පෙරදී මහසුමනගේ දේව රාජ්‍යය ලෙසත් පොළොන්නරුව රාජ්‍ය සමයෙන් පසුව සපරගමුව නමිනුත් හැඳින්වෙන බස්නාහිර පළාතේ දේශ සීමාවන් වෙන් වන තැන රත්නපුර-පානදුර පාරේ වර්තමාන දුම්බර පාලමට ඉතාම නුදුරුව මහපාර අයිනේ පිහිටා තිබෙන මෙම දේවාලය ඇල්ලගාව පත්තිනි දේවාලය නමින් හැඳින්වේ මෙම දේවාලයේ ඉතිහාසය වසර 414 ක් පමණ ඈත සීතාවක යුගය දක්වා දිවෙයි .රා.ව. 1587 දී දෙවනගල රතනාලංකාර මහතෙර සාමි හා ගම්පොල රාජගුරු ධර්ම කීර්ති අනුතෙර සාමින් ඇතුළු මහා සංඝයා හා රදළවරුන් එක්ව කොනප්පු බණ්ඩාරට රාජ්‍යය ලබාදීමට රහස් කුමන්ත්‍රණයක් කරන වග ආරංචි වී කිපුණු සීතාවක රාජසිංහ රජ සහබාගිවූ සංඝයා වහන්සේ සිර භාරයට ගැනීමටත් සිවුරු හරවන්නටත් විහාර ගම් හේවාගම් කිරිමටත් පටන් ගත්හ එයින් බියට පත් සංඝයා භයින් පලාගියහ මෙම කුමන්ත්‍රණය සඳහා එක්වූ ප්‍රධාන පෙලේ සංඝයා වහන්සේලා 129 ක් දෙනම බැගින් එකට ඈදා සීතාවක ගඟේ කණමැදිරියන්වෙල ස්ථානයේ ගිල්වා මැරවූ බවත් එම භික්ෂුන් සතුව තිබු පන්සල් පොළොවට සමතලා කරවා ඒවායේ තිබු දහම් පොත්පත් ගිනිබත් කරවීය
ලපටි වියේ සිටම පත්තිනි දේවතාවිය කෙරේ ඇල්මක් තිබු රජු ඉන්පසුව පළමුවරට දෙහිගම්පල් කෝරලයේ මැදගොඩ පත්තිණි දේවාලයක් කරවීය මේ වන විට දිගම්පත කෝරලයේ විශාල ප්‍රදේශයක් අල්ලාගෙන සිටි පෘතුගීසින් හා යුද පිණිස රජතුමා ලැගුම් ගෙන සිටි කිරගම් කන්දේ ද 1589 පත්තිණි දේවාලයක් කරවූ රජු එයට රනින් කල පත්තිනි හළඹක් හා දේවාභරණ පුදා සිය යුධ සේනාංකයෙහි සිටි දේවස්තෝත්‍ර දත් මහනුවර අවධියේ ලොකු රාල නම් අයකුට ඇල්ලේ කපුරාලලාගේ යන පෙළපත් නාමය පට බැඳ ඔහු මෙම දේවාලයෙහි කපු තනතුරට පත් කළේයඑහි නඩත්තුව සඳහා ගඟෙන් මෙගොඩින් කුරුවිට කෝරලේ යටිපව්ව කොට්ඨාශයට අයත් ගොඩමඩ ගහකොලවලින් යුත් අක්කර 400 ක් ද නින්දගම් කොට දුන්නේය රජුගේ නියමයෙන් මේ සියලුම කටයුතු කර ඇත්තේ රජුගේ කුළුපඟ මුදලිවරයකු වූ එවකට රත්නපුර ප්‍රදේශය පාලනය කල මාතොට මනම්පේරි මුදලි පරපුරේ අයකු වූ ලොකු බණ්ඩාර මනම්පේරි නැමැත්තා විසිනි .කළු ගඟෙන් මෙගොඩ ගොඩේ සිට මෙම දේවාලයට යන බැතිමතුන් එකල ගියේ කළු ගඟේ පැනිගල් ඇල්ල යන ස්ථානයෙන් ඔරුවල නැගී මහත් ආයාසයක් විඳගෙනය එකල මේ ප්‍රදේශයේ අදට වඩා ගංවතුරෙන් හා පිටාර ගැලීමෙන් ගඟ රළු වන නිසා කලක් ගතවූ පසු බැතිමතුන්ගේ පහසුව තකා එතෙක් දිගම්පත කෝරලයේ කිරගම් කන්දේ තිබු දේවාලය වෙනස් කර කුරුවිට කෝරලයට අයත් දැනට පාර අයිනේ තිබෙන දේවාලය ඉහත්තෙන් වර්තමාන දේවාලකන්ද නමින් හැඳින්වෙන කන්දට ගෙනවිත් ඇත කලක් යාමේ දී එය ද වෙනස් කොට වර්තමාන දේවාලය තනා ඇත.