Monday, July 17, 2023

( අ) සමබර මාධ්‍ය.


දකුනේදී මාලිමාවක් වුයේ නම්  අලි, පොහෝට්ටු  ටෙලිපෝනයෙන් පහර කෑමටත් ,

අලියෙක් වුවොත් මාලිමාවෙන් , ටෙලිපෝනයෙන් පහරකෑමටත්,

පොහොට්ටුවක් වුනොත් මාලිමාවෙන් සහ ටෙලිපෝනයේ  ප්‍රහාරයටත් ,

ටෙලිපෝනයක් වුනොත් මාලිමාවේත් පොහොට්ටුවේත් අලින්ගෙන් පහරකෑමටත්

කාටවත් නැති එකාට හතර වටින්ම ප්‍රාහාර එල්ලවීමත් මේ දවසේ දේශපාලන ක්‍රියාකාරකම වී තිබේ.

ඔය කාගෙවත් එළියෙන් බැබලෙන්න අදහස් නොකරන එකාට හැමෝම පෙනෙන්නේ එකම මල්ලේ ගොරකා ලෙසයි.

උතුරේදී ද ජනතාවත් මේ අර්බූදයට මුහුණ දෙති. අර මම මුලින් කී ලකුණු පමනක් වෙනස් වී  ඇත.

හැම එකාම බලයට මහත් පොරයක යෙදී සිටිති.

මිත්‍යාව වපුරන්නේය. බිය ඇති කරන්නේය.ගොඩ වැඩි කරගන්න ඕනෑම අළුගුත්තේරු වැඩක් කතාවක් කීමට පසුබට වන්නේ නැත.

 

මේ දිනවල ඇමතියා තනතුරෙන් යන තුරු   රෝහල් වල  රෝගීන්  මියයන්නේය. ඇමතියා ගිය පසු  මේ  අර්බුදය නිමවන්නේ ද?. ඖෂධ යනු හොද ජාවාරමකි. කුඩු මත්ද්‍රව්‍ය වලට වඩා නීත්‍යානුකූල අලවියක් ඇති ඖෂධ පහලම මට්ටමේ වෛද්‍යවරයාගේ සිට ඇමතියා දක්වා කොමිස් ආදායම් ලබන ව්‍යාපාරයකි.

විදේශීය ඖෂධ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්  මෙහෙවන මාෆියාවකි. සේනක බිබිලේ මැතිතුමන් ජීවිතයෙන් වන්දි ගෙවන ලද්දේ ‍මේ විදේශීය ඖෂධ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්ට අලාබදායිවු ඖෂධ ප්‍රතිපත්තියක් බිහිකළ බැවිනි.

ඇමතියාගේ පටන් සියළු දෙනා ජාවරම් කරුවෝය. සියළු ආනායනකරුවන් සමසේ ජාවාරමට සහභාගීවී නම් රෝගීන් රෝහල්වල හදිසියේ මිය යන්නේ නැත.

සියල්ලෝම බෙදා ගෙන කන්නේය.

රෝගියා අසරනව මිය යන්නේය. මෙවන් ප්‍රසිද්ධියක් නොලැබෙන්නේය.

 

මෙයත්  එවැනි මාධ්‍ය අසාධාරණයක් පිළිබදවු ප්‍රවෘත්තියකි අසාධාරණය සිදුවුයේ විපක්‍ෂනායකවරයාටයි. අපට නොවේ.

 

දළදා පෙරහැර පවත්වන කාලවකවානුවේ වැය වන විදුලියට  විදුලි බල මණ්ඩලය විසින් දියවඩන නිළමේට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර එහි වටිනාකම තැන්පත් කරන ලෙස ඉල්ලා ඇත.

විපක්‍ෂ නායකයාට අනුව මෙය ජඩ නින්දිත ක්‍රියාවකි. බෞද්ධ ජනතාවට කරන ලද නිග්‍රහයකි

විදුලි බල මණ්ඩලය පවසන්නේ හැම වර්ෂයේම මෙසේ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවයි.

දියවඩන නිළමේ පවසන්නේ  බිල්පත  අනුව පෙරහැර අවසන්වු පසු සෑම වර්ෂයකම විදුලි බල මණ්ඩලයට මුල් ගෙවා ඇති බවයි.මෙවර ඇස්තමේන්තුවක් එවමින් විදුලි බල මණ්ඩලය මුලින් මුදල් තැන්පත් කරන මෙන් ඉල්ලා ඇති බැවින් පෙරහැරට පෙර මුදල් ගෙවන බවයි.

 

දළදා මාලිගාව පොහොසත්ය. විදුලි බල මණ්ඩලය දුප්පත්වි ඇත.

 

එකම ප්‍රවෘත්ති විකාශණයේ මේ ප්‍රවෘත්ති තුනම විකාශණය වු විට විපක්‍ෂනායක තුමාගේ ප්‍රකාශයේ හුලං බැස ගොසිනි.

 

විචාරශීලි ජනතාව දේශපාලන කතාබහ තක්සේරු කරමින් සිටී. අතීතය අමතක නොකර වර්ථමානය ගලපයි.එහෙයින් බලයට බලා සිටින කොයි කවුරුවත් කෙටි මං නොසොයා  යායුතුවේ.


notes of imaginary

Sunday, July 16, 2023

මා වෙනුවෙන් පමණක්ම නොවෙයි .


මහතුනේ
මේ මහා වෑයම
මා වෙනුවෙන් පමණක්ම නොවෙයි
ඔබ,මා,අප වෙනුවෙනුයි මේ අරගලය
අර විසල් ප්රාසාද පවුරු තුළ
අපේ දහදිය කඳුළුද
අපේ බදු මුදල්ද නිධන්ගත වී ඇත.
ඒ සා අයුක්තියක් ළඟ
නිහඬ විය හැකිද ප්රේමණීය මිනිසෙකුට
සත්යවාදී මිනිසෙකුට
මහතුනේ
ආර්ථික අයුක්තිය
රැගෙන යා හැකියි මහා යුද්ධයකට
අවතැන් විය හැකියි දහස් ගණනක්
විය හැකියි ඊළඟ පරපුරට මළගමක්
හිරු නොනගින
මහා අඳුරකට වුව
රැගෙන යා හැකියි ආර්ථික අයුක්තියකට
මහතුනේ
ඉවසාගත නොහීනම් මේ නැගිටීම
වෙඩි උණ්ඩයක් එවිය හැකියි මා වෙතට
මියගිය පසු වුවද මා
මේ අරගලය නුඹට නවතා දැමිය නොහැකිමය
දිනෙක ,
යුක්තියේ සුවඳ නුඹට දැනෙනු ඇත.
මහතුනේ
නිමාවූ පසුව මේ මෙහෙවර
හිනාවුණ පසුව අනාගත පරපුර
මල් නැතුවාට කමක් නැත
දමා ගසන්න ගල් මුඟුරු
දරාගත හැකිය ඒ රිදුම
සෝමලතා හේරත් මැණිකේ
(කවි නොවේ)
මුහුනු පොතට එක් කල පද පෙලකි.
notes of imaginary

Friday, July 14, 2023

උදාසීන රජුන් හිංසාකාරී රජුන්ට වඩා අගෙයි.


එදිනෙදා අහල බලන දේවල් සමග සිහිවන එක් දෙයක් නම් ඊසොප් ගේ කතාන්දර අදටත් ගැලපෙන්නේ නොවේදැයි යන්නය.   ඊසෝප්ගේ කතා උපහාසයෙන් සහ උපහැරනයෙන් යුක්ත විය. මින් අවුරුදු දෙදහස් පන්සියකටත් ,ක්‍රිස්තු පූර්ව හයසියයේ පමන ඉහත ඉතිහාසයේ ග්‍රීසියේ   ඊසොප් වාසය කලේය.

මේ කතා  ඊසොප් සොයා ගිය  චාරිකාවකදී හමුවු අපට ගැලපෙන කතා විය හැක.  ඒ චාරිකාව අතර ඔහු ගැනත් කතාවලදී  හමුවන පාත්‍රවර්ගයා,ගැනත් යම් යම්  සටහන් එකතුකරන බව සටහන් කරමි.

අද  කතාවේදී හමුවන එක් චරිතයකි සියුස්.

ඔහු  ග්‍රීසියේ ඔලිපස්කන්දේ වාසය කලේය. සෑම ප්‍රධාන ග්‍රීක දෙවිවරුන්ගේ පියා සහ රජතුමා වුයේ සියුස්ය .  ඔහු සියළු මනුෂ්‍යයන්ගේත්  සත්‍වයින්ගේත් මැවුම්කාරයා විය.

සිංහල වහරේදී සියුස් යන්නෙන් අදහස් වන්නේ අහසය .  සියුස් සියල්ලේම මැවුම් කාරයා හෙයින් කළ කී ක්‍රියාකාරකම් අනන්තය. අප්‍රමානය. වලාකුලූ රැස් කර වැස්ස මැවුවේත් සියුස්ය. ඔහුගේ අවියවුයේ හෙන පහරය.

සියුස් ගේ පෞද්ගලික ජීවිතය ගැනත්  කතා බොහෝය. ඔහු හංසයෙකු,ගවයෙකු හෝ වෙනත් විලාශ මවා ගෙන මිනිස් ලොවට පැමිණ අන් ස්ත්‍රීන් ඇසුරු කල කතා පුවත් ඇත.

එබදු එක් කතාවක ඔහුගේ අනියම් බිරිද  වුයේ ‘අල්ක්මිනා “ නම් කතක්ය  .සියුස්ට දාව ඇයට හෙරැලීස් ( හර්ක්‍යුලස් HERCULES  ) උපන් බවට  විශ්වාශයක් ග්‍රීකයන් අතර පවතින්නේය. ජනප්‍රවාදයේ සියුස්ගේ  බිරිද වු “ හේරා“  මෙම අනාචාරයට වෛර කලේය. ඒ නිසාවෙන්දෝ ඈ හර්කියුලස්ටත් වෛර කලේය.

 මැව්ම්කාරයා වු සියුස් හමුවන්න නිතර නිතර මිනිසුන් සහ සතුන් ගොස් තම අඩු ලුහුඩුකම් පිලිබදව පැමිණිලි කලේය.උදව් උපකාර ලබාගත්තේය.

 එසේ පිට පතා ගිය  මැඩි දූත කන්ඩායමක අවබෝධතා ගිවිසුමක් හා ව්‍යාපෘතියක් පිලිබද වාර්තාවක් අද කතාවට පාදක වන්නේය.

එක් විලක ජීවත්වු මැඩි රැළකට  තම ගහනය වැඩි  වන විට පාලන අර්බුධ ඇතිවන්නට විය . නිසි පාලකයෙක් නොවු බැවින් මේ තත්වය දිනෙන් දින වර්ධණය වී නිතර නිතර කණ්ඩායම තුල අරගල ඇතිවන්නටත් සටන් ඇතිවීමත් සිදුවිය.

 මෙම තත්වය පාලනය කරගැණිමට නොහැකිවු විට සියල්ලෝ එකතුවී සාකච්ඡා කර මෙයට උපක්‍රම සෙවීය.  තමන්ට පාලනය කිරීමට රජෙකු සිටියහොත් මේ තත්වය පාලනය කර ගත හැකි බව අවසානයේදී ඔවුන්ට අවබෝධ විය.    මැඩියෝ  සාකචඡා පවත්වා තීරණයකට එළඹ  තමන්ට රජෙකු ලබා දෙන ලෙස ඉල්ලා සියුස් *** දෙවියන් වෙත දූත කණ්ඩායමක්  යවීය.

මේකටත් මා ලගට එන්න තරම් මුන් කොතරම් මෝඩදැයි සිතු සියුස් දූතයා හට “මම මේකට විසදුමක් දෙන්නම් “ කියා  ආපසු හරවා එවීය.මැඩියෝ බලාපොරොත්තු සහිතව ටික දිනක් බලා සිටියේය. එක් දිනක පාන්දර විලෙන් විශාල ශබ්දයක් ඇතිවිය. මැඩියෝ බියපත්ව විල් පත්ලේ සැගවී වෙන්නේ මොකක්දැයි විමිලිමත්ව සිටියේය. ටික වෙලාවක් මෙසේ සැගවී සිටින විට කැළඹුන විල් දිය ක්‍රමයෙන් නිසල විය.       එකා දෙන්නා දිය මතට පැමිණ විපරම් කරන විට පාවෙමින් ති‍බෙන දර කොටයක් දුටුවේය.

විශාල ශබ්දයත් සමග විල් පතුලට ගිය මැඩියන්ට දුත ගමන් ගිය මැඩි කණ්ඩායමේ ප්‍රධාණියා ,   මේ සියුස් පත් කල රජා යයි  මැඩියන්ට හදුන්වා දුන්නේය. එදා සිට දර කොටය මැඩියන්ගේ  රජතුමා බවට පත්වුනේය.

අළුත් රජතුමා පැමිණි පසු මැඩිරැළ සන්සුන් විය. විවිධ ක්‍රියාකාරකම් කරමින් ජීවත්වු නිසා විලේ පරිසරයද නැවුම් විය.නිසලවු කොටය පාවෙමින් ඔහේ තිබුන අයුරු නිරීක්‍ෂණය කල විප්ලවකාරී තරුන මැඩියෝ එකා දෙන්නා කොටය මතට ගොඩ නැගුනේය.කොටය නිසොල්මනේ පාවෙමින් තිබුනා හැර මැඩියන්ට ප්‍රතිචාර නොදැක්වීය. කලක් යන විට මේ නිහඩ ප්‍රතිචාරය නිසා කොටයට තිබු බිය සැලකීම විශ්වාශය මැඩියන්ගෙන් තුරන් වී ගියේය

විල තුල තරුන මැඩියන් යලිත් අරගල විප්ලව කරන්නට පටන් ගත්තේය. මේ නිසා විල යලිත් කැළඹුනේය. කළකිරීමටත්  පත් මැඩියෝ මෙබදු රජෙකු තම වරිගයට නින්දාවක් යයි සිතුවේය. ඔවුන්  යලිත්  සියුස් වෙත යාමට තීරණය කලේය.

මැඩියෝ නැවතත් සියුස් වෙත ගොස් වෙන රජෙකු පත් කර එවන මෙන් අයද සිටියාය. මින් උදහසට පත්වු සියුස්  හොද වැඩක් කරන්නෙමියි අදිටන් කර නාගයෙකු රජු ලෙස පත් කර විල වෙත එවුවාය.

නාගයා තනතුරට පත්ව ආපසු යලිත් විල සන්සුන් විය. එහෙත් විලේ සිටි මැඩියන් එකා දෙන්නා අතුරුදහන් වන්නට පටන් ගත්තේය. මැඩියන්ට කරුණු කාරනා වැටහෙන විට පමා වුනා හොදටම වැඩි වී  තිබුනේය. අවසානයේ නාගයා පමණක් විලේ රජ කරමින් සිටින අතර සියළු මැඩියන් අතුරුදහන්ව තිබුනේය.

ඊෂොප් , “උදාසීන එහෙත් අහිංසක රජුන් සිටීම හිංසාකාරි දුෂ්ඨ පාලකයන් සිටිමට වඩා හොදයයි “ .....පවසමින් අදට සමු දුන්නේය.

 





notes of imaginary

Wednesday, July 12, 2023

පින් අණුමෝදනාවක්.

පෙනීම අඩුය. ඒ නිසා ඇතිවු අතුරු ආබාධද ගත වෙලා ගෙනය.
බැරිම තැන........................
එක් දවසක මම මගේ ඇසත් අරන් අක්‍ෂි වෛද්‍යවරයෙකු  හමුවිය. 
එතුමාගේ මතය වුයේ ඇසේ සුදඉවත් කළ යුතු බවයි. 
මම බිය වුනෙමි. අක්‍ෂි ශල්‍යකර්මයක් ?.
 බයවුනා නේද ? මේක සිම්පල් වැඩක්නේ. 
එතුමා මා තුල ඇතිවු විශ්වාශය මගේ බිය තුරන් කලේය. 
ඊළගට මගේ මුදල් පසුම්බිය සිහිපත් විය. ඒ ගැන වැඩිදුර නොසිතමින් “මම කාචයක් අරන් දෙන්නද ? එතුමාගෙන් විමසුවෙමි. 
ඇයි අපි ළග තියෙන ඒවා “ ඩියුරබල් නැද්ද ? “ එතුමන් සැහැල්ලුවෙන් මට ප්‍රශ්නයකින් දමා ගැසුවේය. 
මම නිහඩව එකගත්‍වය පළකලා මතකය. 
දින නියමවිය. 
කාචයේ ප්‍රමානය මැනගත යුතුය. 
මම රෝහලේ අක්‍ෂිතාක්‍ෂණ වේදියානන්ට යොමු විය. 
ඉතාමත් සුහදශීලි සේවාවකින් ඒ කටයුත්ත නිමවිය. මම සහයිකාවටද ස්තුතිවන්ත වෙමින් එම අංශයෙන් බැහැරට පැමිණියෙමි. එහි සේවය කළ මේ මහත්ම මහත්මීන් දෙපල ඉතාමත්ම සංයමයකින් රෝගීන්ගේ පරීක්‍ෂණ කටයුතු කළ බව නම් පළකල යුතුමය. පරීක්‍ෂණාගාරය දොරටුව ඉදිරිපිට තම වාරය එළබෙන තෙක් නොඉවසිල්ලෙන් සිටින රෝගීන්ට අංක ලබා දී පෙළගස්වා සිටියත් නුහුරු පරිසරයක ඔවුන්ගේ හැසිරීම අසංවරය. එය 
ඔවුන්ගේ නොදැනුවත් කමය. නැත්නම් නුපුහුණුවය. 

ඊලගට යොමුවුයේ අක්‍ෂි පරීක්‍ෂාවට වෛද්‍යාගාරයටය. අඩියෙන් අඩියට එක් එක් පියවර රෝගියා යොමු කිරීමේ සැලසුම් සහගත ක්‍රමයක් එහි විය. තදබදයක් නොමැත.ඇස පිලිබද දත්ත රැස්කර ගත් එම අංශය විසින් මා ශල්‍යකර්මය සදහා සුදුසු පුද්ගලයෙකු බවට පත් කලේය. 
 මට පෞද්ගලිකව ශල්‍යකර්මයට පෙර දින ECG , ESR යන පරීක්‍ෂණ වාර්තා රැගෙන එන ලෙස නියමවිය. 
 ශල්‍යකර්ම දිනය පසුව දන්වන්න බව පවසමින් දුරකථන අංකය ලබා ගත්තාය. වෛද්‍යාගාරයේ සේවයේ නියුතු ලොකු කුඩා සියළු තරාතිරම් වල සේවය වීනිතය, කරුනාවන්තය, ක්‍රමවත්ය. ඔවුන් සේවය කරන්නේ පෞද්ගලික රෝහලක සේවය කරන මානසිකත්‍ව යෙන් යුතුවය.

මේ මා දකින්නේ සිහිනයක් නොව සැබෑවක්මය. 

සතියක් ඉක්මවන්නට පෙර මට ඇමතුමක් ලැබුනේය. 
“බදාදා ශල්‍යකර්මයට පැමිනෙන්න.“ 

මේ වනවිට බිය පිළිබදව පැවත් මානසිකත්‍වය බිංදුව කරා පැමිණ තිබිනි. නිතර කතා බහ කරන මා මෙන් REBORN BODY ඇත්තෝ මගේ ඇස්දෙකම කරගත්තා දැන් නියමෙට පේනවා. HUNDREDS THOUSANDS විතර ලෑස්ති කර ගනින්. එක ඇහැක් නේ. 
 තවත් එකියක් NOTHING නේ බන් . මාත් කර ගත්තා යයි කීවේය.

මමත් EE’……sy නේ කීවත් ටිකක් චකිතයෙන් සිටියේය. 
එක එකා එක අදහස් පැවසුවත් ඒවා ධණ ආකල්ප විය. 

මම නියමිත දින ශල්‍යාගාරයට ගියෙමි. 
කාර්ය මණ්ඩලයම අති විශිෂ්ඨය. 
ඔවුන්ගෙන්  මගේ මෙන්ම පැමිණ සිටි අනෙකුත් ශල්‍යකර්මයට බදුන්වු සියල්ලන්ම  ලගම ඥාතින් පිරිසක් මෙන් සැලකුම් ලැබීය. 
මම දතක් ගලවා ගන්නට ගොස් ලබන සියුම් වේදනාවක්ද තරම් නොලබා ඇසක ශල්‍යකර්මයක් කර ගත්තේය. 
අවසානයේ කෙටි අහාරයකින්ද තේ කෝප්පයකින්ද සංග්‍රහ ලැබ පැය කිහිපයකින් නිවසට පැමිණියේය. 

පසුදින සායනයට ගිය මටත් පෙරදින ශල්‍යකර්මය කරගත් හතලිහක පමන පිරිසකගේ ඇසේ ආරක්‍ෂක වැස්ම ඉවත් කර නැවත පරීක්‍ෂා කර ඖෂධ යොදන අන්දම සහ උපදෙස් ඇතුළු පොදු දේශණයක් ලබා දුන්නේය. 

දැන් මගේ කොටසය. නියමිත වෙලාවට බෙහෙත් දමා ගැණීම. 

පින් සහ ස්තුතියි 
 කහවත්ත රෝහලේ අක්‍ෂි සායනයේ සියළු කාර්ය මණ්ඩලයට. 

 notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon