Tuesday, March 23, 2010

අහම්බයක මතක වත.

මතකයේ  සිතිවිලි අතර පාවෙමින් සිටිනා විටක මට අහම්බයෙන් හමුවු රංජිත් නම් වු සහෘදයෙකුගේ සුවද මා අසලට විත් නතරවිනි. දින කිහිපයක මා අසල දැවටී ඉන් පසු කිසිදාක හමු නොවුන මේ මිනිසා ගේ නිසල දේහයට බුහුමන් කරන්නට මට පින් ලැබු නේද අහම්බයකිනි.

1978 වසරේ එක් සිහිවටනයක් ව පවතින දිනක සිට මා බස්රියකින් හෝ පෞද්ගලික රියකින් රත්නපුර නගරය පසු කරන විට පුංචි කදු ගැටයක් මත ඉදි කර තිබු හැටේ දශකයේ ගෘහ නිර්මානයන් උරුම කර ගත් නිවසක් දෙස බැලිමට නිතැතින්ම පුරුදුවි සිටියෙමි. මින් වසර පහකට පමණ පෙර එක් දිනක කොළඹ බලා යන අතර එම නිවස දෙස පුරුද්දට බලන විට සුදු බැනරයක් මත රංජිත්ගේ සම්පුර්න නම සමග ඔහුගේ අභාවය සටහන් කර තිබු බැනරයත් සුදුවට සැරසු අවට පරිසරයත් මගේ ගමන එතනින් නතර කර බස්රියෙන් මා බැස්සවීමට සමත් විය.

මම එතන සිට කතාව කියමි.

හොන්ඩා වාට්ටු රට පුරා ඇතිවුන, විවෘත ආර්ථිකේ කවුළු තුලින් රටට ගලා බසින ලද මෝටර් බයිසිකලයක් නිසා අප පලමු දවසේ මුණ ගැසිණි. මගේ සහෝදරයා බයිසිකල් අනතුරකින් ඉතාමත් බරපතල තත්වයකට පත්ව සිටියේය. ඔහු රත්නපුර මහ රෝහලේ ගිලන් ඇදක් මත තීරණාත්මක සටනක යෙදෙමින් අප අසරන තත්වයකට පත් කලේය. රත්නපුර මහ රෝහලේ අද මෙන් සෞඛ්‍ය පහසුකම් නොතිබු එම අවධියේ රෝගියා කොළඹ මහ රෝහලට මාරු කර යවීම සිදු කල යුතුව තිබුනත් කිසියම් අවාසනාවකට එම කාර්ය කඩිනම් නොවීය.

මට රංජිත් මුණ ගැසෙන්නේ මේ අසීරු අවස්ථාවේදීය. මම රෝගියා සමගම රෝහලට පැමිණ ඔහුගේ උපස්ථායකයා බවටත් නිසි බලධාරියා බවටත් පත්ව සිටිනා විටක පලමු පැයේ සිටම නන්නාදුනන රංජිත් මගේ දේවතාවා විය. මට වන මුදල් හැර සියළු අඩු පාඩු වහා හදුනා ගන්නා ඔහු ඒ සියල්ල ඉටු කර දුන්නේය. කොට්ට ඇද ඇතිරිලි උනුසුම් බෝතල් පවා ඔහුගේ නිවසින්ම වහා සපයන්න විය. දෙවන දිනයේ දහවල වන විට රෝගියා පිළිබදව අනියත බියකින් පිලියම් සොයමින් සිටිනා විටක ඔහුගේ බිරිද සහ තරුන දියණියද අප සනසන්නට හා පිහිටට රෝහල් වාට්ටුවට ආවා මතකය. මේ අතර රෝගීයා කොළඹ මහ රෝහලට රැගෙන යාමේ වැඩ පිලිවෙලක් පිටත සිටින අනෙක් සහෝදරයින් සකස් කර ගත්තත් ඔහු සෙලවීමටවත් සුදුසු තත්වයක නො සිටි බැවින් ගිලන් රථයක අවශ්‍යතාවය ඇතිවිය. ඔහු වහා කාර්යට මැදිහත් විය.  රෝහලේ පරිපාලන නිළධාරියා සම්බන්ධ කර ගත් ඔහු  රජයේ ගාස්තු ගෙවා ගිලන් රථයක් ලබා ගැණීමට අවස්ථාව සකස් කර දීමට කටයුතු කලේය.

රංජිත් ගිලන් රථය පසු පසින් ගිය අනෙක් වාහනයේ ඔහුගේ සියළු කාර්ය භාරයන් අමතක කර ද මා අපත් සමග කොළඹ මහ රෝහලටත් ගියේය. අසරන බවට පත්ව තිබු අපේ සිතිවිලි රංජිත්ගේ මනුෂ්‍යත්වය පිටි පසින් ගලා ගෙන ගිය ඔහුගේ වෘත්තිය හදුනා ගැණීමට තැත් නො කලේය. නුපුරුදු රොහල් පරිසරයේ අපට හදුනා ගත හැකි වුයේ ඔහු අප වෙත දැක්වු දයාව පමණය.

අපට බලාපොරොත්තු රහිතව දින හතරක් පමණ ගෙවී බලාපොරොත්තු බිහි කල පස්වන දවසේ රංජිත්ට රත්නපුරයේ ඔහුගේ නිවස සිහිවී තිබිණි.

ඔහු හිස් අතින් එවීමට මට කොහොමවත් සිදුකල නොහැකි කටයුත්තකි . රත්නපුර රෝහලේදී අප හට කරන ලද මෙහෙය කිසිදා මුදලින් තක්සේරු කර ගත නොහැකි තරම් අධික වටිනාකමකින්ද යුක්ත විනි. එහෙත් කිසියම් වටිනාකමට නොතරම්වු සුළු වු මුදලක් අතමිට මෙලවු මම රෝගියා බැලීමට ආ පිරිසකගේ වාහනයකින්ම ඔහුගේ නිවස කරා යොමු කර ඔහු වෙනුවෙන් කෘතවේදී වීමට හිත හදා ගත්තෙමි.

අද මෙන් සන්නිවේදන මං සහ සුලබ ගමනාගමන පහසුකම් නොතිබු එම අවධීයත් , අපේ ජීවන අරගලයන් හී ඇතිවු පීඩනයත් රංජිත් හා මා අතර ඇතිවුන සම්බන්ධතාවය දිය කිරීමට හැකිවිය. මා කාලයත් සමග රත්නපුර ඔහුගේ නිවස පසු කරන විට පමනක් ඒ දෙස විපරමින් බලා ගෙන යන නරඹන්නෙක් බවට පත්ව සිටියාය.

පසු කලක ඔහුගේ ජීවන වෘත්තිය මට හෙලි වුවත් මේ මානව හිතවාදියා ගැන මගේ සිත තුල ඉදිවු ස්මාරකය කඩා දැමීමට කිසිදා කිසිදු උවමනාවක් මට ඇති නොවීය.ඒ එදා දැක්වු දයාව ඔහුගේ වෘත්තිය අභිබවා ගොස් මතුව තිබු මිනිස් කම නිසාවෙන් විය යුතුය.

Wednesday, March 10, 2010

මතකයේ සිරගත වෙමි.

කාලය ගෙවී යයි. පැරණි මතකයත් සමග අතීත සිද්ධීන් එකින් එක ගළපන විට ඇති වන පරස් පරයන් විසඳා ගත නො හැකි අන්තයන් හී සිරගත වේ. LTTE ක්‍රියාකාරකම් සිදුවු කාලයේ ප්‍රධාන දේශපාලන පක්ෂව හා සම්බන්ධ වු ප්‍රධාන පෙලේ පුද්ගලයින් කලින් කලට හැසුරුන ආකාරය වෙන් වෙන්ව සලකා බලන විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිලිබදව ඇතිවෙන පරස්පරතා අප පුදුම කරවන ඒවා බවට පත්වේ.

මෑතක ආන්දෝලනයට ලක්වු කෙටි කලකින් හැසිරීම් රටා වෙනස් වු සිද්ධියක් ලෙස සරත් ෆොන්සේකා සිද්ධ මාලාව මතකයත් සමග ගලපා බලන්නට මීදුම යෝජනා කරයි. මෙම වියමනේ යම් යම් මතක සිද්ධීන් සටහන් කරනුයේ අත්වැලක් වශයෙනි.

සරත් ෆොන්සේකා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ඇමරිකාවට යයි. ඇමරිකා රජයේ ප්‍රශ්න කිරීම් වලට ලක්වන බව ප්‍රකාශ වේ. ඔහු ලක් රජය මැදිහත් වී ආපසු මෙරටට ගෙන්වා ගනි. ඉන් සති දෙක තුනක් ඉක්ම වන්නටත් පෙර මාණ්ඩලික ප්‍රධානි තනතුරෙන් විශ්‍රාම ගනී. ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. මේ අතරට එක්වන අපේ දේශපාලන පක්ෂ නායක කරකාදීන් ඔහු ඔසවා තැබු අන්දම අපට සිහිපත් වේ.ඒ පිම්බීමේ ස්වරූපය යථා පරිදි හදුනා ගැනීමට සරත් ෆොන්සේකාට අපහසුවේ. ඔහු ඒකාන්තයෙන්ම ජනාධිපතිවරණයෙන් දිනනු ඇතැයි විශ්වාසයෙන් සිටි බවක් පැහැදිලිව දකින්න ලැබිණි.

ජනාධිපතිවරණය අවසන් අදියරට පැමිනෙන විට ජයග්‍රාහී ගමනක යෙදෙන ඔහු බව වටහා ගනී. නාම යෝජනා දී මුල් සති දෙකෙහි සිටි සරත් ෆොන්සේකා පසුව වේදිකාව තුල හැසුරුන අන්දම මෙනෙහි කරමු . ඔහු දේශපාලනයේ ඔසවා තැබු රනිල් වික්‍රමසිංහ මහතා වැනි ප්‍රබල චරිත හෑල්ලුවට පත් කරමින් ඒක පුද්ගල ගමනක යෙදෙමින් සිටි බව සිහිපත් වනු ඇති.

ජනාධිපතිවරණය අවසන්වේ. ඉන් පසු සරත් ෆොන්සේකා හමුදා භාරයට පත්වේ. පාර්ලිමේන්තු මැතිවරණය පකාශයට පත්වේ. රනිල් වික්‍රමසිංහ මහතා මහත් උද්යෝගයකින් යුතුව සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ ව්‍යාපාරයට දායකවේ. එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවන තෙක් ඒ පිලිබදව දැක්වු උනන්දුව අද වෙන විට හුලං බැස ඇති බවක් පෙනෙන්ට තිබේ. ඒ අතරට කොළඹ දිස්ත්‍රික්කයෙන් සරත් ෆොන්සේකා ද රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාපයට එරෙහිව තරග කරයි.

සරත් ෆොන්සේකා හමුදාපතිවු LTTE ක්‍රියාකාරකම් අවසන් අදියරේ පවත්නා වකවානුවේ සන්ඩේ ලීඩර් ඇතුළු මාධ්‍ය ප්‍රධානීන්ට සිදුවු අනතුරු සියල්ල සමාජය තුල අමතක කර දමන්නට කටයුතු කෙරිනි. ඒවා පිළිබදව නොයෙක් අත ඇගිල්ල දික්වුවත් නොවිසදුනු ක්‍රියා කාරකම් බවට පත්විනි. සන්ඩේ ලීඩර් කතුවරයා වු ලසන්ත වික්‍රමතුංග මහ මගදි මරා දැමිනි. එම මරණය පිළිබදව ද යම් යම් අංශ වෙත ඇගිල්ල දික්විනි. එහෙත් ජනාධිපතිවරණය නිවේදනය කරත්ම සන්ඩේ ලීඩර් පත්‍රය  සරත් ෆොන්සේකාට සහයට ඉදිරිපත්ව ගෝඨාභය වෘත්තාන්තය එලි දක්වක ලදී. ඉන් හටගත් කම්පනය ජනතාව ඡන්ද හතලිස් ලක්ෂත යේ සීමාවේ සරත් ෆොන්සේකා නතර කරන්නට එක් හේතුවක් විනි. ඔහු වර්තමාන තත්වයට පත් කිරීමටද පාදක විනි. එම ප්‍රකාශය පිලිබදව සන්ඩේ ලීඩර් මාධ්‍ය වේදිනිය පසුව අනුගමනය කල පිළිවෙත සිහිපත් කර බලමු.

LTTE ක්‍රියාකාරකම් හා රජය තදින්ම ගැටෙමින් සිටින විට රජය ආරක්ෂා කර ගත යුතු න්‍යායෙන් සිටි ජවිපෙය අයවැයේදී රජය අතහැර යයි. ජවිපෙය LTTE ක්‍රි යාකාරකම් පිලිබදව දැක්වු ස්ථාවරය පිළිබදව බෙදීමක් තිබුන බවක් පැහැදිලි කරමින් දෙකඩ වේ. රජයත් යුද්ධයත් සමග සිටි සරත් ෆොන්සේකා පසුව රජයට එරෙහිව යුද්ධයත් සමග නොසිටි කන්ඩායම හා පෑහි ජවිපෙයේ වෙන් නොවුන කන්ඩායම ජනාධිපතිවරණය දී එක්ව කටයුතු කරයි. වේදිකාවේ ඔවුන්ගේ නියෝජනය තිබුනේ කාගේ අරමුදල් සමගද යන්න ඩොලර් නෝට්ටුවලින් හෙලි දරව් වේ. මේ සිහිපත් වන හේතු කාරනා කිහිපයකි.

අප අනතුරක සිටින බව පැහැදිලිවේ . අප අනතුරකට ලක් කිරීමට අපේ නායක යන් මිළදි ගැනීමට කාට හෝ උවමනාවක් ඇති බව පැහැදිලි වේ . අපේ නායක යන් අලවි වන බවත් පැහැදිලිවේ. ඉතින් සැකයෙන් තොරව අප කාට සහයෝගය දැක්විය යුතු ද යන්න සිතීම මංමුළාව අතරමං වන කාරණයකි. කවුරු තෝරා ගෙන ඔවුන් අනුගමනය කලත් සියල්ලෝ ම අපට ප්‍රශ්න ඉතිරි කර පලා යන බව නම් පෙනෙනා එක් දෙයකි.

Friday, March 05, 2010

උත්තරයක් නැති ප්‍රශ්නයක්

දිනය මාර්තු 04 වෙලාව පෙරවරු 9 පසුවෙලා  මිදුම ට සිරස ගුවන් විදුලියේ ප්‍රචාරයවු වැඩ සටහනක් අසන්නට ලැබුනා.


පාසල් දැරියක ගැබ් ගෙන ඇතැයි සැක කර පාසලෙන් අස් කරලා. ඒ දරුවා , දරුවා ගේ මව, පංති භාර ගුරුතුමිය, විදුහල්පතිනිය, කලාප අධයාපන අධ්‍යක්‍ෂිකා , පලාත් අධ‍්‍යාපන අධ්‍යකෂක සිරස ප්‍රශ්න කිරීම් වලට ලක් කරමින් වැඩ සටහන ඇදෙනවා.


කතාව මට තේරුණ විදියට මෙහෙමයි. දරුවා අපොස සා.පෙ. සිසුවියක් ඈ හට වමනය ,පපුවේ දැවිල්ල සහ බඩේ දැවිල්ල , යන රෝග ලක්ෂකණ නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැණිමට සිද්ධ වෙනවා. මේ දරුවාගේ පියා ජීවතුන් අතර නැහැ. මවත් සහෝදරයාත් සමග ජීවත් වන්නේ.


ප්‍රතිකාර ලබා පාසලට ආ පසු ටික දිනකින් පංති භාර ගුරුතුමිය ඇගේ නිවසට දුරකතන පණිවිඩයක් දෙනවා පසු දින මව ට පාසලට පැමිණෙන ලෙස දන්වමින්. මව පාසලට ගිය පසු පංති භාර ගුරුතුමිය විමසා සිටිනවා දියණිය ගැබ් ගෙන ඇති බව මව දන්නවා ද කියලා. ඈ ඒ බව ප්‍රතික්ෂෙ ප කරමින් තොරතුරු ඉදිරිපත් කලත් විද්යාල පරිපාලනය දරුවා පාසලෙන් අස් කරනවා.


පසුව ඈ එම දරුවා රෝහල් ගතවූයේ ඉහත රෝග ලක්ෂන නිසා බවත් ඈ ගැස්ට්රික් රෝගයෙන් පෙළුණ බව වෛද්‍ය වාර්තා රෝහලෙන් ලබා ගෙන ඉදිරිපත් කලත් විද්‍යාල පරිපාලනය ඒවා පිලිගන්නේ නෑ. ඉන් අනතුරුව දරුවා පුශව හා නාරී වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා ලක් කරනවා. එම වෛද්‍යවරයාත් වාර්තා කරන්නේ දරුවා ගැබිනියක නොවන බවයි. ඒ වාර්තාව නිසා දරුවාට නැවත පාසලට එන්න කියනවා .


ඒත් එම දරුවාට පාසල තුල නිර්මාණය වී ඇති තත්වය තුල පාසලට  යන්න බැහැ. වෙනත් පාසලක් ලබා දීලත් නැහැ. ප්‍රශ්නය ඒකයි.


සිරස මාධ්‍ය මේ ප්‍රශ්නය තළු මරමින් ප්‍රචාරය කල නිසා අළුත් තත්වයක් ඇතිවනවා. වෙනත් පාසලක් ලබා දුන්නත් දරුවාට ඒ පාසලෙත් නිර්මාණය වෙන්නේ පෙර පාසලේ තත්වයමයි.


දැරියකට නෙමෙයි වැඩිහිටි කාන්තාවක උනත් අවිවාහක ව ගැබ් ගැණීම අපේ සමාජය දකින්නේ මහත් අපරාධයක් ලෙසයි. කාන්තාවක අගරු බවට පත් කරන්න වෙනත් මාතෘකාවක් අවශ්‍යම නැහැ. මෙවන් චෝදනාවක් හොදටම ඇති. එවන් සමාජයක මේ දැරිය පත් වෙන්න ඇති පීඩනය ගැන අපට හිතා ගන්න පුළුවන්.


මීදුම අවධානය යොමු වන්නේ අපේ රටේ අධ්‍යාපන ක්‍ෂෙත්‍රය හැසිරෙන ආකාරය ගැන. මේ දරුවා අසීරුවට පත් වෙන්නේ ඉතාමත් සංවේදි එමෙන්ම රහස්‍යගතව සාකච්ඡා කල යුතු පාසල් දරුවෙකුගේ විනය පිළි බද ප්‍රශ්නයක් ප්‍රසිද්ධියේ විසඳීමට පාසලේ විදුහල්පතිනියත් පංති භාර ගුරුතුමියත් කටයුතු කිරීමෙන්. ජීවිත කාලයට ම අසරණ වන දරුවා ගැන පූර්ව නිගමනයකට පත්වෙන්න තරම් පුරුදු පුහුණු වී නොතිබීම ගැන.ණා පුහුණුවී තිබුනා නම්  මේ වගේ තත්වයක් පාලනය කර ගන්න ඔවුන්ට හැකි වෙනවා.


අපේ අධ්‍යාපන ක්ෂෙත්‍රයට වැඩි ප්‍රතිශතයක් බදවා ගන්නේ උපාධිධාරීන් . අධ්‍යපන ක්‍ෂෙත්‍රය උපාධිධාරීන් හට රැකියා සපයන ආයතනයක් බවට පමණක් පත්වෙලා. රජය උපාධිධාරීන්ගේ විරැකියාව පියවන්න යොදා ගන්නේ අද්‍යාපන ක්‍ෂේත්‍රය. එසේ නම් විශ්ව විද්යා‍ල විෂය නිර්දේශයන් ඒ අනුව සකස් කර ගන්න උනන්දු නොවන්නේ ඇයි කියලා හිතා ගන්න බැහැ. බදවා ගත් පසුව වත් වෘත්තියට සුදුසු පුහුණු වීම් වල ඔවුන් යොදවන්නේ නැහැ.


උත්තරයක් නැති ප්‍රශ්නයක මේ දැරිවිය විතරක් නෙමෙයි සමාජයම අතරමං කරලා !.

Wednesday, March 03, 2010

ඇදුම් ඇන්දවීම

ඇන්දවීම මේ දවස් වල ගජරාමෙට කරන දෙයක් . මීදුම යොමුවන්නේ ඒ ඇන්දවීමට නෙමෙයි. ඇදුම් ඇන්දවීම ගැන කියන්න. මේ මාර්තු මාසේ. රජයේ සේවකයින්ට නම් මාර්තු අන්තිම වැටුප සමග හම්බුවෙන උත්සව අත්තිකාරමටයි - අපි වගේ යල මහ දෙක වැඩ කරන ඇත්තෝ යල කන්නේ අස්වැන්නටයි අන්දන්න දැන් පටන්ම සාප්පු කාරයෝ සේල් පටන් අරන්.


අපේ මුල්ම නෑදෑයාට නම් මේ ඇදුම් ප්‍රශ්නේ නෑ. මිනිසා හැර සියළුම වානර වර්ගයාට ලෝම ඇදුමක් දෙන ගමන් මැවුම් කාර දෙවියෝ මිනිසා කියන වානරයා නිරුවත්ව තැබුවා. ඒක හින්දා සත්ව විද්‍යාඥයෙක් වන ඩෙස්මන් මොරිස් මිනිසා හැදින්ව යේ ‘‘ නිරුවත් වානරයා “කියලා. මිනිසාට ලෝම පිරුණ හමක් නැති හින්දා ද කොහෙද ඇදුම් අදින්න පටන් ගත්තා.


අපි බොහොමයක් ෆැෂන් එකට ෆැෂන් කරනවා. විලාසිතා ගැන පරීක්ෂණය කරන අයට නම් මේක ෆැෂන් එකක් නෙමෙයි. අද අපි අදින පලදින ඇදුම් වල පරිනාම ඉතිහාසය අවුරුදු 7000 ක් විතර ඈත අතීතයට දිව යන්නක් කියලයි ඒ ගොල්ල කියන්නේ.

සරල සමාජයක නම් ඇදුම පැලඳුම දේශය හැටියට බැදෙනවා. අපේ රටේ නම් සරම කමිසයක් දා ගත්ත ම , කාන්තාවක් සාරියක් ඔසරියක් ඇන්දම ඒක කොයිබටත් ගැල පෙන විලාසිතාවක් . ඒත් අපේ රටේම සංකීර්ණ සමාජ පැලන්තිය ට කාලයෙන් කාලයට රටාව වෙනස් වන ඇදුම් විලාසිතා මැවෙනවා.1844 – 1919 කාලයේ ඇදුම් මෝස්තර පිලිබදව අධයනයක යෙදුණ ක්‍රීබර් නම් මානව විද්‍යඥයා මේ මෝස්තර වෙනස් වෙන්නේ යම් න්‍යායකට අනුව කියලා පැහැදිලි කරලා තියෙනවා අපි අදින ඇදුම් මෝස්තර අවුරුදු තිහෙන් තිහට ගළපලා බැලුවොත් කාලානුරූපව එක් ගමනක යෙදෙන මෝස්තර අපට හඳුනා ගන්න පුළුවන් වේවි.


අපේ රටේ ඇදුම් පැලදුම් විලාසිතා මහත් වෙනසකට පත්වෙන්න පටන් ගත්තේ 1977 පස්සේ කෝකටත් තියෙන දේශපාලනය ඒකටත් බලපාන්න ඇති. විවෘත ආර්ථිකය නිසා දූපතක් ව තිබූ ශ්‍රී ලංකාව අන්තර්ජාතික යට විවෘත වුනා. ඒ පාර දිගේ ගලා ගෙන පෙර සතියේ ප්‍රශයේ , ලන්ඩන් ,නිව්යෝරක් වල එලි බැස්ස මෝස්තර ඇගලා ගෙන මේ සතියේ අපේ තරුණ ළමයින් හැඩ වැඩ වෙනවා. ඒ ‍ගොල්ලන්‍ගේ ‍මෝස්තර මැ‍වෙන්‍නෙත් අ‍පේ ශ්‍රම බකා‍යෙන් කියලා අමතක කරන්නත් ‍හොද නැහැ.


ගාන වැඩි ඇදුම් පැළදුම් වලින් සැරසුනාට මිනිසුන්ගේ වටිනා කම වැඩිවෙන්නේ නෑ. කරන කියන දේවලුත් ඒවට බල පානවා. එත් අපේ ඇත්තෝ දහස් ගනන් දීලා සැරසෙනවා. බොහෝම විට තමන්ගේ සිරුරට ගැලපෙන තාලයේ ලාබ ඇදුමකින් තමන්ගේ වටිනා කම කැපිලා පේනවා. හිතේ මදි කම වහගන්න සාප්පු කාරයා පොහොසත් කරනවා.

පාරට බැස්සම එන හැම බස් එකටම අත උස්සලා නැග්ගොත් තමන්ට ගමනක් නෑ වගේ වෙලද පොළට එන හැම මෝස්තර ම ඇගේ දවට ගත්තොත් තමුන් විලාසිතා වල හිරකාරයෙක් වෙයි. ඒ හින්දා සාප්පු වල ප්ලාස්ටික් ඩමියක් නෙමෙයි අපේ සිරුර කියලා හිතා ගෙන ඇදුම් පැලදුම් තෝරා ගන්න ඕනි. සාප්පු කාරයින්ට අන්දන්න දෙන්නේ නැතිව අපි සාප්පු කාරයෝ අන්දමු.
 

මීදුම Published @ 2014 by Ipietoon