Wednesday, August 31, 2022

අපිත් මේ රටේ දරු පැටව්





උසස් පෙල ප්‍රතිපලත් සමග විභාගය පිලිබදව බොහෝ දේ ලියවෙනවා. මේ පැදි පෙල විශ්‍රාමලත් විදුහල්පති වරයෙක් වු සිරිපාල කහවත්තයන් විසින් රචිත නිර්මාණයක්. එතුමන් ලංකාවේ දූෂ්කර අති දුෂ්කර ප්‍රදේශවල ශිල්ප බෙදා දී අත්දැකීම් සම්භාරයක් අත්පත් කර ගත් බෙදා ගත්ගුරුවයෙක්, විදුහල්පතිවරයෙක්.



පත්තරේ වාහිණියෙ රේඩියෝවේ ඇහෙයි

හංදියේ බස් එකේ පෝලිමේ දිග හැරෙයි

කියන්නෙම උසස්පෙළ සමත් උන් වරුණෙමයි

මහත්තයො උසස්පෙළ මමත් ලිව්වා තමයි

 

තාත්තා මැරුණෙ මගෙ පොල්ගහෙන් ඇදවැටිල

අම්ම කොහු මෝලෙ වැඩ එන්නෙ හොඳටම නැහිල

මොනව හරි තම්බන්නෙ ඇවිත් පාසල ඇරිල

නංගීට මල්ලීට මම තාත්තෙක් වීල

 

සෙනසුරාදා ඉරිද අත්වැඩට මම යනව

හැමදාම හවස්කරෙ වත්තෙ පොල් ඇහිඳිනව

ලැබෙන සොච්චම අරන් රෑට ගෙදරට එනව

තාත්තෙකුගේ අඩුව පුරවන්න වෙහෙසෙනව

 

මෙහෙම දහදුක් විඳල උදේ පාසල් යනව

පෑන් පැන්සල් නැතත්,පංතියේ පළවෙනිය

රූල්වල ලිව්වොතින් පොතේ ඉඩ මදිවෙනව

රූල් තිබුනත් පොතේ ඒව අමතක වෙනව

 

උපෙළට හිටියේම ගුරුවරුන් තුන් දෙනයි

අපි කැමති මුත් නැතත් ඉගැන්නුවෙ එච්චරයි

ඉතිහාසෙ භූගෝලෙ අකමැතිම සිංහලයි

ටියුෂනුත් ගියෙ නැත්තෙ සල්ලි නැති හින්දමයි

 

තිබුනේම අඳින්නට එකමඑක කළිසමයි

ඒක හේදුව දාට ඇන්දෙ තෙත පිටින්මයි

යාළුවන් ගේන බත් දෙකටකින් බඩ පිරෙයි

වැවේ මඩ වතුර සමහරදාට හරි රහයි

 

තෙල්ටිකක් නැති දාටකුප්පි පහනත් නිදයි

වැඩපලක් නැතිදාට කුසේ ගිණිබඩ දවයි

වැස්ස වැස්සොත් එහෙම ගේ ඇතුළ දෝර යයි

ගම් වදින අලින්ටත් පේන්නේ අපිමමයි

 

ආනන්දෙ,ට්රිනිටියේ අච්චරයි මෙච්චරයි

සිරිමාවො සෙන්ට්බ්රිජට් අච්චරට මෙච්චරයි

අපට ඉතිරිව තිබුනෙ F අකුරු විතරමයි

මගේ පාසල් දිවිය මහතුනේ හෙට නිමයි

 

නුඹළාගෙ රජපැටව් හෙට ඉඳන් රට යවයි

සෑම සරසවියේම දොරටු නුඹලට ඇරෙයි

හෙට ඉඳන් මගේ අත්වලත් කරගැට පිපෙයි

මහත්වරුනේ අපිත් මේ රටේ දරු පැටව්






notes of imaginary

Tuesday, August 30, 2022

උසස් පෙල ප්‍රතිපල.

උසස් පෙල ප්‍රතිපල නිකුත් වෙලා.විභාගයෙන් උසස් අන්දමින් සමත් දරුවෝ අගයමින් ඉන්න මේ වෙලාවේ උසස් පෙල සමත් , අසමත් දරුවන්ගැන අවධානය ගිලිහෙමින් තියෙන වෙලාවක්.

සමත් වු අය අගයන ගමන් දෙවෙනි පෙලත් අගයන්න දෙමව්පියෝ ගුරුවරුන් වැඩිහිටියෝ අවධානය යොමු කරන්න ඕන. කොරෝනාවක්, දේශපාලන ආර්ථික අර්බුදත් පිරුණ සමයක මේ දරුවෝ විභාගයට පෙනී සිටියේ. දෙමව්පියන්ට තදින් බල පෑ අර්බූද දරුවන්ට බල නොපෑවයි කියලා හිතන්න හොද නැහැ.

සාමාන්‍ය පෙල , උසස්පෙල එකවර සමත් නොවුන එහෙත් නැවත නැවත උත්සහා දරා අධ්‍යාපපනයෙන් ඉහලටම ගිය චරිත අපිට ඕන තරම් හමු වෙනවා. ඒ වගේම උසස් පෙලින් පසු තමන්ගේ ගමන් මග වෙනස් කර ගෙන ජීවිතය ජයගත් චරිත ඕන තරම් ඉන්නවා.  

උත්සහායයි වැදගත් වෙන්නේ.

මට වතපොතෙයි පලකර තිබු එවන් චරිතයක් ගැන කියවන්න ලැබුනා. ඔහුගේ ගමන් මග පුරන්න පටන් අරන් තියෙන්නේ පලමු බිදවැටිම ජයග්‍රහණයක් කර ගැණීමෙන්.



  උසස් පෙළ ගණිත අංශයෙන් විභාගය දිනන්න සිහින මවන තරුණයෙක් කොයි තරම් මහන්සි උනත් ලබුනේ F සාමාර්ත හතරක්. ඔහුගේ සිහින බිද දාන්න ඔහු කැමති වෙන්නේ නැහැ. මරදාන කාර්මික විද්‍යාලයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් හදාරණවා. ඊට පස්සෙ Water Board එකේ වැඩට යනවා. හැබැයි ඔහුගේ විශ්ව විද්‍යාලයක ඉගෙණීමේ සිහිනයට උසස් පෙළ ප්‍රථිපළය බාදාවක් වන්නේ නැහැ. එන්ගලන්තයේදී ප්‍රථම උපාධියක් ලබා ගන්නවා. ඉන් නවතින්නේ නැතිව පශ්චාත් උපාධි දෙකක් ලබා ගන්නවා. ඒ පාරේම තවදුරටත් ගමන් කර ආචාර්‍ය උපාධි දෙකක් ලබා ගන්නවා. ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති වරයා බවට පත්වෙනවා. ඉන්ජීනේරුවා කියන්නේ අනාගතය දකින්නෙක් බව සනාත කරමින් ඔහු මොරටු විශ්ව විදාලයේ උප කුලපති තුමන් ලෙස දෙවතාවක්ම තෝරා ගන්නවා. මේ මහාචාර්‍ය දයන්ත විජේසේකර නම් ශ්‍රේෂට අධ්‍යාපන වේදියායි. එතුමා අද දවසේත් ගෞරවනීයම කුලපති තුමෙක්.
 උසස් පෙළ විභාගයෙන් බලා පොරොත්තු බිද ගන්නේ නැතුව ඔයාගේ දක්ෂ කම තියෙන්නේ කොහේදැයි විමසන්න. ඔබ ඉදිරියේ විකල්ප තියෙනවා. පරදින්නේ ඔබ පරාජය බාරගෙන නැවතුනොත් විතරයි. උසස් පෙළ ප්‍රතිපළ ඔබේ ජීවිතය නවත්වන දෙයක් විය යුතු නැහැ. දිරිමත් වන්න. දිනන්න ඔබට පුළුවන් 
දයන්තා කිසිවෙකු කිසිදා නොබිඳී ය හෑකි වාර්තාව ක් තියලා තියෙනවා. ඒ තමයි විවෘත විශ්ව විද්‍යාලයේ අවුරුදු 9 ක්ද, මොරටුව විශ්ව විද්‍යාලයේ අවුරුදු 6 ක්ද ලෙස අවුරුදු 15ක් උපකුලපති ධූරය දරමින්. ඔහු තමයි විශ්ව විද්‍යාල දොකක උපකුලපති වරයා වූ පළමු වැන්නා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ට අයත් විශ්ව විද්‍යාල වල එසේ විශ්ව විද්‍යාල දෙකක උපකුලපති වූවන් ඉන්නේ තව දෙන්නයි. එමෙන්ම දයන්තා තමයි කොළඹ වාහන තදබදය ට පිළියමක් ලෙස ගාලු පාර, රොනී ද මැල් මාවත වගේ සමහර පාරවල one way ක්‍රමය හදුන්වා දුන්නේ. ඒ ත් ඔහු කියූ දේම කලා නම් මෙම ක්‍රමය වඩාත් සාර්ථක වීමට තිබූ බව ඔහු මා සමග වරක් කීවා.
ඔහු vocational education පිලිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති කෙනෙක්. ඔබට චිරං ජයතු දයන්තා

උපුටා ගැනිමකි...

 

notes of imaginary

 


Monday, August 29, 2022

රන්ජන් ගේ පාඩම





අපේ රටේ දේශපාලනය වෛර්නය. දේදුන්නක් වගේය. පුංචි ලමයි ප්‍රිය කරන සුරංගනා කතාවකි බදුය.

වරෙක දුමින්ද සිල්වා වැනි අය නිදහස්ව සභාපති කම් දරන අතර රන්ජන් වැනි අය එළියට එන්නට බලාපොරොත්තු ඇතිව හිර ගෙදරය. තවත් වරෙක දුමින්ද සිල්වා නැවතත් ඇතුලට යන අතර රන්ජන් එළියට විත් ආණ්ඩුවෙන් තනතුරුද විපක්‍ෂ නායකයා ගෙන් තනතුරු වරප්‍රසාද පෝලිමක් ලබන්නට හේතු වාසනා ඇතිවන්නේය.

වරද දේශපාලකයාට මෙන්ම අවශේෂ ජනතාවටද සමවන්නේය. එය කතාවකි. නීතිය ඉදිරියේ කවුරුත් සමානව සලකන බව කියවෙන්නේය. එහෙත් පාර්ලිමේන්තුවේ පලාත් සභාවේ රස්සාව කරන අයට මෙය වෙනස්ය. තමන්ගේ ලොක්කා රජවු පමනින් නීතිය ඒ දෙසට නැමෙන්නේය. හිරු දෙසට නැමෙන පීණිබර මළක් සේය.

ධිකරණයට අපහාස කිරීමේ වරදට අවුරුදු 4ක් හිරේ ගිය රංජන් අවුරුදු දෙකක් ගතවීමටත් පෙර ගෙදර ආවේය.රජන්ට හිරේ යන්න වුණේ විනිසුරුවන්ගෙන් සහ නීතිඥයන්ගෙන් සියයට 95ටත් වඩා දූෂිතයැයි කීම නිසාවෙනි.

 මෙම වරදට රංජන්ට හිරේ නොගොස් බේරෙන්න අවස්ථාව තිබුණි. ඒ මුල් අවස්ථාවේදී ම ප්රකාශය ඉල්ලා අස්කර ගැනීමෙනි. එහෙත් රංජන් නැවත නැවතත් කීවෙ තමන් කී දේ සත්ය බවත් එය කිසිසේත් ඉල්ලා අස්කර නොගන්නා බවයි. එසේම ජීවිත කාලයම හිරේ දැම්මත් සමාව ගන්නේ නැති බවද කීවේ පුදුම වීරත්වයක් නිර්භීත කමක් පෙන්වමිනි.

 එහෙත් ඊයේ පෙරේදා රංජන් වචනයෙන් පමණක් නොව ලිඛිතව දිවුරැම් ප්රකාශයක් ලබා දෙමින් තමන් කී දේ මුලුමනින්ම වැරදි බවත් තම ප්රකාශ පිළිබඳ සමාව ගන්නා බවත් කියා සිට ඇත.

රන්ජන්ද මුලදී සිටියේ කේසර සිංහයෙකු විලසිනි. පසුව ටිකින් ටික සිංහ සෙයියාව අතහරින්ට ඇරෙන්ට ඇත. පසුගිය මාධ්‍ය හමුවකදී දුටුවේ ගෙදර ඉන්නා සුරතලෙක්ගේ තත්වයෙන්ය.

කවුරුත් ජීවිතය අවබෝධයෙන් හැසිරිවිය යුතුය. රන්ජන් කියාදෙන පාඩම එයයි සිතෙන්නේය.


notes of imaginary

Wednesday, August 24, 2022

තණ්හාව (The Lust)




බංගලාවෙ ලොකු හාමුට 
අසනීපයි කිව්ව හන්ද 
එයා තමයි ,මාව ගෙනැත් 
පංගාර්තු කළේ එහෙට .

පෙරිය දොරේ කළු උනාට 
හතර රියන් මනුස්සයා 
ලැයිමෙ එවුන් පද හැදුවට 
හොර බැල්මක් දැක්කෙම නෑ .

රෝදපුටුව තල්ලු කරන් 
ඉස්තෝප්පුවට ආවම 
මලක් ඉඹිනවා වාගේ 
ලොකු හාමුගෙ මූණ ඉඹල 
පැට්ටේරියෙ වැඩට යන්න 
පඩිපෙළ බහිනව අගේට.

හැන්දැජාමෙ බලන්නෙපැයි 
කුරුළු ජෝඩුවක් වාගේ 
ලොකු හාමුට තේ පොවනව...
ඔළුවත් අතගෑවානේ .
මං හිටියට ගානක් නෑ 
මට නම් මහ මොකද්ද වගෙ.

ඒත් එකට අපෙ මිනිහා 
මහ රෑ කරුවලේ ඇවිත් 
ගෙට එනකොට බීඩි ගඳයි 
පෙරිය දොරේ මතක් වෙලා 
මට හරියට දුක හිතෙනව.

ළඟින් යද්දි හරි පුසුඹයි 
ආසාවෙන් පපුව ගැහෙයි.
ආයකටුව නැතුව ගියත් 
ඇහැක් ඇරල බලනව බොරු .

මූණෙන් පැත්තක් පිච්චුණු 
ලොකු හාමුව මල් මසුරං! 
අනේ එහෙවු ආදරයක් 
මට කවදාවත් ලැබුණද?

අපේ එකාලට ඕනෑ
ජීවිතේම එකම දෙයයි.
පොඩ්ඩක් හුරතල් කරලා 
මූණ ඉඹින්නවත් බැරිද?

බංගලාව ඔළුවෙ තියං 
ලැයිමේ ඉන්නෙ කෝමද?
ලොකු හාමුට වගේ නැතත් 
මාදිහාව බැළුවොත් ඇති 
මට පුළුවන් ඊට පස්සෙ 
ළඟින් ඉඳන් සලකන්නට . 

හැම දාකම ගෙදර ඇවිත් 
හූල්ලලා මං මැරේවි .
කන්දෙන් පහළට ලිස්සල 
රෝද පුටුව පෙරළුනොතින් 
හදිසි අනතුරක් කියාවි 
වෙන මොනවද උන් කියන්නෙ ...
එතකොටවත් .........................
පෙරිය දොරේ වෙනස් වෙයිද?

රෝ.සි.                                                                      notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon