Friday, January 17, 2025

එදා ගමේ ආහාර රටා




යෝධ බල ඇති මිනිස්සු බිහිකළ එදා ගමේ ආහාර රටා
Rasika Madushanthi
පරිසරයේ පවතින ගහ, කොළ, මල්, ගෙඩි උපයෝගී කර ගෙන පෙරදා නුවර කලාවියේ ආහාර රටාව සකස්වී තිබිණ. එසේ සකස් කරගත් රසකැවිලි මාළුපිණි ආදිය පිළිබඳ විස්තර පහත දැක්වේ.
කීරොටී
රසවත් කෑමකි. කැකුළු හාල් පිටිවලට ලුණු වතුර පදමට දමා පොල් වතුරෙන් අනා රාමන්ඩි මිශ්රකර පිපෙන්නට තියයි. පිටි මිශ්රණය පිපුණ පසු ආප්ප උයන පිළිවෙලට කීරොටී සාදා ගනු ලැබේ. ඊළඟට කීරොටි කෑමට පැණි හොද්දක් සාදා ගනී. පොල්කිරි, පොල්පැණි හෝ මීපැණි, හාල්පිටි, ලුණු වතුර පදමට ගෙන මිශ්රකර ලිපේ තබා උතුරවනු ලැබේ. ඉන්පසු කලින් සෑදු කීරොටී මේ පැණි හොද්දට දමා පැයක් දෙකක් තැබූ විට කීරොටීවලට මේ පැණි හොද්ද උරා ගනී. ඉන්පසු කෑමට ගැනීමට පුළුවන.
කිරිවැදෑනි
කිරිවැදෑනි ද රසවත් කෑමකි. කැකුළු හාල් බැද අඹරා වතුර සමඟ රාමන්ඩි දමා, අනා පිපෙන්න තබනු ලැබේ. මේ පිටි පිපුණ පසු අාප්ප උයන ආකාරයට ටිකක් ඝනකමට සාදනු ලැබේ. මේවා මුදවන ලද කිරි සහ මීපැණි සමඟ මිශ්ර කොට ආහාරයට ගනු ලැබේ. කිරිවැදෑනි ලෙස හඳුන්වන්නේ මේවාය.
දොහොයි
තවත් නුවර කලාවියේ රසවත් කෑමකි. කුරහන් පිටි සමඟ උඳුපිටි පදමට ගෙන එකට අනා තරමක් උකුවට සකස් කර ගනී, ඉන්පසු රොටී කබලක් බඳු ඊටම විශේෂ වූ ‘දොහොයි’ තැටියක දමා ලිපේ තබා රත්වෙන ආකාරයට රොටියක් මෙන් දෙපැත්ත පෙරලා හොඳින් පිළිස්සුන පසු තැටියෙන් ඉවත් කර බිමට බාගනී. දොහොයි රසකැවිල්ලක් නොව ගුණාත්මක හා ශක්තිමත් ආහාරයකි. දොහොයි කෑමට ලූල් මාළු ඇඹුල, කමත් බිම්මල්, දඩමස් වැනි ව්යාංජනයක් සකස් කරගනී.
වෙල්ල වැහුම්
කැකුළු හාල් පිටිවලට වතුර හා ලුණු මිශ්රකර තුඩුදවුලා වැනි නානු ඇති යුෂ වර්ගයක් ද යොදා පිටි මිශ්රණය සාදා කබලට දමා තැම්බුන පසු කබලෙන් ගලවා බිමට ගෙන මැදට පැණිපොල් තබා රවුම් කර ගනී.
කොමළවටා
සීනි හොඳින් උණුකොට ගාන ලද පොල් ඇති පදමට සීනි මිශ්රණයට දමා හොඳින් මිශ්ර කර ඉන්පසු කැකුළු සහල් පිටි කළවම් කර ලිපේ තබා රත් කරනු ලැබේ. මේවා අතේ ගුලිකර ගත හැකි තරමට උකු බවට පත්වූ පසු ලිපෙන් බාගෙන වෙනම සකස් කර ඇති පොල්පැණි මිශ්රණය මෙයට මුහුකොට යළිත් ලිප තබා රත් කරගෙන අග්ගලා මෙන් ගුලි වශයෙන් සාදා ආහාරයට ගනී.
ආස්මී
කැකුළු හාල් පිටි සකස් කරගැනීමෙන් පසු මේවා පොල් කිරට දමා මුහුකොට අතේ නොඇලෙන පදමට පිළියෙල කරගත යුතුය. ඉන්පසු දවුල් කුරුඳු කොළ සහ පොල් මිශ්රකොට වංගෙඩියේ දමා කොටා පසුව මිරිකා රෙදි කඩකින් පෙරා යුෂ වෙන්කර ගත යුතුය. ඉන්පසු මෙම නානු යුෂ සහ පිටි මුහුකොට ඇඟිලිවලින් රැළි බේරෙන පදමට සකස් කොට තෙල් ලිපේ තබා ඇඟිලි අගින් මෙම මිශ්රණය හිමින් සීරුවේ තෙල් භාජනයට ටික ටික දමා තැම්බීගෙන එද්දී හැන්දක් සහ කූරක් යොදාගෙන ආස්මිය දෙකට නමා, තෙලෙන් ඉවතට ගෙන භාජනයක දමා දවසක් පමණ තෙල් බේරෙන්නට තියා දෙවෙනි දිනයේත් ආස්මි තෙල් කබලට දමා බැදගෙන ලිපෙන් බා පදමට උණු කරගත් පැණි රටාවකට ආස්මිය මතට එක් කිරීමෙන් පසු ආහාරයට ගනු ලැබේ.
උඳු වළලු
මෙයද නුවර කලාවියේ ඉතා රසවත් කෑමකි. උඳු ඇට වතුරට දමා හොඳින් පෙඟුණ පසු ඒවායේ පොතු ඉවත් කර සෝදා මිරිස් ගලේ දමා අඹරා ගනු ලැබේ. ඉන්පසු කැකුළු සහල් පිටි ටිකක්ද මුහුකර පොල්කිරි දමා පැය පහක් පමණ වේලා පිටි පිපෙන්නට තැබිය යුතුය. ඊළඟට පිරිසිදු රෙදි කෑල්ලක කුඩා සිදුරක් කර එම රෙදි කෑල්ලට මෙම පිටි මිශ්රණය ටික ටික ගෙන ලිපේ තබා ඇති රත්වූ තෙලට වළලු ආකාරයට මිරිකා රන්වන් පාටට පැමිණි පසු තෙලෙන් ඉවත් කොට උණුකර සූදානම් කරගත් පොල් පැණි, කිතුල් පැණි. මීපැණි හෝ සීනි පැණිවලට මෙම වලලු දමා වලලුවලට පැණි පිරුණු පසු ඉවත් කර ප්රයෝජනයට ගත හැකිය.
ලාළු
තවත් රසකැවිලි වර්ගයකි. කැකුළු හාල් සෝදා පිටිකර ගැනීමෙන් පසු පෙනේරයකින් හලා පිටිවලට ඇල්වතුර දමා උකුවට අනාගනු ලැබේ. ඉන්පසු හිල් කළ පොල් කටුව ගෙන මෙම පිටි මිශ්රණය පොල් කටුවට දමා කෙසෙල් කොළයක් මතට මලක් මෙන් සිටින සේ තදකර වත්කර ගත යුතුය. ඉන්පසුව මේවා එකිනෙක වන්ඩුවේ තම්බා, තැම්බුන පසු අව්වේ තබා වේලාගත යුතුය. ඊට පසු තෙලෙන් බැද පැණි මිශ්ර කොට ආහාරයට ගනු ලැබේ. වන්ඩුවේ තැම්බීම යනු වතුර දැමූ මුට්ටියක කඩපිම්ම බැඳ ඒ මත මේවා තබා තවත් භාජනයකින් වසා ලිපේ තබා තම්බා ගැනීමය.
පොල් කැවුම්
කැවුම්වලට පිටි සාදාගන්නා ආකාරයට පිටි සකස් කර ඇල් වතුර දමා තරමක් දියාරු ආකාරයට පිටි මිශ්රණය සකස් කරගත යුතුය. ඊට පසුව කලින් සකස් කරගත් පොල් ගුලිය පිට මිශ්රණයට දමා හොඳින් පිටි තැවරුණු පසු උණුවන තෙල් තාච්චියට දමා රන්වන් පාටට හැරෙන තුරු තෙලේ බැද ලිපෙන් බාගත යුතුය. මේවා පොල් කැවුම් ලෙස හඳුන්වනු ලැබේ.
කිතුල් තලප
මේරූ කිතුල් ගසක බොඩය ඉවත් කරගෙන කුඩාවට කෑලි කපා වේලා ගැනීමෙන් පසු වංගෙඩියේ දමා කොටා, පෙනේරයකින් හලා පිටි ටික බේරා ගනු ලැබේ. ඉන්පසු මුට්ටියට කඩපිම්ම බැද කිතුල් පිටි වතුරේ දියකර කඩපිම්මට දමා කාල් ගාමින් පිරිසිදු පිටි ටික මුට්ටියට පෙරා ගෙන ඊළඟට ෙම්වාට ලුණු මිශ්රකර ලිප තබා පදමට තැම්බුන පසු මඳ ගින්නේ තියෙන්නට හැර පසුදා උදයට කෑලි කැපිය හැකි තරමට කැටගැසී ඇති කිතුල් තලපය කෑලි කපා ගනිති. ගුණදායක ආහාරයකි. එසේම තරු පහේ හෝටලයකදීවත් කෑමට නොලැබෙන රසවත් ආහාරයකි.


කුරහන් තලප

කුරහන් පිටි පෙනේරයකින් හලාගෙන ඇල්වතුරට දියකර ඉන්පසු ලිපේ තබා තලපයක් බවට පත්වන තුරු නිතර හැඳි ගා ගත යුතුය. ඒ අතර ඊට ප්රමාණවත් තරමට ලුණු දියර මිශ්ර කළ යුතුය. තලපයක් බවට පත්වූ පසු ලිපෙන් බාගෙන සුදුසු හොද්දක් සාදා ගෙන ආහාරයට ගත හැකිය.
මෙනේරි බත්
මෙනේරි වී වනේ දමා කොටා හාල් කරගැනීමෙන් පසු ඒවාට කැකුළු හුණු සාල් හතරෙන් එකක් පමණ මුහුකොට මෙනේරි කිරිබත් සාදා ගත හැකිය. තම්බාපු හාල්වලට සුණු සාල් හතරෙන් එකක් පමණ මෙනේරි හාල්වලට මුහු කිරීමෙන් මෙනේරි බත් සාදා ගැනීමට හැකිය.
අමුහාල් බත්
‘අමු’ නමින් ධාන්ය වර්ගයක් ඇත. මේවා වනේ දමා කොටා සහල් සකස් කරගෙන කැකුළු සුණු සහල් සමඟ මිශ්ර කිරීමෙන් අමු කිරිබත් ද තම්බාපු සුණු සහල් සමඟ මිශ්ර කිරීමෙන් අමුබත් ද සාදා ගැනීමට පුළුවන.
තණහාල් කිරිබත්
‘තණ’ නමින් ධාන්ය වර්ගයක් ඇත. තණ ඇට වංගෙඩියේ දමා කොටා පොතු ඉවත් කර තණහාල් ලබාගෙන ඒවාට කැකුළු සුණු හාල් මිශ්ර කොට තණ හාල් කිරිබත් සාදාගැනීමට පුළුවන.
ඕලු බත්
වැව්වල හැදෙන ජලජ පැලෑටියක් වූ ඕලුවල ගෙඩි හැදී පැසුණු පසු ඒවා කඩාගෙන විත් හොඳින් වේලා වංගෙඩියේ දමා කොටා පොතු ඉවත් කර ඕලු සහල් කරගත හැකිය. ඉන්පසු හාල් හුණ්ඩුවකට ඕලුහාල් පතක් පමණ මිශ්රකොට ඕලු බත් පිසගත හැකිය. ඕලු හාල්වල විශාල අස්වැන්නක් පවතී.
ලෝලු දළු මාළුව
ලෝලු දළු පිරිමහින තරමට කඩාගෙන සෝදා වතුර තබා තැම්බීමෙන් පසු වතුර පෙරා හැර ලුණු, මිරිස්, උම්බලකඩ, තුනපහ කුඩු, රතු ලූණු ආදිය දමා අමුමිරිස් කරල් කීපයක් සහ තක්කාලි ගෙඩියක් දෙකක් සහ මිටිකිරි ටිකක් දමා තවදුරටත් තම්බාගෙන තෙම්පරාදු කර ගත යුතුය.
අත්තික්කා ගෙඩි මාළුව
ලපටි අත්තික්කා ගෙඩි ඇති තරමට ගෙන වතුර දමා තම්බා වතුර ඉවත් කළ යුතුය. ඉන්පසු ලුණු, මිරිස්, රතුලූණු ආදිය මිශ්ර කොට යළිත් මිටි කිරෙන් තම්බා තෙල් අබ දමා ගත යුතුය.
ගිණිතිල්ලා ගෙඩි මාළුව
පැසුණු ගිණිතිල්ලා ගෙඩි කඩාගෙන ඒවා දෙකට පලා මැද ඇති අැට ඉවත් කර ඇල් වතුරෙන් තම්බා වතුර පෙරා හැර තුනපහ, රතුලූණු, ලුණු, මිරිස් දමා මිටි කිරිවලින් තම්බා තෙම්පරාදු කරගත යුතුය.


නෙළුම් අල

නෙළුම් අල සෝදා පිරිසිදු කරගෙන ඇල් වතුරෙන් තම්බා ඉන්පසු වතුර ඉවත් කර නෙළුම් අල කෑලිවලට කපා, ඒවාට තුනපහ ලුණු මිරිස් එකතු කර මිටි කිරෙන් නැවත තම්බා, තෙම්පරාදු කරගත හැකිය.
නෙළුම් අල තම්බා ආහාරයට ගැනීම
නෙළුම් අල සෝදා පිරිසිදු කොට බතල මෙන් කෑලිවලට කපා වතුරෙන් හෝ වන්ඩුවෙන් තම්බා පොල් සහ ලුණු මිරිස් සමඟ ආහාරයට ගත හැකිය.
කෙකටිය අල තම්බා ආහාරයට ගැනීම
වැව්වල හැදෙන කෙකටිය ගස්වල නෙළුම්වල මෙන් අල එරෙයි. ඒවා ගලවා ගෙන හොඳින් සෝදා පිරිසිදු කර ඇල් වතුරෙන් තම්බා වතුර පෙරා හැර, ආහාරයට ගැනීමේදී බතල අලවල මෙන් ඒවායේ පොතු ගලවා ඉවත් කළ යුතුය. පොල් සමඟ හෝ ලුණු මිරිස් සමඟ ආහාරයට ගත හැකිය.
ඕලු දළු මාළුව
ඕලු දඬු ගෙන සෝදා රේණු හැර හීන්වලට කෑලි කපා ලුණු, මිරිස්, තුනපහ සහ පොල් දමා මලවා ගැනීමෙන් මැල්ලුමක් සේ ආහාරයට ගත හැකිය.
මයිල මල් මාළුව
මයිල මල් තම්බා වතුර හැර ලුණු මිරිස්, තුනපහ, රතු ලූණු ආදිය දමා මිටි කිරෙන් මාළුව උයා තෙම්පරාදු කරගත හැකිය.
කරකොළ මැල්ලුම
කරකොළ නමින් ගස් විශේෂයක් කැලෑවේ තිබේ. මේවායේ නොමේරූ කොල සෝදා අඟුණ කොළ මෙන් සිහින්ව කපා රතුලූණු, අමු මිරිස් සහ පොල් මුහුකොට මලවා ගත හැකිය.
ලී කොළ සම්බෝලය
ලී කොළ නමින් පවත්නා පඳුරු විශේෂයේ ලා කොළ කඩාගෙන විත් සෝදා සිහින්ව ලියා රතු ලූණු, උම්බලකඩ, පොල්, ලුණු, අමු මිරිස් ආදිය මුහුකොට සම්බෝලය සාදා ගත හැකිය.
මුස්සැන්න කොළ බැදගැනීම
මුස්සැන්න නම් වූ පඳුරු විශේෂයක් තිබේ. මේවායේ පුංචිම මල් සමඟ තනිකරම සුදු පාට කොළ හැදෙයි. මේ සුදුපාට කොළ පපඩම් මෙන් බැද ගැනීමට පුළුවන. මේ සඳහා පළමුවෙන් පිටි මිශ්රණය සාදා ගත යුතුය. හාල් පිටි හෝ පාන් පිටි ගෙන ඒවාට අමු මිරිස්, ලුණු කුඩු, ලූණු, කරපිංචා, මිරිස් කුඩු ආදිය දමා උකුවට මේ පිටි මිශ්රණය සාදා ගෙන ඊළඟට සුදු මුස්සැන්න කොළ මෙම මිශ්රණයේ ගිල්වා රත්කළ තෙලට දමා බැඳ ගැනීමට පුළුවන.
වැල්පෙනෙල සම්බෝලය
දළු වැල් පෙනෙල කොළ නොතැලෙන අන්දමට සිහිනව කපා ලූණු, රතු ලූණු, අමු මිරිස් දමා ගොටුකොළ සම්බෝලයක් හදන පිළිවෙලට සාදා ගැනීමට පුළුවන.
උඩත්තා කොළ මැල්ලුම
උඩත්තා කොළ සෝදා පිරිසිදු කරගෙන අගුණකොළ කපන ආකාරයට සිහින්ව ලියා වෙනත් කොළ වර්ග මලවන ආකාරයටම මලවා ගත හැකිය.
තෙලටිය ගෙඩි මාළුව
තෙලටි ගෙඩි දෙකට කපා තම්බා වතුර පෙරා ඉන්පසු තුනපහ ලුණු මිරිස් ආදිය දමා මිටි කිරිවලින් මාළුව උයාගෙන තෙම්පරාදු කරගත් මාළුවක් සාදාගත හැකිය.
පෙතන් මල් බැදුම
පළමුවෙන් හාල්පිටි හෝ පාන්පිටි අවශ්ය තරමට ගෙන කරපිංචා, ලූණු, ලුණු, මිරිස් ආදිය එකට අඹරා ඒවා පිටිවල දියකර උකුවට පිටි මිශ්රණය සාදාගනු ලැබේ. ඊට පසුව පෙතන් මලේ පෙති ගලවා එකිනෙක පෙති මෙම මිශ්රණයේ පොඟවා කොකිස් බදින ආකාරයට තෙලට දමා බැදගත හැකිය.
අවර මාළුව
ළපටි අවර කරල් ගෙන කපා තුනපහ, මිරිස්, ලුණු ආදිය දමා තෙම්පරාදු කරගත් විට රසවත් මාළුවකි.
කිරින්ගලා කොළ අැඹුල
කිරින්ගලා කොළ නොතැලෙන සේ සෝදා දිය බේරෙන්නට තියා, ඊළඟට තුනපහ හොද්ද උතුරා පැසෙන විට කොළ පොඩි නොවන සේ කපා හොද්දට දමා තුනපහ දමා තැම්බුන පසු ලිපෙන් බා ගන්න. මෙය ඉතා රසවත් ඇඹුලකි. පෙර රජදරුවන්ගේ භෝජනයට පවා කිරින්ගලා කොළ ඇඹුල එකතු කර තිබේ.
පුහුල් මල් සාදා ගැනීම
පුහුල් ගෙඩියේ පොත්ත ඉවත් කර දික් අතට පුහුල් තීරු කපා ගැනීමෙන් පසු ඒවා නැවත හීන්වට දික් අතට තුනීවට කපා ගනු ලැබේ. ඊළඟට මෙසේ කැපූ පුහුල් කෑලි හුණු දියට දමා දවසක් පමණ තබා නැවත ගෙන හොඳින් සෝදා දිය බේරෙන සේ තැබිය යුතුය. ඉන්පසු පුහුල් කෑලි කිලෝ එකකට සීනි කිලෝවක් වන සේ ගෙන සීනි උණුකර ප්රයෝජනයට ගත හැකිය.
පෙරදා නුවර කලාවියේ ජනතාව පරිසරය සමඟ එක්ව පරිසරයේ සම්පත් උකහා ගෙන ජීවිත ගැටගසා ගත් බව පරිසරයෙන් උකහා ගත් මෙම ආහාර වට්ටෝරුවලින් සනාථ වේ.
වර්තමානයේ මේ අපේ දේශීය ආහාර හදන්න තියා නම්වත් දන්නේ කීයෙන් කීදෙනද. සිංහල අලුත් අවුරුද්දක අපි ඇත්තටම හදන්නේ අපේ හෙල සිංහල කැවිලිද ?? අලුත් අවුරුද්දේ කැවිලි මේසයට දේශීය කැවිලි ද වැඩිපුර ඇත්තේ පිටරැටියන් අපිට තියා ගිය කැවිලිද කියා ඔබම කල්පනා කර බලන්න. ඔබ

 

අපේ හෙළ කෑම වර්ග ඇත්තන් Comments වලින් පලකරන්න. අන් අයගේ දැන ගැනීම සඳහා.
උපුටාගැනීමකි.

ස්තුතියි - රාජ භෝජන
A day in the life

Thursday, January 16, 2025

බුරුවා සහ යක්ෂයා



බූරුවෙකු ගසකට බැඳ තිබිණි. යක්ෂයෙක් ඇවිත් ලනුව ලිහා දැමුවේය. එවිට බූරුවා කුඹුරකට දිව ගොස් වගාව විනාශ කිරීමට පටන් ගත්තේය.
කුඹුර හිමි ගොවියාගේ බිරිඳ මෙය දුටු විට ඇය බූරුවාට වෙඩි තබා මරා දැමුවාය. බූරුවාගේ හිමිකරු කොතරම් කලබල වීද යත් ඔහු එසැනින් ගොවියාගේ බිරිඳට වෙඩි තැබීය.
ගොවියා ආපසු පැමිණි විට, තම බිරිඳ මියගොස් ඇති බව දැක දුවගොස් බූරුවාගේ හිමිකරුට වෙඩි තැබීය.
බූරුවාගේ අයිතිකරුගේ බිරිඳ තම පුතුන්ට ඔවුන්ගේ පියාගේ මරණයට පළිගැනීමට ගොවියාගේ නිවස ගිනිබත් කරන මෙන් ඉල්ලාසිටියේය.
පිරිමි ළමයින් සවස් වරුවේ ගොස් ගොවියා ද නිවස සමඟ පණපිටින් පිලිස්සෙනු ඇතැයි උපකල්පනය කරමින් මවගේ නියෝගය සතුටින් ඉටු කළහ.
කෙසේ නමුත් ඔවුන් එසේ ගිනිතබන විට ගොවියා ගෙදර නොසිටියේය. ආපසු පැමිණි විට,තම නිවසේ පිලිස්සීගිය සැකිල්ල දුටු ඔහු වහාම ගොස් බූරුවාගේ අයිතිකරුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනාට වෙඩි තැබීය.
සිදුවූ සියල්ලෙන් පසුතැවිල්ලට පත් ගොවියා යක්ෂයාගෙන් ඇසුවේ "ඇයි මේ සියලු භයානක දේ මෙලෙස සිදුකලේ" කියා
භූතයා පිළිතුරු දෙමින්,
“ඇයි, මම කිසිවක් කළේ නැහැ!
බූරුවා නිදහස් කිරීම හැර.
තම තමන්ගේ අභ්‍යන්තර යක්ෂයා අවධිකර, අත්තනෝමතික ලෙස ක්‍රියාකොට ඔහුව නිදහස් කළේ ඔබ සැවොමය” කීවේය.
ඔබට එය තේරුණාද?
යක්ෂයා කිසිවක් නොකරන නමුත් නපුරු චේතනා බවට හැරී අන් අයට හානියක් කිරීමට ඔබ තුළ ඇති හැකියාව අවුලුවාලමින් ඔබව අවදි කරයි.
පළිගැනීමට, ප්‍රතිචාර දැක්වීමට, වාර්තා කිරීමට, තරවටු කිරීමට හෝ පළිගැනීමට පෙර ඊළඟ වතාවේ කෙටි විරාමයක් තබා සිතන්න.
ප්‍රවේශම්වෙන්න.
බොහෝ විට, යක්ෂයාට කළ යුතු එකම දෙය නම් බූරුවා අපෙන් නිදහස් කිරීමයි.
අද මේ වනවිටත් අපේ ජනමාධ්‍ය , සමාජ මාධ්‍ය සග දේශපාලනඥයින් අපේ මනසේ සිටින බූරුවා නිදහස් කරමින් සිටී.
ඔවුන්ගේ උත්තේජනයෙන් ජීවිතයේ කිසි දිනෙක දැක නැති අයට පරුෂ වචනයෙන් බනිමින් අපි බූරුවා මෙන්ම හැසිරෙමින් සිටිමු. ක්‍රියාත්මක වන්නටපෙර නැවතත් සිතන්න.....

 

ඉෂාරා මධුවන්ති ගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටාගැනීමකි


A day in the life

Wednesday, January 15, 2025

සොඳුරු විරාමය -






නංගිට බබා ලැබුනෙන් ප්‍රිය බිරිඳ මගේ
සති දෙකකට ගියා සහයට ළඟට ඇගේ
පාළුව කාන්සිය හිමිදිරි උදෙත් නැගේ
තනියම තේ හදාගෙන බොන්නට උනා වගේ.. 
කළ විට සීනි බඳුනේ මූඩිය විවර
කොළයක් දුටිමි මතකයි අයගේ අත් අකුර
"මම හරි ආදරෙයි වස්තුව පැණි පොකුර"
ලියලා තිබුණි පැන්සලකින් මගෙ සොඳුර...

 ඇර තේ පෝච්චිය බැලු විට තිබුණි ලියා 
"පාළුවේ වස්තුවේ මට මෙහෙ නැතුව ඔයා
ෆිජ් එක ගෙදර බෝ තැන් ඇස ගැටෙන නිසා
අලවා තිබුනෙ මුදු ආදර වදන් එයා....

හිමි ගැන නිතර සොයනා බිරිඳක් මෙවැනි
ලද මා වෙයිද මේ ලොව කෙනෙකුට දෙවැනි
සිටිවිට ඇගේ ගුණ අයමින් හද තුළිනි
ඇය ගැන අසීමිත ආලෙන් හිත පිරුණි... 
දින පහ ගෙවී වැඩ නැති අවසන ශනිදා
දහවල් දවස ගතකර ඇඳ උඩම නිදා
මිතුරන් දෙදෙනෙකුට ඇමතුම් දෙකක් යොදා
නා ගත්තෙමි හවස සාදය සිතින් බදා...
උරුවම් බබා ඇර අල්මාරිය පියන
ඇඳුමක් සොයාගත්තෙමි ඇය මැද තිබුණ
"මා නැති අතරේ තෝ මූසල ගල් බමුණ
බොන්ඩ ද යන්නේ" කොළයක අමුණා තිබිණ... 
--පරාක්‍රම කොඩිතුවක්කු





A day in the life

Tuesday, January 14, 2025

තෛපොංගල් .





ජනවාරි 14 තෛපොංගල් දිනයයි.

ශ්‍රී ලංකා රජය විසින් ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශිත  හිණ්දුන් විසින් සමරනු ලබන ආගමික උත්සවයකි.

මෙදින ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල වලට, එනම් ආන්දර් ප්‍රදේශවල, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්‍රදේශ, කර්නටකා, කේරල , ඔරිසා, මහරාෂ්ත්රම, නේපාලය, පන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් ප්‍රදේශයන්ට පාරම්පරික නිවාඩු දිනයක් වේ.

අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුහු සලකති.

තෛපොංගල් උත්සවය තවත් නව වසරක් සඳහා සූර්යය භ්‍රමණයේ ආරම්භය සනිටුහන් කරයි. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ.මෙම උත්සවය දමිළ ජනයා සදහා පමණක්ම වෙන්වුවක් නොවේ. මහා භාරතයේ සදහන් වන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු චාරිත්රෙයකි. භිෂ්මා තම මිනිස් ජීවිතය වතහැරීම සුර්යයා උතුරු දිසාවට හැරීමේ දී සිදු වු බවත්, එම සිදුවීම 'උත්තරායන' නමින් හදුන්වයි. ධර්ම ශාස්ත්‍රරවයන් සදහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වනදා සිදුවන අතර කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වේ.

තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්රමනය ආරම්භවීම සනිටුහන් කරයි.

අස්වැන්න නෙ‍‍ලන අවස්තාවේ දී සමරනු ලබන මෙම උත්සවය සෞභාග්‍යය සහ ස්තූති කිරීම හා බැදී පවතී. මෙහිදී තම අස්වැන්න සරු වීමට උපකාර කළ වර්ශාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කරනු ලැබේ. 

අලුත් ඇදුමෙන් සැරසී සිටින අයුරු දැකගත හැකි අතර මෙය ගවයන් සතු ජනතාවට බෙහෙවින් වැදගත් උත්සවයක් වේ.

පොංගල් උත්සවය ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් හා ලෝවැසි සියළු දමිළ ජාතිකයින් විසින් සමරනු ලැබේ. දමිළ ජතිකයින් වෙසෙන වෙනත් රටවල්, එනම් ශ්‍රී ලංකාව , මැලේසියාව,මොරිෂස්, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ සින්ගප්පූරුව යන රටවල් ද මෙම උත්සවය සමරනු ලබයි. 

 උත්සවය අවම වශයෙන් අවුරුදු 1000ක් පමණවත් ඉපැරණි අතර මෙම උත්සවය් අවුරුදු 2000කටත් ඉහත පටන් පැවත එන්නක් බව සමහරුන්ගේ විශ්වාසයයි. දමිළ ජනතාව පොංගල් උත්සවය හදුන්වනු ලබනුයේ 'තමිලර් තිරුනාල්' යනුවෙනි ('දමිළ ජනතාවගේ උත්සවය' යන තේරුමයි ). මෙම උත්සවයේ මුලාරම්භය සිදුවුයේ තමිල් නාඩුවේය. 'තායි පිරන්ඩල් වාලි පිරක්කුම්' -  මෙහි තේරුම වනුයේ "තායි මාසයේ උපත නව මහගු අවස්ථා සදහා මග පාදනු ඇත" යන්නයි. 

තෛපොංගල් උත්සවය යෙදෙන්නේ  ජනවාරි 12-15 දක්වා අතර කාලයේ දිනකය. මෙම වර්ෂයේ උත්සවය සදහා ජනවාරි 14 යෙදී තිබේ.(ග්රෙපගොරියන් කැලැන්ඩරයට අනුව ). තෛපොංගල් උත්සවය මාර්ඝාසි නම් වු දමිළ මාසයේ අවසාන දිනයේ සිට (දෙසැම්බර් - ජනවාරි ) දින සතරක් පුරාවට , තායි මාසයේ තුන්වැනි දිනය දක්වා (ජනවාරි - පෙබරවාරි ) සමරනු ලබයි.

උත්සවයේ පලමු දින, එනම් 'භෝඝි' ලෙස හදුන්වයි.

 මෙදින ජනතාව තමන් පාවිච්චි කරන ලද පැරනි වස්ත්‍ර හා රෙදිපිළි පිලිස්සීමෙන් පැරනි වසරේ අවසානය සනිටුහන් කිරීමත් සමගින්ම නව තායි වසර පිලිගැනීම ද සමරනු ලබයි. ~පොංගල් යනුවෙන් හැදින්වෙන දෙවන දින මෙම සැමරුමේ ප්‍රධාන දිනා වන අතර මෙදින වැටෙනුයේ "තායි" නම් වු දෙමළ මාසයේ පළමු වන දිනේදීය (ජනවාරි 14- 15). සර්කාරෙයි හෝ වීටු පොංගල් යනුවෙන්ද හදුන්වන ලබන මෙදින සමරනු ලබනුයේ අලුත් මුට්ටියක බත්, හකුරු හා නැවුම් එළකිරි උතුරා පිසගැනීමෙනි. මෙලෙස පිසගත් ආහාරය පසුව දුඹුරු සීනි, කජු හා වියලි මිදි යොදා ගනිමින් අලංකාර කර ගනු ලැබේ.~පොංගල් යන නාමය ලැබී ඇත්තේ ඉහත සදහන් කරන ලද උතුරා යාමේ චාරිත්රය මුල් කොටගෙන. මෙම බත් මිශ්රබණය උතුරා භාජනයෙන් පිටතට හැලී යාමේදී චාරිත්රරයක් වශයෙන් දමිළ ජනතාව "පොංගාලෝ පොංගාල්" යනුවෙන් ශබ්දව කෑගසමින්, "සන්ගු" යන සංගීත භාන්ඩයද වාදනය කරනු ලබයි. මේ චරිත්රංය අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු වනුයේ නව වසර සෞභාග්ය මත් වසරක් බවට පත් කර ගැනීමයි.

පසුව මෙලෙස පිසගත් බත් මිශ්‍රණයේ පලමු කොටස හිරු උදාවත් සමගම ස්වභාවධර්මයාට පුදනු ලැබේ. මෙම පිදීමෙන් ඔවුන් තමන්ට මෙතෙක් ලබා දුන් සෞභාග්යුයට හිරුට හා ස්වභාවධර්මයාට තුති පුදන අතර ඉතිරි කොටස නිවැසියන් සමග බෙදාගනු ලැබේ. තවද මෙම දිනයේ දී නෑගම් යෑම හා එකිනෙකා සමග සුබ පැතුම් හුවමාරු කර ගැනීම ද දැකිය හැක. විශේෂයෙන් මෙම උත්සව කාලයේ දී නොයෙකුත් වර්ගයේ ආහාර හා රස කැවිලි වර්ග සාදන අතර වඩේ, මුරුක්කු, පායාස්ම් වැනි ආහාර විශේෂ තැනක් ගනී.

තුන්වැනි දිනය, එනම් මාට්ටු පොංගල් යනුවෙන් හදුන්වන මෙදින විශේෂයෙන් වෙන්වී ඇත්තේ ගවයන්ට තුති පිදීම සදහාය. ගවයන් ගොවිතැනේ දී ගොවියන්ට ලබා දෙන මහගු සේවය අගය කිරීම මෙහි පරමර්ථය වේ. මෙදින ගවයන් අලංකාර ලෙස මල් මාලා, තීන්ත හා සීනු යොදා ගනිමින් සරසන අතර සමහරු රත්රරන් හා තඹ කොපු යොදා ගනිමින්ගවයන්ගේ අං සැරසීමද කරනු ලබයි. මේ දිනයේදී ගවයන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ ලබාදෙන අතර විශේෂ ආහාර හා රස කැවිලි වර්ගද දෙනු ලැබේ. අතැම් ප්‍රදේශ වල විශේෂයෙන් ගම්බදව "ජල්ලිකාට්ටු" හෙවත් මී හරකුන් හීලෑ කිරීමේ තරග මෙම දිනයේ විශේෂ තැනක් ගනී.

අවසාන දිනයේදී, කානුම් පොංගල් ලෙස හදුන්වන මෙදින (කානුම් යනු 'නැරඹීමට' යන අර්ථය ඇතිව ) ජනතාව තම නෑදෑ හිතමිතුරන් බැලීමට යාම සිදුවේ. නාගරික ප්‍රදේශවල මෙම දිනයේදී ජනතාව තම පවුලේ සාමාජිකයින් සමග මුහුදු වෙරලට සහ සතුටු උද්‍යාන වලට යමින් පොංගල් උත්සවය සැමරීම දැකිය හැක. මෙම කාලයේදී "කෝළම්" ලෙස හැදින්වෙන විශේෂ සැරසිලි යොදා ගනිමින් ගෙමිදුල් අලංකාර ලෙස සැරසීමද දැකිය හැක. අස්වැන්න නෙළා ගැනීමට කළ උපකාරයට තම නෑදෑ හිතමිතුරන්ට ස්තූති කිරීමද මෙදිනට වෙන්වී ඇත. මුල් කාලයේදී මෙම උත්සවය ගොවි ජනයාට පමණක් සීමා වුවද අද මෙය ජාති, ආගම්, කුළ භේද වලින් තොරව සියලුම දමිළ ජනයාගේ ජාතික උත්සවයක් බවට පත්ව ඇත. මෙම උත්සවය ගම්බද ප්ර දෙශ වලද නාගරිකව මෙන්ම සුප්රසිද්ධ උත්සවයකි.

පොංගල් උත්සවය දින 3-4ක් පුරා දිවෙන අතර, මෙම දිනයන් ජතික නිවාඩු දිනයන් ලෙසද රජය විසින් ප්‍රකාශ කර ඇත. 

තෛපොංගල් උත්සවය තමිල්නාඩුවේ සමරන උත්සව අතරින් අතිවිශේෂ ස්ථානයක් ගනී.

  • විකිපීඩියා.




A day in the life

Monday, January 13, 2025

දුරුතු පෝය .




බෞද්ධ ඉතිහාසයේ සිදු වූ වැදගත්ම සිදුවීම් සිදු වී ඇත්තේ පොහොය දිනයන් මුල් කොට ගෙනය.  එම නිසා පොහොය දිනය බෞද්ධයන්ට බෙහෙවින් වැදගත් වේ. අපට පමණක් නොව ලොව සිටින සියලුම බෞද්ධයන්ට පොහොය දිනය අතිශයින්ම වැදගත්ය.

දුරුතු පොහොය (ජනවාරි පොහොය) වර්ෂයේ මුල්ම මාසය මෙන්ම ලංකාවාසී අපට ඉතාමත් වැදගත්ම පොහොයක් වන්නේ බුදුන් වහන්සේ ලංකාවට පළමු වරට වැඩියේ දුරුතු පොහොය දිනයේ වන නිසාය. මහියංගණයෙහි පිහිටි “මහානාග” නම් උයනේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර අරගලයක් හට ගෙන තිබිණි.

බුදුන් වහන්සේ එහි වැඩම කොට ඔවුන් ඇමතීමට උත්සාහ දැරුව ද තමන්ගේ පරිසරයට පැමිණි අමුත්තා කරදරයක් යයි සිතූ යක්ෂයෝ අවි අමෝරා ගෙන බුදුන් වහන්සේට එරෙහිව නැඟී සිටියහ. යක්ෂයින් දමනයට නම් ඔවුන් බියට පත් කර සිටිය යුතු බව සිතූ බුදුන් වහන්සේ වර්ෂාව, අකුණු සහ මහා මේඝයක් ඇති කර යක්ෂයින් බිය වද්දවා පසුව ඔවුන්ගේ බිය පහ කළ අතර පසුව යක්ෂයෝ ගිරි දිවයිනට පලා ගියහ. එහි පැමිණ සිටි සුමන (සමන්) නම් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදු හිමියන් කෙස් මිටක් දී ඇති අතර සුමන දෙවියන් විසින් බුදුරජුන් වැඩ සිටි ස්ථානයෙහිම එම කේශ ධාතු තැන්පත් කොට අඩි 10ක් උස ස්තූපයක් කර වූ අතර මියුගුණ හෙවත් මහියංගණ චෛත්‍ය එම ස්තූපයයි.

කැලණි පෙරහර පැවැත්වෙන්නේ දුරුතු මාසයේදීය.




දුරුතු පොහොය දින සිදු වූ අනෙකුත් වැදගත් සිදුවීම්...

බුදුන් වහන්සේ මහා ප්‍රඥාව ලෝක සත්ත්වයා හට දේශනා කිරීමේ මුල් පියවර තබන ලද්දේ ද දුරුතු පොහෝ දිනකදීය. ඒ උරුවෙල දනව්වට වැඩම කොට අහංකාර තුන්බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දෙමිනි.

තමා විසින් දහම් දේශනා කොට අරහත් භාවයට පත් තුන් බෑ ජටිල තෙරුන් සහ ඔවුන්ගේ පිරිවර සමඟ මගධය වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට දහම් දෙසා රජු සහ ඒ නුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළේ ද දුරුතු මාසයේදීය.

බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද මෙම පොහොය දිනයේය.
දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වන්නේ දුරුතු පොහොයයි. මේ පොහොය ඉතාම වැදගත් වන්නේ සියලු පොහොයන්ට වස්තු විෂය වන පරිසරය සැකසීම අනුවය.

වසරක් ගෙවී තවත් වසරක් උදා වන මේ මොහොතේ පසුගිය වසරේ ලත් අත්දැකීම් සම්බන්ධව අවලෝකනය කොට නව වසරට ඒ අත්දැකීම් කොතරම් දුරට බලපාන්නේ ද යන්න සම්බන්ධව මෙනෙහි කළ යුතු හොඳම කඩඉමකි.

එමෙන්ම දුරුතු පොහොය වඩාත් වැදගත් වන්නේ අප සම්මා සම්බුදු තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දුකේ වෙළී - පැටලී සිටින සියලු සත්ත්වයා එම විමුක්ති මාර්ගයෙන් ගලවා ගැනීමට ප්‍රථම පියවර තබන ලද්දේ ද දුරුතු පෝයදාය.

බුදු බව ලබා නව මසකින් පසු උරුවෙල් දනව් පියසෙහි තුන්බෑ ජටිල‍යන් වන උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ප්‍රධාන කොටගත් දහසක් පමණ සව්වන් සදහම් මාර්ගයට යොමු කරවන ලද්දේ දුරුතු පෝදා බැවිනි.

මහියංගණයට වැඩම කොට යක්ෂ ගෝත්‍රිකයන්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම ද මේ පොහෝ දා සිදු වූ තවත් වැදගත් සිදුවීමකි.

බුදුරජුන්ගේ කේශ ධාතු නිදන් කිරීම මත දෙවියකු විසින් ඉදි කරන ලද ප්‍රථම දාගැබ වන්නේත් මහියංගණ දාගැබයි.

දුරුතු පෝදා අපට ලැබුණු අති උත්තම දායාදයකි. අප රටට වැඩම කළ බුදුරදුන් නිසා අපේ සමා‍ජයේ පෙර නොවූ විරූ පෙරළියක් උදා විය.

මානව සමාජය විවිධ ආකල්පවල එල්බ ගෙන සිටි හෙයින් නිසි මාර්ගය නැත්නම් විමුක්ති මාර්ගය කුමක්ද යන්න සොයා ගැනීමට නොහැකිව මංමුළා වූ පිරිසක් බවට පත්ව සිටියහ.

මිනිසා ගස්වලට වන්දනය කළේය. තවත් පිරිසක් ගල්වලට වැඳුම් පිදුම් කළහ. ඇතැමෙක් හිරුට වන්දනය කළහ. තවත් සමහරෙක් සඳුට වැඳුම් පිදුම් කළහ. සමහරු අනංගයාට වැඳුම් පිදුම් කළහ. අනංගයා යනු ආදරයට අධිපතියාය. ආදරයට අධිපති අනංගයාට වැඳුම් පිදුම් කළ හොත් තමන්ට විමුක්ති මාර්ගය ලැබේ යැයි සිතූහ.

සමහරු නාගයා සංකේතයක් කොට ගෙන වන්දනය කළහ. රාගයෙන් කෙරෙන්නේ තමන්ගේ ඇලීම් - ගැලීම් තවත් පෝෂණය කිරීමකි. ඇලීම් ප්‍රහීණ කළ යුතුව තිබියදී තවදුරටත් එහි එල්බ ගන්නේ නම් සිදු වන්නේ සසරේ දිගුවීම පමණි. අපට අවශ්‍ය වන්නේ සංසාරය කෙටි කර ගැනීමය. නාගයාට වන්දනය කිරීමෙන් හැඟී යන්නේ එය කෙටි කර ගැනීම නොව තව තවත් එයට එල්බ ගැනීමකි. නාග වන්දනය එදා කොතරම් ජනප්‍රිය වීද යත් රජවරුන්ගේ නමේ අගට නාග යන පදය යෙදෙන්නට පුරුදු වූහ.

චෞරනාග, මහානාග, වීරනාග, ඉල නාග ආදී නම් එයට හොඳම නිදසුන්ය.

මෙවන් පරිසරයක සිටි ජනකායට බුදුවරුන් ලක්දිවට වැඩම කළ එම අඳුරු වලාකුළු පටලයෙන් නැති නම් භව කඩතුරාවෙන් වැසුණු ජනකාය යහමඟට ගන්නට දැරූ තැතද ඉතා ප්‍රශංසනීයයි.

ඉන් අනතුරුව උගත් පරපුරක් බිහි වී මහ කැලෑව එළිපෙහෙළි වී ගල් ලෙන්වලට වී සඟරුවන දහම් පොත් ලියන්නට පෙලඹුණේ ද මේ දුරුතු පුන් පොහෝදාය.

බුද්ධිමත් කැටයම් ශිල්පියා මේ මඟින් කළේත් බුදු මහිමය කියාපෑමය. අදත් එම කැටයම්වලින් ජීවමාන වන්නේ බුදු ගුණයි. බුද්ධ චරිතයයි. බුද්ධ ධර්මයයි. මේ දක්වා පැමිණි ගමන් මඟට ප්‍රවේශයක් වූයේ දුරුතු පොහොයයි.



A day in the life

Sunday, January 12, 2025

කෝට්ටේ රජමැදුරේ ප්‍රේම කතාවක්





කෝට්ටේ රාජධානිය පිහිට වූ හයවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1412-1467) කෝට්ටේ මෙන්ම ශ්‍රී ලංකාවේද රජ කළ ශ්‍රේෂ්ඨම රජවරුන් කීප දෙනාගෙන් එක් අයෙකි. අවසාන වරට මුළු ශ්‍රී ලංකාවම එක්සේසත් කළේ මේ රජතුමාය. මුළු ලංකාවම එක්සත් කර පිටරටවල් සමඟ යුද්ධ තුනක් කර ජය ලබා අවුරුදු 55 දිගු කාලයක් ඔහු රටේ සාමයෙන් රජ කළේය. එමෙන්ම ඔහු කල රටේ විශාල ආගමික, සංස්කෘතික, සාහිත්‍ය ප්‍රබෝධයක් මතු විය. පැරැණි ශිලා ලිපි අතර කුඩා අකුරින් ලියා තිබී මහාචාර්ය පරණවිතාන කිය වූ හයවැනි පරාක්‍රමබාහු රජුගේ වංශාවලි සටහන් වලින් හයවැනි පරාක්‍රමබාහු රජු හා ඒ පරපුරේ යටගියාව දැන වංශකතාවල නොඑන වටිනා සත්‍ය තොරතුරු එළිවෙයි. මේ ඒ තොරතුරුවලින් හෙළිවෙන හයවැනි පරාක්‍රමබාහු රජුගේ එකම දියණිය වූ ලෝකනාථ හා බෑනා වූ සුන්දර පාණ්ඩ්‍ය කුමරු ගැන එක් අනුවේදනීය කතාවකි.
ඒ වන විට අද මැලේසියාව ලෙස මුස්ලිම් බලය පැතිර ඇති රට එද‌ා බෞද්ධ බලය වූ සිංහල රජ පරපුරුවලට නෑදෑකම් ඇති මලය රාජ්‍යය නමින් ප්‍රකට විය. තරුණ වයස වන විට හයවැනි පරාක්‍රමබාහු කුමරු හැදුණේ වැඩුණේ ඈත පෙරදිග මලය රාජ්‍යයේදීය. 1410 චීන ආධාර ඇතිව ලංකාවට අවුත් ඔහු රජ විය. ඒ වන විට රට මැද තිබූ දැදිගම රාජ්‍යයේ ඪකූර රජුගේ දූ වූ ස්වර්ණමාණික්‍යා හෙවත් රන්මැණිකා කුමරිය හයවැනි පැරකුම්බා රජුගේ අගබිසව විය. රාජාවලිය වංශකතාවේ කීරවැල්ලේ කුමරිය ලෙස හඳුන්වන්නේ මේ ස්වර්ණාමාණික්‍යා බිසවයි. හයවැනි පරාක්‍රමබාහු රජුට ද‌ාව ස්වර්ණාමාණික්‍ය බිසවට පළමුව ලැබුණේ ‘පුරන්දර’ නම් පුත් කුමරෙකි. එහෙත් පුරන්දර කුමරු කුඩා කලම අකාලයේ මළේය.
ස්වර්ණාමාණික්‍යාට දෙවනුව ලැබුණේ දූ කුමරියකි. අපේ වංශකතා හා සාහිත්‍ය ග්‍රන්ථවලට මේ කුමරිය නම් තුනකින් හඳුන්වයි. (ශ්‍රී රාහුල හිමි ලිවූ පරෙවි සන්දේශයේ ඇය ‘චන්ද්‍රාවතී’ ලෙස එයි. රාහුල හිමි ලිවූ සැළලිහිණි සන්දේශයේ ‘උලකුඩ’ දේවිය ලෙස දක්වයි. සීතාවක කල ලියැවුණු ‘අලකේශ්වර යුද්ධය’ වංශකතාවේ ඇය ලෝකානාථ හා උලකුඩය දේවී යන නම් දෙකින්ම දක්වයි.) රජුගේ මේ එකම දූ කුමරිය චන්ද්‍රාවතී ලෝකනාථා උඩකුඩය දේවී යන නම් තුනෙන්ම හඳුන්වා ඇත. මේ කුමරිය තරුණ වියට පත් කල විවාහ කර දීමට සුදුසු කුමරෙකු සොයා දීම අතිශය දුෂ්කර කරුණක් විය. හේතුව මේ වන විට ලංකාවේ රජකම සඳහා පාණ්ඩ්‍ය හා සවුළු (මැලේ හෙවත් ජා) රජ පරපුර අතර පැවැති උග්‍ර ගැටුමයි. එත් පරපුරක කුමරෙකුට ඈ පාවා දුන්නොත් අනෙක් පරපුර හා ඔවුන්ගේ විශාල අනුගාමික පිරිස එයට විරුද්ධ වන බැවිනි. මේ අනුව හයවැනි පරාක්‍රමබාහු රජු තම දියණිය සඳහා පාණ්ඩ්‍ය හා සවුළු යන රාජ පරම්පරා දෙකටම අයිති රජ කුමරෙකු තම දියණිය පාවා දීමට සෙවීමට විය. ඒ මගින් පාණ්ඩ්‍ය හා සවුළු යන රජ පරම්පරා දෙකේ ගැටුම නතර වන බව රජු කල්පනා කළේය.
කලක් යන විට පැරකුම්බා රජුට රජ පරම්පරා දෙකටම සම්බන්ධ රජ කුමරෙකු ගැන තොරතුරු හමු විය. ඒ අම්බලන්තොට රාජධානියේ සුන්දර පාණ්ඩ්‍ය කුමරුය. (සැළලිහිණි සන්දේශයේ ‘නන්නුරුතනයාර්’ ලෙස දැක්වූයේ ඔහුය.) හයවෙනි පැරකුම්බා රජුගේ දූ වූ චන්ද්‍රාවතී කුමරිය දුටු සුන්දර පාණ්ඩ්‍ය කුමරු ඇයට කැමැති වී ඇය විවාහ කර දීමට එකඟ විය. සුන්දර පාණ්ඩ්‍ය කුමරු චන්ද්‍ර‌ාවතී සමඟ ප්‍රේමයෙන් බැඳී විවාහ තීන්දුවට ආවේය. මේ අතරතුර හදිසියේ ඔහුට ඈත පෙරදිග මලය රාජ්‍යයට යාමට සිදුවිය. හේතුව ලංකාව හා මලය රාජ්‍යය රජ පරපුර අතර නිරන්තර සම්බන්ධතා තිබීමයි.
සුන්දර පාණ්ඩ්‍ය කුමරු මලය රටට ගොස් කලක් ගතවනතුරු මලය රාජ්‍යයේ රජුගේ දුව වූ සුන්දරී කුමරි ඔහුට හමුවිය. පාණ්ඩ්‍ය කුමරුට ලංකාවේ චන්ද්‍රාවතී කුමරිය අමතක විය. ඔහු මලය රට රජුගේ දුව සුන්දරී කුමරිය සමඟ ප්‍රේමයෙන් වෙලී එහි ජීවත් විය. කෝට්ටේ හයවෙනි පරාක්‍රමබාහු රජුට මේ සිද්ධිය සැල වී රජු බෙහෙවින් කලබල විය. සුන්දර පාණ්ඩ්‍ය කුමරු ලංකාවට ආවේ නැත. ඉන්පසු කෝට්ටේ රජු අම්බලන්තොට විසූ සුන්දර පාණ්ඩ්‍ය කුමරුගේ පියා වූ මහින්ද කුමරුට හසුනක් යැවීය. එය ද නිෂ්පල විය. දැන් චන්ද්‍රාවතී කුමරිය වියෝගයෙන් තැවෙයි.
ලංකාවේ රාජ පරම්පරා දෙකටම සම්බන්ධ චන්ද්‍රාවතී කුමරියට විවාහ පොරොන්දු දී දැන් ඒ අමතක කර මලය රටට වී සිටින තම අණට අකීකරුව මලය රටේ රජුගේ දූ හා ප්‍රේමයෙන් වෙලී සිටීම නිසා කෝට්ටේ රජුට සුන්දර පාණ්ඩ්‍යගේ ක්‍රියාකලාපය මදිපුංචිකමක් විය. හයවැනි පරාක්‍රමබාහු රජු මලය රටට යාමට හමුද‌ාවක් හා නැව් සමූහයක් සූද‌ානම් කළේය. නාවුක හමුද‌ාව සමග හයවැනි පරාක්‍රමබාහු රජු තම එකම දූ කුමරිය ද කැටුව මලය රටට යාමට සූද‌ානම් විය.
සැතපුම් දහස් ගණනක් ඈත සැඩ කුණාටු සහිත දරුණු මුහුදේ දිගුකලක් නැව් හමුද‌ාවක් සමඟ යාම ඉතා අන්තරාද‌ායක කාර්යයක් විය. රජු සමග සියුමැලි රාජකුමරිය ද රැගෙන යාමට ඔහුට අවශ්‍ය විය. (මෙහිදී හයවෙනි පැරකුම්බා රජු ළඟ කුඩාකල සිටම පුතෙකු ලෙස හැදුණු වැඩුණු මේ වන විට තොටගමුවේ ශ්‍රී රාහුල නමින් පැවිදිව සිටි හිමි පැරකුම්බා රජු හා දූ කුමරිය යන දීර්ඝ මුහුදු ගමනේදී මුහුදට අධිපති උපුල්වන් හෙවත් වරුණ දෙවිඳුගේ පිහිට පතා පරෙවි සන්දේශය ලිවීය. චන්ද්‍රාවතී කුමරියට සුදුසු සැමියෙකු සොයා දෙන ලෙස පරෙවියා උපුල්වන් දෙවිඳුගෙන් අයදියි.)
නැව් හමුද‌ාව සමග මලය රටට ගිය කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු සටන් වැද මලය රට රජු පරාජය කළේය. සිංහල රජු ජයග්‍රාහීව මලය රටට ඇතුළු විය. චන්ද්‍රාවතී කුමරිය දුටු සුන්දර පාණ්ඩ්‍ය කුමරු යළිත් ඇය හා ආදරයෙන් බැඳුණේය. මේ අතරතුර මලය රට රජුගේ දූ වූ සුන්දරී එරට වෙනත් රජ කුමරෙකුට විවාහ කර දෙන ලදී. මලය රට විජයග්‍රහණය කළ කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු චන්ද්‍රාවතී කුමරිය සුන්දර පාණ්ඩ්‍ය කුමරු නාවික හමුද‌ා කැටුව ලංකාව බලා පිටත් විය.
රූමත් සියුමැලි දූ කුමරිය සමඟ මලය රටට ගොස් මලය රජු පරදවා විජයග්‍රාහීව ආපසු ලංකාවට ආ කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු මහත් උත්සවයක් මැද ඉතා ශුභ හෝරාවකින් ක්‍රි.ව. 1448 අප්‍රේල් 10 බද‌ාද‌ා උදෑසන 6.45 අනුරාධපුර රුවන්වැලිසෑ මළුවේදී සුන්දර පාණ්ඩ්‍ය කුමරු හා ලෝකනාථා කුමරිය අතර විවාහය සිදුකළ බව ශිලා ලිපි පාඨවල එයි.
-නෙතු කවුළුව-
උපුටා ගැනීම වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන මහතාගේ ලිපියකිනි



A day in  life

Saturday, January 11, 2025

ගැටඹේ බෝධිය .





මහනුවර සිට කොළඹට විහිදෙන ප්රධාන මාර්ගයේ 64 කණුව අසල ඉතා ප්රකට ගැටඹේ රාජෝපවනාරාමයේ පඬුරු දමන බෝධිය පාර අද්දර පිහිටා ඇත. මේ බෝධිය පිළිබඳ රසවත් කතා පුවතක් මෙහි දැක්වෙයි. මහනුවර සිට ගැටඹේ බෝධිය තෙක් දුර කිලෝමීටර පහක් පමණ වෙයි. මේ බෝධිය මහනුවර නිර්මාණය වූ කරත්ත සීපදවල වර්ණනා වනුයේ එදා සිය ගණනක් වූ කෝපි කොළඹට රැගෙන ගිය ගැල් රෑට නවාතැන් ගත් තිප්පලක් වශයෙනි. මේ බෝධිය සිට කිලෝ මීටර් භාගයක් පමණ දුරින් පේරාදෙණිය පොලිසිය අසලින් ඇතුළට ගිය විට එදා තුන් සිංහලයේ ම පයින් ගමන් බිමන් ගිය අය නැවැතී විවේක ගෙන සීතල දිය නා ගිමන් හළ ප්රකට මධ්යස්ථානයක් වූ හාල් මැහි කඳුර නම් හන්තාන කන්දෙන් පොළව යටින් මතු වී බුබුළු දමමින් උඩට ආ සීතල ජල උල්පත විය. පියා හා අමනාප ව කොත්මලේට පලාගිය ගැමුණු කුමරු දිවා ආහාරය ගෙන විවේක ගත්තේ ද හාල් මැහි කඳුරේදී ය. 1947 ගංවතුරෙන් මුළු ප්රදේශය ම වර්ෂා ජලයෙන් යට වෙද්දී ගැටඹේ බෝධිය අවට බිම ගංවතුරට යට නොවී ඉතිරි වීම සමඟ ගැටඹේ බෝධියේ හාස්කම් පැතිරී යාමට විය. වර්තමාන දියුණුවට අඩිතාලම වැටුණේ මේ හාස්කම සමඟ ය.
පේරාදෙණිය රාජෝපවනාරාම පඬුරු දමන බෝධිය පිළිබඳ රසවත් කතා පුවත දැන් විමසා බලමු. උඩරට දෙවන රාජසිංහ රජු (1636 / 1687) රජ කරන විට දිගූද මේලෝ කැස්ට්රෝ නමැති පෘතුගීසි සෙන්පතියා යටතේ පෘතුගීසි වරු උඩරට විශාල යුද හමුදාවක් රැගෙන විත් වට කළහ.
පරංගි හමුදාව කඳවුරු බැඳගත්තේ මහවැලි ගඟ අද්දර ගැටඹේ තොට අසලයි. පෘතුගීසීන් උඩරටට ඇතුළුවන විට මහනුවර අත හැර කඳුකරයට පළා ගිය රජු ටිකෙන් ටික නගරයට ළංවෙමින් ගරිල්ලා ක්රමයට සතුරා වටලන්නට විය. දැඩි වර්ෂාව සමඟ මහවැලි ගඟ උතුරා යාමට විය. ගැටඹේ බෝධිය අසල මෑතක් වනතුරු ගඟ හරහට ස්වභාවික ගල් බැම්මක් සේ විහිදී ගිය හරස් ගල්තලාවක් විය. ඉන් ගඟේ ජලය ගලායාම සිදුවූයේ ඉතා සෙමිනි. එය ගඟේ ස්වාභාවික බාධකයක් විය.
වර්ෂාව සමඟ ම රෝගාබාධ මතු වන්නට විය. පෘතුගීසීන්ගේ යුද කඳවුරේ ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් සියල්ල වර්ෂාවට තෙමී තෙත බරිත විය. පසුදා උදෑසන හිරු රැස් වැටෙන විට තෙමුණු වෙඩි බෙහෙත් ගෝනි බිම එළා සුදු වැලි ඇති ගංඉවුරේ දමා වේලන්නට විය. ගැටඹේ තොට යාව පිහිටි ගන්නෝරු කන්ද හෙවත් දිවි දොස් කන්ද එදා උඩවත්ත කැලේ - හන්තාන – බහිරව කන්ද සමඟ එක ම කැළෑ යායක් ලෙස පැතිර තිබූ දැවැන්ත කැළෑවක් විය. දිවි දොස් කන්ද මුදුනට නැඟගත් සිංහල සෙනෙවියෝ ගැටඹේ ගංඉවුරේ පෘතුගීසීන් තෙත් වූ වෙඩි බෙහෙත් ගෝනි මත එලා වේලනු දුටුවාහ. මේ බව ඊයක බැඳි රහස් තල්පතක් මඟින් රජු වෙත දැනුම් දී ඇත. රාජ නියෝගය වූයේ ඒ වෙඩි බෙහෙත් විනාශ කිරීමයි. දිවි දොස් කන්ද මුදුනේ සිට ඊතලවල බැඳි ගිණි ඇවිල වූ කරුංකා ගෙඩි බැඳ වෙඩි බෙහෙත් වෙත දුනුවලින් ඊතල කීපයක් එක්වර ම පතිත විය. වේලමින් තිබූ වෙඩි බෙහෙත් මහ හඬ නඟා පුපුරා එක ම ගිණි ජාලාවක් බවට පත් විය. ඒ සමඟ ම සැඟවී සිටි සිංහලයෝ තුවක්කු හෙලි දුනු ඊ කඩු රැගෙන පරංගීන් වෙත කඩා පැන්නාහ. අඩ හෝරාවක් ම පැවැති ගන්නෝරු සටනින් පරංගි හමුදාව සමූල ඝාතනය වූ අතර පරංගි ලෙයින් ගැටඹේ තොටේ සුදු වැල්ල රතුපාට විය. මාරාන්තික කඩු පහර කෑ දිගූද මේලෝ කැස්ට්රෝ තම පුතා දෙවන රාජසිංහ රජුට බාර දී අවසන් හුස්ම හෙලුවේය.
1638 ගන්නෝරු සටනින් ලැබූ ජය දෙවන රාජසිංහ රජුගේ රාජ සභාවේ සිටි කවීන් නවදෙනා මෙන්ම ප්රශස්ති හා හටන් කාව්ය කරුවන්ගේ ජය සමරු ප්රශස්ති කවිවලට වස්තු බීජ විය. ශ්රී නාමේ – පවන – රාජසිංහ රාජෝත්තමයා එවැනි ප්රශස්ති කාව්ය කීපයකි.
ගන්නෝරු සටනේ එය සිහිවීමට දෙවන රාජසිංහ රජු තම සහෝදර විජයපාල කුමරු ලවා ජය සමරු බෝධි අංකුර තුනක් සිටුවීය. ගැටඹේ රාජෝපවනාරාමයේ ඇති පඬුරු දමන බෝධිය එසේ රාජසිංහ රජුගේ නියමය පිට විජයපාල කුමරු 1638 රෝපණය කරවූවකි. එය දැනට අවුරුදු 375කට වඩා පැරැණිය. අතු පතර විහිදී ගිය දැවැන්ත ශාඛා පහක් පමණ එහි ඇත. බෝධි පූජාවලට මේ ස්ථානය නම ගිය ස්ථානයකි.
දෙවන ජය සමරු බෝධිය මීට මඳක් නුදුරින් මහනුවර ඇසළ පෙරහර දියකපන තොටුපල අසල පිහිටා ඇත. එය ගඟ අද්දර ම සරු පසක පිහිටි බැවින් මුලවට අඩි හතළිහක් පමණ යුතු හොඳින් ශාඛා පත්ර විහිදී ගිය වෘක්ෂයකි. ඇසළ පෙරහරේ දිය කපන දා මේ දිය කැපුම් බෝධිය අසල දහස් ගණනක් බැතිමත්හු මහ රෑ ගඟට පැන දිය කැපූ පසු නාති. මේ දිය කැපුම් බෝධියේ අතු හා පත්ර හරස් අතට විහිදීම විශේෂයකි. මේ අසළ අලුතින් දිය කැපුම් තොට රක්වංග විහාරය ඇරැඹී ඇත. මේ බිම්කඩ මහනුවර විෂ්ණු දේවාලයට අයිතිය.
තුන්වන ජය සමරු බෝධි අංකුරය එදා පේරාදෙණිය මල්වත්තේ සිටුවා ඇත. සරුවට වැඩී තිබූ මේ බෝධිය 1820 ඉංග්රීසින් පේරාදෙණි මල්වත්ත නැවත සකස් කිරීමේදී කපා දමා ඇත. ගැටඹේ බෝධිය දකින විට 1638 ගන්නෝරු සටන හා සිංහලයන් එහිදී ලැබූ අතිවිශිෂ්ට ජය එක්වර සිහියට නැඟෙයි.










A day in the life

Thursday, January 09, 2025

මුරණ්ඩු සහ හිතුවක්කාර කාන්තාවන්






මුරණ්ඩු සහ හිතුවක්කාර කාන්තාවන් සෑම විටම අසාර්ථකයි:
මුරණ්ඩු කාන්තාවන් තම විවාහ ජීවිතයේදී සහ ඥාතීන් සමඟ සබඳතාවලදී පවා අසාර්ථක වේ. තමන් අවට සිටින පුද්ගලයින් සමඟ කටයුතු කිරීමේදී චිත්තවේගීය බුද්ධිය සහ නම්යශීලීභාවය නොමැති කාන්තාවන් ඔවුන්ගේ විවාහයේ සහ ඔවුන්ගේ ජීවිතයේ විශාලතම අසාර්ථකත්වයයි.
ඇයි...?
ඇය තම ස්වාමිපුරුෂයා සමඟ ආත්මාර්ථකාමී කඹ ඇදිල්ලකට පිවිසෙන අතර, ඔහු ජය ගැනීමට උත්සාහ කිරීමට ඇගේ මමත්වයේ හඬට වැඩි කැමැත්තක් දක්වන අතර, ඇත්ත වශයෙන්ම ඇය තම ස්වාමිපුරුෂයාගේ මමත්වය සහ ඇය වටා සිටින අයගේ මමත්වය ඉදිරියේ අසාර්ථක වේ, මන්ද පිරිමින් මුරණ්ඩු බිරිඳක් සහ මුරණ්ඩු සහෝදරියක් ඉදිරියේ මුරණ්ඩු වන අතර, යටහත් පහත් කාන්තාවක් ඉදිරියේ ඔවුන් වඩාත් මෘදු වේ.
ඔළුව ශක්තිමත් ගැහැණියක් සිතන්නේ තමාගේ මතය බලකරමින් ජයග්රහණය කළ හැකි බවත්, ඕනෑම විරුද්ධවාදියෙකු ඉදිරියේ නැගී සිටිය හැකි බවත්ය. තම මතයේ සහ ස්ථාවරයේ මුරණ්ඩුකමෙන් ජයග්රහණය කළත් ඇයට ආදරය කළ, ඇයව රැකබලා ගත් හදවත අහිමි වන බව ඇයට අමතක වේ.
සියලුම සංස්කෘතීන්හි බොහෝ ආඛ්යාන සහ ප්රඥාවන්ත හිතෝපදේශ පහසුවෙන් ගමන් කරන, මෘදු, මිත්රශීලී, ඉවසිලිවන්ත සහ විඳදරාගත් කාන්තාවක් ප්රශංසා කර ඇත. තම ස්වාමිපුරුෂයාට ගරු කරන සහ මෘදු හා නුවණින් කතා කරන කාන්තාවක් නිර්දේශ කර ප්රශංසා කළ අතර, ඔහු ඇයට ආදරය කරන අතර කිසි විටෙකත් ඇයව අත් නොහරිනු ඇත.
තම ස්වාමිපුරුෂයාට කීකරු වී කුණාටුව පහව යාමට ඉඩ දෙන කාන්තාව ඇය සමෘද්ධිමත් වන සහ පවුල එකට තබා ගන්නා බුද්ධිමත්, තාර්කික කාන්තාවකි. නොනැමෙන වියළි දණ්ඩක් මෙන් සිටගෙන සිටින කාන්තාව ආපසු හැරවිය නොහැකි හානියක් විඳිමින් කැඩී යයි.
සම්මුති විරහිත කාන්තාව ඇගේ මතයට ඇලී සිටී. ඇය තම ජයග්රහණයේ මිත්යාව නිරතුරුව පවත්වා ගැනීමට උත්සාහ කරයි. මම දිනුවත් ඔබ පැරදෙනවා, මම හරි, ඔබ වැරදියි. එවැනි කාන්තාවක් අන් අය විනාශ කිරීමට පෙර තමා විනාශ කරයි. තවද ඇය මෙලොව පරලොව දුක්ඛිත කලකිරුණු ජීවිතයක් ගත කරයි.
විවාහ උපදේශනය පිළිබඳ මගේ අත්දැකීම් අනුව, මෙවැනි කාන්තාවන් දික්කසාදයෙන් අවසන් වන බව මට පෙනී ගියේය. ඔවුන්ගේ පවුල් සහ සමාජ ජීවිතය තුළ දැඩි ලෙස අසාර්ථක වේ. අවසානයේ ඇගේම පියාගේ පවුල සහ ඔහුගේ සහෝදර සහෝදරියන් විනාශ කරයි.
අරාබි කාන්තාවක් තම දියණියට විවාහ වූ දිනයේ දෙන උපදෙස්, සියලු සාර්ථක කාන්තාවන් විසින් කාන්තාවකට ඇති හොඳම උපදෙස් ලෙස සලකයි. ඇය මෙසේ පැවසුවාය.
"ඔහුගේ වහලෙක් වන්න...... නිසැකවම ඔහු ඔබගේ ආසන්න වහල් බවට පත් වේ".
"පිරිමින් කරුණාවන්ත, ත්යාගශීලී සහ කරුණාවන්ත ය, නමුත් මුරණ්ඩු, මෝඩ කාන්තාවක් ඔවුන් සතුරන් බවට පත් කරයි."

උපුටා ගැනීමකි
මෙම ලිපියෙහි මුල් හිමිකරුට ස්තුතියි Respect
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon