Thursday, July 11, 2024

එහෙනම් ජීවිතයත් මාර්කට් යනවා වගේද සීයේ ?.













 

ජීවිතය මොන වගේද?

දැන් කාලේ පුංචි එවවුවන්ගෙන් බේරෙන්න හරි අමාරුයි. එයාලට නොයෙක් ප්‍රශ්න. උත්තර දීලා සෑහීමට පත් කර ගන්නත් බැහැ.
මම දවසක් වෙලද පොලට යන්න සූදානම් වෙනවා. අට වසරේ ඉගන ගන්න මුණපුරා මගෙන් අහනවා ජීවිතය මොනවගේද කියලා ?
මම උත්තර දෙන්නේ කොහොමද ......මට ප්‍රශ්නයක්
පුතා මම පුංචි පුංචි බඩු ටිකක් ගන්න මාර්කට් එකට යනවා. යමු මාත් එක්ක .අපි කතා කර කර යමු. මටත් තනියි නේ මම කිව්වා. මුණුපුරාත් එකගවුනා.
අපි දෙන්නා මාර්කට් එකේ එහා මොහා ඇවිදිමින් අවශ්‍ය භාණ්ඩ මිළදී ගත්තා. සබන් , දන්තාලේප,එළවළු , පලතුරු. කිරි බිත්තර ඔය වගේ දෙවල් රැස්ර ගන්න කොට කාලය ගොඩාක් ගෙවී ගියා.
අපි කතා බස් කරමින් විනෝද වෙමින් විහිළු කතා කරමින් සිටි නිසා හවස් වෙනවා දැනුනේම නැහැ.
අපි ආපහු එන්න පිටත් වුනා. ඒ එන ගමන් මුණුපුරා උදේ ප්‍රශ්නේ ආයේ මතුකලා.
සීයා තාමත් මට කිව්වේ් නෑ නේ ජීවිතේ මොනවගේද කියලා ?.
"ඉතින් මට කියන්න සීයේ... ජීවිතේ මොන වගේද?"
මම මුණුපුරාගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
අපි මාකට් බඩු අරන් ඉවර උනාට පස්සේ මොකද වුනේ?
මුණුපුරා කියනවා.
මේ අපි ගෙදර යනවානේ සීයේ .
මම මුණුපුරාට හිනා වුනා
ජීවිතේ හැටි එහෙමයි!
ජීවිතේ හරියට මාර්කට් යනවා වගේ.
බඩු අරගෙන ඉවර වුණාට පස්සේ ආපහු ගෙදර යනවා!
අහන්න පුතේ, ජීවිතේ හරියට මාර්කට් එක වගේ.
හැමෝම මාර්කට් එකටට එන්නේ බඩු ගන්න හෝ විකුණන්න.
ඒ වගේම මාර්කට්එ එකේ එහෙ මෙහෙ ඇවිදින කොට. කාලය ඉවරයි.
සමහර අය ඇවිත් තමන්ට ගන්න ඕන දේ අමතක කරනවා,
සමහරු ඇවිත් තමන්ට අවශ්‍ය දේ මිල දී ගෙන යනවා,
සමහරු දුකෙන් සහ පසුතැවිලි වෙනවා .
සමහරු කලින් පිටව යනවා,
සමහරු පරක්කු වෙලාා යනවා,
නමුත් සමහර අය කඩිමුඩියේ යනවා.
අපි සදාකාලික ඉන්නේ නැහැ. මාර්කට් ගිහින් ආවා වගේ .
අපි ඉපදෙනවා. ජීවත්ව ඉන්න කාලේ නොයෙක් නොයෙක් දේ එකතු කරනවා. නොයෙක් නොයෙක් දේ අතහරිනවා
ජීවිතයත් ඒ වගෙයි.
එහෙනම් ජීවිතයත් මාර්කට් යනවා වගේද සීයේ ?.


 day in the life

Wednesday, July 10, 2024

අතීතය මකනවද














අතීතය මකනවද

මහවැලිය උතුරන්න
කඳුළු ඇස් පුරා ඇති
ඒ කඳුළු හංඟන්න
කප්පරක් හේතු ඇති
ඉඳහිටක නොවේ හැම
මොහොතකම දැනෙනවැති
මගෙ මැණික නිහඬවම
දුක දරන් ඉන්නවැති
මදනලක පටලවා
සුසුම් පා කර යවා
නෙත පියා මොහොතකට
මතක අමතක දවා
තව දිනක් උදා වී
මියෙන දවසක හොවා
අතීතය මකනවද
හිනාවක පටලවා
අහස ගුගුරන තරම
මහ පොළොව දන්නෙ නැති
පොළොව උහුලනා බර
ඒ අහස දන්නෙ නැති
ලෝකයක් එළි කළත්
හිරු සඳුට උරුම නැති
මගෙ මැණික ඒ ලොවේ
තනිවෙද්දි මමත් ඇති
දිලනි
❤️


A day in the life

Tuesday, July 09, 2024

අතීතය අතහරින්න ...



අතීතය අතහරින්න ...
රාජාලියෙක් වගේ ජීවත්වෙන්න.!!

(Forget everything in the past..
Let’s live like an Eagle. Turn unfavorable
Event into strength……! )

**********************************


 

සාර සොබාවට හිනැහෙන උන් ළඟ
කඳුළු තියෙන්නේ පපු මැද්දෙයි
ගිනිකඳු ලාවා ගලා හැලෙන්නේ
විදාරණය වී ගිය පසුවයි.
ගොදුරු සොයා ඉගිළෙන රාජාලිය
මළකුණු දෙස කිසිදා නොබලයි
අතීතයක් ගැන සිතමින් වැළපෙන
එකම සතා මිනිසා පමණයි.
මතකය මිහිදන් කරමින් දළුලන
සිතිවිලි අතරේ සිත රන්දා
වාන් දමන්නට ඉඩක් නොදී දුක
ඇතැමුන් වෙස් මුහුණක් බැන්දා
ඉර හඳ පායන එකම අහස යට
සතුට හුඟක් මිළ වැඩි හින්දා
සෝලි නොගෙන දුක වසා තබන්නට
දලදර සුදු සේලය ඇන්දා .
(දලදර =වළාකුළු )
චණ්ඩ මාරුතේ පුංචි කුරුල්ලන්
තැති ගෙන සැඟවෙන අතරතුරේ
රාජාලියෙකුට ,ඒ සැඩ සුළඟම
ඉහළට ඔසවා තබයි වැරේ
බාධක අබියස නො වැටී ඉන්නට
ජවයක් ඇත්නම්, මා මිතුරේ
සොවින් තැවෙන්නට කාලය දී නැත
හිනැහෙමු අරුණළු දැක අඹරේ .

රෝ.සි.



A day in the life

Monday, July 08, 2024

එරික් ස්වෝන් ගල්වැටිය






සෝමාවතිය වන මැද ඇති "එරික් ස්වෝන් ගල්වැටිය"


සෝමාවතිය බලන්න යන කෙනෙකුට වර්ථමානයේ දී පාරවල් බොහොමයක්ම භාවිත කරන්න පුලුවන්. නමුත් ලංකාවේ ත්‍රස්තවාදය පැවතුන සමයේ භාවිතා කරන්නට හැකි වුනේ මහවැලි ගගෙන් වම් ඉවුර දෙසින් පැවතුන මාර්ග පමණයි. එයින් ප්‍රධාන මාර්ගය වන්නේ හබරන පොළොන්නරුව මාර්ගයේ හබරන දෙසින් පැමිණ මින්නේරිය හන්දියෙන් වමට හැරී හිගුරක්ගොඩට පැමිණ, හිගුරක්ගොඩ හන්දියෙන් දකුනට හැරි හිගුරක්ගොඩ - සෝමාවතිය මාර්ගයේ කිලෝමීටර් 35 ක් පමණ ගමන් කර සෝමාවතී පුද බිමට පිවිසෙන මාර්ගයයි. තවද පොළොන්නරුවේ සිට සේවාගම, ලංකාපුුුර, පුලතිසිගම හරහා පැමිණ, සෝමාවතිය හිගුරක්ගොඩ මාර්ගයට පිවිස සෝමාවතී පුද බිම වෙත පිවිසිය හැකිය. වර්ථමානයේදී කන්දකාඩු මාර්ගයේ පැමිණ කන්දකාඩු - සෝමාවතිය පාලමෙන් මහවැදකාඩු හරහා සෝමාවතිය ගමන් කල හැක.


 

"එරික් ස්වෝන් ගල් වැටිය"
හිගුරක්ගොඩ සෝමාවතිය මාර්ගයේ ගමන් කරන විට සුංගාවිල ප්‍රදේශය හමු වෙනවා. මේ සුංගාවිලදී, මනම්පිටිය අසල ගල්ලෑල්ල ප්‍රදේශයේදී මහවැලි ගගෙන් වෙන් වුන "පෙරිය ආර "හරහා තමයි මේ මාර්ගය ගමන් කරන්නේ."පෙරිය ආර පාලම" පසුකරන විට පිවිසෙන්නේ සෝමාවතිය අභය භූමියටයි. මේ අභය භූමිය පුරාම ඓතිහාසික නටඹුන් දකින්නට පුලුවන්. මෙයින් බොහොමයක් ඒවා තවමත් තහවුරු කර නොගත් ඒවායි. මේ වන විටත් ඒවා බොහොමයක් තුච්ච නිධන් හොරුන්ට ගොදුරු වී හමාරයි.
මේ සුංගාවිල පෙරිය ආර පාලම පසුකර කිලෝමීටර් 9ක් පමණ ගමන් කල පසු පාරේ දකුණුපසින් හමුවෙනවා එරික් ස්වෝන් ගල් වැටිය. මෙම ගල්වැටිය බොහොම වටිනාකමකින් යුත් සෙල් ලිපියක් සහිත ස්ථානයක්. මෙම ගල් වැටියට එරික් ස්වොන් නාමය ලැබීම පිළිබදවත් අපූරු කතාවක් තිබෙනවා.
විදේශ ආක්‍රමණයන්ට නතුවී තිබුන පොළොන්නරුව නැවතත් සොයාගනු ලබන්නේ 19වන සියවසේ දීයි. මිනිස් වාසයත් තිබි ඇත්තේ ඉතාමත් කුඩා ප්‍රමාණයකි. නමුත් මේ ප්‍රදේශයේ අලි ඇතුන් ඇතුළු සතුන්ගෙන් ගහන වූ ඉතාමත් සුන්දර ප්‍රදේශයක් බවට පත්වී තිබී ඇත. මේ කාලයේ සෝමාවතී දාගැබ ඇතුළු නටඹුන් සොයාගත් මුල්ම අවධියයි. එම නිසාම ඝන කැළෑව මැදින් ගමන් කිරීම සදහා යොදාගත්තේ කැලේ රජා නමින් ගැමියන් හදුන්වන ට්‍රැක්ටර් වර්ගයකි. මේ කාලයේදීම එංගලන්තයේ සිටි අති දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන එරික් ස්වෝන් මහතා ලංකාවට පැමිණ තිබේ.


මොහු සමග පැමිණි පිරිස සෝමාවතිය අවට සුන්දරත්වය සහ වන සතුන් ගැන අසා ඒවා නැරඹීම සදහා සෝමාවතිය වෙත පැමිණ ඇත. සෝමාවතිය අවට ප්‍රදේශය විශාල විල්ලුවකි. එසේ වන්නේ පිටාර ගලන මහවැලි ගඟ නිසා එකතුවන ජලය ඒ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් බැස නොයාමයි. මේ විල්ලුව තුල ඕනෑ තරම් අලි ඇතුන් රංචු පිටින් නිදහසේ ගැවසේ. මෙසේ ගැවසෙන අලි රංචුවක් දැක එරික් මහතා ඡායාරූප ලබාගෙන ඇත. මේ අතරම ඔහු සද්ධන්ත තනි අලියෙක් රැලෙන් වෙන්ව ආහාර බුදිමින් සිටිනවා දැක ඇත. ඒ අසල තිබූ ගල් තලාවකට මුවා වෙමින් ඔහු අලියාගේ ඉතා සමීප ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහා දරා ඇත. ඒ මොහොතේ කැමරාවෙන් නිකුත්වූ හඩට අලිියා කුලප්පු වී ඔහුට පහරදී එතනම මරා දමා ඇත. ඒ අවට සිටි මිනිසුන් විසින් ඔහුගේ සිරුර මැස්සක තබාගෙන විත් පවුලේ සාමාජිකයින් වෙත භාරදී ඇත. මෙසේ මරණයට පත් වුන එරික් ස්වෝන් නමින් පසුකාලීනව ඉංග්‍රීසි ජාතිකයින් විසින් මේ ගල හදුන්වා ඇත. නමුත් මේ ගල මතුපිට සෝමාවතිය සම්බන්ධ වැදගත් කරුණු රැසක් අඩංගු ශිලා ලේඛනයක් ඇත.
සටහන - බුද්ධික විදානගේ ©
උපුටා ගැනිමකි..
A day in the life

Sunday, July 07, 2024

ජුලි හතයි........










 

අද  ජුලි හතයි........

1976 වෙන්න ඕන.

ජුලි හත්වෙනිදා මම හිටියේ බොරැල්ල රිමාන්ඩ් බණ්ධනාගාරයේ.......

බාන්ඩාගාරයේ ඒහෙම නෙමෙයි.

අදට අවුරුදු  හතලිස් අටකට ඉස්සෙල්ලා මගේ වයස අවුරුදූ විසි අටයි.

තරුන ජවය ..............

වටේම හිටියා දහයක් පහලොවක්  තරුන පිරිසක්. ඕ්න ඒහෙකට ලෑස්තියි. ඒකාවන්ව. මේ ඔක්කොම අද නෑ. ඉන්න අයත් වගකීම් සහිත රහිත විශ්රාමිකයෝ.

අනෙක් අය භව ගමනේ යෙදිලා.

ඒ කාලේ ග්‍රාමවාසී වැඩිහිටියන්ට අපි නාහෙට අහන්නේ නැති කොල්ලෝ ටිකක් !

වැඩිහිටියන් නොහදුන ඒකමුතූවක් අපිට තිබුනා.

දෙසැම්බර් 31 වෙනිදාට කාලා බීලා සිංදු කියලා ජනවාරි පලවෙනිදා පිලිගත්තා කතෝලික සහෝදරයොත් ඒක්ක.

සිංහල අවුරුද්ද අති උත්කර්සව සැමරවා . බයිසිකල් රේස් අවුරුද්දේ දවස පුරාම ගම් මැද්දේ උත්සවයක් මේවට ගමේ ඔක්කොම ඒකතු වුනා.වෙසක් ඒකට ගමම සැරසිලි කලා පොසොන් ඒකට කැරොල් පන්නයේ භක්ති ගීත කිව්වා.මේවාට වියදම් කරන්න දානපතියොත් හිටියා. අපි කරන්නේ පොතත් අරන් පාරට බහින ඒක.

සල්ලි ඒකතුවුනා. අවුරුද්දට ඒකතු කරපු සල්ලි පොසොන් ඒකටත් වියදම් කරන්න සමහර අවුරුදු වල ඉතිරි වුනා. පන්සලේ චෛත්යය හුණු පිරියම් කරලා සුදු පාට කලා පොසොන් පෝයට කලින්. පුංචි පුංචි නාට්‍යය ගෙන්වාගෙන ගමේ පෙන්නුවා.

අදත් ඒ් ගම තියෙනවා. තරුන ජවය නැහැ. කීයක් හරි හම්බකරගෙන වයින් ස්ටෝර්ස් ඒකට දියකරලා., දවස කෙලවර කරගන්න තනිවූන පිරිසකූයි මම දකින්නේ.

හොදට නරකට දෙකටම හිටිය මේකොළු නඩේ මුහුන දුන්න නරක යයි කියාපු වැඩක් නිසා මම ගිය ටුවර් ඒකක් තමයි අද සමරන්නේ !!.

අපේ පදිංචියේ ඉදන් ග්‍රාමීය රෝහලට යන්න බස් ගාස්තුව ශත තිහයි. එදා මගේ නංගියෙකුට බෙහෙත් ගන්න මේ රෝහලට ගිහින් ආපහු එනවා. බස් ගාස්තුව ශත හැට කොන්දොස්තර මහත්තයාට දීලා බස් එකට නැග්ගා. ටිකට් දෙක ඉල්ලපුවම මම මුදල් ගෙව්වේ නෑ කියලා කොන්දොස්තර මහහත්තයා කියනවා. ඔන්න ඕකයි අරගලේට මුල.

මටත් හරි ලැජ්ජයි. මට වඩා අපේ තාත්තට සමාජ තත්වයක් ගෞරවයක්තිබුනා. ඒ තාත්තගේ පුතා බස් එකේ හොරට යයි ද ? බස් එකේ හිටපු මගීන් සියල්ලම පාහේ දන්න අදුුරන අය.

ඉතින් ඔය ලජ්ජාව ගින්නක් බවට පත්වුනා.

බස් එක නයිට් පාක් කරන්නේ අපේ අඩවියේ .

අපිට පුරුද්දක් තිබුනා  අපේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉස්සරහ පේව්න්මන්ට් එකේ කල්ලි දාගෙන පේලියයට වාඩි දා ගෙන ඕපා දූප කතා කර කර හවස ගෙවා දාන.

එදා මාතෘකාව උනේ බස් එකේදී මට වුන සිද්ධිය.  

 මේ ගොඩනැගිල්ල ඉස්සරහ බස් හෝල්ට් එකක් තිබුනා.

මගේ උදේ වීරවරයා බස් එක නයිට් පාක් කරලා , එදාට වැඩ වරලා ගදර යන්න බස් හොල්ට් එකට ආවා.

අපේ පේව්මන්ට් සාමාජිකයෝ දහයක් දොළහක් ඉන්න ඇති. සිද්ධියේ ප්‍රවෘත්තිය නිසා රබානත් හොදට රත් වෙලා.

මූද චන්ඩියා ........?

ගහමුද ......?

ගැහුවා. මාර කාලගෝට්ටියයි.     කොන්දොස්තර මහත්තයා තුවාලත් කරගෙන ජීවිත ආරක්ෂාවට පසු බැස්සා.

එවෙලේ ආවේගෙට වැඩට බැස්සට ටිකක් වෙලා යන කොට මාර  බයක්  දැනෙන්න පටන් ගත්තා.

එන ආරංච් හොද නෑ. පොලිසිය මැර පිරිසක් හොයනවා. කොන්දොස්තර මහත්තෙකුට  පහර දීලා ටිකට් පොතයි, මුදලුයි පැහැරගෙන , තුවාල සිදුකරලා. කොන්දොස්තර මහත්තයා රෝහලේ.........

තාමත් මැර පිරිස  අඩංගුවට අරගෙන නැහැ.....

ලංගම ඩිපෝව වැඩ වර්ජනයක් පටන් අරගෙන......

තුන්වෙනි දවස ........දිස්ත්‍රික් ප්‍රධාන ඩිපෝවත් වැඩ වර්ජණයට එකතු වෙනවා....

මාව පොලිසියේ ටාගට් එක..........

අන්තිමට මම පොලිසියට බාර වුනා. වැඩ වර්ජණය නිමා වුනා. ඒ දවස සිකුරාදාවක් ඇප ගන්න බැහැ.එදා පොලිස් කූඩුවේ  පහුවදා බන්ධනාගාර රැදවුමක, ඉරිදා බොරැල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ . ඒ රවුම ආපහු ඇවිත් අගහරුවාදා අධිකරණයට. 

අධිකරණයෙන් ඇප..........!.

1976 ජුලි කියන්නේ,  රට මැතිවරණයක් මුව විට තිබු කාලයක්. මම අත පය දික්කරලා තිබුනේ එවකට රජයට අයත් වෘත්තීය සමිතියක ලේකම් කෙනකුට. කොච්චර බරපතල පීඩනයක් එන්න ඇද්ද ?.

මාව පොලිස් භාරයේ ඉන්න කොට ප්‍රදේශයේ මංත්‍රීතුමිය ආවා “‘මැරයාබලන්න. මට රවලා සැර දාලා මෙයාද මිනිහාකියලා  ඇහුවා. වටේ හිටපුු අනුගාමිකයින්ට ජොලි. වයසක පහේ එක්කෙනෙක් කාරලා මුණට කෙල ගහන්න බැරිකමට එලියට ගිහින් කෙල ගහලා  ආ වා.

සිද්ධිය වුන තැන හෝටලේ අයිතිකාර මහත්තයා ටිකට් පොතයි සල්ලියි පොලිසියට බාර දීලා තිබුනා.

මාස කිහිපයකට පස්සේ අධිකරණ  චෝදනා වලින් මාව නිදහස් කලා

ජුලි හතයි නේද ?

 1977 මැතිවරණයෙන් මංත්‍රීතුමිය පරාජය වුනා. කොන්දොස්තර මහත්තයා ඈත පලාතකට ස්ථාන මාරුවක් ලැබුනා.මම ධාර්මිස්ඨ සමාජය පිහිටුුවන්න ගිහින් අතරමංවුුනා.

1989 දවසක එකම වේදිකාවක මමයි මංත්‍රීතුමයයයි හමුවෙනවා.  මංත්‍රීතුමිය මගෙන් අහනවා කවුද මේ ළමයා කියලා. ?. මම මැරයා ගැන පැහැදිලි කලාම එතුමියට ඩිංගක් වෙන්න ලැජ්ජා හිතතෙන්න ඇති. මම සංවිධානය කල මැතිවරණ ව්‍යාපාරයේ ජයග්‍රහණය කරලා පැවත්වුු රැලියකදී කොන්දොස්තර මහත්තයා මාව ඔසවා ගෙන ජයග්‍රහණය සැමරුවම මම කලේ ඇස් දෙකට කදුළු පුරවගන්න එක.

ජීවිතයේ හැටි එහෙමයි.

එදායින් පස්සේ මට එරෙහි වුන කිසිවෙක් හා  අද වනතුරු  කිසිම විරෝධතාවයකට   එරෙහිව ගිහිල්ලා නෑ .අද වනතුරු.පරුෂ වචචනයක් වත් භාවිතා කරලා නැහැ. මම අහගෙන ඉන්න පුරුදුවුනා. මම බලාගෙන ඉන්න පුරුදුවුනා. මට එය කරන්න  පුළුවන් වුනා.

ජූලි හතෙන් මට හිමිවුුන දායාදය  තමයි “හික්මීම“.





A day in the life

Saturday, July 06, 2024

බූරුවන් සමඟ තර්ක කිරීම නවත්වන්න












බූරුවන් සමඟ තර්ක කිරීම නවත්වන්න
දිනක් බූරුවෙක් කොටියෙකුට මෙසේ කීවේය.
"තණකොළ නිල්".
කොටියා මෙසේ පිළිතුරු දුන්නේය.
"නෑ, තණකොළ කොළ පාටයි."
කතාව උණුසුම් වූ අතර, එය විසදීමට කැලෑවේ රජු වන සිංහයා ඉදිරියට යාමට දෙදෙනාම තීරණය කලේය.
සිංහයා තම සිංහාසනය මත හිඳගෙන කතා කරන්නට පටන්ගන්නට පෙරදීම බූරුවා කෑගැසීමට පටන් ගත්තේය:
"උතුමාණනි, තණකොළ නිල් බව ඇත්තද?".
සිංහයා මෙසේ පිළිතුරු දුන්නේය.
"ඇත්ත, තණකොළ නිල් පාටයි."
බූරුවා ඉක්මන් වී දිගටම මෙසේ කීවේය.
"කොටියා මා සමඟ එකඟ නොවන අතර, තණකොළ කොළ පාට බව කියමින් මට කරදර කරයි, කරුණාකර ඔහුට දඬුවම් කරන්න."
එවිට රජු මෙසේ ප්‍රකාශ කළේය.
"කොටියාට වසර 5 කට පසු ඔබත් සමඟ තර්කයට නොයන ලෙස දඬුවම් ලැබෙනු ඇත."
බූරුවා සතුටු සිතින් පැන හැරී යන්නට ගියේය.
"තණකොළ නිල් පාටයි"...
කොටියා ඔහුගේ දඬුවම පිළිගත්තේය, නමුත් ඔහු සිංහයාගෙන් මෙසේ ඇසුවේය.
"රජතුමනි, ඔබ මට දඬුවම් කළේ ඇයි?, තණකොළ කොළ පාටයි."
සිංහයා මෙසේ පිළිතුරු දුන්නේය.
"ඇත්ත වශයෙන්ම, තණකොළ කොළ පාටයි."
කොටියා මෙසේ ඇසීය.
"ඉතින් ඇයි ඔයා මට දඬුවම් කරන්නේ?".
සිංහයා මෙසේ පිළිතුරු දුන්නේය.
"තණකොළ නිල් ද කොළ ද යන ප්‍රශ්නයට එහි කිසිදු සම්බන්ධයක් නැත".
බූරුවෙකු සමඟ වාද කරමින් කාලය නාස්ති කිරීමට ඔබ වැනි නිර්භීත බුද්ධිමත් සත්වයෙකුට නොගැලපෙන නිසා දඩුවමක් ලබා දීමට තීරණය කළෙමි.
කාල නාස්තිය යනු සත්‍යය හෝ යථාර්ථය ගැන නොතකන, නමුත් ඔහුගේ විශ්වාසයන් සහ මිත්‍යාවන්ගේ ජයග්‍රහණය පමණක් නොසලකන මෝඩයා සහ උමතුවාදීන් සමඟ වාද කිරීමයි. කිසිම තේරුමක් නැති තර්ක වලට කාලය නාස්ති කරන්න එපා...
අපි කොයිතරම් සාක්‍ෂි ඉදිරිපත් කළත් තේරුම් ගැනීමේ හැකියාවක් නැති අය ඉන්නවා. තවත් අය මමත්වයෙන්, ද්වේශයෙන්, අන්ධ වෙලා, තමන්ට අවශ්‍ය වෙන්නේ බුද්ධියක් නැති වුණත් හරි වෙන්න විතරයි.
අවිද්‍යාව කෑගසන විට බුද්ධිය නිහඬය. ඔබේ සාමය සහ නිශ්ශබ්දතාවය හැම දේකටම වඩා වටිනවා. එය රැකගන්න.

❤️
පූර්නිමා හේරත් ( පරිවර්තනයකි)




A day in the life

Friday, July 05, 2024

කපා කොටා ඉරා දමපු දේශයක්








 

ආදරේ..
කපා කොටා ඉරා දමපු දේශයක්
දුර ඈතට ඉගිල්ලෙන්න හීන දැකපු
ලිහිණියන්ගෙ හීන බිඳපු දේශයක්..
සකියණේ......
මල් පිපුණු බිමක් මුඩු බිමක් කළ වෘකයන්
උල් තියුණු දත් වලින් බිඳිණු හැක පරපුරක්
දහවලෙහි හිරු කඩා හංගාපු
රෑ යමේ සඳත් නිරුවත් කරපු
තාරකාවන් බිමට විසි කරපු
වෘකයෙනි.. වෘකයෙනි ..වෘකයෙනි..
අපේ උන් බියෙන් ගලවා ගනිමි
නු⁣ඹේ ඔය තියුණු දත් මොට කරමි
රත්තරං දතක් පා වැඩදාපු
ඉස්තරම් හිනාවකි දවටාපු
කස්තිරම් ගසා අප රවටාපු
වෘකයෙනි ..වෘකයෙනි..වෘකයෙනි
රැහැනකින් ගැට ගසා සිරකරමි
චණ්ඩ රළු රළ මතට විසිකරමි
සකියණේ...
මුඩු බිමක යළිත් මල් පුබුදුවමි
සත්තමයි ප්‍රේමයේ දිය ඉහිමි
සෝමලතා හේරත් මැණිකේ




A day in the life

Thursday, July 04, 2024

හිතලා බලන්න.




 

පහුගිය කාලේ අවුරුදු 14-18 දරුවො එක්ක විවිධ වැඩසටහන් සහ හමුවීම් ඇතුළෙ කතා කරද්දි නීරික්ෂණය වුණු පොදු කාරණාවක් තියෙනවා. ඒ කාරණාව සිදුවීම් දෙකකින් ලියන්න පුළුවන්.
පළවෙනි සිදුවීමේ ඉන්න ගැහැනු දරුවට වයස අවුරුදු 15යි. ඇය සාමාන්‍ය පවුලක දුවෙක්. අවුරුදු 14දි තමයි ඇයට ඇයගෙ පෙම්වතාව මුණගැහෙන්නෙ. ඔහුත් ඇයගේ සමවයස් කෙනෙක්. එකම පාසලේ දෙන්නම ඉගෙනගන්නෙ. මේ දැරියගෙ ගෙදරට මේ සම්බන්ධෙ අහුවෙලා ඇය අසීමාන්තිකව ගුටි කාලා තියෙනවා. ඇගේ අම්මට, ඇගේ පෙම්වතාගෙ අම්මා බැනපු දවසෙ ( "දුවව හරියට හදාගත්තනම් දුව කොල්ලො එක්ක යාළුවෙයිද? වයසටද ඔයාගෙ දුවගෙ වැඩ" කියන වචන තමා ඇය කියන්නෙ) අම්මා ඇයව ගෙදර ඇදන් ඇවිත් දැඩි ලෙස පහර දෙනවා. දැන් ඒ සිදුවීමට මාස නමයක් වෙනවා. අම්මා තවමත් ඇය එක්ක කතා කරන්නෙ නැහැ. ඇයට උවමනා වුණේ අම්මව කොහොමද තමන් එක්ක ආයෙත් යාළු කරගන්නෙ කියලා අහගන්නයි. ඇගේ කතාව කියන අතරෙ ඇය තමන්ගෙ පෙම්වතා ගැන විස්තර කරේ මෙහෙමයි.
" එයා හරිම හොඳයි. අනිත් පිරිමි ළමයි වගේ අනවශ්‍ය දේවල් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. එයා හොඳට එයාගෙ වැඩත් කරගන්නවා. අනික මට දැන් ඉතුරුවෙලා ඉන්නෙ එයා විතරයි. මොකද අම්මා කියන දේ අහලා තාත්තයි මල්ලියි මාත් එක්ක කතා කරන්නෙත් නෑ දැන්. ඉතින් මම සම්බන්ධෙ නැවැත්තුවොත් මට කවුරුත්ම නැති වෙනවා. මම වරදක් හැටියට කරේ කෙනෙක්ට කැමති වුණ එක විතරයි. කොහේවත් ගිහිල්ලා අහුවෙලා හෝ වෙන දෙයක් කරේ නැහැ. ඒත් මට අම්මා බැන්නෙ මම මහා පවුකාරකමක් කරා වගේ. අම්මා නැන්දලට, පුංචිලට පවා මං ගැන කිය කිය මට ඇහෙන්න බනිනවා. මට ලැජ්ජයි හුඟක්. එහෙම බනිද්දි මට හිතෙනවා මට ඇත්තටම ඉන්නෙ මගේ බෝයිෆ්‍රෙන්ඩ් විතරමයි කියලා.
ඒත් සමහර වෙලාවට මට දුකයි. අම්මා මට කවදාවත් මම ආස ඇඳුමක් අඳින්න අවසර දීලා නැහැ. කලිසමක් ඇන්දත් මට බනිනවා. මගේ බෝයිෆ්‍රෙන්ඩුත් එහෙමයි. සමහර දාට මට හිතෙනවා එයත් මගේ ගෙදර අය වගේමයි කියලා. එයා මට කලිසම් අඳින්න තහනම් කරලා තියෙන්නෙ. එයා මට ගිය අවුරුද්දෙදිම කිව්වා මට ජොබ් එකක් කරන්න තහනම් කියලා. මම පන්තියේ තුන්වෙනියා. මම ආසයි කැම්පස් යන්න. ඒත් එයා එපා කියලා දැන්මම කියලා තියෙන්නෙ. මට බස් එකේ යන්නත් තහනම් අනිත් Boys Schoolවල අය යන නිසා. කෝච්චියේ තමයි මම යන්න ඕනේ. ඒකත් එයා දුර ඉඳන් බලන් ඉන්නවා. එයා මාව පරිස්සම් කරනවා කියලයි එයා කියන්නෙ. ඒත් මට දැන් මහන්සියි. අම්මත් මට ගහන්නෙ මාව පරිස්සම් කරගන්න බැරි වුණා කියලා. මෙයා මට නීති දාන්නෙ මාව පරිස්සම් කරන්න කියලයි. මට දැන් හිතෙනවා පරිස්සම් වෙනවා ඇරෙන්න මට කවදාවත් ජීවත්වෙන්න නම් බැරි වෙයි කියලා"
දෙවෙනි සිදුවීමේ ඉන්නෙ අවුරුදු 17ක ගැහැනු දරුවෙක්. කීර්තිමත් පවුලකට අයිති දුවෙක්. Gender ගැන පැවැත්වෙන දේශනයකට පස්සෙ අපි එක්ක කතා කරන්න බලන් හිටපු අය අතරෙ වඩාත් දක්ෂම කතාකාරිය මේ දුව. ඇය හිටියෙ ලොකු කලබලේකින්. ඇගේ කලබලේට හේතුව ගැන එයා කිව්වෙ මෙහෙමයි
" මේ සෙෂන් එක අසාධාරණයි. මේකට අනුව, අක්කට අනුව මගේ බෝයිෆ්‍රෙන්ඩ් හොඳ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙමෙයි. එයා මට බස් එකේවත් වෙන පිරිමි ළඟ ඉඳන් යන එක තහනම් කරලා තියෙන්නෙ. එයා කියනවා එයා දන්නවා කියලා පිරිමි හිතන හැටි. මට ක්ලාස් එකේ හෝ පල්ලියේ දහම් පාසලේ පිරිමි යාළුවො ඉන්න ඕනේ නැහැ කියලා එයා කියනවා. මට එයත්, එයාට මමත් ඉන්නවනෙ කියලයි එයා කියන්නෙ. අපිට අපි දෙන්නා ඇතිලු. ගෑනු යාළුවො අලුතෙන් හොයාගත්තට කමක්නැහැ. ඒත් පිරිමි යාළුවො මොකටද? කියලා එයා අහනවා. කොටට අඳින කෙල්ලො ගැන කොල්ලො කියන ඒවා එයා දන්නවලු ඒ නිසා මම ඇඟ සම්පූර්ණයෙන් වැහෙන්න අඳින්න ඕනේ කියලා එයා කියනවා. ඒකෙන් වෙන්නෙ මාව ආරක්ෂා වෙන එකලු. මම ගමනක් යන්න කළින් අඳින ඇඳුම තීරණය කරලා ඒකේ ෆොටෝ එකක් එයාට මම අනිවාර්යයෙන්ම යවන්න ඕනේ. එයා එපා කිව්වොත් ඒ ඇඳුම මට අඳින්න බැහැ. එයා එක්ක අෆෙයාර් එක පටන් අරන් තාම මාස හයයි. මට දැන් හුස්ම ගන්නත් බැහැ වගේ. එයා නරක කෙනෙක් නෙමෙයි. එයා හොඳයි. එයත් කතෝලික. ආගම්වලිනුත් අපි ගැළපෙනවා. පවුල්වලිනුත් එහෙමයි. ඒත් මට තේරෙනවා මම වැඩියෙන් ආස ඉස්කෝලේ එන්න කියලා. ගෙදර ගිය වෙලේ ඉඳන් ෆෝන් එකෙන් අපි රණ්ඩු වෙනවා. මුකුත් නැත්‍තම් එයා මට මගේ වට්සැප් චැට් එකේ ස්ක්‍රීන් ශෙයාර් කරන්න කියලා ඒක හරි චෙක් කරනවා. මට එයාගෙන් හංගන්න මුකුත් තිබිලා නැහැ. එයා මට කරන නිසා මාත් දැන් එයාට තහනම් කරලා තියෙන්නෙ වෙන ගෑනු ළමයි එක්ක කතා කරන්න. අයියෝ මටම ලැජ්ජයි දැන්. මට එහෙම මනුස්සයෙක් වෙන්න ඕනේ නැහැ. මට ලැජ්ජයි මං ගැනම. මාත් දැන් එයා වගේම රණ්ඩු වෙනවා. මට හිතාගන්න බැහැ. මට මහන්සියි වගේ. මගේ තාත්ති හරිම ආසයි මට එක එක ඇඳුම් අරන් දෙන්න. මට දැන් තාත්තිව දැක්කම දුක හිතෙනවා. අද ගෙදරින් එද්දි මට හිතුණා තාත්ති දන්නවනම් මම එයා ගෙනත් දෙන ඇඳුම් අඳින්නෙත් වෙන කෙනෙක්ගෙන් අවසර අරන් කියලා, එයා අඬයි කියලා. මට ඒ වෙලේ හිතුණා දැන් ඇති මේ පිස්සුව කියලා. මම මොකද්ද කරන්න ඕනේ?"
මේ සිදුවීම් දෙකේ ඉන්නෙ දුවලා දෙන්නෙක් විතරක් නෙමෙයි. පුතාලා දෙන්නෙකුත් ඉන්නවා. දෙමව්පියොත් ඉන්නවා.
නව යොවුන් වියේ දරුවොන්ගෙ සම්බන්ධතා අහුවුණාම ඒ දරුවොන්ව අපරාධකාරයො හැටියට සලකන, ගෑනු ළමයින්ට නම් ' නැට්ටිච්චියො, විසේ, කුලප්පුව' වගේ කතා කියන දෙමව්පියො, නෑදෑයෝ සහ ගුරුවරු මේ කුඩා දූපත පුරාම ඉන්නවා. තමන්ගෙ පොඩි දුවගෙ/පුතාගෙ සම්බන්ධයක් ගැන දැනගත්තම අම්මෙක්/තාත්තෙක්/ වැඩිහිටියෙක් මෙහෙම හැසිරෙන ගෙදරක් ගැන හිතලා බලන්න.
- දරුවා එක්ක ඉඳගෙන කතා කරන ගෙදරක්
- දරුවට කෑ ගහලා, ගහනවා වෙනුවට "පුතා/ දූ ඇත්තටම ඒ දරුවට කැමතිද? ඇයි කැමති වුණේ" කියලා අහන ගෙදරක්
- පුතා/දූ හිතනවද ඔය තීරණේ ගන්න ඕන කරන ඔක්කොම විස්තර එයා ගැන ඔයා දන්නවා කියලා?
- පුතා/දූ සතුටෙන්ද?
- පුතා/දූ පාර්ට්නර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලා හිතලා තියෙනවද? හිතුවෙ නැද්ද? එහෙනම් දැන් හිතන්න. මේ කෙනා ගැළපෙනවද කියලා හොයාගන්න වෙනවනෙ
- පුතා/දූ එයා එක්ක කතා කරන්නෙ ෆෝන් එකෙන්ද? පුතාට/දූට පුළුවන්ද පාඩම් වැඩයි, ෆෝන් එකයි බැලන්ස් කරගන්න? ක්‍රමයක් ගැන හිතුවද?
සබඳතා ගැන මෙහෙම කතා කරන දෙමව්පියො සහ ගුරුවරු ඉන්න දූපතක් කොහොම තැනක් වෙන්න පුළුවන්ද?
මාත් දැන් ඒක නිතරම හිතනවා.
ඊළඟ කොටස.
අවුරුදු 14-19 පිරිමි දරුවො සැලකිය යුතු ප්‍රමාණයක් අතිශය බරපතල ලෙස තමන්ගෙ පෙම්වතියව ඉතා දැඩි ලෙස නීති දාලා පාලනය කරන්න හදන මානසිකත්වය කොහෙන් ආපු එකක්ද? කවුද ඔවුන්ට මේ ක්‍රමය ඉගැන්නුවෙ? කවුද ඔවුන්ට කියලා දුන්නෙ ආදරේ කරන්නෙ මේ විදිහටයි කියලා? කවුද ඔවුන්ට කිව්වෙ මේ බලහත්කාරය තමයි ප්‍රේමයක් හැටියට වර්ධනය වෙන්නෙ කියලා?
මේවට උත්තරත් මම නිතරම හිතනවා. අපි සාමුහිකව කල්පනා කළ යුතු ප්‍රශ්න නෙමෙයිද මේවා?
මීට මාස දෙකකට කළින් අපිට මුණගැහුණා අවුරුදු 18ක ගෑනු ළමයෙක්ව. ඇගේ පෙම්වතාට කේන්ති යන ඕනම වෙලාවක මේ දරුවගෙ මූණටමයි ඔහු පහර දෙන්නෙ. ඇය එක්ක කෙරුණු දීර්ඝ සංවාදයකට පස්සෙ ඇය මේ සම්බන්ධය දිගටම ගෙනියන්න හේතු ඇය බිම බලාගෙන පැහැදිලි කරා.
" මේක නවත්තනවා කිව්ව ගමන් එයා කියනවා එයා මැරෙනවා කියලා. මට බයයි. මම දන්නවා එයා මැරෙන්නෙ නෑ කියලා. ඒත් මං බයයි. අනික මං වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ. අම්මා මට සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තම ඇති මාව මරන්න. (දීර්ඝ නිහඬතාවයකට පස්සෙ) එයා ළඟ මගේ ෆොටෝස් තියෙනවා. මම එයාව අත ඇරියොත් එයා ඒවා ෆේස්බුක් එකටයි, ටෙලිග්‍රෑම් ගෘප්ස්වලටයි දානවා කියලා තියෙන්නෙ. මාව බේරගන්න කවුරුත්ම නෑ"
ඇයගෙ මේ විස්තරය අහන් ඉඳලා අපේ කණ්ඩායමේ හිටපු නීතිඥ මිත්‍රයෙක් කියනවා " මට දැන් මගේ පොඩි කෙල්ල ගැනත් බයයි බං. ඒකිටත් දවසක හිතුණොත් අපි ළඟට ඇවිත් කිසි දෙයක් කියන්න බෑ කියලා? මේ කිසිදේකින් වැඩක් නැහැ නේද බං?" කියලා.
මේ රටේ දරුවොන්ට ආරක්ෂාවක් දෙන්න පුළුවන් ගෙවල්, පාසල්, ආගමික ආයතන, පොදු ප්‍රවාහන සේවා හෝ කිසිවක් නිර්මාණය කරන්න අසමත් වුණු වැඩිහිටියො තමන්ටම කියාගන්න ඕනේ නේද මේ කතාව?
'මේ රටේ පොඩි එවුන්ට හිතෙනවනම් අපි ළඟට ඇවිත් කිසි දෙයක් කියන්න බෑ කියලා? අපි තේරුම්ගන්නෙ නෑ කියලා? අපි කරුණාවන්ත හෝ ගෞරවණීය නැහැ කියලා? මේ කිසිදේකින් වැඩක් නැහැ නේද බං?'

 

ජූනි 26, 2024Shenu Perera

 A day in the life

 

මීදුම Published @ 2014 by Ipietoon