Thursday, August 04, 2022

මහ දිග කතාවක් නෙවෙයි...විනාඩි 18යි

notes of imaginary
😁😁😁මුනූ පොතට මේ කතාව යොමු කලේ රෝහිණී සිසිප්‍රිය. ඇයට ස්තුතියි .



ටිකක් නිවී හැනහිල්ලෙ ඉන්නකොට මට 
හිතුණ, අපි මේ දුවන්නෙ රේස් එකක් නේද 
කියල .අරයට වඩා පොඩ්ඩක් හරි උඩට යන්න,
නැත්නම් ,අපේ අයම විතරක් අරං දුවන්න.
එහෙමත්  නෙවෙයි නම් ,මගෙ සතුට විතරක් 
බලාගන්න.....
මග හැලෙන අය, වයසක අය ,ආබාධිත අය ,
රේස් යන්න හයියක් නැතිව,ස්ටාර්ටින්ග් පොයින්ට් 
එකේම නතර වෙලා ,කඳුළු පුරෝගෙන බලා 
ඉන්න අය ....කොයිතරම් මගෑරෙනවද?

ඔස්කාර් සම්මානය ගත්තු කෙටි චිත්‍රපටියක් බැලුව.
විනාඩි 18ක.
“A teen homeless meets a deaf-blind man
Who changes his life forever..”( වීදි ගැටවරයෙකුට 
මුණගැසෙන අඳ -බිහිරි මිනිසා ,තරුණයාගේ ජීවිතය 
වෙනස් කරයි.)  මාතෘකාව, නම් කළේ එහෙමයි.
 ඒ චිත්‍රපට යේ  වචන ඇත්තෙම නැති තරම්.මුහුණේ 
හැගීම් හා ඉරියව් තුළින් කතාව ගමන් කරන්නෙ.
     රාත්‍රී අඳුර ..විසිතුරු බඩු  සහිත  වෙළඳ සැල් ...
උණුසුම් කබාවලින් සැරසුණු මගීන් නිවෙස් කරා යද්දී 
කතානායක ගැටවරයා ටෙරෙක් (Tereek) වීදියේ 
කඩපිලක නොසන්සුන් ඉරියව්වෙන් එහා,මෙහා ගමන් 
කරන අය දිහා බලාගෙන ඔහේ ඉන්නවා.  ආරම්භක දර්ශනය 
ඒක .
 දැඩි සීතල ,තනිකම ,කුසගින්න හා පීඩනය 
රසිකයා ගේ  සිතට දැනෙන්නෙ එයාගේ මූනෙ  ඉරියව් වලින්.
 යහළුවන් ගේ පිහිට ඉල්ලමින් ,සාක්කුවේ දුරකතනය 
මගින් කෙටි පණිවිඩ යවනව..
යහළුවන් මග හරිනබව පේනව. යමක් මතක් වෙලා  ,එයා 
වීදිය දිගේ දුවල ඉස්සරහට යනකොට යාළුවො 
දෙන්නෙක් මුණගැහෙනව.තුන් දෙනාම සාප්පු සංකීර්ණයකට
ගිහිං ක්‍රීඩාවක්  කරල .ලබාගත්තු  සල්ලි දාල නූඩ්ල්ස්  අරගෙන
පාරෙ තියාගෙනම කනව.
යාළුවන්ට  ගෙවල් වලින් ඇමතුම් එනව,
“අම්මල  මාව හොයනවා” එක්කෙනෙක් ෆෝන් එක ඕෆ්කරන 
ගමන් කියනව.
“ඒ ගොල්ලො මං එනකං බලාගෙන ඉන්නව”
“මටත් එහෙම තමයි”
මේ සංවාදෙ යනකොට ..ටෙරෙක් ගෙ සමීප රූප රාමුවක් තිරේ 
වැටෙනව.
අසරණ බව,තනිකම ...වේදනාව ඒ ඇස්වල උතුරනවා.
එයා එනකං බලා ඉන්නෙ කවුද?
අඩුගානෙ වැටිල නිදාගන්න තැනක්..
 හොඳටම වැටිල ඉන්න වෙලාවක ,ඔයාල හිතන්න අපේ මූනෙ 
ඇස්වල තියෙන්නෙ ,හයියෙන් කෑගහල අඬන්න හිතෙන ගතියක්.
ටෙරෙක් ගෙ මූණ ත් අන්න ඒ වගේ .
ඔහු අරමුණක් නැතිව ඇවිදගෙන යනවා..පිටිපස්සෙන් රතුපාට 
වීදි පහන් පේලියක් .....
ආවෙත් කෙටි පණිවිඩයකට ,උත්සාහයක්.කෙල්ලෙකුට ....
    “ඔයාට කොහොමද”?
 “ මං ආවොත් ඔයා බලන්න කමක් නැද්ද..”
තමන්ට රාත්තිරිය ගතකරන්න තැනක් නෑ කියනවට වඩා 
කෙල්ලෙක් අන්දන්න ඕන විදිහ ,කොල්ල දන්නව.
මෙතෙන්ට කෝප්පයක් අරගෙන ,යාචකයෙක් එනව.
යමක් ඉල්ලනව ටෙරෙක් ගෙන්.
“මං ළඟ මුකුත්ම නෑ..” ෆෝන් එක ඔබන ගමන් ටෙරෙක් කියනව.
ඔහුගේ ස්වරයේ නොරුස්සන බවක්.
මොහොතක්  ගැටවරය දිහා බලා ඉන්න දුගිය , ටිකක් ඈත ,
පදික වේදිකාවෙ හිටගෙන ඉන්න මිනිහෙක් ළඟ නවතිනව.
තරමක පුෂ්ටිමත් සිරුරක් හිමි අයෙක්. ඔහු අත සුදු සැරයටියක්.
යාචකය ඒ මනුස්සය  ඉස්සරහට ගිහිං යමක් ඉල්ලනව. සැරයටිකරු 
ට ඇසුණු බවක් හෝ පෙනුණු බවක් දකින්නෙ නෑ.ටෙරෙක් 
ඔළුව උස්සල ඒ දෙන්න දිහා බලනව.සැරයටිකරු ගෙ
 ප්‍රතිචාරය බොල් නිසා ,යාචකය ඔහු ඉදිරියෙන් තමන්ගෙ 
අතක් උඩට පහළට යවනවා.
සැරයටිකරු පඹයෙක් වගෙ ඔහේ ඉන්නව.
ටෙරෙක් ගෙ කුතුහලය ඇවිස්සෙනව.....යාචකය එතැනින්
ඉවත්වෙනකොටම ටෙරෙක් අර මනුස්සය ඉස්සරහට යනව.

සැරයටිකරු ගෙ අතේ තියෙන බෝඩ් එකට ,කැමරාව 
එල්ලවෙනව.ටෙරෙක් ඒක කියවනව.
          Iam  DEAf AND BLIND
                  Tap Me
          If  You can help me 
         To  cross the   street.
(මට පාර පනින්න උදවු කරන්න පුලුවන්ද ? මම අන්ධ 
බිහිරි කෙනෙක් .කැමති  නම් ,මාව අල්ලන්න .)

ඒ දර්ශනය මගෙ හිතට කම්පාවක් ඇතිකළා .මේ 
අසරණ මනුස්සය  බෝඩ් එකත් එල්ලගෙන පාර 
පැනගන්න බැරුව කොච්චර වෙලාවක් එතන 
හිටගෙන ඉන්න ඇද්ද?
ඒ බෝඩ් එකේ රූප සටහනකුත් තියෙනවා.
නිකං සංකේත වගෙ මිනිස් රූප දෙකක් .එක අයෙක් .
අනිකාගේ වැළමිට ළඟින් අල්ලාගෙන යනව.
මොන තරම් ලොකු කතාවක්ද?
අපිට එහෙම වෙන කෙනෙක් වෙනුවෙන් කැපවෙන්න 
සුළු මොහොතක් ..පුලුවන්ද?
 ඔයාල තනියම හිතයි ,අපිට වෙලාවක් නෑ..
මේ වැඩටික කරගන්න බැරුව අපි දඟලන්නෙ..කියල.
අහල  තියෙනවද ,මේ සිංදුව ..
“මේ  ප්‍රේම කතා නවතා මොහොතක් 
අපි අවට  බලමු  ඇස් ඇරලා 
නැති බැරිකම් හතර අතේ 
පාවෙනවා  සුළඟ වගේ....”

අපිට කාගෙ හරි දුකක් පෙනුණද?දැනුණද?
රේස් අස්සයො  වගෙ දුවන කොට ,කරුණාව 
දයාව ,මනුස්සකම පෑගෙනව අපි දකිනවද?

දන් අපි බලමු ටෙරෙක් දිහා.එයා මොහොතකට
 දෙගිඩියාවෙන් බව අපි දකිනව.ඇයි ..
අර කෙල්ල ඉන්න තැනට යන්න ඕනි ,තව රෑ වෙන්න කලින්.
නැත්නම්,පාරෙ තමයි .අනික් අතට මේ අන්ධ මනුස්සය 
තනියෙම මෙතැන  දාල පනින එකත් හරි නෑ.මූනෙන් 
ඒ වගෙ හැඟීම්  පෙන්නන්න දක්ෂයි ,අපේ  ශ්‍රේෂ්ට නළු 
ජෝ අබේවික්‍රම ත්. ටෙරෙක් ගෙ මූණ පෙන්වන්නෙ
තරහක් නෙමෙයි ,නො ඉවසිල්ලක්. වටපිට බැලුවට පාර හිස් .
කවුරුවත් නෑ.අන්ධ මිනිහ ගෙ මුහුණෙ හරි ශාන්ත මඳ 
සිනාවක් ඇඳෙනව. ඒ ආලෝකය ටෙරෙක් ගෙ හදවතට 
වදිනව.
         “ මේ .....” ටෙරෙක් අර මනුස්සයගෙ එක උරයකින් 
අල්ලනවා.එතකොටම අනිත් උරයෙ තිබුණු බෑගය බිම 
තියල  අර බෝඩ් එකටම පෑනකින්  සම්බන්ධ කරපු 
සටහන් පොතක් අරගෙන ,යමක් කුරුටු ගාල .,ටෙරෙක් ට 
පෙන්වනව.
                “I need M 15 ”  ( මට එම් 15 බස් එක ගන්න ඕනි.)
             “ හරි” “තව පොඩ්ඩ  දුරයි.” පාර දිහා බලල ,ටෙරෙක් 
බිම තිබුණු බෑගයත් .අන්ධ මනුස්සයගෙ උරහිසෙන් දාල ,
එයාව උරහිසෙන් අල්ලල,හෙමින් හරවනවා 
 “දැන් ඔහොම ඉස්සරහට යන්න,..”
එහකොටම ඉතා  වේගයෙන් ලොකු කන්ටේනර් එකක් ගමන්
 කරනව විශාල ශබ්දයකින්.    ඒ එක්කම ,මෝටර් සයිකලයක්.
ටෙරෙක් පාර දිහා බලනව,නැවත අන්ධ මිනිසා දිහාත් බලනවා.
අන්ධයා නැවතිලා ,ගල් ගැහිල වගෙ ඉන්නව.
පසුබිමින් ඉතා ශෝකාකුල  සංගීත රාවයක් ඇහෙනව.දැන්, ටෙරෙක් 
දෙලොවක් අතර .මේ මනුස්සය ට උදව් කරනවද? කෙල්ල ගෙ ගෙදර
 යනවද?
තව රෑ බෝ උනොත් ඒ නවාතැනත් නැතිවෙනව...මොකද කරන්නෙ .....
ටෙරෙක්ගෙ සමීප රූපයක්.තීරණයක් ගත නොහැකිව ,ලතැවෙන 
දෑසක්. අන්ධ මිනි සාගේ නවා ගත් අතක   චායාරුපයක් !
නිහඩවම  කෙරෙන  ආයාචනයක් ....
ටෙරෙක් මිනිසා වෙතට ගමන් කරල,අර එයා නවා ගෙන හිටපු අත .
අල්ලනවත් එක්කම ,අත දිගාරින  අන්ධයා ටෙරෙක් ගෙ උරහිස 
හොයල  ග්‍රහණය කරගන්නව. 
අන්ධ මනුස්සයගෙ මූනෙ  බොහොමප්‍රසන්න හිනාවක් මතුවෙනවා .
හරිම ශාන්ත සිනාවක්. සැනසීමක සේයාවක් .

මෙන්න මේ දර්ශනය  හරිම දයාබරයි.  අසරණයෙකුට මොහොතකට
හෝ  ගමන් සගයෙකු  මුණගැහෙනව . එකම අරමුණක්  ගොඩනගා 
ගෙන දෙදෙනා එක ළඟින් ,කැමරාවට පිටුපා ගමන් කරන අපුරුව...
තිරයේ දර්ශනය වෙනව.
ජීවිතේටම  හමු නොවුණු දෙදෙනෙක් ......
වෙනස්  අවශ්‍යතා  ඉටු කර ගැනීමට  බලා ඉන්න  දෙන්නෙක්...
එකෙකුට  ආරක්ෂා සහිතව  ගෙදර  යන්න ඕනි.
අනිකාට  යන්න  තැනක්  නෑ .
අන්ධයා හැමවිටම  උපශාන්ත සිනහවක් රඳවාගෙන ...
අනිකා නො ඉවසිලිවන්තයි..කලබලයි..සිනහවක සේයාවක් නැහැ.

කම්මැළි වගෙයිද?
ඇතිද .....?
පුළුවන් නම්  තව ටිකක්  බලමු....ආදර කතාවක් වගෙ නෙවෙයි,තමා.
ඒත්................

අපිත් මේ වගෙ තත්වයකට මූණ දුන්නොත්..දමල ගහල යනවද?
දැන් රෑ එකත් පහුවෙලා.ටෙරෙක් අන්ධ සගයව බස් නැවතුමට 
ගෙනිහින් ,ප්‍රවේශමෙන්  එතැන දිග බංකුවේ  වාඩි කරවනව.
එතකොටම එයාගේ ෆෝන් එක රින්ග් වෙනවා.කෙටි පණිවිඩයක් .
වෙලාවත්,පණිවිඩයත් දෙකම තිරේ වැටෙනව .
1:27 යි .( ඒකෙනුයි වෙලාව දැන ගත්තේ)
“ඔයාට තව වෙලා යයිද?”...”දැන් හුඟක් රෑ වෙලා”
ටෙරෙක් පිළිතුරක් ටයිප් කරනවා.
           “මේ එන ගමන්”
දැන් ,අන්ධ මිනිසා  වෙතටයි කැමරාව. එයා බෑගයෙන් අර දිනපොත
වගෙ එක අරගන්න  හැටි,දකින ටෙරෙක් විමසිලිමත් වෙනව.
යමක් සටහන් කරල ,ඒක හරවල පෙන්වනව.
   “ඊළඟ බස් එකට  හුඟක් වෙලා තියෙනවද?”
ටෙරෙක් බස් නැවතුමේ සවිකළ පුවරුවක් වෙත පා නගනව.
ටික වෙලාවක් ,ඒක දිහා බලන් ඉඳල ,නැවත අර මනුස්සය ළඟට එනව.
එවර ඔහුගෙ මුහුණ  ටිකක් එලියවැටිල  වගෙ .ඒ කියන්නෙ ,ඉක්මණින් 
බස් එකක් ඇති. මෙයාගෙන් ඉක්මණට නිදහස් වෙන්න පුළුවන් 
වෙයි වගෙ  හැඟීමක් ...මට හිතුනෙ .
 අන්ධ කෙනාගෙ  සමීප රූපයක්..ඔහු හරිම ශාන්තව මඳ සිනාවකින්
ඉන්නව අපි දකිනව.
  හරි ප්‍රශ්නෙ .!.ලඟට එද්දි ටෙරෙක් ගෙ මුහුනෙ ආවෙත් ගැටලුසහගත බවක්.
අන්ධ මනුස්සයව සන්නිවේදනය කරන්නෙ කොහොමද? අන්ධයි ..බිහිරියි.
ටෙරෙක් ළඟ ක්ෂණික  විසඳුමක් තියෙනව වගේ .එයා ,අරයගෙ අත 
ස්පර්ශකරන කොටම ,අන්ධ මනුස්සයත් ඒ අත ටෙරෙක් පැත්තට
 දිගු කරනව. 
බලන්න.....වචන ඕනි උණේ නෑ.ස්පර්ශයක් ඇති  අවබෝධ කරගන්න.
එහෙම බලන කොට ,අපි මොන තරම් වචන  නාස්ති කරනවද?
ටෙරෙක් යාළුවගේ අත්ල මත ,තමන්ගෙ ඇඟිල්ලෙන් සංඥා 
දෙනව. 
     “එක ..දෙක ...දහය” 
ඒ කිව්වේ ඊළඟ බස් එකට ,විනාඩි දහයයි.
අන්ධ මනුස්සය තේරුම් ගත්ත ,තමන් ගෙ අල්ල මතට දහ වතාවක් 
සංඥා  ලැබුණු බව. එයාගෙ  දෙතොල් තදකරගෙනම ,අපූරු 
සුන්දර සිනාවක් මූනෙ ඇඳෙනව. ඔහුට සතුටු ඇති . වැඩි වෙලා 
නොගිහින් තමන්ට උණුසුමට  වැටිල නිදාගන්න පුළුවන් .
ලෝකෙ කොහේ ගියත් ගෙදර වගෙ කොහෙද? 

දැන් ටෙරෙක් ටත් හිතට හොඳ ඇති. එතකොටම ඔවුන් ළඟින් ම 
බස් එකක් යනවා අනිත් පැත්තට.ඉන් පස්සෙ නැවත පාළු බවක්.
මේ එළිවෙන ජාමෙ ...නාඳුනන මිනිසුන් දෙදෙනෙක් ..එකෙක් 
බොහොම තෘප්තිමත්. අනිකා , වීදියේ ඉන්න  කාත් කවුරුත් නැති 
ගැටවරයෙක්.ඔහුගෙ හිතේ බලාපොරොත්තුවක් .කෙල්ලෙක් 
එක්ක  යහන් ගත වෙලා,උණුහුමට පොඩ්ඩක් නිදාගන්න....
අනික ඉහට වහළක් නැති එකේ ,පැයකට හරි දිවිය ලෝකෙ 
යන්න ආස ඇති. කවුද දන්නෙ ...ඒ රටවල මිනිස්සු රෑ  ජාමෙන්
 පස්සෙනෙ නිදාගන්නේ. .

අන්ධ මිනිහ පහසුවෙන් ඇඳි බංකුවෙ  හේත්තුවෙලා  වාඩිවෙලා ඉන්නව.
පාරදිහා බලල, ටෙරෙකුත් බංකුවෙ වාඩිවෙන්න හිතාගෙන ,යාළුව
බංකුව උඩ තියාගන උන්නු  අත උස්සල ,ඒක අරයගෙ කකුල උඩ තියනව.
අන්ධය,ටෙරෙක් දිහාට මූණ හරවල ,නැවත ආදරණීය සිනාවක් පාකරනව.
මේ වෙලාවේ පසුබිමින් ළයාන්විත සංගීත ඛණ්ඩයක් වාදනය වෙනව.
ඒක මේ අවස්ථාවට  හරියටම ගැලපෙනව.
    තරුණය වාඩිවුණු ගමන් සගයගෙ ,කකුලක් මත තමන්ගෙ  අත 
තියල හෙමින් තට්ටු කරනව.
   “බයවෙන්න එපා ,ඔක්කොම හරි”  කියනව වගෙ.
අන්ධ මනුස්සයත් ,ඒ විදිහටම ,ටෙරෙක් ගෙ කකුලට තට්ටු කරන
රූප රාමුවක් තිරයෙ වැටෙනව.  හරිම ලස්සණයි .ගමන් සගයින්ගෙ 
තෘප්තිමත් මුහුණු ලං කරල අපිට පෙන්වනව.
 ඔන්න දැන් තව ගැටළුවක් අපි ඉස්සරහට එවනව,ඩිරෙක්ටර් .
අන්ධ මනුස්සය  තමන්ගෙ පෑන අරං මොනවද ලියනවා. ටෙරෙක් ඒක 
බලනව.
      “මේ ළඟ පාත කඩයක් නැද්ද?” ඔහු ලියල තිබුනෙ ඒක.
දැන් මොකද කරන්නෙ .........ඔයාලටත් තියෙන්නෙ මට ඇතිවෙච්ච 
කුතුහලයමයි 
ටෙරෙක් අනිකාගෙ අතේ ලියනවා...බොහොම හෙමින් ,එයාට තේරුම් 
ගන්න පහසු වෙන්න.
     “CAN  IT WAIT” (පොඩ්ඩක් ඉවසන්න පුලුවන්ද?)

සගය පිළිතුර ලියද්දි ,දෑස් ලොකු කරගෙන  ,ටෙරෙක් ඒ දිහා බලා ඉන්නව.
 
එයාගෙ බෙල්ල ඉස්සරහට දික් කරගෙන, කට උල් කරගෙන....

“I’M  THIRSTY”(මට හරි තිබහයි)
ටෙරෙක් නැගිටිනව.ඊළඟට අපි දකින්නෙ ,එක අතක් ටෙරෙක් ගෙ 
උරහිසේ තියාගෙන ,අනිත් අතින් සුදු සැරයටියෙන් මග සොයාගෙන 
පේව්මන්ට් එකේ ඇවිදගෙන යන අන්ධ මනුස්සය .ටෙරෙක් යම්
 කල්පනාවකින් ඔහේ  යනව ,වගෙ පේන්නෙ.ඔහු චුට්ටක් විතර 
ඈත් වෙනව. එතකොට ම යාලුව පය පැටලිල වැටෙන්න යනවා..
සැණින් ටෙරෙක් එයාව වැටෙන්න නොදී අල්ල ගන්නෙ ,
“Sorry!” කියමින් .එයාගෙ හිතට හරි නෑ .තමන්ගෙ නො සැළකිල්ල .
අන්ධ මිනිසා නතර වෙලා ,ආයෙත් වැළමිට නවා  ගෙන ,ටෙරෙක්ට 
පෙන්වනව.කොක්කක් වගෙ තමන්ගෙ අත නවල යාලුවගෙ වැලමිටෙන් 
දාගන්නව. දැන් හරි ..........” I got you  “.
                  පුංචිම වෙලාවක් ඇති ,හිතවත්කමක් ගොඩනගා ගන්න.
අනිත් එක්කෙනා ගැන හොයන්න ,බලන්න ..ටෙරෙක්  ඉගෙන ගත්ත 
වෙන්න බැරිද?
ඊළඟට  ග්‍රොසරි එකක් පෙන්වනවා....තිරය මත.ගැටවරයා ,වීදුරු
දොර තල්ලු කරනව.දැන් දෙන්නම  ඇතුලෙ... බීම බෝතල් අතරෙ
ටෙරෙක්  අත යොමුකරද්දී ග්‍රොසරි යෙ හිමිකරු  අන්ධ මිනිහ දිහා
ඇහිපිය නො හෙලා බලා  ඉන්නවා.
රෙඩ් බුල් වගෙ බීම කෑන් එකක් අරගෙන ශබ්ද නගා කවුන්ටරය උඩින් 
තියන ටෙරෙක්  සගය දිහා බලනව .හරියටම ඒ ශබ්දයෙන් ,යමක්  වටහගත්තු 
අන්ධ මිනිහ ,තමන්ගෙ සාක්කුවෙන් මුදල් පසුම්බියක් (Purse) .අරං 
ටෙරෙක්ගෙ පැත්තට දිගු කරනවා.ඔහු ගිජු දෑසින් ඇතුළත බලන්නෙ 
එහි ඩොලර් නෝට්ටු කීපයක්ම ඇති නිසා.කවුන්ටරයේ තැනැත්තාගෙන් 
තමාට ද චුවින්ගම් එකක් මිළ දීගෙන ,ඩොලර් 3ක් වූ ඒ වටිනාකමද ,අන්ධ 
මිනිසාගේ මුදලින්ම ගෙවනවා.
 කල දුටු කළ වල ඉහගන්නා ,කෙනෙක් කියල හිතුණත් ,මිනිහ වැටිල 
ඉන්න අමාරුවෙ හැටියට කමක් නෑ කියලයි මට හිතුනෙ.
දැන් බැලන්ස් එක ,ආපහු ලැබුණම ,ඒ සල්ලිත් පර්ස් එකට  දාන ටෙරෙක් 
මුදල් පසුම්බිය දෙන්න හදල..නැවත ඒක ඇරල ඩොලර් 10 නෝට්ටුවක් 
කලිසම් සාක්කුවට දාගන්නවා. ඔහු හොරකම කරන අතරෙ දෙපාරක් 
අන්ධමනුස්සයගෙ මූණ දිහා බලනව..සමහරවිට බැරිවෙලාවත් පේනවද 
කියල වෙන්න ඇති.
   අන්ධය කිසි වෙනසක් නෑ .සුපුරුදු හිනා මූනෙන්ම  පර්ස් එක අරගන්නව.
( ඒ මුහුණෙ හැඩය හරියට අපේ ජනප්‍රිය නළු ගිරිරාජ් ගෙ වගෙ)
පැත්තකට වෙලා ,බලාඉන්න ග්‍රොසරි යෙ හිමිකරු..මේ වංචාව දකිනවනෙ.  
      “වැඩේ වැරදියි ,යාළුවා”...එහෙම කියන ඇස් දෙකක් තිරයෙ  වැටුණට 
ඔහු නිහඬව ටෙරෙක් දිහා බලා ඉන්නව. ඇත්තටම සියුම් කෝපයක් 
ටෙරෙක් ගෙ දෑස්වල. එයා ,අන්ධ මනුස්සයගෙ අතට කොක්ක ගහන ගමන් ;
                 “What”?  ( ඇයි මොකද?) සැරෙන් අහනව. බීම කෑන් එක අතට 
අරං ...”You’ ve never seen a blind and deaf guy before?”
          ( ඇයි ,මීට කලින් අන්ධ,බීරි කෙනෙක්ව දැකල නැද්ද?”)කියන්නෙ
 ලැජ්ජාව නිසා කියලයි මට හිතුනෙ. ඔහු දොර අරින ගමනුත් .කැෂියර් 
දිහා රවල බලනව. ඇත්තට ම මෙතෙන්දි නම් ,මට හිනාගියා .
වැරැද්දක් කළහම ,ඒක හංගන්න  අපි මොන තරම් රඟ පානවද?
ටෙරෙක් හරිම ස්වභාවිකයි. මේතරම් සියුම් අභිනයන් කරන්න,මොනතරම් 
පළපුරුද්දක්  තියෙන්න ඕනිද?
 දැන් යාළුවො දෙන්න ,කැමරාවට පිටු පාල ඉදිරියට  යනව. 
එතකොටම ටෙරෙක් යන්න තියෙන බස් එක වෙන්නැති ,වේගයෙන් 
ගහගෙන යනව.ටෙරෙක්ට සගයවත් අමතක වෙලා ඉස්සරහට 
දුවනව,කෑ ගහගෙන .ඒත් ,බස් එක ඉගිලිලාගිහින් ඉවරයි.
හිතාගන්න පුලුවන්ද ...මේ තරුණය ගෙ හිතට ඇති වෙච්ච සන්තාපය 
දුක ...අන්තිම බලාපොරොත්තු වෙ තදින්ම එල්ලිල හිටිය කෙනෙක් 
හදිසියෙම ඒකත් බිඳිල ගියහම .නිකං පිස්සුවෙන් වගෙ ඔළුව  දෙපැත්තට 
වනමින් තමන්ටම කියාගත්ත..
             “අයියෝ ...මොන එහෙකටද මං මේ කෙහෙම්මලක 
        පැටලුණේ ”...වේදනාවෙන්..අපේක්ෂා භංගත්වයෙන් මොහොතක් 
ලතැවිල්ලෙන් ඉන්න ටෙරෙක් ආපස්සට හැරිල බලනව. 
     අන්ධ මනුස්සය ,බොහොම නිස්කලංකව හිටිතැනම හිටගෙන 
බීම එක බොනව. අර සුන්දර සිනහව එහෙම්මම යි.
මොහොතක් ගල් ගැහිල වගෙ බලා ඉඳල ,ටෙරෙක් නැවත නියම තත්වයට 
එනව වගෙ.අන්ධ කරදරකාරය ළඟට ගමන් කරන ඔහුගෙ ,මුහුණෙ 
උපේක්ෂාවක් වගෙ යමක් ,මම දැක්කෙ .
 දැන් ,කතාවෙ  ඊළඟ කොටස ...දෙන්නම බස් නැවතුමේ වාඩිවෙලා 
ඉන්නව.එක්කෙනෙක් බීම එක හිස් කරනව...අනික ,චුවින්ගම් එක 
හපනව.බීල ඉවරවුණු අන්ධයා හිස් කෑන් එක ..පහත් වෙලා බංකුව ගාව 
බිමින් තියනව. බෑග් එකට අත දාල නිල් පාට මෆ්ලර් එකක් අරං ,කණ ත් 
එක්ක වැහෙන්න දාගන්නව.දැන් හරි . මඳ සිනාවෙන්ම ,අර ඩයරිය වගෙ 
පොත එළියට අරගෙන ,යමක් කුරුටු ගාල ටෙරෙක්ට පෙන්වනව.
      “ඩ්‍රයිවර්ට කියන්න පුලුවන්ද ,මාව 129 වීදියෙන් 
බස්සන්න ,පොඩ්ඩක් මට තට්ටු කරන්න කියල ...”
 ටෙරෙක්ට තවත්  වගකීමක්...!
එයා ,අන්ධ මනුස්සය දිහා බලනව. 
    “එක අතකට පව්. ...මේ මනුස්සයට මං උදව් කලේ 
නැත්නම් මේ හීතලේ බස් හෝල්ට් එකේම තමයි 
ඉන්න වෙන්නෙ .” 
මලක් හෙමිහිට පෙති විහිදන්න හදනව වගෙ 
දයාබර බවක්  ඔහුගෙ මූණට  එකතුවෙන්නෙ අරෙහෙම 
හිතෙන්නැති  එයාට නේද?
අන්ධය ගෙ අත්ල උඩ ,ටෙරෙක් ලියනව .
   “YES”( හා ...හොඳයි)
ටෙරෙක් වැඩිහිටියගෙ  අත ස්පර්ශ කරල  “බය වෙන්න එපා”
වගෙ හැඟීමක් දෙනව. අන්ධ මනුස්සයත්  ඒ අත උඩ තමන්ගෙ  
අත තියල ,ඇඟිලිවලින් ග්‍රහණය කරගන්නව.
   හරිම අනුවේදනීයයි .තව කෙනෙක් ගැන හොඳ චේතනාවෙන්ම 
හොයල බලන කොට  ඒ ආදරයේ ,දයාවේ ,කරුණාවේ 
හෙවණැල්ල  තමන්ටත් ආපහු ගලාගෙන එනව. පුදුම සැනසීමක් 
එතැන තියෙනව. ඒක වචනවලට හරවන්න කවදාවත් බෑ.
ජීවිතේ විඳින්න ඒ වගෙ සතුටක් ,සැනසීමක්  මදිද?
අන්ධ මනුස්සය ටෙරෙක් ගෙ අතැඟිලි වල ග්‍රහණය බුරුල් කරන 
ගමන් ,හොඳ ජවසම්පන්න කට හඬකින් ,පළමු වතාවට 
තරුණයට ආමන්ත්‍රණය කරනව .
“HEY ,Young  Man”
ටෙරෙක් විමතියෙන් වගෙ වැඩිහිටිය දිහා බලා ඉන්නව.
ඇයි ...මෙච්චර වෙලා ගනු දෙනු කෙරුණෙ ස්පර්ශයෙන්  සහ 
පෑනෙන් නෙ .සිහින් සංගීත රාවයත් පසුබිමින් ඇහෙන නෑහෙන 
ගානට යනව .ප්‍රීතිමත් මුහුණින් යමක් පොතේ ලියල තරුණය 
ගෙ පැත්තට හරවනව .
    “ඔයාගෙනම...” 
මුලදී ,නමක් දැනගන්න අවශ්‍ය තාවක් දැනුනෙ  නැහැ. නාඳුනන 
දෙදෙනෙක් නෙ . දැන් හොඳ බැදීමක් ගොඩනැගිලා කියල 
හිතුණද දන්නෙ  නැහැ.ටෙරෙක් තමන් ගෙ නමේ අකුරු පහ 
සගයගෙ  අත්ලෙ ලියනව. ඒක  තේරුම් ගත්තු අන්ධ යා ,බොහොම 
ප්‍රීතිමත් මුහුණෙන් ,නැවත පොතේ සෙල්ලම පටන් ගන්නව. 
.           “ඔයාව අඳුනගත්ත එක සතුටක් ’’
ටෙරෙක් ගෙ ඇස් නිදිමතෙන් වගෙ ද කියල හිතෙනව.
 එයා වැඩිහිටි සගය ගෙ අත්ල මත ලියනව.
   “Name?” (ඔයාගෙ නම?)
පිළිතුර කෙටියි .  “Artie” (ආර්ටි)
ඉන්පසු නැවත ගනුදෙනුව ...ටෙරෙක් ලියනව ..
“Why out  late?” (මොකද මෙච්චර රෑ වෙලා ?”
නැවත  ආර්ටි ගෙ පෙම්බර සිනහව.
පිළිතුර සරළයි .”Date” (යෙහෙළියක් එක්ක හිටිය”)
ටෙරෙක් දෙපාරක් ආර්ටි දිහා පුදුමෙන් වගෙ බලනව.
“මේ යකා ,මටත් බැරිවෙච්ච දෙයක් කරලද?”
ටෙරෙක් එහෙම හිතුවද දන්නෙ  නෑ.ආර්ටිට තියෙනව 
ඒ වගේම ප්‍රශ්නයක් ...
     “ You”?   (ඔයා මොකද රෑ උණේ “?) ඔන්න ටෙරෙක් 
අමාරුවෙ වැටුණ .කොහොමද කොල්ලෙක් වෙලා කියන්නෙ 
“මට ඉන්න තැනක් නෑ ,මං වීදි දරුවෙක්”..කියල .මොහොතක් ..
තත්පර පහක් විතර ආර්ටිගෙ අත්ල අල්ලගෙන කල්පනකරනව.
    “Same”  ( මාත් කෙල්ලෙක් බලන්න ගිහිං එන ගමන්.”)
ටෙරෙක්ගෙ දුක්බර මුහුණ ..තිරයේ මැවෙනව. ආර්ටි .මේ බොරුව 
විශ්වාස කලාද? එයාගේ සුපුරුදු හසරැල්ල ආයෙ මතුවෙනව .
ටෙරෙක් අත්දෙක  එකට එකතුකරල එකිනෙක ඇඟිලි අතුල්ලගන්නව 
සීතලට ද? ...නැත්නම් ...හිතේ විපිළිසරබවටද...?
 ඔය අතරෙ ආර්ටි පොත ,බෑග් එක ඇතුළට දාන්න උත්සාහ කරනව
පස්සේ ,මොකක් හරි අහුවෙලා ..වදෙන් පොරෙන් ඒක බෑග් එකෙන් 
එලියට අරං ටෙරෙක්ට පෙන්වනව.
වතුර බෝතලයක් !
ආර්ටි හයියෙන් ශබ්ද නගා හිනාවෙනව.තිබහ නිවා ගන්න වතුර ටික 
ළඟම තිබිලනෙ .අපෝ මං වගෙ මෝඩයෙක් කියල හිතෙන්න ඇති .
තත්පරයක් විතර ,බෝතලය දිහා බලා ඉඳල ටෙරෙක් ටත් හිනාවක් 
මතු වෙනව.දෙන්න එක්කම මහා හයියෙන් හිනාවෙනව.
කොච්චර ශෝක්ද?  අනුන්ට හිනාවෙනවට වඩා ,තමන්ටම 
තමන්  ගැන හිනාවෙන්න  පුළුවන් නම්..
 දැන් ඔක්කොම ඉවරවෙලා ඊළඟට අපිට පෙන්වන්නෙ ,හරිම ආදරණීය 
දර්ශනයක්.! දෙන්නම ,බංකුව උඩ එකිනෙකාගෙ ඇඟට තුරුල්වෙලා 
පොඩ්ඩක් නින්ද ගිහිං.හරි සාමකාමියි.
එක්වරම ෆෝන් එකක් වයිබ්‍රේට්  වෙනව.ටෙරෙක් අවදිවෙනව.
ආර්ටි තවම ටෙරෙක් ගෙ උරහිසට  හේත්තුවෙලා .බොහොම 
සීරුවෙන් එයා  ,ආර්ටිව පොඩ්ඩක් ඈත්  කරනවා. එයා තවම නිදි.
කෙල්ලගෙන් මෙසේජ් එකක්.
 “ පරක්කු වැඩියි. මම නිදා ගන්නවා”
ටෙරෙක් වැඩි ගානකට නැතුව ෆෝන් එක සාක්කුවට දාල ,යාලුව දිහා 
බලනව.එයා නිදි. මොහොතකින් ඔහුට ,ආර්ටිගෙ බෑග් එක ඇතුළෙන් 
අර දින පොතේ කොටසක් එළියට පේනව. පොඩි අදහසක් ගන්න 
හිතුණද  දන්නෙ නෑ .සීරුවෙන් පොත තමන් ළඟට ගන්නව.
ඒකෙ පෙරළපු ගමන් තිබුණේ ...
“Which way is  96th street?” ( 96 වීදිය මොනපාරෙ ද?)කියල .
සමහරවිට ආර්ටිගෙ යෙහෙළිය ගෙ ගෙදර එහේද ...කියල මම හිතුව.
ටෙරෙක්ටත් එහෙම හිතෙන්න ඇති. ඔහු ඊ ළඟ පිටු ව පෙරළුවා .
මේ පිටුවල කලින් ලියපු සටහන් ගොඩක් තියෙනව. එහෙනම් 
අලුත් සටහන් අඳුර ගන්නෙ කොහොමද? දුඹුරු,සහ කොළ පාට 
අකුරු පරණයි. ආර්ටි අද ලිව්වෙ නිල් පාට පෑනකින්. තව දෙයක් 
කියන්නම්.මේ අකුරු පොතේ එක එක පැත්තට ...ඇදේට හරහට 
පහලට ..ඔය හැම විදිහටම (අපිළිවෙලට) ලියල තිබුනෙ ..
එක පාටක පෑනක් එක දවසකට ගන්නව ඇති.
අපි බලමුකො ඊළඟ පිටුව...
“Please leave the room and  close the door “ (අනේ දොර වහගෙන 
එලියට යන්න,)
ඊ ළඟ පිටුවටත් ගියා .
“Can  I  kiss YOU?”  (මං ඔයාව සිප ගන්නද?”)
ටෙරෙක් හෙමින් ආයෙ වතාවක් ආර්ටි දිහා බැලුව.හීන් සංගීත  රාවයක්..
ආර්ටි ගෙ බෙල්ල කඩාගෙන පපුවට එයා  සනීපෙට නිදි. .

තත්පරයක් ..දෙකක් .තුනක්  ඒ දිහා බලාගෙන ඉඳල ,,දිග 
හුස්මක් පිටකළා .ඊට පස්සෙ කන් දෙක ත් වැහෙන්න ,ඔළුව අල්ලගෙන 
වේදනාවෙන් ටිකක් වෙලා හිටිය .සංගීතය නැවතුණා . නිශ්ශබ්ද තාවයක්.
තිරය මුළු මනින්ම කළු පාට උණා. 
ටෙරෙක්ගෙ මනස සංකේතවත්  කළාද ,නැත්නම් වෙන.....මං දන්නෙ  නෑ.
 හදිසියේම ධාවනය වෙන බස් එකක ශබ්දය ඇහුණා .
ටෙරෙක් පියවි ලෝකෙට ආවා. බසයක් ඔවුන් පාස් කරගෙන යනවා .
ආර්ටි නැවතුම් පලේ සිටින නිසාදෝ,ටෙරෙක් ගෙ හඬ නිසා හෝ බසය, 
වේගය අඩු කළා.
විදුළියක් වගෙ දුවගෙන ගිය ඔහු ,බසය නවතා ගත්තා.
 රියදුරු ගාවට  ගිහිං ...තත්පරයක් නවතාගෙන ඉන්න පුළුවන්දැයි ඇසුවා.
 (දැන් ඔයාලට එපා වෙලාත් ඇති. තව පොඩ්ඩයි).
අපි දැන් දකින්නෙ ,ආර්ටි බස් රියේ ඉදිරියෙන්ම වාඩිවෙලා ඉන්න ගමන් 
ටෙරෙක්ට කාඩ් එකක් දෙනවා.එයා.ඒක දොරටුව ගාවින් ටච් කරලා ,
රියදුරා වෙතට එනව. දැන් ටෙරෙක් මොන තරම් වෙනස්වෙලාද 
කිවුවොත් හරියට ,ආර්ටි තමන්ගෙම කෙනෙක් විදිහට හිතන බව පෙනුණ.
එයා වගකීම කරටම අරං.
ඒ දෙන්න අතර මෙහෙම සංවාදයක් යනව.
• Terek-  “Excuse me Sir...This guy is blind and  deaf.
You got to tap him and let him know  when he gets to 129th
Street. His name  is Artie.”   (සමාවෙන්න.මෙයා අන්ධයි .කන් ඇහෙන්නෙත් නෑ 
129 වෙනි වීදියට ආවම ,මෙයාට පොඩි  තට්ටුවක් දාන්න පුලුවන්ද?
එයා එතකොට බහින තැන බව තේරුම් ගනීවි. එයාගෙ  නම ආර්ටි.”)
රියදුරු නො ඉවසිල්ලෙන් එහා පැත්ත බලාගෙන  අහගෙන ඉඳල හුස්මක් පිට කරනව.
 එයාට මෙතනින් යාගන්නයි ඕනි .එයා නොරුස්නා බැල්මෙන් ටෙරෙක් දිහා බලනව.
ටෙරෙක් ,නැවත ඒ ප්‍රශ්නෙම අහනව.
• Terek- Excuse me Sir…Could you tap him and let him know when he gets to
                     129th street??”
• Driver- “ Sure” (හරි .කරන්නම් .)
• Terek –“No,Not Sure”(එහෙම කිව්වට මදි) ටෙරෙක් රියදුරු ළඟට 
 කිට්ටු වෙනව ,තව ටිකක් .ඊළඟට ටිකක් තදින් උස් ස්වරයෙන් කියනව .
“He just want to get home.”   (එයාට ගෙදර යන්න ඕනි)
මෙවෙලෙ  රියදුරු ත් උස් හඬින් පිළිතුරු දෙනව.
• I’m  gonna take   care  of the MAN”(මං මිනිහ ගැන බලන්නම්)
මේ වචනෙ රියදුරාගෙ කටින් එළියට ආව විතරයි ..අපිට පේන්නෙ ටෙරෙක්ව 
පිච්චෙනව වගෙ . කවුරු හරි තදින් කම්මුල් පාරක්  ගැහුව වගෙ ...අඬන්න 
ළඟයි වගෙ 
තමන්ගෙ අහිංසක යාළුවට “මිනිහ ”.කිව්වෙ. හරියට හිඟන්නෙක් ගාණට දාල .
තව අඩියක් ලං වෙලා ..”ආර්ටි” කිය ල බර කරල  කියනව. මිනිහ නෙමෙයි...
එයාට හොඳ නමක් තියෙනව ,කියන්න වගෙ.
රියදුරා ඒ පාර වරද හදාගන්න උත්සාහ කරනව.
      ‘මං ආර්ටි ගැන බලන්නම් .129 වීදියට ආවම එයාව බස්සන්නම්”
ටෙරෙක් ගෙ මූනෙ අමනාප ගතිය දියවෙලා ,සැනසිල්ලක් මතුවෙන අපූරුව 
කැමරාවෙ සටහන් වෙනව.
මේක නම් පුදුමයක්! මේ වගෙ ඉතාම ස්වභාවික හැඟීම් අභිනයෙන් දක්වන 
හැටි...අනික අපේ රටේ නම් ,ඩ්‍රයිවර්  ..ගැටවරයව බෙල්ලෙන් අල්ලල 
ඇදල දාල.
ටෙරෙක් රියදුරාට ස්තුතිය පිරි නමන්නෙ හදවතින්මයි.ඊ ළඟට  ඔහු 
සගය ළඟට  ඇවිත් ,එයාගෙ අත අල්ලගෙන ;
     U  OK  (බයවෙන්න එපා. ඔක්කොම හරි)  කියල  ලියනව .
ආර්ටි සීට් එකෙන් නැගිටල ,ටෙරෙක්ගෙ අතේ ලියනව ...ඔයත් 
ඕ.කේ  නේද?  කියල . ….YOU  LL B  OK
ගැටවරයට මොන තරම් කම්පාවක් ඇතිවුනාද එහෙම ලියන කොට.
අන්තිම මොහොතෙත්  තමන්ව සනසන්නයි ,මේ හදන්නෙ . 
සමහර විට ආර්ටිට  තේරෙන්නත් ඇති ,ටෙරෙක් ගෙ අසරණකම ගැන.
මගේ හිතත්  අඬවමින් ආර්ටි ,තරුණයාව අදාල අරගෙන .ආදරෙන් වැළඳ 
ගන්නව. පසුබිමින් නැවත සසල කරවන වාදනයක් ඇහෙනව.
මොහොතකින් ආර්ටි වාඩිවෙනව. ටෙරෙක් බසයෙන් බහින්න 
හැරෙනවා අසරණ වීලාශයෙන්.

   එතකොටයි දකින්නෙ ..කාන්තාවක් ඇතුළු බස් රිය තුළ  වාඩිවෙලා 
හිටපු අය ටෙරෙක් ගෙ වැඩේ අනුමත කරන ලීලාවෙන්  ඔහු දෙස 
ආදරය පිරුණු ඇස්  වලින් බලා ඉන්නව .ඉතිං ටෙරෙක් ආවෙත් 
“දාල යන්න බෑ වගෙ” ඉරියව්වකින් බස් එකෙන් බහිනව.ආර්ටි පුරුදු 
ලස්සණ හිනා වෙන්ම ඉඳ ගෙන ඉඳිද්දි බස්රිය ඉදිරියට ඇදෙනව.
තරුණය ,තමන්ගෙන් ඈත්වෙලායන ආදරණීය සගය දිහා ,බස් එක යන 
දිහාම බලා ඉඳල ,අත උස්සල  වනනව.ඒත් ..බස් එක දුර ගිහිං.ආර්ටිට 
නො පෙනුණත් ,එයාගෙ ම හිතට සැනසිල්ලක්  වෙන්න ඇති . 
ආපහු හැරෙනකොට ඔන්න මෙන්න වැටෙන්න ,කඳුළු ගුලි 
දෙකක් ඇස් වල පුරෝගෙන පරාජිත යෙක් වගෙ දිග හුස්මක් 
හෙලනවා ,හූල්ලනව කිවුවොත් හරි.
 ඔහු ආයෙමත් තනිවෙනව.   
 ආවෙත් පයින්ම ඇවිදගෙන එනකොට යාචකයෙක් පදික වේදිකාවෙ 
වකුටු වෙලා නිදා ඉන්නව දකිනව. ඔහු ඉදිරිපිට පුංචි කෝප්පයක් 
තියෙනව .ටෙරෙක් ඒ දිහාට යනව.  අඳුරු මුහුණෙ ,තවම ලොකු දුකක් .
ආර්ටිගෙන් හොරකම් කළ ,ඩොලර් දහයෙ නෝට්ටුව ඔහු අරගෙන 
සාක්කුවෙන් ,යාචකයගෙ  කෝප්පෙට දානව.
පසුබිමින් ඇහෙන දුක්බර සංගීතය එක්ක ,ටෙරෙක් පාළු පාරෙ 
ඈතට තිතක් වෙලා නොපෙනී යනව.
**************

 ඔයාලට ස්තුතියි,අවසානය වෙනකම්ම කියෙව්වනම් .
මට තනියම දරාගන්න අමාරු නිසා ..දිග වැඩි වුනත් ලිව්වේ.
මේක යූ .ටියුබ් .එකට දාල තිබුනෙ .2021 ජනවාරි වල.
කමෙන්ට්ස් දහදාහකට ආසන්නව අදට ,ලැබිල තියෙනවා අගය කරලා.

රෝ.සි.

Wednesday, August 03, 2022

අග්ගලා තියෙනවා නම් ගමුකෝ - මහාචාර්ය සෙනරත් පරනවිතාන.


මෙතුමා ගැන නොදන්නා අය බොහෝ විරලයි. පුරා විද්‍යාවත් අපේ අතීත ශ්‍රී විභූතියේ හෙලිදරව්වත් සාකච්ඡා කරන කාට හෝ මහාචාර්ය සෙනරත් පරනවිතාන.මහතාගේ නම සිහිපත් නොකර සාකච්ඡා කල නොහැකියි. එතුමා ගාල්ලේ මැටරඹදී 1896 වසරේ දෙසැම්බර් 26 වෙනිදා උපත ලැබ,.1972 ඔක්තෝම්බර් 04 දා අප ඉතිහාසය තුල අතරමං කර අපෙන් වෙන් වී ගිය සටහන් කරන්නේ සංවේගයෙන්..  

මීදුම කතා කරන්නේ එතුමාගේ සේවය ගැන නොවේ. එතුමා අපට ඉතිරි කල රසකතා කිහිපයක් ගැනය. මේ රස කතා තුලද ඇත්තේ ද එතුමාගේ  පෞරුසත්‍වය  හා බුද්ධියේ නිම් වලළුයි.

1956 පිහිටවු රජයේ සංස්කෘතික අමාත්‍යාංශය මගින්  පවැත්වු පළමු සාහිත්‍ය උලෙල උත්සවශ්‍රීයෙන් කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේදී පැවත්වුනා. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වුනේ එවකට අගමැති එස් ඩබ්. ආර් ඩී . බණ්ඩාරනායක මැතිතුමා. එතුමා ගේ දේශණයෙන් පසු ඇමතුම තිබුනේ මහාචාර්ය සෙනරත් පරනවිතාන. මහතාට. එතුමා දේශණය පටන් ගත්තේ මෙහෙමයි.

“මුලාසනේ හාමුදුරුවන්ගෙන් අවසරයි , පණ්ඩිත සභාවෙන් අවසරයි ,දේශපාලන කතාවෙන් පස්සේ , කෝට්ටේ ඉතිහාසය ගැන මට අද කථා කරන්න සිද්ධවෙලා තියෙනවා  “ කියලා තම දේශණය පටන් ගත්තා. බණ්ඩාරනායක මහතාත් වේදිකාවේ ඉන්නවා. රටේ ඉහලම බලවතා දේශපාලකයා. ඒත් පරණවිතාන මහත්තයාගේ අභිමානය ඊට ඉහලින් .තියෙන බව අවසර ගැණිමේ වචන පේලි දෙක තුනේ හැංගිලා තිබුනා.

ඒ එතුමාගේ හැටි.

තවත් දවසක ගුවන් විදුලියේ සාකච්ඡාවකට මෙතුමා සහභාගි වෙනවා. මාතෘකාව “බුදු පිළිම වහන්සේ.”  ගොරහැඩි කළු ගලකින් ශාන්ත බුදු පිළිමයක් නිර්මාණය කලේ කොහොමද ? වැනි පැතිකඩ කිහිපයකින් බුදුන් වහන්සේගේ පිළිම ගැන සාකච්ඡා වුනා. මේ සාකච්ඡාවට  මාපලගම විපුලසාර හාමුදුරුවොත් මංජු ශ්‍රීමහත්තයත් .මහාචාර්ය සෙනරත් පරනවිතාන මහත්තයත් සහභාගි වුනා.මේ සාකච්ඡාව යන අතරේ සංවාදකයා මහාචාර්ය තුමාට ආරධනය කරනවා. ලංකාවේ බුදු පිළිම වල ඉතිහාසය  ගැන මහාචාර්ය තුමාගේ අදහස කියන්න කියලා.

මහාචාර්ය තුමා කියනවා “ ලංකාවේ මුල්ම බුදු පිළිම බොහෝම අඩුයි. හේතුව හුගාක් දෙනා බුලත් විටට කාලා .” කියලා.

ඊට පස්සෙයි කතාව පැහැදිලි කරන්න පටන් ගත්තේ.

ලංකාවේ බුදු පිළිම බොහෝමයක් හදලා තියෙන්නේ හුණු ගලෙන්. ඒ ගල් පුච්චාපුවම විටට කන හුණු නිෂ්පාදනය වෙනවා. අපේ මිනිස්සු බුලත් කන්න  රුසියෝ.ඒ ගලෙන් හදපු බොහෝ බුදු පිළිම විනාශ වෙලා කැඩුණු බිදුණු කොටස් මේ සදහා යොදවා ගෙන තියෙනවා.කියලා එතුමා පැහැදිලි කරනවා.අපි පුරා විද්‍යාවේ වැඩ කරන කාලේ මෙවැනි උදවිය අල්ලා ගෙන දඩුවම් කරලත් තියෙනවා.

එතුමාගේ  කතාව සාධාරනිකරණීය කලා

රාමා රාවනා සීතා වෘතාන්තය ගැන විවිධ මත තියෙනවා.පරනවිතාන මහතාගේ මතය වුනේ රාමායනය සාහිත්‍ය ග්‍රන්ථයක් විනා ඉතිහාස ග්‍රන්ථයක් නොවන බවයි. ඉතිහාසය ගොඩනැගීමේදී මූලාශ්‍රවන්නේ සෙල් ලිපි , කාසි ,පෞරාණික නටබුන් මිස සාහිත්‍ය නොවන බව එතුමාගේ මතය වුනා. එකල පැවති සම්මන්ත්‍රණයකදී මේ පිළබදව කරුණු ඉදිරිපත් කල එතුමා සහභාගී වී සිටි වියතුන්ගෙන් ප්‍රශ්න තිබේදැයි විමසුවා.

එක් වියතෙකු විසින් ඔහු නුවර එළිය ප්‍රදේශයේ පිහිටි රාවනා ඇල්ලට ගිය බවත්,එහි ඇති ගල් ගුහාවක රාවනා විසින්  සීතාවන් රදවා ගෙන සිට ඇති බවත්, එම ගල් ලෙන ආශ්‍රිතව ඔවුන් භාවිතා කල බෙහෙත් හේත් තවමත් ඉතිරිව ඇති බවත් ඔවුන් ආහාරයට ගත් අග්ගලා වැනි ගුලි විශේෂයක් හමු වු බවත් පැවසුවා . ඒ නිසා රාමායනය සාහිත්‍ය ග්‍රන්ථයක් නොවන බවත් එය ඉතිහාස ග්‍රන්ථයක් බවත් තරයේ ප්‍රකාශකලා.

මෙම ප්‍රදේශයේ හමුවන ලිහිල් පාෂාණ ගුලි සීතා අග්ගලා ලෙස හදුන්වනවා. හෝර්ටන් තැන්නේ අනවසර මැණික් ගරන්නන්ගේ කැණීම් වලදීද මෙම පාෂාණ ගුලි  හමුවෙනවා  මේවා පාෂාණ නොවන බවත් රාවනා සීතා විසින්  ගත් ආහාර වල ඉකොටස් බවයි වියතා ගේ තර්කය වුනේ..

පරනවිතාන මහතා වාඩි වී සිටි අසුනෙන් නැගිට මෛක්‍රපෝනය ලගට ආවා. “ අග්ගලා තියෙනවා නම් ගමුකෝ බලන්න . එතුමාගේ පිළිතුර වුවේ එපමනයි. සභාව එක හඩින් සිනා පැතුරුවා. වියතා පසු බැස්සා.

මුලසුනේ විශ්ව විද්‍යාලයක උප කුලපති වරයෙකු සිටි එක් දේශනයකදී එතුමා තම දේශණය ආරම්භ කලේ මෙහෙමයි. “ මුලසුනේ උප කුලපති තුමාගෙන් අවසරයි. උප කුලපති කියලා සංස්කෘතිකයේ කියන්නේ හොර මිනිහටයි.මම මේ කතා කරන්න යන්නේ හුග දෙනෙක් කියවන්න බෑ කියලා අත් හැර දාපු ඉණ්දු නිම්නයේ රූපාක්‍ෂර කියවීම ගැනයි.

එතුමා දේශණය කරගෙන ගියා . ඒත් දේශණයට ප්‍රවිශ්ඨ වුනේ හොර මිණිහා අමතලා.

 රාජා ධර්මපාල මහතා විසින් 1988 ඔක්තෝම්බර් මස “තුලන “ කලාපයට සැපයු ලිපියක් මුලාශ්‍ර කර ගන්නා ලදී.



notes of imaginary

Tuesday, August 02, 2022

හේන්පිටගෙදර ශ්‍රී ඥාණසිහ හිමියන්ගේ චරිතාපදානයෙන් බිදක්.



...බෞද්ධාලෝක මාවතේ පිහිටි පොලිස් පරීක්ෂණ ස්ථානයේ රාත්රිය ගත කර, දෙවෙනි දින මැගසින් බන්ධනාගාරයට යවනු ලැබූ මම කාමර කිහිපයක් ඇති වාට්ටුවක එක් කාමරයක නතර කරනු ලැබීමි.
පසුවදාට එළි විය. මා අත තිබුණේ පෑන පමණකි. එහි පාලක නිලධාරී මහතා ජෝර්ඩන් නමැති ලංසි මහතෙකි. ඒ මහතා කාරුණික පුද්ගලයෙකි. එසේම බුද්ධි සම්පන්න ය. මම ඒ මහතාගෙන් ලියන්නට ඉඩ තිබේදැයි ඇසීමි. එයට ඉඩ ඇති බව දැනගත් පසු කරදාසි ද ලබාගෙන 'දුටුගැමුණු රජුගේ චරිතය' පාලි පද්යයෙන් වර්ණනාත්මකව රචනය කිරීම ආරම්භ කළෙමි. මාසයකින් එම පොත අවසන් කිරීම මගේ එකම අධිෂ්ඨානය විය.
...ඒ ගෙතූ අවස්ථාවේ මා ළඟ කිසිම පොතක් පතක් නොවීය. දසමහ යෝධයන්ගේ චරිත දැක්විය යුතු අවස්ථාවෙහිදී ඔවුන්ගේ නම්, ගම් සහ චරිත ආදිය මට මතක නැත. ඒවා කෙසේ දැන ගත හැකි ද ? යන ප්රශ්නය මා සිතට නැගිණි. සිරකරුවන් සඳහා එහි පුස්තකාලයක් ද තිබේ. මම එහි ගොස් එකිනෙකාගේ අතටම දිය වූ කබල් පොත් ගොඩ අදින විට 'දසමහ යෝධයෝ' යන නමින් මුද්රිත කුඩා පොතක් හමුවිය. එයින් මගේ ගැටලුව ලිහී ගියේ ය.
....පරිච්ඡේද 18කින් සහ පාලි පද්ය 1106කින් එය මාසයක් තුළදී සම්පූර්ණ කළෙමි. එම වර්ෂයේ ශ්රී ලංකා සාහිත්ය මණ්ඩලය මගින් පාලි පද්ය සඳහා පිරිනමන ලද ත්යාග ද එම පොතට හිමිවිය.
...මගේ ජීවිත කාලය තුළ සාර්ථක, ප්රයෝජනවත් ජීවිතයක් ගත වූ කාලය කවර කාලයදැයි යමෙක් මගෙන් ප්රශ්න කළහොත් මා පිළිතුරු දෙන්නේ මැගසින් බන්ධනාගාරය තුළ මා ගත කළ අවුරුදු 03 හා මාස කිහිපයයි කියමි. එයට හේතුව නඩුවට උසාවියට යන එන හා එහි ගෙවන කාලය හැරුණු විට හැම මොහොතක්ම ධර්ම ශාස්ත්රීය සේවය සඳහා මට කැප කළ හැකිවීම ය. මම එම බන්ධනාගාරය තුළ දින 1228ක් ගත කළෙමි.
...මගේ බන්ධනාගාර ජීවිතය ඉතාම සාර්ථක ජීවිතයක් බව එහිදී රචනා කළ පොත් 28න් ඔබට ද පැහැදිලි වනු ඇත.
- අපවත් වී වදාළ ශ්රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ශ්රී ඤාණසීහ නාහිමිපාණන් වහන්සේ
අදට යෙදෙන හේන්පිටගෙදර ශ්රී ඤාණසීහ නාහිමියන්ගේ 41වන ගුණානුස්මරණය නිමිත්තෙන් උපුටාගන්නා ලද්දේ උන්වහන්සේ විසින් රචනා කරන ලද 'හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා' ස්වයං ලිඛිත චරිතාපදානයෙනි.

(මුහුණු පොතට හසිත චාමකර ගුරුසිංහයානෝ එක් කල වියමනකි.)

Like
Comment
Share
notes of imaginary

Sunday, July 31, 2022

පොටිච්ච වැල්




මීදුම  ඔහු දන්නේ ආරි”  නමිනි. 
ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය….කෙනෙකු විය හැක. ආරි ………” ට පෙලපත් නමක්ද තිබුනා විය හැක.මේ කිසිවකින් ඔහු නිසි ලෙසකින් හැදිනගත නොහැකිවු අතරආරි ” –  “ ශිල්ප ආරි ලෙසින්  ප්‍රදේශවාසීන් අතර ප්‍රකට චරිතයක් විය.ඔහු කෙනෙකු ශිල්පයා ලෙසද හැදින්විය.

ශිල්පයා වට කොට කරගත් ගෙතුන සත්‍ය කතා අපමනය. නිතරම උරයක් ( ගෝණියක් ) කරෙ ඇති ශිල්පයා ගමේ ඇවිදගෙන යන අතර එක් ගැමි ගෙදර වත්තක ඔහුගේ දවසේ වියදම තියෙනු දුටුවේය.කඩුල්ල පාමුල උරය තබා ගෙට ගොඩ වැදුන ඔහුට නිවැසි මහළු කාන්තාව පමනක් සිටිනු දක්නට ලැබුනේය.ඇගේ සැමියා එවිට බැහැරක ගොස් සිටි බව ශිල්පයාගේ නිරීක්‍ෂණයට ලක්විය.

ආ ගිය කතා අතර තේ උගුරක්ද බී නැන්දේ  , මම  බෙහෙතක් සොගෙන ආවේ. මේ වත්තේ එහෙම නැද්ද ?. පොටිච්ච වැල් කාරිය

අනේ මන්දා ළමයෝ මම දන්න පොටිච්ච වැලක් නෑ තියෙනවා නම් හොගෙන පලයන් නැන්දා උත්තර බැන්දේය.

නැන්දා ගෙන් සමුගත් ශිල්පයා අවසරද ලැබුන බැවින් බිය සැකකින් තොරව වත්ත පහලට ගියේය . පොටිච්ච වැල් වලින් උරය පුරවා ගෙන  ඉක්මන් ගමනින් ඉඩමෙන් පසු බැස්සේය.

සැමියා නිවසට පැමිනීමෙන් පසු ශිල්පයා පැමිණි බවත් පැමිණි කාරණයත් විස්තරය දිගහැරියේය. ඔහුට එක වරම වත්ත පහල වැටී එක් කරගෙන නොතිබු  පොටිච්ච වැල් ටික සිහිපත් විය. ඉන්තේරුවෙම්ම දැන් ලෙලි ගසා මුදලාලිගේ කඩයටත් එතනින් මුදල් බවට පත්ව කසිප්පු  පොලටත් ශිල්පයා විසින් බැර  කරන්න ඇතැයි සිතු ඒ පිලිබද මතකය අත්හැර දැමුයේය.

වත්ත පහල වැටී තිබු පොල් ටික අහිමි කර ගත් නැන්දා පොටිච්ච වැල් ඖෂධයට යොදා ගන්නා රෝගය  කුමක්දැයි කල්පනා කරන්නට විය.

 

ශිල්පයා ” …..උගතෙකු නොවීය. කුලියක් මලියක් කරමින් කීයක් හෝ සොයා ගෙන දවස ගෙවු  ඔහු නිතරම බීමතින් සිටියේය. කුලියක් මලියක් නොලැබුනදාට කිසියම් ශිල්පයක් දක්වා ගතමනාව සොයාගන්නා ඔහු එය නිල හෝ නිල නොවන මත්පැන් සදහා දිය කර හරින ලද්දේය.නැතිවු හරකෙකු හෝ වත්තක භව භෝගයක් ගැන විපරම් කරන ගැමියෙකු හට නිතතින්ම ශිල්පයා ද සිහිවිය.ගම් ප්‍රදේශයේ ඇලක දොලක මසුන් හට ජීවත්වීමේ අයිතියපිළිබද  තීරකයාද ශිල්පයා ම විය.

 

පනස් වන වියේදී පමණ කිසියම් අබග්ගයකින් එක් පාදයක අස්ථියක් බිදී කිහිලි කරුවක ආධාරය පතන්නට ඉතිරි ජීවිත කාලයේදී ඔහුට සිදුවිය. එක් රැයක එකට කා බී නිදාගත් සගයෙකු විසින් ඒ කිහිලි කරුවම ගෙලට සිරකිරීම නිසා ශිල්පයක් නොදක්වාම ශිල්පයා මිය පරලොව ගියාය.



notes of imaginary

Saturday, July 30, 2022

හයිබ්‍රිඩ් ආණ්ඩු.


"හයි බ්‍රීඩි" ආණ්ඩුව එන්නේ මොකාටදැ? යි පැහැදිළිය.
"හදිසි නීතිය" ට "වාජීකරණ ලබා දී"
සම්මත කර ගත්තේ "හාල් ගරන්නට" නොවේ.
හරකා හැරෙන්නේ පොල් පැළේට බව පැහැදිළිය.

අරගල කාරයෝ අත වැරදි ඇතිවාට සැක නැත.
එය "විධිමත් සංවිධානයක්" නොවුණි.
ඊට හැම එකාම රිංගූහ.
තෙල්,ගෑස්,කිරිපිටි නැති වූ හෙයින්
සිය මධ්‍යම පංතික ආතල් කුඩු වූ එකාගේ පටන්
රෑට ෂිප්ට් එකට බුදියා ගන්නා එවුන්ද,
හිඟන්නෝද,කුඩු කාරයෝද එතුළ සිටියහ.
ඩයස්පෝරාවේ මෙන්ම,තව තවත්
ජාත්‍යන්තර බලවේගවල නියෝජිතයෝද වූහ.

එසේ වුවද වටහා ගත යුතු සත්‍යය නම්
"පැවති,පවත්නා පාලන ක්‍රමයෙහි යල් පිනූ" බව,
මෙයට ප්‍රධාන හේතු කාරකය වූ බවයි.

නිදහස ලැබූ දා පටන් තට්ටු මාරු ක්‍රමයට
දෙපිලකට මාරුවෙන් මාරුවටද,
ඉන් පසු ජේ.ආර්.ට සින්නක්නරේටමද,
රේමදාසලාටද,
දුන්නොත් බාර ගන්නා උන්ටද,
චන්ද්‍රිකාවන්ටද,
සිරිසේනලාටද දී අන්තිමේ
හැට නව ලක්ෂයක් එකතුව හමුදා කාරයෙකුට දුන්නේ
"මේක හදාවි" කියාය.

උන්නෑහේ කටයුතු කළේ "ගැලවීමේ හමුදාවේ" ජෙනරාල් වරයෙකුටද නොතරම් ලෙසිනි.
අවසානයේ හෙතෙම පලා ගියේ
රට මෙවිපතට පත් කරන්නට නායක දායකයෙකුට පවරා දීමෙනි.

ඉහත ඉතිහාසය පුරා සිද්ධ වු⁣ණේ මහජන දේපොල වංචා කිරීමයි..
පැහැර ගැනීමයි.
ජනාධිපති මැඳුරේ පමණක් නොව "කෞතුකාගරයේ තිබුණ දේ පවා සොරකම් කළේ
අරගල කරුවන් නොවේ.
රජයට ලැබුණ "පතේ පිලිප්ස් ඔරළෝසුව" ඉස්සුවේ අරගලකරුවෝ නොවේ..
මහ බැංකුව මහ දවාලේ මං කොල්ල කෑවේ අරගල කරුවෝ නොවේ.

මේ සියළු දෙනා යහතින් වැජඹෙති.
ජනාධිපති මන්දිරයේ විදුළි ඉස්තිරික්කය ඉස්සු එකා සොයා මෙහෙයුම් කෙරේ!

හරි නම් ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ
අරගල කරුවන්ට මල් වට්ටියක් තබා වැඳීමයි!
ජීවිත කාලයම කාල් ගා බැරිවුණ ජනාධිපති පුටුව අරා හිඳින්නට
ඔහුට ලැබෙන්නේ  ඔවුන් නිසාය.

ඒ කෙසේ වෙතත්
මෙයාකාරයට නම් උන්නැහේලාට හොඳටම වැරදිලා ය.
"මො⁣ළේ තියෙන කොට බලේ නෑ.
බලේ තියෙන කොට මොළේ නෑ" කියමන මාර හැබෑවක්,ය.
මෙයාකාරෙට නම් රට කරනවා බොරු ය. 
  
👨👨👨මේ සටහන  කමල් .පී.අලහකෝන්  සහෘදයන් මුනූ පොතට එක් කර තිබිණි.
මීදුම පිටපත් කර පලකරන්නේ ඔහුට ස්තුතිය පලකරමිනි.🙏🙏                                    notes of imaginary

Thursday, July 28, 2022

සෙනෙහෙ කොලයක්








රාත්තිරියෙ හඳ එනකොට
යකඩ පොළුවලින් ඇතුළට
කලාවැවේ හඳ වතුරේ
ඔරු පැද්දා මතක් උණා.
 
හඳ වතුරට තෙමා වැටුණු
කෙහෙරැළි ටික ඈත්කරල
උඹේ මූණ බලා ඉන්න
කොච්චර නම් පිං පිරුවද.
 
කිළුටු ජම්පරේ ඇඳගෙන
මුළු දවසෙම යතු ගාලා
බෝඩරේට ඇවිදිල්ලා
හුස්මක් ගත්තේ හතරට.
 
ටැංකිය ළඟ අපි ඔක්කොම
ටින් අරගෙන නාන වෙලේ
උඹත් එක්ක වැවේ නාපු
ඒ සන්දිය හිතට ඇවිත්
කඳුළු එක්ක ,මං නෑවා.
 
වැව් කරෝල බැදල දාල
කිරිකොස් මාළුවක් එක්ක
රස කර කෑවට මං ,
උඹ ගෙනාපු මගෙ බත් එක...
මීට පස්සෙ උඹ නෑවිත්
තාත්ත එවපන් මෙහාට
 
ජේලර් කාරයා ගෙ ඇස්
උඹ පස්සෙන්මයි ඇවිද්දෙ .
පපු කැනැත්ත පත්තු උණා
විලංගුවට සාප කළා .
 
අච්චු කරපු සමහරුන්ට
හරියට වද දෙනව ඇතුලෙ
අයිස් ගහල ,දුමත් ඇදල
පිස්සො වගේ දඟලන අය
නෝන්ජලය කියලා මට
නමකුත් හදල නෙ බලහං.
 
උපන් දිනේ හෙටයි උඹේ
නෑ මට අමතක වෙන්නේ .
දුකයි මෙවෙලෙ ළඟින් ඉන්න
බැරි උණාට සමාවෙයන් .
 
කුසෙන් හෑල්ලු උණයිං පහු
රත්නත්තරයේ පිහිටෙන්
අපි යමු දළදා වඳින්න..
පොඩි එකාව වඩාගෙනම.
 
හොඳ කල්කිරියාව හින්ද
ටික දොහකින් නිදහස් වෙයි.
සමහරවිට මාසයකින්
නෑ ..නෑ ,හය මාසෙන්වත්
ඩොකට් එකත් යැවුවළු මගෙ
ලොකු මහත්තයට බලන්න.
 
හෙට ඉඳලා බත් පාටියෙ
වැඩට මාරුකලාළු මං
උඹෙ ඇස් දෙක හැම තිස්සෙම
හිතේ විදුලි කොටනව මගෙ.
මගේ සරමක් පොරවාගෙන
නිදාගනින් හීතල නං
ගම්බාරෙට පඬුරක් හෙම
ගැට ගහපං අපි වෙනුවෙන් .
 

රෝ.සි. ගේ මූණු පොතෙන් 


notes of imaginary