බෙන්තර ගගෙන් එගොඩට වෙන්නත් බස් වහරේ ඒ පැත්තට ආවේනික වචන තියෙනවා. දකුනේ “මක්කැයි කිව්වේ.- මොනවද කිව්වේ , ඔහේ දන්නවැයි - ඔයා දන්නවද “ වගේ වචනත් එක්ක “ඒකා රහත්වෙලා කිව්වොත් - එයා අතුරුදහන් වෙලා , ගිය තැනකින් ඇවිත් නැහැ. කියලයි අදහස් වෙන්නේ. කපුවා - දකුනේදී කේළම් කාරයා වෙනවා. ඇත්තෙන්ම රාජකාරියත් එහාට මෙහාට එක දෙක කියලා කියන එකනේ.
බුලත් ආදරය - සංග්‍රහ කිරීමට යෙදෙන කොට රොඩු ලෑම - හොරහින් බැලීමටයි කියන්නේ. අපි නම් රොඩු දානවා . මල් කඩනවා කියලත් කියනවා නේ.
තටා මාට්ටු කිරීම -අවවාද කරනවට , දඩුවම් කිරීමට කියන පදයක් දෑවා - පිලිස්සුන එහෙම නෙමෙයි. “ ඔහේ ඒක දෑවයි ?. කියලා ඇහුවොත් අපි තේරුම් ගන්න ඕනි “ඔයා ඒක දැම්ම ද “ ? කියලා.
පොල් නම් ඔයනවා. පොල් විතරක් නෙමෙයි දොඩම් නාරං වගේ දේවල් ඔයන කොට අපි කරන්නේ ලෙලි ගහන එක. හොද කරනවා - පොල් හැර අනෙක් පලතුරු අපි සුද්ද කරනවා.අපි එහෙම කරන කොට දකුනේ ඇත්තෝ ඒවා හොද කරනවා.
“ ඔහේ කාටෙයි ඔය දොඩවන්නේ ? .” ඔයා කාටද ඔය දොස් කියන්නේ ?.ආරෝවක් කරගන්නද හදන්නේ .දොඩවලා ආරවුල් ඇති කර ගන්න කලහම්මාව - කැලබීමක් ඇති කර ගන්න හේතුවක්.
අබියෝගකාරයා - සිහිවිකල්වු අයට කියන කොට අපිට ඉන්න අබියෝග කාරයින් ගැන කම්පාවක් ඇතිවෙනවා.
මරදයා , අමදකුලුපාර -කලබලය ට පත්වෙලා දෝස්මුරය තර්ජනය කරන වෙලාවල් තියෙනවා . මොදරා - මොනරා පෙද පිහාටු ලෙසයි හදුන්වන්නේ.
අතුකැටියයි ( ඉදල ) - මුස්නයි ( කොස්ස ) අරගෙන කරකසුරි ( දක්ෂ ) ලෙස සුමක්කරේ ( කෙළවරක් නැතිව වැඩ කරන්න ) ගහන්න වෙන වෙලාවල් එනවා.
මේ අස්සේ අහින්නත් කියනවා.නෙලන්න උදලු ගාන්න එතකොට තමයි ඉඩිතිතුවෙන්නේ.
කලබල වෙන්නේ.
සුලිජ්ජ - නම් මුත්‍රාවලට කියනවානේ . මිරිජ්ජ මිරිදිය කරිජ්ජ පාගපු දකුනේ ඇත්තෝ
අපිට ඔච්චම් කරන වෙලාවල් එමටයි. අපිට දිවුල් එයාලට කටුබොර , පඩිය - මී වදය , පැගිරියා - බුලත් විට , ගගුල - වතුර ට වහරන පද.
පුබ්බරුවට ( බතට ) කහවතුර ( හොද්ද ) ටිකක් ආනමට ( රසවත් හොද්ද )හදගත්තම පංකාදු පහයි .
දිරච්චා - දර, රත්තා - ගින්දර , ගුගුරන්නාව - තුවක්කුව කොටන්නාව ( පොරව ) කපන්නාව (පිහිය ) නිතර ඕන වන දේවල්.
හිගන්නා ( දඩයක්කාරයා ) ට හමුවෙන ආප්පයා ( හාවා ) , වරපොටයා ( තලගොයා ) සුබරයා ( මුවා ) පොට්ටනියා / මහරැහැන්කාරයා ( කොටියා ) , උසරා/ගජරා/බොටකදා ( වල් අලියා ) ගුගුරන්නාව ගිනි බින්දොත් හබක් තමයි.
මල් ඉහිරෙන වැස්ස ( සිරි පොද වැස්ස) ටිකින් ටික වැඩිවෙලා මාරියාව ( තද වැස්ස ) පටන් ගන්නවා.වැව් මදව්දානවා ( වාන් දමනවා ) මදව්ව ( පිටවාන ) මේවා ඉතින් ගොවිපලට ( කුඹුරට )හාණි කරයි.
හින්නා පුංචි එකා පුංචි දරුවො වැඩිහිටියන්ට හින්නා. හින්නි පුංචි එකී. හින්නි අම්මා, හින්නි නැන්දා පවුලේ සාමාජිකයෝ.
Wednesday, April 02, 2025
මක්කැයි කිව්වේ ?.
Tuesday, April 01, 2025
අද අප්රේල් පලමුවෙනිදා
අද අප්රෙල් පලමුවෙනිදා.
මෝඩයින්ගේ දිනය කියලත් කියනවා. අවුරුද්දේ එක එක දවස් එක් එක් දේ සදහා වෙන් කරලා තියෙනවා.ජාතික දිනය, වැඩිහිටි දිනය කාන්තා දිනය ………ඔය වගේ.
බොරු කියලා ප්‍රබන්ධ පතුරවලා මිතුරන් අසල් වැසියන් අන්දන දවස හැටියට අප්රේල් පලවෙනිදා ප්‍රචලිතයි..
අපේ රටට නම් හැමදාමත් අප්රේල් පලමුවෙනිදා තමයි.
අපි ඇන්දෙන තරම් වෙනත් රටවල ජනතාව ඇන්දෙන්නේ නැතිව ඇති.
අනම් මනම් කියලා හිත රිද්දා ගන්නේ මොකටද ?.
අප්රේල් පලවෙනිදා මෝඩයින්ගේ දිනය වුන හැටි හොයා ගෙන යමු.
![]() |
13 වන ග්‍රෙගරි පාප් වහන්සේ. |
1582 වසරේ සිට ග්‍රෙගරියානු දින දර්ශණය සම්මත දින දර්ශණය ලෙස භාවිතයට එක්වුනා. මේ කටයුත්තට මුල් වුනේ 13 වන ග්‍රෙගරි පාප් වහන්සේයි
එතෙක් භාවිතා වුනේ ජුලියානු දින දර්ශණයයි.
ජුලියානු දින දර්ශනය අනුව අප්රේල් 1 දා නව වසර උදාවුන දිනය හැටියට සැලකුවා.
නව වසර උදාවීම සැමරුම් අවස්ථාවක් නේ.
නව ග්‍රෙගෝරියානු දින දර්ශණය අනුව ජනවාරි 1 වෙනිදයි වසර ආරම්භවුනේ.
ග්‍රෙගරියානු දින දර්ශණය භාවිතයට ගත්තේ 1582 ජනවාරි 1 දා සිට උවත් එය ජනතාව අතරට පැතිරෙන්න භාවිතයට එන්න කාලයක් ගතවුනා.
1582 වසර වන විට 9 වන චාල්ස් රජු ප්‍රංශයේ පාලකයා ව සිටියා.ග්‍රෙගරියානු දිනදර්ශණය ප්‍රංශය තුල නිල පිලිගැණිමක් තිබුනත් ජුලියානු දින දර්ශණය ජනතාව අතරින් මුලුමනිනිම බැහැර වෙලා තිබුනේ නැහැ.
මේ නිසා 1584 වසරේ ජනවාරි 1 වෙනිදා නව වසර සැමරිය යුතු බවට නීතියක් සම්මත කිරීමට චාල්ස් රජු තීරණය කලා.
වර්තමානයේ තරම් සංනිවේදනය එතල දියුණු නැති නිසා ඇතැම් ප්‍රදේශවලට රජතුමාගේ නිවේදනය දැන ගන්නට බැරිවුනා.
ඔවුන් අප්රේල් 1 වෙනිදාම අවුරුදු සැමරුවා.
රාජ නීතිය කඩවීම පිලිබදව රජතුමා කෝපයට පත්ව අප්රේල් 1 වෙනිදා අවුරුදු සමරන සියලු දෙනාම “ මෝඩයින් “ බවට ප්‍රකාශයට පත් කලා.
එම සිදුවීමෙන් පසුව අප්රේල් පලමුවෙනිදා මෝඩයින්ගේ දිනය ලෙස සැලකීමට ප්‍රංශ වැසියන් පුරුදු වුනා. පසුව යුරෝපයටත් ලෝකයේ විවිධ රටවලටත් මෝජයින්ගේ දිනය සැමරීම ව්‍යාප්ත වුනා.
මින් දශක කිහිපයකට පෙර අප අතර අප්රේල් පලමුවෙනිදාට හිත මිතුරන් නොමග යවා රවටා සතුටට පත්වෙන සිරිත් තිබුනත් වර්තමානය වන විට එය වියකී ගොස් ඇති බවක් දකින්නට ලැබෙනවා.
මින් අවුරුදු කිහිපයකට පෙර රුපවාහිනිය නොතිබු අවදියේ ගුවන් විදුලි නාටකයක් පැයක් පුරා ප්‍රචාරය කරමින් රටම මෝඩයින්ට ඇන්දවු හැටි මතකයට එනවා.
Sunday, March 30, 2025
ඌවේ කතා.
1.පාන් කළුව/පාන්දර/පාන්දොඩ =අඳුර නැතිකරගෙන ආලෝකය ඇතිවීම
2. වෛතාලෙ/ඉරිමාඋදේ =උදෑසනින්
3.කනිසම =වේලාව
4. කිරිවේලාව =උදෑසන සිට අට පමණ වනතෙක්වේ
5.ඇටබගව්ව =ඉර මුදූන් වන වේලාව
6. හීම්පීර/හිටිපියර/හිටිබීරම =මද්දහන
7. ඉරගල වැටුණා=ඉර බැසිම
8. වවුලන් බඩගගන ජාමය =ඉර බැසගෙන යන වේලාව
9. ගොංමං වේලාව/කුකුළන් ගස්යන යාමය =ඉර බසින වේලාව
10.බසමන්ද කළුවර =ඉර බැසගෙන ගොස් ටිකවේලාවයි
11. කිතයියා =හඳ
12.ගජරා/බොටකඳා/ අල්ලිස්අප්පු/අලිබොටා =අලියා
13. බණ්ඩාර හඳ =කිරි බැබළෙන හඳ
14. හෙවන් බෑම =හිරු රැස් ආවරණය වීම
15. සාක්කුලය =පෑවිල්ල
16.බීරනීබාලා =වැහි වළාකුළු මුදූන්වීම
17.නිල්ල =පොද වැස්ස
18.වැහි නිල්ල =වැස්ස පෑයු වේලාව
19.කුලන්තරය =මහවැස්ස
20.අන්දන් බුරුවා/කරකොළයා =ගෝනා
21.පරියා/සෝමා =වළහා
22.පරියාපුල්ලියා/දීයා/කොටිහපුවා =කොටියා
23හොටබරියා/මඩවල පසිම්බුවා= ඌරා
24. කෑටා/කුඩුවා/ඇදූරුකුක්කා =බල්ලා
25. කුංචා/පොන්නා =පුසා
26.අප්පල්ලෑවා =හෝතම්බුවා(මුගටියා)
27.තඹරැණියා =සැළලිහිණියා
28.ගම්පාළුවා =උළමා(ඔගම්පාළුවා)
29.ගස්බෝදා =කටුස්සා
30.ගම්බලයා =කොට්ටෝරුවා
31.ගොන්කඩුවා =මයිනා
32.මීච්චා =පොල්කිච්චා
33.දියකුකුළා =ඉබ්බා
34.ගස්ගෝනා =වඳුරා
35.පුක්ගැටයා =කිඹුලා
36.කම්බැල්ලා දේහිනී =සමුහයක් එක්ව කරන ගෝෂාව
37කොම්බා =දඟකාර කොල්ලා
38.කීකල බාසෙට නෑ =අකීකරු කොල්ලා
39.කුකාඩියා =හිතුවක්කාරයා
40.කුඩුම්බරයා =කොල්ලා
41. කෙලිගහ/කෙල්ලී/ කෙලී =දියණිය
42.කෝනමා =නිරුවතින් සිටින්නා
43.කෙලිහැලේ කරනවා =කුඩා ළමයින් සෙල්ලම් කිරිම
44.නට්ටාලී =සෙල්ලම
45.පුන්නනවා =නිදිකරනවා(නිදාගන්නවා
46කිස්කනවා =කෝටුවෙන් තැලීම
Friday, March 28, 2025
අන්දරේ යුවතියනට කී කවි.
අන්දරේ දකුනේ ඉපදී කන්ද උඩරට මහවාසලට සේවය කල රාජ්‍ය නිලධාරියෙකි. ඔහු වටා ගෙතුන කතා බොහොමයක් අදටත් ජනප්‍රියය. ඒවා ඔහුගේ බාලකාලය සහ තරුන මැදිවිය යන වයස් හී වයසට ගැලපෙන කතාය.
අද මීදුම අන්දරේ තරුන වියේ කාන්තාවන් ඉලක්ක කර ගත් කාව්‍ය ප්‍රබන්ධ කිහිපයක් ඉදිරිපත් කරනු ලබයි.
දිය ගෙන එන්නට ලිදට යන ගැටවරියක් දකින අන්දරේ එගමන වර්ණනා කරන්නේ මෙසේය.
“රණ්වන් එරන් වන් රණ්වන් රණ් රුවට
නිල්වන් පීරාලා පිට දිගට
රණ්වන් වලලු අත දමලා කලය වට
සෙල්ලම් ගමනින් යනවද ලිද ලගට
සදක් මෙන් මුහුන ඇගෙ රූසිරු සමග
ලදක් වෙන නුදුටුවෙමි මේ මුලු දෙරණ
මොලොක් මට සිලිටු ගත ඔප ලු ලෙසින
මලක් මෙන් ළපටි රතු මුවින සොබින
සවන පිනවන ළද බොළද සුමිරිය
බදින සිතු බදේ ඈ වෙත වී පිරිය
කුමන ලෙස මැවීදෝ සුරගණ සරිය
වචන නැත කියන්නට ඇගේ රු සිරිය.”
සුරූපිණයක් දකින අන්දරේ නිදිවරමින්
“වතට ලවනතට නුබ බලන බැල්මට
වරලට ගෙලට නලලට නාසිකාවට
ගමනට බසට නුබ හට ලොල් කල මෙමට
කුමකට කියමි නිදි නැත රැය තුන්යමට”
ඈ සිහිපත් කරන්නීය.
පොකුණකට බැස නෙලුම් අල උදුරන තරුණියකට ලොබ බදින අන්දරේ
“පතුල බැසා අල උදුරන කලට ලියේ
මකුල සේම වත ඉහලට යාය ලියේ
මුකුලු සිනා අප දැක කෝඩුකාරියේ
කැකුලු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ”
යයි අවවාද කරයි. “ කැකුලු තන තෙමෙයි “
අන්දරේගේ පළමු බිරිය මියයයි. එයින් සංවේගයට පත් අන්දරේ මැවුම්කරුවු මහපඹාට
“පටුවන් නළල දිලිසෙන සුරතලු දිගැසේ
බටුවන් සුරගනන් පරදන මැණික යසේ
කෙටුවත් බඹා පල නැති ලෙස මගේ හිසේ
දුටුවොත් යම් දිනක මම කොටමි උගේ හිසේ”
යයි දෙස් දෙයි.
ගමනක් යන අන්දරේ දෙස දොර අස්සෙන් මුකුලු කරන ගැටවරියක් දෑක
“ඉහළ ගෙදර වී පැදුරේ පරෙයියා
පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා
ටිකිරි ලියක් දොර අස්සෙන් එබෙයියා
ටිකිරි නගේ පියයුරු කයි කොබෙයියා”
……ටිකිරි නගේ
සුන්දර යුවතියක් දකින අන්දරේ………….
“මහ මී කුඩා මී හිමයේ බොහොම ඇති
කොයි කොයි මලෙත් මුත් බමරුන් රොන් ගනිති
කොතන වුවත් හරි නෙද මැණිකේ රුව ඇති
රුව ඇතිනම් අඩුකුලයද කමක් නැති.”
හැඩ රැව ඇත්නම් අනෙකුත් අඩුපාඩු නොසලකන බව සිහිපත් කරයි.
ඔක්කොටම කවි කියනවා. මටත් කවියක් කියනවකෝ ……අන්දරේගේ බිරිද ඇවිටිලි කල විට මෙසේ කීවේය
“ඉස දෙස බැලිමිපොල් කෙදි වැන්න පීරනා
බද දෙස බැලිමි හෙරලිය වැන්න ආරනා
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
නුබ දෙස බැලිමි වැදිරිය වැන්න දලු කනා.”
බිරිදට මළ පැන්න විට අන්දරේ කවිය ප්‍රතිශෝධණ කරමින්
“ඉස දෙස බැලිමි රණ්කෙදි වැන්න පීරනා
බද දෙස බැලිමි රණ් කද වැන්න ආරනා
තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා
නුඹ දෙස බැලිමි සුරගන වැන්න රුසිරෙනා”
කියා ජාම් බේරා ගත් බවකි.
දිය පහස පිණිස පොකුණට යන කුමාරිකාවට අන්දරේ මගදී මුණ ගැසිනි.
අන්දරේ ඇමතු ඈ තමාටත් කවියක් කියන ලෙස ඉල්ලීමක් කෙරෙනි.
අන්දරේ……
“කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන
ලොට තන දෙකත් ගෙරි සමතින් වසාගෙන
තඹත් පිත්තලත් දෙවගේ පැළද ගෙන
රොඩී කෙල්ල කොයි යනවද උදෑසන”
කීවය. මින් උරණවු කුමාරිකාව රජතුමාට තමන්ට කල අපහාසය ගැන පැමිණිලි කලාය.
රජවාසලට කැදවු අන්දරේ .කල වින්නැහිය කුමක්දැයි විමසීය.
පස්වාන්දහසකට බුදුවන්න දේවයන් වහන්ස මම මෙන්න මේ පද හතර කුමාරිගේ ඉල්ලීමට කීවායයි කීවේය.
“රණ් කැටි කලේ දිය උකුලේ තබාගෙන
රණ්කුඹු දෙකත් සලුපටකින් වසා ගෙන
රිදී රත්තරන් දෙවගේ පැළද ගෙන
මල් මද බිසව් කොයි යනවද උදෑසන”
අන්දරේ මහවාසල සිට ගම් බිම් බලා එන අතර මග මලල දී පලා නෙලන ලියක් දැක ලොබ බැදි අයුරුයි මේ.
“පුල පුලා ඇවිත් බැස මලල ආරට
හෙල හෙලා බදින වරලස පිට කරට
බල බලා මදෙස මුව රද සිනාවට
විල පලා නෙලන කත හොදලු පහසට”
Wednesday, March 26, 2025
මළවුන් උදෙසා දානමාන.
අපට මළවුන් උදෙසා දාන මාන දී පින් පමුනුවන සිරිතක් ඇත.සතියෙන් තුන්මාසයෙන් ,අවුරුද්දෙන්. අවුරුද්දෙන් අවුරුද්දට මෙසේ දානමාන , ධර්ම දේශනා පවත්වා ලැබෙන්නාවු අනිශංස මළවුන් උදෙසා අනුමෝදන් කර ඔවුන් සුගතිමත් කිරීම බෞද්ධ අපේ අරමුණය.
වර්තමානයේ ඇති හැකි අය සින හතෙන් තුන්මාසයෙන් අවුරුද්දෙන් පුන්‍ය කටයුතුවල යෙදී පින් අණුමෝදන් කලත් එසේ කරගත නොහැකි සාධු ජනයාද අප අතර ඇත.ඔවුන් උවත් අපහසුවෙන් හෝ හත් දවසේ දානය සහ තුන්මාසේ දානමය පුන්‍යකර්මයන් නොවැරදීම කරන්නේය.
පරම පූජනිය රේරුකානේ චන්දවිමල මාහිමියන්”ධර්ම විනිශ්චය” සංග්‍රහයේ දේශිත ලිපියක මේ සම්බන්ධව කර ඇති පල කිරීමක් මෙසේය.
මළවුන් උදෙසා දෙන හත් දවසේ දානය දන් දීමට දින නියමයක් ඇත්තේ ද?
"මළවුන් උදෙසා දෙන දාන අසවල් දිනවල දිය යුතුය කියා නියමයක් බුදු දහමෙහි නැත. දෙන තැනැත්තා කැමති දිනයක එය කළ හැකි ය. මිය ගිය තැනැත්තා පින් ගන්නා තැනක ඉපිද සිටිනවා නම් කෙදිනක දන් දී පින් දුන්නත් ඒ පින මිය ගිය තැනැත්තාට ලැබෙන්නේ ය.. පින් දීම පින් ගැනීම සම්බන්ධයෙන් එය කරන දිනයේ සැටියට සිදුවන වෙනසක් නැත.
සත්වන දිනය, පන්සාළිස් වන දිනය, තුන්මස පිරෙන දිනය, අවුරුද්ද පිරෙන දිනය යන මේවා මළවුන් උදෙසා දන් දෙන පින් කරන දවස් සැටියට ජන සම්මුතියක් ඇත්තේ ය. ඒවා බුදුන් වහන්සේ ගේ නියමයන් නො වේ. සත්වන දිනය මළවුන් උදෙසා දන් දෙන දිනය ලෙස විශේෂයෙන් ම සම්මත ය. තමන් ගේ නෑයකු මළහොත් අනික් දිනවල දී දන් දීමක් නො කළත් නො වරදවා ම සියලු ම බෞද්ධයෝ සත්වන දිනයේ දානයක් දෙති. සත්වන දිනය ගැන ඇති මේ විශේෂ සැලකිල්ල යම් කිසි වැරදි හැඟීමක් නිසා පුරුදු වූවක් වන්නට බැරි නැත.
“මළ තැනැත්තා ගේ ප්‍රාණය නැතහොත් ආත්මය සතියක් ම ගෙදර සිට සත්වන දිනයේ යම්කිසි තැනකට යන්නේ ය” යන ගැමි කතාවක් ඇත්තේ ය. ඒ කතාව අන්‍යාගම්වලින් බෞද්ධයන් අතරට පැමිණියක් විය හැකි ය. එය විශ්වාස කළ අය සත්වන දිනයේ දී පින් ගෙන මළ තැනැත්තාට සුගතියට යා හැකි වනු පිණිස සත්වන දින දානය ආරම්භ කරන්නට ඇතය යි ද සිතිය හැකි ය.
ථෙරවාද බුද්ධාගමේ සැටියට කිය යුත්තේ අතර කොහිවත් මොහොතකුදු නැවතීමක් නැතිව මැරෙන අය මරණයට අනතුරුව කර්‍මානුරූපව කොතැනක හෝ උපදින බව ය. මහායාන බෞද්ධ පොත්වල අන්තර භවයක් ඇති බව කියයි. මරණයට පැමිණීම් වශයෙන් වර්‍තමාන ශරීරයෙන් පහවූ ආත්මය කර්‍මානුරූපව ඉපදීමට තැනක් සොයමින් එක්තරා කාලයක් පවත්නේ ය.
ඒ කාලය තුළ පවත්නා ආත්මය “අන්තර භවය” යි මහායානිකයෝ පිළිගනිති. අන්තරාභවයේ කාලය සතියක් සැටියට ගැනීමෙන් සත්වන දින දන් දීම ආරම්භ වීය යි සිතන්නට ද ඉඩ ඇත්තේ ය. කිනම් කරුණක් නිසා පටන් ගත්තත් සත්වන දින දානයක් දීමෙන් වන වරදක් නම් නැත. මතක දානය සත්වන දිනයට කලින් හෝ පසුව දීමෙන් ද වන වරදක් නැත.
මරණයක් සිදු වූ අලුත ඒ ස්ථානයේ රෝගබීජ ඉතිරි වී තිබිය හැකි ය. එබඳු තැන්වලට ජනයා රැස්කොට දන් දුන්නා ම අන්‍යයන්ට ඒ රෝගය වැළඳෙන්නට ඉඩ ඇත්තේ ය. දින පසු කොට දන් දීම වඩාත් යහපත් බව කිය යුතු ය.
මළවුන් උදෙසා දන්දීමට ජනසම්මත දින නො මැති නම් ඒවා නො කෙරී අතපසු වී යාමටත් ඉඩ ඇත්තේ ය. එබැවින් දන් දීමේ දින නියමය ආගමේ නියමයක් නො වූව ද ඒ නියමය තිබීම යහපත් බව කිය යුතු ය."
ධර්ම විනිශ්චය
පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ හිමිපානන්.
Tuesday, March 25, 2025
මගේ කතාව
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.