Tuesday, October 27, 2015

මටත් හැට අටයි.



උපන්දා සිට අවුරුද්දකට දවසක් උපන් දිනයක් සමරන්න  පුළුවන් දවසක්  එනවා.අපි උපන්දිනයක් සමරනවා කියලා දැන ගන්න කොටත් ඉපදිලා අවුරුදු පහලො වක් දහසයක් උපන් දින පහුවෙලා. ඒත් අපේ දරු මුණුබුරෝ නම් අවුරුද්දෙන් අවුරුද්ද උපන් දිනය සමරනවා.අපේ අම්මලා තාත්තලට ඒ මතකය තියෙන්න නැතිව ඇති. මොන්ටිසෝරියක් වගේ ගේ පිරිලා හිටිය අපිට උපන් දින සැමරුම් තියන්න ගියා නම් අවුරුද්දේ හැම මාසෙමත් මාසෙට දෙක තුනත් උපන් දින උත්සව ගෙවල් වල තියන්න වෙනවා.
හැත්තෑවේ දශකය වෙන කොට “ පුංචි පවුල රත්තරන් “ කියන සංකල්පය ආවට පස්සේ පවුල් පුංචි පුංචි වෙලා ගිහින් දැන් පවුල පුංචිම වෙලා.
ඉතින් උපන් දින සැමරුම් තියන්න ඉඩකඩ නිර්මානය වෙලා.
අද මගේ හැට අටවෙනි උපන් දිනය.
මම ලංකාවට එන කොට සුද්දෝ ලංකාව අත්හැරලා ගිහින් මාස හයයි දවස් විසිතුනයි. සුද්දන්ගේ වැඩ දන්නේ නැතිවුනත් 1956 බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටවනකම් අවුරුදු අටක් විතර මම කළු සුද්දන්ගේ වැඩ කිඩ ගැන අහ ගෙන ඉන්න ඇති. මේ රටේ දේශපාලන පෙරලියක් පලමු වරට උනානම් බණ්ඩාරනායක ආණ්ඩුව ඒකට මුල පිරුවා කියලයි මම පසු කාලෙක හිතුවේ.මට අවුරුදු හැට අටක් වන විට මේ පෙරළිය රටටම  අප්‍රසන්න ව,  රට පෙලන තැන දක්වා ගමන් කරලා තියෙනවා.
කේක් එකක් හදලා ඉටිපන්දම් හැට අටක් පත්තු කරන්න බැරිව , කේක් එකේ  82 අයිසින් වලින් ඇදලා ඉටිපන්දම් හතරක් පත්තු කරපුවම ඇති කියලා     ගණිත සුත්‍රයක් දාපු පොඩි එකාගේ අම්මා   ඇස්බැන්දුමක් කරලා විනෝද වෙනවා.         ඒකත් ඇත්තනේ කියලා මමත් ඉවසුව  හින්දා මට කපන්න ලැබුනේ ඉටිපන්දම් හතරක් ගහපු  අටේ වර්ගය අයිසින් වලින් ඇන්ද කේක් එකක්. පුංචි එකා උදේ පාන්දරම සීයගේ කේක් එක අයිසින් කරන්න එපා කියලා.  “ සීයට සුගර්  - ඒක හින්දා සීනී කන්න හොද නැහැ “ කියලා අම්මට ඇඩ්වයිස් පාරක් දීලා. අයිසින් කරපු කේක් එක කපාපු කෑල්ල පැත්තක තියලා පොඩි එකාගෙන් සීයට ලැබුනේ “නන් අයසින්“ කේක් කෑල්ලක්.

අවුරුදු හැට අටක් වෙන කොට ජීවිතේ ඇති වෙන වෙනස් කම් තේරුම් ගන්න පොඩි එකා අත්වැලක්. කාලෙන් කාලෙට එක එක දශක වල එක එක භුමිකා රගපාන ලද ජීවිතය අද “ බකමූණා“ ගේ චරිතය රගපාන් පටන් අරන්.දැන් ඔක්කොටම් “හ්ම් ........හ්ම්  “ කියන තැනට ජීවිතය ගමන් කරලා මුණුපුරාටත් -  මුණුපුරාගේ ආත්තම්මා දක්වා සනුහරේටම හ්ම් ....හ්ම් කියන්න හැරෙන්නට වෙන දෙයක් දවසට ඉතිරිවෙලා නැහැ. මේ ධර්මතාවය දවසක මුණුපුරාටත් උදාවේවි. එත් තවම ඒක තේරුම් ගන්න පොඩි එකාට බැහැ. ඒකගේ වයස අවුරුදු හතරයි.       ගණිත සාශ්ත්‍ර එහෙන් මෙහෙන් දැම්මත් තාම මොන්ටිසෝරියේ !.                                       
පහුගිය අවුරුද්ද ගැන හිතන්න ගියාමත් සතියකට හතරක් විතර ලියාපු බ්ලොග් ප්‍රමානයත්  බිංදුවට බැහැලා. ඒකටත් බකමුන් දිශ්ඨිය වැටිලා. මේ අවුරුද්දෙවත් දවසේ කාලසටහන වෙනස් කරගන්න බලන්න ඔනී.          ඔය හිතට එන මොනවා හරි ලියාපුවමත් බණක් භාවනාවක් කලා වගෙයි.  අද දවස ගැන ලිවුවා වෙන්න පුළුවන්. ආයෙත් හෙට දවසේ  ඉදන් බ්ලොග් එකෙන් හමුවෙමු. --විශාරද ගුණදාස කපුගේ ගායනා කරන මේ ගීතය අහන්න නිහඩ     විප්ලවයත් භාවනාවක් වගෙයි කියලා මම හිතනවා.
සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන                                                                                        
සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන    
වියරු ගිණි දැල් නොවෙමු  
වනය අවුලා තබන -
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින

සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන
           
නපුරු හීනය නෙවෙමු  
ලමුන් නිදි සුව බිදින
සොදුරු අඩ හැරය වෙමු  
දනන් නින්දෙන් මුදන

සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන    
සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන

            
notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon