Monday, April 29, 2024

මැණික් සොයා සබරගමුවට පැමිණි මුක්‌කුරු


මුක්‌කුරු හෝ මුක්‌කුවාර්වරුන් යනු කුමන ජන කොටසක්‌ ද? ඔවුන් කුමන ප්රදේශයකින් මෙරටට පැමිණි පිරිසක්‌ ද යන්න පිළිබඳ තවමත් විවිධ මතිමතාන්තර පවතී.
මුක්‌කුරු යනුවෙන් දැනට හඳුනා ගෙන ඇති පරිදි රත්නපුර ප්රදේශයට මැණික්‌ ගැරීම සඳහා පැමිණ ඇති පිරිසක්‌ බව පැහැදිලි වේ. එහෙත් මේ පිළිබඳ ඓතිහාසික කරුණු ලැබෙනුයේ ඉතා අල්පව ය.
මුක්‌කුරුන් පිළිබඳ කරුණු දක්‌නට ලැබෙන එකම ලිඛිත සාක්ෂිය වන්නේ “මුක්‌කුරු හටන” නම් පුස්‌කොළ පොත ය. මෙය සිංහල භාෂාවෙන් ලියා ඇති අතර දැනට බ්රිතාන්යය කෞතුකාගාරයේ ඇති හියුනෙවිල් එකතුවට අයත් ව ඇත.
මෙම මුක්‌කුරු හටන නම් පුස්‌කොළ පොතට අනුව මුක්‌කුරුන් පැමිණ ඇත්තේ පුන්නල නම් වූ දේශයේ සිට ය.
“කෝට්‌ටේ නුවර වැඩ සිටි ශ්රි පරක්රමබාහුදේව
ස්‌වාමිදුරුවානන්වහන්සේ සිංහාසන මස්‌තකය වැඩ වදාරමින් කේසර සිංහර විලසින් යෙහින් රාජජ
ශ්රි සම්පත් විඳ වදාරමින් වැඩසිටින ප්රස්‌තාවට ත්රී සිංහලද්විපය අලල මැයි සිතා…. සිතමින් පුත්තලමට, නාගපට්‌ටලමට පුනනල දේශයේ සිට……
ත්රී සිංහලාධිපති වූ අපගේ දේවස්‌වාමිදුරුවානන් වහන්සේට මුක්‌කුරුන් සේවා කමටසැදි…….”
ලංකාවට ගොඩබට මුක්‌කුරුන් පලවාහැරීම දේශීය හමුදාවන්ට තනි ව කළ නොහැකිවූ නිසා 6 වන පරක්රමබාහු රජු කාංචිපුර, කාවේරි පට්‌ටන, මහා කිලෙක්‌කරේ යන ප්රදේශවලින් හමුදාවක්‌ ගෙන්වා ගෙන මුක්‌කුරුන් පරාජය කළ බව මුක්‌කර හටනේ සඳහන් වේ.
මෙහිදී මෙම මුක්‌කුරුන් පලවාහැරීම සඳහා මෙරටට පැමිණි සේනාපතිවරුන් කිහිපදෙනකු පිළිබඳ ව ද කරුණු සඳහන් වේ. මොවුන් අතර,
* මැණික්‌කා තලවන්
* වම්මුනාට්‌ටු දේවර්
* කුරකුලනාට්‌ටු දේවර්
* අදිරාස අඩප්පන්
* වර්ණසූරිය තෝමරාන්නාතන් අඩප්පන්
* කුරුකුලසූරිය මුදියන්සේ.
* පරදාකුල සූරියමුදියන්සේ
* අර්සකුල සූරියමුදියන්සේ
මෙම සේනාපතිවරුන් සමඟ තවත් 1,500 ක සෙබළ පිරිසක්‌ මුක්‌කරුන් පලවා හැරීම සඳහා පැමිණ ඇති බව සදහන් වේ.
මුක්කුරු ගැන විවිද කතා පතල් කර්මාන්තයෙදි අහන්න පුලුවන් .
ඒත් මුක්කුරු ජීවත් උන හරි වකවානුවක් කවුරුත් දන්නෙ නෑ.සමහරු කියන්නෙ බුදුරජානන් වහන්සේ ලක්දිවට වැඩි සමයේ මුක්කරු මෙරට සිට ඇති බවයි, තවත් සමහරුන්ගේ අදහස නම් සිංහලයේ අවසන් රජ වූ ශ්රී වික්රම රාජසිංහ සමයේ සිටි බවයි එහෙත් හරියටම සිටි වකවානුවක් කිව නොහැක
දැනටත් මුක්කුරු ගරපු තැන්වල උංගෙ කලෙ විසික්කරපු හොටු ගල් හම්බවෙනව වැඩියෙම්ම තියෙන්නෙත් ඒව හැබැයි ඉල්ලම් වල තියෙන මැනික් වලට වඩා වෙනසක් දකින්න පුලුවන් උං හාරපු දෝනා බැහැපු වලවල් එහෙම දැක්කොත් දකින කෙනාට හිතාගන්න පුලුවන් තාක්ශනේ ගැන.
️මුක්කුරු වැඩියෙන් මැනික් ගරල තියෙන්නෙ පරන ගග පාරවල් වෙන පැති වලිං හරෝල පරන වතුර පාරවල් තිබුන තැන් වගේම පහත් බිම් වල වලවල් වලට ඒත් තාම හිතාගන්න අමාරු දේ තමයි උං ඉල්ලම් හෙව්ව විදිහ හොදටම මැනික් තියෙන ඉල්ලම් ඒ කාලෙ ස්කෑනර් තිබ්බෙ නෑනෙ ඒත් ඒව හොයාගෙන තියෙන විදිහනම් හරි පුදුම සහගතයි.
මුක්කුරු වැටි හම්බවෙනව පතල් කර්මාන්තයේ මුක්කුරු වැලි කඩද්දි ඒ කියන්නෙ මුක්කරු ඒ කාලේ ගරපු වැලි. උං ගරනකොට වතුර රඳා හිටින්න ගහපු වැටි ආයුද වල මුවහත බලද්දි ඒ ලී එක පිහිපාරින් එක.පෙත්තට ගහල තියෙන්නෙ ඒ ලී වලට රිල්ල කියල අතු වර්ගෙ දාල තමයි වතුර රඳා පවතින විදිහට වැටි ගහල තියෙන්නෙ.
ඒ කාලෙ ගරල තියෙන්නෙ මැටි භාජන වලින් කිව්වොත් හරි. සාමාන්යෙන් වලදක් පොලවෙ පුංචි පුංචි කෑලිවලට බිඳෙන්නෙ අන්න ඒ වගේ වලං කටු කෑලි හම්බවෙනව මුක්කරු වැලි වල. ඉතිං ඔහොම මැනික් එක්කහු කරපු මුක්කරුන් මැරුනාම ඌ හම්බකරගත්ත මැනික් තොගය ඒ සොහොනටම දාල තමයි මුක්කරු භූමිදාන කරන්නෙ . සමහර මිනිස්සුන්ගෙ කතාවක් තියෙනව මුක්කරු ලංකාවට එද්දි සමන් දෙවියන්ට භාරයක් උනාලු උං හම්බකරන කොටසෙන් කොටසක් දීල තමයි ආපහු යන්නෙ කියල කොහොමහරි ඔහොම උං දෙනවයි කියන කොටස ආපහු නොදීම යද්දි මැනික් නැව් හතම මහ මුහුද මැද මුහුදුබත් කලා කියල කතාවක් තියෙනව .
️මුක්කුරු තාක්ශනය ගැන හොදටම දකින්න පුලුවන් දෙයක් තමයි මුක්කුරු මාල ඇට . ඒවත් හම්බවෙන්නෙ මුක්කරු ඉල්ලම් වල තමයි . බලන්න.පහලින් දාල තියෙන්නෙ මුක්කුරු ගරපු වලං වලයි මුක්කරු මාල ඇට වලයි පින්තූර . මුක්කරු සොහොන් වල පින්තූර දාන්නෙ නෑ ඒකට හේතුවක් තියෙන නිසා
මුක්කුරු නෑඹිලියේ වරුණ....
මැණික් මතුවන අඩවියේ දී ‘මුක්කුරු’ නමින් හැඳින් වෙන්නේ, අදින් වසර 600-700කට පමණ ඉහත මැණික් ගැරීම පිණිස ලංකාවට පැමිණි විදේශික ජන වර්ගයකි. ජන පරවාදවල එන හැටියට නම්, ඔවුන් අරාබි ජාතික මැණික් වෙළෙන්දන් වෙති. ඔවුන් රත්නපුරය පමණක් නොව, ලංකාවේ මැණික් ලැබෙන සෑම පරදේශයකම පැතිර මැණික් ගරා ඇත.
‘මුක්කුවාර්’ නමින් හඳුන්වන විදේශීය ජන වර්ගයකින් පැවත එන පිරිසක්, අදත් පුත්තලම දිස්තරික්කයේ මුහුදු බඩ පෙදෙස්වල අදත් ජීවත්වෙති. ඒ සම්බන්ධ තොරතුරු රැසක්, මාධ්යවේදී නුවන් ගන්කන්ද මහතා 2007 වසරේ ලියා පළ කළ ‘අප නොදන්න ලාංකිකයෝ’නම් මාහැඟි ගරන්ථයේ එයි. ඇතැම් තැනක, ඔවුන් ද ‘මුක්කුරු’ යනුවෙන් හඳුන්වති. එහෙත් මැණික් කර්මාන්තය සමග කියැවෙන ‘මුක්කුරු ජනයාත්’, පුත්තලම දිස්තරික්කයේ මුහුදු බඩ පෙදෙස්වල ‘මුක්කුවාර්’ ජනයාත්, එකම පිරිසක් ද?, නැද්ද? යන්න, ශාස්තරීයව පැහැදිලි කෙරී නැත. නුවන් ගන්කන්ද මහතා සිය කෘතියෙන් කියන්නේ, පුත්තලමේ ‘මුක්කුවාර්වරු’ ඉන්දියාවෙන් පැමිණි පිරිසක් බවයි. මැණික් කර්මාන්තයට සම්බන්ධ ‘මුක්කුරු’ ජනයා ද ඉන්දීය සම්භවයක් සහිත පිරිසක් බව සමහරුන්ගේ මතයයි.
‘මුක්කුරු’ ගැන කියැවෙන එකම ඓතිහාසික සාක්ෂිය, ‘මුක්කරු හටන’ නම් පුස්කොල කවි පොත යි. එය දැනට බිරතාන්ය කෞතුකාගාරයේ තැන්පත්කර ඇතැයි සඳහන් වේ. ඔවුන් ‘පුණ්ණල දේශයෙන්’ පැමිණි බව එහි සඳහන් වන බව කියන හිටපු පුරාවිද්යා නිලධාරී, පරවීණ ලේඛක ජයන්ත විජේරත්න හේරත් මහතා, එය දකුණු ඉන්දියාවේ යම් පරදේශයක් විය හැකි යයි අනුමාන කරයි.
කෙසේ වෙතත්, මැණික් ගරන්නට පැමිණි මුක්කුරු ජනයාගේ කියුම්-කෙරුම් ගැන කතාන්දර රාශියක්, රත්නපුරය ඇතුළු මැණික් මතුවන අඩවියේ දී අසන්නට පුළුවන. එකල ඔවුන් මැණික් ගරා ඇත්තේ අද මෙන් ‘ගැරුම් වට්ටියෙන්’ නොවේ. ඒ සඳහා සකසා ගත් ‘මැටි නෑඹිලිවලිනි’. ඒවායෙහි කැබලි රත්නපුරය සහ මැණික් ලැබෙන සෙසු පරදේශවලින් හමු වීම සුලභ කාරණයකි.
එබඳු ස්ථාන, මැණික් ගරන්නන් අතර ‘මුක්කුරු ගොඩැලි’ යනුවෙන් පරසිද්ධ ය. ‘මුක්කුරු ගොඩැල්ලක්’ යනු මැණික් ඉල්ලම් ද සමග පැරණි මැටි වළං කැබලි හමු වන ස්ථාන වේ. එබඳු තැනක් පාදා ගත හොත් වාසි ගොඩකි. එයින් වෛරෝඩි හෝ ආර්නූල් මැණික් හමු වීමට ඉඩ තිබීම, ඊට හේතුවයි. ජන වහරේ කියැවෙන හැටියට, එකල මුක්කුරු ජනයා එබඳු මැණික් ‘පණුවන් ගැසූ ගල්’ යයි කියා ඉවත දමා ඇත!
මුක්කුරුන් මැණික් ගැරූ ‘නෑඹිලිවල’ කොටස් හමු වීම සුලභ වුව ද, එවැන්නක් සමුපූර්ණයෙන්ම හමු වීම දුර්ලභ සිද්ධියකි. ඔබ මේ සමග දකින්නේ, ‘මුක්කරු නෑඹිලි’ දෙකකි. ඒවා හමුවී තිබුණේ රත්නපුර, හංගමු ගඟේ ඇදුම් පතලකිනි
කිරිඇල්ලේ ඥානවිමල හිමියන් රචිත “සපරගමුවේ පැරණි ලියවිලි” නම් ග්රන්ථයේ රත්නපුර මහසමන් දේවාලය පිළිබඳ විස්‌තරයෙහි 6 වන පරාක්රමබාහු රජු කල ආර්ය කාමදේව නම් ඇමැතිවරයා සපරගමුවේ මැණික්‌ ගැරීම ආරම්භ කළ බව සඳහන් වේ. මෙම ආර්ය කාමදේව මුක්‌කුරු පෙළපතේ අයකු විය හැකි ය.
“ලංකාවේ ඉතා උසස්‌ දේවාලය අතුරෙන් දෙවිනුවර දේවාලයට පමණක්‌ දෙවෙනිවූ මේ පැරණි දේවාලය ජම්බුද්රෝණිපුර වරාදීශ්වර කලිකාල සාහිත්යය සර්වඥ පණ්‌ඩිත පරාක්රමබාහු රජුගේ ආර්ය කාමදේව නම් ඇමැතියා විසින් රජතුමා වෙනුවෙන් වූ බාරයක්‌ ඉටුකිරීම පිනිස කරවන ලද්දකි. සපරගමුවේ මැණික්‌ හෑරීම ආරම්භ කොට ඉන් සැලකිය යුතු ධනයක්‌ ලැබුනොත්…………”
එසේම මේ කාලවකවානුව තුළ ලංකාවේ මැණික්‌ ගැරීම සඳහා අරාබිවරුන් පැමිණ ඇති බව “ක්රිස්තු වර්ෂ 900 – ක්රිස්තු වර්ෂ 1500 කාල පරිච්ඡේදය තුළ සෙරන්ඩිබ් දිවයිනට ආ ගිය මුස්‌ලිම් වෙළෙන්දන් හා වන්දනාකරුවන්” යන මැයෙන් ලිපියක්‌ රචනා කරන ආචාර්ය ලෝනා දේවරාජ පවසයි. එම ලිපියෙහි අල්ඉද්රිසි (1155) නම් ලේඛකයා සඳහන් කර ඇති පාඨයක මෙසේ සඳහන් කර ඇත.
“ශ්රී පාද කන්ද අවට පිහිටි කඳු වැටිවලින් ඔවුන් සෑම වර්ගයකට ම අයත් මැණික්‌ ගල් එක්‌ රැස්‌ කරගන්නා අතර මුදුවලට මැණික්‌ ගල් ඇල්ලීම සඳහා අවශ්යය කැටයම් කැපීමට උපයෝගී කර ගන්නා දියමන්ති ඔව්හු අවට ගංගා නිම්නවලින් සොයා ගනිති.”
ශ්රී පාදය පිහිටා ඇති කඳු පන්තිය ද සබරගමු පළාතට අයත්වීම නිසා රත්නපුර මැණික්‌ ගැරීමට පැමිණි මුක්‌කරු ජනයා හා යම් සබඳතාවක්‌ මෙම කරුණ සමඟ තිබිය හැකි ය.
ආචාර්ය දේවරාජා තව දුරටත් සඳහන් කරන පරිදි ශ්රී පාදය ආදම්ගේ පාදය පිහිටි කන්ද ලෙස මුස්‌ලිම්වරුන් සැලකූ බැවින් එය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් මෙන් මැණික්‌ සොයා ආ මුස්‌ලිම්වරුන් පෙනී සිට ඇත.
මුස්‌ලිම්වරුන් මේ ප්රදේශයට පැමිණ ඇති බවට පුරාවිද්යාත්මක සාක්ෂි මගින් ද ඔප්පුවන අතර ඊට කදි ම සාධකයක්‌ වන්නේ ශ්රී පාදස්‌ථානයට අඩි 100 ක්‌ පමණ පහළින් පිහිටි ගල් ලෙනක්‌ වන භගවා ලෙනෙහි තිබී සොයා ගත් 13 වැනි සියවසට අයත් යයි සැලකෙන අරාබි ශිලා ලිපිය යි.
සමන් දෙවිඳුන් මුළා කළ මුක්කරුවෝ.....
රත්නපුරය පුරාණයේ සිටම මැණික් පිළිබඳව ප්රසිද්ධියක් උසුලයි. එම ජනප්රවාද අනුව සමන් දෙවියන්ට පවා කපටිකම් කළ මැණික් කතාවක් පවතී. රසවත් වූ එම කතාව මෙසේ ය.
පුරාණයේ මුක්කුරු යැයි හඳුන්වන ජන වර්ගයා විදේශයක සිට මැණික් සෙවීමට සබරගමුවට පැමිණ තිබේ. ඔවුන් මැණික් ගැරීමට පෙර සබරගමුවේ අධිපතිව පාලනය කළ සමන් දෙවියන්ට බාරයක් වී ඇත. මැණික් ගරා අවසානයේ මැණික් නැවක් සමන් දෙවියන්ට පූජා කිරීම එම බාරය විය. මෙසේ බාර වූ මුක්කුරු සබරගමුවේ සැම ප්රදේශයකම පාහේ මැණික් ගරා තිබේ.
ඔවුන් අද මෙන් වට්ටි හෝ කූඩා භාවිත කර නැත. අපේ කාන්තාවෝ හාල් ගරන්නා සේ කොරහ සහ නෑඹිළිය උපයෝගී කර ඉල්ලම් සෝදා මැණික් ගරා තිබේ. ඒ බව මුක්කරු සිටියායැයි කියන ප්රදේශවල තිබී හමුවන පුරාණ මැටි භාජන කැබලි සාක්ෂි දරන්නේය.
ඔවුන් වෛරෝඩි, ආර්නූල් වැනි ගල් පණුවන් ගැසූ මැණික් යැයි හඳුන්වා ඉවත දැමු බව කියවේ. මෙසේ මැණික් හැරු මුක්කුරු නමැති ජනයා දිගු කාලයක් මේ ප්රදේශයේ මැණික් ගරා නැව් හතක් පිරෙන සේ මැණික් එකතු කරගෙන තිබේ.
ඒ එක්කම මැණික් සමඟ තිබෙන කට්ට නමැති නොවටිනා ගල් වර්ගය ද නැවකට පුරවා එකතු කරගෙන ඇත.
ඔවුනට ඇති තරම් මැණික් ගරා නැව් හතක පුරවා තැබුවේය. මේ සමඟම කට්ට නැව ද පුරවා තැබුවේ කපටිකමක් කිරීමට අදහස් කරගෙනය. මුක්කුරුන් මෙරටින් පිටවී ඔවුන්ගේ රටට යෑමට සූදානම්ව මැණික් නැව් හත දියත් කරනවාත් සමඟම සමන් දෙවියන්ට කට්ට නැව පූජා කළේ බාරය ඔප්පු කිරීමටය.
මෙසේ කට්ට නැව දෙවියන්ට පූජා කළ මුක්කුරු පිරිස මැණික් නැව් හතට නැගී ඔවුන්ගේ රට බලා යාත්රා කර ඇත.
මෙසේ යාත්රා කරන අතරේ ඔවුන්ගේ කපටිකම ගැන කෝප වූ සමන් දෙවියෝ එම නැව් හත මුහුදුබත් කිරිමට සැලැස්වූහ.
නැව් තුළට මුහුදු ජලය කාන්දු වනවාත් සමඟම මුක්කුරුන්ට සිහි වූයේ සමන් දෙවියන් ය.
දෙවියන් මුළා කළ නිසා මෙසේ නැව් හත මුහුදුබත් වන බව ඔවුන්ට තේරුම් ගියේය. දැන් ප්රමාද වැඩිය. කරන්නට කිසිම දෙයක් නැති තැන සමන් දෙවියන් විහිළු දන්නේ නැති බව මුක්කුරු කියන ලද්දක් යැයි ජනප්රවාදයේ පවතී.
එසේ කියන ලද්දේ කට්ට නැව පූජා කරන ලද්දේ විහිළුවට බව හඟවමිනි. ඒ වගේම මුක්කුරුන් සමඟම මැණික් නැව් හත මුහුදුබත් වූ බව ද ජනප්රවාදයේ එයි
මෙම මුක්‌කුරු ජනයාගෙන් ම පැවත එන තවත් ජන කොටසක්‌ ලෙස “මුක්‌කුවාර්වරුන්” හැඳින්වේ. මෙම මුක්‌කුවාර්වරුන් ශ්රීලංකාවේ වෙරළ බඩ ප්රදේශවල පදිංචිව සිට ඇති අතර වර්තමානය දක්‌වා ම මොවුන් මෙම ප්රදේශවල වාසය කරයි. මෙම ජනයා මුතු කිමිදීම හා ධීවර කටයුතුවල නිරතවූ පිරිසකි. ඓතිහාසිකව බලන විට මොවුන් තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළබඩ ප්රදේශයේ සිට කේරළයට, ශ්රී ලංකාවට හා ලක්ෂද්වීපයට පැමිණ ඇත.
මොවුන් ශ්රී ලංකාවට පැමිණ ඇත්තේ හමුදාමය ආක්රමණිකයන් ලෙස ය. නැගෙනහිර ප්රදේශයේ සිට මුක්‌කුවාර්වරුන් පදිංචි කරවන ලද්දේ දෙමළ රජකු වූ පන්ඩියා විසින් බව මෙම ජනයා විශ්වාස කරයි. නැගෙනහිර දෙමළ ජනයාගෙන් විශාල ප්රජාවක්‌ නියෝජනය කරන්නේ ද මෙම ජනයා බව විශ්වාස කෙරේ. මොවුන් මුක්‌කුවාර් නීති අනුගමනය කරන බවත් මෙම නීති දපන්ඩියා රජු නිකුත් කර ඇති බව ද සඳහන් වේ.
එසේම වන්නි උපත නම් ග්රන්ථයෙහි භාතිය නම් රජු කල කාකමුක්‌කරා නම් දෙමළ පුද්ගලයකු ගොඩබැස ඇති බව සදහන් වේ.
“…….තවද භාතිය නම් සිංහල මහරජහු කාලයෙහි මේ ශ්රී ලංකා ද්වීපය කාකමුක්‌කර නම් දෙමළෙක්‌ මේ ලංකාවට ගොඩබැස ඔවුන්ගෙන් නල මුදලියා කියන රජා ගල්ගමුවට පැමිණ…….”
මේ ආකාරයෙන් මෙම ජන කොටස පිළිබද විවිධ මතිමතාන්තර පැවතිය ද ඔවුන් පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් හෙළිදරව් වී නොමැත....

 

Machan Api Pelmadulla

අන්තර්ජාලය ඇසුරෙනි.

A day in the life

Sunday, April 28, 2024

බතක් ඉදෙන තුරු



පාන්දරම ගෙදර පුංචි සද්දයක් . රුවන්ට මොනවටදෝ හොඳටෝම කේන්ති ඇවිදින් . හැමදාම උදේට රාජකාරියට නික්ම යන්නට පෙරාතුව , ඔහු ඇයට පිරිනමන උනුසුම් හාදුව පිරිනැමුවෙ නැහැ අද . හැමදාම ඇය රුවන් පසු පස මද දුරක් එනවා පසු ගමන් . ඒ පුරුද්දට අදත් ඇය එන්න හැදුවත් ඔහු ඇගේ ඇඟට කඩා පැන්නා. " ඕනේ නැහැ තමුසෙ එන්න "
ඔහු කෑගැසුවා . ඇගේ දෙනෙත් කඳුළින් පිරුණෙ ඉබේටමයි. ඔහු කාමරයෙන් ඉවතට යනතුරු ඇය ඔළුව ඉස්සුවේ වත් නැහැ . රුවන් විදුලි පහනත් නිවා දමලා, දොරත් වසා ගෙනමයි පිටවී ගියේ . ඇයට කෑ ගහලා අඬන්න තරම් වේදනාවක් හිතට දැනුනා . එහෙත් අනුන්ගේ ගෙදරක , පුංචිම පුංචි කාමරයක තාවකාලිකව පදිංචිව සිටින ඔවුනට , විශේෂයෙන්ම ඇයට හිතේ වේදනාව පහවෙනතුරු අඬන්නට වත් නිදහසක් තිබුණේ නැහැ .ඇය ඇඳට පැන්නා . කොට්ටයත් හපාගෙනම ඇති වෙනතුරු අඬා වැටුණ.
කාමරය එකම අවුල් ජාලයක් වගේ . තේ හදපු , බීපු කෝප්ප එක තැනක . ඇඳුම් අයන් කරපු මේසෙ එලපු රෙදි එහෙම්මම , ඔහු ඇඳ සිටි සරම ඇඳ කෙලවරක , තෙත තුවාය තව තැනක . ඇයට පිස්සු වගේ . අද මේ කිසිම දෙයක් අස්කරන්නෙ නැහැ ඇය කේන්තියෙන් හිතුවා . ඔහු හවස එනතුරා සියල්ල මේ අයුරින්ම තැබිය යුතු යැයි ඇය කල්පනා කළා . දන්නෙම නැහැ . ඇයට නින්ද ගිහින් .
හෝරාවක් දෙකක් තරම ගෙවෙන්න ඇති . ඇය අවදිවුනේ පුංචි කුසගින්නක් දැනිල . හිතේ කේන්තියත් ඉවරයි. ඇය ඔහුගේ පෙර දින ඇඳි කිලිටි කමිසය දෝතින්ම ගෙන තම මුහුණට ලංකරගත්තා. සිප ගත්තා . රුවන්ගෙ එකම එක හාදුවකින් දැනෙන උනුසුම ඇයට දැනෙන්න ඇති .ආත්ම ගනනක් පුරාවටම තමා හා සෙනෙහසින් බැඳී හුන් සුවඳ එයම නොවේදැයි ඇයට සිතුනා.
ඇය ඇඳෙන් බැස්සේ අමුතුම උද්යෝගයකින්. හාල් ටිකක් සෝදා ගරා ලිපේ තැබුවා . එළවලුවක් , මාලුවක් , මැල්ලුමක් හැදුවා . කිලිටි රෙදි සේදුවා. කාමරය අස් පස් කළා . ඇගේ හිත පුදුම තරම් සැහැල්ලුවකින් පිරිලා .ඇඳ පැළඳගෙන නගරයට ගියා . රුවන්ගෙ කාර්යාලයට දුරකථන ඇමතුමක් ගත්තා .( ඒ කාලෙ අද වගේ හෑන්ඩ් පෝන් තිබුණේ නැහැ හොඳේ. ) දුරකථනයෙන් ඔහුගේ හඬ ඇහෙද්දි ඇය ගොළු වුනා . කතා කරගන්න බැරි වුනා යලිත් .

         " හලෝ ...... හලෝ "

ඔහු කීප වරක්ම කිව්ව.
"කතා කරන්න ළමයෝ..........."
ඔහු යලිත් කිව්ව.
" තරහ ද රුවන් .......? "
ඇයට කියාගත හැකිවුණේ එච්චරයි . ඇය ඇඬුවා . ඔහුට දුක හිතෙන්න ඇති .
" නෑ රත්තරනේ ......" ඔහු කිව්ව.
" අද මං කලින් එන්නම් . අපි හවසට
කොහේහරි ඇවිදින්න යමු "
ඔහු කිව්වේ උතුරා යන සෙනේහයකින්. ඇය සංතෝසෙන් ගෙදර ආවෙ තටු ලැබිච්චි පුංචි කිරිල්ලියක් වගේ . යුග දිවිය මොන තරම් විවිධාකාරද කියලා ඇය හිතුවා . විටෙක කඳුළ , සුසුම , තවත් විටෙක .....සතුට .......... අඹුසැමියන් අතරේ අමනාපකම් පවතින්නේ බත ඉදෙනතුරා පමණක්ම කියලා කවුදෝ කියපු කතාවක් ඇයට මතක්වුනා . ඇය තනිවම සිනාසුණා. වෙනදාටත් වඩා උනන්දුවකිනුයි අද ඔහු එනතුරා පාර බලාගෙන උන්නෙ ඈ......
---කාන්ති ඉපලවත්ත.


A day in the life

Saturday, April 27, 2024

අටපිරිකර





බෝසතාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ දින හතකින් කළුරිය කරලා මාතෘ දිව්යරාජයා වශයෙන් දිව්ය ලෝකයෙහි උප්පත්තිය ලබනවා. පසුව ප්රජාපතී ගෝතමීන් වහන්සේ හදා වඩා පෝෂණය කරනවා. අවුරුදු දහසයේ දී විවාහ ජීවිතයට පත්වෙනවා.

අවුරුදු විසි නවයක් ගිහිගෙදර කල්ගෙවලා රාහුල කුමාරයන්ගේ උප්පත්තිය සිද්ධවන දවසේදී ම
“රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ”
රාහුලයෙක් උපන්නා බන්ධනයක් ඇති වුණා කියන සංවේගය ඇතිවෙනවා.ඊට පෙර උන්වහන්සේ සතර පෙර නිමිති දකිනවා. මහල්ලෙක්, ලෙඩෙක්, මළ මිනියක් සහ පසුව පැවිදි රුවක් දැකලා මේ ජීවිතය ගැන කල කිරෙනවා. එදවස රාත්රී නාට්යාංගනාවන්ගේ විකාර දැක කල කිරීමට පත්වෙනවා. තමන්වහන්සේ මධ්යම රාත්රියේ ඡන්න ඇමතියාත් කන්ථක අශ්වයාත් සමඟ මහාභිණිෂ්ක්රමණය කරනවා. එසේ මහාභිණිෂ්ක්රමණය කරමින් අනෝමා ගංතෙරදී කෙස්වැටිය කපලා මහණදම් පුරන්න අධිෂ්ඨාන කරනවා.
ඒ වේලාවේ තමයි ඝටීකාර කියන බ්රහ්මරාජයා විසින් අටපිරිකර පූජා කරන්නේ. කාටද? මහා බෝසතාණන් වහන්සේට. මේ අට පිරිකර ගැනත්, ඝටීකාර බ්රාහ්මණය ගැනත් වටිනා කරුණු දෙකක් මෙතන කියවෙනවා. එයත් අපි දැනගත යුතුමයි.
ඝටීකාර බ්රහ්මයා කියන්නේ කවුරුත් නෙමෙයි, අපේ බෝසතාණන් වහන්සේ පාරමී පූරණ කාලයේ කාශ්යප සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ කාලයේ ජෝතිපාල මානවකයා වශයෙන් උපන්නා. ඒ කාලයේ හිටපු හොඳම කල්යාණ මිත්රයන් තමයි මේ ඝටීකාර කියන බ්රාහ්මණ තුමා. ඝටීකාර කියල කියන්නේ අනාගාමී උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේගේ එකම, හොඳම යහළුවා තමයි ජෝතිපාල ඔහු කවදාවත් බුදුරජාණන් වහන්සේ දකින්ට. ඇසුරු කරන්නට කැමැත්තක් දැක්වූයේ නෑ. එතුමාගේ මඟ පෙන්වීම නිසාතමයි බුදු පියාණන් වහන්සේ දැක පැහැදී සසුන්ගත වෙන්නේ මේ ජෝතිපාල මානවකයා. නමුත් මේ ඝටීකාර තුමා අනාගාමීව සිටියත් මහණවෙන්න ලැබෙන්නෙ නෑ. හේතුව නම්, තමන්ගේ ඇස් නොපෙනෙන වයස්ගත අම්මා හිටියා ගෙදර. මේ අම්මාට ඇප උපස්ථාන කරන්න ඕන නිසා. නමුත් පසු කාලයක දී ඒ රහත් භාවය ලැබුවෙත් නෑ. එතනින් චුතවෙලා පඤ්චසුද්ධාවාස බ්රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබුවා. බ්රහ්ම ලෝකයේ උපත ලැබූ මේ ඝටීකාර කියන තමන්ගේ හොඳම යහළු මිත්රයා ඒ මහා බ්රහ්මයා තමයි මේ අටපිරිකර අරගෙන ආවේ.
මේ අටපිරිකර කොහෙන් ද ලැබුණෙ කියලත් අප බලන්න ඕනේ. මේ ලෝකය විනාශ වෙලා, මේ ලෝකය සකස්වෙනවා. මේ ලෝකය සකස්වෙන ගමනේ දී මුලින් ම මහා විශාල වර්ෂාවක් වහිනවා. මේ වර්ෂාවෙන් ක්රම ක්රමයෙන් සම්පූර්ණයෙන් ම ජලයෙන් පිරී ඉතිරී යනවා. එසේ ජලයෙන් පිරී ඉතිරී ගියාට පස්සේ මුලින් ම පස් පිඬක් මතුවෙන්ට පටන් ගන්නවා. මේ පස් පිඬ මතුවෙන්න මත්තෙන් එතන හට ගන්නවා නෙළුම් පඳුරක්. මේ නෙළුම් පඳුරේ පහළ වෙනවා නෙළුම් මල්. මේ නෙළුම් මල්වලට අනුව තමයි අටපිරිකර පහළ වන්නේ. ඉතින් පංචසුද්ධාවාසයේ සිටින බ්රහ්මයන් මේ ගැන අවධානයෙන් ඉන්නවා. ඒ පහළවෙන නෙළුම් පඳුරේ නෙළුම් කැකුළු කීයක් තියෙනවාද? එක නෙළුම් කැකුළක් නම් ඒ උතුමෝ හිතනවා මේ කාලයේ පහළවෙන්නෙ එක බුදුකෙනෙක් විතරයි. නෙළුම් දෙකක් නම් බුදුවරු දෙනමක් විතරයි. නෙළුම් තුනක් නම් බුදුවරු තුන්නමක්, නෙළුම් මල් හතරක් නම් බුදුවරු හතර නමක්, නෙළුම් මල් පහක් නම් බුදුවරු පස් නමක්. ඉතින් ඒ එක එක නෙළුම් මලට ආවේණිකව අට පිරිකර පහළ වෙනවා. ඉතින් මේ පහළවෙන අටපිරිකර සියල්ලක් මේ පංචශුද්ධාවාස බ්රහ්ම ලෝකවලට රැගෙන ගිහින් එහේ තියාගෙන ඒ සුදුසු කාලයේ දී මහාභිනිෂ්ක්රමණය කළාට පස්සේ ඒ සුදුසු කාලයේ දී ඒ බෝසතාණන් වහන්සේලාට පිළිගන්වනවා. 🙏එක බුදුකෙනෙක් පහළ වෙනවා නම් එක කල්පයක් අප හඳුන්වන්නේ සාර කල්පය කියලා. 🌹බුදුවරු දෙනමක් පහළ වෙනවා නම් ඒ කල්පය අප හඳුන්වන්නේ මණ්ඩ කල්පය කියලා. 🌹බුදුවරු තුන්නමක් පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වන්නේ වර කල්පය කියලා. 🌹බුදුවරු හතර නමක් පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වන්නේ සාරමණ්ඩ කල්පය කියලා. 🌹බුදුවරු පස් නමක් පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වන්නේ භද්ර කල්පය කියලා.
ඉතින් අප ඉන්නේ මහා භද්ර කල්පයේ. මීට පෙර කකුසඳ, කෝනාගමන, කාශ්යප කියන බුදු පියාණන් වහන්සේලා තුන්නමක් පහළ වෙලා පිරිනිවන් පෑවා. ඒ ශාසන අතුරුදහන් වුණා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පවත්නා කල්පයයි. මතු අනාගතයේ දී මෛත්රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේට අටපිරිකර ලැබුණේ අන්න ඒ ක්රමයට තමයි. ඔය ක්රමයට තමයි සෑම බෝසතාණන් වහන්සේ නමකට ම මහාභිනිෂ්ක්රමණය වේලාවේ අෂ්ඨපරිස්කාර ලැබෙන්නෙ.
ඉතින් බෝසතාණන් වහන්සේ අනුපිය අඹ වනයේ ටික දවසක් කල්ගෙවලා මේ පාත්තරයත් අරගෙන රජගහනුවරට පිණ්ඩපාතයේ වඩිනවා. උන්වහන්සේගේ දේහ සම්පත්තිය රනින් කළ පිළිමයක් හා සමානයි. දිළිසෙන ඉතාමත් ම සුපිරිසුදු දේහ සම්පත්තිය දකින දකින මිනිස්සු පුදුමයට පත්වෙලා හිතනවා, මේ දිව්ය ලෝකයේ දෙවි කෙනෙක් වෙන්න ඇති කියා. හිත හිතා කල්පනා කරනවා. ඒ වෙලාවේ දී මේ පණිවුඩය යනවා. කාටද? බිම්බිසාර මහා රජ්ජුරුවන්ට. බිම්බිසාර මහ රජ්ජුරුවොත් දැන් මේ පිණ්ඩපාතයේ වඩින පුදුමාකාර රූප ඇති ශාන්ත දාන්ත පැවතුම් ඇති මේ උතුමන් වහන්සේ පිටුපස්සේ යනවා. එසේ යන විට උන්වහන්සේ පිණ්ඩපාතය අරගෙන ගිහිල්ලා පාණ්ඩව පර්වත පාමුල ආහාර කෘත්ය අවසන් වෙන කොට බිම්බිසාර රජ්ජුරුවෝ අහනවා. ඔබ වහන්සේ කවුද?’ කියලා. ඉතින් විස්තර කියනවා මම මෙහෙම කෙනෙක්. මගේ නම සිද්ධාර්ථ, මම මේ බුදු බව පතාගෙන යන ගමනක්. පරම සත්ය හොයාගෙන යන ගමනක් කියලා කියනවා. ඔබ වහන්සේ වැනි පින්වන්ත කෙනෙක් ඇයි මෙහෙම යන්නෙ. එන්න මගේ රාජධානිය බෙදාගෙන පාලනය කරමු කියා. ඒ වෙලාවේ කියන්නේ මමත්, කිඹුල්වත් නුවර සුදොවුන් රජුන්ගේ පුතෙක්. රාජ්ය ඔටුන්න හිමිකාරයෙක්, නමුත් මම මේ සියල්ල අතහැර ආවේ. මේ සත්ය හොයාගෙන බුදු බව පතාගෙනයි කියලා. ඒ ආරාධනාව ප්රතික්ෂේප කළාට පස්සේ බිම්බිසාර රජ්ජුරුවෝ ආරාධනා කළා. “උතුමන් වහන්ස, ඔබ වහන්සේ යම් දවසක ද බුදුවන්නේ, එසේ බුද්ධත්වයට පත්වී මුලින් ම මගේ රාජධානියට වඩින සේක්වා” යනුවෙන්.

- සමනලී පෙරේරා අමාදම් වැස්ස.

A day in the life

Friday, April 26, 2024

මිනිස්සු කියනවා.



එක්තරා ධීවර ගම්මානයක අවංක හිත හොඳ ගැහැණියක් ජීවත් වුණා.
ඇයගේ සැමියා බේබද්දෙක්.
ඇයගේ ගමෙන් ආපු අයගේ ඥාති සහෝදරයෙක් ටික දවසක් මේ ගෙදර නැවතිලා හිටියා.
ඥාති සහෝදරයා ඉන්න දවස් ටිකේ මේ කාන්තාව වෙනදට වඩා පිළිවෙලට රසට හොඳට කෑම ටික හැදුවා.
ඉතිං ඇයගේ බේබදු සැමියා අතහරි කැමැත්තෙන් ඒ කෑම කෑවා.එයාලගේ ළමයි දෙන්නත් ඒ කෑම කෑවේ හරි මේ සතුටින්.
ටික දවසකට පස්සේ ඥාති සහෝදරයා යන්න ගියා.කාන්තාව ආපහු පුරුදු විදිහට අර පිරිමැස්මෙන් කෑම හදන්න පටන් ගත්තා.
එක දවසක් හොඳටම බීලා ආපු සැමියා උයල තියෙන කෑම ගැන තෘප්තිමත් නොවී ඇයට බනින්න පටන් ගත්තා.
"අරූ ඉන්න දවස්වල නම් උඹ රසට ඉව්වා.ඔව් ඉතිං බඳින්න ඉස්සර කාලේ ඉඳන් ඌ උඹේ පෙම්වතා කියල මම දන්නවා. ඌ ඉන්නකම් දිව්යලෝක රහට ඉව්වා.අපරාදේ උඹ ඌත්එක්කම ගියේ නැත්තේ. මම දන්නවා ඕක මේ ගේ ඇතුලේ ඉන්න දවස්වල උඹ නටපු නාඩගම්"
ඇයගේ සැමියා එහෙම කියලා කෑ ගැහුවා.අහල පහල ගෙවල්වල මිනිස්සු මේ කතාව අහගෙන හිටියා. බේබදු සැමියාට නම් පහුවදා උදේ වෙති ඔය කිව්ව කිසි දෙයක් මතක තිබුණෙ නෑ.හැබැයි අහල පහල ගෙවල් වල අය හිටියේ හොඳ සිහියෙන් හින්දා ඒගොල්ලන්ට මේක අමතක වුණේ නෑ.
අහවල් ගෑනිගෙ මිනිහා මෙහෙම කතාවක් කිව්වයි කියලා කතාව ගම්මානෙ ප්රසිද්ධ වුණා.සමහර අය ඇවිල්ල කාන්තාව එක්ක ඒ කතාව කිව්වා.
"ඔයාගේ ඥාති සහෝදරයා ගෙදර ඉන්න කාලේ එයත් එක්ක සම්බන්ධයක් තිබිලා මිනිහගේ අතටම අහු උනා කියලා ගමේ අය කතා වෙනවා"
කාන්තාවට හරිම කණගාටුවක් ඇතිවුණා.ටිකෙන් ටික එයාට ගෙදරින් එළියට යන්න බෑ කියලා හිතෙන්න පටන් ගත්තා.
"අරයත් මේ කතාව දන්නව ඇති. මෙයත් මේ කතාව දන්නව ඇති. මිනිස්සු මාත් එක්ක හොඳට කතා කරලා මම එතනින් ගියාට පස්සේ ඒ ගැන කතා වෙනවා ඇති.කිසිම වරදක් නොකළ මං ගැන මිනිස්සු ඒ ඒ වගේ වැරදි අදහසක ඉන්න එක මම කරපු මොන පවක් හින්දා සිද්ධ උන දෙයක්ද දන්නේ නෑ"
ඔය වගේ හිත හිත දවස් ගෙවනකොට කාන්තාවට කෑම රුචියක් නැති වෙලා ගියා.එයා කෙට්ටු වුණා.සතියකට දවසක් දෙකක් මාළු පොළට ගියත් වෙනද වගේ එයාට කෑ ගහලා මාළු ටික විකුණගන්න බැරි වුණා. එයා හැම වෙලාවෙම හිටියේ එයත් එක්ක කතා කරන හැමෝම අර කතාව දන්නව ඇති කියලා සැකෙන්. ඔහොම යනකොට කාන්තාවට ගෙදර වැඩත් අත පසු වෙන්න පටන් ගත්තා.
මේ කාන්තාවගේ ක්රියාශීලී ගතිය අඩුවෙලා ගිහින් එයා මන්දගාමී උනාම ගෙදර වැඩ පළත් දරුවන්ගේ වැඩපළත් අතපසු වුණා. ඊට සමගාමීව හුඟක් දක්ෂ ශිෂ්යයෙක් උනා මේ කාන්තාවගේ ලොකු පුතාගේ අධ්යාපන කටයුතුත් අඩාල වුණා. ලොකු ළමයා හරි වෙලාවට අධ්යාපන ශාලාවට යන්නේ නෑ.ගෙදර වැඩ කරගෙන යන්නේ නෑ. ශිෂ්යත් ඕලාරික වෙලා වගේ හිටියා.අධ්යාපනශාලාවේ ගුරුවරයා බොහොම බුද්ධිමත් කෙනෙක්.දක්ෂ කෙනෙක්.ඒ වගේම මේ ධීවර ගම්මානයේ මිනිස්සු වැඩිපුරම සලකපු මිනිහෙක් හිටියනම් ඒ තමයි මේ ගුරුවරයා. මේ ගුරුවරයා හරහා තමයි ධීවර ගම්මානය ළමයි ඉගෙන ගත්තේ.ඒ වගේම ගමට අලුත් ව්යාපාරික අවස්ථා ආවෙත් මේ ගුරුවරයා හරහා.ඉතින් ගුරුවරයත් එක්ක හොඳින් ඉන්න තමයි කාටත් ඕන වුණේ.
ගුරුවරයා මේ ශිෂ්යයාගෙන් ඔහුගේ ඕලාරික මට හේතුව අහපුවහම එයා අර කතාව ගුරුවරයාත් එක්ක කිව්වා.ඒ කියන්නේ එක දවසක් එයාගේ තාත්තා බීමතින් ඇවිල්ලා එයාගේ අම්මට වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් තිබ්බයි කියලා කිව්ව කතාවක් මුළු ගමේම පැතිරිලා ගිහිල්ලා මිනිස්සු දැන් ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා.මිනිස්සු ඒ ගැන කතා වෙන එක ගැන හිතලම අම්මා මානසික අව පීඩනයට ලක්වෙලා කියන එක.
"ගුරුවරයා ටිකක් කල්පනා කරලා ශිෂ්යයාට කිව්වා හොඳයි පුතා උඹ හෙට ඉස්කෝලෙ එන්න එපා උඹ අම්මත් එක්ක මාළු පොළට පලයං.මම එතෙන්ට එනවා උඹගෙ අම්මව හම්බවෙන්න,මම ඔය ප්රශ්නෙ විසඳලා දෙන්නම්" කියලා.
ඇත්තටම ශිෂ්යයා පහුවදා අම්මත් එක්ක මාළු පොළට ගියා.ටික වෙලාවක් යනකොට සෙනඟ පිරිලා තියෙන වෙලාවක් බලලා ගුරුවරයාත් මාළු පොළට ගියා.ගුරුවරයා වටපිටාව හොඳට බලමින් අර කාන්තාව ඉන්න තැන හොයාගෙන ගියා.ඒ අතරේ මහලු පොළේ හිටපු හුඟක් දෙනෙක් ගුරුවරයාට නොමිලේ මාළු තෑගි දෙන්න ඉදිරිපත් වුණා.ඒත් ගුරුවරයා ඒ එක තෑගක්වත් බාරගත්තේ නෑ. ගුරුවරයා ගිහිල්ලා කාන්තාව ළඟ නැවතුණා.
"මට මේ එළු මස් එකෙන් රාත්තල් පහක් දෙන්න" තලපත් මාළු පෙන්නපු ගුරුවරයා කිව්වා. ගුරුවරයාට වැරදීමක් වෙලා කියලා හිතපු කාන්තාව "හොඳයි ගුරුතුමනි මේ අලුත්ම තලපත් මාළු කියලා කිව්වා.
"තලපත් නෑ නෑ මට ඕන ඒ එලු මස් වලින් රත්තල් පහක්"
"අනේ ගුරුතුමනි මේ එළු මස් නෙමෙයි මේ තලපත් මාලු"
"තලපත් මාළු.උඹට පිස්සු හැදී ගැනෙනවද මම දන්නෙ නැද්ද එළු මස් මොනවද තලපත් මාළු මොනවද කියලා මේ එලුමස්"
කාන්තාව පුදුම වෙලා බලාගෙන හිටියා ගුරුවරයට පිස්සු හැදිලාවත්ද?
"ගුරුතුමනි මේ මාලු පොළ මේකේ කොහෙද එළු මස් ඇත්තටම මේ තලපත් මාළු"
"මොන පිස්සුද මේ එළු මස්"
ගුරුවරයයි කාන්තාවයි වාද කරන්න පටන් ගත්තා. තවමත් යටහත් පහත් වුණත් කාන්තාව ස්ථිරව කියනවා මේ එළු මස් නෙමෙයි තලපත් මාළු කියලා. ටිකක් වෙලා මේ දිහා බලාගෙන හිටපු කාන්තාවගේ ලොකු පුතා අම්මට කිව්වා "අම්මේ ඉතිං ඕක තලපත් වුනත් එළුමස් උනත් මොකද .ගුරුවරයා සල්ලි දීලානේ අරගෙන යන්නේ ඕක දෙන්නකෝ" කියලා.
ඒත් කාන්තාව ඒකට කැමති වුණේ නෑ.ටික වෙලාවක් යනකොට ළඟ හිටපු මාළු වෙළෙන්දෝ ඔක්කොම මේ වටේට එකතු වුණා.ගුරුවරයා ස්ථීරවම කියනවා මේ එළු මස් කියලා.කාන්තාව ස්ථිරවම කියනවා මේ තලපත් මාළු කියලා.ටික වෙලාවක් යනකොට වටේට හිටපු ඔක්කොමත් කියන්න පටන් ගත්තා මේ එළු මස් තමයි කියලා.මේ වගේ වාදයක් විවාදයක් යන වෙලාවක ගන්නවනම් ගන්න ඕන වැඩිපුර වාසිදායක පැත්තනෙ.ගුරුවරයා තරහ කරගෙන බෑ.
"ඔව් ඔව්.මේ.එලු මස්.උඹට මොනවා වෙලාද උඹ එළු මස් අඳුරන්නේ නැද්ද?මේ ගුරුවරයාට ඔන්න ඔය එළුමස් ටික දීලා දාපන්"
"උඹලට පිස්සුද මේ මාළු පොළ.මේ තලපත් මාළු.මම උපන්දා ඉඳන් අඳුරනවා මේ තලපත් මාළු කියලා.හැබෑටම උඹලා ඔක්කෝටම පිස්සු හැදිලද?"
දැන් මුළු මාළු වෙළඳපොළම කියනවා ඒ එළු මස් කියලා.හැබැයි මේ කාන්තාව විතරක් තවමත් කියනවා මේ තලපත් මාළු කියලා.ගුරුවරයා ටික වෙලාවක් නිහඬව හිටියා.
" උඹ ටිකක් හිතපං..මේ තියෙන්නේ එළු මස් නෙමෙයි තලපත් මාළු කියලා මෙතන ඉන්න ඔක්කොම හොඳටම දන්නවා. හැබැයි තමන්ගේ වාසිය වෙනුවෙන් මාව අමනාප කරගන්න උන් එකෙක්වත් කැමති නෑ.මම අමනාප වුනොත් උන්ට ලැබෙන වාසි හුඟක් නැතුව යනවා.ඉතිං මේ තලපත් මාළු නෙවෙයි එළුමස් කියලා මම කියපු බොරුව ඇත්ත කියලා ඔප්පු කරන්න මුන් මාත් එක්ක එකතුවෙලා උඹට විරුද්ධව කෑගහනවා.මේ ජාතියේ මිනිස්සු උඹ ගැන කියන කතා ගැනද උඹ කනගාටු වෙන්නේ? මුන් උන්ගෙ වාසියට ඕන බොරුවක් ඇත්ත කරන ජාතියේ මිනිස්සු.උඹ කැමතිනම් තවත් කාලයක් මුං ඔබ ගැන කියන බොරුවලට දුක් වෙවී හිටපන්"
ඊට පස්සේ කාන්තාව අර බොරු කතාව ගැන මිනිස්සු මොනවා කතා වෙනවද කියලා හිතන්න ගියේ නෑ. මිනිස්සු කියන්නේ උන්ගේ වාසියට ඕන බොරුවක් ඇත්ත කරලා කතා කියන ජාතියක්. ඒක හින්දා ඒගොල්ලෝ ඔයා ගැන කියන බොරු කතා ගැන වද වෙන්න යන්න ඕන නෑ

සුජාතා මැණිකේ ඉහළගෙදර


A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon