විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම
රටේ ඒකීය භාවයට තර්ජනයක්!
- ආචාර්ය දයාන් ජයතිලක
මුස්‌ලිම් කොංග්‍රසයත් ටී.එන්.ඒ. සංවිධානයත් පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට ගත් තීරණය පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?
මේ පක්‍ෂ දෙක ගත් මේ තීරණය පිළිබඳ මීට මාස ගණනකට පමණ කලින් මංගල සමරවීර මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියා තිබුණා. ජනවාර්ගික හා ආගමික පදනම මත විපක්‍ෂයට සියයට 30 ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලැබෙන බවත් එහි සඳහන් කර තිබුණා. සමරවීර මහතාගේ තක්‌සේරුව අනුව සුළුතරයේ අති බහුතරය ලබාගන්නේ නම් සිංහල බහුතරයේ සුළුතරය ලබාගැනීමෙන් මේ ජනපතිවරණය ජයග්‍රහණය කළ හැකි බව එයින් පැහැදිලි කර තිබුණා. එම ලිපියෙන් ඔහු කියා තිබෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ අත්තිවාරම් ඡන්දය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පැමිණෙන විසංවාදී ඡන්ද මේ ඡන්දය ජයග්‍රහණය කිරීමට හොඳටම සෑහෙන බවයි. ටී.එන්.ඒ. සංවිධානය සහ මුස්‌ලිම් කොංග්‍රසය ගෙන ඇති මේ තීරණය මීට මාස කිහිපයකට පෙර මංගල සමරවීර මහතා ලියා ඇති එම ලිපියේ අන්තර්ගතය සමඟ හොඳින් සැසඳෙයි. ඒ අනුව මේ සියල්ල සිදුවනුයේ කිසියම් කාල සටහනකට අනුව බව පෙනේ.
ඔබ එයින් අදහස් කරන්නෙ ටී.එන්.ඒ. සංවිධානය සහ මුස්‌ලිම් කොංග්‍රසය පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ රහස් ගිවිසුමකට එළඹ සිටින බවද?
ඔවුන් අතර රහස් ගිවිසුමක් ඇතැයි මා විශ්වාස කරන්නේ නෑ. ඔවුන් ගත් මේ තීරණය මම විග්‍රහ කරන්නේ ටී.එන්.ඒ. සහ මුස්‌ලිම් කොංග්‍රසය පිළිබඳ නිල වශයෙන් පිළිගෙන ඇති විවෘත කරුණු කාරණා ඇසුරෙනුයි. ටී.එන්.ඒ. සහ මුස්‌ලිම් කොංග්‍රසය විපක්‍ෂයට සහයෝගය දැක්‌වීමට ගත් තීරණය තුළින් අපට එළඹිය හැකි නිගමනයන් කරා අප ළඟා විය යුත්තේ විපක්‍ෂයේ පොදු වැඩපිළිවෙළ ගැන යළිත් මතක් කිරීම හරහාය. විපක්‍ෂයේ පොදු වැඩපිළිවෙළේ ප්‍රධාන අංගෝපාංගය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය දින සීයක් ඇතුළත දී අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තුවට බලය දෙන දේශපාලන ක්‍රමයක් ආරම්භ කිරීමයි. ටී.එන්.ඒ. සහ මුස්‌ලිම් කොංග්‍රසයේ සාධකයන් සැලකිල්කට ගත යුත්තේ ඒ විශාල දේශපාලන පෙරළිය තුළයි.
විධායක ජනාධිපති ක්‍රමය යනු රටේ සමස්‌තය නියෝජනය කරන ක්‍රමයකි. ජනාධිපතිවරයා තේරී පත්වන්නේ මුළු රටේම ඡන්දයෙනි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් රටේ සමස්‌තය නියෝජනය කරන ශක්‌තිමත් ආයතනයක් දේශපාලන ව්‍යqහයේ හා ක්‍රියාවලියේ නැත. ඉතුරුවන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තු ක්‍රමයකට යළිත් මාරුවන්නේ නම් එතනැදී ටී.එන්.ඒ. හා මුස්‌ලිම් කොංග්‍රසය වැනි සුළුතරවාදී සංවිධානවලට තීරක කටයුත්තක් කිරීමට ඉඩකඩ ලැබේ. ටී.එන්.ඒ. සංවිධානය ඔවුන්ගේ දේශපාලන තීරණ ප්‍රකාශයට පත් කිරීමේදී සඳහන් කරන ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් වන්නේ රට ඒකාධිපතිත්වයක් හා ආඥදායකත්වයක් කරා යන බවයි. නමුත් ඒකාධිපතියකුට හෝ ආඥදායකයකුට තමුන්ගේ රැකියාව ජනවාරි 9 දා අහිමිවේයෑයි කියන්න බෑ. වත්මන් ජනාධිපතිවරයාට එවැන්නක් වීමට හෝ නොවීමට පුළුවන්. යම් පාලකයකුට එසේ වීමට හෝ නොවීමට හැකිනම් ඔහු ඒකාධිපතියකු හෝ ආඥදායකයකු නොවේ. ලෝකෙ කිසිම රටක ඒකාධිපතියකු හෝ ආඥදායකයකු මහජන ඡන්දයෙන් ගෙදර යවල නෑ.
දෙවැන්න කොටි සංවිධානයේ වලිගය ලෙස කටයුතු කළ ටී.එන්.ඒ. සංවිධානය එහි ප්‍රභාකරන් ඒකාධිපතියකු ලෙස කටයුතුකරමින් තමුන්ගේ පක්‍ෂයේම නායකයන් ඝාතනය කරද්දී එක වචනයක්‌වත් ප්‍රකාශ කළේ නෑ. එම නිහැඬියාවට හේතුව භීතිකාව නම් පසුගිය වසරේ උතුරු පළාත් සභා ඡන්ද අවස්‌ථාවේදී වේළුපිල්ලේ ප්‍රභාකරන් මහා වීරයෙක් යෑයි විග්නේෂ්වරන් මහ ඇමැතිතුමා ප්‍රකාශ කළේ ඇයි? ප්‍රභාකරන් නමැති පැසිස්‌ට්‌වාදී ඒකාධිපතියා මහා වීරයෙක් වන්නටත් මහින්ද රාජපක්‍ෂ ඒකාධිපති ආඥදායකයකු වන්නේත් කෙසේද? මෙතැන තියෙන්නෙ කැත කුහකකමක්.
ඔවුන්ගේ මේ තීරණය පිළිබඳ තවදුරටත් ගැඹුරට යනවානම් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීමට ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන හේතුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥවයි. එය ටී.එන්.ඒ. ප්‍රකාශනයේ ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එයින් පෙනෙන්නේ ටී.එන්.ඒ. සංවිධානයට ඉතාමත් වාසි සහගත දෙයක් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් සිදුවන බවයි.
ටී.එන්.ඒ. සංවිධානය විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වූයේ අද ඊයේ නොවේ. 1987 දී 13 වැනි සංශෝධනය ගෙන ආ අවස්‌ථාවේ දී පවා ඔවුන් එය විවේචනයට ලක්‌කළා. ඔවුන්ගේ මතය වූයේ 13 වැනි සංශෝධනයේ බලතල විධායක ජනාධිපති ක්‍රමය විසින් කූඩුකර ඇති බවයි. දැන් මේ කූඩුව දකුණේ විපක්‍ෂය විසින් විනාශ කිරීමට ඉතාමත් ආසන්නය. කුඩුව විනාශ කළහොත් එය තුළ සිරගතව සිටින පක්‍ෂියාට නිදහසේ පියාසර කළ හැකිය. එමනිසා විධායක ජනාධිපති ක්‍රමය නමැති කූඩුව විනාශ වී යනු දැකීමට ටී.එන්.ඒ. සංවිධානය ඉතාමත් සතුටුය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු මධ්‍යම ආණ්‌ඩුව දුර්වල කිරීමයි. විධායක ජනාධිපති ක්‍රමය නමැති පියන උතුරු පළාත් සභාවෙන් ඉවත් කළ විට ඇතිවිය හැකි තත්ත්වය කුමක්‌ද? අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව හා පළාත් සභාව අතර ඇතිවන බලසම්බන්ධකම ශක්‌තිමත් විධායක ජනාධිපති ක්‍රමය හා උතුරු පළාත් සභාව අතර තිබෙන බලසම්බන්ධකමට මුළුමනින්ම වෙනස්. ශක්‌තිමත් විධායකයකට කළ හැකි පාලනය හා පරිපාලනය පාර්ලිමේන්තුවකට කළ නොහැකියි. එය විශේෂයෙන්ම කැපී පෙනෙන්නෙ සභාග ආණ්‌ඩුවක් සහිත පාර්ලිමේන්තුවකදීයි. එවැනි සභාග ආණ්‌ඩු ඇතිවීමේ ප්‍රතිඵල 1965 - 1970 සමයේ ඩඩ්ලි සේනානායක මහතාගේ පාලන සමයේ අපි අත්දුටුවෙමු.
මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වුවහොත් දින 100 කින් ඔහු බල විරහිත ජනාධිපතිවරයෙක් වන බවත් වඩාත් ශක්‌තිමත් පුද්ගලයන් දෙදෙනා වන්නේ අනාගත අගමැතිතුමා හා නියෝජ්‍ය අගමැතිතුමා බවත් ටී.එන්.ඒ. සංවිධානය හොඳින් දනී. ඒ චරිත දෙක අනිවාර්යයෙන්ම වන්නේ රනිල් හා චන්ද්‍රිකායි. එනම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළහොත් තමුන්ට සිත් දිනාගත හැකි චරිත දෙකක් රටේ ප්‍රධාන බලකේන්ද්‍රවීමට ඉඩ ඇති බව ටී.එන්.ඒ. සංවිධානය කල්පනා කර ඇත. රනිල් වික්‍රමසිංහ යනු ප්‍රභාකරන්ට පවා සහන සලසාදුන් ඊනියා සාම ගිවිසුම අත්සන් කළ පුද්ගලයායි. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග වනාහි කලාප සංගම් පැකේජය ගෙනා නායිකාවයි. එතුමියගේ පාලන කාලය ඇරඹුණේ කලාප සංගම් යෝජනාවෙන්. අවසන් වුණේ පශ්චාත් සුනාමි යාන්ත්‍රණයෙන්.
කලාප සංගම් යෝජනාවට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් නොව පළාත්වල හුදු එකතුවක් පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් සිදුවන්නේත් එයමයි. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් පළාත් සභාවලට හිමිවන බලතල ඒකීය රාමුව පසාරු කරගෙන නොයන්නේ විධායක ජනාධිපති ක්‍රමය තිබෙන නිසා බව 1987 දී සුප්‍රීම් උසාවිය ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් එතැන ඇතිවන හිස් තැන නිසා විග්නේෂ්වරන් වැන්නන්ට නීතිය තුළින්ම රටේ ඒකීය භාවයට අහිතකර යම් යම් තීන්දු ගැනීමටද හැකිවනු ඇත.
ඔබ මීට පෙර දිවයින සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මේ වර්තමාන අර්බුදයට හේතුව හැඳින්වූයේ රජ පවුල් වාදය ලෙසයි. එනම් එකම පවුලේ පුද්ගලයන් අතර රාජ්‍ය බලය බෙදීයැම නිසා රටතුළ ඇතිවන නොසන්සුන් තාවයයි.
අද රජ පවුල් වාදයක් තිබෙනව. නමුත් එය මේ ජනාධිපති ක්‍රමය නිසා ඇතිවූවක් නෙමෙයි. රජ පවුල්වාදය හා ජනාධිපති ක්‍රමය අතර සම්බන්ධයක් නෑ. රජ පවුල් වාදය මුලින්ම අපි දැක්‌කේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ කාලයේ. පවුල් වාදය මුලින්ම මතුවුණේ සේනානායක පාලන සමයේ. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා සහ ඩී. ඒ. රාජපක්‍ෂ මහතා කැරලි ගැසුවේ ඒ පවුල්වාදයට එරෙහිවයි.
නමුත් පවුල්වාදය විශාල චෝදනාවක් හැටියට මතුවී ආවේ හැත්තෑව දශකයේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ කාලයේ. ඒ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්‌ඩුවෙන් අදටත් වඩා විශාල පිරිසක් ගැලවී ගියා. එදා ඒ කණ්‌ඩායමට නායකත්වය දුන්නේ ටී. බී. සුබසිංහ ජ්‍යෙෂ්ඨ ඇමැතිතුමා. මේ සියල්ල සිදුවුණේ පාර්ලිමේන්තු ක්‍රමය යටතේයි.
ජනාධිපති ක්‍රමය යටතේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රට පාලනය කරනවිටත් විශාල පවුල් වාදයක් තිබුණා. ඇය ජනාධිපතිනි, අම්මා අගමැතිනි, මල්ලි කථානායක, මාමා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති. එයම රාජපක්‍ෂලා කරන විට වැරදි වෙන්නත් බණ්‌ඩාරනායකලා කරන විට හරි වෙන්නත් විදිහක් නෑ.
ඕනෑම රටක පවුල්වාදය පරාජය කළ යුතුයි. නමුත් ඒ සඳහා විධායක ජනාධිපති ක්‍රමය නමැති ශක්‌තිමත් බල මුළුව විනාශ කළ යුතු නෑ. පවුල් වාදය හෝ රජපවුල් වාදය පරාජය කිරීමට ඇති එකම මග පාර්ලිමේන්තු මහ මැතිවරණයකදී ජනතාව කල්පනාකාරීව ඡන්දය ප්‍රකාශ කිරීමයි. මහින්ද රාජපක්‍ෂ යනු පවුල්වාදය නොවේ. පවුල් වාදය නම් රාජපක්‍ෂලා විය යුතුය. රාජපක්‍ෂලා නමැති පවුල් වාදය ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තු ඡන්දයේ දී එය කළ හැකිය.
මේ මීදුම විසින් කරන ලද වියමනක් නොවේ.
එහෙත් දයාන් ජයතිලකයන්ගේ මතවාදය හා මීදුම එකග වේ.
ජනාධිපති ජේ.ආර් ජයවර්ධණ යන් විසින් මෙම ව්‍යවස්ථාව ඇති කල පසු දුර්වල ආණ්ඩු ඇතිවන සම්බාවිතාවය අුවු බව අප පිලිගත යුතුය. එසේ වුවත් පාලකයා අන්තනෝමතිකව කටයුතු කිරීමේ සම්බාවිතාවය ඉහල ගියේය.
notes of imaginary