Sunday, March 17, 2024

මැණික් ගඟටත් ඉවුරේ චූ යයි



බන්දූජීව..❤️
මේ පිළිබඳ ලියන්නට මා පෙළඹ වූයේ, කොට්ටහච්චි සහෝදරිය විසින් මාලිමාවේ "ගැහැණු එක මිටට " රැලිවලදී කරන සාරධර්ම කතා වල දී මෙම රුවන් බන්දුජීව කවියාගේ මීළඟ මීවිත කාව්ය සංග්රහයේ එන "මැණික් ගඟටත් ඉවුර චූ යයි " යන පද්ය පන්තියේ යම් කොටසක් උපුටා දැක්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතු කොට ගෙන බව ප්රථමයෙන් ම සටහන් කරන්නට කැමැත්තෙමි ..
ඒ කව මෙසේ ය..


මැණික් ගඟටත් ඉවුරේ චූ යයි
==========================
දේශපාලකයෙක් කාන්තාවන් සියයක් අපචාරයට පත් කිරීම සමරනු පිණිස ප්රිය සාදයක් පවත්වයි - පුවතක් .....
පියයුරු දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරේ චූ යයි
සියක් මණිමේඛලා - තනපටි - පබළු පොටවල් තෝඩු ගලවා
පතිනි දේවිය ඇතුළෙ ඉද්දිම අඹය පෙත්තෙන් පෙත්ත කැපුවා
ප්රීති ඝෝෂා විසිල් සද්දෙට මනම්පේරිත් ඇවිත් බැලුවා
කන්ද වැඩිහිටි වැහිල යන්න ම මොනර බිත්තර සාරු ගැලුවා ....
පුපුරු ගසනා ඇස් දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරේ චූ යයි ....




මා දන්නා නොදන්නා බොහෝ දෙනා දුරකථන පණිවුඩ මගින් ද, සමාජ මාධ්ය ඔස්සේ ද මේ පිළිබඳව මගෙන් විමසීම නිසා මම මඳක් චකිතයටත් පුදුමයටත් එක් අතකින් ලොකු කලකිරීමකටත් පත්වීමි. එනම් මේ රටේ බොහෝ දෙනා
* කියවීම අතහැර ඇති බවත්, අතරින් පතර කියවීම සිදු කළත්, කවි පොත් සහ කවි කියවීම මගහැර ඇති බවත් ,
* කියැවූවත්, නිසි සාක්ෂරතාවක් හෝ සවිඥානික බවක් නොමැති වීමත් ,
* අපේ රටේ අධ්යාපන ක්රමවේදය තුළ දක්නට ලැබෙන නරුම මුග්ධ ස්වභාවයත් ,
* අනිසි උපකාරක පන්ති හරහා නූගත්, ප්රමාණවත් විෂයානුබද්ධ දැනුමක් නැති පිරිසක් විසින් ගුරුවරුන් ලෙස පෙනී සිටිමින්, දහස් ගණන් ශිෂ්ය ශිෂ්යාවන් නො මග යැවීමත්,
* ඒවාට උඩගෙඩි දෙමින් ජඩ මාධ්ය හරහා ඔවුන්ට තොරණ බැඳීමත්,
හේතු කොටගෙන
කොට්ඨහච්චි සහෝදරිය මතු කරන යථාර්ථය හා ඇයගේ අරමුණ බොහෝ දෙනාට නො වැටහී, ඒ පදවල වචනාර්ථය පමණක් මතුපිටින් ගෙන උභතෝකෝටිකයක සිරවී ඇති බව පෙනේ.
ඒ පිරිස ද , ඒවා වටහාගත නොහැකි අය ද, එන්.පී.පී.යට මඩ අවලාද නඟන අය ද එන්න එන්නම වැඩිවෙමින් පවතී. එයට අංශු මාත්රයකවත් ඉඩක් නො දී, කොට්ඨහච්චි සහෝදරිය අසහාය පෞරුෂයකින් වඩ වඩාත් සන්නද්ධ වී ඇති බව ද කිව යුතු ය.
ජය වේවා කොට්ටහච්චි සහෝදරිය .
මම එම කාව්ය නිර්මාණය පිළිබඳව යමක් ප්රකාශ කරන්නේ, එ් යට කී පිරිස දැනුවත් කිරීම සඳහා ම ය. එබැවින් මේ ප්රකාශය ඒ අයට ඉදිරිපත් කරන තවත් ප්රහේලිකාවක් නො කොට අතිශය සරල බසින් සටහන් කරන්නට අවශ්ය වි ය.
=====================================
කවිය කුමක්ද යන්න පැහැදිලි කිරීම සත්ය කුමක්ද යන්න පැහැදිලි කිරීම තරම් ම දුෂ්කර වූ කාර්යයකි. වර්තමානයේ එය තව තවත් සංකීර්ණ වී ඇත. කෙසේ වෙතත් කවිය වර්ගීකරණයට භාජනය කිරීමේ දී, ආකෘතිය අනුව වර්ග කිරීම ද සිදුවේ. ඒ අතර
*ගී ආකෘතිය
*සිව් පද ආකෘතිය
*සිලෝ ආකෘතිය හා
*නිසඳස් ආකෘතිය
ආදී වශයෙන් වර්ග වේ.
බන්දුජීවගේ මෙම පද්ය පංතිය අයත් වන්නේ නිසැඳෑස් කාව්ය ආකෘතියට ය. කවිය රචනා කරනු ලබන පුද්ගලයා කවියා ය. කාව්ය රචකයා ය. ඔහු මනා ප්රතිභාන ශක්තියෙන් යුක්ත උසස් සත් චේතනාවලින් යුතු මනසක් ඇති පුද්ගලයෙකි. එබඳු පුද්ගලයකු අතින් නිර්මාණය වන කවිය සහෘද සිත් හී චමත්කාරය දනවයි. එබඳු කාව්ය නිර්මාණය අපූර්ව හෙවත් අසහාය නිර්මාණයකි. "පෙර නොවූ විරූ " නිර්මාණ විශේෂයකි. එසේ ම එම කවිය වඩාත් සංකීර්ණ වූ ද, විදග්ධ වූ ද නිර්මාණ විශේෂයකි. රුවන් බන්දුජීවගේ " මැණික් ගඟටත් ඉවුරේ චූ යයි " පද්ය නිර්මාණය කියවීමෙන් උක්ත නිර්වචනය සඳහන් කරන්නට කාට හෝ සිතුනේ නම් ඒ නිවැරදි ය.
සමහර නූතන කවීන් මුද්රිත සහ විද්යුත් සන්නිවේදන මාධ්යවල ප්රකාශිත පුවත් කේන්ද්ර කොටගෙන පද්ය පබඳින්නට උත්සුක වන ආකාරය දැකීම විරල නො වේ. මෙය ද එයට නිදසුනකි. පුවත මෙසේ ය.
දේශපාලකයෙක් කාන්තාවන් සියයක් අපචාරයට පත් කිරීම සමරනු පිණිස ප්රිය සාදයක් පවත්වයි - පුවතක්.
මෙම පුවත කොතරම් නිහීන ද ..? එය පසුගාමී ජනතාවක් වාසය කරන, පරාදීන රටක පාලක පන්තියේ සත්ය ස්වභාවය විදහා පාන අප්රසන්න පුවතක් නො වේ ද....? එබඳු දේශපාලකයින් ද, එය ඉවසා දරාගෙන මුනිවත රකිමින් ජීවත් වන මිනිසුන් ද වහ වහා පිටු දැකිය යුතු නො වේ ද .?
බන්දුජීව කවියා ප්රශ්න කරන්නේ එය යි. එනම් බන්දුජීව කවියා ලද අනුභූතිය පොදු පාඨකානුභූතියක් බවට පත්කරවා, පොදු මහත් ජනතාව ඒ සඳහා පෙළගස්වන්නට බන්දුජීව කවියා උත්සුක වී ඇති ආකාරය යි. කොට්ටහච්චි සොයුරිය කාන්තා රැළියක/ සමුළුවක මතු කරන්නේ එය යි. එනම් මේ නිද්රා සහගත පිරිමි සමාජය කුණු වී ඕජස් ගලන කුණපයක් බව කියමින් එය පොඩි පට්ටම්
කරමින්, ස්ත්රියගේ සුරක්ෂිතතාවත්, ජීවත් වී මේ අයිතියත් සුරැකීමට අවශ්ය සමාජ, ආර්ථික, දේශපාලනික මෙන් ම සංස්කෘතික අරගලයකට, ක්රම වෙනසකට ගැහැණිය කැඳවාගෙන යාමට ඇය මේ කව නිමිත්තක් කර ගැනීම පිළිබඳව ඇයට කෘතඥ විය යුතු කාරනාවකි. විප්ලවීය ආචාර්ය පිරිනැමිය යුතු කාර්යයකි.
ඔහු කවිය ආරම්භ කරන්නේ මෙසේ ය.
" පියයුරු දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි "
යනුවෙනි ...
මේ අවලං,අවජාතක දේශපාලනඥයා කාන්තාවන් සියයක් අපචාරයට ලක් කොට එනම් ලිංගික සූරා කෑමට ලක් කොට, එය සැමරීමට සාදයක් පවත්වයි. ඔහු තනිව ම මේ සාදය පවත්වනවා නො වේ. මෙම සාදයට කන්න බොන්න ගී ගහන්නට, නර්තනයේ යෙදෙන්නට සිප වැළඳ ගන්නට බොහෝ පිරිස් පැමිණෙති. මා පෞද්ගලිකව ම දන්නා පරිදි මේ සඳහා දහසකට අධික පිරිසක් සහභාගි වී ඇත. එයට පොහොට්ටුවේ දේශපාලඥයින් ද බොහෝ දෙනා සහභාගි වී ඇත.
ඉතින් මේ රට/ දූපත කොතරම් අවජාතක, පසුගාමී මිනිසුන් ජීවත්වන දූපතක් ද ? ඒ සාදයට පැමිණෙන සියලු දෙනා ම එම සාදය පැවැත්වීමේ නිමිත්ත ඉතා හොඳින් දැන සිටියහ. ඉතින් බන්දුජීව
" පියයුරු දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි "
යනූවෙන් එහි ලිංගික සුරා කෑමට ලක් වූ අහිංසක කාන්තාවන් ගනන සියයක් බව ප්රකාශ කරන්නට භාවිත කළ කාව්යෝක්තියෙ අපූර්වතම ස්වරූපය යි.
කාන්තාවන් සියයකට පියයුරු දෙසීයක් ඇත. කාන්තාවන් සියයක් කෙළෙසුණු බව ප්රකාශ කළ අපූරුතම කවි කියමන එසේ ය.
රන්බණ්ඩා සෙනවිරත්නයන්ගේ " ලැම පමණක් ලොවට පෙනෙන - ලය නොපෙනෙන ලදුනේ " යන තැන ද,
සංස්කෘත දෘශ්ය කාව්ය අතර මුදුන් මල්කඩ සේ සැලකෙන අභිඥාන ශාකුන්තලයේ, ශාකුන්තලා විසින් අනුසූයා සහ ප්රියංවදාව අමතා
" අනේ අනසූයා, ප්රියංවදා ඔයාල මේ අන්දපු වල්කලා ඇඳුම හරිම හිරයි. ඒක ටිකක් බුරුල් කරන්න කෝ"
යැයි කී විට අනුසූයා කීවේ
" අපට දොස් කියන්න එපා ..ඔය තරුණ මදය කුලප්පු කරන පයෝදරවලට දොස් කියන්න.. අපි ඇන්දුවේ තියෙන තණ පටයම තමයි "
කියා ය.
කාන්තා පියයුරු පිළිබඳ පෙර 'පෙර දෙදිග ම කවීන්ගේ හැඟීම එබඳු ය. එබැවින් බන්දුජීව කරන මේ ප්රකාශය අර්ථ පූර්ණ ය. බන්දුජීව එතැනින් නො නැවතී,
" සාදය නන්දනීයයි "
යැයි ප්රකාශ කිරීමෙන් ඉහතින් ඔහු ම සඳහන් කරන පුවත අපූරු කාව්යයක් බවට පත්වී, සහෘද පාඨකයා තුළ දැඩි අප්රසන්නතාවක් කලකිරීමක් මෙන් ම, එබඳු නිර්වින්දන සමාජයක් පිළිබඳව පිළිකුලක් ද ඇති කරවයි .
" මැණික් ගඟටත් ඉවුරේ චූ යයි "
මේ පද්ය පන්තියේ නාම ශීර්ෂය යි. එය සුවිශේෂ අනුප්රාසයක් ඇති කරවන්නකි. මැණික් ගඟ බොහෝ බැතිමතුන්ගේ පූජනීය ගංගාවකි. කතරගම වැඳ පුදා ගන්නට යන බැතිමතුන් නා පිරිසිදු වන්නේ, ඒ අසූචි හා දුඟඳ පිරුණු මැණික් ගඟේ ජලයෙනි..එය මෝඩ ඉන්දියානුවන්ට ගංගා නම් ගඟේ ජලය හා සමාන ය.
මැණික් ගඟ මේ සහ ගහන අපරාධය බලා සිටින සිත්පිත් නැති පුද්ගලයෙකු බවට පත්කරන බන්දුජීව කවියා ඒ පුද්ගලයාට ද මේ අපරාධ දෙස බලා සිටිද්දී, ඉබේ මුද්රා පහ වන බව ප්රකාශ කිරීමෙන් එම උත්ප්රාස රසය තව තවත් තිව්ර කරවයි.
මේ අවස්ථාවේ කුමාර හෙට්ටිආරච්චි කවියාගේ කවක් සිහිපත් වේ. එනම් එක්තරා දැරියක් දූෂණය කොට, ඝාතනයට ලක් කිරීමෙන් අනතුරුව වැල්ලවත්ත ඇලට දමා තිබියදී සොයා ගත් පුවත කේන්ද්ර කොටගෙන ඔහු කවියක් පබඳින අතර,
අවසානයේ ඔහු සහෘද පාඨක පිරිසට එක් රොක් වී ඇළට චූ කිරීමට ආරාධනා කරමින් ඒ හිත් පාර වන කව අවසන් කරනු ලබයි. මෙය ද තවත් එබඳු අවස්ථාවකි. මෙ වැනි සහගහන අපරාධ දැක මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි. කියමින් ඉදිරිපත් කරන විරෝධය හා උපහාසාත්මක බව නිම්නාද වී දෝංකාරය නඟයි.
ඉන් අනතුරුව බන්දුජීව කවියා මෙම පුවතට සමගාමීව තවත් තොරතුරු රැසක් වාර්තා කරනු වෙනුවට ඉතා සරල, සුගම කාව්ය බසක් උපයුක්ත කොට ගෙන පාඨකයා ඉදිරියේ එම සිද්ධි නාට්යෝචිතව අපූර්ව ලෙස නිරූපණය කරයි..
එනම්,
" සියක් මණිමේඛලා තණපටි, පබලු පොටවල්, තෝඩු ගලවා "
යනුවෙන් මවන රූප පෙළ මනහර චිත්ත රූප පද්ධතියක් බවට පත් කරනුයේ වචන හරඹයකට වඩා වාග් චිත්ර පෙලක් නිරූපණය කරමිනි.
මණිමේඛලාව යනු රාජ රාජ මහේෂිකාවන්, කුලකාන්තාවන් තම තමන්ගේ හෙළු ඇඟේ පළඳින පළඳනාවකි. එය ඒ ඒ කුලකාන්තාවන්ගේ ආර්ථික වත් පොහොසත්කම් හා තරාතිරම මත, රත්තරන් වල මැණික් ඔබ්බවා කළ අපූරු අලංකාර පළඳනාවකි.
කවියා , " මණිමේඛලාව ගලවා, තනපටි උනාදමා, පබළු පොටවල් සහ තෝඩු ගලවා දමා." ...මේ අපරාධය කළ බව කියයි. එය කවියාගේ ඉසියුම් කවි ඇසක ප්රශංසනීය ප්රතිනිර්මාණයකි. අපූරු පද සංඝටනාවකි.
මණිමේඛලා පලඳින අය මහේශාක්ය ධනපති පැලැන්තියේ කාන්තාවන් ය. තනපටි වලින් මධ්යම පාන්තික හා සාමාන්ය පවුල්වල කාන්තාවන් ද, පබුළු පොටවල් වලින් හිරිමල් වයසේ ළපටි ගැහැණු ළමුන් ද සංකේතවත් කරමින්, මේ පුද්ගලයා අපචාරයට ලක් කළ කාන්තාවන් සියය තුළ ඒ සියලු ම පන්ති හා සමාජ ප්රස්තරවල කාන්තාවන්, වයස් භේදයකින් තොරව අහිංසක ළදැරියන්ද දුෂණය කල බව සනාථ වේ.
" පතිනි දේවිය ඇතුළෙ ඉද්දිම අඹය පෙත්තෙන් පෙත්ත කැපුවා "
යන පද්ය පාදයෙන් තවත් විශාල අරුතක් සංශිප්තව, සුන්දර කවි කියමනක් බවට පත් කළ ආකාරය පැහැදිලි වේ. පත්තිනි යනු පතිවත රැකි කාන්තාවකි. පතිවත රකින කුලක කාන්තාවන් පත්තිනියගෙන් සංකේතවත් වේ. නමුත් වර්තමාන කවි සමයේ පතිවත නො රකින කාන්තාවන්ට ද පත්තිනි අම්මා යන්න ව්යවාහාරය කෙරේ. එය ද
උත්ප්රාසය යි.
පත්තිනිගේ උත්පත්තිය ආකාර හතකි. එනම් ගින්නෙන් උපන් ගිනි පත්තිනි, මලෙන් උපන් මල් පත්තිනි, දලෙන් උපන් දල පත්තිනි, ජලයෙන් උපන් ජල පත්තිනි, අඹෙන් උපන් අඹ පත්තිනි ආදි වශයෙනි.
අඹෙන් උපන් අඹ පත්තිනි, උපදින්නටත් පෙර අඔය තුළදී ම විනාශ කළ ආකාරය ඉතාමත් සානුකම්පික ලෙස ප්රකාශ කළ ආකාරය ඉන් පැහැදිලි ය. අඹයෙන් උපන් අඹ පත්තිනි උපදින්නට පෙර අඹය පෙත්තෙන් පෙත්ත කැපුවා යනු, මේ ස්ත්රී දුෂකයා නූපන් ළැදැරියන් පවා දූෂණය කළ පාපතරයකු බවයි. එනම් බඩදරු කාන්තාවන් ද ඌට ගොදුරු වූ බවයි.
නමුත් මූ යන එන තැන්වල දී, මුගේ පාක්ෂිකයින්, නෑදෑ හිතවතුන් ආචාර වෙඩි මුර පවත්වා, විසිල් ගසා, ප්රීති ඝෝෂා කොට, මූව පිළිගන්නා ආකාරයට මනම්පේරිය ද අවධි වී එන බව ප්රකාශ කිරීමෙන් කවියා මෙතෙක් මැවූ උත්ප්රාසය කුටප්රාප්තියකට ගෙන එයි.
ප්රේමවතී මනම්පේරි යනු තවත් මෙබඳු ම බිල්ලකි. ඇය කතරගම රූප සුන්දරී ලෙස තේරී පත් වූ රුවැත්තියකි. ඇය ජනතා විමුක්ති පෙරමුණේ ක්රියාකාරිනියකැයි පවසා, ඇය අත්අඩංගුවට ගෙන, ඇයව දුෂණය කොට, දස වද දී, මරා දැමූ පුවත නො දන්නේ කවරහු ද.? මේ අපරාධකාරීන්ට සමාජයේ ඇති පිළිගැනීම දුටු විට ඒ මනම්පේරිත් ඇවිත් බැලුවා යැයි කීමෙන් කවියා ප්රකාශ කරන්නට යත්න දරණ
විරෝධය එ බන්දක් යැයි ප්රත්යක්ෂ වේ. අනතුරුව කරන ප්රකාශය ද ඉතාමත් ම අපූරු මෙන් ම සුවිශේෂ වේ. එනම්,
" කන්ද වැඩිහිටි වැහිලා යන්න ම මොනර බිත්තර සාරු ගැලුවා " යනු එය යි.
වැඩිහිටි කන්ද තවත් අපූරු තැනකි. එහි ළැදරියන් සිව් දෙනකු එකවර වරින් වර කෙලෙසා දැමූවා යැයි චෝදනා ලැබු චීවරධාරියෙකු සිටි තැනකි. ඌ නමින් රත්මලානේ සිද්ධාර්ථ ය. නම සිද්ධාර්ථ වූ නමුත් ඉෂ්ට කලේ අනිෂ්ඨාර්ථයකි. ඌ අවුරුදු 18 ට අඩු එකම පවුලේ ළැදැරියන් සිව් දෙනකු දුෂණය කළ බවට චෝදනා ලැබී ය. එහෙත් අධිකරණයයෙන් නිවැරදි කරු ලෙස නිදහස ලැබී ය. වැඩිහිටි කන්ද එබඳු වසලයෙක් සිටී තැනකි.
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි. යන ප්රකාශය අර්ථ පූර්ණ වන්නේ එවිට ය. මේ වසලයා ගැන එවකට ශිෂ්යයෙකු වූ වත්මනේ මහාචාර්යවරයකු වන කෙනෙක්
" සීලෙන් වැඩිය කඳබඩ ඊටත් වැඩිය
උගෙ අම්මට හොඳය මටනම් හිරි කිතය " යැයි ලීවේ මූට ය. එබැවින්
" කන්ද වැඩිහිටි වැහිල යන්න ම " යන තැන මේ සියල්ල පාඨකයාට සිහි කැඳවයි. එය මනරම් කාව්යාර්ථයකි.
" මොනර බිත්තර සාරු ගැලුවා " යන යෙදුම දයාසේන ගුණසිංහයෝ උකුස්සා කොළම කරන සමයේ බස් හරඹයකට සමාන ය. මේ අවජාතක ස්ත්රී දූෂකයාගේ නම එතන ඇත. මොනර බිත්තර නිල් පාට ය. ඒ නිකම්ම නිල් පාටක් නො වේ. හොඳ නිල්පාට ය. එනම් සුනිල ය. " සාරු ගැලුවා " යනු " සාරුවා " යන පදය සොයාගන්නට දුන් ඉඟිය යි. "සුනිල් " වූ මොනර බිත්තර " සාරුවා " ව ගැලුවේ වැඩිහිටි කන්ද වැහිලා යන්න ම බව පැවසීමෙන් කවියා සපයන ඉඟි ඔස්සේ මේ වසල ස්ත්රී දූෂකයාගේ නම ගම සොයා ගත හැකි ය.
පසුව සිදු වූයේ කුමක් ද .?
" පුපුරු ගසනා ඇස් දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි"
පියයුරු දෙසීය දෙකෙන් බෙදුවත් ගෑනු සියයකි. එසේම ඒ දූෂණයට ලක් වූ කාන්තාවන් තුළ නලියන වෛරය, ක්රෝධය ප්රකට වන්නේ තරහෙන්, වෛරයෙන් පුපුරු ගසනා ඔවුන්ගේ ඇස්වලිනි. ගැහැණු සියයකට පියයුරු දෙසීයක් ඇති වා සේ ම ඇස් ද දෙසීයකි. ඒ ඇස් පතුරු ගැසූ පියයුරු මෙන් නොව, පුපුරු ගසනා වෛරයෙන් පීඩිතය. උන්ට කළ හැකි අන් යමක් නැත. ඊට පාදක වූ අහිංසක කාන්තාවන් එතරම් ම අහිංසකය.
මේ ස්ත්රී දූෂකයාගේ අනූනම වැනි බිල්ල මවකි. සියවැනි බිල්ල ඒ මවගේ ලාබාල දියණිය යි. ඌ වරදකරු වී වසර විස්සකට බරපතල වැඩ සහිත සිර දඬුවමට ලක් විය. රනිල් වික්රමසිංහ ඔහුට ජනාධිපති සමාව ලබා දී, නැවත මල් කැකුලු පොඩි කර දමන්නට ඌට නිදහස දුන්නේ පසුගිය දා ය.
රුවන් බන්දුජීව කවියා
" සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවරෙ චු යයි " පවසා පද්ය පන්තිය අවසන් කරයි.
පුනරුක්තිය හෙවත් එකම දේ යළි යළිත් ප්රකාශ කිරීම කාව්ය දෝෂයකි. සාර්ථක කවියා පුනරුක්තිය දෝෂයක් වුව ද, එය අලංකාරයක් ලෙස යොදා ගනියි.
බන්දුජීව කවියා ද " සාදය නන්දනීයයි - මැණික් ගඟටත් ඉවුරේ චූ යයි " යන කාව්යෝකිතිය නැවත නැවත භාවිත කරමින් එය අලංකාරයක් ලෙස ම යොදාගනී.
කොට්ට හච්චි සොහොයුරියට ද ආචාර සමාචාර කරන අතර,
රුවන් බන්දුජීව කවියා දිනේවා .!
යලියළිත් මෙබඳු කවි ඔබේ පෑන් තුඩින් එළියට පනීවා. !
කවියාණෙනි! ඔබට ද මගේ උපහාරය ...
මුදූ රංජිත් ද සිල්වා...
2024.03.09..

A day in the life

Saturday, March 16, 2024

හිලව්ව

Trash on white background 293769 Vector Art at Vecteezy
ගේ ඉදිරිපිට පාරෙන් නිරතුරු ඇසෙනා
සුපුරුදු හඬක් විය පීකරයෙන් කියනා
පොල්කටු පොල්මැඬිද අප ඉවතට දමනා
මිලකට ගන්නවලු නොම අදහන වටිනා
පත්තර පරණ පොත් හා යකඩද තිබෙන
වත්තට පැමිණ බැලුවේ කොලුවෙකි තරුණ
තිස්සෙම නැතත් ඉඳහිට දවසක රැගෙන
දුන්නා අතට මුදලක් බිරිඳට ඔබින
මේ ලෙස ගෙවෙන විට කාලය නොදැනීම
බිරිඳගෙ සිරිත විය උදයෙහි අතුගෑම
පොල්කටු ලොරිය දැක මිදුලෙහි ගැවසීම
මගෙ ඇසගැටුනෙ නැහැ කරුමය පලදීම
මෙච්චර ඉවතලන දේ නිතරම පිරුනේ
කොයිලෙසකින්ද නිකමටවත් නෑ හිතුනේ
ළංවන විටදි රිය ඒ දෙසටම ඇදුනේ
ලස්සන මලක් මෙනි ඇගෙ මුහුණම පිපුනේ
දිනකදි පුරුදු ලෙස පැමිණෙන කල ලොරිය
එළියට ඇවිත් වටපිට බැලුවා බිරිය
මහලොකු මල්ලකුත් පටවා ගෙන දිරිය
අසුනට ගොඩවුනා අයියෝ වුන හරිය
ඇදිලා යන ගමන් ලොරියෙන් හිස පෙව්වා
මා දෙස බලබලා ඈ මා වෙත රැව්වා
"අහපන් මචං" මම උන් පස්සෙන් දිව්වා
"ප්ලාස්ටික් බේසමක්වත් දීපන්" කිව්වා
පී. ජී. ආරියපාල


A day in the life

Friday, March 15, 2024

මැරුණ මළකුණකට පාoශුකුලය දියයුතුමද ?




ස්කන්ධ, ධාතු, ආයතන ආදිය ගැන නොදන්නා සමහරුන් බුදුදහමත් පාංශුකූලයත් අතර සම්බන්ධයක් නැතැයි ද, එය බුදු දහමට අයත් නොවන දෙයක් යැයි ද කියති. සමහරු එය හිස් පුරුද්දක් සංස්කෘතික චාරිත්රයක් යැයි කියති. සමහරුන් එය පසු පසුකාලීනව එකතු වුණ සංස්කෘතික මිථ්යාවක් යැයි ද කියති. සමහරු බුද්ධකාලයේ මැරුණ උපාසකයින්ට පාංශුකූලය දුන්න කතාවක් ත්රිපිටකයේ සඳහන් වෙනවාදැ? යි අසති. එවැනි අයම මැරුණු මළකුණකට පාංශුකූලය දෙන්න ඕන යැයිද අසති. එසේ හිතන පතන සියලු දෙනා මෙම ලිපිය සම්පූර්ණයෙන්ම කියවන හැටියට මතක් කරමින් ලිපිය ආරම්භ කරමි.
පළමුව පාංශුකූලය සහ මතක වස්ත්රය යන දෙක පිළිබඳව වැටහීමක් ඇති කර ගත යුතු ය. ඉන් පසුව ඉතිරි කරුණු පැහැදිලි කරනු ලැබේ.
ශාසනය තුළ මතක වස්ත්ර පූජාව සහ පාංශුකූලය යනු එකක් නොව දෙකකි. නමුත් සම්මතය තුළ පාංශුකූලය සහ මතක වස්ත්රය යන දෙකම එකක් හා සමාන ලෙස ව්යවහාරයට පැමිණ තිබේ. මේ දෙක දෙකක් වන්නේ මේ ආකාරයටයි.
යම් කිසිවෙක් මිය ගිය පසු ඔහු හෝ ඇය වෙනුවෙන් ජීවත්ව සිටින අය පූජා කරන වස්ත්රය මතක වස්ත්රය වේ. මියගිය අය වෙනුවෙන් යමක් දෙන්නේ නම් ඒ දෙන සෑම දේකටම "මතක" යන විශේෂණ පදය යොදනු ලැබේ. "මතං උද්දිස්ස යං පවත්තේති තං මතකං"
මියගිය අය වෙනුවෙන් දෙන වස්ත්රය - මතක වස්ත්රය වේ.
බණ - මතක බණ වේ.
දානය - මතක දානය,
දැහැත් - මතක දැහැත් වේ.
ගිලන්පස - මතක ගිලන්පස වේ.
කුක්කුට මිත්ත වැද්දාගේ කථාවේ මෙසේ සඳහන් වේ. "ඇගේ මවුපියෝත් ඈ ගැන එහෙමෙහෙ සොයා බලා ඈ නොදැක මැරෙන්නට ඇතියි සිතා මතකවත් ආදිය දුන්හ."
"තස්ස මතකචීවරං අධිට්ඨාති." ලෙස චීවරක් ඛන්ධකයේ මෙසේ සඳහන් වේ. එක ස්වාමීන් වහන්සේ නමක් තව ස්වාමීන් වහන්සේ නමක් අත මේ සිවුර වෙනත් ස්වාමින් වහන්සේ නමකට දෙන්න යැයි යවයි. අතරමගදී ඒ දෙදෙනාම කලුරිය කරයි. එවිට යැවූ ස්වාමින් වහන්සේට ම එය මතක සිවුරක් ලෙස අධිෂ්ඨාන කරගත හැකියි.
මේ ආදී ලෙස මතක පූජාවන් වනේ මිය ගිය අය වෙනුවෙන් පූජා කරන පූජාවන් වේ. නමුත් පාංශුකූලය ඊට වඩා වෙනස් වේ.
ආසාවක් බලාපොරොත්තුවක් නැතිව ඉවත දමන ලද, අයිතිකරුවෙකු නැති, කෙනෙක් ගත්තේ නැත්නම් පොළවට දිරාපත්වන දෙය පාංශුකූලය ලෙස හඳුන්වනු ලැබේ.
"පංසුකූල චීවරං නිස්සාය තේ පබ්බජ්ජා." ලෙස 'පංසුකූල චීවරය නිසා, ඔබගේ පැවිද්ද වන්නේය.' ලෙස පැවිදි වන විට දී ම අවවාද කිරීමක් ද කරනු ලැබේ.
ධුතාංග දහතුනක් තිබේ. එයින් එක් ධුතාංගයක් වන්නේ පාංශුකූලිකාංගයයි. එය සියලුම ස්වාමීන් වහන්සේලා විසින් අනිවාර්යයෙන්ම රැකිය යුතු අංගයක් නොවේ. දේවදත්ත තෙරුන් වහන්සේ විසින් ඉල්ලූ වර පහෙන් එක් වරයක් වූයේ “භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම පාංශුකූල චීවරධාරීන් විය යුතුයි” යන්නයි. භාග්යවතුන් වහන්සේ විසින් කැමති භික්ෂූන් වහන්සේලාට පාංශුකූල චීවර දැරිය හැකි බව සඳහන් කරන ලදී. කැමතිනම් වයසට යන විට පාංශුකූලිකාංගය අත්හැර ගෘහස්ථ චීවරද පිළිගත හැකි ය.
භාග්යවතුන් වහන්සේ විසින් ද මුල් කාලයේ දරන ලද්දේ පාංශුකූලික චීවරයයි. පුණ්ණා නමැති දාසියකගේ මළ මිනිය රෙද්දකින් ඔතා අතිමුත්තක නමින් හඳුන්වන අමු සොහොනකට ගෙන ගොස් දමන ලදී. එම මළ මිනිය කුණු වී පණුවන් ගසා තිබියදී, බුදුරජාණන් වහන්සේ විසින් එම රෙද්ද ගෙන තිඹක් පමණ සිටි පණුවන් ඉවත් කර සෝදා පිරිසුදු කරගෙන සිවුරක් සාදා පරිහරණය කළ සේක. පසු කලෙක මහා කාශ්යප මහා රහතන් වහන්සේ සමඟ හුවමාරු කර ගත්තේ එම පාංශුකූලික චීවරය යි.
පාංසකූල චීවරය විසි තුන් ආකාරයක් වේ.
1. සොහොනෙහි දමන ලද වස්ත්රය සොසානික නම් වේ.
2. සල්පිල් දොර වැටුණා වූ වස්ත්රය පාපණික නම් වේ.
3. පින් තකා ජනෙල් කවුළුවෙන් වීථියට දැමු වස්ත්රය රථිය චෝලය නම් වේ.
4. කසල ගොඩට දැමූ වස්ත්රය සංකාර චෝල නම් වේ.
5. ස්ත්රීන්ගේ ගැබ්මළ පිසදැමූ වස්ත්රය සොත්ථිය නම් වේ.
6. භූතාචාර්යවරුන් රෝගීන් ස්නානය කරවා හැර දැමූ වස්ත්රය නහාන චෝල නම් වේ.
7. නාන තොටෙහි දැමූ වස්ත්රය තිත්ථිය චෝල නම් වේ.
8. සොහොනට ගොස් ආපසු එන්නවුන් විසින් හැරදමා යන වස්ත්රය ගතපච්චාගත නම් වේ.
9. ගින්නෙන් කොටසක් දැවුණු වස්ත්රය අග්ගිදඩ්ඩ නම් වේ.
10. ගවයන් විසින් ටිකක් කන ලද වස්ත්රය ගොඛායිත නම් වේ.
11. වේයන් විසින් ටිකක් කන ලද වස්ත්රය උපචිකාඛායිත නම් වේ.
12. මීයන් කෑ වස්තරය උන්දුරඛායිත නම් වේ.
13. අග කැඩීගිය වස්ත්රය අන්තච්ජින්න නම් වේ.
14. දාවලු කැඩීගිය වස්ත්රය දසාච්ජින්න නම් වේ.
15. නාවිකයන් හෝ යුද්ධ භූමියෙහි හෝ ධජයක් වශයෙන් බැද හැරදමා ගිය වස්ත්රය ධජාහට නම් වේ.
16. තුඹස වටකොට බලිකර්ම කරන ලද වස්ත්රය ථූපචීවර නම් වේ.
17. භික්ෂූන් වහන්සේ සතු වස්ත්රය සමණ චීවර නම් වේ.
18. අභිෂේක ස්ථානයෙහි දැමූ වස්ත්රය ආභිසේනික නම් වේ.
19. එහි භික්ඛු ප්රවෘජ්යාවේ දී පහළ වන වස්ත්රය ඉද්ධිමය නම් වේ.
20. මාර්ගයේ වැටුණ වස්ත්රය පථික නම් වේ.
21. සුළගින් ගසාගෙන විත් වැටුණු වස්ත්රය වාතාහට නම් වේ.
22. දෙවියන් විසින් දෙන ලද වස්ත්රය දේවදත්තිය නම් වේ.
23. මුහුදු රළින් ගොඩගැසූ වස්ත්රය සාමුද්දිස නම් වේ.
මේ ආකාර වලින් එක් විදිහකට ලැබෙන චීවරය පාංශුකූල චීවරය වේ. ඒ දූවිලි ආදියෙන් පිළිකුල් බවට පත්වූ, කිසිදු බලාපොරොත්තුවක්වත් නැතුව ඉවත දමන ලද, අයිතිකරුවෙකු නැති, පොළවට දිරාපත්වන වස්ත්රයකි.
අතීතයේදි කෙනෙක් මියගිය පසුව ඔහුගේ මිනිය සුදු රෙද්දකින් ඔතා අමු සොහොනට ගෙනගොස් දමයි. වර්තමානයේ දී එම මිනිය ඔතන්නට ගන්නා වස්ත්රය සංඝරත්නයට පූජා කර, මිනීපෙට්ටියක තබා ආදාහනය හෝ භූමිදානය කරයි. එසේ කළ පසු එම වස්ත්රය ලබාගත නොහැක. වර්තමානයේදී අමු සොහොනට ගෙන ගොස් දැමූ පසුව පණුවන් ආදීන්ගෙන් පිරී පවතින අයිතිකරුවකු නැතිව පොළොවට දිරා පත්වන එම වස්ත්රය, එසේ වන්නට පෙරම කල් ඇතිවම සංඝරත්නයට පූජා කරනු ලැබේ.
එය දෙයාකාරයකින් කළ හැක. එයින් එක් ක්රමයක් වන්නේ, ජීවත්ව සිටින විට දීම තමන් මිය ගිය පසුව මිණිය ඔතන්නට ගන්නා වස්ත්රය සංඝරත්නයට ජීව මතක වස්ත්රයක් ලෙස පූජා කළ හැකි ය.
අනෙක් ක්රමය වන්නේ මියගිය පසුව ඔහුගේ හෝ ඇයගේ මිණිය ඔතන්නට ගන්නා වස්ත්රය සංඝරත්නයට සිවුරක් සකස් කරගන්නට පූජා කිරීමයි. වර්තමානයේ බහුලව කෙරෙන්නේ මෙය යි.
ජීව මතක වස්ත්ර පූජාවේදී තුන් සිවුරෙන් එක් සිවුරක් සකස් කර ගන්නට අවශ්ය කරන වස්ත්රය තමන් විසින් සිය කැමැත්තෙන්ම අයිතිය අත්හැර සංඝරත්නයට පූජා කිරීම නිසා එම පූජා කළ අයට බොහෝ පින් අත්වේ. එම පිංකම සුවිශේෂී වෙන්නේ එම තමන්ගේ මළකුණ ඔතන්නට තිබෙන වස්ත්රය පූජා කිරීම නිසයි. මරණානුස්සතිය වැඩීමත්, සක්කාය දිට්ඨිය ආදී කෙළෙස් ධර්ම තුනී වී යාමත්, ස්ඛන්ධ ධාතු ආයතනාදිය ගැන අවබෝධය වර්ධනය වන නිසාත්, පොදුවේ දස පාරමිතාදියේ සෑම පාරමිතාවක්ම යම් තරමකට හෝ හැසිරෙන්නට එය උපකාර වේ. එය වෙනත් අරමුණක් ඇතිව වෙනත් වස්ත්රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස වලට වඩා සුවිශේෂී ආනිසංස සමුදායකට උරුමකම් කියයි.
පාංශුකූල චීවර විසි තුන් ආකාරය අනුව බැලූ විට පෙනෙන්නේ හිමිකාරයෙක් නැතිව පසට එකතු වන වස්ත්රය සංඝ රත්නයට චීවර සඳහා ලැබෙන ආකාරයේ ඉතා බුද්ධිමත් වැඩපිළිවෙළක් අතීත උපාසක උපාසිකාවන් විසින් යොදාගෙන ඇති ආකාරය යි. අතීතයේ පටන්ම මිනිය ඔතන්නට ගන්නා වස්ත්රය සංඝරත්නයට ලැබෙන්නට සලස්වා ඇත.
වස්ත්ර, චීවර පූජාවන්ගේ ආනිශංස අති විශාල ප්රමාණයක් තිබේ. ලිපිය දික් වෙන නිසා මෙහි සඳහන් නොකළත් ඒ සියල්ලම වෙනම කියවා තේරුම් ගත යුතුය.
කෙනෙක් මිය ගිය පසුව ජීවත්ව සිටින අය අනිවාර්ය්යයෙන්ම ඔහු හෝ ඇය වෙනුවෙන් පිංකම් සිදු කරනු ලැබේ. ජනුස්සෝණිය සූත්රය තුළ ඒ පිළිබඳ බොහෝ විස්තර සඳහන් වේ. එහි සඳහන් වන ආකාරයට පරදත්තූපජීවී ඤාතීන්ට ජීවත්ව සිටින නෑදෑයින් විසින් පින් අනුමෝදන් කළ යුතුම වේ. මේ පරදත්තූපජීවී ඤාතීන් අතීත දීර්ඝ සසර සිටි මාපිය, අඹුසැමි, දූදරු ආදි ඥාතීන් විය හැකි ය.
පාංශුකූල වස්ත්රයට ගරහන අය පාංශුකූල චීවරය ලෙස හඳුන්වන ධුතාංග වලට අදාල සිිවුරක් සකස් කරගන්නට වස්ත්රයක් පූජා කිරීමේ පින්වල ආනිශංස වටහා ගත යුතුය. මියගිය අය එවැනි පින් අනුමෝදන් වුවහොත් ලැබෙන උසස් ප්රතිඵලය ගැන කල්පනා කළ යුතුය. කුමන හෝ හේතුවක් මත පරදත්ථූපජීවී තැනකට පත් වූ අතීත ඥාතීන්ට මෙවැනි මහත්ඵල මහානිසංස දායක පුණ්යානුමෝදනාවක් ලැබිය හැකි නම්, එය ඔහුට ඇඳුම් පැළඳුම් ආදිය උපදවාගන්නට අතිශයින්ම උපකාර වෙයි. ජීවත්ව සිටින අය කරන කරන පින්කම් අනුව මියගිය අයට පුණ්යානුමෝදනා ලැබිය හැකිය.
ජීවත්ව සිටින අයටද මතක වස්ත්ර පූජාව අතිශයින්ම ප්රයෝජනවත් පින්කමක් වේ. එහි පළමු ප්රයෝජනය වන්නේ තමන්ගේ ඥාතියා මිය යෑමත් සමගම ජීවත්ව සිටින අයට ඇතිවන සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ආදියෙන් ඒ අයව ගලවා ගත හැකි කල්යාණ මිත්ර පිරිස වන්නේ සංඝරත්නය වන නිසාය. සංඝරත්නයේ අනුශාසනා වන් නිසා ඔවුන්ගේ සුවක පරිදේව ආදිය තුනී වී යයි. එසේ නොවුණහොත් ඒ ඇතිවන සෑම ජවන චිත්තයකටම ඔවුන්ට මෙලොවට සහ මතු අනාගත සසරට අයහපත් ප්රතිඵල රාශියක් ලැබෙයි.
සෝක දුක වන්නේ ඥාතීන් මියයාම. භවභෝග සම්පත් පිරිහීම. රොගී වීම. සීලයෙන් පිරිහීම. සම්යක්දෘෂ්ටියෙන් පිරිහීම. යනාදියෙහි දී ඒ ඒ පුද්ගලයන්ගේ හෝ කරුණු වල ගුණ කියමින් සිතමින් තැවීම. පසුතැවීම. ශෝක කිරීමයි.
පරිදේවය වන්නේ ඥාතීන් මියයාම. භවභෝග සම්පත් පිරිහීම. වගේ ඉහත සඳහන් කරුණු නිසා ඇතිවන තෙපලීම. නැවත නැවත තෙපලීමයි.
දුක්ඛ (කායික දුක) වන්නේ කය හා ස්පර්ශ වීමෙන් හටගන්නා, කයෙහි හටගන්නා දුක් වේදනාවයි.
දෝමනස්ස වන්නේ සිත හා ස්පර්ශ වූ සිතෙහි හටගන්නා අමිහිරි දුක් වේදනාවයි.
උපායාසය වන්නේ ඥාතීන්ගේ විනාශය, භවභෝග සම්පත් වල පිරිහීම, රෝගි වීම, සීලයෙන් පිරිහීම, සම්යක්දෘෂ්ටියෙන් පිරිහීම, යනාදියෙහි දී පුද්ගලයාගේ සිතෙහි පහළවන බලවත් දුක් වේදනාවයි. (වෙහෙසීම, ක්ලාන්ත බව)
අප්රිය සම්පයෝග දුක:-
අප්රිය පුද්ගලයන් හා වස්තූන් සමඟ එක් වීමට සිදුවීම අප්රිය සම්පයෝග දුකයි.
ප්රිය විප්පයෝග දුක වන්නේ ප්රිය පුද්ගලයන් හා ප්රිය වස්තුන්ගෙන් වෙන් වීමට සිදුවීමයි.
ජීවත්ව සිටින අයට මෙවැනි ශෝක පරිදේවාදිය ඇතිවීම ඔහුගේ අනාගත නාම රූප වලට අයහපත් ප්රතිඵල ගෙන දේ.
සංඝ රත්නය මෙවැනි අවස්ථාවක වඩමවා ගැනීමත්, සංඝරත්නයට පාංශුකූල චීවරයක් සඳහා මතක වස්ත්රයක් පූජාකිරීමත් ජීවත්ව සිටින අයටද මහනීය පින්කමක් වේ. ඔවුන්ගේ කෙලෙස් යටපත් වී කුසල් වර්ධනය වේ. නිසි කල්යාණමිත්ර ඇසුර ලැබේ. දෙලොව යහපත් වන්නට එය අතිශයින්ම උප උපකාර වේ.
මේ මෙම මාතෘකාව පිළිබඳව ඉතා කෙටි කරුණු දැක්වීමකි
පූජණීය, තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ.
ගේ,,දේශනාවක්,ඇසුරිනි.

A day in the life

Thursday, March 14, 2024

නුඹ ඉතිරි කර ගිය සුවඳ








සාමාන්
ය ගැහැණියකට වාතයක් ගිය විටදී ඇය, වාතයක් ගියා ටොයිලට් එකට යන්න ඕන...
බුකියේ කිවිඳියක් කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට වාතයක් ගිය විටදී ඇය, වාතයක් ගියා මේ ගැන කවියක් ලියන්න ඕන...
මෙතෙක් කලක් මගේ තුල
නිදන් ව සිටි නුඹ...
මටත් නොකියාම දොරකඩට විත්
දෑල ඉවුරු දෙදරවමින්
නික්ම ගිය බව
ලොවට කියන්නේ කෙලෙසකද...
එබැවින් ලොවට සඟවමි
නුඹ නික්ම ගිය වග
පෑල දොරින්...
එහෙත් සබඳ නුඹ ගියද
නුඹ ඉතිරි කර ගිය සුවඳ
තවමත් මා අසලමයි...
පෝස්ට් එක දැමු පසු සෙවලයන්ගේ කමෙන්ට් ටික..
ෂා නංගියෝ, හැරගිය පෙමේවතා ගැන නේද ලියලා තියෙන්නේ...
ලස්සනයි සොයුරිය...
සුන්දරයි කිවිඳිය නූතන ගජමන් නෝනා නුඹමයැ...
ටිකකින් ඉන්බොක්ස් එකට...
නංගි කවිය පුද්ගලික අත්දැකීමක් ගැනද ලිවුවේ...
පුද්ගලික අත්දැකීම් දාන්න එපා මේ බුකිය විෂමයි, හිතේ දුකක් තියනවනං කියන්න...
දිගටම යන චැට් එක...
නංගියෝ ලස්සන කවිය...
ස්තුතියි අයියා...
දිගටම ලියන්න...
හ්ම්...
ඔය වගේ අත්දැකීම් ගොඩක් ඇති නේද විරහව ගැන...
ඔවු අයියා හැමදාම වගේ ...
ඒකනේ ඒ සේරම එකතු කරලා පොතක් ගහමු...
පොතකට නම් එකතු කරන්න බෑ අයියා බැලුමකට වගේ නම් එකතු කරන්න පුලුවන් වෙයි...
නංගි හරි විහිලුනේ... සැහැල්ලුවෙන් ඉන්නවා නේද...
හ්ම්...
(දනුෂ්ක කාංචන ජයවීර ✍️
මහතාගේ කතාවක් ස්තුතියි
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon