ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2014-02-18

ශ්‍රී ලංකාවේ බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රණය






මේ දිනවල හාමුදුරුවරුන් පිරිසක් ගව මස් පරිභෝජනය වලක්වන්නට නිතී පනවන්න යයි බලකරවමින් උපවාසයක් උද්ඝෝෂණයක් කරන මාධ්‍ය වාර්තා දැකීමත් කියවීමත් නිසා  දිවයින වම් ඉවුරේ පලවු මෙම ලිපිය නැවත  පලකරන්න අදහස් කලෙමි.


කියවන්න වම් ඉවුරේ සාධාරනත්‍වය.



ශ්‍රී ලංකාවේ බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රණය 

වම් ඉවුර 

මේ රටේ භික්‍ෂූන් වහන්සේලා කවදත් දේශපාලනයේ නියෑලුණි. දේශපාලන රැස්‌වීම්වල භික්‍ෂූන් වහන්සේලා සිටීම හා ඇතැම් විට එම රැස්‌වීම් ඇමතීමත් අපට නුහුරු දර්ශනයක්‌ නොවේ. එමෙන්ම යම් දේශපාලන හේතුවක්‌ මත ගිහි පිරිස්‌ මහ පාරේ පෙළපාලි යන විට භික්‍ෂූන් වහන්සේලා ද එවැනි පෙළපාලිවල ගමන් කරනු අපි දැක ඇත්තෙමු. නමුත් මෑතක සිට එනම් පසුගිය අවුරුදු 2 ක පමණ කාලයක සිට අපට නිතරම දකින්නට ලැබී ඇති දර්ශනයක්‌ වන්නේ විවිධ හේතු කියමින් මහ පාරේ පෙළපාලි දක්‌වන භික්‍ෂූන් වහන්සේලා ගිහියන්ටත් වඩා අවිනීත ආකාරයට සටන් පාඨ කෑ ගැසීම, ගල් ගැසීම, පොලිසිය සමග ගැටීම, පොලිසියට පහර දීම, බැරියර් පෙරලීම හා දේපළ විනාශ කිරීමේ දර්ශනයි. ඇතැම් භික්‍ෂූන් වහන්සේලා වේදිකාවේ කතා කරන්නේ මොනම මැර දේශපාලනඥයකුවත් කතා නොකරන තරම් අසික්‌කිත විලාසයෙනි.

මේ සියල්ල අපි පසුගිය සතියේත් රූපවාහිනි නාලිකා ඔස්‌සේ දුටුවෙමු. ඒ අගමැති කාර්යාලය ඉදිරිපිට භික්‍ෂූන් කළ උද්ඝෝෂණයත්, හික්‌කඩුවේ ක්‍රිස්‌තියානි මූලධර්මවාදී යාඥා මධ්‍යස්‌ථානයට කළ පහරදීම යන සිද්ධීන්වලිනි.
මේ ප්‍රවනණතාව මුලින්ම ආරම්භ වූයේ මුස්‌ලිම්වරුන්ගේ හලාල් සහතිකය මුස්‌ලිම් නොවන අය පරිභෝජනය කරන භාණ්‌ඩවලටත් දීමට එරෙහිව ඇති වූ ව්‍යාපාරයක්‌ ලෙසටය. ඒ කාලයේදී බොහෝ මුස්‌ලිම් නොවන අය මෙය සාධාරණ අරගලයක්‌ ලෙස දුටුවේය. මුස්‌ලිම් නොවන අය මතත් හලාල් භාණ්‌ඩ පැටවීම අනවශ්‍ය ආගමික "ආක්‍රමණයක්‌" බව නොකිවමනාය..

හලාල් සහතිකයට එරෙහි ව්‍යාපාරයෙන් එක්‌ වරම ජනප්‍රිය වූ මේ භික්‍ෂු කණ්‌ඩායම ඊළඟට අතගැසුවේ මුස්‌ලිම් ව්‍යාපාරිකයන් විසින් සිංහල ව්‍යාපාර හිමින් සීරුවේ අල්ලා ගන්නා ප්‍රශ්නයටය. මේ අවස්‌ථාවේදීද නැවත වරක්‌ සිදුවූයේ මුස්‌ලිම් ව්‍යාපාරික ස්‌ථාන වටකිරීමත්, ගල් ගැසීමත්, මුස්‌ලිම් ව්‍යාපාරිකයන් බිය වැද්දීමත්, කලින් නොතිබුණු ජාතිවාදී බෙදීමක්‌ ඇති කිරීමත්ය. මේ අවස්‌ථාවේදී ඇතැම් අයට මේ ව්‍යාපාරය ගැන යම් කිසි සැකයක්‌ ඇති වූ බව කිව යුතුය. මුස්‌ලිම්වරුන් සිංහලයන්ගේ ව්‍යාපාර හීන් නූලෙන් අල්ලා ගනිමින් සිටියේ නම් එවැනි දේකට ගත යුතුව තිබූ පියවර වන්නේ දිවයිනේ සෑම පන්සලක්‌ම සංවිධානය කොට ඒ ඒ පළාත්වල නම් කරන ලද මුස්‌ලිම් ව්‍යාපාරික ස්‌ථානවලට නොයන මෙන් දිගින් දිගටම බෞද්ධ බැතිමතුන්ට කියා සිටීමයි. මෙවැනි දේකින් කිසිදු සද්දයක්‌ ඇති නොවන්නා සේම මුස්‌ලිම් හීන් නූල් කාරයන්ට සිංහල හීන් නූලෙන් ප්‍රතිචාර දක්‌වා අවශ්‍යව තිබූ කාරණය ඉටුකර ගත හැකිව තිබුණි.

නමුත් මුල සිටම පෙනෙන්නට තිබූ කාරණයක්‌ වූයේ පසුගිය අවුරුදු 2 ඇතුළත එක්‌වරම මතු වූ මේ භික්‍ෂු සංවිධානවලට අප්‍රසිද්ධියේ කරන කිසි දෙයකින් වැඩක්‌ නැති බවයි. හැම විටම අවධාරණය තිබුණේ මහ පාරේ සංදර්ශන පැවැත්වීම කෙරෙහිය.
මුස්‌ලිම් ව්‍යාපාර විරෝධී උද්ඝෝෂණ රට වටා යත්ම මේ භික්‍ෂූන් වහන්සේලාගේ සටන්කාමීත්වයද එන්න එන්නම වැඩි විය. ඒ කාලයේ සිටම කාගේත් අවධානය යොමු වූයේ මේ භික්‍ෂූන්ගේ හැසිරීම කෙරෙහි මිස ඔවුන් මේ අරගලය කරමින් සිටිනවා යෑයි කී කාරණා ගැන නොවේ. නොබෝ කලකින්ම මෙවැනි එක්‌ භික්‍ෂු සංවිධානයක්‌ තිබුණු තැන තවත් එවැනිම සංවිධාන බිහිවීමට පටන් ගත්තේය. එකා අනෙකා පරයමින් මහ පාරේ සංදර්ශන පැවැත්වීමට පටන් ගත්තේය.

මුස්‌ලිම් ව්‍යාපාරවලට එරෙහි සටනින් පසු ගවමස්‌ කෑමට එරෙහි ව්‍යාපාරයක්‌ පටන් ගන්නා ලදී. මේ භික්‍ෂු සංවිධාන තරගයට මස්‌කඩ වැටලීමත්, ඒවාට පහර දීමත් සිදුකළේය. පොලිසිය මොවුන්ට එරෙහි කිසිදු පියවරක්‌ නොගන්නා බව පැහැදිළි වූ විට මේ භික්‍ෂූන් වහන්සේලාගේ දඩබ්බරකම් තවත් වැඩි විය. පසුගිය සතියේ අගමැති කාර්යාලය ඉදිරිපිට සිදු වූ ආකාරයට දැන් මේ භික්‍ෂූන් පොලිසියටත් පහර දේ. පසුගිය අවුරුදු දෙක මුළුල්ලේ සිදු වූ මෙම සිද්ධීන් දෙස ආපසු හැරී බලන විට අපට කරුණු දෙකක්‌ පැහැදිළි වෙයි. මෙලෙස ප්‍රචණ්‌ඩකාරී ආකාරයට හැසිරෙන මේ භික්‍ෂු සංවිධානවල මූලික පරමාර්ථය වූයේ ප්‍රචණ්‌ඩකාරී සංදර්ශනයක්‌ පැවැත්වීම මිස ඔවුන් ඒ සඳහා යොදාගත් ඊනියා හේතුව විස¹ ගැනීම නොවේ. දෙවැනි කාරණය වන්නේ මොවුන් මේ ලෝකය අවසන් වීමට අත ළඟම තිබෙනවාක්‌ මෙන් මහපාරේ උද්ඝෝෂණය කරන්නේ කිසිසේත්ම ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්න මත නොවන බවයි. හලාල් සහතිකය වේවා, සිංහල ව්‍යාපාර හීන් නූලෙන් මුස්‌ලිම්වරුන් අල්ලා ගැනීම වේවා, ගවමස්‌ කෑම වේවා, ක්‍රිස්‌තියානි මූලධර්මවාදී යාඥ මධ්‍යස්‌ථාන සම්බන්ධ ප්‍රශ්නය වේවා මේ එකක්‌වත් සිංහල බෞද්ධයන්ට ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්න නොවේ. මේ සියල්ල කිසිදු ප්‍රචණ්‌ඩත්වයකින් තොරව ක්‍රමානුකූලව විස¹ගත හැකි ප්‍රශ්න වේ.

පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක්‌ මුළුල්ලේ මේ ප්‍රචණ්‌ඩකාරී භික්‍ෂු සංවිධාන එක ප්‍රශ්නයක සිට තවත් ප්‍රශ්නයකට යමින් ප්‍රචණ්‌ඩකාරී පෙළපාලි දක්‌වා භික්‍ෂූන් වහන්සේලාගේ ගරුත්වයත් බිංදුවට දමා මේ එක ප්‍රශ්නයක්‌වත් විස¹ ගැනීමට සැබෑ උත්සාහයක්‌ නොගන්නා බව කාට වුවත් පැහැදිළි වනු ඇත. ඔවුන් එදාට අවශ්‍ය සංදර්ශනය සඳහා යම් කිසි කාරණයක්‌ කියමින් මහපාරට බැස සතියකට පසු එම කාරණය අමතක කොට වෙනත් කාරණයක්‌ අල්ලාගෙන සංදර්ශන පවත්වති. ඔවුන් ඒ ගෙනහැර දක්‌වන එක කාරණයක්‌ වත් ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්න නොවේ. නමුත් ඔවුන් ප්‍රචණ්‌ඩත්වයේ යෙදෙන්නේ ලෝක විනාශය සිදුවීමට අත ළඟ වැනි ආකල්පයකිනි.

මේ රටේ පසුගිය වකවානුවේ සැබවින්ම ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්‌ තිබුණි. ඒ දෙමළ ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයයි. ඒ යුද්ධය දැන් ජයගෙන ඇත. දශක තුනකට වඩා පැවති මේ යුද්ධයේ එක්‌තරා සන්ධිස්‌ථානයකදී බොහෝ භික්‍ෂූන් වහන්සේලා සිංහල බෞද්ධයන්ගේ රට ජාතිය රැක ගැනීම සඳහා දේශපාලනයට පැමිණ ඇතැම් අය ජාතික හෙළ උරුමය හරහා පාර්ලිමේන්තුවටද ගියේය. නමුත් එකල බිහි වූ මේ දේශපාලන භික්‍ෂූන් වහන්සේලා මහ පාරේ සටන් පාඨ රැගෙන කෑගැසුවේ නැත. දේපළ විනාශ කළේ නැත. මාර්ග බාධක පෙරලුවේ නැත. පොලිසියට පහර දුන්නේ නැත. ගල් ගැසුවේ නැත. ඒ සියලු දෙනාම භික්‍ෂුවකගෙන් බලාපොරොත්තු වන සංවරය හැමදාමත් රැක ගත්තේය. ඒ කාලයේ සැබවින්ම ඕනෑම කෙනකුට වියරු වැටීමට හේතු තිබුණි.
1994 සිට 2005 දක්‌වා දශකයක කාලයක්‌ තුළ මේ රට පාලනය කළ දේශපාලනඥයන්ගේ  ඔළුවේ තිබුණේ ත්‍රස්‌තවාදියා ඉදිරිපිට වැඳ වැටී රට ජාතිය පාවා දීමේ මානසිකත්වයකි. හැදෙන වියරුවක්‌ සෑදිය යුත්තේ ඒ කාලයේදීය. ඒ යුගය දෙස ආපසු හැරී බලන විට ඇත්ත වශයෙන්ම සිතන මතන භික්‍ෂූන් වහන්සේලා වියරු නොවැටී සිටියේ කෙසේද යන්න මවිතයට කාරණයකි. නමුත් අපි ඒ කාලයේ කිසිම භික්‌ෂුවක්‌ ප්‍රසිද්ධියේ වියරුවෙන් මෙන් හැසිරෙනු නොදුටුවෙමු. එදා දේශපාලනයට පැමිණි භික්‌ෂූන් වහන්සේලාගෙන් බොහෝ දෙනකු අද දේශපාලනයෙන් ඉවත් වී තමන්ගේ වැඩකටයුතු කරගෙන සිටී. ඒ භික්‌ෂූන් වහන්සේලාගෙන් කිසිවෙක්‌ මේ ප්‍රචණ්‌ඩකාරී රැල්ල තුළ නැත.

අප දැන් දකින්නේ මීට අවුරුදු දෙකකට පමණ කලින් මේ රටේ කිසිවකු නොදැන සිටි භික්‌ෂූන් කීපනමක්‌ කරලියට පැමිණ සිටින ආකාරයයි. යුද්ධය පැවති කාලයේ මොවුන්ගේ නම් කිසිවකුවත් දන්නේ නැත. මොවුන් ප්‍රසිද්ධ වූයේ යුද්ධය අවසන් වූ පසු මහ පාරේ කරන ලද ප්‍රචණ්‌ඩ ක්‍රියා නිසාම පමණි. මහ පාරේ සංදර්ශන පැවැත්වීමට පෙර මේ එක භික්‌ෂුවක්‌වත් බණ දේශනා කිරීමෙන් හෝ සමාජ සේවය කිරීමෙන් රටේ ප්‍රසිද්ධව සිටි අය නොවේ. මොවුන් ප්‍රසිද්ධ වූයේ ද සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවා යෑයි කියමින් බලා සිටින අයකුට පිළිකුලක්‌ ඇතිවන ආකාරයේ විලාසයකින් ප්‍රසිද්ධ දේශන පැවැත්වීමෙන්, මහ පාරේ සටන් පාඨ කෑ ගැසීමෙන්, ගල් ගැසීමෙන්, බැරියර් පෙරළීම වැනි කාරණා වලිනි.

බෞද්ධ ජනයා මේ දර්ශන දෙස බලා සිටියේ ඉමහත් කලකිරීම මුසු මවිතයකින් බව පැහැදිලිය. මුස්‌ලිම් ව්‍යාපාරය වර්ජනය කිරීමට අද සිංහලයාගේ සහයෝගය නැත. හලාල් සහතිකය හෝ මස්‌ කඩ ගැන කිසිවකුත් සිතන්නේ නැත. පසුගිය සතියේ අගමැතිවරයාගේ කාර්යාලය අබියස සිදුවූ සිද්ධීන් නිසා ජනතා අනුකම්පාව ලැබී ඇත්තේ අගමැතිවරයාටය. මේ භික්‌ෂු සංවිධානය සෑම විටම කටයුතු කරන විලාසය නිසා අවධානය යන්නේ අදාළ කාරණයට නොව භික්‌ෂූන්ගේ හැසිරීම කෙරෙහිය. මේ ආකාරයට ප්‍රසිද්ධියේ හැසිරෙන්නේ ද භික්‌ෂූන් වහන්සේ පමණි. අනෙක්‌ සියලුම ආගම්වල පූජකවරුන් ප්‍රසිද්ධියේ තම ආගමේ ගරුත්වය රැකෙන ආකාරයට හැසිරෙයි. පසුගිය වකවානුවේ බෞද්ධ සැදැහැවතුන් දකින මේ අසික්‌කිත දර්ශන නිසා ඔවුන්ගේ ශ්‍රද්ධාව අන් කවරදාටත් වඩා කම්පනයකට පත් වී ඇති බව පැහැදිලිය.

මෙතන සැබවින්ම සිදුවන්නේ කුමක්‌ දැයි කල්පනා කර බැලීම වටී. ඕනෑම සංවිධානයකට පිරිසක්‌ එකතු කරගෙන ක්‍රියාකාරකමක යෙදීමට මුදල් අවශ්‍ය වේ. මේ ප්‍රසිද්ධියේ මැර ක්‍රියාවල යෙදෙන භික්‌ෂු සංවිධානවලට ඔවුන් සමග ගිහි පිරිසක්‌ ද එකතු කර ගැනීමට අසීරුතාවන් නැති බව පෙනේ. මේ සිංහල ජාතිය බේරා ගැනීමට ඉදිරියට පැමිණ සිටින තරුණයන් යෑයි ඇතැම් අය සිතනු ඇත. නමුත් දේශපාලන හා සමාජ සංවිධානය කිරීම් ගැන අත්දැකීම් ඇති අය දන්නා කාරණයක්‌ වන්නේ වියදම් කිරීමට මුදල් නොමැතිව පිරිසක්‌ රැස්‌ කිරීමට නොහැකි බවයි. තනිකර මතවාදයෙන්ම දුවන ජවිපෙ වැනි පක්‍ෂවලට පවා තමන්ගේ ක්‍රියාකාරීන් රැකබලා ගැනීමට වෙනමම ව්‍යාපාර හා ආදායම් මාර්ග ඇත. මෙහිදී එක්‌ ප්‍රශ්නයක්‌ වන්නේ මේ ප්‍රචණ්‌ඩත්වයේ යෙදෙන භික්‌ෂූන් වහන්සේලා මේ කටයුතු සඳහා මුදල් සොයාගන්නේ කෙසේද යන්නයි. මේ සියලුම ප්‍රචණ්‌ඩකාරී භික්‌ෂු සංවිධාන බිහි වූයේ භික්‌ෂූන් පිරිසක්‌ 2010 දී නෝර්වේ රාජ්‍යයට ගිය පසුවය. ඇමැති විමල් වීරවංශ මහතා පවසන ආකාරයට මේ නෝර්වේ වලින් ආපසු පැමිණි භික්‌ෂූන් එක්‌ වරම මහා මුස්‌ලිම් විරෝධී ව්‍යාපාරයක්‌ ආරම්භ කළේ ඉස්‌ලාමීය රටවල් ලංකාවට එරෙහිව පෙළගස්‌වා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට ඇති සහයෝගය අඩු කිරීමට ය යන්නයි.

වීරවංශ මහතාගේ මෙම කියමන මම ද සම්පූර්ණයෙන්ම පිළිගනිමි. මේ භික්‌ෂූන්ගේ හැසිරීමෙන් සිංහල බෞද්ධ ජනයා තිගැස්‌සී සිටින බව පැහැදිලිය. දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ පැවැත්ම සඳහා ඔවුන්ට උතුරු නැගෙනහිර ජනතාවගේ හොඳ හිත අවශ්‍ය වූයේ නැත. දෙමළ ත්‍රස්‌තවාදීන්ට අවශ්‍ය වූයේ දෙමළ ඩයස්‌පෝරාවේත් තමිල්නාඩුවේත් හා එක්‌තරා කලක ඉන්දියාවේත් සහයෝගය පමණි. ඒ ආකාරයටම දැන් මේ මතුවී තිබෙන ප්‍රචණ්‌ඩකාරී භික්‌ෂු සංවිධානවලට ලංකාවේ සිංහල බෞද්ධ ජනතාවගේ සහයෝගය හා හොඳ හිත අවශ්‍ය නැත. ඔවුන්ව මෙහෙයවන්නේ විදේශීය හස්‌තයකින් බව ඉතා පැහැදිලිය. ඇමරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ 1970 ගණන් වල සී.අයි.ඒ. ව්‍යාපාරය චිලී රටේ ගෙනගිය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ ගැන සැකසූ විමර්ශන වාර්තාව කියවා බැලුවොත් සතුරාව පිට සිට විනාශ කිරීමට වඩා ඇතුළේ සිට විනාශ කිරීම කවදත් බටහිර ක්‍රියාදාමය වූ බව අපට පෙනේ.

මොවුන්ගේ එක්‌ කොන්ත්‍රාත්තුවක්‌ වන්නේ මේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය බිඳ දමා රාජපක්‍ෂ ආණ්‌ඩුව විනාශ කිරීමය. ආණ්‌ඩුව ද මේ ගැන හොඳින් අවබෝධයෙන් සිටියත් ඔවුන් තනිකරම සිංහල බෞද්ධ ඡන්ද මත ර¹ පවතින නිසා මේ ප්‍රචණ්‌ඩකාරී සංවිධානවලට එරෙහිව ගතයුතු පියවර ගන්නේ නැත. එවැනි පියවරක්‌ ගැනීම යනු අන් කිසිවක්‌ නොව ගිහි ප්‍රචණ්‌ඩකාරීන්ට මෙන් මේ භික්‌ෂූන්ට ද කුලු පොලු, හමුදාව යෙදවීමයි. නමුත් එවැනි ක්‍රියාදාමයකින් ඇතිවන වීඩියෝ දර්ශන ගැන ආණ්‌ඩුව අකැමැත්තක්‌ දක්‌වනවා විය හැක. එමනිසා ආණ්‌ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගය වන්නේ ජනතාවටම එපා වී මොවුන්ව ප්‍රතික්‍ෂේප කරන තෙක්‌ බලා සිටීමය. එය එක්‌තරා දුරකට සාර්ථක වී ඇති බව පෙනේ. මේ භික්‌ෂු සංවිධාන කුමක්‌ කළත් ඊළඟ ජාතික ඡන්ද වටයේදීත් ජනතාව නැවතත් ඡන්දය දෙන්නේ මේ ආණ්‌ඩුවටමය. ඒ නිසා මෙතැන් සිට තව අවුරුදු 8 ක්‌ වත් මේ ආණ්‌ඩුව පවතිනු ඇත.

නමුත් ප්‍රශ්නය වන්නේ වසර 8 ක්‌ වත් ආණ්‌ඩුව පැවතුණත් මේ ප්‍රචණ්‌ඩකාරී භික්‌ෂූන්ගේ ක්‍රියාකාරකම් නිසා ඒ කාලය ඇතුළත මේ රටේ බුදුදහමට වන්නේ කුමක්‌ ද යන්නයි. දැනටම මේ රටේ දුප්පත් සිංහල බෞද්ධයන් විවිධ ලාභ ප්‍රයෝජන තකා ක්‍රිස්‌තියානි ආගමට හැරී ඇත. බෞද්ධ භික්‌ෂූන් මේ ආකාරයට හැසිරෙනු දුටු විට බෞද්ධ මධ්‍යම පන්තිය තුළ ඇතිවන කලකිරීම හේතුවෙන් ඔවුන්ද අන්‍යාගම් දෙස බැලීමේ ප්‍රවනතා ඉතා සීග්‍රයෙන් වැඩි වන බවට කිසිදු සැකයක්‌ නැත. තව අවුරුදු ගණනාවක්‌ ඉදිරියට මේ භික්‌ෂු ප්‍රචණ්‌ඩත්වය පැවතුනහොත් මේ රට ද ඉතා සීග්‍රයෙන් දකුණු කොරියාවට සිදුවූ ආකාරයට ක්‍රිස්‌තියානිකරණයකට ලක්‌වීම වැළැක්‌විය නොහැකි වනු ඇත.
ඒ පැත්තෙන් බැලූ විට අද මේ සිංහල බුදු දහම රකිනවා යෑයි කියමින් මහ පාරේ ප්‍රචණ්‌ඩත්වයේ යෙදෙන මේ භික්‌ෂු පිරිස්‌ බුද්ධරක්‌තලාට, සෝමාරාමලාටත් වඩා භයානක පිරිසකි. බුද්ධරක්‌ත හා සෝමරාම කළේ බණ්‌ඩාරනායක මහතාව මැරීම පමණි. නමුත් මේ ප්‍රචණ්‌ඩකාරී භික්‌ෂූන්ගේ අරමුණ වන්නේ මේ රටේ බුදු දහමම නැති කර දැමීමයි.



notes of imaginary

ආකාශ වස්තුවක් කඩා වැටේ.








notes of imaginary

2014-02-17

නාමයෝජනා...........





notes of imaginary

2014-02-16

රිදවන්න ලෑස්තිවෙන්න. - විපක්‍ෂ නායකතුමා.




notes of imaginary

2014-02-15

මොන ජොලිද ?.





notes of imaginary

2014-02-14

Love from your Valentine




වැලන්ටයින් දිනය ලංකාවේ වෙළදපලට ගෙනාවේ එක්තරා මාධයක්. මාස ගානක් කෑගහලා කරපු ප්‍රචාරය නිසා එක් අවුරුද්දක් අපේ කොල්ලෝ කෙල්ලන්ට වැලන්ටයින් උන්මාදයක් වැළදිලා තිබුනත් අවුරුදු හතරපහක් වෙන කොට ඒ පිස්සුව යන්තරමකින් සුවපත් වෙලා තියෙනවා.

ඇත්තෙන්ම වැලෙන්ටයින් දිනය වෙලෙන්දන් විසින් නිර්මාණය කර ගත් වෙළදාමක්. ලෝකය පුරා වැලන්ටයින් දිනය වෙනුවෙන් හුවමාරු වෙන මුදල ඩොලර් බිලියන ගණනක්. වැලන්ටයින් උණ ලෝක පරිමාණ බිස්නස් එකක්. 
1800 ගණන්වල මැසචූසෙටිස් ප්‍රදේශයේ හිටිය ඊස්තර් හොලන්ඩ්  කියන යුවතිය ගෙදරදි හැදුව වැලන්ටයින් කාඩ් වෙළෙඳපොළට එක් කලා. එදා සිට ව්‍යාප්ත වුන  වැලන්ටයින් කාඩ් ලෝකය පුරා බිලියන ගනනක් හුවමාරු වන්න පටන් ගත්තා. 

අද වන විට සන්නිවේදන ක්‍රමවේදයන් වෙනස් වෙලා නිසා අන්තර්ජාලය. ජංගම දුරකතනය ඔස්සේ හුවමාරු වෙන වැලන්ටයින් පණිවිඩ අසීමිතයි.
වැලන්ටයින් දිනය කියලා ගිරවු වගේ කියන සමහර උදවිය මොකක්ද මේ වැලන්ටයින් කියලා අහපුවම දෙන උත්තර හරියට ආදරවන්තයන්ගේ ප්‍රශ්න උත්තර වගෙයි. මේ වැලන්ටයින්, කෙනෙකුට රෝමියෝ. තවත් කෙනෙකුට ටයිටැනික් නැවේ ගිය කෙනෙක්.  
වැලන්ටයින් දිනය ජාත්‍යන්තරව පෙබරවාරි 14 වෙනිදා ලෙස ප්‍රචලිත වුවත් වැලන්ටයින් දිනය බ්‍රසීලය  සලකන්නේ ජුණි 12 වෙනිදා ලෙසටයි.
ආදරයේ හා විවාහයේ දෙවඟන ලෙස පුරාණ රෝම දේව කථාවල සදහන් වන්නේ ජූනා දෙවගන. මීට අමතරව දෙව්ලොව රැජින හැටියට සැලැකුණෙත් ජූනා දෙවඟනයි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවා.
මේ උත්සව සමයේදී තිබුණා තවත් අපූරු චාරිත්‍රයක්. රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දානවා. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා. හරියට ලොතරැයියක් අදිනවා වගේ. තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ තරුණයන් උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණු බොහෝ දෙනා නතර වුණේ ස්ථිර විවාහයෙන්. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි සඳහන් වෙන්නේ. 
දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ රාජ්‍ය පාලන කාලයේ එක්තරා ඝාතනයක් නිසා මේ සිරිත  වෙනස් වුනා. 
දෙවැනි ක්ලෝඩියස් මහජනතාව අප්‍රිය කළ අධිරාජයෙක්.  ක්ලෝඩියස්ට බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න.අවශ්‍යතාවයක් තිබුනා. ක්ලෝඩියස්ට තිබුන තදියමට  තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. මේකට හේතුව ලෙස ක්ලෝඩියස් හදුනා ගත්තේ  තරුණයන් තමන්ගේ බිරිඳට හා පවුලට තදින් ආදරය කරන පවුලට බැඳෙන තත්ත්වයකට පත්වෙලා සිටින  නිසා ඔවුන් හමුදාවට බැඳෙන්න කැමති නැහැ කියලයි.  ඔහු පැනෙව්වා නියෝගයක්. කසාද බැඳීම තහනම් කියලා ! .
එහෙත් වැලන්ටයින් පූජකතුමා නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව. එතුමා මේ මානව හිමිකම උල්ංඝණයට එරෙහිව 
පෙම්වතුන්ට අනුශාසනා කරමින් ඔවුන් විවාහ දිවියට  ඇතුලත් කිරීමට එතුමා කටයුතු කලා. ඒත් එතුමාගේ  මේ මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි. දැන් වගේ රාජ්‍ය විරෝධ කටයුතු වල නිරත වෙනවා කියලා වැලන්ටයින් පූජකතුමාට  හිරේ වැටෙන්න සිද්ධ වුනා. 
එතුමාගේ   ආගමික විශ්වාස අතහැර දාන්න බල කළා. ඒත් එතුමා අචලව හිටියා. එහෙම හිරේ විලංගුවේ වැටුනහමත් වීරයෙක් වෙන්න කෙටි මගක් පෑදෙන නිසා වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වුණේ් නිතැතින්මයි.
මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතාකරන්න. ප්‍රතිඵලය වුණේ දෙදෙනා අතර භක්තිමත් බැඳීමක් හට ගැනීමයි.
ක්ලෝඩියස්; වැලන්ටයින් තුමා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරලා එතුමා තම මතයට නම්මා ගන්න  උත්සහාකලා. නමුත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස්ව තමන්ගේ මතයට නම්මා ගන්න බැරිවුනා. ඉන්පසුව ක්ලෝඩියස් ශාරීරිකව හිංසනයට පත්කරලා වැලන්ටයින් පූජකතුමා දුර්වල කරලා නම්මා ගන්න බැලුවා. එයත් අසාර්ථකවුනා. 
අන්තිමේදී වැලන්ටයින් පූජකතුමාගේ හිස ගසා මරා දමන්න ක්ලෝඩියස් අණ කළා. ඒ නියෝගය අනුව වැලන්ටයින් පූජකතුමා ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා. ඝාතනය කෙරුණා
පෙබරවාරි 14 වැලන්ටයින් පූජකතුමාගේ දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි. 

මෙයින් පසුව ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන වැලන්ටයින් මුනිවරයාට ලැබුණා. මරණයෙන් පසු එතුමා ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුණා.
එතුමා බන්ධනාගතකර සිටි අවදියේ මුණ ගැසුන බන්ධනාගාර පාලකයාගේ දියණියට  තමා ඝාතනය කිරීමට පෙර ලියු ලිපිය අවසන් කලේ  ”Love from your Valentine”  කියායි. තවමත් ලෝකවාසී තරුන තරුණියන් එතුමාට ආදරේ කරනවා.
මටත් අද විශේෂ දවසක්. පෙබරවාරි 14 දා මගේ පියබද 62 වෙන උපන් දිනය සමරනවා !. මාත් විවාහයට වසර දෙකකට පමණ පෙර සිට ආදරවන්තයින්ගේ දිනය සමරන්නෙක් බවට පත්වුනා.




notes of imaginary

2014-02-13

වාමාංශික පෙරමුණේ නාමයෝජනා






 
වාමාංශික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත පිළිබඳව
කරුණු දැක්වීම සඳහා වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා 15දා ගම්පහ පොලිසියේ පෙනී සිටින්නට නියමිත ය. 



 



notes of imaginary

2014-02-12

එරියස් එකක් !.



 මේ පැත්තේ ඡණ්දයක් නැහැ. තිබුනන් රණිල් වික්‍රමසිංහ මහත්තයාගේ කතාවට මගේ ඡණ්දෙත් දෙනවා. එතුමාගේ අවාසනාව මම සබරගමුවේ. අපිට ඡණ්දයක් එන කාලේට මට මතක තිබුනොත්  එතුමාගේ වාසනාව.


notes of imaginary

2014-02-11

නොරොච්චෝලෙට යළි පණ දෙති .


 



නොරොච්චෝලෙට යළි පණ දෙති -දිවයින

ශිරාන් රණසිංහ

විසිපස්‌ වතාවටත් වැඩි වාර ගණනක්‌ අක්‍රීය වූ නොරොච්චෝල බලාගාරය චීන ඉංජිනේරුවන් විසින් මේ වන විට සක්‍රීය කර ඇති අතර එම බලාගාරය පරීක්‍ෂණ මට්‌ටමින් ධාවනය කර ඇතැයි ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවරු පැවසූහ.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පළමු අදියර යටතේ මෙගාවොට්‌ 300 ක්‌ ජාතික විදුලි පද්ධතියට එක්‌කර තිබූ අතර 2011 මාර්තු මස 22 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් එය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කෙරිණි.

මෙම ගල්අඟුරු බලාගාරය අදියර තුනක්‌ යටතේ ඉදිකරනු ලබන අතර පළමු අදියර යටතේ මෙගොවොට්‌ 300 ක්‌ ජාතික විදුලි පද්ධතියට එක්‌ කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 455 ක්‌ වැය කෙරිණි.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය විසිපස්‌ වතාවකට වැඩි වාර ගණනක්‌ අක්‍රිය වීමෙන් පසු ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම බලාගාරය ඉදිකළ සී. එම්. ඊ. සී. නමැති චීන සමාගමේ ඉංජිනේරුවන් මෙරටට ගෙන්වා බලාගාරය යළි සක්‍රීය කර ඇත.

කෙසේ වෙතත් දැනට පරීක්‍ෂණ මට්‌ටමින් ක්‍රියාත්මක ගල්අඟුරු බලාගාරය ඉදිරි දින කිහිපයේදී ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට ඉංජිනේරුවන් සැලසුම් කර තිබේ. මේ වන විට බලාගාරයේ දෙවන අදියර යටතේ මෙගොවොට්‌ 300 ක්‌ ජාතික පද්ධතියට එක්‌කිරීමට නියමිතව ඇති අතර පරීක්‍ෂණ මට්‌ටමින් බලාගාරය ක්‍රියාත්මක කර තිබියදී වේග වෑල්වයක හටගත් දොaෂයක්‌ නිසා මේ වන විට එය ගලවා අලුත්වැඩියා කරන බව ද ඉංජිනේරුවරයෙක්‌ "දිවයින" ට කියා සිටියේය.

නොරොච්චෝල බලාගාරයේ දෙවන අදියර ඉදිරි සති කිහිපයේදී ජාතික විදුලි පද්ධතියට එක්‌ කිරීමට නියමිත අතර තුන්වන අදියර නිම වූ පසු මෙම බලාගාරයෙන් මෙගොවොට්‌ 900 ක්‌ ජාතික විදුලි පද්ධතියට එක්‌ කිරීමට නියමිතය. මෙම බලාගාරය ඉදිකිරීම සඳහා යන සම්පූර්ණ වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.35 කි.

  

notes of imaginary