Friday, October 18, 2024

රතු දත්ත පොතට ගිය හල්.




රිදී ගෙදර යන පාරේ.....
ඩංගි ඩුංගි ගසක් ඇතේ.....
මල් සුවඳයි ගෙඩි තිත්තයි....
නොතේරුවොත් ටොකු විස්සයි......
ඕන්... තේරවිල්ල.😍😃
අපි පුංචි කාලේ සමහර දවස්වලට...විශේෂයෙන් වැහි දවස් වලට
නංගි මායි මැණිකෙයි ගංග යි එකතුවෙලා
එක ගෙදරක...ඉස්තෝප්පුවෙ ඉඳගෙන තේරවිලි කියනවා...කවි කියනව..කතා කියනව ..
එහෙම එකතු වෙලා ඉන්නෙ.....
අපේ ගෙදර නම්.....
අම්මා මොනව හරි කෑම ජාතියක් එක්ක තේ...අරන් එනවා.
දවසක් ඉතින් කැන්ද කොල වල ඔතාපු මොනවදෝ අරන් ඇවිත්...
අපිට දීලා අම්මා තමයි මේ තේරවිල්ල කිව්වෙ...
අම්මෝ....ඒවයෙ රස..
අපි ඉතින් දැනගෙන හිටියේ නෑ උත්තරේ....
ඒ තමයි හල් ගහ...ළමයිනේ.හල් ගහේ ගෙඩි වලින් තමයි මම මේ කෑම ජාතිය හදල තියෙන්නේ...



මේ තමයි හල් හැලප..
දැන් ඉතින් මේවා කාලා තේ බීලා ඉන්ට කො...
පස්සේ බැරියැ... තේරවිලි කියන්ට...
ඒ තමයි මුලින්ම හල් කාපු දවස...😍
එදා ඒ කාපු හල් හැලප වල රස තවමත් මතකයි..❤️
පස්සෙ හල් වලින් එක එක ජාති හදල දුන්නා අම්මා.....
දැන් ඉතින් අපිත් ආච්චිලා වෙච්චි කොට අම්මා කොයින්ද...😥
කොහොම වුනත් අද නම් මම රිදී ගෙදර යන පාරේ ගියේ නැහැ.....
අද ගියේ කොරටුවට...
ඊයේ පෙරේදා වැහැපු වැස්සට....දොළ පාර දිගේ ආපු රොඩුබොඩු හිරවෙලා තිබුණා.....
හෙමින් හෙමින් ඒවා අයින් කරද්දි.....තමයි මෙන්න මේවා හම්බවුණේ....
ඒ තමයි,හොඳට පැහුණු ලොකු හල් ගෙඩි..කීපයක්..❤️❤️❤️❤️
ඒව දැකපු ගමන් මතක් වෙන්නේ අම්මා හදාපු හල් පිට්ටු..
හල් හැලප
හල් මුල්
හල් ගුටි
හල් වණ්ඩු.
ඔය හැමදේම....



ඉතින් ගිය වැඩෙත් කරගන්න එපැයි.....මෑ කරලුත් කඩා ගෙන...
බෝංචි, කරවිල ඒවත් කඩාගෙන
ගෙදර ආව ගමන් කළේ...
හල් ගෙඩි ටික ගාන එක....
ඉස්සර නම් අම්මලා හල් ගෑවේ ඒ වෙනුවෙන්ම තහඩුවක් නවලා යකඩ ඇනයකින් හිල් විදලා හදාගත්ත ... උපකරනයකින්. ඒකට කිව්වේ හල්කටුව කියලා.
ඒත් හිරමණයෙනුත් ගාගන්න පුළුවන්. ටිකක්....පොඩි පොඩි කෑලි ටික ග්රේටර් එකකින් ගා ගත්තා....
ඉස්සර නම් කලින් දවසේ හවසට ගාපු හල් ටික.මල්ලක දාලා කට බැඳලා....වතුර ගසාගෙන සේදිලා යන විදිහට දොල පාරක් අයිනේ ගහක මුලක බැඳලා තියෙනවා......
එහෙම කරන්නේ හල්වල තියෙන තිත්ත යවාගන්න....
ඒත් දැන් නම් එහෙම කරන්න ඕන නැහැ ටැප් එකට අල්ලලා පුළුවන් ඒ වැඩේ කරගන්න....
ඉතින් මේ ගාපු හාල් සාමාන්යයෙන් පොල් රැල් වගේ..
ඒවට හාල් පිටි, සීනි හෝ කිතුල් පැණි..පොල් මිශ්ර කරල...එනසාල් ..කරල් කීපයක් තලල දාලා...
අර මම කලින් කියපු කෑම ජාති ඕන දෙයක් හදාගන්න පුළුවන්......
මම අද හැදුවෙ හල් ගුටි...
ඉතිං මේවා හරිම රසයි..ඒ වගෙම ගුණයි..
ටිකක් ඌෂ්ණාධික වුණත්...මේක පුදුම රස ජාතියක්..
දියවැඩියාව වගෙම කොලොස්ටරෝල් තියෙන අයට හොඳ ඖෂධයක්..❤️
ඉතිං දන්නවද හල් ගහ ශ්රී ලංකාවට ආවේණිකම ශාකයක්...
ඒත් දැන් රතු දත්ත පොතට නම ඇතුලත් වෙලා තියෙන්නේ...ඒ කියන්නේ මේ ශාකය වඳවීගෙන යන ශාකයක් බවට පත්වෙලා....
බොහෝ මිනිස්සු හල්ගස් කපලා දාන්නෙ ඇත්තටම මේකට ලොකු ඉඩක් යන නිසා...
අපේ රටේ ඕන තරම් ලොකු ලොකු හිස් ඉඩම් තියෙන මිනිස්සු ඉන්නවා...
ඒ අයට පුලුවන් මේ වගේ ශාක නැවත වගා කරන්න.
මේ වගේ ශාකයක් ලෝකයෙන් තුරන් වෙන්න ඉඩ නොදී රැක ගන්න එක අපි හැමෝගෙම යුතුකමක් වගේම වගකීමක්.
හොඳින් අතුපතර විහිදුනු..මේ ශාකය...අඩි 60ක් හැත්තෑවක් පමණටත් වඩා උස යන ශාකයක්...
ගහේ පහළ සිටම අතු දැකිය හැකියි...
හල් ගහ සම්බන්ධව රසවත් කතාවක් මගේ ජීවිතෙත් තියෙනවා...
මං මුලින්ම ගහකට නැග්ගේ හල් ගහකට...
වයස අවුරුදු 10 වත් නැතිව ඇති.
හැබැයි ගහෙන් බහිද්දි බඩයි පපුවයි ඔක්කොම සීරුණා...ලෙලි ගියා.
අපේ අම්මා කුරුම්බැට්ටි ගලක උරච්චි කරලා ගෑවා....
හම්මෝ ඕ...ඕ...ඕ....සනීප ..තාම මතකයි...
හරී ඒ කතාව පසුවට හොඳේ.....
හල් ගහෙන් තවත් බොහෝ ප්රයෝජන ගන්න පුළුවන්...
දන්නවද හල්දුම්මල ගැන....
අම්මෝ හල්දුම්මල ගැන නම් බය හිතෙන කතාත්. තියෙනවා.
අපිට නම් හල්දුම්මල නොමිලේම ලැබෙනවා...
හල් ගහේ පොත්ත කොයි විදිහකින් හරි තුවාල වුනාම..වැගිරෙන කිරි එහෙම නැත්නම් ලාටු ඝන බවට පත්වෙලා තමයි..හල් දුම්මල හැදෙන්නේ..
හල් ගස් විශේෂයෙන් හැදෙනවනේ ඇලවල් දොලවල් අයනේ.....
මාවක් ඔයේ වතුර වැඩි දාට ඉවුර දෙපැත්තේ එකතුවෙන කොළරොඩු ගොඩවල්...පීර පීර ඉස්සර අපි හල්දුම්මල හොයනවා..
ඔයේ ඉහළ ප්රදේශවල තියෙන හල් ගස්වල හැදුනු දුම්මල....වතුරෙ පාවෙලා ඇවිත්...ඉවුරට ගොඩ ගහනවා....
අනිත් දුම්මල වලට වැඩිය හල්දුම්මල ලා පාටයි...හරියටම කිව්වොත් දිලිසෙන තිරිවාන ගල්වල පාටයි...
ඉතිං ඉස්සර කාලෙ හිටපු වැඩිහිටියෝ කියන්නේ...හල්දුම්මල වැඩිපුර හම්බවෙනවා නම් ඇලවල් අයිනේ තිබිල ඔක්කොම අත ඇරලා එහෙමම ගෙදර දුවන්න කියලා....
සීමාවක් නැතුව එහෙම දුම්මල ලැබෙන කොට
ඒවත් එක්ක යක්ෂ දෝෂත් තියෙනවලු.....
මේව ඉතිං කට කහනවට කියපුවා එහෙම නොවෙයි....
ඉතිං අපිට නම් එහෙම දාල දුවන්න තරම් වැඩිපුර හම්බ වෙලා නැහැ...
මේ හල්දුම්මල තොවිල් වලට ගන්නව වගේම....කෘමි සතුන් එලවන්නත් බොහොම හොඳ ඖෂධයක්...
හරිම සුගන්ධවත් දුමක් එන්නෙ පත්තු කරනකොට...
ඒ වගෙම හල්පොතු....වලිනුත් ප්රයෝජනයක් ගන්න පුළුවන්....
කිතුල්ගස් තෙල්දිය පිණිස මදිනකොට...ඒවා පැසීම වළක්වන්න හල් පොතු භාවිතා කරනවා...මේ බව අපේ තාත්තා ඒ කාලෙ කිව්වම මම හරි පුදුම උනා කොහොමද මේවා දන්නේ ඇත්තටම අපේ පැරැන්නො කියලා....
තෙල්දිය කියන්නේ පැණිරස ද්රාවණයක්....ඒව රා බවට පත්වන්න නම් යීස්ට් අවශ්ය වෙනව.
පරිසරයේ පවතින යීස්ට් සංඝටක එකතු වෙලා වෙන්න පුළුවන් ඒවා රා බවට පත්වන්නේ....
ඒ යීස්ට් වල ශක්තිය දුර්වල කරන්න හල් පොතු වලට පුළුවන් බව...කොහොමද අපේ පැරැන්නන් දැනගත්තේ...
හරිම පුදුමයි නේද....????
මේ හල් ගහ තියෙන්නෙ අපේ ගමේ...හොඳේ.

A day in the life

Thursday, October 17, 2024

වප් පුන් පොහෝ දිනය





වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී ය.

පෙරවස් පවාරණය

වසරේ මාස දොළොස හේමන්ත – ගිම්හාන – වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලයයි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දීය. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ පවාරණය සිදුකරනු ලබන්නේ මෙලෙස පවසමිනි. ‘සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා. වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. ‘ස්වාමීනී, සංඝයා වහන්සේට පවරමි. වස් වසා වැඩසිටි කාලය තුළ මාගේ වරදක් දැක්කා නම්, අසන්නට ලැබුනා නම්, සැකයක් ඉපදුනා නම් එය මට පවසන්න. මා අතින් එම වරද සිදු වූ බව දන්නේ නම් එය නිවැරදි කරගනිමි.“ යනු එහි තේරුමයි. සම්බුදු සසුනක පමණක් දක්නට ලැබෙන එම උත්තම ආයති සංවරය තුළ පිහිටමින් මහා පවාරණය සිදුකරනා භික්ෂූන් උදෙසා ඊළඟ චීවර මාසය තුළ සැදැහැවත් උපාසක උපාසිකාවන් කඨින චීවර පූජා කර උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කර ගනිති. පැවිදි උතුම්න් වහන්සේලා සිය ශාසනික ජීවිතය පිළිවෙතින් සරුකර ගන්නා වූ ද ගිහි පින්වතුන් බොහෝ පින් රැස්කර ගන්නා වූ ද පින්බර වස්සාන සමය නිමාවට පත්ව මහා පවාරණයන් සිදුකරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය.

සංකස්සපුර දේවාවරෝහණය

භාග්‍යවතුන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක සැවැත් නුවර ගණ්ඩබ්බ රුක්ඛ මූලයේදී තීර්ථකයන්ගේ මානය මර්ධනය කරනු පිණිස, යමක මහා ප්‍රාතිහාර්යය දක්වා සත්වෙනි වස් කාලය ගත කරනු පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළ සේක. සක්දෙව් රජුන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි වස් වැස මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙව් පිරිසට අභිධර්මය දෙසූ සේක. දේශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් අවබෝධ කළහ. මාතෘ දිව්‍ය රාජයා ද සෝවාන් විය.

වප් පුර පසළොස්වක පොහෝ දිනය එළැඹියේය. පුරා තුන් මසක් මුළුල්ලෙහි තව්තිසාවෙහි වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කොට දිව්‍ය බ්‍රහ්ම මහා හරසර මැදින් තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස පුරයට මහ පෙළහර පාමින් වැඩි සේක. සම්බුද්ධ ශරීරයෙන් සවණක් ඝණ බුද්ධ රශ්මි මාලා විහිදුවමින් දෙව් බඹුන් පිරිවරා අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස පුරයට වැඩි ඒ අසිරිමත් සම්බුදු මහිමය සිදුවූයේ වප් පුන් පොහෝ දිනයකදීය. ඒ විස්මය දුටු අග්‍රශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ, සර්වඥයන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරමින්, මෙවැනි බුද්ධශ්‍රීයක් දුටු ප්‍රථම වාරය මේ යැයි පවසමින්, ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවෙන් සමලංකෘත වූ බුද්ධ ශ්‍රී දේහය දෙස බලමින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සම්බුදු ගුණ වර්ණනා කළ සේක.

ඉක්බිති සර්වඥයන් වහන්සේ තමන් වහන්සේගේ විස්මිත පෙළහර නිමිති කරගෙන රැස්වූ දෙව් මිනිස් සමාගමයට ධර්මය දේශනා කරමින් මෙසේ වදාළ සේක.

“යේ ඣානපසුතා ධීරා – නෙක්ඛම්මූපසමේ රතා
දේවාපි තේසං පිහයන්ති – සම්බුද්ධානං සතීමතං”

(ධම්ම පදය – බුද්ධ වග්ගය)

ඒ ගාථා කෙළවර බොහෝ දෙනෙක් මගඵල ලැබූහ. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ සද්ධිවිහාරික පන්සියයක් පමණ භික්ෂූන් අරහත්වයට පත්වූ සේක. මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් න්‍යාය ක්‍රමයක් අනුව තථාගතයන් වහන්සේ විසින් නගන ලද ප්‍රශ්න මාලාවක් මහාප්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ විසඳන ලදී. එවිට ඒ මහා ජන සන්නිපාතය මධ්‍යයේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අගතැන්පත් ශ්‍රාවකයා ලෙස සම්බුදු මුවින් සාරිපුත්ත මාහිමියන් ප්‍රශංසාවට ලක් විය.

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගෞතම සසුනේ පැවිදි බව ලැබීම

දේවාවරෝහණ මහා පෙළහර දැකීමෙන් අතිශයින් ප්‍රමුදිත සිත් ඇති බොහෝ දෙනෙක් එදින සම්බුදු සසුනේ පැවිදි බව ලැබූහ. සුර, නර මහා සංගමයේදී බුදුරජාණන් වහන්සේ හා සාරිපුත්තයන් වහන්සේ අතර ඇති වූ රමණීය දහම් සංවාදයට සවන් දුන් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ද ඉමහත් ප්‍රසාදයට පත්ව ගෞතම සසුනේ පැවිදි විය. මේ මහා භද්‍ර කල්පයෙහි, මිනිස් ආයුෂ අවුරුදු අසූ දහසක් වූ කල, සම්බුද්ධත්වය සාක්ෂාත් කරනා, මෛත්‍රී බෝසතුන් එලෙස පැවිදි වූයේ ද වප් පුන් පොහෝ දින දී ම ය.

විනය සංගායනාව

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා උදාර සේවාවක් සිදුකළ දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මාහිමියන්ගෙන් ‘ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටියේදැයි“ විචාලේය. ‘එම්බා මහරජ, ශාසනය පිහිටියේය. එහෙත් තවම මුල් බැසගෙන නැත“ යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන් සේක. ‘ශාසනය මුල් බැස ගන්නේ කෙසේදැයි?“ තව දුරටත් රජු විසින් විචාරන ලදුව “යම් කලෙක මේ හෙළ දිවයිනෙහි සිංහල මව්පියන් හට දාව උපන් දරුවෙක් මෙහි දී ම පැවිදිව විනය පිටකය ඉගෙනගෙන මේ දිවයිනෙහි ම විනය සංගායනා කරයිද එකල්හී බුද්ධ ශාසනය මුල් බැසගත්තා වන්නේය“ යැයි මිහිඳු මහරහතන් වහන්සේ පැහැදිලි කළහ. ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහා අරිට්ඨ මාහිමියන්ට මේ සුදුසුකම් සියල්ලම පිහිටා තිබුනි. එබැවින් මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පිරිදි ථූපාරාමය සෑ මළුවේදී අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ සිංහල මහරහතන් වහන්සේලා වප් පුන්පොහෝ දින විනය පිටකය සංගායනා කළ සේක. ඒ මොහොතෙහි ලක්දිව සම්බුදු සසුන මුල්බැස ගත් ප්‍රීතියෙන් මිහිකත කම්පිත විය.

ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම

ලංකාද්වීපයේ රාජ්‍යය පාලනය කළ දේවානම්පිය තිස්ස රජු මිහිඳු මහරහතන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මිහිරි ශ‍්‍රී සද්ධර්මය අසා බුදු සසුනේ බොහෝ සේ පහන් වූ සිත් ඇත්තේ දිවමන් මුනි රජාණන් බඳු වූ ඒ ජය ශ‍්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවාගෙන ඒම පිණිස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ කතිකා කරන්නට විය. ඒ අනුව අරිට්ඨ මහා අමාත්‍යවරයා ප‍්‍රධාන දූත පිරිවරක් දඹදිව ධර්මාශෝක අධිරාජයා වෙත් පිටත් කරවා යැවීය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ සමඟ කරුණු පැහැදිලි කරගත් ධර්මාශෝක නරේන්ද්‍රයන් මහා බෝධි ශාඛාවක් වැඩම කරවීමට සියල්ල සංවිධානය කරවන්නට වූහ. විජය ශ‍්‍රී ජය ශ‍්‍රීමහා බෝධීන් වහන්සේ මනාකොට සරසා පුද පූජාවන් පවත්වා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වෙන් කරගැනීමට ධර්මාශෝක රජු රන් තෙලිතුඩක් ගෙන මහා බෝධීන් වහන්සේත් දක්ෂිණ ශාඛාවත් වෙන් වන පරිදි රේඛාවක් ඇන්දේ ය.

සැබැවින් ම ආශ්චර්යයකි! රැස් ව සිටි පිරිසගේ සාධුකාර මැද දක්ෂිණ ශාඛාව තෙමේ ම වෙන් වී පිළියෙළ කොට තිබූ රන් කටාරමේ පිහිටන්නට වූ සේක. කටාරමේ පිහිටි බෝධි ශාඛාව එයත් සමඟ ම ඍද්ධියෙන් අහසට පැන නැඟ වළා අතර නොපෙනී ගිය සේක. මේ මහා අසිරිය සිදු වූයේ උතුම් වූ වප් පුන් පොහෝ දිනයක දී ය.

මෙවන් උතුම් ශාසනික සංසිද්ධීන්ගෙන් අනූන වූ වප් පුන් පොහෝ දිනයේ දී අපි සියලු දෙනා ම දානාදී පින්කම් සිදුකරමින්, සීලාදී කරුණා මෛත්‍රීයාදී ගුණධර්මයන් දියුණු කර ගනිමින්, භාවනාදී ප්‍රතිපත්තීන්හි නියැලෙමින් සේඛ බල ධර්මයන් දියුණු කර ගනිමු. මේ ගෞතම බුදු සසුනේදී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ බියකරු දුක්ඛිත සසරින් එතෙර වන්නට වෙර දරමු. ඒ පිණිස උතුම් තිසරණය ම පිළිසරණ කරගනිමු!

තෙරුවන් සරණයි! 

පිටපත මහමෙව්නාවෙන්.

ඇසුර – පොහොය වර්ණනාව – මාපලගම සෝමිස්සර හිමි)


A day in the life

Tuesday, October 15, 2024

කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ






විශ්රාමිකයන් එකතු වන තැන් ද රස ගුලාවකි. පන්සල් යන පල්ලි යන ආගමික කටයුතු වලට ලැදි විශ්රාමිකයෝ මෙන්ම විශ්රාම වැටුප් දා පුංචි සොමියක් දා විසිර යන විශ්රාමිකයෝද සිටිති.
මොවුන් තම විශ්රාම වැටුප තමන් පදිංචි නිවෙස් අසල බැංකුවකින් හෝ තැපල් කාර්යාලයකින් ලබා ගත හැකිව තිබියදී කණ්ඩායම මුණ ගැහෙන රැස්වීමට පහසුකම් ඇති නගරයකදී බැංකු පහසුකම් සලස්වා ගනී.ඒකාකාරී බවින් මිදී විවිධත්වය උදෙසා කරන මෙවැනි ක්රියාකාරකම් ඔවුන්ට දිනකට හෝ දෙකකට හැල්ලුවකි.
මට මේ කතාන්දරය සිහිපත් වුයේ පසුුගිය දිනක මට මුණ ගැසුන මිතුරන් තිදෙනකෙු නිසාවෙනි. ඔවුුන් මගේ වයසින් නම් මට අයියලා විනි. සියල්ලන්ටම සුදු වු හිසකෙස් තිබිනි. කළු කර ගන්නට උවමනාවක් නැති බවක් කතා බහින්ම හිතා ගත හැකිවිනි.මා හැර මේ තිදෙනාම පරිපාලන සේවයේ සිට විශ්රාම ගොස් අඩුුම තරමින් අවුරුදු විසිපහකට ආසන්න විය හැකි “ නාකි පප්පලාය “ මා රාජ්ය සේවකයෙක් නොවු බැවින් කිසි දා විශ්රාම නොයන්නෙකි.
මේ තුන් දෙනා ස්වාමීන් වහන්සේ නමකට බණකට ආරාධනා කරනු පිණීස කිමි.150 ක් පමණ දුර ගෙවා පැමිණි ගමනක මාද මුණ ගැසී ආගිය තොරතුරු කතා කිරීම මටද සතුටට හේතුවක් විනි. අහම්බයෙන් වන මෙවැනි අතීත මිත්රත්වයන් අළුත්වැඩියා වීම නිතරම ඇතිවීම මට ඇති එක් භාග්යවත් බවකි.
මේ කතා අතර දහමට ලැදි මිතුරන් ගේ කතා බහ අතරින් මතුවු එක් කවක් මෙසේ විනි.
“කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ
දිරන ගෙවල් උඹ කුමකටදැයි හදන්නේ
ගෙයක් ඇර ගෙයක් නොතකා ඉදින්නේ
ගන් ගියදා ගෙට ගීණි ගති බොලන්නේ...........,”
කන්දේ ගෙදර - රුප. වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
නයිදේ - තෘෂ්නාව
ගෙයක් අත නොහැර ගෙයින් ගෙට යන - නයිදේ
එක් ගෙයක් ගිණි ගත් පසු තවත් ගෙයක් සදයි.
සසර කෙළවරක් නැත/ නැවත නැවතත් ඉපිදේ.
ගන් ගිය දා
- මියගියපසු
ගෙට ගිණි තියති
- මළවුන්ගේ සිරුර පුළුස්සති.
මම තෘෂ්නාවෙන් යුතුව ගිණි ගන්නා සිරුර අත් හැර
තවත් ගෙයක් හදන්න කරුණු කාරනා එකතු කරමින් සීටිමි.
මගේ මිත්රයෝ මේ සියල්ල අත්හැර නැවතත් ගෙවල් හදන්න නොසිතති.
එයත් පහසු කටයුත්තක් නොවේ.

A day in the life

Monday, October 14, 2024

පිරිමි, වෙනත් කාන්තාවන් දිහා බලන්නෙ උවමනාවෙන්මද.?






මගේ ප්‍රශ්නෙ මේකයි. ඇයි කසාද බැදල දරුවෝ ඉන්න පිරිමි, ලස්සන හොද බිරිඳක් ඉන්න පිරිමි, වෙනත් කාන්තාවන් දිහා බලන්නෙ උවමනාවෙන්ම....?
මේ මගෙන් කෙනෙක් අහපු ප්‍රශ්නයක්...
ගැහැණු සහ පිරිමි අතර ගැහැණු පිරිමි වීම නිසා ඇති ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක තත්වය තේරුම් නොගැනීම. මම හිතන්නේ මේක අනිවාර්යයෙන් පාසල් අධ්‍යාපනය තුළින් ලබා දෙන්න ඕන දෙයක්, එහෙම නොවීම නිසා ගැහැණු පිරිමි අතර ඇති වෙනස්කම් හදුනා නොගැනීම නිසා විවාහ ජීවිත සම්පූර්ණ අවුල් ජාලාවක් බවට පත් වෙලා තියනවා.
පිරිමියකුගේ දෘෂ්ඨි පරාසය එකම දෙයකට නාභිගත වෙනවා, සහ පිරිමියකු ඕනෑම දෙයක් දෙස එක එල්ලේ බලනවා, එය බොහෝ අවස්ථාවල හිතලා කරන දෙයක් නෙවෙයි, ඒ වගේම තමයි පිරිමියකු යම් දෙයක් දෙස හොදින් බලනවා, බලනවා විතරක් නෙවෙයි ඒ ⁣බලන දේ වෙතම පූර්ණ අවධානය ලබා දෙනවා.
හිතන්න බිරිදක් තමන්ගේ ස්වාමිපුරුෂයා සමඟ ගමනක් යන විට හොදින් හැද පැලදගත් කාන්තාවක් ඔවුන්ගේ ඉදිරියට එනවා, මෙහෙම අවස්ථාවක ස්වාමිපුරුෂයාගේ ඇස් කෙලින්ම යන්නේ අර ඉදිරියට එන කාන්තාව වෙතට, ඇස් වගේම මනසේ අවධානයත් එක එල්ලෙම යන්නේ අර කාන්තාව දෙසට, එතකොට ඔහුට තමන්ගේ බිරිද ළග සිටිනවා, ඇය එය දකින්න පුලුවන් කියන කාරණය අමතක වෙනවා, මොකද පිරිමියාගේ අවධානය එක වෙලාවකදී එක දේකට පමණයි යොමු වෙන්නෙ.
නමුත් බිරිද මෙවැනි අවස්ථාවල ⁣අර කාන්තාව දෙසත් බලලා, තමන්ගේ ස්වාමිපුරුෂයා දෙසත් බලනවා, ඒ විතරක් නෙවෙයි, තම ස්වාමිපුරුෂයාගේ මුහුණේ ඉරියම් පවා හොදින් නිරීක්ෂණය කරනවා, ඒ වගේම එම ගැහැණියගේ මුහුණේ ඉරියව් වෙනස් වීම් පවා නිරීක්ෂණය කරනවා.
හරි එතනින් එහාට අර කාන්තාව හෝ ඇය මුණ ගැහීම ඇය දෙස බැලීම මේ සියල්ලම ස්වාමිපුරුෂයාට අමතක වෙලා යනවා, ඔහුට එම කාන්තාව තමන්ට හමු වෙච්ච තවත් එක් කාන්තාවක් පමණයි.
නමුත් බිරිදට එය අදාළ නැහැ, ඇය ඔය දේවල් සිදු උන දේවල් හොදින් නිරීක්ෂණය කරා, දැන් ඇය ඒවා විශ්ලේෂණය කරනවා, අර්ථ නිරූපණ කරනවා, පෙර සිද්ධි හා සසදනවා, පෙර වැරදි තිබෙනම් එවැනි අවස්ථා තිබේනම් තත්වය වඩාත්ම දරුණු වෙනවා,
(තව දෙයක් සාමාන්‍යයෙන් මනෝ විද්යාවට අනුව අපේ මතකයේ ඉහළින්ම තියෙන්නේ මතකයට එන්නේ, අපි මුහුණ ⁣දෙන්න අකමැති නමුත් මුහුණ දෙන්න සිදු උන දේවල්, සහ ඒ පිළිබඳව ද්වේශය, එය අල්ලා ගැනීම, එය සමඟ ගැටීම අන්න ඒක ලොකු හේතුවක් තමයි අපි තුළ දුක කණගාටුව ඇති වෙන. ද්වේශය නිසා දුක, තරහා, වෛරය, සැකය ඇති වෙනවා.)
එ⁣හෙම කරලා ඇය තීරණය කරනවා, හරි මගේ මනුස්සයා හරිම වල් හැරී හැරී ගැහැණු දිහා කන්න වගේ බලනවා. ගැහැණු අයට බැල්ම දානවා. අපෝ මේ මනුස්සය එක්ක ගමනක් බිමනක් යන්නත් ලැජ්ජයි නේ.
නමුත් ඇත්තටම සිදු වන්නේ පිරිමියා එහෙම වල් කමට බැලීම හෝ වනචර කමට බැලීමක් නොවන්න පුලුවන්, එය පිරිමි අයගේ හැටි වෙන්න පුලුවන්. (එහෙම බලන අවස්ථාද නැතුවා නොවේ)
මෙවැනි අවස්ථාවල ගැහැණු අයට තියන මතකයත් හරිම ප්‍රභලයි, වසර ගණන් දේවල් මතකයට අරන් සසදන්න පුලුවන්, අමතක වෙලා තියන දේවල් පවා මතකයට ගන්න පුලුවන්.
හැබැයි පිරිමි අයට ඔය බොහෝ දේවල් ඉක්මනින් අමතක වෙලා යනවා. මොකද ගැහැණු දිහා පිරිමි බලන තරමට ඒවා මතක තියා ගන්න ගියොත් පිරිමින්ගෙ මතකයේ සහ මොළය තුළ වෙන මතක තියා ගන්න ⁣දේවල් නැති වෙනවා.
(පිරිමි කැමැති ඇහැ පිනවන්න)
ඉතින් අපි කියන්නේ පිරිමි අයගේ විදිය ස්වාභාවය තේරුම් ගන්න. සොබා දහම විසින් විවිධ කාර්යන් සදහා සහ ඉතිහාසගතව ඔවුන්ට ඉටු කරන්න පැවැරුණු කාර්යන් සමඟ විවිධ ⁣වෙනස්කම් වලට අනුවර්තන වලට ඔවුන් ලක් වෙල⁣ තියනවා, අන්න ඒ තත්වය විවාහ ජීවිතය තුළදී ලොකු ප්‍රශ්න බවට පත් වෙන්න හේතුවක්.
ඒ වගේම පිරිමි තේරුම් ගන්න ඕන ගැහැණු අයගේ ස්වාමිපුරුෂයා විදියක් තියනවා, එයත් තේරුම් ගැනීම ස්වාමිපුරුෂයන් හට ඉතාම වැදගත්, ⁣ඒක ගැන පසුව ලියන්නම්.
ප්‍රශ්න තියනවා නම් අහන්න.
කසුන් රාජපක්ෂ

ප්‍රවීණ මනෝ උපදේශක.


ලෝකයේ හැම දේකම + සහ - කියල දෙකක් තියෙනවා මේ දෙක හැමවිටම එකිනෙකට ආකර්ෂණයක් තියෙනවා ඒ ආකර්ෂණයට කාටවත්ම මොනවත් කරන්නත් බෑ මොනවත් කියන්නත් බෑ
හැබැයි ඒ අනෙක් විරුද්ධ අග්‍රය තමන්ගේ කරගන්න හිතනවා නම් තමයි ගැටලුව

A day in the life

Sunday, October 13, 2024

වැස්ස.




ගැබිනියකගේ තනපුඩුවල පැහැය උරා
පාවෙන වළාකුළු පවතියි, අහස පුරා
මිටියාවතේ මීදුමු ගොබ දෙපළු ඉරා
ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා

අහසේ වලාකුළු හා තරගයක යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපලට පදී
දියවැල බිදී දෙන රාවය දෙකට බෙදී
හබලේ ගැඹුරු හඩ සමග ම ගොඩට වදී

පදමට වෙරළු මිණිකැට සුනු විසුළ හැඩ
ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය උඩ
නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
කිමිදෙති නැවුම් පුස්බෙහි වෙල් කුඹුරු බඩ

ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු කඩා
ගොඩබිම නිවා සනහන්නට සියලු විඩා
ගන වැහි වළා ඉගිළි එන විට දී අඩා
මට මහා සොම්නසක් ඇත මොනරෙකුට වඩා

වැහි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ දිදී
මිදුලේ රළ බැඳෙයි පෙන බුබුළු බිඳී බිඳී
සුළගින් ගසා ගෙන එන මිහිරි බව රැදී
සිතුවිලිවලට මුළු හදවත ම ඉඩ මදි

වෙහෙසට පත්ව වට වැහි බිඳු පොකුරු ගිල
දිය වල වමාරන්නා මෙනි, පියසි තල
මිදුලේ පුංචි ගංගාවල් ගලන කල
පාසල් ළමුන් පාවෙති සිය සිහින වල

නැති වල ගොඩැලි මතුකොට ගල් කැට බේරා
පටු මාවතේ දුහුවිලි, කොළ රොඩු සුරා
දෙපසෙහි සැදි අගල් සුළි නැගී නැගී හාරා
පිබුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය දාරා

ගස් වැල් තිගැස්සෙයි මේ කුළු ගැටෙන හඬින්
කඳු ගැට වසා විහිදෙයි වැහිගිලිය ගොඩින්
නිකලෙස් හැගීමක් ඩැහැගත් වන ම ගොඩින්
හදවත පියඹා යයි, වෙල් කුඹුරු උඩින්

පොළොවට වැටෙන හැම වැහි බිඳුවක ම පහේ
ගැබ්වුණ සිසිල එයි, ඊතල පරිදි මෙහේ
ළා අතු රිකිලි, රුක්ගොමු, ලියමඩුලු ඉහේ
දැඩි වේදනාවෙන් මිරිකී හඬනු ඇහේ

හැම වැහි වලාව ම ඉගිලිගෙන එද්දී
මට එයි ජීවමය ගී රසයක් ඇද්දී
මුළු ජීවිතය සතු සිහිකටයුතු සිද්දී
සිදු වුන සේ හැගෙයි මහා වැසි පවතිද්දී

සුළගට විදුලියට ගිගිරුම් හැඩ ගගා
ගැඹුරු ම නිසල බව පිටුතලය කොට නගා
රැය සීතලත් අඳුරත් සමගම කුර ගගා
සැන්දෑවට කලින් මේ ගමට විය ළගා

ගී දේවියට කැප කල දෙවොලකට සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු දුම
අද නම් නුවර එලියකි මා වෙසෙන ගම
මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි මම

- එච්.එම්.කුඩලිගම -

A day in the life

Saturday, October 12, 2024

බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ කවුරු





දළ ඇතෙක් වගෙ බරට අඩිය තියලා      ගියපු 
කිතුල් ගහ මුදුනටම අසුරු සැණෙකින්    නැගපු 
ගංගොඩේ ඇවිදලා කිතුල් මල්වර         කරපු 
බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ         කවුරු .

කොහාටත් කලින් නෑ ගමන් ඇවිදින්     පුරුදු 
හකුරු පැණි ගෙනැත් දී අවුරුද්ද සරු     කරපු 
මගුලටත් මරණෙටත් එකවාගෙ  දුව     පැනපු   
බණ්ඩාර මාමාට කවුද හිටියේ               සතුරු .

නගින්නට පෙර කිතුල් ගහට  තෙවරක්   වැඳපු 
පෙණ දමන රා මුට්ටියේ කුහුඹුවන්         හැරපු 
කමලාගෙ දර මඩුව අඩු නැතුව             පුරවාපු 
හීලෑ කරන් ඇය ඉඟ නෙරියෙ රැළි           බිඳපු .

වාරු නැති කොඳු ඇටය මැදින් පුපුරා    ගියපු 
ගෙදර අය නාඳුනන “සද්දන්තයා”        හිටපු 
“මළා නම් හොඳයි” උන් දුක දරාගෙන කියපු 
කිතුල බාගෙට කැපූ හෙළයි කඳුළක්    උණපු .

රෝ.සි.
2024.09 .02.

මීදුම.
බණ්ඩාර මාමා පොදු චරිතයක් කියලා මට හිතෙනවා. මෙහේ හිටියා හීන්මුදියන්සේ කියලා වැඩිහිටියෙක්. එයත් කිතුල් මල් කපනවා. බණ්ඩාර මාමාගේ චරිතයමයි. එයා ලගට යන ඔක්කොට රහමෙර නෑ නොකියා දෙනවා. ඒ හින්දා නමක් පට බැදිලා තිබුනා පච්ච තන්නි කියලා. දෙමළ බසින් සිංහලට ඇල් වතුර.කමලාගේ නම මෙහේදී වෙනස්. දරු පවුල් දෙකක් හිටියා. වරපට බිදී මෙතුමත් කිතුලෙන් බිමට වැටිලා කොදු ඇට පෙලට හාණි වෙලා එක්තැන් වුනා ඔහු දිවියෙන් සමුුුගන්නා තුරු සැලකුම් ලැබුුවේ ඉග නෙරිය බිදු කුලවමිය.
ඒ පද වැල මට සම්පාත වුුන හැටි . කිතුල් පැණිවගේ මිහිරක් තියෙන පද රචනයක් රහයි.

A day in the life

Thursday, October 10, 2024

කසාද බදිනවා නම්

 



කසාද බදිනවා නම් අඩුම තරමේ තමන්ගේ අධ්‍යාපන මට්ටම තරමටවත් ඉගෙන ගත්ත මනුස්සයෙක් කසාද බදින්න කියලා මම කියනවා.
මෙහෙම කියන්නේ උපදේශනය සදහා මා වෙත ආපු කාන්තාවක්.
⁣මේ ඇය කියපු කතාව...
මම ඉපදුණේ දුප්පත් මනුස්සයෙක් නූගත් මනුස්සයෙක් ගෑවිලාවත් නැති පවුල් පරම්පරාවක පවුලක වැඩිමල් දරුවා විදියට. අපි හරිම සාම්ප්‍රදායික මධ්‍යම පාන්තික පවුලක්, අපේ පවුලේ හැමෝම හොදට ඉගෙන ගත්ත අය, ඒ වගේම අපේ පවුල්වල අයගේ විදිය තමයි අධ්‍යාපනය තුළින් සාර්ථකත්වය සදහා යොමු වීම, ඒ නිසා පවුල් වල හැමෝම රජයේ සහ පෞද්ගලික ආයතනවල විවිධ මට්ටමමේ ඉහළ නිලතල දරපු අය.
නමුත් අපේ පවුල්වල තිබුණේ මේ සම්ප්‍රදාය කඩ කරපු කෙනා මමයි.
මම විවාහ උනේ කොටින්ම කියනවා නම් අපොස සාපෙලවත් හරියට සමත් නැති ඉතාම දුප්පත් පවුලක පිරිමි කෙනෙක්. නමුත් කියන්න ඕන තමන්ගේ උත්සාහයෙන් කැපවීමෙන් යම් රැකියාවක් කරලා බොහොම ඉහළට ආපු කෙනෙක් විදියට තමයි මම ඔහුව හදුනා ගන්නකොට හිටියේ.
අපි දෙන්නම එකම වයසේ අපි එකිනෙකා හමු වෙද්දී අපි දෙන්නටම වයස අවුරුදු තිහ සම්පූර්ණ වෙලා, ලොකු ඇසුරක් ඇති කර ගත්තෙ නැති නමුත් අපි හමු වෙලා අවුරුදු එක හමාරක් යන්න කලින් විවාහ උනා. මේ විවාහයට මගේ පවුලේ කිසිම කෙනෙක් කැමැති උනේ නැහැ. හැමෝම එක හෙලාම විරුද්ධ උනා.
හැමෝම එක හඩින් කිව්වේ දුව ඔය පිරිමි ළමයා අපේ පවුලට ගැලපෙන කෙනෙක් නෙවෙයි, ඔයා මොකක්ද ඔය කර ගන්න හදන්නේ කියලා.
නමුත් මම නෙවෙයි ඒවා කනකට ගත්තෙ, මම හිතුවා මට වරදින්නේ නැහැ, මම මේ ගන්නෙ ජීවිතයේ මම ගන්න හොදම තීරණය කියලා.
අපි විවාහ උනා, අපේ පවුලේ කිසිම කෙනෙක් ඒ කෙටි විවාහ උත්සවයට සහභාගි උනේ නැහැ. එයාගේ පවුල්වල දුප්පත් නෑදෑයන් සහ එයාගේ සහ මගේ මිතුරන් මිතුරියන් පමණක් සහභාගි උනා අපේ විවාහ උත්සවය සදහා.
විවාහ උත්සවය සදහා මගේ පවුලේ කිසිම කෙනෙක් සහභාගි නොවීම ගැන Husband ගෙ අම්මා තරමක් නොරිස්සුම් බවක් පෙන්නුවට ඒක තනිකරම රගපෑමක් බව මට තේරුම් ගියා, එයාලට දැක්කෙ හදපානේ හරි කමක් නැහැ අපේ වගේ පවුලකින් කසාදයක් කර ගන්න ලැබීම ලොකු භාග්‍යායක් හැටියට.
අපි විවාහ වෙලා වෙනම ගෙදරක පදිංචි උනේ, මොකද එයාලට තිබුණේ සාමාජිකයන් වැඩි පිරිසක් ඉදපු පවුලක්, සහ මම කැමැති උනේ වෙනම අපි ජීවත් වෙන එකට, ඇත්තටම කිව්වොත් අපේ කසාදය මෙච්චර කල් හරි තියෙන්න වෙනම ජීවත් වෙන්න ගත්ත තීරණය ලොකු හේතුවක් උනා, මොක බැරි වෙලාවක් අපි එයාගේ මහ ගෙදර ඉන්න හිටියානම් සතියෙන් දෙකෙන් කසාදය කඩාගෙන මම යනවා යන්න.
මොකද ඒ තරම් වෙනම ඉදලත් එයාගේ පවුලේ අයගෙන් වෙච්චි අපහසුතා නිසා අපි අතරේ ප්‍රශ්න ඇති උනා.
හැමෝම අතමාරුවට සල්ලි ඉල්ලා ගන්න එන්නේ මෙයා ගාවට.
පස්සේ පස්සේ එයාලා මගෙනුත් ඒක බලාපොරොත්තු උනා.
හැබැයි ගණු විතරයි දෙනු නැහැ..
ගෙදර තියන දේවල් ගෙදරකට අත්‍යාවශ්‍ය දේවල් එයාලා අරන් යන්නේ මේක ඒ ගෙදර මිනිස්සුන්ට ආයේ ඕන වෙයි කියන හැගීමකින් නෙවෙයි, ඒ දේ අපිට ඕන උනාම අපි ගිහිල්ල අරන් එන්න ඕන.
දුකක් කරදරයක් විපතක් උනාම හැමෝම ඇවිල්ලා වැටෙන්නෙ දුක කියන්නේ අපිට, ඒකට කමක් නැහැ කියමුකෝ, නමුත් අපිට කරන්න පුලුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා කියන එක එයාලට අදාල නැහැ, ඒ වගේම අපි දෙන්නට පෞද්ගලිකත්වය තියනවා අඹු සැමියන් විදියට ජීවත් වෙද්දී නිදහසක් අත්‍යාවශ්‍ය වෙනවා කියලා හැඟීමක් ඒ පවුලේ කිසිම අයකුට නැහැ, එයාලට මොකක්ද වෙන්න ඕන මහ රෑද මහ පාන්දරද කියලා නැහැ CALL කරනවා නැත්නම් ගෙදරට එනවා.
ඇත්තටම කිව්වොත් ඒ මිනිස්සුන්ට තරම් ප්‍රශ්න ගැටලු අඟහිගකම් නැතිව ඇති මේ ලෝකේ කාටවත්.
හරි ඔය කිව්වේ Husband ගේ පවුලේ අය ගැන, මේ Husband ගැන.
එයාගේ පිළිවෙළ පිරිසිදුකම අන්තිම බිංදුවේ තිබුණේ, කවදාවත් තමන්ගේ පිරිසිදුකම ගැන හිතුවේ නැහැ, පෞද්ගලික සනීපාරක්ෂක කටයුතු අන්තිමයි, එයා එක්ක තවත් පිරිසිදුවට පිළිවෙළකට ඉන්න කැමැති එහෙම ජීවත් ⁣වෙච්ච මනුස්සයෙක් තව ඉන්නවා කියලා කිසිම ගාණක් නැහැ,
Toilet එකට ගියොත් හරියට වතුර ප්ලශ් කරන්නේ නැහැ නාන කාමරයක් හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ, ඔය ටිකයි.
අද ඇදලා අපිරිසිදු වෙච්චි සර්ට් එක එයා හෙටත් අදිනවා, කොලරයේ අත්වල කුණු. යට ඇදුම් බැනියම් ඉරිලා හිල් තිබුණත් ඒවා ගැන ගාණක් නැහැ, කොච්චර අලුත් ඒවා ඇරන් දුන්නත් අදින් පරණ ඒවා.
කොලරයේ අත්වල කුණු සහ අපිරිසිදු බව එයා මාත් එක්ක යාලු වෙලා ඉන්න කාලෙදි මම දැකලා තිබුණට මම හිතුවේ එයා දවසෙම මහන්සි වෙලා වැඩ කරලා අපිරිසිදු ⁣වෙලා ඇති කියලා මොකද ඉස්සර එයා මට හමු වෙන්නෙ හැන්දෑවට නිසා.
ඔන්න ඔය දේවල් එක්ක අපි අතරේ ටික ටික ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා, පස්සේ පස්සේ එයා ඔය පුරුදු ජීවිතය මට රිද්දන්න මාව අපහසුතාවයට පත් කරන්න හිතගෙනම කරා කියලා මට පස්සේ ⁣තේරුම් ගියා.
මෙයාගෙ මේ අපිරිසිදුකම අපිළිවෙළ නිසා එයා එක්ක ලිංගිකව එකතු වීම පවා මට තරයේ අප්‍රසන්න උනා, පස්සේ පස්සේ මම එයා එක්ක එකට ඉන්න එක ප්‍රතික්ෂේප කරන තැනට ආවා, ඒකට එයා මට කරපු චෝදනාව තමයි මට වෙන මිනිස්සු ඉන්නවා කියන එක.
කාලයක් ඔහොම යද්දී මේ මනුස්සය මම ගැන තද ඉරිසියාවකින් කටයුතු කරන්න ගන්නවා, හිතා මතා මාව අපහසුතාවයට පත් වෙන විදියට කටයුතු කරනවා.
මමත් එක්ක තැනකට ගියත් යන්නේ යන්නම් වාලේ ඔහේ මොකක් හරි ඇදුමක් ඇදගෙන, මගේ Office එක ළගට මාව ගන්න එන්නේ හරිම අපිළිවෙළට, මට තේරෙන්න ගන්නවා මෙයා එහෙම කරන්නේ මට ලැජ්ජා කරන්න කියලා.
මට ආරාධනා ලැබෙන සාද වලට උත්සව වලට සහ විවිධ අවස්ථාවලට මට මෙයා එක්ක යන්න බැරි තරම්, ඒ තැනකට ගියාම හොදටම බීලා කාලා එතන පිරිහෙනවා, නැත්නම් එතන ඉන්න මිනිස්සුන්ට විහිළුවක් වෙනවා.
මගේ තත්වය මගේ තනතුරේ ගෞරවය කෙලෙසනවා. පස්සේ පස්සේ මම එයා නැතුව ඒවාට සහභාගි වෙන්න ගත්තම ඒකටත් එක එක කතා කියන්න පටන් ගත්තා, එයා එක්ක ගියාම මට හරියට පිරිමින්ට බැල්ම දාන්න බැරි නිසා එයාව තියලා යනවා කියලා.
මම කිව්වම එහෙම එකක් ⁣නෙවෙයි ඒවාට ගිහිල්ල තමුන් හරියට හැසිරෙන්නෙ නැති නිසයි එක්ක නොයන්නෙ කිව්වම, එයා මගෙන් අහනවා මොකක්ද මගේ හැසිරීමේ තියන වරද ඕවාට යන්නේ කන්න බොන්න විනෝද වෙන්න තමයි කියලා.
නමුත් ඒක කරන්න එක පිළිවෙලක් තියනවා, ඔයා පැයකට දෙකකට කරලා එන දේවල් හෙට අමතක උනාට මම එතන හැමදාම ගිහිල්ල රාජකාරි කරන්න ඕන එතන මිනිස්සු කරන කියන කතා දන්නේ මම නේ, මටනේ ඒවයි ලැජ්ජා වෙන්නෙ ඒවාට මම තමයිනේ මුහුණ දෙන්න ඕන, ඔයාට කවුරුත් මුකුත්ම කියන්නේ නැහැ තමයි කියලා.
ඒ කොහොම මාව අපහසුතාවයට පත් කරත් මට අපහාස කරත්, ඕන තැනක ගිහිල්ල මම ගැන මගේ තනතුර ගැන කියන්නේ හරිම ආඩම්බරයෙන්, එයා මගේ Wife එයා අහවලා කියලා.
කවදාවත් අතක් උස්සලා මට පහර නොදුන්නට වචනවලින් ක්‍රියාවෙන් මාව මානසිකව වට්ටන්න පුලුවන් උපරිම තැනට දමන්න එයා කටයුතු කරා.
ඔය ප්‍රශ්න ඔහොම ඇති වෙන්න පටන් අරන් අවුරුදු දෙකක් යද්දී අපිට අපේ පුතාව ලැබෙනවා, මම හිතුවා දැන් දරුවෙක් ඉන්න නිසාවත් ටිකක් පිළිවෙලට වැදගත විදියට හැසිරෙයි කියලා.
නැහැ, එයා අන්තිමට කරේ දරුවටත් ඒ නරක වැරදි පූර්වාදර්ශ ලබා දෙන්න ගත්තා. එයාගේ විදියට දරුවව හැඩ ගස්සන්න කටයුතු කරා, කොටින්ම කියනවා නම් මට ළමයවත් ළමයට මාවත් එපා කරලා දැම්මා.
දරුවා එක්ක මට ඇණුම් පද කියනවා මට විහිළු තහලු කරනවා මගේ වැරදි අඩුපාඩු කියනවා, කොටින්ම මම මහ නරක නපුරු ගැහැණියක් කියලා දරුවට ඒත්තු ගැන්නුවා.
සමහරවිට මම නපුරු වෙන්න ඇති තරහා යන ගැහැණියක් අම්මා කෙනෙක් වෙන්න ඇති, මම ඒ තත්වයට පත් කරේ Husband පුතාවත් එකතු කරගෙන කියලා මම කියන්න ඕන.
මගේ ඒ නපුරු වීම තරහා ගැනීම නිසා පුතා තවදුටත් ළං උනේ එයාගේ තාත්තට, තාත්තා කියන දේවල් තමයි එයා ඇහුවේ කෙරුවේ.
අන්තිමට මට විවාහය දරුවා රැකියාව ⁣මේ සේරම එපා වෙන්න ගත්තා. විශාදයට පවා ගොදුරු ⁣වෙලා වෛද්‍ය ප්‍රතිකාර පවා ගත්තා, අන්තිමට මට Doctor කිව්වේ මගේ කතාව අහන් ඉදලා මට මේකට විසදුමක් කියන්න කිව්වම, හොදම දේ ළමයවත් ඒ අයට දීලා ඔයා ඔතනින් අයින් වෙන්න කියලා. නැත්නම් ඔයා ලොකු කරදර ගොඩක පැටලෙයි කියලා. ඒ වගේම ඔහු තවදුරටත් මට කිව්වේ දරුවා ලැබෙන්න කලින් තමන් හමුවීමට ආවා නම් දරුවෙක් හදා ගැනීමට ඉක්මන් නොවන ලෙස මට යෝජනා කරන බව පැවැසුවා.
අන්තිමට මම දික්කසාදය ගැන Husband ට කෙලින්ම කිව්වා, එයා ඒකට කැමැති උනේ නැහැ, මොකද එයා දන්නවා ආයේ මම වගේ ගැහැණියක් එයාට හමු නොවන බව. දික්කසාද ⁣වෙමු කියලා මම කොයි තරම් පෙරැත්ත කරත් එයා ඒකට ඉඩ දුන්නේ නැහැ. මට කියලා කාත් කවුරුත් නැති තරම් මොකද මගේ පවුලේ අය මාව දුරස් කරලා තිබුණේ. මම ගැන ⁣හොයන්න බලන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ.
අවසානයේදී මම තීරණය කරා විදේශගත වෙන්න, ඒ සදහා අවශ්‍ය කටයුතු මම ඉතාම ⁣
හොර රහසේ සූදානම් කර ගත්තා.
කොහොමත් මම වැඩිදුරටත් අධ්‍යාපනය සදහා රට යනවා කියලා එයාට කිය කියා තමයි හිටියේ ඒකට ⁣ලොකු අකමැත්තක් තිබුණේ නැහැ හැබැයි, මොකද මම කිය කියා හිටියේ මම මුලින්ම ගිහිල්ලා බබයි එයාවයි දෙන්නම එහෙට ගන්නම් කියලා.
අන්තිමට මම එංගලන්තයට ආවා, මම ලංකාවෙන් එද්දි හිතා ගත්ත ආයේ ලංකාවට ආවත් ඔය මනුස්සය ළගට නම් මම යන්නේ නැහැ කියලා, දවසක පුලුවන් උනොත් දරුවා කැමැති නම් එයාව එහෙට ගන්නවා ඇරෙන්න කියලා, දරුවත් තාත්තට තියලා මම ආවා.
ඒ විදියට මමමගේ අවුරුදු දහයක විවාහ ජීවිතයට සමු දීලා මෙහෙට ඇවිල්ල දැන් අවුරුදු දෙකක්, දැන් නම් එයාට හැමදේම තේරිලා කියලා මට කියනවා, නමුත් මම ආයේ ඒවා ගැන හිතන්නේ නැහැ. මොකද ලිහලා බලපු මල්ල ඔබලා බලන්න ඕන නැහැනෙ.
ලංකාවේ ඉද්දි ගත කරපු ජීවිතය සහ දැන් මම ගත කරන ජීවිතය සංසන්දනය කරලා බැලුවම මම ලංකාවෙදී ජීවත් වෙලා තියෙන්නෙ මල ප්‍රේතයකු සමඟ අපායක කියලා තමයි මට දැණෙන්නෙ.
ඉතින් මම ඔබලාට කියන්නේ කිසිම දවසක තමන්ගේ තත්වයට අධ්‍යාපන මට්ටමට නොගැලපෙන නොපෑහෙන මනුස්සයෙක් කසාද බදිනවා නම් ඒක ගැන හොදින් හිතන්න. විශේෂයෙන්ම ගැහැණු අයට මේක අදාලයි.
කොච්චර කිව්වත් ආදරයට ජාති ආගම් කුල මල උස් පහත් කම් දුප්පත් ⁣පෝසත් බේද අදාල නැහැ කියලා මම තරයේ විශ්වාස කරනවා අනිවාර්යයෙන් ⁣පොඩිම හරි විදියට ඒවා අදාල බව.
ආයේ කියන්නම් ඒ දේවල් ආදරයට බාදා නොවුණත් කසාදයට නම් බාදාවක් වෙනවාම තමයි. සමහරු බොහොම දරුණු විදියට මාව විවේචනය කරයි, නමුත් මම කියන්නේ ඒ ගැන අවුරුදු දහයක් විතර අද්දැකීම් විදලා.
මමත් මුලදී ඔය දේවල් විශ්වාස කරලා රැඩිකල් වෙන්න ගිහිල්ල තමයි අමාරුවේ වැටුණේ.
මොකද මම මගේ විවාහ ජීවිතය තුළ ඔය හැමදේකම මකන්න බැර ගලපා ගන්න බැරි නොගැලපීම් නොපෑහීම් නිසා අනේක විද දුක් වින්දා, අපහාස උපහාස ලැජ්ජාවන්ට මුහුණ දුන්න.
සමහර මිනිස්සුන්ට තියන හීනමානය ජන්මාන්තර වෛරයක් කරයෙක්ට හපන්.
කසුන් රාජපක්ෂ
ප්‍රවීණ මනෝ උපදේශක.

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon