73 අප්‍රේල් වෙද්දි මට වයස අවුරුදු 13, ඒක හරි සුන්දර සමයක් අප්‍රේල් 1 වැනිදා ඉඳලම ගැමියෝ අලුත් අවුරුද්දට ලෑස්ති වෙනව. ඒ අවුරුද්දෙ අප්‍රේල් 1 දා දවස පත්තරේ මුල් පිටුවෙ තිබුනු පුවතකින් මුලු රටම කැලඹුනා මතක විදියට එහි සටහන්ව තිබුනේ විශාල ගෝරිල්ලෙකු දෙහිවල සත්ව උද්‍යානයට රැගෙන යමින් සිටියදී හෝ වෙනත් විදියකින් හෝ අදාල ස්ථානයෙන් පලා ගොස් ඇතිබවයි. මුලු කොලඹම කලබල වුනා . ගෝරිල්ලාගෙ විශාල ප්‍රමණයේ ඡායාරූපයක් ද පුවත්පතේ පලවී තිබුනා.
ඒ කාලෙ වෙනකොට පුවත්පත් හා පොත් කියන්නෙ මගේ හුස්ම ගැනීමේ ප්‍රධාන මාධ්‍ය වෙලා තිබුනු කාලයක්.ඇඟිලි තුඩක් එබූ සැනෙන් මුලු ලොවම එකම මොහොතක එකට ඈඳෙන තාක්ෂණයක් එකල තිබුනේ නෑ. පුවත්පත හා ගුවන් විදුලිය පමණයි තොරතුරු ප්‍රභවයකට තිබුනෙත්.
ඊට පසුවදා දවස පුවත්පතේ මුල් පිටුවේ ලොකු අකුරින් මුද්‍රණය කරල තිබ්බ, ඊයේ ගෝරිල්ලෙකු ගේ පැන යෑම පිලිබඳ ප්‍රවෘත්තිය අප්‍රේල් 1දා මෝඩයාගේ දිනය වෙනුවෙන් කල විහිලුවක් බවට.
ඒ ආසන්නයේ තවත් අවුරුද්දක අප්‍රේල්1දා දවස පුවත්පතේ මුල්පිටුවෙ ප්‍රධාන ශීර්ෂය වුනේ නිරුවත් විදෙස් කතක් කොලඹ ප්‍රධාන වීදියක දුවගියේයැයි ප්රවෘත්තියයි. එහිද පින්තූරයක් දමා තිබුනා. ගිය අවුරුද්දේ අප්‍රේල් 1 දා මෝඩ වූ ජනතාව ට ආයිමත් ඊලඟ වසරේ මෝඩයාට ඇන්ඳේ එලෙසිනුයි.
මගේ නිවස පිහිටා තිබුනෙ දකුනු පැත්තට පොලොන්නරුව කොලඹ බස් මාර්ගයත් වම් පැත්තට පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන බස් මාර්ගයත් විහිදෙන ලෙස වූ ප්‍රධාන මාර්ගය ආසන්නයේම ඊට මුහුන ලායි.
ඔය කියන අවදියේ කොලඹට නැව් මඟින් හෝ ගුවන් මඟින් ගොඩ බසින විදේශ සංචාරකයෝ මහා පිරිසක් උදේ සවස මේ ප්‍රධාන මාර්ගයේ සුඛෝපභෝගී රථවල නැගී පොලොන්නරුව පැරැණි නගරය බලන්නට ආව. එවකට ඔවුන් සඳහා නවාතැන් පහසුකම්සැපයූ ප්‍රධානතම ආයතනයවූයේ පරාක්‍රම සමුද්‍ර ජලාශයට මුහුන ලා ඉදිකල තානායම පමණයි.
මේ වයස වෙනකොට නම් මම ළමා ලෝකයෙන් ගැටවර ලොවට අයිතිවෙලා හිටියත් ඔය කියන වයසෙදි තරුණ කෙල්ලන් හෝ ළමාවියේ කෙල්ලන්ද මා ඔවුන්ගේ සමාගම්වලට ගත්තේ නෑ.හරියට කියනවනම් එහාටත් මෙහාටත් නැති ගන්දබ්බ අවදියක්.
කලිසම් කෑලි ගවුම් කෑලි එල්ලාගත් එක්කෝ උඩුකය නිරුවත් කුඩා එවුන් විදේශීය සංචාරකයින් රැගත් බස් හෝ කාර් වලට අත් වැනීම විනෝදාංශයක් කරගෙන තිබුනා.
"සුද්දෝ සුද්දෝ...."උන් කෑගැහුවෙ එහෙමයි. ඉඳහිට මේ හිඟන පැටවු ගැන අනුකම්පා කරන එවැනි බස් රථයක් නවත්වා ඉන් සුදෝ සුදු ඉතාම පිරිසිදු පෙනිමැති බටහිර සුදු ජාතික කන්ඩායම් බිමට බහිනව..
පෙර කී කුඩා හමුදාව සංචාරකයින් වට කරගන්නේ ඔවුන්ට අතපාමින්. වැඩිහිටියෙකුගෙන් අහගෙනදෝ එකෙක් "සර් මනි මනි..."යි අයදියි.
ඔය කියන කාලෙ ඩොලර් වලින් ගණං නොබැලූ කාරකදීන් හිටි කාලයක් නිසා කුඩා උන්ටත් ඩොලර් දී පලක් නැති බව වටහාගත් සංචාරකයෝ ඒ වෙනුවට ටොෆි මලු හෝ පිටුපසින් තෙරපූ කල පෑන් තුඩ පිටතට එන වර්ගයේ කාබන් පෑන් ආදි තෑගි දරුවන්ට ලබාදෙති. බැරිම තැන සුද්දෙකු හෝ සුද්දියක පෑන් අහුරු හෝ ටොෆි අහුරු වශයෙන් කොලු කුරුට්ටෝ වෙත විසි කරති.
13 වියැති මම දොරකඩ අඹ සෙවන යට සිට මේ හෙයියම්මාරුව දෙස බලා සිටින්නේ එහාටත් නැති මෙහාටත් නැති වයසේ ලැජ්ජාවකිනුයි. එදා බටහිර උදවියට අපේ රටේ ජනතාව පෙනෙන්නට ඇති විදිය ගැන අද මම මනසින් චිත්‍රයක් ඇඳගනිමි.
තෙල් පොහොර වලින් අද තරම් දූෂණය නොවූ කුඹුරුවල යල මහ බුසලට සීය බැගින් රන් කරල් පීදෙද්දි අපි කවුරුවත් වැරැදිලාවත් වේලක් වත් බඩගින්නෙ ඉඳල නෑ. මුලු ගමේම තත්වත් ඒකයි.
ඔය කියන සමයේ අගමැති ධුරයේ හිටියේ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියයි.හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ කල සිට සතියකට පවුලකට හාල් සේරු 2ක් සමූපකාරයෙන් නොමිළේ දුන්නා. ( ඒවා තමා ජාතියක් විදියට කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න බැරි ජනතාවක් බිහිකරන්නට මුල් වුනුපලමු වරද)
ගම්මු ඒ හාල හැඳින්වුනේ කූපන් හාල් කියල. යකඩ වගේ වියළි පොත්තේ රතු බතික් මෝස්තරයක් තිබුනු ඒ හාලෙන් උයන බත හරි බරයි.
ඉතින් මේ අවුරුදු සමයට මගේ තාත්තත් වී බුසල් 3 ගෝනි පිරවූ වී මිටි පුරවාගත්තු කරත්තයක ඉහලම ඉඳගෙන එන්නෙ රජෙක් වගේ. මඩ සෝදාගත් කල ගොවියා රජෙක් කියලනෙ. ( ගොවිකුලය අන්ඳා තිබුනේ එහෙමනේ) මගේ තාත්තා නම් වයස අවුරුදු 80 ක් ආයු වලඳා මිය පරලොව ගියේ හෘදයාබාධයකින්.මිය නොගොස් ඉතිරිවූ බහුතරයක් රජවරු දැන් වකුගඩු රෝහලේ රුධිර කාන්දු පෙරණයට ලක්වෙමින් ජීවිතය ඉල්ලමින් ඉන්නව.
අපේ අම්මා 6 දෙනෙකුගෙන් යුත් දරු මල්ලන්ට ඇඳුම් මැහුවෙ එයාගෙම අතින් 13 දා පරණ අවුරුද්දට එක ඇඳුමක් 14 දා අලුත් අවුරුද්දට තව ඇඳුමක් බැගින් අපට ලැබෙනවාමය.
ඔය කියන 1973 අවුරුද්දෙ අප්‍රේල් 12 දත් අපි නින්දට ගියෙ "හෙට අලුත් ගවුමක් අඳින්න තියෙනවනේ "කියන සතුටින්,
අම්මානම් ඒ රෑත් ඩිහ් ඩිහ් හඬින් කැකුලු හාල් පොඟවල වංගෙඩියෙලා කෙටුව අම්ම අතිරස හදනකොට තාත්ත බනිනව.
"ඇයි ඕයි ඔය චප්ප චපස් කෑහැක්ද කොණ්ඩ කැවුම් ටිකකුත් හදනව.."
13 දා අපි අලුත් ගවුම් අඳින්න ඕන හන්දා පාන්දරම නැගිට්ට. රතිඤ්ඤ සද්දෙ හතර වටින් ඇහෙනව.කොහෙදෝ ඈතකින් රබන් හඬත් ඇහුනා අම්ම නම් කීවෙ ඒ පොඩි විජේලාගෙ කොලණිය පැත්තෙ නැන්දලා කියලයි.
අපෙ අම්මට කවදටත් ගුවන් විදුලියෙ ප්රවෘත්ති අහන්න ඕන. ඒ ප්රවෘත්ති වලින් ඇහුනද විශේෂ නිවේදනයකින් ඇහුනද මංදා
" හිටපු අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතා හදිසියේ අභාවප්‍රාප්ත වෙයි.." කියල තමා ප්‍රචාරය උනේ
"අයියෝ....ඩඩ්ලි මහත්තයා..."
අපේ අම්මා අඬා වැටුනා.මට මැවිල පෙනුන මැදින් බෙදු හිසැකේ මෝස්තරයෙන් යුතු ටයි.කෝට් අඳින ඔහුගේ ප්රතාපවත් පෙනුම.
අද වගේ ජනතාවගෙන් අම්මා මෝ නැතිව බැනුම් අහන දේශපාලකයො.ඔය කියන යුගයෙ හිටියෙ නෑ. අම්මා වගේම ගමේ වැඩිහිටි මවු පියවරු වහාම අලුත් අවුරුද්ද අවලංගු කලා.තාත්තා ජාතික කොඩිය අඩ කුඹු කරල වහලය මත සවිකලා.
ඒ දවසෙ පුවත්පතකත් ඩඩ්ලි සේනානායක මහතාගේ අවමඟුල වෙනුවෙන් අවුරුදු සැණකෙලි නවත්තමු ශීර්ෂයෙන් ලිපියක් තිබ්බා මතකයි. බලයේ හුන් සිරිමා මැතිනියත් රාජ්‍ය උත්සව අවළංගු කල බව පට්ට සිරිලංකා කාරයෙකු වූ ඉස්සරහ ගෙදර කලු මාමා කීවා මතකය.
අඹ ගහ ලඟ අසල්වැසි වැඩිහිටියන් හා ශෝකබරිත මුහුනෙන් කතා බස් කරන තාත්තා ඩඩ්ලි සේනානායක මහතාගෙ පියා ඩී එස්.සේනානායක මහතා මියගියේ අශ්වයා මතින් වැටී බව කියනු මට ඇහුනා. තව දුරටත් ඒ තොරතුරුවලට කන්දෙනු රිසි මට තාත්තා, පියසේන මාමා, ජයතිලක මාමා, ගංගා සයිකල් මාමා, ඇතුලු ගමේ ජ්‍යේෂ්ඨ පරම්පරාවෙ වැඩිහිටියන් ඩඩ්ලි මහතා ගැන කියූ කතා බස් අතරින් ඇසී තවමත් මතකයේ තිබෙන්නේ බෝතලේ වලව්වේ අටේ දහයේ දැවැන්ත පිරිමි සහෝදරයින් අතුරින් ඩඩ්ලි හාමු මියයන තෙක්ම විවාහ වී සිටියේ නැති බවයි.
සේවාමුක්ත භටයෙකු වූ මගේ තාත්තා පොලොන්නරුව ගොවිජනපදයට පැමින තිබුනේ ඩී එස් සේනානායකයන් විසින් දියත්කල ඒ මහා ගොවි ව්‍යාපාරයට සම්බන්ධ වීමටයි.
ගම්මු බස් පිටින් ඩඩ්ලි මහතාගෙ දේහයට ගෞරව කරන්නට කොලඹ බලා ගියා.ශෝකය දරාගත නොහැකි අම්මාත් ඒ ගමෙන් පිටත්වූ බස් රියක නැගී එතුමන්ගේ දේහයට ගෞරව කිරීමට කොලඹ ගියා. ලක්ෂ 10ක් 15ක ජනතාවක් කොලඹට රැස්ව සිටියා එතුමන්ට අවසන් ආචාරය පිරිනමන්නට පුරා දෙදිනක්. පෝලිමේ ඉඳීමෙන් අනතුරුව යි අම්මාටත් එතුමන් වෙත තම ගෞරවය පලකරන්නට ලැබී තිබුනේ.
පත්තර පොත් ලෝකයක් කරගත් මට එකල දේශපානඥයෝ ගැන හීනෙකින් හෝ අහිතක් හට ගැනී තිබුනේ නැත.සමහරවිට ඒ දෙමවුපියන්ගේ කතා බස් අසා වන්නට ඇත.
කොයි හැටි උනත් එතුමාගෙ මරණයෙන් පසුවත් සිරිමා මැතිනියගේ රජය යටතේ ගුවන් විදුලි ප්රවෘත්ති ප්‍රචාරයේදි එහි තේමාවාදනය ඩඩ්ලි ඩඩ්ලි ඩඩ්ලි ගෙදර හඬින් වැයෙන බෙරවාදනය13 හැවිරිදි මගේ හිතට තරම අපහසුවක්ගෙන දී තිබුනා.
මීරිගම බෝතලේ වලව්වේ ඉපැද කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු උගතෙකු වූ ( බැරිස්ටර්) හෙතෙම මෙරටේ තෙවරක්ම අගමැති ධුරය හෙබැවීය.
1973 වසරේ 61 වියේදි අදවන් දිනෙක අභාවප්‍රාප්ත ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතාට උතුම් නිරවාණයම වේවා
Sunday, April 13, 2025
මතක අතර ඩඩ්ලි .
අදවන් දිනෙක සැමරෙන මතක අතර ඩඩ්ලි....
ඉන්දුමතී ජයසේන
Saturday, April 12, 2025
උන් ඉක්මනට ලොකු වෙනවා --
පොඩි කාලෙ මට ඇදුම් තිබුනෙ නෑ - අපි නැති බැරි පවුලක් නොවුනත් අපේ තාත්තල අපිට වියදම් කරේ ම නෑ - ඉතින් හිගපාඩු එමටයි -
ශිෂ්‍යත්වෙන් කොළඹ ආව ම අඩු පාඩු ඩබල් - ගමනක් යන්න අදින්න තිබුනෙත් සුදු ඇදුම් - පාට ඇදුමක් අදින්න මාර ආසයි -
මං හිටියෙ මාමලගෙ ගෙදර - එහේ ඉදන් වැඩට යන අයිය කෙනෙක් හිටිය - බැංකුවක වැඩ කරන - දවසක් මං ආසාවට මෑන්ගෙ ටී ෂර්ට් එකක් ඇදන් පංති ගියා - එතකොට මං නමයෙ - දවසක් කීපෙකට පස්සෙ මාමලගෙ කඩේ වැඩ කරන කොල්ලෙක් මට කියනවා “ මහත්තය අරයගේ ඇදුම් අදින්න එපා - අපිත් එක්ක මහත්තයට හොදටම බැන්නා එයාගෙ ඇදුම් අදිනවා කියලා--
එච්චරයි -
ඊට පස්සෙ මං උගෙ ඇදුමක් දිහා බැලුවෙවත් නෑ -
ඕලෙවල් මට්ටමට එනකොට යාඵවො - යාඵවො හුවමාරු කරන් ඇදුම් අදින්න පටන් ගත්තට පස්සෙ සහ අපේ අයියා රස්සාවකට යෑමත් එක්ක ඇදුම් ප්‍රශ්නෙ යම්කිසි මට්ටමකට විසදුනා -
මං පළවෙනි රස්සාවට ගියාට පස්සෙ පඩියෙන් වැඩිපුරම කලේ ඇදුම් ගන්න එක - ඇතිවෙන්න ඇන්දා - තනිකරම බ්‍රෑන්ඩඩ් - කොච්චර ඇන්දද කිව්වොත් අද වෙද්දි ඇදුම් ඇරියස් එකක් නැති තරම් -දැන් මට එක ඩෙනිමක් ටී ෂර්ට් දෙක තුනක් තිබ්බම ඇති --
කතාව ඒක නෙමෙයි - පොඩි අයට අමතක වෙනව කියල හිතන් උන්ට කෙනෙහිලිකම් කරන්න එපා - උන්ට හොදට මතක හිටිනවා - නිකං නෙමෙයි හදවත පත්ලෙම මතක හිටිනවා -
එදා මං හිටපු වයසෙ ඥාති පුත්තු දැන් මං ඇදන් ඉන්න ටීෂර්ට් එකක් දැකල “ ඒක ලස්සනයි මාමෙ - මටනම් ඒක මරුවට සෙට් වෙනවා “ කිව්වම මං “ කෝ ඔයා ගෙදරට අදින ටී ෂර්ට් එකක් දෙන්න “ කියල මං ඇදන් ඉන්න ටී ෂර්ට් එක ගලවල උෘට දෙනවා - ඒ විතරක් නෙමෙයි ඒ ජාතියේ ඇදුමක් දෙකක් පස්සෙ අරන් දෙනවා -
ඒ පොඩි කාලෙ මට දැනුනු කම්පනය මතක් වෙලා --
Hasani Lelwala
A day in the life
අද බක් පෝය දිනයයි.
A day in the life
Friday, April 11, 2025
වෙළඳ යුද්ධය හා චීන උපායමාර්ගය
වෙළඳ යුද්ධය හා චීන උපායමාර්ගය
--මිගාර රත්නායක මුණු පොතට.
(කිශෝර් මහුබුබානිගේ දේශනයක් ඇසුරෙනි.)
A day in the life
--මිගාර රත්නායක මුණු පොතට.
චීනය සහ එක්සත් ජනපදය අතර පවතින භූදේශපාලනික තරගය වර්තමාන ලෝක දේශපාලනයේ ප්‍රධානතම සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ. කිෂෝර් මහබුබානිගේ විශ්ලේෂණය අනුව, එක්සත් ජනපදය චීනයට එරෙහිව ගෙන යන තරගයේදී ඉතා පැහැදිලි උපාය මාර්ගික දුර්වලතා පෙන්නුම් කරන අතර, චීනය ඉතා ක්‍රමානුකූලව සහ සියුම්ව මේ අභියෝගයට මුහුණ දෙමින් සිටියි.
එක්සත් ජනපදයේ උපාය මාර්ගික අසමත්භාවය
එක්සත් ජනපදයේ ප්‍රධානතම දුර්වලතාවය වන්නේ චීනයට එරෙහිව පැහැදිලි උපාය මාර්ගයක් නොමැති වීමයි. මෙය හුදෙක් කිෂෝර් මහබුබානිගේ අදහසක් නොව, ඇමරිකානු ඉතිහාසය තුළ ප්‍රමුඛතම උපාය මාර්ගික චින්තකයෙකු වූ හෙන්රි කිසින්ජර්ගේද නිරීක්ෂණයකි. කිසින්ජර් පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ "එක්සත් ජනපදය චීනයට එරෙහිව ගෙන යන තරගයේ විශාලතම උපාය මාර්ගික වරද වන්නේ උපාය මාර්ගයක් නොමැතිව මෙම තරගය ආරම්භ කිරීමයි" යන්නයි.
චීනය සම්බන්දයෙන් එක්සත් ජනපදයේ පවතින අරමුණු පැහැදිලි නැත:
චීනයේ ආර්ථික සංවර්ධනය වළක්වාලීම - මෙය කළ නොහැක්කකි.
චීන කොමියුනිස්ට් පක්ෂය පෙරළා දැමීම - මෙයද සාක්ෂාත් කරගත නොහැක.
චීනය හුදෙකලා සහ සීමා කිරීම - සෝවියට් දේශයට කළ ආකාරයට මෙයද කළ නොහැක.
එක් එක් ජනාධිපතිවරයාට අනුව මෙය වෙනස් වන නමුත් හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට අනුව "චීනය අංක එක වීම මගේ සමයේදී සිදු නොවනු ඇත" යනුවෙන් ප්‍රකාශ කර ඇති අතර, මෙය පෙන්නුම් කරන්නේ චීන ආර්ථිකය ඇමරිකානු ආර්ථිකය පසු කර යාම වැළැක්වීම පමණක් ඔහුගේ අරමුණ වූ බවයි. තීරුබදු, චිප් යුද්ධය වැනි ක්‍රියාමාර්ග සියල්ලම චීන ආර්ථික වර්ධනය මන්දගාමී කිරීම සඳහා සැලසුම් කර ඇත.
චීනයේ ක්රමානුකූල උපාය මාර්ගය
චීනය පැහැදිලි උපාය මාර්ගයක් නොමැතිව කටයුතු කළහොත් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව දනී. මේ නිසා චීනය ඉතා පැහැදිලි හා සංවිධානාත්මක උපාය මාර්ගයක් සකස් කර ඇත. මෙහි ප්‍රධාන අංග තුනකි:
1. ශක්තිමත් අභ්‍යන්තර ව්‍යුහයක් ගොඩනැගීම
සෝවියට් දේශයේ කඩාවැටීම පිළිබඳව චීනය තරම් ගැඹුරින් අධ්‍යනය වෙනත් රටක් නොමැති අතර ඇ.එ.ජ.යේ සිහිනය වන්නේ චීනය "දෙවන සෝවියට් දේශය" බවට පත් කර එයද කඩා වැටීමට සැලැස්වීමටය. චීනය මේ ඉරණම වළක්වා ගැනීමට පහත පියවර ගෙන ඇත:
සෝවියට් දේශය කඩා වැටුණේ බාහිර පීඩනය නිසා නොව අභ්‍යන්තර දුර්වලතා නිසා බව චීනය විසින් හඳුනාගැනීම නිසා ශක්තිමත්, ගතික ආර්ථිකයක් ගොඩනැගීම හා ශක්තිමත් ගතික සමාජයක් නිර්මාණය කිරීම.
ජෝර්ජ් කෙනන් නම් ඇමරිකානු චින්තකයා 1949 දී ප්‍රකාශ කළ පරිදි, "අවසානයේදී එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර තරගයේ ප්‍රතිඵලය අපගේ අවි ආයුධ සහ හමුදා මත නොව, කුමන සමාජයක් වැඩි ආධ්‍යාත්මික ජවයක් සහිතද යන්න මත රඳා පවතී." චීනය මේ සත්‍යය හොඳින් අවබෝධ කරගෙන ඇත.
2. අසල්වැසි රටවල් ආර්ථිකමය වශයෙන් බැඳ තැබීම
සෝවියට් දේශයට එරෙහිව එක්සත් ජනපදය ජයග්‍රහණය කිරීමට හැකි වූයේ බොහෝ සෝවියට් සංගමයට අසල්වැසි රටවලට සෝවියට් දේශයේ පැතිරීම වළක්වාලීමේ ප්‍රතිපත්තියට එක් කරගැනීමට හැකි වූ නිසාය. මේ රටවල් අතර බටහිර යුරෝපය, ජපානය, දකුණු කොරියාව ආදී සෝවියට් දේශය වටා තිබූ රටවල් රැසක් විය.
චීනය මේ පාඩමෙන් ඉගෙන ගනිමින්, මෙය වළක්වා ගැනීමට සැලසුම් සහගත පියවර ගෙන ඇත:
2001 දී ආසියාන් සංවිධානයට නිදහස් වෙළඳ ගිවිසුමක් යෝජනා කිරීම - ඇමරිකාව, යුරෝපා සංගමය, ඕස්ට්‍රේලියාව හෝ ජපානය වැනි බටහිර රටවල් කිසිවෙක් ආසියාන් සංවිධානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් යෝජනා නොකළ අතර, මෙලෙස නිදහස් වෙළඳ ගිවිසුමක් යෝජනා කළ පළමුවැන්නා චීනය විය.
ආර්ථික සම්බන්ධතා විප්ලවීය ලෙස වර්ධනය කිරීම - 2000 දී ආසියාන්-චීන වෙළඳාම ඩොලර් බිලියන 40ක් පමණක් වූ අතර, ආසියාන්-ඇමරිකා වෙළඳාම ඩොලර් බිලියන 135ක් විය. 2022 වන විට (නිදහස් වෙළඳ ගිවිසුමෙන් පසුව), ආසියාන්-චීන වෙළඳාම ඩොලර් බිලියන 975 දක්වා (ලෝකයේ විශාලතම වෙළඳ සම්බන්ධතාවය බවට පත්වෙමින්) වර්ධනය විය.
මේ නිසා ආසියාන් සංවිධානයට අයත් රටවලට චීනයට එරෙහිව යමින් චීනය වෙනත් රටවලට පැතිරීම වළක්වාලන ප්රතිපත්තියකට සම්බන්ධ වීම තර්කානුකූල නැත - තම විශාලතම වෙළඳ හවුල්කරුවාට එරෙහිව යාම ඉතා අපහසු කටයුත්තකි.
3. එක් තීරයක්, එක් මාවතක් ව්‍යාපෘතියට මුලපිරීම (Belt and Road Initiative)
ලෝකයේ සෑම කොනකම යටිතල පහසුකම් ගොඩනගන චීන ව්‍යාපෘතිය උපාය මාර්ගික වශයෙන් වැදගත් පියවරක් ගෙන ඇත:
යටිතල පහසුකම් අවශ්‍යතා සපුරාලීම - ලෝකයේ සෑම රටක්ම පාහේ චීන අධිවේගී දුම්රිය, මහා මාර්ග වැනි යටිතල පහසුකම් අවශ්‍ය බව පිළිගනී.
රටවල චීනය කෙරෙහි රඳා පැවැත්ම වැඩි කිරීම - මේ සම්බන්ධතා නිසා එම රටවල් චීනයට එරෙහි චීනය වෙනත් රටවලට පැතිරීම වළක්වාලන ප්රතිපත්තියකට එක් වීමට අකමැති වේ.
මේ උපාය මාර්ගය තුළින් ලෝකයේ බොහෝ රටවල් චීනයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති මත යැපීමට පටන් ගෙන ඇත.
නිගමනය
චීනයේ උපාය මාර්ගය එක්සත් ජනපදයේ ප්‍රවේශයට වඩා දුරදක්නා සුළු, ක්රමානුකූල සහ සංයුක්ත බව පැහැදිලිය. චීනය සෝවියට් දේශයේ අසාර්ථකත්වයෙන් ඉගෙන ගෙන, අභ්‍යන්තර ශක්තිය ගොඩනගමින්, අසල්වැසි රටවල් සමඟ ගැඹුරු ආර්ථික සම්බන්ධතා ස්ථාපිත කරමින්, සහ ලෝකයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ගෝලීය ස්ථානයක් තහවුරු කරගෙන ඇත.
(කිශෝර් මහුබුබානිගේ දේශනයක් ඇසුරෙනි.)
Thursday, April 10, 2025
ආනයන සදහා තීරු බදු 0% කළ යුතුයි
ඇමරිකානු ආනයන සදහා තීරු බදු 0% කළ යුතුයි - රවී කරුණානායක.
මේ මොහොතේ අපි කළ යුතු හොඳ ම දේ ඇමරිකාව සමග සාකච්ඡා කර, ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු 0% කිරීමට
නිර්මාණශීලී වීම යැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසී ය.
ඉන්දියාව සමග ගනුදෙනු කිරීම ඉතා හොද දෙයක් බවත් , අනාගතයේ ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් හිමි රටක් බවට පත් වන බවත්, ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලෙහි පිහිටි ඔහුගේ නිවසේ අද (06) පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් පළ කළ රවී කරුණානායක...
අනිල් ජයන්තගේ පිළිතුර මොකක් ද...?
ඉන්දියාව සමග ගනුදෙනු කිරීම ඉතා හොද දෙයක්. මගේ අදහස ඉන්දියාව සමග ගනුදෙනු කිරීම නිසා ලංකාවට හොඳක් වෙනවා කියන එකයි. අනාගතයේ ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් හිමි රටක් බවට පත් වෙනවා.
ඇමරිකාව සමග පවතින වෙළඳාම සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිත් තිබෙනවා. මෙතෙක් කාලයක් අපිට ගැටලුවක් තිබුනේ නෑ. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවට ස්තූතියිවන්ත වෙනවා. නමුත් දැන් ඩොලන්ඩ් ට්‍රම්ප් ප්‍රතිගෝලීකරණයට තල්ලු වී තිබෙනවා. ඇමරිකාව සහ අපි අතර අපනයනය සහ ආනයනය අතර පරතරය වැඩි උනා. අපි ඇමරිකා භාණ්ඩ ගෙන්වනකොට ඇමරිකාවෙන් ම ගේන්න ඕන නෑ. වෙනත් රටවල් හරහා ගෙන්වන්න පුළුවන්.
මේ වෙලාවේ කළ යුතු හොදම දේ අපි ඇමරිකාව එක්ක සාකච්චා කළ යුතුයි; අපි ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු 0% කළ යුතුයි. එහෙම අපි නිර්මාණශීලී විය යුතුයි. මේක වෙන්න කලින් මම මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුවේදී ඇහුවා. එතකොට අනිල් ජයන්ත කිව්වේ මාස දෙකකින් උත්තර දෙන්නම් කියලයි.
මෝදි ඇවිත් පන්ති පහ ඉගෙන ගත්තා ද...?
අපි විශාල බඩු ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරනව. මේ ආකාරයටයි සිංගප්පූරුව ජපානය දියුණු උනේ. ඉස්සර ලෝකයට ම ගැහුවේ එක බද්ධක්. දැන් ඒක වෙනස් කර තිබෙනවා. එක එක රටවලට එක එක බදු ප්‍රමාණයන් අය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම අපි කියන්නේ මේ ණය ගෙවන්න පුලුවන් වන්නේ අපනයනය හරහායි. හැබැයි හැම එකමටම පිළිතුර IMF එක ම නෙවෙයි.
ඉන්දියාවෙ අගමැති තුමා ආවා, ඒ ගැන අපි සතුටු වෙනවා, නමුත් මෝදි ඇවිත් පන්ති පහ ඉගෙන ගත්තා ද නැත්නම් එහේ දේවල් අපේ ආණ්ඩුවට ඉගැන්වුවාද කියලා ගැටලුවක් තිබෙනවා. කෙසේ හෝ ඉන්දියාව එක්ක සමීපව වැඩ කරන්න ඕන. දැන් අදානිගේ ප්රශ්නය යට ගහන්න හොද නෑ . නමුත් මේ රටේ බලශක්තිය ගැන හිතන්න ඕන. මොනවා කිව්වත් අදානි ගේ ක්‍රමය තුළ පවර් ලයින් එකක් ගේන්න හදනවා. එදා සාම්පූර් වලට විරුද්ධ වෙච්ච අයම මෝදි ගෙන්වා මේ දේවල් කිරීම ගැන අපි සතුටු වෙනවා.. අපි අලුතින් හිතන්න ඕන. මේ රජයේ නිලධාරීන්ට පමණක් ආර්ථිකය හසුරවන්න නොදිය යුතුයි.
සයිබර් ආරක්ෂණය පිළිබඳ සිතිය යුතුයි
ඩිජිටයිල්ශේෂන් ගැන ගැටලුවක් තිබෙනවා. අපේ රටට සයිබර් ආරක්ෂණ ක්‍රමවේද අවශ්‍යයි. සයිබර් සිකුරිටි එක ගැන මේ ආණ්ඩුව හිතන්න ඕන.
එදා හැමදේට ම විරුද්ධ වෙච්ච අය අද ආණ්ඩු කරනවා. දැන් මේ දේවල් ඉදිරියට ගෙන යන එක හොඳයි. දැන් දූෂණයත් නෑ; පෙළපාලිත් නෑ. දැන් රටට ආයෝජන ගෙන්වන්න පුළුවන්.
මේ රටේ නිෂ්පාදනය ඇතිකර අපි අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි.’’
උපුටා ගැනිම The Leader.
Wednesday, April 09, 2025
ආචාර්ය නෙවිල් හේවගේ
මෙයාව දන්නවද?
නෑ මම හිතන්නේ නෑ...
මේ ආචාර්ය නෙවිල් හේවගේ මැතිතුමා.
මේ ජාතිකවීරයෙක්.
ඈ..කොහොමද එහෙම වුනේ?
අපේ හමුදාව අවුරුදු 30 යුද්ධ කරල කොටි ත්‍රස්ථවාදීන් පැරැද්දුවට. ලෝකේ විවිධ රටවල කොටි ඉන්නවා. උන් සෑහෙන උත්සාහයක යෙදෙනවා ලංකාවේ දෙමළ ජන සංහාරයක් වුනා කියන එක "ඇත්ත" කියල ලෝකෙට කියන්න.
උන් උත්සාහ අරන් තියනව කැනඩාවේ පාසැල් පෙළපොත්වලට මේ දෙමළ සංහාර කතාව දාන්න.
අන්න එතනදි තමයි අපේ වීරයා එලියට එන්නේ.. තමන්ගේ අතින් කයිට් කරන්..මුදල් වියදම් කරල.. ලෝයර්ස්ලා හොයාගෙන එක දිගට නඩු කියල.. තමන්ගේ අසයිලම් එක බේරගන්න දගලන වෙඩි හඩක් නාහපු..අපේ රටේ තල් හකුරු කෑල්ලක් කාපු නැති, යාපනේ කිලිනොච්චිය හැබැහින් නොදැකපු කොටි එක්ක සහ 80 ගනන් වල කැනඩා පැනපු ජාතිවාදී උන් එක්ක නඩු කියල දිනනවා..
කැනඩාවේ උපරිමාධිකරණයෙන් සහ තවත් ඔන්ටාරියෝ වල අධිකරන දෙකකින් තීන්දු කරනව මේ දෙමළ සංහාර කතාව දේශපාලනික හේතූන් මත ගොතනලද අමූලික බොරුවක් බවත් එය කිසිසේත් කැනඩාවේ පාසැල් පෙළ පොත්වලට ඇතුල් නොකළ යුතුබවත්.
දැන් කොටින්ට ඇඩෙනව ඇති![]()
මේ නෙවිල් මහත්මයට තිබ්බානේ " අනේ මට මොකෝ...පෙළ පොතේ බැරිනම් ඕවා කොහේ දාගත්තම " කියල කරබාගෙන ඉන්න?
එතුමා එහෙම කරේ නෑ... කඩුවෙන් තුවක්කුවෙන් විතරක් නෙවෙයි පෑනෙන්, කටින් , නීතියෙන් සහ සාධාරණත්වයෙනුත් යුධ කරතෑකි කියන එක එතුමා පහුගිය දවසක ලෝකෙටම පෙන්නුවා.
ලංකාවේ කිසි එකෙක් දන්නේ නෑ.. ලංකාවෙ තියන වැටමාර ඉනි වගේ ගවර්මන්ට් එක.. උන් දන්නෙත් නෑ.. උන් දැනගත්තත් ජන්ද කැඩෙන නිසා ඕවා එලියට දාන්නෙත් නෑ.. හරිනම් ලංකාවට ගෙන්නල මල් තියල වදින්න ඕන..
අපේ රට මහ නරක රටක් කියල පරම්පරා ගානක් යනකන් අන්තර්ජාතිකව නෝන්ඩි කරන්න කොටි අවතාර ගහපු ගේම සුනේ සුන් කරපු එතුමා කාට නැතත් මට නම් ජාතික වීරයෙක්..
මුණුු පොතට ලියුුවේ ධම්ස කරුනාරත්න
Tuesday, April 08, 2025
බුලතේ කතාව
අදටත් කතාවටත් කියනවනේ බත බුලතින් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා.ඒ කියන්නේ එදා ගැමියා බතට වගේම බුලතටත් ලොකු වැදගත් කමක් දීලා තිබුනා.බුලත් කියන්නේ ශශ්රීකත්වයේ සංකේතය විදිහට ඇදටත් භාවිතා කරන දෙයක්. බුලත් උපන් ආකාරය වගේම ජනවහරේ බුලත් ගැන තිබෙන දෑ පිළිබද කෙටියෙන් කතා කරන්නයි මේ සූදානම.
අතීතයේ ගෙදරකට ගොඩවෙන පුද්ගලයෙකුට බුලතින් සංග්‍රහ නොකරොත් ඒක මදි පුංචික්මක් ලෙසයි ඔවුන් සිතුවේ ඒ නිසාම සෑම ගෙදරකම බුලත් හෙප්පුවක් අනිවාර්ය අංගයක් උනා.බුලත ගැමියාට කොයිතරම් සමීපද කීවොත්.එදිනදා ජීවිතයේ ගමනේ බිමනේ පවා බුලත් හැබිලියක් බුලත් මල්ලක් ඉනේ ගහගෙනයි බොහෝ දෙනා ඒ ගමන පිටත් උනේ බුලත් විට කනවාට වඩා බුලතට ලැබුනේ සංස්කෘතිය තුලත් වටිනාකමක්.
පයිබර් බීට්ල් ලෙස උද්භිත විද්යාත්ම්ක නාමයෙන් හදුන්වන බුලත් සිංහල ගැමි සමාජයේ විවිධ නම්වලින් හදුන්වනවා.මල් බුලත්,හීං බුලත්,ගැටතවාළු,නාගවල්ලි ,දලු බුලත්,කොරිකං,දලුමුර ,තාම්බූල ආදීය බුලතට වහරන නම් වේ.
එමෙන්ම බුලත් වර්ගද කීපයක් ඇත.
නාගවල්ලී,මහ මානේරු,රට බුලත් ගල් දලු බුලත්,වැල් බුලත්,මැටි පලා බුලත්,කහකිරිය බුලත්,ගැටකෝටු බුලත්,ගස් බුලත්,ගැරඩි මානේරු ඒ බුලත් වර්ගයි.
එදා මංගල්ලෙට පිරිතට,පිංකමට බුලත් නැතිවම බැරිවිය එදා සෑම සංස්කෘතික උස්සවයකම මුල්තැන බුලතට හිමිවිය."බුලත් දීම"යනු එදා වැඩිහිටියන් පිදීම.නෑයන් පිළිගැනීම,යමකට ආරාධනා කිරීම,ආදියේදී සිදුකලේය.මෙම ආරාධනාවේදී භාවිතා කරන බුලත් කොළ ප්‍රමානය ගැනද ගැමියා අතර පිළිගැනීමක් ඇත. එහිදී බුලත් අතකට කොළ 40ක් සේ සලකයි.එයට හේතු වූයේ චූලෝදර මහෝදර ගැටුමේදී එය සමතයකට පත් කිරීමට එක් පාර්ශ්වයකට බුලත් කොළ 20 බැගින් දුන් බැවින් බුලත් අතකට කොළ 40ක් යොදාගන්නා බව ගැමියන්නේ මතයයි.
බුලත් පිරි නැමීමේදී එම බුලත් කොළ ප්‍රමානය අවස්තා අනුව වෙනස්වේ.එහිදී බුලත් අත් බාගයක් දිමක්ද දක්නට ඇත ඒසදහා කොළ 20ක් භාවිතා කරයි.බුද්ධ පූජාවට බුලත් කොළ 40කී.දෙමාපියන්ට බුලත් 40ක් දිය යුතුය.ගුරුවරුන්ට බුලත් 30කී,දේව පූජාවට කොළ 35කී.ග්‍රහ පූජාවක කොළ 27කී.මගුල් හෙප්පුවට කොළ 21කී.
බුලත් දීමේද ක්‍රම කීපයකී.වැඩිහිටි උතුමන්ට දීමේදී නටුව ලබන්නාගේ දිශාවට විය යුතුය.සම වයස් අයටනම් බුලත් හරහටය.පහත් අයට තුඩ පැත්තට බුලත් දීම එදා සිදුවිය.නමුත් පූජ්‍යපක්ෂයට බුලත් දීම දැහැත් පිළිගැන්වීම ලෙස හදුන්වයි.එය තට්ටුවක තබා සුදු රෙද්දෙන් වසා පිළිගන්වයි.බුලත් බෙහෙතට මෙන්ම අවැඩ සදහාද භාවිතා කර ඇත ඒ අතර බෙර පැලීම හදි කිරීම වැනි බොහෝදේට යොදාගෙන ඇත.
බුලත් කොළයේ සුභ මෙන්ම අසුභ ඒවාද ඇත.කලු පාට කහ පැල්ලම් ඇති වූ කඩතොලු වූ සිදුරු වූ පිලිස්සුම් වූ කොළ අසුභ වන අතර මතුපිට දිලෙසෙන කඩතොලු නොවූ කහ පැහ නොවූ කෙලින් නටුව ඇති බුලත් සුභ ඒවා වේ.මේවා අතර මැද සුදු රත් පැහැය වූ බුලත් නාගවල්ලී වන අතර ඒවාද කෑමට නොගයි.මෙමෙ නාගවල්ලී නිවසක පැලකිරීම දේව ආරක්ශාව ලැවෙන බව විශ්වාස කරයි.පුරුෂ බුලත් කොළේ නැට්ට කෙලින් ද ස්ත්‍රී බුලත් කොළේ නැට්ට දකුනටද නපුංසක කොළේ නැට්ට වමටද පිහිටන අතර ඒ කොළේ හැඩේද එකකට එකක් වෙනස් වේ.
මුක රෝග වාපිත් රෝග සුවවීම,වාත රෝග,හිසරදය,පනු රෝග,සර්පවිෂ නැතිකිරීම මෙන්ම කාම ශක්තිය වැඩි කිරීමටද බුලත් වටිනා ඖෂධයකී.
මෙම බුලත් උපත සිදු වූ ආකාරය පිළබද ජනවහරේ පුරා කතාවක් දක්නට ලැබේ.මෙම බුලත් උපත් ශාන්තිකර්ම ගායනාවලද දක්නට ලැබේ.එම ගායනා අපට ඉගැන්වූ ගුරුවරුන්ද මෙහිදී සිහිකිරීම වටී.මහාසම්මත රජ කාලයට දිවෙන මෙම බුලත් උපතද අපූරු කතාවකී.මෙම කතාව ජාතක් කතා සාහිත්‍යට සම්බන්දකමක් දක්වනු පෙනේ.
පුරාන කතා අනුව බුලත් උපත පහත පරිදීවේ.
අප බොධිසත්වයන් වහන්සේ සාවෙකුව උපන් ආත්මයක කරන ලද ජීවිත පූජා පරමිතාව දුටු සක්‍ර දෙවිදු එය ලෝකයට කියනු වස් සාවා ගෙන සදෙහි අදින ලදී.එසේ ඇදි තෙලි තුඩ සක්දෙව් අතින් ගිලිහී දෙරණ පලාගෙන නාග ලොවට වැටුණී.එය දුටු නා රජු ගොදුරකැයි සිතා එම තෙලි තුඩ ගිල දැමූ අතර එයින් නා රජු දැවී පිලිස්සී ගියේය.නා රජු දැවී ගිය අලු ගොඩින් බුලත් දල්ලක් හටගෙන බුලත් වැලක් බිහිවූ බවත් එයින් බුලත් උපන් බවත් මෙම පුරා කතාවේ කියවේ.මෙලෙස නා ලොව උපන් බුලත් මහාසම්මත රජුගේ බිසවට හටගත් දොළ දුකක් සංසිදවීමට නා රජු විසින් කොළය දෙකට නවා කටින් සපාගෙන මනු ලොවට ගෙනා බවද එහි වැඩි දුරටත් සදහන්වේ.එනිසාම බුලත් කෑමට පෙර බුලත් කොළේ දෙපැත්ත කඩා කෑමට ගනීම ගැමියාගේ සිරිතයි.එහි නාග විෂ ඇතිබව ඔවුන් විශ්වාස කරයි.
මෙසේ අලුවූ නාරජුගේ භෂ්ම නාගයන් 4දෙනකු මුර කරන කල්හී බුලත් උපන් බැවින් ඒ හටගත් දල්ල නාගයන් මුර කල නිසාත් මුල හටගත් දලුව නිසාත් බුලත් දලුමුර ලෙස හදුන්වයි.නාග පෙනේවන් කොළ ඇතිනිසා නාගවල්ලි කියතී.බුලත් භූමියේ උපන් නිසා බුලත් යැයි කියතී.
උපුටාගැනීමකි ජනවහර පිටුවෙන් .
ප්‍රියන්ත පෙරේරා - ජනවහර
A day in the life
Monday, April 07, 2025
ඉන්දියන් විරෝධය අත්හැරදැමීම.
ජවිපෙ ට වසර 60 කි. එයින් වසර 51 ක් පැවතියේ ඉන්දියන් විරෝධයකි. ඉන්දියාව ගැන ජවිපෙ අලුත්ම ප්‍රතිපත්ති වෙනසට තවම මාස 9 ක් වත් නැත. පක්ෂයක් විසින් රටක් මේ තරම් ‘ඇඳලා බදාගත්ත’ වෙනත් අවස්ථාවක් ලංකා දේශපාලනයේ නැති තරම්ය.
චීන කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලන ඇරඹූ විජේවීර, 1967 ඉන්දු – චීන ගැටුම් අවස්ථාවේ දී, චීනයේ පැත්ත ගත්තේය. 1967 දෙසැම්බර් ‘කලැත්තෑව සාකච්ඡාවෙන්’ පසු පන්ති පහට ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ ආවේ ඒ නිසාය. 1977 සිරගෙදරින් එළියට එන ජවිපෙට ‘ඉන්දියන් විරෝධයක් තිබුණේ නැත.
‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තයක් බවට පත් කිරීමට ඉඩ නොදෙව්’ කියා ජවිපෙ 1986 ජුනි රට පුරා පෝස්ටරයක් ගැහුවේය.
රෝහණ විජේවීර ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ (1986) පොතේ ‘දකුණු ඉන්දියාවේ ‘මුම්මුඩ චෝල මංඩලම්’ යනුවෙන් යළි පිහිටුවීමට නියමිත චෝල අධිරාජ්‍යයට ලංකාවේ ‘උතුර’ ඈඳාගැනීමේ උපායමාර්ගයක් බව ලියා ඇත. 1994 යලි කළඑළි බහින ජවිපෙට ඉන්දියන් විරෝධයක් නැත.
සරළව, 1970 තිබූ ඉන්දියන් විරෝධය, 1977 නැත. 1981 නැති ඉන්දියන් විරෝධය 1987 රට ලේ විලක් බවට පත් කළේය.
1987 ජුනි 3 ඉන්දීය ගුවන් ආක්‍රමණ සහ බෝට්ටුවලින් යාපනයට ආහාර හා ඖෂධ තොගයක් එවීමෙන් පසුව ජවිපෙ කීවේ ‘ඉන්දියාව ගුවනින් පරිප්පු දැම්මා. -- ඊළඟට ගොඩබිමින් ඇවිත් ලංකාව ආක්‍රමණය කරනවා’ කියා ය. ඉන්දීය සාමසාධක හමුදාවට ‘ඉන්දියන් වඳුරු හමුදාව’ ලේබලය ගැසීය. ප්‍රේම්කුමාර් ගුණරත්නම්ගේ (ත්‍රිකුණාමලය) සන්නද්ධ ක්‍රියාකාරීත්වය, ජවිපෙ හා ඉන්දීය විරෝධය අතර, ඇට සහ ඇටමිඳුළු තරම් බන්ධනයක් ගොඩනැඟීය.
නමුත්, 1994 දී නැවත සංවිධානය වන ජවිපෙට ඉන්දියන් විරෝධය තිබුණේම නැත.
1989 දෙසැම්බර් සෝමවංශ අමරසිංහ බෝට්ටුවෙන් ඉන්දියාවට පැන යන්නේ, ඔහුගේ පවුලේ සමාජිකයින්ට ගුවන් මඟින් ඉන්දියාවට යන්නට පහසුකම් සකසා දුන්නේ මාතලේ උපන් දැන් කොටහේනේ පදිංචි හෙන්රි වික්‍රමසිංහ හෙවත් වික්‍රමසිංහම් නොහොත් සෙල්වා ය. සෝමවංශගේ බිරිය හා දරුවන් ගුවනින් බොම්බායට රැගෙන ගිය සෙල්වා, යළි ලංකාවට පැමිණ සෝමවංශ ඉන්දියා පැටවූවේය. සෝමවංශ ඉන්දියාවට ගොඩබසින විට, ඊශ්වරන් බ්‍රදර්ස් හි සෙල්වා, ඔහු පිළිගන්නට වෙරළේ සිටියේය. (සෙල්වා හෙවත් විකී ගේ පොඩි දුව ගායත්‍රී නැගෙනහිර කොටහේන කොට්ඨාශයට මාලිමාවේ අපේක්ෂිකාවයි. ඇය ගියවර එජාප නාගරික මන්ත්‍රීවරියකි)
දෙවැනි කැරැල්ල හා ඉන්දියන් විරෝධය
ජවිපෙ විසින් දෙවන කැරැල්ලේ දී විරුද්ධවාදීන් 6,661ක් ඝාතනය කළේය. එයින් බහුතරය එජාපයේ ය. රාජ්‍ය නිලධාරින් හා සේවකයින් 485ක්, පොලිස් හා ආරක්ෂක අංශ 688ක්, සරසවි සහ පාසල් සිසුන් 187ක්, පොලිස් පවුල් සාමාජිකයින් 92ක්, හමුදා පවුල් සාමාජිකයින් 70ක්, විදුහල්පතිවරු 52ක්, ශ්‍රීලනිප සාමාජිකයින් 200ක් පමණ ද, මහජන පක්ෂයේ 141ක්, කොමියුනිස්ට් පක්ෂයේ 43ක්, නසසප 24ක්, සමසමාජ 22ක්, ජනතා සංගමයේ 19ක් ඒ අතර විය.
ජවිපෙ ය ‘ඉන්දියන් වඳුරු හමුදාවේ’ නිලධාරීන් හා සෙබළුන් 29ක් ද ඝාතනය කළේය! 6,661න් 29 ක් කුඩා පංගුවකි. නමුත් එහි සමාජ, ආර්ථික, දේශපාලන බලපෑම අතිමහත් විය. ඉන්දු ලංකා ගිවිසුම නිසා, ලංකාවෙන් 30%ක් ද, වෙරළින් 60%ක් දෙමළ බෙදුම්වාදීන්ට අයත්වන බව කීවේය. මේ ඉන්දියන් විරෝධය නිසා කොමියුනිස්ට්, සම සමාජ, මහජන පක්ෂ, සමාජිකයින් ද, මුදලාලිලා ද, ව්‍යාපාරිකයින් ද දෙදහසකට වැඩි පිරිසක් ඝාතනය විය. 1990 මාර්තු 24 ඉන්දියන් හමුදාවේ අවසන් භට කණ්ඩායම ත්‍රිකුණාමලයෙන් ඉවත්වත තුරු ම ජවිපෙ මෙම ස්ථාවරය නඩත්තු කළේය.
නිදහස් චතුරඝ්‍රයේ දී මෝදි අගමැතිතුමා පිළිගැනීමේ ජාතික උත්සවය දෙස මම බලා සිටියෙමි. එදා, රජීව් ගාන්ධි පිළිගැනීමේ ජාතික උත්සවයේ දී, විජිත රෝහණ විජේමුණි තුවක්කු බදෙන් එල්ල කළ ප්‍රහාරය මට මැවී පෙනේ. කාලය මැවූ අරුමය පුදුයම!
අජිත් කුමාර පාර්ලිමේන්තුවේ කාමරයක දී ජනපති ජේ.ආර්., අගමැති ප්‍රේමදාස, ලලිත් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ඉලක්ක කර බෝම්බ ගැසීය. ජවිපෙ නිවේදනයකින් කිව්වේ, ‘ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වන සියලු දෙනාම ද්‍රෝහීන්’ බව ය. ‘ශ්‍රී ලංකාවට පැමිණි අන්තිම ඉන්දියන් සෙබළා ශ්‍රී ලාංකික අන්තිම දේශද්‍රෝහියාගේ බඩවැලෙන් එල්ලා මරාදමන බවට’ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනය කළේය.
ඉන්දීය භාණ්ඩ වර්ජනය කරන ලෙස 1989 මැයි 14 දින ජවිපෙ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සියලුම ඉන්දීය ව්‍යාපාරිකයින්ට ලංකාවෙන් පිටවෙන ලෙස නියෝග කළේය.
සියලුම ඉන්දියන් භාණ්ඩ ආනයනය ද තහනම් විය. මයිසූර් පරිප්පු, බොම්බයි ලූනු අලෙවිය තහනම් කරන බව 1989 ජූලි 6 නුගේගොඩ පැවති ජනතා රැලියක දී ප්‍රකාශයට පත් විය. ඉන්දියන් ඖෂධ ගෙන්වීමේ වරදට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනි ග්ලැඩිස්ට් ජයවර්ධන මහත්මිය ඝාතනය විය.
කෝනේෂ්වරන් දේවාලයේ මුරට සිටි ඉන්දියන් සෙබළුන් දෙදෙනාට පිහියෙන් ඇන එක් අයෙකු ඝාතනය විය.
1989 මැයි 22 ත්‍රි’මලේ ඩොල්ෆීන් ජැටිය හෙවත් ඛනිජ තෙල් ජැටියේ දී පැති බෝම්බ දෙකකින් ඉන්දීය භටයින් 6ක් සහ මේජර්වරයකු ඝාතනය කළේය.
1989 මැයි 12 කන්තලේ-ත්‍රිකුණාමලය පාරේ බිම්බෝම්බයකින් ඉන්දියන් හමුදා මේජර්වරයකු ඇතුළු 13ක් මරා දැමීය. 1989 ජූලි 25 ඉන්දු ලංකා ගිවිසුමේ දෙවන සංවත්සරය දිනයේ ඉන්දියන් සෙබළු 14ක් ඝාතනය විය. 1987 ඔක්තෝබර් 25 ජවිපෙ මහනුවර ඉන්දීය තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි. අවසන් ඉන්දියන් සෙබළාත් පලවා හැර මාතෘභුමියේ උතුම් නිදහස ස්ථාපිත කරනතුරු අරගලය ඉදිරියට ගෙන යන බව එදා ජවිපෙ නිවේදනය කළේය.
නිල දත්ත අනුව ජවිපෙ විසින් මරා දැමූ ඉන්දීය සෙබළුන් ගණන 29 කි. නමුත් ඉන්දීය හමුදාවේ සෙබළුන් 63ක් තම සංවිධානය විසින් ඝාතනය කළ බව 1989 සැප්. 05 රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඉන්දියාව සමඟ සියලු ව්‍යාපාරික සබඳතා නවතා දැමීම ජවිපෙ ඉලක්කය විය. ශ්‍රී ලංකාවේ සිටින සියලුම ඉන්දීය ව්‍යාපාරිකයින්ට රටින් පිටවන ලෙස නියෝග කර, මෙරට සිටි ඉන්දීය ව්‍යාපාරිකයින් 11ක් ඝාතනය කළේය. පැලවත්න සීනි කම්හලේ එස්. කේ. බන්සාල් හා ඔහුගේ බිරිය (1988), පී. බී. අම්බිච්චි සමාගමේ හිමිකරු ඉලේතම්බි ශන්මුගම්, වැල්ලවත්තේ ඉලේතම්බි සුබ්‍රමානියම්, කේ. ගුණරත්නම්, මරදානේ හෙප්තුල්ලාබෝහි සමාගමේ අධ්යක්ෂ සබීර් හුසේන්, කොහුවල දී ඝාතනය වූ ආර්. නාගින්ද්රාස්, ඩි. කේ. සුන්දරම් හා පී. නඩාර් මීරමුණි යන අය ඝාතනය වූ අය අතර විය.
ජවිපෙ තවත් පැත්තකින් ‘රෝ ඔත්තු සේවය සමඟ’ අපූරු සබඳතා ද පවත්වා ගත්තේය.
දෙවන කැරැල්ල අවස්ථාවේ දී ඉන්දීය තානාපති කාර්යාලයේ දකුණු කලාපය භාර නිලධාරියා ලෙස රෝ සංවිධානයේ ගුරුජික් සිං (සික් ජාතිකයෙකි) ද, උතුරු නැඟෙනහිර භාරව දෙමළ බ්‍රාහ්මණ වංශිකයෙකු වූ එස්. අයි. ශංකර් ද කටයුතු කළේය. ඔවුහු රිචඩ් ද සොයිසා හරහා ඩී. එම්. ආනන්ද සමඟ සබඳතා ගොඩනඟා ගත්තේය. එච්. බී. හේරත් සහ උපාලි ජයවීර රෝ සංවිධානය සමඟ සබඳතා ගොඩනඟා ගත් අනෙක් ජවිපෙ නායකයින් වූයේය. සෝමවංශ අමරසිංහ ඉන්දියාව හරහා රැකවරණ සහිතව එංගලන්තයට යන්නේය.
2005 ජනාධිපතිවරණයේ දී ජවිපෙ සහාය මහින්ද රාජපක්ෂට ලැබුණේ ඉන්දියාව නිසාය. ‘කිසිවෙකුට සහාය නොදීමට තීරණයක’ වෙනස් කර දුන්නේ ඉන්දියාවයි.
මලික් සමරවික්‍රම ගේ මැදිහත්වීමෙන්, මෛත්‍රීපාල සිරිසේනට 2014 ජනාධිපතිවරණයේ ජවිපෙ සහාය ලැබුණේ ද ඉන්දීය මැදිහත්වීම නිසාය.
පළමු නායක, විජේවීර ඉන්දියන් විරෝධයෙන් පක්ෂය අරඹා ඒ ගැන ස්වයං විවේචනයක් සිදු කර, නැවත ඉන්දියන් විරෝධයට ප්‍රවිෂ්ඨ විය.
දෙවන නායක, සෝමවංශ ඉන්දියන් විරෝධයකින් නායකයා බවට පත් වී, ඉන්දියාව සමඟ සැමවිටම එකට කටයුතු කළ ජවිපෙ නායකයා වූයේය.
තෙවන නායක, අනුර කුමාර දිසානායක, සිය නායකත්ව කාලය පුරාම ත්‍රිකුණාමලයේ සාම්පූර් බලාගාරය, මන්නාරමේ සුළං විදුලි බලාගාරය, අදානි සමූහය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය, අමුල් කිරි කර්මාන්ත සමාගම, ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීම, කටුනායක, කොළඹ හා මත්තල ගුවන්තොටුපළ කළමනාකරණය, පුල්මුඩේ ඛනිජ වැලි නිධිය වැනි ව්‍යාපෘති දැඩි ඉන්දියන් විරෝධී ස්ථාවරයක සිට විවේචනය කළේය. ජවිපෙහි නායකයන් වූ විජේවීර – සෝමවංශ දෙදෙනාටත් වඩා, එක දිගට ඉන්දියන් විරෝධය නඩත්තු කළේය. අද ඔහු අවස්ථානුකුලව -- ඉතා නිවැරදිව ඉන්දියාවේ මිතුරා වී ඇත.
අතීතය කුමක් වුවත් ජවිපෙ නව ඉන්දීය සම්බන්ධතා ප්‍රවේශය රටක් වශයෙන් ලංකාවට අතිශයින් තීරණාත්මක ය. ආර්ථික, සමාජීය හා දේශපාලනිකව වැදගත්ය. ලංකාවේ ආර්ථික සමෘද්ධිය රැඳී පවතින්නේ ඉන්දියාවෙන් දුරස්වීමෙන් නොව, බද්ධවීම මත ය. ඉන්දියාව සම්බන්ධයෙන් ජවිපෙ නව ප්‍රවේශය ලංකා දේශපාලනයේ නව හැරවුමකි.
87 -89 ඉන්දියාවට තමන්ගේම ප්‍රශ්න රැසක් තිබුණි. ඉන්දියාවේ මෝදී - සීතා රාමන්, සමන්තා පවෙල් හා ක්‍රිස්ටිනා ජෝර්ජීනා නොවේ නම් ආර්ථික අර්බුදයෙන් පසුව ලංකාව මේ තත්වයට ස්ථාවර වන්නේ නැත. ඇමරිකාව සමඟ ව්‍යාපාරික අවස්ථා අහිමිකර ගත් ලංකාවට ඉන්දියාව හැර අන් පිහිටක් නැත.
අනෙක් අතට අද රටේ කිසිම ස්ථරයක ඉන්දියන් විරෝධයක් නැත. අද අත්සන් තබන බලශක්ති, ආරක්ෂක (ගිවිසුම් 3ක් බව කියවේ), වෙළඳ ගිවිසුම් අන්තර්ගතය මා දන්නේ නැත. කච්චතීව් දූපත හා ඉන්දියන් ධීවර ගැටළු සාකච්ඡා ලැයිස්තුවට ඇතුලත්ය. සාම්පූර්, මන්නාරම් සුළං විදුලි ජනනය, සංචාරක, ඇතුළු ව්‍යාපෘති 12 ක් රනිල් - මෝදි පාලන යුගයේ දී සාකච්ඡා වී ඇත. ඒ සියල්ල එට්කා ගිවිසුම ද සමඟම දේශපාලන විරෝධයකින් තොරව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අද ලංකාවට ඇත.
1989 බිඳ වැටුණු දේශපාලන ව්‍යාපෘති පවා නැවත ඇරඹෙන සුබ ලකුණු ඇත. සැමදා, බලය බෙදාහැරීමට පක්ෂ වූ මම, පුද්ගලිකව පළාත් සභාවන්ට පොලිස් හා ඉඩම් බලය පවා ලැබෙන පූර්ණ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම වනු දකිනු කැමැත්තෙමි. හිස් කච්චතීව් දූපතට වඩා ඉන්දීය වෙළඳ සහයෝගය අද ලංකාවට වැදගත්ය.
‘දේශප්‍රේමී ලංකාවේ ඉන්දියන් විරෝධය’ දශක දෙකක් ලංකාව ඉදිරියට යාම වලක්වා ඇත. එම වරද නිවැරදි වන්නේ නම්, 2025 අප්‍රේල් 5 දවස, ලංකා ඉතිහාසයේ දෙවන නිදහස් දිනය ලෙස ඉතිහාස ගත වනු ඇත!
එදා, ‘තිස්ස රජු’ගේ දෙවන රාජාභිෂේකය ලංකාව දේශපාලනික, සංස්කෘතික ලෙස වෙනස් කළේය. අද, ඉන්දියන් විරෝධය අතහැර දැමීම, අනුර කුමාර දිසානායක ගේ ‘දෙවන රාජාභිෂේකය’ බවට පත් කර ගත හැකි වනු ඇත.
Subscribe to:
Posts (Atom)