Monday, November 09, 2015

මාදුළුවාවේ සෝභිත නා හිමියෝ



කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ යයි කී පමනින් කුඩා දරුවෙකු වුවද උන්වහන්සේ හදුනා ගන්නේය. උන්වහන්සේ  08දා අලුයම 4.30ට පමණ සිංගප්පූරුවේ මවුන්ට්‌ එළිසබෙත් රෝහලේ දී අපවත්වීය. මේ පුවත සමාජ වෙබ් අඩවි හරහා මුලින්ම පළවු අතර උන්වහන්සෙගේ අපවත් වීම ගැන ශෝක වන්නෝ මෙන්ම අපවත්  වීමක් අසමින් දක්වන ප්‍රතිචාරයන්ට එහා ගිය අප්‍රසාදජනක ප්‍රතිචාරද පළවිය.තුන්තිස් පැයේ බණ දහම් අසන ලාංකීය සමාජය මේ තරමට කුණුවි ගණ්ධස්කාර හමන්නට පත්ව තිබීම අතිශය ශෝක ජනකය.

මාදුළුවාවේ සෝභිත නා හිමියෝ  පතිරගේ දොන් අප්පුහාමි හා කරලිනාහාමි යුවලට දාව 1942 මැයි නව වැනි දා මාදුළුවාව ගමේ දී පී. ඩී. රත්නසේකර නමින් උපත ලැබු උන්වහන්සේ 1955 දී සසුන් ගතව 1962 දී උපසම්පදාව ලැබූහ. උන් වහන්සේටම අනන්‍යවූ ගැඹුරු කටහඬ, දේශනා ශෛලිය, උච්චාරණ විලාසය  අතිශය විචිත්‍ර උපමා උපමේය, ක්‌ෂණිකව මතුවන කවීත්වයෙන් පිරි කියුම්, හාස්‍යය උපහාසය මෙන්ම අර්ථවත් අදහස්‌ වලින් යුක්‌ත දේශන ශෛලිය ජනතා හදවත් තුල ලැගුම් ගත්තේය. 

 මාදුළුවාවේ සෝභිත හිමියන් එජාප ආණ්‌ඩුව - ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියානු අගමැති රජිව් ගාන්ධිගේද සහභාගිත්වයෙන් අත්සන් කිරීමට එරෙහිව  වීදී බැස්සාය.  1987 ජුලි 28 වැනිදා කොටුව බෝගහ අසළ 20,000කට ආසන්න ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන්නේ  සෝභිත හාමුදුරුවන්ය.

ඡේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ඉන්දියානු හමුදා ආක්‍රමණය සිදුවූ මොහොතේ ඊට එරෙහිව දිවි නොතකා සටන් වැදුණු උන්වහන්සේ මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ සිටිමින් පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළෝය.

යුද්ධය අවසන් කිරීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය හා ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන ලෙස මහින්ද රාජපක්‌ෂ රජයෙන් කළ ඉල්ලීම්   ඉටුනොවුනු කල පසුගිය ජනාධිපතිවරණ සමයේ  එම ඉල්ලීම් ඉටු කරගනු වස් පොදු අපේක්‌ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා වෙහෙසුණහ. 
වර්තමානයේ උන්වහන්සේ විවේචනයට සහ විවාදයට හේතුව ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කිරීමේ ක්‍රියාවලිය, මෙන්ම වර්තමාන යහපාලන රජය පිහිටුවීම සඳහාවූ ක්‍රියාවලියට,  උන්වහන්සේ මුල් විය.


පොදු අපේක්‌ෂකයාගේ ජයග්‍රහණයෙන් පසුව දින සියයේ ආණ්‌ඩුව පිහිටුවා ස්‌වාධීන කොමිෂන් සභා හැකි ඉක්‌මණින් ස්‌ථාපිත කරන ලෙස හා ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන ලෙස උන්වහන්සේ  එම ආණ්‌ඩුවට  බල කළහ.තමන්ද මූලික වී ඇති කර ගත් වර්තමාන ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩලය ඇමැතිවරුන් 30 කට සීමානොකර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව පවසමින් විශාල ඇමැති මණ්‌ඩලයක්‌ පත්කිරීම පිළිබඳව තමන් බලවත් කම්පාවට හා කලකිරීමට පත් වන බව උන්වහන්සේ ප්‍රකාශ කලේය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඇතිවූ තත්ත්වයන්හිදී එය විවේචනය කළ උන්වහන්සේ   ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කළ අය පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්‌තුවෙන් පත්කර ඔවුන්ට ඇමැති තනතුරු දීම ඉතාමත් අශෝභන, විලිලැඡ්ජා නැති වැඩක්‌' යෑයි පැවසූහ.
උන්වහන්සේගේ දේශපාලනය විවාද සම්පන්නය. අපහාස උපහාස කරන්නවුන් මෙන්ම පැසසුම් කටයුතු කරන අයද     උන්වහන්සේ‍‍ගේ දේශපාලනය තේරුම් ගත යුතුය.එවිටපැසසුම් කටයුතු කරන්නවුන් ගැරහීමටත්- ගැරහීමට ලක් කරනවුන් උන්වහන්සේට පැසසුම් කරන්නටත් පටන් ගනු ඇත.උන්වහන්සේ කවදත් සිටියේ  කාගේ පිලේදැයි පැහැදිලිව  තේරුම් ගත හැක.

උන්වහන්සේට අජරා මර නිවන් සුව !





notes of imaginary

Sunday, November 01, 2015

පාතාල කළුවර.



සුදු පැහැති පොහොර උරවලින් සැකසූ ඇඳුම්වලින් සැරසී නින්ජාවරුන් මෙන් කළු පැහැති රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන කළු පැහැති අත් ආවරණ පැළඳ, තියුණු ආයුධ සහිතව අනුරාධපුර කඩ 50 මුදිතා මාවතේ පිහිටි පැනොරාමා සමාජශාලාව වෙත කඩා වැදුණු 25 කට ආසන්න පුද්ගලයන් පිරිසක්‌ අමානුෂික අන්දමින් කඩුවලින් කපා කොටා කරාටේ වසන්ත හෙවත් වසන්ත සොයිසා ඝාතනය කර පලා ගොස්‌ තිබේ.”  -  ප්‍රවෘත්තියකි.
සිවිල් මිනිසුන් නීතිය අතට ගෙන තිබේ.
සංවරවු සමාජයක තමන්ට අකටයුත්තක් වු කල නීතියේ පිලිසරණ පැතුවත් අසංවරවු සමාජයක තමන්ම නීතිය අතට ගෙන කටයුතු කරනු අපට දක්නට ලැබෙන්නකි.වසන්ත සොයිසා මහතාටද  මුහුණ පාන්නට සිදුව ඇත්තේ එවැනි ඛෙදවාචයකටයයි මම සිතමි. ඒ මහතාගේ ව්‍යාපාරය අනුරාධපුරයට සංස්කෘතිකමය ප්‍රශ්නයකි. කොළඹට එසේ නොවේ.එහෙත් මේ ගැටුම සංස්කෘතිමය ප්‍රශ්නයක් නිසා සිදුවක් යයි
සිතිය නොහේ.
තමන්ට කරන්න බැරි ව්‍යාපාර තවෙකෙක් කරනු බලා ඉන්නට බැරිව හිතේ ඇතිවන හැගීම්ද සමහර උදවියට ආරෝවක් ඇති කර ගැණිමට හේතු විය හැකියයි මට සිතේ.තවත් සමහරු අනුන් සතු සම්පත් තමන්ගේ  ප්‍රයෝජනයට බලහත්කාරයෙන් ලබා ගැණීමට යාමෙන්ද ආරවුල් ඇති කර ගනී. තවත් විවිධ හේතු කාරනා තිබෙන්නට ඇතත්, සමාජ ශාලා , බීම හල් ආශ්‍රීතව ඇති කරගන්නා සුළු සුළු සිද්ධීන් දුර දිග ගොස් වසන්ත සොයිසාට මෙන් එවැනි ස්ථාන අයිතිකරුවන්ට , භාරකරුවන්ට ද අනතුරු උපදින අවස්ථා ඇතිවේ.  
බීමහල් ආශ්‍රිතව පවත්වා ගෙන යන ආපන  ශාලා සහ සමාජ ශාලා වලට එන ගණු දෙනු කරුවා  නොව ටික වේලාවකින් දක්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්වු  ගණුදෙනු කරුවෙකි.
එක් එක් අයගේ බුද්ධිය සමාජ පදනම හා වෙනත් මානසික හේතුන්  මත  පුද්ගලයෝ හැසිරෙන්නේ විවිධාකාරයටය.මේ අයත් සමග ගනුදෙනු ඉතාමත් අසීරු කටයුත්තක්  වන අතර ඉවසීම භාවනාවක් මෙන් ප්‍රගුණ කල යුතුය. සමාජයේ අඩු අධ්‍යාපනයක්‌ ඇති පහළ ස්‌ථරවල මෙන්ම ඉහළ ස්‌ථරවලද මෙවැනි ගැටුම් නිර්මාණය කර ගන්නෝ සිටිති.   එහෙත් පහළ ස්‌ථරවල සිදුවනවා සේ මෙවැනි සිද්ධිවලදී ප්‍රචණ්‌ඩත්වයෙන් ඒවා කෙළවර නොවේ. ඔවුහු ඒවා තමන්ගේ තරාතිරම, අධ්‍යාපන මට්‌ටම, සමාජ තත්ත්වය මත එම ප්‍රචණ්‌ඩත්වය පාලනය කරගනී.
මා මෙවැනි අත්දැකීම් ලබා ඇත්තේ තානායම් පලක් ඇසුරෙනි. විවිධාකාර පුද්ගලයින් සමග ගණු දෙනු කරන්නට සිදුවන අතර  සමහරක් අය තමන්ගේ දේපලකට පැමිණීයාක් මෙන්  රිසිසේ තානායමේ දේපල පරිහරණය කරන්නට යාමෙන් අනන්තවත් ගැටුම් වලට කළමනාකරණය  මුහුණ පා තිබේ. ඒවා නොසලකා හැරීමෙන් පාලනය කරගන්නා ස්ථාවරයකට පත් වීමෙන් ගැටුම් ඇති නොකර ගන්නට  පුරුදු පුහුණුවීමෙන්   අනතුරු ආන්තරා වලින් මිදිය හැකියයි අත් දෑකීම් ලබා ඇත්තෙමි.



of imaginary

Tuesday, October 27, 2015

මටත් හැට අටයි.



උපන්දා සිට අවුරුද්දකට දවසක් උපන් දිනයක් සමරන්න  පුළුවන් දවසක්  එනවා.අපි උපන්දිනයක් සමරනවා කියලා දැන ගන්න කොටත් ඉපදිලා අවුරුදු පහලො වක් දහසයක් උපන් දින පහුවෙලා. ඒත් අපේ දරු මුණුබුරෝ නම් අවුරුද්දෙන් අවුරුද්ද උපන් දිනය සමරනවා.අපේ අම්මලා තාත්තලට ඒ මතකය තියෙන්න නැතිව ඇති. මොන්ටිසෝරියක් වගේ ගේ පිරිලා හිටිය අපිට උපන් දින සැමරුම් තියන්න ගියා නම් අවුරුද්දේ හැම මාසෙමත් මාසෙට දෙක තුනත් උපන් දින උත්සව ගෙවල් වල තියන්න වෙනවා.
හැත්තෑවේ දශකය වෙන කොට “ පුංචි පවුල රත්තරන් “ කියන සංකල්පය ආවට පස්සේ පවුල් පුංචි පුංචි වෙලා ගිහින් දැන් පවුල පුංචිම වෙලා.
ඉතින් උපන් දින සැමරුම් තියන්න ඉඩකඩ නිර්මානය වෙලා.
අද මගේ හැට අටවෙනි උපන් දිනය.
මම ලංකාවට එන කොට සුද්දෝ ලංකාව අත්හැරලා ගිහින් මාස හයයි දවස් විසිතුනයි. සුද්දන්ගේ වැඩ දන්නේ නැතිවුනත් 1956 බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටවනකම් අවුරුදු අටක් විතර මම කළු සුද්දන්ගේ වැඩ කිඩ ගැන අහ ගෙන ඉන්න ඇති. මේ රටේ දේශපාලන පෙරලියක් පලමු වරට උනානම් බණ්ඩාරනායක ආණ්ඩුව ඒකට මුල පිරුවා කියලයි මම පසු කාලෙක හිතුවේ.මට අවුරුදු හැට අටක් වන විට මේ පෙරළිය රටටම  අප්‍රසන්න ව,  රට පෙලන තැන දක්වා ගමන් කරලා තියෙනවා.
කේක් එකක් හදලා ඉටිපන්දම් හැට අටක් පත්තු කරන්න බැරිව , කේක් එකේ  82 අයිසින් වලින් ඇදලා ඉටිපන්දම් හතරක් පත්තු කරපුවම ඇති කියලා     ගණිත සුත්‍රයක් දාපු පොඩි එකාගේ අම්මා   ඇස්බැන්දුමක් කරලා විනෝද වෙනවා.         ඒකත් ඇත්තනේ කියලා මමත් ඉවසුව  හින්දා මට කපන්න ලැබුනේ ඉටිපන්දම් හතරක් ගහපු  අටේ වර්ගය අයිසින් වලින් ඇන්ද කේක් එකක්. පුංචි එකා උදේ පාන්දරම සීයගේ කේක් එක අයිසින් කරන්න එපා කියලා.  “ සීයට සුගර්  - ඒක හින්දා සීනී කන්න හොද නැහැ “ කියලා අම්මට ඇඩ්වයිස් පාරක් දීලා. අයිසින් කරපු කේක් එක කපාපු කෑල්ල පැත්තක තියලා පොඩි එකාගෙන් සීයට ලැබුනේ “නන් අයසින්“ කේක් කෑල්ලක්.

අවුරුදු හැට අටක් වෙන කොට ජීවිතේ ඇති වෙන වෙනස් කම් තේරුම් ගන්න පොඩි එකා අත්වැලක්. කාලෙන් කාලෙට එක එක දශක වල එක එක භුමිකා රගපාන ලද ජීවිතය අද “ බකමූණා“ ගේ චරිතය රගපාන් පටන් අරන්.දැන් ඔක්කොටම් “හ්ම් ........හ්ම්  “ කියන තැනට ජීවිතය ගමන් කරලා මුණුපුරාටත් -  මුණුපුරාගේ ආත්තම්මා දක්වා සනුහරේටම හ්ම් ....හ්ම් කියන්න හැරෙන්නට වෙන දෙයක් දවසට ඉතිරිවෙලා නැහැ. මේ ධර්මතාවය දවසක මුණුපුරාටත් උදාවේවි. එත් තවම ඒක තේරුම් ගන්න පොඩි එකාට බැහැ. ඒකගේ වයස අවුරුදු හතරයි.       ගණිත සාශ්ත්‍ර එහෙන් මෙහෙන් දැම්මත් තාම මොන්ටිසෝරියේ !.                                       
පහුගිය අවුරුද්ද ගැන හිතන්න ගියාමත් සතියකට හතරක් විතර ලියාපු බ්ලොග් ප්‍රමානයත්  බිංදුවට බැහැලා. ඒකටත් බකමුන් දිශ්ඨිය වැටිලා. මේ අවුරුද්දෙවත් දවසේ කාලසටහන වෙනස් කරගන්න බලන්න ඔනී.          ඔය හිතට එන මොනවා හරි ලියාපුවමත් බණක් භාවනාවක් කලා වගෙයි.  අද දවස ගැන ලිවුවා වෙන්න පුළුවන්. ආයෙත් හෙට දවසේ  ඉදන් බ්ලොග් එකෙන් හමුවෙමු. --විශාරද ගුණදාස කපුගේ ගායනා කරන මේ ගීතය අහන්න නිහඩ     විප්ලවයත් භාවනාවක් වගෙයි කියලා මම හිතනවා.
සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන                                                                                        
සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන    
වියරු ගිණි දැල් නොවෙමු  
වනය අවුලා තබන -
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින

සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන
           
නපුරු හීනය නෙවෙමු  
ලමුන් නිදි සුව බිදින
සොදුරු අඩ හැරය වෙමු  
දනන් නින්දෙන් මුදන

සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන    
සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන

            
notes of imaginary

Friday, September 25, 2015

ලෙඩා මැරෙනවා.



අපේ දේශපාලන බෙහෙත් වට්ටෝරුව දූෂණය භීෂණය වංචාව හොරකම අට එකට හින්දෝලා ගත්ත එකක්. කාල වකවානුවක් සිමාවක් කියන්න බැරි කාලෙක ඉදන් වෙද මහත්තුරු ලියලා දෙන මේ සීට්ටුව හිදවලා බොන්න මැතිවරණයෙන් මැතිවරණයට ඡණ්දදායක අපි මැලි වෙන්නේ නැහැ. අන්තිමේදී ලැබෙන ප්‍රතිඵලය තිබුන ලෙඩට  වඩා අළුත්ලෙඩක් වැළදීමයි.

මට නස්රුදීන්ගේ කතාවක්  මතකයට ආවා.  

. නස්රුදීන්ගේ බුද්ධියේ  විෂයය පථයන් බොහෝම පුළුල් එකක් .විටක වෛද්‍යවරයෙකු, තවත් විටක ඉජිනේරුවෙකු,ව්‍යාපාරයෙකු දේශපාලන උපදේශක වරයෙකු  වගේ  විවිධ මට්ටමේ බුද්ධියක් නස්රුදීන්ට තිබුනේ.මේ හැම විෂයයකටම ගැටළුවක් ඇතිවුනාම උපදෙස් ගන්න නස්රුදින් සොයා ගෙන මිනිස්සු ආවා. එක දවසක නස්රුදීන් මිදුලේ එහාට මෙහාට සක්මන් කරමින් කල්පනාවේ නිරත වෙමින් ඉන්න අතර දැක්කා පුටුවක් මත ඉන්දවගෙන දෙපැත්තෙන් උස්සගෙන  රෝගියෙක් තමන් වෙත කැදවා ගෙන එනවා.
නස්රුදීන්ට හිතුනා මේක නම් මම අමාරුවේ වැටෙන වැඩක් කියලා. නම්බුව බේරා ගෙන වැඩෙන් ගොඩ යන්නත් එපාය නස්රුදින් හිතුවා.
කෝකටත් කියලා  ගේ ආලින්දයට  කැදවලා රෝගියා ගේ පිරිසගෙන් ඇහුවා මොකක්ද ලෙඩේ කියලා. මෙයාට මළ සහ මුත්‍රා  පිටවෙන්නේ නෑ දෙපැත්තම අඩස්සිවෙලා. පිරිසගේ පිළිතුර වුනා.
නස්රුදීන් ප්‍රතිකාර ගැන හිතන්න කළබල වෙන්නේ නැතිවම මේ ලෙඩේට හරියන්නේ නගරයේ ඉන්න අහවල් වෙද මහත්තයා කියලා නිර්දේශයක් දුන්නා. ඉක්මනට එයා ගාවට එක්කර ගෙන යන්න කියලා.
රෝගියා වෙද මහත්තයා ගාවට එක්කර ගෙන ගියා. නස්රුදීන් ආයෙත් කල්පනාවට වැටුනා.
කාලය ගෙවිලා ගියා හෝරාවකින් පමණ රෝගිය සමග ගිය පිරිස කළබලයෙන් නස්රුදීන් සොයා  ගෙන එනවා. රෝගියා නම් නෑ නස්රුදීන් ඇතින්ම දැක්කා.මේ මොන ජංජාලයක්ද වෙන්න යන්නේ ?. ඊලග පිලිතුරට නස්රුදීන් සුදානම් වුනා.

මොකක්ද අප්පේ උනේ ?.නස්රුදීන් පිරිසගෙන් ඇහුවා.
මළ මුත්‍ර හොදින් පිටවුනා බලන්නකෝ අපේ ඇගෙත් විසි වෙලා.
ඒකනේ මම කිව්වේ ඔය වෙද මහත්තයා ලෙඩේ සනීප කරයි කියලා !. නස්රුදීන් උත්තර බැන්දා.
ඒත් ...ඒත්...
ඔව් මොකද ?  කියන්න.නස්රුදීන් පිරිස උනන්දු කෙරෙව්වා.
ලෙඩා මලා නේ ..
ඔය ලෙඩේට නම් වෙන වෙද මහත්තයෙක් හොයා ගන්න වෙයි. මට මුලින් කියාපු ලෙඩේට තමයි ඒ වෙද මහත්තයා හොද !.

අපි හැමදාමත් අළුත් වෙද මහත්තුරු හොයනවා.
බඩ සුද්ද වෙවි ලෙඩා මැරෙනවා.
notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon