පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-06-26

දාස මුදලාලි






ද‌ාස මුදලාලිට ගමෙ ඉඩකඩම් තිබුණත් කොළඹ ආ ඔහුට වුවමනා වුණේ තනිවම නැගී සිටින්නටයි.
අම්මා දුන් රුපියල් දහයෙන් කොළඹ පැමිණ ස්වෝත්සාහයෙන් වෙළෙඳාම පටන්ගත් සුන්නාදෙණියගේ ගුණද‌ාස රටේ ඉහළ පෙළේ මහා ව්‍යාපාරිකයකු වී යුගයක පුරෝගාමියකු වී සිටියේය. එදා රටේ ජනතාව හැත්තෑවේ දශකය හැඳින්වූයේ ‘ද‌ාස යුගය’ කියාය.
ද‌ාස මුදලාලි ලංකාවේ ජනතාවට කිසිදිනෙක අමතක නොවන කෙනෙකි. හේතුව ඔහු හැමවිටම ජනතාවගේ ද‌ාසයකු වීමට උත්සාහ කළ ව්‍යාපාරිකයකු වූ නිසාය. “මුදලාලි” යන වචනය දකුණු ඉන්දියාවෙන් අපට ආවෙකි. ආචාර්ය දෙමළ පණ්ඩිත් මඩුළුගිරියේ විජේරත්න සූරින් පවසන අන්දමට මුදල් යනු ප්‍රථම, මුල්‍ය, ප්‍රබල යන තේරුම් ගෙනෙන්නකි. දකුණු ඉන්දියාවේ මුදලාලිලාත් මුඩ්ලියර්ලාත් එකම පංතියේ ප්‍රභූවරුන්ය. ලංකාවේත් පුරාණයේ සිට මුදලි, මුහන්දිරම් හා මුදලාලිවරු රටේ ප්‍රථම පංතියේ ප්‍රභූවරුන්ය. මුදල් අල්ලන අතමිට සරුසාර අයෙකි.

ලංකාවේත් හතළිහේ පනහේ දශකවල ඉහළ පංතියේ මුදලාලිවරු පිරිසක් බිහි වූහ. එයින් මුලට කියැවුණේ යාපනේ මුදලාලිලා ය. පසුකාලයක නවලෝක මුදලාලි, ජයසිංහ මුදලාලි, ගුණසේන මුදලාලි, ජයගිරි මුදලාලි, ඉසුරුදිසි මුදලාලි වැන්නවුන් බිහි වූහ. මේ මුදලාලිලා සැබැවින්ම සමාජ සේවකයෝ මෙන්ම ද‌ානපතියෝය. එහෙත් ඔවුන්ගේ ආරම්භය වූයේ ඉතා කුඩාවටයි. ද‌ාස මුදලාලි යනුවෙන් රටම දන්නා ද‌ාස කර්මාන්ත ආයතනයේ අධිපති එස්.ඩී. ගූණද‌ාස මහතාගේ සම්පූර්ණ නම සුන්නාදෙණිගේ ගුණද‌ාස යි. ඔහු ඉපදුණේ 1931 සැප්තැම්බර් 5 දායි. ගම දකුණු තලල්ලයි. පාසල් ගියේත් එහිමයි.


ඔහුගේ වැඩිමහල් සහෝදරයෝ ඒ වනවිට කොළඹ විවිධ ව්‍යාපාරවල නිරත වී සිටියහ. ගුණදාස ද අධ්‍යාපනය අතහැර කොළඹ ආවේ අයියලාගේ බිස්නස්වලට උදව් වීමටයි. එහෙත් අයියලාට ඕනෑ වුණේ මල්ලී නැවත පාසලට යැවීමටයි. එය හරිගියේ නැත. සහෝදරයන්ගේ අකමැත්තෙන් ගමේදී මෙන් කොළඹදී ද අධ්‍යාපනය නැවතිණ.


දඟකාර ගැටවර වයසට ගුණදාස ළංවෙද්දී ඔහුට සිතුණේ තමාත් සුළුවෙන් හෝ ව්‍යාපාරයක් පටන් ගත යුතු යැයි යන හැඟීමයි. මේ වනවිට ගුණදාසගේ වයස අවුරුදු දාහතරක් විතර වූවා පමණි. අයියලාගේ විරුද්ධත්වය මැද්දේ බිස්නස් කිරීමට පටන් ගත්තේය. පාසල් ගමන නතර විය.


බොහොම ලාබ රෙදි පිළි ටිකක්, බැනියම් රේන්ද, රිබන්, කපුරු බෝල ආදිය මිලට ගත් ඔහු රෝද තුනේ අත්කරත්තයක් ද කුලියට ගෙන සිය වෙළෙඳාම ඇරඹීය. දිනපතාම අත්කරත්තයේ බඩු පටවාගෙන රවුමේ යයි. මරදාන, පංචිකාවත්ත, බොරැල්ල, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය ආදී මේ හැමතැනම අත්කරත්තය තල්ලු කරගෙන ගොස් ආපසු එනවිට රෑබෝ වෙයි.


වෙළෙඳාම ආරම්භ කළේ ගුණදාස අතේ තිබූ රුපියල් දහයෙන්ය. ව්‍යාපාරයේ ආරම්භක මූලධනය වූයේ එයයි. මෙයද තම මවගෙන් ඉල්ලා ගත් එකකි. ඇස්.ඩී. ගුණදාසගේ ජීවන තොරතුරු ගැන සඳහන් ග්‍රන්ථයක් ප්‍රථම වරට පළවූයේ විජය රාමනායක ලියූ “පිරුණලොවින්” නමැති ග්‍රන්ථයේ ය. විජය රාමනායක ලේක් හවුසියේ රැකියාව කොට පසුව චිත්‍රපට නිෂ්පාදනයට හා අධ්‍යක්‍ෂණයට පිවිසියෙකි. යුගාන්තය, කලියුගය, මල්දෙණියේ සිමියොන්, රිදී නිම්නය වැනි ජාත්‍යන්තර තලයේ චිත්‍රපට නිපදවා සම්මාන හිමිකරගත් ඔහු ලංකාවේ කැසට් ව්‍යාපාරයේ පුරෝගාමියකු ලෙස හැඳින්විය හැකිය. විජය රාමනායකට ‘පිරුණලොවින්’ පොත ලිවීමට ඒ.ඩී. රංජිත් කුමාර, අජන්තා රණසිංහ, ග්‍රැන්විල් සිල්වා ආදී ලේඛකයෝ උදව් කළහ. විජය රාමනායක පත්තරවලට වැඩිපුරම ලීවේ ‘විරාම‘ යන නමිනි.


අවුරුදු ද‌ාහතර කාලේ කරත්තය තල්ලු කරගෙන යන ගුණදාස දහවල්ට කෑවේ රෝස්පාන් එකකි. එයද දවසක් පරණ වූ එකකි. අලුත් රෝස් පාන් ගෙඩියක් මිලට ගතහැකි වුවත්, මුදල් ඉතිරිකරගත යුතු බැවින් නියම මිලෙන් බාගයකට ලැබෙන රෝස්පාන් ගෙඩියෙන් ඔහු කුසගිනි නිවාගත්තේය. ඒ කාලයේ සත දෙකක් ගෙවූ විට තේ කෝප්පයක් මිලට ගත හැකි වුවත්, සතයක් ගෙවා තේ කෝප්පයකින් බාගයක් බීවේය.
මේ තරම් දුක්කම්ටොළු මැද ඔහු කොළඹ ජීවිතය ගෙව්වේ ගමේ දේපළ, ඉඩකඩම් නොමැතිව නොවේ. ගේ දොර, වතුපිටි, කුඹුරු ඔවුන්ට දකුණු තලල්ලේ ඇති වෙන්නට තිබුණි. පුංචි ගුණදාසට ඕනෑ කළේ තනියම නැගී සිටින්නටය. ස්වොත්සාහයෙන් දියුණු වී මිනිහෙක් වෙන්නටය. තම සහෝදරයන් කොළඹ ව්‍යාපාරිකයන් වුවත්. ගුණදාස ඔවුන්ට අත පෑවේ නැත.


උදේ පාන්දර නැගිට බඩු පටවාගෙන රවුමේ යාම මෙසේ කාලයක් තිස්සේ කරගෙන ගිය අතර ‘දැන් රවුමේ ගියා ඇති...’ යන සිතුවිල්ල පහළ වූයේ යමක් කමක් අතේ ඉතිරිකර ගත්තාට පසුවයි. කොහේ හරි පැත්තකට වෙලා බිස්නස් එක කිරීම ගුණදාසගේ ඊළඟ අරමුණ විය.


ඔහු ඒ සඳහා තෝරාගත්තේ මරද‌ාන ය. මරියකඩේ පදික වේදිකාවයි. රෙදි පිළි සහ වෙනත් සුළු සුළු බඩු ටික රැස්කරගෙන ඔහු ඒවා කඩයකට දමාගෙන පදික වේදිකාවට ගෙන එයි. සොයන්නාට සම්බවෙයි කීවාක් මෙන් ගුණදාස කොළුවාටද මරියකඩේ පදික වේදිකාවේ ඉඩක් සම්බ විය.


පදික වේදිකාවේ වෙළෙඳ‌ාම සරුවිය. එහෙත් ටිකක් කරදර සහිතය. එක පැත්තකින් ඇනුම් බැනුම්ය. තර්ජන ගර්ජනවලට මුහුණදිය යුතුය. ඊටත් වඩා පොලීසියෙන් බේරීමද ප්‍රශ්නයකි. දැනටමත් ගුණදාස කොළඹ ටිකක් තැලී පොඩී වී සිටින නිසා බජාර් එකේ තර්ජන නම් ඔහු ගනන් ගත්තේ නැත. හිටිහැටියේ පදික වේදිකාවට පොලීසියෙන් පනියි. මෙහි වෙළෙඳාම තහනම්ය. පොලිසියෙන් පනින අවස්ථාවලදී ගුණදාස බඩු ටික අකුලගෙන වට්ටියට දමා එය හිස මත තබාගෙන පැත්තකට මාරුවීම ඔහුගේ සිරිතයි. අනෙක් වෙළෙන්දොත් එසේමය. එහෙත් එක දවසක් එසේ පලායාමට කාලයක් නොතිබුණි. ඔහු පොලීසියට අසු වුණේය. මුළු දවසක් පොලීසියේ ලකප් කූඩුවේ හිරවී සිටියේය.


කුමන බාධක පැමිණියත් ගුණදාස අධෛර්යමත් වූයේ නැත. වෙළෙඳාම අත්හැරියේත් නැත. තවත් පියවරක් පෙරට තැබුවේය. හැමදාමත් පේමන්ට් එකේ බඩු විකිණීමද කළ නොහැකිය.

සවුත් වෙස්ටර්න් බස් සමාගම මගීන්ට ටිකට් දීමට තනවා තිබූ ලෑලි කූඩුවක් බම්බලපිටියේ විය. මේ කූඩුව ප්‍රයෝජනයට ගන්නේ නැත. එම ටිකට් කූඩුව කුලියට ගතහොත් එහි සිට වෙළෙඳාම් කළ හැකි බව ඔහුගේ අදහස විය. ඒ අදහස ඔස්සේ ගිය ගුණදාස කූඩුව කුලියට ගෙන වෙළෙඳාම නව ආරකින් පටන් ගත්තේය. මේ කාලය වනවිට ඔහු සෑහෙන මුදලක් ඉතිරි කරගෙන තිබුණි. 1951 දී බම්බලපිටියෙන් ඉවත් වී බොරැල්ලට පැමිණියේය. බොරැල්ල හංදියේ සාමාන්‍ය කඩ කාමරයක් කුලියට ගත් ගුණදාස “ගුණදාස ඩෙපරි ස්ටොර්ස්” නමින් එය හැඳින්විය.

1950 දශකය ඇස්.ඩී. ගුණදාස ශීඝ්‍ර දියුණුවක් ලැබූ වකවානුවකි. බොරැල්ලේ වෙළෙඳසැලකට අමතරව වෝඩ් පෙදෙසේ තවත් වෙළෙඳසැලක් විවෘත කරන්නට ඔහුට හැකිවිය. ඒ වෙළෙඳසැල් දෙකට අමතරව බේස්ලයින් පාරේ තවත් ද‌ාස වෙළෙඳසැලක් විවෘත විය. දැන් ඔහු වෙළෙඳ ආයතන හතරක අයිතිකරුවා විය. එහෙත් මෙම සූර තරුණයාගේ අරමුණ වී ඇත්තේ තවත් ඉදිරියට යාමටයි. 1956 දී මේ වෙළෙඳ ව්‍යාපාරයේ නව නැම්මක් සිදු විණ. එනම් ඔහුගේ ද‌ාස ආයතනය පිටරටින් බඩු ගෙන්වීමයි. රේඩියෝ, බයිසිකල්, ට්‍රයිසිකල්, රෙදිපිළි ආදී බොහේ දේ ඔහු පිටරටින් ගෙන්වීය. ලංකාවේ පාරිභෝගිකයින්ගේ මෙන්ම පිටරට වෙළෙඳ ආයතනවල ද විශ්වාශය දිනාගත්තේය. මෙතෙක් කළ කුමන ව්‍යාපාරයකින්වත් අසාර්ථක ප්‍රතිඵල නොලැබූ ගුණද‌ාස දැන් රටේ තොටේ කීර්තිමත් නාමයක් ඇති කරගත් දේශීය ව්‍යාපාරිකයකු බවට පත්වී සිටියේය.


තලල්ලේ ඇස්.ඩී. ගුණදාස 1958 මැයි 15දා සිරිමතී ගුණදාස සමඟ විවාහ විය. දෙමටගොඩ ආරාමය පාරේ පදිංචි වූ ඔවුන් පෙර පරිදි තම ව්‍යාපාර කටයුතු කරගෙන ගියේය. භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි ඔහුගේ සිත යොමුවූයේ මේ කාලයේදීය. මුලින්ම ඔහු සකස් කළ ඇඳුම් හෙවත් මසා නිමකළ ඇඳුම් නිෂ්පාදනයට අත පෙවීය. නිෂ්පාදනය කළේ කමිසයි. මෙම අලුත් ආයතනය ඇරඹුණේ දෙමටගොඩය. ආරම්භයේදී මැෂින් නවයක් තිබුණි. මුලින්ම කමිස කැපීම සඳහා රෙදි කැපුවේ බිම එළාගෙනයි. දිනකට නිෂ්පාදනය කළ හැකි වූයේ කමිස අටකි. ඒවා අලෙවි කිරීම ද ප්‍රශ්නයක් විය.


ඒ වනවිට ස්වදේශ කමිස වෙළෙඳපොළ විදේශීය කමිස නිෂ්පාදකයන්ගේ ඒකාධිකාරියකි. එම නිෂ්පාදන හා තරග කිරීම ගුණදාසට මහා අභියෝගයක් විය. නිෂ්පාදනවල තත්ත්වයද ආරක්ෂා කළ යුතු විය. ද‌ාස ආයතනය නිෂ්පාදනය කළ කමිස මුලින්ම හැඳින්වූයේ “ගුඩ්වේ” යන නමිනි. ගුඩ්වේ කමිස බෙහෝ වෙළඳසැල් හිමියන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.


පසු කලෙක ද‌ාස ආයතනයේ නිෂ්පාදන ‘ඩියුරෝ’ නමින් හැඳින්විය. කල්පවතින (Durable) යන අරුත ඇතිව මේ නම යෙදුවේය.


ඩියුරෝ කමිස, ඩියුරෝ රෙදිපිළි, ඩියුරෝ සූට්කේස්, ඩියුරෝ උණුවතුර බෝතල්, ඩියුරෝ මදුරුදැල්, ඩී.එස්. සපෝටර්ස් රටේ ජනතාව අතර ජනප්‍රිය වන්නට විය. ආරම්භයේ දී ඩියුරෝ කමිස දිනකට 2000ක් නිෂ්පාදනය විය. එමෙන්ම ඒවා ජනප්‍රිය විය. අලෙවි විය. පසුව ඔහු අත ගැහුවේ “සින්තටික්” වූ නම් කෘත්‍රිම රෙදි නිෂ්පාදනයටයි. සින්තටික් රෙදිපිළි ලංකාවට හඳුන්වා දුන්නේ ඔහුය. කිසිම විදේශීය රෙදි වර්ගයකට දෙවෙනි නොවන උසස් රෙදි පිළි නිපදවෙන අලුත්ම කර්මාන්ත ශාලාව තවත් නැම්මක ආරම්භයයි. එය ආසියාවේ තිබෙන විශාලම කර්මාන්ත ශාලාවන්ගෙන් එකක් විය. මෙම යෝධ කර්මාන්ත ශාලාව තැනුවේ ගුණදාස මහතාගේම උපදෙස් හා අනු දැනුම අනුවයි. කිසිදු කොන්ත්‍රාත් සමාගමකට මෙය පැවරුවේ නැත. සියල්ල නිර්මාණය කළේත්, සැලසුම් කළේත් ඔහු විසින්මය. මේ සමගම ඩියුරෝ ප්‍රවාහන සේවය නමින් විශාල ප්‍රවාහන ජාලයක් ද ආරම්භ කළේය.


පිබිදෙන ගායක පරපුර


එදා රේඩියෝව පමණක් තිබූ කාලයේ කැලණියේ දළුගම ද‌ාස සමූහ ව්‍යාපාර ‘පිබිදෙන ගායක පරපුර’ නොඇසූ කෙනෙක් නැති තරම්ය. 70 දශකයේ මුල සිට මේ වැඩසටහන ඉදිරිපත් කළේ කරුණාරත්න අබේසේකරයි. පසුව ආරියදාස පීරිස්ය. 1989 ලලිත් එස්. මෙත්‍රීපාලය. වැඩිම කාලයක් මෙම වැඩසටහන ඉදිරිපත් කළේ සීලරතන සෙනරත්ය. ඔහු අදත් ‘පිබිදෙන ගායක පරපුර’ චීන ජාත්‍යන්තර ගුවන් විදුලියට නිෂ්පාදනය කර ඉදිරිපත් කරයි.


එදා කොළඹ රේඩියෝ සිලෝන් එකේදී කරුණාරත්න අබේසේකර ‘පිබිදෙන ගායක පරපුර’ පටිගත කරද්දී අනුග්‍රාහක එස්.ඩී. ගුණදාස මහතා කීවේ. “ගම කොළඹට ගෙන්වන්නේ නැතිව අපි ගමට යමු කියාය.” ඒ අනුව අනුරාධපුරය, මොනරාගල, අම්පාර, මාතර, පදවිය, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල, මහනුවර ආදී ප්‍රදේශවලට ගොස් පිබිදෙන ගායක පරපුර පටිගත කළේය.


මේ පටිගත කිරීම ගමට ගියාට පසු ඩියුරෝ කමිස, සරම්, මදුරුදැල් පමණක් නොව ඩියුරෝ උණුවතුර බෝතල් පවා ගමේ ජනප්‍රිය වන්නට විය. ඒ කාලයේ ඩියුරෝ කමිසයක් ඇන්ද නැති කෙනෙක් නැති තරම්ය. කමිසයක මිල රුපියල් ද‌ාහතරකි. අසූව දශකයේ ලංකාවේ ඉස්තරම් කමිසය ඩියුරෝ කමිසයයි.


මරද‌ානේ ජෝන් බ්‍රදර්ස්, ඩැනී බ්‍රදර්ස්, ශ්‍රී රම්‍යා ස්ටොර්ස්, සුමති ස්ටොර්ස් ආදී ප්‍රකට වෙළෙඳ ව්‍යාපාර සමඟ ද‌ාස ස්ටොර්ස් යන නාමය ද කරට කර බැබළුණේය. බොරැල්ලේ නගර මධ්‍යයේ පිහිටි ද‌ාස සමූහ ව්‍යාපාර ගොඩනැගිල්ල හා ව්‍යාපාරය අදත් විරාජමානව බැබළෙනු දැකිය හැකිවේ. අද රට පුරා විසිරී පැතිරී තිබෙන සුපර්මාර්කට් ක්‍රමය ලංකාවේ ඇති කළේ හඳුන්වා දුන්නේ ගුණද‌ාස මහතාය.


1962 දී ජපානයේ ඔසාකා නුවර පැවැති ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයට හා සම්මන්ත්‍රණයට ගිය ගුණද‌ාස මහතා ආපසු පැමිණියේ විශාල රෙදි නිෂ්පාදන සැලැස්මක් සිත තුළ රඳවාගෙනය. ඒ සැලැස්ම හරියටම හරිගියේය.


ආසියාවේ තිබෙන විශාලතම කර්මාන්ත ශාලාව ආරම්භයේදී දිනකට රෙදි යාර 25,000ක් නිපදවීමට ඔහුට හැකිවිය. එකල මෙම කර්මාන්ත ශාලාව තැනීමට ගිය මුළු වියදම ලක්ෂ 114 ක් වේ. ඔහු ධනපතියකු වූ පසු ද‌ානපතියකු බවට පත්විය. ලක්ෂ ගණනකට රැකියා ලබා දුන්නේය. ආගමික ස්ථාන දියුණු පවුණු කිරීමට කටයුතු කළේය. රටේ අධ්‍යාපනය නගාසිටුවීමට තම ධනය උපරිමයෙන් වැය කළේය. මංමාවත් තැනුවේය. ගම්බිමි සංවර්ධනය කළේය. දුප්පතුන්ට ආධාර උපකාර කළේය. රෝහල්, පුස්තකාල, විද්‍යාගාර ඇති කළේය. එපමණක් නොව සතා සිවුපාවාට පවා මෛත්‍රිය කළේය. මරණයට නියම වූ ගවයින් නිදහස් කළේය. එය ඔහුගේ පුරුද්දක් විය.

තම ආයතනයේ වැඩකළ සේවකයන්ට වසරක පඩිය බෝනස් වශයෙන් ලබදී රටට ආදර්ශයක් ලබා දුන්නේය. හම්බ කළ ධනයෙන් සතයක්වත් වැරදි, අයුතු වැඩවලට නිස්කාරණේ වැය නොකළ ඔහුගේ නම අදත් ජනතාව සිහිකරන්නේ ගෞරවයෙනි. ද‌ාස මුදලාලිට දියණියන් හය දෙනෙක් ද පුතුන් හතර දෙනකු ද වූහ.
මේ දූ දරුවන් උසස් අධ්‍යාපනය ලැබ අද සමාජයේ ඉහළ තැන්වල වැජඹෙන දේශහිතෛශී පිරිසකි. ද‌‌‌ාස සමූහ කර්මාන්ත ආයතනයේ ස්වර්ණමය යුගය 1970 බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමයයි.

එදා මැතිණිය බලයට පත්කිරීමට දේශීය ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් පෙරමුණ ගෙන සිටියෝය. පියදාස මුදලාලි, මැකලම් මුදලාලි, ගුණදාස (දාස) මුදලාලි, ඩේවිඩ් සිල්වා මේ මුලින්ම සිටි පිරිසේ නායකයෝ වූහ. ඔවුන් අතරෙන් ‘ද‌ාස මුදලාලි’ ට හිමි වූයේ සුවිශේෂ ස්ථානයකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකණුවකි.
සිරිමාවෝ අගමැතිණිය ළඟින්ම ඇසුරු කළ ගුණද‌ාස මහතා ඇයට කෙතරම් සමීපද කිවහොත් තම රජයේ කැබිනට් එක පත්කිරීමට පවා මෙතුමාගෙන් උපදෙස් ලබා ගත්තේය. ද‌ාස මුදලාලි ජීවිතය ජය ගත්තේ එක අරමුණක් හා එක ප්‍රතිපත්තියක් තිබූ උතුම් මිනිසෙකු වූ නිසාය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැමවිටම ඇලුම් කළේය. ඒ එහි තිබූ දේශීය චින්තනය නිසාය. ඔහු සිරිමාවෝ බණ්ඩාර මැතිණියට ගරු කළේය. හිතවත්ව කටයුතු කළේය. ඒ හිතවත්කම ඇය මිය යන තුරුම පැවතිණ. හිටපු මුදල් ඇමැතිවරයකු වු රොනී ද මෙල් මහතා ද‌‌‌ාස මුදලාලිගේ කිට්ටුවන්ත මිත්‍රයෙකි. රොනී, ද‌ාස මුදලාලි සමඟ තරහ වූයේ ඒ ප්‍රතිපත්තිගරුක බව නිසාය.

රොනී 77 බලයට ඒමට පෙර ද‌ාස මුදලාලිගෙන් එජාපයට ආධාර ඉල්ලුවේය. “මම හදවතින්ම ශ්‍රී ලංකා කාරයෙක්. මට ගුණමකු වෙන්න බෑ. ඒ නිසා යූ.ඇන්.පියට උදව් කරන්නේ නෑ.”
මෙයින් පසු රොනී තරහ වුණේය. ඔහු එජාප රජයේ මුදල් හා ක්‍රම සම්පාදන ඇමැති විය. ඉන්පසු ඔහු ද‌ාස මුදලාලිට පහර පිට පහර දුන්නේය. ඔහුගේ ව්‍යාපාර වැටෙන්නට හේතුව වූයේ ප්‍රතිවිරෝධී දේශපාලකයින්ගේ පලිගැනීමට ලක්වීමයි.

එහෙත් ද‌ාසලා පැරදුණේ නැත. වැටුණේ නැත. දේශීය දේට ජාතික දේට ආදරයක්, ඇල්මක් ඇති ඇස්.ඩී. ගුණද‌ාස මහතා මිය යනතුරුම ජාතික ඇඳුම ඇන්දේය. විදේශ රටවල පැවැති ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනවලට හා සම්මන්ත්‍රණවලට ඔහු හැමවිටම සහභාගි වූයේ ජාතික ඇඳුමෙන්ය. මෙතුමා රටටත්, ලෝකයටත් ආදර්ශයකි.

පී.ඇම්. සේනාරත්න
(ලංකාදීප)

උපුටාගැනීමකි

A day in the life

2025-06-25

කර්නල් මුහම්මර් ගඩාෆි

44 හැවිරිදි ගඩාෆි, 1986 ඇමරිකානු ගුවන් ප්‍රහාර වලට ලක්ව විනාශ වූ ලිබියාවේ ට්‍රිපොලි අගනුවර බාබ් අසීසියා මාළිගය තුළදී. මේ, අන්තර්ජාලය තුළ ඔහු සිනාසෙමින් සිටින ඡායාරූප අතලොස්සෙන් එකකි
කර්නල් මුහම්මර් ගඩාෆි මේ සියල්ල දැන සිටියාක් මෙන් ය. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට, එහි නායක සදාම් හුසේන්ව ඝාතනය කිරීමෙන් පසු පැවැත්වුණු 2008 අරාබි ලීග් සමුළුවේදී, එවකට ලිබියානු නායක ගඩාෆි මෙසේ පැවසීය.
"ඉරාකය ආක්‍රමණය කිරීමටත්, විනාශ කිරීමටත්, ඉරාක ජාතිකයන් මිලියනයකට ජීවිත අහිමි කිරීමටත් හේතුව කුමක්ද? අපගේ ඇමරිකානු මිතුරන්ට මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉඩ හරිමු.
ඇයි ඉරාකය? හේතුව කුමක්ද? බින් ලාඩන් ඉරාක ජාතිකයෙක්ද? නැහැ. නිව්යෝක් නගරයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? නැහැ. පෙන්ටගනයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? නැහැ. ඉරාකය සතුව බහුජන විනාශකාරී අවි (Weapons of Mass Distruction - WMD) තිබෙනවාද? නැහැ.

ඉරාකය සතුව WMD's තිබුණා නම්, ඒ වුණත් පාකිස්තානය සහ ඉන්දියාව සතුවත් න්‍යෂ්ටික බෝම්බ තිබෙනවා නොවේද? චීනය, රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව සතුවත් තිබෙනවා නොවේද? මේ සියළු රටවල් විනාශ කර දැමිය යුතුද?

හොඳයි, අප ඒ WMD's සහිත සියළු රටවල් විනාශ කර දමමු. විදේශ බලවන්තයෙකු පැමිණ, අරාබි රටක පැලපදියම් වී එරට ජනාධිපතිවරයාව එල්ලා දමනවා. අප පසෙකින් වාඩිවී සිනාසෙමින් සිටිනවා.

සදාම් හුසේන්ව එල්ලීම පිළිබඳව ඔවුන් පරීක්ෂණයක් නොපවත්වන්නේ ඇයි? යුධ සිරකරුවෙකු එල්ලා දමන්නේ කෙසේද? අරාබි රටක ජනාධිපතිවරයෙකු, අරාබි ලීගයේ සාමාජිකයෙකු යනු සුළුපටු පුද්ගලයෙකු නොවෙයි.

සදාම් හුසේන්ගේ ප්‍රතිපත්ති ගැන හෝ අප අතර තිබූ දේශපාලනික මතභේද පිළිබඳ මා කතා කරන්නේ නැහැ. අප හැමෝටම ඔහුත් සමග දේශපාලනික මතභේද තිබුණා. මේ ස්ථානයේ සිටින අප අතරත් එවැනි මතභේද තිබෙනවා. මේ ශාලාවෙන් පිටතදී අපට බෙදාගන්නට කිසිවක් නැහැ.
සදාම් හුසේන්ව ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් නොපැවැත්වෙන්නේ ඇයි? සමස්ත අරාබි නායකත්වයම එල්ලා දමා අවසන්. අප පසෙකින් වාඩිවී සිටින්නේ ඇයි? ඔබගෙන් ඕනෑම කෙනෙකු මීළඟ වින්දිතයා විය හැකියි. ඔව්!

ඇමරිකාව, අයතුල්ලා අලී ඛමෙයිනිට එරෙහිව සදාම් හුසේන් සමග එක්ව සටන් කළා. ඔහු ඔවුන්ගේ මිතුරෙක්. ඩික් චේනි සදාම් හුසේන්ගේ මිතුරෙක්. ඉරාකය විනාශ කර දැමූ සමයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් යනු සදාම් හුසේන්ගේ සමීප මිතුරෙක්. අවසානයේදී ඔවුන් ඔහුව විකුණා එල්ලා දැමුවා.

ඔබ ඇමරිකාවේ මිතුරන්. අපි මෙසේ කියමු, ඔබ පමණක් නොවෙයි, 'අපි ඇමරිකාවේ මිතුරන්'. එහෙත් එක්තරා දිනෙක ඇමරිකාව විසින් අපවත් එල්ලා දමාවි"

- මුහම්මර් ගඩාෆි, 2008 අරාබි ලීග් සමුළුවේදී.

2008 අරාබි ලීග් සමුළුව පැවැත්වුණේ මාර්තු 29 වැනිදා සිරියාවේ දමස්කස් අගනුවරදීයි. ඉන් වසරකට පසුව, 2009 අරාබි ලීග් සමුළුවේදී ලිබියානු නායක මුහම්මර් ගඩාෆි, සවුදි අරාබියේ අබ්දුල්ලා රජු බ්‍රිතාන්‍යයේ නිර්මාපිත, ඇමරිකානු ආරක්ෂාව ලබන්නෙකු බව ඔහුට ඍජුවම ප්‍රකාශ කළේය. විශාල ඇමරිකානු කඳවුරු කිහිපයක් සවුදි අරාබියේ පිහිටුවා තිබීම සහ අබ්දුල්ලා රජු උග්‍ර ඇමරිකානු හිතවාදියෙකු වීම ඊට හේතුවයි. ගඩාෆි-අබ්දුල්ලා අතර උණුසුම් වාදයක් ඇතිවෙද්දී ඊජීප්තු නායක හොස්නි මුබාරක් මැදිහත්ව ප්‍රශ්නය සමථයකට පත්කළේය.

2009දී 'අරාබි වසන්තය' නම් ව්‍යාපෘතිය පණගැන්විණි. ඒ සමග ඇතිවූ තරුණ අරගල, ඝාතන, කුමන්ත්‍රණ, කැරලි සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් පසුව ටියුනීසියාව, ඊජීප්තුව සහ ලිබියාව යන රටවල් වල පාලකයන්ගේ වෙනසක් ඇතිවිය.
සිරියාව සහ යේමනය දරුණු සිවිල් යුද්ධ වලට මුහුණපෑවේය. බහරේන්හිද සිවිල් නැගිටීම් දැකිය හැකිවූ අතර මේ බොහෝ රටවල් වල ආර්ථිකයන් කඩාවැටුණි. මහජනයා අන්ත දුගීහාවයට පත්විණි. ඒ රටවල් තුළ අන්තවාදීන් සහ අවි අත දරාගත් තරුණයන්ගේ කල්ලි සුලබ විය.

උක්ත නිර්භීත කතාව පැවැත්වූ මුහම්මර් ගඩාෆි, 2010 ඔක්තෝබර් 20 වැනිදා, ලිබියාවේ National Transition Council (NTC) නම් සංවිධානය ප්‍රමුඛ මහජනතාව විසින් මහමග දිගේ ඇදගෙන ගොස්, වෙඩිතබා ඝාතනය කළේය. එතැනින් පසුව ලිබියානු පාලන තන්ත්‍රයේ කඩාවැටීම ඇරඹිණි.
2012දී ගාසා තීරයේ යුද්ධ ගැටුම් යළි ඇවිලිණි. එය මෙතෙක් නොනවත්වා ක්‍රියාත්මක ය. 2023දී ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ ඊශ්‍රායලය අතර ගැටුම් වැඩි විය. ඊශ්‍රායල-පලස්තීන ගැටුම්ද උත්සන්න විය. එමෙන්ම රතු මුහුදේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඊශ්‍රායලය සහ යේමනයේ හූති ගරිල්ලන් අතර ගැටුම් පවතියි.
එකල ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලට අනුව ගඩාෆි යනු ඒකාධිපතියෙකි. ඔහු සාන්තුවරයෙකු යැයි කිව නොහැකිය. එහෙත් ගඩාෆි විසින් 2008දී පැවැත්වූ උක්ත කතාව තුළ, මෑත කාලීන ගෝලීය දේශපාලන ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු ගැබ්ව ඇත. ඉතිහාසය සියල්ලට සාක්ෂි දරමින් තිබේ. ඊශ්‍රායල්-ඉරාන ගැටුම් යනු එහි වර්තමානයයි.

"මේ හෑලි අපට මොකටදැ?"යි විමසන ඕනෑම කෙනෙකුට දියහැකි පිළිතුර වන්නේ, "කුසට පෙර මොළයට සංවේදනා දැනෙන බවත්, ඒවාට සංවේදී වීම වැදගත් බවත්" ය.

--අයුලි නුගේරා 
මුණු පොතට.
- අසංක හදිරම්පෑල.

A day in the life