අපේ දෙමව්පියන් විවාහව ඇත්තේ යෝජනාවකින්. සිරිත් ලෙස කේන්දර ගලපා, චාරිත්ර වාරිත්ර ඉටුකර නැකතට නිවසට කැන්දන් ආ මනාලිය සහ මනාලයා ඊට කලින් මුණ ගැසී තිබුනේ දින දෙක තුනකි.
දශක තුනක් පමණ මේ දෙදෙනා සතුටින් සහයෝගයෙන් කාලය ගත කල අරුමය ඉතාමත් කෙටි කලකින් කුඩුම්බය බිද හැර නැවතත් දෙමාපිය සරණ පැතූ මට හිතනා විටත් නින්දා සහගතය. විවාහයට කලින් අවුරුදු පහක් හයක් ඇසුරේ සිටියත් මට සමීරවත් සමීරට මා වත් තේරුම් ගන්නට නොහැකිිවී තිබිනි.
අපට බොහෝ ගැටුම් ඇතිව තිබුනේ එකිනෙකා කිසිම අවස්ථාවක එකග නොවන නිසා යයි මට දැන් සිතා ගන්න හැකිය.
පියානන් මහත්සේ කෝප වන විට අම්මා බැලලියක මෙන් නිශ්ශබ්ද වුවාය.අම්මාටද පියා සමග මත ගැටුම ඇතිව කේන්ති යන අවස්ථා ඇති විට ඔහු පසු බසින්නේය. බොහෝ විට අම්මාගේ කේන්තිය පහව යනතුරු මග හැරීමත් සැහැල්ලුවට ගැනීමත් ඔහුගේ සිරිතය.
මා ලග සිටියොත් “ පොඩ්ඩියේ අම්මාට දෝං ගිහිල්ලා නේ “ යයි කිියමින් වත්ත පහලට පසු බසින්නේය.
ඉද හිට මුණ රතු කර ගෙන වැඩියෙන් ඇස්පිල්ලම් ගසමින් ගෙදරට ගොඩ වදින තාත්තා අප සමග වැඩියෙන් හිනා වෙන කතා කරන දවසක “ අද නම් සරුවෙලා “ යයි කීවා මිස අම්මා අරගලයට ගියේ නැත.ලොකු දෙයක් වුනත් සාමදානයෙන් විසදා ගැණිමට ඔවුන්ට හැකියාව තිබුනේය.
එහෙත් අප .............?.
වත්ත පහල ඇවිද ගෙට ගොඩවදින අම්මා මොනවදෝ කියනා හඩින් මගෙ දැහැන බිද වැටුනේය.
“අම්මේ .......?. මම අම්මා විමසුවෙමි.
මොකද ? සරුංගල් අරිනව ද ? විමසන්නේ යෙහෙලියක විලසින්ය.
මට ලැජ්ජා ද සිතිනි. මට වන් විපතේ බරක් දරන අම්මාට ඒ ගැන වගේ වගක් නැත.
මම හෙට මනුස්සයෙකුට එන්න කිව්වා වත්ත එලිපෙහෙලි කරලා දාන්න. හොදටම කැලේ වැවිලා .
පොල් ගෙඩියක්වත් ඇහිද ගන්න බැහැ.
එ්ක හොදයි අම්මේ , මාත් හිත හිතා හිටියේ ගේට්ටුව ගාවට යන කම් මල් ගස් ටිකක් හිටවන්න.
පියානන් සිටි අවදියේ පිලිවෙලට සිරියාවට තිබු ඉඩම දැන් අක්රමවත්ය.අම්මාට තියෙන කාර්ය කටයුතු සමග මේ සියල්ලම කිරීමට ඇයට විවේකය මදි තරම්ය.දැන් මගේ කාලයෙන් කොටසක් ඇයට උදව්වට වැය කල හැකිය.
කාලය නතර නොවී ගලා යාම .එක් තැන පල් නොවී තිබෙනවාට වඩා හොදය. දවස අළුත් වන විට ඒ දවසටත් වැඩ කටයුතු ගොඩ නැගී තිබීම මට සතුටට කරුනක් විය.
අම්මා ඇගපත දොවා ගෙන “ පෝඩ්ඩියේ තේ එකක් බොමු කීවේ තේ එක අතේ තියන ගමන්ය.හෙට ඉඩම සුද්ධ කර අවසන් වු විට මගේ මල් වගා යෝජනාව ඇරබීමට අම්මා අනුමැතිය පල කලාය.
මම එකගවුනෙමි. සමීර සමග නම් වෙනත් මතයක් ඇතිවී අරගලයක් ඇරබෙනු ඇත.