Friday, August 12, 2022

Vesi nisa kiwwe





‘’මන් අම්මත් එක්ක ගමනක් යනවා. Bye
Me maha vesith ekka parissamin yanna
Idakin balla
Mn ubwa block karanawa
Vesi nisa kiwwe
Balla
Akunuth gahana nisa kiwwe . ai me baninne “
 

සිංහල භාෂාවේ අකුරු තිබියදී ,
සිංගිලිස් වලින් ලියන්න ගිහින්  කර ගෙන තියෙන විනාශයක්.
අම්මා සංනිවෙදන වෙලා තියෙන අයුරු.
නිව්ස් ඇලර්ට් ඔය භාෂාවෙන් එනවා.
ශ්‍රේෂ්ඨාකරණය වගේම නිතර  භාවිතයේ නොමැති වචනත් හරිම හොල්මන්.
සිංහල අකුරු භාවිතය හරි පහසුයි.
නිතරම සිංහල අකුරු යොදා ගනිමු.














notes of imaginary

ධනෝපායන හැකියාව සහිත රාජ්‍යයක් උ⁣දෙසා...


💞💞💞💞(රසික ජයකොඩිගේ  - Rasika Jayakody-සටහනකි)
09 - 08 - 2022.💢💢💢💢💢💢💢💢
ලංකාවේ ජන සමාජයේ ඉතා ගැඹුරට කිඳා බැස ඇති විශාල පිළිලයක් වන්නේ පොදුවේ මිනිසුන් තුළ තිබෙන 'ධන විරෝධී' ආකල්පයයි. 

ඒ කියන්නේ, ධනය උත්පාදනය කිරීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කරගෙන එන බියක් සහ සැකයක් තියෙනවා. 

ධනය උත්පාදනය කිරීම සහ ඒකරාශී කිරීම (wealth creation and accumulation) යනු අපරාධයක් හෝ අයහපත් දෙයක් ය යන මතය සමාජය තුළ ඉතා ම සියුම්ව මුල් බැසගෙන තියෙනවා. 

ධනය ඉපැයීමට දක්ෂ පුද්ගලයා "නරක මිනිසෙකු" හෝ "සූරා කන අදමිටු මිනිසෙකු" ලෙසට චිත්‍රයක් සමාජයේ නිර්මාණය වී තිබෙනවා. 

සරල උදාහරණයක් ගැන හිතුවොත් බොහෝ ගැමි කතන්දරවල, සාහිත්‍ය පොත්වල, ටෙලිනාට්‍ය හා චිත්‍රපටිවල අන්තර්ගතය අධ්‍යයනය කොට බැලුවොත් 'කඩේ මුදලාලි' බොහෝ විට චිත්‍රණය කොට තිබෙන්නේ අයුතු ලාබ උපයන කළු චරිතයක් ලෙසයි. මුදලාලිට එළිපිට මිනිසුන් ගරුසරු ඇතිව කතාකළත් යටින් ඔහු පිළිබඳ තරහවක් ඔවුන් ගේ සිතේ දිවෙනවා. 

සාධාරණ මිනිසා සැමදාම දුප්පතෙකු ලෙස සිටින බවත්, දුප්පතා ගේ හිත හොඳ බවත්, ධනවතා අසාධාරණ සහ අධර්මිෂ්ඨ මිනිසෙකු බවත් මේ හුඟක් කතාවල යටිපෙළෙන් කියනවා. මෙය හුදෙක් අහම්බයක් නොවෙයි.

මෙය ආගමික බලපෑමක් නිසා සිදුවන දෙයක් ද, එසේත් නැත්නම් 1930 ගණන්වල සිට ලංකාවේ මුල්බැස ගත් වාමාංශික අදහස්වල බලපෑම නිසා ඇතිවූවක් ද, එහෙම නැත්නම් ඒ දෙකේ ම සංකලනයක් ද යන්න වෙන ම අධ්‍යයනය කොට බැලිය යුතුයි.

ඒ කෙසේ වෙතත්, මේ ධනය උත්පාදනය කෙරෙහි දක්වන අනියත සහ අතාර්කික බිය ශ්‍රී ලංකාවට දිගුකාලීනව විශාල අගතියක් සිදුකොට තිබෙනවා. 

මේ නිසා ලංකාවේ ජන සමාජය තුළ බොහෝ විට සිදුවන්නේ ධනය උත්පාදනය කිරීම ප්‍රවර්ධනය කෙරෙනවා වෙනුවට එය පිළිකෙව් කොට දුර්මුඛ කිරීමයි. 

මධ්‍යම පංතියේ දෙමව්පියන් බොහෝ විට තම දරුවන් පොළඹවන්නේ ටයි පටියකින් ගෙල සිර කරගෙන, සීතල කාමරයක කාර්‍යාල රැකියාව කිරීමට මිස ව්‍යවසායකත්වය පැත්තට නෙවෙයි. පාසල් අධ්‍යාපනය බොහෝ සෙයින් නැඹුරු වී ඇත්තේ සේවා අංශයට ගැලපෙන වෘත්තිකයන් නිර්මාණය කිරීමට මිස ව්‍යවසායකයන් බිහිකිරීමට නෙවෙයි.

ලංකාවේ නීති සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ ද ව්‍යවසායකයන් දිරි ගන්වන ආකාරයට නොව දුර්මුඛ වන ආකාරයටයි.

ආයෝජකයන් සම්බන්ධයෙන් අප දක්වන්නේ ද එවැනි ම ප්‍රතිපත්තියක්. ආයෝජකයන් සම්බන්ධ නීති රීති සහ ක්‍රමවේද සකස් වී ඇත්තේ ද ආයෝජකයන් යනු ලංකාවේ සාරය උරාගෙන යන්නට පැමිණි සූරාකන්නන් පිරිසක් ය යන ස්ථාවරයේ සිටයි.

එවැනි රටකට සෘජු විදේශ ආයෝජන අහිමි වීම ගැන කිසිවෙකුත් පුදුම විය යුතු නැහැ. 

මා මේ කියන්නේ ව්‍යවසායකයන්ට සහ ආයෝජකයන්ට කිසිදු නියාමනයක් නැතුව ක්‍රියාත්මක වීමට සහ බදු නොගෙවා සිටීමට ඉඩ දිය යුතුයි කියන අදහස නෙවෙයි. ඒත් අපේ රටේ නියාමනයකට වඩා සිදුවන්නේ දුර්මුඛ කිරීමක්. එම ව්‍යාපෘති කෙරෙන තැනට නොව නොකෙරෙන තැනට කටයුතු කිරීමක්.

ආයෝජකයන් යනු රටේ සම්පත් සූරාගෙන යන්නට පැමිණෙන පිරිසක් ය යන මනෝභාවය නිසා අප ගනුදෙනුව පටන් ගන්නත් කලින් ඔවුන්ට වැට බැඳ සිරකොට දමනවා. 

මේ ව්‍යවසායකත්ව සංස්කෘතිය මරා දැමීම නිසා ලංකාවේ සැබෑ ව්‍යවසායකයන් කියන පිරිස වඳ වෙලා ගිහින් තියෙනවා. ඒ වෙනුවට ලංකාවේ ව්‍යාපාර ලෝකයේ ආධිපත්‍යය දරන්නේ manipulators ලා පිරිසක්. ඔවුන් තමන් ගේ දේශපාලන සම්බන්ධතා හරහා නීති සහ රාජ්‍ය ප්‍රතිපත්ති අස්සෙන් රිංගා ගොස්, බදු දැලෙන් රිංගා ගොස්, 'ක්‍රමය' manipulate කොට අති විශාල ධනස්කන්ධයක් උපයනවා. ඔවුන් ගේ පැවැත්මට ප්‍රබල හේතුවක් වන්නේත් ව්‍යවසායකත්ව සංස්කෘතියක් නැතිකමයි. 

පාලකයන් ගේ ගජමිතුරන් වන මේ පිරිස බලයට එන ඕනෑම ආණ්ඩුවක් වටා දූෂිත ජාවාරම්කාර වළල්ලක් සේ සිටිමින් ධනය මංකොල්ල කනවා. මොවුන් ඇත්තෙන් ම හැඳින්විය යුත්තේ ව්‍යාපරිකයන් ලෙස නොව ගිලාබත් වෙන රාජ්‍යයක් මංකොල්ල කන මුහුදු මංකොල්ලකාරයන් ලෙසයි.

මේ 'ධන විරෝධී' මානසිකත්වයේ තවත් විශාල අහිතකර බලපෑමක් වන්නේ පොදු ජනතාව ඉතා ම දැඩි ලෙස සහනාධාරවලට හුරු වී තිබීමයි. 

ව්‍යවසායකත්ව සංස්කෘතියක් වෙනුවට සහනාධාර සංස්කෘතියක් මේ රටේ ඉතා ම ගැඹුරින් ස්ථාපිත වී තිබෙනවා. හැම දෙයක් ම රජයෙන් කළ යුතු යැයි ද, රජයේ පරම යුතුකම ජනතාවට සහනාධාර දීම යැයි ද රටේ ජනතාවගෙන් සැළකිය යුතු පිරිසක් සිතා සිටිනවා. 

මේ සහනාධාර නම් කැරට් අලය පෙන්වා බලයට පැමිණි බොහෝ ආණ්ඩු ඉතා ම අතාර්කික, අස්ථාවර සහ තිරසර නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට රට විශාල ප්‍රපාතයකට ඇද දැමුවා. 

එහෙත් සහනාධාර මත ම යැපෙන්නට හුරු වී ඇති ජනතාව තවමත් තමන් වැටී ඇති ප්‍රපාතයේ ගැඹුර දන්නේ නැහැ. 

කවුරුන් ආණ්ඩු කළත් ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් ඉතා දීර්ඝ කාලයක සිට මොළ ශෝධනයකට ලක්ව තිබෙනවා. මේ නිසා ඇතිවුණු විකෘතියෙන් අප තවත් සෑහෙන කාලයකට නිදහස් වන බවක් මට පෙනෙන්නේ නැහැ. 

ඒ වගේ ම, ඒ විකෘතියෙන් කවදා හෝ නිදහස් වන තුරු අපට කිසි දිනක ආර්ථික සමෘද්ධිය පිළිබඳ සියුම් බලාපොරොත්තුවක්වත් දල්වා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. 


 


Note of imaginary

Wednesday, August 10, 2022

fish oil ගැන දැනගමු. Omega 3.

1.මොනවද fish oil කියන්නේ.
2. fish oil ගැනීමේ වැදගත් කම.
3.omega-3 මුලාශ්‍රයක් ලෙස fish oilහි වැදගත්කම.
4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව.
5.ස්වභාවික ආහාර මුලාශ්‍ර සහ supplements.

 fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සිතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි.මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි.තවද මෙය ω-3 fatty acids හෝ n-3 fatty acids නමින් හැඳින්වෙනවා. omega-3 යනු භහු දිගුදාම අසංතෘප්ත මේද අම්ල (long-chain polyunsaturated fatty acids) වේ. 

omega-3 PUFAs වර්ග තුනකි.එනම්, 
1.ALA.(alpha-Linolenic acid)
2.EPA.( eicosapentaenoic acid)
3.DHA.( docosahexaenoic acid)

මේ අතරින් EPA සහ DHA omega3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් භාහිරින් ලබාගත යුතුය.එමනිසා මේවා අත්‍යාවශ්‍ය මේද අම්ල ලෙස හඳුන්වනවා.ALA ශාක අහාර මුලාශ්‍ර වලින් පමණක් ලැබේ.මෙසේ ලබාගන්න ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.

මෙහි වැදගත්කම කතාකිරීමේදී ඉතා වැදගත් පර්යේෂණයක් හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කර තිබෙනවා.එනම් omega3 ඌනථාව ඇමරිකාව තුල සිදුවන මරණ වලට  හයවන හේතුව බවට පත්ව තිබෙනවා.සාමාන්යෙන් අපි ගන්නා ආහාර වල omega6 : omega3 අගය 20:1 පමණ අනුපාතයක් වෙනවා.මෙම අගය නිර්මාංශ ආහාර වේලක් ගන්න කෙනුකුගේ මිට වඩා වැඩිවන්නත් පුළුවන්. ඉතින් මෙය ඉතා අධික පරතරයක් වෙනවා.සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු මෙම අනුපාතය 2:1 දක්වා අගයකින් පාලනය කරගත යුතුයි.මක්නිසාද යත් omega6 වැඩිපුර ගැනීම ශරීරයේ ප්‍රධාහ නැතිනම් ඉදිමුම් ඇතිකරවන( inflammation) අතර omega3 එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකර(anti- inflammatory) එම ප්‍රධාහ නැති කරයි.තවදුරටත් fish oil ලබාගැනීමේ වැදගත් කම සාකච්චා කරමු,

1.හදවත නිරෝගිව පවත්වාගෙන යාමට.
 මෙමඟින් HDL ප්‍රමාණය වැඩි කරන අතර LDL ප්‍රමාණය අඩු කරමින් යහපත් කොලේස්ටර්රෝල් ප්‍රමාණයක් පාලනය කරයි.සමස්තයක් ලෙස Triglycerides ප්‍රමාණය 15%-30% දක්වා අගයකින් අඩු කරයි. තවද අධික රුධිර පීඩනය අඩු කරන්න උදව් වෙනවා. හදවතේ රිද්මය ක්‍රමානුකුලව පවත්වාගැනීම  සඳහා මෙය වැදගත් වෙනවා.

2.මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා.
 මිනිස් මොලය සෑදී ඇත්තේ 60% පමණ fats වලිනි.ඒ අතරින් භහුතරය omega3 ය.මොලය සම්බන්ධ බොහෝ ලෙඩරෝග(ADHD, Alzheimer’s Disease, Anxiety...) සඳහා මෙය භාවිතා කරනවා.මානසික අවපිඩනය වැනි අවස්තා සඳහාද භාවිතා කරනවා.

3.ඇසේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත්වනවා.    
මොලයේ වගේම ඇසේද බොහෝ ව්‍යුහයන් සැදී ඇත්තේ omega3 මගිනි.වයසට යනවිට ඇතිවන අක්ෂිදෝෂ(AMD) සඳහා භාවිතා කරනවා.

4.අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට.
5.පිළිකා වලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.
6.දියවැඩියාව පාලනය කරයි.
7.ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර සම සහ හිසකෙස් සඳහා වැදගත් වේ.
8.ශරීරයේ බර අඩු කිරීමට වැදගත් වේ.
9.දරුඵල සහ සාඵල්‍යතාව වැඩි කරයි.
10.ප්‍රෝටීන් අවශෝෂණය වැඩි කරයි.
මෙය සිදුවන්නේ omega3 මගින් mTOR(Mechanistic target of rapamycin) ක්‍රියාකාරිත්වය වැඩිකිරීම මගිනි.මෙහි අවසාන ප්‍රතිඵලය මාංශ  වර්ධනයෙහිලා ඉතා වැදගත් වීමයි.
11.ඉදිමුම් සහ වේදනා අවම කරයි.

Omega-3 මුලාශ්‍රයක් ලෙස fish oil විශේෂයෙන් වැදගත් වෙන්නේ අනෙකුත් මුලාශ්‍ර වලට සාපේක්ෂව fish oilතුල ඉතා වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වීමයි.අනික් කාරණය තමයි ඉතා පහසුවෙන් සොයාගත හැකිවීමත් මහාපරිමාණයෙන් නිෂ්පාදනයකිරීමේ හැකියවත්ය.

ගතයුතු මාත්‍රාවන් ගැන සැලකීමේදී ඔබ කිසියම් විශේෂිත ක්‍රීඩාවක නොයෙදෙන්නේකුනම් හෝ ආධුනිකයෙක් නම් EPA සහ DHA අගයන්ගේ එකතුව 500 mg පමණක් සෑහේ.නමුත් ඔබ කායවර්ධනය වැනි ක්‍රීඩාවක් කරන්නෙකු නම් EPA අගය 500mg සිට1g දක්වාද DHA අගය 200mg -500mg දක්වාද ගත යුතුයි.ගත යුතු වේලාවන් සැලකීමේදී උදේ ආහාරයට පසුව හෝ රාත්‍රී ආහාරයට පහුව සුදුසු වනවා.

දැන් අපි බලමු  Omega-3 අඩංගු ආහාර මුලාශ්‍ර මොනවද කියල.ප්‍රධාන වශයෙන්ම සිතල මුහුදේ වෙසෙන මාළුන්ගේ වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු   වෙනවා.උදා.සැමන්,මැකරල්,කෝඩ්,හුරුල්ලන් වැනි මත්සයන් වේ.මිට අමතරව නිර්මාංශ ආහාර මුලාශ්‍ර ගැන සඳහනක් කලොත් ෆ්ලස් සීඩ්,වෝල් නට්,චියා සීඩ්,නිවිති,සෝයා,හෙම්ප් සීඩ්,ඇල්ගී සඳහන් කල හැක.

Thushara De Silva - Fb
Chemistry  වෙතින් උපුටාගැනිමකි .

පසු සටහන.💙💙💙💙
දිය වැඩියාව පාලනය සහ ඇසේ ක්‍රියාකාරිත්‍වය සදහා Omega-3 යොදා ගැනීමෙන් ප්‍රතිපල ලබා තියෙනවා.

Note of imaginary                                            

Tuesday, August 09, 2022

දුක හිතෙනවා


                                                සුන්දර ඇමෙරිකන් ජිව්තය ..

ටිකක් දිග කතාවක්,හැබැයි ගොඩක් වැදගත් 

මේ කතාව මගේ නෙමෙ ..ඒත් එය අතිශයින්ම සංවේදියි...ඇමෙරිකාවට යන්න සුන්දර සිහින මවන අයට මෙය සුවිශේෂීයි..

මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.
අපි මෙහෙම පටන් ගමු. මගේ නම සමන්. සමන් ජයසිංහ. ගම කඩවත.
මම සිංහ සමාජයේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක්
සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට වාසනාව පෑදුනා. ඇමරිකන් උණ සෑදී
වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට් උනා.
දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන
ආපහු යනවා.

මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන්
කියන්නේ පැට්‍රල් ෂෙඩ්.
පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි
කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක්
දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක්
තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන.
මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප
10 ක් 12 ක් විතර තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස්
ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල්
ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය ව්වෘත කරන එකයි. ඊට
අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු
විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.
මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි
රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්.
වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක්
අරින්නවත් , වාහනයක් එළවන්නවත් බැහැ. not authorized to work කියල
පාස්පෝට් එකේ ගහල තියෙනවා. නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී- පෝට්
තමයි.

ඇමරිකන් ඉංග්‍රීසිය අමුතු ඉංගිරිසියක්. උන්ගෙ “ඇ” කාරය
වැඩි. ඩාන්ස් – ඩෑන්ස් ,… ක්ලාස් – ක්ලෑස්.. පාස් – පෑස් වගේ. ඒ අනුව මගේ
නම සමන් :…. සැමන් විය යුතුය. ඒත් උන් මගේ නම වෙනස් කෙරුවා ” සෑම්”
කියලා. මම සැමන් නොවී සෑම් වීම ගැන සතුටු උනා.
ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවා කස්ටමස්ලට යන්න
වැසිකිළියක්. ඒවාට කියන්නේ “රෙස්ට් රූම් ” නැත්නම් “වොෂ් රූම්” කියලා.
ඇමරිකාව කියන්නේ ගෙදරට මරගාතෙ- ලෝකෙට පරකාසෙ කරන රටක්.
මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්. මුන්ට කියන්නේ “හෝම්ලස්
පීපල්” කියල. “බෙගර්ස් ” කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ.

අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මාන තියෙනව ඉංග්‍රීසි
භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා
මා හිතා හිටියේ මා තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මා
කියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේ මටද නොතේරෙයි.
ඒ නිසාම මට දී තිබුනේ කස්ටමර්ලා අඩු රෑ සේවා මුරයයි.

දිනක් එක් හෝම්ලස් මිනිහෙක් ඇතුළට ඇවිත් ” may I use
your rest room ” කියල මගෙන් ඇහුවා.
“rest room only for customers” කියලා මම මිනිහව එළවා
ගත්තා. මගෙ තාත්තගේ වයසේ මිනිහෙක්. මට පස්සෙ දුක හිතුනා. උගෙ මූන
අමුතුයි. හමේ පාට සුදුත් නෙවෙයි.. කලුත් නෙවෙයි. ඇස් දෙක පැහැදිලියි.
බැල්ම තියුණුයි.
පසුවදා සුපුරුදු රෑ ෂිෆ්ට් එක නිම වෙලා මම පයින්ම මගේ
නවාතැනට ගාටමින් හිටියා. වෙලාව උදේ 7.30 ට විතර ඇති. පාර අයිනෙ බංකුවක්
උඩ හෝම්ලස් මිනිහෙක් ඉඳගෙන හිටියා. මිනිහා මොනවද තාලෙට කියනව මට ඇහුනා.
” ඩූව් ඩීමට් කාරෙ බෙන්ඩා…” ටිකක් පුරුදු හඬක්. ඒ අර මම
එළව ගත් මිනිහා. මම මිනිහට කිට්ටු කළා.
හලෝ.. are you singing ?
මිනිහ පැහැදිලි ඉංග්‍රීසියෙන් ” cold….can you buy me a
coffee ? මිනිහගේ කකුල් දෙකම වන වෙලා. ඒවාට දැමූ දම් පාට බෙහෙතට උඩින්
සාරෙ ගලමින් තිබුණා. මම වහාම කෝපි එකක් අරන් දී,
” are you sick?”
“I am having cold and fever”
මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල් පෙති වගයක් තිබුණා.
ඉන් දෙකක් මම මිනිහට දුන්නා.
” Panadol ? are you sri lankan ?”
” my god ! are you sri lankan too ?
දිග සුසුමක් හෙලූ එයා මොනවදෝ කියන්න ලෑස්ති උනා.
මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමු කියල , රෑ
ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර් කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනට
ගියා.
රෑ නිදි වරා සිටියත් උදේ සිදුවූ දේ නිසා මට නින්ද ගියේ නැහැ.
කොහොමටත් රෑ නින්ද වගේ නෙවේ දවල්ට නිදා ගන්න එක.
ඊට පස්සෙ දින කීපයක් යන තුරු මම මිනිහව දැක්කෙ නෑ.
එදත් සුපුරුදු පරිදි මගේ රෑ ෂිෆ්ට් එක. හදිසියේම ” අරයා”
ආවා. රෑ 12.30 ට විතර. ඇතුලට නෑවිත් වීදුරු ජනේලෙන් මා දිහා ඔරවා ගෙන
හිටියා. ඔහුගේ රැවුල , කොන්ඩේ දිගටම වැවිලා තිබුනා. වැඩි හරියක් සුදු
කෙස්.
ඒ වෙලාවේ කස්ටමර්ලා අඩුයි. මම කෝපි එකකුත් හදාගෙන මිනිහ ළඟට ගියා.
” Are you speaking Sinhala ?” මිනිහා මගෙන් අහනව.
” මම හිතුවේ සෑම් මහත්තයා ඉන්දියන් හරි මෙක්සිකන් හරි
කියල. ලංකාවෙ කොහේද ?”
මටයි මිනිහගේ විස්තර දැන ගන්න ඕන. මිනිහ මං ගැන අහනව.
මෙතන ඉඳල ලියන්නම් ඔහු මට කී කතාව.
මගේ නම සිරිල් සපරමාදු. මගේ වයිෆ් පද්මිනී. අපි හෝමාගම.
ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන් කීදෙනාටද සෑම්
මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක. දැනට අවුරුදු 25 කට
ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක්. මගෙ වයිෆ් ගුරුවරියක්. අපි
ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා. ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක්
අපේ ගෙදර ලිප පත්තු උනේ නෑ සෑම් මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා.
අපිට ළමයි තුන් දෙනයි. වැඩිමළා පුතා ඊළඟට දූලා දෙන්නා. අපි මෙහේ එනකොට
පුතාට 7 යි. දූලට 6 යි, 5 යි. අපි තිබ්බ සේරම සේසත විකුණලයි ආවෙ.
මාත් ඔයා වගේ ගැස් ස්ටේෂන් එකක වැඩ කළා. වයිෆ්ට
මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපි දෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න
අමාරු නිසා මම ජොබ් දෙකක් කළා. ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම
නිතර නිතර ලෙඩ වුනා.
විවිධ හැල හැප්පීම් මැද කාලය ගෙවී ගියා.
පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ. දූල
දෙන්නම ” මාස්ටර්ස්” දක්වා ඉගෙන ගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක
විවාහ උනා.
ඒව නිකම් ” නමට විවාහ” ලාස් වේගාස් වල තියෙනව ” drive
through ” කසාද බඳින්න තැනක්. ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියා පදිංචියට.
ඉන්න තැනක අපි කාටවත් කීවෙ නැහැ.
පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරල මෝටර් රථ හදන
කොම්පැනියකට බැඳුනා. මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි
උනා. ඉතිරියක් , අනාගතයක් ගැන හිතුවෙ නැහැ.
පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා
එයාලගෙ ගෙදරට. අපි එහේ හිටියේ ආගන්තුකයෝ වගේ. මගෙ වයිෆ්ට නම් වැඩ තිබුනා.
ඒ මිනිපිරී – නිකෝල් – බලා ගන්න එක. කෙලීට තිබුනේ නිල් පාට ඇස් දෙකක්.
සුදු පාට හමක්. කොන්ඩෙ නම් කලු පාටයි. ටිකක් මගෙ වයිෆ් පද්මිනිත් වගෙයි.
සමහර දාට නිකෝල් මගෙ උනුහුමට තුරුල් වෙලා නිදා ගත්තා. මම ඇගේ හිස පිරි
මැද්දා. ඈ ඊට ආසා කළා. මම ඈට ” කිරි සුදු හාවා” ඉගැන්නුවා.
දවසක් අපේ බෑණා – මයික් පියර්සන්- අහනව මගෙ දුවගෙන් what
the hell that old man doing here කියල.
Don’t talk like that. He is may dad. ඒ මගෙ දුව.
But this is my house– ඒ බෑණා.
OK I will ask them to leave. You can hire a baby
sitter for 600 dollars for a week.
මම එදා හිතා ගත්තා මම තව දුරටත් මෙහේ හිටියොත් ඒක
මෙයාලගෙ පවුල් ජීවිතයට බාධාවක් කියල.
” පද්මිනි… මම යනව පුතා ළඟට. ඔයාට මෙහේ කරදරයක් නැහැනෙ.”
අපි දෙන්නා බැන්දට පස්සෙ කවදාවත් වෙන් වෙලා ඉඳල නෑ. එයා
කඳුලු පුරවා ගෙන මා දිහා බලා ගෙන ඊට කැමැත්ත දුන්නා.
” මතක් කරල බෙහෙත් ටික අරගෙන යන්න”
පුතා ජීවත්වුනෙ single bed room අපාර්ට්මන්ට් එකක. මිනිහ
මාව සතුටෙන් පිළිගත්ත. ඒත් වැඩි විස්තර ඇහුවෙ නෑ. ඒ එයාගෙ හැටි.
මම ගිය ගමන්ම කළේ ගේ අස් කරන එක. පුතා කැම බීම කරල
තියෙන්නෙ පිටින්.
” තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර් බෝතලයක් කටේ
තියාගෙන බොන ගමන් මගෙන් ඇහුව. 
මම මගේ තාත්ත ඉස්සරහ වාඩිවෙලාවත් නැහැ.
මම මටම සාප කර ගත්ත. දුර දිග නොබලා ගත්තු තීරණ නිසා අද
අපේ පවුල සී සී කඩ. දරුවන් දෙමාපියන් අතර සම්බන්ධයක් නැහැ. දරුවො හිත්
පිත් නැති මැෂින් වගේ. රොබෝල වගේ.
මම මාකට් එකට ගිහින් පුංචි රයිස් කුකර් එකක්, තේ හදන්න
අවශ්‍ය කරන දේ සහ තවත් දේ ගෙනාවා.
” පුතා මීට පස්සෙ පිටින් කෑම කන්න එපා. අද ඉඳල මම උයනව”

“ඉතින් කොහොමද මේ තත්වෙට වැටුනේ ?” මම එයාගෙ කතාවට බාධා කලා.
” අනේ සෑම් මහත්තයෝ, මං ගැන කාටවත් කියන්න එපා. ඒක අපේ
රටට කරන අගෞරවයක්.”
පුතා මගෙත් එක්ක මුලින් හොඳට කතා බහ කළා. පස්සෙ පස්සෙ
අහන දේට විතරක් උත්තර දුන්න. සුමානයක් දෙකක් යනකොට මට එයාගෙ වෙනසක්
තේරුනා. මිනිහ මාව නොරුස්සන ගතියක් මට දැනුන.
එදා ජූනි 15. පුතාගෙ උපන් දිනෙ. මම උදේම නැගිටල කිරිබත්
ඉව්වා. පුතා කිරිබත් කන්න හරි ආසයි.
” පුතා අද කලින් ගෙදර එන්න. මම ඩිනර් ලෑස්ති කරනව.”
මට හොඳට උයන්න පුලුවන්. මම කහ බතක් උයල චිකන් උයල,
පරිප්පු වේලෙන්න උයල, ලූනු සම්බෝලයකුත් හැදුව. පුතා ආවෙ නැහැ. මම රෑ 11
වෙන තුරු බලා ඉඳල තනියම කෑම කෑවා.
තව ටිකක් බලා හිටියා. මට දන්නෙම නැතිව ඉඳගෙන හිටි
පුටුවෙම නින්ද ගියා. පුතා තව කට්ටියක් එක්ක එනකොට පාන්දර 3.00 ට විතර
ඇති. සේරටම හොඳටම වෙරි.
උන් ළඟ වස ගඳයි. මරිජුවානද මොනවද ගහල. සාලෙ ලයිට් පත්තු
උනා. එකෙක් අහනව “Who the fuck is this ?” කියල.
“Are you living with your dad ?” ඒ තව එකෙක්.
මම දවසක් පුතාගෙන් ඇහුව ” පුතාට මම ඉන්න එක කරදරයක්ද ?” කියල.
” කරදරයක් නම් නෑ. ඒත් යාලුවෙක් වත් ගෙන්න ගන්න විදිහක්
නෑ. “I too have a life තාත්තෙ”
මට දැනුන ලොකු විනාශයක් අත ළඟ කියල. මම දවස් කීපයක්ම
පොඩි දුවටත්, පද්මිනීටත් කෝල් කරන්න උත්සාහ කළා. එයාලගෙ ෆෝන් එක
ඩිස්කනෙක්ට් කරල. එයාල වෙන කොහාටද ගිහිල්ල.
පුතා හදිසියෙම එයාගෙ කාර් එක වික්කා.
” තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට . ට්‍රේනින් එකකට. සති දෙකකට.”
එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙම අරගෙන පිටත් උනා.
එදා ඉරිදා දවසක්. මම ටිකක් දවල් වෙන තුරු නිදා ගත්ත.
කවුදෝ දොරට ගහනව. මම ගිහින් බැලුව.
නෝටන් ලෝපෙස්- අපාට්මන්ට් මැනේජර්.
“Your son didn’t pay the rent. You have to pay or leave the
apartment”
” Can’t you wait? He will be back in two weeks”
” No he is not coming back. He moved to NewYork”
මගේ පුතා අභිනිෂ්ක්‍රමණය කරලා.
පුතා ඉපදුනේ ජයවර්ධනපුර රෝහලේ. මට පනිවිඩේ ලැබෙන කොට හවස
3.00 ට විතර ඇති. සීසර් සැත්කම නිසා පද්මිනීට සිහිය ඇවිත් තිබුනේ නැහැ 
පුතා කොට් එකේ හිටියා. අඬ අඬා. මම ඇඟිල්ලෙන් එයාගෙ ලපටි ලා රෝසපාට
කම්මුල් ස්පර්ශ කළා. ඇඬිල්ල නැවතුනා. ළඟ ඇඳක හිටි ගැහැණියක් ” දැක්කද
තාත්ත අඳුර ගත්තු හැටි කීවා. මට අද වගේ මතකයි.

සපරමාදුගෙ කතාව ඇහුවට පස්සෙ මෙතෙක් කල් ජීවිතය ගැන තිබූ
ආසාවන් සේරම වෙනස් වුනා වගේ කියල මට හිතුනා. මම නවාතැනට ගිය ගමන්ම අම්මට
කෝල් කළා. මගෙ තාත්ත ජීවතුන් අතර නැහැ. ෆෝන් එක ගත්තෙ අම්ම.
මම “හලෝ” කිව්වම” ආ මගෙ පුතේ.. දැන් කාල බීලද ඉන්නෙ?
දැන් ඔහේ වෙලාව කීයද?” කියල ඇහුව. මට එක පාරටම ඇඬුම් යන්න ආවා.” ඇයි
පුතාට සනීප නැද්ද?” අම්ම අහනව.” ඔය හිටිය ඇති පුතේ ඉක්මණට ආපහු එන්න”
ෆෝන් කාඩ් එක ඩොලර් පහයි. ඒක ඉවරවෙන තුරුම මම අම්මත්
එක්ක කතා කළා. ඒත් මගේ හිතේ ඇතිවුනු පීඩනය ඉවත් වුනේ නැහැ.”

ඇයි සපරමාදු අන්කල්ට පංසලට යන්න තිබුණනේ?” බුද්ධාගමේ නේද ?
ඔය සිංහළ ඇසෝසේෂන් එකට එහෙම ගියෙ නැද්ද?”
ඒව තියෙන්නෙත් ලොකු මිනිස්සුන්ට විතරයි. ඒවයින් කෙරෙන්නේ
බාස්කට් බෝල් ටූනමන්ට්/ ඩිනර් ඩාන්ස් වගේ ඒව කරන එක විතරයි.
හැමදාම ජොබ් දෙකක් කරල මම ගෙදර එන්නේ කොයි වෙලාවෙද ඇඳට
වැටෙන්නෙ කියල බලා ගෙන. ඒ නිසා මට යාලුවෙක් ආශ්‍රය කරන්නවත්, පංසලකට
පල්ලියකට යන්නවත් බැරි වුනා. මගේ හිතේ තිබූ හීන මාණය නිසා ලංකාවෙ
මිනිස්සු ගැවසෙන තැන් වලට නොයා ඉන්න මම පුරුදු උනා.
මම කීප වතාවක්ම ලංකාරාමයට ගිහින් තියෙනව. ඒ කඨින දවස්
වල. කටට රහට කාල එන්න. මට ජිනානන්ද හාමුදුරුවන්ට මූන දෙන්න බෑ.

මගෙත් එක්ක වැඩ කරන උන් මම නිතරම හෝම්ලස් මෑන් කෙනෙක්
එක්ක කතා කරනව නෝට් කරල. උන් කියන්නේ ඒ මගෙ ඩෑඩ් කියල.
මගේ තත්වයත්, සපරමාදුගෙ තත්වය වගේම බරපතල එකක්. “මටත්
වඩා අබලන් මගෙ හැරමිටිය” කිව්ව වගේ අනේ අපොයි කියල හිත හදා ගන්නව ඇරෙන්න
මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ . ඉඳල හිටල මම කීයක් හරි සපරමාදුට දුන්න.
” ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බ වෙනව නේද?”
මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන් මට ඉන්න තැනක්
නෑ. ඇඩ්‍රස් එකක් නෑ.
මට හිඟමන් ලැබෙන්නෙ කලාතුරකින්. උන් හිඟමන් දෙන්නෙත් පාට බලල.
” දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙල?”
දැනට අවුරුදු 5 කට වඩා .. සමර් එකට නම් ගානක් නැහැ.
වැටිච්ච තැන නින්ද යනව. වින්ටර් එකට අපි ගිහින් දානව කෑම්ප් එකකට.
” ඉතිං අංකල් ගෙ වයිෆ් දැක්කෙ නැද්ද ඊට පස්සෙ?”
ඇයි නැත්තෙ ?
දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා. මං දැක්ක හැඩ
රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒ
පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.
මම ඒ වෙනකොටත් හොඳටම ජරා ජීර්ණ වෙලා. මම එයා ළඟට ගියා.
එයා ඇස් උඩ තියා ගත්තා.
” ඔයාට මොකද මේ උනේ?” මම ඔයා හැම තැනම හෙව්වා”
” පුතා මාව දාල ගියා.. ඔයා දැන් කොහේද ඉන්නේ?”
“පොඩි දුවලත් වෙන කොහාටද ගියා. මං හිතන්නෙ ෆ්ලොරිඩා වලට…
බේබි සිටින් කරල පළපුරුද්ද තියෙනව කියල මට සහතිකයක් දීල ගියා.. මම දැන්
ගෙදරක බබෙක් බලාගන්නවා.. ඔයා කොහේද ඉන්නේ ?”
” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවට ෆ්‍රී වේ එක යට
තමයි නිදා ගන්නෙ”
” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔය තුවාල වලට බෙහෙත් දාගන්න”
ඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබල වෙන්නෙ පද්මිනී.
මාව බලෙන්ම දොස්තරගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි. හැමදේම වෙනස්
වෙලා.
” මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව”
මගේ පපුව හෝස් ගා ගෙන ගියා. හැමෝම වෙන් වෙලා යනව. අපි
ආයෙ කවදා හමුවෙයිද ?

දවසක් මං හම්බ වෙන්න රෑ 12.30 ට විතර සපරමාදු ආව. එයා මට
දුන්න පොලිතින් වලින් ඔතාපු පාර්සලයක්
” සෑම් මහත්තයා මට පොඩි උදව්වක් කරන්න. මේ අපේ ෆොටෝ
ඇල්බම් එක. ඔයාට පද්මිනී අඳුරගන්න අමාරු වෙන එකක් නෑ. ඔය ඇල්බම් එක එයාට
දෙන්න. ඕක ඇතුලේ සල්ලි වගයක් ඇති . ඒකත් එයාට දෙන්න.”
ඔයා ආපහු ලංකාවට යනව කිව්වා නේද ? යන්න…… මේක හොඳ රටක් නෙවි.”
සපරමාදු එදා නම් කතා කලේ සිහි විකලෙන් වගේ.
‘ඔයාට මගෙ වයිෆ් හම්බ උනේ නැත්නම් ඔය සල්ලි වලින්
මහත්තයගෙ අම්මට මොනව හරි අරන් යන්න..”

පහුවදා පාන්දර මට කස්ටමර් කෙනෙක් ඇවිත් කිව්ව ට්‍රෑෂ්
බින් එක ළඟ හෝම්ලස් මිනිහෙක් වැටිල ඉන්නවා කියල. මම විගහට ගිහින් බැලුව.
ඒ සපරමාදු. මම 911 කෝල් කළා.
ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එක ආව. මම වීදුරු කවුලුවෙන්
බලා හිටියා.
සුදු රෙද්දකින් වහපු සපරමාදුගෙ සිරුර ඇම්බියුලන්ස් එකෙන්
කොහාටද අරන් ගියා.
සපරමාදු මැරිලා. 

මූනූ පොතෙන් උපුටා ගැනිමකි.
--------------------------------------
     

notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon