Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Wednesday, October 08, 2014

අසල්වාසියාගේ සටහන.



සබරගමුව විශ්ව විද්‍යාලය ආයෙත් දින නියමයක් නැතිව වහලා.
ඌව පලාත් සබා මැතිවරණයට නාමයෝජනා දෙන්න ඔන්න මෙන්න කියලා කොළඹ - මඩකලපුව ( ඒ 4 )   මාර්ගයේ පඹහින්න මංසන්දියේ වේදිකාවක් හදාගත්ත සිසු පිරිසක් පටන් ගත්ත විරෝධතාවයක් කරමින් වාඩිවෙලා ඉන්නවා. මේ පිරිස තාමත් ඒ වේදිකාවේ. උපවාසයක් කරනවා  කීවට මේක වීරවංශ වර්ගයේ උපවාසයක්. සේවා මුරයට මාරුවෙන්න වගේ කකා බිබි මාරුවෙන් මාරුවට කරන උපවාසයක්. මේ වැඩේ අවුරුදු ගානක් මේ විදියට පවත්වා ගෙන යන්න පුළුවන්. නිතර දෙවේලේ දකින අපිට මේ වැඩේ පිලිබදව හැගීමක් නැහැ. පිස්සු වැඩක් කියලයි හිතෙන්නේ. ඉතින් උසස් අධ්‍යාපන ඇමතිතුමාටත් එහෙම හිතෙනවා ඇති.

මේ විශ්ව විද්‍යාලය පටන් ගත්තේ ජයවර්ධණ පුර සරසවියේ අනුබද්ධ ආයාතනයක් වශයෙන්. 1991  තරම ඒ කාලේ සමනල වැව ඉදිකිරීම් කටයුතු සදහා පැමිණි ජපන් කාර්ය මණ්ඩලයට ඉදිකර තිබු නේවාසික සහ කාර්යාල පරිශ්‍රයේ ගොඩනැගිලි වල තමයි විශ්ව විද්‍යාල අනුබද්ධ ආයාතනය පිහිටවුයේ. එකම ස්ථානයක අධ්‍යාපන පීඨ පිහිටුවා ගන්න ගොඩනැලි පහසුකම් නොතිබුන නිසා කෟෂි පීඨය පවත්වාගෙන ගියේ බොරලන්දේ - රහංගල. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත්ව තිබු භුමියක. විද්‍යා පීඨය පවත්වාගෙන ගියේ බුත්තල. මහපොල සදහා ඉදිකරන ලද ගොඩනැගිලි පරිශ්‍රයක. මෙහෙම තැනින් තැන තිබුන විශ්ව විද්‍යාල පීඨ කලින් කලට කරන ලද ගොඩනැගලි සංවර්ධණ කටයුතු නිසා අද වන විට එක තැනකට එකතු වෙලා.

සිසුන් කියන්නේ ඒ ගොල්ලා කරන ලද සටන්වල ප්‍රතිපලයක් ලෙස එහෙම වුනා කියලා. රජයකට එකපාරම මවන්න බැරිවුන ඉදිකිරීම් පසුගිය අවුරුදු විස්ස තුල වාර්ෂිකව එකින් එක නිම වෙමින් පැවතුනා.තවත් ඉදිවෙමින් පවතිනවා. අපේ රටේ යුද්ධයක් කියලා එකක් තිබුන කාලේ මේ ඉදිකිරීම් මන්දගාමීව සිදුවුනත් යුද්ධයෙන් පසු අවුරුදු දෙක තුන තුල සංවර්ධණ කටයුතුවලට යම් ප්‍රවේගයක් ලැබිලා තියෙනවා. අද විශ්ව විද්‍යාල භුමියට ඇවිත් බලන්න ඕනී එදත් - අදත් වෙනස.

“දියව්”  කිවුවත් අම්මලා තාත්තලාට උනත් දෙන්න පුළුවන් ප්‍රමානයක් තියෙනවා. අම්මලා තාත්තලාට උනත් තව දරුවෝ ඉන්නවා නම්  ඒ ගොල්ලන්ටත් කන්න බොන්න දෙන්න ඕනී කියලා සාධාරන මනසක් මේ දරුවන්ට නැහැ.රජය අයවැයෙන් මුදල් වෙන් කරන කොට සබරගමුව විශ්ව විද්‍යාලයට විතරක් මුදල් වෙන්කලා නම් එක් රැයෙන් සර්ව සම්පූර්න ‍විශ්ව විද්‍යාලයක් හැදේවි. ඒත් එහෙම වෙන්නේ නැහැ. 

උණු ආප්ප බාන්නා වගේ වැඩ අපේ දරුවන්නට තියෙන්න ඕනී. එයාලා හිතන්නේ “අපි දියව් “ කියන තරමට තමයි අපිට ලැබෙන්නේ කියලා. දියව් කියලා අවුරුදු දෙකකින් තුනකින් කරගන්න පුළුවන් උපාධිය කරගන්න අවුරුදු හතර පහ දක්වා මේ දරුවෝ කාලය ගන්නවා . විශ්ව විද්‍යාලය නිවාඩු ගන්නවලා. ඒවට කැමති නැති දරුවොත් අකමැත්තෙන් මේ පරිප්පුව කනවා. “ උපාධියට නියමිත කාලය අරගෙන විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා වරෙව්” කියලා උද්ඝෝෂණය කරන්න දෙමව්පියන්ට සිද්ධ වෙන කාලයත් ලගදීම එයි කියලා මට හිතෙනවා.

සල්ලි තියෙන දෙමව්පියෝ එතෙර විශ්ව විද්‍යාලවලට දරුවෝ යවන එක සාධාරනයි . මේ ප්‍රවනතාවය දවසින් දවස වැඩිවෙනවා. පෞද්ගලික අංශයේ රැකිය වෙළදපොල මේ ලමයින් රැකියා සදහා බදවා ගැණිමට වැඩි  කැමත්තක් දක්වනවා. ඒ අනාගතය දකින දෙමව්පියෝ තම මුදල් වියදම් කරන්නට පසුබට වෙන්නේ නෑ . තව තවත් පෙළබෙනවා.
අන්තිමට වෙන්නේ “ නිදහස් අධ්‍යාපනයෙන් සෙතක් නෑ !. නව පෙලන්තියක් වරප්‍රසාද ගන්නවා !  අපට රැකියා දියව්” කියලාත් උද්ඝෝෂණය කරන්න.

එස්‌. බී. දිසානායක ඇමතිතුමායි  විශ්වවිද්‍යාල සිසුනුයි හරියට නයයි මුගටියයි වගෙයි.  විශ්වවිද්‍යාල සිසුන්ට  එස්‌. බී. දිසානායක ඇමතිතුමා පේන්න බැහැ. අපි දන්න කාලේ ඉදන්   විශ්වවිද්‍යාල සිසුන්ට  කොයි අධ්‍යාපන ඇමැති හිටියත් ඒ ඇමති එක්ක  හොදින් කටයුතු කරනවා දැකලා නැහැ. රනිල් වික්‍රමසිංහ උසස්‌ අධ්‍යාපන ඇමැතිව සිටි කාලයේදීත් ඔහු අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් කළ විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කරපු දේවල් මතකයි. ඒත් අධ්‍යාපන ධවල පත්‍රිකාව නතරවුනේ නෑ. මේ වන විට කාලයත් සමග ටිකින් ටික ක්‍රියාත්මක වෙලා.

සරසවි සිසුන්ටත් දේශපාලනයක් තියෙනවා නේ . මේ හැම ගැටුම පිටිපස්සෙත් දේශපාලනයක් තියෙනවා. මැතිවරණ සිතියම දිගහැරලා තියෙන මේ කාලේ ගෙවෙන කම් සිසුනගේ අරගල පවත්වාගෙන යන්න උවමනාවක් තියෙන කොටසකුත් ඉන්නවා . ඒ ගොල්ල බිලි ගන්නේ සිසුන්ගේ අධ්‍යාපනයට තියෙන කාලය. දෙමව්පියන්ගේ බලාපොරොත්තු.

තවත් කෝටි 40 වියදමින් ඉදිකරන්න යෝජිත නේවාසිකාගාරයකට මුල්ගල තිබ්බම ඒක  හමුදා කඳවුරක්‌ ආසන්නයේ තිබෙන බවක් කියනවා.  අනාගතයේ නේවාසිකාගාරය තුළ බෝම්බ හදන්න බලාපොරොත්තුව ඉන්නවද මන්දා ?.මෙතන තියෙන්නේ හමුදා කදවුරක් නෙමෙයි හමුදාව විසින් නඩත්තු කරන සංචාරක නිකේතනයක්.

නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් විවෘත කරපුවමත් තවත් ගොඩනැගිල්ලක් හදන්නත් එපා කියලා  විරෝධතාවයක් කරන්නේ මොන උගතද කියලා අහන්න තරම් අපි නූගත් වෙලා.  






notes of imaginary

Wednesday, October 01, 2014

බුදුරුවගල - වැල්ලවාය.

නැගණහිරෙන් ආ වැස්ස බුත්තලට නියගය හමාර කර ඇත. දැඩි නියගයෙන් හෙම්බත්ව සිටි ගහ කොල  කොළපාටින් බැබලෙන්න දැඩි උත්සහායක් දරමින් සිටි සැප්තැම්බරයේ අවසන් සතියේ මම බුදුරුවගලට යාමට වාසනා ලද්දේය.

මට  වැල්ලවාය නගරයේ සිට තිස්සමහාරාම පාරේ තිස්සමහාරාමය දෙසට කිලෝමීටර් හතරක් පමන පැමිණ වමට හැරී අතුරු පාරක තවත් කි.මි. 4 ක් පමණ ගිය තැන හමුවු  වන ගහණය තුළ  ගල් තලාවේ  නෙලා ඇති  බුද්ධ ප්‍රතිමාවක් ප්‍රධාන කොට තවත් බෝසත් ප්‍රතිමා  කිහිපයක්  දැක ගැනීමට ලැබිනි. මෑත කාලයක් වනතුරුම මෙම ප්‍රදේශයේ අලි ඇතුන්ගෙන් ගහණ හුදකලා ප්‍රදේශයක් වශයෙන් පැවැතුන බව මට හමුවු සාමනේර ස්වාමීන් වහන්සේ පැවසීය.
නව ගොඩනැගිලි කිහිපයක් ඉදිවෙමින් ඇත. සංචාරක මණ්ඩලය විසින් ඉදිකල ගිමන් හලක් දක්නට තිබිනි. මේ හැරෙන්නට ලංකාවේ ඇති පිහිටි ගලක නෙළන ලද උසම ප්‍රතිමාව ලෙස සැලකෙන බුදුරුවගල ශෛලමය බුද්ධ ප්‍රතිමාවට තනි රකින්න කවුරුවත් නැති බවක් මගේ හිතේ සටහන් විය.

හිටි ඉරියව්වෙන නිරූපිත බුද්ධ ප්‍රතිමාව උස මීටර 13 ක් පමණ වෙයි. ප්‍රතිමාව සමඟ දෙපස තවත් ප්‍රතිමා හයක් මෙම ගල් බිත්තියේ පෙළට නෙළා තිබෙයි. ගල් බිත්තිය අඩි 70 ක් පමණ දිගය. ගල් තලාවක් මත නෙළා ඇති දැවන්ත බුදුරුව නිසා බුදුරුවගල වශයෙන් ප්‍රසිද්ධියට පත්වන්නට ඇත.
කවුරුන් විසින් කවර දා කරන ලද්දැක්දැයි නිශ්චිතව තහවුරු කර ගෙන නොමැති මෙම කලා නිර්මාණයන්ගේ ස්වභාවය අනුව මෙය ක්‍රි.ව. 8 – 9 සියවස් වලට අයත් මහායානිකයන් විසින් කළ නිමැවුමක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස වෙයි.
ගල් පව්වේ බිත්තිය මධ්‍යයේ දැවැන්ත ප්‍රතිමා නෙලා ඇත්තේ අර්ධ උන්නතව ය. බුදුරුව දෙපස පරිවාර ප්‍රතිමා තුන බැගින් දර්ශනය වෙයි.


බුද්ධ ප්‍රතිමාවේ විශාලත්වය සහ දෙපස සෙසු ප්‍රතිමාවන්ගේ ස්වරූපය නිසා මෙය දීපංකර බුදුරදුන්ගේ පිළිබිඹුවක් බව අනුමාන කෙරේ.
ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දකුණු පස ඇති ප්‍රතිමා ත්‍රිත්වයේ මැද නෙළා ඇත්තේ අවලෝකීතේශ්වර බෝධි සත්ව ප්‍රතිමාවකි. එහි උස මීටර් 7.16 කි.  එම ප්‍රතිමාවේ වම් පසින් නෙළා ඇති ත්‍රිභංග ඉරියව්ව පිළිබිඹු කරන තාරා දේවී ප්‍රතිමාවේ උස මීටර් 5.98 ක් පමණ වෙයි.  මහායානිකයන්ට අනුව තාරාදේවිය අවලෝකීතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාවය. අවලෝකිතේශ්වර බෝධි සත්ව රූපයයේ දකුණු අත පැත්තේ දකින්නට ලැබෙන ප්‍රතිමාව සුධන කුමාර ප්‍රතිමාවයි. මහායාන සම්ප්‍රදායට අනුව සුධන කුමාරා ද බෝධිසත්වවරයෙකි. එහි උස මීටර් 6.53 ක් පමණ වෙයි.


ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ වම් පසින් දිස්වෙන රූප ත්‍රිත්වයේ මැද නෙලා ඇති ප්‍රතිමාව මතු බුදු බව ලබන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවය. මෙහි උස මීටර් 7.3 කි. එම බෝධිසත්ව රූපයේ වම් අත පැත්තේ නෙලා ඇති ප්‍රතිමාව වජ්‍රපානී බෝසත් ප්‍රතිමාවය. මෙහි උස මීටර් 6.4 කි. මෛත්‍රී බෝසත් රුවෙහි දකුණු අත පැත්තේ නෙලා ඇති රුව මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. 
මේ අනුව බුදුරුවගල ඇති ප්‍රතිමා හත වම් අත සිට දකුණට පිළිවෙලින් නම් කළහොත් මෙසේ හඳුනාගත හැකිය. සුධනකුමාර, යෝගී අවලෝකීතේශ්වර, තාරා, දීපංකර බුද්ධ, මංජු ශ්‍රී, මෛත්‍රී හා වජ්‍රපානී වශයෙනි.







notes of imaginary

Tuesday, September 30, 2014

අසුබ නිමිත්තක්.


මාස ගණනාවක් පීඩා කරන ලද නියගය අවසන් කරන  මහ වැස්සක පෙරනිමිති අහස පුරා පැතිර ඇත. වැස්සට පෙර පැවත්වෙන විවාහ මංගල්‍ය සාදය අවසන් වුවහොත් යහපත් යයි මගේ සිතිවිලි අතරට ගොනු වෙමින් තිබිනි. දැහන බිද වැටුනේ සර් බිල් එක යයි වසන්ත කියු හඩෙනි

සාදයේ අවසන් අදියරට පැමිණ සිටියත් සහභාගීවු පිරිසත් ඇනවුම් කරන ලද මධුවිතෙහි  මිලි ලීටර් ගණනත් හා සසදන විට මේක නම් එවර නොවන සාදයකයයි   සිතිවිල්ලක් ඇතිවී තිබිනි. පස්වරු හතර පමණ වී ඇත.   සංගීතයද එකවර  නතරවිනි.ඒ පිරිසට විසිර යන්නට දුන් සංඥාවක් යයි මම සිතුවෙමි.

මම සකස් කල බිල්පත ඉහල සිට පහලට නිරීක්‍ෂණය කරන්නට විනි. සාදයේ  හරි අඩක් පමණ වැය වී ඇත්තේ මධුවිතත් අවුළුපත් සදහාත් වීම නිසා වසන්තඅද කාන්තා පක්‍ෂයත් හොදටම  බීලද ? යයි විමසු වෙමි.” නෑ සර් වැඩිය හිටියේ තරුනයෝ වසන්තගේ උත්තරය විනි.
අන්තිකාරම් මුදලත් අඩුකර සකස් කල බිල්පතේ ඉතිරිය ලබා ගැණිම වසන්තගේ රාජකාරිය වුයෙන්  සර් ඉක්මන් කරන්න මට විධානය කරන්න තරම්  වසන්තට හයියක් ඇතිවිනි. ඊලග විනාඩි කිහිපය ගෙවී යද්දී මම වෙනත් වැඩකට යොමු වී සිටියදී වසන්ත දුව ආයේ. “ සර් දැන් පනහක් දෙන්නම්  කියනවා - ඉතිරි මුදල හෙට උදේ දෙන්නම් කියනවා ? මොකද කරන්නේ ?. ප්‍රශ්න වැලක් අසමිනි.

සාමාන්‍ය සම්ප්‍රදායන් බිද වැටෙමින් ඇතිවන අළුත් ප්‍රශ්න වලට වසන්තට උත්තර නැතිවාක් මෙන්ම මටද කට උත්තර නැති මෙවැනි ප්‍රශ්න සේවා කාලය  තුලදී ඇතිවේ. විවාහ මංගල්‍ය උත්සවය සදහා ශාලාව වෙන් කරවා ගෙන ඇත්තේද වසන්ත ගෙනි. මෙනුව තෝරා ගෙන අත්තිකාරම් ගෙවා දින වකවානු වෙන් කර ගෙන ඇත්තේද වසන්ත ගෙනි. ඇනවුම ක්‍රියාත්මකව  උත්සවය අවසන් කර ඇත්තේද වසන්ත ‍විසිනි.ආයාතනය පැත්තෙන් ගෙන බැළුවිට වගකිව යුත්තා අසරනවු වසන්තය.  රුපියල් දාහේ ඒවා දෙසියකින් පමණ පියවෙන බිලට පනහක් ලබා ගෙන අවුරුද්දක් පමන ආයාතනයට නොමිලේ කඹුරන්නට වේයයි සිතිවිල්ලක්  වසන්තට ඇතිවුවා විය හැක. අවසානයේ   කලබලවු මනස නිවන්නට මම ඔහුට හදිසි උපකාරකය වී තිබේ.

මම උත්සවයේ පසුබිම හිතට ගන්නට වසන්තගෙන්ම කරුණු කාරනා එකතු කරන්ට විනි.ඒ අනුව ‍ මනාල දෙපලම පැමින සියළු ඇනවුම් ලබාදී ඇති අතර වැඩිහිටියන් කිසිවෙක් මේ කටයුතු සංවිධානයේ නොසිටි බව තේරුම් ගතිමි. ප්‍රශ්ණ ගැටළු නිරාකරණය කර ගත යුත්තේ මනාල යුවලගෙනිජීවිතයේ වැදගත්ම අවස්ථාවක සාකච්ඡා කිරීමට මට ඉතිරිව ඇත්තේ අප්‍රසන්න මාතෟකාවක් යටතේම ලියවුන කතාන්දරයකි.

සන්සුන් වීම වැදගත් යයි  මගේ මනස මට පලමු උපදේශය විධානයක් ස්වරූපයෙන් නිකුත් කලෙන් මම ඊට අවනතවිමි. පැමිණි අමුත්තන් විසිර ගොසිනි. වසන්තගෙන් විමසු තොරතුරු අතර  මනාල යුවල පිටතට නොගොස් හෝටලයේම  කාමරයක් වෙන් කර ගෙන ඇති බව සදහන් විනි. “ වසන්ත සමහර විට ලැබුන තෑගී බලල බිල පියවන්න හිතනවා ඇති.  අපි  එහෙනම් එතකම් තියෙන පනහ ගනිමු. ”වසන්තට එදින රෑට නින්ද යන පිලිතුරක් මගෙන් ලැබී ඇත. “ බිලට වඩා තෑගී හම්බු වෙලා තිබුනොත් අපි ගොඩ  සර් !. වසන්ත පනහ රැගෙන එන්න ඉගිලිනි.

මම මට වෙන්වුන කටයුතු වල ගිලෙමින් සිට වෙනදා මෙන්ම පසුදාට පහන් කරන්නට  ඇදට වැටුනත් මේ යුවල කටයුතු කර ඇත්තේ කොතරම් අවදානමක් ඇති කර ගෙනද යන්න විමසමින් නිදිවරන්නට මට සිදුවිනි. පැමිණි අරාධිතයන්ගෙන් පිදුම් ලද  මුදල් ත්‍යාගයන් හෝටලයේ බිල ඉක්මවා නොගියහොත් ? . ඔවුන් හා වසන්ත පත්වන අසරනත්‍වයට පිලිතුරු පසුදා මට තිබිය යුතුය. ඒ  පිලිතුර අප සියල්ලම ගොඩ යා යුතු පිලිතුරක්ද විය යුතුය.

මාස තුනකට පමණ පෙර ඇනවුම් කර සැලසුම් කරන ලද විවාහ මංගල්‍ය උත්සවයක පිරිවැය ගෙවීමට සුදානමක් නැතිව හෝටලයකින් පිටත්ව යා හැක්කේ පොලිසියකට යයි මේ යුවලට අවධානමක් තිබී නැත. අවමංගල්‍ය උත්සවයක් වැනි හිටි හැටියේ කඩා වැටෙන උත්සවයකට  - විවාහ මංගල්‍ය උත්සවයක් සමාන කල නොහැක.

අපේ ඇත්තන් අතේ ඇති හැටියට උත්සවයක් සංවිධාණය කර ගන්නට කැමති නැත. උත්සවයෙන් පසු පම්පෝරි ගැසිය හැකි මට්ටමක උත්සවය තිබිය යුතුය. මංගල බෙර කරුවන් , මංගල පෝරුව, ජයමංගල ගාථා , පිලිගැනීමේ ගීතය, සෙටි බෑක් එක ,අෂ්ඨක කියු කලා කරුවා,   උත්සව ශාලාවේ සැරසිලි, උත්සව ශාලාව ආහාර පාන ,මධුවිත ,අවුළුපත් මේ කී නොකී සියල්ලම ගෙවිය යුතු මුදල්ය.එකතු කර ගත් විට මහ ලොකු පිරිවැයක්ය. ඒ ගැන හිතන්නට උවමනා නැත.

පසුදා  බිල පියවීමට නගරයේ බැංකුවකින් අත්තිකාරමක් ලබා ගැනීම සදහා මනාලියගේ ගෙල බැදි මාලය සුරකීමට තබා දෙවන ගමන යන්නට සිදුවන මනාලියකගේ හදවතේ හඩා වැටීමත් කඩා වැටීමත් - මගේ මනසට පීඩාවක් විය. එහෙත්  බිල් පතේ වටිනාකම සදහා සුරැකුමක් ආයාතනයට ලබා දිය යුතුය. නැත්නම් වසන්තත්- මමත් කොට උඩ යාම සිකුරුය.  බිල්පත ගෙවීමට කාල සීමාවක් ලබා දී  නිදහස් කිරීමට  හැකි වුනත් අනන්‍යතාවය තහවුරු කිරීමට මේ යුවල - සුදුසු පුද්ගලයෙකු  ඉදිරිපත් කිරීමටත් එකගතාවයක් නොමැත. අවසානයේ සුරැකුමක් - ගිවිසුමක් සදහා පොලිස් පොත යෝජනා කිරීමට සිදුවිය. ඔවුන් එයට කැමති විය.  
කොයිතරම් අසුබ නිමිත්තක්ද ?

මමත් - වසන්තත් තාවකාලිකව සැනසුන බව අවසානයට සටහන් කල යුතුය.


notes of imaginary

Wednesday, September 17, 2014

ඔබලා බැලිල්ලක් .


ළ කෙලියයි. විදුලි බිල 25% කින් අඩු කරලා. පෙට්‍රල් ,ඩීසල් බස්සලා. ලාම්පු තෙල් හොදටම අඩු කරලා.
අහ්චර්යක මහිම ! . කිව්ව දේ කරන  - කරන දේ කියන  චින්තනයේ අරුමය!. මේක ගැන නොයෙක් කතා කියනවා. ඉරිසියාවට කියන කතා !. ඌවේ චන්දේ පරදින හින්දා අන්තිම තුරුම්පුව ගැහුවා කියලා කෙනෙක් කියනවා. තවත්  කෙනෙක් කියනවා  ඕවා ඡණ්ද ගුණ්ඩු කී දවසක් තියෙයිද ඔය ගණන් .ඡණ්දේ ඉවරවුනාම ආයේ වැඩි වෙයි කියලා. !. ලංකාවේ ඡණ්ද තියෙන හැටියට කාලෙකට ගාණ නම් වෙනස් වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා.
චීනෙන් ආව ජොලියට චීන ලොක්කා ඉස්සරහ තියාගෙන කරපු ප්‍රකාශයකින් මිළ අඩුකරපු හින්දා අපිට හොද ජාත්‍යාන්තර සාක්‍ෂියක් නම් මේ වැඩේට ලැබිලා තියෙනවා.කොයි වැඩෙ කලත් අවිශ්වාශයෙන් ඒ දිහා බලන්න පුරුදු වෙලා දැන් අවුරුදු හතලිහක් පනහක් වෙච්ච ජාතියකට............මේ අඩුකිරිල්ල අස්සෙත් මොනවා හරි කෙන්ගෙඩියක් තියෙනවා කියලා  විශ්වාසයක් නම් ඇතිවෙනවා.
අපේ ගෙදර රෙදි දමලා තිබුන කබඩ් එක අද උදේම ප්‍රිජ් එකක් වෙලා ! ආශ්චර්ය කියලා කියන්නේ ඒකයි.
ඉන්ධන මිල පහල බැහපු එක අපිට දැනෙන්න ගැමුණු මොකක් හරි ප්‍රකාශයක් කරන්න එපාය. මනුස්සයා කියයි ටයර් ගණණ් වැඩියි. ස්පෙයාර් පාර්ට්ස් ගණණ් වැඩියි. ඒක හින්දා නග්ගපුවා බස්සන්න බැහැ කියලා. එතෙක් ඉතින් අපි සුපුරුදු පරිදි 25%ක් පයින් ගිහිල්ලා ඉතිරි ටික යන්න බස් එකට නගිනවා.
මේ වැඩේ සල්ලි නැතිකමට කරන වැඩක් එහෙම නෙමෙයි.වෛද්‍යවරයාගේ උපදේශය පරිදි කරන වැඩක්. ක්ලෙස්ට්‍රෝල් -සීනී   පාලනය කිරීම සදහා හොද ප්‍රතිකාරයක්.
කවුදෝ කෙනෙක් ගිය සතියේ ඉරිදා පත්‍රයකට ලියලා  තිබුනා රාජ්‍ය නායකයා ගිය ගිය තැන ළමයි උස්සනවා. ඒක ආදර්ශයකට අරගෙන රටේ මිනිස්සු ළමයි උස්සන්න පටන් අරන් කියලා. මේ මාධ්‍යවේදීන්ට හිතෙන ඒවා. ඒත් අපි ඉතින් ලොකු මිනිස්සු අනුගමනය කරන්න කැමතියිනේ. ලොකු එකා හිටගෙන කරන දේ පුංචි එකා කරන්නේ දුව දුවනේ.

මාධ්‍ය උන්නැහේලා කාලෙකට නයි අරිනවා. නලගන ලා අල්ලගෙන. කාලෙකට ළමයි උස්සනවා. ළමෙකුට විනෝද ගමනක් යන්න බැහැ. ලොකු හෙඩිමයකිනි තුන් දෙනෙක් හතර දෙනෙක් අතුරු දහන් වෙලා කියනවා. හොයන්නේ බලන්නේ නැතිව “ පච ” දිග  අරිනවා. මෙයාලා එක -  අටට හිදලා ( අට එකට හිදලා නෙමෙයි )  අපිට මවලා දෙන්න දක්‍ෂයෝ අපි මුලා වෙනවා. අන්තිමට වෙච්ච දෙයක් නැහැ. 

හූවේ ඡණ්දෙනේ ! අපි හාවක් හූවක් නොකර ඉමු.  21 වෙනිදා පාන්දරට අඩුකරපු එළියෙන් ප්‍රතිපල බලා ගන්න බැරියැ.

notes of imaginary

Sunday, September 14, 2014

දාලා බලනවද ? බලලා දානවද - What ‘s your policy ?. 2


විචාරක ලියලා තිබුනා“ දාලා බලනවද - බලලා දානවද“ කියලා වියමනක්. විචාරකට ඕන වුනේ කමෙන්ට්ස් ගැන එයාගේ ප්‍රතිපත්තිය පල කරන්න.

මට මේ ලිපිය කියවන කොට මතක් වුනේ අපිට AL පන්තියේදී APPLIED සහ PHYSICS උගන්වපු අපේ සර්. එතුමාට තිබුනා “ දාලා අහක්ලා බලමු “ කියන පුරුද්දක්. ඔය සමීකරනයක් වගේ තැනකදී ආදේශයක් කරන කොට ආදේශය කරන්නේ “ අපි මේක දාල අහක්ලා බලමු “ කියලා. වැඩේ හරි ගියොත් ගොඩ. මාත් අනෙක්වා කොයික නැතිවුනත් ඒ විෂයයන් දෙකෙන් ගොඩ ගියා.

සර් ගැන මතක් වුනාම පංතියේදී උන දේවල් ගැන ලියන්න මතකය අවදි වෙනවා.
ඊට ඉස්සෙල්ලා විචාරකගේ කතාවට පොඩි ඌණ පූරණයක් කරන්න හිතුවා. නැත්නම් මේ වියමන දිග පලල අඩුවෙන හින්දා. පනින්නට පෙර සිතා බලන්න කියලා කතාවක් තියෙනවා . දාලා බැලිල්ලෙයි- බලලා දැමිල්ලෙයි හොද නොහොද සොයාගන්න මේ කතාවෙනුත් පොඩි තල්ලුවක් ගත්තොත් හොදයි කියලා මම හිතනවා. ගින්දර ගොඩක් තියෙනවා.මේකට අත දාන්න හිතෙනවා. විචාරකගේ තියරියේ හැටියට දාලා බැලුවොත් .................මොකද වෙන්නේ ?. පුච්ච ගන්න වෙනවා. එතනදී දාලා බැලිල්ල අනතුරුදායකයි. ගෙදර දොරේදී නම් දාලා බැලිල්ල ගුණදායකයි. ප්‍රතිචාර බලලා තමුන්ගේ වැඩේට බහින්න පුළුවන්.නැත්නම් වැඩේ අත්හරලා මොනවත් නූනා වගේ ඉන්න පුළුවන්. මෙතෙන්දී පනින්න පෙර සිතා බලන්න කියන එකටත් ගැලපෙනවා.

ඔය ප්‍රතිපත්ති සම්ප්‍රදාය කියන ජාති අවස්ථාවේ හැටියට වෙනස් කරලා ආයෙත් අළුතින් ප්‍රතිපත්ති සම්ප්‍රදායන් හදා ගන්න ඕනී. නැත්නම් ජීවිතේ පවත්වා ගෙන යන්න බැරිවෙනවා. අතර මගදී හිර වෙනවා. අපේ උත්තරීතර ලියවිල්ලත් ප්‍රතිපත්තියක්නේ !. මොකක්ද ඒකට වෙලා තියෙන්නේ ?.කරලා තියෙන සංශෝධන ගණන මතකත් නැහැ.මෙහෙ එහෙම උනාට ඇමරිකාවේ එහෙම නැහැ. කොටින්ම ලිඛිත ව්‍යවස්ථාවකුත් නැහැ කියලානේ කියන්නේ. ( ඔය ලිඛිත ව්‍යවස්ථාවක් නැත්තෙ ඇමරිකාවෙ නෙමෙයි එංගලන්තෙ. එංගලන්තෙ ව්‍ය්වස්ථාව කියන්නෙ ඔටුන්නෙ බලය සහ තවත් නීති පද්ධතියක එකතුවක්. අන්න ඒ නිසයි ලිඛිත ව්‍යවස්ථාවක් නෑ කියන්නෙ. - කමෙන්ට්ස් වලින් මේ නිවරදි කිරීම ආවේ. මම මේ වියමන edit කලත් මගේ වරද එහෙමම තියෙන්න අරිනවා.)

මම ආයෙත් මගේ AL පන්තියටම යනවා. ගිය මාසේ දවසක අපේ පන්තියේ හිටපු කෙල්ලෙක් ඒකිගේ මුළු පවුලත් එක්කම හමුවුනා. ඒකිගේ පුතා අපේ ගෙවල් ගාවයින් කසාදයක් කරගන්නව. පදිංචිය කොළඹ - කොල්ලාගේ කෙල්ල වෙඩින් එක ගන්නේ බෙලිහුල්ඔය තානායමේ. ඉතින් දුර ගෙවා ගෙන පාන්දරින්ම එන්න බැරි නිසා මතක් වුනා පංතියේ හිටපු “ ල‘යියාව “ ල‘යියට සිද්ධවුනා ඒකිගේ නව පරපුරටත් සහෝදර පරපුරටත් නවාතැන් පහසුකම් සලස්වන්න.

APPLIED සහ PHYSICS උගන්වපු අපේ සර් ආයෙත් මේ හමුවත් එක්ක මතක්වුනා.එදා අපි හිටියේ lab එකේ. පාඩම යන අතර විසේ ඇති මම පහන් දැලි ටිකක් ඇගිලි දෙකක උලා ගෙන මේ කෙල්ල ලගට පිටුපසින් ගිහින් කම්මුලට ලගින් ඇගිලි දෙක තියගෙන කතා කලා කෙල්ල මුහුණ පිටුපස්සට හැරෙව්වා. කම්මුලේ මගේ ඇගිලි දෙක වැදුනා. කෙල්ලගේ කම්මුලේ දැලි තැවරුනා. උන ඇබැද්දියට ප්‍රතිචාර දක්වන්න හිතා ගත්ත කෙල්ල අත්ල පුරා දැලි තවරා ගෙන ගිහින් තිබුන හදිස්සියට මම කියලා හිතගෙන සර්ගේ මූන පුරා දැලි තැවරුවා. මම බේරුනා.

සර්ගේ හොදකමට අපි දෙන්නම බේරුනා. දැන් කාලේ නම් ගෝලයෝ දෙන්නට නතර වෙන්න වෙන්නේ ගෙදර .
මේ හාදකම දාලා බැලිල්ලක් නෙමෙයි. බලලා දැමිල්ලකුත් නෙමෙයි.

එහෙම දාලා බලාපු තැන්වලින් පස්සේ කාලේ අත්දෙක පුළුස්සා ගන්න සිද්ධවුනා. බලලා දමන්න ගිය තැන් වල හිරවුනා.

විචාරකගේ මාතෟකාව උදුරා ගන මම දාලා බැළුවට අවුලක් වෙන එකක් නැහැනේ.
notes of imaginary

Monday, September 08, 2014

බිල්ලට දුන් ගිණි හුලෙහි ඔය. ( බෙලිහුල්ඔය)

අර්නස්ට් හේකල්(Ernst Heinrich Philipp August Haeckel 

අපි ගැන අපි කතා කරනවා අඩුයි.
රට වටේ ගිහින් තොරතුරු එකතු කරගෙන ඇවිත් ලියුවත් හැමදාමත් ජීවත් වෙන පරිසරය  වට පිටාව ගැන ලි‍යවෙනවා අඩුයි කියලා මීදුම හිතුවා. අද යොමුවන්නේ අපේ පරිසරය හා වටාපිටාව ගැන කතා කරන්න.
බෙලිහුල්ඔය කියාපුවම මතක් වෙන්නේ බෙලිහුල්ඔය තානායම.පන්සල  (කරගස්තලාව ශෛලගංගාරාමය) කතොලික පල්ලිය  හැරුනාම බෙලිහුල්ඔය තියෙන ඓතිහාසික ස්ථානයක් වන්නේ ‍බෙලිහුල්ඔය තානායමයි. වර්තමානය වන විට දේශිය සංචාරකයන් අතරට බෙලිහුල්ඔය තානායමට අමතරව තවත් සංචාරක නවාතැන් කිහිපයක්ම එකතු වෙලා.

”පර්ල් “ සහ “සැවින්රා” මේ අතර ජනප්‍රිය සහ පහසුකම් සපිරි සංචාරක නවාතැන් දෙකක්.

දර්ශනවාදියෙක් විද්‍යාඥයෙක් වන අර්නස්ට් හෙකල්  Ernest Haeckel  (1880-81 ) දී සංචාරකයෙක් විදියට ලංකාවට එනවා. ඒ ඇවිත් සංචාරක සටහන් ඇතුලත් කර A VISIT TO CEYLON  කියලා ලියන පොත “ ලංකාවට ගමනක් “ කියලා චානක සේනානයක විසින් සිංහලට පරිවර්තනය වෙනවා.

මේ පොතේ බෙලිහුල්ඔය ගැන සදහන් වෙනවා.

අර්නස්ට් හේකල්(Ernst Heinrich Philipp August Haeckel )  ගැනත් කියන්න ඕනී. ඔහු ජර්මන් ජාතිකයෙක්. 1834 පෙබරවාරි මාසේ 16 වෙනිදා උපත ලබා 1919 අගෝස්තු මාසේ 9 වෙනිදා මියයනවා  ඔහු  ගත් කතුවරයෙකු වෛද්‍යවරයෙක්,ජීව විද්‍යඥයෙක්, පරිසරවේදියෙක්,දාර්ශණීකයෙක්,මහාචාර්යවරයෙක් සහ චිත්‍රශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධියට පත්වෙනවා.

මේ කියන කාලවකවානුව  වර්ෂ 1880 – 81. ක

අර්නස්ට් හෙකල්  ශ්‍රී ලංකාවේ ගත කරන කාලය අවසන් වෙන්නේ   නුවරඑලියෙන් පිටත්ව හෝර්ටන් තැන්න හරහා වැටී ඇති මාර්ගයෙන් බෙලිහුල්ඔටත්,  එතැනින් රත්නපුරයට පැමිණ පාරුවකින් කළුගග දිගේ කළුතරට පැමිණීමෙන්. කළුතර සිට ගොඩබිමෙන් කොළඹට පැමිනෙන අර්නස්ට් හෙකල්  නැවි ගත වෙනවා. 

නුවරඑලියේ සිට බෙලිහුල්ඔයට අදත් ලෝකාන්තය හරහා පැමිණිය හැකියි. ලෝකාන්තයත් බෙලිහුල්ඔයත් අතර දුර කි.මි 14 පමණ තිබෙනවා. මේ දුර ගෙවා පැමිණි අර්නස්ට් හෙකල් නවාතැන් අරන් තියෙන්නේ බෙලිහුල්ඔය තානායමේ.

අර්නස්ට් හෙකල් එදා දුටුව බෙලිහුල්ඔය අද නැහැ. ජනගහනයේ පිපිරීමත් එක්ක පරිසරය දේශගුණය විනාශවෙලා. අවුරුදු 134 ක් තිස්සේ පරිනාමයවු සමාජය නවීකරණය වෙලා. 

“ අර්නස්ට් හෙකල් හෝර්ටන්තැන්න සංචාරය අවසන් කරලා බෙලිහුල්ඔයට එන්නේ නොන්පෙරියල් වත්ත හරහා. ඔහුට නොන්පෙරියල් වත්තට එන්න පැය පහක් විතර ගතවෙලා තිබුනා එදා නොන්පෙරියල් වත්ත සරුසාර කෝපි වගාවක්.කෝපි වගාව විනාශ වීමෙන් පසුව තේ වගා කරනු ලදුව සරුසාර තේවත්තක් ලෙස අපි කුඩා අවදියේ දුටු  (1955)නොන්පෙරියල් වත්ත අද නිසරු තේ වගාවක් දක්වා වෙනස් වෙලා. එදා වගාභුමිය අක්කර 1200ක් විතරවු මේ වගා බිම  අද වන විට අක්කර 200ක් තරමට කුඩා වෙලා.

1881පෙබරවාරි 25 දා බදුල්ලෙන් ඇරඹි බටහිර දෙසට විහිදෙමින් රත්නපුරය දෙසට ලගා වෙන සුප්‍රකට මාර්ගයේ වඩාත්ම උසින් පිහිටි නවාතැනවු යේ බෙලිහුල්ඔය යි, 
නුවරඑලියේ සිට හෝර්ටන් තැන්න හරහා හේකල් බෙලිහුල්ඔයේ නවාතැන් ගන්නවා.  පසුව බදුල්ල- රත්නපුර මග  ඔස්සේ රත්නපුරයට යනවා. 

එදා බදුල්ල - රත්නපුර මාර්ගය බදුල්ලේ සිට කෝපි පලදාව කොළඹට ගෙන යාමටත් වැවිලිකරුවන්ගේ වෙනත් අවශ්‍යතා සදහාත් වැඩියෙන් භාවිතා වී තිබෙනවා. මේ මාර්ගයේ එකම ප්‍රවාහණ පහසුකම  වී ඇත්තේ කරත්තයයි. කරත්තකරුවන් උදෙසා නවාතැන් පහසුකම් සැලසු “ගාලේ කඩේ” නම් ගත් ස්ථාන මේ මාර්ගයේ පලින් පල හමුවෙනවා. මේ මගෙහි  “ගාලේ කඩේ “ යයි පැරණි නම භාවිතා වන නිවෙස් තවමත් ඇති බව සටහන් කල යුතුයි.
රත්නපුරේ සිට පාරුවෙන් ‍කළුතරට ප්‍රවාහණය වන බඩු බාහිරාදිය කළුතර සිට යලිත් කරත්ත කරුවන් විසින් කොළඹ දක්වා ගෙන ගිය බවයි අර්නස්ට් හෙකල් සටහන් කරන්නේ.

හේකල් සදහන් කරනා ආකාරයට බෙලිහුල්ඔය ට නම ලැබී ඇත්තේ “බිල්ලට දුන් ගිණි හුලෙහි ඔය” කියනා අර්ථයෙනුයි. ඒත් වෙනත් අර්ථකථනයන් බෙලිහුල්ඔය කියන නමට තියෙනවා. (කියවන්න   මේ ලිපියත් කියවන්න. 
බෙලිහුල්ඔය ගමට මේ නම ලැබී ඇත්තේ සානුවේ දොරුවක් මැදින් ගලා බසින කදුකර දොල  පහර නිසාවෙනි .  අතු ගංගා කිහිපයක් ඇරුන විට මෙම දොළ පහරේ මුලාශ්‍රයන්  හෝර්ටන් තැන්නෙන් ඇරඹෙනවා. මේ මුලාශ්‍රයන් එකතුවී පසුව සැඩ පහරක් ලෙස ගලා බසින මෙම දිය පහර  පටු ඕඩ  සරුවට වැඩුන පලාවන් වියනාන් වැසී ඇති බිම ඔස්සේ . බටහිර දෙසට මුහුණ ලන ප්‍රපාතාකාර ගල් බිත්ති අතරින් රිංගා ගලා බසිනවා.  මෙම ඇල දොළ නිසා මේ අවට භුමි ලක්‍ෂණ වඩ වඩාත් උදාර හා සිත් ගන්නා සුළු බවට පත්වෙන බව හේකල් ලියනවා.  

“නන්පෙරියල් වත්තේ සිට පැමිණි විට මෙම ප්‍රදේශයයේ ස්වභාව සෞන්දර්යෙන් කෙතෙක් වසග වුවාද යයි කිවහොත් මේ ගමේ  දින කිහිපයක් නතරවීමට අප තීරණය කලෙමු. කියන හේකල් අද බෙලිහුල්ඔයට පැමිණියෝත් ස්වභාව පරිසරයට ඇතිවී ඇති විනාශය දැක කම්පාවට පත් වෙනවා ඇති.

notes of imaginary

Tuesday, September 02, 2014

ප්‍රේමය.


යොවුන් ආදරය  වැඩිහිටි දෑසින් දකින්නේ විවිධාකාර කෝන තුලින් බොහෝ වැඩිහිටියන් තමන් ජීවිතයේ පසුකර ආ තරුන ගැටවර වියේ දුර තමන් ලද අත්දැකීම් දූ දරුවන්ගේ ආදර සම්බන්‍ධතා දකින විට  ඒවාට ආදේශ කරගන්නේ විරෝධාත්මක හැගීම් මතු කරමින්.  එක් වරම තම දූ දරුවන් කෙරෙහි  තද බල විරෝධතාවයන් වාරනයන් වලට එළබීම බොහෝ දෙනා තුලින් මීදුම දකිනවා. තම අත්දෑකීම් ඇසුරු කරගෙන වාරණයන්ට වි‍රෝ ධතාවයන් දක්වනවාට වඩා දූ දරුවන් සමග සාකච්ඡා කරන තැනකට යනවා නම් අපූරු බවයි මීදුම හිතන්නේ.
අප තරුන විය පසුකල හැත්තෑව දශකයට වඩා  ගෙවී ගිය දශක හතරක අතීත කාලය  - වර්තමානය වන විට කාලය විසින් අපේ ජීවන වට පිටාව වෙනස් කරලා.  ලිහිල් වෙලා. ඉතින් අපිට ඒ අතීතයේ ජීවත් වෙන්න බැහැ. අපි එදා බැද දමා තිබු තහංචි අද විහිළුවක් කෝළමක් ලෙස දකින දූදරුවන් සමගයි අද අපි ජීවත් වෙන්නේ. වැඩිහිටියන් අතර දියණියකට තියෙන වැට කඩොළු ඒ වැඩිහිටියන් අතර පුතනුවකට ඇත්තේ නැහැ. මේ වෙනස දෙමව්පියන්ගේ ආත්මාර්ථකාමී හැගීමක් වගෙයි කියලයි මීදුම දකින්නේ.
අද තරුන වියේ  දරුවන්ගෙන් වැඩි පිරිසක්  ආදරය ප්‍රේමය විවාහයම ඉලක්ක කරගත්ත ඉමක් සදහා තෝරා ගත් මාවතක ගමන් කරනවා කියලා නිශ්චිත කරන්න අපහසුයි. විවාහ වන විට ඔවුන් ප්‍රථම ප්‍රේමයන්  ගණනාවක් පසුකර විවාහය ප්‍රථම ප්‍රේමය බවට පත් කරගන්නවා යයි මීදුම හිතනවා. අහිමිවු ප්‍රේමය ගැන සිත සිතා හඩා වැලපෙනවාට වඩා තමන්ට ප්‍රේමකරන ආදරය කරන කෙනෙක් සොයා යාම වැදගත් බව බොහෝ දෙනා තේරුම් අරන් ඇති බවයි මීදුම සිතන්නේ. මේ දියුණු මානසික තත්වයක්ද විය හැකියි. මීදුම අනුමානය කරනවා.
මීදුම තම අත්දැකීම් වර්තමානය වන විට විග්‍රහ කරන්නේ අහිමිවු ආදරයට හඩා වැලපීම  නිශ්පල ප්‍රයත්නයක් ලෙසටයි. ඒ අත්දැකීම් මත සිට ගෙන අතීත කතා දකින්නේ   
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අබිමන්
හැඞූ දා කඳුළයි දකින්නේ 
සිනාවේ සරදම්....
ඉවුරු දෑලේ හිඳ බැලූ විට 
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම 
බිහිසුණුයි චන්ඩයි....
හඳක් නැතිදා අහස් තලයට 
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්....
මේ ගී පද වැල අයිති
ගී පද - බන්දුල නානායක්කාරවසම්
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

මේ තුන්දෙනා  ආදරය ප්‍රේමය දිහා බලපු ආකාරයටයි. පනින්න පෙර සිතා බලන්න කියනවානේ. ප්‍රෙමයත් ඒ වගෙයි  පටන් ගන්න පෙරත් ඒ වගේ හිතා බලන්න ඕනි.  තම තමන්ගේ වැඩිහිටියන් අනුමත කරයිද ? යන ප්‍රශ්නයට කලින්ම විසදුම් සොයා ගත්තොත්  වැඩිහිටියන් හා කතා බහ කර ඇතිවිය හැකි බාධක  ප්‍රශ්න  සමනය කරගතහොත්  ආදරයෙන් වියෝවීමක් ඇතිවිය හැකිවෙන්නේ නෑ.


notes of imaginary

Friday, August 29, 2014

ජීවිතය

ඉද හිට හෝ ජීවිතය   බ්ලොග් පිටුවේ දියකරන්න සිද්ධවෙනවනම් හොදයි කියලා හිතුනත් ටයිප් කරපු පිටුව ආපහු කියවලා බැළුවම මේ වල් පල් කියවන්නෙකුට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා නැවත හිතන කොට සිද්ධ වෙන්නේ වමාරපු මතක - මතක පිටුවේම  Delete කරලා දාන එක.
හිස් පිටුවක් කොහොම පලකරන්නද ?. ඉතින් කවරදාවකවත් කියවන්නත් පලකරන්නත් නොලැබෙන මේ කතාව අද නැවත කියවන්නේ නැතිව පලකරනවා  කියලා හිත හදාගත්තා
සංස්කරණය නොවු මේ ලියවිල්ල පිස්සු මරගාතයක් වේවි.
ලයනල් මහත්තයා...... ඒ පිය බිරිද මා අමතන හැටියි. මට මේක ටිකක් අමුතු උනත් කාලයක් යන විට මේ ඇමතීමට මම පුරුදු වුනා. ඇමතීම රාජකාරී ස්වරූපයක් ,රිද්මයක් තිබුනත් ඒ හඩට මම ආදරේ කරන්න පටන් ගත්තේ මීට අවුරුදු තිස් අටකටත් ඉස්සර ඉදන්.
ඈ ගුරුවරියක්ව අවුරුදු තිහක් වගේ කාලයක් එකම ස්කෝලේ  ඉගැන්වුවා. ලමයි ආවා ගියා. ඒ ලමයින්ගේ දූ දරුවොත් පාසලට ආවා ගියා. ඒ දරුවන්ගේ දූ දරුවෝ එක දෙක වසර පන්තිවලට එනකනුත් ස්කොලේ හාමිනේ පරම්පරා තුනකට සමාජ අධ්‍යයනය සහ ඉතිහාසය පරිසරය කියන විෂයයන් උගන්වමින් ඉදලා විශ්‍රාම යන්න පස් වසරක් තියෙද්දී අධ්‍යාපන පරිපාලනයට එකතු වුනා.
තිස් වසරක් තිස්සේ වෙනස් නොවුනේ ස්කෝලේ හාමිනේ  විතරයි. අවුරුද්දෙන් අවුරුද්ද ලමයි ගුරුවරු .විදුහල්පතිවරු , පාසල් ගොඩනැගිලි , පාසලේ  පරිසරය පාසල් වත්තේ ගහ කොල වෙනස් වුනා.  දෙමව්පියෝ දරුවෝ කලින් කලට හිටි විදුහල්පතිවරු , ගුරුවරු ඈ හට කොයිතරම් කැමතිද අකමැතිද කියන එක කිසිම විරෝධයක් නැතිව දශක තුනක් එකම පාසලේ සිටිය නිසා මැන ගන්න පුළුවන්.
ඈ පන්ති කාමරේට ගියේ “ ආයුබෝවන්   කියලා ලමයින්ට අත් දෙක එකතු කරලා ආශිර්වාද කරගෙන . “ගන්න බලන්න පොත් ටික“  පලමු විධාණය. දෙවනි ප්‍රශ්ණය “අපි ඊයේ නතර කලේ...................... ?.“  පංතියට ප්‍රශ්නයක්. ඒ ටික අවුරුදු තිහක් තිස්සේ හැමදාමත් මේ වාක්‍ය පේලි දෙක පන්ති කාමරේට අහන්න  සිද්ධවුනා. දශක තුනක් තිස්සේ  ඈ ඇසුරු කල සිසු දරුවෝ අදත් වැඩිහිටියන්ව  හමුවු  විටක් සිහිපත් කරන්නේ  “ඊයේ අපි නතර කලේ........... “ ටීචර් කියාගෙන.
අවුරුද්දටම ගනන නිවාඩු ගාන වසර තිහක් තිස්සේ දහයට පහතයි.මම මෙවට උදව් උනාද නැද්ද කියන එකත් තීරණය කරන්න ඔබටම බාරයි. මම උදව් උනා නම් හිටපු එකම දරුවා බලා ගෙන තමයි.
එක දවසක කට  කාර සිසුවෙක් - අපි ඊයේ නතර කලේ...................... ? කියන ප්‍රශ්නයට දීලා තිබුන උත්තරේ “ බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියලා“ ................ කියලයි . “ ඔව්“ ඊට පස්සේ විජයානන්ද දහනායක මහත්තයා අගමැති වුනා කියලා ඈ සිසුවාගෙන් ෂේප් වෙලා එතැන් සිට පාඩම පටන් ගත්තා කියලා ගෙදර ඇවිත් වමාරන්නේ බොහොම සැහැල්ලළුවෙන්. සහ විනෝදයෙන්.
ගෙදර ජීවිතය නම් මට හරි කරදරයක්.
ඈ ගෙදර ඇවිදින් කලෙත් උගන්නන එක. ගෙදර පංතියේ එකම සිසුවා මම. මට තාමත් ඈ උගන්නනවා. මම තාමත් ඉගණ ගන්නවා. “ ලයනල් මහත්තයා ........ “ කී පමණනින් මම උත්තර දෙන්න ඔනී. නැත්නම් ඒ කටත් සද්දේ දානවා. මම “ඉන්නවා .............. . කියලා උත්තර දෙන්න මුලින්ම පුරුදු වුනේ ඔලොක්කුවට. ඒත් දැන් ඒක පුරුද්දක් සාමාන්‍ය දෙයක් වෙලා. ටීචර් නම් අඩ ගහනවා - පංති කාමරෙන් ඇහෙන්නේ ඉන්නවා හඩ විතරයි.
ජීවිතයේ හොදයයි සම්මත පුරුදු සියල්ලට මා පුහුණු  කලේ ටීචර්. ඇගේ හොදම ශිෂ්‍යා මම කියලා ඈ හිතනවා ඇති. දැන් අපේ පංතියේ මුණුපුරෙකුත් එක්ක හතර දෙනයි. අපි හතර දෙනාගේම ටීචර් වෙලා ඈ  සතුටු වෙනවා.

අදට මේ ලියවිල්ල නතර කරනවා. මේවගේ සංස්කරණය නොකරන ලද ලියවිලි පලකරන්න “ ජීවිතය “ කියලා ලේබලයක් අළුතින් අලවා  ගත්තා ලිපි එකතුව කොහොම වෙයිද කියලා බලමු.

notes of imaginary