Sunday, May 11, 2025

හේන් ගොවිතැන


වී ගොවිතැන(මඩ ගොවිතැන) හැරුනු විට උස්බිමෙහි කරනු ලබන සියලු වගාවන් හේන් ගොවිතැන යන නාමයෙන් ආවරණය විය. එබැවින් එයට ගොඩ ගොවිතැන යයි නමක් ද විය.
පැහැදිලි ඒකීය හේන් ගොවිතැනක් හදුනා ගත හැක්කේ වියළි කළාපයේය. තෙත් කලාපයේ තිබුනු හේන් වල විවිධත්වය වැඩි නිසා ඒකීය රටාවක් එහි හඳුනා ගත නොහැක. එමේන්ම වියළි කලාපිය හේන අනීවාර්යෙන්ම බහු බෝග වු අතර තෙත් කළාපිය හේන ඒක බෝග හෝ බෝග දෙක තුනකට සීමා විය. වර්ෂා කාලය හා ඉන් අනතුරුව එන වියළි කාලය ඇති නිසා බහු බෝග හේන වැව් බැදි රාජ්‍යයට ගැළපුනි. ඉංග්‍රීසීන් විසින් වියළි කලාපය ලෙස හදුනා ගත් වැව් බැදි රට 19 වැනි සියවස ට පෙර වියළි කලාපයක් ද නොවිය.

Thursday, May 08, 2025

ශාන්ත පීතරතුමාගෙ වර්තමාන අනුප්‍රාප්තිකයා .



Shanaka Madhushan Liyanagama  
මුණු පොතේ පල කරන ලද වියමනකි.

2025 . මැයි 06. 

මොහොතකට පෙර වතිකාන නගරයේ සියලුම දුරකථන හා අන්තර්ජාල සම්බන්ධතා අත්හිටවනු ලැබුවා.නමුත් ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරතාව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.
මේ දුරකථන සබඳතාවයන් නැවත ක්‍රියාත්මක වන්නේ නව පාප් වහන්සේ පත් වී ඒ බව නිවේදනය කිරීමෙන් පසුවයි. ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරය ක්‍රියාත්මක නොවන්නේ දහස් ගණන් සංචාරකයන් නිතරම එය නරඹන්නට පැමිණෙන නිසයි. 

Wednesday, May 07, 2025

𝙂𝙊𝙊𝘿 𝘽𝙔𝙀 Skype .



"සුන්දර අතීත මතකයක් ....... ! " 
 චන්ද්‍රිකා විදානපතිරන.

කාලෙකට ඉහතදි අපිට ගොඩක් ප්‍රයෝජනවත් උනු, ගොඩක් ආයතන වලට නැතුවම බැරි උනු Skype අවුරුදු 22ක සේවයක් කරමින් අද Officially Shut Down වෙනව.

Monday, May 05, 2025

ගැබ් ගැනීමකදී අනුගමනය කල පැරැණි සිරිත් විරිත්



💥💥මුණු පොතට - ඉෂාන් මෙන්ඩිස්.


ගැබ් ගැනීමකදී නැන්දම්මා හා ලේලිය අතර වූ පැරැණි සිරිත් විරිත්,.
විවාහක කාන්තාවගේ මුල්ම පැතුම වන්නේ මවක් වීමයි. මවක් වීමේ පෙර ලකුණු පහළ වූ සැනින්ම අපේ කාලේ කාන්තාවකගේ එකම තේරිම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු සොයා ගැනීමය. එසේ සොයා ගැනීමෙන් පසුව වෛද්‍යවරයාගේ පරික්ෂා කිරීම් වලින් පසුව ඇය ගැබ්ගෙන තිබේද නැද්ද යන්න පිළිබදව නිවැරදිව දැනගත හැකිය.
ඒත් අපේ අතීත ජනසමාජයේ දරුවෙකු පිළිසිද ගත් බවට යම් කාන්තාවකට සැකයක් මතුවුවහොත් ඒ ගැන ඇය මුලින්ම කීවේ නැන්දම්මාටය. එවැනි සුභ ආරංචි කිවයුත්තේ උදෑසන බව ගම්මු අතර නියමයක් පැවතුණි. ඇගේ ඔසප්වීම නතර වී ඒත් සමගම ශරීරයේ යම් යම් වෙනස් කම් සිදුවීමත් සමග ඇය මේ බව නැන්දම්මාට දැන්විය. මේ සුභ ආරංචිය නැන්දම්මාට කියූ සැනින් නැන්දම්මා ලේලියගේ හිසට අතට තබා ආශිර්වාදය කරයි. ඉන් අනතුරුව මව හා දරුගැඹ ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා පත්තනි පඩුරක් වෙන් කිරීමටද නැන්දම්මා අතින්ම සිදුකිරීම එදා පැවති චාරිත්‍රයකි. මේ පඩුර දෙහි ඇඹුලින් සෝදා පිරිසිදුකර සුදු රෙදිකඩකින් ගැට කසා පහන් පැලේ තබා පත්තිනි මෑණියන්ට කන්නලව්වක් කරන්නේ ඉන් අනතුරුවයි. කිසිදු කරදරයකින් තොරව දරුවා ඉපදුණු පසුව දින හතක් ගිය තැන දානයක් දෙන බවට පත්තිනි මෑණියන්ට පොරොන්දු වන්නේද නැන්දම්මා විසිනි.
 

Saturday, May 03, 2025

Lenin in Paris




මේ ප්‍රසිද්ධ සහ වටිනා චිත්‍රය මොස්කව් ආර්ට් ගැලරියේ ප්‍රදර්ශනයට තබා තිබුණි...
එහි නම වූයේ,
'Lenin in Paris'/ 'ලෙනින් පැරීසියේ'
යන්නයි..
කවුරුත් අනුමාන කලේ ලෙනින් පැරිසියේ ඉන්න කාලයේ හමුවූනු ලඳක් සමග යහනේ ඉන්නවා කියලයි. නමුත් කිසි දිනක කවුරුවත් එහි තේරුම චිත්‍ර ශිල්පයාගෙන් අසා නොතිබුනි..
වසර හතලිහකට පමන පසු, එක් තරුණයෙක් වයෝවෘද්ධ චිත්‍ර ශිල්පියාගෙන් චිත්‍රය ගැන කතා කොට මේ ප්‍රශ්නය ඇසුවේය...
"දැන්වත් ඔබ කියනවද ඒ ගැහැනිය කවුද කියා..?"
"ඒ නදියෂ්දා කෲප්ස්කායා"
ඔහුගෙ පිලිතුර විය.
ඒ ලෙනින්ගේ නෝනගෙ නමයි.
"නෝනයි මහත්තයයි ඇඳේ ඉන්නේ, මේ පැරිසියේ ද..?"
"නෑ මේ මොස්කව් ක්‍රෙම්ලීනය ඇතුලේ.."
"ඉතින් ඒ ඉන්නෙ ලෙනින් නේ..?"
"නෑ.... ඒ ස්ටාලින්"
"මොනවා...? එතකොට කෝ ලෙනින්..?"
"ආන්න ඒකයි චිත්‍රයේ නම වෙන්නේ - ලෙනින් පැරීසියේ (Lenin in Paris).
..
ජය ❤❤
Jordan M Fernandes

පලි.
ලෙනින්ගේ ස්ටාලින් ගේත් දේශපාලනික වෙනස මෙසේ දැක්වුවා ද ? කියලත් හිතෙනවා.

A day in the life

Friday, May 02, 2025

මැයි දිනට අරුතක් - පොන්සිනාහාමි.



පොන්සිනා හාමි.

1929 ට්‍රෑම්කාර් වර්ජනය පෙරට යමින් තිබියදී වර්ජක කම්කරුවන්ට සහයෝගය දුන් තරුණ කාන්තාවක් රථ වාහනයට අවහිර කරමින් ට්‍රෑම් පීලි හරහා වැතිර සිටි පුවතක් ශ්‍රී ලංකාවේ කම්කරු සටන් ඉතිහාසයේ ලියැවී ඇත.
ඇය එදිරිවීර ආරච්චිගේ පොන්සිනාහාමි යයි නමින් සඳහන් වෙයි. කම්කරුවන් විසින් ඇය හඳුන්වනු ලැබ තිබෙන්නේ "වීර පොන්සිනාහාමි" යනුවෙනි.

කොළඹ, සුදුවැල්ල සහ මරියකඩේ ප්‍රදේශවල හැදී වැඩුන පොන්සිනාහාමි කම්කරු රැකියාවක් කළ දිළිඳු කාන්තාවක් වූ අතර, ඇය සිය ජීවිතකාලය තුළ විඳින ලද පීඩාව නිසාම ඉතාම පහසුවෙන් වෘත්තීය අරගල මාවතට ආකර්ෂණය වූ චරිතයකි.
පොන්සිනාහාමිගේ කම්කරු සටන් කතාන්දරය ආරම්භවන්නේ 1929 ට්‍රෑම්කාර් වර්ජනයෙන් නොව ඊට වසර හයකට පෙර 1923 මහා වැඩ වර්ජනයත් සමඟය.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ දේශපාලන ඉතිහාසය විමසන විට වෘත්තීය අරගලවලට හවුල්වෙමින් සිය නම කම්කරු පන්ති සටන් ඉතිහාසයේ සටහන් කරන ලද පොන්සිනාහාමි වැනි කාන්තාවන් රැසක් හමුවෙති.
විශේෂයෙන්ම යටත්විජිත පාලන සමයෙහි සටන්කාමී කාන්තාවන් විසින් පාලකයන්ට එරෙහිව එල්ල කරන ලද අභියෝගය පුරුෂ පාර්ශ්වයේ නැඟීසිටීම්වලට දෙවෙනි නොවන බවක් එම ඉතිහාසය මගින් පෙන්නුම් කෙරෙයි.
දේශපාලන වේදිකාව කාන්තාවන්ට අකැප ද ? .
වැවිලි කර්මාන්තය සහ පසුකාලයෙහි ඊට සමගාමීව සිදු වූ කාර්මික වර්ධනයත් සමඟ බිහිවූ අලුත් කම්කරු ප්‍රජාව පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාව තුළ වෘත්තීය සමිති ගොඩ නැගීම සහ එමගින් නායකත්වය දෙනලද සටන්කාමී වෘත්තීය අරගල පිළිබඳ ඉතිහාසය දහනව වෙනි ශතවර්ෂයේ අන්තිම භාගය තෙක් දිවයන අතර, එම අවධියේ දියත් කරන ලද මුද්‍රණ සේවකයන්ගේ වැඩ වර්ජනය (1893)සහ රෙදි අපුල්ලන්නන්ගේ වර්ජනය(Laundry Strike - 1896)යටත්විජිත පාලකයන් පවා දුෂ්කර තත්වයකට පත් කරන ලද කම්කරු නැගී සිටීම්වලට නිදසුන් වෙති.

මුද්‍රණ සේවකයන්ගේ වැඩ වර්ජනය මගින් පාලකයන් පත්කරන ලද දුෂ්කර තත්වයෙන් වසර තුනකට පසුව, සති තුනක් දිග්ගැසුන රෙදි අපුල්ලන්නන්ගේ වර්ජනයේ (Laundry Strike)විශේෂත්වයක් වන්නේ කාන්තාවන් රැසක් ද සටන්කාමීව එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීමය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ වාර්තා වූ 1906 කරත්තකරුවන්ගේ වර්ජනය(Bullock carts strike)1923 මහා වැඩ වර්ජනය සහ 1929 'ට්‍රෑම්කාර්' වැඩ වර්ජනය(Tram cars strike) පාලකයන් දුෂ්කර තත්වයකට පත් කරමින් මුල් යුගයේ ඉතිහාසයට එක්වූ කම්කරු අරගල කීපය අතර වඩාත් අවධානය යොමු වූ අවස්ථා වෙති.

භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රධාන මාධ්‍යය වූ කරත්තකරුවන් වැඩ වැරීමෙන් කොළඹ නගරය අකර්මන්‍ය විය

කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය ආරම්භ වුණේ කරත්තයක් දක්කන තැනැත්තා ගමනේ යෙදෙන කිසිම අවස්ථාවක කරත්තයේ "ඒරියා කඳ" හෝ එහි වෙනත් කිසිදු ස්ථානයක වාඩිනොවිය යුතුයයි නිර්දේශ කරමින් කොළඹ නගර සභාව විසින් පනවන ලද රෙගුලාසියකට එරෙහිවය.

දහස් ගණනක් කරත්තකරුවන් එම රෙගුලාසියට එරෙහිව වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර එමගින් කොළඹ නගරයේ භාණ්ඩ ප්‍රවාහනය සහමුලින්ම මෙන් අඩපන වී ඇත.
එසේම එය යටත් විජිත ලංකාවේ කම්කරු සටන් වඩාත් සංවිධානගත පසුතලයකට ගෙන ඒමට පවා හේතු විනැයි වාර්තා වෙයි.

මෙහි මුලින් සඳහන් කරන ලද "පොන්සිනාහාමි" 1920 දශකයේ පටන් දියත් වෙමින් පැවති එවැනි වැඩ වර්ජනවලට හවුල්වෙමින් සෙසු සටන්කාමී කාන්තාවන්ටත් නායකත්වය දුන් වෘත්තීය සමිති සහ දේශපාලන ක්‍රියාධාරිනියක් ලෙස ඉතිහාසයට එක්ව සිටින්නීය.

කොළඹ, සුදුවැල්ල සහ මරියකඩේ ප්‍රදේශවල හැදී වැඩුන පොන්සිනාහාමි කම්කරු රැකියාවක් කළ දිළිඳු කාන්තාවක් වූ අතර ඇය සිය ජීවිතකාලය තුළ විඳින ලද පීඩාව නිසාම ඉතාම පහසුවෙන් වෘත්තීය අරගල මාවතට ආකර්ෂණය වූ කාන්තාවකි.
පොන්සිනාහාමිගේ කම්කරු සටන් කතාන්දරය ආරම්භවන්නේ 1929 ට්‍රෑම්කාර් වර්ජනයෙන් නොව 1923 මහා වැඩ වර්ජනයත් සමඟය.
1920 දශකයේ පටන් ශ්‍රී ලංකාවේ කම්කරු සහ පහළ මධ්‍යම පන්තික ජනතාව මුහුණදුන් ජීවන අරගලය පොන්සිනාහාමි මැදිහත් වූ කම්කරු අරගල මගින් පෙන්නුම් කෙරෙයි.

පොන්සිනාහාමිගේ සටන්කාමී කම්කරු භූමිකාවේ තවත් සන්ධිස්ථානයක් වන්නේ 1946 වසරේ 'බ්‍රවුන්' සමාගමේ වැඩ වර්ජනයකි.
එවකට ඇය 'හේලීස්‌' සමාගමේ සේවය කළ කම්කරු කාන්තාවක් වූවාය.
"දරුවන් සහ රටේ අනාගතය වෙනුවෙන් මේ රට ඉතුරු කරන්න"
බ්‍රවුන් සමාගමේ වැඩවර්ජනය කඩාකප්පල් කිරීම සඳහා එම සමාගමේ පාලකයන් සහ එවකට යටත්විජිත ආණ්ඩුවේ නිලධාරීන් ද ක්‍රියාකරමින් සිටි අතර ඔවුන්ගේ ප්‍රයත්නය වුණේ වැඩ වර්ජනයට හවුල් නොවූ සේවකයන් සහ පිටස්තර පුද්ගලයන් සේවයට ගනිමින් සිය නිෂ්පාදන කටයුතු දිගටම පවත්වා ගැනීම විය.
එහෙත් බ්‍රවුන් සමාගමේ පමණක් නොව වෙනත් කර්මාන්ත ශාලාවන්හි වෘත්තීය සමිති පාලකයන්ගේ ප්‍රයත්නය පරාජය කරමින් "බ්‍රවුන් කම්කරු සහෝදරයන්ට"සහයෝගය දෙමින් ඔවුන්ගේ වැඩ වැරුම ආරක්ෂා කර දීමට ඉදිරිපත් වූ "සහෝදරියන්"අතර සිටි පොන්සිනාහාමි හැසිරුණ සටන්කාමී විලාශය බ්‍රවුන් සමාගමේ බලධාරීන්ගේ දැඩි කෝපයට හේතු විය.

වැඩවර්ජනය අතරවාරයේ අලුත් සේවකයන් සමාගම් භූමිය තුළට ගැනීම සඳහා බලධාරීන් ගත් උත්හාසයට කම්කරුවන් බාධා කරමින් සිටියදී පොන්සිනාහාමි සමඟ ගැටුමක් ඇතිකර ගත් පාලකයන් විසින් පොලිසිය කැඳවන ලද අතර පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුණි.
ඇයට එරෙහි චෝදනාව වුණේ, බ්‍රවුන් සමාගමේ ලිපිකරුවකුට කම්මුල් පහරක් එල්ල කිරීමය.
එම චෝදනා යටතේ නඩු පවරන ලදුව අධිකරණය විසින් පොන්සිනාහාමිට එරෙහිව මාසයක සිර දඬුවමක් නියම කරණු ලැබුණි.

එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පොන්සිනාහාමි නියෝජනය කළ වෘත්තීය සමිතිය ඇයගේ සටන්කාමිත්වය අගය කිරීම සඳහා රැස්වීමක් ද කැඳවන ලදී.
කොළඹ නගර ශාලාවේ පැවැත්වුන එම රැස්වීමේ දී පොන්සිනාහාමි, ඇගේ සැමියා සහ දරුවන් වේදිකාවේ අසුන්ගෙන සිටි බව එකල වෘත්තීය සමිති වාර්තා මගින් පැවසෙයි.
"මට මාසයකට සිරගෙට යන්න සිදුවෙලා. මට කමක් නැහැ. මම එය සතුටෙන් භාර ගන්නවා. මෙහෙම දඬුවම් කරලා අපේ සටන නවත්වන්න බැහැ," එම රැස්වීමේදී සිය කම්කරු සගයන් ඉදිරියේ අදහස් දැක්වූ පොන්සිනාහාමි කියා සිටියාය.
දවසෙ පඩිය රුපියලයි

"මම රුපියලක පඩියට කුලී වැඩ කරන කම්කරු ස්ත්‍රියක්. මට දරුවන් අට දෙනෙක් ඉන්නවා. මට බරපතල පවුලක් ආරක්ෂා කරන්න තියෙනවා. මගේ දරුවන් දෙන්නෙක් ඇරුනාම අනිත් හය දෙනාම කුඩා දරුවන්. මගේ පවුල ආරක්ෂා කරන්න කටුක දුක් විඳින ගමන්මයි - මට හිරගෙට යන්න සිද්ධ වුණේ. මෙය ධනපති ක්‍රමයේ ප්‍රතිවිපාක බව මට අවබෝධ වී තිබෙනවා. හිරගෙයි වුනත් මෙතරම් දුකක් විඳින්නට වේයැයි මම හිතන්නේ නැහැ," ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

පොන්සිනාහාමි රැකියාව කළ 'හේලීස්‌' සමාගමේ පමණක් නොව 'බ්‍රවුන්' සමාගම ඇතුළු එවකට වූ බොහෝ ආයතනයන්හි කම්කරු ප්‍රජාව ඇයට උපහාරය දැක්වීම සඳහා නව නගර ශාලාවට එක්වූ බව වාර්තා වී ඇත.

එම රැස්වීමේදී අදහස් දැක්වූ හැරිසන් ක්‍රොස්ෆීල්ඩ් සමාගමේ සේවිකාවක වූ රොස්ලින් නෝනා නම් කම්කරු කාන්තාවක් මෙසේ ප්‍රකාශ කළාය.

"අපේ පන්තියේ ආරක්ෂාව වෙනුවෙන් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටනක් කොට අද හිරගෙට යන්නේ පොන්සිනාහාමි පමණයි. නමුත් ඒ සහෝදරිය මෙන්ම පන්තිය වෙනුවෙන් හිරගෙට යෑමට සහෝදරියන් සිය ගණනක් සූදානමින් සිටින බව ඒ සහෝදරියටත් වෙනත් යටත් මම සහතික කරනවා."

කෙසේවුවද,අභියාචනයේ ප්‍රතිඵලය වූයේ පොන්සිනාහාමිගේ මාසයක සිර දඬුවම මාස තුනක් බවට පත් කරනු ලැබීමය.

"මෙහෙම දඬුවම් කරලා අපේ සටන නවත්වන්න අධිරාජ්‍ය ආණ්ඩුවටවත් ධනපතියන්ටවත් කවදාවත් පුළුවන් වන්නේ නැති බව දැනගත යුතුයි."

ඇය දඬුවම ඉදිරියේ නොපැකිල කියා සිටියාය.

"ඉතින් මම ගිහින් එන්නම්" පොන්සිනාහාමි සිරගෙට යෑමට පෙර සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ වැඩ කරන කාන්තාවන්ට සම අයිතීන් තිබේද?

ඇය බන්ධනාගාරය තුළදීත් සිය සටන්කාමිත්වය ආරක්ෂා කරගත් බව තැනට දැනගැනීමට ලැබුණ බව ඇය නියෝජනය කළ එක්සත් කම්කරු සම්මේලනයේ ප්‍රකාශනයන්හි දැක්වෙයි.

මාස තුනක සිර දඬුවම ගෙවා ඉන් නිදහස ලද පොන්සිනාහාමි යළිත් වෘත්තීය අරගලයන්හි සහ සිය

දේශපාලන කටයුතුවල නොකඩවාම නිරත වූවාය.
ගාලුමුවදොර වාමාංශික රැළියක්

1947 මැයි-ජූනි වැඩ වර්ජනයේ දී එම වර්ජනය කඩාකප්පල් කිරීමට තැත්කළ පුද්ගලයන්ට එරෙහිව සටන් වැදුන පොන්සිනාහාමි දින දෙකක් ඇතුළත දෙවතාවක්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

1947 වසරේ 'ලිප්ටන්' සමාගම ඉදිරිපිට සංවිධානය කෙරුණ පිකටින් ව්‍යාපාරයක දී අත්අඩංගුවට ගනු ලැබුණ පොන්සිනාහාමි යළිත් තුන්මාසයක සිරදඬුවමකට යටත් කොට බධනාගාරගත ගත කරන ලදි.

පොන්සිනාහාමි එවර නිදහස ලබා ඇත්තේ 1948 නිදහස් දිනය වෙනුවෙන් ඇය ඇතුළු තවත් රැසකට ලැබුණ පොදු සමාවක් යටතේය.

ඇය ඇතුළු සිරගත කරන ලද කම්කරුවන් තිස් දෙදෙනෙක් පිළිගැනීම සඳහා ගාලුමුවදොර පිටියේ පැවැත්වුන රැස්වීමක් ගැනත් පොන්සිනාහාමි පිළිබඳව ලියැවී ඇති ලේඛනවල සඳහන් වෙයි.

මෙයින් සියවසකට ආසන්න අවධියකට පෙර කාන්තා සමාජ ක්‍රියාකාරිත්වය ආගන්තුක වූ පරිසරයක මතු වූ දුර්ලභ දේශපාලන චරිතයක් වන පොන්සිනාහාමි, 1967 ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මොස්කව් නගරයේ පැවැත්වුන රැලියකට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් තමා 'සුදුවැල්ලෙන්' ආරම්භ කළ කම්කරු අරගලය වෙනුවෙන් ජාත්‍යන්තර උපහාරය දිනාගත්තාය.

ඇය කිසිදාක විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලද කාන්තාවක් ද වූවාය.
එවැනි කාන්තා චරිත කීපයක් විසිවෙනි සියවසේ මුල්භාගයේ ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය හදාරන විට හමුවෙයි.

මෙය එවැනි චරිතයක් යළි කියැවීමකි.

 

ප්‍රියන්ත පෙරේරා මුණු පොතට 
උපාලි ගජනායක ලියපු ලියවිල්ලක්
උපුටාගැනීමකි.
A day in the life

Wednesday, April 30, 2025

ගොබෙල්ස් න්‍යාය




දේශපාලන වේදිකාවල, ගුවන්විදුළියේ, රූපවාහිනියේ විතරක් නෙමෙයි සමාජමාධ්‍යවලත් නිතර ඇසෙන වචනයක් තමයි මේ "ගොබෙල්ස් න්‍යාය" කියලා කියන්නේ. නිතර ඇහුනත් කිහිප දෙනෙක් ඇරෙන්න ගොඩක් අය නොදන්න දෙයක් තමයි මේ කියන ගොබෙල්ස් න්‍යාය. ඉතින්, දේශපාලකයන්ගේ කතා වලට නිතර නිතර රැවටෙන එක නතරකරගන්න අවශ්‍යම මේ ගොබෙල්ස් න්‍යාය කියන්නේ මොකක්ද? 
ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? විතරක් නෙමෙයි කවුද මේ කියන ගොබෙල්ස්? කියන එකත් පිළිබදව යම් අදහසක් මගේ ලිපි කියවන පාඨකයන්ට ලබාදෙන්න ඕනේ කියලා හිතුවා. 
අපි මුලින්ම බලමු කවුද මේ ගොබෙල්ස් කියන්නේ කියලා. 
පෝල් ජෝසප් ගොබෙල්ස් 1897 වසරේ ඔක්තෝම්බර් මස 29 ජර්මනියේදී උපත ලබනවා. ෆෙඩ්රික් ගොබෙල්ස් සහ කතිරිනා මරියාට දාව දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනි දරුවා වශයෙන් තමයි ජෝසප් ගොබෙල්ස් උපත ලබන්නේ. හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබන ජෝසප් ගොබෙල්ස් සාහිත්‍ය, නාට්‍ය සහ පුවත්පත් කලාව පිළිබඳ ව ශාස්ත්‍රීය දැණුමකින් පිරුණු පුද්ගලයෙක්. විශ්වවිද්‍යාල සමය තුළ දී ක්‍රියාකාරී දේශපාලන අදහස්වලින් සමන්විත වූ පුද්ගලයෙක් වශයෙන් ගොබෙල්ස්ව හදුනාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රබල සන්නිවේදන කුසලතාව නිසා ගොබෙල්ස් සමකාලීනයක් අතර කැපී පෙනුනා. දක්ෂ කථිකයෙක් මෙන් ම සඟරා කර්තෘවරයෙක් වශයෙන් සිය මාධ්‍ය භාවිතාවේ නියැළීමට ගොබෙල්ස් සමත් වුනා. ඇඩෝල්ෆ් හිට්ලර් විසින් ජර්මනියේ පාලන බලය ලබාගැනීමත් එක්කම ප්‍රචාරණ යාන්ත්‍රණය හැසිරවීම ගොබෙල්ස් විසින් සිදු කළා. ගොබෙල්ස් විසින් හිට්ලර්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට ගැලපෙන ආකාරයෙන් ජර්මනිය තුළ පුවත්පත, සිනමාව, සාහිත්‍ය, සංගීතය සහ ලලිත කලාවන් හැසිරෙව්වා. ගොබෙල්ස් ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලන සමය තුල ප්‍රචාරණ අමතිවරයා ලෙස කටයුතු කළා. 
හිට්ලර් විසින් තම මැතිවරණ ව්‍යාපාර ඇතුළු රජයේ සියලු ප්‍රචාරාත්මක කටයුතු දැඩි විශ්වාසයකින් යුතුව ආචාර්ය ගොබෙල්ස්ට  පැවරුවා වගේ ම ගොබෙල්ස් ඒවා අකුරටම ඉෂ්ඨ කළා. 1932 අප්‍රේල් මාසයේ පැවැත් වූ ජනාධිපතිවරණයේදී ගොබෙල්ස්ගේ න්‍යායාත්මක ප්‍රචාරණය නොතිබ්බා නම් ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර්ට අන්ත පරාජයක් ලැබීමට ඉඩ තිබුණු බව කියවෙනවා. එහෙම වුණා නම් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් ප්‍රමාණයක් තවමත් ජීවතුන් අතර. ඊශ්‍රායලය කියලා රටකුත් නැතිවෙන්න තිබුණා. ගොබෙල්ස් තම නායකයාට ජීවිත පරිත්‍යාගයෙන් අවංකව, සෘජුව සිටි එකම මිතුරා කියලත් කියනවා. ගොබෙල්ස්ගේ ආකර්ෂණීය සංවිධානාත්මක ශක්තිය, විශ්මයජනක කූඨ බුද්ධිය හා ආවේගශීලී චතුර කථිකත්වයට කොයිතරම් හිට්ලර් ආකර්ෂණීය වුණා ද කිව්වොත් හිට්ලර් ආචාර්ය ගොබෙල්ස්ට දැක්වූයේ දැඩි ගෞරවයක්. 
දෙවෙනි ලෝක යුද්ධයේ අවසානය ළං වෙද්දී ම ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ පෙම්වතිය ඊවා බ්‍රෝන් සියදිවි නසා ගන්නවානේ. ඊටපස්සෙ හිට්ලර්ගේ සහ ඊවා බ්‍රෝන්ගේ මළ සිරුරු රුසියන් ෂෙල් වෙඩිවලින් හෑරුණු වළක තැන්පත් කරලා පෙට්‍රල් දාලා පුළුස්සලා තියෙන්නෙත් ගොබෙල්ස් විසින්ම තමයි. 
1945 මැයි 01 දා ඔහුගේ දරුපැටවුන්ට විෂ එන්නත් කරලා බිරිඳටත් වෙඩි තියලා ගොබෙල්ස් තමන් ම වෙඩි තියාගන්නවා, තවදුරටත් නායකයාට සිය සේවය ලබාදීමට නොහැකි වන නිසා සතුරන්ට සේවය කරනවාට වඩා සිය බිරිය සමග දරු පැටව් හය දෙනාත් එක්ක සිය නායකයාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර අබියසම මියැදීම වඩාත් සුවදායකයි කියලා හිතලා. ඉතින් හිතාගන්න පුළුවන්නේ ඔහු නායකයා වෙත දැක්වූ පකෂපාතීත්වය. 
මේ කතාව කිව්වේ ගොබෙල්ස් න්‍යාය කිව්වට ඒ නම ලැබුනේ කොහොමද කියන එකට පොඩි පැහැදිළිකිරීමක් කරන්න. 
අපි බලමු මොකද්ද මේ ගොබෙල්ස් න්‍යාය කියන්නේ කියලා. 
ගොබෙල්ස් න්‍යායන් කිහිපයක් තියනවා. නමුත් ලෝකය පුරා ප්‍රසිද්ධව ඇති ගොබෙල්ස් න්‍යයේ සිද්ධාන්තය වනුයේ "ඕනෑම බොරුවක් දිගින් දිගටම ඇසීමට සැලැස්වීම තුලින් අසන්නාට එය සත්‍යයක් ලෙස හැඟී යාමට ඉඩ ප්‍රස්ථාව සැලසීමයි." 
සාමාන්‍යයෙන් මේ ක්‍රමයේදී එකම බොරුව නිතර නිතර විවිධ පුද්ගලයන් විසින් විශේෂයෙන්ම දේශපාලකයන් සමාජයේ පිළිගත් පුද්ගලයන් මෙන්ම පූජ්‍ය පක්ෂය ආදී විවිධ පාර්ශව ලවා කියවීම සිදුකරනවා. වර්ථමානය වෙනකොට මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය විතරක් නෙමෙයි සමාජමාධ්‍ය හරහාත් මේ ආකාරයෙන් බොරු සමාජගත කිරීම සිදුවෙනවා. මෙහිදී සාමාන්‍ය ජනතාව මුල් අවස්ථාවේ නැතත් දෙවන තෙවන අවස්ථාවන්වල නැතත් කිහිප අවස්ථාවක් එකම කාරනාව ඇසීමෙන් පස්සේ ඒ කාරනාව විශ්වාස කරන්න පෙළඹෙනවා. පස්සේ කාලයක සත්‍ය හෙළි උනත් බොරුව ඔවුන්ගේ මනසෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ නෑ. 
එහෙම වෙන්න නම් සත්‍ය වෙනුවෙනුත් ඒ ආකාරයෙන්ම ප්‍රචාරණයක් ලබාදිය යුතුයි. ඒක ප්‍රායෝගික නැති නිසා බොහෝ වෙලාවට සාමාන්‍ය ජනතාව බොරුව සත්‍යක් බවට හිතාගෙන ජීවත් වෙනවා. ඔහු සමහර වෙලාවට ජීවිත කාලය තුලම සත්‍ය දකින්නේවත් පිළිගන්නේවත් නෑ. 
එක් අවස්ථාවක මාධ්‍ය භාවිතය තුලින්, ජර්මනිය යනු ලොව ජීවත් වීමට සුදුසුම රට ලෙස ලොව පුරා ප්‍රචාරයක් ව්‍යාප්ත කිරීමට ගොබෙල්ස් සමත් උනා. ඒ බොරුව කෙතෙක් දුරට ලෝකයා ගිලගත්තද කියනවනම්, ඇමරිකාවේ ටයිම්ස් සඟරාව විසින් 1938 දී ලොව හොඳම මිනිසාට හිමි සම්මානයත් හිට්ලර් ට ලබාදුන්නා. 
ඉතින් හිතාගන්න පුළුවන්නේ ගොබෙල්ස් න්‍යායේ ප්‍රභලත්වය?
ඉහත පැහැදිළි කරපු න්‍යායට අමතරව "බොරුව හිතන්නවත් බැරි තරමටම විශාල වූ විට එය සත්‍යය යයි ඔප්පු කිරීම පහසුය. ඊට හේතුව විශාල බොරුවක් ප්‍රචාරය කිරීමට කවුරුත් උත්සහ නොකරන නිසා එය ඇත්ත විය යුතුයි කියලා මිනිස්සු විශ්වාස කිරීමට පෙළඹීමයි." කියලා ගොබෙල්ස්ගේ තවත් උප න්‍යායක් තිබෙනවා.
මේකේදී බොරුව නිතර නිතර කියනවා වගේම එහෙම කියන්නේ පොඩි බොරු නෙමෙයි. ඒ බොරුව ප්‍රමාණයෙනුත් සංකීර්ණත්වයෙනුත් මූල්‍ය වටිනාකමෙනුත් අති විශාලයි. එහි පාර්ශවයනුත් සමාජයේ පොඩි පුද්ගලයන් නෙමෙයි. කුමන හෝ ආකාරයකින් සමාජයේ යම් පිළිගැනීමක් ඇති පුද්ගලයන් ඒ බොරුවට ඈදාගන්නවා. කළාකරුවෙක්, දේශපාලකයෙක්, ක්‍රීඩකයෙක්, ව්‍යාපාරිකයෙක්, පූජ්‍ය පක්ෂය වගේම රාජ්‍ය නිලධාරියෙකු වගේ විවිධ ක්ශේත්‍රවල අය වෙන්න පුළුවන්. මෙසේ කියන බොරු මිනිසෙකුට කිසි සේත්ම විශ්වාස කළ නොහැකි ආකාරයේ ඒවා. වගේම සාමාන්‍ය මනුස්සයෙකුට හිතාගන්න බැරි ලොකු මූල්‍ය අගයන්. පට්ට ලොකු බොරු. 
ඉතින් මේ වගේ කාලයක් කියද්දී මිනිසුන් ඉබේම මේවා පිළිගන්න පෙළඹෙනවා කියලා ගොබෙල්ස් හොයාගත්තා. වගේම ඒක ප්‍රායෝගිකව සාර්ථක උනා. ශ්‍රී ලංකාවෙත් ඔය කියන ගොබෙල්ස් න්‍යාය දේශපාලනයේදී වැඩි වශයෙන් භාවිතා වෙනවා.
ඒ ආකාරයෙන් අපිට පහුගිය කාලයේ අහන්න ලැබුනු බොරු, බොරු කියලා ඔප්පුවෙලා තිබුනත් බොරු කියපු අයම ඒක පිළිඅරගෙන තිබුනත් සමාජය පිළිගන්නේ නෑ.
මේක කාවවත් සුද්ද කරන්න කියපු කතාවක් නෙමෙයි. නමුත් මේ බොරු වැපිරීම නිසා සාමාන්‍ය සමාජයට අද බොරුව ඇත්ත වෙන්කරලා හදුනගන්න බැරිවෙලා. 
මේ ගොබෙල්ස් න්‍යාය ප්‍රධාන වශයෙන් දේශපාලනයේදී මෙන්ම විවිධ කටයුතු වලට වර්ථමානයේත් යොදාගන්නවා. ඒ කවුද? වැඩියෙන්ම ගොබෙල්ස් න්‍යාය භාවිතා කරන්නේ කියන එක තේරුම්ගන්න ඔබට බාරයි. දේශපාලකයෝ බොරු කියන එක අපිට නතර කරන්න බෑ. හැබැයි රැවටෙන එක අපිට නතර කරන්න පුළුවන්. ඒ මේවගේ කාරණා පිළිබදව දැණුවත් වීමෙන් වගේම සෑම දෙයක් පිළිබදව තර්කානුකූලව සිතීමෙන්. 
තාරුක ෆොන්සේකා.
A day in the life

Tuesday, April 29, 2025

අප විවාහ වී අවුරුදු පනහයි .




මහාචාර්ය නලින් ද සිල්වා  මැතිතුමා 2021 අප්රේල් 26 වෙනිදා මුණු පොතට යොමු කල ලිපියක්. 
එතුමන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. 💗💗💗

අප විවාහ වී අවුරුදු පනහයි .
අද 2021 අප්‍රේල් විසිහයවැනි දා. අදට අප විවාහ වී අවුරුදු පනහක් පිරෙනවා. එය ඔබට වැදගත් වෙන එකක් නැහැ. ඉතින් අපට මොකෝ කියා අහන්නත් පුළුවන්. මෙය අතීතාවර්ජනයක කොටසක් පමණයි. අපේ විවාහය ගැන මට ඇත්තේ සතුටක් මෙන් ම දුකක්. සතුට මට ඉතා හොඳ භාර්යාවක් ලැබීම ගැන. දුක ඇයට හොඳ සැමියකු නොලැබීම ගැන. අවුරුදු පනහකට පෙර අපට මස්තකප්‍රාප්ත වෙන්න පෝරුවක් තිබුණේ නැහැ. අෂ්ටක කියන්න දැරියන් හිටියේ නැහැ. ඡායාරූප ශිල්පීන් නොහිටි එක නම් හොඳයි. විවාහයට සහභාගි වූයේ පස්දෙනයි. අප දෙදෙනාත් සාක්‍ෂිකරුවන් දෙදෙනාත් ලේකම්වරයාත් පමණයි. ඒ කොවිඩ් නිසා නො වෙයි. අප විවාහ වූයේ මහනුවර කච්චේරියේ.
එය ජ වි පෙ කලබල නිසා සිදු වූ විවාහයක්. 1971 අප්‍රේල් පස්වැනි දා විශ්වවිද්‍යාලය වසා දැම්මා. සිසුවියක වූ ඇය ගෙදර ගියා. අපත් බොහොම අමාරුවෙන් ගෙදර ගියා. නුවර සිට පාණදුරේට ගියේ කුරුණෑගල හරහා. පාලම් බෝක්කු කඩා දමා තිබුණා. අවුරුද්දෙන් පසු ටික දිනකින් නැවත පේරාදෙණියට ආවා. විශ්වවිද්‍යාලයේ ලස්සන හැමදාම හැමට එක විධියට පේන්නෙ නැහැ. ඒ වසන්තය. සරසවි උයනේ මල් පිපිල තියෙන්න ඇති. ඒත් මා ඒ දැක්කෙ නැහැ. ඒ ජ වි පෙ ඊනියා විප්ලවය නිසා නොවෙයි. ජ වි පෙ ක්‍රියාකාරකම් නිසා සිදු වූ එක ම සාර්ථක විප්ලවය අපේ විවාහය වෙන්න ඇති. 
ඇය අන් සියල්ල අත්හැර මා සමග පැමිණියේ ඇයි. යම් පිරිමියකු හරි ගැහැණියක හරි වෙනත් ගැහැණියක හරි පිරිමියකු හරි වෙනුවෙන් අන් සියල්ල අත්හරින්න සූදානම් ඇයි? මෙය කිසි දා තේරුම් ගැනීමට බැරි දෙයක්. දැනෙන යමක් තේරුම් ගන්නවා කියන්නේ අඩු තරමෙන් මනසට හරි දැනෙන වෙනත් දේකින් ඒ විස්තර කිරීම. කළු කුහර මහා පිපිරුම තේරුම් ගන්න පුළුවන්. එහෙත් ප්‍රේමය එහෙම තේරුම් ගන්න බැහැ. කිසි දිනෙක තේරුම් ගන්න බැහැ. ඒ වෙනුවෙන් කවි ගීත කතා කොතරම් ලියැවුණත් එය සම්පූර්ණ වන්නේ නැහැ. වැඩියෙන් ම කවි ලියැවෙන්නෙ ගීත ලියැවෙන්නෙ ප්‍රේමය වෙනුවෙන්. ඒ එහි ඉවරයක් නැති නිසා. තේරුම් ගන්න බැරි නිසා. අනාගත ගීත රචකයන්ටත් වැඩ තියේවි. විරහවත් ප්‍රේමයේ ම කොටසක්. කොවිඩ් 19 ප්‍රේමය වගේ වෙන්න බැහැ. කවුරුන් හරි බොරුවක් ගොතාවි. 
කාට හරි කියන්න පුළුවන් මේ සංසාරගත බැඳීමක් කියා. සමහරුනට එය එහෙම වෙනවා ඇති. මා සම්බන්ධයෙන් එහෙම කියන්න බැහැ. එක් භවයක හරි මගේ භාර්යාව වෙලා සිටිය අයකු සසර වසන තුරු නැවත මගේ භාර්යාව වීමට පතන එකක් නැහැ. ඒත් සත්වයකුගේ භව සංඛ්‍යාවට වඩා සත්ව සංඛ්‍යාව දෙගුණයකට වඩා විශාල වන්න පුළුවන්. ඒ මට සුද්දන් පුරුදු කළ විධියට හිතන්න ගිහින් කියැවෙන කතන්දර. ගණන් ගන්න එපා.
සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවි මෙහෙම කියනවා. අපොයි මා පඬියකු නොවෙයි. මෙය මතකයෙන් ලියන්නක් නොවෙයි. මිතුරන්ගේ උදවුවෙන් පොත බලාගෙන ලියැවෙන්නක්. 
අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා
වැනූ පොරණ කිවිඳුන් සොඳ රස මුසු බසිනා
සියලු භෝග වස්තු ඉසුරු හරිති නෙක් දනෝ
සව් සැප දෙන සිතුමිණ වන් ප්‍රේමය සන්දා 
අපට සුප්පා දේවිට තරම් භෝග වස්තු ඉසුරු තිබුණේ නැහැ. ඒත් අප අන් සියල්ල අත්හැරියා. එය එසේ සිදු වූයේ ඇයි? මා දන්නේ නැහැ. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණියේ 1970 සැප්තැම්බරයේ පමණ. ඇය ඒ වසරේ ම ඔක්තෝම්බරයේ තෙවැනි වසර සිසුවියක ලෙස විශ්වවිද්‍යාලයට නැවත පැමිණියා. 1968 අවසාන කාර්තුවේ, එනම් විශ්වවිද්‍යාලයේ අදාළ අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ ඇය පළමු වසරේ සිසූුවියක වුණත් මා සහකාර කථිකාචාර්යවරයකු වුවත් මා ඇය දැක තිබුණේ නැහැ. සමහර විට පේන්න ඇති. ඒත් දැක්කේ නැහැ. 1970 වන විට තත්වය වෙනස්. ඇය ගණිතය විශේෂ උපාධිය හදාරමින් සිටියා. අපේ නෙත් ගැටීම වළක්වන්න විධියක් තිබුණේ නැහැ. 
මිට අවුරුදු හැත්තෑවකට පමණ පෙර අපි අනුරාධපුරයේ වන්දනා ගමනක් ගියා. බරකරත්තයෙන් නොවෙයි. හාමුදුරුවරු කිහිප නමක් ද අප සමග වැඩියා. තුන් සරණය කියමින් ඒ ගිය වන්දනා ගමන අද යන ට්‍රිප්වලට වඩා වෙනස්. අනුරාධපුරයේ විශ්‍රාම ශාලාවේ (මතක හැටියට දුටුගැමුණු) ඉන්න අතර එක් හාමුදුරු නමකට මගේ අත බලන්න ඕන වුණා. ඒ දිනවල බොහෝ දෙනා සිතා සිටියේ මා දක්‍ෂයකු කියා. ඉතා මෑත කාලයෙහි ජාතික කඳවුරේ හාමුදුරුවරු තුන් හතර නමක් හැරෙන්න අනෙක් හාමුදුරුවරුත් ගුණදාස අමරසේකර ප්‍රමුඛ නායකයනුත් විජාතික කඳවුරේ කාලෝ ෆොන්සේකා වැන්නවුණුත් ඒ මතය බිඳ දමා තියෙනවා. 
වීමට බැරි ව ආපසු පැමිණියත් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මගේ උපදේශක වූ මහාචාර්ය බිල් මැක්රේත් සිතා සිටියේ මා දක්‍ෂයකු කියා. ඔහු මට ආපසු ඒමට පෙර ලිපියක් දුන්නා. එහි කියා තිබුණා ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි (your country will be proud of you) කියා. එහෙත් එය එසේ සිදු වූයේ නැහැ. අමරසේකර කාලෝ වැන්නවුන් මගේ අදක්‍ෂකම දැක්කා. මගේ රටට මා ගැන ඇත්තේ අවිශ්වාසයක්. 
මහාචාර්ය මැක්රේ මගේ වැඩ බලා කී අනාවැකිය සඵල නොවූවත් අර හාමුදුරුවන් මගේ අත බලා කී අනාවැකියක් සියයට සියයක් හරි ගියා. උන්වහන්සේ මගේ ජීවන රේඛාවට සමාන්තර ව ඇති රේඛාවක් අනුව සඳහන් කෙළේ මට හොඳ භාර්යාවක් ලැබෙන බවයි. ඒ සමග උන්වහන්සේ ප්‍රකාශ කළා ඔය ළමයට දැන් ම ඕව තේරෙන්නෙ නැහැ කියාත්. මට පසුව එය හොඳ හැටි තේරුණා. ඒත් අවාසනාව මගේ භාර්යාවගේ අතේ එවැනි රේඛාවක් නොතිබීම. 
ඇය කොත්මලේ. මා හා ගැමුණු කුමරු අතර සමාන කමක් තියෙනවා. අප දෙදෙනාම පෙළවහක් කරගෙන ඇත්තේ කොත්මලෙන්. සංසන්දනය එතැනින් අවසන්.
මාත් ඇයත් අහසට පොළොව වගෙයි. අහස කවුද පොළොව කවුද කියල ගීී රචකයකුගෙන් අහන්න ඕන. ඒ කුමක් වුවත් අපේ දරුවන් නම් කරල තියෙන්නෙ ආකාශ වස්තු නමින්. ඇය ඉතාමත් කාරුණිකයි. ඇය දක්‍ෂ ගුරුවරියක් බව මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටිි අයගෙන් අසා තිබෙනවා. එමෙන් ම සිසුන්ට කාරුණික ව මග පෙන්වූ බවත් අවශ්‍ය ප්‍රමාණයට සිසුන්ට තේරුම් ගැනීමට හැකි අයුරින් ඉගැන් වූ බවත් ඇගෙන් ඉගෙන ගත් සිසුන්ගේ මා හඳුනන දෙමවුපියන් කියා තියෙනවා. 
එහෙත් මා සිසුන්ට ඉගැන්වූයේ නැහැ. මා ඔවුන්ට කතන්දර කිවුවා පමණයි. ජී එල් එයට කිවුවේ ජාතික චින්තනය ඉගැන්වීම කියා. ඔහු හා ඔහුගේ පිරිස මා කොළඹින් අස්කිරීමට සැලසුම් සහගත ව ක්‍රියා කළා. මා අස්කිරීමෙන් පසුව ඇතැම් සිසුන් රෑ එකට දෙකට දුරකතනයෙන් කතා කර මට කුණුහරුපයෙන් බැණ වැදුනා. ඔවුන් මගෙන් හොඳවයින් දෙකක් අහගත්තා. 
සිංහයා අඩු තරමෙන් සුප්පා දේවිට හා දරුවන්ට කන්න අඳින්න දෙන්න ඇති. ගල් ලෙනක් ඉදි කරන්න ඇති. දරුවන් ගල් ලෙනේ කොටු කරන්න ඇති. මා ඒ එකක්වත් කර නැහැ. විවාහ වන අවධියේ මා ලංකා සමසමාජ පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් ලේකම්. මා අතින් ගෙදර වැඩ අතපසු වුණා. එකල වතු කම්කරුවන් ඇතුළු ඊනියා කම්කරු පංතියක් ගැන මගේ ද බලාපොරොත්තුවක් තිබුණා. 
ලොකු පුතා ඉපදී වසරක් ගත වන විට බිරිඳට ඕස්ත්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඇය ඉතාමත් ධෛර්යවන්තයි. ආත්ම විශ්වාසයෙන් යුක්තයි. ඇය පුතාත් කැටුව මොනෑෂ් විශ්වවිද්‍යාලයට ගියා. මට යෑමට ලැබුණේ ඉන් මසකට පමණ පසුව. මට පේරාදෙණියෙන් නිවාඩු ලබා ගැනීමට නොහැකි වුණා. මා අස් වී ගියේ නැවත විශ්වවිද්‍යාලයට පැමිණීමට බලාපොරොත්තු වන බව අස්වීමේ ලිපියේ සඳහන් කිරීමෙන් පසුව. 
ඕස්ත්‍රේලියාවේ දී මට ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙහි රැකියාවක් ලැබුණා. ඒහෙත් අවුරුද්දකින් පමණ පසුව මා දරුණු මෝටර් රිය අනතුරකට ගොදුරු වුණා. අවුරුදු දෙකහමාරක් පමණ වයසැති පුතාත් බිරියත් වාහනයේ සිටි මුත් දෙයියන්නෙ පිහිටෙන් ඔවුන්ට කිසිවක් සිදු වුණේ නැහැ. එහෙත් මට ඩැංඩිනොන් රෝහලේ මාස තුනක් පමණ ඉන්න සිදු වුණේ දකුණු ඉල ඇටය බිඳී යෑම නිසා. රෝහලේ සිටි සෑම දිනක ම බිරිය පුතා අර කුඩා කරත්තයේ දමා ගෙන බසයේ රෝහලට පැමිණියා. ඇගේ අධ්‍යයන කටයුතු අඩාල වුණා. සුව වී ගෙදර ගොස් ටික දිනකින් ඇය ආචාර්ය උපාධිය පැත්තකට දමා විද්‍යාපති උපාධියක් සමග 1977 අවසන් කාර්තුවේ ලංකාවට අපත් සමග ගියා. ඇය විශ්වවිද්‍යාලයේ රැකියාවේ ස්ථිර වුණා. 
එහෙත් මට රැකියාවක් ලැබුණේ නැහැ. පීඨාධිපති තීරණය කර තිබුණා මා විප්ලවවාදියකු බව. ඒ කාලයේ මා නව සමසමාජ පක්‍ෂයේ. ජේ ආර්ගේ ව්‍යවස්ථාවට විරුද්ධ ව අප 1978 පෙබරවාරි හතරවැනි දා කළුකොඩි දැම්මා. වික්‍රමබාහුට රැකියාව අහිමි වුණා. මට රැකියාවක් ලැබුණේ නැහැ. පුතා රැක බලා ගැනීමත් මට කන්න අඳින්න දීමත් බිරියට බැර වුණා. අවුරුදු දෙකක් ඇවෑමෙන් මට කොළඹ රැකියාවක් ලැබුණා. අප ලොකු පුතාත් පසුව දෙවැනි පුතාත් රාජකීය විදහලට ඇතුල් කළා. ලොකු පුතා රාජකීය විදුහලට ඇතුල් කිරීම සඳහා ඉල්ලුම්පත යැවුවේ නුවර ලිපිනයකින් ඒ එකල පදිංචිය නුවර වටපුළුවේ වූ නිසා. මා අදත් කියනවා රාජකීය විදුහල මට හැමදාමත් හොඳින් සලකා තියෙනවා. නුවර ලිපිනයකින් පුතා පාසලට ඇතුල් කිරීමට සැමට හැකි වන්නේ නැහැ. අදාළ පරීක්‍ෂණයේ දී මගෙන් ඇසුවේ එක ම එක ප්‍රශ්නයයි. පුතා පාසල් එවන්නේ කොහේ සිට ද? පුතා පාසල් යැවුවේ පාණදුරේ මහගෙදර සිට. මාත් පුතාත් සිකුරාදා සවස මාතලේ ගියා. බිරිය හිටියේ ඇගේ මහ ගෙදර දෙවැනි පුතා කුස දරාගෙන. 
ඇය නොබෝ කලකින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මාරුවක් ලබා ගත්තා. 1981 ජනවාරියේ අප මහරගම නිවසට පැමිණියා. දෙවැනි පුතා උපන්නේ 1980 දී. 1980 මාර්තු මස මා නව සමසමජ පක්‍ෂයෙන් අස්වුණා. සුවාදීනයන් අමතක කළාට ලොකු පුතා රාජකීය විදුහලට ඇතුල් කෙළේ මා නව සමසමාජ පක්‍ෂයේ සිටිය දී. ඒත් චින්තනය ගැන කතා කිරීමට 1983 පමණ පටන්ගත් පසු මා ඔහු අස්කර වෙනත් විදුහලකට ඇතුල් කෙළේ නැහැ. පළමු පංතියේ අනුකාරක අධ්‍යාපනයක් වෙනුවට තුන්වැනි පංතියේ අනුකාරක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමට මට වුවමනා වූයේ නැහැ. 
කොළඹ අවුරුදු දොළහක් පමණ කතන්දර කීමෙන් පසුව මා අස්කෙරුණා. ජී එල් පීරිස් පී ඩබ් ඈපාසිංහ වී කේ සමරනායක එහි මූලිකත්වය ගත්තා. මට විරුද්ධ චෝදනා වූයේ වෙනත් ඇදුරන්ට බැණ වැදීම හා උසස් අධ්‍යාපන ඇමති හමීඩ් බොරු ප්‍රකාශ කළා යැයි කීම. ජී එල් පීරිස් එකල ප්‍රේමදාස පාක්‍ෂිකයෙක්. මට විරුද්ධ ව ගෘහස්ථ පරීක්‍ෂණය කිරීමට පත්කළ මණ්ඩලයේ සභාපති වූයේ හර්ෂ ද සිල්වාගේ පියා හැරිස් ද සිලවා. මාස ගණනක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වන ලද ඊනියා පරීක්‍ෂණයකින් පසු මා අස්කෙරුණා. ඒ පරීක්‍ෂණයට කොපමණ මුදලක් වියදම් කළා ද කියන එක අදටත් රහසක්. වත්මන් අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් එ ගැන පරීක්‍ෂණයක් කරනවා ද?
මෙහි දී කිවයුතු කරුණු බොහෝමයක් තියෙනවා. පී ඩබ් ඈපාසිංහ විද්‍යොදය සමයේ සිට මහින්ද රාජපක්‍ෂගේ මිත්‍රයෙක්. ඔහුටත් සමරනායකටත් ප්‍රශ්න තිබුණා. ඒ දිනවල විද්‍යා පීඨ සිසුන්ගේ උද්ඝෝෂණයක් තිබුණා. සිසුන් ඉල්ලා සිටියේ කලබලවලින් පසු ඉදිරිපත් කෙරුණු කඩිනම් පාඨමාලාව නිසා විභාග නිර්ණායකත් වෙනස් කළ යුතු ය කියා. මාත් තවත් කිහිප දෙනකුත් සිසුන්ගේ ඉල්ලීමේ සාධාරණත්වයක් දැක්කා. ඈපාසිංහ සමරනායක ආදීන් ඒ ඉල්ලීමට විරුද්ධ වුණා. සිසුන් පංති වර්ජනය කළා. උපවාසයක් ද කෙරුණා.
ඇතැම් ගුරුවරුන් හා මා අතර බහින්බස් වීම් ද සිදු වුණා. ඒ අතර හමීඩ් වැරදි ප්‍රකාශයක් ද කළා. ජී එල් ඈපාසිංහ ආදීන් මට විරුද්ධ ව අනෙක් කිහිප දෙනකුට බැණ වැදුණේය යන චෝදනාව ද මා හමිඩ් බොරු කීව් යැයි කී චෝදනාවද කළා. එකල මා ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති. අප වැටුප් අරගලයක යෙදී සිටියා. මා අස් කිරීමෙන් පසුව මට කොළඹ ආචාර්ය සමිතිවල සාමාජිකත්වය අහිමි වුණා. ඇපාසිංහලාට වැටුප් අරගලය අවශ්‍ය වුණෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණෙ මා අස්කිරීම පමණයි. ජී එල් මට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් කළා. ඒත් වෘත්තීය සමිති ආඥා පනත අනුව මට වෙනත් ආචාර්ය සමිතියක බාහිර නියෝජිතයකු ලෙස ආචාර්ය සමිති සම්මේලනයට සහභාගි වීමට හැකි වුණා. මා ඉංගිරිසි උපදේශක සංගමයේ නියෝජිතයා ලෙස දිගට ම ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කළා. අප ඇපාසිංහලා ජී එල්ලා සමරනායකලා පරාජය කර වැටුප් සටන ජයගත්තා. ඒ සමග මා සභාපති ධුරයෙන් අස්වුණා. 
වැටුප් අරගලයේ ජයග්‍රහණය මට පෞද්ගලික ව හිමි වුණේ නැහැ. එහෙත් බිරියට හිමි වුණා. ඇ තම වැටුපෙන් මට තවත් අවුරුදු දහයක් කන්න අඳින්න දුන්නා පමණක් නොව දරුවන්ගේ සියලු කටයුතු ද නොපිරිහෙළා ඉටු කළා. ආචාර්ය සමිති සම්මේලනය ඉංගිරිසි උපදේශක සංගමයට ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජිකත්වය අහිමි කළා.
ආචාර්ය සමිති සම්මේලනය තම හිටපු සභාපති වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. එහෙත් අදටත් තියෙන්නේ එදා සකස් කළ වැටුප් ව්‍යුහ. විනිසුරුවන්ගේ වැටුප් වැඩි වෙන විට ඇදුරන්ගේ ද වැටුප් වැඩි වන්න ඕන. මේ ජයග්‍රහණ අත්කර ගත්තේ 1993 මුල. වයස අවුරුදු පනහට අඩු ආචාර්යවරු ඒ ගැන කිසිවක් නොදන්නවා වෙන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් මා වෙනුවෙන් සටන් කිරීමට සූදානමින් සිටි නමුත් චම්පකගේ අනුගාමිකයන් ඒ සියල්ල කඩාකප්පල් කළා. චම්පකලාටත් අවශ්‍ය ව තිබුණේ මා අස්කරනු දැකීමට. අද චින්තනයේ ජාතිකත්වය ගැන විවිධ පඬි මත ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙත් එහි ගමන බාල කෙළේ චම්පකලා. ඔවුන්ට අවශ්‍ය වූයේ ජාතිකත්වය බලයට ඒමට යොදා ගැනීම පමණයි. 
මා අවුරුදු දහයක් නඩු කිවුවා. ගෘහස්ථ පරීක්‍ෂණයේ දී මට සහාය වුණෙ ආචාර්ය අර්ජුන සොයිසා. කම්කරු උසාවියේ, ඉහළ අධිකරණයේ හා ශ්‍රෙෂ්ඨාධිකරණයේ මා වෙනුවෙන් පෙනී සිටියේ එස් එල් ගුණසේකර තිස්ස යාපා හා කණිෂ්ක විතාරණ. ඒ සියළු දෙනා ම පෙනී සිටියේ නොමිළයේ. අවසානයේ දී බැණුම් චෝදනාවලින් මා නිදහස් වුණා. එහෙත් හමීඩ් අසත්‍ය ප්‍රකාශයක් කළේයැයි කීම වරදක් ලෙස තීරණය කෙරුණා. ශ්‍රෙෂ්ඨාධිකරණය මට ලක්‍ෂ පහක් ගෙවීමට කොළඹ විශ්වවිද්‍යාලයට නියම කර මා නිදහස් කළා. 
ඒ අතර වෙනත් විශ්වවිද්‍යාල මා බඳවා ගැනීම ප්‍රතික්‍ෂෙප කළා. මා ඒ විශ්වවිද්‍යාලවලට විරුද්ධ ව ප්‍රතිපාදන කොමිසමේ අභියාචනා මණ්ඩලය ඉදිරියට ගියා. මා ජයග්‍රහණය කළා. මා කැලණියට ගියේ එහෙමයි. ඒත් අවුරුදු දහයක් සතයක් හම්බ කරන්නෙ නැතිව ඉඳලා. මේ සියල්ල මැද පළමුව අවුරුදු දෙකකුත් දෙවනුව අවුරුදු දහයකුත් බිරිඳ මගේත් දරුවන්ගේත් වැඩ කටයුතු කළා. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මට එතරම් දෙයක් කරන්න බැරි වුණා. එහෙත් මගෙන් මිනිසුන් ඇහුවේ ඔවුන් රාජකීය විදුහලට යෑම ගැන. ඔවුන් පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙනීම ගැන. ඔවුන්ගේ මවට ඔවුන් පිටරට යැවීමට තරම් මුදලක් වියදම් කිරීමට නොහැකි බව මිනිසුන් නොදැන සිටින්න ඇති. අපේ දුවගේ පාසල ගැන කිසිවකු ප්‍රශ්න කෙළේ නැහැ. ඇගේ මව කොළඹ පාසලක ඉගෙන ගෙන තිබුණේ නැහැ. අප දුව මියුසියස් විදුහලට ඇතුල් කළා. එය පෞද්ගලික පාසලක්. අප කනවාද බොනවාද කියා ඉඳහිටවත් සොයා බැලුවේ මගේ පාසල් මිතුරන් කිහිප දෙනකු පමණයි. 
මේ සියලු දුක් පීඩා මැද ඇණුම් බැණුම් චෝදනා මැද බොහෝ විට මගේත් බැණුම් මැද බිරිය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී හිටියා. ඇය සමහර විට රහසින් වැළපෙන්න ඇති. එහෙත් කිසි දා මට රැකියාවක් හොයා ගන්න කියා නැහැ. කිවුවත් හොයා ගන්න බැහැ. දරුවන් ද තම උත්සාහයෙන් ඉගෙන ගත්තා. මා හෝ බිරිය හෝ ඔවුන් පසුපස සිට පාඩම් කරන්න කිවුවෙ නැහැ. ඔවුන්ට බිඳින්න ගල්ලෙනක් තිබුණෙ නැහැ. අප දෙදෙනාට මෙන් ම ඔවුන් තිදෙනාටත් ප්‍රථම පංතියේ ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි තියෙනවා. මා එය කියන්නේ ඒ උසස් ලෙස සලකන නිසා නො වේ. ඔවුන්ට බිඳින්න ගල් ලෙනක් තිබුණෙ නැහැ කියන්න. කිසි ම බලපෑමක් නැතිව ඔවුන් තම වැඩ කටයුතු කළා. ඔවුන්ගේ දෙමවුපියන් මෙන් ම සීයලා ආච්චිලා හතර දෙනාත් ගුරුවරු. එහෙත් ගුරු පරපුර ඉදිරියට යන පාටක් නැහැ. 
මේ නහින දෙහින කාලයේ අප මියන්මාහි ඉන්නවා. අපට එරට දෙවැනි නිවසක් වගේ. ඒ සංස්කෘතික සමානත්වය නිසා. මා ප්‍රසිද්ධ වී ඇත්තේ ලයෙහි කිසිම තෙතමනයක් නැති මිනිසුන්ට බැණ වදින පුද්ගලයකු හැටියට. මා කර ඇති දෙයක් නැහැ. ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික චින්තකයන් හා හාමුදුරුවරුන් එයට සාක්‍ෂි දරණවා. අද හාමුදුරුවරුන්ට අවශ්‍ය වී ඇත්තේ මට වඩා හොඳ බෞද්ධයකු මියන්මාහි තානාපති ලෙස යවන්න. අප දෙදෙනා මේ සියල්ල මැද ජීවත්වෙනවා. අප දෙදෙනාට ම දැන් හැත්තෑව පැනලා. අප තව ටික කලකින් වෙන් වේවි. 
අවුරුදු පනහක් එකට හිටියේ මගේ හොඳ කමකට නම් නො වෙයි.
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon