Wednesday, May 14, 2014

මම කම්පා වෙමි !.


අද වෙසක් පුන් පොහෝ දිනයයි. බුදුරජානන් වහන්සේගේ උපත, බුද්ධත්‍වයට පත්වීම, සහ පිරිනිවන් පෑම සිහිපත් කර බෞද්ධයෝ වන අපි  - අපේ පූජණියවු චින්තකයානන් ගුරුවරයානන් සිහිපත් කරන දිනය අදයි.වෙසක් සද  සිසිලස බෙදමින් මෝදු වන විටම බක් මාසයේ  කලබලකාරී අහස නිහඩ වෙයි. සාමකාමිවෙයි . ගහ කොල නලවන මද සුලගක් අපේ ගත  නිවා දමයි. වෙසක් සද අපේ සිත පහන් කරයි. මේ අසිරිය මැද  බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කර  අප සිත් උන් වහන්සේ වෙත බැති සිතින් නමස්කාර කරයි.

බුදුරජනන් වහන්සේ ජීවිතය විවරනය කරයි . මම දෙනෙත පියාගත් වනම ජීවිතය සිහිපත් කරමි.
 “ සබ්බේ සංඛාරා අනිච්චාති 
යදා පඤ්ඤාය ඵස්සතී
අථ නිබ්බින්දතී දුක්ඛේ
ඒසමග්ගෝ විසුද්ධියා “
සියළු සංස්කාරයෝ අනිත්‍යයය
ලොව පවතින සෑම දෙයක්ම වෙනස් වීමේ දහමට අනුව වැනසෙන බවත්  - ධර්මය සදාකාලික බවත් පහදා දෙයි
සබ්බේ ධම්මා අනත්ථාතී
යදා පඤ්ඤාය ඵස්සතී
අථ නිබ්බින්දතී දුක්ඛේ
ඒසමග්ගෝ විසුද්ධියා

තවදුරටත් බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින්, සුවඳින්, පහනෙන් පමණක් නොවන බව සිහිපත් කරයි.  
තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බව සිහිපත් කරයි.

මගේ දෙනෙත තවමත් පියා ගෙනය.  පෙරහැරින් කුඩ කොඩි සේසත් වටිටි පුරා මල් සුවද පැන් සුවද කූරූ රැගත් දරු දැරියෝ පෙරටු කර ගත් වැඩිහිටියෝ පන්සල් බිම පුරා පිරෙයි. සුදුවතින් වසා ගත් සේලයන් නිසා වෙන් පන්සල් බිම හිම වලාකුලක් මෙනි.
පුදසුන මත පිදෙන මල් මොහොතින් මලාණික වෙයි. සුවද කූරූ දැවී අළු වි යයි.
“ සබ්බේ සංඛාරා අනිච්චාති ..................................................”
වැසී ගිය සුදු සේලයන්ගේ මනසින් එවැනි හඩක් නොනැගේ . මම සෙමින් මුමනමි
“සබ්බේ ධම්මා අනත්ථාතී .................................................. ඒ හඩ ඔවුනට නොඇසේ.

මම මනසින්ම අවාස ගෙට දිව යමි.  බුදුරජානන් වහන්සේ ආනන්ද හිමියන්ට මහා කාශ්‍යප හිමියන්ට අවසන් වරට දුන් උපදෙස සිහිපත් කරනට .

අනේ  ! අවාස ගෙය හිස්ව ඇති බව දකිමි.

සිංච  භික්‍ඛු ඉමං නාච - සිත්තා තෙ ලහුමෙස්සති
ජෙත්වා රාග ච දොසංච - තතෝ නිබ්බානමෙහිසි.

මහනෙනි,
මේ ශරීර නැවේ පිරි තිබෙන මිථ්‍යා විතර්ක නමැති ජලය ඉසලන්න.
එසේ ඉසීමෙන් නැව සැහැල්ලු වී ඔබ  නිවන් පුරට යන ගමන ලෙහෙසිවේ.
එහෙයින් ඔබගේ නැව බැද නවතා
රාග ද්වේෂ නැමති බැමිද කඩා දමා
නිවන් පුරට යන්න.
-       -   ධම්ම පදය.


අපේ හාමුදුරුවෝ අවාස ගෙයින් නික්ම ගොසිනි. උන්වහන්සේ නැව දියෙන් පුරවා ගෙන ආපසු ආවාස ගෙට නොවවිඩිනා අරමුනින් ඈතට ඈතට යන අයුරු  පියා ගත් අඩවන් දෑසට  කාන්දුවන වෙසක්  පුන් පෝදා සද එලියෙන්  මම දකිමි.

මම කම්පා වෙමි!. 




notes of imaginary

Monday, May 12, 2014

අනේ අපේ රට !



මේ පල කරන්නේ මැයි 12 වෙනිදා (අද ) දිවයින කතුවැකියයි. දේශපාලකයින් යයි කියා ගන්නා අමන චරිතවල ඇති උද්දච්ච කම ගැන තවත් අව - ලස්සන කතාවක් මෙයින් කියවේ. මහජන නියෝජිතයින් විය යුත්තේ කවුරුන්ද යන්න අනාගතයේදී වත් මහජනතාව මෙන්ම නායක කාරකාදීන් සිතා බැලිය යුතුය.
ජාතික ලැයිස්තුව සකස් විය යුත්තේ පාර්ලිමේන්තුවට නොයෙන උගත් මෙන්ම බුද්ධිමත් පිරිසගෙන් විය යුතු අතර අද එය එසේ සිදුවන්නේ නැත. ඡණ්දයෙන් එන අපතයෝ මෙන් තවත් රැලක් පාර්ලිමේන්තුවට නොමිලයේ එන මාර්ගයක් වී ඇත්තේ ජාතික ලැයිස්තුවයි. අනේ අපේ රට !


කොතරම් වයසට ගියද කොටළුවා අශ්වයකු වන්නේ නැත

......
කොතරම් නීචද යත් ලෝකය කොතරම් නරකද යත් මේ දිනවල හැම මළඉලව්වක්‌ම සිදුවන්නේ පොලිසියේ අවාසියටය. ගුටි කන්නේත් පොලිසියය. මැරුම් කන්නේත් පොලිසියය. කූඩුවෙහි ලගින්නේත් පොලිසියය. රණ්‌ඩු බේරන්නට යන්නෙත් පොලිසියය. අන්තිමේදී බේරන ලද රණ්‌ඩුවේදී අගතියට පත් පාර්ශ්වය ගසන පෙත්සම්වලින් මානව හිමිකම් කොමිසම් ඉදිරියට යමින් - එමින් චාටර් වන්නේත් පොලිසියය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජික, පත්කළ මන්ත්‍රීවරියකගේ ආරක්‍ෂාවට ගොස්‌ ඩුබායි ගිය ඇතැම් ගෘහ සේවිකාවකවත් නොලබන පහත් වධ බන්ධනවලට ලක්‌ව සිටින පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ගැන සෙනසුරාදා (10 දා) "දිවයින" මුල් පුවතින් හෙළි කර ඇත. මන්ත්‍රීතුමියගේ හරක්‌ නාවන්නේත් මේ පොලිස්‌ නිලධාරීන්ය. ඇගේ මිදුල උදළු ගාන්නේත්, කොස්‌ කඩන්නේත් පොල් අහුලන්නේත්, මල් පාත්ති සුද්ද කරන්නේත්, කුඹුරු හාන්නේත් ඔවුහුය. කෑම උයන්නේත්, වළන් සෝදන්නේත් ඔවුහුය. (කෑම ඉවීමට වළන් සේදීමද සම්බන්ධ බැවින් මේ දෙකම එක පැකේජයක්‌ යටතේ එක කාරණයක්‌ බව පොලිස්‌ රාළහාමිලා දෙදෙනා මතක තබා ගත යුතුය. එසේම මල් පාත්ති සුද්ධ කිරීම පොල් ඇහිඳීම, මිදුල උදළු ගෑම, කුඹුරු හෑම යන හතරම "උද්‍යාන සේවා" යන තනි පැකේජයට අයත්ය.) අපි මේ මන්ත්‍රීතුමිය ගැන දනිමු. ඇය මෙතරම් පිස්‌සු කේස්‌ එකක්‌ යෑයි නිකමටවත් නොසිතුවෙමු. උත් 'තුංග' 'රණ' ශූරියක සේ මුව "කමල" අයා ඇය කවි කියනු අසා ඇත්තෙමු. ඇය මුළු ජීවිතයම වැය කළේ ශ්‍රී. ල. නි. ප. යට දර දිය ඇදීමට බවට ආරංචියක්‌ තිබේ. ආණ්‌ඩුව ඇය ලිස්‌ට්‌ එකෙන් පාර්ලිමේන්තුවට පත්කර යවන්නට ඇත්තේ චිරාත් කාලයක්‌ පුරා ඇය කළ මෙහෙවරට වන්දි වශයෙන් විය යුතුය. ඇය පාර්ලිමේන්තුවට යෑවූ ශ්‍රී ල.නි.ප. නායකයන් විසින් සිහිපත් කරනු ලැබිය යුතු වැදගත් කාරණයක්‌ තිබේ. එනම් කොතරම් වයස ගියද කොටළුවා කවදාවත් අශ්වයකු වන්නේ නැති බවය. පැටියා කාලයේදී අශ්ව පැටවකුගේ පෙනුමට සමාන වුවද කොටළුවා ලොකු මහත් වූ පසු නිතර පෙන්වන්නේ කොටළු හැසිරීම්ය.

එක අතකට පොලිසිය යොදා වුව කුඹුරු හෑම ඔවුන් නිකරුනේ සිටිනවාට වඩා පලදායක බව මන්ත්‍රීතුමිය කල්පනා කරන්නට ඇත. යුද්aධය ඉවර වී ඇති නිසා මන්ත්‍රීතුමිය මැරීමට එන කිසිවෙක්‌ නැත. එබැවින් පොලිසියට පින් බත් ගිල්ලවන්නේ මන්දැයි ඇය කල්පනා කරන්නට ඇත. මේ තත්ත්වයට පත්වෙමින් සිටින මැති ඇමැති ආරක්‍ෂක පොලිස්‌ නිලධාරීන් විශාල සංඛ්‍යාවක්‌ රට පුරා සිටිති. මේ මැති ඇමැතිවරුන් මරන්නට මොකෙක්‌වත් නොඑති. එසේ ආවත් ඒ එල්.ටී.ටී.ඊ. ය නොව එම මැති ඇමැතිවරුන්ගෙන් 'පොලු' කා ඔවුන්ගේ ගැටවලට රැවටී ඔවුන් මරාගෙන මැරෙමැයි අධිෂ්ඨාන කරගත් ඡන්ද දායකයන්ය. ආණ්‌ඩුවේ ඇතැම් කසි කබල් ඇමැතියකුට පොලිසියේ රාළහාමිලා දහයක්‌ පහළොවක්‌ ආරක්‍ෂාව දෙති. ඇමැති යන යන තැන ඩිපෙන්ඩර් රියවල නැගී රටේ තෙල් පෙට්‍රල් කා දමමින් පස්‌සෙන් දුවති. ඇමැතිගේ හාමිනේට පොළේ යන්නේ ඔවුහුය. ඇමැතිගේ ළමයින් පාසලට ගෙන යන්නේත් ඔවුහුය. ඇමැති ගෙදරට අමුත්තන් ආ විට තේ අල්ලන්නෙත් ඔවුහුය. ඇමැතිගේ බල්ලා දොස්‌තර ළඟට ගෙන යන්නේත් ඔවුහුය. එයට නම් අප විරුද්ධ නැත. මන්ද සමහර ඇමැතියකුට වඩා ඔහුගේ බල්ලා හැම අතින්ම ශ්‍රේෂ්ඨය. ඒ සතාට කලගුණ මතක තිබේ. තමාට මෙහෙයක්‌ කළ හැම කෙනෙකු ගැනම වෙන් වෙන්ව මතක තබාගෙන නගුට වැනීමට බල්ලාට හැකිය. මෙතැනදී තමා නගුට තමාට නොවනන්නේ නගුටක්‌ නැති නිසා බව කියමින් ඇමැතිට හිත හදා ගත හැකිය. .....

notes of imaginary

Sunday, May 04, 2014

දෙසතියක සිති - වලි


සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද ගෙවිලා ගිහින් මැයි දිනය බ්‍රහස්පතින්දා තිබුනා. කියවන ඔබට හිතෙනවා ඇති මොකක්ද මේ දෙකේ තියෙන සම්බන්‍ධය කියලා. මම මේ දෙකම දැක්කේ අරමුණු වලින් වෙනස්ව ගමන් කරන උත්සව දෙකක් හැටියට.
සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද  අපේ සංස්කෘතිකාංගයනට එකතුවුනේ කෘෂිකාර්මික ජීවන රටාවේ අස්වනු ගෙට ගෙන ඊලග කන්නයට සුදානම් වෙන්න ගත්ත පුංචි විවේකයක් ලෙසටයි. මේ විරාමය එක්තරා විදියකට සංක්‍රාන්ති සමයක්.
අප්රේල් මාසේ පටන් ගන්න “බක්මහ වැස්සට පෙර අස්වනු නෙලා ගෙන ගෙට  ගෙන බක්මහ වැස්ස තුරල් වෙන වෙසක් මාසේ දක්වා ගොවිතැන් කටයුතු වලට විරාමයක් ලැබෙනවා. අතමිට සරුවී අටු කොටු පිරවුන මෙ වකවානුවට ජ්‍යොතිශ වැදගත් කමක් ඇති සිද්ධාන්ත කිහිපයත් එකතු කරගෙන අළුත් අවුරුද්ද කිසියම් රටාවකට පිලිවෙලක් ගන්නවා. පරණ අවුරුද්දේ කරගෙන ආ වැඩ රාජකාරි නැකතකට අනුව අත්හැර දාලා සූර්යා මීන රාශියෙන මේෂ රාශියට පැමිණියායින් පසු නැවතත් අක්හරින ලද වැඩ රාජකාරි ආරම්භ කරනවා.
අද අපේ රටේ කෟෂිකාර්මික ආර්ථික රටාවක් නැහැ. හාම්පුතුන්ට තම ශ්‍රමය  කඹුරා මාසේ අන්තිමට සොච්චමක් අතට ගන්න ආර්ථිකයකට හුරුවෙලා තියෙන්නේ. මේ සොච්චම මාසේ අන්තිමට නැත්නම් මාසේ දහවෙනිදාට ලබා ගන්න පිරිසකුත් ,  දවස ගෙවෙන හැන්දෑ යාමයට අතට කීයක් හරි මිට මෙලවෙන  විශාල පිරිසකුත්  සිටින රටට උරුම වෙලා තියෙන්නේ එදා වේල ආර්ථිකයක්.

ඉතින් කොහොමද අවුරුදු සිරිත් විරිත් රැකිලා තියෙන්නේ.  මේ ආර්ථික රටාව තුල මුදලක් එකවර ලැබෙන්නේ නැහැ. අතට සොච්චමද ගත් සැනින් වාෂ්ප වෙලා යනවා.
අද අවුරුදු සිරිත් විරිත් වල වැදගත් කම අඩු වෙලා.

වැටුප් ලබන හැම කෙනාටම වැටුප අතට ලැබෙන සතියක් දෙකකට ඉස්සෙල්ලාම නොනගතය ලබනවා. ආහාර අනුභවය අත්හරින්න සිද්ධ වෙනවා. ලිප ගිනි මෙලවිල්ල පස්සට තියලා හිත ගිණි මොලවගෙන ඉන්න සිද්ධ වෙනවා. සියළු ගණුදෙනු අත්හැරලා බකං නිලා ගෙන ඉන්න සිද්ධ වෙනවා. මේ සියළු සිරිත් ගෙවිලා අවුරුද්ද ලබන්නේ මාසේ පඩි ගත්ත දාට. එදාට ගණු දෙනු කරලා මුදලාලිගේ ණය බිලිපතේ සිට විදුලි ,ටෙලිපෝන ආදී නානාවිධ බිල්පත් ගෙවලා ගණුදෙනු අහවර කරලා සම්බලයක් මිශ්‍ර බතක් කාලා වැඩ අරඹන්න සිද්ධ වෙලා තියෙනවා. 
මාසේ ගෙවෙනවා හැරිලා බලන කොට ආයෙත් නොනගතේ ලබලා.........................
උත්සවශ්‍රියෙන් .අවුරුද්ද සමරන්න කීයෙන් කීදෙනාටද පුළුවන්.


මැයි දිනෙත් ඒ වගෙයි කණපිට හැරිලා.  

අතීතයේ රතු කොඩිය අරගෙන ධනේෂ්වර පන්තියේ සූරා කෑමට එරෙහිව පෙළපාලි ගිය කම්කරු පන්තිය  අද මැයි දිනයදා ධනේෂ්වර පන්තිය සිංහාසනයේ තියන්න පෙලපාලි යනවා. “ .........දැන් ඉතින් නැගිටියව්  කියාගෙන. නැගිටින්න කියන්නේ කම්කරු පන්තියටද නිර්ධණ පන්තියටද ? කියලා කියන පන්තියට තේරුමක් නැහැ.
ඒ අස්සේ මහ හයියෙන් අත් දෙක උස්සලා “කාගෙද? මේ බලවේගේ - ....................................... “කියලා අපෙන් අහනවා. අපිට මතක් වෙන්නේ පලකරන්න බැරි උත්තර. මේ පෙලපාලි වල යන අය කීයෙන් කීදෙනාද දන්නේ මැයි දිනය ආරම්භ වෙන්න මුල්වු හේතුව මොකක්ද කියලා.

තම වැඩමුරය පැය 8කට සීමාකරන්නැයි, ඉල්ලමින් 1886 මැයි මස 01වැනදා කම්කරුවෝ පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට එක්වුනා වැඩවර්ජනයේ තීරණාත්මක දිනය වුයේ, 1886 මැයි මස 03වැනිදාය.එදින සේව්‍ය මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩවර්ජනයට එල්ල කළ ප්‍රහාරයෙන් කම්කරුවෝ සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වුනා.ඊට විරෝධය පළ කරමින් යළිත් මැයි මස 4වැනදා කම්කරුවෝ පිරිසක් හේමාර්කට් චතුරශ්‍රයට එක් වුනා.එදින පොලිස් හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අතර එහිදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු මිය ගියා. මේ ගැටුම අවසන් වුනේ තවත් පොලිස් නිලධාරීන් 6දෙනෙකුට ජීවිත නැති කරමින් .

ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන නඩුවිභාගය අවසන් වුනේ ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් ද සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි කරමින් .

පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තීරණය  සැම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කරමින් ප්‍රකාශයට පත්වුනා

ඒ.ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැයි දිනය සමරනු ලැබුවේ, 1927 වසරේදී.
1933
වසරේදී කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වු පෙලපාලිය ගාලු මුවදොර පිටියෙන් අවසන් කර ලංකා ඉතිහාසයේ ප්‍රථම මැයි රැළිය පැවැත්වුවා.1956 වසරේ මැයි දින සැමරුමේදි මැයි 1 වැනිදා මෙරට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කලා..
සැමරිය යුත්තෝ අද නාමිකව ඉතිහාසයට එක්වෙලා. 

සමරන්නේ  පුම්බන්නේ බලයේ සිටින බලයට එන්න ඉන්න දේශපාලන ප්‍රතිරූප.අරගල කර හෝ ලබාගත යුත්තෝ බෙරිහන් දෙන්නේ දේශපාලනඥයින්ට බලය ලබා දෙන්න.
අද මැයි දිනයදාට දේශපාලනඥයෝ ගමනා ගමන පහසුකම් සලස්සලා අගනුවරට අරගෙන එන කම්කරුවන්ගේ නිර්ධණ පන්තිකයන්ගේ  අතට මත් වතුරවිදුරුවක් , බත් පතක් දීලා  එයාලගේ අතේ තිබුන රතු කොඩිය උදුරගන්නවා .උදුරාගෙන කම්කරුවන්ගේ නිර්ධණ පන්තිකයන්ගේ  කටට ප්‍රගස්ති ඔබලා විලංගු දාගෙන පෙලපාලිය ඉස්සරහින් ගිහින් ස්ටේජ් එකට නැගලා - පෙලපාලියේ තමුන් දක්කගෙන ආපු උදවියට දේශනා පවත්වනවා. 

ඒක අහගෙන ඉදලා අපේ ඇත්තෝ නිදිමරාගෙන ගම්බිම්වලට එනවා.

ඔන්න අද මැයිදිනය !.



notes of imaginary

Friday, May 02, 2014

තාමත් අපි සංසාරේ



අපේ බෞද්ධ ජනතාව  තරම් බණ අහන වෙනත් ආගමික ජනතාවක් ඉන්නවා කියලා මට හිතා ගන්න බැහැ. අපේ විද්‍යුත් මාධ්‍ය අපි නිදිකරවන්නෙත් අපි  අවදිකරන්නෙත් ආගමික වැඩ සටහන් වලින් ගමේ පන්සලේ හාමුදුරුවෝ පාන්දර පහට පටන් ගන්න ආගමික වැඩ සටහනෙන් අදාල නැතිවුනත් ගමම අවදි වෙන්න ඔනී.
ප්‍රවෘත්ති විශේෂාංග අහන බලන අපිට කොයිතරම් මිණිමැරුම් ,මංකොල්ලකෑම් ස්ත්‍රී දුෂණ වැන අපරාධ අහන්න ලැබෙනවද ?. ඉතින් මට හිතෙනවා මේ බණ කීමෙන් වෙහෙසිලා පලක් නැහැ. කියලා.
අද මේ වියමන කෙටුම්පත් කරන්නේ ගමේ පන්සලන් විසුරුවා හරින පිරිත් දේශනාව අහන ගමන්. කාලෙකට ඉස්සර ගෙවල් වල උදේ පාන්දර ක්‍රියාක්මක කරන ගුවන් විදුලි යන්ත්‍රය වහන්නේ නින්දට යනකොට. මේඔස්සේ තොරකෝංචියක් නැකිව ගලා ගෙන සිංදු ගෙවල් වල පාළුවට වගේ අහන්න ලැබෙනවා. දැන් දැන් එහෙම නෙමෙයි. උදේ පටන් නින්දට යන කම් බණ නාලිකාවකට යොමු වෙලා. අහනවද නැද්ද දන්නේ නැහැ ඒත්  ශ්‍රවණය කලත් නොකලත් ගෙදර ධර්ම මණ්ඩපයක් වෙලා. මේකත් අළුත් කලාවක් කියලා මට හිතෙනවා.
මේ පුර්විකාවට ලියවුනේ පුංචි රස කතාවක් කියන්න.
මාස කිහිපයකට ඉස්සර මගේ නැගණියක තම දියණියත් සමග සාප්පු ගිහිල්ලා. අම්මා දුවව මුණ ගැහෙන්නේ තම සේවා ස්ථානයේ සිට නගරයට ඇවිත්. අම්මත් සමග යන යන තැන දියණියට ධර්ම දේශණාවක් ඇහෙනවා. සාප්පුවක් සාප්පුවක් ගානේ එකම ස්වාමීන් වහන්සේ නමක් කරන ධර්ම දේශනාවමයි ඇහෙන්නේ. දුව හිතනවා හැමතැනම අද බණ දාලා. මොකක්ද මේ විශේෂත්‍වය කියන එක දුවට ගැටළුවක් ?.
සමහර සාප්පු වල නම් ඇතුල් වුනහම බණ ඇහුනේ නැහැ. සාප්පු සවාරිය එවර වෙලා වාහනේට නැග්ගහමත් අර බණ දේශනාව ආයෙත් ඇහෙනවා.
බලාපුවම අම්මා ගේ බෑග් එක ඇතුලේ තිබුන පුංචි රේඩියෝව මේ හපන් කම කරලා තියෙන්නේ.
තුන් තිස්පැයේම බණ අහන රටක ජීවත් වන අපි තාමත් සංසාරේ සැරිසරන්න අකුසල් රැස්කරමින් දවස ගෙවා දමන බවනම් හිතාගන්න පුළුවන්......... !.

notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon