Monday, May 30, 2016

සර් ! පුංචි මගුලක්.



ඉස්සර වගේ දැන් ලියන්නේ නැත්තේ ඇයි ?.
මගෙන් ප්‍රශ්නයක් .අකමැතිවුනත් උත්තර බදින්න එපාය.
කතා උල්පතක දවස ගෙවෙන මට දවස කෙළවර කර ගන්නේ මනසට වඩා  ගතට විවේකයක් බලාපොරොත්තුවෙන්.  මගේ වයසත් එක්ක අබලන් වන සිරුර යලි ප්‍රකෘතිමත් වෙන්න  විවේකය ඕනා වන නිසා  මම අත පය දිගහැර වැතිරෙනවා. දකින සිහිනත් සමග යලි හිරු එළිය දකින කොට  දවස පටන් අරන් කියලා වාර්තා වෙනවා . කාලයක් මට ලියන්න විවේක තිබුනා. මම පුංචි එකත් එක්ක තුන් අවුරුද්දක් සතුටින් අන් සියළු කටයුතු අත්හැර සෙල්ලම් කර කර හිටියා. නියම විශ්‍රාමිකයෙක් වගේ. දන්නෙම නැතිව ඒ විශ්‍රාම ජීවිතය ගිහින් හිර වුනා යලිත් පුරුදු තැනක.
ගත වුන සති කිහිපය මම දුටුවේ විවාහ මංගල්‍ය රැසක්. සමහර දින වල පස්වරු පහට අවසන් වන උත්සව ශාලාව නැවත හැඩ වෙන්නේ පස්වරු හතට පටන් ගන්න හෝම් කමින් උත්සවයක් සදහා සුදානම් වෙමින් .
කා බී නටන ඥාති මිත්‍රාදීන් දෙස විසිතුරු සෙටි බෑක් එක විරාජමාන වෙමින් බලා සිටින මනාල යුවලකගේ දුක් ගින්දර මේ නැටුම් නටන ඥාති මිත්‍රා හිතවත් අයගේ මනසේ සටහන් වෙනවද කියලා මට හිතා ගන්නවත් බැහැ. 
පසු ගිය වසරේ ජුලි මාසේ ඉදන් 2016 වසරේ වෙඩින් ප්‍රොගෑම් එක සටහන් වන  උත්සව ශාලා පොත්පත්වල  සැප්තැම්බර් මාසේ දක්වා සටහන් තියෙනවා. මාස කීයක ඉදන්ද විවාහ මංගල්‍යකට ලක ලෑස්ති වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් ඒ කෙන්.
මා පසුගිය වසරේ දකින ලද උත්සව වලින් දෙමව්පියන් මැදිහත්ව උත්සව සංවිධාන කරන ලද ඒවා දැක්කේ ඉතා සුළු ප්‍රමානයයි.  වැඩි ප්‍රමානයක් මනාල මනාලියන් විසින් ආයෝජනය කරන ලද උත්සව . උත්සව ඇණවුම් කරන අය  ගැටළු කාර අත්දැකීම් වලට මුහුන දෙන්නේ උත්සව ශාලාවේ බිල ගෙවන්න ගියාම. නටා ප්‍රීතියෙන් සුබ පතා විසිර යන ඥාති මිත්‍රාදීන් බිල ගෙවන කවුන්ටරය ලග  නැහැ. බොහෝ දවසක බිල ගෙවන්න ගෙන එන මුදල් ගොනු කර  ඇති    අක්‍රමවත්බව දුටුවාම හිතාගන්න පුළුවන් ඒ මුදල් ගෙදරින්  හෝ  බැංකුවකින් නොගෙනා  මුදල් නොවන බව.
මෙවැනි අවිනිශ්චිත දවසක් ගෙවන සංවිධායක යුවලක් යාන්තම් සැනසුමක් ලබන්නේ උත්සව ශාලාවෙන් එළියට බැස්සාම විතරක් කියලා මට හිතුන දවස් බොහොමයි.
මේ අතර පසුගිය නැකත් දිනයක සාමාන්‍ය ඇදුමින් සැරසුන යුවලක් සමග භෝජනාගාරයට පැමිණි විස්සක් පමණ පිරිසකගේ  දිවා ආහාර ඇණවුමක් රැගෙන ආ සේවක මහත්තෙක්  “සර් පුංචි මගුලක්!  ”කියන උත්තරය ලැබුනම මට හිතුනේ ඥාණවන්තොයෝත් අප අතර සිටිනවා කියන සිතිවිල්ලක්.


notes of imaginary

Monday, May 16, 2016

VAT




සමහර අය මේකට කියන්නේ “ රාජපක්‍ෂ දූෂණ බද්ද “ කියලා.කාගේ දූෂණ බද්ද උනත් අපේ ඇගේ පටවපු එකනම් වැරදියි කියලා මට හිතෙන්නේ.රජයේ සේවක කාරකාදීන් නම් වැඩිවුන පඩිය දිනපතා මහා භාණ්ඩාගාරයට ආපහු ගෙවන එකට 15% දක්වා වැඩිවුන වටිනාකම මත ගෙවන බද්ද හෙවත් වැට් බද්ද කියලා කියනවා ඇති. ඒත් අපි........................ .!.රජයෙන් යැපෙන්නේ නැතිව රජය කරවන ඇත්තන් වෙනුවෙන් උහුලන දුක් කන්දරාවට තමයි වැටි බද්ද කියලා කියන්නේ.
මැයි  දෙවෙනිදා මේක ප්‍රකාශ කරන කොට  නොදැනුනාට දැන් වෙන කොට 15% වුන වැට් සාක්කුවට විතරක් නෙමෙයි ඇගටත් දැනෙනවා.කඩේ ඉදන් සුපර් මාකට් එක දක්වා බඩු බිලේ එකතුව අගට   15% ක් එකතු කලේ නැතිවට “ හැම භාණ්ඩයකටම , හැම සේවාවකටම සැගවුන ගාස්තු බවට පත්වෙලා  එකතු වෙලා.
යහපාලන ආණ්ඩුවට මම කියන්නේ රණිල්ගේ මහත්තයාගේ  ආණ්ඩුව කියලා. මෛත්‍රී මහත්තයට ආණ්ඩුවක් නැහැ කියලයි මම හිතන්නේ. එතුමාගේ කාරිය  මාධ්‍යයෙන් අපිට  කතාකර කර ඉන්න එක විතරයි කියලයි මම දකින්නේ.ඒක මගේ අනුමානයක් විතරයි. අනෙක් අය කළබල වෙන්න එපා ඒ ගැන.මගේ මතේ වරදින්න පුළුවන් .
කෝටි තුන හතර ගෙවලා ගේන වාහනෙකට බද්ද රුපියල් එක් දහකට ආසන්න ගානක් කියලා මාධ්‍ය කාරයෝ කියනවා. මා ගාව තියෙන කැල්ක්‍යුලේටරයට ඇනලා 225 න් වැඩිකරපුවමත් 225000.00වැඩිය බද්දක් ආණ්ඩුවට අයවෙලා. ඉතින් කන්න බොන්න අදින්න මාසෙකට අපි වියදම් කරන පුංචි සොච්චමෙන් 15% ක් දූෂන බද්දට ගෙවුවහම අපිට හෙන ගහනවද ?. කියලා සැප ඇත්තෙක් කියනවා.
ආර්ථික විද්‍යාව නොදන්නා අපි ඇගට දැනෙන දේ විතරක් කතා කරන එක වැරදියි. රාජපක්‍ෂ මහත්තයා මහා ණය උගුලක රට තියලා ණයෙන් කොමිස් ගහලා ගෙදර ගියයි කියලා කියනවා.ඉතින් මේ ණය පොලියත් එක්ක ගෙවන්න ලොකු ලොකු බොරු කියලා බදා ගත්ත මරාලේ අපේ මහත්තයා අපිටම දමලා ගහලා එතුමා සැප ගන්නවා. ඕකට කේන්ති ගන්න හොද නැහැ. වැට් හරි වෙනත් නමකින් හරි එන බද්ද  ගෙවලා එතුමන්ලා සතුටින් තියමු.
මට කතාවක් මතක් වෙනවා.
 එන්න එකෝමත් එක රටක කළු අප්පු කියලා මෝඩ පහේ ගැමියෙක් හිටියා. එයාට ලස්සන දුවෙක් හිටියා. දවසක් කළු අප්පුට නොකියා මේ දුවට පෙම් බැන්ද තරුනයෙක්  එක්ක ගෙදරින් පියමන් වුනා. කළු අප්පුගේ කළු අස්සයා පිට නැගුන කළු අප්පු මේ දෙන්නා හොයා ගෙන හොයා ගෙන යන කොට මේ දෙන්නා සැගවෙනවා.  දැන් කළු අප්පු උස ගහක් උඩට නැගලා මේ දෙන්නා ගැන විපරම් කරනවා. ජෝඩුව හැංගිලා තියෙන්නේ කළු අප්පු නැගලා හිටපු ගහ පාමුලමයි. කළු අප්පු ගහට නැග්ග අවකාශයෙන් ජෝඩුව  කළු අප්පුගේ අශ්වයා පිට නැගලා පලා යනවා.
කළු අප්පුට දැන් කරන්න දෙයක් නැහැ.
කළු අප්පු අප්පුඩි ගහලා කතා කරලා  “ දෑවැද්දට මගෙන් අශ්වයා “ කියලා කියනවා.
ඉතින් අපිත්  වැට් එක දෙමු . වෙනසක් නැහැනේ.






notes of imaginary

Sunday, May 15, 2016

මල්ලී ගැන සටහනක්.



ජීවිතයේ නොයෙක් රටාවෙන් සටහන් ඇතිවෙනවා. ඒත් සටහනක් නොතැබූ,   සටහන් තැබිය යුතු සටහනක් 2015 නොවැම්බර්  මාසේ 29 දා මගේ ජීවිත සටහන් පොතේ  සටහන් වු දවසක්ලෙසයි මම හිතන්නේ. මේ සටහන  මීදුමට අද සටහන් තබන්නේ  බොහොමයත් පමාවෙලා. මේ පමාව මම හිතාමතාම ගොඩ නගා ගත්තක්. නොඑසේනම් මේ රටාවට සටහන් නොවී වෙනත් ආරක සටහනක් වෙන්න තිබුනා.
නොවැම්බර් 29 දා සිට අද වන විට මාස පහක් ගතවීත් ඊයේ සිදුවුවක් ලෙසයි මල්ලීගේ වියයෝව මට දැනෙන්නේ . ඒ අපි අතර තිබු  සුවිශේෂ සම්බන්ධය නිසාද?.  මා මතකය නැවත නැවත අළුත් කරමින් සිටින නිසාද?.  කියලා මට හිතා ගන්න බැහැ.

මල්ලී අපේ පවුලේ බාල සහෝදරයා. වයස අවුරුදු 48ක වනතුරුත් ඔහු හිටියේ අම්මාගේ ආදරය රැකවරණය ලබමින් .අම්මා මල්ලිට සැලකුවේ පුංචි එකෙකුට සලකන්නා වාගෙයි.  කෑවද නෑවද මුණ සේදුවද ආදී පෞද්ගලික කටයුතුත් මල්ලීට කරන්න සිදුවුනේ අපේ අම්මාගේ පූර්ණ අධික්‍ෂණය යටතේ කියලා කිව්වොත් නිවරදියි.

ඉතාමත් අසීමිත ලෙස වාහන ඉඩකඩම් වැනි වත්කම් පිළිබද ආශාවක් දැක්වුවද මල්ලී ඒ කිසිවක් තමන්ගේ ජීවිත කාලය තුලදී අත්පත් කරගැණීමට තරම් සුදුසු මානසික වාතාවරණයක් ඇතිව සිටියේ නැහැ. ඔහු කොන්ඩය පමනක් නොව රුවුල කැපුවෙත් කරනෑවැමියෙක්ගේ සේවය ලබා ගෙන. කකුලේ අතේ නියපොතු කපා පිරිසිදු කර ගැණිමට  ලොකු අයියා හෝ ලොකු අයියාගේ දියණියගේ සේවය ලබා ගත්තේ කිසිදු පැකලීමකින් තොරව.අම්මා දෙන රසකැවිල්ලක් විශේෂ ආහාර වේලක් ඉතාමත් කැමැත්තෙන් දියණියගේ පුතාට ගෙන එන මල්ලී , පොඩි එකාට දැක්වුයේ විශේෂ ආදරයක්.

මල්ලී  උසස් පෙළ විභාගයට පෙනීසිට වසරක් දෙකක් පමණ පසුවනතුරු සාමාන්‍ය තත්වයෙන් සිටියත් හිටි අඩියේ මානසික වැඩීම අසමාන්‍ය තත්වයක්  පෙන්නුම් කලා. ඔහු පාසල් සමයේ ලියු අත් අකුරු පවා පසු කාලයක ලිවුවේ ඉතාමත් අපහැදිලි කුරුමීණි අඩු වගේ.  කිසිම අකුරක නිවරදි බවක් හො සම්පූර්ණ බවක් තිබුනේ නැහැ. නොයෙක් ප්‍රතිකාර කලත් අවසාන ඔහුට සිද්ධවුනේ වෛ ද්‍ය  ප්‍රතිකාර යටතේ සදාකාලිකවම දවස ගෙවන්න. මේ කෙටි ජවිත ගමනේ  අවසානයේ අවුරුදු 48 ක් ඇවෑමෙන්   ක්‍ෂණික හෘදාබාධයකින් අප සියල්ලෝම අතහැර මල්ලී ජීවිතයෙන් සමුගත්තා.

ඒ හිස් වීම මල්ලීගෙන් ඇතිවු පාළුව මම තවමත් දරා ගන්නේ අසීරුවෙන් කීවොත් නිවරදියි.


පෙරදාක අළුයම මට මල්ලී “ ලොකු අයියේ “ කියා කතා කලා එතකොට වෙලාව පාන්දර හතරට වෙන්න ඇති මම ඇදේ ඉදන් “ එනවා මල්ලී...... “ කීවා කාමරේ ආලොකවත් කරමින් ප්‍රධාන දොරටුව ලගට ගොස් දොර විවෘත කලා ගේට්ටුව දෙස බලා සිටියත් මල්ලී නැ. මම” ඇයි මල්ලී.................... “ කියලා අඩ ගෑවත් , මල්ලී අප අතර නැති බව මට තේරුම් යන්න තවත් විනාඩි පහක් විතර ගෙවී යන්න ඇති.



notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon