Thursday, September 07, 2017

පොටිච්ච වැල්.


මම ඔහු දන්නේ “ආරි”  නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය....කෙනෙකු විය හැක. “ආරි .........” ට පෙලපත් නමක්ද තිබුනා විය හැක.මේ කිසිවකින් ඔහු නිසි ලෙසකින් හැදිනගත නොහැකිවු අතර“ ආරි ” -  “ ශිල්ප ආරි ” ලෙසින්  ප්‍රදේශවාසීන් අතර ප්‍රකට චරිතයක් විය.ඔහු කෙනෙකු “ ශිල්පයා ” ලෙසද හැදින්විය.

“ශිල්පයා ” .....උගතෙකු නොවීය. කුලියක් මලියක් කරමින් කීයක් හෝ සොයා ගෙන දවස ගෙවු  ඔහු නිතරම බීමතින් සිටියේය. කුලියක් මලියක් නොලැබුනදාට “ කිසියම් ශිල්පයක් දක්වා ගතමනාව සොයාගන්නා ඔහු එය නිල හෝ නිල නොවන මත්පැන් සදහා දිය කර හරින ලද්දේය.නැතිවු හරකෙකු හෝ වත්තක භව භෝගයක් ගැන විපරම් කරන ගැමියෙකු හට නිතතින්ම ශිල්පයා ද සිහිවිය.ගම් ප්‍රදේශයේ ඇලක දොලක මසුන් හට ජීවත්වීමේ අයිතියපිළිබද  තීරකයාද ශිල්පයා ම විය.

පනස් වන වියේදී පමණ කිසියම් අබග්ගයකින් එක් පාදයක අස්ථියක් බිදී කිහිලි කරුවක ආධාරය පතන්නට ඉතිරි ජීවිත කාලයේදී ඔහුට සිදුවිය. එක් රැයක එකට කා බී නිදාගත් සගයෙකු විසින් ඒ කිහිලි කරුවම ගෙලට සිරකිරීම නිසා ශිල්පයක් නොදක්වාම ශිල්පයා මිය පරලොව ගියාය.

ශිල්පයා වට කොට කරගත් ගෙතුන සත්‍ය කතා අපමනය. නිතරම උරයක් ( ගෝණියක් ) කරෙ ඇති ශිල්පයා ගමේ ඇවිදගෙන යන අතර එක් ගැමි ගෙදර වත්තක ඔහුගේ දවසේ වියදම තියෙනු දුටුවේය.කඩුල්ල පාමුල උරය තබා ගෙට ගොඩ වැදුන ඔහුට නිවසි මහළු කාන්තාව පමනක් සිටිනු දක්නට ලැබුනේය.
ආ ගිය කතා අතර තේ උගුරක්ද බී “ නැන්දේ  බෙහෙතක් සොගෙන ආවේ. මේ වත්තේ එහෙම නැද්ද “ පොටිච්ච වැල් ”
අනේ මන්දා ළමයෝ මම දන්න “ පොටිච්ච වැලක් ” නෑ තියෙනවා නම් හොගෙන පලයන් නැන්දා උත්තර බැන්දේය.
නැන්දා ගෙන් සමුගත් ශිල්පයා අවසරද ලැබුන බැවින් බිය සැකකින් තොරව වත්ත පහලට ගියේය . පොටිච්ච වැල් වලින් උරය පුරවා ගෙන  ඉක්මන් ගමනින් ඉඩමෙන් පසු බැස්සේය.
වත්ත පහල වැටී තිබු පොල් ටික අහිමි කර ගත් නැන්දා පොටිච්ච වැල් ඖෂධයට යොදා ගන්නා රෝගය  කුමක්දැයි කල්පනා කරන්නට විය.



notes of imaginary

Wednesday, August 16, 2017

කාලය මැවු අරුමය

දිය උගුල.



කාලය බොහෝ අරුමයන් මවනවා .අපේ දැනුම සහ අවබෝධයේ තරමත් කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර පනස් පහක් පමණ කාලයක්  ආපසු ගමන් කල විට මා එදා අවුරුදු  පහලොවක පමණ ගැටයෙක්. එකලත් අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලටත් පත්වෙලා.
අද පුංචි දරුවෙකුට ඇති අවබෝධය සහ  තාර්කික බුද්ධිය එදා අපිට තිබිලා නැහැ කියලා මට දැන් හිතෙනවා. අපි එදා  ගතානුගතිකව හිතලද ?.

එක් එක් අයගේ ජීවන රටා වෙනස් . එකල ගොවියාගේ පුතු ගොවිපලට රැගෙන යනවා හෝ මවුපිය සහයට ගොවිපලට යන්නේ පෙළඹවීමකින් තොරවයි. මගේ පියා සාමාන්‍ය වෙලෙන්දෙක්. මමත් ඔහු පවත්වාගෙන ගිය වෙළද සැලට උදව්වට යාම පුංචිකාලේ සිටම සිදුවු දෙයක්. වයසේ තරමට සුළු සුළු අත් උදව් දීමෙන් ඇරඹී මේ කටයුතු පසුකාලය වන විට පියාගේ අනුප්‍රාප්තිකයා බවට පත්කීරිම දක්වා පුහුණුවක් වුනා.

මේ මුලපිරීම බරපතල සාකච්ජාවක් සදහා වගේ පෙනුනත් වියමන වෙන්වෙන්නේ සරල සිදුවීමකින් තැතිගත් මනස මට කල හදියක් කීමට සහ අපේ පැරන්නන් ස්වභාව ධර්මය උපයෝගී කරමින් කල නිෂ්පාදනයක් හදුන්වා දිමටයි. ඒ අතර තවත් අතුරු කතා තියෙනවා.මේ කතා -   මම පලවන වසරේ සිටිනා මගේ මුණුපුරා තරම්වත්  බුද්ධිය භාවිතා කරලා නැහැ කියන සිද්ධාන්ත තහවුරු කරගන්නා කතාන්දර.

කතාවට ප්‍රවේශවුනේ තාත්තාගේ වෙළද සැලේ අත් උදව්වට ගිය බව කියමින්නේ. අපි ජීවත්වු සහ තාත්තාගේ ගණුදෙණු කරුවන් වාසය කල වපසරිය විශාල ප්‍රදේශයක්.එකල අක්කර දහසකටත් අධික ප්‍රදේශයක් පුරා පැතුරන තේ වතුයායක් මේ විශාල ප්‍රදේශයට අයත් වුනා. ( අද මෙ වතුයාය අක්කර සීයයකට පමන සීමා වෙලා අනෙක් නව සීයයම වල් බිහිවෙලා. අපට සමෘධිමත් ආර්ථිකයක් පැවතිය හැකිද ? )   සේවය කල වතු කම්කරුවන් හට ආහාර පාන වගේම ඇදුම් පැළදුම් වැනි අවශ්‍යතා මාසික ණය පදනම මත මිලදී ගත්තේ පියාගේ වෙළද සැලෙන්. සෑම මසකම දහවෙනිදා හෝ ඊට ආසන්න දිනක කම්කරු වැටුප් ගෙවන විට මටත් මගේ වසසේ සිටි මගේ නැන්දාගේ පුතාගේත් රාජකාරිය වුනේ කුඩා පොතක සටහන් කරගත් ඒ ඒ ගණුදෙණු කරුවන්ගේ ණය මුදල් එකරැස්කරගෙන ඒම සදහා ඔවුන් විසු නිවෙස් වලට යාමයි. දින දෙකක් ගතවු මේ ගමන අපි දෙදෙනාට විනෝදමත් චාරිකාවක්. සෑම වාරයකම අපි දෙදෙනාට ආපසු නිවෙස් වලට ඒමට සිදුවන්නේ  දෙගොඩ හරියේ රාත්‍රී දොලහට එකට.

1976 දක්වා අවුරුදු විස්සකට අධික කාලයක් කරන ලද මෙම කාරිය අවසන් වුනේ සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමෙන් වතු කම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමත් සමගයි. එදා පැවති අක්කර දහසක් පමණවු වතුයාය අක්කර සීයයකට පමණ සීමා වීම ඇරඹුනෙත් මේ හේතුව නිසයි.

ඉතින් ..... එක් දවසක අපි දෙන්නා ඒ කිව්වේ මස්සිනාලා දෙන්නා මහ රෑ ඝණ අන්දකාරය මැදින්  ගෙදර එනවා. 
පෙරදා ගෙන ගිය විදුලි පන්දම් දෙකේ  බැටරි කලා මැදිරි එළි වගෙයි. බැටරි බැහලා. අතුරු පාරවල් ( ෂෝර්ට් කට් ) හරහා අපි ගමන ඉක්මන් කරනවා. තේ වතු යාය අවසන් වෙන්නේ වෙල් යායක් මැදින් වැටී ඇති අතුරු මගකින්. අපි දෙන්නට ඇහෙනවා අමුතු සද්දයක්  “ ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.අපිට මතක් වෙනවා අපි ගමන් කරන බිම් කඩ පිළිබදව. ගම්මුන් බලි තොවිල් කර මල් තට්ටු ගෙනවිත් දමන තැන, යකුන් ප්‍රේතයන් අල්ලා ගෙන විත් ඇණ ගසන සුවිසල් ඇට’ඹ ගස.
අපි නිශ්සබ්දයි. ගල් ගැහිලා. තීරණයක් නැතිව හිටිවන ඉන්නවා . “ ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. 

“අයියේ ...මස්සිනා මට කියනවා. මොකද කරන්නේ ?  අපි ආපහු යමු ” මම කියනවා . අපි ආපසු හැරී ප්‍රධාන මාර්ගය තෝරා ගෙන  සැතපුම් භාගයක් විතර ආපසු  ගොස් ප්‍රධාන මාර්ග ඔස්සේ යලිත් එනවා. ගමන සැතපුම් එකයි භාගයක් විතර දික්වෙනවා. මේ එන අතර වතු කම්කරුවන්ගේ සොහොන් කොත් කිහිපයක් පහුකරන්න ඕන. මේ සොහොන් කොත් අතර එක් සොහොනක් ගම් වැසියන් අතර සුප්‍රසිද්ධ සෙහොනක් තියෙනවා. හදුන්වන්නේ “කනක්කයාගේ සොහොන ”කියලා.මේ කනක්කයාගේ සොහොන පහු කරන අපි දෙන්නාට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. පසු පසට තල්ලු කරනවා විශාල මාර ගස් විලාප දෙනවා. අපිට බුදු හාමුදුරුවෝ සිහිවෙනවා. ඉතිපිසෝ ගාථාව අපි මහ හයියෙන් ගායනා කරනවා.වෑයමෙන් ඉස්සරහට තල්ලු වන අපි ඒ බාධකයත් ජය ගෙන යාන්තම් ගෙදරට එනවා.

පහුවදා දෙන්නටම සහලෝල උණ.තොවිලයක් නොකර බේරුනත් ... තෙල් සාත්තුවකින් යාන්තම් බේරුනා.

සතියකට විතර පස්සේ අපි දෙන්නට ලැබුන විවේකයකින් මේ  “ටකස් - ටොකස් ” ජංජාලේ සුලමුල හොයන්න ගියා කියමු. මහ දවලුත්  ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. ඇහෙන්නේ වෙල් යායෙන්. හඩ ඔස්සේ ගිහින් බලපුවම දිය පාරකට සවි කර තිබු “දිය උගුල” තමන් ගේ රාජකාරිය ඉටු කරනවා.

( බලන්න  https://www.facebook.com/1871586953129950/videos/1884404061848239/ තවමත් රාජකාරියේ )

අපි පිටුපසට තල්ලු කල බල වේගය සොයාගන්න නම් සෑහෙන්න කාලයක් ගතවුනා. ජුනි - සැප්තැම්බර් කාල පරාසය මේ ප්‍රදේශයට තද හුලං හමන කාලයක්.මේ කියන බිම් කොටස හරහා හමන තද සුළග වාහන වලට පවා ප්‍රතිරෝධ දක්වනවා. ‘කනක්කයගේ සෙහොන’  පිහිටුවා තියෙන්නේ මේ සුළං කලාපයේ . කනක්කයගේ සෙහොන අදත් තියෙනවා. තද හුලං තියෙන දවස් වලට අදත් මේ හරියෙන් යන්න අපහසුයි. අපි දෙන්නට එදා  ‘කනක්කයගේ සෙහොනේ’ අභිරහස නිරාකරනය කරගන්න බැරිවුනා.

වියමන දික්වෙනවා. 

අපේ පුංචි එකා - මුනුපුරාට පොඩි අසනීපයක් හැදෙනවා. මම යෝජනා කරනවා පැටියෝ අහවල් සීයට කියලා වතුර ටිකක් මතුර ගෙන එන්නද කියලා. “සීයේ එයාට පියාඹන්න පුළුන් වෙන්න මතුරන්න පුළුවන් ද ?. ” පුංචි එකා මගෙන් අහනවා.


එහෙමයි. කාලය මැවු අරුමය.






notes of imaginary

Monday, August 14, 2017

නුවර එළිය දකින්න ගියෙමි.


හක්ගල උද්‍යානය 

හක්ගල උද්‍යානය -

හක්ගල උද්‍යානය -

නුවරඑළිය නගරය අනෙක් නගර වලට වඩා විශේෂිතයි. ප්‍රදේශවාසීන්ට වඩා නගරයේ තාවකාලිකව එන යන සංචාරකයන්ගේ නවාතැන්පලක්.
හක්ගල උද්‍යානය ,හෝර්ටන්තැන්න,අඹේවෙල සත්‍ව ගොවිපල,ඇවිද ගොස් නවාතැන් සදහා නුවරඑළිය තෝරා ගන්න බොහෝ සංචාරකයන් ගේ පුරුද්දක්. අප්රේල් නිවාඩු කාලය  නුවරඑළියට වසන්ත සමය උදාවෙනවා. නගරය දේශිය සංචාරකයන්ගෙන් පිරී ඉතිරෙන මේ වකවානුව නවාතැන් ආහාර පහසුකම් සපයන අයගේ සහ අතමිට සරුවෙන කාලයක්. සීතල නුවරඑළිය මේ දිනවල  - ඔවුන්ගේ වහර අනුව “ වේලෙනවා” .

හෝර්ටන් තැන්න පාමුල නිවසි මට උදෙන්ම නුවර එළියට ගොස් අවට කරක් ගසා හවස්වෙන කොට නිවසට ආපසු පහසුවෙන් එන්න පුළුවන් . බලන්ගොඩ, බෙරගල,හපුතලේ, බොරලන්ද, කැප්පෙට්ටිපොල, හරහා නුවරඑළිය ගමන්මග මාර්ග පද්ධතිය දියුණු කරපු නිසා පැය දෙකක ගමනක්.අපේ පැරන්නෝ හොර්ටන්තැන්න හරහා පයින් නුවරඑළියට පැමිනිලා තියෙනවා. ඒ වගේම විදේශික වැවිලිකරුවන් අශ්වයින් පිට කොළඹ ගිය යුගයේ නුවරඑළියේ සිට බෙලිහුල්ඔයදී බදුල්ල -කොළඹ මාර්ගයට අවතීර්න වෙලා තියෙනවා. ඒ යුගයේ බෙලිහුල්ඔය තානායම ඔවුන්ගේ නවාතැන්පල වෙලා තිබුනා.


හක්ගල උද්‍යානය නඩත්තු වෙනවා දකින මට වික්ටෝරියා උද්‍යානය වල් බිහිවෙන නිමිති පහල වෙලා කියලා මම දකිනවා. මේ දැක්ම ආයතන දෙකක ක්‍රියාශිලිත්‍වය පෙන්නුම් කරනවා. මෙයට හේතුව පලාත් පාලන ආයතන අක්‍රීයවිමේ විපතක් කියලයි මම හිතන්නේ.ගෙග්‍රරි වැව ආශ්‍රිත විල්ලුවත් විනෝද පහසුකම් සපයන අය හැරෙන්න නඩත්තු කටයුතු ඇනහිටලා වගෙයි මම දැක්කේ. නුවරඑළිය වසන්තය එනකොට නිදා ඉන්න නගර සභාව අවදි වේවි.හැමදාමත් අවදියෙන් ඉන්න ඕන කියලා කවුරුත් කියලා නැතිව ඇති.
























notes of imaginary

Thursday, April 13, 2017

යහපාලනේ ඇක්ටිව් වෙලා ! .




මේ සිංහල අවුරුදු සමයයි. පාරිභෝගිකයන්ට වගේම විවිධාකාරවු ව්‍යාපාරිකයනටත් කාර්ය බහුලයි . ඒ අතරේ ආණ්ඩුවේ නිළධාරි ගොල්ලන් පාරිභෝගිකයෝ ආරක්‍ෂා කරන්න වීදී බැහැලා.ඒ අයත් කාර්යක්‍ෂම වැටලීම් කරනවා. විවිධ පරමාර්ථ තියාගෙන.ඒවා විශ්ලේෂණය කරගන්න අමාරුයි.
පුංචි පහේ සංචාරක ව්‍යාපාරිකයෙක් හමුවුනා. එයාගේ කතාවෙන් ව්‍යාපාරික දුක්ගැනවිල්ල සටහන් කරන්න පටන් ගන්නම්.
ගමේ වෙළද සැල්වලට පාරිභෝගික භාණ්ඩ අළවි කරන එකයි එයාගේ රාජකාරිය. එයාගේ මිම්මට මේ පාර අවුරුදු සේල් එක ගිය අවුරුද්දෙන් දෙකෙන් පංගුවකුත් නැහැ. එයාගේ කතාවේ  මගේ අවධානයට යොමු වුන එක් කරුනක් තිබුනා. රතිඥ්ඥා අළවිය පිළිබදව  එයා කියාපු ගැටළුවක් ගැන.පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අළවි කිරීමට බලපත්‍රයක් ගන්න ඕනී.එයයි නීතිය . මේ බලපත්‍රයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත්කරන්නේ තවත් අදාල ආයතන කිහිපයක නිර්දේශ ලැබුනහමයි.මේ නිර්දේශ සම්පුර්න කරගෙන ගියත් තම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේදී - ව්‍යාපාර ස්වභාවය වශයෙන් රතිඤ්ඤා වැනි පුපුරන ද්‍රව්‍ය අළවි කිරීම සදහා ඉල්ලුම් කර නොතිබුනොත් ප්‍ර.ලේ අළවි හෝ ගබඩා කර ගැණීම සදහා බලපත්‍රයක් නිකුත් කරන්නේ නැහැ.
මම හිතනා අන්දමට සිල්ලර තුනපහ විකුණන ආයාතනයක්, රෙදිපිළි විකුණන ආයතනයක් හෝ විසිතුරු තෑගි භාණ්ඩ විකුණන ආයාතනයක් හෝ සුපර් මාකට් එකක ව්‍යාපාර ලියාපදිංචියේදී තමන් අළවි කරන භාණ්ඩ වල ලැයිස්තුවක් ව්‍යාපාර ස්වභාවය යන තීරුව යටතේ  රතිඤ්ඤා වැනි පුපුරණ ද්‍රව්‍ය අළවි කරන්න  විශේෂ සදහනක් කරන්නේ නැහැ.පුපුරන ද්‍රව්‍ය පාලනය කරන පොලිසීය මේ නීතිය ගැන මේ දවස් වල විමසිල්ලෙන් . ඉතින් මේ දවස් වල මාර්ග නීති කඩකරන්නන් සෙයන්නා වගේ පොලිසිය පුංචි පුංචි සංචාරක ව්‍යාපාරිකයන්ගේ බට්ටෝ ලොරි වලටත් එබිලා කරන්න  රාජකාරියක් තියෙනවා.
පුංචි පහේ ව්‍යාපාරිකයන්ට අපල කාලයක් උදාවෙලා තියෙන්නේ. යහපාලනය කියන්නේ අකුරටම නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්. බදු නියමිත පරිදි නොගෙවන අය වටලා නිසි පරිදි බදු අයකරගැණිම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වගකීමයි. බදු ගෙවන්නන් ගේ අඩුවක් තියෙන නිසා ගෙයින් ගෙට තියෙන පුංචි පුංචි ව්‍යාපාරික ස්ථාන පවා මේ දැළට අහුවෙනවා.මේ නිසා නිසි පිරිවැටුමක් නැති පුංචි ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර පවා අත්හැරලා දානවා. මම නම් හිතන්නේ තියෙන නීතී රාමුවට අනුගත වෙලා සුළු ලාභයක් සොයාගන්නත් මේ අයට හරිම අපහසු ඇති.
අවුරුදු සමය මේ කී නොකී  නිළධාරින් ව්‍යාපාරික ස්ථාන වැටලීමට  යන තවත් පරමාර්ථත් තියෙන්න පුළුවන්. මගේ මිත්‍රයෙක්  මාර්තු අවසාන සතියේ සිට අද වනතෙක් ඔහුට මුණගැසුන රාජ්‍ය නිළදාරීන් කණ්ඩායම් ගැන කිව්වේ මෙහෙමයි.
“ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු නිළධාරින්ට පැමිණ වැට් බද්ද , ජාතිය ගොඩ නැගීමේ බද්ද සහ ආදයම් බද්ද පිළිබද කරන ලද පරීක්‍ෂන වලට උත්තර බදින්න සිද්ධවුනා. යාන්තම් ඒ රාජකාරි කටයුතු එවර කර ගත්තා විතරයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කණ්ඩායම අපිව වටකලා.” රට බීම බලපත්‍රයක් හිමි ඔහු දෙවෙනි දවස පටන් ගත්තේ සුරා බදු නිළදාරින්ගේ මාසික පරීක්‍ෂණයට මුහුණ දෙමින්.
මම හිතුවා මේ සතියට කරදර එවරයි කියලා .සේවක අර්ථ සාධක මුදල් ගෙවීම  නිසි පරිදි සිද්ධ වෙනවද බලන්න කම්කරු දෙපාර්තමේන්තුවත්  - සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින්  සේවා නියුක්තියන්ගේ අරමුදලට දායක මුදල් නිසි ලෙස ගෙවනවාද බලන්න බදාදා දවසේ පරීක්‍ෂණ පටන් ගත්තා.ඒ  අතරේ පාරිභෝගික ආරක්‍ෂක කා ර්යංශයත් ඔවුන්ගේ නීතී රේගුලාසි කඩ කරනවද  බැළුවා.
සංචාරක නිවහනක් වු ඔහුගේ ව්‍යාපාරයට  වනජීවි නිලධාරින් දඩ මස් හොයන්න  පැමිණියා.මේ අතරේ ඩෙංගු මදුරුවෝ ඉන්නවද බලන්න පරිසර පොලිසිය ආවා. මේ ඔක්කොම සනස්වන්න අකුරටම වැඩකරන ව්‍යාපාරිකුයෙකුට නම් පුළුවන් වේව්. එහෙම කලත් පුංචි පුංචි වැරදීම් වන   අවස්ථාත් නැත්තෙත් නැහැ.ඒ වෙලාවට මේ නිළධාරින්ගේ යහපාලන නීතිය අනුව නම් සමාවක් නැහැ.

උඹ දන්නවානේ මේ හොටලේ වත්ත අක්කර දෙකක් විතර ඇති . හැමතැනම ඇවිදලා ඇවිත් ගස් බෙන දෙකක වතුර රැදිලා  . ඒ වයේ මදුරු කීටයෝ ඉන්නවා කියලා මාව උසාවි ගෙනියන්න හැදුවනේ !. මගේ මිත්‍රයාගේ කතාව අවසන් වුනා.ආයෙත් උත්සව සමයක එළිපත්තේ මේ ඔක්කොම එයි .ඔහු කිව්වා.



notes of imaginary

Saturday, April 08, 2017

අබේ , මේ නික්ම යා යුතු කාලයද ?.


මගේ මතකය ගොළු විය.එය සිරවු අදුරෙන් අවදි කර ගත නොහැකිව අදුරේ සුසුමක්ව වැළපෙන බව  තවමත් තවමත් මට හැගෙන්නේය.
අපි කෙළි සෙල්ලම් කළ කෙළි බිම වර්තමානයේ දියුණුයයි කියා ගන්නා ක්‍රීඩා භුමියක් මෙන් නොවීය. වෙල්යායක් මැදින්  පොඩි අඩිපාරක  වංගු ගසමින් දිය කඩිති හරහා ඉදිවු පාලම් තරණය කරමින්  ( ලෑලි කෑලි ,කොට කෑලි) හැතැම්ම බාගයක් පමණ එක දිගට ධාවනය වන අපේ වාහන සකස් වී තිබුනේ බත් කන බෙලෙක් පිගන් වලින් හෝ හරහට අල්ලා ගන්නා පුංචි ලී කැබලි වලින්ය.
 එදා අපේ කෙළිබිමවු මේ පාර කුඹල්ගම සිට , නැදුන්ගම .කිංචිගුනේ , කලවැල්පේ ,බිබිල, නෙල්ලිගස්තැන්න පසුකරමින්  වෙල්යාය තරණය කර   ප්‍රධාන පාරට එක්වුයේ වෙල්යායට ඉදිකර තිබු කඩුල්ල හරහාය.
 කඩුල්ල අපේ රැස්වීම් ශාලාව විය. හවස් වන විට කඩුල්ල උඩ වාඩිවන අපි තරුන වියට ලංවන තුරුත් එක් එක් වයසට ගැලපෙන නොයෙක් මාදිලියේ වාද විවාද සාකච්ඡා කඩුල්ල මත සිට පැවත්විය. තීන්දු තීරණ ගත්තේය. හෙට කළ යුතු දේ මෙන්ම දැන් කල යුතුදේද තීරණය වුයේ මේ කඩුල්ල මතදීය.
අපෙන් හිස්වු කඩුල්ල කවදාවත් තනිවුයේ නැත. අපිට පසුව ආ මල්ලිලා ගෙන් අපේ අඩුව පිරවීය.(පසු කාලයක සමනල වැව ව්‍යාපෘතිය නිසා නැදුන්ගම .කිංචිගුනේ , කලවැල්පේ යන ගම් අහිමිවී මත් මංමාවත් ඉදිවීමත් නිසා  ගමන් මග කෙටිවිය. වෙල්යාය තැනින් තැන නිවාස ඇතිවීම නිසා අපේ රැස්වීම් ශාලාව සදහටම අපට අහිමිවී එය වෙනත් ස්ථානයක ස්ථාන ගතවිය. )
අවට ගම් වලින් පැමිණි සහෝදර සහොදරියන් පාසල අළුත් අළුත් මිත්‍ර සමාගම් ගොඩනගා ගැණීමට  ඉඩ කඩ ඇතිකර දුන්නේය. කුමක් හෝ හේතුවක් නිසා   කඩුල්ලේ කණ්ඩායම  මේ සමාගම් වල නායකත්වයට පත්විය. ළමා කාලය මෙසේ ගෙවීයනවිට වඩාත් සුදුසුයයි හිතනා නගරයේ පාසල්වලට විසිර ගිය මේ කණ්ඩායමේ සාමාජිකයෝ  සෑම විවේකයක් ලැබෙනා විටම කඩුල්ල මත රැස්විය.
වසරකට වරක් පැවත්වු අවුරුදු උත්සව, වෙසක් පොසොන් උත්සව ගමේ පන්සලේ ආගමික උත්සව, නොයෙක් ක්‍රීඩා උත්සව , නොකඩවා පවත්වමින් ඊලග පරම්පරාවට සාමුහිකත්වයේ ආදර්ශය දෙමින් වැඩිහිටියන් බවට පත්විය. කඩුල්ලේ කණ්ඩායම මැකීගියේ වඩාත් දියුණුවු සමාජ ක්‍රමයක් ස්ථාපනවන මින් දශක තුනක හතරකට පමණ පෙරදීය.  එතෙක්  අපේ කඩුල්ලේ කණ්ඩායමේ ක්‍රියා කරම් අයියලාගෙන්  මල්ලීලා අතට පත්ව දිගටම පැවතුනේය.
අයියලාගේ කඩුල්ලේ කණ්ඩායම වැඩිහිටියන් බවට පත්විය . නොයෙක් මාදිලියේ රැකියාවන් සදහා විසිර ගියේය. විවාහ විය.  දරුමල්ලන් ලැබීය.විවිධාකාර හැලහැප්පීම් මැද ඔවුන්ගේ ජීවිතය ගලා ගෙන ගියේය. දු දරුවන්ද ලොකු මහත්වී දරු මුණුමුණුපුරන්ද ලැබීය. මේ සියල්ල මැද්දේත් එදා මෙන්ම අප හමුවිය සාකච්ඡා කලේය .නොයෙක් ක්‍රියා කාරකම් කලේය.
අබේ , මේ නික්ම යා යුතු කාලයද ?.
මම ගොළු වු සිතින් අදුරේ අතපත ගාමින් සිටිමි. මම හැමදාමත් ඔබෙන් අහිමිවු අවකාශය මත සිට බටහිර අහසේ රතු සිත්තම් හාගල කදු යාය මතින් මැකීයනු දකිමි. ඒ සමග අපි  දුව පැන ඇවිද්ද වෙල්යාය අදුරේ ගිලෙන අයුරුත්  දකිමි. දිනක තවත් අය  , මා වෙනුවෙන් ද එසේම දකිණු ඇත. 

එයයි ජීවිතයේ ස්වභාවය.
notes of imaginary

Monday, April 03, 2017

ඉන්දියාවේ අජිත් ඩෙවොල් රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව.


මෙම ලිපිය ඉරිදා දිවයින - ( 02.04.2017 ) පලකර තිබිනි.  අපේ චන්දයට වඩා බාහිර බලවේගවල වැදගත් කම දේශපාලනයේදී ක්‍රියාකරන අන්දම මෙම ලිපියෙන් තහවුරු කරයි.

ඉන්දියාවේ අජිත් ඩෙවොල් 
රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාවපරිවර්තනය කොට ඉන්දීය ජනතාවට දෙන්න
සී. ඒ. චන්ද්‍රප්‍රේම

අජිත් ඩොවාල් යනු ලංකාවේ ජනතාවට කොහෙත්ම හුරු නමක්‌ නොවේ. නමුත් 2014 ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි බලයට පත්වූදා සිට ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ, විශේෂයෙන්ම ඉන්දියාවේ අසල්වාසි රටවල් සම්බන්ධ ප්‍රතිපත්තියේ ප්‍රධානම තීරකයා වන්නේ ඉන්දියාවේ විදේශ ඇමතිනී සුශ්මා ස්‌වරාඡ් නොව ජාතික ආරක්‌ෂක උපදේශකවරයා වන අජිත් ඩොවාල්ය. එසේ තිබියදී අජිත් ඩොවාල් නමැති පුද්ගලයකු ගැන බොහෝ ලාංකිකයන් අසාවත් නොතිබීමට ප්‍රධානම හේතුව ඩොවාල් යනු රාජතාන්ත්‍රිකයකු හෝ පරිපාලකයකු නොව චරපුරුෂයකු වන නිසා විය හැක. එවන් අයගේ සාමාන්‍ය ක්‍රියා කලාපය වන්නේ විශේෂයෙන්ම වැඩක නියෑළී සිටින විට හැකිනම් "ගේමක්‌ දෙමින්" සිටින විට අප්‍රසිද්ධියේ කිසිවකුගේත් අවධානයට යොමු නොවී ඒ රාජකාරිය කිරීමේ පුරුද්ද නිසා විය හැක.

තමන් රාජ්‍ය තාන්ත්‍රිකයකු නොව ආරක්‌ෂාව පිළිබඳ විශේෂඥයකු බව ඩොවාල් එළිපිටම කියයි. ඉන්දීය ජනතාව අතර ඔහුට ඇත්තේ ජාතික වීරයකුගේ ප්‍රතිරූපයයි. ජීවමාන "ඡේම්ස්‌ බොන්ඩ්" කෙනකු හැටියට බොහෝ ඉන්දියානුවන් ඔහුව දකී. ඉන්දියාවේ චර පුරුෂ සේවය වන රෝ සංවිධානයේ ඔහු ගතකළ කාලය තුළ පකිස්‌තානයේ චරපුරුෂ සේවයේ යෙදීමත්, කාශ්මීරයේ මිසෝරාම් ප්‍රාන්තයේ හා පන්ජාබයේ සීක්‌ ජාතිකයන්ගේ කැරැලි මර්දනය කිරීමටද ඉන්දීය ගුවන් යානා පැහැර ගැනීම් දුසිමකට වඩා විසඳීමද, ඉරාකයේ "අයිසිස්‌" ත්‍රස්‌තවාදීන්ගේ ග්‍රහනයට හසුවූ ඉන්දීය හෙද සේවකයන් බේරා ගැනීම ඇතුළු රහස්‌ මෙහෙයුම් ගණනාවකට මැදිහත් වී ඩොවාල් ඉන්දීය ජනතාව අතර සුවිශෙෂ තැනක්‌ දිනාගෙන සිටී. ඔහුගේ විශිෂ්ටතම මෑතකාලීන මෙහෙයුම හැටියට ඉන්දීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයද සලකන්නේ 2015 ජනවාරි 8 වැනිදා ලංකාවේ රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහ කිරීමයි.

2015 ජනවාරි 08 බල පෙරළියත් සමඟම රොයිටර්ස්‌ ජාත්‍යන්තර පුවත් සේවය පවසා සිටියේ ඩොවාල් මේ පෙරළියේ ප්‍රධානම සංවිධායකවරයෙක්‌ බවත්, පොදු විපක්‌ෂ අපේක්‍ෂකයකු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා තරගයෙන් ඉවත් කිරීමත්, මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් එළියට ගැනීමත්, ලංකාවේ සියලුම විපක්‌ෂ බලවේග එක වේදිකාවට ගැනිමත් සියලුම සුළු ජාතික පක්‍ෂ මහින්දට එරෙහි වන තත්ත්වයක්‌ නිර්මාණය කිරීමත් සියල්ල ඩොවාල්ගේ මෙහෙයුමෙන් සිදුවූ බවය. ඉන්දියාවේ "සිටිසන් බියුරෝ" නමැති ප්‍රසිද්ධ වෙබ් අඩවියද පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සිදු වූයේ සම්භාවනීය ගනයේ "ඩොවාල් මෙහෙයුමක්‌" බවයි. 2014 නොවැම්බර් මාසයේ දී කොළඹට පැමිණ මෛත්‍රිපාල සිරිසේන ඇතුළු අය හමුවී මේ සියල්ල සංවිධානය කළ ආකාරය එම වෙබ් අඩවිය පැහැදිලි කරයි. ලංකාවේ දේශපාලනයට එතරම් මැදිහත්වීමක්‌ කළ පුද්ගලයකුගේ නමවත් බොහෝ ශ්‍රී ලාංකිකයන් අසාවත් නොතිබීම ම චර පුරුෂයකු හැටියට අප්‍රසිද්ධියේ වැඩ කිරීමට ඩොවාල්ගේ ඇති නැඹුරුවට අමතරව තවත් හේතුවක්‌ වන්නේ ඉන්දියාව ලංකාවේ කළ මේ ආණ්‌ඩු පෙරළිය ඉතා කෙටි කලකින් වැරැදි පැත්තට යැමට ආරම්භ වූ නිසා ඩොවාල් මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමට තීන්දු කිරීමද විය හැක.

ඉන්දියාව විසින් රාජපක්‌ෂ ආණ්‌ඩුව පලවා හැරීමට කටයුතු කිරීමට ප්‍රධානම හේතුවක්‌ වූයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි. චීනය විසින් ඉදිකරන මේ ව්‍යාපෘතිය ඉන්දියාවේ ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන නිසා එය නවතා දමන්නැයි ඩොවාල් 2014 දී කීප වතාවක්‌ම එවක සිටි ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට කියා තිබිණි. ඒ කාලයේ හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීමට හෝ බදු දීමට රාජපක්‌ෂ ආණ්‌ඩුවේ කිසිදු සැලසුමක්‌ නොතිබුණු නිසා හම්බන්තොට පිළිබඳ ප්‍රශ්නයක්‌ ඉන්දියාවට නොවීය. රාජපක්‌ෂ ආණ්‌ඩුව පලවා හැරීමට ඉන්දියාව තීරණය කිරීමට ආසන්නම හේතු වූයේ චීන සබ්මැරීනයක්‌ කොළඹ වරායට පැමිණීමයි. මේ සබ්මැරීනයේ පැමිණීම ගැන ඉන්දියාවට දැනුම් දුන්නේ නැතැයි ඉන්දියානුවන් කියයි. මේ අනුව අජිත් ඩොවාල් වැඩ ආරම්භ කළේය. රාජපක්‌ෂ ආණ්‌ඩුව පලවා හරිනු ලැබීය. චීන ජනාධිපතිවරයා විසින්ම ආරම්භ කරන ලද ව්‍යාපෘතියක්‌ වුවද වරාය නගරයේ කටයුතු අලුත් ආණ්‌ඩුව විසින් නවතා දමනු ලැබීය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද අලුතෙන් යටත් කරගත් දේශයක්‌ නැරැඹීමට එන අධිරාජ්‍යයකුගේ විලාසයෙන් ලංකාවට පැමිණ පාර්ලිමේන්තුව අමතා ආපසු ගියේය. ටික කලක්‌ යන තුරු ඩොවාල්ගේ සියලු සැලසුම් සාර්ථක වී ඇති බවත් ලංකාව දැන් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ ග්‍රහනයට නතුවී ඇති බවකුත් පෙනෙන්නට තිබිණි. නමුත් ඉතා කෙටි කලකින් මේ සියල්ල අනිත් පැත්තට කැරකීමට පටන් ගත්තේය.

මෛත්‍රිපාල සිරිසේන උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් දිනා තිබුණත් රටේ සෙසු ප්‍රදේශවල ඔහුගේ ඡන්ද පදනම ගැන ප්‍රශ්නයක්‌ තිබිණි. 2015 ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිරින් පිට පළාත්වල පුත්තලම, පොළොන්නරුව, නුවර, බදුල්ල, කොළඹ, ගම්පහ සහ නුවරඑළිය දිස්‌ත්‍රික්‌ක සිරිසේන දිනා තිබුණද සමස්‌තයක්‌ වශයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පිට සිරිසේනට වඩා ඡන්ද ලක්‌ෂ 2 කට වැඩිය මහින්ද රාජපක්‌ෂට ලැබී තිබුණි. මෙවන් වාතාවරණයක්‌ තුළ තව කෙටි කලකින් එළඹීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම යහපාලන පාර්ශ්වයට විශාල ප්‍රශ්නයක්‌ විය. දකුණේ ජනතාවගේ හිත දිනා ගැනීමට කුමක්‌ හෝ කිරීමට ඔවුන්ට සිදුවිය. මේ ප්‍රශ්නය විසඳීමට සිරිසේන වික්‍රමසිංහ ආණ්‌ඩුවේ උපාය මාර්ගය වූයේ සියලුම රජයේ සේවකයන්ට පෙර නොවූ විරූ ආකාරයේ මසකට රුපියල් 10,000 ක දීමනාවක්‌ ලබාදීමත්, ඉන්ධන, ගෑස්‌, විදුලි බලය හා ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල අඩු කිරීමත්ය.

මේ ආකාරයට එක්‌වරම ආණ්‌ඩුවේ වියදම විශාල වශයෙන් වැඩිවීමත්, බදු ආදායම එක්‌වරම විශාල වශයෙන් අඩුවීමත් නිසා හිඟ මුදල් ලබා ගැනීමට ආණ්‌ඩුව මහ පරිමාණයේ දේශීයව පමණක්‌ නොව විදේශීය මූලාශ්‍රවලින්ද ණය ගැනීමට පටන් ගත්තේය. මේ ආකාරයට කිසිදු සැලසුමක්‌ නොමැතිව ගන්නා ලද කෙටිකාලීන විදෙස්‌ ණය ගෙවීමට රට තුළට විදේශ විනිමය ගලා ඒම වැඩි කිරීමට අවශ්‍යතාවක්‌ තිබුණත් අලුත් ආණ්‌ඩුව බටහිර රටවලින් හා ඉන්දියාවෙන් බලාපොරොත්තු වූ ආයෝජන ලංකාවට නොපැමිණියේය. මාස කීපයක්‌ ගිය තැන මේ අර්බුදය උත්සන්න වත්ම නවතා දමා තිබූ වරාය නගර ව්‍යාපෘතිය චීනයට නැවත ආරම්භ කිරීමට ඉඩදීමට ආණ්‌ඩුවට සිදුවිය. මේ වරාය නගරය ඇමරිකානු ඩොලර් මිලියන 1400 ක වියදමෙන් චීනය ඉදිකරන අතර මේ මුදල් ලංකාවට ඒම යහපාලන ආණ්‌ඩුවට මහා අස්‌වැසිල්ලක්‌ විය. තවත් මාස කීපයක්‌ ගිය තැන දේශපාලනිකව ඇති කරන ලද ආර්ථික අර්බුදය පාලනය කරගත නොහැකිව ඔඩු දුවද්දී අලුත් ආණ්‌ඩුව තව ටිකක්‌ ඉදිරියට ගොස්‌ හම්බන්තොට වරායත් චීනයට ලබාදී මුදල් ලබා ගැනීමට ඉදිරිපත් විය. හම්බන්තොට වරායට අයත් අක්‌කර 5000 ක භූමි භාගයට අමතරව ඉන් පිටත තවත් අක්‌කර 15,000 ක භූමි භාගයක්‌ද චීන සමාගමකටදී මුදල් ලබා ගැනීම ආණ්‌ඩුවේ අභිප්‍රාය විය.
මේ අනුව චීනයට ලබාදීමට නියමිත වූ මුළු භූමි ප්‍රමාණය අක්‌කර 20,000 ක්‌ නැතිනම් වර්ග කිලෝමීටර් 80 ක්‌ විය. මෙය වතිකානු රාජ්‍යය, මොනාකෝ රාජ්‍යය, ජිබ්රෝල්ටා, කොකෝස්‌ දූපත්, නාවුරු දූපත්, ස්‌ප්‍රැට්‌ලි දූපත් හා මකාමේ යන කුඩා රාජ්‍යයන් සියල්ලටම වඩා විශාල භූමි භාගයකි. චීනයට මේ ආකාරයට හම්බන්තොට වරාය හා කුඩා රාජ්‍යයන් 7 කට වඩා විශාල භූමි භාගයක්‌ ලැබුණු පසු චීනයේ පරමාණු සබ්මැරීන පවා හම්බන්තොටට ගෙන්වා නතර කරගතහොත් එයට විරුද්ධ වන්නේ කවුද? හම්බන්තොට වරාය හමුදාමය නැතිනම් යුදමය කටයුතුවලට යොදවාගත නොහැකි යෑයි වගන්තියක්‌ එයට අදාළ ගිවිසුමට ඇතුළත් කළද එවැනි වගන්ති බලාත්මක කරන්නේ කවුද? කොළඹ වරයාට චීන සබ්මැරීනයක්‌ ආවා යෑයි කියා රාජපක්‌ෂ ආණ්‌ඩුව පළවා හැරීමට කුමන්ත්‍රණ දියත් කළ ඉන්දියාව තමාගෙන්ම අසාගත යුතු ප්‍රශ්නය එයයි. හම්බන්තොට වරාය, හමුදාමය කටයුතුවලට යොදවාගත නොහැකි යෑයි වගන්තියක්‌ ගිවිසුමේ තිබුණත් ශ්‍රී ලංකා ආණ්‌ඩුවට එය බලාත්මක කිරීමට හැකියාවක්‌ තබා වුවමනාවක්‌ වත් පහළ වන්නේ නැත. එමෙන්ම හම්බන්තොට වරාය චීනයට කැමති ඕනෑම දේකට යොදවා ගැනීම වැළැක්‌වීමට ඉන්දියාවට හැකියාවක්‌ද නැත.

අජිත් ඩොවාල් සහ රෝ සංවිධානය එකතුවී ලංකාවේ ඇතිකළ ආණ්‌ඩු පෙරළියෙන් පසු හටගෙන තිබෙන මේ තත්ත්වය තවමත් ඉන්දියාවේ ජනතාවගේ හෝ විපක්‌ෂයේ අවධානයට යොමුවී නැත. වරාය නගරය තවමත් ඉදිවෙමින් පවතී. හම්බන්තොට වරාය තවමත් චීනයට භාර දී නැත. නමුත් වරාය නගරය ඉදිවූ පසුව හා හම්බන්තොට වරාය කුඩා රාජ්‍යයන් 7 කට වඩා විශාල භූමි භාගයක්‌ ද සහිතව චීනයට ලබාදුන් පසු අජිත් ඩොවාල්ගේ කුමන්ත්‍රණ අතේ පත්තු වී ඇති බව ඉන්දීය ජනතාවට අවබෝධ වනු ඇත. රාජපක්‍ෂ ආණ්‌ඩුව කාලයේදී ඉන්දයාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ පැවැති බවක්‌ ඔවුන්ට හැඟුන ද ඩොවාල්ගේ ආණ්‌ඩු පෙරළියෙන් පසු එය සිය දහස්‌ වාරයක්‌ වැඩිවී ඇති බවක්‌ ඔවුන්ට හැඟෙනු ඇත. අජිත් ඩොවාල් මේ දිනවල ශ්‍රී ලංකාව ගැන එක වචනයක්‌ හෝ කතා කරනු කිසිවකුටත් ඇසී නැත. ඩොවාල් මෝඩ ලෙස ශ්‍රී ලංකාවට කළ අත පෙවීම නිසා අද වනවිට ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවත් විපක්‍ෂයත් යන දෙකම චීනය පැත්තට නැඹුරු වී ඔවුන් අන් කවරදාටත් වඩා ලංකාව තුළ බලවත් වී සිටී.

මෑතකදී චීන කර්මාන්තපුරයක්‌ හම්බන්තොට ආරම්භ කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය උද්ඝෝෂණයක්‌ ආරම්භ කළ ද ඔවුන්ගේ අරගලය ආණ්‌ඩුවට එරෙහි අරගලයන් මිස චීනයට එරෙහි අරගලයක්‌ නොවීය. ආණ්‌ඩුවත් ඒකාබද්ධ විපක්‍ෂයත්a අතර වෙනස වන්නේ රාජපක්‍ෂ ආණ්‌ඩුව චීනය සමග ගනුදෙනු කිරීමේදී සෑමවිටම ලංකාවට වාසිදායක ගනුදෙනුවක්‌ කිරීමට උත්සාහ ගත් අතර යහපාලන ආණ්‌ඩුවට එවැනි තාර්කික ප්‍රවේශයක්‌ ගැනීමට තරම් මානසිකත්වයක්‌ නැති වීමය. යහපාලන ආණ්‌ඩුව දැන් සිටින්නේ මුදල් දෙනවා නම් ඕනෑම කෙනකුට ඕනෑම දෙයක්‌ දීමට සූදානම් තත්ත්වයකයි. ඇත්ත වශයෙන් ම චීනය කිසිම රටක්‌ අසාධාරණ ලෙස ගසා කන්නේ නැත. හම්බන්තොට වරාය බදු ගැනීමේ කාරණයේදී ද චීන සමාගම් දෙකක්‌ ලන්සු ඉදිරිපත් කරන ලදී. මෙයින් චයිනා හාබර් සමාගම ලංකාවට වාසිදායක ලංසුවකුත් චයිනා මර්චන්ට්‌ aසමාගම ලංකාවට අවාසිදායක ලංසුවකුත් ඉදිරිපත් කරන ලදී. මෙහිදී ලංකාවේ ආණ්‌ඩුව චයිනා හාබර් සමාගමේ ලංසුව පිළිගනු ඇති බවට චීනය බලාපොරොත්තු වූවා විය හැක. නමුත් චීනය පමණක්‌ නොව ලංකාවේ ජනතාව ද මවිතයට පත් කරමින් යහපාලන ආණ්‌ඩුව පිළිගෙන තිබෙන්නේ ලංකාවට අවාසිදායක ලංසුවයි.

රාජපක්‍ෂ ආණ්‌ඩුව යටතේ චයිනා හාබර් සහ චයිනා මර්චන්ට්‌ යන සමාගම් දෙකම ඒකාබද්ධ ව්‍යාපෘතියක්‌ හැටියට හම්බන්තොට වරායේ බහාලුම් පර්යන්තය පමණක්‌ ලංකාවට ඉතා වාසිදායක කොන්දේසි යටතේ අවුරුදු 40 කට බදු ගැනීමට ගිවිසුමක්‌ අත්සන් කොට තිබිණි. රාජපක්‍ෂ ආණ්‌ඩුව චීනයත් සමග ඉන්නා ගමන් වත්මන් ආණ්‌ඩුවට වඩා ඔවුන් සමග වාසිදායක ගනුදෙනුවලට එළැඹුණු බව ප්‍රත්‍යක්‍ෂ කරුණකි. ඒ කෙසේ වෙතත් චීනය පැත්තට දැන් රාජපක්‍ෂවරු ප්‍රමුඛ විපක්‍ෂය පමණක්‌ නොව යහපාලන ආණ්‌ඩුවත්a සිටින අතර ඉන්දියාවට අල්ලපු අත්තත් නැති පය ගහපු අත්තත් නැති තත්ත්වයක්‌ උදා වී ඇත. ඉන්දියානු ආණ්‌ඩුව ලංකාව තුළ රෝ සංවිධානය යොදවා කරන මේ සෙල්ලම් ගැන ඉන්දියාවේ දේශපාලන විචාරකයන් ද අනතුරු ඇඟවීම් කර ඇත. රොහාන් වෙන්කටරාම ක්‍රිෂ්ණන් නමැති විශ්ලේෂකයකු 2015 ජනවාරි ආණ්‌ඩු පෙරළියත් සමඟම ඒ රටේ ප්‍රධානම වෙබ් අඩවියක්‌ පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ආණ්‌ඩු පෙරළියට රෝ සංවිධානය මැදිහත් වූ බවට පැතිර යන කතා ඉන්දියාවට දැඩි ලෙස අවාසිදායක බවයි. නේපාලය උදාහරණයට ගනිමින් ඔහු පවසා සිටියේ රෝ සංවිධානය ඒ රටේ දේශපාලනයට මැදිහත් වී කළ සෙල්ලම් නිසා අද ඉන්දියාවට හිතවත් සෑම දේශපාලනඥයකුටම එරෙහිව නේපාල ජනතාව පෙළගැසෙන බවයි. ලංකාවේ මේ ආණ්‌ඩු පෙරළියටද රෝ සංවිධානය මැදිහත් වූ බව ලංකාවේ ජනතාව දනී. එපමණක්‌ද නොව 1980 ගණන්වල ඉන්දියාව මේ රටේ කළ වින්නැහියද ජනතාවට තවම අමතක වී නැත. මේ ආකාරයට අජිත් ඩොවාල් ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගැසීමට ගොස්‌ ලංකාව තුළ ඉන්දීය විරෝධී හැඟීම් උත්සන්න කර තිබෙන අතර ඔහු මහත් පරිශ්‍රමයක්‌ දරා බලයට ගෙනා ආණ්‌ඩුවද දැන් ඔහුගේ පාලනයෙන් ගිලිහී ඇත. ඩොවාල් කාශ්මීර බෙදුම්වාදීන්ට එරෙහිව කළ එක්‌ මෙහෙයුමකදී මොහොමඩ් යූසුµa නමැති කාශ්මීර් බෙදුම්වාදී ත්‍රස්‌තවාදියකු ඉන්දීය ආණ්‌ඩුව පැත්තට ගෙන බෙදුම්වාදයට එරෙහිව ප්‍රති ත්‍රස්‌තවාදී මෙහෙයුම් දියත් කිරීමට හැකි විය. නමුත් වරාය නගර ව්‍යාපෘතිය හෝ හම්බන්තොට වරාය චීනයට ලබාදීම නැවැත්වීමට ඔහුට සිරිසේන ජනාධිපතිවරයාට හෝ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බලපෑම් කිරීමට හැකිවී නැත.

පකිස්‌තානයේ එක්‌ පුවත් වෙබ් අඩවියක පළ වූ ලිපියක සඳහන් වූයේ අජිත් ඩොවාල්ගේ විදේශ ප්‍රතිපත්තිය දැන් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වී ඇති බවට අදහසක්‌ භාරතීය ජනතා පක්‍ෂය තුළත් පැතිරෙමින් පවතින බවයි. ඉන්දියාවේ "ද වයර්" නමැති වෙබ් අඩවියේ ද ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය රෝ සංවිධානය විසින් "හයි ජැක්‌"කර ඇති බවට ලිපියක්‌ පළ විය. මේ වෙබ් අඩවියේම නැවතත් පවසා තිබුණේ ඩොවාල්ගේ සම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයෙන් බැහැර කර තිබෙන බවයි. මේ ආකාරයට අජිත් ඩොවාල් විසින් ලංකාවේ දේශපාලනයට මැදිහත් වී කරගත් වින්නැහිය ලංකාව තුළ ඉන්දියාව ලැබූ දෙවැනි මහා පරාජයයි.

1980 ගණන්වලදීද ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්‌තවාදීන්ට උදව් දුන්නේ තමිලනාඩුවේ බලපෑම නිසා නොව බටහිරට නැඹුරු වූ විදේශ ප්‍රතිපත්තියක්‌ සහිත ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව මට්‌ටු කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුවට තිබු උවමනාව නිසාය. එය අවසන් වූයේ ඉන්දියාව කිසිදාක නොලැබූ තරම් දරුණු යුදමය පරාජයක්‌ කොටි සංවිධානය හමුවේ ලැබීමත්, ඉන්දියාව පරාජිතයකු හැටියට ලංකාවෙන් ඉවත් වීමත්, කොටි සංවිධානයේ පළිගැනීමකට ලක්‌වී රජීව් ගාන්ධිට තම ජීවිතයත්a අහිමි වීම යන සිදුවීම් මාලාවෙනි. 1980 ගණන්වලදී ඉන්දියාව ලංකාව තුළ කළ මෙහෙයුමෙන් ඉන්දීය හමුදාවේ සෙබලුන් 1155 ක්‌ මැරුම් කෑ අතර 36 දෙනකු සදාකාලික ආබාධිතයන් බවට පත් විය. ඉන්දියාව, චීනය හා පකිස්‌තාය සමග කරන ලද යුද්ධ වලදීවත් එවැනි ජීවිත විනාශයකට මුහුණදී නැත. මේ ජවනිකාවේ ලැඡ්ජා සහගතම කාරණය වන්නේ තමිල්නාඩුවේ අප්‍රසාදයට තිබෙන බිය නිසා ලංකාවේ මියගිය තම සෙබලුන් සැමරීමටවත් ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව දශක දෙකකටත් වඩා කාලයක්‌ බියෙන් සිටීමයි. ලංකාවේ ආණ්‌ඩුව විසින් බත්තරමුල්ලේ ඉන්දීය සෙබලුන් සිහි කිරීමට ඉදිකොට ඇති ස්‌මාරකය ඉදිරිපිට මල්වඩමක්‌ හෝ තැබීමට ඉන්දීය හමුදාපතිවරයකුට අවස්‌ථාව ලැබුණේ රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් කොටි සංවිධානය විනාශ කළ පසුව පමණි.

2014 දී ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව ලංකාවේ දේශපාලනයට මැදිහත් වූයේ තමිල්නාඩුවේ බලපෑමක්‌ නිසා නොව රාජපක්‍ෂ ආණ්‌ඩුව චීනය සමග පවත්වාගෙන ගිය සම්බන්ධය නිසාය. 1980 ගණන්වල මෙන්ම අදත් ඉන්දියාවට විනකෙරුවේ, වින කරන්නේත් ඔවුන් ම කවා පොවා ලංකාව තුළ ඇති කළ ගෝලයන්ය. 1980 ගණන්වලදී ඉන්දියාවෙන් යුද පුහුණුව හා ආයුධ ලබාගත් කොටි සංවිධානය පෙරළා ඉන්දියාවට පහර දුන්නේය. අද ද රාජපක්‍ෂ ආණ්‌ඩුව කිසිදාක චිනයට ලබාදුන් නැති තරමේ වරප්‍රසාද හා පහසුකම් ඔවුන්ට ලබා දෙමින් සිටින්නේ ඉන්දියාව විසින්ම බලයට ගෙන ආ යහපාලන ආණ්‌ඩුවයි. මේ ඇති වී තිබෙන වින්නැහිය හමුවේ තම ආත්මගරුත්වය බේරා ගැනීමට ඉන්දියාව එට්‌කා ගිවිසුම තුළින් ලංකාව තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කිරීමෙන් සිදුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අතර ඉන්දීය විරෝධය තවත් උත්සන්න වීමක්‌ පමණි.

2014 දී ලංකාවේ දේශපාලනයට අත පොවා ඩොවාල් ඉන්දියාවට කර ඇත්තේ විනාශයක්‌ බව පැහැදිලිය. දැන් අවුරුදු 70 ට වඩා වයස ඩොවාල් මුළු ජීවිත කාලයක්‌ පුරා ගොඩනඟාගත් කීර්ති නාමය අද අවදානමට ලක්‌වී ඇත. ඔහුගේ ආත්මගෞරවය බේරා ගැනීමට නම් චීන වරාය නගර ව්‍යාපෘතිය මෙන්ම හම්බන්තොට වරාය බදු දීමද ඔහු කෙසේ හෝ නවතා දැමිය යුතුය. නමුත් එවැන්නක්‌ කිරීමට ඔහුට හැකියාවක්‌ නැත. මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ලංකාව කෙරෙහි ඉන්දීය ආණ්‌ඩුවේ ප්‍රවේශය වෙනස්‌ විය යුතු බවයි. 1980 ගණන්වලදී රජීව් ගාන්ධි විසින්ද 2014 දී අජිත් ඩොවාල් විසින් ද ලංකාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාදාමවලින් ඉන්දියාවට අත් වූයේ තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට හාත්පසින්ම විරුද්ධ ප්‍රතිඵලයකි. රාජතාන්ත්‍රික කටයුතු වෙනුවට රෝ මෙහෙයුම් යෙදවීමේ ආදීනව එයයි.

බොහෝ ශ්‍රී ලාංකිකයන් ඉන්දීය විරෝධීන් නොවේ. සියලු බෞද්ධයන් ඉන්දියාව දෙස බලන්නේ බුදුන්ගේ ජන්ම භූමිය වූ ජම්බුද්වීපය දෙසය. මේ ආකාරයට සංස්‌කෘතික සමානකම් තිබෙන රටක්‌ වන ලංකාව සමගත් ඉන්දියාවට මිත්‍රශීලී සම්බන්ධතා පවත්වාගෙන යැමට නොහැකි වීම ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ අසාර්ථකත්වයේ ලක්‍ෂණයකි. අප කලින් පෙන්වා දුන් පරිදි ඉන්දියාවේ මධ්‍යම ආණ්‌ඩුව ලංකාවේ දේශපාලනයට මැදිහත්වී අත පුච්චාගත් අවස්‌ථාව දෙකේදීම ඔවුන් එසේ කළේ තමිල්නාඩුවේ බලපෑමට නොවේ. ඒ තත්ත්වයන්වලට වගකිවයුත්තේ ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව පමණි. මේ සියල්ලෙන්ම ඉන්දියාව ඉගෙන ගත යුතු පාඩම වන්නේ තම අසල්වාසී රටවල් තුළ රෝ සංවිධානය යෙදවීම ඉන්දියාවේ වුවමනාවන් ඉටු කර ගැනීමේ හොඳම ක්‍රමය නොවන බවයි.

 
notes of imaginary

Monday, March 13, 2017

සරුංගලේ - වරල් සැලේ.



බොහෝ සරල දේවල් අතහැර අපේ ආණ්ඩුව ගැන ලිවීමට අදහස් කලේ රතන හාමුදුරුවන්ට සිදුවු මානසික අබග්ගයට අපත් මුහුන දෙමින් සිටින නිසායි. උන්වහන්සේ දෙරන රූපවාහිණියේ “ මොකද වුනේ ”වැඩ සටහනට සහභාගී වෙමින් මේ ආන්ඩුව අවුරුදු දෙකකට මොකක්ද කලේ යයි අපගෙන් විමසන ලදී. අපි කුමක් කියන්නද ? . උන්වහන්සේලාගේ ආණ්ඩුව ඇත්තෙන්ම මොකක්ද කලේ ?.
මහින්ද ඇතුළු නඩය එළවා දමා නව පාලනයක් පිහිටුවීමේ අභිලාෂයක් 2013 -2015 කාලයෙදී ජනතාව අතර මෝදු වෙමින් පැවතිනි. එය “නිතර දකින කුකුළාගේ කරමළය සුදුයි  වැනි සිතිවිල්ලක්  මෙන්ම මහින්ද නඩයේ බලහත්කාරී පාලන ක්‍රියා දාමයන්ට එරෙහිවු  ජනතා ප්‍රතිචාරයක් විය.රණිල්ට බලය ලබා දීමේ ප්‍රයත්නයට ගණන් හිලව් බලා මෛත්‍රී ඇමට යොදා කරන ලද ඒ වික්‍රමය සාර්ථක කරගත්තා මිස එතනින් එහාට යමක් හිතන්නට මහින්දට විරුද්ධව ඡන්දය භාවිතා කල අපට එදා නොහැකිවිය. අද රණිල් ගේ ආවේනික ක්‍රමයට  මෛත්‍රීගේ නොවැඩුනු රාජතාන්ත්‍රික භාවය යටවී රටට නොගැලපෙන පාලන ක්‍රමයක් ඉපදී නූල කැඩුන සරුංගලයක් මෙන්  රට ආයාලයේ පාවෙමින් යන අයුරු අපට දකින්නට ඇත.
අපි අද දැඩි ආර්ථික ප්‍රශ්න මධ්‍යයේ එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්නට ප්‍රයත්න දරන පිරිසක් බවට පත්ව ඇත.මේ වෙනස 2015ට පෙර ගලපා බලන විට පෞද්ගලික මට්ටමෙන් දැඩි වේදනාකාරීය. සුළු ,මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයෝ මෙන්ම මහා පරිමාන ව්‍යාපාරිකයෝද තමන්ගේ ව්‍යාපාර මුදල් සංසරනය අවම වීමෙන් කඩාහැලෙන තත්වයකට පත්ව ඇතැයි මැසිවිලි නගන්නේය. ජනතාවගේ දෛණික ආදායම අඩුවීම සහ භාණ්ඩ මිළ කෘතිම ලෙස ඉහලයාමත්  මිළදී ගැණිමේ හැකියාව අඩුවීමත් වෙළදපල මුදල් සංසරණයට විශාල බලපෑමක් කර ඇත.ආර්ථිකය ගැන දැනමිත්තන්ගේ ප්‍රකාශයන් කියවන විට මේ තත්වය තවදුරටත් ඉහල යනු ඇතැයි බියක්  අපට ඇතිවන බව සටහන් කළයුතුය.
මා කියවු ලිපියක අපේ ආර්ථිකය හැසිරෙන ස්වභාවය විස්තර වෙන්නේ මෙලෙසින්ය.  ඉන්ධන මිළද පහල බැස ඇති විටත්  අපගේ ආනයන වියදම ඩොලර් බිලියන 20.5 කි. මෙයට සමානුපාතිකව අපගේ අපනයන වියදම ඩොලර් බිලියන 8.5 කි. මේ දෙක අතර වෙනස ඩොලර් බිලියන 12කි. මේ වෙනස රටකට නොව නිවසකට වුවද දරා ගත හැකිද ?
විදේශීය රටවල සේවය කරන අපේ ශ්‍රමිකයන් රැගෙන එන මුදල ඩොලර් බිලියන 6.2 කි.සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4.2 කි. පුනාරවර්ථන වියදම ඩොලර් බිලියන .15 ක් සහ ප්‍රාග්ධන වියදම ඩොලර් බිලියන 4.2 ක් වෙද්දී රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 3.2 තෙක් පල්ලම් බැස ඇත. විදේශ සංචිත මේ වන විට ඩොලර් බිලියන 4.7 දක්වා පැමිණ තිබේ.
ස්වභාවික තත්වයන්ද රටට එරෙහිව කටයුතු කරමින් සිටීම කාගේ අභාග්‍යක්දැයි සිතිවිල්ලක් ඇතිවේ. මේ වසරේ කලට වැසි මෙන්ම කලට නියගයද පැමිණියේ නැත. අකලට වැසි වසින්නත් අකලට ආ නියගයත් කෘෂිකාර්මික කටයුතු අවුල් වියවුල් කලේය . මේ නිසා
සහල් ඇතුළු කෘෂිකර්ම ක්‌ෂේත්‍රයේ ආදායම සියයට තිහත් හතළිහත් අතර ප්‍රමාණයක අඩුවීමක්‌ සිදුවෙතැයි අපේක්‌ෂා කෙරේ.   පෙර දිනක අගමැති - ජනාධිපති යුගල 2018 මාර්තුවල ඇතිවිය හැකියයි අපේක්‍ෂිත ආහාර හිගයකට මුහුණදීමේ අවධානම පිලිබදව අදහස් පල කර තිබු බව මාධ්‍ය වාර්තා කර තිබිනි.
 2014 වර්ෂයේ 4.5% ක්වු විරැකියාව 2017 වසරේදී 5.4% කි.
ආණ්ඩුව මේ අර්බුදය සදහා පිළියම් සොයන්නේ රාජ්‍ය දේපල විදේශීය ආයොජකයන් සතුකිරීමෙනි.චීන කොළණිය ප්‍රතික්‍ෂෙප කල අපි එදාට වඩා හොදින් කොළණිය වැළද ගන්නට සිදුව තිබේ.මත්තල වී ගබඩාවක් වු හෙයින් කටුනායක ප්‍රතිසංස්කරණය කරන තෙක් දවල්ට ගුවන් ගමන් නතර කරන්නට සිදුව තිබේ.
මේ ජනතාව 2015 ජනවාරි 8 වෙනිදා කරන ලදැයි කියන විප්ලවයේ ප්‍රතිපල නම් ජනතාවට ප්‍රති විප්ලවයක් කර පැරණි තැනට යලිත් යා යුතුයයි සිතන කාලය එළඹ ඇති බව කතා බහින් ඇසෙන්නකි.වර්තමානයේ බිහිව ඇති දේශපාලන පක්‍ෂවල ආරාජිකත්වය තවත් රට අවුල් කරන්නකි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරය අතර පිල් දෙකකි. මින් ජනාධිපතිවරයා නිල නායකයා වන විට ජනතාවගේ නායකයා බවට හිටපු ජනාධිපතිවරයා බවට පත්ව ඇති බව නොරහසකි. වාමාංශික කණ්ඩායම් අතර ඇත්තේද බල අරගලයකි. ජනතාව අතර සක්‍රීය වාමාංශික ව්‍යාපාරයවු  ජවිපෙය ගිලන්වු සහ කණ්ඩායම් කිහිපයක් අතර බෙදී ගිය ආවේගයකි.ආගම් පදනම් කරගෙන , ජාතීන් පදනම් කරගෙන ද ඇතිවී ඇති බෙදීමද භයානකව පැතිරෙමින් පවතී.
රටකරවන පාලකයෝ අසීමාන්තික ලෙස වරප්‍රාසාද භුක්ති විදිමින් සිටී. සරල උදාහරණයක් ලෙස වාහන ගැන සිතමු. ජනතාව 15%ක් වු වැට් බද්දත් ජාතිය ගොඩ නැගීමේ බද්දත් සෑම පාරිභෝගික භාණ්ඩයකටම ගෙවද්දී   පාලකයෝ මිලියන හැට හැත්තෑවේ වාහන තමන්ගේ සුඛවිහරණය තකා ගෙන්වතී. ජනතාව පීඩාවට පත් කරන බදු ඉවත් කරන්නට නොහැකිව තිබියදී ඒවාට වියදම් කරන්න විදේශ මුදල් තිබේ.

නීරෝ වීණා වයති. ජනතාවට පාන් බැරිව සිටිති. පාලකයෝ කේක් කති.
notes of imaginary

Sunday, February 05, 2017

මගේ බෞද්ධකම


අපේ හාමුදුරුවෝ   මේ සෘධියෙන් වඩින්නේ සයිටම් හුටපටය නිවා දමන්න වැඩිය ගමන්. හාමුදුරුවන්ගේ පැනිල්ලත්  සහභාගීවුන ගමනත් ගැන හිතපුවම බුද්ධධර්මයේ අනාගත පැවත්ම සංඝ සමාජයත් සමග බැදෙන්නේ නැහැ කියලා මට නැවත නැවතත් හිතුනා.
මේ මගේ කතාව සයිටම් ගැන නොවේ . වසර දෙදහස් පන්සිය පනහකටත් වැඩිය වයසට ගිය          අපේ රටේ  බෞද්ධකම ගැනයි.
මම පන්සල් නොයන බෞද්ධ ප්‍රතිපත්ති හැකිතාක් දුරට රකින පුරවැසියෙක්. පන්සලකට යතත් යන්නේ මට කරදරයක් නොවන  හාමුදුරුවරුන් ඉන්න පන්සල් වලට විතරයි. පන්සලක දායකයෙක් වෙලා ඉන්න එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. හිතේ කුසල් රැස් කර ගන්න පන්සල්ම යන්න ඕනී නැහැ කියලා මට හිතෙනවා. මම දවසක ලිව්ව  පන්සල - “පහන් - සලක්”  විය යුතුයි කියලා. ඒත් අපේ පන්සල් -  පහන්සල් ද ?.
පන්සල් යන දායක දායිකවෝ පන්සලේ හාමුදුරුවෝ මග ඇරලා පන්සලට ගිහින් එන්න තරම් සර්ධාවක් හිතේ ඇති කරගන්නවා. පන්සලේ හාමුදුරුවෝ දැක්කොත් වැඩ ගොඩයි. කවදාවත් නිමා නොවන පන්සලේ සංවර්ධණ ව්‍යාපෘති උපාසික උපාසිකාවන්ගේ චිත්ත සංතානය දෙදරවනවා. හාමුදුරුවන්ට දැනෙන්නේ නැහැ ගිහියන්ට තියෙන කරදර කලබල . ඒ වයින් හිත සැහැල්ලු වෙන්න මල් පහන් පුදා බුදුන් වැද පන්සල් පරිසරයේ  ටික වෙලාවක් ගත කරන්න යන ගිහියන්  ආපසු පන්සලෙන් නික්මෙන්නේ තවත් හිතේ බරක් පුරවා ගෙන නම් ඒ පන්සල් ගමනෙන් වැඩක් තියෙනවද ?.
අපේ රටේ තාමත් කටුමැටි ගහලා පිදුරු හරි පොල් අතු වගේ තාවකාලික වහලක් යොදා නිවසක් හදාගන ඉන්න පවුල් කීයක් ඉන්නවද ?. එවැනි ගම්මාන පවා තියෙන්න පුළුවන්. එ වැනි ගම්මානයක පවා ඉදිකරගෙන තියෙන විහාරාධිපතීන් වැඩ වාසය කරන නිවාසවල සුඛොපභෝගීත්‍වය දෙස බලන කොට මේ ගොඩනැගිලි ඉදිවෙලා තියෙන්නේ ඒ අසරනවු දුක්පීඩා මැද ජීවත්වන ගම්වැසියන්ගේ රුපියලෙන් ශ්‍රමයෙන් වීම නිසාවෙන් සසර මේ තරම් නිසරුද කියලා හිතෙනවා.
අපේ ඇත්තෝ අතේ තියෙන හැටියට තමන්ගේ අපල උපල දුරු කර ගන්න බාර හාර වෙනවා. වදිනවා පුදනවා. තිරුපතිවලින් පටන් අරන් ගමේ නුගරුක යට වැඩ වසන දෙවියන් දක්වා යතිකා කරනවා. අපේ මිනිසුන්ගේ කාලය දියකරන බලවේග බවට පල්ලි කෝවිල් පන්සල් පත්වෙලා. ආගම් බේදයකින් තොරව මෙම පූජණිය ස්ථාන මුදල් උපයන ආර්ථික මධ්‍යස්ථාන බවට පත්වෙලා. රජය කරවන ඇත්තෝත් සත්භාවයෙන් එම කටයුත්තේ නියලෙන්නේ නැති නිසා දෙවියනට බියයි. ඒ  නිසා තාමත් මේ තැන් වලින් වැට් බදු , ආදායම් බදු ,ජාතිය ගොඩ නැගීමේ බද්ද අයකරන්නේ නැහැ. නැත්නම් බුලත් කොලේ පූජා වට්ටියේ තියෙන මුදලට තවත් 20% ක් විතර අමතරව මුදලක් පීඩාවෙන් යදින යදින්නන්ට සිදුවේවි.

දේව විශ්වාශය ශාන්තිකර්ම නානාප්‍රකාර පූජා විධි  ප්‍රවර් ධණය කරන්න සැදී පැහැදී ගත් ඇත්තෝ බොහෝමයි.එමගින් උපයන මිළ මුදල්ද බොහොමයි.පීඩා වෙන් වෙසෙන දනන් මුලා කර මුදල් උපයන මෙවැනි වෘත්තිකයන් ගැන දෙවියන් නොබලයි. ඒ දෙවියන් නොසිටින නිසාද ?.

notes of imaginary

Thursday, February 02, 2017

කාලෙකට පස්සේ.


නැගණහිරෙන් එන වැස්ස බලා ගෙන හිටපු අපට   වැදගත් මහත්තුරු ක්‍රොටන් කොළ කන්න කියනවා. අඩු ජල භාවිතයෙන් ගොවිතැන් කරන ක්‍රමවේදයන් ගැන උපදෙස් දෙන්න ඕණි මේ රාළලා ඒ වැඩේ නොකර  අපිට කොස් කොළ ක්‍රොටන් කොළ  කන්න    උපදෙස් දෙනවා.
“මුන් නම් රටත් පාලකයොත් කාලා අපිත්  කන්නම උපන් මිනිස්සු  !.
සෙනසුරුත් බටකොළ කෑවළු.
ඒ මේ ඇත්තන්ගේ උපදෙස් අරන් වෙන්න ඇති.
මේ සෙනසුරුගේ මොකක්ද තියෙන කාලේ කියනවානේ. ”
මහත්වරු  පිරිසක් බරපතල සාකච්ඡාවක.
ගැටෙන වීදුරුත් හැඩෙන හඩත්පැතිරෙන උස් හඩත්  මගේ අවධානය ඔවුන්ගේ කතා බහට නිකම්ම යොමු වුනා. උන්නැහේලාට පදම ඉක්මවා යා ගෙන යන්න ඇවිල්ලා වගෙයි මම හිතුවා.හෙමින් මුමුනමින් පටන් ගන්නා පිළිසදර මිලි ලීටර් 100...150....200....250...300 පහුවෙන කොට ටිකින් ටික වේගවත් වෙනවා. අවට ඉන්නේ කවුද කියන්නේ මොනවද මායිම් නැතිව වා තලය ගිණියම් වෙනවා.
අනුන්ගේ කතාවලට කන්දීම හොද පුරුද්දක් නොවුනත් ඇහෙන එක වලක්වා ගන්න මා ස්ථාන ගත වී සිටි  තැනට පුළුවන් කමක් නැහැ. වරින් වර මා ගැන සොයා බලන සේවක මහතා හැර මගේ මේසේ පාළුයි. මගේ තනියට කවුරුත් නැහැ.තනියට ඇහෙන කතා මම අහගෙන හිටියා.
සෙනසුරුට වැඩි ප්‍රතිචාරයක් නැතිව කතා අතීතයත් වර්තමානයත් අතර ගැටුමක්වු මාතෘකාවකට මාරුවුනා. 
“ මචන් උඹට මතකද ?  අපේ ඒ ලෙවල් ක්ලාස් එකේ හිටපු මුහන්දිරම් ?.
ඇයි බන් අමතක ?
ඌ  ලංකාවට ඇවිල්ලා ....
මම කතා කලා.... ඌ කියනවා මාව අදුරන්නේ නැහැ කියලා.
මචං වයස යනකොට කල්පනාව අඩුවෙනවා.
උබේ වයස කීයද ?
මට හැත්තෑ එකයිනේ බන්.
ඉතින් ඌටත් හැත්තෑ එකයි නේ බන් .
ඌ උබට හමුවුනේ අවුරුදු හතලිහකට විතර පස්සේනේ .ඉතින් ඌට උබව මතක නැතිවෙන්න ඇති.
වයසයි - මතකයයි අතර සම්බන්‍ධයක් තියෙනවානේ.
එනෙම් යකෝ මට මතක තියෙන්නේ ?”

මේසේ වටේ කතාව යනවා. එකට කා ගෙන බී ගෙන හිටපු යාළුව හදුනා නොගත් සිද්ධියට බරපතල විවේචනයක්.
හිතේ අමාරුවක් .

මේ කතා බහ අස්සේ මගේ මතකයට මින් වසර කිහිපයකට පෙර උන  ඔය වගේ නොවුනත් පුංචි අකරතැබ්බයක් මතක් වුනා. මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා පොලොන්නරුවේ. මම මාතලේ මළ ගෙදරක ගියා. අවසන් කටයුතුත් අවසන් වෙලා එන්න සැලසුම් වෙලා තිබුන නිසා ඒ අතර දවසක විවේක කාලයක් තියෙනවා. ඒ දවස ප්‍රයෝජනයට අරගෙන කාලයකින් හමු නොවුන සහෝදරයා සොයා ගෙන මම පොලොන්නරුවට යනවා. සහෝදරයා එවකට සේවාගම විද්‍යාලයේ විදුහල්පතිවරයා.
මම දිවා කාලය නිසාවෙන්  එකවරම  නිවසට නොගිහින් විදුහලට යන විට විදුහල්පතිවරයා කලාප කාර්යාලයට ගිහින්.
නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හමුවු මම මා හදුන්වා දී ආ ගිය කතා කීවිට
මාව කාර්යාලයේ අසුන් ගැන්වු නියෝජ්‍ය විදුහල්පතිවරයා
“ සර් නම් නැහැ  - සර්ගේ දුව උසස් පෙල පන්තියේ ඉන්නවා . ඉන්න මම එන්න කියන්නම්.
දුව එනවා ..
නියෝජ්‍ය විදුහල්පතිවරයාත් ඉන්නවා.
හ්ම්...  මම අදුනන්නේ නැහැ ..දැරිවි  කියනවා.
මම දරුවා හදුනා ගන්නවා. ඒත් මේ දැරිවි මාව  හදුනාගන්නේ නැහැ . මම මෙහොතකට අසරන වෙනවා.
මගේ ජාතික  හැදුනුම් පත දැරිවියගේ අතට දික් කරන මම
“ මෙයාව හදුනනවාද ?”
අප්පේ .... මේ .........බාප්පානේ.
යාන්තම් විදුහල්පතිවරයා එනකම් මාව බේරෙනවා.

මේ කතා දෙක අතර සහසම්බන්‍ධයක් නැතිව ඇති.

කාලෙකින් හමුනොවුනාම මතකය වියකෙනවා. අපේ අවධානය තිබෙන මතකයන් පමනක් රැදිලා තියෙනවා. අවධානයෙන් ගිලිහෙන මතක රැදී තියෙන්නේ නැහැ. ධන සම්පත් පංති ස්ථරයන් අතරත්  සම්බන්‍ධතා ගිලිහි යනවා. මගේ සේවා දායකයාට උසස් පෙල මිත්‍රයා දැක්වු ප්‍රතිචාරයත් අතර එවැනි සාධකයක් තියෙන්න ඇති.
මගේ ව්‍යාපාරක මිත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ දුරකතනයේ ඇති ග්‍රාහක අංක දහසකට ආසන්නයි. ඔහුට කතා කල සැනින් හඩින් හදුනා ගන්නවා. තිරයේ දිස්වෙන නමින් තහවුරු කරගන්නා හඩට අනෙක් කෙළවර ආමන්ත්‍රනය කරනවා. අවුරුදු හතලිහක පමණ අතීත පාසල්වියේ මිතුරන් රෑනක් ඔහු වටා තාමත් ඉන්නවා. මම හිතන්නේ ඔහු      ධනයත් සමගම පිරිසත් රැස්කරගන්නවා  කියලා. සමහර උදවියට මේ අවශ්‍යතාවය නැහැ . ධනය සම්පත් ගොඩනගා ගත්තම ඇති. පිරිසක් ඕනී නැහැ. පිරිස කරදරයක්.

මළ පසු දුක් ගී ගයන්න  ගෙදර හතර පස් දෙනා විතරක් ඉතිරි වන මළ ගෙවල් වලට අපිට  ගොඩ නගින අවස්ථා ඇතිවෙනවා. ඒ  මෙවැනි හුදකලා වෙන්න කැමති  අයගේ කියන සිතිවිල්ල සමග මා අතරමං  වෙනවා.


notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon