Friday, March 01, 2024

රැවටෙන්නට පෙර









 

ඇය මට ආදරය කළේ ඉහළ උගත්කම් දැකලයි
මගේ කැදැල්ලට ආවේ රැස්කළ ධනයම පතලයි
නිරතුරුවම ළඟ හිටියේ පැතිරුණු කිතුගොස හිතලයි
හරි සතුටින් දැන් ඉන්නේ මේ සියලුම දේ දිනලයි
ආදා ඉඳලම නිවසට ආදරයෙන් ළඟ උන්නා
රන් මිණි මුතු සැප සම්පත් නොඅඩුව ඈ හට දුන්නා
මව්පිය නෑසිය පරපුර නිවසට නිතරම එන්නා
මගේ අයට වැඩියෙන් මා සිටියේ සෙනෙහස පෙන්නා
දැන් දැන් නිතරම ඈ මගෙ වැරදිම පවසන හින්දා
මගෙ හිත රිදුනා හරියට කඳුළුත් දෙනෙතෙහි රන්දා
බිරිඳකගෙන් ලද යුතු සැලකුම් නැත දෙන්නෙම නින්දා
වෙන අයකුගෙ සෙනෙහස ලබමින් සැනසෙනවද මන්දා
මේගැන සිත සිත ළතවී සොයමින් සැනසුම පතලා
මිතුරු වුනා මධුවිත හා යහමින් දිව රෑ නොබලා
අතරතුරේ සුරඟන සම නුඹෙ ඔය රූසිරු දැකලා
නැවත උපන් බව දැනුනා නව ආදරයක් හිතිලා
මුසා වදන් අසා ඇගේ දෙනෙත්වලට කඳුළු පුරනු
බලා ඔහුට හැඟී ගියේ එලූ දැලේ එතෙන ලකුණු
ඇගේ දෙතොල් පෙති ඇරුනා අටියෙන් බිරිඳටම බනිනු
සිතේ යටින් ඈ ඇමතී "බනින්න පෙර සිතා බලනු"










පී. ජී. ආරියපාල
l day in the life

Thursday, February 29, 2024

මල් වලට පැන් ඉහින්නේ ඇයි ?.




මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහින්නේ ඇයි කියලා ඔබ දැනසිටියාද..?
අපි හැමෝම මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහිනවා නේද?
ඒ ඇයි........අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ කලක් රජගහ නුවරට සමීපව පිහිටි අඹසැඩ නම් බමුණුගම අසල වූ වේදීය පර්වතයේ ඉන්ද්රසාල නම් ගුහාවේ වාසය කළේ ය.
එකල දෙව්ලොව අධිපති සක්දෙවිඳු වසර තුන්කෝටි හැටලක්ෂයක් ආයු වළඳා සිටියේ ය. එහෙත් මේ වන විට සක්දෙවිඳුගේ පිං ගෙවී චුත වීමට ආසන්න බව හඟවන නිමිති පහළ විය. සක්දෙවිඳුට දෙව්ලොව සැප අත් හැරීමට දුකක් හට ගත්තේ ය
සක්දෙවිඳු පන්චසික පෙරටු කරගෙන මුළු දිව්ය සභාවම සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට ආවේ ය. වේදීය පර්වතය ආලෝකමත් කරමින් ආ මේ පිරිස පන්චසික ගේ මැදිහත් වීමෙන් බුදු සිරිපා වැන්දේ ය.
( කථාව බොහෝ කෙටි කර ඇත )
සක්දෙවිඳු පැමිණ මුණි සිරිපා නමදින විටම සක්දෙවිඳුගේ ආයුෂ ඉවර විය. මෙය සෙසු දෙවියන් නොදුටුවේ ය. බුදු රජාණන් වහන්සේ ආයු බෝ වේවා යැයි පතා, සක්දෙවිඳු නැවත ජීවත් වීමට , ආයු ලැබීමට තරම් පිං කර තිබේදැයි බැලීය.
සක්දෙවිඳු පෙර ආත්මයක මනුලොව සිටියදී ගොපළු දරුවෙකුව සිටියේ ය. මේ ගොපළු දරුවා වනයේ ඇවිදිමින් සිටින විට පොකුණක් අසල ගරාවැටී ගිය ස්ථූපයක මල් අසුනක් මත කවරෙකු විසින් හෝ පූජා කර පරවෙමින් තිබූ දියබෙරලිය මල් ටිකක් දුටුවේ ය. මේ ගොපළු දරුවා වහා ලඟ තිබූ පොකුණට බැස නෙළුම් කොළයක් කඩාගෙන එයට වතුර ගෙනවිත් ඉස, මල් ප්රාණවත් කළේ ය.
මේ පින දැක සක්දෙවිඳු හා පිරිසගේ ආයු බෝ වේවා යි ප්රාර්ථනා කළේ ය. එතැන් සිට නැවත සක්දෙවිඳුට ආයුෂ වසර තුන්කෝටි හැටලක්ෂයක් ලැබිණි.
* හදිසි මරණයකට ගොදුරු නොවේවා! යි පතා ඔබත් මල් වලට පැන් ඉහින්න.


A day in the life

Wednesday, February 28, 2024

බලය විප්ලවය සහ අරගල



 

මේ පැරණි කතාවක්.
දේශපාලන පොරපිටිය රත්වෙන විට එහාටත් මෙහාටත්  කෝන්තර පිට කරනවා. ඇත්ත උනත් විෂ කටු ඇනෙන්නා වගේ දැනෙනවා .
බලය ලබා ගැණීමේ අරමුනෙන් ප්රජාතන්ත්රවාදී ක්රමයට මැතිවරණ පවත්වනවා. බලය ලබා ගැණීමේ අරමුනෙන් ප්රජාතන්ත්රවාදයට පරිභාහිරව විප්ලව කරනවා.. අරගල කරනවා. අපි දැක්ක අරගලය දිය යටින් ගින්දර ගෙන යාමක්. අරගලයට සම්බන්ධවු අය පවා ඊලගට වෙන දේ ගැන දන්නේ නෑ.. ගෝඨා ගියා. රණිල් ආවා. ජනතාව කබලෙන් ලිපට වැටුනා..
 1971 දිත් බලය කෙටි පාරෙන් ලබා ගන්න ජවිපෙය සටන් කලා. ඔවුන් දුර්වලයයි සිතු සිරිමාවන්ගේ රජය බණ පොත අතේ තියාගෙන කඩුව අරගෙන විප්ලවය අඩ පන කලා
1998 දී යලිත් රාජ්ය බලය ලබා ගැණීමේ අරමුනෙන්   ඇරඹි විප්ලවය ප්රේමදාස - රණිල් ප්රමුඛ කන්ඩායම කඩුවෙන්ම සමුල ඝාතනය කලා.
විප්ලවය විසින් ගම්වල තම දේශපාලන විරුද්ධවාදීන් නොයෙක් හැදින්වීම්වලින් දඩුවම් ලබා දෙන විට රාජ්ය ත්රස්තවාදය විසින් විප්ලවය ලෙයින් මසින් මර්ධණය කලා.
 අද වන විට මේ බලය සදහා බලය පෙන්වු අය එක එක දේශපාලන ධාරවන්ට එක්වී තම පෞද්ගලික අරමුණුු සාක්ෂාත් කර ගනිමින්, ඉදිරියට ගමන් කරමින්  සිටිනවා. තවත් සමහරු දැන්වීම්  පුවරු වෙනස් කරමින් වෙනත් නම් වලින් ව්යාපාර අරඹා තියෙනවා.
 


මේ මුුණු පොතට එක්වු එවන් ශෝකාන්තයක්.


කාට හරි මේ අතීතය අමතක කරන්න පුලුවන් නම් ඌ එක්කෝ ඒ කාලයේ ඉපදලා නැති එකෙක් එහේම නැත්තන් කොමා වේලා හිටපු එකෙක්.මහා සංඝරත්නයගේ හිස ගෙට්ටු කදේ ගහාපු අතීතය අමතක කරන්න පුලුවන් නම්,

 


ඒ දවස්වල රාත්රියට බල්ලෝ තරගයට වගේ හරි හරියට බුරනවා. ඒ කවුරුන් හෝ එළියේ පාර දිගේ ඇවිද ගෙන යන නිසයි. ඒ නිසා අපි රාත්රියට දොර අරින්නේ නැහැ. හදිසියේම දොරට තට්ටු කරන ශබ්දයක් ඇහිල මට ඇහැරුණා. ඉන්පසු නැගිට ස්විචය දැමුවත්, බල්බය පත්තු වුණේ නැහැ. වේලාව බැලුවා. දහයයි හතළිස් පහයි. ඒ සමගම කවුදෝ කතා කරනවා වගේ ඇහුණා..
“පුංචිඅම්මේ දොර අරින්නකෝ...”
ඒ අපේ ඥාති පුත්රයෙකුගේ කටහඬක්. ඔහුගේ කටහඬ හොඳට හුරුයි. මම ඔහුව අඳුනා ගත්තා. එහෙත් දොර ඇරියේ නැහැ.
එතකොට නිවසේ හිටියේ අම්මයි, මමයි, අක්කයි, නංගියි, මගේ දරුවෝ දෙන්නයි විතරයි. අප්පච්චි අප නිවසට තරමක් දුරින් පිහිටි ඉඩමේ ගොවිතැන් කරමින් සිල්ලර කඩයක් කළා. ඔහු මල්ලිගේ ගෙදර නැවතී සිටියේ එහේ රාත්රියට කවුරුවත් නැති නිසයි. ලොකු දුවට අවුරුදු හයයි, චූටි දුවට අවුරුදු තුනයි. මගේ ස්වාමිපුරුෂයා දෙහිඅත්තකණ්ඩියේ සේවය සඳහා ගොස් සිටියා. බාලම සහෝදරිය රැකියාවක් කළේ නැහැ. වැඩිමහල් සහෝදරයා යුද්ධ හමුදාවේ සේවය කරමින් සිටිය දී බිම් බෝම්බයකට හසුව මිය ගොස් සිටියේ. අනෙක් සහෝදරයෝ දෙදෙනා පොලිසියේ සේවය කළේ. ඔවුන් දෙදෙනාත් නිවසේ සිටියේ නැහැ.
අපි දොර අරින්නේ නැති බව දැන ගත් ඔවුන්ගෙන් කවුරු හෝ දොරට හරි තදෙන් ගැහුවා. ඒ සමගම දොර කැඩුණා. පහළොස් දෙනෙක් පමණ ඇතුළට ආවා. විදුලිය නැහැ.
පසුව දැන ගත්තා ඔවුන් විදුලිය විසන්ධි කර පැමිණ තිබෙන බව. මැද සාලේ පුටු සැටියේ අපිට වාඩි වෙන්න කීවා. ඔවුන් අවුරුදු 25ට අඩු තරුණයන් පිරිසක්. ඒ අතරේ මාරස්සන ගමේ හත් දෙනෙක් හිටියා. එහි ප්රධානියා අපේ ඥාති පුතෙක්. කළුවර පරිසරයක සිටියත් යම්තම් වගේ පැවති එළියෙන් මම ඔවුන්ව අඳුනා ගත්තා.
“ඇයි මල්ලි මේ අවේලාවේ නැවත ඇවිත් අපට කරදර කරන්නේ.. ඔය ගොල්ලන්ගේ සංගමයට පනස් දාහක් ඉල්ලුවා. අපි ඒක දුන්නා. පසුගිය සතියේ හැඳුනුම්පත් ඉල්ලුවා ඒකත් දුන්නා. මේ විදියට නැවත ආවේ ඇයි...” මා කීවා.
එතකොට එතැන සිටිය නායකයා කීවා “සෝමා ජයවර්ධන ගේ ගෙදරට යන පාර දන්නේ නැහැ. මල්ලිට කියන්න ඇවිත් පාර පෙන්නන්න කියා...”
“මල්ලි නැහැ.. ගැහැනු අපි ටික දෙනා පමණයි ගෙදර ඉන්නේ... මම ඇවිත් පාර පෙන්නන්නම්...” කියා පවසා දොරකඩින් එළියට පිටත් වෙන්න හදනකොටම අම්මා අඬන්න පටන් ගත්තා.
“අම්මා අඬන්න එපා... ආපසු එනවනේ...” කියා මම කීවා.
අම්මා අඬන සද්දේ ඇහිලා අක්කා නින්දෙන් අවදි වී එළියට ඇවිත් පිරිසක් ඉන්නවා දැක “ඇයි මල්ලි මොකද?” කියා විමසා සිටියා. එතකොටම එතැන සිටිය නායකයා
“ඔයා තමයි අපි හෙව්වේ. අක්කා කොහෙද වැඩ කරන්නේ?” කියා විමසා සිටියා.
අක්කා කතා කිරීමට පෙර මම හඬ අවදි කළා. “මයිලපිටිය ඉස්කෝලේ වැඩ කරන්නේ මමයි” කියා මම කීවා. ඇත්තෙන්ම එතකොට මයිලපිටිය පාසලේ විද්යාගාර සහායකවරියක ලෙස සේවය කරමින් හිටියේ මමයි.
“අපට බොරු කියන්න එපා අක්කනේ පාසලේ වැඩ කරන්නේ. යසෝමැණිකේ අක්කා වැඩ කරන්නේ පොලීසියේ නේ. යසෝමැණිකේ අක්කා ඇවිත් අපට පාර පෙන්නන්න” කියා කණ්ඩායමේ නායකයා කීවා.
අක්කා පොලිසියේ හිටියට රාත්රියේ යන්න බයයි. මම බය නෑ. මම එන්නම් කීවත්. ඔවුන් ඒක ගණන් ගන්නේ නැතිව අක්කා රැගෙන ගියා. අක්කා පිටත් වෙන්න පෙර මට කීවා “අනේ නංගී උඩුගම්පොළ මහත්තයාගේ කාර්යාලයේ යතුරු සහ ලියකියවිලි වගයක් මගේ බෑගයේ තිබෙනවා. මට එන්න බැරි වුණොත් ඒවා ගිහින් දෙන්න” කියා අක්කට තේරෙන්න ඇති ඇය යන්නේ අවසන් ගමන කියා. ඒ වෙනකොට රාත්රී දොළහට ආසන්න වෙමින් පැවතියා.
ඊට පස්සේ අපට නින්ද ගියේ නැහැ. රාත්රි එකයි කාලට විතර වෙඩි සද්දයක් ඇහුණා. අපි දන්නේ නෑ ඒ කාට වෙඩි තිබ්බාද කියා. ඒ වෙඩි පහර අක්කට නෙවෙයි කියා අපි හිත හදා ගත්තා.
හතර හමාර වෙනකම් බලාගෙන සිටියත් අක්කා ආවේ නැහැ. මේ බව අප්පච්චිට පැවසීමට නංගි සමග මම, මල්ලිගේ නිවසට යාමට හදන කොටම නිවසේ මුරට දමා සිටි මල්ලිලා දෙන්නෙකුගෙන් එක් කෙනෙක් කීවා “පහෙන් පස්සේ යන්න” කියා
පසුව පහෙන් පසුව ගොස් අප්පච්චි ඇතුළු පවුලේ අයට මේ පණිවුඩය ලබා දුන්නා. අපි ගමේ ඇවිදිමින් අක්කා සොයන්නට පටන් ගත්තා. එතකොට ආරංචි වුණා ගමේ හතර දෙනෙක් ගේ මළ මිනී පාර අයිනේ තිබෙනවා කියා. එක්සත් ජාතික පාක්ෂිකයෙක් වූ බෝගොඩ ගුණදාස, අපේ අක්කා, සෝමා ජයවර්ධන සහ ඇය ගේ මහත්තයා ඒ හතර දෙනයි. අක්කා මරල තිබුණේ ජාතික පාසලට ගොඩවෙන පඩි පෙළේ වාඩි කරවලයි. වම්පැත්තේ හෘදය වස්තුව කඩා ගෙන ගොස් තිබුණා. අද එම පඩිපෙළ වසාගෙන වල් සහ පඳුරු බිහි වී තිබෙනවා.
පස්සේ මම නුවර ගිහින් උඩුගම්පොළ මහත්තයාට මේ බව දැනුම් දී, අක්කාගේ බෑගයේ තිබුණු යතුරු සහ ලියකියවිලි භාර දුන්නා.
එදා පොලිසියේ නිලධාරින් හැත්තෑ පස් දෙනෙක් පමණ අපේ ගෙදරට පැමිණියා. මුළු ගමම සෝදිසි කළා. ඉරිදා මරපු අක්කාගේ පරීක්ෂණ අවසානයේ මෘත දේහය අපට භාර දුන්නේ සඳුද‌ා හවසයි. අනෙක් මෘත දේහයන් ඒ, ඒ නිවෙස් වෙත භාර දී තිබුණා. අඟහරුවාද‌ා පාන්දර දොර ළඟ කොළයක් තිබෙන බව දැකපු නංගි මට එය ලබා දුන්නා. එහි සඳහන්ව තිබුණේ “ආරක්ෂක අංශ සහභාගි වීමෙන් තොරව, භික්ෂූන්වහන්සේලා වඩම්මවා පාංශකූල කටයුතු සිදු නොකර, වෙඩිමුර නොතබා, පෙට්ටියෙන් අයින් කර භූමදානය කරන ලෙසයි. තවද මෘත දේහය කරේ තබා, ගෞරවාන්විතව රැගෙන නොයන ලෙසත්,” සඳහන් කර තිබුණා.
එම සටහන රැගෙන මම මහනුවර පොලිස් ස්ථානයට ගියා උපදෙස් ලබා ගන්න. ගිහින් පොලිස් නිලධාරීන් එක්ක එන අතරතුර, ගමේ අය සමග මල්ලිලා එකතු වී අක්කාගේ භූමදාන කටයුතු සිදුකර තිබුණා. ඇය මියයන විට අවුරුදු තිස් තුනයි.
පසුව මෘත දේහය ගොඩගෙන අවසන් කටයුතු සිදු කිරීමට කැමතිදැයි, පොලිසිය අපගෙන් විමසා සිටියා. තාත්තා ඊට කැමති වුණේ නැහැ. ඊට හේතු වුණේ ඔවුන් අපේ පවුලට කරදර කරාවි කියා හිතුණ නිසයි. හත් දවසේ දානය මහනුවර බහිරව කන්දේ විහාරස්ථානයට ලබා දුන්නා. එය පොලිසිය විසින් සංවිධානය කළා.
ඊට පස්සේ රජයෙන් අප පවුලට මීරිගම ප්රදේශයෙන් නිවෙසක් ලබා දුන්නත් අපි භාර ගත්තේ නැහැ. අප්පච්චි නැවත එය පරිත්යාග කළා. අක්කා වෙනුවෙන් රජයෙන් අපට ගොඩාක් උදව් කළා. එවකට මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් සහ රුපියල් හැත්තෑ පන් දහසක මිනී පෙට්ටියක් ලබා දුන්නා. අම්මාට අවුරුදු 92 වෙනකම් සහ අප්පච්චිට අවුරුදු 84 වෙනකම් අක්කාගේ වැටුප ලැබුණා. රජයෙන් විය යුතු සියලු යුතුකම් ඉටු කළා.
සතියක් ගත වෙන්න පෙර අක්කා මරපු හත්දෙනා පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. ඒ අයට මොනවා වුණා ද කියා අදටත් අපි දන්නේ නැහැ. තාම නායකයා ඉන්නවා. ඔහු අපේ ළඟම ඥාතියෙක්. පොලිසියෙන් කොහොම බේරුණා ද කියන්න දන්නේ නැහැ. එහෙත් පසුව ඔහුගේ තාත්තාට පිස්සු හැදුණා, අම්මා අසනීපයෙන්. පවුල් ජීවිතය අසාර්ථකයි. දිට්ඨධම්මවේදනීය කර්මයට හසුවෙලා.
අපට කළ දේවල් මෙලොවදීම පල දෙමින් තිබෙනවා. මෙයට සම්බන්ධ තවත් කෙනෙක් පසුව මහණ වෙනවා. උන් වහන්සේ මේ ළඟදී හෘද සැත්කමකට පවා භාජනය කළා. මැරි මැරී ජීවත් වෙනවා. ජීවිතය ගත කරන්නේ ඉතාමත් දුකෙන්. අපේ ඇස් පනා පිටම ඒ අය විඳවනවා.
ස්තුතිය - මාරස්සන නව විලාසිතා ටෙක්ස්ටයිල් ආයතනයේ ඒ.එම්.එම්. අබේසේකර මහතාට.
සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර


A day in the life

Tuesday, February 27, 2024

අහිමි මුල මැද අග



අහලා බලමු අපේ ලස්සන ජන කතාවක්.
ඉස්සර කාලේ ගම් වල තිබුනේ කෘෂිකර්මය මුල් වුන ආර්ථික ක්රමයක්නේ.ගමේ ගොඩක් අය කලේ භෝග ජාති වගා කරන එක තමයි.මේ ගමේ ගමරාලත් එහෙමයි.
මඩ ගොවිතැන් ඉවර වෙලා ඊළඟ එන වැහි කාලේ ගොඩ ගොවිතැනක් කරන්න ඕන කියලා ගමරාළට හිතුනා. ඒ හේන කොටන්න යනකොට දිග කැත්තකුත් අරගෙන තමයි මේ ගමරා‍‍‍ළ ගියේ. හේන මැද්දෙ මහ විසාල කහට ගහක් තිබුණ. අර දිග කැත්තෙන් ගමරාළ කහට ගහේ අතු පාහින්න පටන් ගත්ත. ඔන්න කහට ගහේ අතු පාහිනකොට මේ ගහේ හිටපු යකා ගමරාළත් එක්ක කතා කරන්න පටන් ගත්තා.
"පරම්පරා ගන්නක ඉඳන් මේ ගහ අයිති මට.ඉතින් උඹ මොකටද මට අයිති ගහේ අතු පාහින්නේ?"
-හෑ..උඹ මාර කතාවක්නේ කියන්නේ..මේක උඹට ගිය රට.මම මේ වගාවක් කරන්නයි මේ කැලේ එළි කරන්නේ.
මෙහෙම කතාව දිගින් දිගටම ගියා.අන්තිමට යකා කියපි.හරි මම මේ ඉඩමේ උඹට වගා දිගා කරගන්න අවස්ථාවක් දෙන්නම් හැබැයි මට අස්වැන්නෙන් භාගයක් ඕන කියලා.
"මේ සැරේ අස්වැන්නෙන් මුල උඹට උඩ මට" යකා කිව්වා.
ගමරාළ මේ කතාව හොඳට හිතට ගත්තා.අරගෙන බතල වගා කලා හේනේ.හේන පුරා බතල සරුවට වැවුනා.
පොරොන්දුව වගේම ගම මහත්තයා උඩ හැදුනු වැල් ටික තියලා බතල ටික සේරම ගලවගෙන ගියා.
ඇයි ඉතින් පොරොන්දුව පොරොන්දුවම නේ.
ඔන්න ඉතින් ඊළඟ පෑවිල්ලත් ආවා.
යකාට මතකයි ගිය පාර තමන්ට වුන ඇබැද්දිය
"ගමරාල මේ පාර මුල මට උඩ උඹට"
ගමරාළ මේ පාර වගා කලේ කුරක්කන්.ගිය පාර වගේම මේ පාරත් තමන් ගමරාලගේ ගැටේට අහුවුනා කියලා යකා දැනගත්තේ කුරක්කන් ඔක්කොම කපලා මුල්ටික විතරක් ඉතුරු කරලා ගියාට පස්සේ.
හැමදාම මම මේ ගමරාළට පැරදුනා.දෙන්නම් මේ පාර වැඩක් කියලා හිතපු යකා "ගමරාළ මීට පස්සේ මුලත් මට උඩත් මට උඹට ඕන නම් මැද්ද දෙන්නම්"කියලා කිව්වා
ගමරාළ “හාඃ හොඳයි...” කියල ඒ පාර පැණි කොමඩු හිටෙව්ව. පැණි කොමඩු වල ගෙඩි හැදෙන්නෙ වැලේ මැද හරියෙ නිසා ඒ කන්නෙදිත් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ.
අන්තිමට පරාජය භාර ගත්ත යකා හේනේ තිබුන ගහ දාලා යන්නම ගියා.
සම්පූර්ණ කතාව උපුටාගැනීමකි.

 ස්තුතියි

DA Malanie

 මුල්හිමිකාරිත්වයට





A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon