දේශපාලන වේදිකාවල, ගුවන්විදුළියේ, රූපවාහිනියේ විතරක් නෙමෙයි සමාජමාධ්‍යවලත් නිතර ඇසෙන වචනයක් තමයි මේ "ගොබෙල්ස් න්‍යාය" කියලා කියන්නේ. නිතර ඇහුනත් කිහිප දෙනෙක් ඇරෙන්න ගොඩක් අය නොදන්න දෙයක් තමයි මේ කියන ගොබෙල්ස් න්‍යාය. ඉතින්, දේශපාලකයන්ගේ කතා වලට නිතර නිතර රැවටෙන එක නතරකරගන්න අවශ්‍යම මේ ගොබෙල්ස් න්‍යාය කියන්නේ මොකක්ද?
ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? විතරක් නෙමෙයි කවුද මේ කියන ගොබෙල්ස්? කියන එකත් පිළිබදව යම් අදහසක් මගේ ලිපි කියවන පාඨකයන්ට ලබාදෙන්න ඕනේ කියලා හිතුවා.
අපි මුලින්ම බලමු කවුද මේ ගොබෙල්ස් කියන්නේ කියලා.
පෝල් ජෝසප් ගොබෙල්ස් 1897 වසරේ ඔක්තෝම්බර් මස 29 ජර්මනියේදී උපත ලබනවා. ෆෙඩ්රික් ගොබෙල්ස් සහ කතිරිනා මරියාට දාව දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනි දරුවා වශයෙන් තමයි ජෝසප් ගොබෙල්ස් උපත ලබන්නේ. හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබන ජෝසප් ගොබෙල්ස් සාහිත්‍ය, නාට්‍ය සහ පුවත්පත් කලාව පිළිබඳ ව ශාස්ත්‍රීය දැණුමකින් පිරුණු පුද්ගලයෙක්. විශ්වවිද්‍යාල සමය තුළ දී ක්‍රියාකාරී දේශපාලන අදහස්වලින් සමන්විත වූ පුද්ගලයෙක් වශයෙන් ගොබෙල්ස්ව හදුනාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රබල සන්නිවේදන කුසලතාව නිසා ගොබෙල්ස් සමකාලීනයක් අතර කැපී පෙනුනා. දක්ෂ කථිකයෙක් මෙන් ම සඟරා කර්තෘවරයෙක් වශයෙන් සිය මාධ්‍ය භාවිතාවේ නියැළීමට ගොබෙල්ස් සමත් වුනා. ඇඩෝල්ෆ් හිට්ලර් විසින් ජර්මනියේ පාලන බලය ලබාගැනීමත් එක්කම ප්‍රචාරණ යාන්ත්‍රණය හැසිරවීම ගොබෙල්ස් විසින් සිදු කළා. ගොබෙල්ස් විසින් හිට්ලර්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට ගැලපෙන ආකාරයෙන් ජර්මනිය තුළ පුවත්පත, සිනමාව, සාහිත්‍ය, සංගීතය සහ ලලිත කලාවන් හැසිරෙව්වා. ගොබෙල්ස් ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලන සමය තුල ප්‍රචාරණ අමතිවරයා ලෙස කටයුතු කළා.
හිට්ලර් විසින් තම මැතිවරණ ව්‍යාපාර ඇතුළු රජයේ සියලු ප්‍රචාරාත්මක කටයුතු දැඩි විශ්වාසයකින් යුතුව ආචාර්ය ගොබෙල්ස්ට පැවරුවා වගේ ම ගොබෙල්ස් ඒවා අකුරටම ඉෂ්ඨ කළා. 1932 අප්‍රේල් මාසයේ පැවැත් වූ ජනාධිපතිවරණයේදී ගොබෙල්ස්ගේ න්‍යායාත්මක ප්‍රචාරණය නොතිබ්බා නම් ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර්ට අන්ත පරාජයක් ලැබීමට ඉඩ තිබුණු බව කියවෙනවා. එහෙම වුණා නම් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් ප්‍රමාණයක් තවමත් ජීවතුන් අතර. ඊශ්‍රායලය කියලා රටකුත් නැතිවෙන්න තිබුණා. ගොබෙල්ස් තම නායකයාට ජීවිත පරිත්‍යාගයෙන් අවංකව, සෘජුව සිටි එකම මිතුරා කියලත් කියනවා. ගොබෙල්ස්ගේ ආකර්ෂණීය සංවිධානාත්මක ශක්තිය, විශ්මයජනක කූඨ බුද්ධිය හා ආවේගශීලී චතුර කථිකත්වයට කොයිතරම් හිට්ලර් ආකර්ෂණීය වුණා ද කිව්වොත් හිට්ලර් ආචාර්ය ගොබෙල්ස්ට දැක්වූයේ දැඩි ගෞරවයක්.
දෙවෙනි ලෝක යුද්ධයේ අවසානය ළං වෙද්දී ම ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ පෙම්වතිය ඊවා බ්‍රෝන් සියදිවි නසා ගන්නවානේ. ඊටපස්සෙ හිට්ලර්ගේ සහ ඊවා බ්‍රෝන්ගේ මළ සිරුරු රුසියන් ෂෙල් වෙඩිවලින් හෑරුණු වළක තැන්පත් කරලා පෙට්‍රල් දාලා පුළුස්සලා තියෙන්නෙත් ගොබෙල්ස් විසින්ම තමයි.
1945 මැයි 01 දා ඔහුගේ දරුපැටවුන්ට විෂ එන්නත් කරලා බිරිඳටත් වෙඩි තියලා ගොබෙල්ස් තමන් ම වෙඩි තියාගන්නවා, තවදුරටත් නායකයාට සිය සේවය ලබාදීමට නොහැකි වන නිසා සතුරන්ට සේවය කරනවාට වඩා සිය බිරිය සමග දරු පැටව් හය දෙනාත් එක්ක සිය නායකයාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර අබියසම මියැදීම වඩාත් සුවදායකයි කියලා හිතලා. ඉතින් හිතාගන්න පුළුවන්නේ ඔහු නායකයා වෙත දැක්වූ පකෂපාතීත්වය.
මේ කතාව කිව්වේ ගොබෙල්ස් න්‍යාය කිව්වට ඒ නම ලැබුනේ කොහොමද කියන එකට පොඩි පැහැදිළිකිරීමක් කරන්න.
අපි බලමු මොකද්ද මේ ගොබෙල්ස් න්‍යාය කියන්නේ කියලා.
ගොබෙල්ස් න්‍යායන් කිහිපයක් තියනවා. නමුත් ලෝකය පුරා ප්‍රසිද්ධව ඇති ගොබෙල්ස් න්‍යයේ සිද්ධාන්තය වනුයේ "ඕනෑම බොරුවක් දිගින් දිගටම ඇසීමට සැලැස්වීම තුලින් අසන්නාට එය සත්‍යයක් ලෙස හැඟී යාමට ඉඩ ප්‍රස්ථාව සැලසීමයි."
සාමාන්‍යයෙන් මේ ක්‍රමයේදී එකම බොරුව නිතර නිතර විවිධ පුද්ගලයන් විසින් විශේෂයෙන්ම දේශපාලකයන් සමාජයේ පිළිගත් පුද්ගලයන් මෙන්ම පූජ්‍ය පක්ෂය ආදී විවිධ පාර්ශව ලවා කියවීම සිදුකරනවා. වර්ථමානය වෙනකොට මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය විතරක් නෙමෙයි සමාජමාධ්‍ය හරහාත් මේ ආකාරයෙන් බොරු සමාජගත කිරීම සිදුවෙනවා. මෙහිදී සාමාන්‍ය ජනතාව මුල් අවස්ථාවේ නැතත් දෙවන තෙවන අවස්ථාවන්වල නැතත් කිහිප අවස්ථාවක් එකම කාරනාව ඇසීමෙන් පස්සේ ඒ කාරනාව විශ්වාස කරන්න පෙළඹෙනවා. පස්සේ කාලයක සත්‍ය හෙළි උනත් බොරුව ඔවුන්ගේ මනසෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ නෑ.
එහෙම වෙන්න නම් සත්‍ය වෙනුවෙනුත් ඒ ආකාරයෙන්ම ප්‍රචාරණයක් ලබාදිය යුතුයි. ඒක ප්‍රායෝගික නැති නිසා බොහෝ වෙලාවට සාමාන්‍ය ජනතාව බොරුව සත්‍යක් බවට හිතාගෙන ජීවත් වෙනවා. ඔහු සමහර වෙලාවට ජීවිත කාලය තුලම සත්‍ය දකින්නේවත් පිළිගන්නේවත් නෑ.
එක් අවස්ථාවක මාධ්‍ය භාවිතය තුලින්, ජර්මනිය යනු ලොව ජීවත් වීමට සුදුසුම රට ලෙස ලොව පුරා ප්‍රචාරයක් ව්‍යාප්ත කිරීමට ගොබෙල්ස් සමත් උනා. ඒ බොරුව කෙතෙක් දුරට ලෝකයා ගිලගත්තද කියනවනම්, ඇමරිකාවේ ටයිම්ස් සඟරාව විසින් 1938 දී ලොව හොඳම මිනිසාට හිමි සම්මානයත් හිට්ලර් ට ලබාදුන්නා.
ඉතින් හිතාගන්න පුළුවන්නේ ගොබෙල්ස් න්‍යායේ ප්‍රභලත්වය?
ඉහත පැහැදිළි කරපු න්‍යායට අමතරව "බොරුව හිතන්නවත් බැරි තරමටම විශාල වූ විට එය සත්‍යය යයි ඔප්පු කිරීම පහසුය. ඊට හේතුව විශාල බොරුවක් ප්‍රචාරය කිරීමට කවුරුත් උත්සහ නොකරන නිසා එය ඇත්ත විය යුතුයි කියලා මිනිස්සු විශ්වාස කිරීමට පෙළඹීමයි." කියලා ගොබෙල්ස්ගේ තවත් උප න්‍යායක් තිබෙනවා.
මේකේදී බොරුව නිතර නිතර කියනවා වගේම එහෙම කියන්නේ පොඩි බොරු නෙමෙයි. ඒ බොරුව ප්‍රමාණයෙනුත් සංකීර්ණත්වයෙනුත් මූල්‍ය වටිනාකමෙනුත් අති විශාලයි. එහි පාර්ශවයනුත් සමාජයේ පොඩි පුද්ගලයන් නෙමෙයි. කුමන හෝ ආකාරයකින් සමාජයේ යම් පිළිගැනීමක් ඇති පුද්ගලයන් ඒ බොරුවට ඈදාගන්නවා. කළාකරුවෙක්, දේශපාලකයෙක්, ක්‍රීඩකයෙක්, ව්‍යාපාරිකයෙක්, පූජ්‍ය පක්ෂය වගේම රාජ්‍ය නිලධාරියෙකු වගේ විවිධ ක්ශේත්‍රවල අය වෙන්න පුළුවන්. මෙසේ කියන බොරු මිනිසෙකුට කිසි සේත්ම විශ්වාස කළ නොහැකි ආකාරයේ ඒවා. වගේම සාමාන්‍ය මනුස්සයෙකුට හිතාගන්න බැරි ලොකු මූල්‍ය අගයන්. පට්ට ලොකු බොරු.
ඉතින් මේ වගේ කාලයක් කියද්දී මිනිසුන් ඉබේම මේවා පිළිගන්න පෙළඹෙනවා කියලා ගොබෙල්ස් හොයාගත්තා. වගේම ඒක ප්‍රායෝගිකව සාර්ථක උනා. ශ්‍රී ලංකාවෙත් ඔය කියන ගොබෙල්ස් න්‍යාය දේශපාලනයේදී වැඩි වශයෙන් භාවිතා වෙනවා.
ඒ ආකාරයෙන් අපිට පහුගිය කාලයේ අහන්න ලැබුනු බොරු, බොරු කියලා ඔප්පුවෙලා තිබුනත් බොරු කියපු අයම ඒක පිළිඅරගෙන තිබුනත් සමාජය පිළිගන්නේ නෑ.
මේක කාවවත් සුද්ද කරන්න කියපු කතාවක් නෙමෙයි. නමුත් මේ බොරු වැපිරීම නිසා සාමාන්‍ය සමාජයට අද බොරුව ඇත්ත වෙන්කරලා හදුනගන්න බැරිවෙලා.
මේ ගොබෙල්ස් න්‍යාය ප්‍රධාන වශයෙන් දේශපාලනයේදී මෙන්ම විවිධ කටයුතු වලට වර්ථමානයේත් යොදාගන්නවා. ඒ කවුද? වැඩියෙන්ම ගොබෙල්ස් න්‍යාය භාවිතා කරන්නේ කියන එක තේරුම්ගන්න ඔබට බාරයි. දේශපාලකයෝ බොරු කියන එක අපිට නතර කරන්න බෑ. හැබැයි රැවටෙන එක අපිට නතර කරන්න පුළුවන්. ඒ මේවගේ කාරණා පිළිබදව දැණුවත් වීමෙන් වගේම සෑම දෙයක් පිළිබදව තර්කානුකූලව සිතීමෙන්.
තාරුක ෆොන්සේකා.A day in the life