Tuesday, October 24, 2023

කයිමන් දොරකඩ

 

පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා....
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා.....
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා.....
කයිමන් දොරකඩ ඉඳපං මං එනතුරු සෙලෙස්තිනා”.....
කයිමන් දොරකඩ? මොකක්ද ඒ ?? ඒ කිවුවේ අර සෙලෙස්තිනා බලා සිටියා කියන තැනද? එතකොට ඒකටමද කොළොම්පුරේ කිඹුල් දොරටුව කියන්නෙත්??
ඔව්... ඒ එතන තමයි... එන්න අපි යමු ! ගිහිල්ලා කයිමන් දොරටුව බලාගෙන අතීතයේ සැඟවුනු කතන්දරේ දැනගෙන එන්න.
කොළඹ රජ වීදිය (KONINGS STREET/ KINGS STREET) නමින් එදා හැඳින්වු පිටකොටුවේ කෙලින් වීදියේ (MAIN STREET) කෙළවරේ කොළඹ ගෑස්පහ හන්දියේ ඇත්තේ පැරණි නගර ශාලාවයි. එය ටිකක් පසුකොට වරාය දෙසට එන විට හතරවැනි හරස් වීදිය බෝඩ් ලෑල්ල ඔබට හමුවේ. එතැන සීනු කණුවක් වටකොට කිසිවකුට යා ​නොහැකි ලෙස කොළ පැහැති දැල් වැටක් ගසා ඇත. සීනු කණුව මුදුනේ කපුටු බෝවහන්සේ නමක් කදිමට පැළවී සීනු කණුව තව නොබෝ කලකින් බිම පත බෑවෙන ලෙස යන්තම් ඉතිරිතලාද ඇත. ගසා ඇති දැල් වැට අතරින් සීනුව අසල සවිකොට ඇති බෝඩ්ලෑල්ල කියවීමටද අපහසු වුවත් එහි සඳහන්ව ඇත්තේ එය පුරාවිද්යා ස්මාරකයක් බව පමනි. මෙය අතීතයේ කයිමන් දොරකඩ ගාණ්ඨාර කුළුණ (BELFRY AT KAYMAN'S GATE) නමින් හැඳින්වුනු මේ සීනු කනුව හා ලෝ පුරා ප්රකට වූ ඓතිහාසික උරුමයක් වූ කොළඹ කොටුව හා බැදි මෙම වස්තූන් කිසිවෙකුගේ අවධානයට ලක්නොවි තිබීම කෙතරම් අවාසනාවක්ද...
මෙතරම් වටිනා පුරාවිද්යා ස්ථානයක් කිසිවකුට සමීපයට යා නොහැකි ලෙස වැටක් ගසා ඇත්තේ ඇයි දැයි කිසිවෙකුටවත් නොතේරෙන කරුනකි... පාරට​ පෙනෙන ලෙස නිකල් ප්ලේට් තහඩුවක හාරන ලද අකුරෙන් මුද්රණය කළ සටහන කියවීමට පවා අපහසුය.
මෙම ගාණ්ඨාර කුලුණ අසල ඇති සටහන අනුව පෙනී යන්නේ ලන්දේසින් විසින්​ කොළඹ නගරය පෘතුගීසින්ගෙන් අත්පත් කර ගන්නා විට දැනට කොටුව නමින් හැඳින්වෙන පෙදෙසේ පෘතුග්රීසීන් විසින් ඉදි කරන ලද ඔවුන්ගේ ප්රධානතම බලකොටුව තිබූ බවයි...
1554දී පෘතුග්රීසීන් විසින් මෙම බලකොටුව ආරක්ෂක උපක්රමයක් ලෙස සාදා නිම කොට ඇත්තේ දෙස්/ විදෙස් හමුදා ප්රහාරයන් වලින් බේරී, ආරක්ෂා සහිතව සිය මාළිගා, මන්දීර හා නිවෙස් ඉදි කිරීමටත්, සිය වෙළද කටයුතු පහසු ලෙස පවත්වාගෙන යාම සදහාත්ය... අද හැදින්වෙන කොළඹ කොටුව, ඕල්කට් මාවත බේරේ වැව සහ අවට ප්රදේශය වට කරමින් ඔවුන් විසින් කබොක් ගල් වලින් විශාල ප්රාකාරයක් බදිමින් මෙම බලකොටුව නිමවා ඇත. එම විශාල තාප්පයෙන් කොටු වූ එම ප්රදේශය කොළඹ කොටුව ලෙසත්, එම තාප්පයෙන් පිටත ප්රදේශය පිටකොටුව ලෙසත් පසු කාලයේදී නම් වී ඇත... බ්රිතාන්ය ලේඛක ජෝන් කාපර් විසින් ‘ඔල්ඩ් සිලෝන්’ ග්රන්ථයේ සඳහන් කොට ඇත්තේ, මේ කොටු පවුර කබොක් ගලින් නිමවා හුණු පිරියම් කොට ඇති අතර මෙහි පිටත ප්රාකාරය ගං ඉවුරට සමාන්තරව මුහුදු වෙරළ දක්වා පැතිරි තිබී ඇති බවයි...
මෙම බලකොටුවට නැගෙනහිර දෙසින් ඇතුළු වීමට ප්රධාන පිවිසුම ඉදිවී තිබූ අතර එය විශාල ආරක්ෂක දොරටුවක් සහිත විය. මෙම ප්රධාන පිවිසුම් දොරටුව විවෘත වුණේ ශාන්ත ජෝන් ඇළ මාර්ගය (St.John's Canel) මතින් ඉදිවුණ පාලම වෙතයි. පාලම ඔස්සේ බලකොටුවේ ප්රධාන පිවිසුමක් වන මෙම දොරටුව වෙත පැමිනිය යුතු නිසාම, බලකොටුවට සුවිශේෂී ආරක්ෂාවක් ඒ හරහා සැකසී තිබුනි.. ඒ නිසාම පෘතුගීසින් විසින් මෙම ආරක්ෂිත පාලම සහිත දොරටුව හැඳින්වූයේ “ PUENTE REINA” හෙවත් “රැජින පාලම හෙවත් රැජින දොරටුව” ලෙසයි...
1656 දී පෘතුගීසි යුගය නිම වී ලන්දේසි යුගය ඇරඹෙන විටත් කොළඹ වඩාත් ඉඩකඩ ඇති බලකොටු නගරයක් ලෙස සකස් වී තිබුණු බව ඉතිහාස මූලාශ්රවල සඳහන් වේ. කොටුව වටා තිබූ පවුර සැතපුම් තුනක් වූ අතර පවුරේ තැන තැන අට්ටාල දාහතරක් වූ බව කියවේ.
පෘතුග්රීසීන් විසින් ඉදි කල මෙම කොළඹ බලකොටුවට ඇතුල්වන දොරටුව වූ රැජින පාලමට 'කයිමන් දොරටුව' හෙවත් කිඹුල් දොරටුව ලෙසින් නම තැබුවේ ලන්දේසින් විසිනි.. එයට විශේෂ හේතුවක් විය.. ඒ ඉහතින් සඳහන් සාන්ත ජෝන් ඇළ යාවී තිබී ඇත්තේ බේරෙ වැවටය. බේරෙ වැවේ කිඹුලන් සිටි බවත් එම කිඹුලන් මේ ඇළ මාර්ගය ඔස්සේ කයිමන් දොරටුව අසල ජලාශයේ කුණු කසල ආදිය කා දමමින් ජීවත් වූ බව කියවේ. හැම විටම කිඹුලන් ගැවසුණු ස්ථානයක් නිසා මෙම ස්ථානය ලන්දේසින් විසින් 'KAIMAAN POORT' හෙවත් කයිමන් දොරටුව ලෙස නම් කොට ඇත. කයිමන් යනු ඇමෙරිකානු /ඉන්දියානු වචනයක් වූ ‘ගෙයිමන්’ යන වචනයෙන් බිදී 'කයිමන්' ලෙස ලන්දේසී භාෂාවට එක් වූ වචනයකි. එහි අරුත ‘දැවැන්ත කිඹුලා’ යන්නයි... 'KAIMAAN POORT' යන්න ඉංගරීසියට 'KAYMAN'S GATE' ලෙසත් එය සිංහල බසට කයිමන් දොරකඩ ලෙසටත් පෙරලූනා.
කයිමන් දෙරකඩ ඉදිවී ඇති මෙම කුලුණ සහිත දොරටුවේ ඉහළ කොටස ආරක්කු හැඩයකින් යුක්තය. මෙහි ශීර්ෂය කේතු රූපාකාර මෝස්තරයකින් යුතුය. එහි සවිකොට ඇති ගාණ්ඨාරය නිමවූ ලෝහය ගැන නිශ්චිත සටහනක් නැත. එය දහසය වෙනි සියවසට අයත් බව සැලකේ. අද එය මුළුමනින් කළුගැන්වී ඇත... මෙය පෘතුගරීසින් විසින් ශරී ජයවර්ධනපුර කෝට්ටේ ඉදි කරනු ලැබු ශාන්ත ෆරෑන්සිස් මුනිතුමන්ට කැපකරන ලද දේවස්ථානයේ ගාණ්ඨාරය බව ඓතිහාසික තොරතුරුවලින් කියවේ. පසු කාලෙක ලන්දේසින් ගේ අතින් බොහෝ කතෝලික දේවස්ථානය විනාශ වන විට ,එම දේවස්ථානයද විනාශ වූ අතර, එහි ඇති වටිනා ගාණ්ඨාරය ලන්දේසීන් විසින් කොළඹ බලකොටුවේ කයිමන් දොරකඩ පිවිසුමේ නව ගාණ්ඨාර කුළුනක් ඉදි කොට එහි මෙම වටිනා ගාණ්ඨාරය සවි කල බව විශ්වාස කිරීමට සාක්ෂි ඇත.
මෙම ගාණ්ඨාරය ලන්දේසීන් හට කයිමන් දොරකඩ සවි කිරීමට තරම් වැදගත් හා වටිනාකමක් ඇති වූයේම, එහි වෙනත් ගාණ්ඨාර වල මෙන් මුද්රා කොට තිබුනේ එහි නිෂ්පාදිත වර්ෂය හෝ නිපදවූ තැනැත්තාගේ නම පමනක් නොවීමයි. එහි "Ave Maria, gratia plena, Dominus tecum, Benedicta tu in mulieribus, et benedictus fructus ventris tui, Jesus." ලෙස ලතින් භාෂාවෙන් ලියැවුනු ක්රිස්තියානි යාච්ඤා කොටස මුද්රා වී තිබුණි. එය ඉංග්රීසි භාෂාවෙන් "Hail Mary, full of grace, The Lord is with thee. Blessed art thou among women, and blessed is the fruit of thy womb, Jesus" ලෙසටත්, සිංහලෙන් එය "නමෝ මරියනි, ප්රිය ප්රසාද පුර්ණවන්තියනී, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය, ස්ත්රීන් අතුරින් ආශීර්වාද ලද්දී ඔබ වහන්සේය, ඔබගේ ශ්රී කුසෙහි පළවන් ජේසුස් ආශීර්වාද ලද්දාවුමය" යන අරුත දක්වයි.. එම නිසා මෙම ගාණ්ඨාරය ආරක්ෂ කිරීමට ඔවුන් කැප වූ බව කියවේ..
මේ ගාණ්ඨාරයෙන් ආදිරිප්පු වීදියේ පල්ලියේ (WOLVENDAAL CHURCH) ඉරිඳා දේව මෙහෙයන් දැනුම් දිමත්, රාතිර කාලයට දොරටුව වසන වේලාව සියල්ලන්ටම දැනුම් දෙන්නටත් (CURFEW BELL) යොදාගත් බව කියවේ... දේව මෙහෙයන් දැනුම් දීමට උදේ/සවස දේව මෙහෙයට පැය බාගයක විරාමයක ලබා දුන් බව දන්වා සිටීමටත් මෙම සීනුව සහිතව තුන්වරක් නාදවූ බවද කියවේ... එත් සමහරුන් නම් කියන්නේ පල්ලියේ සිට ගාණ්ඨාරයර ඇති දුරත් සමගින් මේ නිවේදනය ලබා දීම සදහා මෙම සීනුව නාද කල බව විශ්වස නොකල හැකි බවයි...
මෙම ගාණ්ඨාර කුළුන අසලින්ම සන්නද්ධ මුරභටයින් රදවා තැබූ මුරගෙයක්ද ඉදිවී ඇත.. පසු කලෙක ඉංග්රීසීන් විසින් මෙම බලකොටුව සම්පූර්නයෙන්ම පාහේ විනාශ කොට දැමීමත් සමග එම මුරගෙයද කැඩිබිදි නටබුන් වී, කොටුව /පිටකොටුව ජනාකීර්ණ වෙළඳ පොලක් බවට පත්වී ඇත.
1870 සමයේ, ඉංග්රීසි පානලය යටතේ මෙම බලකොටුව සම්පූර්ණයෙන්ම වාගේ කඩා බිදා විනාශ කර දැමුවේ එම කොටුව වටේම ඉදි වී තිබූ ශාන්ත ජෝන් ඇළත්, බේරෙ වැවත්, වරායත් ඇළමාර්ග හා එකට බැදී තිබූ සියලු කුඩා ඇළ මාර්ගයන් වසා දමමිනුයි.. අද ඔබ කොළඹ කොටුවේ හා පිටකොටුවේ දකිනා සියලු හරස් වීදී එදා තිබූ ඇළ පාරවල්ය. එමෙන්ම ඒ අවට තිබූ සියලු පහත් බිම්ද ඉංග්රීසීන් විසින් පුරවා ගොඩකර නව ගොඩනැගිලි ඉදි කිරීම අරඹා ඇත.
මෙම කයිමන් දොරකඩ ගාණ්ඨාරය අවසන් වරට නිලවශයෙන් නාද වූ බවට සටහන්වෙන්නේ 1926 ජනවාරි 21 සහ 28 වෙනිදායි. ඒ පස්වෙනි ජෝර්ජ් රජතුමා අභාවපරාප්ත වුනු බව දැනුම් දීමටත්, රජතුමා වෙනුවෙන් ආදුරුප්පු පල්ලියේ පැවැත්වුනු අනුස්මරණ දේව මෙහෙය දැනුම් දීමත් සදහායී. ඊට අමතරව දෙවන ලෝක යුද සමයේ, 1945 අගෝස්තු 14 දින අනෙක් පල්ලිවල ගාණ්ඨාර සමගින් මෙම ගාණ්ඨාරයද නාද කල බව ජනප්රවාදයේ කියවේ.. අවසන් වරට මේ කුළුණ පිලිසකර කර ඇත්තේ 1926 මාර්තු මාසයේදි කොළඹ නාගරික ඉංජිනේරුතුමා විසිනි. ඒ ක්රිස්තියානි සභාවේ ඉල්ලීමක් මතයි.
ඉතිහාසය සාක්ෂි දරන්නේ පෘතුගීසින් රළු, කෲර හා ආගම පැතිරවීම සඳහා සැහැසි ක්රියාවල යෙදුන ජාතියක් ලෙසය. පෘතුගීසි සික්ක්රෝවරුන් විසින් තම මව් බිමේදී මෙන්ම සැහැල්ලුවෙන් ගෙවී ගිය බවට අනුමාන කළ හැකිය. කයිමන් දොරකඩ හරහා එකල බෙහෙවින් පිළිගැනුන සේද, විල්ලුද හා රනෙන් රිදියෙන් වැඩ දැමූ ඇඳුම් හා ආයිත්තම්වලින් සැරසුන පෘතුගීසි ජාතිකයන් ස්වදේශකයින් විශ්මයට පත්කරමින් අවි ආයුධ භාවිත කළ බව ද ඉතිහාසයේ සඳහන්ය. මේ කයිමන් දොරකඩින් ඇතුළු වූ කොටුව තුළ ප්රධාන විනෝදාස්වාද මාධ්යයක් වී ඇත්තේ ස්පාඤ්ඤ වීනා සංගීතයයි. පෘතුගීසින් ස්පාඤ්ඤ සංගීතයට බෙහෙවින් ලොල් වී සිටි බවට සාක්ෂි ඇත. එම නිසා ඔවුන් සෑම යටත් විජිතයක් පාසා ස්පාඤ්ඤ සංගීතය ව්යාප්ත කළ බැව් පෙනේ.
මෙම කයිමන් දොරකඩ ගැන ඇති ලේඛනවල ඇත්තේ මේ ප්රදේශය ආශ්රිත පවුල්වල පුද්ගලයින්​ගේ හා නිලධාරින්ගේ ජීවන රටාව කොටුව ඇතුලේ ජීවත් වූ ජීවන රටාවට වඩා වෙනස් වූ බවය. මෙම කයිමන් දොරකඩ ගැන අධ්යයනය කල ඉතිහාසඥයකයින් පවසන පරිදි එදා කයිමන් දොරකඩ අසල වරදකරුවන් එල්ලා මැරූ ස්ථානයක් තිබී ඇත. සෙනඟ පීරමින් එම ඝාතනයට ලක්වෙන පුද්ගලයින් බැලීමට පොරකන පිරිසක් ද හුරු වී සිට ඇත. 19 වන ශතවර්ෂයේ අග භාගය වන තෙක්ම යටත් විජිත පාලකයෝ කයිමන් දොරටුව පිහිටි ස්ථානය ප්රසිද්ධියේ වැරදි කරුවන් එල්ලා මැරීම සඳහා භාවිතා කළ බව ඉතිහාසය අපට කියා පායි...
ඉහතින් සදහන් පරිදි ශාන්ත ජෝන් ගංගාව දිගේ කිඹුලන් ඇදී එන්නට ඇත්තේ නගරයේ අපද්රව්ය ආහාරයට ගැනීමට යන්න ඉතිහාසයේ සදහන් වුවත්, එච්.ඒ.ජේ. හුලුගල්ල මහතා විසින් කොළඹ නගර සභාවේ ශත සංවත්සරය වෙනුවෙන් ඩේලිනිව්ස් පුවත්පතට ලියන ලද ලිපි පෙළක මේ කයිමන් දොරකඩ ගැන දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබුණි. ඔහුට අනුව කයිමන් දොරකඩ මිනිසුන් එල්ලා මැරූ ස්ථානයක් ලෙසද යොදා ගෙන තිබීම යන්න හරහා, එම මිනිකදන් කිඹුලන්ගේ ආහාරය බවත් පත්වූවා දැයි ඔබට සැක පහල විය හැකි වුවත්, එල්ලා මැරූ මිනිසුන් මුහුදට ගසාගෙන යාමට ශාන්ත ජෝන් ගංගාවට දැමූ බවට සාක්ෂි නැති බැවින් කිඹුලන් පැමිණ ඇත්තේ අපද්රව්ය ආහාරයට ගැනීමටම බව මෙහිදී සාක්ෂාත් වේ.
එකල, කයිමන් දොරකඩ අසල පෘතුග්රීසි සෙබළුන් ජීවත් වී ඇත්තේ ජනතාව පීඩාවට පත්වන ලෙස බවය. මේ කයිමන් දොරකඩ අසල සිටි සෙබළුන් මේ අසල වූ මත්පැන් ගුදම්වලින් පිරි තැබෑරුම් තුළ එකක් ඉවර වෙන්නට එකක් වයින් පිරවූ වීදුරු හිස් කොට ඇත. පහත් පෙළේ විහිලු කරමින් ඔවුන් කාලය කා දමා ඇත.
ඉතිහාස දත්ත පිරික්සීමේදී පෙනී යන්​නේ ලංකාවේ එකල පැවැති ගෘහ නිර්මාණ ගැන ද තොරතුරක් දැනගත හැකි වී ඇත. ඒ එකල ඉදිවූ විශාල ආලින්ද සහිත නිවාස හේතුවෙන් පාරවල්වල ඉඩ ඇහිරී ඇත. එබැවින් 1846 දී බ්රිතාන්ය රජය ‘ආලින්දයේ නීතිය’ ගැසට් නිවේදනය ප්රකාශයට පත්කොට ඇත. ඉන්පසු කයිමන් දොරකඩ අසලත් රට පුරාමත් ආලින්ද සහිත නිවාස ඉදිවීම නතර වී ඇත.
කයිමන් දොරකඩ හරහා පිටකොටුවට තිබූ වීදිය එකල ඉතා පටු එකක් වී ඇත. එච්.ඒ.ජේ. හුලුගල්ල විසින් සංස්කරණය කළ කොළඹ සංවත්සර කලාපයේ කයිමන් දොරකඩ ගැන මෙසේ සදහන්ව ඇත...,
“කයිමන් දොරටුව වඩාත් චිත්තාකර්ෂණීය ස්ථානයක් ලෙස අද ද සිංහලයා තුළ හැඟීම් මාත්රයක් ඇත. කයිමන් දොරටුව නොහොත් කේමන් දොරටුව හරහා පිටකොටුවේ අනෙක් පසට වැටී ඇති වීදිය පටු හෙයින් මේ ප්රදේශය අධික රශ්මියෙන් යුක්ත බව කියන්නේ පර්සිවල් ය. සරප්වරු මුදල් මාරු කරන්නත් පදිංචි වී සිටියා යැයි සැලකෙන මේ ප්රදේශයේ කාර්යබහුලව නොතිබුණේ යයි කාටනම් කිව හැකිද? මුදල් මාරු කරන්නන් වඩාත් බලවත් පුද්ගලයින් ලෙස එකල සමාජයේ ජීවත් වූවාට සැකයක් නැත. ජේත්තුවට යුරෝපීය ඇඳුම් පැළඳුමෙන් සැරසුණු ස්වදේශිකයන් බර සපත්තු පැළඳ මේ වීදි පුරා ඇවිද යනු මඳකට නෙත් පියාගෙන මෙනෙහි නොකර සිටීමට කාට නම් හැකිවනු ඇතිද?”
හුලුගල්ලයන් එසේ සඳහන් කළද අද කයිමන් දොරටුව අසල සීනුව අසල මුදල් මාරු කරන්නන් බේතකටත් සොයා ගැනීමට නැත. මේ කයිමන් දොරකඩ අසලින් ඇරඹෙන හතරවැනි හරස් වීදියේ ඇත්තේ කරවල තොග කඩ සමූහයකි. බර සපත්තු කෙසේ වෙතත් ජේත්තුවට යුරෝපීය ඇඳුම් ඇඳ මේ කයිමන් දොරකඩ සීනු කණුව පසුකර යන ඇත්තන් දෙස මේ සීනු කනුව නිසොල්මනේ බලා සිටින්නේ දශක ගණනාවක ඉතිහාසයක් කියාගත නොහැකිව වේදනා බරිතව බලා සිටින්නාක් මෙනි...
එදා සෙලෙස්තිනා එතෙනට වෙලා බලං හිටියට අදනං කයිමන් දොරටුව කියල එකක් නෑ...
අද එහි ඇත්තේ පුරාවිද්යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කල ගාණ්ඨාර කුළුණක් පමනයි...
කයිමන් දොරකඩ ගාණ්ඨාරය නාදවෙනවා අසන්නට මතු පරම්පරාවට කිසිදා නොහැකි වනු ඇත...
එහෙත් එම අතීත තොරතුරු ආරක්ෂා සහිතව අපට දායාද කල සියලු කතුවරුන්ට පින් සිදුවන්නට ඔබ වෙත මේ තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට මට හැකියාව ලැබුනි...
අද ඔබ මේ දකිනා අතීත තොරුතුරු ඔබෙන් මතු උපදින්නා වූ පරම්පරා වෙත දායද කිරිමට ඔබත් කැප වෙන්න...
උපුටා ගැනීමකි
අන්තර්ජාලයෙන් තොරතුරු එකතුවක්.
ස්තූතියි මුල් හිමිකරුවන් හට.

notes of imaginary

Monday, October 23, 2023

මන්තරයක්....




ධර්ම මද්දුම හේවා පරිපාලන නිලධාරියෙක්  ඔහු මාතලේ උප දිසාපතිවරයා ලෙස සේවය කරමින් සිටි අවධියේ සිදුවීමක් පසුගිය 15 දා අරුනට  ලියලා තිබුනා.

උප දිසාපතිවරු  ශාසන බල මණ්ඩලයේ  සංවිධායක ලෙස තනතුරෙන් බලතල හිමිවෙනවා.

ඉතින් විහාරධිපති හිමිවරු යම් යම්  ගැටළු නිරාකරණය කර ගන්න දිසාපතිවරයා හමුවීමත් සිදුවෙනවා. එක විහාරාධිපති හිමි නමකට එරෙහිව පන්සලේ තාප්පේ පෝස්ටර් ගහලා. හාමුදුරුවෝ දුක් ගැනවිල්ල කියා ගෙන දිසාපතිවරයා හමුවුනා. 

මොකද හාමුදුරුවනේ ?

මහත්තයෝ කවුද නොසන්ඩාලයෙක් පන්සලේ තාප්පේ  පෝස්ටරයක් ගහලා මට අපහාස වෙන විදියට.

මොකක්ද හාමුදුරුවනේ ලියලා තියෙන්නේ ?.

“හේමා ලෝකට එන්න කියාපිය “ කියලා.

මොකද්ද මහත්තයා මම මේකට කරන්නේ ?

හාමුදුරුවනේ , පන්සලේ ඇබිත්ත කොල්ලෙකුට හුණු කූරක් දීලා ඊට යටින් මෙහෙම ලියන්න කියන්න. ඒකත් වැරදුනොත් වෙන වැඩක් කරමු.

හාමුදුරුවෝ ආපහු පන්සලට ගියා පහුවෙනිදා උදේ තාප්පේ තියෙනවා

“හේමා ලෝකට එන්න කියාපිය “

“ හේමාලෝක එනවා කියාපිය - තොගේ අම්මට නාගෙන ඉන්න කියාපිය “ කියලා.

ඒක වැරදුනේත් නැහැ. ආයෙත් පෝස්ටර් වැදුනේත් නැහැ.

 

 



notes of imaginary

Sunday, October 22, 2023

මනාලිය

මනාලිය


















සඳ එළිය යහන මත
තවරා කවුළු හැර
තරු දෙනෙත්
අඩවන් කරාවී .
රත ලවන් පෙති නුරා
විවරකොට මුතු පටින්
සුසුදු කැල්මන්
විහිදුවාවී .
පිච්ච මල් පැළඳි සිකි
පිල් කළඹ මුදා හැර
සිථිල සළු පටක්
දවටාවී .
මධු විතක් වී තිළිණ
රැය පුරා උණුසුමට
හද ගැබේ පියුම්
අතුරාවී.
රෝ.සි.


notes of imaginary

මහනුවර අපේ රජවරුන්ගේ සොහාන්

මහනුවර තිබු අපේ රජවරුන්ගේ
සොහාන්වලට වෙච්ච දේ මෙන්න
දින 11ක් දැල්වු රජතුමාගේ
සොහාන නිවන්නේ කිරෙන් හා
පොල් වතුරෙන්...
මහනුවර යුගයේ සිටි රජවරුන් ආදාහනය කර තිබෙන්නේ එකම ස්ථානයක.ඒ තමයි ගෙඩිගේ විහාර බිම හෙවත් රාජකිය ආදාහන මළුව.මෙහි තිබු එම රජතුමන්ලාගේ සොහොන් කොත්වලට මොකද වුණේ කියන ප්රශ්නයක්.අද කියන්නේ ඒ රාජකිය ස්මාරකවලට වෙචිච දේ ගැනයි.
නුවර යුගයේ රජතුමන්ලා ආදාහනය කරන්නත් පෙර ගම්පොළ යුගයේදිත් මෙම ස්ථානයේ රාජකීයයන් ආදාහනය කර තිබෙනවා..ගම්පල යුගයේ තුන්වැනි වික්රමබාහු රජතුමාගේ( 1347-1375) මව්බිසව තමයි චන්ද්රවති දේවිය.එතුමියට අස්ගිරි දේවි කියලත් කියනවා.චන්ද්රාවති දේවිය මියගියාම තුන්වන වික්රමබාහු රජතුමා විසින් මව්බිසව ආදාහන කළේ ගෙඩිගේ විහාර ආදාහන මළුවේදි..ඒ අදාහන කරපු තැන රජතුමා බෝධියක් රෝපණය කළා.ඒ බෝධිය අදත් තිබෙනවා.චන්ද්රාවති බෝධිය කියල තමයි ඒ බෝධින් වහන්සේ හදුන්වන්නේ.ඉතින් රජතුමා එම ස්ථානයේ විහාරයකුත් හැදුවා .ඒක තමයි අස්ගිරි ගෙඩිගේ විහාරය කියන්නේ.
ඉතින් අද අස්ගිරි ගෙඩිගේ විහාරය හෙවත් ආදාහනමළුව විහාරය සුළු ප්රමාණයක පැතිර තිබුණත් අතීතයේ මේ විහාරයට උඩවත්ත කැළයෙන් මෙපිට හා බහිරවකන්දට මෙපිට සියළු ඉඩම් රජවරු පූජාකර ඇති බව අදත් විහාරයේ ඇති සන්නස් තුළින් පැහැදිලි වෙනවා.ඒ වගේම මේ විහාර භුමිය මහල් තුනක් තිබිලා තියෙනවා අතීතයේ.
උඩමළුව,මැදමළුව,පාත මළුව කියලා ඒ මළු තුන හදුන්වනවා.උඩමළුවේ තමයි බෝධින් වහන්සේ ඇතුළු විහාරය පවතින්නේ.දෙවැනි මළුවේ රජවරු ආදාහනය කළ බවත් තුන්වැනි මළුවේ මහජනයා රැස්වු බවත් විහාරයේ පැරණි පොත්පත්වල සදහන්වනවා.
ශ්රි වීරපරාක්රම නරේන්ද්රසිංහ රජතුමා (1707- 1739) හා කීර්ති ශ්රි රාජසිංහ රජතුමා ( 1747- 1782) කුමාර අවධියේ අකුරු කරවා තිබෙන්නේ මේ පන්සලෙන්.ඉතින් ඒ රජවරු වගේම මහනුවර යුගයේ සිටි සියළු රජවරු මේ විහාරස්ථානයට විශේෂ අනුග්රහයක් දක්වා තිබෙනවා.
එසේම 1753 දි කීර්ති ශ්රි රාජසිංහ රජසමයේ තායිලන්තයෙන් ලංකාවට උපසම්පදාව රැගෙන ආ උපාලි මහ තෙරණුවන් අපවත්වු පසු ආදාහනය කර තිබෙන්නෙත් මේ ආදාහනමළුව විහාර⁣ භූමියේදි. එය සිහිවීම සදහා තායි රජ පවුල විසින් විහාර භූමියේ ඉදිකළ ස්මාරකය අදත් දකින්න තියෙනවා.
ඒ අනුව පළමුවැනි විමලධර්මසූරිය රජතුමා, සෙනරත් රජු, දෙවැනි විමලධර්මසූරිය රජු, විජය රාජසිංහ රජු, ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ රජු,විජය රාජසිංහ රජු, කීර්ති ශ්රී රාජසිංහ රජු, රාජාධි රාජසිංහ රජුගේ ආදාහන සිදුකළේ ගෙඩිගේ විහාරයේ දෙවැනි මළුවේදීය. කන්ද උඩරට දෙවැනි රාජසිංහ රජතුමාගේ අදාහනය සිදුකර ඇත්තේ හඟුරන්කෙතයි නමුත් රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරනු ලැබුවේ ගෙඩිගේ විහාර බිමේ ස්මාරකයකය. සිංහලේ අවසන් රජු වූ ශ්රී වික්රම රාජසිංහ මියගියේ වෙල්ලෝරයේ නිසා එතුමාගේ භෂ්මාවශේෂ එහිම තැන්පත් කර තිබෙනවා
එපමණක් නොව මේ රජවරුන්ගේ බිසෝවරුන් වගේම මව්බිසෝවරුන් මියගිය පසුත් ආදාහනය කර ඇත්තේ මේ ස්ථානයේ බව පොත්පත්වල සදහන් වෙනවා.
එසේම රජවරුන් හා බිසෝවරුන් ආදාහනය කර එම භෂ්මාවශේෂ තැන්පත් කරලා ගෙඩිගේ විහාර භූමියේ කුඩා චෛත්ය වැනි ස්මාරක හදා තිබෙනවා.ඉංග්රීසි පාලනය එනතුරු මේ ස්මාරක විහාර භූමියේ තිබුණත් ඉංග්රීසි පාලකයන් ඒවා බොහෝමයක් වැනසි යෑමට සලස්වා තිබෙනවා.එසේම ඉංග්රීසින් ඒවායේ තිබු ආභරණ ආදිය කොල්ලකෑවා.
එසේම ඉතිරිවු රාජකීය ස්මාරකත් විනාශවුයේ නුවර මාතලේ දුම්රිය මාර්ගය හැදිමේදි. 1878- 1880 කාලයේදි එම දුම්රිය මාර්ගය හැදුවේ ගෙඩිගේ විහාරය හෙවත් ආදාහන මළුවට යටින්.ඉතින් ඒ ඉදිකිරිමෙිදි ඉතිරිව තිබු රාජකීය ස්මාරකය ටිකත් ඉංග්රීසින් විනාශකර දැම්මා. නමුත් විහාර භුමියේ ඉපැරණි අරලිය ගස් දෙකක් පමණ අදත් දකින්න තිබෙනවා.බොහෝවිට එම ගස් රාජකීීයයන් ආදාහනය කර භෂ්මාවශේෂ තැන්පත් කර ⁣ රෝපණය කළ ගස්විය හැකි බවද කියනවා.
එසේම රජතුමාගේ මව හා රජුගේ වැඩිමහල් සොයුරියගේ ආදාහන සඳහාද ගෙඩිගේ විහාරයේ ආදාහන මළුව යොදාගෙන ඇත්තේ විශේෂ වරප්රසාදයක් වශයෙනි. රජ පවුලේ සෙසු සාමාජිකයන්ගේ ආදාහන මහනුවර උඩවත්ත කැලයේ රාම විහාරය පිටුපස ‘බණ්ඩහේතැන්න’ නමැති ස්ථානයෙහි සිදුකර ඇත.
වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ආදාහනය ගෙඩිගේ විහාර ආදාහන මළුවේදී සිදු නොකළත්, ලංකාවට උපසම්පදාව ගෙනා සියම් උපාලි හිමිගේ ආදාහනය සිදුකළේද ගෙඩිගේ විහාරයේය.
රජතුමාගේ දේහය දැවීමෙන් දින එකොළහක් යනතුරු ගින්න නිවෙන්නට ඉඩ නොදෙන බව ඉංග්රීසි ආණ්ඩුකාර සර් රොබට් බ්රවුන්රිග්ගේ වෛද්යවරයා වූ ජෝන් ඩේව් සඳහන් කර ඇත. දින එකොළහෙන් පසු කිරි හා පොල් වතුරවලින් ගින්න නිවා දමයි. පිලිස්සුණු ඇට කැබලි මැටි බඳුනකට දමා සීල් තබනු ලබයි. අළු තවත් බඳුනක දමා සොහොනක තැන්පත් කරයි. රජතුමාගේ අස්ථි කොටස්, අළු හා දැවී ඇති ආභරණාදිය එකතු කිරීමේ රාජකාරිය පැවරී ඇත්තේ අරුප්පොළ හෙවත් අළුපොළ ගම්වාසීන්ටය.
1825දී හර්බර් නමැති ඉංග්රීසි ජාතික කාන්තාව ලියූ සටහනක දැක්වෙන්නේ සොරුන් විසින් මෙම රාජකීය සොහොන් විවෘත කර තිබූ බවයි.ඒ කියන්නේ කඩා එහි ආභරණ ආදිය සෙවු බවයි
ඉංග්රීසි ජාතික බිෂොප් හර්බර් 1824දී සිය දිනපොතේ ‘නගරයේ කෙළවරක තිබුණු රාජසිංහගේ සුසානය බිඳ දමා රන්, මුතු, මැණික් මෙන්ම ඔහුගේ ඇටකටු එළියට ගෙන ඇති බවත්, එම බිමෙහි තිබූ ගල් කැටයම් සහිත අලංකාර සොහොන් ස්මාරක බොහොමයකට හානි සිදුකර ඇති බවත් සදහන් කර තිබෙනවා.එසේම ගෙඩිගේ විහාරයේ හිටපු ප්රධාන හිමියන් රාජසිංහ රජතුමාගේ සොහොනේ තිබු මිනිස් අස්ථි මහජන ප්රදර්ශනයයට තැබු බවත් සදහන් වෙනවා
රාජසිංහ රජුගේ සොහොන 1824දී ඉංග්රීසීන් විසින් විනාශ කර ඉංග්රීසීන්ම යළිත් එය යථා තත්ත්වයට පත්කර තිබෙනවා .මෙම භූමියෙහි ඉංග්රීසි ආණ්ඩුකාර ටොරිංටන්ගේ සහභාගිත්වයෙන් උඩුමුල්ලේ නාහිමිගේ ආදාහනය සිදුකළ බව මේජර් ෆොබ්ස් සඳහන් කරනවා.
ධර්ම ශ්රී තිලකවර්ධන


notes of imaginary

Thursday, October 19, 2023

කුමට බරක් වුන නටුවක් ගහකට



දළු කොළ ඉති අතරෙහි හිඳ හිනැහෙන
දසදහසින් ගැවසී නිති දිදුලන
කැකුළු අතර සිටියේ නුඹ දින ගැන
නවමු පැතුම් පතමින් ලොව පිබිදෙන
සරු පොහොරද ලබමින් දියවර හා
ගස සියලුම රස බෙදමින් අප හා
නුඹ ඒ හැම ලැබුයෙන් මා හරහා
බැඳුණු සෙනේ පවසමි නොම වළහා
ගතවන විට මෝරා මේ ලෙසිනා
නිරතුරුවම මට කරුණකි දැනෙනා
දිනයකි නුදුරුම මල ලෙස පිපෙනා
උතුරා යන සතුටකි හද අරණා
අඳුර පිරුණු එක් මූසල උදයක
බිඳී වැටුණු මුදු සුමුදුම පෙත්තක
උණුසුම හා එක් වූ පිනි කඳුලක
පහස නිමා කළෙ මා දුටු සිහිනෙක
සසැලී මා සිටියත් වාවනු බැරි
එබිකම් කළ සඳ කව්රුද පෙති ඇරි
දුටුවේ දසුනකි බිහිසුණු ගති පිරි
කැකුළු නසන පණුවෙකි නපුරුම හරි
මතු දිනයක රස පලයක් නිමකොට
මාත් පෙරුම් පිරුවා මිය යන්නට
මැලවී ගිය කල කැකුළත් අකලට
කුමට බරක් වුන නටුවක් ගහකට
පී. ජී ආරියපාල

notes of imaginary

Wednesday, October 18, 2023

“පොහොරක්” වන මිනිස් සිරුරු



මිනිස් සිරුරු කොම්පෝස්ට්කරණයට අවසර ලබාදුන් නවත ම එක්සත් ජනපද ප්රාන්තය බවට “නිව් යෝර්ක්” පත් වී තිබෙනවා. පුද්ගලයෙක් මිය ගිය පසු භාවිතයට ගත හැකි පොහොරක් බවට මිනිස් සිරුරු මෙමඟින් පරිවර්තනය කෙරෙන අතර, භූමදානය හෝ ආදාහනයට වඩා පරිසර හිතකාමී විකල්පයක් ලෙසත් එය සැලකෙනවා.
මානව කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අවසර දුන් ප්රථම එක්සත් ජනපද ප්රාන්ත ආණ්ඩුව වන්නේ වොෂිංටනය යි. 2019 දී පළමු වරට නීතිගත කිරීමෙන් පසු මේ දක්වා ප්රාන්ත හතරක් “මානව කොම්පෝස්ට්කරණය” සඳහා නීතිමය අවසරය ලබා දී තිබෙනවා. කොලරාඩෝ, ඔරිගන්, වර්මොන්ට් සහ කැලිෆෝනියා එම ප්රාන්ත හතර වන අතර, නිව් යෝර්ක් ප්රාන්තය එක් වීමත් සමඟ ප්රාන්ත ගණන හය දක්වා ඉහළ යනවා...
විවිධ ආගමික විශ්වාස හමුවේ “මානව කොම්පෝස්ට්කරණය” විවේචනයට බඳුන් වීමේ ඉහළ හැකියාවක් තිබෙනවා. එය සනාථ කරමින් නිව් යෝර්ක් ප්රාන්ත ආණ්ඩුවේ තීරණය ප්රශ්න කිරීමට ඇතැම් ආගමික නායකයන් දැනටමත් පෙළ ගැසී අවසන්. මීට අමතර ව, සදාචාරාත්මක සහ වෙනත් ප්රායෝගික ගැටලුත් ඉස්මතු වෙමින් තිබෙනවා.
“Recompose”
පුද්ගලයෙක් මිය ගිය පසු දින කිහිපයක් මළ සිරුර කල්තබා ගැනීම, චාරිත්රානුකූල ව ආදාහනය හෝ භූමදානය සිදු කිරීම, අවමංගල්යයේ සංවිධාන කටයුතු, වැනි වගකීම් දරණ ව්යාපාරික ආයතන ඕනෑ තරම් තිබෙනවා. එහි නව මානයක් සනිටුහන් කරමින් විද්යාත්මක ව සහ ආරක්ෂිත ලෙස “මානව කොම්පෝස්ට්කරණය” සේවාවක් ලෙස ලබාදෙන ආයතනත් එක්සත් ජනපදයේ ප්රචලිත වෙමින් තිබෙනවා. “Recompose” යනු එවැනි ආයතනයක්.
ආදාහනය හෝ සාම්ප්රදායික භූමදානය හා සසඳන විට මෙම ක්රියාවලිය හරහා කාබන් ටොන් ගණනක් ඉතිරි කරගත හැකි යි. “Recompose” ආයතනයේ ප්රධාන විධායක සහ නිර්මාතෘ වන කැත්රිනා ස්පේඩ් පවසන පරිදි දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වන ඕනෑම කෙනකුට මෙම සේවාව ලබා ගැනීමට පුළුවන්. දැනටමත් “මානව කොම්පෝස්ට්කරණය” එක්සත් ජනපදය තුළ ප්රචලිත වෙමින් තිබෙනවා.
භූමදානයේ සහ ආදාහනයේ ගැටලු
සාම්ප්රදායික භූමදානයක දී මිනිස් සිරුරු සොබාදහමට එකතු වන බැවින්, “මානව කොම්පෝස්ට්කරණය” හරහා විශේෂිත ප්රතිපලයක් අත් නොවන බව කෙනකුට සිතෙන්නට පුළුවන්. භූමදානයක් බොහෝවිට සිදු කරන්නේ “සුසාන භූමිය” නමැති විශේෂිත ස්ථානයක පමණ යි. මළ සිරුරෙන් පොළවට ලැබෙන පෝෂක, සීමා සහිත ප්රදේශයකට සංයෝජනය වීම පමණක් එවිට සිදු වෙනවා. ඒ භූමියෙන් වෙනත් ප්රයෝජනයක් ලැබෙන්නේත් නැහැ.
“සාමාන්ය පරිදි වැතිර තිබෙන මළ සිරුරක් නැවත පෘථිවියට ලැබීම සඳහා මාස කිහිපයක් ගත වෙන්න පුළුවන්. වියළි දේශගුණයක් තුළ එය වසර කිහිපයක් මමීකරණය වී තිබීමේ හැකියාවකුත් තිබෙනවා.”
අධිකරණ වෛද්ය සහ මානව විද්යාඥයෙක් වන ඩැනියෙල් වෙස්කොට් පවසනවා.
“හොඳ බැක්ටීරියා ක්රියාකාරීත්වයක් තිබෙනවා නම් මාසයක් ඇතුළත මළ සිරුර දිරාපත් වෙන්න පුළුවන්.”
සාම්ප්රදායික භූමදානය හෝ ආදාහනය සමඟ පැමිණෙන තවත් ගැටලු තිබෙනවා. භූමදානයේ දී සිරුර පෙට්ටියක තැන්පත් කිරීම තමයි සුලබ ව සිදු වෙන්නේ. ඇතැම් විට සුරක්ෂිතාගාරයක තැන්පත් කිරීමත් සිදු කරනවා. එම ක්රියාවලියේ දී දැව හෝ වෙනත් ස්වභාවික සම්පත්, ඉඩකඩ, පරිභෝජනය වීම වැලැක්විය නොහැකි යි. අද වනවිට සීමිත වෙමින් තිබෙන සම්පත් වන්නේ ද මේවා යි.
පරිසර හිතකාමී සමුදීම
ආදාහනයේ දී බලශක්තිය අධික ව වැයවන අතර, ඉන් පිටවන වායුවෙන් සිදුවන පාරිසරික හානියත් සැලකිල්ලට ගත යුතු වෙනවා. අප දැන් සිටින්නේ පාරිසරික හදිසි තත්ත්වයක් මැද යි. අප ගන්නා ඉතා කුඩා පියවර පවා අපේ අනාගතයට වැදගත්. දැනටමත් එක්සත් ජනපදය තුළ භූමදාන කටයුතුවල දී පැන නැඟෙන ප්රායෝගික ගැටලු සම්බන්ධයෙන් හඬක් නැඟෙමින් තිබෙනවා.
අපේ ශරීරය පසට හරවන අන්දම ස්වභාවධර්මය හොඳින් දන්නවා. මා මියගිය පසු මට සහාය වූ මේ පොළොවට මගේ ශරීරය ලබා දීමත්, ඒ හරහා නව ජීවයක් නිර්මාණය කිරීම තමයි මට වැදගත් වෙන්නේ.”
සියැටල් නගරයේ පදිංචිකරුවෙක් වන නීනා ෂෝන්, මිය ගිය පසු සිය සිරුර හරිත සංකල්පයක් යටතේ සොබාදහමට ලබා දෙන්නට උන්නදු වන පුද්ගලයෙක්.
සාම්ප්රදායික ක්රම ඔස්සේ පැමිණෙන ප්රායෝගික ගැටලු මතත් මානව කොම්පෝස්ට්කරණයට යොමු වන පිරිස් සිටිනවා.
පරිසර හිතකාමී ක්රියාවලියක් වුවත්, මිනිස් සිරුරු පොහොර බවට හැරවීමේ ක්රියාවලිය දැඩි සෞඛ්යාරක්ෂිත ක්රමවේදය ඔස්සේ සිදු කළ යුතු යි. දැන් අපි ඒ පිළිබඳත් සොයා බලමු.
දිරාපත් වීමක් නොව විසංයෝජනයක්
කැත්රිනා ස්පේඩ් පවසන පරිදි “දිරාපත් වීම” යනු පොළෝ මට්ටමට ආසන්නයේ දී සිදුවන ක්රියාවලියක්. එය එක්තරා අන්දමකින් සීමා සහිත අවකාශයක සිදුවන ස්වභාවික ක්රියාවලියක් බඳු යි. කොම්පෝස්ට්කරණයේ දී මිනිස් ශරීරය නැවත පස සමඟ ඒකාබද්ධ කිරීමක් සිදු කරනවා. එය “විසංයෝජන” ක්රියාවලියක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි ය
ප්රථ්මයෙන් මළ සිරුර දැව කැබලි, පිදුරු සහ ඇල්ෆල්ෆා සහිත සංවෘත කුටීරයක තැබීම සිදු කරනවා. ඇල්ෆල්ෆා යනු රනිල කුලයට අයත් ශාකයක්. එය සත්ත්වාහාරයක් ලෙස අතීතයේ පටන් වගා කරන අතර, නයිට්රජන් සහ ප්රෝටීන් ප්රභවයක් ලෙස ක්රියා කරමින් කොම්පෝස්ට් ක්රියාවලිය වේගවත් කිරීමට උර දෙනවා.
පසුව ක්ෂුද්ර ජීවින්ට මළ සිරුරේ සංඝටක බිඳ දැමීමට සහාය වීමක් වශයෙන් ශරීරය සහිත සංවෘත කුටීරය සෙමෙන් භ්රමණය වීමට ඉඩ හරිනවා. දින තිහකට පසු දේහය කුටීරයෙන් ඉවතට ගනු ඇති...
සෞඛ්යාරක්ෂිත පසක්
ක්රියාවලිය සරල වුවත්, කොම්පෝස්ට්කරණයට අදාළ තාක්ෂණය පරිපූර්ණ කිරීම සඳහා වසර හතරක් මුළුල්ලේ විද්යාත්මක පර්යේෂණ පැවැත්වූ බව සඳහන්.
වොෂිංටන් ප්රාන්තය තුළ පශු සම්පත් කොම්පෝස්ට් කිරීම හොඳින් ස්ථාපිත කළ ක්රියාවලියක්. එය මිනිසුන්ට ගළපා ගැනීමේ දී දේහය පාරිසරික වශයෙන් සහතික කිරීමේ අවශ්යතාවක් පැන නැඟුණා.
ඊට පිළිතුරක් වශයෙන් කැත්රිනා ස්පේඩ්, තම අදහසට උද්යෝගයෙන් යුතුව කැමැත්ත ලබාදුන් ස්වෙච්ඡා සේවකයන් සය දෙනකු සමඟ නියමු ව්යාපෘතියක් ක්රියාත්මක කළා. පාංශු විද්යාඥයෙක් වන මහාචාර්ය කාපෙන්ටර් බොස් ද ඊට සහයෝගය ලබා දුන් විද්වතෙක්.
යම් කාලයක් පුරා සෙල්සියස් අංශක 55 ක් වැනි උෂ්ණත්වයකට මළ සිරුර නිරාවරණය කරන්නේ නම්, රෝගාබාධ ඇති කරන ජීවින් සහ සිරුරට කිසියම් රසායනිකයක් යොදා ඇත්නම් ඒවා ද විනාශ වන බව ඔවුන් අවබෝධ කර ගත්තා. සිරුරේ සිටින තාපකාමී ක්ෂුද්ර ජීවින්ට තවදුරටත් ශරීරයේ සංඝටක බිඳ හෙළීම සිදු කළ බැවින්, දිරාපත් වීම අඩාල වන්නේ නැහැ. අවසාන ප්රතිපලය වශයෙන් ලැබෙන “කොම්පෝස්ට් පස” සෞඛ්යාරක්ෂිත වන්නේ ඒ අයුරින්.
මරණයෙන් ජීවයක්
“මානව කොම්පෝස්ට්කරණ” ක්රියාවලිය යනු ක්ෂුද්ර ජීවි සහ යාන්ත්රික යන ක්රියාකාරීත්වයන් ද්විත්වයක එකතුවක්. ක්ෂුද්ර ජීවින් සිරුර වියෝජනය කරන අතරතුර යාන්ත්රික ක්රියාවලිය මඟින් දත් හා අස්ථි බිඳ හෙලීම සිදු කරනවා. ක්රියාවලියේ අවසාන පියවරේ දී සෙන්ටිමීටරයකට වඩා විශාල අස්ථි කොටස් ආදාහනයට ලක් කරනවා. අස්ථි කොටස් පමණක් ආදාහනය කරන බැවින්, විශාල බලශක්ති හානියක් සිදු වන්නේ නැහැ.
මානව කොම්පෝස්ට්කරණ ක්රියාවලියේ දී එක් මළ සිරුරකින් කියුබික් යාරයක පසක් නිර්මාණය කරන බව පැවසෙනවා. සංවෘත බඳුනෙන් පාංශු අවශේෂ ඉවත් කළ පසු සති 2-6 දක්වා කාලයක් පදම් කිරීමකට ලක් කරන අතර, විශ්ලේෂණයක් ද සිදු කරනවා. ඒ අනුව සම්පූර්ණ ක්රියාවලිය සඳහා සති 6-10 අතර කාලයක් ගත විය හැකි යි. ඉන්පසු අවශේෂ ඥාතීන්ට භාරදෙන අතර, ඉඩම්, වනාන්තර හෝ උද්යාන සඳහා ඒවා භාවිත කළ හැකි යි. නමුත්, මෙහි දී යම් නීතිමය ගැටලුවකුත් පැන නඟිනවා. පාංශු අවශේෂය තුළ ඉතා කුඩා අස්ථි කැබලි පැවතිය හැකි බැවින්, උද්යානයක්, වනාන්තරයක් වැනි පොදු ස්ථානයකට බැහැර කිරීමේ දී යම් නීතිමය ක්රියාවලියක් හරහා ගමන් කිරීමට සිදු වෙනවා. නමුත්, එය විශාල බාධාවක් වී නැහැ.
උදාහරණයක් ලෙස වොෂිංටන් ප්රාන්තයේ පිහිටි “බෙල්ස් මවුන්ටන්ස්” රක්ෂිත වනාන්තරයට “Recompose” ආයතනය ලබා දෙන පස භාවිත කරනවා. අවදානමට ලක්විය හැකි දේශීය ශාක සහ අනෙකුත් වනජීවින්ට පුනර්ජීවනයක් ලබාදීම එහි අරමුණ යි.
“පිරිවැය” ප්රධාන ගැටලුව යි
ධනාත්මක කාරණා රැසක් තිබුණ ද “මානව කොම්පෝස්ට්කරණය” සම්බන්ධයෙන් මතුවන ප්රායෝගික ගැටලුවක් තිබෙනවා. ඒ පිරිවැය යි. “Recompose” ආයතනයට අනුව මේ සඳහා අමෙරිකානු ඩොලර් 7000 ක පමණ මුදලක් වැය වෙනවා. අනෙකුත් විකල්ප සහ පාරිසරික හිතකර බව සැලකීමේ දී එවැනි මුදලක් වැය කිරීම ප්රතිපලදායක බව ඔවුන් ගේ අදහස යි.
එක්සත් ජනපදයේ ජාතික අවමංගල්ය අධ්යක්ෂවරුන්ගේ සංගමයට (NFDA) අනුව භූමදානයක් සහිත අවමංගල්යයක් සඳහා එක්සත් ජනපදය තුළ වැයවන සාමාන්ය මුදල 2021 දී ඩොලර් 7848 ක් වැනි අගයක පැවතුණා. ආදාහනයක් සහිත අවමංගල්යයක් සඳහා වැය වන්නේ ඩොලර් 6971 ක් වැනි සාමාන්ය අගයක් පමණ යි. ඒ අනුව මානව කොම්පෝස්ට්කරණයක් සහිත අවමංගල්යයක් හරහා විශාල මූල්ය ඉතිරියක් බලාපොරොත්තු විය නොහැකි යි.
ක්රියාවලියේ ඇති පාරිසරික හිතවාදී බව සහ අවම සම්පත් භාවිතය යන කරුණු එක්සත් ජනපද පුරවැසියන් අතර ප්රචලිත වෙමින් තිබෙනවා. වොෂිංටන් ප්රාන්තයෙන් ඇරඹුණු “මිනිස් සිරුරු කොම්පෝස්ට් බවට හැරවීම” තවත් ප්රාන්ත පහක් පුරා ප්රචලිත වූයේ ඒ නිසා යි.
ආදාහනයත් එතරම් ලාභදායී වන්නේ නැහැ
නිව් යෝර්ක් හි ආණ්ඩුකාරවරිය වන කැතී හෝකල්, පසුගිය දෙසැම්බර් 31 වැනිදා සිට මානව කොම්පෝස්ට්කරණ ක්රියාවලියට අවසර ලබා දීමත් සමඟ අධි නාගරික පෙදෙස්වල ජීවත් වන වැසියන්ට විශාල සහනයක් ලැබී තිබෙනවා. සුසාන භූමිවල ඉඩකඩ අවම වෙමින් පැවතීම ඊට හේතුව යි. ලෝකය ම බලශක්ති අර්බුදයකට මුහුණ පාමින් සිටින යුගයක ආදාහනයත් එතරම් ලාභදායී වන්නේ නැහැ.
එක්සත් ජනපදයට අමතරව මිනිස් කොම්පෝස්ට් නිෂ්පාදනයට අවසර ලබාදුන් ප්රමුඛත ම රට වන්නේ ස්වීඩනය යි. කෙසේ නමුත්, මෙම ක්රියාවලිය විවිධ සංස්කෘති සහ ආගමික විශ්වාස සමඟ සෘජුව ගැටෙනවා. තවදුරටත් එවැනි විශ්වාස සැලකිල්ලට ගන්නවා ද නැතහොත්, පාරිසරික හදිසි අවස්ථාවකට ඇතුළු වෙමින් සිටින යුගයක වඩාත් ප්රායෝගික පියවර ගන්නවා ද යන්න සිතා බැලිය යුතු කාරණයක්...
සටහන මිලාන් පෙරෙරා ✍️
උපුටන Roar Media Sinhala lk වෙතින්




notes of imaginary

Tuesday, October 17, 2023

ආච්චිගෙ සාක්ෂි 😀


----මූනු පොතෙන්
විත්තිකරු ලබා දෙන පිළිතුරට පෙර සූදානම් නොවී ප්රශ්න කිරීම හේතුවෙන්, නීතිඥවරු වුවත් අමාරුවේ වැටුණු අවස්ථා එමට ඇත.
විදේශ රටක එක්තරා ප්රාදේශීය නගරයක උසාවියකි. පළමු සාක්කිකරු ලෙසින් සිටියේ වයස අවුරුදු 75ක් පමණ වූ කාන්තාවකි . ඇය වෙත ළං වූ පැමිණිල්ලේ නීතිඥවරයා මෙසේ ඇසුවේය.
" මිසිස් ජෙනිෆර් ... ඔබ මාව හඳුනනවද..? "
" අපොයි ඔව්... ඇයි විළියම් මහත්තයා, මම මොකද ඔහේ නොදන්නේ...! මම ඔහේව දන්නේ ඔහේ පුංචි කාලේ ඉඳලම. ඇත්තම කියනවනං.. ඔයා මහ පච මෝලක්...ඔයා ඔයාගේ බිරිඳව රැවැට්ටුවා. ගොඩාක් මිනිස්සු ඔයා නොමග යැව්වා... විතරක් නෙමෙයි... එයාලගේ පිටිපස්සෙන් ගිහින් පිහියෙන් අනින ජාතියේ මිනිහෙක් ඔයා. ඒ උනාට ඔයා හිතාගෙන ඉන්නේ, ඔයා තද පොරක් කියලා ..! ගමේම මිනිස්සු දන්නවා ඔයා කවුද කියලා . ඔව් මම ඔයාව හඳුනනවා හොඳට..! "
මේ අපහාසය හේතුවෙන් පැමිනිල්ලේ නීතිඥයාට කර කියා ගන්නට දෙයක් නැති විය.
කුමක් කරන්නදැයි සිතා ගත නොහැකි වූ ඔහු විත්තියේ නීතිඥ දෙසට ඇඟිල්ල දිගු කර,
" හොඳයි ජෙනිෆර් මහත්මිය. දැන් මට කියන්න ඔබතුමී.. මේ විත්ති පාර්ශවයේ නීතිඥතුමා ව හඳුනනවා දැයි..? " ඇසුවේය.
ජෙනිෆර් මහත්මිය නැවත පිළිතුරු දෙන්නට පටන් ගත්තේය.
" ඔව් ඇයි මොකද මම නොදන්නෙ..! ඔය ජොන්සන් මහත්තයත් , මම පුංචි කාලේ ඉඳලම දන්නවා. මහා කම්මැලියා . ආත්මාර්ථකාමී මහා කුහක මිනිහෙක්. අරක්කු පෙරේතයා. එයාට බෑ.. කා එක්කවත් සාමාන්ය සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න. මේ පළාතේම ඉන්න ජරාම නීතිඥයා තමා එයා. මම ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එයා එයාගේ නෝනා රැවැට්ටුවා. හොර ගෑණු තුන්දෙනෙක් ඉන්නවා එයාට. එක්කෙනෙක් ඔහේගේ නෝනා. "
පැමිනිල්ලේ නීතිඥයාට උන්හිටි තැන් අමතක විය.
මේ දෙස බලාසිටි විනිශ්චකාරතුමා, විත්තියේ හා පැමිණිල්ලේ නීතිඥවරුන් දෙදෙනාම තමන් අසලට කැඳවූයේය.
අනතුරුව පහත් හඬින් ඔවුන් දෙදෙනාට මෙසේ කීවේය.
" මදැයි කෙරුවා. තොපි දෙන්න ගෙන් කවුරුහරි එකෙක්, ඔය නාකි ගෑනිගෙන් ඇහුවොත් එහෙම, මාව අදුරනවද..? කියලා ආයෙ දෙකක් නෑ , මම තොපි දෙන්නම එල්ලනවා.

notes of imaginary

Monday, October 16, 2023

මා පිය සබද මා ගැන මතක ද ? තවම




මට හැකි පමණ අත්වැල් පටලා ලොවම
සිතුවිලි පෙලගසා මානයකින් නවම
රතුපැහැ රුවින් හැඩගන්වූ ලක්දිවම
මා පිය සබඳ මා ගැන මතකද තවම

සැම තොරතුරම සුරැකිව රඳවමින් මුවේ
මාකල මෙහෙය සුළුපටුසේවයක්නොවේ
පරසිදු වුවද එදවස මා මිතුරු ලොවේ
අද නම් විවේකීවම කල දවස ගෙවේ

කුසතුළ හොවාගෙන සිට කරදහි කඳුම
තවමත් රෝග⁣යක් නැති එකමය පුදුම
රෑ දහවලේ සිදුවී දුහුවිලි වැදුම
අවපැහැ වෙලාදෝ මගෙ රතුපැහැ ඇඳුම

ගරුතර ලියුම් රජයේ සලකුණුද තියා
ලියවුනු හසුන් නෑකම් මිතුරන්ද සොයා
යායුතු මංතලය පසුවට සොයන නියා
පුදුමයි නේද පළමුව මගෙ කුසට ගියා

එනමුදු හෙනහුරා පැන මගෙ කුස මතට
කටකන පෙත්ත ආවා ඔබ ගේ අතට
පණිවුඩ දුන් සැනින් ලැබුනත් ඔබ අතට
මහ කණගාටුවක් ඇත මගෙ නම් සිතට

එදවස ලිපි සමග මාවෙත පියමැන්න
රසබර කතා ඇත තවමත් පවසන්න
ඔබටත් අවැසි නම් ඒවා දැනගන්න    
ළඟදිම දිනක ලිපියක් ගෙනවිත් දෙන්න

--සුරංග බණ්ඩාර

notes of imaginary