මිරිදිය ආඳා හා බැඳුණු අපේ ජන ජීවිතය
ආඳා ගැන අපේ රටේ කතා ගොඩයි! ඉතින් එයින් මන් අහල තියෙන රසවත් තොරතුරු ටිකක් කියන්න හිතුනා! මේ ඔක්කොම කියල තියෙන්නෙ ලංකාවෙ
මිරිදිය ජලාශවල ජීවත්වන ආඳන් ගැන!
' ආඳා වගේ ලිස්සල ගියා' ,
' ඕක මහ ගල් ඈඳා ' ,
' ආඳ මාලු ඉරට්ටෙන් කනව වගේ '
' ආඳා යවා තබා වල්පත ගත්තා සේ '
' බණ්ඩක්ක ගොඩේ ලිස්සන ආඳා වගේ'
' නයි මල්ලෙ ආඳා හොයනවා වගේ '
' ආඳා න්යාය '
ආඳා සම්බන්ධ නම් ගම් පවා තියෙනවා
' ආඳා උල්පත '
' ආඳා දොල '
' ආඳ කෙටූ ගල '
මොකාද මේ ආඳා? ලංකාවට ආවේණික සතෙක් ද? පිටරටකින් ආපු එකෙක්ද?
''මෙම කුලයට අයත් විශේෂ 19ක් සහ උපවිශේෂ 6ක් හඳුනාගෙන ඇති අතර, ඒ සියල්ලන්ම Anguilla ගණයට ඇතුළත් කොට ඇත. ශ්රී ලංකාවෙන් මිරිදිය ආඳන් විශේෂ 2ක් හමුවේ.
"පොල් මල් ආඳා
Mottled Eel (Anguilla nebulosa )
කළු ආඳා
Shortfin Eel (Anguilla bicolo )"
*උපුටා ගැනීම - විකිපීඩියා
විකිපීඩියාවල මෙහෙම කිව්වට, වැව්වල මාළු අල්ලන ධීවරයින්ගෙන්, පරිසරවේදීන්ගෙන් ආඳ ගැන මන් අහපු කතාව මීට ටිකක් වෙනස්. ඒ අය කියන විදියට ලංකාවෙ ආඳන් වර්ග දෙකක් ඉන්නව. එක් වර්ගයක් ලංකා ආඳා, අනිත් වර්ගය පොට්ට ආඳා හෙවත් දුඹුරු පොට්ට ආඳා. මෙයින් ලංකා කියල නම තිබ්බට, ඒ ආඳ ලංකාවට ආවේණික එකෙක් නෙවෙයි ! ඒ උනාට පොට්ට ආඳා (Monopterus desilvai, - ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්යක්ෂවරයකු වන, P H D H de Silva මහතා නමින් මේ ආඳා නම්කර ඇත. ) ලංකාවෙ මේ අපේ එකෙක්! ( ඡායාරූප බලන්න) මූ වාසස්ථාන අහිමිවීම නිසා වඳවීමේ තර්ජනයට මූණ දීල තියෙන්නෙ !
මගේ මිතුරන් කිව්ව විදියට ඇතැම් රටවල ඉන්නා මිරිදිය ආඳන්, බිත්තර දමන්න ගංගා දිගේ මූදට යනව! ! උන් මූදෙත් ඈතට පීනලා ගිහින්, බිත්තර දාල එහෙම ම මැරෙනවා, පැටව් ආපහු කලින් මාපියන් හිටිය ජලාවලට පවා එනව කියලත් ඒ අය මට කිව්ව.
මම හිටිය එක්තරා ප්රදේශයක ධීවරයින්ගෙන් අහගත්ත විදියට, ඒ අය මුතුන්මිත්තන්ගෙ කාලෙ ඉඳලම ආඳන් අල්ලන්න පාවිච්චි කරන්නෙ තම්බපු බිත්තරයක් ! බිත්තරය කටුව අයින්කරල කුඩා රෙදිකෑල්ලක ඔතල, ලිහෙන්නෙ නැතිවෙන්න ගැට ගහනව. ඊටපස්සෙ බිලීකටුව ඒකෙ පරිස්සමෙන් අමුණල වතුරට දානව. බිත්තර සුවඳට එන ආඳා ඒක ගිලිනව! ආඳව අල්ලගත්තට පස්සෙ අර බිත්තරය ආපහු අරන් ආයෙ වෙන ආඳෙක් අල්ලගන්න දානව.
සමහර පැතිවල ආඳව වල්දෙල් කොලවලින් අල්ලගන්න පුලුවන් , ඒකෙ බූව නිසා ආඳ ලිස්සන්නෙ නෑ කියනව. හැබැයි එහෙම ආඳො අල්ලන කෙනෙක් මට හම්බවුනේ නම් නෑ. ආඳ ගොඩබිමට ආවම තමයි මෙහෙම අල්ලනව කියන්නෙ !
ගොඩබිමදි දැක්කොත්, ඌ යන පාරෙ අළු දාල තිබ්බම, ඌට ලිස්සලා යන්න බැරිවෙනව. ඊටපස්සෙ අල්ලගන්නව. හුඟක් වෙලාවට කරන්නෙ, මන්නයක් වගේ දේකින් ඌට කොටන එක.
ආඳට ගොඩබිමත් ටික වේලාවක් ජීවත් වෙන්න පුලුවන් නිසා, අල්ලපු ගමන් මැරෙන්නෙ නෑ. ලංකාවෙ එක්තරා ප්රදේශයක ජීවත්වන ජන කොට්ඨාසයක සමහරු, මේ ආඳව පණපිටින් දානව පාන්පිටි භාජනේකට. ආඳ දඟලල උගෙ ඇඟපුරාම පිටි තැවරුණාම, ඒව හූරල වෙන භාජනයකට දානව. උගේ ඇඟෙන් එන සෙවල වගේ ද්රව්ය ඉවරවෙනකම්ම මේ වැඩේ කරනව.
ඊටපස්සෙ අර සෙවල එක්ක පිටිවලින් රොටි පුච්චල කනව. අපිට අහනකොට අප්පිරිය උණාට, ඒක ඔය ලිහිණින්ගෙ කූඩු( ඒකෙ තියෙන්නෙ උගේ කෙළ. ) වගේම වාජීකරණයක් විදියටයි පාවිච්චි වෙන්නෙ. මේක මන් අහපු දෙයක් නෙවෙයි ඇහින් දුටු දෙයක්.
ගාල්ලෙ බද්දෙගම පැත්තෙ තියෙන ප්රසිද්ධ තරමක් විශාල වතුර වළක ( සන්දරවළ ) ආඳෙක් ඉන්න බවත්, එක් කණකට රත්තරන් කඩුක්කමක් පැලැඳගෙන ඉන්නා ඌ, ඒ වළේ නිධානයක් ආරක්ෂා කරණ බවටත්, ජනප්රවාදයක් තියෙනව. නියං කාලෙට මේ වළ ඉහින්න පටන්ගත්තම වහිනව කියලත්, ඒ පැත්තෙ අය විශ්වාස කරනව.
මේ කඩුක්කන් දාපු ආඳන් ගැන කතන්දර වෙනත් පැතිවලත් තියෙනවා .
ජීවිත බිලිගන්නා රන්වන් ආඳා-:
මේ වගේ ආඳෙක් ගැන කියවෙන්නෙ, අසුපිණි ඇල්ල ( අහුපිණි ඇල්ල ) ලඟ තියෙන මිනීකඳවළ කියන තැනින් ! ඒකෙ ඉන්න රන්වන් ආඳා උඩට ඇවිත්, අමුතු ආකාරයකට ශබ්දනගන බවත්, එහෙම කරන්නේ බිල්ලක් ගැනීමට බවටත්, විශ්වාසයක් පවතිනවා . ආඳගෙ බිලිගැනීම කොහොමවෙතත්, මෙතන සෑහෙන ගාණක් දියේ ගිලිල මැරිලා තියෙනව.
ගමනක් යනවිට එහෙම නැත්නම් යම් වැඩක් පටන්ගන්නකොට, ඇතිවෙන බාධා විදියට අඳුන්වන පෙරනිමිතිවලට, ඇතැම් ගැමියන් ' ආඳා බාදා ' කියල කිව්වට, ඒකෙයි ආඳගෙයි සම්බන්ධයක් ඒ කතාව මට කිව්ව අය දැනන් හිටියෙ නෑ. සමහරවිට ඒක ආදා බාදා වෙන්නැති.
ගමනක් යන්න එලියට බහිනකොට හූනන් ඇඬීම, බල්ලන් කන්පට ගැසීම , වගේ ඒවා තමයි මේ බාධා!
සමනල අඩවියේ වැහි කළු පෙනෙන්නේ
නොගලා තිබුණු ගඟ බොරදිය නඟින්නේ
පෑදී තිබුණු ගල් මුල් යට කරන්නේ
නයිවල වෙලේ රං ආඳා ලගින්නේ
( රන්වල දෙවියන් පිලිබඳ යාදිනිවල අඩංගු කවියකි. )
මේ අනුව අවිස්සාවේල්ල පසුකර යනවිට හමුවන, රන්වල දේවාලය ආසන්න වෙලේද රන් ආඳකු සිටී!
ස්තුතිය-
මගේ පරිසරවේදී මිතුරන්ට හා, මා අන්තර්ජාලයෙන් බාගත්, මෙහි දැක්වෙන ඡායාරූප හිමිකරුවන්ට.
Channa Withana.
0 comments:
Post a Comment