Saturday, January 20, 2024

සේරානාම් රජුුත් පලමුව පැමිණියේ කැළණියට.


 






කෘෂිකර්ම සශ්රීකත්වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ  පිහිට පතා  කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හැදින්වෙනවා. අපේ ගමෙත් පත්තිනි දේවාලයක් තියෙනවා. මෙම දේවාලයට අවුරුදු දෙසියක පමණ ඉතිහාසයක් පවතින බවයි පැවසෙන්නේ.මෙම දේවාලයේත් වාර්ෂිකව පහන් මඩු උත්සවයක් පවත්වනවා.

 

 අතීතයේ සිට පැවතෙන මෙම චාරිත්‍ර විධි ගම්මඩුව,දෙවොල් මඩුව,පූණ මඩුව,මල් මඩුව,ගිණිමඩුව,ගරා මඩුව ආදී වශයෙන් ප්‍රෙද්ශයෙන්  ප්රදේශයට විවිධ   නම් වලින් හදුන්වනවා.ඒ වගේම  මෙම උත්සවය පවත්වන ආකාරයේද සුළු සුළු වෙනස් කම් දක්නට ලැබෙනවා.

මඩුව යන්න මණ්ඩපය යන්නෙන් අරුත් ගන්නනවා.

මේ යාතු කර්මයන් ද අපිට ඉන්දියාවෙන් ලැබුන ආභාෂයක්. ලංකාවේ දෙවෙල් මඩු ආරම්භය පිලිබද පුරා වෘත්තය මෙසේ පැවසෙනවා.

ඉන්දියාවේ චෝල රාජ්ය කාලයේ සේරනාම් නම් රජුගේ උයනට ගෝනෙකු එන සිරිතක් තිබුනා මේ ගෝනා උයන පාළු කරන බැවින් රජු තම හේවායින්ට අණ කලා ඌ රා දමන්නට.

හේවායින් ගෝනා අඹා යන විට ඌගේ පය පැකිලී අසල තිබු පොකුනට වැටී මරණයට පත්වෙනා. මෙම ගෝනා ගැබ්බර අවස්ථාවේ සිටි සතෙක්.අධික වේදනා විද රජු කෙරෙහි වෛරී සිතිවිල්ලෙන් ඈ මියයනවා.මියගොස් එම උයනේ පොකුනේම  මැඩියෙක්ව නැවත ඉපදෙනවා.

දිනක් රජතුමා උයන් කෙළියේ පැමින මෙම පොකුන අසලට එනවා. පොකුනේ පිපි මානෙල් මලක් නෙලා ගෙන සුවද ආග්‍රාරනය  කරනවා.ඒ අවස්ථාවේ  මැඩියා මල යට රිංගාගෙන සිට,රජුගේ නාසයට විෂක් නිකුත් කරනවා.

මේ හේතුවෙන් රජුට දරුණු හිසරදයක් ඇතිවෙනවා.මොනතරම්  පිලියම්  කලත් හිසරදය සුව නොවු රජු  පීඩාවට පත්වෙනවා. රජතුමා දිනක සිහිනයකින් රුමත් කන්තාවක දකිනවා.

ඒ බව පසුදින තම පුරෝහිත බමුනාගෙන් මෙම සිහිනයේ අරුත විමසු කල ඔහු පිළිවදන් දෙන්නේ  සිහිනයෙන් දුටු  කාන්තාව පත්තිනි දේවිය බවයි.

 ඇගේ සාපයකින්  හිසරදය වැළදී ඇති බැවින් නිර්මල බුද්ධ ශාසනයත්   සතර මහා දේවාලත් ඇති  රටකට ගොස්  දින හතක් දුගී මගී යාචකයින්ට දන් දී පත්තිනි දේවියට පිං පැමිණිය යුතු බවට පුරෝහිත බමුනා උපදෙස් දෙනවා.

මීට සුදුසුම රට ලංකාව බව පුරෝහිත බමුනා රජුට සැල කිරීමෙන් පසු රජු වත්තලින් මේ රටට පැමිනෙනවා.පලමුව කැලණියට ගොස් බුදුන් වැද රුවන්වැල්ලේදී  දෙවොල් මඩුවක් කර පත්තිනිදේවියට පිංපෙත් දුන් බවත්, එදා පටන් රජුගේ හිසරුදාව සුව වු බවත් පැවසෙනවා


notes of imaginary

Friday, January 19, 2024

තාත්තා ගේ මරණය














ඔක්සිජන් ටැංකි යේ බලයෙන් හුස්ම ආයෙත් වැටෙන වා
පොරෝණාවේ ඉරුණු තැනකින් හීතලේ මට
දැනෙනවා
මා බලන්නට නාවෙ ඇයි තව ගින්දරෙන් හිත
තැවෙනවා
මයෙ පුතේ උඹ රූප පෙට්ටි යෙ ඉන්න වග නම් පේනවා .

ලේලි නාවත් කවුරු හරි අත සුප් එකක් හෙම
එවනවා
ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ නැති මුත් බෙහෙත් ටික මට ලැබෙනවා
පුංචි සන්දියෙ උරහිසේ උඹ නිදාගත් හැටි
මැවෙනවා
අම්ම හීනෙන් ඇවිත් හෙමිහිට ,මගේ හිස
අතගානවා.

වෙන්කළා කිව් මහලු මඩමේ සල්ලි ටික ආපහු
ගනින්
එපා කරදර වෙන්න මින්පසු ,බරක් වෙන්නේ නෑ ඉතින්
අම්ම නිදියන සොහොන පාමුල ,පොඩි ඉඩක්
තියෙනව ළඟින්
හෙටම යන්නම්,ඇදල දාලා මේ බටේ නාහෙන්
හොරෙන් .
රෝ.සි.
2024.01.16.


notes of imaginary

Thursday, January 18, 2024

සබරගමුවේ පුරාණ නින්දගම්




පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින්දගම් ප්රමාණයක් තිබූ ප්දේශය ලෙස සබරගමුව සැලකේ. රත්නපුර දිස්ත්රික්කයම නින්දගමක් ලෙස හැඳින්වුවද එහි වැරැද්දක් නැත. මේ නින්දගම්වල ජීවත් වූ ප්රභූවරුන් සහ ඔවුන්ට මෙහෙ කළ ජනපදවාසීන් අතර තිබූ සංස්කෘතිකාංග කිහිපයක් අදටද ජන සමාජයට ආගන්තුකය. දික්ගෙයි නැටුම එදා වලව් සමාජයේ තිබූ එවැනි නර්තනයකි. වලව්වාසී ප්රභූවරුන් සතුටු කිරීම සඳහා නින්දගම්වාසී කාන්තාවන් මෙම නැටුම නටන්නේ උඩුකය නිරුවත්වය. එය අද ඇතැම් ඉහළ පෙළේ හෝටල්වල සිදු කෙරෙන කැබරේ නැටුමට සමානය.
සබරගමුවේ ප්රධානීන් 13 දෙනකුට නින්දගම් ලැබුණේ මාතර කටුවන තිබූ ලන්දේසි බළකොටුව වටලා විනාශ කිරීමේ ජයග්රහණය වෙනුවෙනි. උඩරට රාජ්යයට අයත් සීමාවේ පිහිටි එකම ලන්දේසි බළකොටුව වූයේ මෙම කටුවන කොටුවය. අනෙක් සියලුම ලන්දේසි බළකොටු තිබුණේ පහත රටය. මේ නිසා කටුවන විනාශ කිරීම උඩරට මහ වාසලට අවශ්ය වී තිබුණත් එයට නිසි නායකත්වයක් ලබාදී සටන මෙහෙයවීමේ හැකියාවෙන් යුතු රණකාමී නිලමේවරුන් උඩරට හමුදාවේ සිටියේ නැත. මේ නිසා රාජසිංහ රජ්ජුරුවන් සිටියේ බලවත් කනගාටුවෙනි. සබරගමුවේ ප්රභූවරුන් පිරිසක් කටුවන කොටුව වටලා පහරදීමට තීරණය කරන්නේ මේ අතරවාරයේය.
කටුවන සටන යනු සිංහල රාජ වංශයේ අවසන් ජයග්රාහී සටන විය. මෙම සටනට කීර්ති ශ්රී රාජසිංහ රජතුමාගේ ආශිර්වාදය ලැබූ මුත් රජතුමා සටනට සහභාගි වූයේ නැත. ඒ වෙනුවට රජතුමාගෙන් ලැබුණේ තම ආශිර්වාදයත් දිසාවේලා දෙදෙනකු සහ භට පිරිසකුත්ය. මෙම සටනට සබරගමු ප්රභූවරුන් යටතේ පන්දහස් පන්සියයක හමුදාවක් ද දකුණු පළාතෙන් තිස් දහසක හමුදාවක් ද සහභාගි වූ බව කියැවේ.
දිගු සටනකින් පසු සටන ජයග්රාහීව අවසන් විය. එහි සිටි ලන්දේසි හමුදාව සමූල ඝාතනය කළ සබරගමු හමුදාව මාතර දිසාවේ පිහිටුවා තිබූ සෙසු ලන්දේසි බළකොටු වූ හක්මන, මාතර, මාර කඩේ ආදී මාතර සියලු ලන්දේසි බළකොටුවලටද පහර දුන්හ. ලන්දේසීන් දිවි බේරා ගත්තේ මාතර කොටුවට ඒකරාශිවීමෙනි.
මෙම ජයග්රහණයෙන් පසු කීර්ති ශ්රී රාජසිංහ රජතුමා ලන්දේසි බළකොටු බිඳ දමා එම ප්රදේශ තම රාජ්යයට ඈඳා දුන් සබරගමු ප්රධානීන් දහතුන්දෙනා කන්ද උඩරට මහ වාසලට කැඳවා ගරු බුහුමන් දක්වා ගම්වරද පිරිනැමීය.
ඔවුන්ට නිලමේවරුන් ලෙස උසස්වීම් ද පිරිනමා රාජකීය වරප්රසාද ද පිරිනැමීය. රාජකීය වරප්රසාද යනු රජකු ජීවත්වන ලෙසම ජීවත්වීම සඳහා නිලමේවරුන්ට ලබාදෙන අවසරයයි. රජු වෙනුවෙන් අයබදු අයකිරීම, නින්දගම් පාලනය කරමින් රජු වෙනුවෙන් අවශ්ය වේලාවට සටන් සඳහා සේනාංක කැඳවාගෙන ඒම, ජීවත්වීම සඳහා උළු සෙවිලි කළ වලව්වක් ඉදිකර ගැනීම ඒ රාජකීය වරප්රසාද අතරට ඇතුළත් වෙයි.
රජවාසලට ගිය නිලමෙලාට උණුසුම් පිළිගැනීමක් රජතුමාගෙන් ලැබිණි. එතෙක් සතුරා සමග සටන් කර හෙම්බත් වී සිටි කීර්ති ශ්රී රාජසිංහ මහ රජ්ජුරුවන් ලන්දේසි බළකොටුවක් අල්ලා ගත් නිලමෙලා පිළිගත්තේ උණුසුම් ලෙසය. මඩුවන්වෙල දිසාවේ තමන් කළ සටන විස්තර කරමින් රජතුමා නොමැතිව සටනට යෑම ගැන රජතුමාගේ සමාවද අයැද සිටියේය. රජතුමා සටනට ​ෙස්නාව එව්වා වුවත් රජු නොමැතිව සටන් කිරීම රාජ උදහසට ලක්විය හැකි හේතුවකි.
පළමු වරට තමාගේ සංවිධානයකින් තොරව නිලමේවරුන් පිරිසක් එක්ව සතුරු බළකොටුවක් අල්ලාගෙන ඇත. එම බළකොටුවේ සිටි සියලු ඕලන්ද සතුරන්ද මරා දමා එහි සිංහල කොඩිය ඔසවා තිබේ. උඩරට රාජධානියට අයත් කටුවන නමැති පරත්යන්ත දේශය සතුරාගෙන් මුදාගෙන උඩරට කිරීටයට යළිත් ලබා දී තිබේ. මෙය නම් මහත් වීරකමකි. ‘‘හහ්.. හහ්.. තමුන් එහෙනම් තනියම සටනක් කළා.. ඈ..’’ රජතුමා රදළයන් දෙස බලා විමසුවේය.
“මගේ රාජධානියේ කවුරු වුණත් කමක් නෑ සතුරු බළකොටු බිඳිනව නම් මං ගම්වර පුදනවා.. ඔව් ගම්වර පුදනවා..’’ රජතුමා හිස ඔසවා මහ හඬින් ගුගුළේය. ඒ හඬ අසහාය ය. කිසිදා කිසිවකුට යටත් නොවූ රණ හඬකි. කීර්ති ශ්රී රාජසිංහ යනු එසේ මෙසේ බලවතකු නොවේ. සතුරා බියෙන් මුසපත් කළ රණ ශූරයෙකි. නුඹලා වැනි වීරයෝ තමයි මගේ රාජ්යයට අවශ්ය.. මේ කළ වීර විකරමාන්විත සටන වෙනුවෙන් මම අදම නුඹලා නිලමේවරුන් ලෙස ඔසවා තබනවා.. නුඹලාට ගම්වර පුදනවා.. මා මෙන්ම සතුටින් ජීවත්වීම සඳහා වලව්වක් සාදා ගැනීම සඳහා අවසරය දෙනවා..’’ රජතුමා එසේ කියද්දී රදළවරු ප්රීතියෙන් පිනා ගියහ.
ඉන්පසු උදාවූයේ රජතුමාගේ ලාංඡනය එබ්බවූ තඹ උළු කැටය බැගින් රදළවරුන් අතර බෙදාදීමය. එය රදළකමේ සංකේතය ය. සුදු හුණු කපරාරු කළ වලව්වක් තනා ගැනීමටත් තඹ උළු කැටය මැදිකර උළුවලින් වහලය සෙවිලි කර ගැනීමටත් එමගින් අවසර ලැබේ. නිලමේ හෝ මුලාදෑනි නොවන කිසිවකුට උළු වහලයක හිමිකම නැත. ඒ මොහොතේ සිට නිලමේවරුන්ට එම හිමිකම ලැබේ. එවක් පටන් නිලමේවරු හැම දෙනා සබරගමුවේ පරභූවරු වූහ. ඔවුන්ට ගම්බිම්ද වලව් සාදා ගැනීමේ අවසරයද ලැබිණි. මඩුවන්වෙල, ඇමිටියගොඩ, කිරිඇල්ල ඇතුළු නිලමෙලා රජුගෙන් තෑගි ලැබුණු තඹ උළු කැට තබා තම වලව් පිහිටුවා ගත්හ. ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් ද කටුවන ලන්දේසි බළකොටුවෙන් ගලවා ගෙන ආ ස්මාරක ඔබ්බවා වලව්වේ බිත්ති බැඳගත්තේය. කළුගල් පලා බිමට ඇතිරුවේ කිසිදා ගිලා නොබසින අංගණයක් වලව්වට උරුම කර දෙමිනි.
“ඇමටියගොඩ ගුණතිලක අලහකෝන් තමයි මෙසේ රාජසිංහ රජ්ජුරුවන්ගෙන් රදළයකු ලෙස වරප්රසාද ලබා ගත්ත අපේ මීමුත්තා. මේ රාජ අනුග්රහයයත් සමග සබරගමු පළාතේ වලව් 13ක් ඉදිකර තිබෙනවා. මෙම වලව් සඳහා රාජකාරි වැඩ ලේඛන ද පවරා තිබෙන බව බ්රිතාන්යයන් යටතේ 1870 ලියවුණු කොමසාරිස් ලේඛණයේ සඳහන් වෙනවා.” අම්මඩුව, කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමටියගොඩ මහතා සඳහන් කරයි. ඔහු ඇමටියගොඩ වලව්වේ වත්මන් හිමිකරුය.
මෙම කටුවන සටන කෙරුණේ එවකට සංඝරාජ ධුරය දැරූ වැලිවිට අසරණසරණ සිරි සරණංකර නාහිමියන්ගේ අනුශාසනා අනුවය. වේහැල්ලේ ධම්මදින්න නායක හිමියන්ගේ මූලිකත්වයෙන් පන්සීයයක භික්ෂු පිරිසක් ද කටුවන සටන් බිමට ගියහ. මේ මහා සංඝරත්නයට උපහාරයක් ලෙස සටන් දිනූ ප්රභූවරු තමන්ට ලැබුණු නින්දගම් තුළ විහාරස්ථාන ද ඉදිකළහ. ඇමටියගොඩ නින්දගම තුළ ඇමිටියගොඩ විහාරයද මඩුවන්වෙල නින්දගම තුළ මඩුවන්වෙල විහාරය ද ඉදිකරන ලදී
එක්දහස් පන්සිය පහේදී පළමු යුරෝපීය හමුදා සෙබළා ගාලු වෙරළට පය තැබූ තැන් පටන් ලක්දිව පාලන රටාවද වෙනස් වන්නට පටන් ගත්තේය. ගැමියාගේ සිරිත් විරිත්ද රදළ පාලකයන්ගේ සිරිත් විරිත්ද අතරට අලුතෙන් ආ සුදු ජාතික පාලකයන්ගේ රටවල සිරිත් විරිත්ද මුසුවෙන්නට පටන් ගත්තේය. පැරණි ලක්දිව ඉඩම් හිමිකම පැවැතියේ දෙයියන් හෙවත් රාජ්ය පාලකයා අතය. රට වැසියන්ට තිබුණේ ‘දෙයියන්ගේ’ ඉඩම්වල තමන්ට ඉන්නට පැල්පතක් සාදා ගැනීමේ හිමිකම පමණකි. ‘දෙයියන්’ හෙවත් රජුගේ රාජ්ය පාලන නීති රීති රට වැසියන් වෙත ගෙන යන නිලමේවරුන්ට ‘දෙයියන්ගෙන්’ ලැබුණු ඉඩම් කොටසක් විය. මේවා නම් කෙරුණේ නින්දගම් නමිනි. ජනයා පදිංචිව සිටි ගම්බිම් පිටින්ම නිලමේවරුන්ට නින්ද හිමිකම් කොට පවරා දීම සිදු විය. එදා පටන් මේ ගැමියන් රදළ නිලමේවරයාට සේවය කළ යුතු විය. නින්දගම් වාසීන්ට තමා පදිංචි ඉඩමේ හිමිකමක් තිබුණේ නැත. එහි සම්පූර්ණ හිමිකම රදළ හාම්පුතා සතු වූ අතර නින්දගම්වාසීන්ට තිබුණේ තමාගේ ඉහට සෙවනක් ලබාදීම වෙනුවෙන් තම රදළ හාම්පුතාට සේවය ලබාදීමය. නින්දගම් යායක ඒ ඒ කුල සඳහා වෙන වෙනම ඉඩම් යාය වෙන්ව තිබිණි. වළං සාදන අය සඳහා බඩහැල ගොඩැල්ලද යකඩ තලන්නන් සඳහා ආචාරි ගොඩැල්ලද ආදී වශයෙනි. තමා පදිංචිව සිටින ඉඩමේ වළක් කැපීමට පවා නින්දගම් හිමියාගෙන් අවසර ගැනීමට ඔවුනට සිදුවිය.
දික්ගේ නැටුම නින්දගම් වාසී කාන්තාවන් කළ යුතු පුරාණ රාජකාරියකි. රදළයන්ගේ නේතර සංතර්පණය පිණිස නින්දගම්වාසී මාණික්ය මහගේ පවුල්වල ගැහැනුන් දික්ගෙයි නැටුමට පැමිණිය යුතුය. ඒ සඳහා හිලව්වට ගොඩ මඩ ඉඩම් කට්ටියක් නින්දගමෙන් ලැබෙයි. එම ඉඩම් කට්ටියේ ගෙපැලක් හදාගත හැකිය. ගොඩ ඉඩමේ ගොඩ ගොවිතැන්ද මඩ ඉඩමේ මඩ ගොවිතැන්ද කළ හැකිය. එහෙත් පොළොවේ වෙනත් කිසිම ඉදිකිරීමක් හෝ පොළොව හෑරීමක් හෝ කළ නොහැකිය.
දික්ගේ නටන්නේ මාණික්ය මහගේ පවුල්වල ගැහැනුන්ය. මාණික්ය මහගේ පවුල් හතර වරිගයක් සබරගමුවේ ජීවත් වූහ. සබරගමුව මාණික්ය මහගේ ඉන් එක් පිරිසකි. මේ පවුල්වල ගැහැනුන්ගේ සේවය සැපයිය යුතු වූයේ මහ සමන් දේවාලයටය. දේවාලයේ පෙරහරටත් පෙරහරෙන් පසු නිලමේවරුන් සන්තෝෂ කිරීමටත් මේ පවුලේ ගැහැනු නැටිය යුතුය. ඊළඟට එගොඩ කුට්ටමේ මාණික්ය මහගේලා ය. හුණුවල මාණික්ය මහගේලා සහ හිරිකත්දෙණියේ මාණික්ය මහගේලා ඉතිරි පවුල් දෙකය. මේ පවුල් හතරේ ගැහැනු උදවිය රත්නපුර දිසාවේ නින්දගම් හිමි ප්රභූවරුන් සඳහා නර්තනයෙන් තම සේවය සැලසිය යුතු විය. ඉතා රූමත් මෙම කතුන් ඉලන්දාරින් පමණක් නොව මහල්ලන් පවා වශීකරගන්නා සුලු ය.
ඇමිටියගොඩ සන්නසට අක්කර නවදහසක් අයත්ව තිබූ බව කියති. ඇමිටියගොඩ නින්දගමද පුරාණ රාජකාරි කරමයට අනුව හැඩ ගැසුණු ගංගොඩැලි ගණනාවකින් යුතු භූමි පරදේශයක් විය. වලව්වේ හිමිකාරයෝ අක්කර නව දහසක භුමියේ ජීවත් වන ගැමියන්ගේ පරධානියාය. පරධානියාට වඩා හිමිකාරයාය. ඔවුන්ගේ සියලු ආවාහ, විවාහ සිදු කෙරෙන්නේ වලව්වේ පරධානියාට පවසා ඔහුගේ අවසරය ලැබුණොතිනි.
ගෙවල් කීපයක් ඇති තැන ගංගොඩය. වලව්වක් වටා මෙවැනි ගං ගොඩැලි කීපයක් තිබේ. මේ ගොඩැලිවල ජීවත් වන අය බණ්ඩර හාංදුරුවන්ගේත් වලව්වේ හාංදුරුවන්ගේ හා ඩිංගිරි අප්පොලාගේත් පරයෝජනයට තමාගේ රාජකාරි ඉටු කර දිය යුතුය. වලව්වේ හාංදුරුවන් කියන්නේ බණ්ඩර හාංදුරුවන්ගේ බිරිඳය. ඩිංගිරි අප්පෝ කියන්නේ වලව් හිමිකරුගේ නැගණියන් හෝ දියණියන්ය. මේ කාට කාටත් අවශ්ය දේ ඉටුකර දීම නින්දගම්වාසීන්ගේ රාජකාරිය ය. නින්දගමක් යනු කුඩා රාජ්යයකි. යටත් වැසියන් පිරිවරා ගෙන සිටින රජකමට සමානය.
සබරගමුවේ බිහිවූ මුල්ම වලව් දහතුනේම දික්ගෙයි නැටුම් කාමර තිබූ බව විශ්වාස කෙරෙයි. මඩුවන්වල වලව්වේ දික්ගෙයි නැටුම් කාමරය අදට ද සුරක්ෂිතව පවතී.
දික්ගෙයි නැටුම් නැරඹීම වලව්වේ ප්රභූවරුන්ගේ වරප්රසාදයකි. බාහිර පුද්ගලයන්ට එය නැරඹීම තහනම්ය. සමහර වලව්වල දික්ගෙයි නැටුම් කාමරය ලෙස භාවිත වූයේ සුදු තිරවලින් වට කළ කාමරයකි. එසේ කළේ ද බාහිර අය ඇතුළුවීම වැළැක්වීම සඳහාය.
ප්රභූවරයකු වලව්වේ සංචාරය පිණිස පැමිණෙන අවස්ථාවේ ඔහු සතුටු කිරීම පිණිස දික්ගෙයි නැටුම් නැටීම සිදුවිය. අද මෙන් ගුවන්විදුලි, රූපවාහිනී හෝ සංගීතමය වැඩසටහන් නොවූ එකල වලව්වලට පැමිණෙන අමුත්තන් සතුටු කළේ ගැමියන් ඒකරාශි කර පවත්වන උත්සව මගිනි. එයට සහභාගි වන ගැමියෝ වලව්වේ නින්දගම්වල ජීවත් වන අය වෙති.
වලව්වට එන අමුත්තා බොහෝ විට තවත් ප්රභූවරයකු හෝ ආණ්ඩුවේ නිලධාරියෙකි. වලව්වේ හිමිකාරයා වන බණ්ඩර හාංදුරුවන් මෙවැනි රාජ්ය ප්රභූවරයකුගෙන් බලාපොරොත්තු වන වරප්රසාද ද තිබිය හැකිය. මේ නිසා රාජ්ය අමුත්තා සතුටු කළ හැකි ආකාරයේ නිවාඩුවක් තම වලව්වේදී ගත කිරීමට දීම බණ්ඩර හාංදුරුවන්ගේ අපේක්ෂාවය. මේ නිසා දඩමස් ඇතුළු රසමසවුලෙන් යුතු ආහාර ද කන පිනවන සංගීතය සහ නෙතු පිනවන නර්තනවලින් රාජ්ය අමුත්තා සතුටු කිරීමට නින්දගම් වලව් හිමි බණ්ඩර හාංදුරුවරු සැදී පැහැදී සිටියහ.
කනට සංගීතය ද නෙතට නර්තනය ද සපයන්නේ නින්දගම් වාසී ජනයාය. ගීත ගැයීම සඳහා පිරිමි ද නර්තන කටයුතු සඳහා කාන්තාවන්ද සහභාගි වෙති. මෙය එක් අතකින් අද භාවිත වන ආකාරයේ පැදුරු සාජ්ජයක් ලෙස ද සැලකිය හැකිය. පළමුව පිරිමි සීප ද කියති. එයට තාලය අල්ලති. සමහරු පැල්කවි කියති. කාන්තාවන්ගේ නැටුම එන්නේ ඉන්පසුවය. මෙම කාන්තාවන්ගේ ඇඳුමකින් වැසී ඇත්තේ යටිකය පමණි. උඩුකයට ඇඳුමක් නැත.
‘‘මෙම නැටුම තිබිල තියෙන්නේ මැද මිදුල අයිනේ කොටසක. සුදු රෙදිවලින් ආවරණය කරලයි මෙම කුටිය හදාගෙන තිබෙන්නේ. දේවාලවල දෙවියන් සතුටු කිරීම සඳහාත් රජුන් හා රදළයන් සතුටු කිරීම සඳහාත් දික්ගේ නැටුම නටා තිබෙනවා. දෙවියන් වර්ණනා කරමින් තමයි දේවාලවලදී නටල තියෙන්නේ. අදටත් ඒ වචන යොදා කරන ගීතිකා දේවාලවල ගැයෙනවා. අපේ ඇමිටියගොඩ වලව්වේ ආදි මුතුන් මිත්තන් දික්ගේ නැටුම නැරඹුව කියා සංකේතවත් වන ගිරයක් අදත් වලව්වේ තිබෙනවා’’ උදය ඇමිටියගොඩ මහතා සඳහන් කරයි.
ගිරයේ තල​ දෙකේ ඇත්තේ උඩුකය නිරුවත් ස්ත්රියක සහ පුරුෂයකුගේ කැටයම් දෙකකි.

උපුටාගත් තොරතුරු
මුල් අයිතිකරුට ස්තූතියි




notes of imaginary

Wednesday, January 17, 2024

ඔන්ලයින් ප්‍රේමයක්...

අත්දැකීමක් හෙම නෙවෙයි.. පරිකල්පනයක් පමණයි








සැරිසරන අතරතුර
ෆේස්බුක් පිටුවේ
ඇඩ් ෆ්රෙන්ඩ් තීරුවේ
නුඹේ රුව දුටුවේ
සත්තමයි මගෙ හිතේ
විදුලියක් කෙටුවේ
දෙපාරක් නොහිතාම
රික්වෙස්ට් කෙරුවේ
ඇක්සෙප්ට් කළේ නුඹ
වැඩි දිනක් නොයවා
ලයික් හා කමෙන්ට්ස් දී
පෝස්ට් ටික කියවා
දෙන්නාම මේ ලෙසින්
එකක් නොවරදවා
ලව් ඉමෝජිය යොදා
පෙමට මුල පිරුවා
කොළ එළිය දැල්වෙද්දි
ස්ක්රීන් මතුයේ
හායි කියලා දිනක්
මැසෙන්ජර් දැමුයේ
හාර්ට් වරුසාවකිනි
පිළිතුරක් ලැබුයේ
එයින් පසු ඇරඹුණේ
අපේ පෙම බුකියේ
නුඹේ ප්රොෆයිල් එකේ
ලස්සනට තිබුණූ
ෆොටෝ අතරින් එකක්
ඩවුන්ලෝඩ් කෙරුනූ
දිවාරෑ එකලෙසින්
හිතින් පෙම් පිරුණූ
ස්ක්රීන් එකට ගෙන
කළේ වැඩිදියුණූ
හේතුවක් නොමැතිවම
ප්රතිචාර අඩුවී
ඔන්ලයින් ආවාම
ගියේ නුඹ සැඟවී
ෆ්රෙන්ඩ් කෙනෙක් ලෙසින්වත්
නොතබාම දැඩිවී
බ්ලොක් කළේ ඇයිද මා
වරද නැත හෙළිවී
දුකක් දැනුනත් හිතට
නුඹ ඩිලීට් කරලා
රීසයිකල් බින් යැව්වෙ
දෙපාරක් හිතලා
සදහටම මකන්නට
එතැනිනුත් යවලා
බැරිව ලතවෙමි තවම
ඇඟිලිතුඩු ඔබලා
පී. ජී. ආරියපාල

න්තර්ජාලය අසල්වාසීන්ගෙන් අප දුරස්කර ඈත ඈත නොහදුනන මිතුරු සමූහයක් අප දෑත මතට ගෙනවිත් ඇත. පර්චස් දහයේ ඉඩමේ කොටු පවුරු බැද එ් තුල සිරවු ජනී ජනයා  හට අසල්වාසී සබදකම් වියකී අන්තර්ජාල සම්බන්ධතා සංවර්ධනය වන යුගයක  නොයෙකුත්  ඇබැද්දී වලටද මුහුන දෙන අවස්ථාද නැතිවාද  නොවේ.

මුදල්  පොලියට දෙන්නෝද    භාණ්ඩ අලවි කරන්නොද  ජනී ජනයා රවටන අවස්ථා සුලභය.

 මානව සම්බන්ධතා නන්නත්තාර කර විනෝද වන සමහර උදවිය දේශපාලන ප්රචාරනයේදී තමන් දරන අදහස් නොදරන න් සියල්ලෝම නිර්ධය ලෙස පාච්චල් කරන අන්දම ඉතාමත් කනගාටුදායකය.

 මේ පූර්විකාවට අදාල නොවුවත්  මේ  නිර්මාණය කියන්නේද  අන්තර්ජාලය විසින් කරනු ලබන එක් විනෝද ක්රියාවයක්  පිලිබදවය


notes of imaginary

Tuesday, January 16, 2024

වැද්දාට රැවටුණු සුද්දා



දහ අට වංගුව.


ලංකාවේ තියෙන පාරවල් අතුරින් ඉතා විශේෂත්වයක් ගන්නා එක් මාර්ගයක් ගැන තමයි මේ කියන්න යන්නේ. සංචාරකයන් පවා ලංකාවට ආවොත් මේ දහඅට වංගුව අමතක කරන්නේ නැහැ. මොකද එහි ඒ තරම් සුවිශේෂීත්වයක් එහි ගැබ් වෙලා තියෙන නිසා. ලංකාවේ තියෙන A ශ්රේණියේ මාර්ග අතුරින් හැමෝම යන්න කැමති පාරවල් දෙකක් තියෙනවා. එයින් එකක් තමයි මහනුවර ඉඳලා යාපනයට යන A 9 මාර්ගය. අනිත් මාර්ගය තමයි මහනුවර ඉඳලා මහියංගනයට යන A 26 මාර්ගය. මේ මර්ගයේ තමයි අද අපි කතා කරන වංගු 18 තියෙන්නේ.
මෙහි ප්රපාතාකාර වැලමිට වංගු 18 ක් ඇති නිසා මේ මාර්ගයේ එක් වතාවක් පමණක් ගමන් කර ඇති අයෙක්ට වුණත් ඒ ගමන නම් කිසිදාක අමතක වෙන්නේ නැහැ.උඩුදුම්බර පොලිස් බල ප්රදේශයෙන් ඇරඹෙන දහ අට වංගුව අවසන් වෙන්නේ හසලක පොලිස් බල ප්රදේශයෙන්.ඉතින් කඳුකර ප්රදේශවල පහසුවෙන්ම මහියංගණයට ළඟා වෙන්න පුළුවන් පහසු මාර්ග සකසන්නට හැකියාව තිබුණත් මේ වගේ අසීරු මාර්ගයක් හදපු එක ගැන සොයන්නම වෙනවා. ඉතින් ඒ සඳහා මේ වංගුවේ අතීත කතාව සොයා බලන්නට වෙනවා.
අද වෙද්දි වංගු 17 ක් පමණක් දකින්නට ඇති දහ අට වංගුවේ අතීත කතාව ගැන විමසන්නටයි මේ සූදානම. මීට වසර ගණනාවකට කලින් යුරෝපීය ජාතීන් ලංකාව පැමිණිලා ලංකාවේ පාලනය ඔවුන් යටතට ගන්නට කටයුතු කළා. ඒ අතුරින් පෘතුගිසීන්ට ලන්දේසීන්ට නොහැකි වුණු කාර්යය ඉංග්රීසීන් විසින් සිදු කළා. ඉතින් ඉංග්රීසීන් ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගත් පසුව වතු වගාව ආරම්භ කරන්නට මුල් පිරුවා. තේ. රබර්, කෝපි ,සිංකෝනා ආදී මෙකී නොකී වගාවන් ව්යාප්ත කරන්නට කටයුතු කළා. ඒ වතු වගාව කඳුකරයේ ශීඝ්රයෙන් පැතිරිලා ගියා. ඒ අතරෙ යුරෝපීයන්ට තමන්ගේ නිෂ්පාදන ද්රව්ය කොළඹට අරගෙන යන්නට අවශ්ය වුණා. ඒ නිසා මාර්ග පද්ධතියක අවශ්යතාවය ඔවුන්ට දැණුනා. කොළඹ සිට මහනුවරට මාර්ගයක් සකස් කරන්නේ ඒ නිසාවෙන්.
නමුත් මේ අතරෙ දි ටොරින්ටන් සාමිවරයාගේ 1848 දී නව බදු ප්රතිපත්ති පැනවීම නිසා උඩරට කැරැල්ලක් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය අතරෙ 1850 දී පමණ හුන්නස්ගිරි පළාතෙත් තේ වගේම එනසාල් වගාවත් ආරම්භ වෙනවා. මේ හේතු නිසාම බ්රිතාන්යයන් මහනුවරින් මාර්ග නිර්මාණය කිරීම නතර කරන්න නොහැකි බව තේරුම් අරගෙන උඩුදුම්බර දක්වාම පාරවල් හැදුණා. ඒත් ඉතින් පාරවල් හදන එක ගැන වැඩි අවබෝධයක් ඉංග්රීසි ජාතිකයන්ට තිබුණේ නැති නිසා ඔවුන් මේ සඳහා පළාතේ ජනතාවගේ අදහස් දැන ගන්නට කටයුතු කළා.
එකල උඩුදුම්බර ගමේ ප්රධානීන් 4 දෙනෙක් වුණු ගම්පහ බස්නාහිර කෝරළේ, ගම්පහ නැගෙනහිර කෝරළේ,ගම් දෙකේ කෝරළේ,කන්ද පහළ කෝරළේ යන අය කැඳවාගෙන ඔවුන් සමඟ මේ ගැන සාකච්ඡා කර තිබුණා.මේ වෙද්දි මේ කෝරලේ හතරදෙනා තුළම ඉංග්රීසි ජාතිකයන් ගැන එතරම් පැහැදීමක් තිබිලා නැහැ.ඒකට ප්රධානම හේතුව තමයි උඩරට කැරැල්ල වෙලාවේ ඉංග්රීසීන්ගේ අත් අඩංගුවට පත් කඩහපොළ හිමියන්ට එරෙහිව නඩු අසා එක් දවසකින්ම වෙඩි තබා මරණයට පත් කිරීම. මේ නිසා කෝරළේ හතරදෙනා වැදි ගම්මානයෙන් ආපු කෙනෙක් සම්බන්ධ කරගෙන වැදි ගම්මානයට යන්න තියෙන අසීරුම මාර්ගය පෙන්වාදී තියෙනවා.කොහොමහරි හුන්නස්ගිරිය ඉහළටම නැගලා මහා බෑවුමක් එක්ක මහියංගණය දැක්කම ඉංග්රීසින් තීරණය කර තියෙනව වංගු සහිතව මාර්ගය ඉදි කරන්නට.
තවත් ජනප්රවාදයකට අනුව ඒ කාලේ ඉංග්රීසි ජාතිකයන්ගෙන් ගම්වල ගැහැණු දැරිවියො ආරක්ෂා කර ගන්නට ගම්මාන නැති කැලෑ ප්රදේශවලින් පාර පෙන්නන්න කතිකා කරගෙන තිබුණලු. ඉතින් කොහොමහරි ඒ මාර්ගය හදන්නත් ශ්රමය සූරාකෑවේ අපේම මිනිසුන්ගෙන්. ඒ කාලේ සෑම වැඩිහිටි පිරිමියෙක්ම සතියට දින 6 ක්ම නොමිලයේ පාරවල් තැනීමේ කටයුතුවලට සම්බන්ධ විය යුතු වුණා. එහෙම නැති වුණොත් සිලිං තුනක ඇඟ බද්දක් ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා. පාර බද්ද කිව්වේ ඒකට.
කොහොමහරි උඩුදුම්බර ඉඳල නාසරුව,කෝවිල්මඩ, තවලන් තැන්න,තැම්මිටියාන,තිස්පන දක්වා මාර්ගය සැකසීමෙන් මේ දහ අට වංගුව නිර්මාණය වුණා. ඉතින් වරක් ඉංජිනේරු මහතෙක් පවසා තිබුණේ පළමුවැනි වංගුවේ ඉඳලා අන්තිම වංගුව දක්වා හරි කෙළින් නූලක් පහතට දැම්මොත් එහි දුර මීටර් 500 කටත් අඩුවන බවයි.ඉතින් වංගු 18 ම තියෙන්නේ උසින් කිලෝමීටර් භාගයකටත් වඩා අඩු දුරකින්. ඉතින් කිලෝමීටර් භාගයක් දුර නගින්න හෝ බසින්නට කිලෝමීටර් 7 ක දුරක් කන්ද වටේ සැරිසැරිය යුතු වෙනවා.
කොහොමහරි ඒ දහ අට වංගුවේ දෙවනි වංගුව ඉතාමත් අනතුරුදායක එකක් වුණු බවයි සඳහන් වෙන්නේ. එතන නතර කර වාහනය රිවස් නොකර කොහොමටවත් වංගුව පන්න ගන්න බැහැලු. එදා ගල් තාර යොදා තිබූ දහ අට වංගුව අද කාපට් ඇතුරූ සුවපහසු ආරක්ෂිත සුන්දර මාර්ගයක්.එදා මීටර් 3 ක් පමණ පළලින් යුක්ත මේ මාර්ගය අද මීටර් 8.5ක් පමණ පළලින් නිර්මාණය වී ඇත්තේ මංතීරු දෙකක් ද සමඟින්. ඒ වගේම පාලම් 9 ක් බෝක්කු 30ක් ඉදිකර තියෙනවා.
ඉතින් මේ මාර්ගය ඉදිකරන්නට එදා ගස් 5000 ක් පමණ කපා දමන්නට සිදුව තිබුණා. එයත් සමඟ අසරණ ජනතාවගේ දහඩියෙන් නිර්මාණය වුණු මේ මාර්ගය ලංකාවේ ඇති එක්තරා දුෂ්කරම මාවතක්. නමුත් හරිම සුන්දර ගමනක්.මේ මාර්ගය සකස් කිරිමේදී අපේ මිනිසුන් කී දෙනෙක් මරණයට පත් වෙන්නට ඇති ද. ඒ වගේම මේ කළු ගල් කඩන්නට සිදුව තිබුණේ පරිසරයට වගේම අවට පදිංචිකරුවන්ට හානිදායක වෙන විදියට.ඒ සඳහා සාම්ප්රදායික බෝර දැමීම් වගේම රසායනික ක්රමයටත් ගල් පුපුරවා තිබුණා.ඉතින් විශාල අභියෝගයන් රැසක් මැද එදා මේ මාර්ගය ඉදිකෙරුණා වගේම නැවත මාර්ගය පුළුල් කිරීමත් සිදු කෙරුණා.
අපේ රටේ ජාතික උරුමයක් වෙන මේ දහ අට වංගුවට වසර 30 කටත් අධික කාලයක් ගෙවී ගිහින්. ඉතින් හරි අපූරු ඉතිහාස කතාවත් සිහියේ තබාගෙන දහ අට වංගුවේ රවුමක් යන එක කොහොමටත් හොඳයි නේ.
උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය