Sunday, February 05, 2017

මගේ බෞද්ධකම


අපේ හාමුදුරුවෝ   මේ සෘධියෙන් වඩින්නේ සයිටම් හුටපටය නිවා දමන්න වැඩිය ගමන්. හාමුදුරුවන්ගේ පැනිල්ලත්  සහභාගීවුන ගමනත් ගැන හිතපුවම බුද්ධධර්මයේ අනාගත පැවත්ම සංඝ සමාජයත් සමග බැදෙන්නේ නැහැ කියලා මට නැවත නැවතත් හිතුනා.
මේ මගේ කතාව සයිටම් ගැන නොවේ . වසර දෙදහස් පන්සිය පනහකටත් වැඩිය වයසට ගිය          අපේ රටේ  බෞද්ධකම ගැනයි.
මම පන්සල් නොයන බෞද්ධ ප්‍රතිපත්ති හැකිතාක් දුරට රකින පුරවැසියෙක්. පන්සලකට යතත් යන්නේ මට කරදරයක් නොවන  හාමුදුරුවරුන් ඉන්න පන්සල් වලට විතරයි. පන්සලක දායකයෙක් වෙලා ඉන්න එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. හිතේ කුසල් රැස් කර ගන්න පන්සල්ම යන්න ඕනී නැහැ කියලා මට හිතෙනවා. මම දවසක ලිව්ව  පන්සල - “පහන් - සලක්”  විය යුතුයි කියලා. ඒත් අපේ පන්සල් -  පහන්සල් ද ?.
පන්සල් යන දායක දායිකවෝ පන්සලේ හාමුදුරුවෝ මග ඇරලා පන්සලට ගිහින් එන්න තරම් සර්ධාවක් හිතේ ඇති කරගන්නවා. පන්සලේ හාමුදුරුවෝ දැක්කොත් වැඩ ගොඩයි. කවදාවත් නිමා නොවන පන්සලේ සංවර්ධණ ව්‍යාපෘති උපාසික උපාසිකාවන්ගේ චිත්ත සංතානය දෙදරවනවා. හාමුදුරුවන්ට දැනෙන්නේ නැහැ ගිහියන්ට තියෙන කරදර කලබල . ඒ වයින් හිත සැහැල්ලු වෙන්න මල් පහන් පුදා බුදුන් වැද පන්සල් පරිසරයේ  ටික වෙලාවක් ගත කරන්න යන ගිහියන්  ආපසු පන්සලෙන් නික්මෙන්නේ තවත් හිතේ බරක් පුරවා ගෙන නම් ඒ පන්සල් ගමනෙන් වැඩක් තියෙනවද ?.
අපේ රටේ තාමත් කටුමැටි ගහලා පිදුරු හරි පොල් අතු වගේ තාවකාලික වහලක් යොදා නිවසක් හදාගන ඉන්න පවුල් කීයක් ඉන්නවද ?. එවැනි ගම්මාන පවා තියෙන්න පුළුවන්. එ වැනි ගම්මානයක පවා ඉදිකරගෙන තියෙන විහාරාධිපතීන් වැඩ වාසය කරන නිවාසවල සුඛොපභෝගීත්‍වය දෙස බලන කොට මේ ගොඩනැගිලි ඉදිවෙලා තියෙන්නේ ඒ අසරනවු දුක්පීඩා මැද ජීවත්වන ගම්වැසියන්ගේ රුපියලෙන් ශ්‍රමයෙන් වීම නිසාවෙන් සසර මේ තරම් නිසරුද කියලා හිතෙනවා.
අපේ ඇත්තෝ අතේ තියෙන හැටියට තමන්ගේ අපල උපල දුරු කර ගන්න බාර හාර වෙනවා. වදිනවා පුදනවා. තිරුපතිවලින් පටන් අරන් ගමේ නුගරුක යට වැඩ වසන දෙවියන් දක්වා යතිකා කරනවා. අපේ මිනිසුන්ගේ කාලය දියකරන බලවේග බවට පල්ලි කෝවිල් පන්සල් පත්වෙලා. ආගම් බේදයකින් තොරව මෙම පූජණිය ස්ථාන මුදල් උපයන ආර්ථික මධ්‍යස්ථාන බවට පත්වෙලා. රජය කරවන ඇත්තෝත් සත්භාවයෙන් එම කටයුත්තේ නියලෙන්නේ නැති නිසා දෙවියනට බියයි. ඒ  නිසා තාමත් මේ තැන් වලින් වැට් බදු , ආදායම් බදු ,ජාතිය ගොඩ නැගීමේ බද්ද අයකරන්නේ නැහැ. නැත්නම් බුලත් කොලේ පූජා වට්ටියේ තියෙන මුදලට තවත් 20% ක් විතර අමතරව මුදලක් පීඩාවෙන් යදින යදින්නන්ට සිදුවේවි.

දේව විශ්වාශය ශාන්තිකර්ම නානාප්‍රකාර පූජා විධි  ප්‍රවර් ධණය කරන්න සැදී පැහැදී ගත් ඇත්තෝ බොහෝමයි.එමගින් උපයන මිළ මුදල්ද බොහොමයි.පීඩා වෙන් වෙසෙන දනන් මුලා කර මුදල් උපයන මෙවැනි වෘත්තිකයන් ගැන දෙවියන් නොබලයි. ඒ දෙවියන් නොසිටින නිසාද ?.

notes of imaginary

Thursday, February 02, 2017

කාලෙකට පස්සේ.


නැගණහිරෙන් එන වැස්ස බලා ගෙන හිටපු අපට   වැදගත් මහත්තුරු ක්‍රොටන් කොළ කන්න කියනවා. අඩු ජල භාවිතයෙන් ගොවිතැන් කරන ක්‍රමවේදයන් ගැන උපදෙස් දෙන්න ඕණි මේ රාළලා ඒ වැඩේ නොකර  අපිට කොස් කොළ ක්‍රොටන් කොළ  කන්න    උපදෙස් දෙනවා.
“මුන් නම් රටත් පාලකයොත් කාලා අපිත්  කන්නම උපන් මිනිස්සු  !.
සෙනසුරුත් බටකොළ කෑවළු.
ඒ මේ ඇත්තන්ගේ උපදෙස් අරන් වෙන්න ඇති.
මේ සෙනසුරුගේ මොකක්ද තියෙන කාලේ කියනවානේ. ”
මහත්වරු  පිරිසක් බරපතල සාකච්ඡාවක.
ගැටෙන වීදුරුත් හැඩෙන හඩත්පැතිරෙන උස් හඩත්  මගේ අවධානය ඔවුන්ගේ කතා බහට නිකම්ම යොමු වුනා. උන්නැහේලාට පදම ඉක්මවා යා ගෙන යන්න ඇවිල්ලා වගෙයි මම හිතුවා.හෙමින් මුමුනමින් පටන් ගන්නා පිළිසදර මිලි ලීටර් 100...150....200....250...300 පහුවෙන කොට ටිකින් ටික වේගවත් වෙනවා. අවට ඉන්නේ කවුද කියන්නේ මොනවද මායිම් නැතිව වා තලය ගිණියම් වෙනවා.
අනුන්ගේ කතාවලට කන්දීම හොද පුරුද්දක් නොවුනත් ඇහෙන එක වලක්වා ගන්න මා ස්ථාන ගත වී සිටි  තැනට පුළුවන් කමක් නැහැ. වරින් වර මා ගැන සොයා බලන සේවක මහතා හැර මගේ මේසේ පාළුයි. මගේ තනියට කවුරුත් නැහැ.තනියට ඇහෙන කතා මම අහගෙන හිටියා.
සෙනසුරුට වැඩි ප්‍රතිචාරයක් නැතිව කතා අතීතයත් වර්තමානයත් අතර ගැටුමක්වු මාතෘකාවකට මාරුවුනා. 
“ මචන් උඹට මතකද ?  අපේ ඒ ලෙවල් ක්ලාස් එකේ හිටපු මුහන්දිරම් ?.
ඇයි බන් අමතක ?
ඌ  ලංකාවට ඇවිල්ලා ....
මම කතා කලා.... ඌ කියනවා මාව අදුරන්නේ නැහැ කියලා.
මචං වයස යනකොට කල්පනාව අඩුවෙනවා.
උබේ වයස කීයද ?
මට හැත්තෑ එකයිනේ බන්.
ඉතින් ඌටත් හැත්තෑ එකයි නේ බන් .
ඌ උබට හමුවුනේ අවුරුදු හතලිහකට විතර පස්සේනේ .ඉතින් ඌට උබව මතක නැතිවෙන්න ඇති.
වයසයි - මතකයයි අතර සම්බන්‍ධයක් තියෙනවානේ.
එනෙම් යකෝ මට මතක තියෙන්නේ ?”

මේසේ වටේ කතාව යනවා. එකට කා ගෙන බී ගෙන හිටපු යාළුව හදුනා නොගත් සිද්ධියට බරපතල විවේචනයක්.
හිතේ අමාරුවක් .

මේ කතා බහ අස්සේ මගේ මතකයට මින් වසර කිහිපයකට පෙර උන  ඔය වගේ නොවුනත් පුංචි අකරතැබ්බයක් මතක් වුනා. මගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා පොලොන්නරුවේ. මම මාතලේ මළ ගෙදරක ගියා. අවසන් කටයුතුත් අවසන් වෙලා එන්න සැලසුම් වෙලා තිබුන නිසා ඒ අතර දවසක විවේක කාලයක් තියෙනවා. ඒ දවස ප්‍රයෝජනයට අරගෙන කාලයකින් හමු නොවුන සහෝදරයා සොයා ගෙන මම පොලොන්නරුවට යනවා. සහෝදරයා එවකට සේවාගම විද්‍යාලයේ විදුහල්පතිවරයා.
මම දිවා කාලය නිසාවෙන්  එකවරම  නිවසට නොගිහින් විදුහලට යන විට විදුහල්පතිවරයා කලාප කාර්යාලයට ගිහින්.
නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හමුවු මම මා හදුන්වා දී ආ ගිය කතා කීවිට
මාව කාර්යාලයේ අසුන් ගැන්වු නියෝජ්‍ය විදුහල්පතිවරයා
“ සර් නම් නැහැ  - සර්ගේ දුව උසස් පෙල පන්තියේ ඉන්නවා . ඉන්න මම එන්න කියන්නම්.
දුව එනවා ..
නියෝජ්‍ය විදුහල්පතිවරයාත් ඉන්නවා.
හ්ම්...  මම අදුනන්නේ නැහැ ..දැරිවි  කියනවා.
මම දරුවා හදුනා ගන්නවා. ඒත් මේ දැරිවි මාව  හදුනාගන්නේ නැහැ . මම මෙහොතකට අසරන වෙනවා.
මගේ ජාතික  හැදුනුම් පත දැරිවියගේ අතට දික් කරන මම
“ මෙයාව හදුනනවාද ?”
අප්පේ .... මේ .........බාප්පානේ.
යාන්තම් විදුහල්පතිවරයා එනකම් මාව බේරෙනවා.

මේ කතා දෙක අතර සහසම්බන්‍ධයක් නැතිව ඇති.

කාලෙකින් හමුනොවුනාම මතකය වියකෙනවා. අපේ අවධානය තිබෙන මතකයන් පමනක් රැදිලා තියෙනවා. අවධානයෙන් ගිලිහෙන මතක රැදී තියෙන්නේ නැහැ. ධන සම්පත් පංති ස්ථරයන් අතරත්  සම්බන්‍ධතා ගිලිහි යනවා. මගේ සේවා දායකයාට උසස් පෙල මිත්‍රයා දැක්වු ප්‍රතිචාරයත් අතර එවැනි සාධකයක් තියෙන්න ඇති.
මගේ ව්‍යාපාරක මිත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ දුරකතනයේ ඇති ග්‍රාහක අංක දහසකට ආසන්නයි. ඔහුට කතා කල සැනින් හඩින් හදුනා ගන්නවා. තිරයේ දිස්වෙන නමින් තහවුරු කරගන්නා හඩට අනෙක් කෙළවර ආමන්ත්‍රනය කරනවා. අවුරුදු හතලිහක පමණ අතීත පාසල්වියේ මිතුරන් රෑනක් ඔහු වටා තාමත් ඉන්නවා. මම හිතන්නේ ඔහු      ධනයත් සමගම පිරිසත් රැස්කරගන්නවා  කියලා. සමහර උදවියට මේ අවශ්‍යතාවය නැහැ . ධනය සම්පත් ගොඩනගා ගත්තම ඇති. පිරිසක් ඕනී නැහැ. පිරිස කරදරයක්.

මළ පසු දුක් ගී ගයන්න  ගෙදර හතර පස් දෙනා විතරක් ඉතිරි වන මළ ගෙවල් වලට අපිට  ගොඩ නගින අවස්ථා ඇතිවෙනවා. ඒ  මෙවැනි හුදකලා වෙන්න කැමති  අයගේ කියන සිතිවිල්ල සමග මා අතරමං  වෙනවා.


notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon