Thursday, December 26, 2024

සැඟව ගිය අංක 8050 දුම්රියේ කඳුලු කතාව.




සැඟව ගිය අංක 8050 දුම්රියේ කඳුලු කතාව. 🥺😢
සුනාමි දුම්රිය අනතුර, 😭
" මචං මැනිටොබා මොකද අද පාන්දරම නැගිටලා...
ඔව් බන් අද නොම්බර 8050 අරන් උදේම මාතර යනවා ඒකයි මේ ලෑස්ති ......
දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ලහි ලහියේ මැනිටොබා සැරසුනේ නත්තල් දිනට පසුදින තම රාජකාරිය සඳහා පිටත්ව යාමටයි...
2004 දෙසැම්බර් 26 ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකයාම කම්පා කරවු දවසක් ..
මැනිටොබා තම දුක්බර මතක සටහන අවදි කලේ මෙසේය..
" එදා මම රනින් ශෙඩ් එකෙන් ලෑස්ති වෙලා පෙට්ටි ටිකත් අරගෙන මරදානට ගියේ උදේ 6:55ට අංක 8050 දුම්රිය අරන් මාතර යන්න..
පෙරදින නත්තල් දවස හින්දත් අද නිවාඩු දවසක් හින්දත් වෙනදට වඩා සෙනගක් කෝච්චියේ යන්න හිටියා...
සංඥාව ලැබුණු විගස මම 8050 අරන් මාතර බලා යන්නට පිටත් උනේ සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව රැකවරණය මැද කෝච්චියේ ඉන්න දහසකුත් අහිංසක මගියන් පරිස්සමෙන් ගමනාන්තය බලා රැගෙන යන පරමාර්ථය මතයි...
බම්බලපිටිය , වැල්ලවත්ත, දෙහිවල , ගල්කිස්ස මුහුදු තීර ලගින් යනකොට මට දැණුනේ මුහුදේ වෙනදට වඩා අමුතුම වෙනසක් තියනවා කියලා ..
මොකක්දෝ අමුත්තක් මට මුහුදේ දැණුනා...
සුන්දර මුහුදු තීරය පසුරමින්
ඇදුනත් මැනිටොබා දැන සිටියේ නෑ තමන්ට අත්වීමට යන බිහිසුණු ඉරණම......
මේ ඒ කතාවයි.....
වෙනදට නම් රුහුණු කුමාරි එනකල් දකුණු කළුතර තියාගන්න කෝච්චිය එදා දකුණු පයාගලට යැව්වෙ 50 කෝච්චිය හරි වෙලාවටම ආපු නිසයි. අලුත්ගම ‘සාගරිකා’ දුම්රිය එනකල් තියාගන්න අපේ දුම්රිය එදා ඉඳුරුවටම ගියා. කවදාවත් නැති විදිහට වේලාවටම කෝච්චිය ගමන් කරන්න මට පුලුවන් උනා. අම්බලන්ගොඩින් හරි වේලාවට මම පිටත් වුණා. කෝච්චිය හරි වේලාවට ගිය එක ගැන මට ලොකු සතුටක් දැනුණා. ඒත් ඒ සතුට තිබ්බෙ කොච්චර සුළු වේලාවක් ද...?’
මැනිටොබා...තම මතකය අදටත් සුසුම් ලෑවේ එසේය...
මේ එදා 50 දුම්රියේ නියාමක මහතාගෙ අතීත ආවර්ජනය...
‘මම ඒ දවස්වල වැඩ කෙළේ ගාල්ල ධාවනාගාරයේ. නත්තල් දවසෙ කොළඹට ආපු මම පසුදින උදෑසන 6.50 ට කොළඹ කොටුවෙන් මාතර බලා ගිය අංක 50 ශීඝ්රගාමී දුම්රියේ ප්රධාන නියාමකවරයා හැටියට වැඩ කරා’
එදින දුම්රියේ රියැදුරා වූයේ එම්. බී. ජනක ප්රනාන්දු මහතාය. ඉතා පළපුරුදු දුම්රිය එන්ජින් රියැදුරකු වූ ඒ මහතා මරදාන දුම්රිය ස්ථානයෙන් හා කොළඹ කොටුවෙන් නියමිත වේලාවට දුම්රිය ධාවනය ඇරැඹීය. මොරටුව, පාණදුර නිසි වේලාවට පසු කර යාමට ජනක ප්රනාන්දු සමත් විය. දකුණු කළුතරට නියමිත වේලාවටම පැමිණි දුම්රියට ඉදිරියට යාමට සංඥාව ලැබුණි. මාතරින් එන ‘රුහුණු කුමාරි’ සුළු පමාවක් තිබුණු හෙයින් හා අංක 50 දුම්රිය නියමිත වේලාවටම පැමිණි හෙයින් මාතර දුම්රිය දකුණු පයාගලදී කොළඹ ඒමට නැවති රුහුණු කුමාරි පසුකර ගියේය. ඊළඟ නැවතුම අළුත්ගමය. ජනක ප්රනාන්දුගේ අත්දැකීම් බහුලත්වය නිසාම නියමිත වේලාවටම දුම්රිය අළුත්ගමටත් ළඟා විය.
මාතරින් පැමිණෙන ‘සාගරිකා’ දුම්රිය හමුවන්නේ එතැනදීය. සාගරිකා විනාඩි කිහිපයක් පමා වීම නිසා අළුත්ගම නොනැවතුණු මාතර දුම්රිය එතැනින් ද ඉදිරියට ගියේය. ඉඳුරුව දී සාගරිකා හමු වුවත් ශීඝ්රගාමී හෙයින් මාතර දුම්රිය නොනවත්වාම අම්බලන්ගොඩට ගියේය. අම්බලන්ගොඩට දුම්රිය පැමිණීමට නියමිතව තිබුණේ පෙරවරු 9.18 ටයි. ඔරලෝසුවේ හරියටම 9.18 වන විට දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට ළඟා විය. සාමාන්යයෙන් මාතර දුම්රිය (අංක 50) භාණ්ඩ බෑම සඳහා විනාඩි 5 ක් 7 ක් පමණ අම්බලන්ගොඩ නවත්වා තබා ගනී. එහෙත් එදින දුම්රිය අම්බලන්ගොඩ එතරම් වේලා නවත්වා ගැනීමට අවශ්ය නොවන බව පෙනුණි. ඒ දුම්රියෙන් බෑමට තිබුණේ කිරි හට්ටි 15 ක් 20 ක් පමණක් වන හෙයිනි. දුම්රිය ස්ථානාධිපතිවරයා උප නියාමක මැදිරිය අසලට ගියේ භාණ්ඩ බෑම අධීක්ෂණය කිරීම සඳහාය.
මේ අවස්ථාව වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් විනාශ කරමින් මහා සුනාමියක් පැමිණෙමින් තිබිණි. මරදානේ ප්රධාන දුම්රිය පාලක මැදිරියට ද එම පණිවුඩය ලැබිණි.
ඒ වන විට දුම්රියයන් 7 ක් ලංකාවේ මුහුදුබඩ මාර්ග අසලින් ධාවනය විය. අම්බලන්ගොඩ, ගාල්ල, අඟුලාන, පාණදුර, කඹුරුගමුව වැනි ප්රදේශවල මෙසේ දුම්රියයන් 7 ක් අවදානම් කලාපයන්හි ධාවනය විය. මරදාන දුම්රිය පාලක මැදිරිය වහ වහා එම දුම්රියයන් ආරක්ෂිත ස්ථානයන්හි නවත්වා තබන්නැයි උපදෙස් දුන්නේය. අම්බලන්ගොඩට ද පණිවුඩය ආ මුත් ඊට පිළිතුරු සැපයීමට අයෙක් නොවීය. ස්ථානාධිපතිවරයා භාණ්ඩ බෑම අධීක්ෂණය කෙළේය. භාණ්ඩ බෑමෙන් මඟීන් බැසීමෙන් නැඟීමෙන් පසු දුම්රිය මාතර බලා පිටත් විය. ඒ හරියටම 9.21 ටය. මඟීන් දහස් ගණනක් තමන් මේ යන්නේ අවසන් ගමන බව නොදැන සිටියහ.
දුම්රිය පිටත්ව ගිය පසු ස්ථානාධිපතිවරයා තම කාමරයට ආවේය. පාලක මැදිරියේ විශේෂ සංඥා සහිත දුරකතනය ඒ වන විටත් නාද දෙමින් තිබිණි...
‘අම්බලන්ගොඩ...’
‘මරදාන පාලක මැදිරියෙන් අමතන්නෙ, මුහුද ගොඩ ගලනවා, මහ විනාශයක්... අංක 50 දුම්රිය පිටත් කරන්න එපා’
‘දෙවියනේ...’ දුම්රිය ඒ වන විට පිටත්ව ගොසිනි. ඊළඟ දුම්රිය ස්ථානය වන කහව දුම්රිය ස්ථානයට හෝ ඇමතුමක් දී දුම්රිය නවත්වා ගැනීමට හෝ ඒ වන විට හැකියාවක් නොතිබුණි. දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදී ගියේය.
කහ සංඥාව තිබුණෙ. සාමාන්යයෙන් එහෙම වෙන්නෙ නැහැ. ඊළඟ සංඥා කුලුනෙ රතු සංඥාව හෙවත් ‘නවතින්න’ අණ කරන සංඥාව තිබෙන බව දන්න නිසා මම දොර ළඟට ගිහින් දුම්රියේ ඉදිරිය දිහා බලාගෙන හිටිය. කහ සංඥාව නිසා දුම්රියෙ වේගය අඩු කරමිනුයි රියැදුරු මහතා ගමන් කෙළේ. ඈතින් සංඥා කුලුනෙ රතු සංඥාව තිබුණා. දුම්රිය නැවැත්වුවා. වෙනදට වඩා කලබල පරිසරයක් තිබුණා. මිනිස්සු හැම තැනම දුවනවා. වතුරත් හැම තැනම. මං හිතුවා ළිඳක් ඉහිනව වෙන්න ඇති කියල. සංඥා නොතිබුණ දුම්රිය ඉදිරියට ගෙනියන්න මම දුම්රියෙන් බැහැල ඉදිරියට ගියා.
ඒ බැහැල යන්න ඉස්සර මට තේරුණා සංඥා කණුවට සමීප මල්වැන්න දුම්රිය හරස් මඟේ වේගයෙන් වාහන එහේට මෙහේට යන බව. සමහර විට කෝලාහලයක් වෙන්න ඇති කියලත් මට හිතුණා.
වෙලා තියෙන දේ ගැන මට තවත් අමුතුවෙන් හිත හිත ඉන්න කාලයක් තිබුණෙ නෑ. අඩි 10 - 15 ක් විතර උස වතුර කඳක් මුහුදෙන් ඇවිත් අපේ දුම්රිය මැදින් එහා පැත්තට ගියා. ඒ වතුර පාර හරිම වේගයෙන් ආවෙ. ටික වේලාවක් දුම්රියේ ජනෙල් මට්ටමට ආසන්නවම වතුර පිරිල තිබ්බ. වේගයෙන් එන වතුර පාර දැකපු බිම හිටපු මිනිස්සුත් කෝච්චියට නැග්ග. කෝච්චිය උස නිසා ආරක්ෂාව පතා තමයි එහෙම කරේ. දුම්රියේ හිටපු මඟීන් ‘ඉතිපිසෝ ගාථාව...’ කියනව මට ඇහුණා. තවත් සමහරු බයෙන් කෑ ගහනවා. පොඩි ළමයි ඇඬූ ගමන්මයි. වතුර මට්ටම අඩු වුණාට පස්සෙ මම මුහුද දිහා බැලුවා. මුහුද කාන්තාරයක් වගේ... මුහුද හිඳිලා. වතුර නෑ. වැලි කාන්තාරයක් දකින්න ලැබුණා.
මේ වෙලාවේ ලයිට් කණුවක එල්ලිලා හිටපු පිරිමි ළමයෙකුයි ගහක එල්ලිලා හිටපු ගැහැනු ළමයෙකුයි මර ළතෝනි දුන්නා එයාලව බේර ගන්න කියල. දෙන්නම කෝච්චියෙ ආපු අය බව මට තේරුණා. කවුරු වුණත් කොහොම වුණත් ජීවිතයක වටිනාකම කියල නිම කරන්න පුළුවන් ද? මම නියාමක නිල ඇඳුම් ගලවලා යට ඇඳුම පිටින් ගස් නැග්ගා ලයිට් කණුවටත් ආධාරක ඇතිව ගිහින් මේ දරුවන් දෙන්නව බේරගෙන ආවා. ඒ දෙන්නව යළිත් දුම්රියට නංවලා මඟීන්ට කිව්වා වතුර අඩුවෙනකල් කෝච්චියෙන් බහින්න එපා කියල. වතුර පාර දුම්රියෙන් අඩු වුණත් පොළොවෙන් සම්පූර්ණයෙන්ම බැහැලා ගිහින් තිබුණේ නෑ.
මම උප නියාමක මැදිරියටත් එන්ජිමටත් යන්න කියල ගියා. එතකොටයි දැක්කෙ දෙවෙනි පන්තියෙ මැදිරියක් ගැලවිලා ගිහින් තියෙන බව. ඈතට ගිහින් තිබුණෙ නැහැ. නමුත් දුම්රිය ඉස්සරහට ගෙනියන්න බැරි තත්ත්වයක් තිබුණා. නමුත් අපි මොකක් හරි ආරක්ෂිත ක්රියාමාර්ගයක් ගන්න තීරණය කළා වතුර අඩු වුණහම. උප නියාමක ගුණරත්න මහත්මයා හමුවෙලා පස්සෙ එන්ජිමට නැග්ගා. රියැදුරු ජනක ප්රනාන්දු මහත්මයා මාව බදාගෙන අල්ලගෙන ඇහුවා මොකද අපි කරන්නෙ කියලා. වතුර පාර ටිකක් අඩු වුණාම කෝච්චිය පුළුවන් විදිහට එහා මෙහා කරගන්න අපි තීරණය කළා. වතුර පාරට යට වුණත් එන්ජිම හොඳින් තිබුණා.
ඒත්...
සිදුවුණේ හිතාගන්නවත් බැරි දෙයක් වැලි තලාවක් වෙලා තිබිච්ච මුහුද අඩි 50 ක් 60 ක් විතර මහා උසින් අපි දිහාට එනව දැක්කා. මම එන්ජිමෙන් බැහැලා මඟී මැදිරිවලට ගියා. මඟීන්ට ආරක්ෂක උපක්රම ලබා දෙන්නයි එහෙම කළේ.
තත්පර කීපයකින් විශාල ඝෝෂාවක් එක්ක ආපු මුහුදු රළ කෝච්චිය එහාට
මෙහාට විසි කළේ සෙල්ලම් බඩුවක් වගෙයි.
මම හිටපු දෙවෙනි පන්තියෙ මැදිරියේ ජනේලයකින් මම දුම්රියේ බඳට ගොඩ වුණා. දුම්රිය මැදිරි පෙරළිලා. සමහර මැදිරි පාවෙලා යනවා දැක්කා. මං හිටපු මැදිරියත් පාවෙලා ගිහින් ගෙදරකට හේත්තු වී නතර වුණා. ඒ අසලම ගහකුත් තිබුණ නිසා දුම්රිය මැදිරිය එහෙට මෙහෙට හෙළවුණේ නැහැ. ඒකත් මට හොඳට හිටියා. පුළුවන් තරම් මඟීන් එම ජනේලයෙන් වහලට ගත්තා.
මම මරණය පෙනි පෙනී මේ සේරම කරේ. මේ වේලාවෙ දුම්රියෙ බඳට නැගුණු සමහරු ගෙවල්වල වහල උඩ තව සමහරු ගස් උඩ ඉන්නවා මම දැක්කා.
දුම්රිය අනතුරට පත්වෙච්ච හරියෙ පොල් වළවල් තියෙනවා. ඒක නිසා හරිම පරිස්සමින් ඇවිදින්න ඕන බව මම දැනගෙන හිටියා. ජීවිත බේරා ගන්න අයත් එක්ක උස් බිමක පිහිටි පන්සලකට ගියා. ඒ තොටගමුව විහාරයයි. එතන බොහෝ දෙනෙක් විපතට පත් වෙලා ඇවිත් හිටියා.
සමහරු අඬනවා, සමහරු බයවෙලා, එතන තිබුණු තත්ත්වය විස්තර කරන්න බැහැ. ඒ තරම් ශෝචනීයයි.
මට පන්සලේදී තමයි දැනගන්න ලැබුණෙ ඒ වෙනකොට ලංකාවේ මුහුදුබඩ පළාත් යට කරගෙන මුහුද ගොඩ ගලා තියෙන බව. මගේ ගේ තියෙන්නේ වැලිගම මුහුද අයිනෙ. එදා ඉරිද පෝය දවසක්. මගේ දරුවො දෙන්න, බිරිය, මගේ තාත්තා මේ සේරම අය එදා ගෙදර හිටියා...’
ඔහුගේ මානසිකත්වය ඒ මොහොතේ කුමන තත්ත්වයකට පත්වන්නට ඇත්ද? තම දරු දෙදෙනා, බිරිය, පියා ගැන කිසිදු ආරංචියක් නොමැත. එහෙත් ඒ සියල්ල ගැන කිසිදු තොරතුරක් නැතත් තම රාජකාරිය අකුරටම කළ යුතු බව ඔහු පසක් කර ගත්තේය. ඔහු සිතට ධෛර්යය ගත්තේය. ශක්තිය උපදවා ගත්තේය. තම රාජකාරිය අකුරටම ඉටු කළ යුතු යැයි අදිටන් කර ගත්තේය. ඔහු ඒ සඳහා යළිත් පන්සලෙන් එළියට ආවේය. දිවි ගලවා ගැනීමට හැකි අයෙක් සිටීදැයි සොයා බැලුවේය. බැලු බැලු සැම තැනම මළ සිරුරු විසිරී ඇත. දකින්නට අපහසු මේ දර්ශනයන්ගෙන් සිත කලඹවා නොගත් ඔහු තව දුරටත් ඒ සම්බන්ධව සොයා බැලුවේය.
තමා භාරයේ තිබූ දුම්රිය පෙරළී ගොසිනි. එය යළි තම භාරයට ගෙන පාලනය කිරීම කළ නොහැකිය. ඔහු යළි දුම්රිය එන්ජිම වෙත ගියේය. එන්ජිම පෙරළී ගොසිනි. ටොන් 92 ක් බරැති මෙම එන්ජිම සුනාමිය විසින් මෙසේ පෙරළා දැමීමට නම් කොතරම් බලයක් ශක්තියක් සුනාමියට තිබෙන්නට ඇති ද? කරුණාතිලක මහතා පෙරළී ඇති දුම්රිය එන්ජිමේ බඳ මතට ගොඩ විය.
“එන්ජිම උඩට නඟින එක ලේසි වැඩක් වුණේ නැහැ. තෙල් නිසා අල්ලන්නවත් පය තියන්නවත් විදිහක් තිබුණේ නැහැ. ඒත් ශක්තිය අරගෙන නැඟලා බැලුවා. එන්ජිම ඇතුළෙ අඳුරගන්න අපහසු මළ සිරුරක් තිබුණා. එය රියැදුරු ජනක ප්රනාන්දු මහතාගේ හෝ රියැදුරු සහායකගේ බව මම තේරුම් ගත්තා”
වෙනත් ගලවා ගැනීමට අයෙක් සිටින බවක් නොපෙනුණු හෙයින් කරුණාතිලක මහතා යළිත් තමා පෙර ගිය පන්සල වෙත ගමන් කරන්නට විය. පන්සල අවට එකම මළ ගෙයකි. දකින දකින සෑම දෙසින්ම බලන්නට තිබුණේ මළ සිරුරුය. අහන්නට ලැබුණේ විලාපයන්ය. තම දරු පවුල ගැන ඔහුගේ මනස එක් පසෙකට දිව යයි. තමා භාරව සිටි දුම්රියේ ව්යසනය තවත් පසෙකින් ඔහු අවුල් ජාලයකට පත් කර ඇත. තොටගමුව විහාරයට ගිය ඔහුට තවත් වගකීම් රැසක් ඇති නිසා ඒ කර්තව්යයට සිත යොමු විය.
යට ඇඳුමෙන් පමණක් සිටි මට ඒ වෙලාවෙ ගැහැනු ළමයෙක් බුදු ගෙයක් ළඟ හැංගිලා ඉන්නවා දැක්කා. ඒ ළමයා මම අර ගහ උඩ ඉඳල බේර ගත්ත ළමයමයි. එයා හැංගිලා හිටියෙ ඇඳුමක් නැති නිසයි. මම බෝධියේ අපලෙකට එල්ලල තිබුණ රෙදි කෑල්ලක් ඒ ළමයට ගිහින් දුන්න.
හතර වටින්ම මාර්ග ඇහිරිලා තිබුණත් මට පොලීසියට ගිහින් මේ ගැන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ඕන වුණා. ඒ වෙනකොට පන්සල කිට්ටුව තිබුණ මොලපු ඔයත් පිටාර ගලලා මට මොලපු ඔයෙන් එගොඩට යන්න සිදුවුණා. නමුත් ඒ පාලම කඩාගෙන ගිහින්. පිරිසක් එක්වෙලා කේබල් දාල එහා පැත්තට යන්න පුළුවන් විදිහට අවදානම් වුණත් ක්රමවේදයක් හදලා තිබුණා. කෙසේ හෝ මේ ව්යසනය දෙපාර්තමේන්තු ප්රධානීන්ට වාර්තා කිරීම මගේ වගකීමක්. දුරකතන පද්ධතිය මුළුමනින්ම බිඳ වැටිලා. කිසිම දෙයක් කරගන්න නැති නිසා කේබල් එකේ එල්ලිලා යන්නෙ නැතිව මම ඔයෙන් එහාට පීනල ගියා. යට ඇඳුම පිටින් සිටි මට එකවරම කතා කරා.
‘කරුණේ...’
ඒ ගාල්ලේ ධාවනාගාරයේ ෆෝමන්වරයෙකි. ඔහු ඉතා හොඳින් කරුණාතිලක දන්නා අයෙකි.
ඔහුගේ නිවස පිහිටියේ ඒ අසල බැවින් ඔහු කරුණාතිලක කැඳවාගෙන ගොස් සාත්තු සාප්පායම් කළ අතර සරමක් සහ කමිසයක් ද ලබා දුන්නේය. “ඒක ඇඳගත් මම ඔහුත් සමඟ පයින්ම මීටියාගොඩ පොලිසියට ගියා.”
ඔහු එසේ පොලිසියට ගියේ දුම්රිය අනතුර වාර්තා කිරීමටය. තම අඹුදරුවන් පවා සුනාමි ව්යසනයට මුහුණ දී සිටියදී ඔහු එසේ තම රාජකාරිය දේවකාරියක් සේ සලකන ලදී.
“මම මීටියාගොඩ පොලිසියට ගියේ වෙච්ච විනාශය ගැන කියන්න. උදේ 9.30 ට විතර අනතුර වුණේ එතකොට හවස 4.30 ට විතර ඇති. නමුත් මට සිදුවුණේ බලාපොරොත්තු නොවූ දෙයක් මම එහි යන විට ඕ අයි සී මහතා හිටියේ නැති නිසා කොස්තාපල්වරයා පැමිණිල්ල ලියා ගැනීම ප්රතික්ෂේප කළා.”
මෙතරම් ව්යසනයක් සිදුවී තම දිවිය පවා පරදුවට තබා අඹුදරුවන් අනතුරේ බව දැන දැනත් තම රාජකාරියට ලැබුණු පිළිතුර ගැන ඔහුට මොනවා සිතෙන්නට ඇත්ද? මිනිසුන් දහස් ගණනකගේ ජීවිත දුම්රිය ව්යසනයෙන් පමණක් අහිමි වී ඇත. දේපළ ද අතිවිශාලය. කරුණාතිලකගේ ඉවසීමේ සීමාව පැන ගියේය.
“මම දුම්රියේ ප්රධාන නියාමකවරයා මේ ගැන කියන්න පොලිසියට නැතිව වෙන කොහේටද යන්නෙ, දෙපාර්තමේන්තුව මේ ගැන මුකුත් දන්නෙ නැතුව ඇති.” කරුණාතිලකගේ හඬ පොලිසිය පුරා තරමක් උස් හඬින් ඇදී ගියේය. ඔහු දෙස තරහින් බලා සිටි කොස්තාපල්වරයා ඉවතට ගියේය. පැයකට ආසන්න කාලයක් පොලිසියේ ගත කිරීමට ඔහුට සිදු විය. ස්ථානාධිපතිවරයා නොපැමිණි නමුත් වෙනත් උසස් නිලධාරියෙක් පැමිණි පසු කරුණාතිලක තම අවශ්යතාවය ඔහුට ඉදිරිපත් කෙළේය. හෙතෙම කරුණාතිලකගේ කතාව සාවධානව අසා සිටියේය. ඔහුගේ කට උත්තරය ලියා ගන්නා ලෙස ද පොලිස් නිලධාරියකුට නියෝග කෙළේය.
‘නමුත් දෙපාර්තමේන්තුවට පණිවුඩය දෙන්න විදිහක් තිබුණෙ නැහැ. මා ඒ සම්බන්ධවත් එම අවස්ථාවේ මගේ දුක් ගැනවිල්ල පැවසූ උසස් නිලධාරියාට දැන්වූවා. මරදාන පොලිසියට පොලිස් පණිවුඩයක් යවා එමඟින් දෙපාර්තමේන්තුවට යවන බව ඔහු මා හට දැන්වූවා.”
හතර වටින් අඳුර ගලා එද්දී කරුණාතිලක පොලිසියෙන් එළියට ආවේ තම දරු පවුල බැලීමට යාමේ අරමුණෙනි. වැලිගම වෙරළ ආසන්නයේ සිටින තම දරු පවුල ගැන මතක් වන විට ඔහුට කිසිවක් දරාගත නොහැකි විය.
‘මට ඇඬුණා දරු පවුල මතක් වෙලා. නමුත් මං ඒ වෙලාවෙ අසරණයි. හතර වටින්ම මුහුද ගොඩ ගලලා ගාලු පාරේ එක වාහනයක්වත් නැහැ. මම මීටියාගොඩ ඉඳල දහදුක් විඳගෙන කොහොමහරි වැලිගමට ආවා. ඒ ආවෙ මහ රෑ. මං දැක්කෙ කලින් දවසෙ ගෙදරින් යනකොට තිබිච්ච වැලිගම නෙමෙයි. වැලිගම වෙරළ සම්පූර්ණයෙන්ම සුනාමියට යට වෙලා මං කකුල් දෙක පුළුවන් වීරිය දාල ගෙදරට ආවෙ ආත්ම ශක්තිය දැඩි කරගෙන. මගේ දරු පවුලට ආශිර්වාද කරමින්.’
‘දෙයියනේ මගේ ගේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඒත් මගේ බිරිය දරු දෙන්නා මගේ පියා නිරුපද්රිතව සිටියා. මට එදා සැනසිල්ලකට දැනුණේ එච්චරයි. සුනාමිය මගේ මුළු සේසතම විනාශ කරල දාල තිබුණා. ඒත් මගේ මිත්ර නියාමක වරයෙක් මගේ දරු පවුල ඔහුගේ නිවසට එක්කරගෙන ගිහින් තිබුණා. මුහුද ගොඩ ගැලුවා වගේ මගේ දෑසින් කඳුළු කඩාගෙන වැටුණා. මගේ ජීවිතේ අමතක නොවන තවත් අවස්ථාවක් තමයි ඒ වෙලාව. ඒ වෙලාවෙ තමයි ඔවුන් මාව දැකල සතුටු වුණේ.”

අංක 50 දුම්රියේ ගමන් කළ මඟීන් 1302 ක් මිය ගිය බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඛ්යා ලේඛන පෙන්වා දෙයි. එහෙත් දුම්රියේ සිට සුනාමි ව්යසනයෙන් මියගිය පිරිස ඊට වඩා වැඩිය.
අවම වශයෙන් එම සංඛ්යාව 1500 ඉක්මවා ගොස් ඇත. අවට සිටි පිරිස් ද දුම්රියට නැඟ තිබුණේ මුහුදු වතුරෙන් ආරක්ෂා වීමටය. එහෙත් සුනාමිය දුම්රියත් සමඟම ඔවුන් රැගෙන ගියේය.
සුනාමියට දුම්රිය අසුවීම වළක්වා නොගැනීම ගැන පරීක්ෂණ පැවැත්විණි. දුම්රිය දෙපාර්තමේන්තුව 44 දෙනකුගෙන් සාක්ෂ්ය කැඳවා පරීක්ෂණ පැවැත්වීය. එම පරීක්ෂණයේ ප්රතිඵල ගැන දැන් කතා කර පලක් නැත. ප්රතිඵල හරි හෝ වැරැදි හෝ වේවා විනාශය සිදු වී අවසන්ය. එහෙත් වනිගරත්න කරුණාතිලක මහතා ඒ ගැන දරන්නේ වෙනමම අදහසකි.
“දකුණු කළුතර රුහුණු කුමාරි එනකල් ඉන්න අපි එදා දකුණු පයාගලට ගියෙත්, අළුත්ගමදි සාගරිකා එනකල් ඉන්න අපි එදා ඉඳුරුවෙදි සාගරිකා හමුවෙන්න ගියෙත් අම්බලන්ගොඩදී ඉක්මනින් ගියෙත් දෛවය අනුවම කියලයි මං හිතන්නෙ. මේක මැරෙන්නම ගිය ගමනක්. ‘ඒත් එක්කම තව එකක් කියන්න ඕන. මේ සිද්ධිය අදින් වසර 15 කට පෙර වෙච්ච මහ අවාසනාවන්ත සිදුවීමක්. මේ ගැන කතා කරන්නවත් මම කැමැති නෑ.’
මැනිටොබා Class M2 591 දරණ එන්ජිම අදත් ශ්රී ලංකාවේ වැදගත්ම දුම්රිය කීපයක් අරන් යන්නේ සුනාමියෙන් පසු අඩපණ වූ තමාව ශ්රී ලංකා දුම්රිය සේවයේ සේවකයන්ගේ අති විශිෂ්ඨ දක්ෂතාවය උනන්දුව කැපවීම මත යලි පණ ලැබූ නිසයි.......
ඔවුන්ද අප ගෞරව පූර්කවකව සිහිපත් කරන අතර,
සුනාමි ව්යවසනයෙන් අනතුරට පත් මියගිය සියලු දෙනාද මා මේ මොහොතේ සිහිකරමි..
නැවත මෙවන් විපතක් සසර වසනා තුරු අසන්නටවත් නොලැබේවායි මාගේ ප්රාර්ථනය...
📝 ශශින් විජේතුංග (උපුටා ගැනීමකි)
( දුම්රිය නියාමක සංගමය නිකුත් කරන සඟරාවකට ලියූ ලිපිය ඇසුරෙනි)
ජායාරූප වල මුල් හිමිකරුවන්ට ස්තූතිය A day in the life

Wednesday, December 25, 2024

ප්‍රීතිමත් නත්තලක් !.



"දෙව්මිනට" -  ශෝන්මැක්සිමස් දිසානායකයන් ලියු  නත්තල් ලිපිය

'Silent Night, Holy Night' ගීතයේ ඇරඹුම'
වර්ෂ 1816 දී නත්තල් සතියක ඔස්ට්රියානු පූජකයෙකු වූ ජෝශප් මෝර් නගරයේ නිස්කලංකව ඇවිදිමින් සිටියේය. ඒ ශීත සෘතුවේද ඔහු එසේ ඉමහත් ආශ්වාදයක් ලබමින් ඇවිදින අතර ඔහු කවියක් සිතේ ධාරනය කර ගතී. පසුව ඔහු එය කොළයක සටහන් කර ගතී. ඔහු එය සටහන් කළේ ජර්මානු භාෂාවෙනි. එය Stille Nacht, Heilige Nacht, යනුවෙන් හැඳින්විනි.
ජෝශප් මෝර් කතෝලික ජූජකයෙකුට අමතරව ගීත රචනා කිරීම හා ගායනා කිරීමට ද දක්ෂයෙක් විය. ඔහු වඩාත්ම ගීත රචනා කළේ කුසගින්නෙන් පෙළෙන සහ කම්පනයට පත් වූ මිනිසුන්ට දෙවියන්වහන්සේ සැලකිල්ල දක්වන බවට බලාපොරොත්තු ඇති කිරීම පිණිසය.
ෆ්රාන්ස් ක්සාවර් ගෘබර් ඔස්ට්රියන් ජාතිකයෙකි. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වූ අතර, ඔස්ට්රියාවේ දේවස්ථානයක් බලා ගන්නා පුද්ගලයෙක් ලෙසත්, එම පල්ලියේ ඕගන් වාදකයා ලෙසත් ස්වෙච්ඡා සේවයේ යෙදුනි. ඔහු ඉතාම දක්ෂ තනු නිර්මාපක වරයෙකි. පසු කලෙක එනම් 1829 වන විට ඔහු පල්ලි කන්තාරු කණ්ඩායම් අධ්යක්ෂක යෙක් මෙන්ම, දක්ෂ ඔර්ගන් වාදකයෙකු හා ගායකයෙක් ලෙසටද ප්රචලිත විය.
පූජක ජෝශප් මෝර් තම 'Stille Nacht, Heilige Nacht කවියට තනුවක් දමා ගැන්මට ගියේ මේ ෆ්රාන්ස් ක්සාවර් ගෘබර් වෙතටය. ඔහු එය භාර ගෙන එහී තනුව තම ඕගනය ආධාරයෙන් නිර්මාණය කරන්නට පටන් ගතී. පළමු දින එහී අඩක් කර, ඉතිරි අඩ පසු දින කරන්නට තැබුවද, එදින රාත්රියේ විශාල වර්ෂාවක් ඇති වී පල්ලියේ තිබූ ඕගනයට වතුර වැටි එය විනාශ විය. පසු දින නත්තල් රාත්රිය නිසා පූජක ජෝශප් මෝර් මෙම කන්තාරූ ගීතය ගැයීමට උවමනාම විය. ගෘබර් එයට පිළියමක් යෙදීය. ඒ තනුවේ ඉතිරි කොටස ගිටාරය උපයෝගි කර තැනීමය. එම ගිටාරය තිබුණේද හොඳ තත්වයකින් නොවේ.
කෙසේ හෝ එම නත්තල් දා රාත්රියේ ඔවුන් එම ගීතය සම්පූර්ණ කර ගැයුහ. පසුව ලෝ පතල වූ මෙම ගීතය මුලින්ම ගායනා ක⁣ර ඉතිහාසයට එක්වන්නේ ද මෙම ගීතය ලියූ තරුණ පූජක ජෝශප් මෝර් සහ එයට තනු සැපයූ ෆ්රාන්ස් ක්සාවර් ගෘබර් ය. එම නත්තල් රාත්රියේ ඔවුන් එය ගායනා කර ඇත්තේ ද එහී තනුවේ ඉතිරි කොටස තැනූ ගිටාරය ම වාදනය කරමිනි. ඒ එම දේවස්ථානයේ ඕගනය අක්රීය තිබූ නිසාය. ජර්මන් බසින් ලියූ Stille Nacht, Heilige Nacht ගීතය පසු කළෙක ලොව පුරා ප්රචලිත වූයේ 'Silent Night Holy Night' ලෙසට ය. මෙම ගීතයේ රචකයා ලෙස පූජක ජෝශප් මෝර් මෙන්ම එහී තනු නිර්මාපකයා ලෙස ෆ්රාන්ස් ක්සාවර් ගෘබර් ඉතිහාස ගත වන්නේ එසේය.
මුලින්ම මෙම ජර්මන් ගීතය ජනප්රිය කර ඇත්තේ ජනගීත ගායනා කල පවුල් දෙකකි. ඔවුන් 'ස්ට්රෙසර්ස් පවුල හා රෙයිනර්ස් පවුල විය. ඔවුන් නත්තල් කාලයේදී ගෙයින් ගෙට ගොස් මෙම ගීතය ගායනා කළහ. එසේ නිවෙස් වලට ගොස් ගායනා කරන කැරොල් ගීත සම්ප්රදාය පටන් ගත්තේද, මේ අයුරිනි. මෙහී පළමු තැටිගත කිරීම සිදුවී ඇත්තේ 1905 වසරේදීය. එහෙත් මෙම ගීතය ප්රථමයෙන් ඉදිරිපත් වීමක් සිදුවූයේ 1818 දෙසැම්බර් 24 වන දිනයේ වූවද, එය ප්රසිද්ධ කර ඇත්තේ 1833 වසරේය. 1905 වසරේ තැටි ගත කිරීමෙන් පසු මෙය භාෂා 300 යකටත් වඩා පරිවර්තනය විය. එමෙන්ම මෙය 137,000 වාරයන්ටත් වඩා තැටි ගත විය
නමුත් පසු කළෙක පූජක ජෝශප් මෝර් ලියූ මෙම පදපෙල සහිත කොලය නැතිවී යාම නිසාත් , මෙම තනුව ලෝකප්රසිද්ධ සංගීතඥයන් වූ මොසාට්,බීතෝවන්, හයිඩ්න් සහ ෂෙර්බට් වාදනය කර ලොව පුරාම ප්රසිද්ධ වූ නිසා ඉන් පසු බිහිවුනු පරම්පරාවන් සිතුවේ මෙම 'Silent Night Holy Night ' ගීතයේ තනු නිර්මානය ඔවුන් විසින් කල එකක් බවය. එය ලියූ ජෝශප් මෝර්ව කොලය නැතිවීමත් සමඟම ඔහුගේ නම යටපත් වූ අතර, මොසාට් සහ බීතෝවාන් නිසා එහී තනු නිර්මාපක ගෘබර් ගේ නමද යටපත් වී ගියේය.
1859 වසරේදී ඇමරිකාවේ 'එපිස්කෝපල්' පූජකවරයෙකු වූ ජෝන් ෆ්රීමන් යංග් නිව්යෝක් නගරයේ ට්රින්ටි දේවස්ථානයේ නත්තල් මෙහෙය සඳහා Stille Nacht ගීතය ඉංග්රිසියට පරිවර්තනය කළේ මෙසේය
'Silent Night, Holy Night
All is calm, All is bright
Round yon virgin, mother and child
Holy infant so tender and mild
Sleeping heavenly peace
Sleeping heavenly peace
Silent Night, Holy Night
Shepherds quake at the sight
Glories stream from heaven afar
Heavenly hosts sing alleluia
Christ the savior is born
Christ the savior is born
Silent Night, Holy Night
Son of God, love's pure light
Radiant beams from thy holy face
With the dawn of redeeming grace
Jesus, Lord, at thy birth
Jesus, Lord, at thy birth
පසු කලෙක මෙය ලොව පුරා ගායක ගායිකාවන් ගනනාවක් ගයා තැටි ගත කරන ලදී. බින් ක්රොස්බි ගායනා කෙරූ තැටියේ පිටපත් මිලියන 30 කට අධික සංඛ්යාවක් විකිණී තිබූ අතර, එය, දැනට වැඩිම ප්රමාණයක් අලෙවි වූ 'Silent Night Holy Night තැටිය ලෙස ගනනය කරනු ලැබේ. පසුව මෙය ජිම් රීව්ස්, එල්විස් ප්රෙස්ලි , ෆ්රෑන්ක් සිනාට්රා, පෙරි කොමෝ, කෙනි රොජර්ස්, විලී නෙල්සන්,සෙලින් ඩියෝන්,ජෝශ් ටර්නර්,සාරා ඉවන්ස්, වැනි ගායක ගායිකාවන් ද ගයා තැටි ගත කර ඇත.
'Silent Night Holy Night ගීතයේ සංගීත ස්වරය ඉතාලියානු සංගීතය අනුව නිර්මාණය වූ බවක් කියවෙි. එය ඉතාලි සංගීත ස්වර රටාවක් වූ 'සිසිලියානා' අනුව C Major වැනි පහසු ස්වරයකිනි ෆ්රාන්ස් ක්සාවර් නිර්මාණය කර තිබුණේ.
මෙම ගීතය නිර්මාණය කිරීමේදී එකල යුරෝපය පුරා ඇතිවූ නැපෝලියන් යුද්ධය නිමවීමෙන් පසු ව මිනිසුන් පත්ව තිබූ දුක්බිත තත්වයත් එයින් ලද මානසික පීඩාවන් යම් තාක් දුරට හෝ සමනය කිරීමේ අදහස මෙම ගීතය තුළ ට ගැබ් කෙරූ බවක් මෙම නිර්මාණ කරුවන් කියා තිබුණි. එම ගීතයේ තනුවේ තිබෙන ලයාවන්තික බව එම කරුන,සනාථ කළේය.
නත්තල එළැඹෙන දෙසැම්බරය, යුරෝපය පුරා ඇත්තේ තද ශීත කාලගුණයකි. එමෙන්ම මුලු යුරෝපයම හිමෙන් වැසෙන සමයකි. ගහ කොළ පවා හිම තැවරී තිබෙන විට දැක ගත හැකි වන්නේ අමුතුම චමත්කාරයකි. විශේෂයෙන් හිම වැටුණු රාත්රියන් තුළදී පවතින නිහඬ බව මුල් කර ගෙනය මෙම ගීත රචක පූජක ජෝශප් මෝර් ගීතය ලියා තිබුණේ. Stille Nacht (Silent Night)යනුවෙන් ඔහු එම ගීතය පටන් ගෙන තිබුණේ ඒ නිසාය.
එමෙන්ම Stille Nacht, Heilige Nacht තුළින් ⁣පූජක ජෝශප් මෝර් පනිවිඩයක් දීමටද උත්සහ කර ඇත. ඒ 'යුද්ධය, කුසගින්න, රෝග සහ ස්වාභාවික විපත් වලින් ගහනවු මෙම කාලයට අවශ්ය වන්නේ සාමය ' බවය.
'ඔබ සැමට ශුභ නත්තලක් වේවා.'
-ශෝන් මැක්ස්මස් දිසානායක-
සියලු ප්‍
A day in the life

Tuesday, December 24, 2024

මිරිදිය ආඳා






මිරිදිය ආඳා හා බැඳුණු අපේ ජන ජීවිතය
ආඳා ගැන අපේ රටේ කතා ගොඩයි! ඉතින් එයින් මන් අහල තියෙන රසවත් තොරතුරු ටිකක් කියන්න හිතුනා! මේ ඔක්කොම කියල තියෙන්නෙ ලංකාවෙ මිරිදිය ජලාශවල ජීවත්වන ආඳන් ගැන!
' ආඳා වගේ ලිස්සල ගියා' ,
' ඕක මහ ගල් ඈඳා ' ,
' ආඳ මාලු ඉරට්ටෙන් කනව වගේ '
' ආඳා යවා තබා වල්පත ගත්තා සේ '
' බණ්ඩක්ක ගොඩේ ලිස්සන ආඳා වගේ'
' නයි මල්ලෙ ආඳා හොයනවා වගේ '
' ආඳා න්යාය '
ආඳා සම්බන්ධ නම් ගම් පවා තියෙනවා
' ආඳා උල්පත '
' ආඳා දොල '
' ආඳ කෙටූ ගල '
මොකාද මේ ආඳා? ලංකාවට ආවේණික සතෙක් ද? පිටරටකින් ආපු එකෙක්ද?
''මෙම කුලයට අයත් විශේෂ 19ක් සහ උපවිශේෂ 6ක් හඳුනාගෙන ඇති අතර, ඒ සියල්ලන්ම Anguilla ගණයට ඇතුළත් කොට ඇත. ශ්රී ලංකාවෙන් මිරිදිය ආඳන් විශේෂ 2ක් හමුවේ.
"පොල් මල් ආඳා
Mottled Eel (Anguilla nebulosa )
කළු ආඳා
Shortfin Eel (Anguilla bicolo )"
*උපුටා ගැනීම - විකිපීඩියා
විකිපීඩියාවල මෙහෙම කිව්වට, වැව්වල මාළු අල්ලන ධීවරයින්ගෙන්, පරිසරවේදීන්ගෙන් ආඳ ගැන මන් අහපු කතාව මීට ටිකක් වෙනස්. ඒ අය කියන විදියට ලංකාවෙ ආඳන් වර්ග දෙකක් ඉන්නව. එක් වර්ගයක් ලංකා ආඳා, අනිත් වර්ගය පොට්ට ආඳා හෙවත් දුඹුරු පොට්ට ආඳා. මෙයින් ලංකා කියල නම තිබ්බට, ඒ ආඳ ලංකාවට ආවේණික එකෙක් නෙවෙයි ! ඒ උනාට පොට්ට ආඳා (Monopterus desilvai, - ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්යක්ෂවරයකු වන, P H D H de Silva මහතා නමින් මේ ආඳා නම්කර ඇත. ) ලංකාවෙ මේ අපේ එකෙක්! ( ඡායාරූප බලන්න) මූ වාසස්ථාන අහිමිවීම නිසා වඳවීමේ තර්ජනයට මූණ දීල තියෙන්නෙ !
මගේ මිතුරන් කිව්ව විදියට ඇතැම් රටවල ඉන්නා මිරිදිය ආඳන්, බිත්තර දමන්න ගංගා දිගේ මූදට යනව! ! උන් මූදෙත් ඈතට පීනලා ගිහින්, බිත්තර දාල එහෙම ම මැරෙනවා, පැටව් ආපහු කලින් මාපියන් හිටිය ජලාවලට පවා එනව කියලත් ඒ අය මට කිව්ව.
ආඳන් ඇල්ලීම - :
මම හිටිය එක්තරා ප්රදේශයක ධීවරයින්ගෙන් අහගත්ත විදියට, ඒ අය මුතුන්මිත්තන්ගෙ කාලෙ ඉඳලම ආඳන් අල්ලන්න පාවිච්චි කරන්නෙ තම්බපු බිත්තරයක් ! බිත්තරය කටුව අයින්කරල කුඩා රෙදිකෑල්ලක ඔතල, ලිහෙන්නෙ නැතිවෙන්න ගැට ගහනව. ඊටපස්සෙ බිලීකටුව ඒකෙ පරිස්සමෙන් අමුණල වතුරට දානව. බිත්තර සුවඳට එන ආඳා ඒක ගිලිනව! ආඳව අල්ලගත්තට පස්සෙ අර බිත්තරය ආපහු අරන් ආයෙ වෙන ආඳෙක් අල්ලගන්න දානව.
සමහර පැතිවල ආඳව වල්දෙල් කොලවලින් අල්ලගන්න පුලුවන් , ඒකෙ බූව නිසා ආඳ ලිස්සන්නෙ නෑ කියනව. හැබැයි එහෙම ආඳො අල්ලන කෙනෙක් මට හම්බවුනේ නම් නෑ. ආඳ ගොඩබිමට ආවම තමයි මෙහෙම අල්ලනව කියන්නෙ !
ගොඩබිමදි දැක්කොත්, ඌ යන පාරෙ අළු දාල තිබ්බම, ඌට ලිස්සලා යන්න බැරිවෙනව. ඊටපස්සෙ අල්ලගන්නව. හුඟක් වෙලාවට කරන්නෙ, මන්නයක් වගේ දේකින් ඌට කොටන එක.
ආඳන්ගෙන් වාජීකරණයක්-:
ආඳට ගොඩබිමත් ටික වේලාවක් ජීවත් වෙන්න පුලුවන් නිසා, අල්ලපු ගමන් මැරෙන්නෙ නෑ. ලංකාවෙ එක්තරා ප්රදේශයක ජීවත්වන ජන කොට්ඨාසයක සමහරු, මේ ආඳව පණපිටින් දානව පාන්පිටි භාජනේකට. ආඳ දඟලල උගෙ ඇඟපුරාම පිටි තැවරුණාම, ඒව හූරල වෙන භාජනයකට දානව. උගේ ඇඟෙන් එන සෙවල වගේ ද්රව්ය ඉවරවෙනකම්ම මේ වැඩේ කරනව.
ඊටපස්සෙ අර සෙවල එක්ක පිටිවලින් රොටි පුච්චල කනව. අපිට අහනකොට අප්පිරිය උණාට, ඒක ඔය ලිහිණින්ගෙ කූඩු( ඒකෙ තියෙන්නෙ උගේ කෙළ. ) වගේම වාජීකරණයක් විදියටයි පාවිච්චි වෙන්නෙ. මේක මන් අහපු දෙයක් නෙවෙයි ඇහින් දුටු දෙයක්.
කඩුක්කන් දැමූ ආඳා -:
ගාල්ලෙ බද්දෙගම පැත්තෙ තියෙන ප්රසිද්ධ තරමක් විශාල වතුර වළක ( සන්දරවළ ) ආඳෙක් ඉන්න බවත්, එක් කණකට රත්තරන් කඩුක්කමක් පැලැඳගෙන ඉන්නා ඌ, ඒ වළේ නිධානයක් ආරක්ෂා කරණ බවටත්, ජනප්රවාදයක් තියෙනව. නියං කාලෙට මේ වළ ඉහින්න පටන්ගත්තම වහිනව කියලත්, ඒ පැත්තෙ අය විශ්වාස කරනව.
මේ කඩුක්කන් දාපු ආඳන් ගැන කතන්දර වෙනත් පැතිවලත් තියෙනවා .
ජීවිත බිලිගන්නා රන්වන් ආඳා-:
මේ වගේ ආඳෙක් ගැන කියවෙන්නෙ, අසුපිණි ඇල්ල ( අහුපිණි ඇල්ල ) ලඟ තියෙන මිනීකඳවළ කියන තැනින් ! ඒකෙ ඉන්න රන්වන් ආඳා උඩට ඇවිත්, අමුතු ආකාරයකට ශබ්දනගන බවත්, එහෙම කරන්නේ බිල්ලක් ගැනීමට බවටත්, විශ්වාසයක් පවතිනවා . ආඳගෙ බිලිගැනීම කොහොමවෙතත්, මෙතන සෑහෙන ගාණක් දියේ ගිලිල මැරිලා තියෙනව.
ආඳා බාදා -:
ගමනක් යනවිට එහෙම නැත්නම් යම් වැඩක් පටන්ගන්නකොට, ඇතිවෙන බාධා විදියට අඳුන්වන පෙරනිමිතිවලට, ඇතැම් ගැමියන් ' ආඳා බාදා ' කියල කිව්වට, ඒකෙයි ආඳගෙයි සම්බන්ධයක් ඒ කතාව මට කිව්ව අය දැනන් හිටියෙ නෑ. සමහරවිට ඒක ආදා බාදා වෙන්නැති.
ගමනක් යන්න එලියට බහිනකොට හූනන් ඇඬීම, බල්ලන් කන්පට ගැසීම , වගේ ඒවා තමයි මේ බාධා!
ආඳා ගැන ජනකවි -:
සමනල අඩවියේ වැහි කළු පෙනෙන්නේ
නොගලා තිබුණු ගඟ බොරදිය නඟින්නේ
පෑදී තිබුණු ගල් මුල් යට කරන්නේ
නයිවල වෙලේ රං ආඳා ලගින්නේ
( රන්වල දෙවියන් පිලිබඳ යාදිනිවල අඩංගු කවියකි. )
මේ අනුව අවිස්සාවේල්ල පසුකර යනවිට හමුවන, රන්වල දේවාලය ආසන්න වෙලේද රන් ආඳකු සිටී!
ස්තුතිය-
මගේ පරිසරවේදී මිතුරන්ට හා, මා අන්තර්ජාලයෙන් බාගත්, මෙහි දැක්වෙන ඡායාරූප හිමිකරුවන්ට.
(කලකට පෙර ලිව්වෙ!)
✍ Channa Withana.
A day in the life

Saturday, December 21, 2024

අපෙන් ඈත්වන කෙම් ක්‍රම එකතුවක්








අපේ පැරැණි මුතුන් මිත්තන් විසින් නිරන්තරයෙන් භාවිතයට ගැණුනු අපේ පුරාණ කෙම් ක්‍රම කීපයක් ගැණයි මෙහි සදහන් වන්නේ.
ඉතින් අපේ දේ වියැකී යන කාලයක හැකිනම් උත්සාහ ගන්න පරිසරයට සතුන්ට ස්වභාවධර්මයාට හානි නොකර වගා කටයුතු කරන්න. ඉතින් අපි බලමු අපෙන් ඈත් වීයන ඒ අපේ කෙම් ක්‍රම කිහිපයක්..
කොස්, අඹ, දෙල්, තැඹිලි වැනි ශාකයක ඵලදාව පුපුරා තැලී කුණු වී යා නම් එම ගසේ ගෙඩි කඩා දෙකට, තුනට, හතරට පලා සැමට දර්ශනය වනසේ කථා නොකර ගස ල විසුරුවා හරින්න. මෙය පලතුරු බෝග සඳහා අත්දුටු ප්‍රත්‍යක්ෂ කෙමකි.මු
පොල්ගස්වල පුහු ගෙඩි හට ගැනීම මෙන්ම පොල්ගස් නූපූදින කළ ද කථා නොකර උදෑසන පොල්ගසේ කඳ වටා පොල්ලෙලි මාලයක් සේ සකසා බඳිනු ලැබේ.
 කැලෑවකදී ආරක්ෂාව පිණිස කැලෑවට ඇතුල්වීමට පෙර කථා නොකර අත්තක් කඩා ගසක එල්ලයි.
කැලෑවකදී මං මුලා වැල් හෙවත් බැදි වැල් පයට පෑගුණ විට කැලෑව තුළ වල්මත් වී අතරමංව පාර සොයාගත නොහැකි වේ. එවැනි අවස්ථාවක කථා නොකර මදු වැලක් සොයා පෑගූ විට පහසුවෙන් ආපසු යෑමට පාර සොයාගත හැකිය.
අලි ඇතුන්ගෙන් වගාවලට මෙන්ම නිවෙස්වලටද මනුෂ්‍යයන්ටද වන හානි වළකා ගැනීමට අති දුර්ලභ මදාරා ගසේ කෝටුවක් හෝ ලීයක් ගෙන කථා නොකර ආරක්ෂා සහිත ස්ථානයක, දුරක සිට අලි ඇතුන්ට දර්ශනය කරන්න. අලි ඇතුන් මදාරා ලීයට බිය බැවින් ආපසු හැරී පලා යයි.
 කැලේදී ඉසේ ඇම්මක් ඇති වුවහොත් දෙඇස වසාගෙන කථා නොකර අතට අසුවුනු ගසක කොළයක් කඩා හොඳින් පොඩිකර නළල දෙපස ගානු ලැබේ.
කුහුඹුවන් පලවා හැරීමට විනාකිරි 1:3 අනුපාතයට ජලය සමඟ මිශ්‍රකර හිමිදිරි පාන්දර කුහුඹුවන් සිටින දෙසට කථා නොකර ඉසීම කළ යුතුවේ.
කුඹුරේ මීයන් මර්දනයට මීයන් තලා දැමූ ගොයම නියර මත දමා මල්වර වූ අවිවාහක තරුණියක ලවා පාගවන්න. මෙය පාවහන් රහිතව කථා නොකර කළ යුතුය.
මීවද ඇති ඉසව් සොයා ගැනීමට බඳුනකට ජලය පුරවා ගස් දෙබලක තබන්න. මී මැස්සෝ එයට පියාසර කර පැමිණෙන දිශාව බලා මී වද ඇති ඉසව් තීරණය කළ හැක.
පැඟිරි වර්ගයේ ශාක වගා කරනු ලබන දෙහි, ‍ෙදාඩම් ඇතුළු ඒ ආශි්‍රත වගාවල පලදාව මුළුමනින්ම නොමැති නම් හෝ පලදාව අල්ප වශයෙන් ලැබේ නම් එම ගස මුලට හානි නොවන සේ ගිනි මැලයක් (දැල්වීම) අතු කප්පාදු කිරීම හෝ එම අතුවලට හිරිහැර කිරීම, අතුවල පොල් ලෙලි එල්ලීම කරන්න.
ගොයම් මැස්සන් එළවීමට ඇත්නම් කැන්ද අත්තක් ගෙන කුඹුරට ගොස් "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් 21 වරක් අත්තට මතුරා පසුව "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් කුඹුර වටේ යමින් කුඹුරේ ඇති ගොයම් දෙසට අත්තෙන් ගසමින් කපු මහතුන් දේවාලයකදී මොනර පිහාටු එක්කර ඔබට ආශීර්වාද කරන ආකාරයට සිදු කරන්න.අලුයම හිරු උදාවට පෙර කළ යුතු බවත් එවිට ගොයම් මැස්සන් එම කෙම් ක්‍රමය අනුව ඉවත් වන බවත් පැවැසේ. ඇතැම් විට මෙය කරනු ලබන අයගේ කුඹුරට මෙම ක්‍රමයෙන් ප්‍රතිඵල ලද විට අසල ඇති කුඹුරේද ඒ ආකාරයට ගොයම් මැස්සන් සිටී නම් නැවත ඒමට ඉඩ ඇති බැවින් සාමූහිකව තම තමන්ගේ කුඹුරුවල පවත්නා ගොයම් මැස්සන්ගෙන් සිදුවන වගා හානිය වළක්වා ගැනුමට ක්‍රියා කළ යුතුය.
වෙනත් කෘමි උවදුරුවලට
ගොඩ ගොවිතැන් කරන ගොවි මහත්වරුන්ටද වෙනත් කෘමි වර්ග නිසා ඇතිවන වගා හානිය වැළක්වීමටද මෙම ක්‍රමය උපයෝගී කර ගත හැකියි.
කතා නොකර කැන්ද අතු කිහිපයක් කඩාගෙන පැමිණ ඉතා පිරිසුදු භාජනයකට (වංගෙඩියකට) එම කොළ සියුම්ව කුඩා කැබැලිවලට කපා සකස්කර දමන්න. ඉන්පසු එයට අමුකහ ස්වල්පයක්ද එක්කර කොටා පසුව එම කොටාගත් මිශ්‍රණයට එකට දහය යන පරිමාවට වතුර මිශ්‍රකර වතුරේ හොඳට කලතමින් දිය කරන්න එසේ දියකර ගත් වතුර පෙහරන්කඩයක් උපයෝගී කරගෙන පෙරා පසුව තුන්වරක් හෝ 7 වරක් මේ ආකාරයට පෙරා සුදුසු භාජනයකට ගන්න.
ඉන්පසුව මස් මාංස අනුභව කිරීමෙන්, මත් පැන් පානය කිරීමෙන් වැළකී තමන් පිරිසුදුව සුදු වස්ත්‍රයකින් සැරැසී මල් බුලත් පුටුවක් සාදා ගෙන පෙරාගත් බඳුන ඒ මත තබා තෙරුවන් සිහිකර බුදුන්වහන්සේට පහනක් දල්වා පසුව ප්‍රදේශයට අධිපති දෙවියන් උදෙසා පහනක් දල්වා දේව මණ්ඩලයද සිහිපත්කර තෙරුවන් නැමද, රතන සූත්‍රය තුන් වරක් හෝ හත් වරක් කියා පසුව මහා මංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින්දී මා මේ කරනු ලබන්නා වූ උතුම් කාර්යය සඳහා ඔබ වහන්සේගේ ආශීර්වාදයද ලැබ මෙම කෘමි උවදුරෙන් මාගේ, අපගේ කුඹුරට බලපා ඇති සියලුම දෝෂ දුරු කරදී ආරක්‍ෂාව යහපත උදාකර දෙනු මැනව කියා වැඳ නමස්කාර කර,
අම්බම් මැස්සෝ - බ්‍රම්මම් මැස්සෝ, ගැටවම් මැස්සෝ, පිලවම් මැස්සෝ, මැසි මදුරුවෝ පෝග පෝග ඒසවාහ-- කියමින් එම භාජනය තමන්ගේ මුඛය අසලට ළංකර ගතහැකි අන්දමට ගෙන සුවඳ කුඩු තමන්ගේ ඇඟිලි තුඩුවලට ගෙන මුඛයට ළංකර මෙම මන්ත්‍රය කියමින් එය අවසානයේ ගිනි කබලට එම ජීවම් කළ කුඩු දමමින් දුම් දෙමින් 108 වරක් මතුරා ගන්න. හැකිනම් කුඹුරේ නොපෑගුණු ස්ථානයකින් වැලි හෝ පස් හෝ (සියුම් ලෙස කුඩු කරගත යුතුය.) ගෙන ඒවාද මෙම මල් බුලත් පුටුවේ තබා ඒ සමඟම ජීවම් කරගන්න. පසුව පාන්දර හිරු උදාවීමට පෙර "කැන්ද කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් (තොල් මතුරමින්) කුඹුරට ඉසින්න. වැලි සහ පස්ද ඒ ආකාරයටම ඉසින්න. මෙම කෙම් ක්‍රම අනුගමනය කිරීමේදී තමා විසින්ම ඉතා කැපවීමකින් කරගත යුතු බව සිතන්න.
ඉහත සඳහන් කළ කැන්ද කොළවලට ග්ලිසිරීඩියා හෙවත් ඇතැම් ප්‍රදේශවල භාවිත කරන මැටි මාර කොළ සහ මල්ද මිශ්‍රකර කොටා ඒ ආකාරයට සකස්කර ගතහොත් මෙම කෘමි උවදුරට මීට වඩා ප්‍රතිකර්මයන් කිරීමට ඉඩ ඇති බවයි. ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමුකොට පළමුව සුළුවෙන් සකස්කර ගෙන සුළු ප්‍රමාණයකට ඉස ඒ පිළිබඳ අත්හදා බලන්න.
සතුන්ගේ උවදුරු නැසීමට
හේනට හෝ කුඹුරට අලි, ගෝන, වල් උෟරන්, මීමින්නන් ඇතුළු විවිධ සතුන්ගෙන් අලාභහානි කරයිද, කතා නොකර ගොක් කොළ රැහැන් කිහිපයක් ගෙන එම වන සතුන් එන මාර්ගවල තීරුවලට ඉරාගෙන මාර්ගය අහුරා ඇද දමන්න. මෙයද ඉපැරැණි කෙම් ක්‍රමයකි.
මී උවදුරට
මීයන් විශාල වශයෙන් බෝවීම නිසා හේනේ කුඹුරේ මෙන්ම ගොවි පෙළේද වගාවන්ට සිදුවන විනාශය අති විශාලය. කුඹුරේ ගැවසෙන මීයන් නිසා මී උණ වැනි භයානක රෝගයන්ටද ගොවි මහතුන්ට මුහුණදීමට සිදුව ඇත. එමෙන්ම නිවෙසේද පොත්පත්වලටද ඇඳුම් ආදියටද විවිධ ආහාරවලටද හානි සිදු කරයි.
කුඹුරේ, ගොවිපළේ මෙන්ම නිවෙසේදී මීයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල බළල් බෙටි සමඟ අමු ගොම මිශ්‍රකර කතා නොකර තබන්න.
ග්ලිරිසිඩියා හෙවත් වැට මාර නමින් හඳුන්වන ශාකයේ මල් පොකුරු කිහිපයක් මීයන් සිටින ස්ථානවල තැබීමෙන්ද, වඳවීම හෝ ඉවත්වීම සිදුවේ. කතා නොකර මෙය කළ යුතුය. ඇතැම් ප්‍රදේශවල ඉපැරැණි ගොවි මහතුන් තමන්ගේ කුඹුරේ මීයන් වඳ කිරීම සඳහා ග්ලිරිසිඩියා ගස්වල මල් අමු කොළ එකට දමා කොට, අමුගොම සමඟ හොඳට මිශ්‍ර කර භාජනයකට දමා ගව මුත්‍ර දමා සතියක් පමණ වසා තබා එම දියරය මීයන් වසන ස්ථානවල විශේෂයෙන් කුඹුරේ ලියදිවල ඇති මී බෙන තුළට කතා නොකර දැමීමෙන් මීයන් වඳ වේ.
කෘමි උවදුරට
කුල්ලක ලාටු ගා පැළ අතර එහා මෙහා ගෙන යෑමද, රාත්‍රි කාලයේදී කැකුණ තෙල් පොඟවා ගත් පන්දම් කුඹුරේ දැල්වීමද සිදුකර ඇත. ඒ මඟින් කෘමීන්ගෙන් වගාවන් ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇත.
පලතුරු වගාවට
පලතුරු වගාවන්වල ඇතැම් මැස්සන් හා කෘමින්ගෙන් විශාල හානි සිදුවේ. මේ සඳහාද විවිධ කෙම් ක්‍රම භාවිත කර ඇත. පෙරමෝන උගුල නමැති බෝගල් හෝ එවැනි උපකරණ සම්බන්ධ කර ගෙන කළ ක්‍රියාවන්ද පැවැත ඇත. කෘමි සතුන් පාලනය කිරීමට කෘමි විකර්ෂක ශාක වගා කිරීමද භාවිත කර ඇත. නියරවල් දිගට දහස්පෙතියා, සූරියකාන්ත, කපුරු වැනි ශාක හිරු උදාවට පෙර කතා නොකර ගොස් ගොයම් පැළ සිටුවීමත් සමඟ හෝ ඉන් ටික කලකට පසු වගාකර ඇති බව සඳහන් වේ. මෙම මල් වගා කිරීමේ හේතුවෙන් කෘමීන් වඳවීම හෝ එම ප්‍රදේශයෙන් ඉවත් වී ඇති බව ප්‍රකට වී ඇත.
ගෙවත්තේ පලතුරු ගස්වල මල් පිපෙන සමයට හීරැස්ස වැල් කැබැල්ලක් ගසේ නැගෙනහිර දිශාවේ අත්තක බැඳ තබන්න. ඇස්වහ කටවහ දෝෂ දුරු වීමට මෙම කාර්යය කිසිවකුට නොපෙනී කතා නොකර ඉර පායන්න පෙර සිදුකිරීම කළ යුතුය.
කොස්, දොඩම්, අඹ, බෙලි, කෙසෙල් ආදී පලතුරු ගසේදී පුපුරා විනාශ වීම වැළැක්වීම සඳහා කෙම්මුර දිනයක අලූයම යකිනාරං අත්තක් ගෙන පලබර ගසේ නැගෙහිර දෙස කඳ පිරිමැද ගසමුල අත්ත සිටුවන්න. ඇස්වහ කටවහ නිසා පලතුරු පුපුරා විනාශ වීම නවතී.
කුඹු‍රෙන් සරු අස්වැන්නක් ලැබීමට ඇටි කෙසෙල් අලයේ යුෂ මී ඇට තෙල් ගෙන ඉවර වු පසු ඉතිරි වන රොඩ්ඩ සමඟ මිශ්‍ර කර එම යුෂයෙන් බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.
 වී අස්වැන්න සරු සාර වීමට බුලු ගසක බදින ලද පිළිලයක් පුවපල් නැකත යෙදී ඇති දිනක ගලවා කුඹුර මැද දැමීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැක. ගොයමි පාගන විටදී ද එවැනි පිළිලයක් කමතේ වැලලීමෙන් ද වැඩි අස්වැන්නක් ලැබේ.
ලබු කිඳ කොටා යුෂ ගෙන එයට අමු ගොම මීශ්‍ර කර දිය කරන්න. මේ මිශ්‍රණය දිනක් හෝ දෙකක් පල්වෙන්නට හැර බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.
කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කොල කන පණුවන් මර්ධනය කිරීමට වක්කඩට කැප්පිටියා කොළ දමන්න.
කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කෘමින්ගෙන් වී වගාවට හානි සිදුවේ. මෙවැනි අවස්ථා වල කුඹුරෙහි තැනින් තැන ඉනි සිටුවා ඒ මත පොල්ලෙල්ලක් හෝ ලෑල්ලක් වැනි දෙයක් තැබීමෙන් දිවා හා රාත්‍රි කාලවලදී ඒ මත විවිධ කුරුල්ලන් වසා කෘමීන් ආහාරයට ගනී. ඒ මඟින් කෘමීන් මර්ධනය කල හැක.
විවිධ කුරුල්ලන්ගෙන් ගොයමට වන හානි වලක්වා ගැනීමට මා නැකත ඇති දිනක මී ගසක මුලක් ගලවා කුඹුරේ මැද සිටුවන්න.
කුඹුරට මීයන්ගෙන් වන හානිය මර්ධනය කිරීමට අන්නාසි කොළ ගෙන ඒවායේ බුලත් විටට ගන්නා හූණු වලින් ඉරි ඇඳ ඒවා කුඹුරේ තැන්තැන් වල දමන්න. මේවා බැලු බැල්මට සර්පයන් සේ පෙනෙන බැවින් මීයන් ඒම වැලකේ.
වී වගාවේ පුරුක් පණුවන් මර්ධනයට පොල්පිති කපා ඒවායේ හිස කොටස ඉහළට සිටින සේ කුඹුරෙහි සිටුවීමෙන් ඒ මත වසන කුරුල්ලන් පුරුක් පණුවන් ආහාරයට ගැනීම නිසා පුරුක් පණුවන් වඳ වේ.
පොල් කොමිබයකට පිලිස්සුණු එන්ජින් ඔයිල් යොදා පහනක් දැල්වීමෙන් කුඹුරේ සිටින පුරුක් පණුවන්, දළඹුවන් , ගෙප්මැස්සන්, ගොයම් මකුණන් ආදී සතුන් ගෙන් වන හානී අවම කර ගත හැක.
කුඹුරේ වක්කඩ ළඟ වලක් හාරා එයට කොහොඹ කොළ , කදුරු කොළ , දලුක් කොළ, දොඩම් කොළ, තිත්ත කිඳ ,කලවැල් වැනි සැර ගඳක් ඇති කොළ වර්ග එම වලේ රඳවා තැබීමෙන් වතුර සමඟ මීශ්‍රව කුඹුර පුරාම ඒවා ගලා යන නිසා ගොයමේ ඇති විවිධ කෘමීන් මර්ධනය වේ.
 කුඹුරේ නියරවල පලා වර්ග එළවලු වර්ග වගා කිරිමෙන් පළිබෝධ හානී අඩු කර ගත හැක.
 හිනි මිරිස්, නයි මිරිස්, වියළි මිරිස් වැනි සැර ගඳ ඇති දෙයක් අඹරා ජලයෙහි දියකර ඉසීමෙන් ගොයමේ පැල මැක්කන් වඳ කර ගත හැක.
 දුඹුරු පැල කීඩෑවන් නිසා ගොයමට වන හානිය වලක්වා ගැනීමට කුඹුරේ වතුර හිස් කර ගොයම් ගස් මුලට අව්ව වැටීමට සලස්වන්න.
 දුඹුරු පැල කීඩෑවන් සිටින ස්ථාන වලට ,
අලු වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
වැලි වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
ගෝනි පඩංගු භූමී තෙල් වලින් පොඟවා කුඹුරේ තැන් තැන් වල දමන්න.
ඉබි කුරුමිණියා ,ඔක්සිඩිසින් මකුලුවා , රතු කාවා ,රතු කඩි කුරුමිණියා වී ගොවිතැනේ හිතකර කෘමීන්ය. මොවුන් පළිබෝධකයන් ආහාරයට ගන්නා නිසා පළිබෝධ නාශක ඉසීමක් අවශ්‍ය නොවේ.
කෙම්මුර දිනයක දිය නා පිරිසිදු පිරුවටයක් ඇඳ දිය කිරිල්ල අත්තක් කඩා ගෙන.
“ඕං නමෝ මෙති මෙති මලා මෙතියේස්වාහං“
යන ගාථා මන්ත්‍රය 10වරක් මතුරා කුඹුරේ සිටුවීමෙන් වී ඇහිලීමට කුඹුරට එන කුරුල්ලෝ අඩු වේ.
වී වැපුරුවිට විවිධ කුරුල්ලෝ වී ඇහීළීමට එති. එය වලක්වා ලීමට මල් කෑර කෝටු හතරකට
“නමෝ මහා මෙහි ගන්නේ මමයි ඒහි ඒස්වාහං“
යන මන්ත්‍රය 108 වරක් මතුරා කුඹුරේ හතර කොනේ සිටුවීමෙන් කුරුල්ලෝ වී ඇහීලීමට නෙඓති.
 වී කුඹුරට ඉස දින 3 ක් 4ක් ගත වු පසු විවිධ කෘමීන් ඒම වැළැක්වීමට අලු ටිකක් ගෙන
“ සබ්බ පාපස්ස අකරණං“
යන ගාථාව මතුරා කුඹුරට ඉසින්න.
 වක්කඩ අසල තරමක වලක් හාරා ,වරා කොළ හෝ දලුක් අතු හෝ කැප්පෙටියා අතු දැමීමෙන් කෘමීන් කුඹුරට ඒම වළක්වා ගත හැක. සමහර කාල වල කුඹුරට ගොලුබෙල්ලෝ බෝ වේ. එවිට ලියැදි වල වතුර බැඳිමෙන් ගොලුබෙල්ලෝ නියරට ඒම නිසා කපුටන් කා දමති.
 බිත්තර වී වපුරණ විට “ සබ්බ පාපස්ස අකරණං“ යන ගාථාව සත් වරක් මැතිරීමෙන් කෘමී උවදුර අඩු කර ගත හැක.
 කටු වල අල ශුද්ධ කීරීමෙන් පසු පිට පොත්ත සහිත ලෙලි එකතු කර ඒවා වක්කඩ ළඟ පොඩි වළක් හාරා එයට දැමීමෙන් වේ උවදුර වලක්වා ගත හැක.
 නොපෑගුන ස්ථානයකින් වැලි ටිකක් ගෙන මල් බුලත් තට්ටුවක තබා ,
“ඕං නමෝ ඇති නිමී යේස්වාහං“
යන මන්ත්‍රෙයන් 108 වරක් මතුරා ඉසීමෙන් මීයන් ඒම වළකී.
පීදෙන ගොයමට ගොයම් මැස්සන් බෝ වීම බහුලව සිදුවේ. යායක් එකම කාලයකදී වැපීරීම මඟින් මෙය බොහෝ දුරට අඩු නර ගැනීමට හෝ වලක්වා ගැනීමට පුළුවන. රාත්‍රී කාලයේදී ලන්තෑරුමක් එල්ලීමෙන් ද ගොයම් මැස්සන් අඩු කර ගත හැක.
 වැලි අහුරක් ගෙන “ නමෝ තීල තීල අභිලේස්මාහං“ යන මන්තරයෙන් 21 වරක් මතුරා කුඹුරට ඉසීමෙන් ගොයම් මැස්සන් වඳවේ.
 කඹයක් හෝ කොහු ලණුවක් තැනින් තැන රෙදි පාන්කඩ දවටා දුම්මල තෙල් හෝ කැකුණ තෙල් පොඟවා කුඹුරේ ගොයම් කොළ වල ගෑවෙන සේ ඇදීමෙන් ගොයම් මැස්සන් වඳවේ.
දීග ලීයක කුල්ලක් බැඳ කුල්ලේ යම් මැලියම් වර්ගයක් ගා ගොයමේ කුල්ල ඇතිලිලීමෙන් මැස්සන් වඳ කරගත හැක.
 රුක් අත්තන ගසේ පොතු වේලා වංගෙඩියේ කොටා පිටි කර එම පිටි කුඹුරේ කීඩෑවන් සිටින ස්ථාන වලට ඉසීමෙන් මැස්සන් වඳ කරගත හැක.
ගොයම් වැඩී ඇති අවස්ථා වලදී ඇස්වහ කටවහ දෝෂ ද ඇති වේ. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පඹයෙකු සාදා සවි කරන්න.
පොල් කොළ අග්ගිස් කෑලි 7 ක් ,වියළී මිරිස් කරල් 7ක් , දෙහි කොළ 7ක් ,මිරිස් ඇට 7 ක්, සීනක්කාරම් හා අළු ස්වල්පයක් දමා කථා නොකර කුඹුරට දුම් ඇල්ලීමෙන් ඇස්වහ කටවහ දෝෂ දුරු වේ.
 මීයන්ට , අමු ගොම හෝ එළු බෙටි පොල් කටු වලට දමා කුඹුරේ තැනින් තැන තබන්න. වැට මාර ගස්වල වල පොතු බත් සමඟ මීශ්‍ර කර ගුලි කර කුඹුරේ තැනින් තැන වල දමන්න. වැට මාර මල් කුඹුරේ තැනින් තැන විසුරුවා හරින්න.
මීයන්ට, කුරුල්ලන්ට - ගොයමට උඩින් පොලිතින් පටි, කැසට් පටි අදින්න.
පීදෙන ගොයම ගොයම් මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමට , හිමිදිරි පාන්දර කුඹුරට ගොස් කථා නොකර ‍ගොයම් මැස්සකු අල්ලා ගන්න. වියළි මිරිස් කරලක් ගෙන අග කොටස තරමක් කඩා අල්ලා ගත් මැස්සා එතුළට දමා නූලකින් මැස්සා පිටතට නොඑන ආකාරයට බදින්න. ඊට පසු කථා නොකර ගෙදරට පැමිණ එය දුම් මැස්සේ නටුව උඩට සිටින සේ එල්ලන්න. දුම් වදිනවිට මැස්සන් වඳවේ.
එසේම දෙහි ගෙඩියක ඇස්ස කපා පෙර පරිදිම ගොයම් මැස්සකු එතුළට දමා දුම් මැස්සේ දුම් වඳින සේ එල්ලා තබන්න.
 ලබු ගෙඩියේ ඇස්ස කපා ගොයම් මැස්සකු අල්ලා ගෙන ඒ තුළට දමා ඇස්ස වසන්න. එය රැගෙන කුඹුරේ වටේට ගොස් කුඹුරේ මැද ඉන්නක් සිටුවා ගොක් කොළයක් බැඳ ගෙඩිය එහි තබන්න. ගොයම් මැස්සන් වඳ වේ.
 කුඹුර වටේ හතර කොනින් ගොයම් මැස්සන් හතර දෙනෙකු ද හරි මැද්දෙන් තවත් ගොයම් මැස්සකු ද හිමිදිරි පාන්දර කථා නොකර අල්ලා ගන්න. ඊට පසු හිගුරළ වැලක පොළවේ සිට අඩියක් පමණ ඉහළින් එහි පොත්ත ගලවා මැස්සන් පස් දෙනා පොත්තට මැදි කර ගොයම් ගසකින් බඳින්න. වැල මැරි යන ආකාරයට ගොයම් මැස්සන් වඳ වේ.
 ගොයම් මැස්සන් පස් දෙනෙකු අල්ලා එය හරකෙකු, බල්ලෙකුට ,කුකුළෙකුට ගිල්විය යුතුයි.ඒ සමඟම කුඹුර හිමියා ද තුන් වරුවක් කුඹුරට නොයා යුතුයි.
කුඹුරේ මැසි මදුරුවන් වැඩි වේ නම් සිව් කොනේ කෝටු හතරක් සිටුවා ගොටු සවිකර ඒවාට දිහේ පෙඟවු මුං ඇට ස්වල්පයක් දමන්න. මුං ඇට පැළ වේගන එන විට මැස්සන් දුරුවේ.
 හීන් කොච්චි ,හිනි මිරිස්, පල්මානික්කම්, සිනක්කාරම්, සහිඳ ලුණු, එක තරමට ගෙන අඹරා ගුලි කර වල් ලුණු අලයක් ගෙන මදය ඉවත් කර එම ගුලිය එහි තබා සිදුර වසා කුඹුරේ සිව් කොන වැළලීමෙන් ,අලය කුණුවී යන විට ගොයමට පැමිණෙන කෘමීන් මර්ධනය කර ගත හැක.
කෙම්මුර දිනයක ඇඹුල් දොඩම් ගෙඩි 4ක් 5ක් කඩා ගෙන කුඹුරේ ස්ථාන කිහිපයක වැළලීමෙන් ගොයමට එන මැස්සන් දුරුවේ.මෙහි අන්තර්ජාලයෙන්උපුටා ගත් කරුණු ඇතුලත් වන අතර මේ දැනුම පැරණි මුතුන් මිත්තන්ගෙන් අපට උරුම කල දුන් ඒවා වේ.
අන්තර් ජාලයෙන් උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතියි.

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon