Wednesday, July 24, 2024

සැතපෙන කුටියේ පොකුණ.






ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සැතපෙන කුටියේ පොකුණ.

 

මේ තියෙන්නේ මොකක්ද කියලා ඔබ දැන් බලාවි.මෙය තියෙන්නෙත් දළදා මාලිගා භුමියේමයි. හැබැයි මෙය වන්දනාවේ යන කාගේවත් ඇස ගැටෙන්නේ නැහැ. මේ පොකුණක්. නිකම්ම පොකුණක් නොව රාජකීය පොකුණක්.
දැන් මෙය දළදා මාලිගා භුමියේ තිබෙනවා වගේ අපිට පෙනුනට රජසමයේ මේ භූමිය රජ මාලිගාවේ පරිශ්‍රය.
දළදා මාලිගාවට ගියාම රාජා ඇතා ගේ අනුරුව තියෙන කෞතුකාගාරයට ආසන්නව තියෙන රජ මාලිගාව ඔබ දන්නවා.ඒ අපිට දකින්න ලැබෙන්නේ අවසන් රජතුමා වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මාලිගාව වුණාට මහනුවර සිටි බොහෝ අපි දන්නා නොදන්නා රජවරුන්ගේ මාලිගාව තිබිලා තියෙන්නේ ඒ ස්ථානයේම තමයි.
දළදා මාලිගාව කියන්නේ රජතුමාගේ බුදුමැදුර. එය ඉස්සර තිබු⁣ණේ දළදා වහන්සේ වැඩසිටින කුටිය පමණයි. පස්සේ තමයි එක එක කොටස් එකතු වෙන්නේ.
ඉතින් දළදා මාලිගාවත් රජ මාලිගාවේම කොටසක්.1815 මහනුවර නගර සැලැස්ම බලනවිට රජ මාලිගාව යනු ගොඩනැගිලි සංකීර්ණයක්. රජතුමාගේ මාලිගාව වෙනම, රජතුමා සැතපෙන කුටිය වෙනම, එතුමා බෙහෙත් ගන්න.කුටිය වෙනම, සළු පළඳින කුටිය වෙනම. එහෙම තමයි මේ සියල්ල තිබිලා තියෙන්නේ. ඒ දැන් දකින රජ මාලිගාව පිටිපස්සට වෙන්න තමයි සියල්ල තිබිලා තියෙන්නෙ.
ඒ වගේම රජතුමා හමුවෙන්න එන රටවැසියා බොහෝම දුර ඉඳලා ආවම මහන්සිනේ.. ඒ නිසා ඒ අයට ගිමන් හැරලා රජතුමා හමුවෙනතුරු රැඳී ඉන්න රජ මාලිගාව අසලම මඩුවක් තිබුණා ඒකට කියන්නේ වෛසෙලියේ මඩුව කියලා. ඒ වගේම ඒ අසලම ළිඳක් තිබුණා. ඒ ළිඳට කියන්නේ වෛසේලියේ ළිඳ කියලා. මේ ළිඳ තවමත් රජමාලිගාව අසලම තියෙනවා. හැබැයි ඒක උඩින් වහලා තියෙන්නේ.
ඉතින් මේ සමග ඇති පොකුණ තියෙන්නේ මගුල් මඩුව පිටිපස්සේ. ඒ කියන්නෙ වර්තමානයේ රන් ආයුධ මණ්ඩපය අසල ඒ ඉදිරියේ තමයි මේ පොකුණ තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රදේශයට වැඩි දෙනෙක් නොයන නිසා මේ පොකුණ ඇස නොගැටෙන්න පුළුවන්. ඔබ මගුල් මඩුව පිටිපස්සෙන් ජාත්‍යන්තර කෞතුකාගාරයට පිවිසෙනවානම් ඉන් වම් පැත්තට ගියාම රන් ආයුධ මණ්ඩපය ඉදිරිපිට මේ පොකුණ දැකගන්න පුළුවන්.
ඉතින් මේ පොකුණ අසලම තමයි රජතුමාගේ සැතපෙන ගේ තිබුණේ. සැතපෙන ගේ එක්කම තමයි රජතුමාගෙ සළු කුටිය තිබු⁣ණේ. ඒ කියන්නේ රජතුමා ඇදුම් අඳින තැන. ඒ කිට්ටුවම තමයි රජතුමාට ශාන්ති කර්ම කරපු ශාන්ති මණඩපය තිබුණේ..
ඉතින් මේ පොකුණ අද මෙහෙම කිබුණාට මෙය රජතුමා පාවිච්චි කරපු පොකුණක්. රජ තුමාගේ සැතපෙන කුටිය ඇතුලේම සිහිල ගේන්න මේ පොකුණ තිබුණා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සැතපෙන කුටිය ඉදිරිපිට මෙය තියෙන්නත් ඇති.ඒ කොහොම වුණත් රජතුමා මෙය පාවිච්චි කරපු පොකුණක්.
ඒ මාලිගාවට ගියාම වැඳල පුදලා දුවල එන්නේ නැතිව ඔය වගේ පෞරාණික දේවල් ගැනත් අවධානය යොමුකරලා බලලා එන්න
උපුටා පළකිරීමකි..
ස්තූතිය. ලිපිය සහ ජායාරූප මුල් හිමිකරුට
මනුසත් හෙළ දෙරණේ පුනරාගමනය Manushath Hela Derane Punaragamanaya

A day in the life

Tuesday, July 23, 2024

දෙමෝදර රේල් පාලම







9 Arch හෙවත් දෙමෝදර රේල් පාලමේ ඔබ කිසි දිනක නොඇසූ සත්‍ය ඉතිහාස කතාව මෙන්න..
1885 වසරේ ප්‍රංශයේ Marseille හිදී Alphonse Laurent උපත ලබනවා. කුඩා කාලයේ සිටම වාස්තු ක්‍රමවේදයන් සහ ඉදිකිරීම් කෙරෙහි කෙරෙහි ආසාවකින් සිටි අල්​පොන්සු ඒ පිළිබඳව ඉහළටම ඉගෙනීමට තීරණය කරනවා..
වැඩිවියට පත්වෙද්දී ඔහු ප්‍රංශයේ ඉදිකිරීම් පිළිබඳව හැදෑරීමෙන් අනතුරුව ප්‍රංශයේ නොමැති ​එහෙත් ඊටත් වඩා වෙනස් ක්‍රමවේදයන් පිළිබඳව ඉගෙනීමට කැමැත්තක් දක්වනවා. ඒ අනුව ඔහුගේ අවධානය යොමුවන්නේ ආසියාව කෙරෙහි.. ඒ වෙද්දී බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ තිබුණු ආසියානු කලාපයට මේ අල්පොන්සෝ සිය හැකියාවන් දියුණු කරගැනීමටත් වෙනස් අත්දැකීමක් ලබාගැනීමටත් පැමි​ණෙනවා..



මේ පැමිණීමේ දී ඔහුගේ අවධානය යොමු වන්නේ එකළ සිලෝන් ලෙසින් නම් කර තිබූ ශ්‍රී ලංකාවටයි. ඒකට හේතුව වුණේ කළු ගල් කපා කළ ඒ මහ නිර්මාණයන්ය. අඟලක බැස්මක් තිබූ ඇල මාර්ගයන්ය..
බ්‍රිතාන්‍යයන් උඩරට කලාපයට පහසුවෙන් ගමන් කිරීමට දුම්රිය මාර්ගයන් ඉදි කරමින් සිටි නමුත් ඔවුන්ට දෙමෝදර, ඇල්ල අතර ප්‍රදේශයේ තිබූ දැඩි ප්‍රපාතය සහ අභියෝගාත්මක භූගෝලීය පිහිටීම හමුවේ පාලමක් නිර්මාණය කිරීම තරමක අපහසු කටයුත්තක් වූ බව සඳහන් වෙනවා.
අල්පොන්සුගේ අවධානයත් මේ දුම්රිය මාර්ගය නිර්මාණය කිරීම කෙරෙහි ඒ වෙද්දී යොමුවෙලා තිබුණේ.. ප්‍රංශ සිසුවෙකු වීම නිසා බ්‍රිතාන්‍යයන්ගෙන් බාධාවක් නොමැතිව වැඩබිම් බැලීමටත් අල්පොන්සුට අවස්ථාව උදාවී තිබුණා..
දෙමෝදර සහ ඇල්ල මාර්ගය අතර පාලම නිර්මාණය කිරීම අභියෝගයක් වී ඉංග්‍රීසි ඉදිකිරීම්කරුවන් අභියෝගයකට මුහුණ දී සිටින විටත් ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටිම පිළිබඳව දැඩිව අධ්‍යයනයක නිරත වෙලා හිටපු අල්පොන්සු මේ සඳහා සිය දායකත්වය ලබාදෙන්න තීරණය කරනවා.


බ්‍රිතාන්‍යයෙන් කෙතරම් කෙළින් පාලම් සදා නිර්මාණය කළත් නැම්මක් සහිත පාලමක් ඉදිකිරීම ඔවුන්ට දැඩි අභියෝගයක් වුණා. මොකද භූමියේ පිහිටීම පාලමක් නිර්මාණය කිරීමට තරම් සුදුසු එකක් ලෙස ඔවුන් දුටුවේ නැහැ. අනික විදේශීයෙන් මෙය නිර්මාණය කිරීමට උපකරණ ගෙන ඒමටත් බ්‍රිතාන්‍යයන්ට හැකියාවක් තිබුණේ නැහැ.
නමුත් ශ්‍රී ලංකාවේ කළුගල් කපා භූමි දෝෂ මඟ හැරවාගෙන ඉදිකිරීම් කළ හැටි අල්පොන්සෝ දැන සිටි අතර ඔහුට ඒ පිළිබඳව ඉංග්‍රීසින්ට වඩා ඉහළ දැනුමක් තිබුණා.
අල්පොන්සෝ විසින් වහාම පාලම නිර්මාණය කරන ප්‍රදේශය පරික්ෂා කොට සැලැස්මක් සදා ඉංග්‍රීසින් අතට පත් කළා.. මවිතයට පත්වූ ඉංග්‍රීසින් වහාම පාලම හදන කටයුත්ත අල්පොන්සෝගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ කළා..
ප්‍රධාන ඉංජිනේරුවරයා වූ අල්පොන්සෝ එවකට පාලමේ වැඩවල නිරතව සිටි සිංහලයන් සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩ නඟා ගත්ත බවයි වාර්තාවල සඳහන් වන්නේ. ඒ නිසාම මේ පාලම මෙලෙස නිර්මාණය කිරීමටත් පහසු වී තිබුණා.
අල්පොන්සෝ නම උච්චාරණය එවකට සිංහලයන්ට තරමක් සමීප නොවන ගතියක් තිබුණු නිසා ඔහුට අප්පු කියන්නත් ගෞරවයක් එකතු කිරීම සඳහා හාමි ලෙසත් පැවසූ බව සඳහන්.. ඒ අනුව ඔහු අල්පොන්සෝ නමට වඩා අප්පු+හාමි හෙවත් අප්පුහාමි නමින් නම් වූ බව සඳහන්.
1921 වසර වෙද්දී අඩි 300ක නැවුමක් සහිතව අඩි 100ක උසින් යුතු 9 Arch හෙවත් දෙමෝදර ආරක්කු පාලම ඉදිවන්නේ මෙරට ඉතිහාසයේ අතිවිශිෂ්ඨතම ඉදිකිරීමක් ලෝකයාට දායක කරමින්.
අල්පොන්සෝ හෙවත් අප්පුහාමි සිංහලයන් සමඟ දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය නිසා ඔහු අවසානයේ ශ්‍රී ලංකාවේම ජීවත් වෙන්න තීරණය කළ අතර මෙරට ඉදිකිරීම් රැසකටම අප්‍රසිද්ධියේ උදව් උපකාර කළ බව සඳහන් වෙනවා.
තමන්ව මෙරට ඉතිහාසයේ කටකතා අතර පමණක් තබමින්, අවසානයේ ඔහු 1957 වසරේ දී වයස අවුරුදු 72ක් පමණ විට ජීවිතයෙන් සමුගෙන ගිය බව සඳහන් වෙනවා.

 

මේ ඉහළ තියෙන්නේ අල්පොන්සෝ හෙවත් අප්පුහාමිගේ ඡායාරූපයක්, එවකට තිබූ දැඩි කාෂ්ටක අව්වට ඔහුගේ සුදුහම අවර්ණ වී තිබුණේ ඔහුත් ශ්‍රී ලාංකිකයෙකු ලෙසටම පරිවර්තනය වූ ආකාරය පෙන්වන්න.
.... හරිනේ දැන් ඔන්න අප්පු තමා පාලම හැදුවේ, ප්‍රශ්නය ඉවරයිනේ ඒනම්...

Ceylon Government Railway Magazine



මේ තවත් කතාවක් සුජීව ප්‍රේමරත්න මෙටාවට වියමන් කරලා තිබුුනා. කරුණු සෙයන්නත් හදාරන්නත් පලකරනවා.

අප්පුහාමි නිසා දෙමෝදර ස්ටේෂන් මාස්ටර් වෙලා හිටි මිත්‍රයා Nawin Chinthana Wimalsiri ඉන්ටඩික් වෙන්නත් ඉඩ තිබිලා

මේ නවීන් කියපු කතාව
"Harold Marwood තමයි ninearches හදද්දී හිටපු engineer. එයාගෙ report එකේ තියෙනවා labourer supply කරේ local contractor කෙනෙක් කියල. අනිවාර්යයෙන්ම අප්පුහාමි කියන්නෙ ඔය contractor වෙන්න ඕන.
මම 2014 Demodara station එකේ වැඩ බාර ගනිද්දී අප්පුහාමිගෙ photo එකක් station එකේ එල්ලලා තිබුනා. හරි විස්තර දන්න නිසා ඒක ගලවල දැම්මා.
පස්සේ අප්පුහාමි මුණුබුරාද කොහෙද ඒක complain කරල ප්‍රාලේ උපදෙස් මත ග්‍රාම නිලධාරී ඇවිල්ලා පරීක්ෂණයකට.
තව ටිකෙන් inquiry එකකුත් සෙට් වෙනවා. Harold Marwood ගෙ report එක පෙන්නුවම තමයි වැඩේ shape උනේ



A day in the life

Monday, July 22, 2024

අම්මඩුව







{හීයකින් උපන් දෙවොල }
ගොඩකවෙලින් වමට හැරිල කි.මී. 5ක් විතර ගියහම ඇමිටියගොඩ හංදියෙන්, අම්මඩුවට යන්න පුලුවන්.
ටිකක් පිටිසර පෙනුමක් එක්ක පටු පාර දිගේ අලුත යන කෙනෙක්ට නම් දකින්න මනරම් දසුන් එමටයි.
හදිස්සියේ එහා මෙහා යන ඉත්තෑවෙක්, මුගටියෙක්, හෝතඹුවෙක් ඇරුනහම කලාතුරකින් ඕලුවෙක් එහෙමත් මේ පාරෙ දකින්න ඇහැකි.
සුලු අපනයන බෝග ප්‍රධාන ආදායම් මාර්ගය කොට ගත් ජන ජීවිතය බොහොම සැහැල්ලුවෙන් ගෙවා දමන මෙම ගමේ ගැමියන් පුද පූජා කරන්නෙ විහාරස්ථානය මුල් කර ගෙනයි. කතරගම දෙවියන් හට බාර වෙන්න යන්නෙ අම්මඩුව කුඩා කතරගම දෙවාලයටයි.



 

මෙය ක්‍රිස්තු වර්ෂ 1452 පමණ ආරම්භ කරන ලද්දක් ‍‍‍‍‍බවයි සදහන් වෙන්නෙ.
කො‍‍හොම නමුත් ක්‍රි.ව. 1410 සිට ක්‍රි.ව. 1467 දක්වා පුරා වසර 57ක පමණ කාලයක් කෝට්ටේ රජ කළ හය වැනි ශ්‍රී පරාක්‍රමබාහු පාලන සමයේ දී මෙම දේවාලය ඉදිව ඇති බවත් සදහන් වෙනවා.
එමෙන්ම මෙහි ආරම්භය පිළිබද මෙවැනි සටහනක්ද ගොනුකර තියෙනවා.ඒකත් කියවල බලමු නේ.
තමාට දෙවියන් ඇදහීම සඳහා කෝවිලක් නොවූයෙන් භාරහාර ඔප්පු කිරීම හා දේවාශිර්වාද ලබාගැනීම සඳහා කොලොන්න, අටකලන් දෙකෝරළයේ වැසියෝ ඒ සඳහා අලුත්නුවර දේවාලයට යෑමට පුරුදුව සිටියලු.



 

ඔය එක්කම ගම්වැසියන් සඳහා දේවාල භූමියෙහි වෙනම වීදියක් වෙන් කර තිබුණ කියල තමයි කියන්නෙ.
කොහොම නමුත් ඇමටියගොඩ ගම තුළ පදිංචිව සිටි රාමගිරි බ්‍රාහ්මණ රාල හා දේවගිරි බ්‍රාහ්මණ රාල යන දෙදෙනා තමයි මෙම වන්දනා ගමනට මූලිකත්වය දීල තියෙන්නෙ.
කොහොම හරි මෙහිදී සිදු වූ සිද්ධියක් නිසාවෙන් ඔවුන්ට ආපසු ඒමට සිදුවෙලා තියනවා.
පුරා රාත්‍රියක් කළ දේව කන්නලව්වකට පසු ගමට ඇවිත් නිදා උන් රාමගිරි බ්‍රාහ්මණ රාල වෙත කිසියම් අයකු සිහිනයෙන් පැමිණ ඔබ ගමන් කළ මාර්ගය අසල දෙල් ගසකට දේවාභරණයක් පහළ වී ඇති බවත්, එය රැගෙන තමන්ට රිසි පරිදි පුද පූජා පවත්වන ලෙසත් පවසා නොපෙනී ගොස් තියෙනවා.
පහුවදා උදෑසන නින්දෙන් අවදි වූ රාමගිරි බ්‍රාහ්මණ රාල මෙම සිද්ධිය දේවගිරි බ්‍රාහ්මණ රාලට පවසා මෙම ස්ථානය සෙවීම සඳහා ආ මග දෙපස පරික්ෂා කරමින් ගමන් කරලා තියෙනවා.එවිටයි දැක්කෙ දෙල් ගසක් මුදුනේ අත්තක රන් ඊතලයක් ඇටවිලා තියෙනවා.ඊතලය දැක්ක වහාම එම ගස මුලට ගොස් දෙවියන්ට යාච්ඤා කළ විට එම රන් ඊතලය රාමගිරි බ්‍රාහ්මණරාලගේ ජටාව මතම වැටිල තියනවා.
එම දේවාභරණ තමයි වත්මන් දේවාල බිමේ තැන්පත් කරල තියනවා කියන්නෙ.



කො‍‍හොම වුණත්
නොයෙක් නොයෙක් කතාන්දරත් එක්ක පළමුව දකින ඕනෑම කෙනෙක් හට මහ ගුප්ත බවක් ඇති ස්ථානයක් ලෙසටයි මේ දෙවොල පේන්නෙ.
අසවල් කාලයට අසවල් ක්‍රියාව නිම කළ හැකි බව පැවසුවත් එය එයාකාරයෙන් ඉටු කල නොහැකිය යන්න ජනප්‍රවාදවල සදහන් වෙනවා.
කතාකරුත් එක්තරා කාලවකවානුවක මේ අත්දැකීමට මුහුණ දුන් අතර එය ඇත්තක්ද නැතහොත් ඔහු අතින් වුණ අතපසුවීමක්ද යන්න දැනටත් විසදා ගත නොහැකි වුණ ගැටලුවක් විදියටයි තියෙන්නෙ.
කොනකින් රංවලටත්, කොනකින් ගොඩකවෙලටත් මායිම් වන දෙවොල් සීමාවෙ වාර්ෂික පෙරහර මංගල්‍යය කුඹල් පෙරහර, දෙවේලේ පෙරහර, මහ පෙරහර යන අවස්ථා තුනෙන් යුක්ත පෙරහැර සැප්තැම්බර් මසෙ පැවැත්වෙනවා.
මෙම පුරාණ පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර වලට අනුව ක්‍රි.ව. 14 වන සියවසට අයත් ලෙස සැලකෙන්නෙ.
තොරතුරු හා ජනප්රවාද අන්තර්ජාලයෙන් තමයි උපුටා ගත්තෙ.
#රුවන්පුරේ අපි

 Dhanushka Priyadarshana


Kanthi Epalawaththa, Nilu Walawage and 2 others


1



A day in the life

Sunday, July 21, 2024

හුණුුුවටයේ පුරක.










 


කර පින්නන් ආපු හින්ද
දෙපා මගේ රිදෙන හින්ද
ගිනි ගණනට කිරි අරගෙන
උගුර උගුර දීපු හින්ද
මගේ හිත බැඳුණාය පුතේ
උඹ නැතිවම බැරිය පුතේ 
සේද පිළි විසි කරදා
කඩමලු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා
ගොඩක් වතුර පොවාලා
මං උස්සන් උඹ උස්සන් යනවා
කර පින්නා ගෙන යනවා
බෙදු එම නීතිය
දිගු නොවු කෙටි කාලය
ඒ රට ස්වර්ණමය යුගයක්ම වු බව
නන් තුඩ තුඩ තවත් පැවසෙයි
හුණු වටය පිලිබද ඇසු මෙ පුවත
සබේ වියතුනි , පැවසු ලෙස
දන පුරානේ තබා ගනු මැන
සිතෙහි මේවදන
දෙයක් වේ නම් යම් සුදුස්සාටම
අයිති විය යුතුම කියන ලෙස
මෙලෙද ලැබිය යුතු මවු ගුණයය ඇති අය
දරුවන් දිනිය යුතු වෙයි
රියදුරු මනාව
ලැබිය යුතු  වු සේම අස්රිය
මුදු ගුණයය ඇති අය
දරුවන් දිනිය යතු වෙය
ගොවි දන මනාවු
දිනිය යුුතු සේම ගම් බිම්.


අවසානයේ අසඩක් ගැන කියන්නේ මෙහෙමයි.
විදා අත් තල දෙන 
නොදෙන දේ රැගෙන හෝ නොමරැගෙන
පොදවේ නිදානයකින් රැගෙන දෙන මෙන් 
යුක්ති ධර්මය සැමට බෙදු එදා 
පිටවුු විනිසුරු ඒ යළිත් නැත 
කිසි දිනෙක දුටුවේ මෙදා වනතුරු
ඔහුගේ අණ ගුණ
දනන් තුඩ තුඩ තවද කියවේ.





A day in the life

දරුවන්ගේ කේන්තිය…..




අවුරුදු 2, 2.1/5, 3 වෙද්දී දරුවන් තමන්ගේ කේන්තිය ප්‍රකාශ කරන්න අන් ළමුන්ට මෙන්ම දෙමව්පියන්ට අත උස්සනවා. පහර දෙනවා.


මේක සාමාන්‍ය දෙයක්ද? යැයි ඔබ ඇසුවොත් “ඔව් මේක සාමාන්‍ය දෙයක්!”
ඔබේ දරුවා, මගේ දරුවා කියල වෙනසක් නැහැ. මේ ලෝකේ බහුතරයක් පුංචි දරුවන්ගේ හැසිරීම එහෙම තමයි.
ඔබේ දරුවා කේන්තියෙන් ඔබට ගැහුවොත්, ඔබව හැපුවොත්, ඔබ මොනාද කරන්නේ ?
සමහර විට ඔබ කියනවා,

“මමත් ඔයාට ගහනවා, එතකොට ඔයාට තේරෙයි ඒක කොච්චර රිදෙනවාද කියලා”
ඔබත් දරුවට පහරක් ගහනවා, විය හැකියි.
ඔබේ දරුවා අන් දරුවෙකුට පහර දුන්නොත්, ඔබ මොනාද කරන්න ?
ඔබ කියනවා ඒ දරුවාගෙන් සමාව ගන්න කියලා. සමාව ගන්න ප්‍රතික්ෂේප කලොත් ඔබ දරුවට නැවත පහර දෙනවා. දරුවට දඬුවම් කරනවා, විය හැකියි.
ඔබ හිතනවා ඔබ මේ දේවල් කලොත් මීට පසු දරුවා ඒ දේවල් නොකර ඉඳියි කියලා.

හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ.
මොකද, ‘කේන්තිය පාලනය කරන්න බැරිම තැන පහර දිය යුතුයි‘ කියන වැරදි ආදර්ශයක් දරුවන් ඔබ තුලින්ම ඉගෙන ගන්නවා.
‘දරුවන් කෙසේ හැසිරිය යුතුයි ද’ යන දේට විරුද්ද හැසිරීමක් ඔබ දරුවට පෙන්වා දෙනවා.
‘ඔයා නරක ළමයෙක්’ කියලා දරුවාව මානසිකව බිඳ වට්ටනවා.
මම නරක ළමයෙක් කියන හැඟීම දරුවා තුල ඇති කරනවා.
දරුවාගේ එම හැසිරීමට පිටුපස තියෙන හේතුව අපි තේරුම් ගන්නේ නැහැ.

ආදරණීය දෙමව්පියනී,

  • දරුවන් පහර දීම ආවේගශීලී ක්‍රියාවකි.
  • ඔවුන්ට තමන්ව පාලනය කරන්නට තරම් ශක්තියක් තවම නැහැ.
  • වගේම ඔවුන්ගේ භාෂාව සහ සමාජ කුසලතා එතරම් දියුණු නැහැ.
  • ඒ නිසා එම නිෂේධාත්මක හැඟීම් සහ දැනීම් ප්‍රකාශ කරන ආකාරය ඔවුන් දන්නේ නැහැ.
  • ඔවුන්ට උපකාර කිරීම අපගේ කාර්යයයි.
  • එම හැඟීම් තේරුම් ගැනීමට සහ වඩා හොඳ ආකාරයෙන් ඒවා ප්‍රකාශ කිරීමට ක්‍රම අපට ඔවුන්ට උගන්වන්න පුළුවන්.
  • එම ක්‍රම දැන ගැනීමට පෙර, කරුණු කිහිපයක් මතක තබා ගැනීම වැදගත්:
  • මෙම වයස්වලදී දරුවන්ගේ මෙවන් හැසිරීම දෙමාපියන්ගේ පිළිබිඹුවක් නොවේ.
  • ඔබ නරක අම්මෙක් හෝ නරක තාත්තෙක් නොවේ.
  • දරුවන්ගේ වර්ධනයේදී එය සාමාන්‍ය දෙයකි.
  • ඔවුන්ගේ හැසිරීම පෞද්ගලිකව නොසලකන්න. සන්සුන්ව සිටින්න සහ ඔවුන් මේ මොහොතේ කොතරම් කලකිරීමට / බිඳීමට පත්ව ඇත්දැයි සිතන්න.
  • අපිට අගෞරව කිරීම / අපව ලැජ්ජාවට පත් කිරීම ඔවුන්ගේ අරමුණ නොවේ.
  • ඔවුන් නියාමනය කරන්නේ කෙසේදැයි තමන්ව පාලනය කරගන්නේ කෙසේදැයි ඉගෙන ගෙන නැත.

ඔබ කල යුත්තේ,
1. ඔවුන්ගේ හැඟීම් වැඩිහිටියෙකුට වාචිකව ප්‍රකාශ කිරීමට උගන්වන්න.
උදා:
“ඔහුගේ සෙල්ලම් බඩු මා සමඟ බෙදා නොගන්න නිසා මට තරහක් ඇතිවිය”
2.ඔවුන්ගේ කේන්තිය ප්‍රකාශ කිරීමට විකල්ප ක්‍රම උගන්වන්න.
උදා:
පහර දීමට හැඟෙන විට පිටුපසට අත තබා ගැඹුරු හුස්මක් ගන්න.
අන් කෙනාව මෘදුව ස්පර්ශ කරන්න.
3. දරුවන් බොහෝ විට ඔවුන් දකින දේ අනුකරණය කරයි. කලකිරීම හෝ කෝපය, පහර දීමකින් තොරව සහ සන්සුන්ව හැසිරවිය යුතු ආකාරය ඔවුන්ට පෙන්වන්න.
4. පැහැදිලි සීමා මායිම් සකසන්න: පහර දීම පිළිගත හැකි හැසිරීමක් නොවන බව පැහැදිලි කරන්න. පහර දීම වැරදි වන්නේ ඇයිද යන්න (කතන්දරයක් මගින් හෝ) සරලව කියාදෙන්න. පහර දීමේ ප්‍රතිවිපාක, ඔවුන්ට අවාසියක් වන ලෙසට සකසන්න.
උදා:
TV බැලීමට අවසර නැතැයි කියන්න.
සෙල්ලම් කරන්න උද්‍යානයට රැගෙන යන්නේ නැතැයි කියන්න.
5. ධනාත්මක ශක්තිමත් කිරීමක් ලබා දෙන්න: ඔබේ දරුවා පහර දීම වෙනුවට සුදුසු හැසිරීම් භාවිතා කරන විට ඔවුන්ව අගය කරන්න සහ විපාක දෙන්න (ස්ටිකරයක්/ තරු ලකුණක්). මෙම හැසිරීම් දිගටම භාවිතා කිරීමට ඔවුන් දිරිමත් කළ හැකිය.
6. සන්සුන්ව සහ ස්ථාවරව ප්‍රතිචාර දක්වන්න. කෑගැසීමෙන් හෝ ආපසු පහර දීමෙන් වළකින්න, මෙය තත්වය උත්සන්න කළ හැකි අතර දරුවා තවත් අකීකරු ලෙස හැසිරිය හැකිය.
7. අවධානය වෙනතකට යොමු කරන්න: ඔබේ දරුවා කලකිරීමට හෝ කෝපයට පත් වන බව ඔබ දුටුවහොත්, ඔවුන් සතුටු වන හෝ සන්සුන් වන වෙනත් දෙයකට ඔවුන්ගේ අවධානය යොමු කිරීමට උත්සාහ කරන්න. ඔවුන් කැමතිම සෙල්ලම් බඩුවක් සම්බන්ධව හෝ කැමතිම TV වැඩසටහනක් සම්බන්ධව කතාකරන්න. ඔවුන් සමඟ සතුටින් ගිය ගමනක් ගැන මතක් කරන්න.

  • නින්ද නොමැතිකම,
  • කාලසටහන වෙනස් වීම,
  • අධික වෙහෙස,
  • නිවසේ කටුක පරිසරය,
  • දෙමාපියන්ගෙන් ධනාත්මක අවධානයක් නොමැතිකම,
  • යන මේ දේවල්, දරුවාගේ හැසිරීම නරක අතට හැරවිය හැක.
  • තරහින් ඉන්න දරුවාව සන්සුන් කරන්න,
  • ඔබ සන්සුන්ව කතාකරන්න:
  • "තරහ ගියාට කමක් නෑ. ඔයා කැමතිද මොකද වුණේ කියලා මට හරියටම කියන්න?"
  • අවධානය වෙනතකට යොමු කරන්න:
  • "ඔයාගේ හැඟීම් මට තේරෙනවා, අපට මෙය නිවැරදි කරන්න පුළුවන්. එන්න මාව වැලඳ ගන්න, නැතහොත් ඔබේ ප්‍රියතම ගීතය ගායනා කරමු" යනුවෙන් පවසා ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කළ හැකිය.
  • සමාව ගැනීමට දරුවාට කියන්න, හැබැයි බල නොකරන්න. ඒ වෙනුවට තුවාල වූ දරුවා ගැන පරීක්ෂා කිරීමට ඔවුන්ට යෝජනා කරන්න.
"බලන්න මෙයා අඬනවා, අපි ගිහින් එයාට උදව් කරමු"
(පොඩ්ඩෝ හරි කැමතියි උදව් කරන්න)
අනාගතය සඳහා ඔවුන්ව සූදානම් කරන්න. ඊළඟ වතාවේ එවැනි දෙයක් සිදු වුවහොත් ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය ඔවුන්ට උගන්වන්න.


කවිතා සෙල්වරාජ්
Happy Baby and Mom 
 කතෘ අයිතිය සුරකින්න 


A day in the life

Saturday, July 20, 2024

වැසිකිළි භාවිතය 12 වන සියවසට


වැසිකිළි භාවිතය  12 වන සියවසට




ඇටෑච් ටොයිලට් හෝ වැසිකිළි භාවිතය අපිට පුරුදු කලේ සුද්දා නොව අපේම මුතුන්මිත්තන්ය !
පඬුවස්නුවර ‍රාජධානියේ ඇති ගොඩනැගීම් ආදියේ නටඹුන් 12 වන සියවසට හා පොළොන්නරු යුගයට අයත් වන බවට පුරාවිද්‍යාඥයින් හඳුනාගැනීමත් සමඟ එහි පැවති රාජ මාළිගය පඬුවස්දෙව් රජුගේ මාළිඟාව බවට පවතින ජනප්‍රවාදය යම්තාක් බිඳ වැටෙනවා. ඒ අනුව නිශ්චිතව කවරෙකු ඉදිකලාදැයි පැහැදිලි නැතත් රාජධානී භූමියෙන් හමුවන ශිලා ලේඛණ (නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපිය) මගින් මේ මාළිඟය එවකට දක්ෂිණ දේශකයේ ප්‍රාදේශීය පාලකයා වශයෙන් සිටි පළමු වන පරාක්‍රමබාහු රජුගේ මාළිඟය බවට සනාථ කරලා තිබෙනවා.



අංග සම්පූර්ණ තෙමහල් රජ මාළිඟාවක් වූ එහි එක් විශේෂත්වයක් තමයි මාළිඟාව ඇතුළත රජු වෙනුවෙන් ගොඩනඟා තිබූ සනීපාරක්ෂක පද්ධතිය.
කළුගලින් කපා ඇති කැසිකිළි ගල අඩි 7ක් ගැඹුරු මලාපවහන පද්ධතියකට ඌරාකැට වළලු ලෙස හඳුන්වන මැටි වළලු බැස්සූ වලට පිළිස්සු මැටි ගඩොල් ස්ථර ඇතුළත හා පිටත තැම්පත් කර සකසා කරමින්. පරිසරයට අපිරිසිදු මල ජලය මුදා හැරීමට වැළැක්වීම වෙනුවෙන් ගල්, බොරළු, වැලි, අඟුරු සහිත බණිජ ස්ථර කිහිපයක් ඔස්සේ ඒවා පෙරීමට ලක්වී පිරිසිදු ජලය පමණක් මහ පොළවට එක්වන ලෙසටයි මෙම සනීපාරක්ෂක තාක්ෂණය භාවිතා කරමින් වැසිකිළි පද්ධතිය මාළිගය තුළම සකස් කර තිබෙන්නේ.



රාජකීය වැසිකිළි වලින් අඩි 40/50 එහායින් පොකුණ පැවතෙන්නේ වර්තමානයේ පිරිසිදු ජලයට අපජලය එක්වීම වැළැක්වීමට ලිඳ සහ වැසිකිළි වල අතර දුරපරතරය පවත්වා ගෙන යාමේ සෞඛ්‍ය සම්පන්න හේතුව වෙනුවෙන්ම විය යුතුයි.







Rasa - රස මෙටාවට යොමු කල වියමනක්

A day in the life

Friday, July 19, 2024

වැසි සළුව හා චීවරය




වැසි සළුව හා චීවරය 

චීවර යනු පාලි වචනයයි. සිවුර යනු එහි සිංහල ව්‍යවහාරයයි. එය භික්ෂූන් වහන්සේලා පරිහරණය කළ විශේෂිත වූ වස්ත්‍රයයි. එහි අර්ථයට අනුව චීර යනු කැබැල්ලයි. ඒ අනුව කැබලි එකතු කර සකස් කර ගත් වස්ත්‍රය චීවර නමින් හඳුන්වයි
බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් උදෙසා අනුමත කළ සිවුරු වර්ග තුනක් වේ.
1.පාංසුකූල චීවරය
2. ගහපති චීවරය
3. කඨින චීවරය
තැන තැන්වල විසිකර දමා තිබෙන හෝ වැටී තිබෙන අයිති කරුවන් නැති රෙදි කැබලි එකතු කොට සෝදා පිළිවෙළකට අමුණා මසාගත් සිවුරු මූලික වසයෙන් පංශුකූල සිවුරු නමින් හඳුන්වයි. මුල් යුගයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා මෙම සිවුරු පරිහරණය කළහ.
ගිහියන් විසින් මසා පූජා කරන සිවුර හා නොමසා පුජා කරනලද රෙදිවලින් සකසාගත් සිවුරු මේ නමින් හඳුන්වයි.
භික්ෂුවක් වස් සමාදන් වී මහා පවාරණය කළ පසු තුන් සිවුරට අමතරව භාර ගැනීමට අනුමැතිය ලැබී ඇති සිවුරයි. මෙය පිළිබඳව ඊළඟ පරිච්ඡේදයෙහි කරුණු දැක්වෙන හෙයින් මෙහි සංක්ෂිප්තව තොරතුරු දක්වමු.
මහා වග්ගපාළියට අනුව බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් පාංසුකූලික වස්ත්‍ර සිවුරු වශයෙන් පරිභෝග කළ බව පෙනේ.
“භගවා භන්තේ,පංසුකූලිකො, භික්ඛු, සංඝොච”
මේ අනුව සිවුර පිළිබඳව කිසිදු හැඟීමක් නූපදවා හුදෙක්ම සිවුර පරිහරණයෙහි මූලික අරමුණ ගැන පමණක් අවධානය යොමු කරමින් පාංසුකූලික වස්ත්‍ර පරිහරණයට යොමු වූ බව පෙනේ. ලජ්ජා භය සහිත වූයෙන් විලිබිය වසාගනු සඳහා ද උෂ්ණයෙන් වන පීඩාවන් දුරුකිරීම සඳහාද සීතලෙන් වන පීඩා දුරු කිරීම සඳහා ද මැසි මදුරු ආදි සතුන්ගෙන් වන කරදර නසනු සඳහාද සිවුරු පරිභෝග කළහ. එමගින් කිසිසේත්ම ලෞකික අරමුණක් ප්‍රකට වූයේ නැත. එහෙත් කලියෙන්ම බුදුරජාණන් වහන්සේ ගහපති චීවරය අනුමත කළහ. දිනක් ජීවක කෝමාරභච්ච තෙමේ බුදුන් වහන්සේ වෙත පැමිණ වරයක් ඉල්ලුවේය. තමාගේ රෝගීන් සුවපත් කිරීමේ කුශලතාවය ඇගයීම සඳහා චන්ඩ පජ්ජෝත රජු විසින් සීවේ‍ය්ය වස්ත්‍ර යුගලයක් දෙන ලදී. එය බොහෝ වස්ත්‍රයන්ට ලක්ෂ ගණන් වස්ත්‍ර යුගලයන්ට වඩා අතිශයින් ශ්‍රේෂ්ඨ ද උතුම් ද වේ. එම වස්ත්‍ර යුගලය පිළිගන්න අනුමැතිය ලබා දෙන ලෙස ජීවක කෝමාරභච්ච විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. එම කාරණය ගැන අවධානය යොමු කළ උන්වහන්සේ එය අනුමත කළහ.
“අනුජානාමි භික්ඛවේ, ගහපති චීවරං යො ඉච්ඡති පංසුකූලිකො
හොතු, යො ඉච්ඡති ගහපති චීවරං සාදියතු. යනුවෙන් බුදුන් වහන්සේ ගහපති චීවරය අනුමත කළහ. යමෙක් කැමැති නම් පංසූකූලික වේවා යමෙක් කැමති නම් ගහපති චීවරය ඉවසාවා, මහණෙනි, කුදු මහණ අගය ඇති යම් කිසිවකින් ලද දෙයම සතුටු වීම වර්ණනා කරම් යැයි තවදුරටත් පැහැදිලි කළහ. මෙයත් සමඟම භික්ෂූන් වහන්සේලාට ගහපති චීවර බහුලව ලැබුණේය. එයට අමතරව පොරෝණා සළු, පටපණු නූලෙන් කළ පොරෝණ, සළු හා කොඳු පලස් ආදියද ලැබුණේය.මෙසේ භික්ෂූන් වහන්සේලා තම රුචිකත්වය අනුව ගහපතී චීවර හෝ පංසුකූලික වස්ත්‍ර හෝ දැරීමට නිදහස ලැබුණේය. මෙම ප්‍රඥප්තින් සමඟ භික්ෂූන් වහන්සේට අගය ඇති නැති සිවුුරු ලැබුණේය. එසේම කවරක් සිවුරු භාග්‍යවතුන් වහන්සේ විසින් අනු දක්නා ලද කවර සිවුරු භාග්‍යවතුන් වහන්සේ විසින් නොඅනු දක්නා ලදැයි ගැටලුවක් ඇති විය. එම කරුණු බුදුරදුන් වහන්සේට දන්වන ලද අතර එහිදී සිවුරු වස්ත්‍ර හයක් අනුමාන කළහ.
”අනුජානාමි භික්ඛවෙ. ඛ්චීවරානි, ඛොමං තප්පාසිතං කොසෙය්‍යං කමබලං සාණං භංගං ති”
මෙම ශික්ෂාපදයට අනුව සිවුරු වස්ත්‍ර හය මෙසේය.
1.ඛොමං –කොමු පිළි
2.කප්පාසිකං – කපු පිළි
3.කොසෙය්‍යං –පට පිළි
4.කමබලං – කම්බිලි
5.සාණං – හණවැහැරී පිළි
6. භංගං –මේ පස් නූලෙන් මුසු පිළි
මෙම වස්ත්‍ර වලින් කළ සිවුරු ද ගහපති සිවුරුද, පංසුකූල සිවුරුද වශයෙන් සිවුර වර්ග කිහිපයක් උපන්නේය. එහිදී උද්ගත වූ ගැටලුව වූයේ කවර සිවුරක් දැරීම උචිත ද නොඑසේ නම් යමෙක් සිවුර වර්ග දෙකක් පරිභෝග කිරීම ගැළපේද යන්නයි. ඒ අනුව බුදුන් වහන්සේ වදාළේ යමෙක් ගෘහපති චීවරය ඉවසන්නාහු විසින් පංසුකූල සිවුරු ඉවසන්නටද සුදුසු බවත් ඒ දෙකින්ම සතුටු වීම අනුමත කරන බවත්ය.
සිවුරේ සැකැසීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ අවධානය යොමුවිය. ඒ අනුව දිනක් භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සිට දක්ෂිණාගිරිය දක්වා චාරිකාවෙහි වැඩියහ. ඒ අතරතුර මගධ ක්ෂේත්‍රය දුටහ. එහි ස්වභාවය සිවුරෙහි සැකැස්මට ඉතාම යෝග්‍ය වූයෙන් මෙබඳු ලක්ෂණයන්ගෙන් යුක්ත වූ හෙයිනි.
”අද්දසා ඛො භගවා මගධකේඛනහං අචවිබද්ධං පාලිබද්ධං මරියාදබද්ධං සිංඝාටකබද්ධං”
ඒ අනුව මගධ ක්ෂේත්‍රය ඝනරැස් ලියදි බැන්දා වු දිගින් හා පළලින් මහමියර බැන්දා වූ අතරතුර කුඩා මියර බැන්දා වු සතර හන්දි බැන්දා වූ එකක් විය.එය ආනන්ද තෙරුන්ට පෙන්නුවේය. ඒ අනුව සිවුරු කපා මැසීමට මෙසේ උපදෙස් දුන්හ.
“උස්සහසි ත්වං ආනන්ද, භික්ඛුනං එවරූපානි චීවරානි සංවිදහිතුනනි” උසස්හාමි භගවානි “
එසේම සිවුරක තිබිය යුතු විවිධ කොටස් ද තවදුරටත් මෙසේ පැහැදිලි කර ඇත.
”කුසිමපි නාම කරිස්සති, අඩඨකුසිටම්පි නාම කරිස්සති,මණ්ඩලමවි නාම කරිස්සති, අඩඨමණ්ඩලම්පි නාම කරිස්සති, විවට්ටමපි නාම කරිස්සති, අනුවිවට්ටම්පි නාම කරිස්සති, ගී වෙය්‍යකම්පි නාම කරිස්සති, ජඬෙඝය්‍යමකම්පි කරිස්සති, බාහන්තම්පි නාම කරිස්සති”
1 .දීගනුවාව -දිග් අතට ඇති සිවුරෙහි වාටිය
2. කෙටිනුවාව – පහළට ඇති සිවුරෙහි වාටිය
3. ලොකුකඩ – සිවුරෙහි ඇති විශාල කොටු
4. කුඩා කඩ – සිවුරෙහි ඇති කුඩා කොටු
5. වස් අන්ත – සිවුරෙහි මැද කොටස
6. ඇළ අතු –වසා අන්තේ දෙපස ඇති කොටස්
7. ගී වෙය්‍ය – ගෙළ පටි හෙවත් බෙල්ල ආසන්නව සිටින කොටස
8. ජඩෙගය්‍ය – පාදයේ කෙණ්ඩා මත ගෑවෙන කොටසෙහි පිහිටි පටිය
9. බාහන්න – නූවා අතු හෙවත් බාහුව මත සිටින කොටස
මෙසේ සිවුර සැකසීමේ අරමුණ කිහිපයක් දැක්විය හැකිය
1. ඡන්නකං – කැබලි වලට කැපීම
2. සත්ථලුඛං – ආයුධයෙන් කැපු හෙයින් රළු වීම
3. සමණසාරුප්පං – පැවිද්දන්ට සුදුසු වීම
4. පච්චත්ථික්‍යාංච අනභිජක්ධිතං පසමිතුරන් විසින් නොපැතීම
මෙම කරුණු සතරින් ගම්‍යමාන වන්නේ සිවුරේ විවිධ කොටස් ඇතිව සකස් කරන ලද්දේ එහි ආරක්ෂාව සඳහා බවයි. කැබලිවලට වෙන් කිරීමෙන් එහි අගය හීන වේ. එමගින් සිවුර පරිහරණය කරන්නාට එහි ඇලීමක් ඇති නොවන අතර අන් අයකුට එයින් ප්‍රයෝජනයක් ගත නොහැකි වේ. සුවපහසු වස්ත්‍රයක් හැදීමෙන් භික්ෂූ ජීවිතයේ අරමුණට බාධා පැමිණේ. ආයුධයකින් කැපවීමෙන් වස්ත්‍රයෙහි සුව පහසුව නැති වීමෙන් එහි හුදෙක්ම රළු බව ඇතිවේ. මේ නිසා වස්ත්‍ර පරිභෝග කරන්නාට ඒ පිළිබඳව ආශාවක් ඇති නොවේ. එහෙයින්ම එම වස්ත්‍රය සියලු දුක් නැති කිරීමෙන් නිවන සාක්ෂාත් කරන භික්ෂුවට ඉතාමත් යෝග්‍යය. මෙය දැරිමෙන් එම ගමන තවදුරටත් වහා අවසන් කළ හැකිය.
භික්ෂූන් වහන්සේලාට බහුල වශයෙන් සිවුරු ලැබෙන්නට විය. මිනිස්සු සිවුරු ගෙන ආරාමවලට පැමිණියහ. එම සිවුරු පිළිගන්නෙකු නොවුයෙන් යළිත් සිවුරු රැගෙන නිවෙස්වලට ගියහ. ඒ නිසා සිවුරු පරිභෝගයන් සමඟ විවිධ තනතුරු ඇති විය. එය හුදෙක්ම සිවුරු පරිභෝගයේ ආරක්ෂාව සඳහා විය. එම විවිධ තනතුරු ස්ථාන හා ඒවායෙහි ස්වභාවය මෙසේ දැක්විය හැකිය.
1. චීවර පටිග්ගාහක
යම් භික්ෂුවක් ඡන්දයෙන් අගතියට නොයන්නේ ද ද්වේශයෙන් අගතියට නොයන්නේද මෝහයෙන් අගතියට නොයන්නේ ද බියෙන් අගතියට නොයන්නේද ගත් නොගත් දෙය දන්නේද එබඳු කරුණු පහකින් යුක්ත භික්ෂුව චීවර පටිග්ගාහක හෙවත් සිවුරු පිළිගන්නකු බවට පැමිණීම අනුකූලය.
2. චීවර නිදහකට
චීවර පටිග්ගාහක භික්ෂුව සිවුරු පිළිගෙන සිවුරු එහිම හැර දාම ගියේය. ඒවා තැන්පත් කිරීමක් නොවුයෙන් සිවුරු තැන්පත් කරන්නෙකු අනුමත කළ අතර ඔහුද කරුණු පහකින් යුක්ත විය යුතුය. ඔහුද ඡන්දයෙන් අගතියට නොයන්නේද ද්වේශයෙන් අගතියට නොයන්නේද, බියෙන් අගතියට නොයන්නේද මෝහයෙන් අගතියට නොයන්නේද තැන්පත් කළ නොකළ දෙය දන්නේද එබඳු වූ භික්ෂුව සිවුරු තැන්පත් කරන තනතුරට සුදුසුය.
3. භාණ්ඩාගාරයක් සම්මත කිරීම
සිවුරු තැන්පත් කරන භික්ෂුවට ඒ සඳහා යෝග්‍ය ස්ථානයක් නොවීය. ඒ නිසා භාරගත් සිවුරු මණ්ඩපවල , රුක් මුල්වල, අගුවල තැන්පත් කළ අතර ඒ නිසා එම සිවුරු වේයන්, මීයන් කෑහ. ඒ නිසා බුදුන් වහන්සේ වෙහෙරක්, අඩ පියසි ගෙයක් හෝ සිවුු ගෙයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ භාණ්ඩාගාරයක් වශයෙන් අනුමත කළහ.
4. භාණ්ඩාගාරික තනතුර
භාණ්ඩාගාරියෙහි සිවුරු ආරක්ෂිත නොවුයෙන් ඡන්ද දෝස භයාදි සතර අගතියට නොපැමිණි රකින නොරකින ලද දේ දන්නා වු භික්ෂුව භාණ්ඩාගාරික තනතුරට පත්විය. සමහර භික්ෂූහු භාණ්ඩාගාරිකයා පහ කළේය.යමෙක් ඔහු පහකරන්නේ ද එම භික්ෂුවට දුකුලා ඇවැත් වේ. මින් පසු ලැබූ සිවුරු බෙදාගන්නටද භාග්‍යවතුන් වහන්සේ අවකාශ ලබා දුන්හ.
5. චීවර භාජක තනතුර
එසේ භාණ්ඩාගාරයට ලැබුණූ සිවුරු බෙදීම සඳහා සතර අගතියට නොපැමිණි බෙදු නොබෙදු දෙය දන්නා වූ භික්ෂුව ඒ සිවුරු බෙදන්නකු හෙවත් චීවර භාජක තනතුරට සුදුසු බව දැක්වූහ. එකළ භික්ෂූන් වහන්සේලා තමාට ලැබුණු වස්ත්‍ර ගොම හා පඬු වර්ණ මැටියෙන් පඬු පෙවීමෙන් වහා දුර්වර්ණ වූයෙන් සිවුර සඳහා වර්ණයක් නියම කරන්නට සිදු විය. කැබලි එකතු කර සකස් කර ගත් සිවුර එකම පැහැයක් ගැන්වීම සඳහා එකම වර්ණයක් ගැන්වීම සඳහා පඬු පොවනු ලැබේ .සිවුර පඬු පෙවීම සඳහා පඬු වර්ග හයක් භාග්‍යවතුන් වහන්සේ අනුමත කර ඇත්තාහ.
“අනුජානාමි භික්ඛවෙ. ඛ් රජනානි, මූල රජනජ ඛන්ධරජනං
නචරජනං පන්තරජනං,පුපථරජනජ, ඵලරජනං”
එනම්, 1.මුල් පඬු, 2. දඬු පඬු 3.පොතු පඬු 4. කොළ පඬු 54. මල් පඬු 6. ගෙඩි පඬු
එහෙත් ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා විවිධ වර්ණයෙන් යුතු සිවුරු පරිභෝග කළ හෙයින් පඬු පෙවීම සඳහා නොගත යුතු වර්ණ ද දැක්වේ.
1.නිල්, 2.දම් 3.කොළ 4. රෝස 5. කළු 6. තද රතු 7. තද කහ
මෙම වර්ණයන් සිවුරු පඬු පෙවීමට භාවිතා නොකරයි.සිවුරේ පැහැය විය යුත්තේ පඬු පැහැයයි. එය වීරාගි බවෙහි සංකේතයයි. සිවුර පඬු පෙවීමත් උපකරණ භික්ෂූන් වහන්සේලාගේ පරිහානියට යෝග්‍ය බව අනුමත කළහ.
1.පඬු පිසින උදුනක් 2. පඬු සැළියක් 3. පඬු කිණිස්සක් 4.පඬු හැන්දක් 5.පඬු කළයක් 6.පඬු ඔරුවක්
ආදිය වරින් වර අනුමත කළහ. මේ නිසා භික්ෂූන් වහන්සේලා පඬු පෙවු මගධ ක්ෂේත්‍රය මෙන් සැකසූ සිවුරු පරිභෝග කළහ.
මෙම පසුබිම යටතේ සිවුරු බහුලව පරිභෝග ද භික්ෂූන් තුළ අල්පේච්ඡ බව නැති වී ගොස් බහුභාණ්ඩ තත්වයට පැමිණියේය. ඒ නිසා සමහර භික්ෂූහු සිවුරු පොදි ඔසවාගත් හිසෙහිද සිවුරු විසි කොට කරෙහිද සිවුරු විසිකොට උකුළෙහි ද තබා ඒ ගමන් කරන භික්ෂූන් විශාලාවෙහි සිටින බව බුදුන් වහන්සේ දුටහ. ඒ නිසා සිවුරු පරිභෝජනයෙහි සීමා තබන්නට සිත් විය. එහෙයින් තුන් සිවුරක් මෙස් අනුමත කළහ.
“අනුජානාමි භික්ඛවෙ නිචීවරං දිග – ණං සංඝාමිං
එකචචියං උත්තරාසංගං, එකවචියං අන්තරාවාසකං”
මහණෙනි, මම දෙපටක් ඇති සඟල සිවුරුද එක් පටක් ඇති උතුරු සඟළ සිවුරුද, එක් පටක් ඇති අඳනා සිවුරුද අනුදනිමි” යනුවෙන් වදාළහ. මෙය වරදවා වටහාගත් භික්ෂූන් වහන්සේලා එක් තුන් සිවුරකින්ම ආරාමවෙහිද නවතුන් සිවුරකින් ගමෙහිද,අනෙක් තුන් සිවුරකින් නෑමෙහිද යෙදීමෙන් ඔවුන්ගේ අල්පේච්ඡ බව ඉක්මවා ගොස් සංකීර්ණත්වය පැමිණියේය. එහෙයින් අතිරේක සිවුරු දැරීම අනුමත නොකළහ.
එසේම අවස්ථානුකූලව විවිධ වස්ත්‍රයෙන් කළ සිවුරු මෙසේ අනුමත කළහ.
1.අලුත් වස්ත්‍රයෙන් හා වරක් සේදු වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති සඟල සිවුර
2.එක් පටක් ඇති උතුර සඟල සිවුර
3. එක් පටක් ඇති අඳනා සිවුර
4.පැරණි වස්ත්‍රයෙන් කළ සිවුපටක් ඇති සඟල සිවුර
5.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති උතුර සඟළ සිවුර
6.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති අඳනා සිවුර
7.පාංසුකූලයෙහි කැමති පමණ පට ඇති සිවුර
8.කඩපිලෙන් අවුළා ගත් වස්ත්‍රයෙන් කළ සිවුර එසේම සිවුරෙහි අණ්ඩලීම ක්‍රම කිහිපයක් වශයෙන් දැක්වීය.
1.අග්ගළං – අණ්ඩලිම
2.තුන්නං – නූලෙන් එල්ලීම
3.ඔවට්ටිකං – වැට් කොට මැසීම
4.කණ්ඩුසතං – හෙවත් කෑලිපිට කෑලි ඇල්ලීම
5.දැළහී කම්මං – දැඩි කිරීම
මෙසේ සිවුරු පරිහරණ කළ අතර එහෙත් ජබ්බග්ගිය භික්ෂූහු විවිධ වර්ණ වලින් යුතු සිවුරුවලට අමතරව විනය නීති ඉක්මවා ගිය වස්ත්‍ර ද දැරූහ. එනම්
1. නොසිඳු දාවලු ඇති සිවුරු දැරීම
2. දික් දාවලු ඇති සිවුරු දැරීම
3. මල්කම්කළ දාවලු ඇති සිවුරු දැරීම
4. පෙණසේ ගෙතු දාවලු ඇති සිවුරු දැරීම
5. සැට්ට දැරීම
6. හිස් වෙළුම් දැරීම
මෙහිදි බුදුරජාණන් වහන්සේ පැනවීම වූයේ ඒ සියල්ල දැරීම දුකුලා ඇවැත් වන බවයි.
”න භික්ඛවෙ සබ්බනීලකානි චීවරානි ධාරෙනනබ්බානි . න
සබ්බපීනකානි චීවරානි ධාරෙනබ්බානි. න සබ්බලොහිතකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බ කණහානි චීවරානි ධාරෙත ‘බානි. න සබ්බ මහාරධගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බපානි, න සබ්බමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බානි, න අච්ඡින්නදසානි චීවරානි ධාරෙ තබ්බානි, න දීසදසානි චීවරානි ධාරෙනබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න ඵණදසානි චීවරානි ධාරෙතබ්බානි, න කකුචුකං ධාරෙතබ්බං ,නිරීටකං ධාරෙතබ්බානි, න වෙඨනං ධාරෙතබ්බං,යො ධාරෙය්‍ය ආපන්හි දුක්කටස්ස”
මේ ශික්ෂාපදයට අනුව පහත දැක්වෙන සිවුරු නො දැරිය යුතුයි. එනම්
1.සියල්ල නිල්පැහැති සිවුරු නො දැරිය යුතුයි
2.සියල්ල රන්වන් වූ සිවුරු නො දැරිය යුතුයි
3.සියල්ල රතු පැහැති සිවුරු නො දැරිය යුතුයි
4. සියල්ල මදටිය පැහැති සිවුර නො දැරිය යුතුයි
5. සියල්ල කළු පැහැති සිවුරු නො දැරිය යුතුයි
6. සියල්ල රන්මෑපිට පැහැති සිවුරු නොදැරිය යුතුයි
7. සියල්ල මුසුපැහැති සිවුරු නො දැරිය යුතුයි
8. නොසිඳී දාවලු ඇතිසිවුරු නො දැරිය යුතුයි
9. දික් දාවලු ඇති සිවුරු නො දැරිය යුතුයි
10. මල් දාවලු ඇති සිවුර නො දැරිය යුතුයි
11ත. පෙණ දාවලු ඇති සිවුර නො දැරිය යුතුයි
12.අඟිය නො දැරිය යුතියි
13. සැට්ය නො දැරිය යුතුයි
14. හිස් වෙළුම් නො දැරිය යුතුයි
යමේ මෙම නො දැරිය යුතු සිවුරු දරන්නේ නම් දුකුලා ඇවැත් සිදුවේ.
සිවුරු පරිහරණ වැදගත් අංගයක් වශයෙන් වැසි සළුව දැක්විය හැකිය. මුල් යුගයේ භික්ෂූන් අතර වැසි සළුව භාවිතා නොවු අතර විශාඛා උපාසිකාවගේ ඉල්ලීම පරිදි අනුමත කළහ. විශාඛාවගේ ඇරයුම මත දානයට වඩින්නට භික්ෂූන් සූදානම් වීමට බොහෝ වේලාවක් ගතවිය. එයට හේතුව වූයේ ජේතවනයට වසින්නා වූ වැස්සෙන් භික්ෂූන්ගේ කය තෙමීමයි. ඉන්පසු භික්ෂූන් වහන්සේලා පසුදින බැහැර කළ සිවුරු ඇතිව කය තෙමූහ. අවසන සිරුරු සිහිල්කොට සුවපත් වු සිරුර ඇති භික්ෂූන් වහන්සේලා තම තමන්ගේ විහාරවලට වැඩියහ. මෙම කාරණය දුටු විශාඛා උපාසිකාව දන් වළදා අවසන් වු බුදුරජාණන් වහන්සේගෙන් වර අට්ක ඉල්ලීය. එයින් එක් වරයක් වූයේ වැසි සළුව පරිහරණ අනුමැතිය ලැබීමයි.
මෙසේ සිවුරු භාවිත සිවුරු ප්‍රයෝජනයට ගත නොහැකි කල්හි ඒවා විවිධ අරමුණූ විෂයෙහි යෙදෙව්වේය
1. දිරාගිය සිවුරුවලින් ඇතිරිලි තනා ගැනීම
2. දිරාගිය ඇතිලිරි වලින් බිසිඋර තනා ගැනීම
3. දිරාගිය බිසිඋරවලින් බිමට අතුරන බුමුතුරුණු තනා ගැනීම.
4. දිරාගිය බුමුතුරුණුවලින් පාපිස්නා බිසි තනා ගැනීම
5. දිරාගිය පාපිස්නාවලින් දුවිලි පිසදමයි
6.පොළොව පිස දැමූ රෙදි කැබලි මැටි හා මිශ්‍රකර බිත්තිවල ආලේප කරයි. එය භික්ෂූ ජීවිතේ මූලික අරමුණ ආරක්ෂා වන පරිදි අනන්‍යතාවය සුරැකෙන පරිදි විවිධ වෙනස්කම්වලට යොමු විය. නමුත් එය පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස්ව පැවත එම විශේෂ ලක්ෂණයකි.
යහපතක් ම වේවා.
නිවන් මඟ පිණිසම වේවා.

 

(සටහන - අමිල රුවන්)

A day in the life

Thursday, July 18, 2024

මෝට තගේ ලැගපිය ගොස් ගෙදර බොලේ .










 

ගාලු කෝරළේ නැකැතියෙක් "බුරියා"නමින් හැඳින්වුන රදා ස්ත්‍රියකට කියූ කවියක්.

සිරියා වත සදිසි සිරිකත විලසාය
පිරියා ගත අයුරු රන්ටැඹ විලසාය
කිරියා වෙක මදන වද දෙන විලසාය
බුරියා කිය පහස මට දෙන විලසාය

ඊට බුරියා මෙසේ පිළිතුරු දුන්නා ලු.!

කිරියා වට ඇතොත් ලිය නම් පර සිද්ද
සිරියා වට නැකැත් ගහයන් ගෙන සිද්ද
දිරියා ලඳ ගසන කල තෙමමින් රෙද්ද
නරියා ලෙස ගියොත්,අදහස වේ සිද්ද

මාතර යුගේ රති කවි අතර සරනවිට

නිතර හමුවන නමක් "පුයිඅප්පු".
මහළු වියට පත් පුයි අප්පු දිනක්
පන් උදුරන කාන්තාවො සමූහයක් දැකලා
මෙහෙම කවියක් කියනවා.


පාට හොඳයි රතුවට සැමතැනම පෙනේ
ඊට වැඩියි දොඩනා රස වදන් අනේ
කාට උනත් නොතොරා ගැනීමමයි ගුනේ
මීට වඩා ඔබිනා ලිය නැතැයි දැනේ

මෙ,කව කියාහමාර වනවාත් සමඟම
එක් කාන්තාවක් මෙහෙම පිළිතුරු දුන්නා ලු.


පාට පෙනෙයි රකුසෙකු ලෙස සොහොන් පලේ
ඊට වැඩියි රළු ගති කී කවියෙ බොලේ
මූට ලියෙක් කිසි කල නොම කෙරේ ලොලේ
මෝට තගේ ලැගපිය ගොස් ගෙදර බොලේ

 

කමල් පී අලහකෝන් මෙටාවට වියමන් කල මේ පැදි  මීදුම පලකරන්නේ ස්තුතිය පෙරදැරිව. කමල් පල ලෙසින්ම -----

 

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon