Wednesday, June 12, 2024

සිංහ කොඩියේ සිංහයාණෙනි !










 

සිංහ කොඩියේ සිංහයාණෙනි
ඉහළ අහසේ සුළං පහරින්
නැළවි නැළවී ලෙළෙන රුව දැක
වස් කවියකින් කපා පුහුලක්
අතට දෙමි කසයක් .
පිටුවහල් කර සිංහලේ රජු
ගතු කියා සුද්දන්ට කත් ඇද
අදත් උන් උන් මරා ගන්නා
නිවටයින් ගෙල තදින් මිරිකා
කස පහර දීපන්.
හිරවෙලා ඔය කොඩිය ඇතුලේ
වගතුවක් නෑ ගමට පලයන්
කැලෑ වනසන එවුන් සොයලා
කස පහර දීපන් .
එකම සීමා මායිමක් තුළ
ජාති කුල ගොත් වලට බෙදමින්
පාට පාටින් කොඩිය හැඩකළ
ජාතකේ වරදවා ගත් අය
වන්නාවෙ දිය කෙළින රඟ බල
එවන් ඉස් ගෙඩියන්ට වැරගෙන
කස පහර දීපන්.
කඩුව නුඹගේ කොස් කොටන්ටද
කිරුළ කටුගෙයි දමා ඇතිකොට ..
යල මහට අටු කොටු පුරන්නට
දියවරෙන් විදුළිය තනන්නට ..
උපන් හපනුන් සිහසුනට ගෙන
කඩුව උන් අත තබාපන්.
රෝ.සි.



A day in the life

Tuesday, June 11, 2024

දකුණේ ඈයෝ




දකුණේ ඈයෝ ගැන කියද්දි එවුංගෙ කෑම ගැන නොකියාම බැරිය. දකුණේ බොහොමයක් එවුං රතු හාලේ බත්වලට වැඩි ප්‍රියක් දකවන අතර ඒ බත්පතට එකතු වන තවත් අඩුම කුඩුම රාසියකි.
බල මාළු මිරිසට හිංදා පොල් සමග කෑමට එකතු කර ගැනීම බළපිටිය, කොස්ගොඩ, තෙල්වත්ත, රත්ගම, බූස්ස, තොටගමුව ආදි ගම්වල එවුංගෙ සිරිතකි.
වම්බටු තෙළට සහ කිරට දෙවිදියකට හදන අතර පිට පළාත්වල මෑ කරල් දකුණේ ඇතැම් ප්‍රදේශවල ලීම කරල් බවට පත් වී වෑංජන ලෙස සාදයි.
මුහුදුබඩ පත්තුවේ පෙරකල යහමින් ජාඩි තිබුණද දැන් දැන් ජාඩි සොයා ගැනීම තරමක් අපහසුය.
ජාඩි හොද්දක් සමග කොස් තම්බා කෑම දකුණේ එවුංගෙ සිරිතකි. ජාඩි දැමීමෙන් එම හට්ටියේ මාළු ලේ සහ ලුණු මිශ්‍ර වීමෙන් හැදෙන ලුනිජ්ජ හොඳින් රත්කර පොල් මටුල්ලකින් පෙරා වීදුරු බෝතලයකට දමා එයට නයි කොච්චි කරල් කිහිපයක් දමා රසකාරකයක් ලෙස භාවිත කරයි. විශේෂයෙන්ම කළටි පොල්වලින් හදන පොල් මැල්ලුමට ලුනිජ්ජ ස්වල්පයක් එකතු කිරීමෙන් එහි රසය දෙගුණ තෙගුණ වේ.
මී කිරි සමග රතු බත්, ජූල් කිරි සමග රතුබත් දකුණට අනන්‍ය වූ කෑම වර්ග වේ.
මාළු ඇඹුල් තියල්, සිංහල අච්චාරුව, වට්ටක්කා වෑංජනය දකුණේ එවුංගෙම්ම කන්නට ඕනෑය. හාල් ටිකක් කබළක බැද යහමින් අබ සහ අනිකුත් පහේ වර්ග සමග කොටා වට්ටක්කා වෑංජනයට එකතු කිරීමෙන් දකුණේ රසය ස්මතු කර ගත හැක.
දෙල් කාලයට ඉදුණු හෝ හොඳින් පැසුණු දෙල් තම්බා බළ මාළු සහ පොල් සමඟ ආහාරයට ගැනීමද දකුණේ එවුංගෙ සිරිතකි. දෙල් මැල්ලුම, දෙල් බැදුම, පැනි දෙල්, අටු දෙල් ආදි බොහෝ දේවල් දෙල් සීසන් එකේ දකුණේ කෑ හැකිය.
දී කිරි පොල් ඇත්තේද දකුණු පළාතේ පමණක් වන අතර ඩොංගා පළතුරද බහුළව දැකිය හැක්කේ දකුණු පළාතේ වීම විශේෂත්වයකි.
දකුණේ එවුං උදේ කෑමට එකතු කර ගන්නා තවත් සුපිරි කෑමකි පොල් බත්. හුණුසාල් වලින් සාදා ගන්නා බතට කළටි පොල් එකතු කර සදා ගන්නා පොල්බත් කන්නට හදන ලුණුමිරිසද විශේෂය. හාල්මැස්සන්ගෙ ඔළු කබලෙ බැද නයි මිරිස් සහ බිළිං එකතු කර සාදා ගන්නා ඒ ලුණුමිරිස සමග පොල් බත් හට්ටියක් කෑ හැකිය.
දකුණේ එවුං බිලිං තීරු ලෙස කපා අව්වේ හොඳින් වේලා ගෙන කල් තබා ගන්නේ කරවල බැඳුමකට ජාඩි හොද්දකට එකතු කර ගැනීමටය.
වෙරළබඩ ප්‍රදේශවලින් ඈත්වන විට ආහාර මෙන්ම භාෂා විලාසයද යම් යම් වෙනස්කම්වලට බඳුන් වීමද අපූරුය.
"ඉස්ම" යන්න කෑවා, ඉස්ම යන්න දුන්නා යනු "අම්බානක" යන වචනයට සමානව ඉස්ම යන වචනය යොදාගනී. "අඹනවා" යනවා දුවනවා යන අදහස දෙන අතර "ඕකා අඹෝලා දාපං" කියන්නෙ එළවලා දාපං කියන අදහසිනි.
පොලොත්ත කියන්නෙ පොල් කටුවට වන අතර දණහිසට දණපොලොත්ද, ලුණු පොල්කටුවට ලුණු පොලොත්තද කියා හම්බන්තොට සමහර එව්වෝ කියනවා අසා ඇත්තෙමි.
දිගටම ලිව්වාහම ආතල් එකක් නැති නිසා ඉතිරිවා පස්සට ලියමි. 
කෝ බලන්න මේ කියපු කෑම කාල තියෙන දකුණේ ඈයෝ.... 
ගාල්ලෙ මයිනා

Galle Memes

 මීදුම මේ වගේය. 
දකුනේ එවුවන්ට බෙන්තරගගෙන් එහා කිව්වත් නම්බුය. මම නම් හයිබ්‍රිඩ්ය. තාත්තා දකුනේය. අම්මා සබරගමුවේය . මම ඉපදුනෙත් සබරගමුවේය. ඒත් ගම කොහේද කියලා ඇහුවොත් තාත්තාගේ ගම අහංගම මතක් වෙන්නේය.ඒ යටිහිත කියන්න උත්සහ ගන්නේ දකුනේ කියන්නය.
මේ  වියමන මෙටාවේ දැක්ක දිනුක දේශප්‍රිය මෙහෙම කියනවා.

“අපි බෙලිහුල් ඔය උනාට අපේ තාත්තා ගේ තාත්තා හක්මනය....අම්මා දෙනිපිටියේ නුග රුක අසලින් ඇති පාරේ මහ වත්තේය... අම්මාගේ තාත්තා ගන්දරය....අම්මා අහංගමය...තාත්තා ගේ අම්මා අත් අගට රේන්ද ඇල්ලු අත්දිග හැට්ටයට චීත්ත ඇන්දාය...දකුනේ මිනිස්සුන්ට අම්මාගේ හෝ තාත්තාගේ අම්මා ආත්තම්මාය...අපේ ආත්තම්මාගේ විලාසිතාවට හැට්ට චීත්ත ඇන්දේ බළන්ගොඩ නගරයේ විසූ පූජ්‍ය දාස සර්ගේ නැන්දම්මාය...බලමාලු ,,,කට්ට සම්බෝල සමග පොල් දැනුදු අපේගෙදර පිසේ...ජාඩි,,,ලුනිජ්ජ ,,,අපේ අම්මා තවම සාදන්නීය...තාත්තා ජීවත් සිටි කාලයේ ගෙදරට ගේන බඩු බිල් "කි" වලින් ඉවර විය...එනම් සීනී කිලෝ එකකි,,,පොල් දහයකි,,,,මිරිස් පන්සීයකි වශයෙනි.. අපි සබරගමුවේ ආරයට ඉදිරියේ සිටින කෙනා අමතන්නේ "ඔයා" යනුවෙනි....නමුත් "තද" වුවිට ඔයා ඉබේම "ඔහේ" වන්නේය...මෙහේ මිනිස්සුන්ට එය දිරවන්නේම නැති වචනයකි...එහේ මිනිස්සු නගරය අර්ථ ගන්වන්නේ "කඩේ" කියාය.. අපේ සීයා හිටි සමයේ මං බොහෝ අමාරුවෙන් ,,,රනිල් වික්‍රමසිංහ ට චන්දේ දීමට පොරොන්දු කරවාගෙන,,,ත්‍රී වීලරයක්ද හයර් කරගෙන අනදමෙත්ගම ප්‍රපා ශාලාවට එක්ක ගියෙමි...මේ වයසක මනුස්සයාගෙන් නිළධාරීන් ඇහුවේ ප්න්දය කාටද කියාය.. ඔහු කීවේ බෙලිඅත්ත කඩේ මහින්ද මහත්තයාට කියාය...අපේ ගෙදර සිටි සීයා පොඩි මාමට බාරදී මම බස් එහෙක නැගී ගෙදර ආවෙමි....අපි තවමත් එහෙම ලේසියෙන් අසාධාරණය හමුවේ නැවෙන්නේ නැත... අපේ තාත්තා නිතර කියූ පරිදි "අම්මා දෙනවා කීවොත් ,,තාත්තා ගස් බැද හෝ එසේ කිරීමට පසුබට නොවෙමු.. මේ නිසා නිතර නිතර තොප්පි වැටිමද අඩු නැත...ඕනෑම ජරමරයක් වූ තැනක නම ඇත ..
.
A day in the life

Monday, June 10, 2024

තුනු විළ බලාපිය "අම්මගේ" දවාලක


















  මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ,කව කීවේ ලු.

රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ
ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ
වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් වුණේ
වානර මුව සේ නැබ මුළ සුරති ගති පෙනේ

සත්‍රී ලිංගය වඳුරු මූණකට සමාන කරමින් ඔහු මෙ,කව කීවේ ,
ගජමන්ට සරදම් පිණිස ය.

ඊට ගජමන් නෝනා දුන් පිළිතුරයි මේ !

කේසර එන්ට පෙරතුරු ගජතුගේ දක්සේ
වේ සර හට වුවොත් කුරැළුට වෙයි දුක්සේ
ඒ සැර ලියෝ ඇසවොත් මේ වග දක්සේ
වානර මුව උලති හම යනතුරු හොස්සේ

කෙතරම් කිවිඳියෝ බිහි වුණත් මට කම් කිවිඳියන් අතර
ලොවේ කිවි සිළුමිණ ",ගජමන් නෝනා!"
ඇය පුරුෂාධිපත්‍යය ඔටුණු පලන් දේශයක
ඊට මුණදුන් නිර්භීත ආකාරය.........
වරක් එක්තරා මුදළි කෙනෙක් ගජමන් නෝනාට මෙහෙම ආරාධනාවක් කරනවා.

පන්නා පත් තරිඳු රිවි උදය වේලක
දෙන්නා සමඟ ගොස් ඉඳ අරණ ගාලක
පන්නා වත් නොවී ඉඳ බිය නොවී සැක
පෙන්නාපන් ළඳේ තුනු විළ දවාලක

"සඳු පලවා හැර හිරු ආධිපත්‍යය පතුරවන උදය වෙලාවක
අරණ ගාලකට ගොස්
රෙදි ගලවා
අහවල්,එක පෙන්නාපන්"ය.

මෙම ආරාධනාවට ගජමන් පිළිතුරු දෙන්නෙ මෙහෙම.

තුනු විළ බලන්නට මුගේ සිත වෙලා දුක
තුනු විළ තලන්නට සිතිලා දවාලක
තුනු විළ මැකීලද අඹුවගෙ මුළාවක
තුනු විළ බලාපිය "අම්මගේ" දවාලක

“කමල් පි අලහකොන්  -විසින් මෙටාවේ පල කල වියමන් දෙකකින් මෙ පෙල උපුටා ගතිමි.
ස්තුතියි ඔහුට.
ඇැලපාත මුදලිත් ගජමන් නෝනාත් අතර අනියම් සම්බන්ධයක් පැවතුන වබ ප්‍රසිද්ධ කරුනක්.
ඇලපාත මුදලි,
මනහට නුඹෙ පවර සිරි පිරි වත තඹර
බොහොවරකින් නුදුටුයෙන් මා නෙත් බඹර
කරදර කර හඬන විට නලවන අයුර
නොවිසිර මට වහා දනවන්නේ විතර
ඇය:
ඔබ දැන්වූ විලස මා වෙත දිනක පෙර
එන මෙන් සිත සිතා පසුවෙමි දැන් නිතර
නැතියෙන් අවසරක් වැඩි බැවිනි කරදර
සතුටින් දැනුම් දෙමි යළි ඉඩ ලැබුනු වර
ඇලපාත මුදලි
මුලින් බැඳුණු මුත් දැඩි පේ‍්‍රමයක් හදේ
කෙමෙන් එය නැතිව නුඹ සිටි නිසා තදේ
මේ දැන් කියමි කරුණක් දැනගන්න හොඳේ
නිවන් දකින තුරු මට ඔබ එපා ලඳේ
ඇය.
මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම හදේ
කෙමෙන් එය දැඩිව අලි කළුගලක් ලෙදේ
මෙදැන් ඔබගේ බස් මොන පුදුමයද වදේ
නිවන් දකින තුරු මා හැර කවුද හොඳේ
පසු කාලයේ ගජමන් නෝනා ගෙල සිද ගෙන සියදිවි නසා ගන්නවා. මිය යාමට පෙර ඇය මෙසේ ලියු බව සදහන්.
සකවසිනෙක් දහස් සත්සිය සතිස් වස
වකලද තෙළෙස් උඳුවප් අවගුරු දවස
නෙක ගුණ දෝන ඉසබෙල් පෙරුමල් දිගැස
සකපුර පැමිණ දිවසිරි සැප විඳින ලෙස



A day in the life

Sunday, June 09, 2024

හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි



හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි
උදන් ප්‍රනාන්දු

 

'හැත්තෑ-එක' යනු අධ්‍යාත්මික අර්ථයෙන් සාධනීය වර්ධනයකට ස්වයං අවදිවීමකට හා සොයා ගැනීමකට හේතුපාදක වන අංකයකි. හැත්තෑ එක් වැනි දේවදූතයා ලෙස හඳුන්වන එම අධ්‍යාත්මික බලවේගය, පුද්ගලයෙකුගේ ජීවිතයේ සුභසාධනයට හා වර්ධනයට හේතුවන බව මෙවන් අධ්‍යාත්මිකවේදයන් වහරන අයගේ විශ්වාසය යි.
සමකාලීන ලංකාවේ 'හැත්තෑ-එක' යනු හුදු අංකයක් පමණක් නොව සමකාලීන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ද හැඟවුම් කරන සන්ධිස්ථානයකි. නිදහසින් පසු ලංකාවේ, හැත්ත එකට අමතර ව, සමාජයේ නිතර ම වැහැරෙන, වෙනත් මෙවැනි අංක සහිත සන්ධිස්ථාන වන්නේ පනස් හය හා අසූ තුන ය. 1971 කැරැල්ල, උතුර නැගෙනහිර සමාජයට කෙසේ වෙතත්, ලංකාවේ සෙසු සමාජයේ නොමැකෙන සලකුණක් තැබී ය. අඩ සියවසකට පසුවත් 1971 සාධකය වතුර යට සැඟ වූ රබර් බෝලයක් මෙන් වරින් වර ලාංකීය සමාජයේ උඩට ඒම දක්නට හැක.
පසුගිය සතියේ මැයි තිස් වැනිදා සමාජ මාධ්‍ය පරිශීලනය කරන විට ය මට දැන ගන්නට ලැබුණේ බොහෝ කලක් මා ඇසුරු කළ මානෙල් රත්නායක මහතාට එදින වයස අවුරුදු හැත්තෑ එකක් ලබන බව. ඒ වෙලාවේ ම බදුල්ලට මා දුරකථන ඇමතුමක් ගත් අතර, උදේ හතට පමණ මානෙල් සිටියේ තම මුණුබුරන් දෙදෙනා සමග කෙළිදෙළින්ය. ඒ අසල ම සිටියේ එකල රජයේ ආයතනයක ලිපිකාරිනියක ලෙස වැඩ කටයුතු කළ ඔහුගේ බිරිඳ රෝහිණී මහත්මිය ය. කුඩා කල සිට ම මා දන්නා මානෙල්-රෝහිණී යුවලගේ එක ම පුත්‍රයා වසන නිවසේ ම ඔවුන් සමග ඔවුන් දෙදෙනා තම විශ්රාම සුවය විඳිමින් සිටින්නේ.

 මානෙල් මාගේ කොලම කියවන හාඩ්-කෝර පාඨක කවයේ නිත්‍ය සාමාජිකයෙකි. ඔහු දැන් මිලදී ගන්නේ අනිද්දා පත්තරය පමණ ය. කලක තම විප්ලව සගයෙකු වූ මහැදුරු ජයදේව උයන්ගොඩගේ දීර්ඝ ලිපියත්, උයන්ගොඩගේ ඥාති සහෝදරයා වන ගාමිණී වියන්ගොඩගේ ලිපියත් මානෙල් නිතර ම කියවන අතර, ඊට අමතරව මාගේ කොලම ද නොවරදවා ඔහු කියවන බව කී විට මට යම් සතුටක් දැනෙන බව සැඟවිය යුතු කාරණයක් නොවේ. ගෙවීමක් රහිතව දැන් වසර පහක් තිස්සේ පමණ මේ ලියන කොලම හරහා ලැබෙන මෙවැනි පාඨක ප්රතිචාර අමිල ය.

මා මෙය ලියන්නේ මානෙල් මා දශක තුනහමාරක් තිස්සේ දන්නා හඳුනන කෙනෙකු නිසා ම නොවේ. මානෙල්ගේ පුද්ගලික ජීවිතයේ ට්‍රැජෙක්ටරිය හෙවත් ගලායෑම සමකාලීන ලාංකීය සමාජ දේශපාලන සන්දර්භයත් සමග වාත්තු කරනට දරන උත්සාහයක් ලෙසිණි. විශේෂයෙන් මා උනන්දුවන්නේ හැත්ත එක කැරැල්ලට සම්බන්ධ වූ පිරිසගේ පශ්චාත් 71 තෝරා ගැනීම් සමකාලීන ඉතිහාසයේ රටාවන් හෝ ප්‍රවණතාවයන් ලෙස අප හඳුනා ගන්නේ කෙසේ ද කියා විමසීමට ය. ඒ තුළින් සමාජයට යම් බලපෑමක් සිදුවුණා ද නැද්ද සහ එහි නෂ්ඨාවශේෂ තවමත් ඇද්ද කියා සිතන්නට පදනමක් දැමීමට ය.
1953 වසරේ උපන් මානෙල් රත්නායක, 1971 කැරැල්ලට සම්බන්ධ වන විට වයස අවුරුදු 18 කි. දකුණේ මාතර දිස්ත්‍රික්කයේ, මාවරල ප්‍රදේශයේ (වත්මන් පරිපාලන බෙදීම් අනුව, පස්ගොඩ ප්‍රැ.ලේ යටතේ) දරුවන් හය දෙනෙකුගේ පවුලක සාමාජිකයෙකු ලෙස ළමා කාලය ගත කළ මානෙල්, කැරැල්ලේ මුල් ම දිනවල මාවරල පොලිසිය අල්ලා ගත් මෙහෙයුමේ ක්‍රියාකාරී කැරලිකරුවෙක් විය. මානෙල්ට අමතර ව තම වැඩිමහල් සොයුරා ද සොයුරිය ද කැරැල්ලට සම්බන්ධ වූ හ. හමුදාවේ හා පොලිසියේ පීඩනය මැද දින කිහිපයකින් තමන් විසින් අල්ලා ගත් පොලිස් ස්ථානය අතහැර දමා පසුබසින්නට මානෙල් ඇතුළු කැරලිකරුවන් තීරණය කර ගත් අතර, දින කිහිපයකින් ඔවුන් තෝරා ගත්තේ සිංහරාජ වනය ඔස්සේ පසු බැසීමට යි. දින කිහිපයක් සැතපුම් සිය ගණනක් සිංහරාජයේ ගමන් කරමින් සිටිය දී හමුදාව හා පොලිසියෙන් එල්ල කළ ප්‍රාහාර හමුවේ සමහර කැරලිකරුවන් ජීවිතක්ෂයට පත් වූ අතර, මානෙල්ගේ ජීවිතය බේරුණේ, ඒ වෙඩි උණ්ඩයේ ඉලක්කය වැරදි ඔහුගේ පාදයට පමණක් වැදුණු නිසාවෙනි. එහෙත් එම පාදයේ ආබාධය, ඔහුගේ ජීවිතය පුරා ම මනා සේ ඇවිදින්නට බාධාවක් කළේ හැත්තෑ එකේ කුරිරු මතක සටහනක් ලෙසිණි.
මානෙල් ඇතුළු පවුලේ තවත් දෙදෙනෙකු සිරබාරයට ගත් අතර, සෙසු සහෝදර සහෝදරියන් තිදෙනා හා මව ජීවත්වූ මාවරල නිවස ගිනිබත් කළ නිසා, පවුල පාරට වැටී, තැන තැන ජීවිතය ගැට ගසා ගැසීමට ඌරුබොක්ක, මාතලේ හා මිනිපේ යන ප්‍රදේශයන්හි මව ඇතුළු සෙසු පවුල අවතැනට ලක් විය.
ඒ අතරතුරේ වසර හතක් තිස්සේ දකුණේ සිට උතුරේ ඇති විවිධ බන්ධනාගාරවල, වීරවිල සිට හැමන්හිල් හා ඒ අතරතුර ඇති තැන්වල මානෙල්ට සිරබත් කන්නට සිදු විය. පෙබරවාරියේ ඔහු නිදහස ලැබුවේ, පොදු සමාවෙන් විජේවීර-බෝපගේ ඇතුළු නායක පිරිස නිදහස ලැබීමට පෙර ය. මානෙල් ඇතුළු පිරිසක් සිරගෙදර සිටින කාලයේ ම ජවිපේ මතවාදයෙන් හා පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කළ හ. කලින් නිදහස් වූ මානෙල් ඇතුළු පිරිස්, දේශපාලන සිරකරුවන් මුදවා ගැනීමේ ව්යාපාරය නමින් තිබූ සංවිධානයට ද එකතු වූ හ. නායකයන්ගේ ද නිදහසින් පසු ව ජනතා සංගමය ලෙස දේශපාලන ව්යාපාරයක් ලෙස ඒකරාශි වූයේ සිරගෙදරදී ජවිපෙන් වෙන් වූ කොටස් ය.
''සලගොස ' ලෙස කෙටියෙන් හැඳින් වූ සමස්ත ලංකා ගොවි සම්මේලනය සමග ජනතා සංගමය සමීපව කටයුතු කළේ ය. අසූව දශකය ම මානෙල් ගත කළේ මෙවන් දේශපාලන අවකාශයක ය. ඒ අතර, මොනරාගල සීනි සමාගම්වලට එරෙහි ව දියත් කළ අරගලයේ මානෙල් ඉදිරිපෙළ නායකයෙක් විය.අනූව දශකය මානෙල් වැය කළේ මුලින් පස්සරින් අරඹා පසුව බදුල්ලට ගෙන ආ ඌව ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය නමින් රාජ්‍ය නොවන සංවිධාන පන්නයේ සංවිධානයක් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රිරික්ක තුළ දියත් කිරීමට ය. කුඩා පරිමාණයෙන් පටන් ගත් මේ ව්‍යායාමය, පසු කලෙකදී දිස්ත්‍රික්ක දෙක පුරා ම විහිදුණු ශක්තිමත් ජාලයක් හා බලවේගයක් බවට පත් විය.
සම්ප්‍රදායික එන්ජියෝ කප්පිත්තන්ගෙන් මානෙල් වෙනස් වූයේ ජනතාව ඒකරාශි කිරීමට හෙවත් මොබිලයිස් කිරීමට ඔහුට තිබූ විශේෂිත හැකියාව ඊට ගැලපෙන පෞරශය හා කැරිස්මාව නිසා ය. මේ විරල හැකියාව හඳුනාගත් බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය 1994 මැතිවරණයේදී පොදු පෙරමුණු ආණ්ඩුව ගොඩනැගීමට දියත් කළ ව්‍යායාමයේ මානෙල් ද ප්‍රධාන කොටස්කරුවෙකු කරවා ගත්තේ ය.
1999 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ මානෙල්, එම වසරේ සිට වාර තුනක් මන්ත්‍රීවරයකු ලෙස ඌව පළාත් සභාවේ කටයුතු කළ අතර, එක් වාරයක දී පළාත් සභා සභාපති තනතුර ද හෙබවී ය. 2014 වසරේ පැවැති පළාත් සභා ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමට මානෙල් අපොහොසත් වූයේ දෙසීයක පමණ ඡන්ද හිඟයක් නිසාවෙනි. ඉන් අනතුරු ව මානෙල් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම සුවයෙන් ජීවිතය කල් ගෙවීමට තීරණය කළේ ය.
මානෙල්ගේ දේශපාලන ජීවිතය ගැන විවේචන නොතිබුනා නොවේ. මේ කොලමෙන් මා ඔහුට චරිත සහතික දීමක් නොකරන අතර මාගේ උනන්දුව වන්නේ මානෙල්ගේ වැඩිහිටි ජීවිතයේ දශක හතරක් විකාශනය වූ ආකාරය හා ඔහුගේ එම තෝරා ගැනීම් සඳහා පාදක වූ පුළුල් සමාජ දේශපාලන සන්දර්භීය කාරණා ය. හැත්තෑව දශකය ජවිපෙ වෙනුවෙන් කැරැල්ලටත් හිර ගෙදරටත් වැය විණ. අසූව දශකය ගෙවුණේ බහුජන සංවිධාන ලෙස විකාශනය වූ වාමාංශික ඌරුවක් සහිත ස්වේච්ඡා/පූර්ණකාලීන දේශපාලන ඇක්ටිවිසමානාත්මක ක්‍රියාකාරකම්වලට ය. අනූව දශකයේ මෙවැනි බහුජන දේශපාලන ව්‍යාපාර එන්ජීඕකරණය වීම දක්නට ලැබෙන අතර, මානෙල් ද එම ධාරාවට හසු වූ බව පෙනේ. මානෙල්ගේ ට්‍රැජෙක්ටර පරිණාමයේ විශේෂ ලක්ෂණයක් වන්නේ, නව සහශ්‍රයෙන් ඇරඹෙන දශකයේ ඔහු පූර්ණ කාලීන දේශපාලන වෘත්තිකයෙක් බවට පත්වීම යි.
අසූව දශකයේ ද මානෙල් රුපියල් 250 ක් වැනි යැපුම් දීමනාවක් සහිත ව පූර්ණකාලීන ව දේශපාලනය කළේ ය. එහෙත් එය විකල්ප ධාරාවේ දේශපාලනයකි. දශක දෙකකින් පසු ඔහු විකල්ප දේශපාලන ධාරාවෙන් විතැන් වී ස්ථාපිත දේශපාලන ධාරාවට මුසු වේ. හැත්තෑව දශකයේ මුල ද මානෙල් මාවරල පොලිසියට තුවක්කු බටයක් අමෝරා ගෙන සිටියේ රාජ්‍ය බලය ඩැහැ ගැනීමට ය. ඒ අර්ථයෙන් බලන විට දෙදහ වර්ෂයේ ඔහුගේ තීරණය අමුත්තක් නොවේ. එක ම වෙනස වූයේ ශොට්-ගන් එක බැලට්-පේපර් එක වීම ය.
හැත්තෑ එකේ - මානෙල් හැත්තෑ එකක් වන විට විශ්‍රාමික ය. මානෙල්ගේ හැත්තෑ එකේ සගයන්ගෙන් සමහර කොටස් මේ වන විට මිය පරලොව ගොස් ඇති අතර ඉතිරිය අර්ධ විශ්‍රාමික හෝ විශ්‍රාමික තත්ත්වයෙන් කාලය ගත කරති. සුළු පිරිසක් තවමත් ක්‍රියාකාරී දේශපාලන භූමිකා විවිධ මාධ්‍යයන් හා ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියාත්මක වෙන බව දක්නට හැක. මේ පරපුර තවදුරටත් ලාංකීය දේශපාලනය තුල තීරණාත්මක සාධකයක්ද නැද්ද යන වග මට වඩා ඒ ගැන දැනුම් තේරුම් ඇති උදවිය විසින් කිව යුතු ය.


A day in the life

Saturday, June 08, 2024

පොඩ්ඩිගේ කථාව - නවවෙනි දිගහැරුම.








අම්මාට අනුුව නම් සමීර සම්බන්ධව මෙනෙහි කරමින් සිටීම නතර කරන්න කාලයයි.

ඒත් රබර් බෝලයක් දියේ ඔබා ගෙන ඉන්නා තාක් දිය යට තිබී එය අත හැරිය විට යලිත් උඩ එන්නාක් මෙන් ඉපිද ඉපිද මියයන සිතිවිලිද පාලනය කරගත නොහැකිව යලි යලි මතුවෙයි.

සේපාලි කීවාක් මෙන් අපි කාලයට ඉඩ දිය යුතුව තිබේ .

මම සාමාන්‍ය පරිදි දවසේ වැඩ කටයුතු කරගෙන යාම පටන් ගෙන තිබිනි. පරිගණක තිරය මගේ විවේකය උදුරා ගෙන ඇත. පස්වරු පහ පමන තෙක් එක දිගට වැඩ කරන මට කලාතුරකින් කාර්ය බහුලවේ. එසේ නොවුන හොත් පහෙන් පසු පරිගණකය මා මුදවා හරියි.

දිනපතා කාර්යාලයට යනවාට වඩා මගේ කාලය , විවේකය ඉතිරිව තිබේ. මගට ඇතිවන ගමන් බිමන් තෙහෙට්ටු ව නිසා ඇතිවන පීඩාවද දැන් නැත.

ජල,විදුලි, ගෙවල්කුලී වැනි ජීවන වියදම්ද නොමැති නිසා සෑහෙන මුදලක් තැන්පත් මුදල් බවට පත්වේ.

ජීවිතය මුදල් පමනක් නම් මා තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නියකි.

සමීරගෙන් කිසිදු හැලහොල්මනක් නැත.මා බලාපොරොත්තුවු කිසිදු ප්‍රතිචාරයක් මේ වනතුරු ඔහුු දක්වා තිබුනේ නැත.මට ඔහුගේ පැවත්ම පුදුමයකි.නීතිමය බැදීම් වලින් නිදහස් විය යුතුව ඇතත් , මා එයට පෙරමුණ ගත යුතු නැතැයි අම්මාගේ අදහසයි.

අම්මා සමග ඒ ගැන කතාබහක් ඇතිවු විටක “ උඹ දැන්මම වෙන කසාදයක් කරගන්නයයැ “ සමීර කරන දෙයක් බලමු. යයි කීවා මිසක මා ඒ පිලිබදව උනන්දු නොකලාය.

පහසු විටක නීතී උපදෙස් ගත යුතුයැයයි මම සිතුවෙමි.

මගේ දවස වෙනස් වෙමින් නැවුම් වෙමින් පැවතිනි. සමහරක් දිනවල අම්මාගේ වැඩ කටයුතු නිසා ද දවස වෙනස් විනි. පෝය දාට අම්මා සිල් සමාදන්වීමට පන්සල් යයි. ඈ සමග තනියට පන්සල් යාමට මට පුුරුද්දක් ඇතිවිනි.අම්මා අට සිල් සමාදන්ව උපාසිකාවෝ සමග එක්වු විට පන්සල් බිම පිරිසිදු කිරීමේ කටයුතු වලට දායකවී පෙරවරුවේම මම ආපසු එමි.

මෙසේ පන්සල හුරුවන විට තව තවත් සමාජ සම්බන්ධතාද ගොඩනැගෙන්නට විනි. විහාරස්ථානයේ නේවාසික ස්වාමීන් වහන්සේලා පනහක් පමන සිටි. පිටතින් පැමිනෙන ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිරිවෙන පවත්වන දිනවලට පැමිනේ. ලොකු හාමුදුරුවන්ගේ ආගමික ජීවිතයට වඩා වැඩිසමාජ මෙහෙවරක් මගේ අවධානය ලබා ගනිමින් තිබිනි.

ලොකු හාමුදුරුවන් හා කල කතාබහකදී හතලිහක් පමන සාමනේර හාමුදුරුවන් පිලිබදව හෙලිවු කරුනු අනුවේදීනිය වුවාය. කෙනෙක් පියවරු නොමැතිව අසරනවු පවුලකය. තවකෙනෙක් මව සහ පියා දෙදෙනම නැත. තවත් කෙනෙක් නඩත්තු කර ගත නොහැකිව හාමුදුරුවන්ට බාර දුන් කෙනෙක්ය. සියල්ලටම පොදුවු එක් කරුනක් වුයේ දරිද්‍රතාවය නිසා නඩත්තු කර ගත නොහැකි දරුවන්ය. මේ සියල්ලෝ ලොකු හාමුදුරුවන් බාරයට පත්වී තිබීනි.

ලොකු හාමුදුරුවන්ගේ සුවිශේෂ ගුණයක් වුුයේ තම දායකයින්ට කරදර නොකරමින් මේ පිරිස නඩත්තු කිරීමය. පන්සල සතු කුඹුරු බත සැපයීමට තරම් ප්‍රමානවත් විනි. එළවළු සෑහෙන ප්‍රමානයක වගා බිමක් විය. ඉඩකඩම් බදු දීමෙන් මුදල්ද ලැබිනි.හාමුදුරුවන්ට ගෝල බාල පිරිස නඩත්තු කිරීමට ප්‍රමානවත් ආදායමක් ලැබිනි.

පියානන් සිටින අවධියේ පන්සලට උදව් උපකාර කරන පුරුද්දක් තිබිනි. එහෙත් ඔහුගේ වියෝවෙන් පසුව අප අතින් එම කටයුත්ත මග හැරී ඇති බව සිහිපත්වීනි.

අම්මා සමග කතා බහ කර හාමුදුරුවන්ගේ සමාජ සත්කාරකයට හවුල්වීම ඇරඹුවෙමි.

මේ සත්කාරයට මාසිකව හවුල්වීමෙන් පන්සල් සමාජයත් මාත් අතර නව සම්බන්ධතාවයක් ඇතිවිනි.

A day in the life

විවේචනය කිරීම නරක දෙයක් නොවේ.

 




සිරගතව සිටියදී රෝහණ විජේවීර විසින් ලියන ලද
ලියැවිලි කිහිපයක එකතුවක්
"අත්දැකීම්,කිහිපයක්"නමින්
"නියමුවා ප්‍රකාශනයක්"ලෙස එළිදැක්විණ.
මේ,එහි 8-9 පිටු වලින් උපුටා ගත්තකි.
........."පක්ෂයක් පිළිබදව හෝ පුද්ගලයින්,පිළිබඳව
සැබෑ වැරදි විවේචනය කිරීම නරක දෙයක් නොවේ.
එය හොඳ දෙයකි.
කළ යුතු දෙයකි.
එහි අරමුණ විය යුත්තේ
එම වැරදි තත්වයානුකූලව සොයා බලා විග්‍රහ කර
ඒවා ඇතිවූයේ කුමන තත්වයන් යටතේද?
ඒ පැවති තත්වයන් යටතේ ඒ අයුරින් ඇති වීම සාධාරනද?
ඒවා වැළැක්විය හැකිව තිබුණේ කෙසේද?
ඒවායින් අත්මිදීමට ඇති මාවත් මොනවාද?
අනාගතයේදී එවන් තත්වයන් මඟ හැරිය හැක්කේ කෙසේද?
යන මේ ප්‍රශ්ණ අනිවාර්යයෙන්ම
සැබෑ විප්ලවවාදියෙකු විසින්ම සොයා බැලිය යුතුමය.
සැබෑ විප්ලවවාදියෙක් කවදාවත් වැරදි වසන් නොකරයි.
ඒ,වෙනුවට විවෘතවම එළිපිටම ඒ වැරදි පිළිගනියි.
ඒවා අධ්‍යයනය කරයි.
ඒ මඟින් ඉක්මනින් අත්මිදීමටත්,
එසේම ඒවා අනාගතයේදී නොකිරීමටත්,
එවැනි තත්වයන් ඇති නොවීමටත්, වග බලා ගනියි.
සෑම සිදුවීමක්ම ද්විිඝඨනාත්මක ලෙස සළකා බලන විට
අන්තර් බැඳීම් වලින් යුක්තව පවතී.
සෑම දෙයක්ම හැදෑරිය යුත්තේ ඒ ඓතිහාසික තත්වයන් තුළ ය.
මාක්ස්වාදී ද්විඝඨනය ලෝකය හැදෑරීමේදීත්
විශ්ලේශනය කිරීමේදීත් පිළිගන්නා ක්‍රමය එයයි.
මෙය වැරදි සම්බන්ධයෙන් ද පොදු ය.
වැරැද්ද අන් ඕනෑම දෙයක් මෙන්ම
හැදෑරිය යුත්තේත්,
විශ්ලේෂනය කළ යුත්තේත්,
තේරුම් ගත යුත්තේත්,
ඒවා සිදු වූයේ යැයි සැළකෙන ඓතිහාසික තත්වයන් තුළ ය.
ඓතිහාසික තත්වයන් මඟ හැර
අන්තර් සම්බන්ධතාවයන් කපා දමා,
යම් විශේෂ හේතුවක් හැදෑරීමට ගියහොත්
එහිදී බැසගන්නා නිගමන
යම් මනෝමූල හා සාවද්‍යය වන බව අපට
මාක්ස්,-ලෙනින් චින්තාව උගන්වයි.
අපි,අන් සෑම සියළු දෙයක් මෙන්ම,
වැරදි දෙසද දැක්විය යුතු ආකල්පය
මනෝ මූළික හා සාවද්‍යය නොවිය යුතු ය.
ද්විඝඨනාත්මක විය යුතු ය.
එනම්,වැරදි,ඒවා සිදුවේ,යැයි කියන
ඓතිහාසික තත්වයන් තුළ
ඒවා සිදු වූ,කාලයේ පැවති අන්තර් සම්බන්ධතාවයන්ගෙන්,යුතුව
කොටසක් නොව සමස්ථව ගෙන
උඩින් පල්ලෙන්,ආවාට ගියාට නොව,
ගැඹුරට,පතුලට කිඳා බැස
සිතින් මවාගෙන අලුතින් ඈඳාගත් තත්වයන් යටතේ නොව,
යථාර්තවාදීව නියම තත්වයන් යටතේ හැදෑරිය යුත්තෙමු.
එය නියම ක්‍රමය යි.
මාක්ස්,ලෙනින්වාදී ක්‍රමය යි.
වැරදි සෙවීමත්
ඒ වැරදි අධ්‍යනය කිරීමත්
ඒවායේ නිසි පාඩම්
අනාගත කටයුතු සඳහා සොයා බැලීමත් එක් කටයුත්තකි.
ඒ කටයුත්ත නිර්ධන පංති විප්ලවාදී ව්‍යාපාරයේ ඉදිරි ගමණ
ප්‍රගතිය අරමුණු කර ගත්තක් වේ."
(පද ඛන්ඩනය මගේ ය,
ස්මරනාස්තුතිය "මතක ගිනි පුපුරු-ගාමිණී මුතුකුමාරණයන් ට ය)

කමල් .පී . අලහකෝන්  මෙටාවට යොමු කල වියමනකි.


A day in the life

Friday, June 07, 2024

නිරුවත් සත්‍ය





දවසක් බොරුවයි ඇත්තයි කතා කර කර ඉන්න අතර බොරුවට යෝජනා කලා අපි නාමු කියලා
ළිං වතුර හරිම ලස්සනයි.පැහැදිලියි
සත්‍යය, තවත් සැක හැර දැනගන්න , ජලය පරීක්ෂා කලා.
ඇත්තෙන්ම ජලය පිරිසිදුයි.
එහෙනම් අපි දෙන්නා ජලයට බැහැලා නාමු කියලා සත්‍ය යෝජනා කලා.
දැන් සත්‍ය යයි බොරුවයි නිරුවත්ව ජලයට බහැල ස්නානය කරනවා.
නමුත් හදිසියේම, බොරුව වතුරෙන් එලියට පැන, සත්‍යයේ ඇඳුම් ඇඳගෙන පලා යනවා
සත්‍යයට, කේන්ති එනවා,
ඈ ඇගේ ඇඳුම් නැවත ලබා ගැනීම සඳහා ළිඳෙන් ගොඩ විය යුතුයි.
ළිදෙන් ගොඩ ආ නිරුවත් සත්‍ය දකින විට ලෝකය
කෝපයෙන් හා අවඥාවෙන් අහක බලා ගන්නවා.
සත්‍ය යට දැන් කල යුතු විකල්පයක්. නැහැ.
ඈ නිරුවත්............
සත්‍ය නැවත ළිඳට පැමිණ සදහටම අතුරුදහන් වී ඇගේ ලැජ්ජාව සඟවා ගන්නවා.
එතැන් පටන් බොරුව සත්‍ය ලෙසින් සැරසී ලොව වටේ දුවනවා.
සමාජය මහත් සතුටට පත්වනවා.
මොකද නිරුවත් සත්‍යය දැනගැනීමට සමාජයට ඕනෑ කමක් නැහැ.
සමාජය බොරුවෙන් මුලා වෙලා.
පින්තූරය-
" ළිඳෙන් එළියට එන සත්‍යය", ජීන්-ලියොන් ජෙරෝම්, 1896.
The Lie said to the Truth, "Let's take a bath together, the well water is very nice.
The Truth, still suspicious, tested the water and found out it really was nice. So they got naked and bathed.
But suddenly, the Lie leapt out of the water and fled, wearing the clothes of the Truth.
The Truth, furious, climbed out of the well to get her clothes back.
But the World, upon seeing the naked Truth, looked away, with anger and contempt.
Poor Truth returned to the well and disappeared forever, hiding her shame.
Since then, the Lie runs around the world, dressed as the Truth, and society is very happy..... because the world has no desire to know the naked Truth.
Painting: Truth Coming Out Of The Well, Jean-Léon Gérome, 1896.


A day in the life

Thursday, June 06, 2024

ශ්‍රී ලංකාවේ ගංගා .


ශ්‍රී ලංකාවේ ගංගා .

ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103 ක් භූමියෙන් 90% ක් පුරා පවතිනවා.
ප්‍රධාන වශයෙන් යාපනය අර්ධද්වීපය හා ගංගා ද්‍රෝණි අතර මුහුදු තීරයන්වල පිහිටි ජල විද්‍යාත්මක අතින් නොවැදගත් අවශේෂ බිම් ඉතිරි 10% ට අයත් වෙනවා.
ශ්‍රී ලංකාවේ විශාලතම ගංගා ද්‍රෝණි වන මහවැලි ගංගා ද්‍රෝණිය වර්ග කිලෝමීටර 10,327 ක් පුරා විහිදී පවතිනවා.
එය ශ්‍රී ලංකාවේ මුළු වර්ගඵලයෙන් 16% ක් සහ මුළු ජල පරිමාවෙන් 19% ක් වෙනවා.
ශ්‍රී ලංකාවේ කුඩාම ගංගා ද්‍රෝණිය වන්නේ වර්ග කිලෝමීටර 9 ක පවතින තුම්පන්කෙනි ජලාශය ආශ්‍රිත ගංගා ද්‍රෝණියයි.
ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ගංගා ද්‍රෝණි 12 හි වර්ගඵලය, මුළු වර්ගඵලයෙන් 80% ක් වෙනවා.
ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ගංගා ද්‍රෝණි 25 හි ජල පරිමාව, මුළු ජල පරිමාවෙන් 80% ක් වෙනවා.
මෙම ගංගා ද්‍රෝණි 103 න් වර්ගඵලය වර්ග කිලෝමීටර් 1,000 කට වඩා වැඩි ගංගා ද්‍රෝණි තියෙන්නේ 17 ක් පමණයි.
  1. මහවැලි ගඟ - 10,327
  2. මල්වතු ඔය - 3246
  3.  කලා ඔය - 2772
  4. කළු ගඟ - 2688
  5.  දැදුරු ඔය - 2616
  6. වලවේ ගඟ - 2442
  7. කැලණි ගඟ - 2278 
  8. ගල් ඔය - 1792
  9. මාරු ඔය - 1541
  10.  යාන් ඔය - 1520
  11. මී ඔය - 1516
  12. මහා ඔය - 1510
  13.  මුන්දෙනි ආරු - 1280
  14.  මැණික් ගඟ - 1272
  15. කුඹුක්කන් ඔය - 1218
  16. කිරිඳි ඔය - 1165
  17. මා ඔය - 1024
ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි අංකනය කරන්නේ හරි අපූරු විදියකටයි. ඒ අනුව,
අංක 1 ගංගා ද්‍රෝණි වෙන්නේ කැලණි ගඟ ගංගා ද්‍රෝණි යයි.
එතැන් සිට වාමාවර්ත දිශාවට අනිත් ගංගා ද්‍රෝණි අංක කෙරෙනවා.
අවසාන අංකය වන අංක 103 ගංගා ද්‍රෝණිය වෙන්නේ අත්තනගලු ඔය ගංගා ද්‍රෝණියයි.
සාම්ප්‍රදායානුකූලව වසර මුළුල්ලේ ජලය ගලා යන්නේ නම් එය "ගඟ"ක් යනුවෙන්ද වැසි නොමැති සමයේදී වියැකී යන්නේ නම් එය "ඔය" හෝ "ආර" යනුවෙන්ද නම් කිරීමෙන් දියමං හා ගංගා වෙන්කර හඳුනාගෙන තියෙනවා.
දත්ත : ශ්‍රී ලංකා ජාතික සිතියම් සංග්‍රහය - දෙවන සංස්කරණය : පළමුවන වෙළුම (ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව)
---විකුම් හර්ෂ , මෙටාවෙන්.
A day in the life

චන්ඩි දේශපාලකයන් පිටු දකිමු.









චන්ඩි දේශපාලකයන් පිටු දකිමු.

දේශපාලකයින් යයි අපි හදුන්වන්නේ ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා නියෝජනය කරන මහජන ඡන්දයෙන් තේරීපත්වුන වෘත්තිකයන්ටය. මේ මිනිසුන්ද  හිරකරුවන්ද මනුෂ්යයයෝය  කියන්නාක් මෙන් එක්තරා මනූුෂ්‍ය කොට්ඨාශයක්ය. දේශපාලනය පිළිබදව ශාස්ත්‍රීය දැනුමක් නොලත් අදබාලයන්ය.

මේ මනුෂ්යයයෝ හැසිරෙන්නේද තමන් කවුරුන්ද යන්න තමන්ම නොදන්නා ආකාරයකටය. මෑතදී හිටපුු අමාත්යවරයෙකු සහ පාර්ලිමේන්තු මංත්රීවරයෙකු වන්නෙක්  තමන්   නියෝජනය කරන දිස්ත්රික්කයේම  මංත්රිවරයෙකු හා කරන ලද අරගලයකදී මංත්රීවරයා හට පඩිපෙලකින් පෙරලී අස්ථි භංගයක් සිදුව රෝහල් ගත වන්නට සිදුවිය.

මේ තවත් හැසිරීමකි. පසුගිය දාක වෘත්තීය සංගමයක් ද පවත්වා ගෙන යන වතුකරය නියෝජනය කරන තවත් අමාත්යවරයෙකු වතු සමාගමක නිලධාරීන් පිරිසක් කාර්යාලය තුල සිරකර බලහත්කාරකම් පෑ බව ප්‍රවෘත්ති පලවිය
අපි පතන්නේ විද්වත් සාකච්ඡා , වාද විවාද ,බුද්ධීමත් තීරණ වුවද අපි අසන්නේ කැරළි කෝලාහල , අසංවර වාද විවාද වැනි තුන්වන පන්තියේ ක්‍රියාකාරකම්ය.

ඡන්දදායකයා වෙනස්වන තුරු දේශපාලකයා වෙනස් වෙන්නේ නැත. ආසියාතික රටවල දේශපාලකයා  නීතිය කුමක්වුවද සම්ප්‍රදාය ,යුක්ති ධර්මය කුමක් වුවද ,තමන්ට අවශ්‍ය දේ තමන්ට උවමනා ආකාරයට සිදුවිය යුතුයැයි හිතන චරිතයක්ය.

ඡන්දදායකයාද මේ සිතිවිල්ලෙන් මිදිය යුතුය. චන්ඩීන් , මකොල්ලකරුවන්,මිණිමරුවන් තම සුද අතරේ සගවාගන්නේ දේශපාලකායය. දරුවා පාසලට ඇතුලත් කර ගැණීම , රුකියාවක් ලබා ගැණීම කී නොකී හොරපාරෙන් කර ගන්නා ක්රියාකාරකම් සදහා පිලිසරණ පතන්නේ දේශපාලකාගෙන්ය.වර්තමාන දේශපාලකයා ආදර්ශයට ගන්නා ජන සමාජයකින් තල වපුරා මුං නෙලා ගැනීම “ උගහටය.

  ඡන්දදායකයාද  ස්වාධීන විය යුතුය. ඔහු දේශපාලකයාගෙන් යපෙන්නෙක් නොවිය යුතුය.

වර්තමාන දේශපාලකයා ගේ හැසිරීමෙහි කෙලවර සාමාන්ය ජනතාව තුල නීතියට ඇති බිය , නීතිය රකින ආයතනයන්ට ඇති ගෞරවය නැතිවීයාමයි . අප රටේ අල්ලස , දූෂණය , අපරාධ ඉහල යාමට මුළික හේතුවද මෙය විය හැක.

 දේශපාලකයා සැබැ ජනහිතකාමියෙකු නම් ජනතාවට ආදර්ශමත් ඇවතුම් පැවතුම්  අනුගමනය කළ යුතුය. 


A day in the life

Wednesday, June 05, 2024

ඇස් කූඩෙන් වතුර අදින්නම්...!!





 

ඇස් කූඩෙන් වතුර අදින්නම්...!!

මම ඔයාට ආදරෙයි අහස තරම්.. මට මේ ලෝකේ ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.. මේ ආදරේ එතරම් විසල්.. මම කියනවා. නර්මදා අහගෙන ඉන්නවා. ඊට පස්සේ එයා මට මෙහෙම කියනවා..
'පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්'
මම කල්පනා කරනවා මම වැටුණ අමාරුවක මහත උස ගැන. මේක සිංදුවක් නර්මදා. ඔව් මම දන්නවා. ලූෂන් බුලත්සිංහල ලියලා තියෙන්නේ. ඒකේ ඊළඟ කෑල්ල..
'දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්' වැඩේ තවත් අමාරු වෙනවා.. මම කල්පනා කරනවා. ..
...................................
මේක ලූෂන් අයියගේ (ලූෂන් බුලත්සිංහල ) මම කැමතිම සිංදුව. ලූෂන් අයියා එක්ක ගෙවුණ බොහෝ රෑබෝ සංවාද ගීපොතෙන් මධුවිතෙන් රස උනා. එහෙම සැන්දෑවල් මිහිරි රාත්රීන් වෙලා, අතීත කතා සුළං හමන සීත වැහිකෝඩ උනා. ඒවා හිත කිතිකවන මොහොතවල්. රත්මලානෙන් පටන් අරං පේරාදෙණිය සරසවියෙන් ලිපිකරු සේවයෙන් බෝඩිම් ජීවිතයෙන් ලස්සන ප්රේම කතාවලින්, ඒ කතා රූප උනා. ඊටපස්සේ ඒවා හිත අස්සේ සැඟවුණේ චිත්රපටි වගේ. ඊළඟට මේ සිංදු අහනකොට ඒවා තිරය උඩට ප්රක්ෂේපනය උනා. ආලෝක බිංදු විදිහට.
ලූෂන් බුලත්සිංහල කියන්නේ වේදිකාව රංගනය ගීත රචනය රේඩියෝ සහ රූපවාහිනී කියන මේ හැම මාධ්යකම සෙල්ලම් දාපු මනුස්සයෙක්. හැබැයි මගේ සරීරය අස්සටනම් දියවෙලා තියෙන්නේ ඔහුගේ ගීත සාහිත්ය. ඉන්ද්රජාලික රූපමවන සිනමාත්මක කවි බසක් ඔහුට තිබුණා. ඒ කාව්යක්කාරකම සිංහල ගීතය වෙනස් තැනකට අරගෙන ගියා කියලයි මට හිතෙන්නේ..
'වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නගේ නුඹ නෑ දන්නේ
තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පහන් පැළට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොලුවීලා'
මේවා මහප්රාන වචන නෙවෙයි. බර සාහිත්යයික වචන අලංකාරත් නෙවෙයි. හැබැයි මේක අහනකොට මේ සිදුවීම ඒ හැඟීම මැවෙනවා. සිනමාව සිංදුව අස්සේ දියකරලා දාන්නේ කොහොමද? ඒක ලූෂන් අයියා තරමට කරන කෙනෙක් තවත් සිටිනවාද? එහෙම හිතෙනවා.
සරළ ගී වැඩසටහනකට 'කොළොන් තොට නැත මහළු වී' කියන ගීතය අමරදේව මාස්ටර් හරහා කියෝගන්න ගුණදාස කපුගේ මාස්ටර් ළඟට ගියාම මිනිහා මේකට මුලින්ම බෑ කියනවා. හැබැයි පස්සේ කපුගේ ගේ බලකිරීමට තමයි මිනිහා සිංදුව ගයන්නේ. පස්සේ මේ සිංදුව සෑහෙන්න ජනප්රිය වෙනවා. එහෙම කාලෙක ලූෂන් සහ අමරදේව සම්මුඛ වෙනවා. අමරදේව මාස්ටර් අහනවා.. ' ලූෂන් වැඩේ අපි හිතුවේ නැතිවුණාට නැඟලා ගියා නේද?' මෙහෙම සාහිත්ය කාව්ය අධිපතීත්වයක් ගීතය මත තිබුණ අවකාශයක තමයි ලූෂන් මේ ගී පද බඳින්නේ.
'අහසින් තරුවක් කඩා වැටෙනවා' කියන ගීතයේ ලූෂන් අයියා මෙහම ලියනවා
'පෑහිමක් නෑ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වළ මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ'
බලන්න මේ යෙදුම්..
'මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ'
ඇස්කූඩයෙන් වතුර ඇද්ද පෙම්වතුන්, වතියන් කොතෙක් අපි අතර ඇතිද? 'ඇස්කූඩය' මේ පද නිමැවුම් හරි නැවුම් තවමත්..!
'මිනි මිනි පොදේ ලා අදුරේ තෙමි තෙමීම යනකොට සමහර පෙම්වතුන්ට පෙම්වතියන්ට, තුරුළුවෙලා තෙමුන අතීතයක්, සුළඟක් වගේ ඇගේ දැවටෙන්න පුලුවන්. ලූෂන් බුලත්සිංහල කියන්නේ ප්රේම පුරා විද්යා ගවේශකයෙක්. ප්රේම නටඹුන් නගර, ඔහු ඉසියුම් සැතකින් පාර පාරා පුළුන් වළාවලින් පිරි මැද මැද සුසුම් සුළඟින් දුහුවිලි ඈත් කර මතුකර ගන්නවා.
'මා හෙලු කදුලැලි පුරවා
වැහි කලූ ඒ වී
ඔබ පාමුල මුතු වරැසා
විසිරී යාවි'
මේ ගීතයත් මතක් කරගන්න..
'ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ
රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ
මූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ
හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ'
පෙතං කැලේ වළිකුකුළෝ
මට පෙනි පෙනී නටනවා
අත්තන මල මං දැකලා බමර තුඩේ වෙළෙනවා
බිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා'
මේ පද සංයෝග වලින් හදන හැඟීම්, ලූෂන් බුලත්සිංහල කියන්නේ පද රසායනය හොඳට දැනගෙන වැඩකරපු, වැඩකරුවෙක්. ඔහු දැනගෙන හිටියා මේ පද සංයෝග කල්ක, අපේ ඇග ඇතුලේ රසායනය වෙනස් කරන්නේ කොහොමද කියලා.
මේවගේ ගීත ගොන්නක් ලූෂන් අයියා ලියලා තියෙනවා..
' දම්පාටින් ලා සඳ බැස යනවා' කියන ගීතයේ තියෙනවා 'නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ ලමැද තලා යහනේ ඉන්නම් පමා වෙලා හිරු නැගෙන තුරා' කියලා. නෙළුම් පතක පිනිබිඳුවක් රැඳෙන්නේ හරි අමාරුවෙන්. ලිස්සලා රූටන්නමයි බලන්නේ. නෙළුම් පතකට පිනි බිඳක් වැටුණාම ගෝලාකාර වෙලා පෙරළෙන්න තදියන් වීම විද්යාව. ඒක ගීතයක් අස්සට ගන්නවා හැඟීම් පොකුරක් අසන්නාගේ හිත් අස්සේ උපද්දවන්න. ඒකට ගීත රස සූත්ර රසායනය කියලත් ඕනෑනම් කියන්න පුලුවන්.
'මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ හද තුළ සුසුමක් නැඟෙන්නෙපා
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා
අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැඳී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා
මේ ගීතය අහන හැම වෙලාවෙම වගේ මට ලූෂන් අයියලා අපි එකතුවුණ රහා රාත්රීන්වල, ලූෂන් අයියා නිතරම මතක් කරන, එක ප්රේම කතාවක් මතකයට එනවා. මට හිතෙන්නේ ලූෂන් ගීතයේ ප්රේමය ඔච්චර ලස්සනට පාටවෙලා තියෙන්නේ ඒ බිඳුන ඒත් අපරාජිත ප්රේමය නිසා කියලයි. ලූෂන් ගීතාවලියේ ප්රේමය කොතනද තියෙන්නේ ඇය ඒ හැමතැනකම හිනාවෙනවා. කැඩිලා බිඳිලා විසිරිලා ගිය ප්රේමයකට මිනිහෙක් දේව්දාස්මය තැනකට අරගෙන යන්න පුලුවන් වගේම, කයියාම්මය කාව්යක්කාර ලෝකයකට වීසිකරලා ඔහුට ඒකේ හොඳටම පිස්සු කෙළින්න අවකාශ හදලා දෙන්නත් පුලුවන්. ලූෂන් ගීත මල් මාලයේ මැදින් මැදින් එල්ලලා තියෙන සුවඳ මල්වල සුවඳ ඒක කියනවා.

ඉතිං අද ලූෂන් අයියගේ උපන්දිනය කියලා සකර්බර්ග් කිව්වම මේටික කොටන්න හිතුනා. සුබ උපන්දිනයක් ඔබට. මේ ගීත මතකයෙන් ලිව්වේ. ඒනිසා පද වරදින්න පුලුවන්.. එහෙම උනොත් නිවැරදි කරන්න..

 කේ සංජීව .


A day in the life