝගය මනසින් ඉවත් කිරීමේ හැකියාව ඇති බවයි ඔහු පලකල අදහස් වලින් මම තේරුම් ගත්තේ.
මට නම් මේ ව්‍යායාමය ගැටළු සහගතයි. වෛද්‍ය විද්‍යාවෙන් අපි ලබාගන්නා ප්‍රයෝජනත් එක්ක ගලපනවිට.
ඔහුගේ අදහසට අනුව යම් රෝගීයෙකුගේ මනස තම රෝගී තත්වය අත්හැර ඒමට අකමැත්තක් දක්වන්නේනම් ඔහු සුවකිරීමට එතැන් සිට බලහත්කාරයෙන් මනස වර්තමානයට කැදවාගෙන ආ යුතුයි.සමහර රෝගී මනස් තමන් රැදී සිටින ස්ථාන සුව පහසුයැයි සිතා වර්තමානයේ එතනින් ඉවත්වීමට අකමැත්තක් දක්වනවා. එවිට සුව කිරීමට අසීරුවෙනවා.
ඔහු රෝගීන්ට කිසිදු ඹෟෂධීමය ප්‍රතිකාරයක්කලේ නැහැ. ඔහු ගේ අත රෝගීයාගේ හිස මත තබාගෙන භාවනාවට සමවැදිමයි කලේ.මා රෝගීන් කිහිපදෙනෙක් විමසා බැළුවා. ඔවුන් වෙතින් ඹෟෂධීමය තෙල් හිසේ ගැල්වූ බවක්, තෙල් සුවද දැනුන බවත් පැවසුනා.ඇත්තෙන්ම එවැන්නක් සිදුවුනේ නෑ.
ඔහු වසර ගනනාවක සිට භාවනාව ප්‍රගුණ කරමින් සිටිනවා.

සිත සැහැල්ලු කර ගන්නනම් සිතේ ගුලි වෙලා තියෙන කුනු කන්දල් විතරක් විසි කරලා මදි කියලා මට හිතෙනවා.අපේ ජීවිත හුරු වෙලා තියෙන්නේ තරග කාරී ජීවන රටාවකට. මුලින්ම අපි අපේ අසල්වැසියා ඉක්මවා කුස්සියෙ ළුනු පොල්කට්ටේ සිට විසිතුරු වෙන්න බලනවා. වෙනස් කරන්න නිකම් බැහැනේ .ආයෝජනය අවශ්‍යය වෙනවා. .ආයෝජනය සොයාගන්න වවිධවු උපක්‍රම වල නිරතවනවා මේවා සාර්ථක වෙන්නත් නොවෙන්නත් පුළුවන්. කොයිතරම් ලැබුනත් මදිවෙනවා තරගය අඛන්ඩව පවතින නිසා.
ඉතින් සිත සැහැල්ලුව තබා ගන්න පුළුවන්ද ?.
සිතේ ඇතිවන පීඩනයන් ගතේ විවිවිධාකාරයෙන් මතුවෙන්න පුළුවන්. අපිට තදබල මානසික ආතතියකට මුහුණපාන්න වුනහම ගතේ ඇතිවන වෙනස්කම් හිතලා බලන්න.දහඩිය ගලන්න පටන්ගන්නවා.ඇගට පණ නෑ. හිසේ ඇම්ම වගෙයි.කම්මැලියි. සතුටක් ඇතිවූවිට ගතේ ඇතිවන ප්‍රතීක ක්‍රියා මීට වෙනස් නේද ?.
සමහර විට දීර්ඝකාලීනව ගැටළු ඇතිකරගත් අය ගැන විපරම් කරලා බලන්න. ඉරුවරාදය ඇදුම.සමහර වර්ම රෝග වලින් පෙලෙන්නන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා පැහැදිලි වෙයි.
අර තරුණයා භාවනායෝගිව ලබන ලද අත්දැකිම් පීඩාවට පත් අයවෙත සහනය ලබාදීම සදහා යොදවා ලබන‍ ප්‍රතිඵල ගැන ලියන්න මට කල් මදියි. මගේ ගවේෂණය සදහා පිරිසක් සිටිනවා . මාස දෙක තුනක් යයි ප්‍රතිඵල දකින්න. එතෙක් අදහස් උදහස් ඇත්නම් මීදුමට රොක් කරන්න.එතකොට මට පුළුවන් වෙයි වැඩි පරාසයක් තුළ හිතන්න.
31.07.2008

Wednesday, July 30, 2008

මරණය හා මත්පැන්

මරණය ගැන ඉස්සෙල්ලාම කියන්න සිද්ධ වුනා.අපි කවුරුත් මැරෙනවා. ඒත් අකාලයේ මැරෙන විට විහින් මැ‍රෙන විට , අදහසක් පලකරන්න කාටත් හිතෙනවා.මම මේ මාස දෙක ඇතුලත මළ ගෙවල් දෙකක ගියා එකම ගමේ.මරණ දෙකටම හේතුව ග්‍රාමීය නිෂ්පාදිත මත්පැන් පානය කිරීම.මේ ගමේ වාසය කරන පවුල් හැත්තෑපහක් විතර ඉන්නවා.පිරිමි වයස් කාන්ඩයකින් තොරව බීමට ඇබ්බැහි වෙලා.සමහර කාන්තාවොත් ඉන්නවා බීමට ඇබ්බැහි වුන.මේ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නේ මරණයට අත වනමින් කිව්වොත් වැරදි නැහැ.ඉදිමුණ මූණු. වැඩක් කරන්න බැරි අලස ඉදිමුන ශරීර මේ මිනිස්සුන්ගේ පොදු ලක්‍ෂණ.මේ අය දැක්කම ඊලගට මැරෙන්නේ කවුද කියලා ඇගිල්ල දික්කරලා කියන්න පුළුවන්.මේ ගම් වල ඉහත පරම්පරා දෙකක තුනක මිනිස්සුත් ග්‍රාමීය නිෂ්පාදිත මත්පැන් පානය කළ බවට තොරතුරු තියෙනවා.මේ සමහර අය ගැන මතකයන් මටත් තියෙනවා. ඒ වුනාට මේ වගේ ව්‍යසනයක් පැරනි මිනිස්සුන්ගේ ජීවිත තුල තිබුනා කියලා මට හිතෙන්නේ නෑ.ඒ කාලේ ග්‍රාමීය නිෂ්පාදිත මත්පැන් සදහා පාවිච්චි කල අමුද්‍රව්‍ය පලතුරු,සීනී,බිරමල් වගේ දේවල් .මත්පැන් ශරීරයට අහිතකර වුනත් මේ නිසා ක්‍ෂණික ආන්තරාවක් වුනේ නෑ.වර්තමාන අමුද්‍රව්‍ය ගැන අහපුවම මට හරි පුදුමයි. දැන දැන වස නිෂ්පාදනය කරලා අලවි කරන එකටයි , දැන දැන බොන එකටයි.

මේ නිෂ්පාදන සදහා යොදා ගන්නේ සීනි,යූරියා,යීස්ට් වගේ අමුද්‍රව්‍ය. ඉතින් මිනිස්සු මැරෙන එක පුදුමයක් නෙමෙයිනේ. සුරා බදු දෙපාර්තමේන්තුව, ආසන්න පොලිස් ස්ථානය වැටලීම් කරනවා.නිෂ්පාදකයන්ට, අලවි කරන අයට නඩු දානවා.දඩ ගෙවනවා.ආයෙත් පෙර පරිදි පවත්වා‍ගෙන යනවා.මිනිස්සු බොනවා. මාසයට එකා දෙන්නා මැරෙනවා. මේ දම්වැල කඩාදාන්න කාටවත් බෑ. මිනිස්සුන්ගේ චින්තනය වෙනස් වෙනකම්.

Tuesday, July 29, 2008

එන්න මීදුමට - 2008 අගෝස්තු



මීදුම......
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන
දේවල් බෙදා හදාගන්න
මීදුම...
පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා
මම දකින දේවල්
උපේක්‍ෂාවෙන් යුතුව ..
මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි
කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න
මොනවා පා වෙලා ඇවිත්ද බලන්න.
 

මීදුම Published @ 2014 by Ipietoon