Wednesday, September 28, 2022

මටත් පිස්සු.





පිස්සු හැදෙන්නේ නැතිව තියෙයියැ මේ වෙන දේවල් වල හැටියට. ඒක අහගෙන ඉන්න තව එකෙක් කියනවා. මටත් ඒ වගෙයි කියලා. ඔක්කොටම පිස්සුද ? මම ඉන්නේ ගගක් අද්දර. දිය ඇල්ලකුත් තියෙනවා ලස්සන. නිවාඩු දවස් වලට සති අන්තයේ  ජෝඩු ජෝඩු අත්වැල් බැද ගෙන ගගයි ඇල්ලයි බලන්න යනවා. වැඩිහිටියොත් දූදරුවෙත් එක්ක එනවා. ජෝඩු ජෝඩු එන සමහර ජෝඩු වල එල්ලා ගෙන තියෙන බෑග් දිහා බලපුවම කන්න බොන්න දේවල් වලට අමතරව සී.ආර්.පොත් ඒ 4 කොළ මිටිත් පේන්න තියෙනවා.

පසුගිය දවසක මම නිකමට  හිතුවා උපකාරක පන්තියක් වත් ගගේ තියෙනවද කියලා?. මට හම්බු උන උත්තරේ අප්‍රබංශ එකක්. “ අපිට නොයෙක් රෝගාබාධ ඇතිවෙනවා. අපේ මනසත් ඒ වගේම රෝගීවෙනවා . මනසේ ඇතිවන රෝග හඳුන්වන්නේ මානසික රෝග කියලා. සාමාන්‍ය වහරේ පිස්සුව කියලත් හදුන්වනවා. මානසික රෝගයන වචනය ඇසු පමණින්ම අපගේ සිතට දැනෙන්නේ බයක්. ලජ්ජාවක්. මානසික රෝගවලට ගොදුරු වූවන් දෙස බලන්නේ ද අවඥාසහගත ලෙසය. මෙය ඉතා වැරැදියි. ඒ ගොල්ලත් සමාජ ගතව සිටින රෝගින් කොටසක් පමනක් කියන සිතිවිල්ල අපි ඇති කර ගන්න ඕනී.

ඉතින් මේ ගගට එන තරුන ජෝඩු වලට මේ අදහස් ආදේශ කරන්න පුළුවන්ය. මට උත්තර බැන්ද මනුස්සයටත් පිස්සු!.ඒක මට අදාල වෙන්නේ කොහොමද ? ගගේ වතුර සද්දේ හෝ හෝ ගාලා ඇහෙනවා. හෝර්ටන් තැන්නට වැස්සොත් වතුර ගගට එකතු වෙනවා. හොර්ටන් තැන්නට වහිනවා ඇත්ද ? මේ වහින මාස නෙමෙයි.ඔක්කෝම්බර් 10 -15 වෙන කොට නම් මෝසම් වැහි පටන් ගන්නවා. අහස දිහා බලාගෙන බණ්ඩේ උන්නැහේ අනාවැකියක් කිව්වා. ගගත් ඔහේ කම්මැලිකමින් ගලා ගෙන යනවා ඇති.

මගේ උපදේශකයා කතාව දිගටම කරගෙන යනවා. මම ආයෙත් පරන කල්පනාවට වැටුනා.
.
මානසික ‍රෝග සදහා මීට දශක පහකට හයකට පෙර විධිමත් ප්‍රතිකාර තිබුනේ නැහැ. බලි තොවිල් වැනි යාතු කර්ම සමග පාරම්පරික වෛද්‍යකර්ම යොදවා ගත්තා. බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කල අංගොඩ මුල්ලේරියා රෝහල්වලට මානසික රෝගීන් යොමු වුවත් එය ජනප්‍රිය වෛද්‍ය ක්‍රමයක්‍ ලෙස පිලිගෙන තිබුනේ නැහැ. ඒ වගේම අද මෙන් බටහිර ක්‍රමවලත් ක්‍රියාශිලී ඖෂධ වර්ග තිබුනේ නැහැ. එකල කියවුන දේශිය පාරම්පරික වෛද්‍ය ක්‍රමයන්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍.විධිමත් සහ ප්‍රතිපලදායි වෛද්‍යක්‍රමයන් වුනේ නැහැ. දැන් නම් සෑම ජාතික රෝහලකම වාගේ මානසික රෝගීන් සදහා ප්‍රතිකාර කරනවා. අපිට ලගම තියෙන රෝහලේ 18 වාට්ටුව වෙන් වෙලා තියෙන්නේ එවැන්නන්ට.ඒ කාලේ 134 දැන් හැම පැත්තටම වලංතු නැහැ. අර ප්‍රාදේශීය දේශපාලකයන් ගාල් කරන්න පලාත් සභා තියෙනවා වගෙයි කියලා කතාවට හවුල් වුන පුංචා කියනවා.පුංචාටත් පිස්සු. පලාත් සභායි මනෝවෛද්‍ය ඒකකයි එකට යන්නේ කොහොමද?.  

මේ කතාව එවර වෙන්නේ නැහැ. ගග ගලන්නා වගේ.දියඇල්ල ඇද හැලෙන්නා වගේ .

මම ඊයේ කිව්වනේ හෙටත් මේ විකාරේ දොඩවන්න එනවා කියලා. ගග ගැන අහලාත් ඇතිවෙලා ඇති. මම වාඩි වෙලා ඉන්න තැනට ගගට එන පාර මීටර් හාරසියයක් විතර දුරට පේනවා. අතේ එල්ලිලා එන අය කරේ එල්ලිලා එන අය බැරි බර ගානේ කුඩේ උසට උසේ අල්ල ගෙන එන අය  මාව දකින්නේ නැහැ. එත් මට ඒ ගොල්ලන්ගේ  විච්චූරන පේනවා. අනේ අපොයි කියලා අපිට හිතුනත් තරුන උදවියට ගැටවර ගැටවරයින්ට මේ උනුහුම චමත්කාරයක්....

මේවා පිස්සු වැඩ කියලා හිතෙන කාලයක් එනවා. මම පීලි පනිනවා වගේ දැනුනානේ. ඉන්න මම ට්‍රැක් එකට පනිනකම්...වර්තමානය වන විට ශාරීරික රෝග මෙන්ම මානසික රෝග ද වැඩිදියුණුවු ඖෂධීය ප්‍රතිකාර මඟින් හෝ වෙනත් චිකිත්සක ප්‍රතිකාර මඟින් සුවයක් ලබා ගන්න පුළුවන්, නැතිනම් අඩුම තරමේ රෝගය පාලනය කළ හැකි බව වටහා ගෙන තියෙනවා.
මානසික ආබාධවලට ගොදුරු වූ පුද්ගලයින් පිළිබඳව සැලකීමේදී බරපතළ සහ බරපතළ නොවන මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් සියයට 8 – 10 වගේ ප්‍රමාණයක්.
බරපතළ ගණයේ මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සියයට 2 ක්  විතර වෙනවා. මේ ගනන් හිලව් වෙනස් වෙන්න පුළුවන්.

මේ කාලේ ආතතිය හැමෝටම තියෙනවා. තරුනයින්ට ඇති ආතතිය වේගයක් වෙලා පසුගිය කාලේ ගලා ගියා. සමහරුන්ට ඇතිවු ආතතිය රටෙන් බැහැර වෙලා සමනය කර ගත්තා. තවත්  සමහරුන්ට ඇති ආතතිය ප්‍රවෘත්ති සාකච්චා තියලා සමනය කර ගන්නවා .

අපේ ආතතිය මේ උන්දැලා දවසින් දවස වැඩිකරනවා. ඒක නේ මම කිවේ අපිට පිස්සු කියලා.

කමක් නැහැ අපි බරපතල  විග්‍රහයකට එමු.

මොළය ආශ්‍රීතව ඇතිවන අබාධ මානසික ආබාධ  කියලා කියනවා. එවැනි රෝග ඇතිවීමට ජානමය හේතු,. හදිසි අනතුරු නිසා මොළයට වන හානිහේතුවෙන්න පුළුවන් .බොහෝ දෙනෙක් වෙතින් මානසික ආබාධ මතු වන්නේ වයස අවුරුදු 16 පමණ කාලයේ සිට. එතැන් සිට එම රෝගියා මුළු ජීවිත කාලයම ගෙවන්නේ මානසික ආබාධිත තත්ත්වයෙනි.
කිසියම් රෝගයක් නිසා ආබාධ තත්ත්වයට පත්වී ගෙවීමට සිදුවන කාලය සහ කිසියම් රෝගයක් නිසා අහිමි වන ජීවිත කාලය ප්‍රතිශතයක් ලෙස ගත් විට එම අගය සියයට දොළහයි දශම හයකි. මෙය අනෙක් රෝග හා සසදන විට ඉහළම අගයක්.
මෙය ඉහළ අගයක් වීමට ප්‍රධාන හේතුව වන්නේ මානසික රෝග බහුලව ඇතිවන්නේ නව යොවුන් වියේදී වීම නිසා. එසේම බරපතළ මානසික රෝගීන් සියයට අසූවක්ම දීර්ඝ කාලීනව පීඩා විදිනවා.
එම නිසා මානසික රෝගවලට දීර්ඝ කාලීනව ඖෂධ භාවිතාව අවශ්‍ය වෙනවා.

අප සමාජයේ බහුලව ඇති ප්‍රබල මානසික රෝග සංඛ්‍යාව 3 කි.
1.
භින්නෝන්මාදය,
2.
භාවික උන්මාදය,
3.
විෂාදය.
බිය, කාංසාව, ග්‍රස්ථිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි උග්‍ර නොවන මානසික ආබාධයන්ගෙන් ද බොහෝ දෙනෙක් පීඩා විඳිනවා.

 

මේ අතර අපිට පහල වෙලා ඉන්න දේශපාලිකාවක්ගේ ආර්ථික උපදේශය කංසා වවා ස්වයංපෝෂිත වමු කියලයි. හොදට හිටී නේ.....මුන්ටත් පිස්සු කියලා හිතෙන වාර අනන්තයි.


notes of imaginary

Sunday, September 18, 2022

දරුවෙක් බිහිවෙයි ඕපනායකින්









පුංචි කෝච්චිය... කොළඹ ඉදන් ඕපනායකට ආපු මතකය තියෙන අය බොහෝම අඩුයි. මීට අවුරුදු විසිපහකට විතර ඉස්සර  1997-1998 තරම.ඕපනායක ඉදන් කොළඹ ගිය පුංචි කෝච්චිය ආපසු අපිට දකින්නට ඕපනායක ට ආවේ නැහැ .අවසාන චාරිකාවට එක්වෙලා තිබුනේ සංචාරකයන් පිරිසක්.

පසු කාලයේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පටු අමාන මාර්ගය නවීකරණය වෙලා  පුළුල් අමාන දුම්රිය මාර්ගයක් වෙනවා.

සුද්දන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයයේ පැවත්ම උදෙසා අපි වගේ රටවල් වල සංවර්ධණ කටයුතු සිද්ධවුනා.ඒවා අපිට ඕන දේවල් නෙමෙයි. එයාලගේ ව්‍යාපාර පැවත්ම සදහා අවශ්‍යවු යටිතල පහසුකම්. තේ පොල් රබර් වැවිලි නිෂ්පාදන කොළඹට ගේන්න මාර්ග පහසුකම් ඕන.එයාලා ඒකාලෙට ගැලපෙන විදියට මාර්ග පද්ධතිය සකස් කර ගත්තා. අපිට නිදහස ලැබුනාලු. නම වෙනස් වෙලා ලොකු ලොකු වගන්ති එක්ක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදා ගත්තත් තාම අධිරාජ්‍යයට වැද නමස්කාර කරනවා.

කෝච්චිය අමතක වුනා...මම පාසල් ගියේ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට. සති අන්තයේ ගෙදර එනවා.  හුණුවල ඉදන් ඕපනායකට පුංචි කෝච්චිය ගමන් ගන්න මාර්ගය පිහිටා තිබුනේ මහා මාර්ගයට සමාන්තරව. ඒකාලේ බස් රථත් අශ්ප වේගයෙන් ගමන් නොගන්නා නිසා, පුංචි කෝච්චියේ කාල සටහනහට මගේ කාල සටහනත් ගැලපුනොත් පුංචි කෝච්චිය හමුවෙනවා.එතකොට කෝච්චියයි බස් එකයි කිලෝමීටර හතරක් විතර ඉබි ගමනේ ඇවිත් ඕපනායකින් වෙන් වෙලා යනවා. ඒ කාලේ ඒකත් චමත්කාරයක්.

පුංචි කෝච්චියේ උපතත් අහම්බයක්. ලංකාවට ආපු චීන පොහොර නැව (ගූ නැව) ආපහු ගියා වගේ මේකත් ආපහු අරින්න ඒ කාලේ ඇත්තන්ට දැනුම ශක්තිය තිබුනේ නැහැ. ගැහිල්ල කලේ පරිත්‍යාග විදියට. නැත්නම් සංවර්ධණය විදියට. සුද්දන්ට ලාභ ලැබෙන විදියට.සුද්දෝ යටත් විජිතයේ එක් එක් රටවල් සංවර්ධණ කටයුතු කලා කියලා මුලිනුත් සදහන් කලානේ. දකුණු අප්‍රිකාවෙත් මේ වගේ සංවර්ධණ ව්‍යාපෘතියක් ලෙස දුම්රිය මාර්ගයක් ඉදි කරන්න සැලසුම් කරනවා. මේ ව්‍යාපෘතිය අනුව කිලෝමීටර් 100ක් පමණ දිගින් යුත් දුම්රිය මගක් සහ පද්ධතියක් ඉදිකිරීමට ඇනවුම් කරනවා. මෙම ඇනවුම සම්පූර්න වෙනවා.පටු අමාන දුම්රිය මාර්ගයක ලෙසයි ව්‍යාපෘතිය සකස් වන්නේ.

දුම්රිය ව්‍යාපෘතිය දකුණු අප්‍රීකාවේ ස්ථාන ගතකරන්නට යන විට අප්‍රීකාණුවෝ පුංචි කෝච්චියක් ස්ථාන ගත කරනවාට විරුද්ධ වෙනවා. එවකට සිටි යටත් විජිත ආණ්ඩු කාරයත් මේ මතයට එකග වෙනවා.ඔවුන් බලාපොරොත්තුවූයේ  පුළුල් අමාන දුම්රිය මගක්

 විරෝධතාවය බරපතල නිසා කරන්න දෙයක් නැහැ.පාඩුව විද දරා ගන්නත් බැහැ. කර කියා ගත නොහැකිව අතරමංවු  ව්‍යාපෘතිය පසුව යටත් විජිත භාර ලේකම් වරයා සහ ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ -රත්නපුර ඕපනායක දක්වා ඉදිවෙනවා.පරිත්‍යාගයක මුවාවෙන් අපිට හිසරදයක් ලැබෙනවා.

 ඕපනායක කෝච්චිය හැදින්වුනේ කැළණි වැලි දුම්රිය මාර්ගය ලෙසටයි. 1890 සැප්තැම්බර් මාසේ දෙවැනිදා තමයි කැලණිවැලි දුම්රිය මාර්ගය  හදන්න පටන්ගන්නේ. 1902 සැප්තැම්බර්  මාසේ 15 වෙනකොට පුංචි කෝච්චිය අවිස්සාවේල්ලට එනවා. ඊළඟට 1912 අපේ‍්‍රල් 18 වෙනකොට රත්නපුරේට එනවා. ඔන්න ඔහොම 1919 මැයි 2 වෙනකොට පුංචි කෝච්චිය  ගමනාන්තය වෙන ඕපනායකටම ආවා. 

 කැළණී වැලි  ( කැළණි මිටියාවත ) සුද්දන්ගේ වැවිලි ආර්ථිකය නිසා ඇතිවුන නමක්. ඔවුන්ගේ වැවිලි නිෂ්පාදන කොළඹ එන්න මේ දුම්රිය මාර්ගය බොහෝම ප්‍රයෝජනවත් වුනා. ඔවුන්ට  මගී ගමනාගමන ප්‍රවාහන  සේවාවක අවශ්‍යතාවයක් නොතිබෙන්න ඇති.

 1830 ලිවර්පූල්  හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරනවා. මෙම තරගයට ඉදිරිපත් වන  රොකට්’ නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ ජෝර්ජ් ස්ටීවන්සන්ට”  ‘රොකට්’ නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්වනවා .  ජෝර්ජ් ස්ටීවන්සන් ගෙන් ඇරඹුන කෝච්චියේ වංශ කතාව දහ නව වන ශතවර්ෂය වන විට ලොව පුරා ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් බවට පත්වනවා. මේ කෝච්චියේ අතීතය.





පුංචි කෝච්චිය ආපු මාර්ගයවත් දැන් තියෙන්නේ තැනින් තැන. සමහර තැන් වල ග්‍රාමීය මාර්ග ඉදිවෙලා.තවත් සමහර තැන්වල ගොඩනැගිලි ඉදිවෙලා. ඕපනායක ස්ටේෂමේ හිටපු ස්ටේෂන් මාස්ටර්  අද කාලේ පොලිස් ඉන්ස්පැට්ටර් මහත්තයා වෙලා. ඕපනායක  දුම්රිය ගොඩනැගිලි වල තමයි අද ඕපනායක පොලිසිය පිහිටලා තියෙන්නේ.

එකල පැවති ස්වාධීන පත්‍ර සමාගම ගුණසේන මුද්‍රණකරුවන්ගේ ආයතනයක්. ඒ කාලේ සති අන්ත පත්‍රයක්  වුන රිවිදින පත්‍රයට චන්ද්‍රා අනගිරත්න කෝච්චි ගමන ගැන ලියපු කොළමක මේ වගේ කවියක් පළවෙලා තිබුනා.  මේ කවිය ඕපනායක කෝච්චියේ ගමනේ ලතාව ගැන කියන හොද උදාහරනයක්.

 පුංචි කෝච්චිය යයි හරි වේගෙන් - පැය හතරට එක හැතැම්මේ වේගෙන්

කොල්ලයි කෙල්ලයි නැගුනම කොටුවෙන් - දරුවෙක් බිහිවෙයි ඕපනායකින්

 



notes of imaginary

Thursday, September 15, 2022

අමුඩේ

අමුඩය අපුරූයග අපේ උද්ඝෝෂකයින්ට හිතුනොත් ඇද ගෙන අගනුවර එන්න පවා ස්මාට් ඇදුමකි අමුඩය. කාන්තා පක්‍ෂය අමුඩ වාගේ ඇදුම් අදිතත් ඒවාට කියන්නේ වෙනත් නම්ය. පසුගියදාක ගෝල්පේස් පිටියේ ජනාධිපති මණ්දීරයට පෙනෙන්න මේවා වැටවල් වල වනා තිබුනේය. ලාමක යයි සිතුන එක්කෙනාට ලැජ්ජා සිතී එයා යන්නම ගියේය.ඒ මෑත අතීතයේ අමුඩ කතාය.

පසුගිය දාක වත පොතෙහි එහාට මෙහාට යන කොට අමුඩ කතාවක් මුණ ගැහුනේය. එය ඒ අයුරින්ම පල කරන්නේ අමුඩයටත් යම්කිසි පිලිගැණීමක් ඇති බව දැනගන්නා පිණිසය.

ඒ අමුඩ කතාවත් අහමු 

 ........................අමුඩ කොටේ (1කොටස)

මෑතකදී බොහෝ දෙනාගේ ..කතා බහට ..විහිලුවට ලක් ..වුණත්..අමුඩය

එකළ සෑම සිංහල පිරිමියෙක් ඇද්ද එකක්.

මෙම කතාවේ පළමු ජායාරූපයේ අමුඩය ගසා නාන පිරිස 1949/50 වකවානුවේ නිට්ටඹුව ගුරු අභ්යාස විදුහලේ වාර්ෂික චාරිකාව ගිය ගුරු සිසු පිරිසකි..මේ සිසුන් අතර මහගම සේකරයන් මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් ද ගුරු සිසුන් ලෙස විය.

කෘෂිකාර්මික ජීවන රටාවක් පැවැති මේ දේශයේ වැඩ කරන ජනතාවගේ නිල ඇඳුමක් ලෙසින් පැවත ආ අමුඩය අද අප අතරින් තුරන්වී ගොසිනි. වියළි කර්කශ දේශගුණික තත්ත්වයන්ට උචිත ආකාරයෙන් මෙන්ම චාමි සරල ඇඳුමක් වශයෙන් ද අමුඩය අනාදිමත් කාලයක සිට අපේ අනන්යතාවය සුරැකූ ඇඳුමකි.

අතීතයේ ගැමි තාරුණ්යය මෙන්ම ජවසම්පන්න බවත් හැඩි දැඩි බවත්, ප්රදර්ශනය කිරීමට ද අමුඩය ඉවහල් විය. අමුඩය ගසා වැඩ බිමේ වැඩ කරන තරුණයකුගේ දේහ ලක්ෂණ හා සිරුරේ නම්යතාවය තරුණියක් තුළ ඇති කළේ ආලවන්ත හැඟීම්ය. අමුඩය ගසා ඇඳිවත සුම්බරය කොට හිසේ බැඳගත් තරුණයන් තරුණියන්ගේ සිත් ගැනීම සඳහා සිය යොවුන් දේහය මැනවින් උපයෝගී කර ගත්හ. වැදි ජනතාව අතර පැවැති සිරිතක් වූයේ අමුඩය ගැසීම සඳහා ඉණ වටා බඳින සිහින් ලනුපට යෝජිත මනමාලිය ලවා සකස් කර මනමාලයාගේ ඉනේ බැඳීමයි.

මෙය අතීත ගම්මානවල තරුණියන් විසින් ද සිය පෙම්වතා වෙනුවෙන් රහසිගතව ප්රතිඥා දුන් ආදරණීය තෑග්ගක් ලෙස පැවතිණි. දියකෝනම අමුඩ ලේන්සුව ආදී නම්වලින් හඳුන්වන ලද අමුඩය දුහුල් රෙද්දෙන් නිමාකළ හරි හතරැස් ලේන්සුවකි. අමුඩ ගැසීමේදී ද විලාසිතා කීපයක් අනුගමනය කළහ.

1.හඟල අමුඩය

හඟල අමුඩය ගසන්නේ මාමලා නැන්දලා ආදී වැඩිහිටියන් සමඟ වැඩ කරන විට ය. හඟල අමුඩය ගසන විට අමුඩයේ ඉදිරි පසින් එල්ලෙන කොටසේ රැළි දිග හැර ඉණ වටා වැටෙන හඟලයක් සේ සකසා ගනී. එවිට ඉණෙන් පහළ අඩියක් පමණ ප්රමාණය හොඳින් ආවරණය වෙයි.

2.දිය අමුඩය

දිය නෑම සඳහා අමුඩය ගැසීමේදී විලි වැසී අඩියක පමණ කොටසක් අමුඩයෙන් ආවරණය වෙයි. එය දිය අමුඩේ නමින් හැඳින්වෙයි.

3.ගැට අමුඩය

වල් කෙටීම, නියර බැඳීම ආදී කටයුතුවල නිරත වන විට ගැට අමුඩය ගැසීමට ගොවීහු වග බලා ගනිති. හෙවන සහිත ගසක් දිවා ආහාරය ගැනීම සහ තේ බීම, බුලත්විට කෑම ආදී අවශ්යතා සඳහා උපයෝගී කරගනී.බුලත්විට කා ගස් සෙවණේ සිට වැඩ කරන තැනට යනවිට ත්රිකෝණාකාරව ඉදිරිපසින් ඇති අමුඩයේ කෙළවර දුන්කොළ ටිකක් ගැට ගසාගැනීමට බොහෝ අය පුරුදු වී සිටිති. ටික වේලාවක් වැඩ කරන විට බුලත්විටේ තෘප්තිය හීනවී යන අතර එවිට අමුඩ ගැටේ ඇති දුම්කොළ ටිකක් කටේ දමාගන හපමින් තවත් හෝරා කීපයක් වැඩ කිරීම ඔවුන්ගේ සිරිතකි.

තවද අලුතෙන් ඉදිකරන නිවසක වහලය සෑදීමට ගන්නා උමන් (පරාල ලෙස පාවිච්චි කරන ලී) කැපීමට කැලයට යන පිරිස උමන් කපන විට අමුඩය ගලවා කරේ දමාගෙන නිරුවතින් ලී දඬු කපති. ඔවුන් එසේ කරන්නේ වහලේ උමන් ගුල්ලන් කෑමෙන් ආරක්ෂා කර ගැනීමට කරන කෙමක් වශයෙනි.

අමුඩය හිසේ බැඳගන ගමනක් යන විට ඉන් අදහස් කරන්නේ සිය ගව රංචුව බැලීමට හෝ වෙනත් අවශ්යතාවයකට කැලෑ වදින බවයි. එහෙත් අමුඩය කරේ දමාගන යන ගමන රහසිගත හමුවීමක් සඳහා යන ගමනක් බව සැක කෙරේ. අමුඩය ගසා ඊට උඩින් ඇඳිවත හරස් අතට ඇඳගෙන යාමෙන් පැවසෙන්නේ ඔහු වැඩිහිටියන් හෝ වියපත් දරුවන් අසලට යන ගමනක් බවයි.

අමුඩය හා බැඳුණු උපහැරණ අතර අමුඩය දීලා කෑවා වාගේයන කියමන අදට ද ගම්මාන තුළින් ඇසේ. මෙය ගැඹුරු අරුතක් ඇති කියමනකි. බඩගින්නේ නිරාහාරව සිටින අයකු නිරාහාරව සිටින බව කාටත් ප්රදර්ශනය නොවේ. එහෙත් නිරාහාරව සිටීමට නොහැකිව අමුඩය විකුණා කුසට අහරක් සපයා ගත් පසුව ක්ෂණිකව කුසගින්න නිවුණත් නිරුවතින් සිටීමේ අවමානයෙන් මිදිය නොහැකිය.

අමුඩ කෙටිය, දිය කෝනම, දිය අමුඩය ආදී නම්වලින් හඳුන්වන අමුඩය ගෘහ මූලිකයාගේ සිට වයස 10-12 දරුවා දක්වාම වැඩ කරන විට උපයෝගී කරගත්හ. කාර්යයක නිරත වන විට නිල ඇඳුමක් වූ අමුඩය අතීත ගැමියා ගමනක් බිමනක් යනවිට යට ඇඳුමක් වශයෙන් ද පාවිච්චි කළහ.

අතීත යුගයේ පිළිගත් පවුල්වල තරුණයන් පාවිච්චි කරනු ලබන අමුඩය මිදුලේ හෝ එළිපහලියේ වනා තැබීම තහංචියක් සේ සලකනු ලැබීය. ඒ අමුඩයෙන් ගන්නා නූලකින් අදාළ තරුණයාට වශී ගුරුකමක් කළ හැකි නිසා එසේ අමුඩය සුරක්ෂිත කළහ.

අසම්මත ගමන් බිමන් යනවිට අමුඩය හොඳ සාකිෂ්කාරයෙක් වූ අවස්ථා ද අතීත ගම්මානවලින් අනාවරණය වෙයි. එක්තරා ගරු ගාම්භීර ගමරාල කෙනෙක් සිය කුලයෙන් පහත් තරුණියක සමඟ ආලයෙන් වෙලිණි. ඔවුන්ගේ හමුවීම ඉතා රහසිගතව කැලෑවේ දී සිදුවූ අතර දිනක් මේ දෙදෙනා මුණගැසී සිටින විටෙක ගමේ වෙනත් ගැමියකුගේ පැමිණීම නිසා හදිසියේ වෙන්ව යාමට සිදුවිය. ගමරාල කඩි කුලප්පුවට දිව යාම නිසා ඔහුගේ කරේ තිබුණු අමුඩය කටු ගාලක පැටලී තිබී කටකාර ගැමියකුට අසුවිය. පසුදින උදේ හන්දියේ පලුගසේ ගමරාලගේ අමුඩය එල්ලා තිබූ අතර ඊට යටින් මේ කවිය ලියන ද කොළය ද අලවා තිබුණි.

කර ආලේ නැහුනත්

කටු බැදි අස්සේ

ගමරාලේ දැන්නම්

රහසක් නැත්තේ

හොර පාරේ ගිය මඟ

සලකුණ ඇත්තේ

කටු ගාලේ තිබු අමුඩේ

පලු අත්තේ

මේ ආදී බොහෝ තොරතුරුවලට පාදක වූ හෙළ ගොවි අමුඩය හෙට දවසේ කෞතුක වස්තුවක් වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය.

 

(උපුටා ගැනීම අන්තර්ජාලය තුලින් )

අයිතිය මුල් අයිතිකරුට


notes of imaginary

Saturday, September 10, 2022

සබද අපි කුදු නොවෙමු............


ම කාලයක් දින පොතක් ලියමින් සිටියා . මගේ කඩුල්ල බ්ලොග් අඩවියට. මේ පහතින් පලවෙන්නේ 2015 ලියන ලද සටහනක්. පුංචි පුංචි වෙනස් කම් ටිකක් කලත් එදා ලියු විදියටම සටහන තියෙනවා. දින පොත ලියන එක හිටි හැටියේ නතර වෙනවා. ආයෙත් ලියනවා. පිලිවෙලකට නැතිවුනත් මේ වැඩේ ටික කාලයක් කර ගෙන ගියා.

ජීවිතය ගෙවෙන්නේ එදාට වැඩිය වේගයෙන්. මම ඉස්සර කාලේ දිනපොතක සටහන් තිබ්බා වයසත් සමග මෝරන ජීවිතයට ඒ දිනපොත් අතර තියෙන සටහන් නැවත කියවන විට මළවිකාර කියලා මටම හිතුනා. මේ සටහනුත් දිනපතාම ලියවිලා තිබුන සටහන් නෙමෙයි.

 

පසුකාලෙක මගේ මාමන්ඩියගේ දිනපොත් කිහිපයක් කියවන්න ලැබුනා ඒ එතුමාගේ මරණින් පසුව. එතුමා ගිය ගමන් බිමන් වන්දනා ගමන් දවසේ දේශපාලන තොරතුරු සමග කාලගුනය.දවසේ වැඩකටයුතු හමුවු පුද්ගලයින් පිලිබද දීර්ඝ දවසේ සටහන් ඒ දිනපොත් වල සටහන්ව තිබුනා.

 

මම 1989 ප්‍රේමදාස කාලේ ඒ කාලෙ පැවත්වුන මැතිවරණයෙදී මගේ සහෝදරයෙකුගේ (ශ්‍රීලනිප) මැතිවරණ ජයග්‍රහණයට උරදීලා හිටියා.  මම නිතර ගැවසුන ගම්මාන එකල සහෝදරවරු දෙස හැදුන්වුන සහෝදර පිරිසගේ අර් ධ පාලනයට යටත්ව තිබුනේ. මගේ දෛවය මේ කාලේ දෙපැත්තට දෝලනය වුනා. මට මැතිවරණ ප්‍රචාරක කටයුතු පවත්වා ගෙන යන්න අවකාශ ලබා දුන් සහෝදරයෝ මහ මග මගෙන් සමු අරන් තිබුන වාර අනන්තයි. මට තිබුන ප්‍රජාතාන්ත්‍රික අරමුණ විරුද්ධ දේශපාලනිකයන් හදුනා ගෙන තිබුන නිසාදෝ මම නිරුපද්‍රිතව රැකුනා.

ඒ දේව වරප්‍රසාදයකින් දෝ මගේ අදහස් ප්‍රකාශ කිරිම සහ මා හදුනාගෙන   තිබීම නිසා කියලා අවුරුදු  විසිහයකට පස්සේ මම හිතනවා.

දවසක දවස ගැන හිත හිතා ඉන්න මට කොල කෑල්ලක සටහන් වෙලා තියෙන මේ පදවැල හමුවෙනවා. අවුරුදු හතලිහක් විතර වෙන ඒ කාලේ මගේ වයස මේ ගීතය හදුනාගන්නේ අපි පසු බසිමු ,  අපි හෙමින් කතාකරමු, එකිනෙකා පරදා අපි ඉහල යා යුතු නැහැ කියන්නා වගේ. හැපෙන්න බැරි තැන පසු බහින්න මගේ හිත මේ ගීතය නිසා ඒ  කාලේ පුහුණු වුනා. පරිසරයේ ගොඩනැගෙමින් තිබුන මූසල නිහඩතාවය මැදින් මට විශාල වැඩිහිටියෝ පිරිසක් ඇතිවුනා.

මේ විවරණිකාවත් එක්ක අද දිනපොතේ ලියවෙන්නේ විශාරද ගුණදාස කපුගේ යන් ගැයු ගීතයක් ගැන සටහනක්.

 

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන…..//.

වියරු ගිනි දැල් නොවෙමු  

වනය අවුලා තබන

සිහිල දෙන වැස්ස වෙමු

දැවෙන කැළයට වසින……

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන……

නපුරු හීනය නොවෙමු  

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන….

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන….//

 

 

1971 තරුනයන්ගේ අවදි වීම මම දැක්කේ සතුටු සිතකින්. ඒ කාලේ මගේ වයස අවුරුදු 23යි. 1989 දි මගේ වයස අවුරුදු හතලිස් එකයි.උදාසීන සිතිවිල්ලක් ඇති වෙලා තිබුනා වගේම කොහේදෝ බලපෑමකට අපේ රට විනාශය කරා ගෙන යනවා කියන හැගීමක් ඒ කාලේ ඇති වෙලා තිබුනා.

 පෞද්ගලීකරනය කරන්නට නොහැකිවූ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් සහෝදරවරුනුගේ ගිනුමට ලා ගිණිබත් කලා. ඒ තැන්වල සහෝදරයොත් වැටී ගිණි බත්වුනා.

පසුකාලයක මේ ආයතන පෞද්ගලිකරණය වුනා. නැත්නම් අර් ධ රාජ්‍ය සමාගම් බවට පත්වුනා.

අද මම 67 වියේ.

අද මේ දේශපාලන විකාර දැකලා මගේ හිත කම්පා වෙනවා. සියල්ලෝම උත්සහා කරන්නේ කදු වෙන්න !.දේශපාලන කදු වෙන්න.

කිසිවෙකුට සොදුරු අඩහැරයක් , සිහිල දෙන වැස්සක් වන්න ඕන කමක් නැහැ. -අපේ දරුවෝ දකින්නේ නපුරු හීනයක් !.ඒ නපුරු හීනය එක් එක්  දේශපාලන කෝන වලින් කැමරා ගත වෙලා අපේ දරුවන්ගේ අනාගතය පේනවා.ඒ හීනය තුලින් ගීණි දැල් මැවෙනවා

1989 දරුවන් 2015 වන විට අවුරුදු විසි හයක දරුවන් බවට පත්වෙලා.මේ අයට සුනිල දිය දහරක් ,සිහිල දෙන වැස්සක සොදුරු අඩහැරයක් වෙන්න  මේ මකබාස්ලාට ඕන කමක් නැහැ.

රාජ්‍ය නායකයා පටන් සියල්ලෝම විකාර දොඩවනවා.පිස්සන්ගේ දේශයක අපිත් පිස්සෝ බවට පත්වෙනවා.

අපි බෙලහීන වන විට බාහිර බලවේග අපිව බිලි ගන්නවා.

 

👮👮👮👮👮👮👮👮👮👮මේ 2015  සටහනක්. අද 2022 සැප්තැම්බර් මස 09 වැනිදා සිකුරාදා .  2015 වසරේ අවුරුදු 67ක් වුන මට අද  74 ගෙවෙනවා. ඒත් මේ විෂම චක්‍රය එලෙසම පරිභ්‍රමනය වෙනවා. ඊටත් වඩා අනතුරු දායක ලෙසට.

ගුණදාස කපුගේ ගායනා කල මගේ ජීවිතයයේ ගමන් මගට පහනක් වු “ සබද කදු නොවෙමු “ වර් තමානයේ  දේශපාලකයන් ( මුන් දේශපාලනඥයෝ නොවෙයි.)  තේරුම් ගන්නේ “සබද අපි කුදු නොවෙමු”  කියලා. උන් කුදු තමයි. නපුරු හීනයක් දකිමින් අපි ඉන්නව. 71 දරුවන්ට , 89 වන විට වයස 18 යි.  89 දරුවන්ට 2022 වන විට වයස අවුරුදු 33 යි. පාඩම් ඉගන ගෙන ක්‍රමය වෙනස් කර ගන්න දරුවන්ට හැකි වෙලා තියෙනවා. පාලකයෝ තේරුම් ගත යුත්තක්. "කුදු වෙලා හරියන්නේ" නැහැ.

අරගලය කැරැල්ලක් නොවුනත් කැරල්ලක් බවට පත්කර නිශ්ක්‍රීය කර බවයි මට හිතෙන්නේ.?.ළමුන් සුව නින්දේ නොනිදන බව පාලකයෝ තේරුම් ගනිමින් සිටිනවා.👮👮👮👮👮👮






notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon