Tuesday, April 14, 2015

සුබ නවවසරක් වේවා !.




මීදුම,  මීදුම  අමතක කර ගිහින්.වෙනදා සතියකට වරක් වත් මොනවා  හෝ  අදහසක්   පල කරන මීදුම දැන් දැන් උදාසීන වෙලා. අපි කාලෙකින් හමුවුනාම අහනවා ,  කොහොමද ? වාසේ දේසේ කියලා. “ඔන්න ඔහේ ඉන්නවා “ කාගෙනුත් ලැබෙන උත්තරය.
මීදුමටත් දෙන්න තියෙන උත්තරය “ඔන්න ඔහේ ඉන්නවා “ කියලා.
හෙට අළුත් අවුරුද්ද ලබනවා. සූර්යා මේෂ රාශියේ ඉදන් රාශියෙන් රාශියට ගමන් කරලා මීන රාශයට ඇවිත් යලිත් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම   මුල් කර ගෙන  ඇති කරගත් නැකැත් අනුව අළුත් අවුරුද්දකට මුල පුරනවා.රටේ සිංහල බෞද්ධ කියන කොටස එකම වෙලාවකට වැඩ නතර කරලා එකම වෙලාවකට ලිප ගිණි මොළවලා ආහාර අනුභව කරලා නැවත එකම වෙලාවකට වැඩ පටන් අරන් ගණු දෙනු කරලා අවුරුද්ද සැමරීමත් අපුරු සංකල්පයක්.
මේ සිරිත් විරිත් දැන් ටිකින් ටික අභාවයට යනවා. නොයෙක් අදහස් උදහස් ඔළුවලට කාන්දු වෙන කොට අපේ පැරැන්නේ සිට පැවත ගෙන එන සම්ප්‍රධායන් අභියෝගයට ලක්වෙනවා. විහිළුවට පත්වෙනවා.
කාලෙන් කාලෙට හැදින්වීමත් වෙනස් වෙනවා. සිංහල අවුරුද්ද - සිංහල දෙමළ අවුරුද්ද - සිංහල හිණ්දු අවුරුද්ද  ඔය වගේ වෙලා අද වෙන කොට මේ හැදින්වීමත්  වර්ගවාදී හැදින්වීමක් කියලා වියතුන් සහ එවැනිම දේශපාලකයෝ ප්‍රකාශ කරනවා. අපිත් ඒවට අවධානය යොමු කරන්න එපාය.එයාලා දන්න කියන මිනිස්සු නේ.  අවධානය යොමු කරලා මේ නාස්තිකාර අවුරුදු සැමරීම අත්හිටවන්න එපාය. මොකද?.  කෘෂිකාර්මික ආර්ථික ජීවිතයෙන් අපි දැන් මාරුවෙලා ඉන්නේ. දැන් පවතින  ආර්ථික රටාව තුල සිංහල අළුත් අවුරුද්දක් තියෙන්න බැහැනේ.  මාසේ පඩි දවසට විතරක්නේ අවුරුදු දවස වගේ වෙන්නේ .
පහුවෙනිදා ඉදන් ආයෙත් කොඩේ ගහන ආර්ථිකයක උත්සව කියන දේවල් කරදර හිරිහැර වෙනවා. බක පණ්ඩිත මතවාදීන් මේවට ගැලපෙන මතවාදත් දියකරපුවම අතීතයේ සිට පැවත එන සිරිත් විරිත් සංස්කෘතික ගුණාංග නටබුන් බවට පත්වෙනවා.
සිංහල අවුරුද්ද සමරන අපි සිංහල සංස්‌කෘතියේ හරය තම අධ්‍යාත්මය තුළ ඇති බව රටට පෙන්න සලස්වනවා. අපේ රට අද වන විට  සංස්‌කෘතිය යන සංකල්ප නිසා දෙපැත්තට වෙලා. මෝඩ දේශපාලන - ඥයෝත් ඊට ගැලපෙන එන්.ජී.ඕ නඩත් මේ බෙදීම තර කරනවා . ඒ උන්ගේ වාසියට.   කවර ජාතියකට වුවද අනන්‍ය වූ සංස්‌කෘතියක්‌ තිබෙනව. ඒ අනන්‍යවු සංස්කෘතිය රැකගෙන අපි එකම ජාතියක් හැටියට සහජීවනයෙන් ඉන්න ඕනි කියන මතවාදය තහවුරුකරන්න  බඩ පමනක් හිතන පිරිස උනන්දු වෙන්නේ නැහැ.


අපේ කාලයේ අළුත් අවුරුද්ද    දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව වැනි බෞද්ධ සංකල්ප වටා ගෙතිලා තිබුනා.පරණ අවුරුද්දත් අළුත් අවුරුද්ද ලබන කාලයත් අතර ඇති සංක්‍රන්ති සමය පුණ්‍ය කාලය ලෙස වෙන් කරල තිබුනා. පුන්‍ය කාලය තුල අපි පන්සලට එක් රොක්වුනා. අලුත් අවුරුදු ඇරඹෙන්නේ ලිප ගිණි මොලවා අහාර පිසීමෙන් අනතුරුව ආහාර අනුබවය සහ ගණුදෙනු සදහා කාලය වෙන් වුනා.  තම දෙමව්පිය නෑයින්ට, අසල්වාසී හිතවතුන් අතර   ආහාර, වස්‌ත්‍ර, මුදල් හෝ වෙනත් ප්‍රදාන කිරීම සිදුවුනා . මේ සිරිත් විරිත් දානයක් කියලා මීදුම හිතනවා. අවුරුද්දක් පුරා ඇතිවුන විරසකකම් දුරලා පරණ  අසල්වාසීන් නෑ හිතමිතුරන් අතර යලිත් සුපුරුදු  ජීවිතය ගොඩනගා ගන්න සියල්ල එක්ව  සතුටු සිනා  ආදර ඇමතුම් හුවමාරු කර ගන්නවා.  මෙයින්  ප්‍රිය වචනය අර්ථ ගැන්වෙනවා. ගමේ වැඩිහිටියන් සංවිධානය කරනු ලබන හිසතෙල් ගල්වීමේ චාරිත්‍රයට ගමම එක් තැනකට එක්වෙනවා.කිසිු බේදයකින් තොරව එකම පියසකදී හිසතෙල් ගෑවෙනවා. කාටත් සමව සැලකීම සමානත්මතාව  මෙහිදී දකින්නට පුළුවන්.  මේ සියල්ල ගොනුවීමෙන් යහපත් ලෙස හැසිරීම අර්ථ චර්යාව නිර්මාණය වෙනවා.
අද මේ සිරිත් විරිත් දකින්නට නැහැ. ඒ සිරිත් විරිත් විකෘති වෙලා ගම -ගෙදරට තනිවෙලා.නිලය, බලය, වංශය, කුලය, ජාතිය යන මානයන්ගෙන් උදම්වු  සමාජයක් ඇතිවෙලා.ඒ සමාජය තුල උද්දච්චකම රජ වෙලා !.
සමාජයක අන්තර් සබඳතා වර්ධනයට ඉවහල් වුන සිංහල අවුරුද්ද සමරන්න වර්තමාන සංස්කෘතික නිරයෙන් ගොඩ වෙන්නට හැකිවේවායි පතන ගමන් ඔබ සැමට ප්‍රීතිමත් නව වසරක් වේවායි මීදුම ප්‍රාර්ථනා කරනවා !.






notes of imaginary

Thursday, March 05, 2015

මොකක්ද ? සීමාව .( මත්පැන් )


මෙවර අයවැයෙන් මධ්‍යසාර  ( අරක්කු බීර ) යන පාන වර්ග මිළ සෘජුවම ඉහල දැමීමක් කලේ නැහැ. එහෙත් මධ්‍යසාර නිෂ්පාදන සමාගම් සහ අළවි සැල් සදහා අතිරේක බදු මුදල් පැටවීමක් සිදුකලා. මේ නිසා නිෂ්පාදන වියදම ඉහල යාමත් සමග මිළ වැඩීවීමක් බලාපොරොත්තු විය හැකි මුත් බදු අදාල ආයාතන විසින් දරා ගත යුතු බැවින් මෙතෙක් වෙනදා මෙන් මෙදා පාරිභොගිකයා ට හිරිහැරයක් වී නොමැති  බවයි දක්නට ලැබෙන්නේ.බීර වැනි නිෂ්පාදන වල කුඩා ඇසුරුම්වල මිල රුපියල් දහයකින් මෑතදී ඉහල ගියා නිෂ්පාදන සමාගගම් බදු මුල් පියවා ගැනීමට පියවර ගන්නවා වගේම රට බීමහල් හැරෙන්නට ඇති රෙස්ටුරන්ට් බලපත්‍රලාභින් තම සේවාදායිකයින්ගේ සාක්කුවට බැස ඇති අවස්ථා දක්නට ලැබෙනවා.
මත්පැන් පරිභෝජනය අධෛර්යමත් කරන අරමුණට වඩා බහුතර නිෂ්පාදකයන්  සහ අළවිකරුවන් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල කර ගත්  දේශපාලන ප්‍රාහාරයක් ලෙසයි මේ බදු මුදල් වැඩි කිරීම විග්‍රහ වන්නේ.

1992 වර්ෂයේදී සැර මත්පැන් ( අරක්කු නිෂ්පාදකයෝ හත්දෙනෙක් වු අතර 2015 වන විට මේ පිරිස විසි දෙනෙක් දක්වා ඉහල ගොස් තිබෙනවා . මත්පැන් අලවි බලපත්‍රලාභීන්ගේ ප්‍රමාණය මේ වනවිට 3332 ක් දක්වා වර්ධණය  ඇති බවද සදහන් වෙනවා. අපි කවුරුත් දන්නා පරිදි මෙම සුපිරි බලපත්‍රයන් ලබා ගැණීමට සුපිරි බලවෙතෙකුම  විය යුතුය. 1992- -  2015 කාලයේ ද  වැඩිවු  බලපත්‍රලාභින් දහතුන්දෙනාම මේ  කාලයන් අතර  පැවති රජයන්ගේ සුපිරි හිතවතුන්. මේ පිරිසට රිදවන්න වර්තමාන මුදල් අමාත්‍යවරයාට සුපිරිම අදහසක් ඇතිවුවා විය හැකිය.මේ බිල්ලට අසු පසුගිය රජයේ අමත්‍යවරුනුත් ඉන්නවා.

මත්පැන් පිලිබදව මහාචාර්ය සෙනරත් පරනවිතානයන්ගේ අහසක් වන්නේ  12 වන සියවසේ විසු පරාක්‍රම බාහු රජතුමාගේ පාලන සමයේ “ අරක් “නම් දේශයකින් ලංකාවට මුහුදු මාර්ගයෙන් මධ්‍යසාර ගෙන්වු බවයි. එකලත් මධ්‍යසාර වෙළදාම රජය සතු ව්‍යාපාරයක් බවයි ඉන් හැගෙන්නේ.මාලදිවයින වැනි රටවල මත්පැන් අළවිය සහ පරිභෝජනය තහනම් කර තිබුනත් අපේ රටේ එවැනි තහංචියක් නැහැ.අපේ රටේ මත්පැන් වාර්ෂික අයවැය පරතෙරය විශාල ප්‍රතිශතයකින් පියවා දමන බදු ආදායම් මාර්ගයක්. ඒක පුද්ගල මත්පැන් භාවිතය අතින් අප  සිටින්නේ හතරවෙනි ස්ථානයේය. අපිට ඉහලින්  චෙක් ජනරජයත් , ප්‍රංශය සහ රුසියාව සිටී. අපේ එක් පුද්ගල මධ්‍යසාර භාවිතය ලීටර් 9.39 ක් බව සුරා බදු කොමසාරිස් වාර්තාව පෙන්වා දෙයි. මෙයට බලපත්‍ර නොලත් බදු වැටට උඩින් වෙළද පොළට එන මත්පැන් සහ අසම්මත නිෂ්පාදිත මත්පැන්ද එක් කල විට ඒක පුද්ගල භාවිතය ලීටර් විස්සක් පමණ විය හැකිවේ.

 මත්පැන් නිෂ්පාදනය සහ අලවිය පාලනය කරනු ලබන්නේ සුරා බදු දෙපාර්තමේන්තුව මගිනි. පොලිසියට අනුරුප නිලතලවලින් හෙබි නිලධාරීන් පිරිසක් සහ සුරා බදු ස්ථාන ජාලයක් මෙම දෙපාර්තමේන්තුව සතුවේ. මෙම නිළදාරීන් විසින් බලපත්‍ර ලාභීන් නියමිත නිෂ්පාදන අළවිකරන්නේද , නිෂ්පාදනය කරන්නේද , ඔවුන් නියමිත පරිදි බදු ගෙවීමට කටයුතු කරන්නේදයි විලණණය කිරීමට බලයලත් නිළධාරීන් පිරිසක්වේ. ඔවුන්ට අනවසර නිෂ්පාදනකරුවන් මැඩලීමේ වගකීම සහ බලය තිබේ.මේ දෙපාර්තමේන්තුව පිළිබදව රජයේ අවධානය නොමැතිවීමෙන් බිහිවී ඇති අරාජික ස්වභාවය පිලිකුල් සහගතවේ.

මට නිරීක්‍ෂණය කරගත හැක්කේ පෙරට වඩා ( හැත්තෑවේ දශකයට)  අද තරුණ පරපුර මත්පැන් භාවිතයට යොමුවී ඇති බවයි.ශ්‍රී ලංකාවේ දෙබිඩි මත්පැන් ප්‍රතිපත්තිය මත්පැන් අළවිය ප්‍රචලිත කරන අතරම “මතට තිත“ කියනා ප්‍රතිපත්තියක් ප්‍රචාරය කරයි. පෙරද සදහන් කල පරිදි රජය බිලියන හැත්තෑවක් පමණ් වාර්ෂික ආදායමක් මත්පැන් වලින් උපයා ගනී. මෙය දළ දේශීය නිෂ්පාදන ආදායමෙන් 1% පමණ ආදායමකි. මෙම කුට්ටිය නැති කර ගැණීමට කුමන රජයක් වුවද කැමති වන්නේ නැති බව පසුගිය වසර හැට හතක් තිස්සේ කියවන අයවැය තුලින් නිරීක්‍ෂනයවේ.


ආසියතිකයන් බොහොමයක් කියවන කෞටිල්‍ය සහ චණක්‍ය මත්පැන් බොන්නා සහ මස් කන්නා සලකන ලද්දේ පහත් චර්යා රටා දරන්නන් ලෙසය.ඔවුන්ගේ නිර්දේශයන් තුල මත්පැන් රාජ්‍ය පාලන ව්‍යාපාරයක් වු අතර ප්‍රසිද්ධ ස්ථාන වල මත්පැන් පානය  තහනම් විය. අපේ රාජ්‍ය පාලකයන් මේ නම් ඉහලතැන් ලා ගරු කරන අතර පාසල් සහ ආගමික ස්ථාන වලට මීටර් 500ක් ඈතින් මත්පැන්එලක් ස්ථාපනය කිරීමට සුදුසු බව පමනක් පවසා සැනසී සිටින්නේය.මධ්‍යසාර පිළිබදව විවිධ කතා ඇති අතර ඉන් බිදක් මේ සටහනතුල ඇති බව සිහිපත් කරමින් අදට නතර වන්නේය.

notes of imaginary

Thursday, February 26, 2015

ප්‍රේමය මම දුටිමි.


මා පෙර දා කල වියමන කියවු බොහෝ දෙනා ජීවිතය කළකිරුනාදෝ යයි මගෙන් විමසන්නට විනි. සිදුහත් කුමරුන් තරුන වියේදී ම සතර පෙර නිමිති දැක සසර කලකිරී ගිහි ගෙය ගිණි ගෙයක් ලෙස දැක්කානම්  මහළුවිය එලිපත්තේ සිටින  මට  සසර පෙර නිමිති දකින විට සසරම කල නොකිරේද ? යන්න    විමසීමට සිත්විනි.
ඇයි ඔබට  ආදරේ  ගැන ලියන්න බැරිද ? තවත් කෙනෙක්ගේ ප්‍රශ්නයක්.
පුළුවන් නේන්නම් ............... මම සිතන්නට විනි.
කලක අම්මට තාත්තට  පාසලට ............................අධ්‍යාපනයට , රැකියාවට....ආදරය කල ත් අපේ ජීවිතය කාලය විශ්ලේෂණය කරන විට තරුන කාලය ඉක්ම යත්ම මුදල් දේපලවලට  ආදරය මාරු කල බව  කාටවත් සිහිපත් නොවේ. හැම දෙනාම  තමන්ටම ආදරය කල  බව සෑම ආදර බැදීමක් කෙළවරවි   ආපසු හැරී බලන විට  අවසාන විග්‍රයේදී  විෂ්ලේෂණය නොවන්නේ ද ?.

වර්තතමානයේ පොත් කියවන්නන් දුලබ වුවත් අපි අපේ තරුණ කාලයේ පොත් ගුල්ලන්වී සිටියෙමු. අපේ විවේකය නව කථාපොතක්  ,කෙටි කථා පොතක්  කියවා ගෙවා දමන්නට පුරුදුවී සිටියෙමු. අපේ ලෝකයට සමකාලීන පෙම්වතුන් ලෙස දම්මි -  සුගත් ලා පිවිසියේ ඒ පොත් තුලිනි. ( නව පරපුර ගොළු හදවතේ මේ චරිත හදුනන්නේ නැත ). පාසල් වියේ අපේ පරපුර ඒ චරිත අනුකරණය කර මින් ජය ගත්තෝද පරාජයවුවෝද වුහ.පරාජය වුවෝ වැටුන තැනින් යලිත්  නැගිට ජයගත්තෝද වුහ.

මේ සියල්ලෝම තමන්ටම ආදරය කළ අය බව කාලය ඉක්මයන විට තේරුම් ගත් බව මට  නම් විශ්වාශය.

ඉරට මුවාවෙන් ඉදගෙන හිස පීරනවා
සදට මුවාවෙන් ඉදගෙන  සළු පලදිනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මූණ බලනවා
වළාකුලෙන් අහස්තලෙන් බිමට බහිනවා

පායන තරු ඇස් ඇරලා  බලාසිටිනවා
පායන තරු ඇස් ඇරලා  බලාසිටිනවා
පීදෙන මල් පෙති විදහා මුකුළු කරනවා
සුළංරොදින් ඇදී ඇවිත් ඇගේ වෙළනවා
ගහකොළ සෙළවෙන  තාලෙට රහස් කියනවා.

මේඝ මැදින් විදුලිය මෙන් නටා දිවෙනවා
මේඝ මැදින් විදුලිය මෙන් නටා දිවෙනවා
සීතල පොද වරුෂාවෙන්  සුසුම් සලනවා
ඇළ දොල ගං ඇද හැලිලා ගිමන් නිවනවා
මගේ හදට සදා සතුට ඔබෙන් ලැබෙනවා.

ඉරට මුවාවෙන් ඉදගෙන හිස පීරනවා
සදට මුවාවෙන්ඉදගෙන  සළු පලදිනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මූණ බලනවා
වළාකුලෙන් අහස්තලෙන් බිමට බහිනවා

අමරදේවයන් ගයන මේ ගීතයේ පදවැල මහගම සේකරයන්ගේ විය යුතුය.

ප්‍රේමය ආදරය  මෙවන් සැහැල්ලුවක් වන්නට නම් ආදරය කරන ප්‍රෙමකරන පාර්ශවයන් ගේ කැපකිරීම් අතිවිශාලවිය යුතු බව සැහැල්ලුවෙන් ජීවිතය ගෙවා ලන ඇත්තන්ගේ අත්දෑකීම බව මම දනිමි. 

notes of imaginary

Saturday, February 21, 2015

මා සසලයි.


කාලෙකට පස්සේ ලියන්න හිතුවේ.

වෙනස් වන ජීවිතය නොයෙක් වියවුල් ඇතිකරනවා. වයසත් එක්ක.  හිටපු  රූස්ස ගස් හිටපු හැටියේ කඩා වැටෙන්න වගේ මගේ සගයෝ හිටපු හැටියේ  කඩා වැටෙනවා. එහෙම වෙලාවට මාත් කම්පා වෙන්නේ ගහක් කඩා වැටෙන කොට පරිසරය තුල ඇතිවන මහා කම්පනයත් කැළඹිමටත් සමාන වෙමින්.
ස්වභාව ධර්මයට අපි අවනත වෙන්න ඕනී. ස්වභාව ධර්මයට එරෙහිව අපිට උඩුගම් බලා පීනා  යන්න බැහැ.
මගේ අත් පොත ධම්ම පදය. ධම්ම පදයේ චිත්ත වග්ගයේ සදහන් වෙනවා

“වාරිජොච ථලෙ ඛිත්තෝ
ඔකමොකත උඛිභතො
පරිඵන්‍දතිදං චිත්තං
මාරධෙය්‍යං පභාතවෙ “
කියලා.
මට තේරෙන විදියට
-  අපේ සිත දියේ වසන මාළු වෙක් වගෙයි . මාළුවා දියෙන් ගොඩට ගත්තම තමන්ගේ ජීවිතය ජීවිතයෙන් අහිමිවන වේදනාවට හැම අතින්ම සැලෙනවා. හැම සත්වයාම මරණයට බයයි.
අපි ජීවිතයට වගේම මරණයටත්  බිය වෙන්නේ ඇයි ?.අපි මේ සංසාර චක්‍රය අත්හැර සංසාරයෙන් නික්ම යායුතුයි වගේ අරුතක්   මේ ගාථාවෙන් කියවෙන්නේ .

ජීවිතය අත්හරින වයසට  පත්වෙන කොට  වගකීම් වලින් නිදහස් වෙලා ඉන්න  මම වගේ කෙනෙක් තවත් ජීවිතය ගැන කම්පා වෙන්නේ මොනවටද ?.. මාළුවා ගොඩට ගත්තම දගලනවා වගේ තමන්ගේ සිත දගලන්නේ නැතිව නිසොල්මන්ව ජීවිතය හැර යන්න උපෙක්‍ෂා  සහගතවීමයි වැදගත් කියලා මම හිතනවා
මට පහුගිය දවසක මුණ ගැහුන සොහොයුරියක කීවේ අපි දෙන්නම එක දවසකම මියගියා නම් හොදයි  කියලා. ඈ මින් වසර දෙකකට පමණ මියගිය  පිය සැමියා ගැන තවමත් තැවෙනවා. තම දූ දරුවන් අතර ජීවිතය ගෙවුවත් ඈ ඉන්නේ සැමියා නැති මහත් පාළුවකින්. ඈ ගැන කම්පාවුන මගේ සිත අවදි කලේ අපි දෙන්නට මොනවා වගේ වෙයිද ?. කියන ආත්මාර්ථකාමි හැගීමකින්.
කොයිතරම් පිරිසක් අපි තනිකම නැතිකරන්න උත්සහා කලත් අපිට අපි නැතිවුනාම ඇති වන පාළුව නැතිකරන්න බැරිවෙයි කියලා මට හිතෙනවා.

අපිට ඇතිවන මේ වගේ කම්පනයන් තුලනය කරගන්න මීට දශක දෙක තුනකට කලින් නම් ගමේ පන්සල තිබුනා. අද පන්සල වානිජමය මධ්‍යස්ථානයක්  වෙලා. හාමුදුරුවෝ අප සිත් පහන් කරන්නට පෙර හාමුදුරුවන්ගේ සිත පහන් කරගන්නා අරමුණින් ගිහියන් තලා පෙලනවා.

මොනවද ? අද දවල්ට කන්න ඕන. බිරින්දෑගේ ප්‍රශ්නයට බොහොම විට මගේ  උත්තරය වෙන්නේ  පිණ්ඩපාතේ  වඩින හාමුදුරුකෙනෙකුට ලැබෙන දානේ වේල වගේ ඕන දෙයක් කියලා.
අපේ පන්සල්වල හාමුදුරුවන් අද දන් සීට්ටුවත් එක්ක වලදන්නාවු අහාරපානවල සීට්ටුවත් menu  එවනවා.
පසුගිය දවසක නොරට වාසී මගේ සහෝදරයෙක් ගම්බිම් ඇවිත් මාත් සමග ගමේ  පන්සලට ගියාම හාමුදුරුවන්ට මතක් වුනේ එයාගේ තොරතුරු අහන්න නෙමෙයි. හාමුදුරුවන්ගේ අඩුපාඩු කියලා ආධාරයක් ඉල්ලන්න. සහෝදරයා පන්සලෙන් පිටත් වෙලා ආපහු ආවේ කලකිරීමෙන්. පහන් - සලක් විය යුතු පන්සලට අද යන්න බැහැ.
 අපේ කම්පනයන් අපිම විද  ගතයුතු තැනට පත්වෙලා. උපදේශණයට පහසුම තැනවු ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඒ තත්වයට පත්වෙලා නැහැ. එතුමන්ලාට වෙනත් අරමුණු තියෙනවා.


සසලවු සිතිවිලි විසින් ගොණු කල මේ කෙටි වියමන අවසන් කරනවා. අපි බලමු හෙටත් වියමනක් දකින්න පුළුවන්  වෙයිද කියලා.



notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon