දොට්ට පිලට යනවද? පිල ගැන නොදන්නා කතා!
"රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න"
මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ රෑට වැසිකිළි යන්න ඕන උනොත් කියන එක උනාට, කවුරුහරි කල්පනා කළාද මොකක්ද මේ දොට්ට පිලට කියන්නෙ කියල!
දොරට පිලට - දොට්ට පිලට. මෙතන දොර කියන්නෙ ගෙදර තියෙන දොර නෙවෙයි! ගෙයින් පිට මිදුල කොටසට.
එතකොට පිල කියන්නෙ මොකක්ද?
පිල කියන්නෙ ගෙයක් හදනකොට පොළොව මට්ටමට වඩා උසට හදාගන්න බිමට. මේ වචනය හැදිල තියෙන්නෙ වේදිකාව යන තේරුම තියෙන පලකය යන වචනයෙන්.
අද වන විට පිල අපේ ගෙවල්වලින් ඈත් වුනත් තාම පිල් තියෙන තැන් තමයි මේ.
කඩයකට හදපු පිල- කඩපිල.
සල්( වෙළඳාමට) හදපු පිල - සල්පිල.
අපි දැන් බලමු ගෙයක තියෙන පිල් වර්ග ගැන. ලීවලින් හරි වෙනත් දේකින් හරි හදපු ගෘහභාණ්ඩ වැඩිපුර නොතිබුණු ඒ කාලෙ ඇඳ , පුටු, මේස ඔක්කොටම පාවිච්චි කළේ පිල තමයි.
1 ගෙපිල-
ගේ හදන්න පොළොව මට්ටමට වඩා උසට හදාගන්න කොටස. ගේක තියෙන අනිත් හැම පිලක්ම වගේ හදල තියෙන්නෙ මේ පිල උඩ.
2 වටපිල-
ගෙයි බිත්ති ශක්තිමත් කිරීමට, ගෙට පිට පැත්තෙන් බිත්තියට යාකර සකස් කරන පිල. මේකට දැන් කියන්නෙ කයියෝරුව/ කයිරුව කියල.
3 අගුපිල-
ගෙයින් එළියට වැටෙන වහලයේ කොනට යටවෙන බිම් කොටසත් පොළොවට වඩා තරමක් උසටයි තියෙන්නෙ . ඒක තමයි අගුපිල. අද කාලෙ නම් සිමෙන්තියෙන් තමයි මේක හදන්නෙ.
" අපේ පිරිමි පැල් යනවා කියලා
පැලට ගිහින් ගිනි බෝකර තියලා
එළිවෙනතුරු අගුපිල්වල ලැගලා
උදේට එයි පැල් රැක්කා කියලා "
පැල් රකිනවා කියල ගිහින් අගුපිල්වල ලගිනා සැමියන් ගැන, ගැමි ගැහැනු කිව්වෙ එහෙම.
එහෙම කෙනෙකුට වෙච්චි අකරතැබ්බයක් තමයි මේ කවියෙන් කියන්නෙ!
" අනේ දෙවියනේ මට වන් වියෝයා
පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගෙදර ගිය කලට අඬ දබර බෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑ සියෝයා "
පැල් රැක්ක නම් එතන තිබ්බ පැදුර හොරු ගෙනිච්චෙ කොහොමද?
හැබැයි හැම සැමියෙක්ම එහෙම නෑ. පිලේ පැදුර අරන් පැලට ගිය, ඒ විදියෙ සැමියෙක් මෙහෙමයි කිව්වෙ!
" පිලේ පැදුර අරගෙන හේනට යනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා"
4 දොර පිල-
ගේකට ඇතුළුවෙන තැන දොරකඩ. ගෙපිල තරමක් උසට හදන නිසා මේ ගෙපිලට නගින්න දොර ළඟ පඩියක් හදල තිබ්බ. ඒක තමයි දොරපිල.
5 උස් පිල/ කොට්ට පිල-
ගෙදර ඉස්තෝප්පුවෙ නිදාගන්න හදාගෙන තිබ්බෙ උස් පිල. ඒක බිත්තියටම යා කරල, පොළොව මට්ටමේ ඉඳල අඩි තුනක් විතර උසට අඩි තුන හතරක් පළලට හදපු ඇඳක් වගේ. ඒ උනාට ඇඳක වගේ කකුල් නෑ. කොට්ට පිල කිව්වෙත් මේකටමයි.
6 මිටි පිල-
උස් පිලට නගින්න පඩියක් වගේ දිගට හදල තිබ්බෙ මිටිපිල.
7 පිල් කඩ/ පිල් කොටේ-.
දොරෙන් එළියෙ තියෙන ඉස්තෝප්පුව වගේ කොටස තමයි පිල් කොටේ. පිල් කොටස කියන එකයි ඒකෙ තේරුම.
පිල් කඩක් කියන්නෙ ඕනම තැනක පොළොව උස්සා සකස් කළ කොටසකට.
8 පිල් තලව්ව-
පිල් තලාව කියන එකයි මේකෙ තේරුම. පොළොව උස්සල සමතලා කරපු තැනක්.
9 මඩුපිල-
පැරණි ගේක ඉදිරිපසින්, බිත්ති බැඳීමක් නැතුව ගෙපිලට උඩින් වහලය විතරක් හදල, මඩුවක් විදියට තියෙන කොටසට කිව්වෙ මඩුගේ කියල. ඒ මඩුගේ තියෙන පිල මඩුපිල. ඒකෙ තමයි හුගාක් වෙලාවට ගෙදරට එන අමුත්තන් වාඩිවෙන්නෙ!
10 හප්පා පිල/ කුදගහනා පිල-
කුස්සිය පැත්තෙ දොරෙන් එළියේ තියෙන මේ පිල් කොටස, ගෙදර අයට විතරක් වෙන් වුණු පිලයි. මෙතන කුදගහනව කියන්නෙ ඇණ තියාගෙන වාඩිවෙනවා කියන අරුතෙන්. ගෙදර ඇත්තො කුස්සියෙ උයල සප්පායම් වෙන පිල නිසා හප්පාපිල වුණා.
11 ලිප්පිල/බොකු පිල/ගිනි පිල -
ඇතැම් ගැමි ගේක ලිපත් වියතක් විතර උසට බැඳල හැදුව. ඒකට තමයි ලිප්පිල/බොකු පිල/ ගිනිපිල කියන්නෙ. ඒකෙ වලන් තියන්න කටවල් වගේ දෙකතුනක් ගෙබිමෙ මට්ටමට හදල ඒකට ලිප්කට කිව්ව
10 පිලිකන්න-
පිලේ කොන- පිල්කොන- පිලිකන්න. ඒ කියන්නෙ බිත්තියෙන් එළියෙ තියෙන අගුපිලේ අවසාන කොටස පිලිකන්න.පිල ගැන දන්න කියන තවත් අය මේ සමූහයේ ඇති. ඒ අයගෙත් අදහස් බලාපොරොත්තු වෙමි.
සටහන Channa Witha මහතාගෙන් උපුටා ගැනීමකී
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>